Saturday, December 15, 2012
බාල වියෙන් පිටමං වී . . . යොවුන් වියට පියමැන්නේ . . . ප්‍රිය ළඳුනේ . . . නුඹ නිසායි . . . !
මේ කතාව කොතනින් පටන් අරගෙන . . . කොහොම ලියනවද කියලා මම දවස් ගානක් තිස්සේ හිතුවා . . . හිතල හිතලා මගේ හිත පඹ ගාලක පැටලිලා වගේ තිබුනේ මේ දවස් කීපයේම . . . . කොතනින් කොහොම උනත් . . . ලියන්නම ඕන කියල මට මගේ හිත කරපු තර්ජනය නම් නොසලකා හරින්න මට බැරි උනා . . .
වික්ටර් රත්නායක මහත්මයා ගායනා කරන "හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං . . . බාල බොලඳ බස් දොඩමින් කැලේ පැන්න මං . . . බාල වියෙන් පිටමං වී . . . යොවුන් වියට පියමැන්නේ . . . ප්‍රිය ළඳුනේ . . . නුඹ නිසායි . . ." ගීතය අහල තියෙන කෙනෙකුටත් . . . කරුණාසේන ජයලත් මහතා විසින් රචිත "ලස්සන ඇස්" නවකතාව කියවල තියෙන කෙනෙකුටත් . . . . . . ඒ ගීතයෙත් . . . නවකතාවෙත් . . . සමහර කොටසුත් මගේ මේ කතාවෙත් යම්කිසි සමාන ගතියක් තියෙනවා කියල හිතෙන්න පුලුවන් . . .
ඇත්තෙන්ම මේ සිදුවීමෙන් සෑහෙන කාලෙකට පසු මම ඒ ගීතයත් . . . නවකතාවත් . . . රසවින්ඳට පසු මම දෑස් පියාගෙන අතීතෙට ඉගිලිලා ගොස් යලි යලිත් ඒ සුන්දර අතීතය මනසින් ස්පර්ශ කලා . . .
කිසිවෙක් මගෙන් අසුවොත් මා වැඩියෙන්ම ආදරේ කරන්නේ . . . පාසැලේ ගතකරපු අතීතයටද . . . දහම් පාසැලේ ගතකරපු අතීතයටද කියල . . . . වචන දෙකක් නෑ මම නම් කියන්නේ මා දහම් පාසැලේ ගතකරපු අතීතයට කියලා . . . එය එතරම්ම සොඳුරුයි . . . ආශ්වාදජනකයි . . . දැනටත් ඒ කාලය ගැන සිතන කොට . . . මොකද්දෝ කියාගන්න බැරි . . . කිතියක් වගේ හැඟීමකින් . . . හිත සිහිල් වෙනවා . . . හරියට සිහිනෙන් දිව ගෑ සුවඳක් වගේ . . .
මේ සිදුවීම සිදුවෙන කාලෙ වෙනකොට මම පාසැලේ 8 වසරෙ . . . දහම් පාසැලේ 6 ශ්‍රේනියේ . . . මගේ වයස 13ක් නැතිනම් 14ක් පමන ඇති . . .
ඔය කාලේ මම විනෝදාංශෙට කලේ ඔය වයසෙ හැම ළමයෙකුම කරනව වගේ . . මාළු ඇති කරන එකයි . . මුද්දර එකතු කරන එකයි . . . පාට පාට පිහාටු එකතු කරන එකයි . . රට රට වල කාසි එකතු කරන එකයි. . .හැකි හැමවෙලාවෙම යාළුවොත් එක්ක සෙල්ලම් කරන එකයි තමයි. . .
දහම් පාසැල . . .
නුපුරුදු ජාතික ඇඳුම හෙවත් සුදු අත්දිග කර පියවපු කමිසයයි . . දාංගලේට කඩා ගනී කියල බයට ඉනට තද වෙන්න අක්කගෙ පරන ලේස් පටියකින් ගැටගහල අම්ම හිරට අන්දපු සුදු කොට කලිසමට උඩින් අඳින සුදු සරමයි ඇඳල . . . අපේ වත්තේ අරලිය ගහෙනුත් . . ඉද්ද ගස් වලිනුත් කඩාගත්තු සුදු මලුත් අහල පහල ගෙවල් වලින් ඉල්ලගෙන කඩාගත්තු පාට මලුත් . . වට්ටියක දාගෙන . . . අම්ම පොල්තෙල් ගාලා පැත්තට පීරපු කොන්ඩෙ අවුල්වෙයි කියල බයට දුවන්නේ නැතුව . .සුදු ළමා සාරි ඇඳගත්තු අක්කයි . . නංගියි එක්ක . . . පෙලට දහම් පාසැල් ගිය පුංචි කොල්ලව මට මේ දැනුත් මැවිලා පේනව . . . .
අනේ කොච්චර අහිංසකද . . . ඒ පුංචි එකා . . .
දහම් පාසැලේ කලා සංගමේ මමත් සාමාජියයෙක් නිසා නිතැතින්ම මම ඇසුරු කලේ මට වඩා වයස 5-6ක් හෝ 7-8ක් හෝ වැඩිමහල් සොයුරු සොයුරියන්ව . . . මට වඩා අවුරුද්දක් බාල "තරුශි" ත් මාත් තමයි අපේ කලා සංගමේ වයසින් අඩුම දෙදෙනා . . .
අපේ මිතුරු මිතුරියන් වුනේ පර්ල් අක්කා,ළලනිශා අක්ක,චමින්ද ,ලෝචනා අක්කා,සමන් අයියා, වසන්ත අයියා, ලතිකා අක්ක, දිනේන්ද්‍ර අයියා, නිරෝශා අක්කා . . . සමහර නම් මතකයෙන් ගිලිහිලාත් ගිහින් . . . . එහෙම නොවී තිබේවියෑ . . . . . දැනට කොපමන කාලයකට පෙරද . . ?
මගේ වයසෙ අනිත් ළමයි විවේක කාලයේදී සරම ගලවල පැත්තක තියෙන ගහක එල්ලල යටට ඇඳන් ආපු කොට කලිසම පිටින් සෙල්ලම් කරද්දි . . . මම යන්නේ මගේ දයාබර අක්කල අයියල ටික හොයාගෙන . . !
"තරුශි" . . . .
හ්හ්හ්ම්ම්ම්ම්ම් . . . තළෙලු . . සිහින් සිරුරක් තිබූ . . නිතරම එහෙ මෙහෙ දුවන චංචල . . කතාකරන දෙනෙතක් තිබූ . . . විනාඩියක් එක තැනක එකවිදිහට ඉන්න බැරි තරම් දඟකාර . . . "තරුශි" . . . . . . !
මට ළමා වියෙන් යොවුන්වියට පා තබන්නට මඟ සලකුනු කියා දුන් . . "තරුශි" . .
"දහම් පාසැලේ සංවත්සර උත්සවය . . . "
අපි හැමදෙනාම පුල පුලා බලා සිටින . . . ආදරණීය සංවත්සරය . . . . !
මමත් ගායන කාංඩායමේ සාමාජිකයෙක් නිසා පාසැල් වෙලාවෙන් පසුව පවත්වන රිහසල් වලට "මෙයාට ස්කෝලේ වැඩකටවත් නැහැනේ මෙහෙම උනන්දුවක්" කියා බනින අම්මගේත් . . . "ඔය ඉතිං පර්ල් ලයි, ලළා ලයි, ලතිකලයි, තරුශියි එක්ක මුකුළු කර කර ඉන්න තියෙන හදිස්සියනේ " කියා ඇනුම්පද කියන අක්කගෙත් . .බැනුම්, ඇනුම්පද . . වම් කනෙන් අසා දකුනු කනෙක් පිටකර හැර , තියෙන දෙයක් කා බී දඩිබිඩියේ රිහසල් වලට දුවන ආදරණීය සංවත්සරය . . . . !
රිහසල් වල විවේක කාල වලදී අක්කල අයියල එයාලගේ පෙම්වතුන් පෙම්වතියන් සමඟින් පෙම්බස් දොඩද්දී දෙපැත්තකට වී ඉන්න අපි දෙදෙනාට ඔවුන්
"උඹල දෙන්නත් සෙට් වෙලා ලව් කලානම් හරිනේ " කියා සමච්චල් කරත්දී . . . පුංචි අපේ හිත් වලටත් කුමක්දෝ නොදන්නා හැඟීමක් ගලා එන්න ඇති . . . .
එක තැනක එක විදිහට ඉන්න බැරි ඇගේ දාංගලේ පැත්තකට විසිකොට . . . මම ප්‍රමාද වී දහම් පාසැල් ආ දිනෙක . . . ගේට්ටුව අසල ඇති බුලු මුලේ වාඩිවී . . . මා එනතුරු . . . දෑස් දලවා බලා සිටි ඈ . . මා ලඟට එනවාත් සමඟ අතේ ගුලිකරගෙන සිටි නාරංබික් ලොසින්ජර අහුරක් මගේ අතේ තැබූ සැටි මට අද මෙන් මතකයේ තිබෙනවා . . . අනේ පුංචි අපි . . . !
පසුකලෙක ගොළුහදවත නවකතාව බැලූ පසු දම්මි සුගත්ට වෙරළු අහුරක් දිගු කල සිදුවීම මට මගේ යටගියාව සිහිපත් කලා . . .
අන්තර් දහම් පාසැල් නාට්‍ය තරඟයක් අපේ දහම් පාසැලේ සංවිධානය කර තිබුනා . . පිට දහම් පාසැල් වලින් පැමිනි සොයුරු සොයුරින්ට හැඩ ගැන්වීම සඳහා පංති කාමරයක් බැගින් ලබාදී අපේ කට්ටියේ අය ඔවුන්ට අවශ්ය යමක් ඇත්නම් සපයා දීමේ බලාපොරොත්තුවෙන් එකිනෙකා එක් එක් පංති කාමර බෙදා ගත්තා . . .
තරුශිටයි මටයි පංති පේලියේ කෙලවරේම පංතියක් ලබාදී තිබුනේ . . .
"උඹල අපේ පංතිත් ටිකක් බලා ගනිල්ල ළමයිනේ . . . අපි තේ එකක් බොන්න යනෝ . . ." කියාගෙන අක්කලා ටික අපිව තනිකර පැන ගියා . . .
වෙස්ගැන්වී අහවර උනු අය රංගශාලාවට ගියපසු ඔවුන්ගේ බඩු මුට්ටු ප්‍රවෙසම් කිරීමට ඉතිරි වූයේ ටික වේලාවකට ඇයත් මාත් පමනයි . . .
ඇගේ දෑතිම අල්ලගත් මා "මම ඔයාව ඉඹින්නද . . ." කියා ඇසුවා . . .
හා කියන දෙය කටින් නොව දෙනෙතින් පැවසූ ඇය . . . ඇගේ කම්මුලක් මගේ පැත්තට හැරවූවා . . .
මා සිනිදුවට ඇගේ කම්මුලක් සිප ගත්තා . . .
දැනටත් මතක් වෙද්දී හීන් සිනාවක් මගේ මුවට නැගෙනවා . . අනේ පුංචි අපි . . . !
ගැහැනු ළමයි නවකතාවේ ලොක්කයියාගෙත් කුසුම්ගෙත් කුඩාකල පටන් බැඳි වචනයයෙන් "මම ඔබට ආදරෙයි " නොකියූ පෙම මෙන් අපේ කුඩා පෙමත් සුන්දරව ගලා ගියා . . .
අපේ පාසැලේම මගේ නමම තියෙන අයිය කෙනෙක් ඇගේ ආච්චිලගේ ගෙදර ඇනෙක්සියේ පදිංචිවී සිටියා . නිවාඩුවට ආච්චිලගේ ගෙදර ගොස් ආපසු පැමිනි ඈ බොහෝ සෙයින් වෙනස් වී ඇති අයුරක් මට දැනුනා. පෙර මෙන් පෙම් බැලුම්, පෙම් සිනා,කෝමල කතා අතුරුදන්වී ඇති සැටියක් මට දැනුනා .
දිනක් ඉහත සඳහන් අයියාගේ මිතුරෙක් මා හමුවට පැමින, මල්ලී ඔයා අර තරුශි එක්ක ෆිට් නේද ? මේ ලියුම සුභාෂ් අයියා දුන්නා කියල එයාට දෙන්න කියලා මගේ නම ඇති සොයුරගේ නම සඳහන් කර මට ලිපියක් දී ගියා . . .
විදුලියක් වැදුනු සැනින් කෙනෙකුට කුමන හැඟීමක් දැනේවිදැයි මට එදා දැනී ගියා . . . .
ලිපිය ඉරා විසිකරන්න තරම් ක්‍රෑර නොවූ මා විවේක කාලයේ ඈ අතට ලිපිය දුන්නේ වෙව්ලන දෑතින්.
මගේ දෙනෙත් දෙස බැල්මකුදු නොහෙලූ ඇය එය ගෙන ගොස් පොතක් ඇතුලේ දමා විත් මා පසුකර කැන්ටිමට ගියේ මා කවුදැයි නොදන්න අයෙකු ලෙසින්.
එදින දහම් පාසැල නිමා වෙන තුරු කාලය මා කෙසේ ගෙවා ගත්තාදැයි මටම සිතා ගත නොහැකි වුනා. හැමදාම ප්‍රමාද වී යන අපේ කන්ඩායමෙන් වෙන්වී ඈ තනිවම ඉක්මන් ගමනින් පා නගනු මා දුටුවා.
සරම කොනකින් උස්සා ගත් මා වේගයෙන් දිවගියා. පන්සල මෙහා පැත්තේ වූ කෝන්ගස අසලදී මට ඈ හමුවූවා . . . .
"තරුශි. . . මට කියන්න ඇයි ඔයා ඔහොම කරන්නේ . . . ඔයාට ඔහොම කරන්න පුලුවන්ද ? මගේ සියලු ප්‍රශ්න වලට ඇගේ පිලිතුර නිහඬ බව පමනක් වූවා . . .
"අඩු තරමින් මට කියන්න ඔයා ආදරේ කරන්නේ මටද . . . නැතිනම් සුභාෂ් අයියාටද ? "
පුංචි මගේ මුවට එවැනි වදන් කෙසේ ආවාදැයි අදටත් මට සිතා ගත නොහැකියි . . .
කිසිදු පිලිතුරක් නොදුන් ඈ . . . අප දෙදෙනා . . . දෙදෙනාගේ නිවෙස්වලට යාමට වෙන්විය යුතු මංසන්ධිය හෙවත් පංසල පිටුපස කාක බෝධිය අසලටම ඇගේ එදින හුරුකරගත් ඉක්මන් ගමනින් පැමින . . .
"සුභාෂ් අයියාට කියා . . . මගේ දෙස වත් නොබලා පවසා පොත් ටිකත් ළමැදට තදකරගෙන ළමා සාරියේ මැදින් ටිකක් ඉහලට ඔසවාගෙන වේගයෙන් දිව ගියා . . . .
මාළු ටැන්කි හතක පමන ගෝල්ඩ් ෆිශ් . . ෆයිටර් . . සීබ්‍රාස් . . ඒන්ජල්ස් . . ආදී මාළු වර්ග ආසාවෙන් ඇතිකල . . . ලොකු පොත් 4ක් පිරෙන්න රට රට වල මුද්දර එකතු කල . . . පාට පාට පිහාටු . . . කාසි වර්ග එකතු කල . . . නමුත් දැන් ඒවාට ආසාවක් නැතිවී . . . ළමා වියෙන් එලියට පැනගත් . . . යොවුන් වියේ එලිපත්ත මත හිඳි කුඩා ලමයෙක් . . . අසල වූ කාක බෝධිය පසුපසට වී . . . මංසන්ධියේ මැදට වී . . . දුරින් දුවන . . . කුඩා දැරියක දෙස වේදනාවෙන් බලා හිඳින තවත් දරුවෙකු දෙස . . . අසරන හැඟීමන් බලා සිටියා . . . . !!!
Tuesday, November 27, 2012
වැලි කතරේ අපි . . .!
ගිනිගෙන දැවෙනා මිරිඟු දියෙන් පිරි
වැලිකැට පුපුරන වැලි කතරක් සරි
ගහක් කොලක් නැති දිය කඳුලක් නැති
මරු කතරක් ගැන ඇසුවෙමි බිය ඇති
මිනිසුන් යති එති කහවනු ගෙන එති
මැදුරුද තනවා සිටුවරු මෙන් වෙති
කහවනු ඇති මුත් බෝ දුක් එහි ඇති
කතරට යන්නට නොසිතනු පවසති
ගත සරසන්න සළු පිලි නැති මුත්
කුස පුරවන්නට මසවුළු නැති මුත්
කරදර අඟහිඟ බෝ දුක් ඇති මුත්
කිම යනු කතරට සුරපුර මෙහි වෙත්
දේසපාලුවන් මුලු රට වනසති
මහජන මුදලින් සෙල්ලම් පෙන්නති
ජීවන වියදම අහසට උඩයති
දුප්පත් අපගේ බඳපටි තදවෙති
දෙමාපියන් හා අඹු දරු විඳවති
නොබලා ඉන්නට සිත සවි බල නැති
මරු කතරේ නොව මරු මුව තුල ඇති
කහවනු ගන්නට යන්නට සිත ඇති
ආවෙමි කතරට උන් ගැන සිතලා
දහදුක් වින්දෙමි උන් සැප පතලා
කතරේ දුක් ගිනි සිත තුල වලලා
සිනා සිසී ඉමි උන් දෙස බලලා . . .!
Pic from: http://www.sciencedaily.com/releases/2009/11/091111115843.htm
Monday, October 8, 2012
අයියෝ සති දෙකයි . . .!!
ආන්ඩු පක්ෂෙම මන්ත්‍රී වරයෙක් උනු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාව මැතිවරණයක් දවසේම මහපාරේදී ස්වර්ගස්ථ කලා. මිනීමරුවන්ට රැකවරණය දීලා රට පැටෙව්වා කියලා චෝදනා කලා. මිනිස්සු කතා කලා, ෆේස් බුක් එකේ ගමේ කෝපි කඩේ හැම තැනම කතා කලා. කොයි තරම් කාලයක්ද? සති දෙකයි. ඉන් පස්සේ අපිට අමතකයි.
ඩෙංගු මදුරුවෝ මැරුවේ නෑ කියලා කැලනිය පැත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක්ව පාර්ලිමේන්තුවේ ඉන්න දුටුගැමුනු රජතුමාගේ පරම්පරාවෙන් පැවත එනවායි කියන ඇමැති කෙනෙක් විසින් ගස් බැන්දා. ගස් බැන්ද එකා දිවුරුම් පෙස්සමක් දීලා කිව්වා ඌ ම ඌව බැඳ ගත්තා කියලා. අපි කතා කලා. අපි ඒක ගැනත් කතා කලා. කොයි තරම් කාලයක්ද? සති දෙකයි . . .
"හදවතින් අපි යුධ බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ" කිය කියා අපි යුද්ධේ තියෙන කාලේ මැරෙන්න හැදුවා. අපිට නිදහස් රටක ජීවත් වීම වෙනුවෙන් යුධ බිමේ ජීවිත පූජා කරන රණවිරුවෝ වෙනුවෙන් ලේ ඇට මස් වුනත් පූජා කරන්න තරම් ලෑස්ති විදිහට උන්නු අපේ ඉස්මොල ගිනි ගත්තා බුද්ධි අංශයේම ඉඳන් රට වෙනුවෙන් සේවය කරපු මේජර් කෙනෙක්ට ඔලු කට්ට කුඩුවෙන්න ඇමැති පුතෙක් ගහපු බව දැන ගත්තාම. සී.සී.ටී.වී වලත් සටහන් වෙලා තිබ්බා කිව්වට පස්සේ මේජර්ම අර ගස් බැඳගත්තා කිව්ව සෞඛ්‍ය පරීක්ෂක කිව්ව විදිහටම කිව්වා මට ඌ ගැහුවේ නෑ ඌ මට ගැහුවේ නෑ කියලා. අපි ලේ රත් කරගෙන කතා කලා. කොයි තරම් කාලයක්ද පිංවතුනි . .. වැඩිම උනොත් සති දෙකයි . .
පුතාලට නයිට් රේස් තියන්න, එයාලගේ ආසාව සංසිඳවන්න ඉන්දියාවෙන් නිලියෝ ගෙන්වන්න ලෝස් නැතුව මහජන මුදල් වියදම් කලාට රටේ දරුදැරියෝ වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් දැනට වියදම් කරන 1.86% වෙනුවට අවම වශයෙන් සීයට 6%ක් දෙන්න කියලා විශ්ව විද්‍යාල වල ආචාර්‍යවරු පාරට බැහැලා වර්ජනය කරනවා. අපි ෆේස් බුක් එකේ ප්‍රොෆයිල් ෆික් එකත් සීයට 6ක් දීපියෝ කියාලා තියෙන එකක් දාගෙන ඒ ගැන උදේ හවා කතා කරනවා. (ෆේස්බුක් එකේ විතරක් නෙමේ හැබෑ ලෝකෙත්) අදටත් සක්‍රියව තියෙන ඒ අරගලය ගැන අපි උද්යෝගයෙක් කතා කලේ කොයි තරම් කාලයක්ද? සති දෙකයි . . සති දෙකයි . . .
ඊයේ 20-20 ෆයිනල් තිබුනු දා මිනිස්සුන්ගේ අවදානය වෙන අතක තියෙන වාසිය බලාගෙනද මන්දා අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට ගහලා කපලා හොස්පිටල් එකේ . . අපි ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. . . රටේ නීතිය හැමෝටම සමානව සාධාරන වෙන්න, රට වෙනුවෙන් ගන්න තීරණ රටේ යහපතට මිසක් පවුලක අයට කොමිස් ගන්න ජාතියේ ඒවා නොවන ලෙස වග බලා ගන්න රටේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය තනි කනුවක් උඩ අස්ථාවරව තියෙන දෙයක් විදිහට නොවී එකිනෙකාගේ බලය හා තීරණ ගැන ඍජුව ප්‍රශ්න කල හැකි නිදහස් කනු තුනක් ලෙස (තනි කෙනෙක්ගේ අතේ තියෙන දෙයක් නොවන ලෙස ) ස්ථාවර ව තියෙන්න ඕන දෙයක් කියලා අපි කතා කරනවා. මේ කතා කොයි තරම් කාලයක් තියෙයිද? සති දෙකයි පිංවතුනි සති දෙකයි . . .
ඉසෙඩ් ස්කෝර් එක අනා ගත්තා, ප්‍රශ්න පත්තර අල කර ගත්තා, කැම්පස් වැහුවා කියලා එස්.බීට බන්දුලට අපි බැන්නා. කොයි තරම් කාලයක්ද? සති දෙකයි. ..
බාල පෙට්‍රෝල් ගෙන්නුවා ඒවා නිසා වාහන මඟ හිට්ටා, එන්ජින් සවුත්තු උනා කියලා සුසිල් ප්‍රේම් ජයන්ත්ට බැන්නා . . . සති දෙකයි ඕයි සති දෙකයි . .
දැනට සතියක විතර ඉඳන් ෆේස්බුක් එකේ දිගට හරහට "කියන තැනකත වඳින්නම් ෆයිනල් මැච් එන නම් බලන්න එන්න අපෝ" කියලා කියද්දී මහජන මතය හික් හික් හික් (ෆේස් බුක් එකේ ඉන්න කීප දෙනෙක්ගේ මහජන මතය හික ) තුට්ටුවකට ගනන් නොගෙන මේ අපේ ජනාධිපති මැච් එක බලන්න ආවායින් ෆයිනල් මැච් එක පරාද උනා කියලා මිනිස්සු ෆේස් බුක් එක හරහායි .. කටින් කටයි බනින එකට සමහර අයට හොඳටම තද වෙලා. ඒ අයටත් කියන්න තියෙන්නේ ගනන් ගන්න එපා ලා බන් . . ඔය බැනිල්ල සති දෙකයි . . .
ඕන නම් සති දෙකකට කලින්ම ඩීසල්, පෙට්‍රෝල්, පාන්, හාල්, ඔය ඕනෑම දේක මිල දෙගුනයක් වැඩි කරලා ජනාධිපතිගේ ජෝකර්ලා සෙට් එකේ එස්.බීගේ හරි මර්වින්ගේ හරි බන්දුලගේ හරි වෙන ජෝකර් කෙනෙක්ගේ හරි ගොන් පාර්ට් එකක් පොඩ්ඩක් උලුප්පලා නිවුස් එකක් දාන්න. අපි ඒ ජෝකර්ට උගේ අම්මට සති දෙකක් තිස්සේ බනින්නේ නැද්ද බලන්න . .. .
ඕන් දැක්කා නේද සිරි ලාංකික අභිමානය සති දෙකයි ඕයි . . . සති දෙකයි . ..
ඒ නිසා අර බනින උන්ට සති දෙකක් දුක යන්නත් එක්ක බනින්න දීලා එහෙම බනිනවා දැක්කාම දුක හිතෙන අය අනේ මේ සති දෙකේ ෆේස් බුක් එන්නේ නැතුව ඉන්න . . මොකටද නිකන් ප්‍රෙෂර් හදාගන්නේ . . හික් හික් හික්
Wednesday, October 3, 2012
Facebook වෝල් පුරවන බෞද්ධ යැයි කියා ගන්නා වානරයෝ . . . !
අපි පරිනාමය වෙමින් පවතින වානරයෝ වෙමු. . . !
වානරයෝ නිතරම බලය මත තමන්ගේ පැවැත්මේ තත්වය රඳවා ගන්නා ජාතියක්.
වානර රැලක නායකත්වය – ගැහැනු සතුන්ගේ අයිතිය වගේ දේවල් හිමිවෙන්නේ කාය ශක්තිය හෝ බලය වැඩි වානරයාට.
අනෙක් වානරයෝ ඔහුගේ නායකත්වය පිලිගෙන ඔහුගේ අණට අනුව ජීවත්විය යුතුයි.
ඒ අණට අකීකරුවෙන එකා එක්කෝ පහරකා වැනසෙන්න ඕන නැති නම් වානර රැල අතහැර තනිවම කැලෑ වදින්න ඕන.
පවුල කියන කුඩාම සංකල්පය ඇතුලේ ස්වාමියා කියන වානරයාට ඕන බිරිඳ කියන වානරයා තමන්ගේ සියළු වැඩකටයුතු නිසි වෙලාවට කර දෙන ඊට අමතරව තම වර්ගයා බෝ කරන වහලියක් වෙනවා දකින්න.
බිරිඳ කියන වානරයට ඕන සැමියා කියන වානරයා තමන්ගේ අතේ නැටවෙන රූකඩයක් කරගන්න.
තාත්තා කියන වානරයට ඕන දරුවෝ, ගෑනි එයාගේ නායකත්වය පිලිගෙන කිසි දෙයක් ප්‍රශ්න නොකර එයාට බයෙන් ඉන්න.
අම්මා කියන වානරයට ඕන තාත්තා සහ දරුවෝ තමන් කියන විදිහට ජීවත් වෙන අය වෙනවා දකින්න.
ලිංගිකව හෝ වෙන භෞතිකමය දෙයකට ආකර්ෂනය නොවී අධ්‍යාත්මිකව ආකර්ෂනය වීම නිසාම ඇතිවෙන මිතුරු සමාජෙකදී උනත් අපිට අපේ අර සම්පූර්ණයෙන් පරිනාමය නොවුනු ලක්ෂන පහල වෙනවා.
එක වානරයෙක්ට ඕන වෙනවා ඒ මිතුරු කන්ඩායමේ නායකයා මඟ පෙන්වන්නා වෙන්න.
සමාජය ගත්තොත් ගමේ මරණාධාර සමිතියටත් නායකත්වයට සභාපති ලේකම් කෙනෙක් ඕන වෙනවා.
සමාජිකයෝ කියන වානරයෝ ටිකට උන් කරන්නේ මොනවද කරන්නේ කොහොමද කියන එක සිවිලයිස් වුනු මනුස්සයන්ට වගේ හිතවත්කමින් විසඳගන්න බෑ ඒකට නායකත්වය දෙන වානරයෙක් ඕනම වෙනවා.
ඔෆිස් එකේ ලොක්කා කියන වානරයා කැමතියි තමන් යටතේ වැඩකරන වානරයෝ තමන්ගේ නායකත්වය පිලිබඳව තමන් නිතරම දැනුවත් කරනවට . .
ඒකට ඔහු යොදා ගන්නේ “සර්” කියන වචනය. සේවක සේවිකා වානරයෝ ඔෆිස් එකේ වානර නායකයට සර් කියලා අමතලා ඔහුට යටහත්ව පහත්ව ඉන්න ඕන.
මගේ ඔෆීසියේ ලොක්කන්ට අපි හැමෝම කියන්නේ එවාන් / ස්ටුවර්ට් කියලා. අඩු තරමේ මිස්ටර් එවාන් මිස්ටර් ස්ටුවර්ට් කියල වත් කියන්නේ නෑ ඔවුන් එහෙම කියනවට අකමැති නිසා.
කලින් වයසක පහේ ඩිරෙක්ටර් කෙනෙක් හිටියා ගෝර්ඩන් කියලා. කවුරු හරි මනුස්සයට “සර්” කිව්වොත් “මට තාම රැජිනගෙන් නයිට් නාමේ ගන්න බැරි උනා . . ඒ නිසා මට දනට ගෝර්ඩන් කියපන්” කියලා වහාම කියනවා.
එහෙම බැලුවාම සමහර බටහිර අධිරාජ්ය වාදී (ඌරුවංශ කියන විදිහට) රටවල වානරයෝ ආසියාතික අපිට වඩා සිවිලයිස් වෙලා කියලා හිතෙනවා.
ඒකට අපේ රටේ.
ඉන්න ඇමතියගේ ඡන්ද ව්‍යාපාරෙදි පෝස්ටර් අලවපු හෙංචයියෙක් නිසා ම පියන් ජොබ් එක ලැබුනු රජයේ කාර්‍යාලයක පියන් කියන වානරයට උනත් එතනින් වැඩක් කර ගන්න යන ඩොක්ටර් හරි ඩිරෙක්ටර් හරි කවුරු නමුත් සර් හරි මිස්ටර් හරි කියන්න ඕන. නැතිනම් ඉතිං සොරි ඩොට් කොම් තමයි.
අට පාස් වෙච්චි ඇමති වානරයගෙන් පත්වීම ගන්න මහාචාර්‍ය වරයා කියන වානරයා හතරට පහට නැමිලා ඇමතියගේ බඩ අතගාලා වැඳ වැටෙන්න ඕන.
උගත් කමට තැනක් ලැබෙන්නේ සිවිලයිස් සමාජෙක. වානර සමාජයේ තැන ලැබෙන්නේ බලය තියෙන එකාට.
සමහර බටහිර රටවල ජනාධිපති / අගමැති හෝ ඇමති කියන නායකයෝ වැරදි කලහම මහජනයා කියන අය ඒකට විරුද්ද උනාම ඉල්ලා අස්වෙනවා, එහෙම නැති නම් බලයෙන් පහකරනවා ප්‍රවෘත්ති වල දකිනවා. ඒ සිවිලයිස් උනු වානරයෝද?
අපේ රටේ නම් ඇමති පුතා කියන වානරයා රට වෙනුවෙන් සේවය කල (ටික කාලෙකට ඉස්සර අපි වානරයෝ "හදවති අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ" කිය කිය මැරෙන්න හදපු) රණවිරුවෙක් කියන වානරයෙක් ට ඔලුව කුඩු වෙන්න ගැහුවත් ගුටි කාපු වානරයා කියන්න ඕන මට ගැහුවේ ඌ නෙමේ කියලා.
බලය තියෙනවා කියලා අපි වගේ සාමාන්‍ය වානරයෝ හිතාගෙන ඉන්න වානරයෙක්ට එහෙම නම්, කිසිම බලයක් නැති සාමාන්‍ය අපි වගේ වානරයෝ බලය තියෙන එකා ඉස්සරහා නැට්ට පුකේ ගහගෙන ම ඉන්න ඕන කියලා මතක තියා ගන්නවා හොඳා.
අනික අපේ වානර ගති කොයි තරම්ද කියනව නම් නායක වානරයෝ (තාත්තා, අම්මා, සභාපති, බොසා, මන්ත්‍රියා, ඇමතියා, ජනාධිපතියා මොකා උනත් ) තමන් වගේම සමාන අයිතිවාසිකම් තියෙන සමානයෙක් කියලා අපි වානරයෝ හිතන්නේ ම නැති එක.
අපි වානරයෝ හිතන්නේ ඒ අයට ඕනම වැරැද්දක් කරන්න අයිතිය තියෙනවා – මොකද ඒ අය නායකයෝ කියලා.
එහෙම බැලුවාම මහ ලොකුවට අපි බෞද්ධයෝ කියලා ෆේස් බුක් එකේ වෝල් එක පුරවන එක මහා ලොකු විහිලුවක්.
මොකද බෞද්ධාගම කියන දර්ෂනය සොයා ගත්තු ගෞතම කියන සාශ්තෲ වරයගේ මූලික පරමාදර්ෂයක් තමයි සියළු සත්වයෝ සමානයි කියන එක හෙවත් සමානාත්මතාවය.
සැඩොල් කුලේ එකාත් ශාක්‍ය කුලේ එකාත් එකම බුදු සසුනේ මහන වෙන්න සුදුස්සෝ කියලා එතුමා කියලා තියෙන්නේ.
මිනිහෙක් බ්‍රාහ්මණයෙක් හරි වසලයෙක් හරි වෙන්නේ උපතින් නෙමේ ක්‍රියාවෙන් කියලා එතුමා කියලා තියෙන්නේ.
නායකයෝ කියන වානරයෝ තමන්ට වඩා අසමන අය, උන් මොනව කලාම අපේ මොකෝ කියලා හිතන උන් බෞද්ධාගමට අනුව ජීවත් වෙන සිවිලයිස් මනුස්සයෝ වෙන්න බෑ. . .
උන් තාම පරිනාමය වෙමින් පවතින වානරයෝ . . . !!
අසාධාරණය දැක්කාම ඒට එරෙහිව නැගී සිටින්න කොන්ද පන නැති . . එහෙම නැගී සිටින උන් දැක්කම උන්ට විරුද්ධව මඩ ගහනන හොරිකඩයෝ ත් ඒ උතුම් සමානාත්මතා ධර්මය පිරුනු දර්ෂනය අදහන්න වටින උන් නෙමේ . .
උනුත් සාමාන්‍ය අනිත් එකාට බයේ මුලුගැන්විලා ඉන්න, බලය තියෙන එකාගේ බලය පිලිගෙන අත්දෙක දෙපැරැන්දේ ගහගෙන වකුටු වෙලා ඉන්න වානරයෝ . . !
බලය තියෙන වසලයා කරන වසල වැඩ ඌ බලය තියෙන එකානේ ඒ නිසා කමක් නෑ කියලා ඌගේ වසල වැඩ වලට හුරේ දාන උනුත් සිවිලයිස් මනුස්සයෝ නෙමේ ඌත් තාම පරිනාමය වෙමින් පවතින වානරයෝ . . !
එහෙව් එකේ "අපි පරිනාමය වෙමින් පවතින වානරයෝ වෙමු. . . !" කියලා මම කිව්වේ බොරුද හා?
Pic From: http://elijahthewaterman.blogspot.com/
Monday, September 3, 2012
සුභ උපන් දිනයක් වේවා මගෙ පුතේ ඔයාට . . . !
මා පෙලන මේ පාලුව තනිකම විඳ ගැනීම බොහෝම අසීරුය.
බොහෝ හිතවතුන් අසල ගැවසුනත් ඒ මහා විසාල හිස්තැන පුරවන්න සමත් කිසිවක් නැත.
දූවිලි පිරුනු මැදපෙරදිග අහසේ තරු දැකීම අහම්බයක් පමනි.
ඊටත් මේ ගිම්හානයේ සෙල්සියස් අංශක 40ට වැඩි ගිනි රස්නය ගතේ දාබිඳු නංවමින් පාලු මකන තරුවක් සෙවීම ඉවත ලන්න බල කරයි.
ස්කයිප් කතාබහකට මගේ සොඳුරු ත්‍රස්තවාදියා - විරුල් ගෙන්වා ගැනීම බොහෝ අපහසුය.
ඔහු මා සමඟ තරහින්ද? මගේ හිත හඬා වැටෙයි.
පසුගිය ජුනි මාසයේ ඔවුන් තනිකර මා මෙහි ආවේ "පුතේ ලංකාවේ ලස්සන හොට් වීල්ස් කාර් නෑනේ. අප්පච්චි ඩුබායි ගිහින් ඔයාට ඒවා අරන් එන්නම් කියායි"
ඒ අලුත නිතර ස්කයිප් එකෙන් මා හා දොඩමලු වූ විරුල්ට නිවාඩු යන මිතුරෙක් අතේ ඔහු ඉල්ලා සිටි හොට් වීල්ස් කාර් ගේම් එකක් යැවීමි.
ස්කයිප් එකෙන් එය පෙන්වද්දී "අප්පච්චී ඕක ඔයාගේ ලොකු බෑග් එකේ දාගෙන ඔයා එන්න" කිව්වේ ඇත්තෙන්ම මා එතැයි විස්වාස කරගෙන විය හැකියි.
පොරොන්දු වූ සෙල්ලම්බඩුව ලැබුනු පසුත් මා නො එන්නේ ඇයිදැයි ඔහුට හිතෙනවා ඇති.
"මම තව ලස්සන සෙල්ලම් බඩු මගෙ පුතාර අරන් එන්නම්"
"අනේ අප්පච්චී සෙල්ලම් බඩු නැතැත් කමක් නෑ ඔයා එන්න" විරුල්ට එසේ සිතෙනවා ඇති.
කොල්ලට සිතෙන හැම දේ කියා ගන්න බැරි වීම කොයි තරම් ලොකු දෙයක්ද?
ඒත් මගේ හිත දෙගිඩියාවෙන්.
මට තාත්තගේ ආදරේ ඕන කරපු පුංචි කාලේ හිත පුරා ඒක නොලැබුනායින් වුනේ හිතේ සුව නොවෙන තුවායලක් වගේ තාත්ත ගැන තරහක් ඇතිවුනු එක.
සුනේත්‍රාගේ පූර්ව ජන්ම අපූර්වය පොතට පින් සිද්ද වෙන්න ඒ තුවාල නම් සනීප උනා තමා.
මම හිතුවේ මට වුනු දේ නම් මගේ පුතාට වෙන්න ඉඩ දෙන්නේම නෑ කියලමයි.
ඒත් මේ අනාගතේ වෙනුවෙන් වර්තමානය කැප කරන එකෙන් මගේ පුතාගේ හිතේත් මම එක්ක තරහක් ඉතුරු වෙයිදෝ කියලා සැකයි.
පුතා ලොකු වෙලා කරුනු තේරෙන දවසක ඒක සමාව දේවි . . එත් . . ඒත් එදාට ගොඩක් පරක්කු වැඩි උනොත් . . .
අදට පුතාට අවුරුදු පහයි . . .
හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්
කසුන් කල්හාර මේ අප්පච්චිලා ගැන කියන අපූරු ගීතයත් අහලා බලන්න.
Saturday, August 25, 2012
දික්කසාදය | Divorce . . . !
අප එක්ව තෙමංසලකට පැමින සිටින්නෙමු.
මින් ඔබ්බට ඔබ එක මඟකත් මා අනෙක් මඟත් යායුතුය.
ඒ මඟේ යන ගමනේදී මගේ සුරතින් අල්ලාගන්නට කෙනෙක් වේද, ඔබේ සුරතින් අල්ලා ගන්න කෙනෙක්වේද යන ප්‍රශ්නයට පිලිතුරු දීම අනාගතයට භාර කරමු.
අපගේ ප්‍රේමයේ නාමයෙන් ! ප්‍රේමයේ නාමයෙන් ?? ප්‍රේමයේ නාමයෙන් @#$%^&
හ්හ්ම්ම්ම් . . අපගේ ප්‍රේමයේ නාමයෙන් උපන් දරුවා අප පිටුපසින් විපක්ෂිත දෑසින් අප දෙදෙනා දෙස බලා සිටිනු පෙනේ.
මම දරුවාගේ දෑස් දෙස නොබලන්නට ප්‍රවේසම් වෙමි.
ඒ දෑසේ පොපියන කඳුළු කැට වෙත්නම් එය අපගේ තීරණය වෙනස් කල හැකි සාධකයක් වෙදෝයි කියා සැකයක් මට ඇත. මම ඒ දෑස් දෙස නොබලා ඉන්නට හැකි වීරිය යොදමි.
ප්‍රේමය, ප්‍රේමය ප්‍රේමය . . .!!!
එය සැබෑවක්ද? නැතිනම් නිකම්ම නිකම් හිස්වචනක් පමනක්ද?
කවියන් දාර්ෂනිකයන් පතුරු ගසන ප්‍රේමය නම් මහා සුපිරිසිදු ගංගාවේ අප ගිලුනාද?
නැතිනම් ප්‍රේමය කියා නමක් ඇති යම් කිසි මනෝ භාවයකට අප රැවටුනාද?
ඔබ මට ඇත්තෙන්ම ප්‍රේම කාලද? මා ඔබට ඇත්තෙන්ම ප්‍රේම කලාද? නැතිනම් අප එකිනෙකාව රැවැට්ටුවාද?
රැවටුනේ ඔබද නැතිනම් මාද?
"මෙයාලගේ ප්‍රේමය නිසා උනේ මම මේ ලොකේ අසරන වුනු එක" කවදා හෝ වැඩුනු දිනෙක අපේ දරුවා එසේ නොකියාවිද?
මේ ප්‍රශ්න වලට උත්තර සොයන්න අතීතය නම් මිනීවල යලි හාරා බලා මිනීකුනු ගඳ ගසන අතුන්බහන් වලින් යලිත් අප එකිනෙකාට දමා ගසනවාට වඩා දෙමඟක යෑමේ තීරණය වඩා වටින්නේ නොවේද?
මම දරුවාගේ දෑස් දෙස නොබලන්නට ප්‍රවේසම් වෙමි.
වසර ගානනාවකට කලින් අපගේ ප්‍රේමයේ සාක්ෂිකරුවන්වූ අප මිතුරන්ගෙන් අපගේ වෙන්වීමේ ත් සාක්ෂිකරුවන් වන ලෙස මා ඉල්ලා සිටිමි.
මතකය වසර ගනනාවකට කලින් වූ කාලයක් වෙත ඉගිල යයි.
"මචං . . මට අර දෙවෙනි පේලියේ තුන්වෙනියට ඉන්න කෙල්ලව යාළු කර ගන්න ඕන. අද ම ලන්ච් බ්‍රේක් එකෙදි උඹ එයාගෙන් අහනවද?"
"අනේ මචං අදට - අදට විතරක් විසිවෙනි පාර උනාට කමක් නෑ අදට විතරක් අහපන් එයා මට කැමතිද කියලා"
"මචං, එයාට කියපන් එයා කොයි තරම් බෑ කිව්වත් මම කවදා හරි බඳින්නේ එයාවමයි කියලා"
"අනේ එයාට කියන්න මම කලින් බෑ කිව්වා තමයි . . ඒත් පස්සේ මම තේරුම් ගත්තා මට හරියන කෙනා එයා කියලා. එයාට කියන්න ගෙදරින් කතා කරපු එකට අකමැති වෙන්න කියලා. මම කැමතියි කිව්වා කියන්න . . ප්ලීස් . . "
එදා එසේ අපගේ ප්‍රේමයේ සාක්ෂි කරුවන්වූ ඔවුන්ට ම
"මචං අපි වෙන්වෙන්න තීරණය කලා. බැන්ද දවසේ ඉඳන් අපි අතරේ ප්‍රශ්න තිබුනා කියලා උසාවියට ඔප්පු කරන්න සාක්කි කාරයෝ ඕනලු. උඹට පුලුවන්ද අපේ වෙන්වීමේ සාක්කි කාරයෙක් වෙන්න" යි කියා ඇසීම දෛවය ඔවුන්ට කල සරදමක් ලෙස නොසිතේවිද?
ඇත්තෙන්ම එය දෛවයේ සරදමක් නොවේද?
"පවුලක් විනාශ කිරීමේ පාපයට හවුල් වන්න මට නම් බෑ" ඔවුන් නොකියාවිද?
"අර දරුවට මොකෝ වෙන්නේ? ඒ දරුවගේ නාමයෙන් වත් උඹලට එකට ඉන්න බැරි ඇයි" ඔවුන් නොඅසාවිද?
පවුලක් සහ දරුවෝ . . . !!
පවුලක් යනු ඉඳහිට අඩදබර වෙන, සමඟියෙන් එකමුතුව ප්‍රශ්නවලට මුහුන දෙන කන්ඩායමක් හඳුන්වන නාමකැයි මගේ නිර්වචන ඔවුන් පිලිගනීවිද?
යහපත් දරුවන් සමාජයට දායාද වන්නේ එසේ සමඟිගෙන් සතුටෙන් සිටිනා පවුල් වලින් පමනකැයි යන මගේ අත්දැකීම් පරිපූර්ණ පැහැදිලි කිරීම ඔවුන් විස්වාස කරාවිද?
එකිනෙකා කෙරෙහි ඇති නොරිස්සුම, වෛරය නිසා අපට අපගෙන් පලිගන්න අවස්තාව නැතිවූ විටෙක පලිගැනීමට ලක්වෙන දරුවා, අපගේ වෙන්වීමෙන් වැඩියෙන්ම යහපතක් වෙන කෙනා බව මගේ පෙන්වා දීම ඔවුන් තේරුම් ගනීවිද?
මම දරුවාගේ දෑස් දෙස නොබලන්නට ප්‍රවේසම් වෙමි!
- කෙටි කතාවකි -
Pic From: http://vsmeets.wordpress.com/2011/11/09/happily-divorced/
Tuesday, August 14, 2012
සාරභූමිය
ඒකට හැමෝම කිව්වේ සාරභූමිය කියලා.
අහම්බෙන් වැටෙන ඇටයකින් උනත් රූස්ස ගහක් හැදෙන්න තරම් සාරවත් බවක් එකේ තිබුනු නිසාම එහෙම කියන්න ඇති.
ඒක ඇත්තෙන්ම බටහිර අධිරාජ්‍යවාදීන්ට අයිති ඉඩමක්. ඔවුන් එකට දාලා තිබුනු නම වුනු “සයිමන් ස්පේස්” කියන එක හැදිලා තිබුනේ ඒක මුලින්ම මිලදී ගත්තු සුද්දා - සයිමන්ගේ සාවිය කියන එකෙන් කියලා දැනගන්න ලැබුනේ කාලෙකට පස්සේ.
මෑත කාලයේ සාරභූමිය හෙවත් සයිමන්ගේ සාවිය හෙවත් සයිමන් ස්පේස් එකේ කටයුතු සිද්ද උනේ මහා පුදුම අකාරයකට.
පස්සේ කාලේක මේ ඉඩමේ අයිතිය ලබා ගත්තු බටහිර අධිරාජ්‍යවාදීන්, මේ ඉඩම තමන්ගේම කියලා දෙයක් වවාගන්න කැමති නමුත් ඒකට අදාල බර-පැන නැති එහෙම නැතිනම් බර-පැන තිබබ්ත් තාක්ෂනික දැනීම නැති අයට පහසුවෙන් තමන්ගේම කියලා දෙයක් වවා ගන්න කියලා මේ ඉඩමේ කොටස් නොමිලේ ලබා දෙන්න තීරණය කලා.
නොමිලේ ලබාගන්න ඕන වුනු අයට කරන්න වුනේ බොහෝම සුළු දෙයයි.
ඒ බටහිර අධිරාජ්‍යවාදීන්ට අයිති එන්.ජී.ඕ එකේ සාමාජිකත්වය ඉල්ලලා තමන්ගේ නම ගම ආදිය සටහන් කරපු ඉල්ලුම්පත්‍රයක් යවන එක විතයි.
ඊලඟ දවසේ ඉඳන් ඉඩම තමන්ගේ.
කැමති කැමති අයට හිතේ හැටියට වවන්න පුලුවන්.
වෙන වෙන රටවල මේ ක්‍රමේට ඒ අයම ඉඩම් ලබා දීලා තමන්ගේම කියලා ඉඩමක වවන එක කාලෙකට කලින් ඉඳන් ජනප්‍රිය වෙලා තිබ්බත් අපේ අයට ඒක අල්ලලා ගියේ බොහෝම මෑත කාලෙදි.
කට්ටිය හිතේ හැටියට වවන්න පටන් ගත්තා. පුංචි කාලේ ඉඳන් අනුන් වවපු දේවල් දිහා බලාගෙන හිතේ විතරක් දළු දාමින් තිබුනු ගස්-වැල් තව දුරටත් හීනයක්ම නොවී හැබෑවටම අත්විඳින්න ලැබුනා.
ආසාවෙන් පොහොර වතුර දාදා ඒ තමන්ම පැල කරපු ගස් වැල් මෝරන දිහා ඇස් වල කඳුලු පුරවාගෙන බලන් හිටියා.
වත්තේ වැවුනු මල්-පළතුරු අහලින් පහලින් යන අය එක්ක, අහල පහල වතු වල අය එක්ක බෙදා හදා ගත්තේ උතුරා යන සන්තෝෂයෙන්.
අහලින් පහලින් ගිය අය “ෂා මේ වත්තේ මල් හරිම ලස්සනයි, මේ පළතුරු හරිම මිහිරියි කියල කියද්දී අත්වින්දේ පුදුම නිරාමිස ප්‍රීතියක්.
සමහර අය නීරස ගෙඩි උනත් රසයි කිව්වා වත්තේ අයිතිකාරයගේ හිත රිදෙයි කියලා හිතලා. ඒත් ඇත්ත ඇති සැටියෙන් කීම වගා කරන කෙනාට කරන උදව්වක් විදිහට හිතපු සමහර අය නම් “මේ ගෙඩි නම් මෙලෝ රහක් නෑ බන්” වගේ කතා කිව්වා.
කොහොම නමුත් හැමෝම මල් පලතුරු විතරක් වැව්වේ නෑ. සමහරු නීති විරෝධී දේත් වැව්වා. පරිසරයම ගඳ ගස්සන කීඩාරම් මල් එහෙමත් වවපු අය හිටියා.
ඒත් මේ මල් පලතුරු වල සුවඳ – රස හොඳින් අඳුන්න පුලුවන් තරම් රසඥතාවයක් තිබුනු අය හොඳම මල් වතු – හොඳම පළතුරු උයන් වලට ගිහින් ඒ මල් වල අපූර්වත්වය වින්දා . . .පළතුරුවල මිහිර රසවින්දා
එක ජාතියේ මල් – පළතුරු වලට කැමති අය එක එක පොඩි පොඩි හවුල් හදාගෙන එයාලා වවන දේවල් වල අත්දැකීම් බෙදා හදා ගත්තා. එයාලා වවන්න ආසාකරන දේවල් ගැන අදහස් හුවමාරු කර ගත්තා.
ඔව් ඔව් අපේ අයගේ ඕනේම හවුලකට සහභාගී වන මිතුරා “මධුපාන්‍ය”ත් ඒ තන් වල නිතරම ගැවසුනා. ඒත් ඒ මධුපාන්‍ය ඒ මිතුරු සමාගම් වල සමාගම රකින්න එකතු වුනු කෙනෙක් විතරක් උනා.
“මධුපාන්‍ය” වෙනුවෙන්ම ඇතිවුනු මිතුරු සමාගමුත් මේ වැවිල්ල නිසා ඇතිඋනා කිව්වොත් ඒක බොරුවක් නෙමේ.
සරලව කිව්වොත් මධුපාන්‍ය ට ලොල් වෙච්චි අය, ඒක තමන්ගේ ආත්මයේ කොටසක් කර ගත්තු අය ඒ වෙනුවෙන් මිතුරන් ඇති කර ගන්න මේ වැවිල්ල යොදා ගන්නවා කියලා එහෙම නොකරපු අයට සාධාරණ සැකයන් පහල උනු අවස්ථාත් තිබුනා.
කොහොම නමුත් මේ එක් එක් කුඩා කන්ඩායම් කල්ලි අතරේ තිබුනු මත ගැටුම්, තමන්ගේ වත්තේ වැවෙන දේවල් වල අගය සහ අනුන්ගේ වතුවල වැවෙන දේවල් වල නිස්සාරත්වය, කල්ලි ගැසීමේ හොඳ කම සහ නරක, මධුපාන්‍ය සහ ශෘන්ගාරය මේ වැවිල්ලට සම්බන්ධ කර ගත යුතුද වගේ මාතෘකා ඔස්සේ සුහදව ගල ගියා මිසක් එතනින් එහාට ශාරිරිකව හෝ මානසිකව වදයක් දෙන තරම් ලොකු රන්ඩු සරුවල් වුනේ නෑ.
මොකද සමහර අය අනුන්ගේ වතු වල වැවෙන මල්-පළතුරු රසවින්දාට ඒවායේ අයිතිකාරයා හරියටම කවුරුද කියලා නොදැන හිටි අවස්ථා ඉඳන් තිබ්බා.
එහෙම වෙන්නත් හේතු තිබ්බා. සමහර වවපු අය කැමති උනේ නෑ තමන්ගේ අනන්‍යතාවය එලි කරන්න. ඒ අය කිව්වේ “මගේ වත්තේ මල් වල පළතුරු වල රසය-සුවඳ විතරක් විඳින්න වවන කෙනාගේ ජාතකේ නොසොයන්න – වෙනස් විදිහකට කිව්වොත් “මයියොක්කා ගන්න ආවනම් මයියොක්කා අරගෙන පලයන් වත්තේ හතර මායිම් නොසොයා” වගේ ජාති වහෙන් ඔරෝ කිව්වා . . . එහෙම නැතිනම් කිව්ව බව දැන ගන්න ලැබුනා.
සුවඳ–ගඳ මල්, රස-නීරස පළතුරු, සුහද සංවාද – පුංචි පුංචි මතවාද – අඬදබර තිබුනු සාරභූමි වතුයාය උඩු යටිකුරු වුනේ සාර්ථක වවන්නෙක්ගේ මඟ පෙන්වීමෙන් එකතු උනු අලුත් වවන්නෙක් නිසා.
මුලින් ඔහුත් කිසිම වෙනසක් නැති අන් අය වගේම තමන්ගේ කියලා දෙයක් වවා ගැනීමේ පරම චේතනාවෙන් වවන්න එක් වුනු වවන්නෙක් ලෙස පෙනී සිටිය නමුත් ඔහු ඔහුගේම ඇජෙන්ඩා එකකට – (න්‍යාය පත්‍රයක් කියමූ) අනුව වෙනස්ම ප්‍රතිලාභ බලා පොරොත්තුවෙන් වවන්න ආවෙක් බව අනෙක් අයට දැන ගන්න ලැබෙන කොට, සාරභූමි වතුයායේ සාරය අසාරය වෙයිදෝ කියා සිතන මන්සන්ධියකට පැමින තිබුනා.
කරුනාසේන ජයලත්ගේ රිදී නිම්නය නවකතාව කියවලා තිබුනු අය ඔහු ගැන කිව්වේ සිල්ලර එලිය හෙවත් රිදී නිම්නය (සිල්වර් වැලි) විනාස කරන්න ආපු සොයිසා වගේ පිලිලයක් කියලා, "හිස්ට්‍රි රිපීට්ස් කියන්නේ මේකයි මචං" කියලා කියපු අයත් හිටියා.
සොයිසා සිල්ලර එලියේ ඔහුට බාගන්න පුලුවන් උනු කොල්ලන්ව බේබද්දෝ කලා, කෙල්ලන්ව ගණිකාවෝ කලා, සොයිසාගෙන් පිනට බොන්න ආපු අය සොයිසාගේ හෙංචයියෝ විදිහට තියාගෙන සිල්ලර එලියේ සාමාන්‍ය මිනිසුන්ට එරෙහිව, එහෙම නැතිනම්සොයිසාගේ ජඩ වැඩ වලට එරෙහිව කතා කරන ලියන මහත්තයා වගේ අයට එරෙහිව පවා කල්ලි ගැහිලා වටවෙලා ගැහුවා.
ඒ වගේ ඔහුත් ඔහුට බා ගන්න පුලුවන් වුනු අයව ඔහුගෙ හෙංචයියෝ විදිහට තියාගෙන ඔහුගේ වැවිල්ලට ඔහුගේ වැඩවලට විරුද්ධ ව යමක් කියන අයව මර්ධනය කරන්න යොදා ගත්තා. (මේ සමහර අය ඔහුගෙන් පිනට බොන්න ආපු අයම නෙමේ ඔහු සැබෑ මිතුරෙක් කියලා වැරදියට වටහා ගත්තු අයත් මේ හෙංචයියා කල්ලි වල හිටියා)
කොහේ හරි දෙන්නෙක් තුන්දෙනෙක් අතර මත භේධයක් තියෙනවා දැක්කොත් (යටි හිතේ වෙනස් බලා පොරොත්තු තියාගෙන නෝර්වේ රජයෙන් සාම සාධකයෝ එනවා) වගේ ඔහු සාම සාධකයා උනා.
පස්සේ හතර පැත්තම කොටවලා කුකුල්ලු කොටවන්න පොර පිටියට තමන්ගේ වත්ත දෙනවා වගේ මරා ගන්න අයට ගහ මරා ගන්න තමන්ගේ වත්තේ ඉඩ දුන්නා.
දිය යටින් ගින්දර ගෙනිහින් හතර අතේ කෙටෙව්වත් ඔහු නිතර පෙනී සිටියා ඔහු තමයි සයිමන් ස්පේස් එකේ හෙවත් සාරභූමියේ ආරක්ෂකයා එහෙම නැතිනම් ගැලවුම් කරුවා වගේ.
මොකද මුලින් ඔහු සැබෑ මනුස්සයෙක් කියලා වැරදියට වටහා ගත්තු අය ඔහුගේ මූලිකත්වයෙන් හෝ සහභාගීත්වයෙන් වවන්නන් අතර සුහද හමුවක්, පොහොර, බීජ නැති අය කීප දෙනෙක්ට ආධාර ලබා දීම් වගේ ඉසව් කීපයක් සංවිධානය කිරීමේදී ඔහුගේ සහාය ලබා ගත්තා. හැබැයි මේ හෑම් තැනකදීම ඔහු තනියෙම සියළු දේ කලා වගේ හැඟීමක් සැබෑ තත්වය නොදන්නා අයට අඟවන්න පුලුවන් වෙන විදිහට රඟපාන්න තරම් ඔහුගේ කපටි මොලේ වැඩ කලා.
කොහොම නමුත් ඔහුගේ බැටළු හමට යටින් තියෙන නරි මූන "එක වවන්නෙක්" හෙලි කරනකොට ඔහු බොරු හිතවත්කම් පෙන්නලා වවන්නෝ කීප දෙනෙක්වම අපහසුවට පත්කරලා ඉවරයි.
අන්න එතනදියි ගොඩක් අයට වැටහුනේ ඔහුගේ අපේක්ෂාව වැවීම නෙමෙයි කියන එක.
ඔහුට ඕන වුනේ වවන්නෙක් විදිහට පෙනී සිටිමින් ඔහුගේ වෙනත් ව්‍යාපරවලට ආයෝජකයෝ සොයා ගැනීම.
මොකද මේ වැවිල්ලට එන්නේ ලෝකේ කාලා වතුර බීපු තෙම්පරාදු වෙච්චි මනුස්සයෝ නෙමෙයි සංවේදී කලාකාමී හදවත් ඇත්තෝ කියන එක ඔහුගේ කපටි මොලෙට වැටහිලා තිබුනු නිසා.
කොහොම නමුත් ඔහුත් ඔහුගේ හෙංචයියලා කන්ඩායමත්, කුකුල් කෙටවිලිත්, දිය යටින් ගින්දර ගෙනයෑමුත් නිසා සැබෑවටම වවන්න ආසාවෙන් හෝ වැවූ දේවල් රසවිඳින්න සාරභූමියට ආපු අයටත් මේ වෙනකොට සාරභූමිය එපා වෙන තත්වයකට පත්වෙලා තිබ්බා.
ඉස්සර ආසාවෙන් තමන්ගේ වතුවල මල්-පලතුරු වවපු අය සාරභූමිය පැත්ත පලාතේ නොයන තරම් අප්‍රසන්න තැනක් බවට ඔහු පත්කරලා තිබ්බ උනත්, කිසිම දෙයක් නොකල කෙනෙක් ලෙසට ඔහුගේ වත්තේ ඉඳහිට යමක් වන්න ඔහු අමතක කලෙත් නෑ.
සිරි ලාංකිකයින්ට ඕනෑම දෙයක් මතක සති දෙකයි කියලා ජරාම ජරා ත්‍රස්තවාදී නායකයා කියපු දේ සහතික ඇත්තක් කියලා ඔප්පු උනා මුලින් ඔහුට බැනපු අය පවා ඔහු සාරභූමිය විනාස කරන්න මුල් වුනු පුද්ගලයා බව අමතක කරලා ටික දවසක් ගිහින් ඔහුගේ වත්තේ මල්-පල අගය කරන්න පටන් ගත්තාම.
ඉස්සර සාරභූමියේ ආසාවෙන් මල් – පලතුරු වවපු අය, වැවුනු මල්වල සුවඳ විඳි අය, පලතුරු වල රස විඳපු අය තාමත් ඉඳහිට හිතින් හඬනවා ඒ සිහිනෙන් දිව ගෑ අතීතය සිහි කරමින්.
සොයිසාට සිල්ලර එලිය විනාසෙටම විනාස කරන්න බැරි උනා වගේ සිල්ලර එලියේ කුසලලා – ජෝතිරත්නලා වගේ අය ආපහු ඇවිත් සාරභූමිය රසින්-සුවඳින් පුරවන දවස වෙනකම් ඔවුන් බලන් ඉන්නවා.
Sunday, July 22, 2012
විකිනීම . . .!!
තමන් නොදැන තමන්ව කෙනෙක් තව කෙනෙක්ට හෝ පිරිසකට විකුනලා කියලා දැන ගත්තොත් එහෙම කෙනෙක්ට තමන්ව විකුනපු එකාට මොනවා කරන්න හිතෙයිද?
කන පැලෙන්න ගහන්න . . . පලු යන්න බනින්න . . . දන්න කියන උන් ඔක්කෝටම මෙන්න මුගෙන් පරිස්සම් වෙයන් කියන්න . . . මේ ඕනම දෙයක් කරන්න හිතෙයි . ..
සමහර විට "අහවලා විසින් මාව විකුනා ඇත" එහෙම නැති නම් "අහවලා මාව විකුනන්න ඉඩ ඇත" වගේ ප්‍රකාශයක් නිකුත් කරන්න උනත් ඉඩ තියෙනවා නේද . .. ?
විකිනීමේ ප්‍රබේදයන් රාසියක් සහ ක්‍රමවේදයන් රාසියක් අතුරින් එක් විකිනීමක් වූ සමාජයේ බොහෝ දෙනක් දන්න කියන, විස්වාස කල හැකි අයක්ව හෝ අයව විකිනීම ගැනයි මේ කතාව.
කෙටියෙන් කිව්වොත් මෙහෙම හිතමු . . .
කෙනෙක්ට ඕන තව කෙනෙක්ගේ දතක් ගලවන්න. ඒත් ඒ කෙනා දන්නවා එයා ගැන අර දත තියෙන කෙනා වැඩි විස්තරයක් නොදන්න බව. එතනදී ඒ පුද්ගලයා අර සමාජයේ බොහෝ දෙනෙක් දන්න කියන, විස්වාස කල හැකි පුද්ගලයෙක් කියලා නමක් තියෙන කෙනෙක්ව හෝ කීප දෙනෙක්ව විකුනනවා.
"අඩෝ උඹට මාව අවිස්වාස නම් අහවලාගෙන්, අහවලාගෙන් මම ගැන අහපන්"
මෙහෙම කියද්දී කියන කෙනාට ලොකු විස්වාසයක් තියෙනවා අර දත තියෙන කෙනා කවදාවත් ඒ අයගෙන් ඒ කෙනා ගැන අහන්න යන්නේ නැති බව.
කොහොමින් හරි දත ගලවලා දතේ අයිතිකාරයා ට දැනුනු දවසට අර මනුස්සයා අහවලා අහවලාවත් විකුනලා මගේ දතක් ගැලෙව්වා නේද කියන එක . . අන්න එදාට අර විකුනපු කෙනෙක්ගෙන් නිකමට හරි ඇහුවොත් "මේ අර අහවලා කොයි වගේ කෙනෙක්ද?. . .මට නම් කිව්වේ පොර ගැන අවිස්වාසනම් ඕන නම් උඹගෙනුයි අහවලාගෙනුයි අහලා බලන්න කියලා" වගේ දෙයක් අහන්න ලැබුනොත් තමන් නොදැන තමන්ව තව කෙනෙක්ට විකුනලා කියලා ඒ කෙනාට නොහිතෙයිද?
එතකොට අර දතේ අයිති කාරයා ගැන අනුකම්පාවකට වඩා "යකෝ අරූ මාවයි අහවලාවයි අහවලාවයි විකුනලා තවක් එකෙව අමාරුවේ දාලා නේද" කියලා පුදුම තරහක් ඇති නොවී තියෙයිද?
ඔය විකිනීම බොහෝම හොඳින් ප්‍රගුන කරපු අයට මැරුනු කෙනෙක්ව උනත් හොඳට විකුනන්න පුලුවන්.
"උඹලා දන්නවාද . . අර මැරුනු අහවලා මට මෙච්චර ගානක් දුන්නනේ . . .මම ඒවා ඔක්කෝම අන්තිම සතේට බේරුවා . . " (මැරුනු කෙනාගෙන් අහන්න කියලැයි ඇත්තද බොරුද කියලා . . )
කොහොමින් කොහොමින් හරි මට කියන්න ඕන උනේ . .
"කවුරුහරි කාව හරි විකුනනවනම් හක්කේ තියෙන දත් දෑතින්ම උගුල්ලලා දෙන්න කලින් අර විකිනිච්ච අයගෙන් ජුන්ඩක් හරි ඒ විකුනන්න කියන කතා ඇත්තද බොරුද කියලා අහලා බලන්න තරම් වත් පොඩ්ඩක් සැලකිලි මත් වෙන්න කියන එකයි . . ."
Wednesday, July 11, 2012
ආදරේ ආදරේ . . රත්තරන් ආදරේ . . . !!
ආදරේ රත්තරන් වලට සමාන කලාම රත්තරන් වල හදිසියකට උකස් තියන්න හැර වෙන මහා ලොකු වටිනාකමක් දැනෙන්නේ නැති මම වගේ අයට තරහත් හිතෙනවා ඇති.
රත්තරන් වලට වඩා වටින ලෝහ. . . නෑ මම කිව්වේ ප්ලැටිනම් වගේ දේවල් තිබුනා උනත් ඇයි අපි "මගේ රත්තරන්" කියලා විතරක් කියන්නේ "මගේ ප්ලැටිනම්" කියන්නේ නැතුව?
ඒකත් හරියට මැණික් වලට වඩා දියමන්ති වටිනවා උනත් "මගේ දියමන්තිය" නොකියා "මගේ මැණික" කියනවා වගේ නේද?
ඔය වල් පල් ඔක්කෝම අතුරු කතා . .
මට කියන්න ඕන වුනු හරි කතාව හිතුනේ මෙහෙමයි.
මගේ අක්කගේ පුතාගේ යාලුවෙක් මගේ බ්ලොග් එක කියවලා ආස හිතිලා ඌත් බ්ලොග් එකක් ලියන්න පටන් අරගෙන . . .ඒකේ තිබ්බ පෝස්ට් එකක් කියෙව්වාම තමා මට හිතුනේ මේ දේ ලියන්න . .
අයේෂ් "මාමා ඔන්න ඔයාගේ බ්ලොග් එක කියෝලා අසා හිතිලා මාත් බ්ලොග් එකක් පටන් ගත්තා" කියලා මැසේජ් එකක් එවල තිබ්බම
"යකෝ මගේ අක්කගේ පුතා මාමා කිව්වට උඹ මට අයියා කියපන්" කියලා කියන්න හිතුනත් (යකඩෝ මම ඒ තරම්ම වයස නෑ නේ . .අනික මට අවුරුදු 25දි වයසට යන එක නතර උනා කියලා කොහොමද අප්පා ඌට කියන්නේ) එහෙම කියන්න බෑ කියලා හිතුනු නිසාම "එල එල පුතා" කියලා කිව්වා .
මේ තියෙන්නේ කොල්ලගේ "මගෙ හිත මලගම් ගියදා" කියන පෝස්ට් එක.
ඒකට මම මේ විදිහට කොමෙන්ටුවක් දැම්මා.
මම කාට හරි ආදරේ කරනවානම් ආපහු මට එයාගෙන් ආදරේ ලැබුනත් එකයි නැතත් එකයි . . . . මගේ ආදරේ උපරිමයෙන් මගේ ලඟ තියෙනවා . . . එහෙම හිතුවාම කවදාවත් ආදරයක් මළගම් යන්නේ නෑ . ..
කරුනාසේන ජයලත් මහත්තයාගේ "සතීගේ කතාව" කියවන්න . . මම කියන දේට සාක්කි එතන"
අපි විතරක් ආදරය කරලා අනෙක් කෙනා අපි ආදරය කරන බව දන්නේ වත් නැති වෙලාවල් වලදී අපි කියනවා "මගේ සීයට පනහ නම් හරි ඒත් අනිත් සීයට පනහ තමා තාම නැත්තේ" කියලා.
ඇත්තෙන්ම අපිට ඒ අනෙක් කෙනාගේ සීයට පනහ බලාපොරොත්තු නොවී අපේ පැත්තෙන් සීයට සීයක ආදරයක් කරන්න බැරිද?
Pic from: http://www.fanpop.com/spots/love/images/4187632/title/love-wallpaper-wallpaper
Tuesday, July 10, 2012
ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . . !!!
ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . .
ගෙවල් ලඟ ඉන්දියන් කඩේ පාතරාසයට තෝසේ තුනක් ගිලමින් ඉන්න වෙලාවේ වහින්න පටන් ගත්තේ.
වැස්සේ අසිරිය හොඳින් විඳින ඕන නිසාම වේටර් කොලුවට කියලා තේ එක ප්ලාස්ටික් කෝප්පෙකට ඉල්ලගෙන හෝටලේ එලියේ ආවරණය යටට වුනා.
ඉස්කෝලේ ගිය පුංචි කාලෙත් වැස්සේ අසිරිය මම වින්දේ සදෙව් ලෝකෙට යන ගමනක් කියලා හිතාගෙන.
හෝටලේ එලිපත්තේ හිස් ප්ලාස්ටික් කෝප්ප, අතපිහිදපු කොල දාන්න තියලා තිබුනු කුනු බාස්කට් එකේ පියන උඩ නිල්පාට ඇස් තියෙන දුඹුරු පාට ලස්සන පූසෙක් හීතලට ගුලි ගැහිලා හිටියා.
හෝටලය ඉස්සරහා නවත්වපු කාර් එකක වීදුරුව පහත් උනා.
මගේ සොඳුරු ත්‍රස්තවාදියා තරම් පුංචි එකෙක් තොප්පියක් දාගෙන කාර් එකේ ජනේලෙන් "මියෑව් මියෑව්" කියමින් කම්මැලි පූසව අවුස්සන්න උත්සාහයක්.
පුංචි එකාගේ තාත්තා ඒකා දිහා බලාගෙන සතුටින් හිනාවෙනවා.
තේ එක බිබී උන්නු මටත් හිනා. හරිම සතුටු දායක සිදුවීමක්.
වැස්ස, හීතල, තේ, පුංචි එකා, පූසා . . .
මෙහෙම සිදුවීමක් හිත මහා සතුටකින් පුරවන්න තරම් ලොකු දෙයක් උනේ කොහොමෙයි . . .
ජීවිතේ සුන්දරයි.
ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . .
ගෙදර ගිහින් ෆේස් බුක් එකේ ස්ටේටස් එකක් දැම්මා
"දේඛෝ බාරිෂ් හෝරහීහේ . . .
It’s Raining . . it’s raining . . it’s raining . . … .
ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . .
මොහොතකට කලින් පුංචි සිදුවීමකින් මහා සතුටක් ලබමින් උන්නු එකෙක්ගේ හිත දුකෙන් බරවෙලා.
අනේ ලංකාවේ හිටිය නම් වැස්සේ අසිරිය නිතර විඳින්න තිබ්බා නේද?
හීතල වෙලාවේ සොඳුරු ත්‍රස්තවාදියයි ඒකගේ අම්මයි එක්ක ගුලි වෙලා වැස්ස දිහා බලා ඉන්න තිබ්බා නේද?
ගෙයක් දොරක් හදාගෙන තමන්ගෙම කියලා වාහනයක් අරගෙන එහේ පදිංචි වෙන කාලෙ වෙනකොට කිසිම දේක සුන්දරත්වයක් දකින්න බැරි තරම් ජීවත් වීමේ අරගලය උග්‍ර වෙලා තියෙයිද?
රට යන හැටි ගැන මේ අහන්න දකින්න ලැබෙන විදිහට හෙට දවස ගැන සුන්දර හීන දකින්න පුලුවන්ද?
නැති නම් ඌ තේ කෝප්පේ කිඹුල්ලු දකිනවද?
අම්මා තාත්තටයි ගෑනිටයි දරුවටයි දුකක් නොදී ජීවත් වෙන්න සලස්වන්න ඌට වයසට යනකම් මේ අවුරුද්දකට එක පාරක් වහින කාන්තාරේම ඉන්න වෙයිද?
වැස්ස ගෙනියපු දුරක් . . .
ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . .
වැස්ස මවපු හීතලේ කල්පනා කර කර ඉන්න කොට මතක් උනේ නෑයෙකුගෙයි යාලුවෙකුගෙයි ඉල්ලීම්
එක පාරට මතක් උනේ ගිය නිවාඩු දෙකේදිමුයි ස්කයිප් එකෙනුයි උන් එක්ක දේසපාලනේ නිසා මරා ගත්තු හැටි.
"වරායක් හදන්න කලින්, එකේ තියෙන ගල කඩලා හරියට වැඩ ඉවර කරන්න කලින් කෝටි ගනන් නාස්ති කරලා උත්සව තියනවා"
"කුඩු ගෙනවන උන්, එක්සටසි මත් පෙති ගෙන්වන උන් ඇමතිවරු, ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂන මන්ත්‍රීවරු"
"ඩෙන්ගු වලක්වන්න උපදෙස් දෙන්න ඩොස්තරලා පකිස්තාන් යවනවා අපේ රටේ ඩෙන්ගු හැදිලා අවුරුද්දකට සිය ගනන් මැරෙනවා"
"අපි ඩුබායි වලින් රුපියල් 60ට විතර පෙට්‍රෝල් ලීටරේ ගනිද්දී මෙහේ මෙහේ ලීටරේ 120"
"අසාධාරනේට එරෙහිව කතා කරන්න බෑ සුදු වෑන්, පාතාලේ"
"රට බේර ගත්තු ජෙනරාල් ජනාධිපතිවරනෙට ඉල්ලුවා කියලා බොරු චෝදනා දාලා හිරේ"
"ජනාදිපතිගේ පුතාට තනියෙම නීති විභාගේ ලියන්න ඉන්ටර්නෙට් තියෙන කාමරයක් දුන්නා කියලා චෝදනා කරපු තුෂාර ජයරත්නව මරන්න හොයනවා"
"බාල තෙල් ගෙන්නලා වාහන අබලන් කලා. වැරදිකාරයෝ වත් උන්ට දඬුවමක්වත් නෑ"
"මාලබේ කැම්පස් එකේ නිපුණ රාමනායකගේ ඔලුව උඩ නැගපු ගෑනිගේ පොලිසියේ මහත්තයට උසස්වීමක්"
"සිංහරාජේ කැලෑ කපනවා"
"භාරතව මැරුවා. ඇහින් දුටු සාක්කි ඇතත් මිනීමරුවෝ නීතිය ඉදිරියට ගෙනාවද?"
"ජනාදිපතිගේ පුතාට ටීවී චැනල් දාන්න මහජන මුදල් යොදා ගන්නවා"
"කොළඹ ඉඩම් විදේශ වලට විකුනලා ඒත් සල්ලි බැරවුනු ගිනුම මොකද්ද කියලා විරුද්ධ පක්සේ අහනකොට කිසි සද්දයක් නෑ"
"මිනිස්සුන්ට නීතිය ගැන තියෙන විස්වාසේ බිඳිලා මිනිස්සු නීතිය අතට අරන් ගෙවල් ගිනි තියනවා, දේපල නාස්ති කරනවා"
"මහජන දේපල විකුනන්න හැදුව කියලා වරෙනතු නිකුත් කරලා තියෙන රදලියගොඩ කිසි කරදරයක් නැතුව පොලිසිය ඇතුලට ගිහින් පොලිසියට තග දාලත් එනවා"
"එක්සත් ජාතීන්ගේ සමුළුවට නිව්යොර්ක් යද්දී හැත්ත බුරුත්ත ඔක්කෝම එක්ක ගිහින් උන්ට ලිමෝසින් වලයි රෙඩ් ස්ට්‍රීට් වලයි සැප අරන් දෙන්න කෝටි ගනන් නාස්ති කරනවා"
"මේ ඔක්කෝම බැලුවම නාස්තියයි දූෂනයයි නිසා බඩුවලට එකට දෙකක් අපි සල්ලි ගෙවන්න ඕන"
උන්ගේ පිලිතුර එකයි . .
"ඔය ඔක්කෝම පිට රට ඉන්න උන් කියවන වෙබ් සයිට් වල තියෙන බොරු"
"බලපන් අපේ රට කොයි තරම් දියුනු වෙලාද කියලා"
"අපේ ජනාධිපතු තුමා කියනවා වගේ තව ටික කාලෙකින්ම අපේ රට ආසියාවේ ආශ්චර්ය වෙනවා"
"රටේ දියුනුවට ඉරිසියා කරන පිට රටවල ඉන්න උන් තමයි කියන්නේ මෙහේ ජීවත් වෙන්න අමාරුයි කියලා"
ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . .
වැස්ස ගෙනියපු දුරක් . .
හොඳම යාලුවෙක් උනත් හිතවත්ම නෑදෑයෙක් උනත් . . දෙන්න තිබ්බේ එකම උත්තරයයි . . .
"ඉතිං ඇයි බන් ඔය ආශ්චර්ය දාලා , ඔය තරම් දියුනු රට දාලා මේ කාන්තාරෙට එන්න හදන්නේ ??"
ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . .
වැස්ස ගෙනියපු දුරක් . . .
ප.ලි.:
නෑදෑවෙන මල්ලී ආශ්චර්ය අතහැරලා විසිට් වීසා එකක් ගහගෙන ඩුබායි ඇවිත්.
මේ ටිකේ මගේ ගෙදර.
ඌට ජොබ් එකක් සෙට් කරලා දෙන්න එහෙ මෙහේ දුවනවා.
පෝස්ට් එකක් ලියන්න, කොමෙන්ට් කරනන් වෙලාවක් නැතුවා.
Thursday, June 14, 2012
පාලුව දෙවනත් කරලා නාඩන් උළලේනෝ . . . !
දෙනෝ දාහක් නුවන් අභියස
දෙනෝ දාහක් පිරිස අභියස
නොමැති වී ඒ සෙනේ සිසිලස
හුදකලා වී පාලු කතරක
රොස් පරොස් බස් ඇතත් ඉඳහිට
බත ඉදුනු පසු නිමයි ඒ සැම
නිය තුඩින් හිස සෙමෙන් සනසන
කෑ ගසයි සිත නොමැති තැන එය
ටිකිරි සුරතල් කතා බස් රැස
නිමක් නොවනා ප්‍රශ්න වැල් සැම
ගෙල බදා ගෙන නිදා ගන්නා
අනේ ඒ සුව නැතුව කොහොමද
සොඳුරු සුවබර හෙට දිනේකට
පිය නගන්නට වාරු ඇතුවම
සිතම සවිකර දුකත් සඟවා
ඉන්න දරනා තැත අසීරුය . . . !
Tuesday, April 17, 2012
ස්තූතියි උඹට මයිකල් සීඩ් . . . !
Monday, April 9, 2012
අනේ දෙවියනේ මට සවි දෙනු මැනවී . . .!!
Sunday, March 18, 2012
සෆීර් . . . !
ලුම්බිනියෙදිත් ඒ දවස්වලම දෙපාරක්ද කොහෙද දැක්කා.
පුදුම කලබලයකින් එහා මෙහා ගිය සෆීර් දිහා මම බලන් හිටියේ පුදුමයෙන් වගේ.
අවට හිටපු ප්‍රසිද්ද හැම කෙනාම සෆීර්ව තත්පරේකට හරි කතාවට අල්ල ගන්න උත්සාහ කරනවා කියලා මට දැනුනා.
කිසි කෙනෙක් ලඟ වැඩි වෙලා ගත නොකරපු සෆීර් ඒ හැමෝටම අව්‍යාජ හිනාවක් දාලා කතා කරන්න බැරි උනු අයගේ උරහිසට තට්ටුවක් දාගෙන හරි ඒ අය ලඟින් ගියේ සුපුරුදු කලබලකාරී ගතියෙන්මයි . . .
මෙතන ඉන්න මේ ප්‍රසිද්ද අය එක්ක වත් කතා බහ කරන්න කාලයක් නති තරම් කාර්යබහුල සෆීර් නම වැඩිය ප්‍රසිද්ධ නොවුනත් මේ හැමෝටම වඩා ප්‍රසිද්ද කෙනෙක් වෙන්න ඇති.
මම එහෙම හිතුව.
මේ අය එක්ක වගේම ඒ අය කිසි කෙනෙක් අඳුන්නේ නැති මාත් එක්කත් සෆීර් ටිකක් හිනා උනොත් . . ආ මල්ලී කියලා පිටට තට්ටුවක් දානවනම් . . .ෂා කොයි තරම් දෙයක්ද . .
මේ පෝලිමේ ඉන්න අය දිහා මට එතකොට ආඩම්බරෙන් බලන්න පුලුවන් වෙයි . . .
නාට්ටිය පටන් ගන්න වෙලාව එනකම් තැන් තැන් වල කල්ලි ගැහිලා කතා කර කර ඉන්න ජනප්‍රිය අයත් එතකොට මාත් එක්ක හිනා වෙයි . .
සමහර විට එයාලගේ කල්ලියකට සෙට් වෙන්න මටත් ආරාධනා කරයි . .
මේ මට හිතුනු දේවල් . ..
ඒත් එහෙම නාදුනන කෙනෙක්ගේ උරහිසකට තට්ටු දාන්න තරම් කාලයක් සෆීර්ට තිබුනේ නෑ . . .
අර කිව්වත් වගේ ඔහු හරිම කාර්‍යබහුල කෙනෙක් . . ඉතිං එහෙම කෙනෙක් පුද්ගලිකව අඳුන ගන්න එක ලේසි නැති බව මට තේරිලා තිබ්බා . ..
ඒ කාර්ය බහුල සෆීර් එක්ක මුලින් කතා බහ කරන්න හම්බ උනෙ සෆීරුයි අර කලින් "පිස්සන්ට හැතැප්ම නෑ සහ නාට්‍ය පිස්සුව" පෝස්ට් එකේ කියපු මට නෝන්ඩියක් දාපු හේමන්ත ප්‍රසාද් අයියයි කතා බහ කර කර ඉන්න වෙලාවක එතනින් ගිය මාව දැකලා ප්‍රසාද් අයියා . . "ආ පොඩි එකා . . . අදත් නාට්ටිය බලන්න ආවද" කියලා අහපු වෙලාවක මාත් බලෙන්ම වගේ එතනට සෙට් වෙච්චි නිසයි.
ඉන් පස්සේ මමත් අර සෆීර් උරහිසට තට්ටු දාගෙන හරි යන්නම් කියාගෙන හරි යන අයගේ ලිස්ට් එකේ කෙනෙක් වුනා . .
දවසක් මගේ යාලු අජන්තට ප්‍රසාද් අයියව මුන ගැහෙන්න යන්න ඕන වෙලා මාවත් එක්කගෙන ගිය දවසේ තමයි මම හරියටම දැන ගත්තේ සෆීර් ඇයි ඒ තරම් ජනප්‍රිය කියලා.
ගොඩක් අයගේ නාට්‍ය වල සෙට් එක හදන්නේ (වේදිකා අංකරණය කරන්නේ) සෆීර්.
අපි ගියේ සෆීර්ගේ ඇනෙක්සියට. එදා අපි යන දවසේ ඩෙනිමක් ගහගෙන ස්කිනී එකක් ඇඳගෙන දාඩිය පෙරාගෙන ප්ලයිවුඩ් ශීට් එකක් කප කප සෆීර් හිටියා.
එදා ප්‍රසාද් අයියා කියපු විදිහට සෆීර් තියෙන නාට්ටි ඇම්ම නිසාම නිකම් වගේ තමයිලු මේ සෙට් හදන වැඩේ කරන්නේ . . . !
අතේ තියෙන තුට්ටු දෙකෙන් පානුයි පරිප්පුයි ගෙනත් බෙදා හදාගෙන කාලා රිහසල් කරන්න . . . අහක දාන ලෑලි වලින් සෙට් හදලා . . ලාබෙට ලුම්බිනිය හරි ජෝන්ද සිල්වා එක හරි අරගෙන කට්ටියගේම සල්ලි එකතු කරගෙන නාට්‍ය කරන්න තරම් නාට්‍ය පිස්සෝ අපේ ලංකාවේ ඉන්න බව මම ඒ වෙන කොට දැනන් හිටියා.
මේ හැමදේම ඒ අය කලේ නාට්‍ය කලාවට අහක දාන්න බැරි තරමට තියෙන ආදරේ මිසක් වෙන කිසි දෙයක් නෙමෙයි කියන එක ඒ නාට්‍ය කන්ඩායම් සමඟ ගැටෙන, ඒ අයගේ හද ගැහෙන රාවය හඳුනන අයට මිසක් වෙන කිසි කෙනෙක්ට තේරුම් ගන්න බැරි බව මට විස්වාසයි . . .
මේ ඔක්කෝම පල් හෑලි ලිව්වේ ස්කයිප් එකෙන් ලඟදී දවසක් කතා කරද්දී සෆීර් කියපු දෙයක් නිසා . . .
"කරන රස්සාවෙන් දෙයියනේ කියලා දරු පවුලට කන්න අඳින්න දීගෙන ඉන්න පුලුවන් කම තියෙද්දී . . . තාමත් මේ නාට්‍ය කලාවට බැහැලා එක එක දේවල් කරන්නේ මේ නාට්ටි කලාවට තියෙන ඇම්ම නිසයි මචං . . "
ඒ නාට්‍ය ඇම්ම තියෙන නාට්‍ය කලාවට ආදරේ කරන "සෆීර්" රට වෙනුවෙන් මහා ලොකු කාරියක් කරන්න අත ගහලා දැන් ටික කාලයක් වෙනවා . .
ඒ කාරියේ කූට ප්‍රාප්තිය මේ මාසේ 26 වෙනිදා ඉඳන් අප්‍රේල් 2වෙනිදා වෙනකම් Colombo British School එකේ රඟහලේදි විකසිත වෙනවා.
කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල 2012 - Colombo International Theater Festival
මේ තමයි මාර්තු 26 වෙනිදා ඉඳන් අප්‍රේල් 2වෙනිදා වෙන තුරු Colombo British School රඟහලේ සුපිපෙන නෙළුම . . .
මේ ගැන වැඩි විස්තර මෙන්න මේ ෆේස්බුක් ගෲප් එකෙන් ලබා ගන්න පුලුවන්. https://www.facebook.com/CITFSriLnaka
ටිකට්ස් මෙන්න මෙතනින් ගන්න පුලුවන් http://www.ticketslk.com/movies/305/show_movie
මේ තියෙන්නේ සෆීර්ගේ ඉන්ටර් ඇක්ට් රංග ආයතනයේ බ්ලොග් අඩවිය. http://interactart.wordpress.com/
රංග කලාවට අසීමිතව ආදරේ කරන සෆීර් විසින් ශ්‍රී ලාංකීය රංග කලාවට දායාද කරපු නවතම අත්දැකීමක් වන "බැලැක් බොක්ස්" ගැන වෙබ් අලෝචනා බ්ලොග් අඩවියේ ලිපියක් දවසක් පල වෙලා තිබුනා . .ඒකත් කියවලා බලන්න . . "කුමට බ්ලැක් බොක්ස්?: බ්ලැක් බොක්ස් රංගයේ අදාලත්වය සහ වෙනත් දෑ ගැන අදහස් කීපයක්"
Colombo International Theater Festival 2012 @ The British School in Colombo
Details
Show Date | Show Time | Ticket Price (Rs) | Play | Director |
---|---|---|---|---|
26th Mar | 3.30 | 07.00 PM | 1000 | 500 | 300 | Changeable cohesion - Germany | Gerda Konig and Gustavo Fijalkow |
27th Mar | 3.30 | 07.00 PM | 1000 | 500 | 300 | The old man and the sea - Iran | Zahrasadat Aziminia (Iran’s Sayeh Theater Group) |
3.30 | 07.00 PM | 1000 | 500 | 300 | Passengers – Sri Lanka | Ronika Chamali | S.Leelawathi (Janakaraliya – Theater of people) | |
28th Mar | 3.30 | 07.00 PM | 1000 | 500 | 300 | Sitabo Lalang Lipa - Indonesia | Muh.Saeful (UKM Seni dan Budaya Talas) |
29th Mar | 3.30 | 07.00 PM | 1000 | 500 | 300 | Chutti (Story-telling theater) - Delhi | Dr.Ashish Ghosh (Anant Theater Group) |
30th Mar | 3.30 | 07.00 PM | 1000 | 500 | 300 | Talk is Small (a play with scrabble) - Australia | Brendon O’Cannel (by Big One Little One) |
3.30 | 07.00 PM | 1000 | 500 | 300 | Elfi - Sri Lanka | S.Dayalan (Inter Act Art Black Box Theater) | |
31st Mar | 3.30 | 07.00 PM | 1000 | 500 | 300 | Akhiyan Walio (People with eyes) - Pakistan | Aamir Nawaz (Maas Foundation - Pakistan) |
01st Apr | 3.30 | 07.00 PM | 1000 | 500 | 300 | Dangalnama -Pune | Pro. Vidyanidhee Vanarase (Flame School of performing arts) |
02nd Apr | 3.30 | 07.00 PM | 1000 | 500 | 300 | Caged - Sri Lanka | M.Safeer (Inter Act Art Black Box Theater) |
Tickets
SHOW DATES |
---|
09/03/2012 - |
SEAT TYPE | FULL(RS.) | HALF(RS.) |
---|---|---|
1000 | 1,000.00 | - |
500 | 500.00 | - |
300 | 300.00 | - |