Showing posts with label නෑසෙන ගී රස . . .. Show all posts
Showing posts with label නෑසෙන ගී රස . . .. Show all posts

Thursday, May 17, 2018

තුන්සිත දැහැන් ගත වෙනා . . !


මගේ මැණික ඔන්න කිව්වා, අර ලොකු රිදී පාට තිරේ දිග ඇරෙන කතා වල හිටියට, ඒවායේ ඉන්න ජාතියේ, උදේ නැගිටලා පාන් ටෝස්ට් කරලා - බිත්තර ස්ක්‍රැම්බල් එක්ක - තේ එක ඇඳ ලඟට ට්‍රේ එකක ගෙනත් දෙන ප්‍රේමවන්තයා නෙමේ මම.

ඔයා මොන ගොංකම කලත් හිනා වෙලා "ආ ඒකට කමක් නෑ අපි ඒක හදාගමු" කියන, වැඩ ඇරිලා ගෙදර එනකොටම "ඔයාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් පික් එකට අද හවස හාට් රියැක්ෂන් දාපු සක්කරවට්ටම කවුද" වගේ ජාති කියලා ඇඟට ගොඩවෙන්න හදනවනම් - හිනා වෙලා විහිලුවක් කරන ප්‍රේමණීය පෙම්වතා නෙමේ මම.

ෂූටින් ගිහින් ආපු ගමන් ඇඳගෙන ආපු ඇඳුම් ගලෝලා හිතෙන හිතෙන තැන් වලට විසිකරන, උදේට නාලා ඉවර උනාම බිම ඉහිරුනු වතුර වයිප් නොකරන, නිදිමත ආපු ගමන් සැටියේ වැටිලා ගොරෝ ගොරෝ නිදියන, චූ කරද්දී කොමඩ් එකේ ලිඩ් එක ඉස්සුවත් ෆ්ලෂ් කරන්න අමතක වෙන්න ඉඩ තියෙන, සරල සාම්ප්‍රදායික ප්‍රේමවන්තයෙක් තමා මම හොඳේ !

ම් ම් ම් හා එහෙනම් මම ඒවට හැඩගැහෙන්න ට්‍රයි කරන්නම්කෝ . .

හැබැයි රත්තරන් ඔයා දැන ගන්න මමත් රේඩියෝ එකේ - ටීවී එකේ - ස්ටේජ් එකේදි අහන් ඉන්න  රසිකයන්ගේ ඇස් වලින් කඳුලු එන ජාතියේ දුක් ගී කිව්වට, වැලහින්නි වගේ අඬා ගත්තු ගමන් ඉන්න ගෑනියෙක් නෙමේ මම.

ගී පද රචකයෝ රචනා කල ජීවිතේ මේ තරම්ම සුන්දරද කියලා ගී පද ගැයුවට හැබෑ ජීවිතේදි සර්වශුභවාදී විදිහට ජීවිතේ දකින ගෑනියෙක් නෙමේ මම.

උදේ යද්දී බායි කියන්න අමත උනොත් මුලු දවසෙම තරහින් ඉන්න; මගේ අතින් වීදුරුවක් කැඩුනොත් හොරෙන් කුනු කූඩෙට දාන - ඔයා ඔයා එකක් බින්දොත් "මේ ගෙදර හැමදේම විනාස කරනවා" කියලා මාසයක් විතර ආඩපාලි කියන; අවුරුදු 10කට 15කට කලින් දවසක හරි ඔයා කරපු වැරැදි වල දිනය - දවස - තැන - අවස්ථා සම්බන්ධය මතක තියාගෙන ඉන්න, මට ඕන ඕන වෙලාවට ඒවා මතක් කරලා රන්ඩුවෙන; ලොකේ වටේම ට්‍රිප් එක්ක ගියත්, යන්න බැරි උනු එක තැනක් ගැන කියලා "මාව කොහේ වත් එක්ක ගිහින් නෑ" කියලා චෝදනා කරන හරිම සරල පෙම්වතියක් තමයි මාත් හොඳේ !


තුන්සිත දැහැන් ගත වෙනා
සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන
ස්වරයෙ සප්ත වරුණ
සිත ළඟ ගයනවද ඔයා . .

තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැ‍ඳවෙනා
සිනමා පටයෙ රැ‍ඳෙන
සුන්දර සිහින රැඟුම
හිත ළඟ රඟනවද ඔයා . .

නෙතකට කඳුළ ගෙන දෙනා
නරඹන සිතද හඬවනා
දුක්බර ප්‍රේම රැඟුම
සුන්දර පියවි ලොවක
රඟන්න කියන්නට එපා . .

තනිකම සිතට කැඳවනා
තනිවම සිතින් වැලපෙනා
දුක්බර විරහා ගැයුම්
සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා . .

පෙම්බර වදන් වැල් විනා
දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක
දිවියක සැබෑ ලොවක
දුක්බර රැඟුම් නම් එපා . .

සුන්දර අදහසක් කියා
දුක්බර පදවැලක් ලියා
සත්සර අතර මිසක
සුන්දර සැබෑ ලොවක
දුක්බර ගැයුම නම් එපා

Pic from

Sunday, November 5, 2017

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...!


නන්දාගේ "යොවුන් වසන්තයේ - දුහුල් වළා කුලේ" ගීතය ඇහෙන හැම වාරෙකම මාව 1988-1989 තරම් අතීතයට පාවෙලා ගිහින් නුගේගොඩ නාවල පාරේ ඇල්ෆා ඉන්ස්ටිටියුට් එක ලඟ ඉඳන් නුගේගොඩ හංදියට වෙනකම් තියෙන කොටසේ අතරමං වෙනවා වගේ දැනෙනවා.

ඕලෙවල් සබ්ජෙක්ස්ට් වලට ටියුෂන් ගිය ඇල්ෆා එකේ හිමිකාර ජයනෙත්ති සර් ක්ලාස් ඉවර උනාට ඔක්කොටම එක පාර යන්න දෙන්නේ නෑ.

මුලින් කෙල්ලෝ ටික යවනවා. උන් ‍YMBA එක පහුකරලා ඇති වගේ හිතෙන කාලෙකදී කොල්ලන්ට යන්න දෙනවා.

පංතියේ කෙල්ලෝ ඒ පංතියේම නසරානි කොල්ලෝ එක්ක යාලුවෙලා චාටර් වෙයි කියලා බයට උන්ව බේරා ගැනීමේ සද්භාවයෙන්, නැතිනම් උන්ගේ ආරක්ශාවට එහෙම කලේ කියලා තමා අපි හිතුවේ.

88-89 කාලේ අවුරුදු 35ක්-40ක් විතර වුනු ජයනෙත්ති සර් ඒ වෙනකම් කසාද නොබැඳේ සර්ගෙම ක්ලාස් වල කෙල්ලෝ කොල්ලෝ සාප කරපු නිසා කියලා කොල්ලෝ කෙල්ලෝ හොරෙන් කතා වෙවී හිනා උනේ.

උන් එහෙම කිව්වට ජයනෙත්ති සර් කියන්නේ පුදුම සුන්දර මනුස්සයෙක්. ඒ කාලේ කවදාවත් ටියුෂන් ෆීස් ඉල්ලලා කරදර කලේ නෑ. ගොඩක් අයට ෆ්‍රී කාර්ඩ්ස් දීලා තිබ්බා.

ක්ලාස් එකේ නීති රීති තද නිසා කල්ලි ගැහුනාම විහිලු කලා උනාට ළමයි ජයනෙත්ති සර්ට පන වගේ ආදරෙයි ඒ නිසාම.

හරි ආපහු කතාවට

කෙල්ලන්ව කලින් යැව්වට ඉතිං ගොඩක් කෙල්ලෝ උන්ගේ ආරක්ෂාවට හෙන ගහපුවාවේ ඇල්ෆා එකේ ඉඳන් නුගෙගොඩට තනියෙම එන කොල්ලෝ ටික ආරක්ෂා කරන්න ඕන කියලා හිතලද මන්දා නාකි බල්ලෝ කොළඹ යනවා වගේ හෙමීට හෙමීට ගාට ගාට යන්නේ අර කොල්ලෝ එන කම්.

කොල්ලෝ ටිකත් සර් යන්න දුන්නු ගමන් පුකට පැටෝල් ගහලා වගේ දුවනවා ඉතිං.

වැඩි දුර යන්න කලින් පේනවා දන්න කියන ගෑනු ළමයි ළතා ගමනින් උන් එනකම් විනාඩියට මීටර් බාගේ ස්පීඩ් එකෙන් ගිහින් මඟ ඉන්න බව.

එතන ඉඳන් නුගේගොඩ බස් හෝල්ට් වලට දුර එවෙන්නෙත් ඉතින් ඒ ස්පීඩ් එකෙන් තමා.

රසික මාලින්ද වගේ ඩීසන්ට් කොල්ලෝ කෙලින්ම බස් හෝල්ට් වලට. රසික 259 බස් හෝල්ට් එකේ මාලින්ද සිටි ටිම්බර් හෝල් බස් හෝල්ට් එකේ.

නිලක්ෂ මම වගේ පරාර්ථකාමී කොල්ලෝ එහෙම නෑ !

"මේ ගෑනු ළමයි ඉතිං කාගේ උනත් දරුවෝනේ - ඒ අයව පරිස්සමින් හයිලෙවල් පාරේ බෝ ගහ ලඟ හෝල්ට් එකට, නැතිනම් සෙන්ට් ජෝන්ස් එක ලඟ බස් හෝල්ට් එකට ඩ්‍රොප් කරන්න ඕන" කියලා හිතලා අර සුපුරුදු විනාඩියට මීටර් බාගේ ස්පීඩ් එකෙන් පාවෙනවා.

මිනිස්සු දාස් ගානක් එහා මෙයා යනවා අපිට දැනෙන්නෙත් නෑ.

අපිට දැනුනේ අපි සිඟිති ආදර දූපතක තනිවෙලා වගේ

පාර දිගේ පාවුනේ හරියට රෑන් මුදාගෙන අහස් ගඟේ දියඹ දිගේ පා වෙවී ඉගිලෙන සරුංගල් වගේ.

ඒ ගමනෙදි පුංචි දේකට උනත් මහ හයියෙන් හිනා වෙන්නේ හරියට තරු අහුරක් එක සැරේට රෑ අහසේ ඇවිලෙනවා වගේ.

එහෙමත් කාලයක් අප්පා . . . !

