Showing posts with label ජීවිතය සහ සමාජය . .. Show all posts
Showing posts with label ජීවිතය සහ සමාජය . .. Show all posts

Wednesday, April 25, 2018

බැඳුනාද - ලිහුනාද . .?

ලඟදී facebook එකේ අපූරු සටහනක් දැක්කා.

මිතුරු-නෑදෑ-හිතවත් බැඳීම වලින් බැඳිලා ඉඳලා, ඒ බැඳීම ලිහිල් වෙලා හෝ උවමනාවෙන් ගලවා දමලා ඉවර වෙලා ආපහු වර්තමානයේ සිදුවෙන සිදුවීම් පැරණි බැඳීම එක්ක සමපාත කරලා බලද්දී හදවතින්ම එන වේදනාවක් අකුරු කිරීමක් කියලා හිතුනේ.

ඒ වචන ඇතුලේ . . 
ලඟින්ම හිටි කාලේ සමහරු අරයා මෙහෙමයි - මෙයා අරෙහෙමයි කියද්දී, හැමෝටම ඇති බැඳීමට හෝ ජන්මයෙන් ලද එහාට මෙහාට කේලාම් කියන්න බැරි පුරුද්ද නිසා කිසි කෙනෙක්ට කිසි දෙයක් නොකියා ඉඳලා අන්තිමේදි එහේට මෙහේට කියපු අය මාර හිතවතුන් විදිහට පෙනී හිටිමින් නිශ්ශබ්දව හිටි එකා වැරදි කාරයා කිරීමක වේදනාබර දෝංකාරයක් තියෙනවා . . .!

ඒ වචන ඇතුලේ . . 
ලඟින්ම හිටි කාලේ එකිනෙකාට උදව් උපකාර පිහිටවීම් වෙනවානේ. ඒ සිදුවීම් අනිත් එකා කිසි දෙයක් නොකර අනුන්ගෙන් උදව් ලබා ගත් එකෙක් විදිහට වෙන් වෙලා ගිය අය කියූ බවක් තුන්වෙනි පාර්ශවයන්ගෙන් අහන්න ලැබුනාම දැනෙන වේදනාවක දෝංකාරයකුත් තියෙනවා . . .!

කොටින්ම අර ෆන් ෆේස්බුක් පේජ් පෝස්ට් වල තියෙනවා වගේ "අන්තිමට දිය යටින් ගින්දර ගෙනිච්ච උන් ඔක්කෝම හොඳ උන් වගේ එක පැත්තක - කියන්න තියෙන දේ කෙලින් කියන එකා වැරදිකාරයා වෙලා පැත්තක" වගේ වුනාම දැනෙන කුරිරු සතුටක දෝංකාරයකුත් ඒ වචන අස්සේ තියෙනවාද හිතෙනවා !


Thursday, April 19, 2018

ඊයේ - අද - හෙට !


හොඳින් දිදුලන තාරුකාවක්
අද නැතත් හෙට පායනවා වෙන්නැති
අඳුරු අහසට ඇස් යොමාගෙන
පුරුද්දට මෙන් බැලෙනවත් ඇති

තරු නැතත් අද විසල් නුබ ගැබ
පුදුම ලස්සන ලෙස පෙනෙන හැටි
හීන් පින්නේ ඇස් වසාගෙන
හෙටක් නැති ලෙස අද විඳිමු අපි

හෙටදි පායන තරු දකින්නට
ඉඳීදැයි අපි තව නොදන්නෙමු
අහම්බයකින් ඉන්න වුනොතින්
ඊයේ දවසට හිනා වෙමු අපි !

Pic By:

unsplash-logoTimo Stern

Sunday, November 5, 2017

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...!


නන්දාගේ "යොවුන් වසන්තයේ - දුහුල් වළා කුලේ" ගීතය ඇහෙන හැම වාරෙකම මාව 1988-1989 තරම් අතීතයට පාවෙලා ගිහින් නුගේගොඩ නාවල පාරේ ඇල්ෆා ඉන්ස්ටිටියුට් එක ලඟ ඉඳන් නුගේගොඩ හංදියට වෙනකම් තියෙන කොටසේ අතරමං වෙනවා වගේ දැනෙනවා.

ඕලෙවල් සබ්ජෙක්ස්ට් වලට ටියුෂන් ගිය ඇල්ෆා එකේ හිමිකාර ජයනෙත්ති සර් ක්ලාස් ඉවර උනාට ඔක්කොටම එක පාර යන්න දෙන්නේ නෑ.

මුලින් කෙල්ලෝ ටික යවනවා. උන් ‍YMBA එක පහුකරලා ඇති වගේ හිතෙන කාලෙකදී කොල්ලන්ට යන්න දෙනවා.

පංතියේ කෙල්ලෝ ඒ පංතියේම නසරානි කොල්ලෝ එක්ක යාලුවෙලා චාටර් වෙයි කියලා බයට උන්ව බේරා ගැනීමේ සද්භාවයෙන්, නැතිනම් උන්ගේ ආරක්ශාවට එහෙම කලේ කියලා තමා අපි හිතුවේ.

88-89 කාලේ අවුරුදු 35ක්-40ක් විතර වුනු ජයනෙත්ති සර් ඒ වෙනකම් කසාද නොබැඳේ සර්ගෙම ක්ලාස් වල කෙල්ලෝ කොල්ලෝ සාප කරපු නිසා කියලා කොල්ලෝ කෙල්ලෝ හොරෙන් කතා වෙවී හිනා උනේ.

උන් එහෙම කිව්වට ජයනෙත්ති සර් කියන්නේ පුදුම සුන්දර මනුස්සයෙක්. ඒ කාලේ කවදාවත් ටියුෂන් ෆීස් ඉල්ලලා කරදර කලේ නෑ. ගොඩක් අයට ෆ්‍රී කාර්ඩ්ස් දීලා තිබ්බා.

ක්ලාස් එකේ නීති රීති තද නිසා කල්ලි ගැහුනාම විහිලු කලා උනාට ළමයි ජයනෙත්ති සර්ට පන වගේ ආදරෙයි ඒ නිසාම.

හරි ආපහු කතාවට

කෙල්ලන්ව කලින් යැව්වට ඉතිං ගොඩක් කෙල්ලෝ උන්ගේ ආරක්ෂාවට හෙන ගහපුවාවේ ඇල්ෆා එකේ ඉඳන් නුගෙගොඩට තනියෙම එන කොල්ලෝ ටික ආරක්ෂා කරන්න ඕන කියලා හිතලද මන්දා නාකි බල්ලෝ කොළඹ යනවා වගේ හෙමීට හෙමීට ගාට ගාට යන්නේ අර කොල්ලෝ එන කම්.

කොල්ලෝ ටිකත් සර් යන්න දුන්නු ගමන් පුකට පැටෝල් ගහලා වගේ දුවනවා ඉතිං.

වැඩි දුර යන්න කලින් පේනවා දන්න කියන ගෑනු ළමයි ළතා ගමනින් උන් එනකම් විනාඩියට මීටර් බාගේ ස්පීඩ් එකෙන් ගිහින් මඟ ඉන්න බව.

එතන ඉඳන් නුගේගොඩ බස් හෝල්ට් වලට දුර එවෙන්නෙත් ඉතින් ඒ ස්පීඩ් එකෙන් තමා.

රසික මාලින්ද වගේ ඩීසන්ට් කොල්ලෝ කෙලින්ම බස් හෝල්ට් වලට. රසික 259 බස් හෝල්ට් එකේ මාලින්ද සිටි ටිම්බර් හෝල් බස් හෝල්ට් එකේ.

නිලක්ෂ මම වගේ පරාර්ථකාමී කොල්ලෝ එහෙම නෑ !

"මේ ගෑනු ළමයි ඉතිං කාගේ උනත් දරුවෝනේ - ඒ අයව පරිස්සමින් හයිලෙවල් පාරේ බෝ ගහ ලඟ හෝල්ට් එකට, නැතිනම් සෙන්ට් ජෝන්ස් එක ලඟ බස් හෝල්ට් එකට ඩ්‍රොප් කරන්න ඕන" කියලා හිතලා අර සුපුරුදු විනාඩියට මීටර් බාගේ ස්පීඩ් එකෙන් පාවෙනවා.

මිනිස්සු දාස් ගානක් එහා මෙයා යනවා අපිට දැනෙන්නෙත් නෑ.

අපිට දැනුනේ අපි සිඟිති ආදර දූපතක තනිවෙලා වගේ

පාර දිගේ පාවුනේ හරියට රෑන් මුදාගෙන අහස් ගඟේ දියඹ දිගේ පා වෙවී ඉගිලෙන සරුංගල් වගේ.

ඒ ගමනෙදි පුංචි දේකට උනත් මහ හයියෙන් හිනා වෙන්නේ හරියට තරු අහුරක් එක සැරේට රෑ අහසේ ඇවිලෙනවා වගේ.

එහෙමත් කාලයක් අප්පා . . . !

එදා අපි එක්ක ඇල්ෆා එක ලඟ ඉඳන් නුගේගොඩ හංදියටට වළාකුලු මතින් ගමන් කරපු අනිත් අය ලෝකේ කොහේ ඇද්ද?

අපේ ස්කොලේ මගේ පන්තියේ උන්නු (නාවල පාරේම ගෙවල් තිබ්බ ) "චාමර" - එයාගේ නිවුන් සහෝදරී අනුලා ගිය "චාමරී",

ඩී එස් ගිය "අකිල"

සමුද්‍රදේවියේ "රෂිකා" (ජුබිලි කනුව හන්ංදියේ ගෙවල් තිබ්බේ), රෂිකාගේ යාලුවා "තේජා"

තේජාගේ කොල්ලා කියලා අපි විහිලු කරපු ඉසිපතනේ "මිහිර"

SPM ගිය කුමුදු

අනුලා ගිය ඉෂාරා ගිහානි සමරකෝන්

කෝට්ටේ ආනන්ද බාලිකාවේ ඒ කාලේ උන්නු එකම ලස්සම කෙල්ල නෙල්කා,

නෙල්කා ගේ කොල්ලා කියලා අපි විහිලු කරපු අපේ ස්කෝලේ කීර්ති

ආනන්ද බාලිකාවටම ගිය අපේ ගෙදරට අල්ලපු ගෙදර ලක්මාලි

මේ අය දැන් කොහේ ඇද්ද !!

ඔය කිව්ව කිසි කෙනෙක්ට මාව නම් මතක නැතුව ඇති.

මම ඒ කාලෙත් නෝටිසබල් කැරැක්ටර් එකක් නෙමේ.

කිසිම විශේෂත්වය නැති පට්ට ඕඩිනරි ඒත් ගෙදරදි, ගෙවල් පැත්තෙදි සිල් ගත්තු පූසෙක් වගේ උන්නට පාරෙදි පිස්සෙක් වගේ -
 පිස්සෙක් වගේ ජොලියේ හිටපු එකෙක්.
_________________

නන්දාගේ ඒ සින්දුව ඇත්තෙන්ම හරියට අතීතෙට අරන් යන රිදී හුයක් වගේ හා නැද්ද?

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...

දිළිසෙන කඳුළේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී...
ගංඟාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී...

හසරැලි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ...
තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන...
අහස් ගඟේ දියඹ දිගේ...

පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්නයන්
සංගීතය: D R පීරිස්


Pic from: https://unsplash.com/photos/AsahNlC0VhQ

Thursday, August 24, 2017

සිහින !


ඇත්තෙන්ම ජීවිතේ සමහර සිහින - සිහින විදිහට සදහටම තියෙනවා.

නමුත් සමහර සිහින හැබෑ කරගන්න වාසනාව උදා වෙනවා

මගේ බ්ලොග් එකේ හෝ ෆේස්බුක් එකේ දාපු තොරතුරු අනුව ගොඩක් අය දන්නවා අපේ "විරූස් - Virooz" සිහිනයේ තොරතුරු.

නොදන්න අයට දැන ගන්න කෙටියෙන් ලියන්නම්කෝ.

අපි ඇඳුම් ගන්න ගියාම මුහුණ දුන්නු ලොකුම ප්‍රශ්නයක් තමා පොකට් එකට දරන්න පුළුවන් ගානට හොඳ කොලිටියේ ඇඳුම් සපත්තු නැතිකම.

ලොකු ගණන් දීලා නදීෂාට ඇඳුම් ගෙණෙද්දී කාලෙකට කලින් දවසක එයා කිව්වේ "මට මේ තරම් ගණන් ඇඳුම් එපා - මහන මැෂිමක් අරන් දෙන්න, රෙදි අරන් දෙන්න මම ම හොඳ කොලිටි එකට මහගන්නම්" කියලා.

ඒ අරන් දුන්නු මැෂිමෙන් මට ෂර්ට් එකක් මහලා තෑගි කරපු වෙලාවක ඒකේ ෆොටෝ එකක් ෆේස්බුක් එකේ දැම්මහම "අපිටත් මහලා දීපල්ලකෝ" කියන මිතුරු ඉල්ලීම් තමා අපේ විරූස් සිහිනයට මූලික උණේ.

එදා ඉඳන් අපේම බ්‍රෑන්ඩ් එකකින් දරන්න පුළුවන් මිල ගණන් වලට හොඳ කොලිටි එකේ නිර්මාණ කරන්න ඕන කියන අපි සිහින මැව්වා.

බහතෝරන කාලේ ඉඳන් ගෙදර හැම දේකටම "දිස් ඉස් විරූ'ස්, දිස් ඉස් විරූ'ස්" කිය කියා අයිතිවාසිකම් කිව්ව මගේ සොඳුරු ත්‍රස්තවාදියා විරුල් නිසා අපි හිතා ගත්තා අපේ බ්‍රෑන්ඩ් නේම් එක විරූස් වෙන්න ඕන කියලා.

නදීෂා ඇඳුම් මහන කෝස් එක ඉවර කරලා සපත්තු හදන කෝස් එක කරද්දී ඒකෙදි හදපු සපත්තු දැකපු හැමෝම "අනේ අපිටත් හදලා දෙන්න" කියපු නිසා අපි 2012දී අපේ විරූස් කම්පනි එක රෙජිස්ටර් කරලා අපේ හීනයේ කොටසක් හැබෑ කර ගත්තා.

ඒ කාලේ නදීෂයි විරුලුයි ලංකාවේ මම මේ අරාබි රටේ කාන්තාරේ.

උණුහුමට තුරුල් වෙලා ඉන්න අප්පච්චි නැති කමින් විරුල් ඒ කාලේ මාත් එක්ක තරහින් හිටියේ.

කෝල් එකක් දුන්නත් ෆෝන් එක නදීෂට දෙනවලු "මෙන්න ඔයාගේ හස්බන්ඩ් කෝල් කරනවා" කියලා.

එයාට කතා කරන්න එන්න කිව්වම "බෑ මම බිසී" කියනවා.

මම පුදුම දුකෙන් හිටි කාලයක්.

2013 අගෝස්තු ස්කොලේ නිවාඩුවට එයාල මෙහේ ආවහම විරුල් කියලම හිටියා ආයේ මාව දාලා යන්න බෑ කියලා.

දරුවගේ අනාගතේ වෙනුවෙන් කියලා පටන් ගත්තු විරූස් තාවකාලිකව අපි නතර කළේ දරුවගේ වර්තමාන සතුට නැති කරලා ලබන අනාගත ජයග්‍රහණ මොකටද කියලා හිතලා.

ඉන් අවුරුද්දකට පස්සේ, මාෂා ඇන්ඩ් බෙයා කාටූන් බලද්දී දෙවියන්ගෙන් ඉල්ලපු ඊෂා අපිට ලැබුණා.

දවසින් දවස වයසට යන දෙමවුපියෝ බලා ගන්න ආපහු අපේ රටට යන්න ඕන කියලා හිතද්දී විරූස් සිහිනය ආයේ අලුතින් දකින්න ගත්තා.

ගිය අවුරුද්දේ අවසාන කාර්තුවේ ඉඳන් අපි දෙන්න දවල් රෑ නැතුව මහන්සි උණා.

ඒ මහන්සියත් අපි දෙන්නගේ යාළු හිත මිත්‍රාදීන්, දෙමාපියන්, සහෝදර සහෝදරියන් හැමෝගෙම උදව් උපකාරයෙන් ගිය මාසේ ජූලි 29 වෙනිදා විරූස් බිස්නස් ලෝන්ච් එක කරන්න පුළුවන් වුණා.

ගිය සැරේ වගේම සහ ඊට වඩා උදව් කරන අය අපි එක කණ්ඩායමක් විදිහට වැඩ කරන්න කතා වුණා.

ටීම් එකේ අපි කීප දෙනෙක් ප්‍රොඩක්ෂන් කර ගන්න මහන්සි වෙන අතරේ අනිත් අය අදාළ අනෙක් වැඩ (ලෝන්චින් පාර්ටිය, ප්‍රින්ටින්ග් වැඩ) වගේ දේවලට මහන්සි වුණා.

මගේ නිවාඩු අනුමත කර ගන්න වෙලා ගිය නිසාවෙන් හැමදේම කර ගන්න වුණේ හදි-හදිසියේ.

මුලින් පවුලේ අයට අමතරව තව සීමිත කීප දෙනෙක්ට විතරක් ආරාධනා කරමු කියන අදහස මම ලංකාවට ආවට පස්සේ වෙනස් කරන්න උණා ටීම් එකේ අයගේ අදහස් අනුව.

ආරාධනා කරන භාර ධූර වැඩේ පැවරුණේ මට.

ලෝන්ච් එකට දවස් කීපෙකට කලින් අනිත් වැඩ වලට දුවන පනින අතරේ ලැබෙන පොඩි ඉඩකදී ෆේස්බුක් ලොග් වෙලා තමා මේ ආරාධනා කරන වැඩේ කළේ.

ආරාධනා කරපු හැම දෙනාම වගේ ආවා.

ලෝන්ච් එකෙන් දවස් කීපයක් ගිහින් ආපහු බලද්දී තමා බොහොම දෙනෙක්ට ආරාධනා කරන්න බැරි වෙලා කියන දේ

ඒ හැමෝගෙන්ම පුද්ගලිකව සමාව ඉල්ලන්න වුණේ නෑ.

ඒ නිසා මේ පෝස්ට් එකෙන් පොදුවේ ඒ ආරාධනා කරනන් බැරි වුණු හමෝගෙන්ම සමාවෙන්න කියලා ඉල්ලා සිටිනවා.

ඒ වගේම අපේ ආරාධනව පිළිගෙන විරූස් එළිදැක්වීමේ සාදයට සහභාගී වුණු හැමෝටම බොහෝම ස්තූතියි කියලත් කියන්න ඕන.

එළිදැක්වීමේ උත්සවය වෙනුවෙන් ෆේස්බුක් එකේ කවර් ෆොටෝ මාරු කරන කැම්පේන් එකක් කරමු කියලා මිතුරෙක් යෝජනා කළත් ඒ වෙද්දී අපේ ප්‍රොඩක්ට්ස් සම්පූර්ණ වෙලා නොතිබුණු නිසා ප්‍රොඩක්ස් එළියට දාන්න වුණේ ටිකක් පහුවෙලා.

ඒ වෙනුවෙන් අපේ විරූස් ව්‍යාපාරයට උදව්වක් විදිහට ෆේස්බුක් එකේ තමන්ගේ කවර් පික් එක මාරු කරන්න පුළුවන්ද කියලා මම ඉල්ලා සිටි හැමෝම වගේත්, තව මම පුද්ගලිකව නොදන්න අය පවා ඒ කැම්පේන් එකට සහභාගී වෙලා තමන්ගේ කවර් ෆොටෝ එකට මම දුන්නු විරූස් කවර් ෆොටෝ එක දාලා විරූන් නම ගොඩක් අය අතරට ගෙනියනන් ලොකු උදව්වක් කළා.

ඒ හැම දෙනාටම මගේ ගෞරවණීය ආදරණීය කෘතවේදී බව දන්වන්න ඕන - ඒ උදව් කල හැමෝටම බොහෝම ස්තූතියි !

විරූස් අපි මේ පොඩි අඩියක් තිබ්බා විතරයි.

ඉදිරියට දිග ගමනක් යන්න ඔබ හැමෝගෙම සහයෝගය අපිට දිගටම ලැබෙන බව විශ්වාසයි.

නන් අයුරින් උදව් උපකාර කල හැමෝටම යළිත් වතාවක් ස්තූතියි !

ආදරෙන් - සුභාෂ් ගුණවර්ධන සහ විරූස් කණ්ඩායම

විරූස් සෝෂල් මීඩියා ලින්ක්ස් මේ තියෙන්නේ.
ලයික් කරන්න, ෆලෝ කරන්න, උපදෙස් ලබා දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සින්නත් කැමතියි.
Facebook: www.fabebook.com/viroozv
Instagram: www.instagram.com/virooz_v
Twitter: www.Twitter.com/viroozv
Blog: www.viroozv.blogspot.ae/

Monday, June 12, 2017

ඇඳලා කල් ගිය රෙදි වැරලි . . . නෑ මට වාවන්නේ . . !


සමහර සිංදු හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරනවා කියනවා.

ඒත් අපිට සමහර වෙලාවට ඒක හරියටම තේරුම් ගන්න අමාරුයි කොයි විදිහටද ඒ සපර්ශය වෙන්නේ කියන දේ.

සමහරවිට අඬන්න හෝ හිනාවෙන්න බැරි උනු සමහර සිදුවීම් දිහා ආපහු බලද්දී දැනෙන වේදනාව හෝ අමුතු හැඟීම වෙන්න බැරිද?

මම හිතන්නේ ඒක හරියට . . .

ගොළු හදවත පොතේ සුගත් වීරසේකර එයාගේ දෙමව්පියෝ නැති බව හිනාවකින් කියද්දී ඒක අහලා කම්පනයට පත් උනු දම්මිට අඬන්න බැරි උනා වගේ දෙයක් ?

මාලනී බුලත්සිංහලගේ "රජ මැදුරක ඉපදී සිටියානම්" ගීතයේ කොටස් ඇහෙද්දී සිතේ මැවෙන අපූරු චිත්තරූප වලින් මැවෙන දේවල් දිහා ප්‍රේක්ෂකයෙක්ගේ ඇසින් බලද්දී දැනෙන හැඟීම් වගේ දෙයක් ?

"පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ..."

ඒ කොටස ඇහෙද්දී මට පුලුවන් පෙරහැර කාලෙට කෝට්ටේ රජමහ විහාරයේ ඉස්සරහා පාරේ මැදට වෙන්න ඉස්සර තිබුනු වතුර මලේ ගැට්ටේ වාඩිවෙලා දෙපැත්තෙන් යන එන මිනිස්සු දිහා බලන් ඉන්න ප්‍රේක්ෂකයෙක් වෙන්න.

පැට්‍රෝල් මැක්ස් වලින් හරි ජෙනරේටර් වල විදුලියෙන් එලිය උනු, පාර දෙපැත්තේ තොරොම්බල් කඩ වල සෙල්ලම් බඩු පාරේ යන එන පොඩි උන්ට අත වනනවා.

ඒ අතරින් පොඩි කොල්ලෙකුයි කෙල්ලෝ දෙන්නෙකුයි එයාලගේ අම්මලට දරන්න පුලුවන් උනු මුදලින් අරන් දුන්නු උක් පුරුක් ටිකක් සූප්පු කර කර යනවා,  යෞවන වයසේ ලස්සන කෙල්ලයි පොඩිම කෙල්ලයි අම්මගේ අත් දෙකේ එල්ලිලා, පොඩි කොල්ලා තාත්තගේ අතේ එල්ලිලා.

අර පුංචි ඇස් ලොකු ආයාසයෙන් ගන්නවා අර තොරොම්බල් කඩ වල එල්ලිලා අත වනන සෙල්ලම් බඩු දිහා දිහා නොබලා ඉන්න.

වතුර මල් පොන්ඩ් එකේ ගැට්ටේ ඉන්න ප්‍රේක්ෂකයාට හිතෙනවා "අනේ ඒ පොඩි උන් සෙල්ලම් බඩුවක් ඉල්ලලා පොලොවේ හැපි හැපී ඇඬුවා නම් කියලා"

"ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ."

ඒ කොටස ඇහෙද්දී මට පුලුවන් මධ්‍යම පාන්තික සාමාන්‍ය මිනිස්සු ජීවත්වෙන මාවතක් අද්දර පරන පහේ ගෙදරක ඉස්සරහා අඹ ගහක් පාමුල, පොඩි ලී කනු දෙකකට පිටපලුවක් ගහපු ලොවි බන්කුවක වාඩි වෙලා ඒ ගේ ඇතුලට එබෙන ප්‍රේක්ෂකයෙක් වෙන්න.

අර පෙරහැර පොළේ දැකපු පවුලම වගේ පේන්නේ.

පවුලේ තාත්තා දුර රැකියවකට ගිහින් ටික දවසකින් ඇවිත් නෑ වගේ හිතෙනවා.

පොඩි කොලුවා දුවලා ගිහින් මාවත කෙලවරේ සිල්ලර කඩෙන් පාන් ගෙඩියක් ගෙනත්.

ඒක හතරට කපලා පොල් සම්බෝල එක්ක ගිල දාලා පොඩි උන් ඉස්කෝලේ යන්න මිදුලට පනිනවා.

කොලු පැංචා සුදු ෂර්ට් එක නිල් කලිසමට උඩින් දාගෙන ඉන්නේ කලිසම ගෙවිලා හමගිහින් බව අනිත් අයට නොපෙනෙන්න වෙන්න ඇති.

"මට අලුත් කලිසමක් මහලා දෙනකම් ඉස්කෝලේ යන්න බෑ" කියලා ඇයි ඒ කොලුවා අම්මා එක්ක රන්ඩු නොකලේ? අර බන්කුවේ ඉන්න ප්‍රේක්ෂකයාට හිතෙනවා.

"රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ..."

අර ප්‍රේක්ෂකයා තාමත් අඹ ගහ පාමුල ලොවි බන්කුවේ වාඩිවෙලා අර පරන තාලේ කුලී ගෙදර දිහා බලන් ඉන්නේ. එතනින් නැගිටලා ගේ ඇතුලට යනවා දැන්.

සිංහල උළු හෙවිල්ලපු පරන තාලේ ටිකක් විසාලෙට පේන ගෙයක්

පඩි 4ක් 5ක් නැග්ග ගමන් ආවරණය නොකල ඉස්තෝප්පුවක්. වම් පැත්තේ ස්ටෝරු කාමරේ විදිහට පාවිච්චි කරන ඔෆිස් කාමරයක්.

ස්තෝප්පුවෙන් ඇතුල් උනාම සාලයක්. රතු පාටින් කුෂන් කරපු පුටු සෙට් එකක්. දකුනු පැත්තේ ජනේලේ ගාව කෑම මේසේයි පුටු 6යි.

දකුනු පැත්තේ කාමරයක්. නැදුන් ලීයෙන් හදපු පරන අල්මාරියක්, පොරවපු රෙද්ද පවා පිලිවෙලට තියෙන ඩබල් ඇඳක්. අර යෞවන වයසේ ලස්සන ළමස්සිගේ වෙන්න ඕන.

සාලේ ආරුක්කුවෙන් ගියාම තව කොටසක්. ඒකෙත් වම් කොනේ ඩබල් ඇඳක්. දකුනු පැත්තේ ටිකක් අඳුරු පොඩි කාමරයක්. ලොකු රෙදි ඉස්කිරිමක් තියෙන සින්ගල් ඇඳක් තියෙන, උසින් තියෙන ජනේලේ පාමුල පොත් තියපු පොඩි  මේසයක් තියෙන පොඩි කාමරයක්. අර කොලු පැංචන්ගේ. ප්‍රේක්ෂකයා අනුමාන කරනවා.

මැද කෑල්ලෙන් එහා කුස්සියට කලින් කොටසක්. ගෑස් ලිපක් මේසේ උඩ. වම් පැත්තේ එලියට යන්න දොර. දකුනු පැත්තේ දර ලිපක් තියෙන දුම්මැස්සක් තියෙන කුස්සියක්.

මහ වැස්සක් කඩන් වැටෙනවා.

වහලේ තැන් 5-6කින්ම වතුර බේරෙනවා.

සිංහල උනු හෙවිල්ලපු වහලේ ගෙවල් අයිති කාරයෝ කාලෙකින් රෙපෙයාර් කරලා නැද්ද කොහේද?

"අක්කේ මගේ පොත් මේසේ අල්ලන්න එන්ඩෝ, මේන් මෙතනත් තෙමෙනෝ" පොඩි කොලුවා කාමරේ ඉඳන් කෑ ගහනවා.

අම්මයි ළමයි ටිකයි තරඟෙට කුස්සියට දුව දුවා බාල්දි බේසම් විතක් නෙමේ ඇලුමිනියම් කොරස් මැටි ඇතිලි පවා තියෙනවා වතුර වැටෙන තැන් වලට.

ඒ තරඟේ ඉවර උනු ගමන් පොඩි උන් දෙන්නා මිදුලට බැහැලා මහ පීල්ලෙන් වැටෙන වතුර පාරට ඔලුව අල්ලනවා.

ඉස්තොප්පුවේ පුටුවක ඉඳන් පොඩි උන් දෙන්නා දිහා බලන් ඉන්න අර යෞවන වයේ දැරිවිගේ ඇස් වල ඇත්තේ වේදනාවක්ද?

පොඩි උන් දෙන්නට ඒක තේරුම් ගන්න බෑ. උන් වැස්සේ එක එකා තල්ලු කරමින් පීල්ලට ඔලුව අල්ලනවා.

ඒ සිදුවීම දුක් වෙන්න ඕන එකක්ද සතුටු වෙන්න ඕන එකක්ද?

අර ප්‍රේක්ෂකයාගේ හදවතේ ගැඹුරුම තැනින් ප්‍රශනයක් ඇහෙනවා.

අන්න එහෙම වෙන්න ඕන සමහර ගීත හදවතේ ගැඹුරුම් තැන් ස්පර්ෂ කරන්නේ.



රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ...

පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

රජ මැදුරක...//

ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

රජ මැදුරක...//

ගායනය : විශාරද මාලනී බුලත්සිංහල
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : එච්. එම්. ජයවර්ධන

Tuesday, March 28, 2017

කිරි දියෙන් දෙව්වත් - අඟුරු සුදුවන කලෙක නම් නැත් !

අපි හැමදාම කාටූන් බලන්නෝ වෙමු.

ඊශා නැගිටින්නේම "ම්ම්ම් අද බලන්නේ මොන කාටූන් එකද? මාෂා & බෙයා?? ම්ම්ම් නෝ. පොකෝයෝ?? ම්ම්ම් නෝ. පින්ගු ම්ම්ම්ම්" කියා අසාගෙනය.

එහෙම කීවට මේ පිස්සු කෝච්චිය බලන කාටූන් එකක් නැත.

එයා එයාගේ වැඩය. බයිසිකල් පදිනවාය, බලි කුරුටු අඳිනවාය, පාට කරනවාය,. මොනා කලත් ටීවී එක ඔෆ් කිරීම නම් සපුරා තහනම්ය.

අන්තිමේදී අපි මහ උන් දෙන්නා දාහක් වැඩ තියාගෙන කාටූන් බලාගෙන ඉන්නෙමු.

සෙනසුරාදා උදේ ඉඳන් පින්ගූ ය.

පින්ගු ගෙයින් එලියට බහින්ද්දීම ගෙයි වහලයේ නොසන්ඩාල කුරුල්ලෙක් වහලාය.

ඌ පින්ගූවාට කෝචොක් කරනවාය, කකුලට උරහිසට බෙටි දමනවාය පින්ගුවාට මල පැන මෑක් මෑක් සද්දේ දැම්මාට ඌට වගේ වගක් නැතිය.

මහන්සි වූ xxx කුරුල්ලා පොඩි වතුර වලකින් හොට ඔබ ඔබා වතුර බොන අතරවාරයේ  හොටේ කකුල්ලුවෙක් එල්ලිලා ඌට බඩු බනිස් වෙන්න ඔන්න ඔන්න මෙන්නය.

පින්ගුවාට දුක හිතී කකුලුවාගේ නැට්ටෙන් ඇද්ද පාර ඌ xx කුරුල්ලා අතෑර පින්ගුවා පස්සෙන් එලෝනවාය.

ගෙට දුවන පින්ගුවා බෙලෙක් පිඟන්  දෙකකින් සද්දයක් දමා කකුලුවා ආපහු වතුර වලටම එලෝලා දානවාය.

මරණයෙන් බේරා ගත් පින්ගුවාට ස්තූති කරනවා වෙනුවට xx කුරුල්ලා පින්ගුවාගේ ඔලුවට ම බෙට්ටක් දමා යලිත් කෝචොක් කර පියඹා යනවාය.

කොතරම් ගුණ කලත්
දුදනෝ නොවෙති යහපත්
කිරි දියෙන් දෙව්වත් -
අඟුරු සුදුවන කලෙක නම් නැත්

සුභාෂිතය ලියූ අලගියවන්න මුකවෙටි තුමා ද පින්ගු කාටූන් එක බලා ඇත්දැයි සැක සිතුනි !

Pic from: https://www.pinterest.com/

Monday, March 6, 2017

මැදපෙරදිග මරු කතරේදී දුකට පිහිටට එන සහන !



1)           ප්‍රශ්නය: සහන සංවිධානය කියන්නේ මොකද්ද ඇත්තටම?
              පිළිතුර: ඒ කියන්නේ සහන සංවිධානය ගැන දන්නෙම නැද්ද?

2)           ප්‍ර: නෑ, එහෙන් මෙහෙන් ඇහිලා තියෙනවා හරියටම දන්නේ නෑ
              පි: සහන සංවිධානය කියන්නේ එක්සත් අරාබි එමීරයේදී කිසියම්ම විදිහකින් දුකට, කරදරයට පත්වෙන, සහනයක් අවශ්‍යවෙන ශ්‍රී ලාංකිකයින්ට පිහිට වෙන්න එක්සත් අරාබි එමීරයේ සංවිධාන රැසක් එකමුතුවෙන් පිහිටුවා ගත්තු ශ්‍රී ලාංකික සංවිධානයක්. ඇත්තෙන්ම ඩුබායි රාජ්‍යයේ දැනට නීත්‍යානුකූලව ලියාපදිංචි එකම ශ්‍රී ලාංකික සුබ සාධක සංවිධානය “සහන” සංවිධානයයි.

3)           ප්‍ර: සහනයක් අවශ්‍යවෙන කිව්වේ?
              පි: අපි හිතමු මෙහෙම - හදිසි අසනීපෙකට රෝහල් ගතවෙලා ඉන්ෂුවරන්ස් නැති කමින් රෝහලේ බිල ගෙවා ගන්න බැරිවෙන, හොර ඒජන්සියක් මඟින් මෙහේ ඇවිත් අතරමං උණු, සේවාදායකයා අහේතුකව රැකියාවෙන් නෙරපලා යන-එන මං නැති උණු වගේ හේතු නිසා අසරණ උණු ශ්‍රී ලාංකිකයින් ට හැකි ආකාරයෙන් සහනයක් ලබා දෙන්න කිව්වොත් හරි.

4)           ප්‍ර: ඔය හේතු වලින් අසරණ වෙන අයට විතරයිද සහන උදව් කරන්නේ?
              පි: නෑ, කිසියම් නීති උපදෙසක් අවශ්‍ය අයට, අසනීප වෙලා රෝහලේ ඉන්න වෙලාවක පවුලේ කෙනෙක් ගෙන්න ගන්න, එහෙම එන කෙනෙක්ට නවාතැන්-ප්‍රවාහන පහසුකම් හොයා ගන්න, ආතතිය - මානසික අසමතුලිතතා වගේ දේවල් තියෙන අයට උපදේශන සේවා ලබා දෙන්න, රැකියාව කරන මව / පියා රැකියා අහිමිව ආර්ථික අපහසුතාවයන්ට ලක් උණාම දරුන්වන්ගේ පාසල් ගාස්තු ගෙවන්න මේ ඕනෑම විදිහකින් සහනයක් ඕනෑ වෙන ශ්‍රී ලාංකිකයින්ට සහනයක් ලබා දීම තමයි සහන සංවිධානයේ පරමාර්ථය.

5)           ප්‍ර: එතකොට තානාපති කාර්‍යාලය, කොන්සුලේට් කාර්‍යාලය නෙමෙයිද ඒ දේවල් කරන්න ඕන.
              පි: ඒ දෙකේම පූර්ණ සහයෝගය සහ මඟ පෙන්වීම ඇතුව තමයි සහන සංවිධානය ක්‍රියා කරන්නේ.

6)           ප්‍ර: සහන සංවිධානය කොහොමද මේ සහන කටයුතු කරන්න මුදල් උපයා ගන්නේ?
              පි: හැම අවුරුද්දකම වසරේ මුල් කාර්තුවේ සංගීත ප්‍රසංගයක් පවත්වනවා. ඒකෙන් උපයා ගන්නා මුදලින් තමයි වසර පුරාම ඒ සහන කටයුතු සිදු කරන්නේ. තව දුරටත් සාමාජික මුදල් එකතු වෙනවා, පරිත්‍යාගශීලීන් උදව් කරනවා.

7)           ප්‍ර: මේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනුමැතිය නැතිව ඒ වගේ මුදල් එකතු කිරීම් කරන්න නීතියෙන් අවසර නෑ දන්න දරමින්. ඒ ප්‍රශ්නෙට සංවිධානය මූණ දෙන්නේ කොහොමද?
              පි: සහන සංවිධානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ "ඩුබායි ප්‍රජා සංවර්ධන අධිකාරියේ” ලියාපදිංචි එකම ශ්‍රී ලාංකික සුභසාධක සංවිධානයයි. ඔවුන්ගේත් පූර්ණ අනුග්‍රහය, ආශීර්වාදය සහ මඟපෙන්වීම සහන සංවිධානයට ලැබෙනවා.

8)           ප්‍ර: ලැබෙන මුදල් පරිහරණය කරන විදිහ ගැන අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
              පි: අනිවාර්යෙන්! කලින් සඳහන් කල අධිකාරියේ නීති රෙගුලාසි වලට අනුව විගණන නිලධාරීන් සංවිධානයේ ගනුදෙනු අධීක්ෂණය කරන්න, සහතික කරන්න ඕන. අධිකාරිය ඒවා ඔවුන්ගේ අදාළ කාලසීමාවල් වලදී නිරන්තරයෙන් පරීක්ෂා කරලා බලනවා. ඒ කියන්නේ 100%ක පූර්ණ විනිවිදභාවයෙන් ගනුදෙනු කටයුතු සිද්ධ වෙනවා.

9)           ප්‍ර: එතකොට මේ වසරේ ප්‍රසංගය මොකද්ද? කවදා කොහේද පවත්වන්නේ?
              පි: මේ වසරේත් ප්‍රවීණ ශිල්පීන් රැසකගෙන් සමන්විතව ප්‍රසංගය පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. සුනිල් එදිරිසිංහ, සශිකා නිසංසලා, අතුල අධිකාරී, රජීව් සෙබස්තියන් යන ප්‍රවීණ ගායක ගායිකාවනුත් ගායනයෙන් සහභාගී වෙනවා.
ලංකාවේ ඉතාම ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන "මා නොවන මා" වැඩ සටහන මෙහෙයවය ප්‍රවීණ සංගීත ශිල්පීන්ගෙන් සැදුම් ලත් "නාද" සංගීත කණ්ඩායම ඔවුන්ට වාදනය සපයනවා.
2017 මාර්තු මස 24 වෙනි සිකුරාදා සවස 7 සිට ඩුබායි හි ඉන්දියන් හයි ස්කූල් පාසලේ ශේක් රශීඩ් ඔඩිටෝරියම් එකේ ප්‍රසංගය පවත්වන්න සියල්ල සූදානම්.

10)         ප්‍ර: සහන කටයුතු සඳහා පවත්වන ප්‍රසංගයකට මේ තරම් ප්‍රවීණ ශිල්පීන් යොදා ගැනීමෙන් ලොකු ලාභයක් ලබන්න බෑ නේද?
              පි: ඔව් ඇත්ත ලාභ ලබන්න ඕන. ඒ ගමන්ම තමන්ගේ බොහෝ ආදරණීයයන් සිය රටේ තනිකරලා මෙහේ ආපු, සිය රටේ ඉහළ රසවින්දනාත්මක ප්‍රසංග හෝ කළා කටයුතු මඟහැරෙන මේ එක්සත් අරාබි එමීරයේ රසවතුන්ව අමතක කරන්න බෑ නේද? ඔවුන්ටත් සහනයක් ලබා දෙන්න තමයි ප්‍රවීණ ශිල්පීන් රැසක් හෝ යොදාගෙන ඉහළම තත්වයේ ප්‍රසංගයක් සංවිධානය කරන්නේ. ඒකයි බොහෝ අය මේ සහන ප්‍රසංගය වසරේ ප්‍රසංගය ලෙස හඳුන්වන්නේ.

11)         ප්‍ර: මේ වෙනකොට එවැනි ගුණාත්මක ප්‍රසංගය කීයක් පවත්වලා තියෙනවාද?
පි: 2012දි සහන සංවිධානය ආරම්භ කළායින් පසු 2013දී ප්‍රථම ප්‍රසංගය ලෙස "නීලා වික්‍රමසිංහ" මහත්මියගේ "මාස්ටර් සර්"; 2014දී දෙවෙනි ප්‍රසංගය ලෙස "නන්දා මාලනී" මහත්මිය සහ "වික්ටර් රත්නායක" මහතාගේ ප්‍රසංගය;  2015දී "ඇනස්ලි මාලේවන" මහතා ප්‍රමුඛ්හාත්වයෙන් "ක්ලැරන්ස් විජේවර්ධන" මහතාගේ "සුපර් ගෝල්ඩන් චයිම්ස් රි යුනියන්" ප්‍රසංගය; 2016 දී "රූකාන්ත ගුණතිලක" මහතා, "චන්ද්‍රලේඛා පෙරේරා" මහත්මිය සහ ඔවුන්ගේ දූවරුන් සමඟින් මහින්ද බණ්ඩාර ප්‍රමුඛ ප්‍රවීණ වාදක මණ්ඩලයක් සමඟින් "රූ සඳ රෑ" ප්‍රසංගය ආදිය පවත්වලා තිබෙනවා

12)         ප්‍ර: එක්සත් අරාබි එමීරයේ සංවිධාන රැසක් කියලා සඳහන් කළානේ මුලින්. ඒ සංවිධාන මොනවද?
              පි: ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකයින්, ලංකා සිංහ සමාජය, ඩුබායි දහම් පාසැල, හෙළබිම, ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාව, ශ්‍රී ලංකා සංස්ථාපිත ඉන්ජිනේරු ආයතනය, ඕල්කට් පාසැල් සගයෝ, ඩෙසර්ට් ලංකන්ස් ක්‍රිකට් සමාජය, සංසදය, ෆුජේරා ලයන්ස්, අපේ කට්ටිය මේ තමයි ඒ සංවිධාන එකොළහ.

13)         ප්‍ර: එක්සත් අරාමි එමීරයේ ශ්‍රී ලාංකික සංවිධාන තියෙන්නේ ඒවා විතරද?
              පි: නෑ තව බොහෝ සංවිධාන තියෙනවා දන්න තරමින්. අබුඩාබි දහම් පාසල, ජුමෙයිරා අපි, අබුඩාබි සංස්කෘතික පදනම, වරලත් ගණකාධිකරුවන්ගේ සංගමය ඔය වගේ තව බොහෝ සංවිධාන මේ එක්සත් අරාබි එමීරයේ තිබෙනවා.

14)         ප්‍ර: සහන සංවිධාන මේ රටේ රජයේ ලියාපදිංචි එකම සාමූහික සුබ සාධක සංවිධානය නම් ඇයි අනෙක් සියලු සංවිධාන ඒකේ පාර්ශව කරුවන් නොවෙන්නේ?
             පි: ඒ සියලුම සංවිධානත් මේ රටේ සියලුම ශ්‍රී ලාංකිකයොත් සහන සංවිධානයට කොන්දේවි විරහිතව ඔවුන්ගේ පූර්ණ සහයෝහය ලබා දෙනවා. අනාගතයේදී ඔවුන් සියලු දෙනා සහන සංවිධානයේ පාර්ශව කරුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

15)         ප්‍ර: මේ වෙනකොට ලියාපදිංචි සාමාජිකයින් කීදෙනෙක් විතර ඉන්නවාද?
              පි: මෙහෙමයි මේ රටේ ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 3කට වැඩි පිරිසක් රැකියාවල් කරමින් රැඳී ඉන්න බවක් සඳහන් වෙනවා. ඒ සියලුම දෙනා සහන සංවිධානයේ සාමාජිකයෝ වුණා නම් සියලු දෙනාම එකතු වී සියලු දෙනාට පිහිට වන්න ඉඩ ලැබෙනවා. නමුත් කියන්න කණගාටුයි මේ වෙනකොට ලියාපදිංචි සාමාජිකයින් ගණන 225ක් තරම් ප්‍රමාණයක් තමයි.

16)         ප්‍ර: සාමාජික මුදල ලොකු ගාණක් වෙන්න ඇති ඒ තරම් අඩු.
              පි: නෑ වාර්ෂික සාමාජික ගාස්තුව ඩිරාහ්ම 120යි. ඒ කියන්නේ මාසෙකට ඩිරහ්ම්ස් 10යි. කැමති කෙනෙකුට වසරකට (ඩිරහ්ම්ස්120), දෙවසරක(ඩිරහ්ම්ස් 240), පස්වසරකට (ඩිරහ්ම්ස් 600) හෝ ජීවිතකාලයටම (ඩිරහ්ම්ස් 3,000) සාමාජිකත්වය ලබා ගන්න පුළුවන්.

17)         ප්‍ර: 2012 වසරේ කිව්වනේ සහන සංවිධානය ආරම්භ කළේ. එතකොට ඊට කලින් අසරණ වුණු අයට පිහිට වුණේ කවුද?
              පි: ඇත්තෙන්ම  "ආදරයේ නිම්නය" කියන තේරුම තියෙන "වැලි ඔෆ් ලව්" කියන ඩුබායිහි ඇති ඉන්දියානු සංවිධානයක් තමයි ඒ වෙනකම් අපේ ඒ අසරණ වෙන ශ්‍රී ලාංකික පිරිසට උදව් කළේ. ඩුබායිහි 2012දි "සත්වා" කියන පෙදෙසේ වාසය කල මාස නවයක කිරිකැටියෙකුගේ මවකගේ ඔළුවට ශීතකරණය උඩ තිබුණු ඇසිඩ් බෝතලයක් පෙරළීමෙන් රෝහල් ගතවෙලා ඇයට පිහිට වන්න කියලා තිබුණු පුවත්පත් වාර්තාවක් තමයි මේ සහන සංවිධානයට අඩිතාලම දැම්මේ. ඒ වෙලාවේ එමීරයේ සේවය කරන හැමෝටම තදින්ම දැනුණා අපේ කෙනෙක්ට පිහිටක් අවශ්‍ය මොහොතකදී පිහිටවෙන්න අපේම සංවිධානයක් තියෙන්න ඕන කියන හැඟීම. පුළු පුළුවන් හැමෝම පුද්ගලිකව ඇයට සහ ඔවුන්ගේ පවුලට පිහිට වෙලා ඉන් පස්සේ අර කිව්ව සංවිධාන 11 හේ සාමාජිකයන් නිතර රැස් වෙලා ඇති කර ගත්තු එකඟතාවය උඩ තමයි සහන බිහි වුණේ.

18)         ප්‍ර: ම් ම් ම් අවුරුද්දකට 120ක් ලොකු ගාණක් නෙමෙයි සහන සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්න පුළුවන්. ඒත් ඔය සංවිධාන වල වැඩ වලට බැහින්න කාලයක් වෙලාවක නෑ. ඒකයි ප්‍රශ්නේ.
              පි: මෙහෙමයි සාමාජිකත්වය ලබාගෙන සාමජික මුදල් ගෙවන එකෙන්ම ඔබ සහනයක් අවැසි කෙනෙක්ට සහනයක් ලබා දුන්නු කෙනෙක් වෙනවා. තවදුරටත් සාමාජිකයෙක් විදිහට ඔබේ දෛනික වැඩ වලට හානියක් නොවී සංවිධානය වෙනුවෙන් කරන්න පුළුවන් වැඩ බොහෝමයි.
1. ඔබේ අසල්වැසියෙක්ට හෝ හිතවතෙක්ට සහනයක් අවශ්‍ය වෙලා කියමු. ඔහු හෝ ඇයව සහන සංවිධානයේ අදාළ පුද්ගලයින්ට යොමු කරන එක. (ඔවුන්ගේ දුරකථන අංකයක් ලබා දීම වගේ දෙයක්)
2. ඔබේ පදිංචිය හෝ රැකියා ස්ථානය රෝහලක් අසල නම් හෝ ඔබේ අකමැත්තක් නැතිනම් ඔබට කිට්ටු රෝහලට ශ්‍රී ලාංකික රෝගියෙක් රෝහල් ගත කෙරුණු බව දැන්වූ මොහොතක කෑම පාර්සලයක් ගිහින් දීම. විනාඩි පහකට ඔවුන් බලන්න ගොස් ආයුබෝවන් කියා ඒම වුවත් සෑහේ.
3. අරමුදල් රැස් කරන ප්‍රසංග පවත්වන කාලයේදී අත් පත්‍රිකා බෙදන්න, ටිකට් පත් විකුණන්න උදව් කරන්න. ෆේස්බුක් එක හරහා සහන සංවිධානයට සම්බන්ධ තොරතුරු ශෙයා කිරීම පමණක් වුව සෑහේ.
4. තව දුරටත් ඔබට කාල වේලාව සහ කැමැත්ත ඇති නම් සහන අනෙක් සියලුම කටයුතු (ලේබර් කෑම්ප් වල සහෝදර සහෝදරියන්ට කෑම බීම සපයන අවස්ථාවල සහය වීම, සාමාජීය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වලට සහභාගී වීම, ලේ දන්දීමේ කටයුතු වලට සහය දීම ආදී) වලට ඔබට සහභාගී විය හැකියි

19)         ප්‍ර: කොහොමද සාමාජික ඉල්ලුම් පත්‍රය ලබා ගන්නේ?
              පි: info@sahanauae.com, memberships@sahanauae.com කියන ඊ ලිපිනයට ඉල්ලුම් පත්‍රයක් ඉල්ලා ඊමේල් එකක් දාන්න. පසුව ඔවුන් සහන සංවිධානයේ ගිණුම් අංකය ලබා දේවි. පිරවූ ඉල්ලුම් පත්‍රය සමඟ සාමාජික මුදල් තැන්පත් කල පසු රිසිට් පත්‍රය යැවූ පසු ඔවුන් ඔබට සමාජිකත්වය තහවුරු කරාවි. ඉතින් ඔබත් සහන සාමාජිකයෙක්.

20)         ප්‍ර: සාමාජිකයෙක් වෙන්න කලින් දැනට මූලිකව සංවිධානය වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවද?
              පි: දැනට ඔබ ෆේස්බුක් එකේ ඉන්නවා නම් සහන යූ.ඒ.ඊ. කියන පේජ් එක සර්ච් කරලා ලයික් එකක් දාන්න. මාර්තු 24 ඉවෙන්ට් එකේ ලින්ක් එක පේජ් එකේ ශෙයා කරලා ඇති. ඒකට සහභාගී වන බව තහවුරු කරන්න. ඔබේ මිතුරු මිතුරියන් සියල්ලන්ට දැන ගන්න ඉවෙන්ට් එකත් සහන පිටුවත් ඔබේ ෆේස්බුක් වෝල් එකේ ශෙයා කරන්න. දන්න කියන හැමදෙනාටම සහන සංවිධානය ගැන කියන්න. හැමෝටම සාමාජිකත්වය ගන්න කියලා ඉල්ලීමක් කරන්න.

21)         ප්‍ර: හරි එහෙනම් ලබන මාර්තු 24 වෙනි සිකුරාදාට ඩුබායි ශේක් රශීඩ් ඔඩිටෝරියම් එකෙදි මුණ ගැහෙමු!
           

පි. හරි එහෙනම් - ජය වේවා!

Monday, February 20, 2017

පාසැලින් අස්නොවූ අයියලා-අක්කලා, ඇන්ටිලා සහ අන්කල්ලා!


"වයසට ගියත් බොහෝ අය සුපිරි පාසලින් අස්වී නොමැත" කියලා පහුගිය දවස් කීපෙකම ෆේස්බුක් එකේ එක එක ජාතියේ ස්ටේටස් දැක්කා. ඒවට බොහෝ අය පක්ශව සහ අපක්ෂව කොමෙන්ට් දානවා දැක්කා. අවිවේකී කම නිසා ඒ සංවාද වලට සම්බන්ධ වෙන්න බැරි උනා. ඉතින් මාත් ස්ටේටස් එකක් / පෝස්ට් එකක් දාලම මගේ අදහසත් කියන්න හිතුවා.

වයසට ගියත් බොහෝ අය තමන් උගත් පාසැලට ආදරය කිරීම, ඒ වෙනුවෙන් පෙනී සිටීම, ඒවාට විරුද්ධව අදහස් පල කරන අය සමඟ මරාගෙන මැරෙන්න යාමේ කිසිම වැරැද්දක් මම නම් දකින්නේ නෑ.

ඔවුන් වර්තමානයේ යම් ස්ථාවර තැනක ඉන්නවාද ඒ සඳහා පාසැලෙන් ලැබුනු ඉගෙනීමක් හෝ වෙන පිටුවහලක් (ඒ පාසලේ ඉගෙනුම ලැබූ නිසා රැකියාවක් ලැබීම, පාසැලේ උගත් ජනප්‍රිය අය නිසා ඔවුන්ටත් යම් ජනප්‍රියතාවක් හෝ කිසියම්ම දෙයක්) ලැබී ඇති නම් හෝ ලැබී ඇතැයි සිතා සිටී නම් එසේ තමන්ගේ දේ වෙනුවෙන් ඕනෑම මනුශ්‍යයෙක් පෙනී සිටී.

එසේ පෙනී ඉන්නා ගමන් "කක්කුස්සියේ වහලෙට ටකරන් දුන්නු නිසා", "අඳුරන පුංචි අම්මගේ දුවට පත්වීමක් දුන්නු නිසා" වගේ හේතු නිසා යම් පක්ෂයක යාවජීව සාමාජිකයෙක් වී පක්ෂය වෙනුවෙන් මරාගෙන මැරෙන්න හදන උන් දැක "මේ වගේ ගොන් වාහෙලා එක්ක මේ රට හදන්න බෑ" ජාතියේ ටෝක්ස් ඉශූ කරනවා නම් පොඩි පරස්පර ගතියක් දැනෙනා එක සත්‍යක්.

ඒත් තමන් උගත් පාසලට මැරෙන තුරුම ආදරය කිරීමත් රටක් ලෙස සිතීමේදී පුද්ගලික කාරනා නිසා තමන්ගේ අදහන පක්ෂය කරන කියන සියලු නරක පවා හොඳ දේ ලෙස අන්ධ භක්තියෙන් පිලිගැනීම ත් එකම එසේ එක තරාදියේ දමා කිරා බලන එක සාධාරන නොවේ කියා සිතෙනවා.

අනික මම දැක ඇති ලෙස බොහෝ විට අර කිව් ලෙස "පාසලින් අස්වෙන්න බැරි"වී සිටින්නේ හෝඩියේ සිට ඒ පාසල් වල ඉගෙන ගත් අයට වඩා පහේ ශිෂ්‍යත්වයෙන් සමත්ව හෝ උසස්පෙළ කරන්න ඒ පාසල් වලට ඇතුලු වූ අයයි.

ගෙදර සෙල්ලම් කරමින් ජොලියේ හිටි පොඩි එකාව හෝඩිය පන්තියට බාර දුන් පසු ගෙදර හිටියොත් ගුටිකන්න වෙන හේතුවට පාසල් ආ එකාට වඩා කඩයිම් විභාගයකින් සමත්ව හෝ කලින් ඉගෙනගත් පාසලේ තමන් ප්‍රිය කරන හෝ දක්ශතාව ඇති විෂයන් නැති කමින් හෝ වඩා හොඳ අද්‍යාපනයක් ලැබීමේ පරමාර්ථයෙන් සුපිරි පාසලට ආ එකාට ඒ පාසල ගැන විශාල භක්තියක් ඇති වෙන එක අහන්නත් දෙයක්ද?

ඒ අය අතරින් බොහෝ අය තමන් කලින් ඉගෙන ගත් පාසැල ගැන කිසිම විටෙක කිසිම තැනක සඳහන් නොකරන්න හේතුව අර කලින් කිව්ව ජොලියේ හිටි එකාව ඇදගෙන ඇවිත් හෝඩියට දාපු තරහවේ අවිඥ්ඥාන බලපෑම නොවේ යැයි කිව හැක්කේ කාටද?

සැබෑ ලෝකයේ තමන්ට කිසිවක් නැතත් තමන්ට තමන් ගැන සතුටු වීමට කිසිවත් හෝ ඇතැයි ෆැන්ටසියක ජීවත් වීමට මෙසේ සුපිරි පාසැලේ ලේබලය අලවාගෙන මානසික ස්වයන්වින්දනයක් ලබන්න උත්සාහ දැරනවා යැයි අදහසක් ද සංවාදවලදී දකින්නට ලැබුනා.

සතුටින් ජීවත්වීම හැර වෙන කිසියම්ම වූ වටිනා දෙයක් වේද මිනිසුන් හට.

එසේ ෆැන්ටසියක ජීවත් වීමෙන් ඔවුන් සතුටක් ලබනවානම් ඔවුන්ගේ සතුට දෙස බලා සතුටු වෙනවා මිස ඒ සතුට පලුදු කරන්න උත්සාහ ගන්නේ ඇයි?

Sunday, February 5, 2017

හිණි මඟ !

ඉහල අවකාශය දකින්නේ කෙසේදැයි
සිතන්නවත් බැරි කල
අහම්බෙන් අතගැටුනු, 

පියෙන් පිය ඉහල යද්දී
තුතියක් පුදන්න වත්
අමතක වුනු,

ඉහලට නැඟුනු සැනින්
මළකෑ ඇණ මුරිසි
අඩු පාඩු දකින,

ඉහල අවකාශයේ 
අසිරි විඳින සඳ 
මේ මොන කසි කබලක්දැයි
පා පහර ලබන 

හිණි මඟ !

එනමුත් 
තවත් ඉහල යන්න අවැසි 
උන් ඇත්දැයි විමසා බලන, 
පා පහරවලින් නොසැලෙන...!

Pic from www.shutterstock.com

Tuesday, November 29, 2016

දම්මී . . !


දම්මී තමයි හැමදාම හැමදෙනාගෙන්ම බැනුම් ඇහුවේ.

හැමෝම කිව්වේ දම්මී චපලයි කියලා.

බඳින්න කෙනෙක්ව දෙමාපියන් තමා කුඩා කාලේදීම තීරණය කරලා තියෙද්දීත් ඒ බව හංගලා හිත ගොලු කරගෙන සුදත්ට ආදරේ කරලා සුගත්ව රැවැට්ටුවා කියලා හැමෝම දකින්නේ.

ඇත්ත, සුගත්ගේ පැත්තෙන් කිසිම වැරැද්දක් නෑ. තමන් අවංකව කරපු ආදරේ නොලැබුනාම ඉන් එහා මොන දේ ලැබුනත් වැඩක් නෑ කියලා හිතලා, එක පාර මැරෙන දෙයක් බොන්න හිතේ හයිය නැතත්, අරක්කු බීලා මැරෙනවා ඊට හොඳයි කියලා හිතලා බේබද්දෙක් උනු එකට සුගත්ට වැරැද්දක් කියන්න බෑ!

ඒත් දම්මී?? දෙයියනේ දම්මී!!!

චපල ගෑනියෙක් කියලා බැනුම් අහන්න තරම් ලොකු වැරැද්දක් දම්මී කලාද?

නෑ!! මම කියන්නේ නෑ කියලා.

සුගත් දැක්ක පලමු මොහොතේ ඉඳන් දම්මී සුගත්ට ආදරේ කලා.

පිරිසිදු ආදරයක්!

ආදරේ කරන කෙනා ගැන හිතුවත් හිත කිතිකවන, සතුටින් උද්දාම වෙන, ඒ කෙනාව දැක්ක ගමන් අවට සියල්ල ගල්වෙනව වගේ දැනෙන, තමන් පුලුන් රොදක් වගේ පාවෙනවා වගේ හැඟීමක් දනවන කොටින්ම ඒ කෙනා ලඟ ඉන්නැද්දී තමන්ගේ සියලු රැහැන් බැඳීම් අමතක වෙන තමන්ට තමන් පවා අමතක වෙන ආදරයක් දම්මී ලඟ තිබුනේ.

එතකොට වැරදි කාරයා කවුද?

වෙන කවුරුත් නෙමේ - දරුවන් කියන්නේ තමන්ගේ බූදලයක් කියලා හිතන දෙමාපියන්!
දරුවන් සම්බන්ධ සියලු දේ තීරණය කිරීමේ පරම අයිතිය තමන් සතුයි කියලා හිතන දෙමාපියන්. කුඩා කාලේදීම දම්මී නිහාල්ට අයිති විය යුතුයි කියලා තීරණය කරලා දම්මිගේ නිකැලැල් හිත ගොළු කරපු දෙමාපියන් කිසි කෙනෙක්ගෙන බැනුම් අහන්නේ නෑ.

ඒත් දම්මී අසරන දම්මී !!

කරුනාසේන ජයලත් උනත් ඔහුගේ අනිත් පොත් වල දම්මී චපලයි කියල පව් පුරෝ ගන්නවා. (නෑ නෑ දම්මී වගේ චපල් නෑ, ඇයි දම්මී වගේ චපල කෙල්ලෙක් කියලද හිතන්නේ වගේ වචන මානවිකාවක්, කුළ කුමරිය වගේ පොත් වල තියෙනවා මතක විදිහට)

දරුවන් ලොකු මහත් උනාම ඕන මගුලක් කරගනිල්ලා කියලා අතාරින්න බටහිර සමායේ බහුතරයකට පුලුවන් උනත් පෙරදිග සමාජයේ අපිට බෑ. ඒ අපි හදවතටම ලංකරගෙන දරුවන් හදන නිසා මම කියන්නේ.

ඒත් දරුවන්ගේ තීරන වලට උපදෙස් දීලා, හරි වැරදි කියලා දීලා, ඔවුන්ගේ තීරණ ගැන වැඩිහිටියෝ විදිහට අපේ දැක්ම ඔවුන්ට පෙන්වලා දීලා, ඔවුන් එක පැත්තක් දිහා බලලා තීරණ ගන්න හදන වෙලාවකදී ඔවුන්ට තුන් හතර පැත්තක් පෙන්වා දෙන එකයි අපි කරන්න ඕන කියලා මම හිතන්නේ.

එහෙම පෙන්වලා දීලත් දරුවෝ ඔවුන්ගේම තනි කැමැත්තට තීරණ ගන්න හදනවා නම් අකමැත්තෙන් උනත් අවසර දීලා ඔවුන් තනි නොකර ඔවුන්ට අපේ උදව් ඕන වෙන ඕන වෙලාවක ඉදිරිපත් වෙන්න පුලුවන් දුරකින් රැඳී ඉන්න එකයි කරන්න ඕන කියලා මගේ අදහස.

තමන් එක හිතින් ආදරේ කරපු දම්මි නොලැබුනු වේදනාව සුගත් මත්පැන් බීලා සමනය කරන්න උත්සාහ ගනිද්දී, චම්පා එක්ක හරි තක්සිලාවේ යාලුවෝ එක්ක හරි ඒ වේදනාව බෙදාගෙන්න පුලුවන් කම තියෙද්දී, ඒ වේදනාව දම්මී කොහොම විඳින්න ඇද්ද?

"ආදරය එක අතක ප්‍රේමය . . තව අතක මා මැදි උනා . .
සාගරය වැනි වේදනාවක . . අහෝ හිතවත තනිවුනා "

ගොලු හදවත ලියපු කරුනාසේන ජයලත් ම ලියපු මේ ගීතයේ මේ කොටසින් ඔහු කලින් අනෙක් පොත් වල දම්මිට දොස් පවරලා කරගත්තු පව් සමාකර ගත්තා කියලා මට හිතෙනවා.

නුහුරු නුපුරුදු රහස පිළිබඳ
මිහිර ආදරයයි කියා...//
පවුරු බැදගෙන ‍සිතක වැජබුනු
රසවතී නැ කොයි ගියා..//

ආදරෙයි මම ආදරෙයි..//
දම්මි තවමත් ආ..දරෙයි
මවා පියකරු සිහින සිතුවම්
මතුකලා රසබර හැගුම්
දයාවන්තය යොවුන් සිතුවිලි
රසකලා ඔබෙ නෙත් කැළුම්..//

ආදරෙයි මම ආදරෙයි
සුගත් තවමත් ආ..දරෙයි...//
අසිමත් ලෙස වැඩුනු දේදුනු
කළුවලා වෙන් යට වුනා
මිහිරියාවිය අනේ දවසක
ඔබේ හදවත ‍ගොළුවුනා..

ආදරෙයි මම ආදරෙයි..//
දම්මි තවමත් ආ..දරෙයි..
ආදරය එක අතක ප්‍රේමය
තව අතක මා මැදි වුනා
සාගරය වැනි වේදනාවක
අ‍හෝ හිතවත තනිවුනා..

ආදරෙයි මම ආදරෙයි..//
සුගත් තවමත් ආ..දරෙයි
ආදරෙයි මම ආදරෙයි..//
දම්මි තවමත් ආ..දරෙයි

ආ..දරෙයි...///

පද රචනය : කරුණාසේන ජයලත්
සංගීතය : සිසිර සේනාරත්න

ගායනය : සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි සේනාරත්න


Wednesday, October 19, 2016

සිහිනෙන් දිව ගෑ සුවඳක් මෙන් !


"මචං උඹට මතකද මීට අවුරුදු 25කට විතර කලින් උඹයි, නංගියි, තව යාලුවෝ සෙට් එකකුයි උඹලගේ යෞවන සමිතියේ කොන්සර්ට් එකක නැටුවා"

ගිය ජූලි අගෝස්තු නිවාඩුවේදිත් පොඩි වෙලාවකට හරි කියලා පරන යාලුවන්ව බලන්න කියලා සමරේවයි (සමරසිරි) මෛත්‍රීවයි බලන්න ගිය වෙලාවේ සමරේ ඇහුවා

"අඩේ ඔව් ඇත්තෙන්ම අවුරුදු 26ක්. එතකොට මට අවුරුදු 17යි නංගිට 14යි, ඒ මචං උපාලි කුමාරවංශ අයියගේ මූලිකත්වයෙන් හදපු ශෂිකලා රසික හවුල යෞවන සමාජයේ"

"උඹලා නැටුවේ කපිරිඤ්ඥා නැටුමක් මතක හැටියට ආජු තපර ලායිලා සින්දුවට"

"මටත් සින්දුව නැටුම මතක නෑ බන් ඒත් අපි මාර ජොලියක් ගත්තා කියලා නම් මතකයි. මම, නංගි, නංගිගේ හොඳම යාලුවා හිමාලි, උඩහමුල්ලේ අෂාන්, ශාලාව පාරේ බුද්ධිකා, තරංග අනිත් හිටපු උන් මතක නෑ බන්"

"උඹලා අපේ පැත්තට ආපු ආලුතනේ ඒකෙන් පස්සේ තමයි අපි උඹලා එක්ක යාලුවෙන්න ට්‍රයි කලේ"

"බලහන් අවුරුදු 26කට එහා මතකය තාමත් කොයි තරම් සුන්දරද?, උඹට ස්තූතියි බන් ඒ සිහිනෙන් විඳපු සුවඳක් වගේ මතක් කරන කරන වාරයක් පාසා සුවඳ හමන අතීතේ සිදුවීමක් මතක් කලාට"

නිවාඩු ඉවර වෙලා අබුඩාබි ආවේ අගෝස්තු 7 වෙනිදා. අගෝස්තු 9 වෙනිදා SLQS-UAE එකෙන් මේල් එකක් එනවා මෙන්න මධ්‍ය ගිම්හාන සුහද හමුව සැප්තැම්බර් 23 පැවැත්වෙනවය, ඒකේ පර්ෆොර්ම් කරන්න කැමති අය ඉදිරිපත් වෙන්නය කියලා.

අර කිව්ව සිහිනෙන් දිව ගෑ සුවඳේ මතකය රැඳිලා ඉන්න අතරෙම නදීශාගෙනුත් අහලා බලලා ඒ ගමන්ම එක සැරේට මතකෙට ආව කට්ටියක් එකතු කරගෙන වට්ස් ඇප් ගෲප් එකක් හැදුවා - SLQS-GTG-Dance

"කස්ටිය මොකෝ කියන්නේ? සමන් අයියා, ඩිලංක ඇතුලු ඕගනයිසින් ටීම් එකේ ආරාධනාව පිලිගෙන අපි වෙනස්ම දෙයක් කරමුද?"

"ම් ම් ම් වෙනස් දෙයක් කිව්වේ?"

"අපි ගෲප් කපිරිඤ්ඥා ඩාන්ස් එකක් කරමුද?, මෙහේ කිසිම ගෙට් ටු ගෙදර් එකක එහෙම එකක් මම දැක්කේ නෑ. මොකෝ කියන්නේ?"

ඔන්න ඉතින් පටන් ගත්තා කට්ටියගේ බැරි බැරියාව.

"සින්දුවක් නම් කියමු"

"නටන්න බෑ මිනිස්සු හිනා වෙයි අයියෝ මොන ගොන් පාර්ට් එකක්ද කියලා"

"දැන් වයසයි ඕයි - මහත වැඩී නටන්න බෑ"

"හරි අයියා මීට කලින් වෙඩිමේදි නැටුවා මිසක් නටලා නෑ, ඒත් කරනවනම් කරමු" කියලා කෝල් එකක් දීලා කිව්වේ පුබුදු මල්ලී විතරයි.

මම සාමාන්‍යයෙන් දෙයක් කරන්න ඕන කියලා හිතුවොත්, ඒක කරන්න බෑ කියලා කොයි තරම් සාධනීය හේතු තිබ්බත්, එක සැරයක් වත් උත්සාහ නොකර අතෑරලා දාන්න ලෑස්ති කෙනෙක් නෙමේ.

කොහොමත් පිලිතුරු වල යටිපෙල කියෙව්වාම තේරුනු දේ තමා කට්ටිය කැමතී ඒත් අනිත් මිනිස්සුන්ගේ ප්‍රතිචාර වලට බය නිසා අකමැතී කියන දේ.

ගෲප් එකේ කට්ටියගේ නෙගටිව් කොමෙන්ට් ගැන හිත හිත බ්ලොග් පෝස්ට් එකක් ලිව්වා - සතුට මිසක දුක මොකටද !

//මේඛලා ගමගේ ගේ අහන් ඉන්න අහගෙන ඉන්න ගීතයේ "සතුට මිසක දුක මොකටද" කොටස හැමදාම මගේ හිත කොහේදෝ ලෝකෙක අතරමං කරනවා කියා මට සිතේ.

දෑසින් ලෝකය දකින්නට වරම් නොලද ඇය "සතුට මිසක දුක මොකටද" කියා අසන වාරයක් වාරයක් පසා මගේ හිත මගෙන් පිලිතුරක් නැති ප්‍රශ්නයක් අසයි.

කිසියම්ම වූ ශාරීරික අඩුපාඩුවක් සමඟ ලෝකයට පා තැබූ අය සියල්ලෝමත් ඒ අඩුපාඩු අමතක කොට ජීවිතයේ ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ගතකරන්න උත්සාහ කරද්දී . . . කිසිම අඩුපාඩුවක් නොමැතිව ලෝකයට බිහිවූ බොහොමයක් දෙනා නැති ප්‍රශ්න සාදාගෙන ජීවිතයෙන් සතුට බැහැර කරන්න උත්සාහ කරන්නේ ඇයි.//

රටේ ලෝකේ කටවල් වලට බයේ කිසිකෙනෙක්ට හානියක් නැතත් තමන්ට සතුට ලැබෙන දේවල් කරන්න බයවෙන මිනිස්සු ගැන හිතලා මම එහෙම ලිව්වා.

"මේකත් කියවලා බලහල්ලා" කියලා බ්ලොග් පෝස්ට් එකේ ලින්ක් එක ගෲප් එකේ ශෙයා කලාට පස්සේ ඒක කියෙව්වා නොකියෙව්වාද මන්දා, කීප දෙනෙක්ට තියාශා නංගී බලකරපු නිසාද මන්දා ඔන්න කට්ටිය සෙට් වුනා වැඩේට. ඒක කෙටියෙන් සරලව කියනවා නම් මෙහෙමයි

“සමන් අයියා, ඩිලන්ක ඇතුලු සංවිධායක මණ්ඩලයේ ආරාධනාව පිලිගෙන අපි වෙනස්ම දෙයක් කලෙමු. කොරින් අල්මේදාගේ "පෘතුගීසි අපිට කියල දුන්නු තාලේ" ගීතයට කපිරිඤ්ඥා නැටුමක් නැටුවෙමු. ගීත් ප්‍රසාදි සහ නදීෂා නැටුම සකස් කලෝය. බෙනඩික් ලවා ගවුම් මස්සවාගෙන, රිෂානි ලංකාවෙන් ගෙනා මල් ගෑනු ළමෝ කොන්ඩේ ගසා සැරසී සිටියෝය. සුභාෂ්-නදීෂා, පුබුදු-උදේශිණී, සමීර-රශිනි, ශාකීර්-රිෂානි, ලලිත්-ශෂිකලා එසේ නැටූ කන්ඩායම වේ”

මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.



ඇත්තෙන්ම මොන ගොන් පාර්ට් එකක් ද කියලා හිතෙන්නත් පුලුවන්. ඒත් අවුරුදු 26කට කලින් ගොන් පාර්ට් කියලා මිනිස්සු කියන ජාතියේ දෙයක් කරලා මතක් වෙන මතක් වෙන සැරේට සිහිනෙන් දිව ගෑ සුවඳක් වගේ දැනෙන සුන්දර මතකයක් එකතු කරපු ජීවිත අත්දැකීමක් මේකෙනුත් ලැබෙයි කියලා මම නම් විස්වාස කරනවා.

මේ ඉන්නේ අපි 4 දෙනා ඩාන්ස් එකට රෙඩි වෙලා ඉන්න වෙලාවේ (නදීෂා ඒ විදිහේ ගවුමක් ඊෂාටත් මැහුවා)

සමහර විට බැරිවෙලාවත් තව අවුරුදු 26ක් ඉස්සරහට ජීවත් උනොත් මේ අත්දැකීම් දෙකේම මතකය දත් නැති කටෙන් තලු මර මර රසවිඳින්න පුලුවන් වෙයි !

තව දෙයක්, වීඩියෝ එක බලනවානම් අයියෝ ඩේටා කියලා හිතන්නේ නැතුව නැටුම ඉවර උනාට පස්සේ How they made this Dance කොටස අනිවාර්යෙන් බලන්න. දක්ෂ ඡායාරූප සහ කැමරා ශිල්පී මොහාන් දිලිප් මල්ලී වීඩියෝ එක හදලා තියෙනවා බලන අයට බඩ අල්ලන් හිනා වෙන්න පුලුවන් විදිහට !

කාංචනා නංගීයි ගයාන් මල්ලියි රෙකෝඩ් කරපු වීඩියෝ එක ෆේස් බුක් එකේ ශෙයා කරද්දී හැමෝටම වගේ නම් ගම් ඇතුව ස්තූති කරපු නිසා මේ පෝස්ට් එකේදි පොදුවේ "අපේ මේ පිස්සු වැඩේට සහයෝගය දුන්නු හැමෝටම ගොඩාක් ස්තූතියි" කියලා විතරක් කියනන්ම් !

මේ ඉන්නේ ඉතින් ඩාන්සින් පාට්නර් ඇන්ඩ් ලයිෆ් පාට්නර් 

Thursday, September 29, 2016

ඇවිලෙන ගින්නට පිදුරු දමන්නෝ !


ගිනි අඟුරක් නිවි නිවි දිලි දිලි ඔහේ තියෙද්දී කිසිම ලස්සනක් නෑ.

අනතුරක්, භයානක කමක් තියෙන බව දන්නවා.

වතුර ටිකක් දාලා නිමලා දාන්නත් පුලුවන්.

ඒත් ආතල් එකක් ගන්න පුලුවන් වෙන්නේ පොඩ්ඩක් පිඹලා පුලුවන් නම් වියලි කොල කෑල්ලක් හරි පිදුරු ගහක් හරි ලන් කරලා පත්තු කරලා ගත්තාම.

වතුර ගහලා නිකම්ම නිවිලා ගියා වගේද කහ පාටට,රතු පාටට  දිලිසි දිලිසි පත්තු වෙනකොට.

නොවටිනා දේවල් විතරක් නෙමේ ඕන නම් වටින කියන දේවල් උනත් පුච්චලා අලු කරලා දාන්න පුලුවන්.

හොඳට පත්තු වෙනකොට පොඩ්ඩක් ලං වෙලා ඇඟපත පොඩ්ඩක් රත් කර ගන්නත් පුලුවන්.

හොඳට ඇවිලෙද්දී රස්නේ වදින විදිහට ඇල්ලුවොත් පරන වේලුනු නැති ගඳගහන ඇඳුමක් දෙකක් උනත් වේල ගන්න බැරි වෙන එකක් නෑ.

ඉක්මනට පත්තු වෙලා ඉවර වෙන්නේ නෑ වගේ හිතෙනවා නම් බියර් එකක් අරගෙන, නැතිනම් වීදුරුවකට අරක්කු වඩියක් දාගෙන, පොප්කෝන් කෝප්පෙකුත් අරගෙන, පුටුවක් ලං කරගෙන, බලන් ඉන්න පුලුවන් කොයි විදිහට ඇවිලෙයිද කියලා.

ඒ අතරේ ආපහු නිවීගෙන යනවා වගේ දැක්කොත් තව පිදුරු ටිකක් පරන කොල කෑලි ටිකක් දාලා අවුලළා ගන්නත් පුලුවන්.

නිකම්ම නිවිලා ගියා නම් අපරාදේනෙ නේහ් ?

ඒ වගේද පොඩි සපෝර්ට් එකක් දීලා අවුලළා ගන්න එක.

සීයට එකෙක් දෙන්නෙක් ඉන්නවා වෙන්න පුලුවන් වතුර ඩිංගක් ඉහලා නිවලා දාලා අනතුර වලක්වන අය.

නිමන්න කියලා වතුර දාන්න ගිහින් වතුරටත් ඇවිලෙන ගින්නක්ද කියලා හිතලා ඔහේ පාඩුවේ නිමිලා යන්නේ නැතෙයි කියලා හිතන උනුත් ඉන්නෝ

ඒත් ඉතින් ඔහේ නිමිලා යනවට වඩා කොයි තරම් ආතල්ද අර ඇවිලෙන දිහා බලාගෙන ආතල් ගන්න එක නේහ්? :D :D

Pic from: wikipedia

Sunday, August 14, 2016

සතුට මිසක දුක මොකටද ??


මේඛලා ගමගේ ගේ අහන් ඉන්න අහගෙන ඉන්න ගීතයේ "සතුට මිසක දුක මොකටද" කොටස හැමදාම මගේ හිත කොහේදෝ ලෝකෙක අතරමං කරනවා කියා මට සිතේ.

දෑසින් ලෝකය දකින්නට වරම් නොලද ඇය "සතුට මිසක දුක මොකටද" කියා අසන වාරයක් වාරයක් පසා මගේ හිත මගෙන් පිලිතුරක් නැති ප්‍රශ්නයක් අසයි.

කිසියම්ම වූ ශාරීරික අඩුපාඩුවක් සමඟ ලෝකයට පා තැබූ අය සියල්ලෝමත් ඒ අඩුපාඩු අමතක කොට ජීවිතයේ ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ගතකරන්න උත්සාහ කරද්දී . . . කිසිම අඩුපාඩුවක් නොමැතිව ලෝකයට බිහිවූ බොහොමයක් දෙනා නැති ප්‍රශ්න සාදාගෙන ජීවිතයෙන් සතුට බැහැර කරන්න උත්සාහ කරන්නේ ඇයි.

කිසිම වූ අඩුපාඩුවක් නැති අපි බොහෝ දෙනෙක් බොහෝ විට අඩුපාඩුවක් නැති කම ගැන වද වෙනවාද? සමහරවිට අවධානය, ආදරය හෝ අනුකම්පාවක් නැතුව ස්වාධීනව ජීවත්වීම අපහසුයි කියා සිතනවා වත්ද?

ලෝ වැඩ සඟරාවේ "පන නම් තණ අග පිණි බිඳු වැන්නේ" කියා සටහන්ව ඇත. ඒ බැව් අප බොහෝ දෙනෙක් දන්නා නමුදු එවැනි යමක් කෙදිනක වත් අසා නැත්තවුන් සේ ජීවත් වීමට අප උත්සාහ කරන්නෙමු.

අපි සෑහෙන දෙනෙක් කිසිවෙකුගෙන් නොයැපී ස්වාධීනව උපයාගෙන ජීවත් වුවත් අප අපට සරි ලෙස නොව අනෙක් උන් අපි මෙසේ ජීවත්විය යුතුයැයි බලාපොරොත්තුවේ යැයි අපි සිතා සිටින ලෙසකට ජීවත්වන්න කැමැත්තෝ වෙමු.

අපේ සතුට උන් වෙනුවෙන් අනිවාරතේ පුදකර සතුටු වෙන්න ලැබෙන අවස්ථා මඟහරිමින් ජීවත් වෙන්නෝ වෙමු. අසතුටෙන් ජීවත්වෙන්න කරුනු එකතු කරමින් සිටින්නෝ වෙමු.

බොහෝවිට සැබෑව නම් අනුන්ගේ දේවල් සෙවීම තමන්ගේ ජීවිතයේ එකම කාරිය කරගත් අල්පයක් හැරුනු කොට බහුතරයකට අනුන්ගේ දේවල් සොයමින් ඉන්න කාලයක් හෝ උවමනාවක් නැති බව අපිම අමතක කරදැමීමයි

අනුන්ගේ දෙවල් සොයන අනුන්ගේ හරි හෝ වැරදි දේට සිනාවෙන කට කැඩුනු කතා යැයි අප සිතන දේවල් කියන අය අනුන්ට නොරිදවීමේ අදහසකින් එසේ කරනවා විය නොහැකිද.

තමන්ගේ හෝ අනුන්ගේ සිනාවෙන්න ඕන දෙයකට සිනාවීමෙන් කතා කීමෙන් ඔවුන් තනිවමත් අන් අය සමඟත් ලබන්නේ සතුටක් වෙන්න බැරිද?

එසේ නම් අන් අයට සතුටක් ලබා දීම වෙනුවෙන් ඉඳහිටක හෝ තමන් කාරනාවක් වීම මහා භයානක පාපයක්ද?

උදාහරණයක් සිතුවොත් අපි සමහරු භාවිතා කරන මූනුපොතේ අපි ගිය ගමනක පින්තූරයක්, මුන ගැහුනු හිතවතෙක් සමඟ ගත් සෙල්ෆියක් පලකරන්න කලින් හිතන්නේ "දකින මිනිස්සු හිතයිද දන්නේ හැම මගුලම ෆේස් බුක් එකේ දාන පිස්සෙක් කියලා - ඔන්නොහේ ඕන්නෑ" කියායි.

එසේ නොසිතා "මගේ මූනු පොත මම කැමති දේ මම දානවා. බලන්න අකමැති අය ඉඳී නම් අන්ෆ්‍රෙන්ඩ් කරයිනේහ්" කියා සිතා තමන්ට කැමති (තමන්ට සිතෙන අයුරින් සමාජයට හෝ ලෝකයට හානියක් නැති ) දේවල් පලකරන්නෝ ඒ පලකල දේවල් වසරක් පාසා යලි යලිත් දකිද්දී ලබන සතුට එසේ නොකරන අය කෙසේ දැනගන්නද?

අනුන්ගෙන් ණයට ඉල්ලාගෙන හදිසියේ ගෙන ආවක් නොව දුක් කම්කටොලු බාදක පවා මැදින් පරිස්සමින් ගෙනයන ජීවිතයේ ඒකායන ප්‍රාර්ථනය සතුට පමනයි කියා සිතන්නෝ මෙතරම් විරල ඇයි!

ඇත්තෙන්ම සතුට මිසක දුක මොකටද කියා අපි අපෙන්ම අසා සතුට මිසක වෙන කිසිදෙයක අගයක් නැතෙයි සිතා අපි අපිට ඕන විදිහට ජීවත්වෙන්න පටන් ගන්නේ කවදාද . . ???

Pc From : www.pexels.com

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails