twitter
    Find out what I'm doing, Follow Me :)

පිස්සන්ට හැතැප්ම නෑ සහ නාට්‍ය පිස්සුව . . . !

මම නාට්‍ය පිස්සෙක්.

පිස්සෙක් කියන්නෙ හොඳම පිස්සෙක්.

පිස්සන්ට හැතැප්ම නෑ කියලා අහලා තියෙනවාද?

ලුම්බිනි එකේ හරි ජෝන් ද සිල්වා එකේ ඉඳන් හරි කෝට්ටේ මාදිවෙල වෙනකම් පයින් හැතැප්ම කීයක්ද?

පිස්සෙක් නෙමෙයි නම් එහෙම පයින් යයිද?

මේ පිස්සන්ට හැතැප්ම සහ නාට්‍ය පිස්සුව මතක් වෙන්නේ විශේෂ හේතුවක් නිසා. ඒක අන්තිමට කියන්නම් .

කලාවේ නාමයෙන් කරන ගොන් පාර්ට් වලට හූ කියලා වගේම උසස් නිර්මාණයකට අත් පුපුරු ගහනකම් අත්පුඩි ගහලා ඒ මොහොතේම ප්‍රතිචාර දක්වන්න පුලුවන් හොඳම කලා මාධ්‍යක් උනු නාට්‍ය කලාවට මම එදා ඉඳන්ම තාමත් අඩුවක් නැතුව ආදරෙයි.

. . . . . . . . . . . . . . . . . . . .. . . .. . . .

අපි මාදිවෙල ඉන්න කාලේ අපේ ගෙවල් ලඟ තිබ්බා 88-89 කාලේ ජේ.වී.පී. කරපු හෝ කලා කියලා සැක කරපු අයව පුනරුත්ථාපනය කරන්න කියලා පිහිටුවා තිබ්බ කඳවුරක්.

ඒකේ ඒ කාලේ හිටපු කොමසාරිස් පාසැල් නාට්‍ය ලියපු අධ්‍යක්ෂණය කරපු කෙනෙක්.

උසස් පෙළ කරලා ඉවරවෙලා ඉංග්‍රීසි ඉගෙන ගන්න පන්ති ගිහින් එන දවසක් ඒ මහත්මයා බස් හෝල්ට් එකේදි මාත් එක්ක කතා කලා.

"පුතා කැමතිද පාසැල් නාට්‍යක රඟපාන්න"

දහම් පාසැලේ සංවත්සර උත්සවේට නාට්‍ය වල රඟපාලා තිබ්බ මට ඕක මහ කජ්ජක්ද කියලා හිතලා ගෙදරින් අහන්නෙත් නැතුව මම "කැමතියි" කිව්වා.

"හැබැයි රිහසල් වලින් පස්සේ නාට්‍ය පෙන්වන්න අනුරාධපුර පොලොන්නරුව වගේ පැතිවල සතියක් දෙකක් නතර වෙලා ඉන්න වෙයි පුතේ"

කියලා කිව්වාම තමා මට තරු පෙනුනේ.

ඉස්කෝලේ තිබ්බ පිටකෝට්ටේ හංදියටත්, ක්ලාස් තිබ්බ නුගේගොඩ හංදියටත් අම්මගේ ඔෆිස් එක තිබ්බ බොරැල්ල හංදියටත් ඇර වෙන කිසි දිහාක තනියෙන් ගිහින් නොතිබුනු මම, ආච්චිලගේ ගෙදරක ඇර වෙන කිසි දිහාක තනියෙම රැයක් ගත කරන්න ඉඩ නොදුන්නු මාව ඒ තරම් දුරක තනියෙම යවයිද?

අම්මට කියලා කොහොමටවත් අවසර ගන්නවා බොරු කියලා දන්න නිසාම තාත්තා ලඟ අඬල දොඩලා අවසර ගත්තා.

රිහසල් කරන්න ආවා ඒ කාලේ ඉඳන් අද වෙනකම් නාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න නලුවෙක්. ඒ හේමන්ත ප්‍රසාද්.

රිහසල් අතර තුර දවසක් සුහද කතා බහක් ඇරැඹුනා.

"චූටි මල්ලී . . උඹ ඉස්කෝලේ කීයෙද? අටේද නමයෙද?"

"නෑ අයියේ මම ඒ ලෙවල් කරලා ඉවරයි"

"යකෝ මූ පොඩි එකෙක් වගේ හිටියට නාකියෙක්නේ"

ඒ කාලේ පොලොන්නරුවේ බකමූනේ, දියබෙදුමේ වගේ පැති වල ගිහින් . . . ඒ පැත්තේ ප්‍රවාහන සේවා අඩු නිසාම . . එක එක ඉස්කෝල වලට ට්‍රැක්ටර් වල නැගලා, ලෑන්ඩ් මාස්ටර් වල නැගලා එහෙම හිටන් ගිහින් අපේ නාට්ය පෙන්නමින් අපි ගත කරපු කාලේ හරියට සිහිනෙන් දිව ගෑ සුවඳක් වගේ මතකයේ රැඳිලා තියෙන්නේ.

. . . . . . . . . . . . . . . . . . . .. . . .. . . .

ඉන් පස්සේ නාට්‍ය පිස්සුව වැඩි වුනේ අපේ යව්වන සමිතිය උපාලි කුමාරවංශ අයියගේ මූලිකත්වයෙන් කරපු ශෂිකලා රසික හවුල නිසා.

මාදිවෙලට ගිය අලුතම නෙමේ ටික කාලෙකින් නංගියි මමයි ඕගනයිස් කරලා ගෙවල් ලඟ කෙල්ලෝ කොල්ලෝ කීප දෙනෙකුත් එකතු කරගෙන ගමේ අය ලව්ව කෑම බීම පිලියෙල කරගෙන පෝය දවසක ගමේ පන්සලට දානයක් දුන්නා.

එහා ගමේ තරුණ සමිතියකිනුත් එදා දානේ අරන් ඇවිත්. කෑම ගොඩක් ඉතුරුයි. අපි ඔක්කෝම කතාවෙලා ඒ ඔක්කෝම අරගෙන ආවා මාදිවෙල අංග විකල ළමා නිවාසෙට.

එදා ඇති උනු මිතුරුකම අපිට ශෂිකලා රසික හවුලේ නිත්‍ය සාමාජිකයෝ වෙන්න පාර කිව්වා.

උපාලි අයියා තිර රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය කරපු ලුම්බිනි රඟහලේ මංගල ( සහ ආර්ථික අපහසුකම් නිසාම අවාසනාවට අවසාන) දර්ෂණය පෙන්වපු නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨය අසල ස්ථීර වාසස්ථානය කරගත් යදියන්, පික් පොකට් කරුවන්, ගණිකාවන්, අහිංසක පෙම්වතුන් යුවලක් ආදී අපේම සමාජේ මිනිසුන් පිරිසකගේ අනුවේදනීය කතාන්දරය රැගත් "කුරුටු රූප" නාට්‍යයේ පෙම්වතා මම.

. . . . . . . . . . . . . . . . . . . .. . . .. . . .

ජෝන් ද සිල්වා එකේ තිබුනු යව්වන නාට්‍ය උළෙලේ, රාජ්‍ය නාට්‍ය උළෙලේ වට තුනේම හැම නාට්‍යක්ම වගේ බලපු කාලයක් තිබ්බා . . . මොකද සමහර කාලවලදී ඒවා නොමිලේ නැතිනම් ටිකට් එකක් රුපියල් 20යි

එල්පින්ස්ටන් එකේ නාට්‍ය වල ටිකට් එක අනෙක් එවට සාපේක්ෂව ටිකක් ගනන් උනත් ඒකේ ඒවත් ලාබම ටිකට් තිබ්බ ලුම්බිනි එකේ නාට්‍යත් සල්ලි නැති නිසා හැම එකම නැතත් කීපයක් බලලා තියෙනවා.

නාට්‍ය ගැන මට ඔත්තු සපයන්නේ අම්මා තමයි.

"පුතා, ජෝන්ද සිල්වා එකේ අද නාට්‍යක් තියෙනවා"

"ටිකට් කීයද?"

"50-100-200 එහෙම තියෙනවා"

"බෑ අම්මේ සල්ලි නෑ"

"ආ මේ හෙට දවල්ට උයන්න මාලු ගේන්න තිබ්බ සල්ලි. ඔයා හවසට නාට්‍ය බලන්න යන්න. ගිහින් ඇවිත් මට කියන්න කොහොමද කියලා"

තමන්ට ලබා ගන්න බැරි දේ මට හරි ලබා දෙන්න කැපකිරීම් කරපු මගේ අම්මා මතු බුදු වේවා.

අතේ තියෙන අන්තිම රුපියලත් වියදම් කරලා ටිකට් අරගෙන නාට්ය බලලා මහ රෑ ජෝන්ද සිල්වා එකේ ඉඳන් හරි ලුම්බිනියේ හරි ඉඳන් එද්දී අතර මඟදී බයික් එකක්, කාර් එකක් නතර කරලා මඟට ගිහින් දාන්න අහපු අයගේ ආරාධනා ප්‍රතික්ෂේප කලේ අම්මා දීලා තිබ්බ අවවාද උපදෙස් නිසා කියලා මතක් වෙද්දී දැන් නම් හිනාත් යනවා.

. . . . . . . . . . . . . . . . . . . .. . . .. . . .

නාට්‍ය නිර්මාණ කරුවන් තමන්ගේ ප්‍රථම නිර්මාණය පේරාදෙනියේ විශ්ව විද්‍යාලයේ වලේ පෙන්වීමේ සම්ප්‍රදායක් තිබ්බා කියලා මම අහලා තිබ්බා.

නාට්‍ය දර්ෂනය අතරතුර කොල්ලෝ කෙල්ලන්ගෙන් හූ සංග්‍රහ ලැබෙන තැන් වෙනස් කරන්න ඔවුන් දෙපාරක් හිතුවේ නෑ කියලා තමයි කියන්නේ.

නාට්‍ය දර්ෂනය අවසානයේ ප්‍රේක්ෂකයෝ සියළු දෙනා නැගිටලා නොනවත්වා අත්පොලසන් දෙනවා නම් ඒ නාට්‍ය හොඳ නාට්‍යක් කියන සම්මානය ලැබුනු හැඟීමක් නිර්මාණ කරුවන්ට ලැබුනා කියලත් කියනවා.

එක පාරක් රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට කේ. බී හේරත් ගේ "දෙවෙනි මහින්ද" නාට්‍යත් විසාකේස චන්ද්‍රසේකරම්ගේ "තහනම් අඩවිය" නාට්‍යත් තිබ්බා.

හොඳම නිලියට දෙවෙනි මහින්ද එකේ රඟපාපු කුසුම් රේනුට වඩා තහනම් අඩවියේ මරාගෙන මැරෙන කොටි කෙල්ලගේ චරිතය රඟපාපු නිලිය සුදුසු බව අපි ප්‍රක්ෂකයෝ තීරණය කලේ සම්මානය ලබා ගත්තු කුසුම්ට වඩා විශාල අත්පොලසන් නාදයක් අර නවක නිලියට ලබා දීමෙන් කියලා මතකයි.

. . . . . . . . . . . . . . . . . . . .. . . .. . . .

අප්පා . . පෝස්ට් එක දැනටම දිග වැඩී . ..

නාට්‍ය පිස්සුව ගැන කියන්න හදපු කරුන මේකෙම ලිව්වොත් කිසි කෙනෙක් කියවන්නේ නැති වෙයි.

ඒ නිසා ඒක ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම් හොඳේ . . .

එතකම් මේ පින්තූරේ බලන්න . . මේ නාට්ය බලන්න යන්න ට්‍රයි එකක් දෙන්නකෝ

Pics from:

37 යි අදහස්:

ලකී සිරි said...

හරිම අපූරු අතීතයක් දුකා...ආසාවෙන් මතක් කලත් පොඩි කණගාටුවකුත් දැනෙනවා නේද ? ආයෙත් නොලැබෙන අත්දැකීම්නෙ.....
මමනං නාට්‍ය බලන තරමක් බලල තියෙන්නෙ ටී වී එකෙන්...වේදිකාවෙන් බලපු එකක්වත් හොඳයි කියලා සතුටු වෙන්න පුළුවන් ඒවා නෙවෙයි....වෙලාව තිබුන කාලෙ නාට්‍ය බලන්න යන්න සල්ලි තිබුනෙ නැහැ....ඊට පස්සෙ රස්සාවල් කරන්න ගත්තම වෙලාවක් තිබුනෙ නැහැ.

මාතලන් said...

එක හුස්මට කියෙව්වා.. මාත් නාට්ටි පිස්සෙක්. ගෙදර ඇවිත් අම්මට ඇක්ට් කරලා පෙන්වනවා..

නිසපුගේ ලෝකය.... said...

ගෙදරින් කොච්චර විරුද්ධ වුනත් නොකා නොබී අඬල හැපිල රණ්ඩුවෙලා කෑගහල අන්තිමටම නාට්‍ය හා රංගකලාව විෂය තෝරගත්ත.ඇත්ත්ටම මටත් පුදුම පිස්සුවක් තියෙන්නෙ......

Observer said...

මේ වගේ අම්මෙක් ලැබෙන්න පිං කරල තියෙන්න ඕනෙ දුකා.

කෙල්ලන්ට පේන්න ඉංග්‍රීසි නවකතා පොත් අරං මං ඉස්කෝලෙ ගියෙ, පලවෙනි 'ජේම්ස් හැඩ්ලි චේස් ' පොත අරං දුන්න අම්මට පිං සිද්ධ වෙන්න.

එතනින් පටන් ගත්ත කියවීම නිසා ඉස්කෝලෙන් ඉගෙන ගත්තට වඩා හුඟාක් දේවල් ඉගෙන ගත්ත.

විස්තර ලියන්න ගියොත් කොමෙන්ට් එකක් නෙමේ පොස්ට් එකක් ලියන්න ඕනෙ.

හිතුනොත් වෙලාවක ලියනව.

අසරණයා said...

//තමන්ට ලබා ගන්න බැරි දේ මට හරි ලබා දෙන්න කැපකිරීම් කරපු මගේ අම්මා මතු බුදු වේවා// මෙන්න මට හොඳටම දැනුන දේ..

දුමී said...

ඇති යාන්තන් උඹ 'දුකාගේ අනන්‍යතාවය" තියෙන පෝස්ට් එකක් දාලා....!

උඹේ පෝස්ට් වලින් හැමදාම කෙරෙනවා වගේ මේ පාර මගේ නාට්ටි අතීතයත් මතක් උනා. මම නාට්ටි වලට සම්භන්ද උනේ වාදකයෙක් විදිහට. ලංකාවෙ හැම කොනකම ඒ වගේම නාට්ටි පෙන්නන හැම හෝල් එකකටම වගේ මට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ලංකාවෙ අද ඉන්න ලොකු ලොකු නළුනිලියෝ රඟ පාපු නෑට්ටි සෑහෙන ගානක මම සංගීතයෙන් දායක උනා...!

බදුල්ල, බණ්ඩාරවෙල වගේ පැති වල නාට්ටි පෙන්නන්න යන්න රෑ දොලහට විතර ලුම්බිණිය ලඟ ඉඳන් පටන් ගන්න නාට්ටි බස් වල (ලොකු ටාටා හරි ලේලන්ඩ් හරි සී.ටී.බී බස්) නිදා ගන්නවත් හරි හමන් විදිහක් නැතිව නිදි කිරා වැටි වැටි, ඉස්සරහ සීට් එකේ පොල්ලේ ඔළුව වද්දගෙන කාපු කටුවල පුදුම රසයක් තමයි බං දැන් මතක් වෙනකොටත් තියෙන්නෙ.

පේරා වලේ පෙන්නපු නාට්ටි දර්ශන වාර බර ගාණකටත් මම සහභාගි වෙලා තියෙනවා. හැබැයි ඉස්සර තිබුනාය කියන උසස් රස වින්දනය නම් පේරාදෙනියේ ඒ කාලෙ වෙනකොට තිබුනේ නෑ මචන්.

ෂිහ් මේ වගේ පෝස්ටර් දකිනකොට තමයි මේ මගුල දමල ගහලා ලංකාවට එන්න හිතෙන්නෙ.

ඕනයා said...

මම ඕ.ලෙවල් කරන කාලෙ සිංහබාහු බලල ජෝන් ඩි සිල්වා එක ගාව ඉඳං කලුබෝවිලට පයිං ඇද්ද. ඒක තමයි මම නාට්‍යයක් වෙනුවෙං කාපු ලොකුම කට්ට.

@දුමී,
//මේ මගුල දමල ගහලා ලංකාවට එන්න හිතෙන්නෙ//
පවු නේද අක්කයි පැටවු ටිකයි ???

කිරිපුතා said...

මටනං නාට්‍ය කීපයක් තමයි බලන්න ලැබිලා තියෙන්නෙ. හැබැයි ඒවගෙන් සෑහෙන්න රසයක් වින්දා. දහම් පාසලේදි නාට්‍ය රඟපාන්න අවස්ථාව ලැබුනට ඉන් එහාට යන්න අවස්ථාව ලැබුනෙ නෑ.
ඒකාලෙ උඹල ගත්ත ආතල් අද කාලෙ එවුන්ට නෑ අයියෙ.

සාතන් said...

ඒ කාලෙ මරු නේද දුකා අයිය... නාට්‍ය බලල පයින් ගාටන එකත් නාට්‍යයෙ කෑල්ලක් වගේම තමයි :) (ඒ කාලෙ කිව්වට මම කිව්වෙ 90 ගනන්වල මුල් හරිය )

හිතහොඳ පිස්සා said...

පිස්ස නම් ලයික් කිව්ව ඔන්න.

සුදු හංසි said...

ආ.. අද මේ කට්ටිය ස්වර්ණ වාහිනියේ හැන්දෑවට ඇවිත් මේ ගැන කිව්වා... :) :)

අයියාගේ අම්මා නම් හරිම සෝයිනේ.. මම තාම සජීවීව නාට්ටියක් බලලා නෑ මගේ ජීවිතේට...

ඉස්කෝලේ English day එකේ එහෙම දැකපුවා හැර :)

Dude said...

දුකාගෙ අලුත් පැත්තක් දැන ගත්තා අද. ඇත්තම කිව්වොත් මාරයිනෙ. මම නම් නාට්‍ය බලලා තියෙන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. නමුත් ඉස්කෝලෙ නාට්‍ය වල රඟපාලා තියෙනවා. එතකොට උගන්නන කොට නාට්‍ය ලියලා පුහුණු කරවලා ප්‍රදර්ශණය කරලා තියෙනවා. අන්තිමට රඟපෑවේ The Man Who Wouldn't go To Heaven කියනා නාට්‍යයෙ Lunatic නොහොත් පිස්සාගෙ චරිතය. (ගාමිණී හත්තො‍ටුවගම මයා පුහුණු කලේ)
දුකාගෙ පෝස්ට් එක කියවලා මාත් සෑහෙන දුර ගියා වගෙ..

henryblogwalker the Dude

බුද්ධීෂ said...

මටත් නාට්‍ය පිස්සුව උග්‍රව නැතත් යම් තරමකට තියනවා. නාට්‍ය වලට විතරක් නෙවෙයි පොදුවේ සාහිත්‍ය රසවිඳින්න මාව පිස්සු වට්ටපු මගේ අම්මත් දුකාගේ අම්මා වගේමයි. අපි හිටපු ග්‍රාමීය ප්‍රදේශ වල නාට්‍යයක් බලන්න පහසුකම නැතිවුණත් ගෙදරට කරවල ඔතාගෙන ආපු පත්තර කෑල්ලත් කියවන්න පුරුදුකලේ මගේ අම්ම.

රස්සාවකට කොලඹ ආවට පස්සෙ නාට්‍ය බලන්න ඇවිත් ආපහු තලංගම ‍බෝඩිමට යන්න විදියක් නැතුව වේලිලා වේලිලා අන්තිම බස් එකේ ඩිපෝ එක ලඟට ඇවිත් එතන ඉඳන් පයින් ගාටන එක ඒ දවස් වල පුරුද්දක් වෙලා තිබුණෙ.

මට අපේ නාට්‍යකරුවන් ගැන පපුවටම දැනුනු සිද්ධියත් වුණේ ඒ වගේ දවසක. එදා (මට මතක විදිහට)එල්ෆින්ස්ටන් එකේ තිබුණෙ කැළණි පාලම අළුත් නිෂ්පාදනයේ මංගල දර්ශණය. 6.30 දර්ශණය අවසන් වෙලා මම තවත් අය කිහිපදෙනෙකුත් එක්ක බස් නැවතුමේ වේලෙනවා අන්තිම බස් එක එනකල්. නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපාපු නළුවන් දෙන්නෙකුත් අපිත් එක්ක බස් හෝල්ට් එකේ වේලි වේලි ඉඳලා අන්තිම බස් එකෙන් තලංගමට ඇවිත් පයින් ගෙවල් වලට ගියා. තුට්ටුදෙකේ රස දෙන කලා කාරයෝ(?) නැව් වගේ වාහන වල යද්දි හදවතට කතා කරලා මොළයට තට්ටු කරන සුන්දර මිනිස්සුන්ට මෙච්චර අඩු ලංසුවක් නියම වෙලා පයින් ගාටන්න සිද්ධවෙලා තියෙන්නෙ ඇයි කියලා එදා ඉඳන් තාම මම හිතනවා.

දිනුක said...

ෂිඃ මේ මගුල් එග්සෑම් හින්දා ඔය එක නාට්‍යක්වත් බලන්න යන්න වෙන්නෙ නෑ.කරුමේ තමයි.නාට්‍යයක් බලලා පයින් ආපහු යනකොට මහන්සි දැනෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ නාට්‍යය ආතල්ද නැද්ද කියන එකෙං තමයි.

හිස් අහස said...

ඉස්ස්කෝලෙට ඇවිදින් රඟදක්වලා පෙන්වාපු නාට්ටි ඇරෙන්න මම නම් ඉතින් වැඩිය ඔය නාට්ටි බලන්ට ගිහින් නෑ . ඒත් ඉස්කෝලේ පෙන්වාපු රෑ-රූ වේදිකා නාට්ටියේ රඟපාපු ජයසේකර අපෝන්සු මහත්මයා මට කියලා වතුර බෝතලයක් ගෙන්වාගත්ත දා මට දැනුනේ නිකං රජකමක් ලැබුනා වගෙයි ..

George Aiyah said...

යටගිය ඒ සුන්දර මතකය යලි යලිත් අවදිකරමින් රසවිදින අපිට බැරිද අළුත් වැඩක් මෙහෙදි කරන්න? පහුගිය කාලේදි එවැනි දෙයක් හිතට ආවේ පසුගිය නිදහස් උළෙලට නාට්‍යයක් ලියපු, මෙහි ඉන්න අපේ කුඩා දුපුතුන්ට ගණිතය විෂය නොමිලේ උගන්වන, අපේ බත්තරමුල්ලේ ගමේ කෙනෙක් එක්ක කරපු සුහද කථා බහෙන් පසුවයි. දුකා මල්ලී ලියපු අලුත්ම බ්ලොග් එක කියවපු මගේ මතකය ඔන්න දැන් ඒ කථා බහට ආයෙමත් යනවා. ඇත්තටම මල්ලිත් කැමතිනම් ඔන්න සුන්දර වැඩක් අත ගහන්න, නාට්‍යය සංගීතයට අතගහලා පලපුරුදු අත්දැකීම් තියෙන දුමී මල්ලිත් ඉන්න එකේ අපිට බැරිද අපේම නාට්‍යයක් කරන්න? හැබැයි ඉතින් එකපාරක් " හා" කියලා පස්සේ අමතක කරන්න නම් බැරි බවත් මතක තියාගත්තොතින් නම් හොදයි. හැබැයි ඉතින් මල්ලී මේ දිනවල කරන ඉගෙනීමේ කටයුතු අහවරක් කරලම මේ වැඩේට අත ගැහැව්වොත් තමයි වඩාත්ම හොද? මොකද කියන්නේ?

ඔබ නොදු‍ටු ලොවක් said...

නාට්ටියක් බලපු කාලයක් මතක නෑ අප්පා...

ItalyDilan said...

අවුරුදු 3ට ඉස්සල්ලා බන්ධුල විතානගේ රෝමය ගිණි ගනී බැලුවා,තාම එකක් බලන්න බැරි උනා

වෙද ගෙදර මහ වෙදනා said...

කියලා වැඩක් නැහැ. නාට්‍ය කියන්නේ නියමම කලාව. එඩිටින් නැහැ. එවලෙම උනු උනුවේ. මමත් හරිම ආසයි.

Bindi said...

දුකා නියමයිනේ . ඔන්න මන් හිස නැමුව . ඔය කලාවෙන් නම් මන් ඉන්නේ හෝඩියේ පන්තියේ . ඉස්කෝලෙන් එක්කන් ගිය සහ ඉස්කෝලෙට ගෙනත් පෙන්වපු නාට්‍ය සහ පසු කලෙක දෝනිත් එක්ක බලපු සෝමලතා නැන්දගේ නාට්‍ය ඇර මන් බලපු නාට්‍යක් නැහැ . විශේෂයෙන්ම ''දුවේ මේ හෙට මාළු ගන්න තියෙන සල්ලි . ගිහින් නාට්‍ය බලල එන්න '' කියල අපේ අම්ම කවදාවත් කිව්වේ නැහැ . අපේ නාට්‍ය කලාව වල පල්ලට යන්න රාත්‍රී ප්‍රවාහන අපහසුව එක හේතුවක් මන් හිතන්නේ . චිත්‍රපට උළෙලවල් නාට්‍ය බලන්න හරිම ආසාවක් තිබුනත් ප්‍රයෝගිකව හරිම අපහසු වුණා. දැන් ඉතින් මොකට ඉරිසියා කරනවද .

ගොඩයා said...

වැඩක් නෑ දුකා අයියේ ඔය ගැන කතා කරලා. මාත් ලංකාවේ ඉන්න කාලේ වේදිකා නාට්‍යය අත අරින්නේ නෑ.... ඒත් ලංකාවෙන් ආවට පස්සේ නාට්‍යයක් බලන්න ලැබුනේ නෑ.... දුකත් හිතෙනවා අප්පා.... රට දාලා ආපු ලැබුන දේවල් වලට වඩා අහිමිවෙච්ච දේවල් ගොඩයි. දුකා අයියා අම්මා ගැන ලියලා තියන එක කියවද්දී මට මතක් වුනේ අපේ අම්මව.

සරත් ලංකාප්‍රිය said...

පිස්සට නවෙයි හැතැප්ම නැත්තේ බල්ලට නේද ?

අලුත් කොල්ලා said...

වේදිකා නාට්‍යයක් බලල ගන්න වින්දනය සම කරන්න වෙන කිසිම දේකට බෑ මගෙ හිතේ. මාත් පොඩ්ඩක් විතර ඔව්ව බැලුව ලංකාවෙ ඉන්න කාලෙ.

මාධව - மாதவ - Madhawa said...

මමත් හරි කැමතියි අයියා! ඒත් අපේ පැත්තට ඕවා එන්නේ නෑ! කොළඹ හෝ නුවර ගිහින් බැලුවොත් රෑට පාරේ ඉදලා තමයි එන්න වෙන්නේ! අපේ පැත්තට ආවොත් අනිවාම මං ගිහින් බලනවා! දැනට නම් මට යූ ටියුබ් පිහිට තමයි! ඒත් ස්ටේජ් එකේ බලන ආතල් එත ඒකේ නෑ!

නිසුපා said...

වේදිකා නාට්‍ය බලන්න මාත් හරිම ආසයි.ඒත් ඕවා බලලා රෑ වෙලා එන්න විදිහක් තමා අප්පා නැත්තෙ.ඒ නිසා බලලා තියෙන්නෙ එක නාට්‍යයි. ආසයි සිංහබාහු වගේ ඒවා බලන්න යන්න.පොදු ප්‍රවාහන සේවා වල යන අපිට මොන චාන්ස්ද ඕවට..:((

Kush කුෂ් said...

"ඇති යාන්තන් උඹ 'දුකාගේ අනන්‍යතාවය" තියෙන පෝස්ට් එකක් දාලා....!" +++++++++++++++++++++++++++++++++++

අකීකරු හිත said...

මම මුලින්ම නාට්‍යයක් බැලුවේ පේරාදෙණිය වලේදි... එතන ඉදන් නාට්‍යයක් බලද්දි හිතට දැනෙන සතුට වෙන කොහෙදිවත් ලැබෙන්නේ නැ මම හිතන්නේ...

රූ.... said...

වේදිකා නාට්‍යයක් බලපු කෙනෙක් ඒවට ඇබ්බැහි නොවී ඉන්නෙ කලාතුරකින්..මේ දවස්වල බැරිවුනත් වෙන වෙලාවක හරි මේ නාට්‍ය ටික බලන්නෝනෙ අප්පා..

නවම් said...

කොළඹ ආවම ගාල්ලෙ උන්න කාලෙ බැලුවට වඩා නාට්ටි බලන්න පුළුවන් කියල හිතාගෙන උන්නට මේක කියෙව්වමයි මතක් උනේ පහුගිය අවුරුදු හයටම එකක්වත් බැලුවෙ නෑ නේද කියල.

රුචා said...

බලාගෙන ගියහම අපි ආශ්‍රය කරන්නෙ හොද නළුවෙක්වනෙ ...:D

Miyuru said...

ඔයාගෙ අම්මා ගැන නම් කියල වැඩක් නෑ දුකා....

පැණි දොඩම් said...

නියමයි දුකා.. ජිවිතේ විඳල තියෙනව නියමෙට.

Beetle said...

උඹ නාට්ටිය බලලා පයින් යද්දී බයික් එක නවත්තලා දාගෙන යන්න ඇහුවේ දුමීද දන්නෑ... ඒ කාලේ අඳුනන්නෙත් නෑනේ... :D

චමිල said...

එහෙනන් මේකටයි නාට්‍ය පිස්සුව කියන්නෙ :)

පන්සල් හංදිය said...

මම නං නාට්‍ය දෙක තුනක් ඇරෙන්න බලල නැහැ, හොඳටම හිතට අල්ලලා ගියේ නෙයිනගේ සූදුව .......

වර්ණා said...

මමත් නාට්‍ය බලන්න ආසයි

Hasitha said...

මාත් ඉතින් මේ ජාතියෙම තමා අයියා. කැම්පස් එකේ වැඩේ නියමෙට ගියා.

ඒත් අවුලකට වුණේ අනධ්‍යයන වැඩ වර්ජනේට ඒකත් අහුවුණා. ඒක නිසා බකමූණා විදි බසී, අරාජිකයා මරා කියන නාට්‍ය දෙක පෙන්නන්න වුණේ නැහැ. මාර්තු අග ඒ නාට්‍ය දෙක පෙන්නනවා

Post a Comment

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

Related Posts with Thumbnails