එදා අපි එක්ක ඇල්ෆා එක ලඟ ඉඳන් නුගේගොඩ හංදියටට වළාකුලු මතින් ගමන් කරපු අනිත් අය ලෝකේ කොහේ ඇද්ද?

අපේ ස්කොලේ මගේ පන්තියේ උන්නු (නාවල පාරේම ගෙවල් තිබ්බ ) "චාමර" - එයාගේ නිවුන් සහෝදරී අනුලා ගිය "චාමරී",

ඩී එස් ගිය "අකිල"

සමුද්‍රදේවියේ "රෂිකා" (ජුබිලි කනුව හන්ංදියේ ගෙවල් තිබ්බේ), රෂිකාගේ යාලුවා "තේජා"

තේජාගේ කොල්ලා කියලා අපි විහිලු කරපු ඉසිපතනේ "මිහිර"

SPM ගිය කුමුදු

අනුලා ගිය ඉෂාරා ගිහානි සමරකෝන්

කෝට්ටේ ආනන්ද බාලිකාවේ ඒ කාලේ උන්නු එකම ලස්සම කෙල්ල නෙල්කා,

නෙල්කා ගේ කොල්ලා කියලා අපි විහිලු කරපු අපේ ස්කෝලේ කීර්ති

ආනන්ද බාලිකාවටම ගිය අපේ ගෙදරට අල්ලපු ගෙදර ලක්මාලි

මේ අය දැන් කොහේ ඇද්ද !!

ඔය කිව්ව කිසි කෙනෙක්ට මාව නම් මතක නැතුව ඇති.

මම ඒ කාලෙත් නෝටිසබල් කැරැක්ටර් එකක් නෙමේ.

කිසිම විශේෂත්වය නැති පට්ට ඕඩිනරි ඒත් ගෙදරදි, ගෙවල් පැත්තෙදි සිල් ගත්තු පූසෙක් වගේ උන්නට පාරෙදි පිස්සෙක් වගේ -
 පිස්සෙක් වගේ ජොලියේ හිටපු එකෙක්.
_________________

නන්දාගේ ඒ සින්දුව ඇත්තෙන්ම හරියට අතීතෙට අරන් යන රිදී හුයක් වගේ හා නැද්ද?

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...

දිළිසෙන කඳුළේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී...
ගංඟාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී...

හසරැලි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ...
තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන...
අහස් ගඟේ දියඹ දිගේ...

පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්නයන්
සංගීතය: D R පීරිස්


Pic from: https://unsplash.com/photos/AsahNlC0VhQ

Monday, June 12, 2017

ඇඳලා කල් ගිය රෙදි වැරලි . . . නෑ මට වාවන්නේ . . !


සමහර සිංදු හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරනවා කියනවා.

ඒත් අපිට සමහර වෙලාවට ඒක හරියටම තේරුම් ගන්න අමාරුයි කොයි විදිහටද ඒ සපර්ශය වෙන්නේ කියන දේ.

සමහරවිට අඬන්න හෝ හිනාවෙන්න බැරි උනු සමහර සිදුවීම් දිහා ආපහු බලද්දී දැනෙන වේදනාව හෝ අමුතු හැඟීම වෙන්න බැරිද?

මම හිතන්නේ ඒක හරියට . . .

ගොළු හදවත පොතේ සුගත් වීරසේකර එයාගේ දෙමව්පියෝ නැති බව හිනාවකින් කියද්දී ඒක අහලා කම්පනයට පත් උනු දම්මිට අඬන්න බැරි උනා වගේ දෙයක් ?

මාලනී බුලත්සිංහලගේ "රජ මැදුරක ඉපදී සිටියානම්" ගීතයේ කොටස් ඇහෙද්දී සිතේ මැවෙන අපූරු චිත්තරූප වලින් මැවෙන දේවල් දිහා ප්‍රේක්ෂකයෙක්ගේ ඇසින් බලද්දී දැනෙන හැඟීම් වගේ දෙයක් ?

"පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ..."

ඒ කොටස ඇහෙද්දී මට පුලුවන් පෙරහැර කාලෙට කෝට්ටේ රජමහ විහාරයේ ඉස්සරහා පාරේ මැදට වෙන්න ඉස්සර තිබුනු වතුර මලේ ගැට්ටේ වාඩිවෙලා දෙපැත්තෙන් යන එන මිනිස්සු දිහා බලන් ඉන්න ප්‍රේක්ෂකයෙක් වෙන්න.

පැට්‍රෝල් මැක්ස් වලින් හරි ජෙනරේටර් වල විදුලියෙන් එලිය උනු, පාර දෙපැත්තේ තොරොම්බල් කඩ වල සෙල්ලම් බඩු පාරේ යන එන පොඩි උන්ට අත වනනවා.

ඒ අතරින් පොඩි කොල්ලෙකුයි කෙල්ලෝ දෙන්නෙකුයි එයාලගේ අම්මලට දරන්න පුලුවන් උනු මුදලින් අරන් දුන්නු උක් පුරුක් ටිකක් සූප්පු කර කර යනවා,  යෞවන වයසේ ලස්සන කෙල්ලයි පොඩිම කෙල්ලයි අම්මගේ අත් දෙකේ එල්ලිලා, පොඩි කොල්ලා තාත්තගේ අතේ එල්ලිලා.

අර පුංචි ඇස් ලොකු ආයාසයෙන් ගන්නවා අර තොරොම්බල් කඩ වල එල්ලිලා අත වනන සෙල්ලම් බඩු දිහා දිහා නොබලා ඉන්න.

වතුර මල් පොන්ඩ් එකේ ගැට්ටේ ඉන්න ප්‍රේක්ෂකයාට හිතෙනවා "අනේ ඒ පොඩි උන් සෙල්ලම් බඩුවක් ඉල්ලලා පොලොවේ හැපි හැපී ඇඬුවා නම් කියලා"

"ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ."

ඒ කොටස ඇහෙද්දී මට පුලුවන් මධ්‍යම පාන්තික සාමාන්‍ය මිනිස්සු ජීවත්වෙන මාවතක් අද්දර පරන පහේ ගෙදරක ඉස්සරහා අඹ ගහක් පාමුල, පොඩි ලී කනු දෙකකට පිටපලුවක් ගහපු ලොවි බන්කුවක වාඩි වෙලා ඒ ගේ ඇතුලට එබෙන ප්‍රේක්ෂකයෙක් වෙන්න.

අර පෙරහැර පොළේ දැකපු පවුලම වගේ පේන්නේ.

පවුලේ තාත්තා දුර රැකියවකට ගිහින් ටික දවසකින් ඇවිත් නෑ වගේ හිතෙනවා.

පොඩි කොලුවා දුවලා ගිහින් මාවත කෙලවරේ සිල්ලර කඩෙන් පාන් ගෙඩියක් ගෙනත්.

ඒක හතරට කපලා පොල් සම්බෝල එක්ක ගිල දාලා පොඩි උන් ඉස්කෝලේ යන්න මිදුලට පනිනවා.

කොලු පැංචා සුදු ෂර්ට් එක නිල් කලිසමට උඩින් දාගෙන ඉන්නේ කලිසම ගෙවිලා හමගිහින් බව අනිත් අයට නොපෙනෙන්න වෙන්න ඇති.

"මට අලුත් කලිසමක් මහලා දෙනකම් ඉස්කෝලේ යන්න බෑ" කියලා ඇයි ඒ කොලුවා අම්මා එක්ක රන්ඩු නොකලේ? අර බන්කුවේ ඉන්න ප්‍රේක්ෂකයාට හිතෙනවා.

"රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ..."

අර ප්‍රේක්ෂකයා තාමත් අඹ ගහ පාමුල ලොවි බන්කුවේ වාඩිවෙලා අර පරන තාලේ කුලී ගෙදර දිහා බලන් ඉන්නේ. එතනින් නැගිටලා ගේ ඇතුලට යනවා දැන්.

සිංහල උළු හෙවිල්ලපු පරන තාලේ ටිකක් විසාලෙට පේන ගෙයක්

පඩි 4ක් 5ක් නැග්ග ගමන් ආවරණය නොකල ඉස්තෝප්පුවක්. වම් පැත්තේ ස්ටෝරු කාමරේ විදිහට පාවිච්චි කරන ඔෆිස් කාමරයක්.

ස්තෝප්පුවෙන් ඇතුල් උනාම සාලයක්. රතු පාටින් කුෂන් කරපු පුටු සෙට් එකක්. දකුනු පැත්තේ ජනේලේ ගාව කෑම මේසේයි පුටු 6යි.

දකුනු පැත්තේ කාමරයක්. නැදුන් ලීයෙන් හදපු පරන අල්මාරියක්, පොරවපු රෙද්ද පවා පිලිවෙලට තියෙන ඩබල් ඇඳක්. අර යෞවන වයසේ ලස්සන ළමස්සිගේ වෙන්න ඕන.

සාලේ ආරුක්කුවෙන් ගියාම තව කොටසක්. ඒකෙත් වම් කොනේ ඩබල් ඇඳක්. දකුනු පැත්තේ ටිකක් අඳුරු පොඩි කාමරයක්. ලොකු රෙදි ඉස්කිරිමක් තියෙන සින්ගල් ඇඳක් තියෙන, උසින් තියෙන ජනේලේ පාමුල පොත් තියපු පොඩි  මේසයක් තියෙන පොඩි කාමරයක්. අර කොලු පැංචන්ගේ. ප්‍රේක්ෂකයා අනුමාන කරනවා.

මැද කෑල්ලෙන් එහා කුස්සියට කලින් කොටසක්. ගෑස් ලිපක් මේසේ උඩ. වම් පැත්තේ එලියට යන්න දොර. දකුනු පැත්තේ දර ලිපක් තියෙන දුම්මැස්සක් තියෙන කුස්සියක්.

මහ වැස්සක් කඩන් වැටෙනවා.

වහලේ තැන් 5-6කින්ම වතුර බේරෙනවා.

සිංහල උනු හෙවිල්ලපු වහලේ ගෙවල් අයිති කාරයෝ කාලෙකින් රෙපෙයාර් කරලා නැද්ද කොහේද?

"අක්කේ මගේ පොත් මේසේ අල්ලන්න එන්ඩෝ, මේන් මෙතනත් තෙමෙනෝ" පොඩි කොලුවා කාමරේ ඉඳන් කෑ ගහනවා.

අම්මයි ළමයි ටිකයි තරඟෙට කුස්සියට දුව දුවා බාල්දි බේසම් විතක් නෙමේ ඇලුමිනියම් කොරස් මැටි ඇතිලි පවා තියෙනවා වතුර වැටෙන තැන් වලට.

ඒ තරඟේ ඉවර උනු ගමන් පොඩි උන් දෙන්නා මිදුලට බැහැලා මහ පීල්ලෙන් වැටෙන වතුර පාරට ඔලුව අල්ලනවා.

ඉස්තොප්පුවේ පුටුවක ඉඳන් පොඩි උන් දෙන්නා දිහා බලන් ඉන්න අර යෞවන වයේ දැරිවිගේ ඇස් වල ඇත්තේ වේදනාවක්ද?

පොඩි උන් දෙන්නට ඒක තේරුම් ගන්න බෑ. උන් වැස්සේ එක එකා තල්ලු කරමින් පීල්ලට ඔලුව අල්ලනවා.

ඒ සිදුවීම දුක් වෙන්න ඕන එකක්ද සතුටු වෙන්න ඕන එකක්ද?

අර ප්‍රේක්ෂකයාගේ හදවතේ ගැඹුරුම තැනින් ප්‍රශනයක් ඇහෙනවා.

අන්න එහෙම වෙන්න ඕන සමහර ගීත හදවතේ ගැඹුරුම් තැන් ස්පර්ෂ කරන්නේ.



රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ...

පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

රජ මැදුරක...//

ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

රජ මැදුරක...//

ගායනය : විශාරද මාලනී බුලත්සිංහල
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : එච්. එම්. ජයවර්ධන

Friday, March 24, 2017

සින්ඩරෙල්ලා . . !


ඔයා දන්නවා නේද?

ඔයා සපත්තුව අතහැරලා දිව්වේ අහම්බෙන් නොවන බව මම දන්න බව!

ඔව් ඒක හරිම වේදනාකාරී දෙයක් සින්ඩරෙල්ලා!

සිහිවටන ඉතුරු කර එක සැරේටම අතුරුදහන් වෙන එක.

ඒක හරියට, හරියට හර්ද්‍ය වස්තුවේ සුව නොවන තුවාලයක් වගේ.

ඔයා ලඟ ඉතුරු වුනු සපත්තුව "එක සපත්තුවකින් මොනවා කරන්නද කියලා" හිතලා ඔයා ඒක විසී කරන්නේ නෑ.

ඒ මම ඒක කවදාහරි ඔයාව හොයාගෙන ඇවිත් දේවි කියන යටි හිතේ තියෙන බලාපොරොත්තුව නිසා.

නොරිකෝ සං අර වෙස් මූන දෙවෙන්දරාගේ කාමරේ දොර ලඟින් තියලා ගියා වගේ හොරෙන්ම ඇවිත් ඒක ඔයාගේ දොරකඩින් තියලා සියලු මතකයන් අමතක කරලා ඒ සුව නොවෙන තුවාලේ සනීප කරගන්න පුලුවන් නම් කොයි තරම් දෙයක්ද.

ඒත් එහෙම කරන්න බෑ.

සපත්තු දෙක කවදාවත් එක ලඟ තියෙන එකක් නෑ.

අපි ඉඳහිට ඒ සපත්තු හංගලා තියෙන තැන් වලින් එලියට අරගෙන, අර සුව නොවෙන තුවාලේ ආපහු ආපහු පාරගෙන වේදනා විඳිමු.

Thursday, July 14, 2016

සඳුදා උදේ !


අඩේ අද සඳුදා, 6.50හේ බස් එකේ එයා ගියාද දන්නෙත් නෑ, අපරාදේ තව ටිකක් කලින් එන්න තිබ්බා, ප්‍රදීප්ගේ බොක්කු කට නිසා ඔෆිස් එකේ මීටින් දවස සඳුදට මම කලින් යනව කියලා එයත් දන්නවනේ. ඒ නිසා එයත් හැම සඳුදම 6.50හේ යන්න එන නිසා මම බස් එක ඇතුලේ කියලා හිතලා එයා ඒකට නැග්ගද දන්නේ නෑ

“ඕයි මෝල් . . බස් එකට නගින්නේ නැතුව මනෝ ගහ ගහ ඉන්නැතුව එල්ලියන් ෆුට් බෝඩ් එකේ. උඹේ සීන කුමාරි හන්දියේ බලන් ඇති උඹ මේ බස් එකේ එනකම්”

“නෑ බන් එයා 6.50හේ යන්න ඇති”

“මං හිතන්නේ නෑ එයා උඹව නොදැක්කොත් බස් එකට නගින්නෙ නෑනේ”

“අන්දිය බයින අය ඉෂ්ෂරාට එන්ඩෝ . . .”

“මෙහ් උඹයි මායි උඩට යමන්, බන්ඩට ෆුට් බෝඩ් එකේ ඉන්න කියමු. එයා 6.50 නොගිහින් උඹම එනකම් ඉන්නවද කියලා පොඩ්ඩක් ඇතුලට වෙලා බලන් ඉමු.”

“කෂ්ටිය ඉක්මනට බයින්ඩ බයින්ඩ . . .”

“අඩෝ අර ඉන්නේ - 6.50හේ ගිහින් නෑ, පව් ඕයි 7.10හේ ගිහින් ඉස්කෝලේ යන්නත් පරක්කු වෙනවා ඇති.”

“ඒක තමයි බන් හෙට ඉඳන් 6.50හේ එන්න ඕන . . උඹලා දෙන්නත් 6.50ටම සෙට් වෙයන් හරී.”

“අන්න බලහන් අන්න බලහන් එයා බස් එකේ නගින්නේ නැතුව ඉස්සරහ ඉඳන් පිටිපස්සටම ස්කෑන් කරනවා. මළ පෙරේතයා තෝව හොයන්න. තව පොඩ්ඩක් මට කවර් වෙයන්”

“ඕයි බූරුවෝ බස් එක අද්දන්න කලින් ඔය ජනේලෙකින් තොගේ හොම්බ දාපිය එලිය, නැතිනම් කෙල්ලට ඉකෝලේ යන්න වෙන්නේ නෑ අද . . ”

“ඒයි බන්ඩා ෆුට් බෝඩ් එකේ ඉන්නෙ නැතුව උඩට නැගලා අපි ඉන්න තැනට වරෙන්.”

“අනේ බන් බොරුවට බන්ඩාට කතා කරන්න වගේ තොගේ හොම්බ එලියට දැම්මයින් කෙල්ල නැග්ගා බස් එකට - ඔන්න එනවා ඔන්න එනවා ”

“ආව් ආව් පැනි හිනා දෙන්නගේ . . . ”

“ඕයි ප්‍රදීප් උඹේ ඔය බෝක්කුව වහගන්නවකෝ බස් එකේ මිනිස්සුත් හිනාවෙනවා . .”

“හරි හරි මම කට වහගන්නම් ඔච්චර හිනා වෙන එකේ ලව් බැලුම් දාන එකේ අදවත් කතා කරහන් බූරුවෝ ”

“කොහේ කතා කරන්නද ඕයි - ඇහෙන්නේ නැද්ද ඩහ් ඩහ් ගාන සද්දේ . . .. ”

“බන්ඩයි මායි නම් ඉස්කෝලේ යන උන් කිව්වෑකි තෝ මේ රස්සාවක් කරන එකා වෙලත්.. ”

“අනික ඒ ලමයා ස්කූල් යුනිෆෝම් එකෙන්නේ බන් . . හරි නෑනේ බන්”

“අනේ පොල් බූරුවා, මීහරකා, ගොන්වස්සා .. අනිත් උන්ගේ ලව් වලට චන්ඩියා වගේ කතා කරන  එකාට මේ තරම්ම ඕකේ එක දෙන කෙල්ලට කතා කරන්න ගට්ස් නෑනේ .. ලැජ්ජයි ඕයි . . ”

“අනුන්ගේ ඒවට කතා කලාට අපි තමා කිරිකෝඩු පොරවල් බන් . . හෙටම කතා කරනවා . .”

“අනේ උඹේ හෙට . .”
________________________________ 

සඳුදා උදේ දුර එද්දී මා - වැට ගාව ඔබ ඉන්නවා
රහසින් බලා නොකියා කියූ - ඔය රහස මම දන්නවා
සඳුදා ඉඳන් හැමදා උදේ මග මම් බලා  ඉන්නවා
සුරතල් මුවේ හිරිමල් හිනා දෙනදාක පිලිගන්නවා.

පාසල් වියේ පුංචි අපි නම් අනේ
අඳුන්නන්නේ නෑ ආදරේ
ඔබමයි හිතින්  ඉඟි පා නෙතින්
පවසන්නේ ප්‍රේමාදරේ

මේ ගේ ලඟින් යද්දී පැටලෙයි දෙපා
නුහුරුයිනේ මට ආදරේ 
කිරිකෝඩු මං මේ පෙම් රටේ
අපි තාම පොඩි උන් වගේ . .

සඳුදා උදේ දුර එද්දී මා . .

ගායනය - නිරන්ජලා සරෝජනී සමඟ ජාලිය රණතුංග



Pic From : colorful.bigbangfish.com

Monday, October 5, 2015

වෙන්වූ දා ඉතින් ඔබෙන් . . පල නෑ මේ තරම් හැඟුම්



අනේ මගේ දෙයියෝ . . හ්
ඔයා මොන හිතකින්ද අපිව දාලා යන්නේ රත්තරා . . ..න්
අපි ඔයා නැතුව සතුටින් ඉන්නේ කොහොමද වස්තුවේ . . . හ්
මං ඔයාට කොයි තරාම් ආදරෙයිද සුදෝ . . . හ්
අපිව දාලා යන්න එපා අයියෝ . . .. හ්

මොකාක් . .
මේ ගෑනි මම ඉන්නකම් මාව කන්න හැදුවා
මෙන්න යකෝ මම මලා විතරයි මේ ගෑනි මට ආදරෙයිලු
මේ ගෑනිට දිස්ටියක් වැහිලද?
මේහ් ඕයි . . ඕයි මේහ්

හෑ . . බුදු අම්මෝ මෙන්න හොල්මනාක්. . !

බෙරිහන් දෙන්න එපා යෝදියේ . .
මම මේ උඹේ මැරිච්ච මිනිහා . .

ඒක තමා වාහේ කිව්වේ ඔහේ හොල්මනක් කියලා 
බුදු අම් . .. 

ස්ස්ස්ස්ස්ස්ස් කෑ ගහන්න එපා ඕයි . . 
මම මලා තමා.
ඒත් දන්නේ නැතෙයි මලාට පස්සේ දවස් හත අටක් යන කම් ඒ ගෙදර මැරිච්චි මිනිහාට ඉන්න ඇහැක් වග?

ආ එහෙමද? 
ඔහේ ආවේ මගෙන් පලි ගන්නද?

අහවල් දේකට පලිගන්නද?
ඉන්න කම් ඔහේ මාව නොමරා මැරුවා තමා ඒත් ඉතින් ඉන් එහා මටෙයි කියලා කොයි තරම් නම් දේවල් කලාද?
උදේ නැගිලටා කෑම උයලා බෑග් එකට එබුවා.
අසනීපයක් හැදුනාම රෑ තිස්සේ ඇහැරිලා සාත්තු සප්පායම් කලා.
එහෙව් එකේ මක්කටෙයි මම ඔහේගෙන් පලි ගන්නේ?

නෑ ඉතින් ඔහේ ජීවත් වෙලා ඉන්න කාලේ අපිට තන්තෝසෙන් ඉන්න ඇහැක් කමක් තිබිලත් පොඩි පොඩි දේවල් මහා ලොකු දේවල් කරගෙන අපි හැමදාම වගේ රන්ඩු කලානේ.
අපේ සතුටට කියල ඔහේ කරපු කොයියම්ම දේක උනත් අඩු පාඩුවක් කොස්සක් හොයලා ඔහේට වචන වලින් දමලා ගැහුවා මිසක් ඔහේ අපි වෙනුවෙන් කරපු කිසිම දෙයක් අගය කලේ නෑනේ.
මෙච්චර දේවල් කරලත් මේ විදිහට කතන්දර අහ අහා ඉන්නවට වඩා මැරෙන එක සැපයි කියලා හිතලා ඔහේ අනේ ඉක්මනට මැරෙනවනම් කියලා හිත හදාගන්න ඇත්තේ ඒ හින්දා වෙනටෑ කියලා දැන් තමයි තේරෙන්නේ අයියෝ . .. 

දැන් ඉතින් ගිය දේ ගියා නෝනේ . . . 
මිනිය උඩින් සුදු මල් දෙකක් තියලා වැලහින්නි වගේ ඇඬුවට දැන් මැරුනු එකාට පන එන්නේ නෑ . . . 
ඉන්න කම් නොමරා මරපු එකාට මලාට පස්සේ මිනිය බදාගෙන ඇඬුවා කියලා සිද්ද වෙන වෙනසක් නෑ . . 
එහෙනම් ඉතින් දැන්වත් සතුටින් ඉන්න පුලුවන් කම තියෙද්දී ඕන නැති කොන් කෑලි හොයාගෙන නිකාන් සතුට නැති කර ගන්න මෝඩ කම ආයේ නම් කොරන්නේ නෑ කියලා හිත හදාගෙන සතුටින් ඉන්න බලන්න !
_________________________________________

සුදු මල් දෙකක් කඩා ගෙනත් 
මා නෙත් ලඟින් තබා 
ඔබේ කඳුලු බින්දුවෙන් තෙමා 
සමුගන්නෙපා එපා
උනුසුම් ඔබේ නෙතේ දියෙන් 
ඒ මල් හඬයි සිතා
නොසිතන් ළඳේ දිනක් නො ඒ 
වැලපෙන්නෙපා එපා . . 

සිනාසුනු ආදරේ නමින් 
බැඳී උන් ජීවිතේ මෙසේ 
වෙ වූ දා ඉතින් ඔබෙන්
පල නෑ මේ තරම් හැඟුම් 
පැතූ පෙම් මාලිගා බිඳී 
ගලා යයි වේදනා දිදී
මන්මත් වූ පැතුම් මැදින් 
පල නෑ මා සොයා ඇවිත් 

සුදු මල් දෙකක් කඩා ගෙනත්  . . 


Pic From: http://simplyoloni.com/shocking-abusive-relationship-stories/

Tuesday, January 28, 2014

අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . .



අද වැඩ ඇරිලා එන ගමන් මුත්තුසාමි සංගීතවත් කරපු මෝහන් රාජ්ගේ මධුරයාමේ සීඩී එක තමයි අහ අහා ආවේ . . ..

ඒකේ එක සිංදුවක් අහද්දී මට එක පාරටම හිතුනේ මේක මේ මහින්ද මහත්තයා ජනාධිපති වෙච්චි වෙලාවේ කියපු සිංදුව නේද යකෝ කියලා . . .

අහල බලපල්ලකෝ . . . මේ තියෙන්නේ මහින්ද මාත්තියාගේ ලිරික්ස් ඈ . . .

අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . .
අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . .

සිතුවා වගේ කොමිස් කතෑකී මින් පස්සේ සිතුසේ . .. .
සිතුවා වගේ කොමිස් කතෑකී මින් පස්සේ සිතුසේ . .. .

අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . .

හොඳට ගැහුවට කවදාවත් නෑ මුන්ට තේරෙන්නේ . .
හොඳට ගැහුවට කවදාවත් නෑ මුන්ට තේරෙන්නේ . .

අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . .

සිතුවා වගේ කොමිස් කතෑකී මින් පස්සේ සිතුසේ . .. .

චීනෙන් අරගෙන වංගුව ගහලයි කාලේ ගෙනියන්නේ . .
චීනෙන් අරගෙන වංගුව ගහලයි කාලේ ගෙනියන්නේ  . .

අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . .

ජිම්බිරින් ජිකින් බිකින් . . ජිම්බිරින් ජිකින් බිකින් . .

දෙවියන්ගේ බැල්ම අපිට වැදිලා තියෙනවා . .
අපේ පවුල ඉක්මනටම දියුනු කරනවා . .
දෙවියන්ගේ බැල්ම අපිට වැදිලා තියෙනවා . .
අපේ පවුල ඉක්මනටම දියුනු කරනවා . .

ජිම්බිරින් ජිකින් බිකින් . . ජිම්බිරින් ජිකින් බිකින් . .

කාලා බීලා ජොලිකරලා ඉන්නකම් අපී . .
ඉන් පස්සේ හපේ මුන්ට දීලා යතහැකී . ..
කාලා බීලා ජොලිකරලා ඉන්නකම් අපී . .
ඉන් පස්සේ හපේ මුන්ට දීලා යතහැකී . ..

ෆිල්ම් වලින් ගොන්නු ටිකක් ගෙනත් දුන්නැකී . .
මුන්ගේ චන්ද ඉන්පස්සේ නිකම් ගත්තැකී . . .
ෆිල්ම් වලින් ගොන්නු ටිකක් ගෙනත් දුන්නැකී . .
මුන්ගේ චන්ද ඉන්පස්සේ නිකම් ගත්තැකී . . . . . .

අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . .
අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . .

සිතුවා වගේ කොමිස් කතෑකී මින් පස්සේ සිතුසේ . .. .
සිතුවා වගේ කොමිස් කතෑකී මින් පස්සේ සිතුසේ . .. . . . .

http://www.youtube.com/watch?v=gioUWwm3T04

කාලෙකින් ලිව්වෙත් නැති එකේ නිකම් ජොලියට වගේ ලිව්වේ ඈ . . වැඩිය සීරියස් ගන්න එපා . . . හිකිස්

Friday, February 1, 2013

සහන සංවිධානය සහ මුදලට ආත්මය බිලි නොදුන් නීලා . . !

neela

සිතාරයක තතක් ශෝකී ස්වරයෙන් වැයෙයි. දෑස අගට ලොකු කඳුලු බිඳු දෙකක් උනා එයි.

කොහේදෝ ඈතකින් බටලී හඬක් ගලා එයි. සිත කාන්සියකින් පිරී යයි.

වයලීනයක තත් උච්ච ස්වරයකින් පිරිමදිනු ඇසෙයි. හදවත උල් නියපොතු වලින් සූරනවා වැනි වේදනාවක් දැනෙයි.

ගිටාරයක තත් හඬවන රිද්මයට බොන්ගෝ බෙරයක් වේග රිද්ම තාලයක් වයයි. නොදැනීම අපගේ දෙපා ඒ රිද්මය ලුහු බඳී, දෑත් එකට එකතු වී අත්පොලසන් නාද මවයි.

සංගීතයේ ආශ්චර්ය එයයි. කලාවේ ආශ්චර්ය එයයි.

අජිවී තතක්, ලීයක සවි වූ සත්ව හමක්, වියලුනු උණ ලී බටයක් තනිව මේ ආශ්චර්ය කෙසේ මැව්වාද?

නැත, එය එවැනි අජීවී වස්තූන්ගේ නිර්මාණයක් නොව ලේ මස් සමින් සෑදුනු සජීවී මිනිසෙක් ඒ අජීවී වස්තූන්ට ඔහුගේ හෝ ඇගේ සංවේදී හදවතේ රිද්මයෙන්, දෑතේ හුරුවෙන්, ජීව වායුවෙන් සජීවී බවක් අරෝපනය කලා පමනි.

ඔවුන්ව අපි කලා කරුවන් යැයි හඳුන්වන්නෙමු. අපේ හදවතේ සියුම් තැන් පිරිමැදීමේ කලාව දන්නේ ඔවුන්ය, සිනා වෙන්න නොදන්නවුන් මෙන් උදේ සිට රෑ වෙන තුරු ජීවිත හරඹයේ යෙදෙන ඒකාකාරී අප දිවියේ සිනා දොරගුළු හැර දෙන්නේ ඔවුන්ය, කඳුලු උල්පත් උපද්දවා දෙන්නේ ඔවුන්ය.

එවන් වූ විශ්ව කර්ම ප්‍රාතීහාර්යයන් මවන කලා කරුවෝ අතර හුදු කලාව පමනක් පිහිටා මනුසත්දම් නොපිහිටි උන්ද බොහෝය.

කලාවෙන් සංගීතයෙන් නොව ගිනි කන්දකින් උතුරා යන ලෝදියෙන් වත් මෙලෙක් කල නොහැකි නරුම හදවත් ඇත්තෝද මේ ලෝකයේ වෙති.

නමුදු වාසනාවකට අපට බොහෝ විට හමුවන්නේ අනෙකෙකුගේ දුකට හඬන්න උරහිස ලබා දෙන අයයි, කුසගින්නේ හඬන අයෙකුට පිහිට වන්න තමන්ගේ කුස පුරවා ගන්න තිබෙන තුට්ටු දෙක පූජා කල හැකි අයයි, ඉරුනු ඇඳුමක් ඇඳි අසරණයෙකුට තමන්ගේ ආසම ඇදුමක් වුව දන් දෙන්න හිතැති අයයි. අසරණ රෝගියෙකු සුවපත් කර ගැනීම වෙනුවෙන් බස් රියේ යාමට අතැති මුදල පුදදී පයින් යන්න තරම් කාරුණික අයයි.

භෞතික කිසිවක්ම කල නොහැකි නම් අඩු තරමේ කෙනෙක්ගේ දුකක් කරදරයක් ඉවසීමෙන් අසා සිටින්න තරම් වත් වූ විසල් හදවත් ඇත්තෝ ඔබ මා අසල නොවෙත්ද?
ටිකක් නැවතී අවට බලන්න. ඔබ අසල සිටින අනෙකාගේ නෙතේ ලෙංගතු හිනාව ඔබේ දුක් කරදර වලින් අඩක් නිමා කලා නොවේද? කාරුනික වචන සිතේ දුක් ගිනි නිව්වා නොවේද? මේ අවට හමා යන සුවඳ උතුම් මානුෂිකත්වයේ සුවඳ මිස වෙන කුමක්ද?

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

දිනෙන් දින ඉහල යන ජීවන වියදම හමුවේ ආදායම් විෂමතාවයේ පරතරය තව තවත් පුළුල් වෙද්දී, වැඩිවන ජීවන වියදමට සරිලන සේ ආදායම ඉහල නොයෑම "අපේ පූරුවේ කරුමේ" කියා සුපුරුදු දීන බවින් විඳ දරා ගැනීම අපේ ක්‍රමයයි.

හිස ගසා මරා දැමීම්, ඇඟපුරා කටු ගැසීම්, පුලුස්සා දමීම්, ඉහලමාලයෙන් තල්ලු කිරීම් ආදී භයානක පුවත් නිතර පුවත් පත්, රූපවාහිනී ආදී මාධ්‍යන්ගෙන් ප්‍රචාරය කරත්දීත් ගෘහ සේවිකාවන් ලෙස අපේ කාන්තාවන් අරාබියට එන්නේ ඇයි කියා ඔබ මොහොතක් වත් සිතා ඇත්ද?

වැලිකැට පවා පුපුරන ගිනිගහන කාස්ටකය, දූවිලි කුනාටු ආදිය ගැන දැනුවත් වීත් අපේ මේසන්වරු, වඩු කාර්මිකයන්, කම්කරුවන් මැදපෙරදිග ගොඩනැගිලි සහ මාර්ග ඉදිකිරීම් රැකියා සඳහා යාමට ඒජන්සි වල පෝලිම් ගැසී ඉන්නේ විනෝදෙට කියා ඔබ මොහොතකට වත් සිතුවාද?

සහෘදය,

කෑමට යමක් ඉල්ලා හඬන දරුවෙකුගේ කුසගින්න නිවන්න;

එකම පොතේ විෂයන් කීපයක සටහන් තබන ඉරුනු නිල ඇඳුමක් ඇඳන් පාසල් යන දරුවෙකුට සහෝදරයෙකුට අවුරුද්ද මුලදී පොත් ටික අරන් දෙන්න, නිල ඇඳුමක් මසා දෙන්න, කැන්ටිමෙන් මාලු පාන් ගෙඩියක් කන්න උදේම කීයක් හරි මිට මොලවන්න;

කුලී ගෙදරක සිට තමන්ගේම කියා පොල් අතු පැලක් හෝ අටවා ගන්න;

දන්න කියන දා සිට උදේ සිට රෑ වෙන තුරු දරුවන්ගේ කුසගින්න නිවන්න උවමනා එපාකම් පිරිමහන්න වෙහෙසුනු අම්ම තාත්තාට කෑමට බීමට බෙහෙත් හේත් වලට මාස් පතා මුදලක් යවන්න,

මේ එක කරුණක් හෝ කීපයක් ඉටුකර ගන්න ලැබෙනවා නම් හිස ගසා දමන්න, කටු ගසන්න, කාස්ටකේ වෙලෙන්න නොව මාරයගේ කටට පනින්න වුව නොපසුබට මවක්, පියෙක්, සහෝදරයෙක්, සහෝදරියක් සොයා ගැනීම අප ජීවත් වන සමාජයේ මහා කාරියක්ද?

එසේ තමන්ගේ අය වෙනුවෙන් මාරයාගේ මුවට නොව ඕනෑම නරකාදියකට වුව කමක් නැතැයි සිතුවා වුවත් මැදපෙරදිග එන අපගේ හදවත පිරී ඇත්තේ සුභ සිහින වලින් නොවේ යැයි අපට අපගේ හදවතට තට්ටු කර ඇසුවොත් නොකියාවිද?

හැකි ඉක්මනින් මුදල් සොයාගෙන කලින් හිටියාට වඩා යහපත් ජීවිතයක් මවුබිමේ හිතැත්තන් සමඟ ගත කරන්න හීන මවාගෙන අරාබිකරයට ආ අපිට අහම්බෙන් අසනීපයක් වී රෝහල් ගත වෙන්න සිදුවුනොත් එහි බිල ගෙවන්නේ කෙසේද, බොරු කාර ඒජන්සිකාරයෙකුට අසුවී කාන්තාරයේ අතරමං වෙන්න සිදු උනොත් ආපසු ලංකාවට යන්න ගුවන් ටිකට් පතක් ලබා ගන්නේ කෙසේද?

මෙතුවක් එක් එක් ශ්‍රී ලාංකික සංවිධාන එකතු වී එසේ අසරණ වූ අයට පිහිට වූවා නමුත් (අසා ඇති ආකාරයට බොහෝ ඉන්දියානු සංවිධාන පවා ශ්‍රී ලාංකික අපට නිතර පිහිට වී ඇත.) කිසියම් සංවිධානයක් සමබන්ධ කරගත නොහී අසරණ වූ අය කීදෙනෙක් නම් ඇත්ද?

ටික කලකට පෙර ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරුවී එක්සත් අරාබි එමීරයේ කාරුණිකයන්ගේ පිහිට ලැබූ ශීතකරණය උඩ තිබූ ඇසිඩ් බෝතලයක් ඔලුවට පපුවට වැටී රෝහලේ ගතව අසරණවූ සොයුරිය මෙහි වාසය කරන සියළුම දෙනාගේ ඇස් ඇරවූවාය.

ඇය ගැන සඳහන් වූ ගල්ෆ් නිවුස් පුවත් පතේ පලවූ එක් ලිපියක් මෙතනින් කියවන්න

අනෙක් ලිපිය මෙතනින් කියවන්න

එක් එක් ආගමික, වෘත්තීක, ක්‍රීඩ සමාජීය, සංස්කෘතික, විනෝදජනක, සුභ සාධක ආදී සංවිධාන රැසක් ක්‍රියාත්මක වූවා වුනත් ශ්‍රී ලාංකික අප වෙනුවෙන් ම සියළුම එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික අප එකතුවී කිසියම් සුභ සාධක සංවිධානයක් පිහිටුවා ගත යුතු බව අපට ඇහැට ඇඟිල්ලෙන් ඇන කීවාසේ දැනුම් දුන්නේ ඇයයි.

එතැන් සිට මෙහි ඇති එක් එක් සංවිධාන විසි ගනනක අය නිතර මුන ගැසී සාකච්චා කොට ඉතා ඉහල සංවිධානාත්මක භාවයක් රඳවා ගනිමින් පිහිටුවා ගත් සංවිධානය "සහන" සංවිධානයයි. (Sri Lankan Welfare Association in the UAE)

Sahana Logo (1)

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

අජීවී සංගීත භාණ්ඩ වලට සජීවීත්වය එක් කරන සංවේදී පුද්ගලයෝ  කලාකාරයෝ ලෙස අප හඳුන්වන බව ලිපියේ මුල්දී මම කිවෙමි. කලාව පමනක් පිහිටුවා සංවේදී බව නොපිහිටි ඊනියා කලා කාරයෝ කියා කියා ගන්නා අයද ඇති බව කීවෙමි.

සහන සංවිධානයට අරමුදල් රැස් කිරීම සඳහා සංගීත සැඳෑවක් සංවිධානය කිරීමේ අදහස මතු වූ අවස්ථාවේ අපට නියම කලා කාරයින් සහ ඊනියා කලාකාරයින් යැයි, කියා ගන්නා අයගේ වෙනස අඳුනා ගන්න හැකි වූ බව සඳහන් කරන්නේ එවන් වූ අය ගැන උපන් කලකිරීමෙනි.

සහන සංවිධානයේ ක්‍රියාකාරීන් විසින් මහා ඉහලින් අදහන බොහෝ කලාකරුවන්ට සංවිධානයේ අරමුන පැහැදිලිකොට සංගීත ප්‍රසංගයක් ගැන ඉල්ලීම් කල විට අපට ඔවුන්ගෙන් ලැබී තිබුනු පිලිතුරු වී ඇත්තේ "හොඳ අදහස . . ප්‍රසංගයක් සංවිධානය කරන්න. අපේ මිල මේකයි . .!"

මිල මුදල් ඔවුන්ගේ සංවේදීතාවය බිලි ගත්තාද? මිල මුදල් විසින් ඔවුන්ගේ සංවේදීතාවය, හර්ද්‍යාංගම බව උකසට ගත්තාද දන්නේ ඔවුන්ගේ හර්ද්‍ය සාක්ෂිය පමනි.

මිල මුදලට ආත්මය බිලිදුන් කලාකරුවන් අතර නීලා වික්‍රමසිංහ මහත්මිය සැබෑ සංවේදී කලාකාරියකි.
මුදලට ගී ගැයිය හැකි ලංකාවේ ප්‍රසංගයක් ඇති බැවින් "සහන" සංවිදානයේ ප්‍රසංගය සතියකට හෝ පමා කල හැකි දැයි ඇය අසා ඇත.

ශ්‍රවනාගාරය වෙන් කරවා ගැනීමේ අපහසුවක් ඇති බැවින් පමා කල නොහැකි බව දැනුම් දුන් විට ඈ එසේ ඇගේ ජන්ම හැකියාව වූ ගී ගැයීමෙන් මුදල් උපයන්න තිබූ අවස්තාව අතහැර කාන්තාරයේ දුක් විඳින අප වෙනුවෙන් මුදල් රැස් කරන ප්‍රසංගයට ගී ගයන්න පැමිනෙන්නේ මිල මුදල් වලට වඩා මානුෂිකත්වය කෙරෙහි ගරු සරුවක්, තෙතමනයක් ඇගේ විසල් හදවතේ තිබෙන නිසා නොවේද?

ඩිරාහ්ම්ස් දෙදාහක් (Rs. 70,000/-)  වැනි මුදලක් ගෙවීමේ හැකියාවක් සංවිධානය සතුව ඇතැයි සංවිධායකයින් ඇයට පවසා ඇත.

ඇයගේ පිලිතුර වී ඇත්තේ "බොහෝම ස්තූතියි, ඒ මුදලත් සංවිධානයේ මූල්‍ය ස්තාවරත්වය වැඩි කරගන්න අරමුදලටම යොදවන්න. කිසිම මුදලක්  මට එපා. ඔබලා ගේ උදාර කාර්ය වෙනුවෙන් මා සතුටින් නොමිලේ ගී ගයන්නම්" කියායි.

විස්වාස කරනවාද? ඒ බව ඇසූ වෙලේ ඇයගේ උතුම් මානුෂිකත්වය මගේ නෙතට කඳුලක් ගෙනා බව.

ඉතිං සහෘදය ඈ අප වෙනුවෙන් සතුටින් ගයන්නී . . . අප මුදල් දී ටිකට් පතක් ගෙන ඒ ගී අසා අප වෙනුවෙන් ඇය වෙහෙසන කාරිය උත්කෘෂ්ඨත්වයට පත් කරමු.

Master Sir_15022013

දයබර සොයුර, සොයුරිය, 2013 පෙබරවාරි මස 15 වෙනි සිකුරාදා සවස 7.30ය ඩුබායි හි රශීඩ් රෝහලේ වෛද්‍ය පුස්ථකාලයේ ශ්‍රවනාගාරයේදී නීලා වික්‍රමසිංහ මහත්මියගේ "මාස්ටර් සර්" ප්‍රසංගය නරඹන්න ඔබ සියළු දෙනාම පැමිනෙන්න.

වැලිකතරේ සේවය කරන අප අහම්බයෙන් හෝ අසරණ උනොත් පිටක් ලබා දෙන්න සංවිධානය වූ සහන සංවිධානයේ සාමාජිකයෙක් වෙන්න.

ඔවුන්ට සවියක් වන්න.

ඔබටයි මේ සුහද ආරාධනය . .. !

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

නීලාගේ සුවිසල් ගීත එකතුව අතුරින් මගේ ප්‍රියතම ගීත දෙකයි මේ



වියෝ ගී ගැයෙනා හදේ . . .
වියෝ ගී ගැයෙනා හදේ . . .
ආදර මල් නොමියේ. . . .
සදා මේ සංසාරයේ . . .
අපේ හමුවීම නොවේ . . . .

අතීතයේ මායා රූ කැඩී බිඳී යාවී . . . . .
අනාථ වූ මා දෑසේ කතා නිමා වේවී. . .
මගේ කඳුලු හංගා මා සිනා සිසී ඉන්නේ . . .
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා. . .

වියෝ ගී ගැයෙනා හදේ . . . .

අනාගතේ සිහිනේ නෑ මෙදා සැබෑ වෙන්නේ . . .
මිලාන වූ ආකාසේ  අපේ පැතුම් පාවේ . . . .
මගේ පැලේ තනිවී මා සුසුම් හෙලන වේලේ . . .
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා . . . .

වියෝ ගී ගැයෙනා හදේ . . .
ආදර මල් නොමියේ. . . .
සදා මේ සංසාරයේ . . .
අපේ හමුවීම නොවේ . . . .


බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැළවුනදා මුළු ලොවටම රෑ වෙනවා

ජීවිතේ පියාඹමින් සිනාසිසී හිඳිනා
ඒ සිනා මා බොළඳ නෙතේ උනු කඳුළක් කරනු එපා

මල් පොහොට්ටු මා හදේ සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා ඔබ නටුවෙන් මිදෙනු එපා

බෝධියේ විහාරයේ . . ..

Sunday, January 20, 2013

අහසින් තරුවක් කඩා වැටෙනවා . .. !

blood

"මට සමාවෙන්න පවිත්‍රා. මම ලොකු වැරැද්දක් කලේ කියලා මගේ හිත කියනවා. මට මේ තරම් දුර යන්නේ නැතුව ඉන්න තිබ්බා"

සුදර්ශන සිදුවුනු දේට කනගාටුව ප්‍රකාෂ කරන හඬකින් කියන්න උත්සාහ කලත් ඒ වචන වල කිසිම පසුතැවීමක්, ශෝකයක් නෑ තියෙන්නේ උද්දාමක් වගේ දෙයක් කියලා පවිත්‍රාට හීතුනා.

"ඒකට කමක් නෑ"

පවිත්‍රා කිසිම හැඟීමක් නැති හඬකින් කිව්වේ තානායම් කාමරේ ඇඳේ කොනක තිබ්බ රෙද්දක් අරන් ඇඟවටේ ඔතා ගන්න ගමන්.

"ඒ උනාට, මගේ හිතට කනගාටුයි"

ඇඳ රෙද්දේ රතුපාට පැල්ලම දිහා බලාගෙන එහෙම කියන සුදර්ශනගේ ඇස් දෙකෙන් සතුටක් කාන්දු වෙනවා වගේ කියලා එයා දිහා ඇස් කොනෙන් බලපු පවිත්‍රාට හිතුනා.

"ඇයි ඔයා ඒ ගැන ඔය තරම් හිතන්නේ. ආදරේ වෙනුවෙන් මට පූජා කරන්න බැරි දෙයක් නෑ කියලා මගේ හිත කියපු නිසා මම එකඟ වුනා මිසක් ඔයා මට බලහත්කාරකමක් කලා නෙමේනේ"

පිරිමින්ට මේ පොඩි ලේ බින්දුව මේ තරම් මහා ලොකු දෙයක්ද? පවිත්‍රාගේ හිතට ආවේ නොරිස්සුමක්.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

"පවිත්‍රා මම කියන දේ අහන්න ළමයෝ. මට අම්මලගේ බලාපොරොත්තු නැති කරලා දාලා ඒ අයගේ හිත රිද්දන්න පුලුවන් කමක් නෑ. මගේ තත්වෙත් පොඩ්ඩක් තේරුම් ගන්න”

ඕනෑම වටිනා දෙයක වටිනාකම තියෙන්නේ ඒ දේ තමන්සතු කරගන්නකම් විතරයි කියලා පවිත්‍රා හිතලා තිබ්බට ඒක හරියටම තේරුම් ගත්තේ අදයි කියලා හිතුනා.

"හ්හ්ම්ම්ම්ම්ම්ම්"

"අනික අපේ අම්මගෙයි අප්පච්චිගෙයි නෑදෑයෝ ඔය කුල මල හැම මගුලම හොයන උන්"

හතර පෝයටම සිල්ගත්තට, උදේ පාන්දර ගමටම ඇහෙන්න රේඩියෝ එකේ පිරිත් දාගෙන, හලාල් කෑම ගන්න එපා කියලා දන්න දන්න එකාට කිය කිය අපි බෞද්ධයෝ කියලා ලේබල් ගහගත්තට උඹලා බුදු හාමුදුරුවන්ගේ දහම නෙමෙයි ඉන්දියාවේ බමුනන්ගේ දහමක් ඔලුව උඩ තියාගෙන ඉන්න මිත්‍යා දෘශ්ටිකයෝ කියලා කෑ ගහලා කියන්න උවමනාව තිබ්බත් පවිත්‍රා සුපුරුදු නිහඬතාවයම රැක්කා.

"ඔයා ඉතිං තාමත් තරහින්"

පවිත්‍රගේ නිරුවත් ළැම උඩ හිස තියාගෙන උන්නු සුදර්ශන නැගිටලා ටවල් රැක් එකෙන් තුවායක් අරගෙන ඉන වටේ දවට ගත්තා.

"මේ කාලකන්නියා මාව මඟ හරින්න හදනවා කියලා තේරිලත් මම ආවනේ මූත් එක්ක නිදි වදින්න" පවිත්‍රාට එයා ගැනම ආපු තරහව පිට කර ගත්තේ ලේ පිරෙන තරම් හයියෙන් දත්වලින් යටි තොල හපා ගැනීමන්.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

 "හලෝ . .. හලෝ . .. කවුද මේ"

"හලෝ පවිත්‍රා, මම මේ සුදර්ශන. ඔයා මගේ නම්බර් එකත් ඩිලීට් කලාද?"

"ආ හලෝ කොහොමද? ඉතිං කවද්ද වෙඩින් එක?"

"ඔයා නක්කලේට අහන්නේ?"

"ඇයි මම නක්කලේට අහන්නේ?"

"ලබන 20, හිල්ටන් එකේ. ඔයාට ඉන්විටේෂන් නොදී ඉන්නම් කමක් නෑනේ"

"හෝම් කමින් එක කවද්ද? ඒකත් හොටෙල් එකකද?"

"නෑ ඒක අපේ ගෙදර, දන්නේ නැද්ද අපේ අම්මලා ගම් වල හැදුනු අයනේ. එයාලගේ අය රෙදි නැන්ද කෙනෙක් එහෙම එක්ක එන්න ඕන කියල . . "

"ආ මේ ලේලි පොඩ්ඩ පත්තිනි අම්ම කෙනෙක් ද කියලා සැක හැරලා දැන ගන්න. බලාගෙන, ඔය පත්තිනි අම්මලගේ රෙද්දේ තුත්තිරි කාටවත් පේන්නේ නෑ.  . .හඃ හඃ හා . . ."

"මම තියනවා . . බායි"



අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නෑ අහසයි වැලපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නෑ සුළඟයි වැලපෙන්නේ


පෑහීමක් නෑ නොකෙරෙන දීගේ
හෙවනැල්ලත් ඇදලූ
දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ
හිත හොඳ වැඩි කමලූ . . .


අහසින් තරුවක් කඩා වැටෙනවා . .

මලෙන් උපන් මල් පත්තිනි දේවී
කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම්
ඔබේ මගුල් දවසේ


අහසින් තරුවක් කඩා වැටෙනවා . .  . . .!!

ගායනය : මාලනී බුලත්සිංහල

Pic From: http://www.ehow.com

Wednesday, December 7, 2011

මං . . මේ මං . . . !



හාත්පස ඇදහිය නොහැකි නිස්කලංක බව හිතේ ඇති කරන්නේ නොසන්සුන්කමකි.

ඒ නිස්කලංකබව අනෝරා වැස්සකට පසු ඇතිවන අරුම නිස්කලංක භාවය මෙනි.

දෙදෙනාගේ වචන හුවමාරුවේ ගෝසාව ඒ නිස්කලංකබව මැද සුලි සුළඟක් මෙන් දෙසවන සිසාරා රැව් පිලිරැව් නඟයි.

කතාබහේ දිගුව කවුරුන් විසින් අරබන්නදෝයි සිතේ කරන පෙරලිය අනෙකාට ඇසෙයිදෝ මෙන් බියෙන් දෙදෙනාම දෙදෙනා දෙස බලාගත්වනම හුන් ආසන වලම හිරවී සිටී.

"නිරාෂා, ඔයාගේ ඔය මල ඉලව් ගායනය නවත්තලා විනෝදාංශ ඕනෙම නම් වෙන මොනව හරි කරන්න . . ., පොත් බලන්න පුලුවන්, ෆිල්ම් බලන්න පුලුවන් කොයි තරම් දේවල් තියෙනවද රටේ ලෝකේ"

නිරාෂාගේ නළලේ රැලි කීපයක් නැඟෙන්නේ ඇගේ මුවට එක්විටම ගලා ආ වදන් සීමා කරගෙන සිත් නොරිදෙන පිලිතුරක් ගොඩ නගා ගන්න කාලය ලබා ගනු වස් යැයි සහන්ට නොතේරිනිද?

"අනේ සහන්, මම හිතන්නේ මට සින්දු කියන්න හොඳ හැකියාවක් තියෙනවා, මට හොඳ කට හඬක් තියෙනවා කියලයි. අනිත් අයත් එහෙම කියනවනේ . . . අනෙක මම හරිම සතුටක් ලබන්නේ ඒ විනෝදාංසෙන් . . ඉතිං එහෙම එකේ ඇයි මම ඒ විනෝදාංශේ නවත්වලා ඔයා කැමති, ඔයා තෝරලා දෙන විනෝදාංශයක් තෝරගන්න කියලා කියන්නේ?"

අධිපතිවාදය, අනෙකා මත තම බලය පැතිරවීමට ඇති කැමැත්ත හෝ ඉරිසියාව . . . මේ සියල්ල සමඟ සම්ම්ශ්‍රණය වූ හැඟීමක් සහන්ගේ හිතට ආ නමුත් ඒ සියල්ලට ප්‍රතිවිරුද්ධ අදහසක් ප්‍රකාෂ කල යුතු බැව් ඔහුගේ හිතට නැගෙන්නේ අසුරක් ගසන නිමේෂයකින්.

"මම එහෙම කියන්නේ ඔයාට තියෙන ආදරේ නිසානේ ළමයෝ . ."

මේ දැන් මෙතන ඉන්නේ මීට මොහොතකට කලින් ගෝරනාඩු කල මිනිසාමදැයි සිතා ගත නොහැකි තරම් වූ ළාමක හඬක් කෙසේ ආරෝපනය කර ගත්තාදැයි සහන්ටම හිතුනු අතර "අනේ මේ මිනිහා මට කිසි හැඟීමක් දැනීමක් නැති එකියෙක් කියලා හිතනවද?" කියා හැඟීමක් නිරාෂාට ඇති වුනු බව සහන් සනාත කර ගන්නේ ඇගේ මුහුනේ ඇතිවී නැතිවුනු සමච්චල් සිනාව නිසාවෙනි.

සැබෑ ආදරය නම් අනෙකාගේ සතුට පතන, තමන් ආදරය කරන කෙනා සතුටු දේ ලබාගෙන සතුටු වීම දිහා බලා සතුටු වීම නොවේදැයි වාදකලේ පසුගිය සතියේය. මේ ඉක්මනට ඒ දේ අමතක වූවාද නැති නම් උවමනාවෙන් අමතක කලාද?

"මට තියෙන ආදරේ නිසා නම් ඇයි මම සතුටු වෙන දෙයක් කරනවට ඔයා ඔය තරම් අකමැති සහන්"

යලිත් ගෝරනාඩුවක් තරම් වචන හුවමාරුවකට යාමට නොරිසි නිරාෂා මතුරන්නේ සහන්ට ඇසෙන්නට නොව ඈත ක්ෂිතිජයේ කොහේ හෝ ඉන්නා හදවතේ සියුම් රිද්මය පවා හඳුනා ගත හැකි ප්‍රානියෙකුට පවසන්නාක් මෙන් නොපෙනෙන අනන්තයක නෙත මානාගෙනයි.

මං . . මේ මං . . . මං කිරිල්ලියක් . .
මං කිරිල්ලියක් තමයි . .
මේ . . මගේ පිහාටූ . .
මට ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කනගාටූ
හිත සනසවන්න හිස අතගා දෙඩුවත් චාටූ . .
තටු කපන්නේ ඇයි . . හද මවමින් අඳුරු කුනාටූ . . . .

නිල් අහස අයිති අපටයි . .
ඔව් අත්තටු ඇති අයටයි . .
මේ ගමන අලුත් ලොවටයි . .
වැට කඩුළු ලෑම නිවටයි . .

ගඟ ගලන්නේ සමුදුරටයි
ඔව් බාදක නම් එමටයි
තටු ලැබෙන්නේ පෙර පිනටයි
තටු කපන්නේ බැරි කමටයි . .
තටු කපන්නේ බැරි කමටයි . . !

ගායනය - නිරෝෂා විරාජිනී
ගී පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීත නිර්මාණය - මහින්ද බන්ඩාර


පහුගිය කාලේ දවසක් බස් රේඩියෝ එකේ කතාබස් වැඩසටහනකට මට ආරාධනා ලැබිලා ඒක විකාෂනය වෙන අතරට දාන්න මගේ ප්‍රියතම ගීත කීපයක් තෝරා දෙන්න කියපු වෙලාවේ මම තෝරපු ගීතයක් මේ ගීතය.

නමුත් වැඩසටහන අතරතුර ගූගල් බස් සමඟින් එකතු වෙලා වැඩසටහන අහපු අය බස් එකේ කොමෙන්ට් කලා අයියෝ මෙලෝ රහක් නැති සිංදුවක් මේක නම් කියලා.

මම මේ ගීයට ප්‍රිය කරන්නේ මේ ගීයේ මට විඳින්න පුලුවන් තරමේ රසයක් (අර්ථය, සංගීතය, ගායනා කරන ආකාරය) තියෙන නිසා.

එත් මේක මෙලෝ රහක් නැති එකක් කියලා කියන අය මෙකේ පදමාලාවේ අර්ථය තේරුම් අරගෙන නැති නිසා මෙලෝ රහක් නෑ කියනවා වෙන්න ඕන කියලා මට හිතුනා.

ඉතිං එදා හිතුවා වෙලාවක මේ ගීතයේ අර්ථය මට දැනුනු විදිහ ලියන්න ඕන කියලා . . .

ඉතිං එච්චරයි . . . . . !!!

අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි . . .

Thursday, September 29, 2011

ඔබ නැති නම් මිහිපිට නැත මම් . . !


“ඔය තරම් බොන්නේ ඇයි තාත්තේ”.

“ ඒ විතරක්ද පුතේ සිගරට් එකක් ඉවර වෙන්න එකක් . . කිව්වට අහනවද මෙයා ”

“ තාත්තට ඕන ඔව්ව ඔහොම බීල බීල ලෙඩක් හදාගෙන ඉක්මනට මැරෙන්නද? ”

“ තොපි ඉතිං මම මැරෙන කම් තමයි බලන් ඉන්නේ ”

“ ඔය ඉතිං . . හඳ පෙන්නුවම ඇඟිල්ල ඇදයි කියනවා ”

" හිටපල්ලකෝ . . මම ඉක්මනට මැරෙන්න උඹලට එතකොට නින්ද යයිනේ "

" පිස්සුද සිරී . . ඔයා මැරුනාම කොහොමද . . ඔබ නැති නම් මිහිපිට නැත මම් "

" මොකක් . . අම්මට පිස්සුද? මෙයා බීලා මලා කියලා අම්ම සති පූජා කරන්නද? විකාර නැතුව ඊට පස්සෙවත් හොඳ මිනිහෙක් හොයලා බැඳලා සන්තෝසෙන් ඉන්න තියෙන්නේ "

" මේ නහින දෙහින කාලේ? "

" ඇයි අම්ම කියන්නේ නහින දෙහින කාලේ ඉන්න මිනිස්සු සන්තෝසෙන් ඉන්න එක පවක් කියලද? . . වයසට ගියා කියලා මිනිස්සුන්ගේ කටවල් වලට බයේ දුකෙන් ඉන්න ඕනද? "

ඒ සංවාදේ අපේ ගෙදරදී අම්මයි මායි තාත්තයි අතර ඇති උනේ මීට අවුරුදු දහයකට විතර කලින්.

එදා ඉඳන් අපි හැමෝම එකට හම්බවෙන ගොඩක් වෙලාවට රෙකෝඩින් කරපු කැසට් එකක වගේ මේ සංවාදය කෙරෙනවා . . .

ලස්සනම හරිය අර "ඔබ නැති නම් මිහිපිට නැත මම්" කොටස අම්මා ලස්සනට ගායනා කරන එක.

ඇත්තෙන්ම ශ්‍රීමතී තිලකරත්නගේ ගීත පුංචි කාලයේ ඉඳන් ගුවන් විදිලියේ ඇහුව වුනත් මේ ගීතය විශේෂයෙන්න් අහන්න පටන් ගත්තේ අර සංවාදේ මුලින්ම ඇති උනාට පස්සේ කියලා මට හොඳින් මතකයි.

එදා ඉඳන් අදවන තුරු වෙනසක් නැතුව මම මේ ගීයට කැමතියි. නමුත් කාලයක් යනතුරු නිතර නෑසුනු ගීයක්.

මා මිතුරු තුෂාර ඕමාන්හි රැකියාව කරන කාලයේ ඩුබායි හිටි අපි අනෙක් මිතුරන් නිවාඩුවකට ඕමාන් ගිය මොහොතක ඔහුගේ කාරයේ තිබී අහම්බෙන් මේ ගීය අහන්න ලැබුනාම අර නෑසෙන ගීයේ රසය මාව කොපමන කුල්මත් කරාද කියනවානම් ඒ කැසට් පටය යලි ඩුබායි එන ගමන් තුෂාරගෙන් ඉල්ලන් එන්න මම අමතක කලේ නෑ.

නමුත් "වාසනාවකට" ඒ කැසට් එක ඉල්ලගෙන ගිය මිතුරෙක් ආපහු දුන්නේ නෑ (සුපුරුදු පරිදි)

ඒත් ඒ ගීයට මගේ ඇති කැමැත්ත එහෙම්ම ම තිබුනා.

ලංකාවේ නිවාඩු ගතකරන දිනක නුගේගොඩ සුපිරි වෙළඳ සංක්‍රනයේ සංයුක්ත තැටි සොයා මෙහෙයුමක් දියක් කරපු මොහොතක ශ්‍රීමතී තිලකරත්නගේ අමරස පෙම් සීඩී පටය මිලදී ගැනීමට මා පෙළඹෙව්වේ ඒ කැමැත්තම බව නොකියාම බෑ.



ශ්‍රීමතීගේ ගීත බොහොමයක් රචනා කර තිබෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා.

මගේ යෝජනාව නම් ඔබ ප්‍රේමකීර්ති ගී රචනා සහ 70 දශකයේ අපූරු සරල ගී ප්‍රිය කරන අයෙක් නම් මේ සංයුක්ත තැටිය අනිවාර්යෙන් මිලදීගෙන ඔබේ ගීත එකතුවේ තබා ගත යුතුම බවයි.

ඉතිං අහලා බලන්න එහි අඩංගු ගීත. (මේ ගීත මම අන්තර්ජාලයෙන් බාගත කර ගත්තේ - සබැඳිය නම් මතක නෑ)

අමරස පෙම් රසයෙන් කැලතෙන්
ඔබ නැති නම් මිහිපිට නැත මම්
ඔබ නැති නම් මිහිපිට නැත මම්
අමරස පෙම් රසයෙන් කැලතෙන්

සඳ වතුරෙන් සඳ සිසිල ගෙනා
ඔබ දැකුමෙන් සිත උමතු උනා//
මා ජීවත් වන බව මට දැනුනේ
ඔබ හද සැලෙනානා රාවෙන් . . //

සුපිපුනු මල් නටුවෙන් ගිලිහී
මඳ සුළඟින් ඔබ වෙත පැමිනී//
ඔබ පා මත වැතිරී පර වෙන්නට
මට ඉඩ දෙනු මැන මතුදා //


අර උඩ පින්තූරේ ඉන්න කොල්ලයි කෙල්ලයි ඒ කෙල්ලගේ නංගිගේ වෙඩින් එක දවසේ තමයි යාලුවෙල තියෙන්නේ . . .

ඒ කොල්ලා අර කෙල්ලගේ නංගි බැඳපු කොල්ලගේ නෑදෑ වෙන කොල්ලෙක්.
ඒ කොල්ලව දැක්කම ඒ කෙල්ලට මේ සින්දුවේ කියනවා වගේ "ඔබ දැකුමෙන් සිත උමතු උනා" වගේ වැඩක් වෙන්න ඇති කියලා අපි ඉතිං හිනා වෙනවා.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

අසා බලන්න මේ ගීතත් ඔබට සුපුරුදු ගීත නොවේද කියා

ආත්මයෙන් ආත්මය පතා එන ගිම් නිවාලන ප්‍රේමයේ කතාවක් . . . . .

ආත්ම ගනනක සිතුවිලි අතරේ
මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙ අතක දෙදෙනෙකු වීලා
නැහැ නොවැ කිසිදා මුසු වන්නේ

සඳවත පායන රෑ කල අහසේ
කැලතී කැලතී සිත් යහනේ
මහද ඇඳෙන්නේ ඒ ඔබෙ රූපෙද
පාලුව තනිකම පටලාලා

මිනිසත් බාවය මා නොලදී නම්
පියඹා එනවා සුවඳ දිගේ
ඒ එන පාරේ විඩා නිවාලන
සීතල පවනද ඔබෙ ප්‍රේමේ


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

මේ ලොවට මා එන්න ඇත්තේ ඔබ ලබන්නම නොවේද?
ඔබට මා නැතුව . . මට ඔබ නැතුව . . අපට අප නැතුව වෙන මොනවා ලැබුනත් පලක් වේද . . ?

ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
සහන පවන් සැලූ
මා ලඟ ඔබ සිටිනා විටදී
ලොවම දැකුම් කලූ //

මල් වැල් වන විල් පිරී ගියේ
සෙවන දෙවන්නලූ
බිඳු නඳ විහඟුන් ඉගිල්ලුනේ
මිහිරෙ රැඳෙන්නලු
පුන් සඳ නැගුනෙත් අහස් තලේ
අපට බලන්නලූ
දෙනෙතට කඳුලැලි තුරුල් කලේ
පෙමට අඬන්නලූ
පෙමට අඬන්නලූ . . .. .

මීවද මී පැනි පිරී ගියේ
දෙතොලෙ රඳන්නලු
දේදුනු ඕවිලි මැවී ගියේ
ලොවම පිනන්නලූ
මේ ලොව මා ඉපදුනේ ප්‍රියේ
ඔබව ලබන්නලූ
ඒ හැර ලැබුනත් පලක් නැතේ
ඉසුරු මැනික් මලූ

ශ්‍රීමතී වික්ටර් සමඟින්



. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

ඔබේ ආදරය සෙහෙනෙසහ රැකවරනය හැර වෙන කිසිදු භෞතික සම්පතක් මට නොවේ අගනා . . . !

රත්තරන් මැනික් මුතු මොකටද ඒවා
හිස් අතින් සිනා සිසී පැමිනේවා //

මට මල් කුමටද මා උපන්නේ වන මල් උයනේ
මට පැනි කුමටද මා සිටියා මී බැඳී අරණේ
මිණිමුතු රන් සිව් සම්පත් ඇත මේ දෙරණේ
ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ

මුතු බෙල්ලෙකු මුතු රකින ලෙසින් කුස තුල සඟවා
මතු ඔබ රැක ගමි මා සතු පිය සෙනෙහෙස හඟවා
ඔබ පැමිනෙනු පසු සිහිලෙන් හදවත පිනවා
මා ඉන් පසු ඔබ යන හැම තැනකම එනවා



. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

මේ මුලු අහසම මට මදි
ඔබ ගැන මෙතුවක් නොලියූ ගීය ලියන්නට
පුංචි තාරකාවක් දැල්වෙන තැන
ඇත ඉඩ ඔබ ගැන ගීය ලියනන්ට

සප්ත සමුදුරෙහි නිල් සායම් ඇත
එක පැහැයක් මදි ඔබ රුව අඳිනට
ඇසෙන් වැටෙන එක කඳුලු බිඳක් ඇති
මට ඔබෙ පිලිරුව සිතුවම් කරනට . . !

සිත් දහසක් මදි ඔබ ගැන සිතුමට
එපමන ගැඹුරක් ආදරයෙහි ඇත
එක සිතකින් මේ ගැන සිතියැකි මට
ආදරයට සිත් දහසක් ලොව නැත . .

සුභාෂ්: දැක්කා නේද පිරිමි අපි කටින් නොකිව්වට මේ අහසත් ඉඩ මදි අපේ ආදරේ තරම ලියන්න . . ඒකට ගෑනුන්ට පොඩි ඉඩක් තිබ්බ නම් හොඳටෝ . . ම ඇති . . මොනාද ලියන්නේ "කිසි වැඩක් නෑ අපාරාදේ මේ මිනිහව බැන්දේ"

නදීෂා: අනේද ඉතිං කියන්නේ . . ඔය තේරෙන්නේ ඔයාට ගොනාට වගේ . . .


ශ්‍රීමතී වික්ටර් සමඟින්

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

මේ 70 දශකයේ තිරගත වුනු තරංගා චිත්‍රපටයේ මගේ ප්‍රියතම ගීතයක්

කන්දෙන් කන්දට ලන්දෙන ලන්දට
මල් මුව රද ලස විසිරී යනවා
රංචු ගැසීලා පියා සලලා
බමන බමර කැල
රොනට ඇදෙනවා

චන්දන මල් සිහිල උරා
කුන්ද සමන් පෙති අතුරා
මන්දහාස මුව තවරා
සැනහී සැනහී
රංචු ගැසීලා පියා සලලා
බමන බමර කැල
රොනට ඇදෙනවා



ජෝතිපාලට සහය වෙන ශ්‍රීමතී

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

සන්සුන් රුවන් හද මන්දීරයේ //
ආලෝකේ ආලෝකේ ඔබය ප්‍රියේ
රන්වන් එරන්වන් යෞවනියේ //
සෙව්වන්දී පෙම් උයනේ ඔබද ප්‍රියේ

ඔබගේ හද හැඩ
මුහුනෙන් පෙනේ
දෙනෙතේ කැලුම් බර
නිල් මල් පිපේ
තුරු හිස් මුදුන් දළු
සුළඟින් සැලේ
සුවඳක් ඇවිත් පොඩි
රහසක් කියයි

හැලෙනා රිදී දිය ඇල්ලක් වගේ
සංගීතයක් අප දෙහදේ නැගේ
ගීයක් ගයා හොඳ තනුවක් සදා
හිනැහී ටිකක් හැඩ නැටුමක් නටා

සන්සුන් රුවන් හද මන්දීරයේ //
ආලෝකේ ආලෝකේ ඔබය ප්‍රියේ
රන්වන් එරන්වන් යෞවනියේ //
සෙව්වන්දී පෙම් උයනේ ඔබද ප්‍රියේ



මිල්ටර් පෙරේරා සහ ශ්‍රීමතී

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

අපේ වැම්පයර් මළයා නෑසෙන ගීත නිතර ලබා දෙනවා . .

ඔහුට පොඩි උදව්වක් විදිහට මගේ බ්ලොග් එකේ නෑසෙන ගී රස ලේබල් එකේ දූවිලි බොහොම කාලෙකට පස්සේ පොඩ්ඩක් පිහිදලා දාන්න හිතුවා . . .

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails