Showing posts with label එපා හිරු පායන්න. .. Show all posts
Showing posts with label එපා හිරු පායන්න. .. Show all posts

Wednesday, November 25, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (අවසාන කොටස)



1 වෙනි කොටස 

2 වෙනි කොටස

3 වෙනි කොටස

4 වෙනි කොටස

5 වෙනි කොටස

6 වෙනි කොටස

7 වෙනි කොටස

සවස් වරුවට, සති අන්ත වලට පංති නොගිහින් නතර වුනු මම ආයෙමත් වැටුනේ සුපුරුදු සෙල්ලමට . . .

එකල අප පදිංචි වී සිටි නිවස පිහිටි පටු මාවතේ සිටි එක වයස් කාන්ඩ වල කට්ටියකටම කුමක්දෝ හේතුවක් නිසා නිවාඩු පිට වගේ සිටියේ කෙසේදැයි කියා කොයි ආකාරයට සිතුවත් හේතුවක් සොයා ගැනීම අපහසුම කාරියක් වුනා . . . ඒත් නිකමට වගේ සිතූ විටෙක මෙසේ වන්න ඇති කියා අනුමාන කරන්න හැකි වුනා . .

සමහර අය උසස්පෙළ කරල ප්‍රතිඵල එනකම් හිටියා . . . සමහර අය සාමාන්‍ය පෙළ කරලා උසස් පෙල කරන්න ළකුනු මදි නිසා දෙවෙනි පාර කරන්න පුනරීක්ෂන පංති ගිය නිසා කාල වේලා තිබුනා . .

එසේ සෙල්ලමට වැටුනු මගේ මේ ක්‍රීඩා ටිකකට හෝ නතර වුනේ බොහෝවිට සවස තුනේ සිට හතර දක්වා ගුවන්ගතවූ හිංදී ගී තීරය, නැතිනම් රූපවාහිනියේ විකාශනය වූ රොබින් හුඩ් වැනි හැඬ කැවූ නාටකයක්, නැතිනම් හුවමාරුවට කියවූ නවකතා පොතක් චිත්‍රකතා පත්තරයක් ලැබූ විටෙක පමනයි . . . නැතිනම් සවස හය වනතුරු එකදිගටම සෙල්ලම් කලේ හෙම්බත් වීමක වගක් වත් නැතුව . ..

කෙසේ නමුත් අප සියලුම දෙනා සිටියේ ක්‍රීඩා උන්මාදෙකින් වගේ . . .

මම සිටි වයස් මට්ටමේ ආනුභාවයෙන්, තරුණයන්ගේ ක්‍රීඩා වූ වැඩිය වාහන නො එන පටු මාවත බදු අරගෙන මෙන් කල පාපන්දු ක්‍රීඩාවටත්, කම්බි වැටවල් නොතිබුනු මාවතේ වතු උඩින් ගස් ගල් පවා පෙරලගෙන දිවූ වයින් බෝතලේ ක්‍රීඩාවටත්, රබර් බෝලයෙන් පිට හරහාට පාරවල් හිටින්න බෝලපාර කෑ ටින් කැඩීම වැනි ක්‍රීඩාවලටත් මා එකතු කරගත්තා වාගේම කුඩා වුන්ගේ ක්‍රීඩා වූ අයිස් පයිස්, වන් ටූ ත්‍රී බම්බල් බී වැනි ක්‍රීඩා වලට පවා පමනක් නොව කට්ටිය අඩුවූ විට ගැහැනු ළමයින්ගේ ක්‍රීඩා වූ බට්ටා පැනීමට පවා නංගී බලෙන්ම මාවත් එකතු කර ගත්තා . . .

කලින් සඳහන් කල කන්ඩායම් සමඟ මාත් ඒ සුපුරුදු රැලටම එකතු වෙලා දුවලා පැනලා ජීවිත කාලෙම මැකිලා නොයන තුවාල කැලල් කකුල් වල ඇති කරගත්තු ඒ කාලය . . පංති නොයන්න බැරි වුනු එක ගැන දුකක් හිතනන් වත් . . . ඉමාෂා මම නැති පංතියේ දුකෙන් ඉන්නවා ඇති කියා හිතන්නවත් . . . ඒ ආදරණීය පංතියත් එහි සියලුම දේත් මට නැති වුනා නේදෝ කියා සිතන්න වත් මට මොහොතකට වත් ඉඩක් නොදුන්නා තරම් . ..

ඉමාෂා, සචිනි අතේ සතියකට දෙක බැගින් එවූ ලිපි මා කියවා පුළුස්සා දැමුවේ සිත් පිත් නැත්තෙකුගේ ආකාරයට . . . සචිනි අතේ හෝ තිලංෂ අතේ එවූ පනිවුඩ - පංති ඇරෙන වෙලාවට පුස්ථකාලය ලඟට එන්න කියා එවූ පනිවුඩ අසා සිටියේ දෙකන් නැත්තෙකු ලෙසට . . .

ඉමාෂා සචිනි අතේ එවූ පනිවිඩ . . .ලිපි කෙමෙක් අඩු වී නැත්තටම නැතිවී ගිය මුල දිනෙක සවස් වරුවක තිලංෂ මා සොයා එනවිටත් මා සිටියේ මිතුරන් සමඟ වයින් බෝතලේ ක්‍රීඩාවට සහභාගී වෙමින් . . . ඔහුට ටික වේලාවකට නතර වෙන්නයි පැවසූ මා එන විට මගේ සිරුර දහඩියෙන් පෙඟී හඩු ගඳ ගසමින් තිබුනා වන්නට ඇති . . .

"හලෝ මචං . . . කාලෙකින් . . ." කියා මා ඔහුගේ උරහිසට තැබූ අත ඔහු පිළිකුලෙන් ඉවත් කලේ යොවුන් සිරුරකින් නැගුනු දහඩිය ගඳ කෙරෙහි පිළිකුලකින් නොව . . . නිනේෂ් දිනුත ගුණරත්න ගේ ආත්මය කෙරෙහි උපන් පිළිකුලෙන් බව මට වැටහුනේ ඉන් ටික කාලයකට පසුවයි . . .

කිසිදු සිනාවකින් තොර ඔහු මගේ දෙනෙත තුලට කිමිඳී මොහොතක් බලා සිටියේ මට කීමට ඔහු සිතාගෙන සිටි දේවල් යලිත් සිහිකැඳවා ගන්න කල්ගන්නවාක් මෙන් . . .

"උඹ නම් මහා බල්ලෙක් නිනෙෂ්. . . "

මගේ දයාබර මිතුරාගෙන් මෙවැනි යමක් කෙදෙනක වත් අසන්න සැදී පැහැදී නොසිටි මගේ හිත පමනක් නොව ගතද එක් වරම වෙව්ලා ගියා . .

"උඹට ලව් කරන්න උවමනාවක් නැත්නම්, ලව් කරන්න දන්නේ නැත්නම් . . . මොන මගුලට අර අහිංසක කෙල්ලට හෝප්ස් දුන්නේ . . . "

කිසිදු පිලිතුරක් නොදුන් මා තවදුරටත් ඔහු දෙස බලා සිටියේ මුලින්ම ඇතිවූ කම්පනය තවදුරටත් දෙනෙතේ දරාගෙන . .

"උඹට ඉමාෂා සචිනිගේ අතේ එවපු ලියුම් වලට වචන දහයක රිප්ලයි එකක් යවන්න බැරි වුනා නේද . . . "

මගෙන් පිලිතුරක් නොලද තැන ඔහු යලිත් පටන් ගත්තේ මුලින් තිබුනු තරම් තරහකින් නොව විශාල කම්පාවක් කටහඬේ රඳෝගෙන . .

"මුලින්ම අපි ඒකි ගැන missunderstand කලාට ඒකි මාර හිත හොඳ කෙල්ලෙක් කියලා තේරුනාම අපි හැමෝම ඒකිත් එක්ක ෆිට් වුනානේ . . . මට මතක් වෙද්දිත් මාර දුකයි ඒකි ක්ලාස් ඇරිලා උඹට එන්න කියලා පනිවිඩ යවපු නිසා උඹ පබ් එකට ඇවිත් ඇති කියලා හිතලා උඹ එනකම් බලං ඉඳලා නො එන බව තේරුනාම අඬල අඬලා ගිය විදිහවල් මතක් වෙද්දී . . ."

"මම ආවේ උඹ ඇයි එහෙම කලේ කියලා උඹෙන් නිදහසට හරුනු අහලා යන්න නෙමෙයි . . . . . ඇයි මම උඹට හොඳ දෙකක් කතා කරන්නේ නැත්තේ කියලා වද දෙන මහේ හිතට සහනයක් දෙන්න . . . . උඹට කුනුහරුපෙන් බැනලා යන්න ඕන නිසාමයි . . . “

ලොකු හුස්මක් ගත් ඔහු “මම යනවා . . . උඹ ආයි කවදාවත් එයාව මීට් වෙන්න යන්න ඕනෙත් නෑ . . එයාව දකින්න වත් යන්න ඕනෙත් නෑ . . . අපි පුලුවන් විදිහකින් එයාගේ හිත හදන්නම් . . ." කියූ තිලංෂ ඔහු ආ පාපැදියට නැගී යන්න ගියේ පසුපස වත් නොබලා. ..

ඔහු යන දෙස මම බලා සිටියේ හැඟීම් විරහිත බවකින් බව මට තාමත් මතකයි . . .

. . . . . . . . . . . .

සියල්ල උඩු යටිකුරු වී සත්‍යය වැටහීමට ගතවූයේ මාස දෙකක් හෝ තුනක් වැනි සුලු කාලයයි . . .

අසල් වැසි පොත් ගුල්ලන් ගුල්ලියන් පාසැලේ පුස්ථකාලයෙනුත් . . මහජන පුස්ථකාලයෙනුත් රැගෙන විත් මාරුවෙන් මාරුවට කියවන පොත් අතරින් "ගොළු හදවත" පොත නැවත වරක් මගේ අතට ලැබුනේ දෛවයේ හාස්කමකින් මෙන් . . . වරක් කියවා තිබුනු මුත් මෙවර එය මා කියවන විට දම්මි-සුගත්ට මෙන් ආදරයක ශේෂවූ මතක සටහන් මා ලඟ තිබුනු නියායෙන් වැඩි කාලයක් රැගෙන සීරුවෙන් කියැවූයේ සමහර විට මගේ අවාසනාවට විය හැකියි . . නැතහොත් ජීවිතයේ කෙදිනක වත් යලිත් එවැනි පාදඩ කමක් නොකිරීමට මට පාඩමක් ඉගැන්වීමට දෛවයෙන් දුන් තීන්දුවන් නිසා විය හැකියි . . .

දෙවියනේ . . . දමයන්ති කලාක් මෙන් . . ඊටත් වඩා කුරුරු ලෙස මා විසින්ද සිදු කලේ පලමු වර කියැවීමේදී දම්මි කලේ බරපතල වරදක් යැයි මා සිතූ වරදම නොවේද . . . ??

දම්මි හදවත ගොළු කරගෙන සිටියේ කුඩා කල පටන් ඈට යෝජිතව සිටි නිහාන් නිසාවෙන් . . . නමුත් මා . . . ?? දෙවියනේ මා . . ?? මා ඒ වැරැද්ද සිදු කලේ කිනම් වූ හේතුවක් නිසාවෙන්ද . . . ආදරය කිරීම යනු අරයාටත් කෙනෙක් ඉන්නා නිසා මටත් කෙනෙක් සිටිය යුතුයි වැනි යමක් . . . නැතහොත් පෙම්වතියක් සිටීම ආඩම්බරයට කරුනකැයි වැනි . . මෝඩ සිතුවිල්ලකින් ආදරය යන උදාර වචනයට මුවාවී මා විසින් සිදු කර ඇත්තේ කුමන සාපරාධී ක්‍රියාවක් ද . . .

එතැන් පටන් මා දැවෙන්න වූයේ විශාල ගින්දරකින් . . . මා ඇයට කලේ විශාල වරදක් යන හැඟීමෙන් එකදු මොහොතක් හෝ මිදෙන්නට ඉඩක් නොලැබුනා තරම් . . .

නිතරම මට දැනෙන්නට වූයේ හදවතේ කිණිස්සක් ඇණී නොමැරී ජීවත් වෙන්නෙකුට කොයි මොහොතේ කිණිස්ස ඇතුලටම ඇනී මියයාදෝ වැනිව දැනෙන හැඟීමක් වෙන්න ඇති . . .

ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්
සිහිනයක් නොවේ ජීවිතේ . . .
අරුණු යාමේ රැඳී
තුෂර බිංදුවක් වගේ
ආදරේ බිඳේවි මොහොතකින් . . .

බිඳුනු පෙම් හදින් හඩන තුරුණු පෙම්වතුන්
ලෝකයේ කොතෙක්ද යාලුවේ . . . .
පුංචි කාලේ එවන් වේදනා දැනුනොතින්
දරාගන්න හැකිද ඔය සිතින් . . .

මිහිරි කල්පනා සොඳුරු මුකුළු මල් හිනා
පුංචි හිතට සතුට ගෙනෙනවා . . .
නොසිතු සේ ඈ සෙමින් පෑ සෙනේ බිඳුනොතින්
පුංචි හිතට නේද වේදනා . . . .

අල්ලපු ගෙදර රේඩියෝවෙන් නැගෙන නිමල් ගුණසේකර මහතාගේ හඬ මේ හදවතේ ඇනුනු කිණිස්ස තව තවත් ඇතුලටම තද කරන්න දරන උත්සාහයක් වගේ යැයි සිතුනා . . .

ඈට ලිපියක් යවන්න කියා සිතා සචිනි ගේ උපකාරය ලබා ගත් හැකි නොවේදැයි සිතූ සිතුවිල්ල පවා සචිනිගේ එක බැල්මකින් සුනු විසුනු කර කර දැමුවා . . . ඉමාෂා එවූ ලිපි වලට මගෙන් පිළිතුරු නොලැබීමේ රහස ඈ ඉමාෂාගෙන්ම අසා දැන ගන්න ඇති . . ඈ ඉන් මතු මා දෙස බැලුවේ පීදීගෙන රෝස මල් පාත්තියක් සපත්තු දැමූ දෙපයකින් පාගා පොඩි කර දැමූ නරුමයෙකු දෙස බලන්නාක් මෙන් . ..

එකම පාසැලේ ඉගෙන ගන්නා යෙහෙළියක ගේ අහිංසක සිතක් තලා දැමූවෙකු පමනක් නොව යෞවනියක් ලෙස බාලිකා ලොවටම අපරාධකල අපරාදකරුවෙක් ලෙස ඈ මා ගැන උපන් සිතුවිල්ලෙන් මා දෙස බලන බව ඇගේ බැල්මෙන් තෙරුම් ගත් පසු මා කෙසේ ඈ අත ඉමාෂාට ලිපි යවන්නද . .. ??

එනත් පාසැලක එකම පංතියේ උගත් මගේ උපකාරක පංතියේ මිතුරු කැල තිලංෂ, රුසිත් සහ සාරංග ඉන් මතු අහම්බෙන් හෝ මා මුන ගැසුනු විටෙක බලෙන්ම මා ඔවුන් හා කතාබහට එක්කරගන්න උත්සාහ කල විට "ආ නිනේෂ් මහත්තයා . . . කොහොමද සැප සනීප . . . හොඳට පාඩම් කරනවාද . . . අපි යන්නම් මචං . . පරක්කු වුනා " කියා නිනේෂ් මහත්තයා කියන නම බර කර කීවේ ඔවුන් මට ඇමතූ මගේ කෙටි නම වූ "නිනෝ" පවා ඔවුන්ට අමතක වුන් ලෙස . . . එසේ වචනයෙන් දෙකෙන් මගහැර යන ඔවුන් අත මා කෙසේ ඈට පනිවිඩ යවම්ද . . .

පංති නිමාවෙන වේලාවට නුගේගොඩ හංදියේ අපේ සුපුරුදු බීම හල ලඟට වී ඈ සමඟ වචනයක් හුවමාරු කරගෙන සමාව ඉල්ලීමට මට ඉඩක් නොදීම . . . . ඈ මා දුටුවිට හිරුෂි නොමතිව තනියෙම ආ විටෙක පවා දන්නා හෝ නොදන්නා බාලිකාවන් රැලකට මැදිවී මා මඟහැර ගියේ මා නොදුටු ලෙස . . . එක් වරක් හෝ හෝ ඈ හැරී බලනු ඇතැයි මා මගේ සිතත් සමඟ කල ඔට්ටු ඇල්ලීම් වලින් මා දිනුම ලැබුවා වුවත් වචනයක් හුවමාරු කිරීමට කිසිදු ඉඩක් ඈ නොවේ මට ලබා දුන්නේ . . .

කිසිදු ලෙසකින් ඇගෙන් සමාවක් ඉල්ලීමට ඉඩක් නොලද මා එතැන් සිට මගෙන්ම පලි ගන්නවා හැර වෙන කුමක් කරන්නද . . . ???

ඈ යලිත් මට නොලැබෙන බව පසක් වෙන හැම මොහොතකදීම ඈවම ඇගේ සෙනෙහසම ඉල්ලා කෑ ගසන සිතට දිය හැකි උපරිම දඬුවම් ලබා දෙමට මා කිසිවිටෙක පැකිළුනේ නෑ . . . මා ආදරය කල සැම දෙයින්ම මා පලා යා යුතුයි . . . ම දැනසිටි, මා ඇදහූ පලිගැනිමේ ක්‍රමය එපමනයි . . . ! ! !

. . . . . . . . .

දිනක් පාසැල් වේලාවේ මගේ පන්තිය අසල මගේ මාමගේ පුත්‍රයා රැඳී සිටියේ එම කාල පරිච්ඡේදය නිමා වෙනතුරුයි . . .

"තිසල් මල්ලී මොකෝ මේ . . . පංති කට් කලාද . . . "

"නෑ නිනෝ අයියේ . . අද අපේ සයන්ස් ටීච නිවාඩු . . ඉතිං මේ පීරියඩ් එක ෆ්‍රී . . "

"මොකෝ ඉතිං තමුසේ මාව බලන්න අවේ . . . "

"නිනෝ අයියේ මගේ මාළු ටැංකිය ඊයේ අපේ මල්ලිගේ අතින් කැඩුනා හලෝ . . . මාළු ටික බේසමක දාලා තියෙන්නේ . . ඔයාට ටැංකි හතක් විතර තියෙනවානේ . . මට එකක් දෙනවකෝ හලෝ . . . "

"එහෙනම් හවසට එන්න . . . මම දෙන්නම් . .. " උගේ මූනේ රැඳුනේ සතුටු සිනාවක් . . .

හවස ඔහු එනවිට මා ටැංකි හතේම සියලුම මාළුවන් වෙන වෙන බෑග් වලට දමා ටැංකි වල තිබූ උපකරනත් ගල් වර්ග, ලී කැබලි ආදියත් බෑග් වල අසුරා ටැංකි ටිකත් මිදුලේ පේර ගස යට තබා තිබුනා . . .

"මේ මොකෝ මේ . . . "

"ඔයා මේ ඔක්කොම ගන්න . . . යමු මම එක ටැංකියක් ගන්නම් . . ඔයා පොඩි එකක් ගන්න . . "

ඔහුගේ ඇස් විස්මයෙන් ඉපිලී එලියට නොපැන්නා පමනි . ..

. . . . . . . .

මිදුලේ ලොවි බංකුවේ වාඩිවී පොතක් බලනවා වැනි ඉරියව්වකින් වේදනාබර කල්පනා ලෝකයේ කිමිදී ඉන්නා විටෙක . . . .

"ස්ස්ස්ස්ස්ස් . . . . හලෝ හලෝ . . . නිනේෂ් අයියේ . . ."

ඉස්සරහා වත්තේ කවින්ද්‍යා නංගී

"මොකෝ . . . "

"මේ ඔයාගේ මුද්දර පොත් වල තියෙනවනම් ඔස්ට්‍රියා වල එක වගේ මුද්දර දෙකක් මට එකක් දෙන්නකෝ තරහා නැතුව . . . මම ඔයාට මගේ ලඟ එක වගේ දෙකක් තියෙන ඉන්ඩියා වල රෙයා මුද්දරයක් දෙන්නම් . . "

සුළු මොහොතකින් මා ඔවුන්ගේ නිවසේ සීනුව නාද කලා . . .

ඇතුළු කාමරක සිටි කවින්ද්‍යා නංගී සාලයට අවේ . . .

"අම්මෝ . . .මාර Quick නේ . . . ඉන්න මම මගේ මුද්දර පොත් ටික අරගෙන එන්නම් . . "

"නෑ . . එපා . . . මෙන්න මේ ටික ඔක්කොම ඔයා තියා ගන්න . . . "

කාලයක් ආදරෙන් එකතු කල, රටවල් ගනනාවක එක එක වර්ගයේ දුර්ලභ මුද්දර එකතුවකින් යුතු මගේ මුද්දර පොත් හතරම මා ඇගේ අතේ තැබුවා . . . .

ඈ සතුට දරා ගත නොහැකිව නොහැඩුවා පමනයි . . .

. . . . . . . .

මගේ කුරුළු පිහාටු එකතුවත් . . . රට රට වල කාසි එකතුවත් හිමි වුනේ අපේ පටුමගේ පටන් ගන්නා තැනම වම් පැත්තේ ගෙදර මිතුරාගේ කුඩා මලනුවන්ට . . . .

. . . . ..

ඉතිං තවදුරටත් ඉතිරි වී ඇත්තේ මගේ ප්‍රියතම විනෝදාංශය ආදරනීය ඉගෙනීම පමනි . . . නමුත් මුද්දර පොත්, මාළු ටැංකි, කාසි, පිහාටු මෙන් එය අතහැරීම ලේසි කාරියක් නොවේ . . . සියලුම දෙනාට නොදැනෙන්නට එය කල යුතු වේ . . .

ඒ සඳහා මාස කීපයක් ගතවුනි . . .

මුලින්ම වෙනස දැනුනේ මගේ ගණිත ගුරුවරියටයි . . . විවේකය සඳහා සීනුව නාදවී සියල්ලෝම එලියට දුවන්න සරසෙන මොහොතේ ඈ . .

"නිනේෂ් . . පොඩ්ඩක් නවතින්න . . . මට ඔයාත් එක්ක කතා කරන්න තියෙනවා ටිකක් . . . . "

මා ගල් ගැසී ගියේ මා පමනක් දන්නා රහසක් ඈ කෙසේ දැන ගත්තාදෝ කියා දෙගිඩියාවෙන් . . . සියළුම දෙනා පිටව ගිය පංති කාමරය ඇතුලේ සිටියේ ගුරුතුමියත් මාත් පමනයි . . .

"පුතා . . . මම මෙහෙම අහුවට අමනාප වෙන්න එපා . . . . . "

බෙල්ල නමාගෙන සපත්තුව දෙස නෙත් යොමාගෙන සිටි මා දෙස ඈ සුලු මොහොතක් බලා සිටින්න ඇති . .

"ඔයාට මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් තියෙනවාද . . ."

"නෑ මිස් . . . "

"ඔයා ලඟකදී ඉඳලා ගණන් වලට හරිම දුර්වලයිනේ . . . ඉස්සර ගානක් දුන්නු ගමන් ගාන බෝඩ් එකේ ලියල ඉවර වෙන්න කලින් හදන කෙනා දැන් මොකද පීරියඩ් එක ඉවර වෙනකනුත් ගණන් හදල පොත පෙන්නන්නේ නැත්තේ . . . "

“මම දවසක් ටීචර්ස් රූම් එකෙදි විජේසූරිය මිස් එක්කයි . . . මුනසිංහ සර් එක්කයි කතා කරපු වෙලාවක එයාලත් කිව්වේ ඒකමයි . . . English Day එකෙදි කප් ගහපු ලමයා . . . සයන්ස් ටීචගේ ප්‍රියතම ගෝලයා . . . ඔයට මොකද්ද මේ වුනේ . . . අපි හැමෝටම පුදුමයි මෙච්චර දක්ෂ ඔයා ඇයි මේ එක පාරටම දුර්වල වුනේ කියන එක . . . ඒකයි මම කිව්වේ මම හෙමීට අහල බලන්නම් කියලා . . . "

" මම . . . . මම . . . ටියුෂන් ක්ලාස් යන එක නැවත්තුවනේ මිස් . . . ඒක නිසා වෙන්න ඇති . . . "

"ඒ වුනාට ටියුෂන් ක්ලාස් යන්න කලින් ඔයා ඊටත් හොඳට වැඩ කලානේ . . . මොකක් හරි ප්‍රශ්නයක් තියෙන වනම් කියන්න ලැජ්ජ වෙන්න එපා . . . ඔයාලව ඉතිං අපිට අපේම දරුවො කියලා තමයි දැනෙන්නේ . . . "

"නෑ . . එහෙම මොකුත් නෑ මිස් . . . " තටම තටම මා කියූ බොරුව ඈ විශ්වාස නොකල බව ඇගේ දෙනෙතේ බැල්මෙන් මා තේරුම් ගත්තා . . .

"විභාගෙට තව මාස තුනයි තියෙන්නේ . . . මහන්සි වෙලා වැඩ කරන්න . . ." අපි හැමෝම ඔයා ඩී අටක් නැත්ත හතක් වත් ගනී කියලා තමයි ඉස්සර ඉඳලම හිතාගෙන හිටියේ . . . සංගීත ගුරුතුමාගේ ඉගැන්වීමේ තරම දන්නා නිසා ඈ සිතා සිටින්නේ සංගීතයට හැර අනෙක් සියලුම විශයන්ට මා ඩී ලබා ගනීවී කියා . . .

විභාගයේ ප්‍රතිපල පිටවෙන දවසේ අනිත් ළමයින් උදේ ඉඳන් පාසලට ගියා වුනත් මා දහවල පසූවී පාසැලට ගියේ ගුරුවරුන් පිටවී ගොස් ප්‍රතිඵල ලේඛනය දැන්වීම් පුවරුවේ අලවා ගොස් ඇතැයි අනුමාන කරමින් . . . නමුත් අවාසනාවට ඉංග්‍රීසි ගුරුවරිය ඒ වන විටත් පැමිනෙන සිසුන්ට ප්‍රතිඵල දැනුම් දෙමින් සිටියා . . . මා දුටු විගස ම . .

"නිනේෂ් . . . මොනවද මේ කරගත්තේ . . . " කියා ඇසූ සැනින් මට ඇතිවූ හැඟීම නම් මා බලාපොරොත්තු වූ ලෙසම සියළුම විෂයන්ගෙන් මා අසමත්ව ඇති . .. දැන් ඉතිං කෙසේද මා ගුරුවරුන්ට මූන දෙන්නේ යනුයි . . .

මා සිතූ තරම් අයහපත් ප්‍රතිඵල ලබා නොතිබීම කුඩා කල පටන්ම මා අසාවෙන් කල ඉගෙනීම වෙනුවෙන් මා ලද ත්‍යාගයක් මිස වෙන කිසිවක් නොවේ . . . සංගීතය හැර සියළුම විශයන් සමත්වී උසස් පෙළ සඳහා වරම් ලැබීමට තරම් සම්මාන ද ලබා තිබුනා . . . ගුරුවරුන්ගේ නෝක්කාඩු . . . ඇනුම් බැනුම් කෙසේ වෙතත් මාස ගනනාවකට පසු මගේ මුවේ සතුටු සිනා රැළි ඉතිරී යනු මට දැනුනා . . . . පවුලේ අයගෙන් බැනුම් ලබා නොගෙනීමට මා විභාගය නිමාවූ දිනවල පටන් පරිසරය සකස් කොට තිබුනායින් (ක්ලසස් යන්න බැරි වුනු නිසා විභාගේ හොඳින් කරන්න බැරි වුනා ආදී බොරු වලින් . . . ) ගෙදරින් වැඩි බලපෑමක් නොමැතිව සැනසීමක් ලබන්න හැකිවූවා

"මට බෑ ආයේ ඉස්කෝලේ යන්න . . . "

මා සිදු කල වරදට මගේ ජීවිතයෙන්ම පලි ගැනීමේ අවසාන භාගයගේ මුව විටේ මා සිටියේ . . . ඒ සඳහා සුදුසුම අවස්ථාව මේ . . . මම අම්මාට මගේ ඉගෙනීම නතර කරීමේ තීරනය දැනුම් දුන්නා . . .

"ආ කමක් නෑ . . . හිටපන් මම තාත්තාට කියන්න ගොනෙක් නැති කරත්තයක් අරගන්න කියලා . . . " අම්මා පැවසුවේ සැහැල්ලුවෙන් . . .

"මම ඉස්කෝලේ නොයෑමයි ගොනා නැති කරත්තෙයි සම්බන්ධෙ මොකද්ද . . . " මට හිතා ගන්න වත් බැරි වුනා . .

"ඇයි ඉතිං උඹට ඉකෝලේ යන්න බෑ කිව්වනේ . . . නිකම් කන්න බොන්න දිදී තියා ගන්නේ මොකටද . . . කරත්තෙක බැඳලා හංදියට වත් යවන්න කියලා අර හාඩ්වෙයර් එකේ ගඩොල් අදින්න කියලා . . . . "

"අම්මට කිව්වට තේරෙන්නේ නැත්ද . . . මට ඉගෙන ගන්න බෑ . . . මම හරිම දුර්වලයි ඉගෙන ගන්න . . . "

"දුර්වල නිසාද එක දවසක් වත් පාඩම් කරන්නේ නැතුව සම්මානත් අරගෙන විභාගේ පාස් වුනේ . . . පිස්සු කතා කියන්නේ නැතුව AL ක්ලස් එකක් බලපන් . . . "

"සල්ලි . . . ????"

"සල්ලි . . . තාත්තයි මායි බලා ගන්නම් . . . උඹ ඒ ගැන හිතන්නේ නැතුව හිටපන් . . .“

ඒ සටනෙන් මට ගැලවී සිටින්නට . . . දිනන්නට . . . බැරි බව දැනුනු විට මා සිතුවේ . . . "හරි . . මම හොඳ වැඩක් කරන්නම්කෝ . . . අන්තිමට විභාගේ ෆේල් උනාම හරිනේ . . . එතකොට මෙයාලට තේරෙයිනේ . . . “

උසස් පෙල උපකාරක පංති සඳහා පියාගේ හිතවත්කම උඩ නුගේගොඩ උසස් අධ්‍යාපන ආයතනයකින් විශයන් හතරටම Free Card එකක් ලැබීම මා සැලකුවේ ඒ ගුරුවරයා මට කල අසාධාරනයක් ලෙසට . . . . "මේ මගුල නොලැබුනානම් ක්ලස් Fees වියදම් වුනා හරි මොනා හරි බොරුවක් කියලා ක්ලාස් නොගිහින් ඉන්න තිබුනා . . . දැන් ඉතින් පලයන්කෝ ක්ලාස් . . . . "

පාසැලේ උසස්පෙල පංතියේ මගේ කුඩා කල සිටම මිතුරෙකුවූ . . . අසිත මුලින් මුලින් කෙසේ හෝ මා ව බලෙන්ම වාගේ උපකාරක පංතියට ඇදගෙන ගියා . . .

"අනේ මචං මට වැඩිය යාළුවෝ නෑ උඹ දන්නවානේ . . . ටොයිලට් යන්න ගියත් ටැප් එක ලඟට ගියත් යන්නෙ හෙන අප්සට් එකේ බං තනියෙම ක්ලාස් ගිය දාට . . . ඒක නිසා හොඳ එකා වගේ ක්ලාස් වරෙන් බං . . . "

මට පංති යන්න කිසිම අවශ්‍යතාවයක් නැති වුනා වුනත් අසිතගේ උවමනාවටම පංති යන්න සිදුවුනා . . .

දෙවෙනි හෝ තුන්වෙනි සතියේ දිනක් පංති යෑමේදී ගේට්ටුව අසල දී මා දුටුවේ මා හීනෙන් පවා ප්‍රාර්ථනා කල රුවක් . . . ටක් ශොප් එක අසල කොට්ටම්බා ගස යට බංකුවේ වාඩිවී සිටියේ ඉමාෂා ඇතුළු ඇගේ පාසැලේ යෙහෙළියන් රෑන . . .

ඈ දුටු වනම මා ගල්සුනාක් මෙන් පා ඔසවා ගත නොහැකිව ළතවෙද්දී ඈත් මා මෙන්ම විමතියෙන් ගල් ගැසුනු බව මා පමනක් නොව ඇගේ යෙහෙළියන්ටත් දැනුනු බව ඔවුන් මාරුවෙන් මාරුවට මා දෙසත් ඈ දෙසත් බැලූ බැල්මෙන් ම මා අඳුනා ගත්තා . . .

"මොකෝ මචං . . . මොකද්ද අප්සට් එක . . . " මේ කිසිවක් නොදන්නා අසිත ඇසුවේ පිටට තට්ටුවක්ද දමමින් . . .

"නෑ මචං . . . කිසි අප්සට් එකක් නෑ . . . යමු පංතියට . . . " මා දෙතුන් වතාවක් හැරි හැරී බලන බව අසිත දුටුවත් මා කා දෙස බලනවාදැයි තේරුම් ගැනීම ඔහුට අපහසු වූ බව ඔහුගේ සැක සහිත බැල්මෙන් මට තේරුනා . . .

පංති නිමාවී බස් නැවතුමට එන අතර කතාව මුල සිට අගට අසිතට පැවසූ මා බලාපොරොත්තු සහගත සතුටු සිනාවක් නැගුවේ . .

"කමක් නෑ . . . දැන් ඉමාෂාත් මාත් ඉන්නේ එකම පංතියේ . . . උත්සාහයක් දැරුවොත් නැතිවූ ප්‍රේමය යලි ගොඩනංවාගෙන මගෙන් සිදුවූ වැරැද්දට සමාව ඉල්ලාගෙන . . . තිබුනාටත් වඩා වැඩි ප්‍රේමයක් ඇතිකරගත හැකි නොවේදෝ . . . " කියා සිතුනු හැඟීමෙන් . . .

පංතියේ මට අවසාන පේලි වල අසුන් ගැනීමට අවැසි වුවත් අසිතගේ උවමනාවට ඉඩදිය යුතු නිසාවෙන් අපි ඉඳ ගත්තේ මැද පේලිවල . . . ඉඳ ගත් සැනින් මගේ කාරිය වුනේ ඉමාෂා කොහේදැයි සොයා බැලීමයි . . . මුලු පංතිය සිසාරා සොයා බලන විට මගේ දෙනෙතට අසුවන්නේ ගැහැනු ළමයින්ගේ පේලිවල මුල් හරියේ වාඩිවී පැන්සල් පෙට්ටියේ සවිකරගත් කන්නාඩියකින් මා කොහේදැයි සොයා බලන ඉමාෂාවයි . . . අහම්බයෙන් අපගේ දෙනෙත් එකට මුන ගැසෙනවිටම ඈ කරන්නේ පැන්සල් පෙට්ටිය වසා දැමීමයි . . . නමුත් එවැනි ඉඟි වලින් මා තේරුම් ගත්තේ උත්සාහ කලොත් ඇගේ සිත වෙනස් කිරීමට හැකියාවක් ඇති බවයි . . .

මුල් මාස කීපය සතුටින් පංති ගියේ ඒ ඇතිවූ උද්දාමයෙන් . . . හැමදේටම කලින් ඇගේ යෙහෙළියන් සමඟ යලි මිතුරු කම් අලුත් කරගත යුතු බව පසක් වූ මා හිනාවෙන් පටන් ගෙන කතාවක් කරගත හැකි තරම් මිතුරු කම් ගොඩනගා ගත්තා . . .

"උඹට මොකෝ බං උනේ . . . "

"උඹ ඇයි එච්චර නරක විදිහට ඉමාෂාව අතහැරියේ . . . "

"ඒකි මාර දුකෙන් ඒ කාලේ ගෙව්වේ . . . "

"තාමත් ඒකි අර උඹ යාළු වෙන්න ඉස්සෙල්ලා හිටියා වගේ ජොලියේ ඉන්නවා අපි නම් තාමත් දැක්කේ නෑ . . . "

ඇගේ මිතුරින්ගේ දාහක් ප්‍රශ්න වලට ඒ වෙලාවට ගැලපෙන පිළිතුරු දීගන්න හැකිවුනත් ඈත් මාත් අතර මිතුරු කමක් ඇති කරන්න හැකි බවක සේයාවක් වත් මා දුටුවේ නැති තරම් . . . මොන කතාවක් ඇති වුවත් තහනම් වචනය ලෙස අපගේ මිතුරු කම යන මාතෘකාව ඔවුන් සැලකුවා මෙනි . .

ඔවුන් අතේ යැවූ ලිපි සියල්ලම විවෘත නොකරම හරවා එවන්න තරම් ඇගේ හදවත ඈ ගල් කරගෙන සිටියා . . . පංති නිමාවී බස් නැවතුමට යන අතර මඟ දී වචනයක් හුවමාරුකර ගැනීමට ගත් සියළුම උත්සාහයන් ඈ පයේ පෑගෙන දූවිල්ලක් තරම් වත් ගනන් නොගෙන පිටු දැක්කා . . .

මා සතුටින් පංති ගිය කාලය නිමා වූවා . . . ඈ මා පිළිකෙව් කරන බැව් නිත්‍යලෙසම දැනගත් පසු තවදුරටත් පංතිය මට සතුටින් යා හැකි තැනක් නොවූවා . . .

අසිතට මා දැමූ කොන්දේසිය නම් පංතියට යන විට ගේට්ටුව අසල ඈ සිටියෝතින් මා ආපසු හැරී යන බවයි . . . සතියක් දෙකක් මා සමඟ එසේ පංති මඟහැර පැමින චිත්‍රපටි . . නාට්‍ය . . . බලන්න පැමිනි අසිත තෙවෙනි සතියේදී පැවසුවේ . . .

"අනේ මචං . . . උඹට ක්ලාස් නොගිහින් අනාගතේ අවුල් කරගන්න පුළුවන් වුනාට මට නම් එහෙම කරන්න පුළුවන් කමක් නෑ . . . උඹ ක්ලාස් නාවට අනිත් දවසේ මම නම් ක්ලාස් යනවා . . . "

මට දිය හැකි පිළිතුර වූයේ . . .

"කමක් නෑ මචං . . . මගේ පව් මම ම තනියෙම ගෙවන්නම් . . . උඹ ක්ලාස් පලයන් . . ." කියා පමනි . . .

කාලය ගතවන ඉක්මන . . . වසර දෙකහමාරක කාලය අවසන, ආරම්භය ගැන සිතීමේදී එය අද ඊයේ මෙන් දැනුනා . . .

. . . .

එපා හිරු පායන්න . . .අදින් පසු මගේ ලොවට . . .
අදයි අවසන් දවස . . .
ඇගෙන් මා . . .
මගෙන් ඈ සමුගන්න . . .

සැඳෑ තරු නොදිලෙන්න . . .
සරා සඳ නොනඟින්න . . .
වෙලී යුඟදුර සතර . . .
අනු දිසා ගිලගන්න . . .
ගලා යන නදී දොල මිදී . . .
මිදී නැවතී ඉන්න . . .

ලිය මඬුලු තුරු සිරස . . .
එපා මල් පලදින්න . . .
වසන්තය නිමාවිය . . .
කොවුලනේ ගොළු වන්න . . .
සොබා දම් නෑසියනි සැලී . . .
සැලී කම්පා වන්න . . .

පංතියේ අවසන් දින නිවසින් පිටවීමේදී සුපුරුදු පරිදි අල්ලපු ගෙදර රේඩියෝව මගේ හදවතේ ඇනී තිබුනු පිහියේ මිටට තදබල පහරක් එල්ලකලා . . .

පංතිය අවසාන වනතුරු කාලය කෙසේ ගතවුනාදැයි සිහියේ රැඳුනේ නැති තරම් . . . පංතියේ අවසන් දිනයේදී පමනක් දිගහරින ගුරුතුමාගේ ජීවිත කතාවේ කිසිදු කොටසක් මගේ මතකයේ රැඳුනේ නැති බව පමනක් දනී . . . නිමාවූ අවසන් පංතියෙන් එලියටබට යෞවන යෞවනියන් කිසිවෙකුට නිවෙස් බලා යාමට උවමනාවක් නැති හැඩයි . . . තැන තැන එකතු වී කන්ඩායම් පිටින් හඬා වැටෙන කුමර කුමරියන් . . . කඳුළු පිරි දෑසින් සමරු පොත් එහාට මෙහාට හුවමාරුකරගන්නා කුමර කුමරියන් . . . අතුරින් මා දෙතුන් විඩක් එහාට මෙහාට පිස්සුවෙන් වගේ ගමන් කලේ එක් වරක් හෝ ඉමාෂාව අඩු තරමින් දැක ගන්න වත් තිබුනෝතින් යන ප්‍රාර්ථනාව හිසේ දරාගෙන . . .

අහම්බෙන් අතරමගකදී මා මෙන්ම පිස්සුවෙන් මෙන් කාවදෝ සොයමින් ළමයින් අතුරින් හිර වෙවී ගමන් ගත් ඉමාෂාව දුටු මා ඇගේ අතකින් අල්ලා ගත්තේ තවෙකෙකුගේ හිසටත් උඩින් අත දමා . . .

"නිනේෂ් . . . . මම මේ මෙච්චරවෙලා හෙව්වේ ඔයාව . . . "

මා දුටු ගමන් ඇගේ දෑසින් කඳුළු කැට කඩා හැළුනේ සොරොව්වක් ඇරියාක් මෙන් . . . ඒ දුටු මගේ දෙනෙතුත් මෙතුවක් කල් රහසේ හෙලූ කඳුළු වලට නිදහසේ ගලා යන්න ඉඩ සලසා දුන්නේ මෙතෙක් කල් හදවතේ ගල්වී තිබූ කඳුළු නිධි සියල්ලම එලියට ඇද දැම්මාක් මෙන් . . . .

නිනේෂ් දිනුත ගුණරත්න ත් ඉමාෂා විහාරි සමරතුංගත් එකිනෙකාගේ දෑත් අල්ලාගෙන දෙනෙතින් දෙනෙත බලාගෙන කඳුළු සැලීම කිසිවෙකුට අරුමයක් නොවුනේ පංතියේ අවසන් දවස කඳුළු වෙනුවෙන්ම වෙන්කල දවස්කැයි හැමදෙනාම සිතූ නිසාම වෙන්න ඇති . . .

"ඉමා . . . අනේ ඉමා මට එක පාරක් කියන්න . . . එකම එක පාරක් කියන්න . . . ඔයා මට සමාව දෙනවා කියලා . . . "

"නිනෙෂ් . . ඊට කලින් මට කියන්න . . . ඇයි ඔයා මට එහෙම කලේ කියලා . . මම මොකද්ද ඔයාට කරපු වැරැද්ද . . . ඔයා කොහොමද ඔයාගේ අහිංසක හිත ගල් කර ගත්තේ කියන්න මට රිද්දන්න තරම් . . . "

"මම දන්නේ නෑ ඉමා . . . විස්වාස කරන්න මටත් තාම හරියටම හිතා ගන්න බෑ ඇයි මම එහෙම කලේ කියලා . . . සමහර විට මට හිතෙන්න ඇති අපි දෙන්නා නොගැලපෙනවා කියලා . . . ඔයා මගේ දුප්පත් කමට හිනාවෙනවා කියලා වගේ මට හිතෙන්න ඇති . . . "

"ඒ කියන්නේ ඔයා මාව හරියට අඳුර ගත්තේ නෑ කියන එකනේ නිනෝ . . . මම කොහොමද ඔයාට සමාව දෙන්නේ . . . "

"ඕනෑම කෙනෙකුගේ අතින් වැරදි සිද්ද වෙන්න පුළුවන් ඉමා . . . වැරදි කාරයෙකුට වැරැද්ද හදාගෙන ජීවත් වෙන්න දෙවෙනි අවස්ථාවක් දෙන්න බැරි ඇයි ඉමා . . . කියන්න . . . . ඇයි බැරි ඉමා . . . . "

"එක පාරක් විස්වාසේ කඩපු කෙනෙක් දෙවෙනි වතාවටත් ඒ වැරැද්දම නොකරයි කියලා දෙන්න පුලුවන් සහතිකේ මොකද්ද නිනෝ . . . ආදරේ කියන්නේ වීදුරු මල්පෝච්චියක් වගේ . . . ඒක එක පාරක් බිඳුනොත් ආයේ කොයි විදිහෙන් ඇලෙව්වත් ඒ පරන ලස්සන ආපහු ගන්න බෑ . . . ඒ පළුදු නැති කරන්න බෑ . . . දේයියනේ ඇයි ඔයා ඒක තරුම් නොගත්තේ නිනෝ . . . . "

"ඒ කියන්නේ ඔයා මට කිසිම විදිහකින් සමාවක් දෙන්නේම නැද්ද . . ?"

"මම ආදරේ ඉගෙන ගත්තේ ඔයාගෙන් නිනෝ . . . ජීවිතේ ආයි කවදාවත් . . . කාටවත් . . . මම ඔයට ආදරේ කරපු තරම් ආදරේ කරන්න බැරි වෙයි . . . වෙන කෙනෙක්ව බැන්දා වුනත් . . . අපි ආයි ජීවිතේටම හම්බවෙන්නේ නෑ නිනෝ . . . හොඳින් ඉගෙන ගන්න . . . සන්තෝසෙන් ඉන්න . . . මම යනවා නිනෝ . . . . ගූඩ් බායි . . . . ! . . . "

එතැන් සිට වෙලේ බෝක්කුව උඩට වෙනකම් මා කෙසේ ආවාදැයි කොපමන උත්සාහ කලත් සිහියත නඟා ගත නොහැකි වූවා . . . එය හරියට ජීවිතයේ එක්තරා රික්ත කාල පරාසක් වගේ කියා මත සිතුනා . . .

. . . . . . . .

ගොයම් කැපූ වෙල් යායට සඳ රැස් අපූරුවට වැටී තිබුනා . . . පොත් ටිකත් සෙරෙප්පු දෙකත් අතට ගත් මා සඳ එලියේ නෑ වෙමින් කුඩා ඇලෙන් එගොඩ වී නියර මතට පා තැබුවේ . . . සැබෑවටම මින් මතු මගේ ලොවට හිරු පායන්නේ නැති බව සත්‍යක් බව පසක් කරමින් . . . .

. . . . . . . අවසානයි . . . !. . . . ..

Thursday, November 19, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (හත්වන කොටස)


බැසැ යන සැඳෑ හිරුත් සමඟ කූඩු කරා ඇදෙමින් සිටියදී ගිමන් නිවන්නට මෙන් සිතා කාක බෝ ගසේ වැසූ කාක්කන් රැලක් යලිත් වරක් මගේ සිහිනය බොඳ කර දමනු ලැබුවා . . . ඒ ඇසිල්ලෙන් මා වට පිට බැලුවේ දැන් රෑ බෝ වී ඇත්දැයි බලන්නට මෙන් . . . කනත්ත පැත්තේ වූ බටහිර අහස තැඹිලි පාටකිනුත් අළු පාටකිනුත් මිශ්‍රවුනු පසුබිමක් සහිතව තැන තැන ඉතිරි වුනු සරුංගල්ද කුරුළු රෑන්ද සිතුවම් කල සිතුවමක් මෙන් මට සිතුනා . . ..

තවත් රෑ වූ පසුම නිවසට ගියෝතින් කිසිවෙකුගේ අවහිරයකින් තොරව නිදහසේ තනිවී කෙසේ හෝ මේ වේදනාකාරී මතකයෙන් මිදීමට මඟක් සොයාගත හැකිවේවී යැයි සිතුනු බැවින් එකම ඉරියව්වෙන් හිඳගෙන සිටීමෙන් හිරිවැටී තිබුනු දෙකකුල් වලට වෙනසක් ලබාදීමට මෙන් සිතා නැඟිට ටික වේලාවක් සක්මනේ යෙදුනු මා යලිත් වරක් ගස යට හිඳ ගත්තේ තව හෝරා කීපයක් වත් මෙතනටම වී ගත කල යුතුයි කියා හැඟු නියාවෙන් . . .

මේ වේදනාවේ සුල මුල ගැන සිතීමෙදී . . . මා මේ තරම් අසරණ තත්වයකට පත් කලේ ඇයි කියා සිතීමේදී . . එයට වරද කරුවන් . . හවුල් කරුවන් කවුරුදැයි සිතීමේදී එක්වරම මගේ සිතට රිංගා ගත් හැඟීමන් මගේ හිස් මුදුනෙන් පටන් ගත් හිරි වැටීමක් නහර වැල් දිගේ මුලු සිරුර පුරාම දිව ගියා . . . .

"දහම් පාසැල . . "

හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං . . . බාල වියෙන් එලියට ඇද දමා යොවුන් වියට තල්ලු කර දැමූ සිදුවීම් වලට මුහුන දීමට මං සැලසූ දහම් පාසැල . . .

නැත එය කෙසේ වත් එසේ විය නොහැක . . . .

ඒ වරදකාරී හැඟීමට එරෙහි සිතුවිල්ලක් මගේ සිත තුලින්ම මතුවී කෑ ගසනු මට ඇසුනා . . .

ශුද්ධවූ යමක් මගේ අතින් කෙලෙසුනාක් මෙන් වූ හැඟීමකින් හද වෙව්ලවා ගියා . . . අමතකවීමකින් පන්සලේ බුදු මැදුරට සෙරෙප්පු දමාගෙන් පැමින එක්වරම දෙපයේ පාවහන් දුටුවාක් වැනි වරදකාරී හැඟීමක් මා පෙලා දැමුවා . .

එසේ නම් දහම් පාසැලේ මගේ ප්‍රියතම මිතුරියන් රැල . . සොයුරියන් රැල . .පර්ල්, ලළා, ලතිකා අක්කලා . . . . නැත . . මගේ වරද මා අතම මිස ඔවුන්ට කෙසේ දොස් පරන්නෙම්ද . . .??? කුඩා කල පටන් අනුන්ගේ වරදක් වුව මගේ ද වරදක් ලෙස දකින්නට හුරුවූ මගේ අහිංසක සිතෙන්ම නැවත ඔවුන් ඒ වරදෙන් මුදවා ලනු ලැබූවා . .

වරද කරු මා පමනි . . . ආදරය සැක කල මා පමනි . . . සත්‍ය, සත්‍ය ලෙස නොදුටු මා පමනි . . .

සිත යලිත් මතක මංපෙතේ පාවී ගියා . .

"ඔයාගේ ආසම පොත වදරිං හයිට්ස් කියලා ලියලා තිබුනා නේ ඔයාගේ ටීන් බුක් එකේ . . . මටත් හරි ආසයි ඒ පොත බලන්න . . . ඒත් මගේ ඉංග්‍රීසි දැනීම මදි පොත් කියවන්න තරම් . . . "

එදා දවසින් පසු ඈ නිතර නිතර මාමලාගේ ගෙදරට යාමට කරුනු සකසා ගත් පසු . . . දවසක් බසයේ කෙලවරේම අසුනේ වාඩිවී බසය ගමන් අරඹන තුරු කතාබහට ඇරඹුමක් මා ලැබුවේ එසේයි . . .

"ඒ පොත නම් ටිකක් අමාරුයි තමයි . . ඒත් හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ . . . "

"ඒ වුනාට මට හිතෙන්නෙම මට එහෙම දෙයක් කරන්න තරම් පුලුවන් කමක් නෑ කියලයි "

"ඇයි එහෙම හිතන්නේ . . . සුභවාදී විදිහට හිතන්න පුරුදු වෙන්න . . මුලින්ම පලමුවෙනි පරිච්ඡේදයේ තේරෙන නොතේරෙන ඔක්කොම පුලුවන් විදිහට කියෝගෙන යන්න . . . "

"ඊට පස්සේ . . . . "

"ඊට පස්සේ පරන කොපි පොතක අමාරු වචන ටික ලියාගන්න . . . ඊලඟට ඩික්ශනරි එකෙන් ඒ වචන වල තේරුම හොයලා ඊට ඉස්සරහින්ම ලියා ගන්න . . . දෙවෙනි පාරට ත් ඒ පරිච්ඡේදය කියවන්න . . කියවගෙන යද්දි අමාරු වචන වල තේරුම අර පොත එක්ක බල බල කියවන්න . . . ෂුවර් එකටම තුන්වෙනි පාරටත් ඒ පරිච්ඡේදයම කියෙව්වොත් සිංහලෙන් ලියපු තේරුම දිහා නොබලම කියවන්න පුලුවන් වෙයි . . . ඒකෙන් ඉංග්‍රීසි දැනුමත් වැඩි වෙනවා . . "

ඇය පැහැදිලි කර දෙන්නේ පරිනත ඉංගීසි ගුරුවරියක් මෙන් . .

"ඉතිං ඔච්චර ආස වෙන්න මොකද්ද ඒ පොතේ විශේෂත්වය . . ."

"ඒකේ තියෙන්නේ මරණයෙන් වත් කෙලවර නොවන සදාදර ප්‍රේමයක් ගැන කතාවක් . . . "

කථාව කෙටියෙන් එහෙත් කෙනෙකුට අසා හිඳින්න ආසා හිතෙන ලෙස ඈ පවසන්නේ හීත්ක්ලිෆ්ගේත් කැතරින්ගේත් ප්‍රේමයත් . . වේදනාවත් දැනුනු තරම් සතුටකින් . . සංවේගයකින් . . .

"එච්චර තදබල ආදරයක් තිබුනා නම් හීත්ක්ලිෆ් කොහොමද කැතරින්ගේ දුවගෙනුත් පලි ගන්න තරම් හිත දැඩි කර ගන්නේ . . . " මා ඇසුවේ කුතුහලයෙන්

"ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි කියනවානේ . . . "

"ඒත් මගේ හැඟීම නම් ආදරය කල හිතකින් කවදාවත් වෛර කරන්න බෑ කියන එකයි . . . "

"හැමෝම එක විදිහට ප්‍රේම කරන්නේ නෑ නේ . . . මටත් ඔය ප්‍රශ්නෙම ආවා පොත බලද්දී . . . ඒත් මට හිතුනේ හීත්ක්ලිෆ්ට ප්‍රේමයත් එක්කම එයාව වෙලාගෙන තිබුනු හීන මානයෙන් මිදෙන්න බැරි වුනු නිසා තමයි ඒ විදිහට කැතීගේ දුවගෙනුත් හැම දෙනාගෙන්මත් පලි ගන්න ඕන වුනේ කියලයි”

. . . .

"ඔයාගේ ආසම පොත ගැහැනු ළමයි නේ . . ?? මාත් හරිම ආසයි ආයෙ ආයෙත් කියවන්න කුසුම්ගේ පරිත්‍යාගශීලී ආදරේ ගැන . . . "

මට දනුනේ අප්‍රමාන සතුටක් . . මගේ ආසම පොත ඇගේ ත් ආසම පොතක් . . .

"ඔව් . . ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියන එක හොඳට වදින්න පෙන්නල තියෙනවා ඒ පොතේ . . . "

තවත් දවසක අපේ මාතෘකාවට හසු වන්නේ අනාගත බලාපොරොත්තු . . .

"මම නම් ආසම කවදා හරි ඉනැටුම් ගුරුවරයෙක් වෙන්න . . . "

"නැටුම් ගුරුවරයෙක් . . ???" ඇය අසන්නේ විස්මයක් දෙනෙතේ රඳවාගෙන . . .

"ඔව් මම හිතන්නේ අපේ රටේ නැටුම් ශිල්පය තරම් කලාත්මක නැටුම් ශිල්පයක් ලෝකේ කොහේවත් නැතුව ඇති . . . අපේ ගෙට එහා ගෙදර මාමා එක එක රටවල් වලට ගිහින් තියෙනවා බිස්නස් වැඩ වලට . . . එයා කියනවා සමහර රටවල අය ලංකාව කිව්වට දන්නෙත් නැහැළු . . . එත් උඩරට නැට්ටුවෙකුගේ ෆොටෝ එකක් පෙන්නුවොත් අහනවාලු අහ් . . ඒ උඹලගේ රටේද කියලා . . . ඉතිං එච්චර වටිනාකමක් තියෙන සංස්කෘතික අංගයක් උගන්වන්න තියෙනවනම් කොච්චර දෙයක්ද . . ???"

"ඒක නම් ඇත්ත . . . අපේ තාත්තත් දැකලා තියෙනවා අර්ල්ස් රීජෙන්සි හොටේල් එකේ නැටුම් සංදර්ශයනක් වෙලවක යුරෝපිය ජාතිකයෝ කන්ඩායමක් ඒ දිහා බලා හිටියේ වශීවෙලා වගේ කියලා තාත්තා ගෙදරදි දවසක් කියනවා මට ඇහුනා . . . "

මගේ ප්‍රාර්ථනාව අනුමත කරන කඩහඬින් මට ඇගේ වචන ඇසෙන්නේ . . . . !

. . .

"වෙලේ බෝක්කුව උඩ වාඩිවෙලා ඇස් දෙක පියා ගත්තාම මටත් පුලුවන් හුලඟක් වගේ පාවෙලා යන්න . . . නිල්පාටට හුරු කොලපාට ගොයම් යායම නැවෙන විදිහට ඒ ගොයම් ගස් වලින් එන අමුතු සුවඳ විඳගෙන හමා යන්න පුලුවන් . . . "

කුඩා කල සිටම ස්වභාව සෞන්දර්යේ රස විඳින්න හුරුවී සිටි මා පවසන්නේ මේ දැන් බෝක්කුව උඩ ට වී දෙනෙත් පියාගෙන සිටිනවාක් වැනි හැඟීමකින් . . .

"ඔව් එදා එතනට ගිය වෙලාවේ මටත් හිතුනා ඒ විදිහට පාවෙලා ගිහින් කැඩුනු සරුංගලයක් හුලඟේ යන දිහාව බලාගෙන අඬන දරුවෙකුට එයාගේ සරුංගලය ආපසු ගෙනත් දීලා . . ඒ මූනේ ඇතිවෙන හිනාව දකින්න වගේ දෙයක් මටත් කරන්න පුලුවන් කියලා . . . "

"නුගේගොඩ රේල් පාර දෙපැත්තේ තියෙන පැල්පත් වල වහලවල් දිහා බලගෙන රේල් පාර උඩින් පාවෙන කොට . . . තාත්තාට කුලී වැඩක් නොලැබුනු නිසා දවල්ට, රෑට කන්න දෙයක් නැතුව බඩගින්නේ ඒ පැල්පත් ඇතුලේ ඉඳන් අඬන පුංචි ළමයින්ගේ සද්දේ මට ඇහෙනවා වගේ . . "

මගේ වචන ඈට අකමැති මාතෘකාවක් හැඩයි . . . ඈ උරහිස් හකුලවන්නේ ඒ පැල්පත් ගැනත් ඔවුන් එවැනි පැල්පත් වල කෙසේ ජීවත් වනවාදැයි හැඟුනු නිසාත් නොව . . .නැතිනම් ඔවුන්ගේ කුස ගින්නේ වේදනාව දැනුනු හෙයිනුත් නොව ඒ පැල්පත් අසලින් හමා එන පිලී ගඳ නිසාවෙන් යැයි මා වරදවා වටහා ගත් තරම් . . .

මෙසේ අහසත් පොලොවත් අතර අපමන දේ ගැන අප කතා බහ කරන්න ඇති . . . නිතර පංතියේදී මුන ගැසුනා වුවත් පෙම් හසුන් හුවමාරු කර ගැනීමත් අනිවාර්යෙන් සිදුවූවා . . . පාසැල් දිනවලට පෙම් හසුන් හුවමාරුව සිදුවුනේ මගේ නිවස අසල නිවසේ සිටි ඉමාෂාගේම පාසැලේ ඉගෙනීම ලැබූ යෙහෙලියක් හරහා . . .

එසේ මා ලබන පෙම් හසුන් මා ඇඳේ මෙට්ටය යට හෝ මගේ පොත් මේසයේ කොලය යට හෝ සඟවා තැබුවා වුවත් මගේ අක්කාගේ විචක්ශණශීලී දෙනෙතින් ඒවා කෙසේ හෝ සොයාගෙන කියවා ඒවායේ තිබූ සමහර වැකි කියමින් මා අපහසුවට පත් කිරීම විඳ දරා ගැනීමත් කාලයකදී නිතැතින්ම හුරු වූවා . . .

පාසැලේ සමහර ලමයින් තීන්ත පෑන් භාවිතා කරමින් ලස්සනට අකුරු ලියනවා දුටු මටත් ඇති වූයේ තීන්ත පෑනක් ලබා ගැනීමේ නොතින් ආශාවක් . . . නමුත් එවැන් දෙයක් මිලදී ගැනීම සඳහා අම්මාගෙන් මුදල් ඉල්ලා කරදර කිරීමට සිත පැකිලෙමින් තිබුනු මොහොතක . . . දිනක් ඈ ගෙන් මා ලද කුඩා සටහනක් . . .

"හවසට පංති ඉවර වුනාම බස් හෝල්ට් එකේ ඉන්නවා . . . එතනට එන්න . . "

බස් නැවතුමේදේ ඈ දුඹුරු කොලයකින් එතූ යමක් මට දුන්නේ . . .

"පොඩි තෑග්ගක් . . දැන් බලනන් එපා . . ගෙදර ගිහින්ම බලන්න . . . "

ගෙදර යනකම් නොයිවසිල්ලකින් සිටි මා ඇසුරුම ගැලවූ සැනින් දුටු දේ මගේ සියලුම හැඟීම් එක් වරටම නතර කරනු ලැබුවා . ..

"දෙවියනේ . . . ඈ මගේ සිත කියවූවේ කෙසේද . . . ?? පාකර් තීන්ත පෑනක්. . . " සතුටකුත් සමඟ මගේ පුංචි සිත අරක් ගත්තේ හීනමානයක් වැනි කුමක්දෝ නොතෙරෙන හැඟීමක් . . .

විලාසිතා දැක්මකට මෙන් ළමයින් එක එක මෝස්තරයේ එක එක වර්නයේ කලිසම් . . ටී ෂර්ට්ස් පංතියට ඇඳගෙන එන විට මට තිබූ එකම ඩෙනිම් කලිසමත් පාට පිච්චුනු ටී ෂර්ට් දෙකත් පංතියට ඇඳගෙන නොයාමේ උපක්‍රමයක් ලෙස මා භාවිතා කලේ පාසැල් දිනවලදී පාසැල් නිලඇඳුම පිටින්ම පංතියට යෑමයි . . . නමුත් සති අන්තයේ පංති වලට මේ උපක්‍රමයෙන් පිහිටක් ලබා ගත නොහැකි වූ තැනේදී මා පංතිට ගියේ සිතේ ඇති අමුතු දුක්බර හැඟීමකින් . . .

"අනේ අනිත් ළමයින්ට මෙන් මටත් ලස්සන ඇඳුම් තිබුනානම් . . . " නමුත් කෙසේවත් ඉරිසියාවක් නොවූ ඒ හැඟීම ට පිහිටක් ලබා ගැනීමට අමාරුවෙන් නිවසේ වියදම් පිරිමසන අම්මාට තාත්තාට කරදර කිරීමට තරම් දළදඬු හිතක් මට නොතිබුනා තරම් . . .
මා එසේ පරන ඩෙනිමත් පාට පිච්චුනු ටී ෂර්ට් එකකිනුත් සැරසී පංති ගිය දින වලදී ඈ . . . අමුතු ලෙස මගේ දිහා බලා . .

"ම් ම් ම් ඔයා අද හරිම ලස්සනයි . . . . හරියට පුංචි කුමාරයෙක් වගේ . . . " කියා කී මගේ සිත අස්වසාලීමේ පද පේලි මා ගනන් ගත්තේ ඈ මට කල සමච්චලයක් ලෙසට . . .

ඇගේ සුවිශාල ප්‍රේමනීය හදේ . . . තවත් කෙනෙකු අගය කිරීමට සැදී පැහැදී සිටි හදේ . . . කෙනෙකුගේ සිතට සතුටක් දීමට කැසකැවූ හදේ . . . දොරගුල් හැර දමා ඇතුලට එබී නොබලා මතුපිටින් බලා එහි ඇතුලත ඇතේ මේවායැයි වැරදි නිගමන කල මගේ පටු නිගමනශීලී හිතට මා දොස් පවර ගන්නවා හැර වෙන කුමක් කරන්නද . . . ??

සියල්ල වැටහෙන විටා පමා වූවා වැඩිය . . . සියල්ල ඇස් ඉදිරියේදීම කඩා වැටී ඇත . . . පසුතැවෙනු හැර . . වේදනා විඳිනු හැර වෙන කල හැකි යමක් ඉතිරි වී ඇත්ද . . ??

කාලය ගත වුනේ කෙතරම් සුන්දර ලෙස වුවත් හදවතේ එක් කොටසක් ඒ සුන්දර සතුටේ සුව විඳින අතරම තවත් කොටසක් ඒ සුන්දර සතුට කෙරෙහි ඇති එක්තරා බයක් වැනි හැඟීමකින් ඒ සතුටෙන් ඈත් කර තැබීමට උත්සාහ දරමින් සිටියා කියා කීවොත් නිවරදියි . . .

පවුලේ අගහිඟකම් වලට පිලියමක් ලෙස අප ඉහලින්ම බලා පොරොත්තු තැබූ, පියා විසින් බොහෝ වෙහෙස මහන්සියෙන් ලබා ගැනීමට උත්සාහ කල ව්‍යාපාරික කටයුත්තක් ඉටු වීම . . . කෙටියෙන් කීවොත් ඉතා දුර බැහැර ව්‍යාපෘතියක වැඩ කටයුතු පියාට ලැබීම පොදුවේ පවුලේ සියලු දෙනා සතුටු වූ කරුනක් වුවත් . . . ව්‍යාපාරයේ සාර්ථකත්වයේ දෙවෙනි පියවර ලෙස අපගේ පදිංචිය වෙනස් කිරීමටත් පාසැල් වලින් අපව අස් කරගෙන ඒ නව පදිංචිය අසල පාසැලකට මාරු කිරීමටත් පියා ගත් තීරනය සතුටත් දුකත් එකසේ සමව විඳි තීරනයක් ලෙස දැනුනා . . . . .

. . . .

"එහේ ගියාම මට ආයෙත් මේ ක්ලාස් එන්න වෙන්නෙ නැති වෙයි . . "

"අනේ . . . කවදාවත් එන්නේ නැතුව ඉන්නද හිතන්නේ . . . " ඉමාෂා අසන්නේ දෑසේ කඳුලු පුරෝගෙන . . .

"කියන්න බෑ . . . ගෙදරින් එන්න එපා කීවොත් . . . "

නිතරම දෙගිඩියාවකින් පෙලුනු . . ආදරේ ගැන සැකයක් සිතේ සඟවාගෙන කල් ගෙවූ මට සමහර විට ඒ තීරනය අස්වැසිල්ලක් ගෙන දෙන තීරයක් ලෙස දැනෙන්නට ඇති . . . මා කල් ගෙවූයේ ඇගේ ශෝකය නොදුටු එකෙක් ලෙස . . .

සිනා කෙළිලොල් තෙපුල් රහසේ
දෙඩූ තැන් අද ගොලු වෙලා . . .
සොඳුරු පාසැල් පියස
කඳුලින් බොඳ වෙලා . . .
කැදැල්ලෙන් ඔබ
වෙන් වෙලා . . . .
. . .
නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවන දුන් ගහ කොල පුරා . . .
බිමට බරවුනු කැකුලු
අතු ඉති මැලවිලා . . .
දුකින් හදවත
ගොලු වෙලා . . .
. . .

දෙනෝ දාහක් නුවන් අතරේ . . ගීතයේ දෙවන තුනවන පද පේලිවල මෙන් වූ වේදනාවකින් ඇගේ හදවත ඉරිතලා යන්න ඇති . . .

නමුත් මා තරම් නරුමයෙක් . . . ඇගේ අගය කිරීම මා සමච්චලයට ලක් කිරීමකැයි සිතූ . . . ඇගේ තිලින මට අනුකම්පාවකින් දෙන ලද දේ යැයි සිතූ මා ඈ ඒ ලබන වේදනාවෙන් කුරිරු සතුටක් වැනි දෙයක් ලැබූ හැටි සිහි වන විට මා මේ ලබන වේදනාව මදි යැයි මගේ සිතෙන්ම පහර කෑමකට ලක් වනු හැර වෙන පිලියමක් ලද හැකිද . . .

සිදුවීම් සිදු වන්නේ අප බලාපොරොත්තු වන ලෙසටම නම් ලෝකය කෙතරම් සොඳුරු තැනක් වේද . . . !!

දුර බැහර අලුත් ව්‍යාපෘතියේදී දී පියා තදබල ලෙස අසනීප වී අලුත පටන් ගත් ව්‍යාපෘතියේ කටයුතු නතර වී සියලු බලාපොරොත්තු සුන් වුනේ අප කිසිසේත් බලාපොරොත්තු නොවූ ලෙසට අප තවදුරටත් සිටි තැනින් පහතට ඇද දමමින් . . .

අපගේ අතිරේක පංති සඳහා වැය කිරීමට තවදුරටත් පවුලේ ආදායම නොසෑහීමේ ප්‍රතිඵලය වූයේ අමතර පංති නොගොස් පාසැලේ ඉගෙනීමෙන් පමනක් සෑහීමකට පත්වීමට හුරු වෙන්න සිදුවීමයි . . . .

උපකාරක පංතියේ ආදරණීය සියලු දෙයින්ම වෙන් වී යන්න මට මගේ සිත එකඟ කරවා ගැනීම අපහසු කාරියක් වුවත් . . . සිත ගල් කරගෙන එය පිලිගැනීමට මගේ සිතට සවිය දෙනු ලැබිවේ ඈ විසින් මට දක්වනු ලබන්නේ අනුකම්පාවක් පමනි යන මගේම සිතුවිල්ලත් . . . මගේ නැතිබැරිකම් ඈ සමච්චලයට ලක් කරනවා යැයි මා ඇති කරගෙන තිබුනු වැරදි වැටහීමත් කීවොත් එයයි නිවරදි . . .

"අනේ නිනේෂ් . . . පංති නාවට කමක් නෑ . . . සචිනි අතේ මට හැමදාම නැතත් සතියකට දෙකක් වත් ලියුම් එවන්න . . . "

"පන්ති තියෙන දවස් වලට ඇරෙන වෙලාවට පුස්ථකාලෙට එන්න . . . එතකොට අපිට සතියකට දවසක් දෙකක් වත් මුනගැහෙන්න පුලුවන් නේ . . . "

"පන්ති නාවට කමක් නෑ . . ඉස්කෝලේ කියල දෙන දේවල් හොඳට පාඩම් කරලා කොහොම හරි විභාගේ පාස් වෙන්න කියලා මහන්සි වෙලා වැඩ කරන්න . . . "

"ඔයා පවුලේ එකම පිරිමි දරුවා නිසා ඔයාගේ ඉගෙනීම පවුලේ දියුනුවට ගොඩාක් බලපානවා . . . පංති එන්න බැරි වුනා කියලා හිතන්නේ නැතුව, අම්මගේ හිතට දුකක් නොදෙන්න හිතාගෙන විභාගේ කොහොම හරි හොඳින් පාස් වෙන්න . . "

"මම ක්ලාස් එකේ ටියුට්ස් . . පාස් පේපර්ස් ෆොටො කොපි කරල තිලංෂ තේ හරි සචිනි අතේ හරි ඔයාට එවන්නම් . . "

මාසේ අවසානයෙන් පසු මා පංති නො එනා වග ඈට දැනුම් දුන් විට වේදනාවෙන් හැඩූ ඈ සුලු මොහොතකින් යලි සිත සංසුන් කරගෙන ජීවිතයට හොඳින් මුහුන දීමට . . . විභාගය කෙරෙහි උකටලී නොවන්න ට . . අපේ ඇසුර නොබිඳී පවත්වාගෙන යන්නට . . . දුන් උපදෙසුත් . . ගුරුහරුකමුත් මා අසා සිටියේ ඇස් කන් නැති ගොලුවෙක් . . කනෙක් . . බීරෙක් ලෙසට . ..

. . . ..

මතු සම්බන්ධයි . . .

Wednesday, November 11, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (හයවන කොටස)


මෙතෙක් කතාව

සමරු පොත අතට ගත් ඈ එහි පිටු පෙරලන්නට වූයේ නොයිවසිල්ලකින් . . . චොක්ලට් පෙත්තක් ලද දරුවෙකු එහි කොලය ගලවනවාක් මෙන් වූ නොයිවසිල්ලකින් ඈ එසේ පිටු පෙරලනවා මා බලා සිටියේ හොර බැල්මක්ද දෙනෙතේ රඳවාගෙන, ඇගේ ප්‍රථිචාරය කෙසේ වේදැයි බලා ගන්නට හිතේ උපන් ආශාව අමාරුවෙන් හිර කරගෙන . .

පිටු පෙරලූ ඇගේ දෙනෙත් මා තැබූ සමරුව අසල නතර වනවාත්, ඈ උනන්දුවෙන් එය දෙතුන් වරක් කියවනවාත් දුටු මා ඉන් පසු ඇගේ මුවේ නැඟුනු සිනහ රැල්ලේ තේරුම මෙසේ වේ යැයි උපන් උපකල්පනයෙන් එක් වරම දෙවිදියක හැඟීම් වලින් වෙලී ගියා කීවොත් නිවරදියි . . .

"ඔව් . . ඔබ පැවසූ ලෙස ම අහිංසක හදකට සදා නොනිමෙන පහනක් වන්නෙමියි . . " ඈ සිතන්නට ඇතැයි සිතුනු සිතුවිල්ල මා නුහුරු සුන්දර හැඟීමකින් මුසපත් කර කිති කැවී ගියා වුවත් "ඒ අහිංසක හද ඔබේ හදවත වීමට . . . ඔබේ හදවතට සදා නොනිමෙන පහනක් වන්න මට ඉඩක් නැත්දැයි . . ? ? " ඈ සිතන්නට වත් ඇත්දැයි සිතුනු සිතුවිල්ල මා එක්තරා භීතියකින් විපක්ශිත කර වෙව්ලා ගියා මෙනැයි මට සිතුනා . . .

දෙවෙනියට උපන් සිතුවිල්ල දිගේ කල්පනා කරමින් සිටින විට, පංති අරගල . . . පංති පරතර ගැන දැනුම් තේරුම් ගත හැකි වයසක නොවූ කුඩා එකෙක් වූ මට ඕලුත් මාත් අතර ඇතිවන්නට ගිය . . . නො එසේනම් ඇතිවී අතරමඟ නතර කරනට සිදුවූ අපගේ පුංචි ප්‍රේමයට තහංචි වැටුනේ මා එසේ ගැඹුරින් නොදැන සිටි නමුත් “පෝසත් අයත් දුප්පත් අයත් මේ ලෝකේ ඇත . . . දුප්පත් අයට පෝසත් අය හා පෙම් සබඳ කම් ඇති කර ගත නොහැකිය . .” කියා මා මගේ ශක්ති ප්‍රමානයෙන් තේරුම් ගත් පංති පරතරය නම් වූ මහා ඛේදාවාචකය නිසා නොවේදැයි හැඟුනු සිතුවිල්ල, ඇගේ පැතුම මේ යැයි මා සිතූ සිතුවිල්ලට තව තවත් දුර සිතා බලන්නට අනුබල දෙනු ලැබුවා

අඳින පලඳින ආකාරයෙන්, සපත්තු-සෙරෙප්පු, පාසැල් බෑග් ආදියෙන් පවා ඉස්මතුවන ඇගේ පෙනුමට අනුව ඈ කුලීන පවුලක යුවතියකගේ නැතහොත් ඉහල මධ්‍යම පාන්තික පවුලක යුවතියකැයි අනුමාන කරන්නට ඕනෑ තරම් සාධක වූවා . . .

මා, කුලී නිවාසයක ජීවත් වන, අමාරුවෙන් දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමට තරම් වන ආදායමක් උපයන ව්‍යාපාරයක හිමිකරුවෙක් වූ පියෙකුගේ ත් ආදායමක් ඉපයිය හැකි ශිල්පයක් උගත් නමුත් ස්වාමියාගේ වගකීම බිරිඳත් දරුවනුත් වෙනුවෙන් මුදල් ඉපයීම යැයි ඇතිකරගත් හැඟීමෙන් ස්වාමියා විසින් රැකියාවක් කිරීම වලක්වනු ලැබූ ගෘහනියක් වූ මවකගේ ත් පුතෙක් . . .

ඉදින්, වෙනස් පංති දෙකක . . . වෙනස් ලෝක දෙකක දෙදෙනෙකු වූ අපිට ආදරයදැයි, ප්‍රේමයදැයි නොදන්නා සිත්වල ඇතිවූ සෙනෙහසකට නතුවී සමාජ පෙරලියක් කිරීමට තරම් ශක්තියක් උපදවා ගත හැකි වේද . . ? ?

නැත . . . එය කෙසේ වත් සිදුවිය නොහැක . . .

"ගිනි පෙලෙල්ලෙන් බැට කෑ මිනිසා කනා මැදිරි එලියටත් බයයි . . " කියන්නා සේ එකම වේදනාවක් දෙවරක් විඳින්නට තරම් මා මෝඩයෙකු නොවිය යුතු යැයි කෑ ගසා කී මගේ හදවතේ දෝංකාරයට කන්දුන් මා අපේ මේ අළුත් ඇසුරේ සීමාව මිතුරු කමින් එහාට නොගිය යුතුයි කියා ඈට අනතුරු ඇඟවීමක් ලෙසත් . . . තවදුරත්, ඒ වන විටත් ඕලුගෙයි මගෙයි බිඳුනු සබඳ කමේ නටඹුන්, කැඩුනු සෙල්ලම් බඩුවක් බදාගෙන හඬන දරුවෙකු මෙන් . . . මියගිය ස්වාමියෙකුගේ දේහය බදා වැලපෙන බිරිඳක් මෙන් . . . අතීතය සිතින් බදාගෙන පිටතින් කොපමන සිනා මුසු මුහුනෙන් සිටියා වුවත් ඇතුළු හදවතින් වැලපෙමින් සිටි මට ඒ අතීතයේ අක්මුල් එක්වරම කපා සිඳ හෙලන්න ඇති නොහැකියාව උඩ ඉමාෂා ගේත් නිනේෂ් ගේත් සබඳ කමේ සීමා නීර්න ගැන වැටහීමක් ඉමාෂාට ලබා දීමට සිතා නිතර ගුවන් විදුලියේ රැව් දුන් නිරංජලා සරෝජිනී මහත්මිය ගැයූ ගීයක පද කිහිපයක් වෙනස් කරමින් ලියූ කුඩා සටහනක් ඇගේ ටීන් බුක් එක ඇතුලට දමා ඈට දුන්නෙමි . . .

"පමා වී මෙසේ අප ඇයි හමු වුණේ.
අප අතීතයේ හමු වූවා නම් . . . .
මට ඈව හමුවන්නට පෙර . .
ඔබ අතීතයේ මුණ ගැසුනා නම් . . .

ඔබේ මුදු වදන් පවසන හැඟුම් හැඳින්නෙමි . . .
ඔබේ නෙතින් වදනින් ඔබ සිතද හැඳින්නෙමි . . .
මේ දිවි මඟ මා නොලද සෙනෙහසින් . . .
ඔබේ සෙනෙහසේ මොහොතක යලිදු උපන්නෙමි . . . .

රැයේ සිහිනයෙන් ඔබගේ ලොවේ වෙසෙන්නෙමි..
සිතේ සුසුම් සුළඟින් යළි එයින් මිදෙන්නෙන්මි..
නොහැකි වුවත් ළං වන්නට සෙනෙහසක් අරන්
යළිදු බවයකදි හෝ ඔබ සෙවණ පතන්නෙමි..."

සටහන කියවා ඇගේ මුහුනේ ඇදෙන වේදනා රැහැන් මා නොදැකිය යුතු යැයි උපන් සිතුවිල්ල දෙතුන් දිනක් ඇගේ දෙනෙත් මඟ හැරීමෙන් මා ජය ගතිමි . . .

එලෙස අපි දෙදෙනා විසින්ම අපි දෙදෙනා අතර ඇති කරගත් සම්මුතියක් ඇතිව මිතුරන් ලෙස කල් ගෙවී ගියේ අපටත් නොදැනීම . . .

උපකාරක පංතියට එහා ඉඩමේ වූ ගුරුතුමා අළුතෙන් සාදන නිවස සහිත ඉඩමේ වූ පේර ගහේ ගෙඩියක් කඩාගෙන අප-මිතුරන් හවුලේ කන විටෙක මගේ කොටසක් ඈට නොදී කෑ නොහැකි බවක් මට දැනුනා සේම ඈත්, අතරමඟ කඩේකින් මිලදීගත් ටොෆියක් . . . චොක්ලට් එකක් කෑවේ මගේ කොටස ලෙස ඈ මට දුන් දේ මා මගේ මිතුරන් සමග හවුලේ රසවිඳ නිමාවූ පසුවයි . . . හිරුෂි විසින් තිලංශට දෙනු ලබන ටොෆී, චොක්ලට්, අඹ, පෙර, වෙරළු ආදියේත් . . . ඉමාෂා විසින් මට දෙනු ලබන දේවලත් ඉබේම කොටස් හිමිකරුවන් වූ රුසිත්ගේ ත් සාරංග ගේත් ඇනුපද නෑසූ කන්ව විඳ ගැනීමට තිලංශට ත් මටත් සිදු වුනා . .

අප අතර ඇත්තේ මිතුරු කමක් පමනක් යැයි නිතර නිතර හිතට අවධාරනය කර ගත්තා වුවත් පංතියට ඇතුලු වීමේදීත් . . . ඇතුලු වූ පසුවත් මුලු පංතියම සිසාරා ඒ දෙනෙත ම පමක් සොයා වෙහෙසෙන නෙතට, සිතට එසේ සොයා ගත් පසුව හදවතින්ම නැග එන සිනාවකින් පමනක් සංග්‍රහ කර නතර කර තබා ගැනීම ට බල කිරීම එසේත් නැතහොත් නැවත නැවත ඒ දෙනෙත දෙස බලා පුංචි හෝ යමක් පැවසීමට සිතට නැගෙන සිතුවිල්ල බැඳ තබා ගැනීම විටෙක ඉතාම වෙහෙසකර කටයුත්තක් වූවා. විටෙක ඒ වෙහෙසකර කටයුත්තට යොමු නොවී සිතට රිසිසේ රිසි දෙයක් කරන්න ඉඩදී ඒ දෙස බලා සතුටුක් ලබා ගැනීමට පෙලඹුනේ එහි සුන්දරත්වය වලක්වාලනු තරම් සවිමත් සිතක් නොතිබූ නිසාවෙන්මැයි . .

හිරිමල් දෙසිතක ඉපදුනු සෙනෙහසකට වැට කඩොලු බැඳීම කාට නම් කල හැකි වේද . . . ආදරය, පංති පරතර . . . සීමා මායිම් නොතකන මනෝභාවයක් බැවි ආදරයේ බැඳුනෝ හැර එහි සුව වින්දෝ හැර වෙන කිසිවෙකු දනීද . . .

මිතුරුකමේ සීමා මායිම් කැඩී සෙනෙහස දෝර ගලන්නට ඉඩ සැලසුනේ අහම්බයෙන් . . .

පංති නිමාවූ වහාම රුසිතු ත් සාරංගත් නිවෙස් බලා යාමට යුහුසුලු වන නමුත් තිලංශත් මාත් නුගේගොඩ සමහර සාප්පු වලට විශේෂයෙන් සරසවි පොත් හලට (පොත් ගන්න අතේ මුදල් නැති බව හොඳින්ම දන්නා නමුත් පොත් අතගා ඒමත් සුවයක් ලෙස සැලකූ නිසාවෙන්) ගොස් පැය භාගයක් පමන ගතකර එන ගමන් ආනන්ද සමරකෝන් එළිමහන් රඟශාලාව පිටුපස කොනේ ඇති බීම හලෙන් "මිරින්ඩා" බීම අපේ පංති දිනවල දෛනික පුරුද්දක් . . .

මුලින්ම බීම හලෙන් කවුන්ටරේ උඩ මුදල් තබා තිලංශ මිරින්ඩා ඉල්ලපු දවස් මතක් වෙද්දීත් එන සිනාව නවතා ගැනීම තාමත් අපහසුයි . . .

"මුදලාලි . . අපිට මැරෙන්ඩ දෙකක් දෙන්න . . "

බීම හලේ මැදි වියේ හිමිකරු අපි දෙස බැලුවේ පුදුමයෙන් වගේ . . . පසුව තේරුම් ගිය පසු ඔහුටත් සිනා . . . ඉන් පසු බීම හලට එන විටම "ආ එන්න එන්න පුතාලා මැරෙන්ඩ දෙකක් දෙන්නද . . ??" කියා ඔහු අපෙන් අසන්නේ බීම හලේ තවත් පාරිභෝගිකයන් සිටියොත් ඔවුන් මවිතයට පත් කරමින් . . .

දිනක් පංති නිමාවූ වහාම මිරින්ඩා බොන්න වත් සුනංගු නොවී තිලංශට සමුදී මා තදියමේ දිව ඇවිත් ඒ වන විටත් ගමන් ආරම්භ කරන්න තතනමින් තිබූ බසයකට ගොඩ වූයේ පෝ දිනයක් වූ එදින හවස පංසල් යාමට ඇති හදිස්සිය නිසාවෙන් . . .

නැගුනු සැනින් කොන්දොස්තර ගේ "පස්සට යන්න පස්සට යන්න කරුණාකරල පස්සට යන්න . . . " කියා කරන කෑ ගෑමත් ඒ වන විටත් තවදුරටත් බසයට නැගුනු මගීන් නිසාවෙනුත් ඇතිවූ තෙරපුමත් නිසාවෙන් ඉබේ තල්ලු වී ගොස් නතර වූ තැනේදී එතනම ඉදිරියේ තිබූ ආධාරක බටය කෙනෙකුගේ උරහිසට ඉහලින් අතදමා ඇල්ලීමේදී ඇල්ලූ සැනින් අත අහකට ගත්තේ මා අත තබා තිබුනේ බටයට නොව බටය අලා සිටි අතක් උඩින් බව වැටහී එසේ මගේ අතට දැනුනු සුමුදු පහස ගැහැනු ළමයෙකුගේ යැයි එහි ස්පර්ශයෙන්ම මා තේරුම් ගත් නිසාවෙන් . . . ඇය මා විසින් උවමනාවෙන් එසේ කලායැයි සිතාවී යැයි නැගුනු සිතුවිල්ලෙන් .

සමාව ඉල්ලන බැල්මක් හෙලන්න යැයි සිතා ඒ මුහුන දෙසට හැරී බැලීමේදීයි මට පසක් වූයේ එසේ මා විසින් නොදැනුවත්ව ඇල්ලූ අත ඉමාෂාගේ බව . . . ඈ සිටියේ මට වෙන ඇල්ලීමට ආධාරකයක් නොමැති කමින් වැරදීමෙන් මා ඇගේ අත ඇල්ලූ බවට ඈ දන්නා නියාව පෙන්වන සිනාවක් මුවේ රඳවාගෙන . . .

ටික ටික බසය ඉදිරියට යෑමේදී වාරුවක් නොමැතිව සිටි මා දෙපසට වැනෙනවා දුටු ඈ ළතාවකට හිස වනා මට ඉඟි කලා මා නොවැටී සිටීමට නම් ඇගේ අතට උඩින් හෝ ආධාරක බටය අලා ගත් යුතු බව . .

පංතියේදී කොපමන සිනා හුවමාරු කර ගත්තා වුවත් . . . දෙනෙතින් කෙතරම් අදහස් හුවමාරු කරගත්තා වුවත් මෙපමන කලකට ඈ සමඟ වචනයක් වත් කතා බහ නොකර තිබුනු මගේ හිතේ ඇතිවී තිබුනේ කියා ගත නොහැකි චකිතයක් . . . මා බිය වී වට පිට බැලුවේ මගේ පපුවෙන් නගින "ඩිග්-ඩිග් . . . ඩිග්-ඩිග්" ශබ්දය අන් අයටත් ඇසේදෝ කියා සැකයෙන් . . .

දෙවෙනි වරටත් ඇගෙන් ලද ආරාධනාත්මක ඉඟිය ට මට යට නොවී සිටීමට කොහෙත්ම ඉඩක් ලැබුනේ නෑ . . . මා හිමිහිට ඇගේ අතට උඩින් මගේ අත තැබුවේ වැටෙයි කියා බයට ආධාරකයක් අල්ලා ගන්නා අයෙකු ලෙස නොව පංසලේ බුද්ධ පූජාව අවස්ථාවේ පේලියට සිටගෙන සිටින විට කෙනෙකු විසින් අතට ලබා දෙන මල් වට්ටියක් ලබා ගන්නවා වැනි පරීක්ෂාකාරෙ නමුත් පහන් හැඟීමකින් . . .

පපුව ඇතුලෙන් විශාල ශබ්දයක් පිටකරමින් නැග ආ ඩිග්-ඩිග් ශබ්දය නැති වී සාමාන්‍ය වීමට බොහෝ වේලාවක් ගත වන්න ඇති . . . ගාඩිනියා වැනි මල් සුවඳකට හුරු විලවුන් වර්ගයක ශේෂවුනු සුවඳක් හමන ඇගේ කන අසලට හෙමින් පහත් වුනු මා ඈත් මත් මිතුරන් වූ පසු කල අපේ පලමු සංවාදය ඇරඹුවා . . . ! !

"අද උදේ ඇඳේ වැරදි පැත්තකින්ද බිමට බැස්සේ . . ."

මගේ අමුතු ප්‍රශ්නයෙන් ඈ විපක්ශිත වන්නට ඇති බව මූනේ ඇඳුනු හැඟීම වලින් වටහා ගත හැකි වූවා . . .

ඈ "ඇයි එහෙම අහන්නේ . .. ??" යැයි ඇසුවේ වචනයෙන් නොව කුඩා කරගත් දෙනෙතින් හිස පැත්තකට ඇල කොට කුතුහලාත්මක බැල්මක් මදෙසට හෙලීමෙන් . .

"නෑ අද මේ වැරදි බස් එකක නැගලා නිසායි එහෙම ඇහුවේ . . ."

"බකස් " ගා ඇයට යන්නට ගිය හිනාව ඈ අමාරුවෙන් නතර කර ගත් බවත් . . . එසේ අමාරුවෙන් හිනාව නතර කරගත් බැවින් පිට නොවුනු හිනාව පිට වුනේ දෙනෙතින් කඳුලු ලෙසින් . . . .

සුලු මොහොතක් නිහඬව සිටි ඈ . . .

"වැරදි බස් එකක් ද හරි බස් එකද කියලා ඔයා කොහොමද දන්නේ . . ?" කියා මගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින් ම පිලිතුරු දුන්නා . . .

"නෑ වෙනද ට ඔයා හිරුෂිත් එක්කම හයිලෙවල් පාර පැත්තට යනවානේ . . .ඒකයි මම අහුවේ . . ."

"ආ . . ඒක නිසාද ඔයාල දෙන්නත් අපේ පස්සෙන් එන්නේ හයිලෙවල් පාර පැත්තට . . අපි යන්නේ කොහෙද කියලා බලන්නද . . . ?"

"අපෝ නෑ . . . අපි කාගෙවත් පස්සෙන් ගියේ නෑ . . . ඔයාල අපිට ඉස්සරහින් ගියා එච්චරයි වුනේ . . . "

"එහෙනම් මොකටද බස් එක ගන්න මෙතනට එන්නේ නැතුව ඒ පැත්තට යන්නේ . . ."

"අපි යන්නේ සරසවි එකට . . ."

"පොත් ගොඩාක් ඇති එහෙනම් දැං නේ . . . . ඇයි ඉතිං සතියට දවස් දෙක ගානේ සරසවි එකට ගිහින් ගත්තු ඒවා . . . "

"එහෙම පොත් ගන්න සල්ලි තිබුන නම් සතියට දෙපාර ගානේ යන්නේ නෑ . . එක පාර ගිහින් ආස කරන පොත් ඔක්කොම අරන් එනවා . . . ඒක නෙමෙයි මේ කොහෙද යන්නේ . . . ?? "

"අපේ මාමා ඉන්නේ පිට කෝට්ටේ . . . අම්මගේ පනිවිඩයකට එහේ යනවා මාමට දෙන්න කියලා පාර්සලේකුත් දුන්නා අම්මා . . . "

"මම තව හෝල්ට් දෙකක් එහායින් ලී මෝල ලඟින් බහිනවා . . . ඔයා පිට කෝට්ටේ හංදියටම යනවා නේද . . . ??? " ඈ අසන්නේ "වැරදිලාවත් එතනින් බහින්න එහෙම එපා හොඳේ . . " කියා නොකියා කියනු වැනිව . . .

"වෙනදට විනාඩි හතලිස්පහක් . . . පැයක් විතර තිස්සේ කොට කොට එන බස් කාරයා අද ඉක්මනට ඇවිත් . . . මුන් නම් මහාම මහා නසරානියෝ ටිකක් . .. මීට වැටිය හෙමින් එන්න තිබුනේ නැද්ද මුන්ට . . ."

බස් එකේ රියදුරුටත් කොන්දොස්තරටත් එරෙහිව මගේ හිතේ ඇතිවී තිබෙන රන්ඩුව ට බාදා කරමින් ඈ . .

"එහෙනම් මම මෙතනින් බහිනවා . . . අනිද්දට මීට් වෙමු . . බායි . . " කියා සිනාවක් පා බසයේ දොරටුව අසලට පිය නැගුවා . . . .

"බායි " කියා මාත් හෙමීට මටම කොඳුරා ගත්තා . . .


මතු සම්බන්ධයි . . .

Wednesday, October 28, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (පස්වන කොටස)


මෙතෙක් කතාව . . .

ඇගේ ටීන් බුක් එකයි ඔටෝ ග්‍රාෆ් එකයි මගෙ අතට ගත්තු ගමන් මටත් නොදැනීම ගියේ මගේ නහය ලඟට . . . අලුත් පාසැල් වාරයේ දී අලුත් පොත් ගත්තු ගමන් අව්ඥානවිකවම සුවඳ බලීමට අප හුරු වී ඇත්තේ එහි ඇති නැවුම් සුවඳ විඳ ගන්න. අලුත් ඇඳුමක් ගත්තු ගමනුත් අපි ඒ දේ කරන්නේ ඒ නැවුම් සුවඳට ලෝභකමේ . . . නැතිනම් ඒ අලුත් කියන හැඟීමට එපිටින් ඇති අපටම වටහා ගත නොහැකි කිසියම් අදෘශමාන වින්දනයක්, සුවඳක් විඳින්න . .

නමුත් ඇගේ ඔටෝ එකෙයි ටීන් බුක් එකෙයි එවන් නැවුම් බවක් නැති බව දැන දැන මම නහයට ලංකරලා සෙව්වේ ඇගේ ජීවන සුවඳක්ද . . . ඒ දෙකෙන් ගලා ආවේ ඈ ගල්වන සුවඳ විලවුන වල ශේෂ වූ සුවඳක්ද නැතිනම් ඈත් මාත් අපි හැමෝමත් කුල්මත් කරවන යෞවනයේ සුවඳද . . . පොපියන චමත්කාරයෙන් ඔද වැඩුනු මල් සුවඳක්ද . . . ඒ ගැන සිතන්න වෙහෙසීමක් නොගෙන මා ඔටෝ ග්‍රාෆ් එකේ රෝස පාට, කහපාට, ලා නිල්පාට, සුදු පාට පිටු පෙරලන්න පටන් ගත්තා . . .

පිටු මැද්දේ අභ්‍යාස පොතක කොලයක් හතරට ඉරා ඒ මත යමක් සටහන් කල කෙටි ලියමනක් . . .

"නිනෙශ්, ඔයා මාත් එක්ක තරහා නැති බව මම දන්නවා . . . ! !
ඔයා මේ දෙකේම ගැහැනු ළමයෙකුගේ නමින් ලියල මට දෙන්න . . .
අපේ අක්කා හරිම ඕපස් . . . මගේ ඒවා ඔක්කොම එයා බලනවා . . .
ඔයා නිනේශි කියලා ලියන්න . . .
එතකොට එයාට හොයා ගන්න බෑ . . .
ඉමාෂා . . . “

අප අතර වචන වලින් අදහස් හුවමාරුවක් සිදු නොවුනත් අහම්බෙන් දෑස් එකෙනෙක ගැටෙන මොහොතවල් වල දෙනෙතින් අපි අදහස් හුවමාරු කරගත් බව මේ වන තුරු ඈත් මාත් හැර වෙන කිසිවෙකු නොදන්නා බැව් අප දැන උන්නා . . . එසේ අදහස් හුවමාරු කර ගැනීමේදී ඈ විසින් මට අකාරුනික ලෙස බැන වැදීම ගැන ඈ කනගාටු වන බවත් . . ඒ වරදට ඈ සමාව ඉල්ලූ බවත් . . . එය ඇගේ පමනක් නොව මගේ ද වරද බැව් මා පැවසූ බවත් . . . ඈට ඒ සඳහා සමාව ඉල්ලීමක් අවැසි නැති බවත් . . . අප අපගේ දෙනෙත් හරහා පනිවුඩ හුවමාරු කාලය තුල පසක් කර ගනු ලැබුවා . . . දෙනෙතේ කතා ඈටත් මටත් පමනක් සීමාවූ රහසක් ලෙස සුරැකීම සිතට, කුමක්දෝ නොතේරෙන සිත හිරි වට්ටන බඳු හැඟීමක්ද වූවා . .. තවදුරටත් එම කාලය හිස මත තිබූ බරක් හිසින් අයින් කල විට දැනන තරම් සැහැල්ලුවක් සිතට ගෙන ආ කාලයක් පමනක් නොව මුහුනෙන් නිතර වෙන් වී නොයන සිනහවක් පවා රැඳවූ කාලයක් වූවා . . .

“මූ නිතරම පොල්කිච්චා වගේ හිනා වෙච්ච ගමන් මයි . . . උඹේ ජීවිතේ ඇත්තෙන්ම කිසිම ප්‍රශ්නයක් නැද්ද . . ?? “සමහර විට මගේ පැත්තෙන් මගේ පවුලේ දිලිඳු බවත් . . . ඒ දිලිඳු කම නිසාම මා පෙලූ කටුක අමිහිරි සිදුවීමුත් මා මගේ මිතුරන්ගෙන් වසන් කර ගත්තේ . . . මගේ ප්‍රශ්න ඔවුන්ට පවසා ඔවුන්ගේ හිත් වලට අනවශ්‍ය බරක් පටවන්නේ ඇයි යන හැඟීමෙන් . . .

"නිතරම නිනා වෙලා ඉන්නේ හිත ඇතුලේ දුක් කන්දරාවක් තියාගෙන . . . ඒ දුකට හඬන්න බැරි තරම් කඳුළු ගල් වෙච්ච උන් කියලා උඹලා අහලා නැද්ද . .. ??" මම පවසන්නේ සිනාවෙවී නිසාම එය සත්‍යක්ද . . . විහිලුවක්ද කියා වටහා ගැනීම මිතුරන්ට අපහසු වන්න ඇති . . .

එලෙස උපකාරක පන්තියේදී මා හේතුවක් ඇතුවක් නැතුවත් නිතර සිනා මුහුනින් ඉන්නා බැවින් මගේ වෙනස පංතියේ මිතුරන්ගේ දෙනෙත් වලින් වසන් කර ගැනීම පහසු වූවත් නිවසේදී මගේ හැසිරීම් ගැන නිතර සෙවිල්ලෙන් ඉන්නා වැඩිමහල් සොයුරියගෙන් වසක් කර ගැනීම අපහසුම කාරියක් වූවා . . .

"මොකෝ" අක්කා අසන්නේ මගේ ප්‍රීතිමත් සිනා මූන ඇගේ තීක්ශන දෙනෙතින් වටහා ගන්න තැත් කරමින් . . .

"ඇයි මොකෝ . . ." මමත් පිලිතුරු දෙන්නේ බොරු තරහක් මවාගෙන . .

"මොකෝ කියල තමයි මාත් අහන්නේ . . . "

"තමුසෙ මොකෝ කියල අහන්නෙ ඇයි කියලයි මාත් අහන්නේ . . " මාත් අතහරින්නෑ

"මොකෝ මේ තමුසේ තනියෙන් හිනා වෙන්නේ . . . "

"හරි වැඩක්නේ . . . දැන් හිනා වෙන්නත් තමුසෙගෙන් අවසර ගන්න ඕනද, මම දැනගෙන හිටියේ නෑ නේ . . .! !"

"තමුසෙට ඔච්චර ඩෝං යන්න දෙයක් මම කිව්වේ නෑ නේ . . . "

"ඩෝං නෙමෙයි . . වෙනදටත් මම තමුසෙගෙන් අවසර අරගෙනද හිනා වුනේ . . . "

"හරි හරි මල්ලී . . . අපිත් ඔය පංතියේ හිටියා හරිද . . අපිටත් තේරෙනවා යමක් කමක් . . . "

"තේරෙනවා නම් මොකටද ඉතිං තවත් අහන්නේ . . . "

"මට තේරුනු නිසා තමයි මම අහුවේ . . මට ඇහිලා තියෙනවා අපේ ස්කෝලේ දහය වසරෙ කෙල්ලෝ තමුසෙ ගැන කතා
වෙනවා . . . මේ අරයගේ අක්කා නේද . . අරව මේවා . . එන්න එපා අපේ කෙල්ලන්ට සෙවල හලන්න හරිද . . ??"

"අප්පෝ . . ඕ . . . සෙවල හලන්නම වැඩේ තමුසෙලාගේ ස්කෝලේ කෙල්ලන්ට . . . කොට්ඨාශෙම රූප සුන්දරියො ටික ඉන්නේ තමුසෙලගේ ස්කෝලෙනේ . . "

"ඇයි ඇයි මොකෝ ?? අපේ කෙල්ලෝ මොකද . .?? "

"තමුසෙලාගේ ස්කෝලේ ඉන්නෙ හලෝ ගොරෝ ගොරෝ වහින වෙලාවට වදින හෙනයක් වැදියන් කියල එලියට තල්ලු කරන්න හොද ජාතියේ ඒවා නේ . . ලස්සන කෙල්ලෝ කොහෙද ඒකේ ! ! !"

"උඹ වරෙන්කෝ ඊලග පාර අපේ ස්පෝට්ස් මීට් එක බලන්න . . . ගොරෝන කොට එලියට විසිකරන්න හොඳ උන්ට කියල ඉල්ලලා දෙන්නම් මම උඹට හොඳ පරිප්පුවක් . . "

"මොකෝ මොකෝ බං මේ . . . පැනි වරෙකෙට හෙන ගහලද . . . මෙච්චර වෙලා දෙන්නා සාංගං වෙලා පොඩි එකීට තඩිබෑවා . . . දැන් උඹල දෙනා කා ගනන්වා . . " අම්මා නතර කරන තුරු අපේ වාදේ දිගටම පවතින්නේ අප මුලින් රන්ඩු වුනේ කුමන හේතුවකටදැයි ටික වේලාවකින් අපටත් අමතක වන නිසායි

මගේ සිහින ලෝකය එක්වරම බිඳ වැටුනේ කිසියම් උවමනාවකට එලියට ගොස් නැවත් අසුන් ගත් තිලංශ මගේ ඇඟේ හැපුනු බැවින් . . .

"මොකෝ මේ කොල කෑල්ලක් දිහා බලාගෙන භාවනා කරන්නේ . . . මොකද්ද ඔය . . ?"

"මේ . . . මේ . . . ඉමාෂාගේ ඔටෝ එකයි ටීන් බුක් එකයි දුන්නා මට ලියල දෙන්න කියලා . . . "

එසේ කී පසුවයි ඔහුගේ නෙතට හසුවූයේ මගේ අතේ තිබූ දේවල් . .

"ඉතිං . . "

"එයා පොඩි ලියුම් කෑල්ලක් දීලා මේකේ ගෑනු ලමයෙකුගේ නමින් ලියන්න කියලා . . "

ක්ෂනයකින් ඒ කොල කබැල්ල උදුරා ගත් තිලංශ . .

"අපිට ඕන නෑ තරහා කාරයන්ගෙන් ලියුම්" කියා එය කීතු කීතු වලට ඉරා දැමුවේ අයියෝ ඒක සිහිවටනයක් ලෙස තියා ගන්න තිබුනා නොවේද . . . අඩු තරමින් මට එක තව පාරක් වත් බලන්න තිබුනානම් නේද කියා සිතෙද්දී . .

මගේ මිතුරන් ඈ පොදු තරහකාරියක් ලෙස සිතුවා වුවත් මට හැඟුනේ ඈ මගේ හිතේ ඈ කෙරෙහි තවදුරටත් තරහක් ඇත්නම් එය නැති කර ඈ මගේ මගේ සාමාන්‍ය මිතුරියක් තරමට වත් මිතුරු කමක් ඇති කරගන්නා අදහසින් එය මට දුන් බවයි . . .

ඇගේ බැල්ම ප්‍රේමාරාධනාවක් ලෙස හෝ ඇගේ හිතවත්කම ප්‍රේමයකට අඩිතාලමක් ලෙස සිතිය නොහැකි වැනි හැඟීමක් මා ඒ වනවටත් දවමින් සිටි නිසා කෙසේ වත් මා ඈ සම්බන්දව මේ මොහොතේදී නම් ප්‍රේමයක් හෝ ආදරයක් වැනි මාතෘකාවක් මුල් කරගෙන සබඳකමක් ඇති කර නොගන්නා බවට විශ්වාසයකුත් ඒ අතරම මා විසින් මා කෙරෙහි වූ නිසා මගේ නියම සිතුවිලි වටහානොගන්නා තිලංශ කෙරෙහි වුව මට දැනුනේ සියුම් අමනාපයක් . . .

මගේ සොයුරියගේ හොඳම මිතුරිය වූ කුමුදු අක්කාගේ පුංචි අම්මාගේ දියණිය වූ රූබර "ඕලු" හා මා අතර කුමුදු අක්කාගේ බාල සොහොයුරා වූ චරිත් මල්ලීගේ උපකාරයෙන් ඇතිවන්නට ගිය . . ඇත්ත වශයෙන්ම ඇතිවී . . . පිපී සුවඳ හමන්නට පාරමී පුරාගෙන කැලයේ පීදුනු මල් පොහොට්ටුවක් මෙන් වූ අපේ පුංචි ආදරය . . . පිපී සුවඳ හමන්නටත් ප්‍රථම රුදුරු දෑතකට මැදිවී අකාලයේ පරවූවක් මෙන් . . දුප්පත් පොහොසත් කම් වලට මානුශික හැඟීමවලට වඩා වටිනාකමක් ඇතැයි සිතූ කුමුදු අක්කාගේ බලපෑමෙන් විනාශවී ඒ වන විටත් වැඩි කාලයක් ගතවී නොතිබුනි . ..

එය විශාල වේදනාවක් ගෙන දුන් වෙන්වීමක් නොවුනේ අප අතර නොබිඳිය හැකි බැඳීමක් ඇතිවන්නට ප්‍රථම එහි මුල් අවදියේදීම එය කැඩී විසිරුනු නිසාවෙන්මයි . . ඒ හේතුවෙන්ම යලිත් එවන් වෙන්වීමක් දරා ගැන්මට තරම් මගේ සිත සවිමත් නැති බව හදවතේ එක් පසෙකින් කොඳුරා කියද්දී . . . හදවතේ අනෙක් පස යලිත් එවන් සෙනෙහසක හෝ ඊට වඩා ප්‍රේමනීය සෙනෙහසක බැඳෙන්න්ට බලකරමින් සිටියා කීවොත් නිවරදියි . . .

එසේ හදවතේ සෙනෙහස ඉල්ලා කෑගසන කොටසේ මනදොල පිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස, සොයුරිය සමඟ ඔවුන්ගේ පාසැලේ ගැහැනු ළමෝ අඩු තක්සේරු කරමින් රන්ඩු වූවා වුවත් . . . ඔවුන්ගේ පාසැලේ මගේ සමවයසේ මානවිකාවන් අතුරින් ඕලුගේ හැඩහුරුකම් වලට සමාන, ඕලුට වඩා අහිංසක යුවතියක් යැයි හැඟුනු තාරුකා කෙරෙහි උනන්දුවක් ඇති වීම මට නොව යුවුන් වියට දඳුවම් ලබාදිය යුතු වරදක් ලෙස සිතුනු වාර අනන්තයි . . . . .

මා තාරුකා කෙරෙහි උනන්දුවෙන අතරවාරයේ දීම ඉමාශා හා මා අතරද අමනාපකම් දුරු වී මිතූකමක් ඇති වීම කෙසේ වෙතත් සතුරු කම් දුරුවීම මගේ මිතුරන් දුටුවේ මගේ සිතේ තාරුකාත්, ඉමාෂාත් අතර දෝලනය වන ප්‍රේමයක් ලෙසයි . . .

"මචං . . ඔන්න පිස්සන් කොටුවේ තද බල පිස්සු පොරක් හිටියලු . . හරිද . . " මිතුරන් කැල එකතු වී එලියේ විවේක කාල ගතරන අතරවාරයක තිලංශ පවසන්නේ මගේ දෙස හොර බැල්මක් හෙලමින් සාරංගටත් රුසිත්ටත් ඇසින් ඉඟි කරමින් . .

"ඉතින් . . "

"දවසක් ලොකු දොස්තරට ඕන වුනාලු මූව ටෙස්ට් කරන්න. ."

"ඒ මොකටද. . "

"මූට දැන් පිස්සු හොදයිද?? මූව ගෙදර යවන්න පුලුවන්ද කියලා බලන්න . . "

"හ්හ් . . ම් ම් ම්.. "

"ලොකු දොස්තරයා මූව ගෙනල්ල කිව්වලු . . . තමුසෙට දැන් සනීපයි . . . කියලා . . "

"මිනිහට හෙන හැපී වෙන්න ඇති . . "

"තමුසෙ ඉතිං ගෙදර ගිහින් මොකද කරන්න බලාපොරොත්තුව කියල දොස්තර ඇහුවලු . . "

"ජීවත් වෙන ක්‍රමේ. . ?"

"ඔව් . . මිනිහ ටිකක් කල්පනා කර කර ඉඳල කිව්වලු . . මම ගෙදර ගිහින් අඩු වියදමෙන් මී කතුරු හදන ව්‍යාපාරයක් පටන් ගනවා කියලා . . "

"දොස්තරට හරි සතුටු හිතෙන්න ඇති . . "

"ඊට පස්සේ ඇහුවලු අඩු වියදමෙන් කිව්වේ . . කියලා. . "

"පොර කිව්වලු මට ඕන කරන්නේ ලී කෑල්ලකුයි, කම්බි කෑල්ලකුයි, ඇන දෙකකුයි . . . කරවල කෑල්ලකුයි . . පොල් කෑල්ලකුයි විතරයි කියලා . . "

"දොස්තර හොල්මන් ලු යකඩෝ මේවායින් කොහොමද මී කතුරු හදන්නේ කියල . . "

"පස්සේ ඇහුවලු ඉතිං කොහොමද ඕවායින් මී කතුරක් හදන්නේ කියලා "

"මිනිහ කිව්වලු . . ලී කෑල්ලට ඇන දෙක පරතරයකින් ගහල, කම්බි කෑල්ල ඇන දෙකට ගැට ගහලා, දෙපැත්තේ කරවල කෑල්ලයි පොල් කෑල්ලයි තියනවා කියලා . . "

"දොස්තර ඇහුවලු ඉතිං මනුස්සයෝ එකෙන් කොහොමද මීයෝ මරන්නේ කියලා . . "

"පොර කිව්වලු මීයා ඇවිත් කම්බි කෑල්ල උඩ බෙල්ල තියල කරවල කෑල්ල කනවද . . පොල් කෑල්ල කනවද කියල දෙපැත්ත බල බල ඉන්නවා. . . එතකොට කම්බියට බෙල්ල කැපිලා මීයා මැරෙනවා කියලා . . "

"දොස්තර දැන ගත්තාලු මූට තාම හොඳටම පිස්සු කියලා ආ හරි හරි තමුසේ ආපහු වාට්ටුවට යනවා කියල හරෝලා යැව්වලු . . ."

"ඉතිං මචන් ඔය මීයා කරවල කෑල්ලද . . පොල් කෑල්ලද කියලා බෙල්ල කැපෙනකම් දෙපැත්ත බල බල ඉන්නේ නැතුව දෙකෙන් එකක් කෑවා නම් ඉවරයි නේද . . " සාරංග අසන්නේ මුකුත් නොදන්නා ගානට . .

"මේකනේ මචන් . . . පොල් කෑල්ල නම් පැනල දෙනවානේ . . . මීයට කලින්ම හිත ගියේ කරවල කෑල්ලටනේ . . " රුසිත් කරවල හා පොල් විශ්ලේශනයක . .

“හිත ගියේ කරවල කෑල්ලට වුනත් මීයා බයෙන් ඉන්නවානම් කරවල වල කටු තියෙයිද, පෙරේත කමට කන්න ගිහින් කරෝල කටු උගුරේ හිරවේද මරෙන්න වෙයිද වගේ කියල . . .එතකොට මොකද කරන්නේ . . “ මම හෙමීට කියන්නේ මේ කතාව මාට සම්බන්ධයක් නැති කතාවක් ලෙසට . . .

"ඉතිං දැන් තියෙන්නේ කරවල කටු ඇන ගන්න හරි කියල, ඇනිල මැරිච්චාවේ කියලා හිතල හරි කියල හිතලා කරෝල කෑල්ල කන එක තමයි" තිලංශ කථව නිමා කරන්නේ මට හෝ අපේ කාටවත් සම්බන්ධ කොට කියූ කතාවක් නොවේ යැයි හඟවන්න මෙන් . . .

තාරුකා හා සබඳ කමක් ඇති කර ගැනීමට හෝ අඩු තරමින් මිතුරෙකු ලෙස ලංවීමට හෝ ඇගේ යෙහෙලියක වූ මගේ අසල්වැසි මිතුරියකගේ සහය ලබාගැනීම හැර වෙන විකල්පයක් නොවූයෙන් මිතුරිය අත ඇයට ලිපියක් යැව්වේ ඒ වනවිට මා බලා තිබූ නවකතාවල අඩංගු ව තිබූ අලංකාරී වචනද, යොවුන් වියේ දඟකාර වචන හරඹයන් ද සමඟින් (ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න . . . ) ලිපියේ ඉහලින් ගීතයක කොටසක් ද ලියා තබමින් යැවූ ලිපියට පිලිතුරක් බලපොරොත්තු වූ මට ඈ ඇතුලු ඔවුන්ගේ මිතුරින් නඩයෙන්ම ලැබුනේ ජීවිතයටම අමතක නොවන දඬුවමක් . .

මා ලිපියේ සඳහන් කල ගීතය ඈ ඇතුළු ඔවුන්ගේ සියලු මිතුරින් සියලුම දෙනා එක්වරම මා පංතියට ඇතුලු වන විටම එක වරම ගායනා කර මා කිසිදා නොවිඳි අපහසුවකට මා පත් කල පසු තාරුකා ගැන මගේ හිතේ ඉපදුනු සෙනෙහස උපන්ගෙයිම මියෑදුනු සෙනෙහසක් බවට පත්වූ හෙයින් ඉන් මතු මා ඈ දෙස බැලීම පවා නතර කිරීමට සිතුවූ සිදුවීම මා තවදුරටත් ඉමාෂාගේ නෙත් දැහැනේ ම පැටලෙන්නට ඉඩසලසා දුන් සිදුවීමක් වුනා . . .

කෙසේ හෝ අවසන මා අහස පොලොව ගැටලන්නට මෙන් කල්පනා කරමින් සිට ඇගේ සමරු පොතේ කුඩා සටහනක් තැබුවා . . .

“පුන් කලස් මතුපිට පහන් දල්වනු විලස . . .
නොනිමි පහනක් වන්න සදහට අහිංසක හදකට . . . “


මතු සම්බන්ධයි . . .

Thursday, October 22, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (හතරවන කොටස)


පළමුවෙනි කොටස

දෙවෙනි කොටස

තුන්වෙනි කොටස

මේ අතරමං වූ ගතියක් දැනෙන ස්වභාවයෙන් මිදීමට මා කුමක් කල යුතුද . . . ? මේ හිරි වැටුනු වැනි හැඟීමක් දැනීමක් නැති ආකාරය කොපමන වේලාවක් පවතීද . . . හිස යාන්තමට ඔසවා වට පිට බැලූ මට මා වටා වූ සියලුම ජීවී අජිවී වස්තූන් පවා නිමේශයකට ගල් වී ඇති බවක් සිතුනා . . .

පුංචි කාලේ ආත්තම්මා කියා දුන් කතන්දර වල මෙන් . . .

"ඔන්න පුතේ . . ඒ මායාකාරී අර පුංචි කුමාරයාට සාප කලාලු කුමාරයයි . . . කුමාරයාගේ යාලුවෝ ටිකයි . . . අහල පහල තියෙන ගස් ටිකයි ඔක්කෝම ගල් වෙන්න කියලා . . . . "

"අනේ එයාලා හැමෝම ගල් වුනාලු . . . "

"ඔන්න දවසක් පුංචි කුමාරියෙක් අශ්වයෙකුගේ පිටින් මේ අහලින් . . . . ."

ෂිහ් මට මොනාද මේ හිතෙන පිස්සු කතා . . . . .

ඒත් ඇයි මේ ගසක කොලයක් වත් සෙලවෙන්නේ නැත්තේ . . .

හුලඟට හමන්න අමතක වෙලාද . . .

ගස් වැල් වලට හෙලවෙන්න අමතක වෙලාද . .

ඒ සිතුවිල්ල නිමා වෙන්නත් ප්‍රථම මගේ වැලමිට අසලින් කිසිවෙකු අල්ලනවා දැනී, ඒ සියලු පාෂානීභූත හැගීම් වලින් මිදෙන්නට හැකිවුනා . . .

තිලංශ ආදරණීය තිලංශ . .

එසේ මගේ වැලමිට අසලින් අල්ලාගත් අත මා මගේ දෑතින්ම අල්ලා තද කර ගත් පසුවයි දැනුනේ මා මෙපමන වෙලාවක් එවැනි ස්පර්ශයක් . . හවුහරනක් . . සහයක් . . . සහයෝගයක් . . ලැබෙන තුරු අපමාන නොයිවසිල්ලකින් සිටින්න ඇති බව

"ගනන් ගන්න එපා නිනේෂ්. . . " තිලංශ පැවසුවේ දයාබර හඬකින් . . .

"ඔව් ඔව් අමතක කරලා දාපන් . . " ඒ රුසිරු . . .

අමාරුවෙන් යලිත් වරක් හිස ඔසවා මිතුරන් තිදෙනාගේම මුහුනු මාරුවෙන් මාරුවට බැලූ මට මගේ මූනට හිනාවක් නගා ගන්න ගත් උත්සාහයේදී එය අසාර්ථක වී ඒ වෙනුවට මගේ කට ඇදවී ගිය බව මටම පසක් වුනා . . .

මා පත්ව සිටි අසරන තත්වය මගේ සියලුම මිතුරන් වටහා ගන්න ඇති . . . වෙන අවස්ථාවකදී නම් හූ කියා සමච්චල් කර සතුටු ගඟක් පිටාර යා හැකි සිදුවීමක් වුවත් මගේ දයාබර මිතුරු කැල මාව තවදුරටත් මා සිටිනා තැනින්, ඒ තත්වයෙන් පහල නොදැමීමට තරම් දයාබර වූවා . . . එසේ වෙන අයෙකුට මෙවැනි දෙයක් සිදුවූ විට නැගෙන හූ හඬවල් .. සමච්චල් හිනා හඩවල් . . උපහාස කතා කිසිවක් නොමැතිව මුනිවත රැකි ඔවුන් තත්වය සමාන්‍යකරනීය කිරීමට ඔවුන්ට හැකි පමන දායක වුනා . .

"මූන පොඩ්ඩක් හෝද ගනින් . . . එතකොට පොඩි ෆ්‍රෙශ් ගතියක් දැනෙයි නිනෝ . . . " මගේ සුරතල් ආමන්ත්‍රන නමින් මා ඇමතූ රුසිත් පිටට පොඩි තට්ටුවක් දැම්මා

"ඉක්මනට ඉක්මනට . . . පරක්කු වුනොත් සූ . . . . වක් ෂුවර් . . අනෙක සර් ගෙනුත් බැනුම් අහන්න වෙනවා . . ."

කිසි දෙයක් සිදු නොවූ හැඟීම ඇති කරන්න සාරංග සුපුරුදු පරිදි කලබලකාරී ලෙස දඟලනවා . .

වතුර ටිකකින් උගුර තෙමාගෙන මූනටත් වතුර ටිකක් ඉහගත් මා මිතුරන් කැල සමඟ ශාලාවට ඇතුලු වුනේ හොරකමක් කල එකෙක් මෙන් හොර බැල්මකින් වට පිට බලමින් . . . කිසිවෙකුගේ දෙනෙතකට මගේ දෙනෙත නොගැටීමට වඩාත් පරීක්ශාකාරී වෙමින් . . .

නමුත් එසේ විෂේශයෙන් පරීක්ශාකාරී වීමීදී සිදුනොවිය යුතු ලෙසම මගේ ඇස් නතර වුනේ මීට මොහොතකට පෙර එලියේ වතුර කරාමය අසලදී කාන්තිමත් දෙනෙතින් මා දෙස බලා සිට, මගේ අසංවර විහිලුවකින් සිත පෑරී මට බැන වැදුනු . . . නමුදු මේ දැං "අනේ මට සමාවෙන්න" වැනි යමක් දෙනෙතේ සටහන් කරගෙන ඇතුවාක් මෙන් මා දෙස බලා සිටින ඇගේ දෙනෙත අසලමයි . .

මින් පසු කිසිම අවස්ථාවක ඈ දෙස නොබලමියි මගේ හිතට ම ශපථ කරගෙන සිටි මට ඇගේ දෙනෙතේ ඇති ආකර්ශනීය බැල්ම දුටු වනම මගේ ශපථ කිරීම් කොහේ අතුරුදන්වී ගියාදැයි සිතා ගත නොහැකි වූවා . . . .

මගේ මිතුරන් කැල අසල පේලියක සිටින තවත් මිතුරන් පිරිසක් සමඟ කථාවක් . . . මා හිටි ලෙසටම නෙත් නොපියා ඇගේ දෙනෙත සමඟ කතාවක් . . එසේත් නැතහොත් ඒ දෙනෙතේ පනිවිඩය කියැවීමට දරන උත්සාහයක් . . .

මීට මොහොතකට පෙර සිහිවූ අත්තම්මා කියා දුන් කතන්දරයේ මෙන්, මායාකාරියගේ සාපයෙන් ඇයත් . . . මාත් පමනක් ජීවී වස්තූන් ලෙස ඉතිරි කර අනෙක් සියලුම දේවල් . . දාහකට වැඩි ප්‍රමානයක් වූ සියලුම සිසු සිසුවියන් . . බංකු-මේස . . . විදුලි පංකා . . මෙකී නොකී සියලුම දේවල් ගල්වී . . ඇයත් මාත් පමනක් එකෙනෙකා හඳුනාගැනීමේ වෑයමකින් එකිනෙකා දෙස නොත් නොපියා බලා සිටිනවා වැනිව මොහොතකට දැනෙන්න පටන් ගත්තා . . .

වජිරා චිත්‍රපටයට නන්දා මාලනී මහත්මිය ගැයූ ගීතයක් වහා එක්වරම මගේ හදවත ආක්‍රමනය කලාක් මෙන් දැනුනා . . .

"දෙනෝ දාහක් නුවන් අතරේ . . .

"දෙනෝ දාහක් නුවන් අතරේ
කවුරුදෝ මා . . . .
තනිකලේ . . . .
තනිකලේ . . . .
පාසැල් බිමේ . . . "

වජිරාට සිතෙන්නට ඇත්තේත් මට මේ දැන් සිතෙන දේම වන්න ට ඇති . . . ඉමාශාට සිතෙන්නේත් වජිරාට සිතුනු දේම වන්නට ඇති . . . කියා මා ඒ මගේ සිත ආක්‍රමනය කල හැගීම ඒ පැත්තට මේ පැත්තට පෙරල පෙරලා බලන්නට වූවා . . . මෙය පාසැලක් නොවුනත් . . පාසැලට තරම්ම ගෞරවයක් . . ආදරයක් ඇති අධ්‍යාපන ආයතනයක් . . . එනයින් ඒ ගීතයේ පවසන සිදුවීමත් මේ දැන් අප අතර සිදු වෙමින් පවතින සිදුවීමත් දෙකක් නොව එකක් සේ හැඟීමක් දැනී ඒ හැඟීමේ වෙලී සිටින්න ලෝභ කමක් වැනි හැඟීමකුත් දැනෙන්නට වුනා

මා ආපසු ගොස් බංකුවේ වාඩිවී ඇතැයි අනුමාන කල තිලංශ ඔහුගේ කතාබහ නිමාවී ආපසු යන්නට පිටත් වීමේදී මා තවදුරටත් එතැන යැයි නොදන්නා කමින් එක් වරම මගේ ඇගේ හැපීමෙන් මා එතෙක් වේලා සිටි බන්ධනයෙන් . . . එසේත් නොමැති නම් නිද්‍රාමායාවක් බඳු තත්වයෙන් එක්වරම මිදෙන්නට වුනා . . . .

"සොරි නිනෝ. . මම හිතුවේ උඹ අපේ පේලියට ගිහින් ඉඳ ගන්න ඇති කියලා . . . "

"ම් ම් ම් ම් ම් . . . "

මගේ කෙඳිරිල්ලක් බඳු පිලිතුරෙන් විපක්ශිත වූ මිතුරන් තිදෙනාගේම නෙත් හා හිස් වහා මා වෙතත් . . . මගේ නෙත් නතර වී ඇති ඉස්සව්ව දෙසටත් එහා මෙහා දෙටුන් විටක් ගමන් කලේ මේස පංකාවක් ඒ පැත්තටත් මේ පැත්තටත් කැරකෙනවාක් මෙන් නමුත් ලතාවකට නොව වේගයෙන් . . . .

"උඹට පිස්සුද . . . මේ දැන් ටිකකට කලින් චා වෙන්න බැනුම් අහගෙන . . . මෙතන ඇවිල්ලා අනිමිස ලෝචනේ . . "

ඈ මට කතා කල ආකාරය නොහොඹිනා යැයි උපකල්පනක කරගෙන ඒ වෙනුවෙන් මාත් සමඟ හවුලේ ඈ සමඟ තරහ වීමට කැමති මගේ මිතුරන් පිරිසෙන් කටකාර ම එකා වූ තිලංශ පවසනවා . .

"යමං යමං . . . අනිමිස ලෝචනේ හරි සත් සතිය හරි පස්සේ වෙලාවක රඟ දක්වමු . . . දැං යමං ඉඳ ගන්න අන්න සර් එනවා පේනවා හෝල් එකට . . . "

සාරංග අපි හැමෝවම තල්ලු කරද්දී අපි කෝච්චියක පෙට්ටි මෙන් එකා පසු පස එකා වශයෙන් අපේ බංකුවට ගොස් ඉඳ ගත්තා . . .

පංතියට එන ගමන් මින් මතු ඈ දිහා නොබලමි . . . ඈ සමඟ කතා නොකරමි කියා සිතාගෙන ආවත් අහම්බයෙන් මගේ නෙත් ඇගේ නෙත් සමඟ ගැටීමත් . . . එසේ ගැටීමේදී ඒ නෙත් වල දුටු සමාව ඉල්ලන පනිවිඩයත් දුටු මට අපි ඉඳගෙන සිටි බංකුවට ආ පසුත් ඒ සිදුවීම ගැනත් ඈ ගැනත් නොසිතා සිටීම අපහසු කාරයක් බව වැටහුනා . . . කෙසේ නමුත් ඒ මොහොතේ සිට කෙසේවත් මගේ සිත පාඩම් වල නොරැඳී ඒ සිදුවීම පිලිබඳ නැවත විශ්ලේශනයක යොමුවුනා . . . .

මා විසින් සිදු කලේ බරපතල පාපයක්ද . . . එතරම් විශාල ආයුධ වලින් පහර දීමට තරම් මගේ මුවින් පිටවූ වචන අශෝභනයිද . . . ? මා තුල ඇති කලේ නොසන්සුන් බවක් . . .

එසේ වරෙක මා මගේම සිත විසින් චෝදිතයෙකු බවටද . . වරෙක පැමිනිලි කරුවෙකු ලෙසටද පත්කර මගේ සිතෙන්ම තීන්දු අසා සිටීමෙදී මට ලැබුනේ පරස්පර විරෝධී තීරන . . .

නැත කෙසේවත් නැත . . .මා කිසි වරදක් කර නැත . . මා විසින් කලේ. . මගේ මුවින් පිටාර ගැලුවේ මගේ වයසේ පසුවන ඕනෑම යෞවනයෙකු (විශේෂයෙන් මවගේ පරම්පරාවේ ජාන වලින් ලැබුනු අහිතකර ත්‍යාගයකැයි විටෙක සිතෙන මුඛරිකම හෝ වාචාල කම නොඅඩුව පිහිටි යෞවනයෙකු ) අසංවර ලෙස නොවුනත් අන් යුවතියන්ගේ සායවල් වල දිගට වඩා එක අඟලක් හෝ අඩුවෙන් ඇති සායක් ඇඳි ඕනෑම යුවතියකට . . මානවිකාවකට, ඒ යෞවනයාගේ සිතේ ඇගේ නිරාවරන වටොර දැකීමෙන් හටගන්නා කුතුහලය, ආශාව පිරුනු සිතේ පිටාර ගැලීම ගලා යා හැකි ආකාරයටය

ඉදින් වරදකරු මාද . . . ?

මවගේ පරම්පරාවේ ජාන වලින් ලද ත්‍යාගය වූ වාචාල කමද . . ?

නිරතුරුව, සමවයසේ මානවිකාවන්ගේ පිරුනු හෝ පිරීගෙන එන ලය මඩලක් එසේත් නැතිනම් නිරාවරනය වූ වටොරක් දැකීමේ කුතුහලයකින් පෙලෙන යෞවන වියද . . .?

මට කිසිවකට එක් වරම "මොහු තමයි වැරදිකාරයා . . " කියා ඇඟිල්ල දිගු කරන්න නොහැකි ලෙසක් දැනුනා . . .

මවගේ පරම්පරාවේ ජාන ගැන සිහි කරද්දී . . . මවත් පියාත් අතර කිසියම් බහින්බස් වීමක් ඇතිවී . . . පියා පැවසූ දේවල් වලට ඔහුගේ තර්කය හෝ අදහස සම්පූර්නයෙන් පරාද කල හැකි යමක් මව පැවසූ අවස්ථා වල පියා ඔහුගේ පරජය භාර ගැනීමට ප්‍රථම පවසන යමක් වහා මගේ මතකයට නැගුනා . . . .

"අහ් ඔයා ඉතිං මැගිලින් අක්කගේ දුවනේ . . . අම්මට වගේ දුවලටත් බැරුවායැ ඇට නැති දිව ඕන අතකට හරෝලා කට ගහල දිනන්න ඕන වාදෙකින් . . "

ආත්තම්මාගේ විශේෂ හොඳ ගුනයක් ලෙස මා දකින කියන්න තියෙන දේ පොල්ලෙන් ගැහුවා වගේ මූනටම කෙලින් කියන ගතියට පියගේ ඇති අකමැත්ත ඔහු ප්‍රකාශ කරන්නේ එසේයි . . .

තවදුරටත් කල්පනා කිරීමේදී ඇයට එසේ මට බැන වැදීමට සාධාරන හේතු තිබුනා නොවෙදැයි කියා මට සිතෙන්නට වුනා . . . ඈ සිටියේ ඇගේ යෙහෙලියන් රැලෙන් වෙන්ව තනිවම . . .ඈ ඊටත් වඩා කොට සායවල් මෑට ප්‍රථම ඕනෑ තරම් පංතියට ඇඳගෙන විත් තිබුනි . . . ඇගේ සායේ දිග හෝ උස මීට පෙර මට ප්‍රශ්නයක් නොවූයේ මන්ද කියා ඈට නොසිතුනාද . . ? එය මීට පෙර මගේ නෙතට හසුවී එයට විරෝධයක් ඇත්නම් එය විහිලුවක් ලෙස මගේ මුවින් මීට පෙර එලියට නාවේ මන්දැයි කියා ඈට නොසිතුනාද . .

මෙසේ සිතද්දී ඈ එසේ බැන වැදීම ඇගේ පැත්තෙන් සිදුවිය යුතුම දෙයක් ලෙස මට සිතෙන්නට වුනා . . .

කෙසේ නමුත් පසුකාලයක මේ සිදුවීම ගැන සිහිකරද්දී සහ අපි කතා බහ කරද්දී එසේ ඈ මට බැන නොවැදුනානම් අප අතර කිසි කලෙක ආදරයක් ඇති නොවන්නට ඉඩ තිබූ බව අපිට පසක් වුනා . . . එලෙස බැන වැදීම හැර ඇගේ වයසේ වෙන මානවිකාවන් කරන පරිදි ඔරවාගෙන, රවාගෙන, ගස්සාගෙන පිටවී ගියේ නම් අප අතර ඉන් එහාට කිසිදු හිතවත්කමක් ගොඩනැගෙන්නට කොහොත්ම ඉඩක් නොතිබුනු බව අප තේරුම් ගත්තේ බොහෝ කාලයකට පසුවයි

ඒ සිදුවීමෙන් පසු එතෙක් වරා මලක් මෙන් නිදහසේ සතුටින් පංතියේ පා වෙවී උන් මා අනවශ්‍ය බරක් හිස දරා ගත්තෙකු ගේ මෙන් හැඟීමකුන් පෙලෙන්නට වුනා . . මෙතෙක් හැම කෙනා සමඟ ම සුහදව සිනා සී . . . යම් කිසි කවට කමක් කරමින් කල් ගතකල මට මින් පසු පංතියේදී යම් කිසිවකුගේ දෙනෙතක් මගහැර අන් අය සමග පෙර මෙන් සුහද ලෙස හැසිරිය යුතු බව මගේ සිතෙන් නිතර කරනු ලබන අනතුරු ඇඟවීම මහා හිසරදයක් ලෙස මට දැනෙන්නට වුනා . .

එලෙසින්ම අනෙත් අතට මා එසේ මග හරින්න හදන දෑසම මා පසුපස හඹා එනබව ත් මට ඉවකින් මෙන් දැනෙන්නට වූවා . . . විශේෂයෙන් ගැහැනු ළමයෙකු සමඟ කතා කරන අවස්ථාවකදී මගේ පසුපස ලුහුබඳින දෙනෙතෙන් වසන් වී පැවසීමට ඇති යමක් පැවසීමට මා දරන උත්සාහය තවදුරටත් මට හිරිහැරයක්ම වූවා . . . කෙසේ නමුත් ඒ දෑස මග හරින්න ගත් උත්සාහයේදෙ සිදුවූයේ තවදුරටත් මගේ දෙනෙතත් ඒ දෙනෙතේම පැටලීම පමනයි . . .

"මචං, උඹලට නිකමට හරි හිතිල තියෙනවද ස්වර්ණතිලකාව කවුරු හරි උස්සගෙන ගියා නම් උද්දාල බමුනා කොහොම මූන හදාගෙන ඉඳීවිද කියලා . . ."

" ම් ම් ම් හු . ."

"මේ බලපන් නිනේශ්ගේ මූන . . ෂුවර් එකටම මේ වගේ වෙන්න ඕන . . "

"නෑ නෑ බං ඊට වැඩිය හොඳ උදාහරනයක් තියෙනවා . . . "

"ඒ මොකද්ද . . "

"අර මචං ගගෙන් එගොඩ කරන්නම් කියලා දික්තලාව අරගෙන දික්පිටියා පැනලා ගිය වෙලාවේ . . . කාලගෝලයා ඉන්න ඇත්තේ මේ විදිහට . . ."

"අයියෝ දහයට අරගෙන දහදාහට දීලා වගෙනේ . . ."

"අඩෝ එහෙනම් සතුටු වෙන්න එපයි . . ."

"අහ් නෑ දහදාහට අරගෙන දහයට දීලා වගේ . .. "

"අනිච්චේ දුක්ඛේ සංසාරේ කිව්වලු . . . "

මගේ වෙනස් හැසිරීම මගේ මිතුරන්ගේ සමච්චලය නිතර ලක්වුනා . . . ඒ අතරම ඉමාශා ව මගේ මිතුරන් ඔවුන්ගේ පොදු තරහකාරියක් ලෙස සලකන්නට ත් පටන් ගනු ලැබුවා . . . .

මේ දිනවලදීම, පංතියේ පිරිමි පේලි වල ඉදිරියේ සිට තුන්වන පේලිවල සිටි මට ආසන්නයෙම අසුන්ගන්නා තිලංශත්, ගැහැනු පේලිවල ඉදිරියේ සිට තුන්වන පේලිවල අසුන්ගන්නා හිරුෂිත් අතර පෙම් සබඳකමක් ඇතිවීම දෛවයේ හාස්කමකින් සිදුවූවාක් මෙන් වූවා . .

ඉමාෂා ත් බොහෝ විට අසුන් ගත්තේ හිරුෂි සමීපයෙන් . . . ඔවුන් දෙදෙනා වෙනස් බාලිකාවන් දෙකක ඉගෙනුම ලැබුවා වුවත් කුමක් හෝ හේතුවකින් මෙන් ඔවුන් ළබැඳි මිතුරියන් වූවා . . . පංතියේ ඩෙස්ක් පේලි අතර ඇති ගමන් ගන්න හිස් තීරුවට ලඟින්ම ඉඳගැනීමට තිලංශ පුරුදු වූ සිටි අතර ඔහුගේ ලඟින්ම මම ත් ඊලඟට රුසිත් ත් සාරංගත් වශයෙන් අපේ අසුන් ගැනීමේ ගිවිසා නොගත් පුරුද්දක් තිබුනා වුවත් සමහර අවස්ථාවන් වලදී තිලංශ මට කෙලවර අසුන ලබා දුන්නා

සමහර අවස්ථාවන් වලදී පොතක් ඇතුලත දමා හිරුෂි හා තිලංශ විසින් කරනු ලබන ලිපි ගනුදෙනු ඉමාෂා විසින් මා හරහා තිලංශ ත් මා විසින් ඉමාෂා හරහා හිරුෂිට ත් වශයෙන් අතින් අතට යවනු ලබනවා . . . කෙසේ නමුත් ඒ සැම මොහොතකදීම ඇයගේ දෙනෙතේ වැඩි වේලාවක් නොරැඳෙන්න මා විසින් බොහෝ වෙහෙසක් ගනු ලබනවා . .

එසේ මා කෙලවරේ අසුන් ගත් දිනක අපි අතර විහිළු තහලු එහාට මෙහාට හුවමාරුවෙමින් තිබියදී එක් වරම ගැහැනු පේලි පැත්තෙන් නැගුනු ශබ්දයක් නිසා මා හිස හරවා බැලුවා . .

"ෂූ . . ෂූ. . ."

"අහපන් තාත්තා නයෙක් ද කියල . . . මෙයත් ෂූ ෂූ ගාන්නේ . . " ශබ්දය ඇහුනු පැත්තට හැරෙන්නත් කලින් තිලංශ මගේ කනට කර යමක් පවසනවා . .

ඉමාෂා ගේ අතේ පුංචි බබෙකුගේ පිට කවරයක් ඇති සමරු පොතක් හා මල් මල් පිටකවරයක් දැමූ ටීන් බූක් එකක් . . ඇගේ කාන්තිමත් දෑසේ අහිංසක බැල්මක් . .

ටීන් බුක් යනු පිටු අසූවේ එකසිය හැටක හෝ දෙසීයක අභ්‍යාස පොතක් එක කොටසකට පිටු දෙකක්, හතරක් හෝ පහක් වන ලෙස වෙන් කර කොටස් එසේත් නැතිනම් මාතෘකා පනහක් සීයක් හෝ ඊට වැඩි ගනනක් සඳහන් කර . . . මිතුරු මිතුරියන් ගේ ප්‍රියතම හා අප්‍රියතම දේවල් ගැන අදහස් හුවමාරු කර ගැනීමට එකල අපි භාවිතා කල අපගේ යෞවනයටම පොදුවූ විශේෂිත පොතක් . . . මෙහි දී අප බොහෝ විට ලාංකේය, බොලිවුඩ්, හොලිවුඩ් හා ලෝක සිනමාවේ හා කලාවේ අපගේ ප්‍රියතම නළුවන්, නිලියන්, චිත්‍රපටි, නාට්‍ය, පොත්, කතුවරු, ගීත, සිත සසල කල සිදුවීම්, වැඩියෙන්ම ආදරය කරන අය, ගෞරව කරන අය, පවුලේ විස්තර, අනාගත බලාපොරොත්තු ආදී වශයෙන් අප එතෙක් මෙතෙක් ජීවිතයේ අත්දැකීම් හෝ ඇසූ දුටු දේවල් අලලා මාතෘකා සකස් කර ගත් අමුතුම අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රමයක් . . . එසේ එයට යෞවනත්වයේ පොත හෙවත් ටීන් ඒජ් බුක් ලෙස අපම සකස් කර ගත් නමක්ද යොදා ගනු ලැබුවා . . සමහර අය මෙය ෆේවරිට් බුක් ලෙසත් හැඳින්වූවා ..

"ඇයි . . "

ඈ තරහකාරියක් ලෙස සැලකිය යුතුයි කියා පූර්ව නිගමනයන් තිබුනා වුවත් මගේ කටහඬේ තරහක් නොතිබූ වග මට තේරුනා . . .

"නිනේශ් . . . මේ මගේ ටීන් බුක් එකයි . . ඔටෝ ග්‍රාෆ් එකයි . . හරහා නැතුව ඔයා මේකේ ලියල දෙන්න පුලුවන්ද . . . "
එතරම් කාරුනික ඉල්ලීමක් ඉවත හෙලන්න තරම් මා දැඩි හදවත් ඇත්තෙක් නොවෙයි . . . .

"හ්හ්හ් ම් ම් ම් ම් . "

මම හෙමිහිට නමුත් ඒ දෑස් දෙස වැඩි වේලා නොබලන්නත් . . . ඇගේ ඇඟිල්ලක් වත් මගේ අතේ නොගැටෙන්නත් පරිසම් වෙමින් ඒ දෙකම ගත්තා . . .

මතු සම්බන්ධයි . . .

Thursday, October 15, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (තුන්වන කොටස)


පළමුවෙනි කොටස

දෙවෙනි කොටස

අප ඉගෙනීම සඳහා ගිය උපකාරක පංතියේ හිමිකරුවා වූ ගණිත ගුරුවරයා ඔහුගේ අධ්‍යාපන ආයතනයේ දහය වසර සිසුන් කන්ඩායම් තුනක් සඳහා සතියකට වෙන වෙනම පංති තුනක් පවත්වනු ලබනවා . . .

එකතරා කාලසීමාවකට පසු පුනරීක්ෂන පංතියක් පැවැත්වීමේදී නැතහොත් විශේෂිත ලෙස සකස් කල නිබන්ධනයක් එලි දැක්වීමේදී, පංති තුනේම සිසු සිසුවියන් එක් රැස් කර වඩා විශාල හා ඉඩ පහසුකම් සහිත නුගේගොඩ ‍YMBA ආයතනයේ ශාලාවක් වෙන් කරවා ගෙන පංති තුනේම අය එක තැනකට රැස් කරවා ශබ්දවාහිනී යන්ත්‍ර පවා යොදාගෙන සම්මන්ත්‍රනයක් ලෙස සමහර සෙනසුරාදා හෝ ඉරිදා දවසක පවත්වන විශේෂ පංතිය අප සැමටම නවමු අත්දැකීමක් වූවා . . බොහේ විට එවන් දිනයක් උදාවන තුරු අපි ඇඟිලි ගනිමින් සිටියා කීවොත් වඩා නිවරදියි . .

"මචං රුසිත් . . . උඹත් එනවා නේද මේ වීකෙන්ඩ් එකේ YMBA එකේ තියෙන සෙමිනා එකට . . . "

"නැතුව නැතුව . . .මම මේ ඒක එනකම් පුල පුලා බලා සිටියේ . . "

"ඒ මොකෝ . . "

"අපෝ මට මේ අපේ පංතියේ බටකොල ආච්චිලා ටික දැකල දැකල එපා වෙලා . . . අනිත් පංතියේ වත් නාග ලොවින් බැස නාලිය ගමනින් එන එරන්දතියක් ඉඳීවිද කියලා බලා ගන්න ඉන්නේ . . . "

"බලන් ඉඳපන් . . එරන්දතී නාලිය ගමනින් ඇවිත් ස්වයංවර මල්මාලේ උඹේ කරේ දානකම් . . . නැද්ද නිනේශ්? .. "

"මචන් . . ඔය එරන්දතී එන්නේ එතකොට බඩ ගාගෙනද . . .?"

"ඇයි උඹ එහෙම අහන්නේ . . . "

"ඇයි බං . . නා ලිය කියන්නේ හැපින්නට නේද . . . ? කොයි හැපින්නටද මචං කකුල් තියෙන්නේ . . "

"හූ . . . ඌ . . . . ."

"එහෙනම් ඉතිං නිනේශුයි මායි ඔය සෙමිනා එකට නෑවිත් ඉන්නම් . . " තිලංශ පවසන්නේ බොහෝම බැරෑරුම් විදිහට . .

"අඩෝ . . එහෙම කරන්න එපා . ." සාලින්ද බයවෙලා . .

"උඹල නැතුව . . විශේෂයෙන් නිනේශ් නැතුව අපිට ඉතිං හිත ගිය මාලිගාවක දොරට තට්ටු කරන්න බැරිවෙනවා . . ."

"ඔව් මූ නම් බය නැතුව ඕනම කෙල්ලෙක්ට ටෝක් කරනවනේ . . . "

"ඇයි උඹල දෙන්න නෑවිත් ඉන්න හදන්නේ . . . ?" රුසිත් අහන්නේ සැකයෙන් වගේ . . .

"ඇයි බං නිනේශුයි මායි වගේ හැන්ඩි කොල්ලෝ ඉන්නැද්දී ඇස් පෙන කෙල්ලෙක් ඇවිත් ස්වයංවර මල් මාලේ දායිද රුසිත්ගේ කරට . . " තිලංශගේ කතාවෙන් හැමෝටම හිනා . . .

"හරි හරි මල්ලී . . දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා . . . අපටත් දවසක හඳ පායනවා . . . නැද්ද කියලා බලමුකෝ . . . " රුසිත් කවකටු පෙට්ටියට තට්ටු කර කර පොඩි සින්දු කෑල්ලක් එකතු කරනවා කතාව මැදට . . .

"සාරංග මේ . . . උඹේ ඔය හඩු ඩෙනිම නැතුව වෙන ඕන එකක් ඇඳන් වරෙන් එදාට හොඳේ . . අපි මේ ගඳ සුවඳ නොදැනෙන උන් වගේ හිටියාට අනිත් ක්ලාස් එකේ කෑලි කැමති වෙන එකක් නෑ ඔය හඩු ගඳට . . . නැත්තම් අපේ ලකුනුත් කැපෙනවා . . "

"අඩෝ හාල්පොත වගේ මට තියෙන්නෙත් මෙච්චරයි . . මේක ඇඳන් එන්න එපා නම් මම නිකං එනවා . . . "

"අපෝ මූ එහෙම ආවොත් අපි ඔක්කෝටම හුලං තමයි . . ." තිලංශගේ කතාවෙන් හූ හඬ සිනා හඬ උතුරා යනවා . .

සොයුරියන් දෙදෙනෙකුට මැදිව, ඔවුන්ගේ මිතුරියනුත් . . . ගමේ සම වයසේ ළමෝ ගැහැනු පිරිමි බේදයක් නැතුව ඇසුරු කරමින් එක ගොඩේ හැදී වැඩීමෙනුත් . . . දහම් පාසලේදි ගැහැනු ළමයින් ඇසුරු කිරීමෙනුත් ලත් ආභාශයෙන් . . සම වයසේ අන් පිරිමි ළමයින් ගැහැනු ළමයින් ඉදිරිපිට සබකෝලයෙන් දනිස් වෙව්ලද්දී . . කිසි බියක් සැකක් නැතුව ඕනෑම ගැහැනු ළමයෙකු සමඟ සුහදව මූනට මූන කතා කිරීමේ හැකියාවක් මාහට තිබිණි . . .

ඒ හැකියාවෙන් උපකාරක පංතියේ ගැහැනු ළමයි සහ පිරිමි ළමයින් එක එක ආකාරයට ප්‍රයෝජන ලබා ගැනීමටත් පුරුදුවී සිටියා . . .

"නිනේශ්. . . අර දිල්ශිගෙන් අහපන් මචං මම එයා ගන බලාපොරොත්තු තියා ගත්තට කමක් නැද්ද කියලා . . "

"නිනේශ් . . සාරංග ට මේ මගේ ෆේවරිට් බූක් එක දෙන්නකෝ මම දුන්න කියලා . . . හෙට ක්ලාස් එකට එනකොට ඕකේ ලියලා ගෙනත් දෙන්න කියන්න . . "

"මචං . . හිරණ්න්‍යාට මේ ලියුම දීපන්කෝ . . "

"නිනේශ් අර ශිහාන්ට කියන්න මගේ පස්සෙන් එන්න එපා මම එයාට කැමති නෑ කියල . . "

ඔය ආකාරයට දෙගොල්ලෝ අතර සන්නිවේදන හුවමාරු කරුවෙක් ලෙසට මා පත් වීම මගේ ඒ හැකියාව නිසාම සිදුවූවක් . . . සමහර විටෙක එය මට කරදරයක්ද වූ වා . . .

"ඕක මම කියන්න ඕනෑයැ . . ඔයාම කියන්නකෝ . . ."

"අනේ මේ මට නම් බෑ මචං තෝල්ක වැඩ කරන්න . . "

කියා සමහ අවස්ථාවලදී ම මග හරින්න උත්සාහ කලා වුවත් අකමැත්තෙන් හෝ ඔවුන්ගේ පනිවිඩ හුවමාරු කිරීම බොහෝ විට මා විසින් සිදු කරනු ලැබුවා . . . ! !

. . . . .

ගණිත සම්මන්ත්‍රනය . . .

අපේ පංතියේ සුපුරුදු මූනු වලට අමතරව අනිත් පංති දෙකේ අප නොදුටු මූනු රාශියක් . . . කළු මූනු . . සුදු මූනු . . ලස්සන මූනු . . අවලසන මූනු . . රතු, කහ, නිල්, කොල, තැඹිලි, කලු, සුදු . . . සවුම්, සායවල්, කලිසම්, ෂර්ට් . . . නූල් එල්ලෙන, රෙදි පටි එල්ලෙන බැගී කලිසම්, සාක්කු රාශියක් ඇති කාගෝ පෑන්ට් . . . බුරිය ලඟට, බුරියෙන් උඩට, පශ්චත්භාගයේ මැදට, හිප් එකට ඇඳි කලිසම් . . සායවල් . . . විලාසිතා ලෝකයක් . . . සතුටු සිනා, විහිළුවට බැන අඬගසා ගැනීම්, එකිනෙකාට එරෙහි උපහාස, අපහාස මේ සියල්ලෙන් සපිරි ගණිත සම්මන්ත්‍රනය . . .

එකම කාල ගෝට්ටියක් වූ ශාලාව, ගුරුතුමා ඔහුගේ ගැඹුරු කට හඩින් "ළමයි . . . . " කියූ විගස සියල්ල නිශ්චල වන්නේ මහා ධාරානිපාත වර්ෂාවක් . . කිසියම් වූ අද්භූත බලවේගයකින් එක්වරම නතර කල ලෙස . . . ඒ නිශ්චලතාවය ශාලාවේ පසුපස කෙලෙවරේ සිසුවියකගේ කවකටු පෙට්ටියේ ඇති . . කොන්ඩ කටුවක් බිම වැටුනත් . . . ඉදිරි පෙළ වල සිටින සිසුන්ගේ කනට පවා ඒ ශබ්දය දැනෙන තරම් . . . !

කුලක . . දර්ශක . . . ත්‍රිකෝණමිතිය . . . සාධක සෙවීම . . . කුඩා පොදු ගුණාකාරය . . . මහා පොදු සාධකය . . . ශබ්දවාහිනියෙන් පිටවන වචන ශාලාවේ බිත්තිවල වැදී දෝංකාර දෙනු ලබනවා . . . ලොකු පොල්ගෙඩි ප්‍රමානයේ අකුරු රතු, නිල් මාකර් පෑන් වලින් විශාල සුදු කොල දැමූ බෝඩ් එකේ ඇඳෙනවා . . .ඉල්ලක්කම් කැපෙනවා . . කොල පෙරලෙනවා . . .

ඒ අතර අපේ හිත් (මගේ හිත ???) මේ කිසිම පාඩමක, අකුරක, ඉලක්කමක නොරැඳී ශාලාවේ සවිකර ඇති විශාල බිත්ති ඔරලෝසුවේ දෑස් නතරවී තත්පර කටුවත් . . විනාඩි කටුවත් සමඟ දබරයක පැටලිලා . . .

"මේ තමුසෙලාට ඔයිට වැඩිය හයියෙන් දුවන්න බැරිද ඕයි . . "

"අපෝ තමුසෙලා කැඳ බීලද ඉන්නේ . . ?"

"මේ මගුල් ඔරලෝසුව හදපු එකාට බැරි උනානේ මුන් දෙන්නට මීට වැඩිය හයියෙන් දුවන්න පුලුවන් විදිහට හදන්න . . "

"අයියෝ . . විවේක කාලෙට තව පැය භාගයක්ම තියෙනවා . . ."

එහාටත් නැතුව . . මෙහාටත් නැතුව හිත ඔහේ පාවෙනවා . . . ඒ අතර හිතට තරවටුවක් දාගෙන “මේ පිස්සු නැතුව පාඩම අහගනින් . . ගනන් හදපන් . .” අමාරුවෙන් ගනනක් දෙකක් හැදෙනවා ඔන්න . . .

"ළමයි . . . ඔයාලා දැං වතුර එකක් . . තේ එකක් බීලා විනාඩි විස්සකින් ආපහු එන්න ඕනා . . " ගුරුතුමාගේ වචන කනට මී පැනි වක්කරනවා වගේ . . . ඔහුගේ වාක්‍ය නිමාවෙන්නත් ප්‍රථම ළමයි එලියේ . . .

මිදුලේ වතුර කරාමය ලඟ පොදි ගැසුනු කොල්ලෝ, කෙල්ලෝ එකා පිට එකා පොර කනවා . . . වතුර බින්දු එහාට මෙහාට විසි වෙනවා . . . දෙකට නැමී වතුර බොන ගැහැනු ළමයින්ගේ කකුල් අසල නතර වුනු සමහර කෑදර දෑස් කාටූන් වල මෙන් බාලිකාවන්ගේ කකුල් ලඟටම ගොස් නැවත ආපසු පැමින ඇස් කුහර තුලටම රිංගනවා . . .

"ආ සුදු නංගී . . වතුර බොන්න ආවද . . ?"

"ආ සිරිපාල අයියා . . . අනේ නෑ . . මම මේ වතුර බොන්න ආවා . . . "

"හූ . . . ඌ . .. "

"අඩෝ . . .ව් . . . පීචං නොවී මෙහේ වරේ . . න්. . "

"ඒයි සෙවලයා . . . නෑවා ඇත්ද . . . ඉඳා සබන් . . "

"මචං . . ඔය කෙල්ලෝ ගලෝපු කලිසම ඇඳ අනින් . . හූ . . . "

පිස්සු විකාරයි . . . කට පියාන ඉන්න බැරි කොල්ලන්ගේ වචන පියාඹනවා . . . සමහ විසේකාර කෙල්ලෝ ඒවාට පිළිතුරු බඳිනවා . . . අසන්නෝ, ප්‍රේක්ෂකයෝ අත්පොලසන් දෙනවා . . . හූ කියනවා . . . ඇනුම් පද . . උපහාස කතා පුපුරා යනවා . . . සිනා උතුරා යනවා . . .

ඔය අතරේ අපි . . . සුපුරුදු පරිදි අන්තිමට කරාමය ලඟට යන අපි . . බලා ඉන්නවා අපේ එක් ප්‍රියතම බාලිකාවන්වූ . . . XXX බාලිකාවන් කරාමය ලඟින් ඉවත් වෙන තුරු . . .

අපේ මිතුරු කැලට සුහද සිනාවකින් සංග්‍රහ කරමින් ආපසු ටික දුරක් ගිය බාලිකා රැලේ එකියක් . . යලිත් වරක් කලබලයෙන් කරාමය ලඟට ආපසු දුවගෙන එනවා

ඒ වන විට දෙකට නැමී කරාමයට පහත්වී දෑතට එකතුවන වතුර බිබී උන් මා සිටි ඉරියව්වෙන්ම හරී බැලුවේ ඒ අඩි වෙනස් අඩි ශබ්දය නිසාවෙන්මයි . . .

එසේ මා මුලින්ම දුටුවේ . . . කළුපාට පටි සහිත විශාල වටිනාකමක් ඇතියි සිතුනු කාන්තා සපත්තු දෙකකින් සැරසි, මහත ද නොවූ . . කෙට්ටු ද නොවූ මනාව පිහිටි දෙකකුලක් . . . සිටි ඉරියව්වෙන්ම මගේ දෙනෙතේ බැල්ම සපත්තු දෙකේ සිට අඟලෙන් අගල . . . ඉහලට එසවුයේ හිසත් බෙල්ලත් ඒ සමගම ඉහලට එසවෙන අතරේ . . .

බත්කෙන්ඩ, දනහිස, දනහිසේ සිට අඟල් අටක් පමන ඉහලින් කළුපාට සාය වාටියක් . . . ඉන් ඔබ ඉනේ සිට දනහිසෙන් අඟල් අටක් ඉහලදී නතර වුනු තට්ටු දමා මැසූ කෙටි සාය සම්පූර්නයෙන්ම . . . ඉන් උඩට තද කහ පාට රෙද්දකින් සාක්කු දෙකක් ද සහිතව, කළුපට බොත්තම් අල්ලන පටියක් මැසූ කාන්තා කමිසයක් . . . බෙල්ලේ රිදී පාට හදවතක හැඩය ඇති පෙන්ඩන්ට් එකක් සහිත හීනි රිදීපාට චේන් එකක් . . . තලෙළු වුවත් ශර්මිලා තාගෝර්ගේ මුහුන බඳු කම්මුල් ටිකක් ඇතුලට ගිලී ඇති නමුදු ඇහැ යටදී කම්මු ටිකක් ඉස්සුනු ලස්සන මූනක් . . බෙල්ල ලඟට කෙටි වන්නට කොන්ඩය බොබ් කට් කැපූ . . . තද කලු බෝලැති දිගු දෙණෙත්තියක් මා වතුර බී නිමා වෙන තෙක් බලා සිටිනවා දුටු මා, දෙකට නැමුනු ඉරියව්වෙන් කෙසේ වෙනස් වී කෙලින් වූවා දැයි සිතා ගත නොහැකි වූවා . . .

ඇගේ සම්පූර්න රූපය ටිකෙන් ටික මා නැරඹුවා වුවත් එය සුලු නිමේශයක් පමනක්ම වෙන්න ඇති . . . එසේ ඈ දුටු මා ඉබේ සිට ගත්තාද නැතිනම් ඇගේ දෙනෙතේ කාන්තියේ බලයෙන් මා සිට ගැන්වූවාද කියා මට සිතා ගැනීම පවා අපහසු වූවා . ..

"පිස්සු හැදෙනවා . . ." (ඉබේ ම පිටවූ වචන . . )

"පුහ් . . මාරයිනේ . . . මෙයාගේ සායේ දිග . . . "

සුපුරුදු පරිදු මගේ වාචාල කට, දිව මා සිතන්නත් කලින් වචන එලියට විසි කරලා . .

ඒ වචන ඇසුනු සැනින් ඒ කන්තිය විහිදුනු දෑසින් ඊලඟට පිට වෙන්න ගත්තේ ගිනි දලු වැනි බැල්මක් . . .

"ඇයි මොකෝ . . . තමුසෙට අමාරුද . . . තමුසේ අරන්දීලද . . . තමුසෙගේ අප්පච්චි අරන් දීලාද . . "

වෙනදට කෙල්ලෙක් එකක් කීවොත් එකට හතරේ අනුපාතයෙන් පිලිතුරු දෙන මට මේ මොකද වුනේ . . .??

"කියපං මොනා හරි කියපං මොනා හරි . . " උඩු හිත කෑ ගසනවා

"මොනා කියන්නද . . . ?" මුලින්ම දුටු ඒ දෙනෙතේ කාන්තියෙන් වශීවූ යටි සිත පිලිතුරු දෙනු ලබනවා . . .

ඉක්මනින් වතුර බිව් ඈ මට රවාගෙන කරාමය ලඟින් පිට වුනා . . .

හූ හඩවල්, උපහාස කතා කිසිවක් නෑ . . .

මා උන් තැනම ගල්වී ඇතියි මට සිතුනා . . .

වට පිට බැලූ මා දුටුවේ මා පමනක් නොව මගේ මිතුරෝත්, xxx බාලිකාවෝත් ගල් ගැසී ඇති බවයි . . .

"ඉමාෂා . . උඹට පිස්සුද . . ?"

"පොඩි විහිළුවකට උඹ ඔච්චර තරහ ගන්න ඕනද. . ?"

"කොයි කොල්ලට බැන්නත් නිනේශ්ට බනිනවද. . "

ඌ විතරයි අපිත් එක්ක හොඳින් කතාකරන්නේ . . "

"ඌට කියලා දැං අපි මැසේජ් එකක් වත් පාස් කර ගන්නේ කොහොමද . . ?"

xxx බාලිකාවන්ගේ ශබ්දය ටිකෙන් ටික අඩු වෙමින් ගියා . . .

නමුත් මගේ කකුල් ? ?

කවුද මගේ කකුල් මැදි කරලා වටේට කොන්ක්‍රීට් දැම්මේ . . ? ?

"ඇයි මේ මගේ ඔලුව හිරි වැටිලා . . "

"මේ ලඟ තියෙන බෙලි ගහේ ගෙඩියක් වත් මග ඔලුවට වැටුනාද . . ?

මට හිතා ගන්න බැරි උනා . . . ! ! !

Wednesday, October 7, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (දෙවන කොටස)


පළමු කොටස . . .

ගල් පොත්තේ සිට මීටර් දෙසීයක පමන දුරින් තවත් පොකුණක් . . . ඒ පොකුණ දුටු මට අපේ පොඩි මාමා නිතර කියන උපහාස කතාවක් සිහියට නැගුනා . . .

“කොල්ලෝ උඹ දන්නවාද ඇයි මේ අපේ ගමේ මෙච්චර පොකුණු තියෙන්නේ කියලා . . . “

අම්මගේ මහ ගෙදර හෙවත් ආච්චිලගේ ගෙදර ගිය විටෙක පොඩි මාමාත්, රීටා නැන්දාත් ඔවුන්ගේ දරුවනුත් සමඟ එලියේ ලොවි බංකුවේ වාඩිවී හවස තේ බොන වෙලාවක පොඩි මාමා මගෙන් ඇහුවේ ආච්චී කොහෙද කියා බලන්න ගේ ඇතුලට එබී බලන ගමන් . . .

“නැනේ . . .” මම සැකයෙන් වගේ කිව්වේ රීටා නැන්දගේ මූනේ තිබුනු අමුතු හිනාව දිහා බලාගෙන . . .

“ඔය ඩ්‍රැයිවර් මාමලගේ ගෙට එහා ගෙදර ජේමිස් සීයා දන්නවා නේද . . . ?”

“ඔ . .. ව්. . . “

“ඔන්න දවසක් ජේමිස් සීයා ගියාලු ගමේ මන්ත්‍රී තුමා, ස්ටැන්ලි තිලකරත්න මහත්තයා මුන ගැහෙන්න . . .”

“ඉතිං . . .”

“ඔය ජේමිස් කාරයා බං ලොකු පිට්ටනියක් මැද්දෙදි හරි කුඹුරක් මැද්දෙදි හරි වැස්සකට අහුවෙලා වගේ තෙමුනොත් මිසක් හත් අවුරුද්දකින් නාන්නේ නැති මනුස්සයනේ . . .” පොඩි මාමා සද්දේ බාල කරලා කිව්වේ ආච්චීට ඇහුනොත් අනුන්ට අපහාස කරනවා කියා බැනුම් අහන්න වෙන නිසාවෙන්මයි . . .

“ගිහින් තියෙන්නේ ගමට පොකුණක් හදල දෙන්න කියලා මන්ත්‍රී තුමාගෙන් ඉල්ලීමක් කරන්න . . .”

“අහ් මට ඉතුරු ටික හිතා ගන්න පුලුවන් . .. “

“ඉතිං ඔය මනුස්සයගේ නොනෑමට පින් සිද්ධ වෙන්න එක පොකුණට පොකුණු හතරක්ම මන්ත්‍රී තුමා හදෝලා දීලා . . .”

. . . .

ගල් පොත්ත දෙපසින් ගලා යන ඇලට බැස මාළු අල්ලමින් සිටි කුඩා වුන් කීප දෙනෙකු විසින් . . . මහ නියර දිගේ පිය නැඟූ මගේ ගමන මොහොතකට නතර කරනු ලැබ, මගේ සිත එක්වරම අතීත මතක චාරිකාවක රැගෙන යනු ලැබුවා . . . .

මගේ අක්කාත්, අපේ අසල්වැසි ඇගේ වයසේ තවත් මිතුරියන් කිහිප දෙනෙකුත් සමහර නිවාඩු දිනවලට කිළුටු රෙදි රාශියකුත් රැගෙන ඒවා සෝදන්නත් කුඩා නංගිලා මල්ලිලාව රැගෙන ඔවුන්ව නාවන්නත් මේ පොකුණට රැගෙන එන්නේ ඒ සියලුම වැඩ සඳහා ළිං හැම ගෙදරකම තිබියදී . . .

තනියෙම ළිඳ ලඟට වී ඒ වැඩ කරනවාට වඩා කට්ටිය එකතු වී ඕපා දූප කතාවෙන් , විහිළු තහලු කරමින් ඒ වැඩකටයුතු කර ගැනීම ඔවුන්ට අමතර විනෝදයක් වූවාට කිසිදු සැකයක් නෑ . .

පොකුනට හැරෙන කුඩා දෙවට අසල නිවසේ අක්කාගේ මිතුරියන් දෙදෙනාවූ මිරිස් ගෙදර අචලා - චමිලා අක්කලාට (ඔවුන්ගේ පියා මිරිස් වැවිලි කරුවෙක් හෙවත් මිරිස් ව්‍යාපාරිකයෙක් නිසාවෙන් ඔවුන්ගේ නිවස මිරිස් ගෙදර යනුවෙන් ගම්වාසීන් හඳුන්වනු ලබනවා . . ) අත වනනවා දකින නඩයේ එකියක් . . .

"උඹ නම් මධු ඔය නැට්ටිච්චියන් දෙන්නා හින්දා දවසක හොඳ පාඩමක් ඉගෙන ගන්නවා . . ." යි කියන්නේ ඔවුන් කෙරෙහි අමනාපයෙන් මෙන් . . .

"අනේ උන් දෙන්නා මගේ යාළුවෝනේ . . " යි අක්කා පවසන්නේ ඔවුන් ගැන උපන් කනගාටුවෙන් . . .

"මහ ලොකු යාළුවෝ . . උන් උඹ එක්ක දවස් කීයක් පෝයට පන්සල් ගිහින් තියෙනවාද .. ? තව එකියක් අසන්නේ "මගේ ලඟ රහසක් තියෙනවා . ." වැනි නටන ඇස් දෙක කරකවමින් . . .

"එයාලා හැම පෝයටම මාමලගේ ගෙදර යනවනේ නුවර . . !"

"අනේ පලයන් බං යන්න . . . බම්බු නුවර නෙමේ උන් උඹව හලලා නාග විහාරේ පන්සලට යනවා . . . "

"අනේ පලයන් බොරු කියන්නේ නැතුව . . "අක්කා කියන්නේ මේ කතා විශ්වාස කරම්දෝ නොකරම්දෝ දෙගිඩියාවකින් . . .

ඇය පත්වූ අපහසුව දකින ඇස් නටවමින් කතාකල එකිය "නෑ බං උඹවත් එක්කගෙන පන්සල් ගියාම උන්ගේ දිහා එක කොල්ලෙක් වත් බලන්නේ නෑ කියලා අචලා කිව්ව කියලා මට අපේ නංගි කිව්ව බං . . ."

ඔවැනි නොවැදගත් ඕපා දූප කතාකරමින් පැමිනෙන කෙල්ලෝ කන්ඩායම පොකුණට කිට්ටු වෙද්දීම ඔවුන්ගේ මාතෘකාව වෙනස් කරන්නේ . . .

"මේ උඹ දන්නවාද මේ ලඟදිත් අර ගල් පොත්ත උඩ මිනිහෙක් මරල දාලා තිබුනාලු"

"ඔව් බං . . අපේ සීයා කිව්වා එතන මහ දවල්ටත් හොල්මං තියෙනවා කියලා . .. "

“දැන් නිපුල් අයියලාත් ඔතනට සරුංගල් අරින්න වත් යන්නෑ කියල මට නිලංකාත් කිව්වා . ..

වැනි දේවල් අපටත් ඇසෙන සේ ටිකක් උස් ස්වරයෙන් ඔවුනොවුන්ට ඉඟි කරමින් පවසන්නේ පුංචි අප ගල් පොත්ත ලඟට ගොස් මාළු ඇල්ලීම වලක්වන්න බව අපට පසක් වුනේ අප විසින් කුඩා කල පමනක් නොව යෞවන වියද පසු කරද්දී . . .

වෙලට බසින තුරු ඒ හොල්මං කථා අපේ හිත් වල දෝංකාර දුන්නත් . . කුඩා වුන් කන්ඩායම ම වෙලට බැසීමෙන් පසු ඒ කිසිවක් මතකයේ නොරැඳී සෙල්ලම් කිරීම පමනක් හෝ මාළු ඇල්ලීම පමනක් කෙරෙහි ඇලී ගල්පොත්ත අසලටම ගොස් මාළු අල්ලන බව අක්කලාටත් ඔවුන්ගේ කතා ලෝකයේ කිරුලු දැරූ පසු අමතකව යාම අපගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳීමට මඟ සැලසුවා . . .

"අයියේ ඔන්න ඔන්න ලොකු මාලුවෙක් . . ." කියා කෑගැසූ කුඩා ජංගියකින් යටි කය පමනක් වැසූ . . . පුංචි කොන්ඩ කෙටිය විහිදා හල පුවක් මල් දෙකක් ලෙසින් හිස්මුදුනට කර රබර් පටි දෙකකින් ගැට ගසා තිබුනු විශාල රවුම් ඇස් දෙකක් තිබූ ලස්සන කෙලි පොඩිත්තියක් නැගූ ශබ්දය මගේ සිහින ලෝකය එක්වරම බිඳ දමනු ලැබුවා . . .

පහත් වී ඩෙනිම් කලිසමේ කකුල් දෙක නමා ගෙන දන හිසෙන් ඉහලට වෙන්නට ඇදගත් මා . . . සෙරෙප්පු දෙක එක් අතකිනුත් . . පොත් ටික අනෙක් අතිනුත් රැගෙන කුඩා දිය පහරට බැස ගෙනම එය හරහා ගොස් ගල් පොත්තට ගොඩවුනේ මගෙ පා තැබූ තැන් වල බොර පැහැයට හැරුනු කලින් පෑදී තිබුනු ජල පහර ගැන කම්පාවකින් මෙන් බලමින් . . . . .

සෙරෙප්පු දෙක කාක බෝ ගස මුල තබා ඒ මත ඉඳගත් මා බෝ ගසට පිට හේත්තු කර පොත් ටික මා අසලින්ම බිමින් තැබුවේ ඇලේ වතුරින් වත් මුහුන ටිකක් සෝදා ගත්තානම් මේ දැඩි අපහසුවක් ලෙස දැනෙන වේදනාකාරී හැඟීමත් මුහුනේ වියැලුනු කඳුලුත් සොදා හරින්න තිබුනා නොවේදැයි හැඟීමෙන් . . . .

එසේ සිතුවත් ඉඳගෙන උන් තැනින් නැගිටින්නට වීරියක් නැති කමින් තමන්ගේ අත්පා තමන්ටම වලංගු නැති අංශභාග රෝගියෙකු මෙන් "අනේ මට මෙතනින් නැගිටින්නට බෑ . . " කියා සිතුනු සිතුවිල්ලට බිලිවී හිස බෝ ගසේ කඳේ අතුල්ලගෙනම ඉහලම අත්තක් දෙස බලා ගෙන යලිත් සිතුවිල්ලේ නිමග්න වූවා . . . .

බොහේ ඈත අතීතයේ නොව මීට වසර දෙකකට තුනකට පෙර වැඩිම වුනොත් වසර පහකට පෙර, කුඩා කොට කලිසමක් ඇඳගෙන මේ ගල්පොත්ත ම අසල වූ ගලා යන ඇලට බැස තවත් පුංචි උන් රෑනක් සමඟ මාළු අල්ලමින් ජෑම් බෝතල් වලට දැමූ පොඩි එකෙක් . . . . ;

නිපුල් අයියා ඔහුගේ විශාල සරුංගලය ත් රැගෙන වෙලට යෑමට අපේ ගේ ඉදිරිපසින් පිටත් වෙද්දී උඩට ටී ෂර්ට් එකක් වත් පයට රබර් සෙරෙප්පු දෙකක් වත් දමා ගන්න සුනංගු නොවී . . . සරුංගලේ පරිවාර සෙනගට එකතු වෙන්න සුසන්තිකා මීටර් සීය දුවනවාට වඩා වැඩි වේගයකින් දිව ගිය පුංචි එකෙක් . . . ;

අද ඒ හැම දේම අතහැර . . . ආදරයදැයි . . ?? . . ප්‍රේමයදැයි . . .??. . නොදන්නා යෞවන වියේ මායාකාරී සිතුවිල්ලකට රැවටී ඒ සියලු විනෝදාංශ ජීවිතයෙන් මෑත් කොට ගසකට හේත්තුවී දෙදන මත මුහුන හොවාගෙන වේදනාවෙන් කඳුලු සලන යෞවනයෙක් දෙස . . . ඔහුට ඉදිරියෙන් සිට ගෙන දුකෙන් දෑස් දල්වා බල සිටියා . .. .

"ඉමා . . ඔයට කවද හරි මාව එපා උනොත් " දවසක් බසයේ කෙලවරේම අසුනේ පෙම්බස් දොඩමින් උන් මා එක වරම මතෘකාව වෙනස් කරමින් කතාකරද්දී ඇගේ අතින් මගේ කට වැසූ ඉමාෂා . . .

"නෑ නිනේෂ් ඒක එහෙම වෙන්නෙ නෑ කවදාවත් . . ." කියා, කෙටි නිහඬතාවයකය පසු . . ..

"ඔයාට මාව එපා උනොත් මිසක . . . " කියා අගට තව කොටසක් එකතු කලා . . . !

අනාගතේ යම් කිසි දවසකින් ඈ වෙතට ගලා එන අද්භූත ජනක හඬකට දෑස දෙකන යොමාගෙන කීවක් මෙන් ඈ මේ ටික කීවේ බසයේ වේගයට සපේක්ශව පසු කරමින් යන ගස් කොලන් වලට එපිටින් වූ අහස් කුස දෙස බලාගෙන . . . ! !

“ඔයා හොඳට ඉගෙන ගෙන කැම්පස් යනවාලු . . . “

“මම ලබ්‍රි එකට යනවා කියලා ගෙදරට කියලා ඔයාව බලන්න 138 බස් එකේ නැගල කැම්පස් එක ලඟට එනවාලු . . . “

ඉමාෂා කියන්නේ මගේ අත ඇගේ උකුල උඩ තබාගෙන සාස්තරයක් කියන කලක මෙන් ඇගේ නියපොතු වලින් මගේ අල්ලේ ඉරි අඳිමින් . . .

“ඇයි ඉතිං ඔයා කැම්පස් යන්නේ නැත්තේ . . . . “ දඟකාර ලෙස එහෙ මෙහෙ දුවන ඇඟිලි දෑතින්ම හිර කර අල්ල ගත් මා අසන්නේ අගේ මුහුනට මගේ මුහුන ලංකර ඇගේ දෙනෙතේ බැල්ම වෙන දිහාකට වොමුවේ වී යැයි බියෙන් මෙන් මගේ බැල්මේ බලෙන්ම රඳවාගෙන . . . .

“එක්කෙනෙක් ගියාම මදිද අනේ . . . අනෙක ඔයාට ඉගෙන ගන්න සල්ලි ඕන උනාම කවුද දෙන්නේ . . .ඉතිං මම ජොබ් එකක් කරනවා . ..”

අවුරුදු 15ක 16ක කුඩා එකියක් වූවත් ඇගේ පරාර්ථකාමී හිතේ විශාලත්වය ගැන මට වැටහීමක් ලබා ගන්න පුලුවන් උනේ ඉන් බොහෝ කාලයකට පසුවයි . . .

එසේ අතීතයේ ආදරයේ මිහිරි මතකයන් ගෙන් හද පුරවාගෙන සිටි යෞවනයාත් . . . මේ දැන් මෙතැන දෙදන මත හිස තබාන වේදනා විඳින යෞවනයාත් දෙදෙනෙකු නොව එක අයෙක් මැයි පසක් වූ සැනින් . . . දහවලෙහි කඳුලු සැලීමෙන් රතුවී තිබුනු දෙනෙත් යලිත් වරක් තෙත් කරමින් කඳුලු වැල් ගලා ගියේ ඒ මිහිරි මතකයන් කිනිස්සක් සේ මේ වැලපෙන යෞවනයාගේ හදවතේ ඇනී එය ගැලවූවෝතින් . . නොනවත්වා ලේ ගලා යාමෙන් මරණයට පත් වේවී යැයි බියෙන් ඒ මිහිරි මතකයන් නම් වූ පපුවේ ඇනුනු කිනිස්ස අතගාමින් තව තවත් වේදනා විඳිනව නොවේදැයි අසා ගනිමින් . . .

“ඇත්තෙන්ම ඇයි මේ මෙච්චර ලස්සන කොල්ලෝ . . . සල්ලි කාරයෝ කියල හිතන්න පුලුවන් කොල්ලෝ ඉන්නැද්දී ඔයා මට කැමති වුනේ . . . “ මම අහුවේ කාලයක් අහන්න ඕන කියල හිතේ තද කරගෙන උන්නු ප්‍රශ්නයක් . . .

“ඔයා පුංචියට හිටියට ඉස්සරහ පේලිවල කෙල්ලෝ ඔක්කොමල්ලාව කටින් බය කරගෙන ඉන්නවා දැක්කාම මට ඔයාව කොහොමටවත් පුංචියට පෙනුනේ නෑ . . .”

“එහෙව් චන්ඩියා එදා මම බැනපු වෙලාවේ මොකුත් නොකියා බ්‍රාන්ත වෙලා හිටපු හැටි මතක් වෙන හැම මොහොතකම මට දැනුනේ මම මහා ලොකු මෝඩකමක් කලා කියලයි . . . මම අවස්තාවක් බල බල හිටියේ ඔයා එක්ක සාමදාන වෙන්න යි . . ඒත් කරුමෙකට මගේ කටින් පිට වුනේ සැර වචන . . . . එදා ඉඳන් මම ඔයා ලඟ ඕනම විදිහක ලැජ්ජාවකට පත් වෙන්න හිතුවා . . .”

“ඒකයි මම ඔයාගේ පස්සෙන් පන්න පන්න ඇවිත් බලෙන්ම වගේ මගේ ඔටෝ එක දුන්නේ . . . “

වෙන්වීමක් ගැන මීට මොහොතකට කලින් කතාකරපු වගක් වත් . . . ඒ කතාවෙන් දෙදෙනාගේ ම හිත් පෑරුනු වගක් වත් නැතුව . . . අපි දෙන්නාම එදා . . . අපි හරියටම මුනගැහුනු දවස ගැන එක වරම සිතන්න ගත්තේ මුහුනෙන් මැකී නොයන සිනාවකුත් රඳවාගෙනම . . . ! !

මතු සම්බන්ධයි . . .

Thursday, October 1, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (පළමු කොටස)


"ජබොක්. . ."

බෝක්කු බැම්ම උඩ තබා තිබුනු මගේ පොත් ගොඩේ උඩින්ම තිබුනු රබර් මකන කැබැල්ල බෝක්කු බැම උඩ සිට අඩි පහක් හෝ හයක් පහලින් ගලා යන ඇලට වැටුනු ශබ්දයෙන් මම සිහින ලොවින් පියවි ලොවට ආවා වගේ මට දැනුනා . . . උපකාරක පංතිය නිමාවී ඉමාෂාට සමුදී එතැනින් පිටත් වූ මොහොතේ පටන් බෝක්කු බැම්ම උඩ වාඩිවී සිටින මේ මොහොත දක්වා ගතවූ කාලය කෙසේ ගතවූවාදැයි වෑයමින් සිතුවත් මතකයට නගා ගැනෙම අපහසු බව මට සිතුනා . . . එය හරියට ජීවිතයේ එක්තරා රික්ත කාල පරාසයක් මෙන් කියා මොහොතකට සිතුනා . . .

අත් ඔරලෝසුවක් නැති කමින් වේලාව ගැන වැටහීමක් ලබා ගන්න නොහැකි බව දැනුනු මා වට පිට බැලුවේ . . පරිසරයේ වෙනස්කම් වලින් වත් අනුමාන වශයෙන් වෙලාව දැන ගන්නා අදහසින් . . .

මේ සරුංගල් වාරය නිසා අහසේ ලෙළ දුන් ලොකු කුඩා සරුංගල් ලෝලීන්ගේ වෛවර්න සරුංගල් තවම බිමට පහත් කර නොමැති කමිනුත් . . . සවස් කාලය ලං වූ විට රෑන් ගැසී කූඩු කරා පියඹන පක්ශීන් තවමත් නිදහසේ ඉහල අහසේ සැරිසරනවාත් දුටු මා තවම බොහෝ සවස් වී නැති බව පසක් කරමින් කඳුලු පිරී බොඳවූ දෑසින්ම සතුටින් නිදහසේ සරුංගල් අරින්නන් දෙස බලා සිටියේ කියා ගත නොහුනු විශාල පාලුවක් වැනි හැඟීමකින් . . .

ඉහල අහසේ ළෙල දුන් විශාල සරුංගලයක් දෙස නෙත් යොමා සිටි මා මගේ බැල්ම සරුංගලයේ සිට සීරුවෙන් එහි නූල දිගේ පහලට විත් එය හසුරවන්නා හා ඔහු අසල සිටි පරිවාර පිරිස දෙස නොත් යොමාගෙන සරුංගලයේ නූල දිගේ මගේ මතකය බොහෝ ඈත නොවූ ඉසව්වකට රැගෙන ගියා . . .

සරුංගල් වාරෙට මොණරා සරුංගලය හෝ මාළුවා සරුංගලය, ඉබ්බා, ගෙම්බා, ආදී අප විසින් හඳුන්වා ගන්නා සරුංගල් අතුරින් විශාලම සරුංගලය නීපදවන ගමේ තරුණයන් කිහිප දෙනා අතුරින්, අප පදිංචි නිවසට පිටුපස එකම පවුලේ සොයුරු සොයුරියන් රැසකගේ ලොකු කුඩා ගෙවල් රැසකින් සමන්විත විශාල වත්තේ විසූ වැඩිමහල් පුද්ගලයා වූ රූබන් මාමාගේ පුතා වූ නිපුල් අයියා නිපදවන විශාල සරුංගලයත්, අපේ නිවසේ සිට මීටර් පන්සීයක් පමන දුරකින් විසූ ගමේ හැමෝගෙම ප්‍රියතම පවුලක් වූ සුරූපී ඈන් අක්කා ගේ පවුල හෙවත් ගමේ ජීවත් වූ බර්ගර් පවුල් කීපයෙන් එකක බඩ පිස්සා වූ ඩෙක්ස්ටර් අයියා නිපදවන ඔහුටම සුවිශේශී වූ එක් එක් වසර වල එක් එක් රටවල ජාතික කොඩියේ හැඩයට පාට කොල අලවන විශාල පෙට්ටි සරුංගලත් . . . . ගමේ යෞවනයන්, ළමුන්, තරුනයන් අතර නිහඬ පිල් බෙදීමක් ඇති කලා කීවොත් නිවාදියි . . .

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාටම ඔවුන්ගේ සරුංගල් උඩ යැවීමට මා මේ දැන් සිටන බෝක්කුව අසල පිහිටි වෙල් යායට පැමිනිය යුතු වුනා . . . ඔවුන් එසේ පැමිනෙන විට ඔවුන් පසුපසින් පරිවාර ළමෝ රෑනක් ගමන් කිරීම ගමේ අයට සරුංගල් වාරයේදී දකින්නට ලැබෙන සුලභ දසුනක්ම වූවා . . .

මේ වේදනාකාරී ප්‍රේම සිතුවිලි වලින් හිස අවුල් කර ගන්නට ප්‍රථම කලකට පෙර බුහුටි පැංචෙක් වූ මාත් මේ පරිවාර සේනාවේම අයෙක් බව මට පසක් වී . . . නිපුල් අයියා වටේ එකතු වී . .

"නිපුලයියා දෙන්න මම පන්දුව ඔතන්නම් . . ."

"නිපුලයියා ඔන්න ඔන්න බලාගෙන අර ශාලාව පාර පැත්තෙන් පොඩි කොම්බුවෙක් එනවා වගේ මාට්ටුවක් දාන්න . . "

"අනේ නිපුලයියා පොඩ්ඩක් දෙන්නකෝ . . . මටත් ආසයි ටිකක් වෙලා අල්ලගෙන ඉඳලා නිච්චියක් ගහල බලන්න . . ."

ආදී වශයෙන් නොයෙක් ඉල්ලීම් ඉදිරිපත් කරමින්ද . . . නොයෙක් උපදෙස් ලබා දෙමින්ද . . . නොයෙක් උපකාර කරමින්ද . . . ඉන්නා පරිවාර රැලේ මේ දැන් සිටිනා ළමෝ අතරින් මා කොහේදයි සෙවීමට මෙන් එහි සිටි ළමෝ පිරිස සිතින් ගනිමින් එකික් එක මුහුන කරා මගේ නෙත් ගමන් කලේ මා නොවේ නමේ මේ කාගේ කවුදැයි හඳුනා ගන්නට උත්සාහයක්ද දරමින් . . . . .

ටික වේලාවක් ඒ සිතුවිල්ලේ උන් මා එය වෙහෙසකර කටයුත්තක් සේ හැඟී ගියෙන් ඉඳගෙන සිටි බෝක්කු බැම්ම උඩින් පොත් කීපය තබා පැන්සලත් පෑනත් වතුරට නොවැටෙන්න වගබලා ගැනීමට පොතක් ඇතුලට දමා බෝක්කුව උඩින් නැගිට පාරේ මැදක් වන්නට ගොස් සිට ගෙන මෙපමන කලක් නිතර දුටු නමුත් මේ දැන් දුටුවාක් මෙන් අලුතින් . . අලුත් ඇසකින් . . වෙල් යාය දෙසත් , බෝක්කුව දෙසත් . . . මාරුවෙන් මාරුවට බලන්න පටන් ගත්තා . . .

වෙල් යායට වතුර බෙදන අඩි හයක් හෝ අටක් පමන පළල් ඇල හරහා අඩි පලොවක් පමන පළල් මාවත ගමන් කරන තැනේදී පාලමක් ලෙස නොවුනත් විශාල බෝක්කුවක් ලෙස සකස් කර තිබුනේ අවශ්‍යනම් එක් පැත්තක බෝක්කු බැම්ම උඩ එකවර හතර පස් දෙනෙකුට වත් ඉඳ ගන්න ඉඩ සලස්වන්න මෙන් . . .

බෝක්කුවේ වම් පැත්තටත් දකුනු පැත්තටත් දිගටම විහිදී යන වෙල් යාය . . . මාවතේ එක් පැත්තකින් කනත්ත පසුකොට එහි අවසානය වූ මිරිහාන මාර්ගය දෙසටත් අනෙක් පැත්ත මාවත පටන් ගන්නා පෙදෙස වූ පිටකෝට්ටේ සිට ගම්මන්ඩිය දෙසටත් යාවෙන මාර්ගයට එක්වීමෙන් එහි ආරම්භය සිදු වෙනවා . . . වැඩිපුර වාහන ගමනා ගමනයක් නොවූ මාවතේ මේ බෝක්කුව උඩ සිට ගෙන අංශක 360ක් කැරකුනහොත් ඇසට අසුවන දර්ශනය ඉතාම සුන්දරයි . . .

මාවත කනත්ත පැත්තට දිවෙන හරියෙදි . . වෙල්යාය බෝක්කුවේ සිට මීටර් සීයක් පමන ගොස් සීමාවී එතැන් සිට කන්දක් ලෙස ඉහලට යන්නට පටන් ගන්නේ සීග්‍ර නැග්මක් ලෙසටයි . . .නැග්මේ පාමුල දකුනු පැත්තට වන්නට තැනූ ලොකු කුඩා ගෙවල් සමූහයත් වෙල්යායත් වෙන් වන්නේ නිවාස සමූහයේ නිවැසියන්ගේ රෙදි සේදීම, නෑම වැනි පානීය නොවන ජල පහසුකම් සපුරාලීමට රජයෙන් ඉදිකර දී ඇති පොදු නාන ළිඳ නොහොත් අප හඳුන්වන ලෙසට පොකුණකින් . . .වම් පැත්තට වෙනනට ඇත්තේ වෙල මායිමට පොල්, කොස්, අඹ, රට දෙල් ගස් වවපු ගෙවතු ඇති ගෙවල් කීපයකින්. පොකුනේ සිට මීටර් විසිපහක් පමන දුරින් පේන්න තිබෙන්නේ ගමේ පොදු සුසාන භූමිය හෙවත් කනත්තයි . . .

"අනේ ලස්සන කනත්තක් . . . "

උපකාරක පංති නිමා වී පිටකෝට්ටේ මාමලගේ ගෙදර යනවා කියා බොරුවකුත් නොවන ඇත්තකුත් නොවන යමක් ඉමාෂා විසින් ගෙදරට කියා පැමින . . . යා යුතු ඉසව්වක් ගැන කල්පනා කිරීමේදී මේ ස්ථානය එක වරම සිහියට නැගී මෙතනට ආ දිනෙක . . . ඇඳ සිටි රැලි ගොඩාක් ඇල්ලූ ලිනන් රෙද්දෙන් මැසූ සුදු සායේ වාටියේ දෙපැත්තෙන් අල්ලා වටයක් කරකැවුනු ඉමාෂා එක්වරම පැවසුවා . . .

"අහ් . . . ඔයාත් එහෙනම් මෙතැනට ආසා වුනා . . " මට ඉබේටම කියවුනා . . .

"ඔව් අනේ බලන්න ඒක හරිම ලස්සනයි . . . අනෙක මේ ඉර බැහැගෙන යන වෙලාවේ තවත් ගොඩාක් ලස්සනට පේනවා . . . . " ඉමා සායේ වාටිය අත්නොහැරම . . . ගොඩ . . . ආ . . . ක් යන්න ටිකක් ඇදල කීවේ එහි බරක් මට දනවන්නට මෙන්. . .

ඇගේ ලඟින් අඩි පහක් පමන ඉදිරියට පා නැගූ මා . . . කහපාටකුත් . . තැඹිලි පාටකුත් . . රෝසපාටකුත් මුසුවුනු අහස් පසුමිබිමේ . . සුදු සායකුත් . . . ලා කහ පැහැති අත් කොට බ්ලව්සයකුත් ඇඳ සිටි තළෙලු යුවතියක් . . . අහසත් කනත්තත් පසුබිම් කරගෙන ඈත පියාඹන කුරුලු රෑනක් දෙස බලා සිටනවා වැනිව සිත්තම් කර තිබූ . . . අපූරු සිත්තමක් දෙස බලා සිටිනවා වැනි හැඟීමකින් ඈ දෙස නොත් නොපියා බලා සිටියා . . . . .

"හොඳයි ඔයාට වැඩියෙම ලස්ස්න මොකද්ද ඕකේ . . "

"ම් ම් ම් . . . . අර ඒ ඉඩමේ උඩ මායිමට වෙන්න හිටෝල තියෙන තේක්ක, කුඹුක්, කිතුල් ගස් පේලියත් . . . පහල මායිමේ තියෙන වැටමාර, ඇහැල, කොලපට හීන් උනබට ගස් ටිකත් මට හිතෙන්නේ හරිම ලස්සනක් එකතු කරලා තියෙන්නේ . . "

"නෑ මට නම් ඔය ඉඩමේ හරිමැද්දේ ඉඳන් පහලට වෙනකම් කපල තියෙන අඩි දහයක් විතර පලල දුඹුරු පාට ගුරුපාරත් ඒ පාර දෙපැත්තටම එක දිගට හිටවලා තියෙන මල් වලින් පිරිච්ච සුදු අරලියා ගස් ටිකත් තමයි වැඩියෙන්ම ලස්සන . . . "

"අර තැන් තැන් වල එලි පෙහෙලි කරලා ඉද්ද, වතු සුද්ද වගේ ගස් හිටෝල තියෙන්නේ ලඟදී වල දැමූ මිනියක් වෙන්න ඇති නේද . . " ඇගේ ප්‍රශ්නය ප්‍රකාශයක් ලෙස මිසක් ප්‍රශ්නයක් ලෙස මට නොදැනුනා තරම් . . .

කාලයකට පෙර අප දෙදෙනා එක්ව සිරි නැරඹූ වටපිටාවක් මැද අද මා තනිවී සිටිනවා නොවේදැයි සිහියට නැඟුනු මොහොතේ යලිත් වරක් මගේ දෙනෙක් අඳුරු මීදුම් පටලයකින් වැසී ගොස් නොදැනුවත්වම මගේ දෙනෙත් යලිත් වරක් කනත්ත දෙසට ම යොමු වුනා . . .

සවස් වරුවක බෝක්කුව උඩ ඉඳගෙන වෙල පැත්තට කකුල් දමාගෙන . . නැතිනම් ඇල කන්ඩියේ වාඩිවී ඇලේ සීතල දිය පහරට දෙකකුල දමා පද්දමින් . . ගොයම් පැසෙන කාලයක නම් . . ගොයම පිසගෙන එන සිහින් මඩ ගඳක් වැනි නමුත් අප්‍රසන්න නොවූ සුවඳක් එසේත් නැති නම් ගොයම් කැපූ කාලයක නම් ඉතිරි වූ ඉපනැලි වලින් හමන පිදුරු සුවඳත් විඳගෙන . . එක දිගට බලා සිටිය හැකි කනත්ත . . . කොතරම් වේලා බලා සිටියත් එපා නොවන, ජීවිතයේ අනිත්‍ය නොව අද්භූත වූ චමත්කාරජනක සුන්දරත්වයක් විඳින්නා වැනිවූ හැඟීමකින් දෑස් දල්වා එක දිගට බලා සිටිය හැකි කනත්ත, එය මේ ගම් පියසට අඳුරු භයංකාරයක් එක් කලා නොව අමුතුම සුන්දරත්වයක් එකතු කලා කීවොත් නිවරදියි කියායි අහම්බෙන් හෝ මේ පාරෙන් ගමනක් යන්න ඇවිත් . . යා යුතු ගමනද අමතක කර . . . බෝක්කුව උඩ සිට ගෙන . . . වටේට කැරකී කැරකී පරිසරයේ සුන්දරත්වය විඳි මා හැමදා සිතුවේ . . .

බෝක්කුවේ සිට කනත්ත දෙසට විරුද්ද දිසාව වූ ගම්මන්ඩිය දෙසට දිවෙන මාවතේ මීටර් දෙසීයක් පමන දුරින් වෙල් යාය දකුනු පැත්තට වන්න කපා ගත් ගොයම් එක් රැස් කිරීමට ඇති ඔවිටි වලිනුත් . . වම් පැත්ත ඒ පැත්තේ වූ මිනුසුන් වෙනුවෙන් ඉදිකල පොකුණකිනුත් සීමා වී එතැන් සිට පර්චස් විස්සේ, තිහේ ඉඩම් වලින් කොටුවූ ගම්මන්ඩිය ලෙස පැතිරී යනවා . . .

ඉඳගෙන සිටි ස්ථානයේ සිට වට පිට බැලූ විට කෙතරම් සුන්දර දසුන් නෙතට හසුවූවා වුවත් අද . . මේ මොහොතේ . . මා සිටින්නේ මේ කිසිදු පරිසරයේ සුන්දරත්වයක් විඳිය හැකි මානසිකත්වයකින් නොවන බව මට පසක් වූයේ . . කඩා ගත් අමු අඹ ගෙඩියක කිරි අතේ ගෑවුනු විටෙක ඇතිවුනු කහට ගතියක් මෙන් කහටක් මූනේ දැවටෙනවා වැනි හැඟීමක් දැනී ඇඟිලි තුඩු වලින් මුහුන ස්පර්ශ කරද්දී . . . ලේන්සුවක් නොතිබූනැයින් නිදහසේ කම්මුල් දිගේ ගලා ගිය කඳුලු වැල් මූනේම වියලීමෙන් ඇතිවූ කහට ගතියක් නිසා බව ඇඟිලි තුඩු වලට දැනුනු පසුවයි . . .

මේ කඳුලුත් . . කඳුලු සැලීමට හේතුවත් . . . මකන කැබැල්ල වතුරට වැටෙන හඩින් පියවි සිහිය ලත් මට යලිදු විදුලියක් කෙටුවා වැනිව මතකය ආක්‍රමනය කරන්න පටන් ගත්තා . . . මෙසේ වේදනාවෙන් කඳුලු සැලූ මා මේ මොහොතේ සිටින්නේ පරිසරයේ සුන්දරත්වක් විඳින්න හැකි ලෙස නොව . . . තවදුරටත් මේ වේදනාවෙම ඇලී ගැලී සිටින්න නොවේද කියා සිතා වට පිට බලන්නට වූයේ . . .

"ඉතිං ඊට පස්සේ මොකද කරන්නේ . . ." අසනු වැනිව . . . ! !

ජූලි මාසයේ අග භාගය වූ හෙයින් ගොයම් කපා නිමවුනු කුඹුරු යාය සරුංගල් අරින ලොකු කුඩා සියලුම දරුවන්ට තරුනයන්ට සින්නක්කරවම ලියා දී ඇති සැටියයි හැඟීමක් සිතට නැගුනත් . . . මෙතරම් ළමෝ සංඛ්‍යාවක් . . . මෙතරම් පිරිසක් එකවර නැඟූ හඬවල් කිසිවක් මකන කැබැල්ල දියට වැටෙන හඬින් යලි පියවි සිහිය ලබන තුරු මගේ දෙසවනට කෙසේ නෑසුනාදැයි සිතන්න මහන්සියක් නොගෙන . . . ටීක් බෝලයක් ලද දරුවෙක් එහි පළුදු ඇත්දැයි ඒ මේ අත හරවා බලනවා මෙන් . . . තවදුරටත් තනිවී . . . මේ විඳින වේදනාව විඳීමෙන්ම . . . වේදනාව පහවේවි . . . වේදනාව නිමා වේවි යැයි උපන් සිතුවිල්ලෙන් . . . බෝක්කුවට මීටර් පන්සීයක් පමන දුරින් වෙල් යායේ මැදකට වන්නට ඇති අතු පතර විහිදී ගිය කාක බෝ ගසකින් සෙවන වූ ගල් පොත්ත යනුවෙන් අපි හඳුන්වන ගල්තලාව වෙත යාමට . . පොත් ටිකත් . . පෑනත් . . . පැන්සලත් අතට අරගෙන මම මහ නියරට ගොඩ වැදුනේ කිසිදු හැඟීමක් දැනීමක් නැති සීතල මල මිනියක් වන් . . . හැඟීම් විරහිත බවකින් . . . .

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails