twitter
    Find out what I'm doing, Follow Me :)

සිරිකත පරද වන රූ සපුවකි ඇයට . . . . !



මමයි මගේ බිරිඳයි දෙන්නා ම ලංකාවේ නැටුම් කලාවට තදින් ආදරය කරන දෙන්නෙක්. මම කලින් ලිපියකත් කිව්වා වගේ සමහර වෙලාවක පිටරටක දී සමහර විජාතිකයින් අපි ශ්‍රී ලාංකිකයෝ කිව්වාම දන්නෙත් නෑ . . . නමුත් අපේ රටේ නැට්ටුවෙක්ගේ පින්තූරයක් පෙන්නුවාම අහනවා "අහ් මේ නැටුම් තියෙන රටේ ද උඹලා ඉන්නේ කියලා" අපේ නැටුම් එතරම්ම සුවිශේෂයි . . යුනික්. !! එවැනි අවස්ථාවන් වලදී අපේ ඒ ආදරයට ආඩම්බරයකයකුත් එකතු වෙන බව නොරහසක්.

අපේ රටේ මූලික නැටුම් අංග තුන වූ උඩරට, පහත රට හා සබරගමු නර්තන ශෛලීන්ට අමතරව එදිනෙදා ජන ජීවිතය හා බැඳුනු ජන සංගීතයක් හා ජන නැටුම් කලාවක් ද තිබෙනවා. නැටුම් කලාව ගැන වැඩි විචාරයක් හෝ විවරනයක් කරන්න තරම් මගේ ඒ සම්බන්ධ දැනීමක් නැති වුනත් මට සිතෙන ආකාරයට ජන නැටුම් වල සමහර අංග මේ මූලික නැටුම් කලාවන් හා සුසංයෝග වෙලා තිබෙනවා කියා.

ජන නැටුම් වෙනමම සංස්කෘතික අංගයක් ලෙස ගත් කල (සමස්තයක් ලෙස නැටුම් කලාවම අභායට යමින් තිබෙනවා වුවත්) ලංකාවේ මූලික නැටුම් කලාවන් කෙරෙහි ඇති සැලකිල්ල හ සසඳා බලන විට ජන සංගීතයට හා ජන නැටුම් වලට නියමිත අගය කිරීමක් හෝ සැලකීමක් නෑ කියන හැඟීම මගේ නම් නිතරම කනස්සල්ලට හේතුවක්.

එයට හොඳම උදාහරනය ලෙස ජන සංගීතය හා ජන නැටුම් නඟා සිටුවන්න නිහඬ අමිල සේවාවක් කල ශ්‍රේෂ්ඨ කලාකරුවෙකුවූ ලයනල් රන්වල මහතාගේ සේවය ඔහු මිය යන තුරුම අගය කිරීමකට ලක් නොවීම. වාසනාවකට මෙන් ඔහුගේ පුත් මගේ ප්‍රියතම කලාකරුවෙකු වූ සහන් රන්වල මහතා පියාගේ අඩි පාරේ යමින් ඔහු තරම්ම නිහඬ ලෙසට නොවුනත් තරමක් සීරුමාරුවෙන්, විශාල ඉදිරි දැක්මක් සහිතව ජන සංගීතය හා ජන කලාව ශ්‍රී ලංකික අපේ හදවත් වලට ලං කිරීමේ උදාර කර්තව්‍යය කරගෙන යමින් සිටිනවා.

මගේ සයිබර් මිතුරියක් වන රංගි හෙවත් බුරු බබාට පින්සිදු වන්න අද ඔහු මගේ මිතුරෙක් බවට පත්වන්න හැකි තරම් සංවාදයක් මා ගොඩ නඟාගෙන තිබෙනවා. (ඔහු ගැනත් රන්වල පදනමේ සේවය ගැනත් පෙබරවාරි 10වෙනිදාට පැවැත්වීමට නියමිත ඔවුන්ගේ රඟ දැක්මක් ගැනත් වෙනමම බ්ලොග් සටහනක් තබන්න බලාපොරොත්තු වෙමි )

ගෝලීයකරනයට හසුවී තොරතුරු තාක්ෂණය ට ම පමනක් මූලිකත්වය දෙමින් සිටින නූතන ශ්‍රී ලංකාවේ නැටුම් කලාවන් සීග්‍රයෙන් අභාවයට යන බැව් දකින මගේ හදවතට දැනෙන්නේ කියා ගන්න බැරි තරම් ශෝකයක්. එය වලක්වා ගන්න අපට කල හැකි සේවාවන් ගැන කතාකරමින් සිටින මාත් මගේ බිරිඳගේත් එක් ප්‍රාර්ථනයක් නම් අනාගතයේ ගම් නියම්ගම් සැරිසරා කරුනු සොයා බලා ජන සංගීතය හා ජන නැටුම් පිලිබඳ පොතක් ලියා පලකර හැකිනම් අපගේම වියදමින් එය හැකි තරම් පාසැල් වලට හෝ අවැසි අයට බෙදා හැරීමට කටයුතු කිරීම. ඒ අතරම දැනට මගේ බ්ලොග් එකේ නැටුම් ගැන අන්තර්ජාලය හරහා සොයා ගත හැකි දේ වල ආභශය ලබා ගනිමින් බ්ලොග් සටහන් තැබීමත් එයට උපකාරී වේයැයි මා සිතුවා.

මගේ ප්‍රිය බිරිඳ මගේ ඒ බ්ලොග් සටහනට මූලාශ්‍ර සපයා දෙනුවස් අද ඒ වෙනුවෙන්ම පොත් සාප්පුවකට ගොස් පොත් කීපයක් මිලදීගෙන මා ඉතාම ප්‍රිය කරන පහතරට නැටුම් අංගයකට අදාල කොටස් ස්කෑන් කර විද්‍යුත් තෑපෑලෙන්ම එවා තිබුනා. ඒවා මේ සටහනට පහලින් එකතු කරන්නම් අවැසි කෙනෙක් සිටීනම් වැඩි විස්තර සඳහා.

පුංචි කාලේ ඉඳන්ම නිවාඩු කාලයට මාව ඔවුන්ගේ ගමේ එක්ක යන්න තාත්තාගේ පුංචි අම්මා හෙවත් අපේ පුංචි ආච්චී හෝ සීයා එන එක එකල නියතයක්. පුංචි ආච්චිගේ දුව මගේ ආදරණීය ලතා නැන්දා නැටුම් ගුරුවරියක්. ඇයගේ සැමියාත් ඔහුගේ සොයුරියත්,පියාත් නැටුම් ගුරුවරු. කුමාර මාමාගේ සොයුරිය විසින් රුවන්වැල්ල මොරාවත්ත පංසලේ කලායතනයක් පවත්වාගෙන යනු ලබනවා.

නිවාඩු කාලයක ගමේ ගිය විටෙක මට අහම්බෙන් මෙන් ඔවුන්ගේ කලායතනය විසින් පැවැත්වූ වාර්ෂික කලා මහෝත්සවයකට සහභාගී වීමට හැකි වුනා. එහිදී තිබූ නැටුම් අංගයන් අතුරින් මගේ සිත් ඉතා තදින් ඇද බැඳ ගත්තේ ගිරිදේවී නැටුමයි. පුහුනුවීම් වට දෙකකුත් සංදර්ශනයේ වට දෙකකුත් නරඹා අවසන මේ ගිරිදේවී නැටුමේ කවි මට කට පාඩම් වූවා. අදින් වසර ගනනාවකට ඉහත කඩපාඩම් වූ ඒ කවි අද දින අතරින් පතර හෝ යාන්තමින් මට කටපාඩම්.

බිරිඳ විසින් ස්කෑන් කර එවූ පොතේ සඳහන් පරිදි මේ ගිරිදේවී නැටුම පහත රට නැටුම් වල කෝලම් නැටුම් සම්ප්‍රදායේ කොටසක්. ජනවහරට අනුව ගිරි දේවී යනු ගරා යකා හෙවත් දළ කුමරුන්ගේ නැගණියයි. සොයුරු දළ කුමරුන් වෙතින් කෙලෙසෙමට පත් ගිරි කුමරිය ඇතිවූ ලැජ්ජාවත් ශෝකයත් දරා ගත් නොහැකිව ගසක එල්ලී ජීවිතක්ෂයට පත් වූවාය. නැගණියගේ වියෝවින් ශෝකයට පත් දළ කුමරු ද මිය ගොස් ගරා යකා ලෙස උත්පත්තිය ලැබූ අතර මරණින් පසු ගිරි කුමරිය ගිරි දේවිය බවට පත් වූවාය. ඇතැම් තැනක සඳහන් වන්නේ ගිරි යකිනිය වූ බවකි.

මගේ බ්ලොග් එක බලන පිරිසට මා ඒ ගිරි දේවී නැටුම බලා ලැබූ රසවින්දනය ලබා දෙනු වස් දුරකතන ඇමතුම් සඳහා විශාල මුදලක් වැය කරලත් ඒ නැන්දාගේ පුතාලාගෙන් ගිරිදේවී නැටුමේ වීවියෝ පටියක් තවමත් ලබාගත නොහැකි වුනා නමුත් යූ ටියුබ් එකට පින්සිදු වන්න මට ඒ අලංකාර නැටුම නැවත වරක් රසවිඳින්න ලැබුනා. ඉතිං ඔබට ඒ අවස්තාව ලබා නොදී ඉන්නේ ඇයි . . . ??

සෑරි සොඳට දිගු වරලස දිලෙන්නේ . . .
නෙරිය තියා ලා සේලය අඳින්නේ . . .
රනින් රිදී මුතුහර ගෙල පෙනෙන්නේ . .
ගිරි දේවි උපතය මම කියන්නේ . . .

මයුර පිළස බැඳි කොන්ඩය යස රුවට . . .
දෙපියුරු වසා රන් පටියකි ළමැද වට . . .
සිරිකත පරද වන රූ සපු වකි ඇයට . . .
ආදර වඩන ගිරි දේවිය එයි සබට . . .

ඇඳ ඇඳ සේලය ගත බබළාදෝ . . .
බැඳ බැඳ වරලස සිකි පිලු විලදෝ . . .
සොඳ බඳ ළෙලුමෙන් පියයුරු ළෙලදෝ . . .
ඉඟ ඉඟ සිහිනිඟ දෙපස නටාදෝ . . .

">

මේ කවි වල අන්තිම කොටස තුන් පාරකට ඇදලා කියන එක තමයි මට හිතෙන්නේ මේ කවි වල ඇති සුවිශෙෂිත බව. ඒ නිසා තමයි මම හිතන්නේ මගේ හිතේ ඒ කවි පදවල් රැඳුනේ. හැමදෙනාම අහල බලන්න මේ වීඩියෝ පටිය නරඹන්න "අයියෝ නැටුම්නේ. . . නැටුම් කන්නද. .. !" කියලා අතහැරලා නම් දාන්න එපා. බලලා ඉවරවෙලා කමෙන්ට් එකකුත් දාන්න අමතක නොකර . .. !!











විසිටර්ස්ලා 5000යි . . . !

විසිටර්ස්ලා 5000යි . . . !

බ්ලොග් එක පටන් අරගෙන දවස් 163

විසිට්ස් 14,586

ඇවරේජ් විසිට්ස් දවසකට 89යි

පේජ් වීව්ස් 30,800

ඇවරේජ් පේජ් වීව්ස් දවසකට 188යි

රටවල් 45කින් කට්ටිය

. . . . . . . . . . . . . .

ෆුඃ. . . සෙල්ලම් නෑ . . .

සෑහෙන දෙනෙක් දුකාගේ බ්ලොග් එක බලනවා නේ . . . !

හරිම සතුටුයි . . .

ලියන ඕනම කෙනෙකුගේ මුල් කාලේ එච්චරටම හොඳ දේවල් ලියවෙන්නේ නෑ වෙන්න පුලුවන් . . .

ඒත් අනාගතයේ හොඳට නැතිනම් තව හොඳට ලියන්න හැකි සෑම උත්සාහයක්ම දරන්නම් කියලා පොරොන්දු වෙන්නම් . . .

හැමදෙනාටම ස්තූතියි කිව්ව එහෙනම් . . .

දුකා එක්ක දිගටම රැඳී ඉන්න . . .

ජය වේවා හැමෝටම . . .





ජීවිතේ සුන්දරද මෙතරම් . . . !



චරාස් . . . .

කුස්සියේ යමක් බදින හඬින් මාව උඩ ගිහින් වගේ ඇහැරුනේ මම ඉන්නේ කොහේද කියලාවත් එක්වරම හිතා ගන්න නොහැකි ලෙසින් . . . මොහොතකින් සිහි එලවාගත් මම ඇස් නොඇරම ඇඳේ වම් පැත්ත අතගලා බැලුවේ නිලූ තාම නිදිද කියලා බලන්න . . . නිලූගේ උනුසුමත් සුපුරුදු සුවඳත් විතරක් ඉතුරු කරලා එයා නැගිටලා ගිහින් බව මට තේරුනා . . .

අඩි හයක් පළල ඇඳේ බිත්තිය පැත්තට වෙන්න නිදන දෝනි ගේ වටේටම කොට්ට තියලා වායුසමීකරනයේ සීතලට ඔරොත්තු දෙන විදිහට උනුසුම් වාතාවරනක් හදලා බෙල්ල ගාවටම වෙල්වට් පොරවනයෙන් වෙනදට වහනවා වුනත් අද එහෙම කරලා නැත්තේ දෝනිට ඊයේ රෑ අංශක 100ට පමන උන තිබුනු නිසා බව වම් පැත්තට හැරුනු මට එක්වරම සිහි වුනා . . . දෝනිගේ නළලට අතේ පිටි අල්ල තියලා රස්නේ බැලුවාම මට තේරුනේ ඊයේ රෑ තරම් ඇඟේ රස්නයක් දැන් නැති බවයි.

කොට්ටේ යට තිබුනු ජංගම දුරකතනේ අරන් මම වෙලාව බැලුවේ එලාම් එක වැදුනේ නැත්තේ ඇයි කියලා හිතන ගමන්. පාන්දර 4.30යි. දෙයියනේ මේ ගෑනු මනුස්සයට නින්ද යන්නේ නැද්ද? ඊයේ පාන්දර තුනට විතර අහම්බෙන් ඇහැරුනු වෙලාවෙත් නිලූ ඇඳේ ඉඳගෙන දෝනි දිහා බලාගෙන ඉන්නවා.

"තාම උනද . . ?"

"නෑ දැන් අඩුයි. . . !"

"ඉතිං ඔයා නිදා ගන්න ළමයෝ . . . හෙට දවසෙත් ඇහැරිලා ඉන්න එපැයි . . "

"නෑ මට නින්ද යන්නේ නෑ දුවට උන වැඩිවෙයි කියන බයටම"

"ඉතිං දැන් අඩුයි කිව්ව්නේ . . . පොඩ්ඩක් හරි නිදා ගන්න ඩාලිං"

"හා ඔයා නිදාගන්න හෙට කෑගල්ලේ යන්නත් තියෙනවානේ . . . "

"කෑම හදන්න ඕන නෑ හොඳේ මම ඔයාට ඇහැරවන්නෙත් නැතුව තේ එකක් විතරක් හදාගෙන බීල යනවා. යන ගමන් මගදි මොනා හරි කන්නම් . . ඔයා මේ නිදි මරලා ආපහු නැගිටලා උදේට කෑම හදන්න ඕන නෑ . . ."

"හරි හරි . . ඔයා නිදා ගන්න. දැන් දෝනිත් ඇහෙරෙනවා ඔයාගේ සද්දෙට"

"කොච්චර කිව්වත් වැඩක් නෑ මේ කෙල්ලට . . " මට දැනුනු සියුම් නොරිස්සුම් ගතියෙන්ම මම ඇඳෙන් නැගිට්ටේ කුස්සියට යන්න . . .

සද්ද නැතුව මම පිටි පස්සෙන් ගිහින් ඒ වෙනකොට පාන් වල බටර් ගගා හිටපු නිලූ ව අත් දෙකෙන්ම හිර කරලා බදා ගත්තා . . .

"අනේ සොරි කුකූ . . ." මගේ තිලාෂ් නමට කොහෙත්ම සම්බන්ධයක් නැති නමුත් ඈ විසින්ම මා වෙනුවෙන්ම හදාගත් සුරතල් නම.

"දුව ඇහැරිලා කෙඳිරි ගෑවොත් මට ඇහෙන්න කියලයි කාමරේ දොර වැහැව්වේ නැත්තේ . . අයියෝ එකෙන් වුනේ ඔයාව කලින්ම ඇහැරුනු එක. . " නිලූ කියන්නේ මගේ නින්ද කැඩුනු එක ගැන දුකෙන් වගේ.

"මේ හලෝ . . . මම තමුසෙව කසාද බැන්දේ වැඩකාර කමට ගෑනියෙක් ගන්න ඕන වුනු නිසා නෙමෙයි හරිද. . .?"

මම තමුසේ කියන්නේ ආදරේට බව දන්න නිලූ මගේ අත ටිකක් බුරුල් කරලා මගේ දිහා බෙල්ල විතරක් හරවලා බැලුවේ හිනාවීගෙන.

"ඔයා ඔය කිව්වට කඩවල් වලින් කන්න කැමති නැති බව මම හොඳටම දන්නවනේ බබෝ . . . ඉතිං ඔයාට කෑම හදල නොදී ගෙදරින් යැව්වොත් මට අද ඔයා ආපහු එනකම්ම ඉන්න වෙන්නේ දුකෙන්. . "

"ඔයා නිදා ගන්න. කෑගල්ලට වෙනකම් ඩ්‍රයිව් කරලා ආපහු එන්නත් ඕනනේ . . . තව පැය එකහාමාරක් තියෙනවා හය වෙන්න . . "

"මට බෑ . . ." මම කිව්වේ මුරන්ඩු කොලු ගැටයෙක් වගේ

ගෑස් ලිපේ තියෙන හාල්මැස්සෝ බැදුමේ ගින්දර අඩු කරපු නිලූ මගේ පිජාමා ෂර්ට් එකේ බොත්තම් ටික ගලවලා මගේ පපුවට ඔලුව තියා ගත්තේ අත් දෙකෙන්ම ෂර්ට් එකට ඇතුලෙන් අතදාගෙන මාව බදා ගන්න ගමන් . . .

"ඔයාගේ ලිපේ තියෙන බැදුමට මොකද වෙන්නේ මේ විදිහට හුරතල් වෙන්න ගියොත් . . ." මගේ අත් දෙකෙන්ම නිලූව තුරිළු කරගන්න ගමන් මම එහෙම ඇහුවා වුනත් මම දන්නවා මේ හැම දවසකම උදේම ඈ විඳින සුන්දර ප්‍රේමනීය මොහොත කොහොමටවත් නැති කර ගන්න ඈ අකමැති බව.

"මම බැදුමට කිව්වා මට කරදර කරන්න එපා. උදේ පාන්දර මගේ මේ ආසම විනාඩි දහය මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා . . ." නිලූ කියන්නේ මට විතරක් නෙමෙයි ඈට වත් ඇහෙන්නේ නැති තරම් හෙමීට

මම හෙමීට ඇගේ හිස් මුදුන ඉඹලා මගේ කම්මුලක් ඇගේ හිස් මුදුනට තියාගෙන ඇස් දෙක වහ ගත්තා. හැම මොහොතෙම ඈ ලඟ හිටියත් නොහිටියත් මට දැනෙන සුවඳ . . ඇගේ හිසකෙස් වලින්, බෙල්ලෙන් එන සුවඳ මාව සුපුරුදු පරිදි පැරනි මතකයක් ලඟට මටත් නොදැනිම ගෙන ගියා.

මතු සම්බධයි . . .

. . . . . . . . . . . . . . . ..

හැමෝම මට ගොඩාක් වෙලාවට බනින නිසා මම විවාහ ජීවිතේ අසුන්දර පැත්ත ගැන විතරක් කතා ලියනවා කියලා මම හිතුවා අද එහි සුන්දර බව ගැන කෙටි කතාවක් ලියන්න කියලා . . .

නමුත් හිතුවට වඩා කෙටි කතාව දිගු වීම නිසා එය කොටස් කීපෙකින් පලකරන්න සිතුවා. මොකද කලින් කතාව ගැන මට චෝදනාවක් තිබුනා එක දවසකදී පල කරන කොටස දිගු වැඩි වීම නිසා ගොඩක් දෙනෙක්ට බ්ලොග් කියවීමට ලැබෙන සුළු කාල වේලාව මදි කියලා එවන් දිගු කොටසක් කියවන්න.

ඉතිං මේ කෙටි කතාව කෙටි කතාවක් වුනත් කෙටි බ්ලොග් සටහන් කීපයකින් යුක්ත කෙටි කතාවක් වේවි.

. . . . .

විවාහ ජීවිතේ අසුන්දර බව ගැන ම කතා ලිව්වේ එය සුන්දර දෙයක් බව අමුතුවෙන් කියන්න ඕන නැති නිසා. ඒකට හොඳම උදාහරනේ අපේ රටේ විවාහ ප්‍රතිශතය. බටහිර රටවල් වගේ නෙමෙයි අපේ රටේ විවාහ නොවී තනිකඩව සිටින්නන් ඉන්නේ බොහෝම සුළු සංඛ්‍යාවයි.

කොතරම් සුන්දර දෙයක් වුනත් යම් යම් මත ගැටීම්, වැරදි වටහා ගැනීම්, හොඳ සන්නිවේදනයක් නැතිකම, පවුල් වල අයගේ උසිගැන්වීම්, කේලාම්, සුළු සුළු අඩුපාඩු මහා ලොකු දේවල් ලෙස ගනන් ගැනීම් . . . වගේ දේවල් නිසා එහි සුන්දර බව නැතිවී එය අසුන්දර අපායක් බවට පත් වෙන අවස්ථාවල් මම ඕන තරම් දැකලා තියෙනවා . . අහලා තියෙනවා . . . මගේ කෙසේ වෙතත් අන් අයගේ එවැනි දේවල් අත්විඳලා තියෙනවා.

එවැනි දේවල් මග හරවා ගෙන විවාහය සුපුරුදු සුන්දර මාවතට යලි ඇදලා දාගන්න දෙවෙනි සිතුවිල්ලක් ඇති කරගන්න නැතිනම් තමන්ගේම ප්‍රශ්න දිහා තුන්වෙනි පාර්ශව කරුවෙකු ලෙසින් දැක ඒ ප්‍රශ්න විසඳ ගන්න උදව්වක් ලෙස වගේ හැඟීමකින් තමයි මම කලින් ලියූ "අග පිපි මල් හෙවත් එක් සත්‍යය කතාවක්", "නුඹත් මාත් රේල් පීලි දෙකක්", "සත්‍යයක්‍රියාවෙන් හෙලිවූ කටුක අමිහිරි සත්‍යය", "අම්මාවරුන් පමනද මතු බුදු වන්නේ", "ඇයි පමා නුඹ ආදරණීය මරනය", "විවාහකයින් සියළුම දෙනාට එක් වරක් හෝ දික්කසාද වීමට ඉඩ සලසා දිය යුතුයි", "ඇස් රතුවෙන විහිළු හා කොන්ඩුම්", , "විවාහය - අවබෝධය - දුක - සතුට","ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ", "මගෙ කූඩුවට ඇවිත් සල්ළාල පෙම් වතෙක්, මගෙ පෙම්බරී සමග හාදව දුන්නු ගින්දරක් . . . මට දුන්නු ගින්දරක්"
වැනි පෝස්ට් ලිව්වේ .

එහෙම නැතුව මම විවාහය දෙස අසුභවාදීව බලන්නෙක් නෙමෙයි . . .

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (අවසාන කොටස)


මෙතෙක් කථාව . .

සවස් වරුවට, සති අන්ත වලට පංති නොගිහින් නතර වුනු මම ආයෙමත් වැටුනේ සුපුරුදු සෙල්ලමට . . .

එකල අප පදිංචි වී සිටි නිවස පිහිටි පටු මාවතේ සිටි එක වයස් කාන්ඩ වල කට්ටියකටම කුමක්දෝ හේතුවක් නිසා නිවාඩු පිට වගේ සිටියේ කෙසේදැයි කියා කොයි ආකාරයට සිතුවත් හේතුවක් සොයා ගැනීම අපහසුම කාරියක් වුනා . . . ඒත් නිකමට වගේ සිතූ විටෙක මෙසේ වන්න ඇති කියා අනුමාන කරන්න හැකි වුනා . .

සමහර අය උසස්පෙළ කරල ප්‍රතිඵල එනකම් හිටියා . . . සමහර අය සාමාන්‍ය පෙළ කරලා උසස් පෙල කරන්න ළකුනු මදි නිසා දෙවෙනි පාර කරන්න පුනරීක්ෂන පංති ගිය නිසා කාල වේලා තිබුනා . .

එසේ සෙල්ලමට වැටුනු මගේ මේ ක්‍රීඩා ටිකකට හෝ නතර වුනේ බොහෝවිට සවස තුනේ සිට හතර දක්වා ගුවන්ගතවූ හිංදී ගී තීරය, නැතිනම් රූපවාහිනියේ විකාශනය වූ රොබින් හුඩ් වැනි හැඬ කැවූ නාටකයක්, නැතිනම් හුවමාරුවට කියවූ නවකතා පොතක් චිත්‍රකතා පත්තරයක් ලැබූ විටෙක පමනයි . . . නැතිනම් සවස හය වනතුරු එකදිගටම සෙල්ලම් කලේ හෙම්බත් වීමක වගක් වත් නැතුව . ..

කෙසේ නමුත් අප සියලුම දෙනා සිටියේ ක්‍රීඩා උන්මාදෙකින් වගේ . . .

මම සිටි වයස් මට්ටමේ ආනුභාවයෙන්, තරුණයන්ගේ ක්‍රීඩා වූ වැඩිය වාහන නො එන පටු මාවත බදු අරගෙන මෙන් කල පාපන්දු ක්‍රීඩාවටත්, කම්බි වැටවල් නොතිබුනු මාවතේ වතු උඩින් ගස් ගල් පවා පෙරලගෙන දිවූ වයින් බෝතලේ ක්‍රීඩාවටත්, රබර් බෝලයෙන් පිට හරහාට පාරවල් හිටින්න බෝලපාර කෑ ටින් කැඩීම වැනි ක්‍රීඩාවලටත් මා එකතු කරගත්තා වාගේම කුඩා වුන්ගේ ක්‍රීඩා වූ අයිස් පයිස්, වන් ටූ ත්‍රී බම්බල් බී වැනි ක්‍රීඩා වලට පවා පමනක් නොව කට්ටිය අඩුවූ විට ගැහැනු ළමයින්ගේ ක්‍රීඩා වූ බට්ටා පැනීමට පවා නංගී බලෙන්ම මාවත් එකතු කර ගත්තා . . .

කලින් සඳහන් කල කන්ඩායම් සමඟ මාත් ඒ සුපුරුදු රැලටම එකතු වෙලා දුවලා පැනලා ජීවිත කාලෙම මැකිලා නොයන තුවාල කැලල් කකුල් වල ඇති කරගත්තු ඒ කාලය . . පංති නොයන්න බැරි වුනු එක ගැන දුකක් හිතනන් වත් . . . ඉමාෂා මම නැති පංතියේ දුකෙන් ඉන්නවා ඇති කියා හිතන්නවත් . . . ඒ ආදරණීය පංතියත් එහි සියලුම දේත් මට නැති වුනා නේදෝ කියා සිතන්න වත් මට මොහොතකට වත් ඉඩක් නොදුන්නා තරම් . ..

ඉමාෂා, සචිනි අතේ සතියකට දෙක බැගින් එවූ ලිපි මා කියවා පුළුස්සා දැමුවේ සිත් පිත් නැත්තෙකුගේ ආකාරයට . . . සචිනි අතේ හෝ තිලංෂ අතේ එවූ පනිවුඩ - පංති ඇරෙන වෙලාවට පුස්ථකාලය ලඟට එන්න කියා එවූ පනිවුඩ අසා සිටියේ දෙකන් නැත්තෙකු ලෙසට . . .

ඉමාෂා සචිනි අතේ එවූ පනිවිඩ . . .ලිපි කෙමෙක් අඩු වී නැත්තටම නැතිවී ගිය මුල දිනෙක සවස් වරුවක තිලංෂ මා සොයා එනවිටත් මා සිටියේ මිතුරන් සමඟ වයින් බෝතලේ ක්‍රීඩාවට සහභාගී වෙමින් . . . ඔහුට ටික වේලාවකට නතර වෙන්නයි පැවසූ මා එන විට මගේ සිරුර දහඩියෙන් පෙඟී හඩු ගඳ ගසමින් තිබුනා වන්නට ඇති . . .

"හලෝ මචං . . . කාලෙකින් . . ." කියා මා ඔහුගේ උරහිසට තැබූ අත ඔහු පිළිකුලෙන් ඉවත් කලේ යොවුන් සිරුරකින් නැගුනු දහඩිය ගඳ කෙරෙහි පිළිකුලකින් නොව . . . නිනේෂ් දිනුත ගුණරත්න ගේ ආත්මය කෙරෙහි උපන් පිළිකුලෙන් බව මට වැටහුනේ ඉන් ටික කාලයකට පසුවයි . . .

කිසිදු සිනාවකින් තොර ඔහු මගේ දෙනෙත තුලට කිමිඳී මොහොතක් බලා සිටියේ මට කීමට ඔහු සිතාගෙන සිටි දේවල් යලිත් සිහිකැඳවා ගන්න කල්ගන්නවාක් මෙන් . . .

"උඹ නම් මහා බල්ලෙක් නිනෙෂ්. . . "

මගේ දයාබර මිතුරාගෙන් මෙවැනි යමක් කෙදෙනක වත් අසන්න සැදී පැහැදී නොසිටි මගේ හිත පමනක් නොව ගතද එක් වරම වෙව්ලා ගියා . .

"උඹට ලව් කරන්න උවමනාවක් නැත්නම්, ලව් කරන්න දන්නේ නැත්නම් . . . මොන මගුලට අර අහිංසක කෙල්ලට හෝප්ස් දුන්නේ . . . "

කිසිදු පිලිතුරක් නොදුන් මා තවදුරටත් ඔහු දෙස බලා සිටියේ මුලින්ම ඇතිවූ කම්පනය තවදුරටත් දෙනෙතේ දරාගෙන . .

"උඹට ඉමාෂා සචිනිගේ අතේ එවපු ලියුම් වලට වචන දහයක රිප්ලයි එකක් යවන්න බැරි වුනා නේද . . . "

මගෙන් පිලිතුරක් නොලද තැන ඔහු යලිත් පටන් ගත්තේ මුලින් තිබුනු තරම් තරහකින් නොව විශාල කම්පාවක් කටහඬේ රඳෝගෙන . .

"මුලින්ම අපි ඒකි ගැන missunderstand කලාට ඒකි මාර හිත හොඳ කෙල්ලෙක් කියලා තේරුනාම අපි හැමෝම ඒකිත් එක්ක ෆිට් වුනානේ . . . මට මතක් වෙද්දිත් මාර දුකයි ඒකි ක්ලාස් ඇරිලා උඹට එන්න කියලා පනිවිඩ යවපු නිසා උඹ පබ් එකට ඇවිත් ඇති කියලා හිතලා උඹ එනකම් බලං ඉඳලා නො එන බව තේරුනාම අඬල අඬලා ගිය විදිහවල් මතක් වෙද්දී . . ."

"මම ආවේ උඹ ඇයි එහෙම කලේ කියලා උඹෙන් නිදහසට හරුනු අහලා යන්න නෙමෙයි . . . . . ඇයි මම උඹට හොඳ දෙකක් කතා කරන්නේ නැත්තේ කියලා වද දෙන මහේ හිතට සහනයක් දෙන්න . . . . උඹට කුනුහරුපෙන් බැනලා යන්න ඕන නිසාමයි . . . “

ලොකු හුස්මක් ගත් ඔහු “මම යනවා . . . උඹ ආයි කවදාවත් එයාව මීට් වෙන්න යන්න ඕනෙත් නෑ . . එයාව දකින්න වත් යන්න ඕනෙත් නෑ . . . අපි පුලුවන් විදිහකින් එයාගේ හිත හදන්නම් . . ." කියූ තිලංෂ ඔහු ආ පාපැදියට නැගී යන්න ගියේ පසුපස වත් නොබලා. ..

ඔහු යන දෙස මම බලා සිටියේ හැඟීම් විරහිත බවකින් බව මට තාමත් මතකයි . . .

. . . . . . . . . . . .

සියල්ල උඩු යටිකුරු වී සත්‍යය වැටහීමට ගතවූයේ මාස දෙකක් හෝ තුනක් වැනි සුලු කාලයයි . . .

අසල් වැසි පොත් ගුල්ලන් ගුල්ලියන් පාසැලේ පුස්ථකාලයෙනුත් . . මහජන පුස්ථකාලයෙනුත් රැගෙන විත් මාරුවෙන් මාරුවට කියවන පොත් අතරින් "ගොළු හදවත" පොත නැවත වරක් මගේ අතට ලැබුනේ දෛවයේ හාස්කමකින් මෙන් . . . වරක් කියවා තිබුනු මුත් මෙවර එය මා කියවන විට දම්මි-සුගත්ට මෙන් ආදරයක ශේෂවූ මතක සටහන් මා ලඟ තිබුනු නියායෙන් වැඩි කාලයක් රැගෙන සීරුවෙන් කියැවූයේ සමහර විට මගේ අවාසනාවට විය හැකියි . . නැතහොත් ජීවිතයේ කෙදිනක වත් යලිත් එවැනි පාදඩ කමක් නොකිරීමට මට පාඩමක් ඉගැන්වීමට දෛවයෙන් දුන් තීන්දුවන් නිසා විය හැකියි . . .

දෙවියනේ . . . දමයන්ති කලාක් මෙන් . . ඊටත් වඩා කුරුරු ලෙස මා විසින්ද සිදු කලේ පලමු වර කියැවීමේදී දම්මි කලේ බරපතල වරදක් යැයි මා සිතූ වරදම නොවේද . . . ??

දම්මි හදවත ගොළු කරගෙන සිටියේ කුඩා කල පටන් ඈට යෝජිතව සිටි නිහාන් නිසාවෙන් . . . නමුත් මා . . . ?? දෙවියනේ මා . . ?? මා ඒ වැරැද්ද සිදු කලේ කිනම් වූ හේතුවක් නිසාවෙන්ද . . . ආදරය කිරීම යනු අරයාටත් කෙනෙක් ඉන්නා නිසා මටත් කෙනෙක් සිටිය යුතුයි වැනි යමක් . . . නැතහොත් පෙම්වතියක් සිටීම ආඩම්බරයට කරුනකැයි වැනි . . මෝඩ සිතුවිල්ලකින් ආදරය යන උදාර වචනයට මුවාවී මා විසින් සිදු කර ඇත්තේ කුමන සාපරාධී ක්‍රියාවක් ද . . .

එතැන් පටන් මා දැවෙන්න වූයේ විශාල ගින්දරකින් . . . මා ඇයට කලේ විශාල වරදක් යන හැඟීමෙන් එකදු මොහොතක් හෝ මිදෙන්නට ඉඩක් නොලැබුනා තරම් . . .

නිතරම මට දැනෙන්නට වූයේ හදවතේ කිණිස්සක් ඇණී නොමැරී ජීවත් වෙන්නෙකුට කොයි මොහොතේ කිණිස්ස ඇතුලටම ඇනී මියයාදෝ වැනිව දැනෙන හැඟීමක් වෙන්න ඇති . . .

ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්
සිහිනයක් නොවේ ජීවිතේ . . .
අරුණු යාමේ රැඳී
තුෂර බිංදුවක් වගේ
ආදරේ බිඳේවි මොහොතකින් . . .

බිඳුනු පෙම් හදින් හඩන තුරුණු පෙම්වතුන්
ලෝකයේ කොතෙක්ද යාලුවේ . . . .
පුංචි කාලේ එවන් වේදනා දැනුනොතින්
දරාගන්න හැකිද ඔය සිතින් . . .

මිහිරි කල්පනා සොඳුරු මුකුළු මල් හිනා
පුංචි හිතට සතුට ගෙනෙනවා . . .
නොසිතු සේ ඈ සෙමින් පෑ සෙනේ බිඳුනොතින්
පුංචි හිතට නේද වේදනා . . . .

අල්ලපු ගෙදර රේඩියෝවෙන් නැගෙන නිමල් ගුණසේකර මහතාගේ හඬ මේ හදවතේ ඇනුනු කිණිස්ස තව තවත් ඇතුලටම තද කරන්න දරන උත්සාහයක් වගේ යැයි සිතුනා . . .

ඈට ලිපියක් යවන්න කියා සිතා සචිනි ගේ උපකාරය ලබා ගත් හැකි නොවේදැයි සිතූ සිතුවිල්ල පවා සචිනිගේ එක බැල්මකින් සුනු විසුනු කර කර දැමුවා . . . ඉමාෂා එවූ ලිපි වලට මගෙන් පිළිතුරු නොලැබීමේ රහස ඈ ඉමාෂාගෙන්ම අසා දැන ගන්න ඇති . . ඈ ඉන් මතු මා දෙස බැලුවේ පීදීගෙන රෝස මල් පාත්තියක් සපත්තු දැමූ දෙපයකින් පාගා පොඩි කර දැමූ නරුමයෙකු දෙස බලන්නාක් මෙන් . ..

එකම පාසැලේ ඉගෙන ගන්නා යෙහෙළියක ගේ අහිංසක සිතක් තලා දැමූවෙකු පමනක් නොව යෞවනියක් ලෙස බාලිකා ලොවටම අපරාධකල අපරාදකරුවෙක් ලෙස ඈ මා ගැන උපන් සිතුවිල්ලෙන් මා දෙස බලන බව ඇගේ බැල්මෙන් තෙරුම් ගත් පසු මා කෙසේ ඈ අත ඉමාෂාට ලිපි යවන්නද . .. ??

එනත් පාසැලක එකම පංතියේ උගත් මගේ උපකාරක පංතියේ මිතුරු කැල තිලංෂ, රුසිත් සහ සාරංග ඉන් මතු අහම්බෙන් හෝ මා මුන ගැසුනු විටෙක බලෙන්ම මා ඔවුන් හා කතාබහට එක්කරගන්න උත්සාහ කල විට "ආ නිනේෂ් මහත්තයා . . . කොහොමද සැප සනීප . . . හොඳට පාඩම් කරනවාද . . . අපි යන්නම් මචං . . පරක්කු වුනා " කියා නිනේෂ් මහත්තයා කියන නම බර කර කීවේ ඔවුන් මට ඇමතූ මගේ කෙටි නම වූ "නිනෝ" පවා ඔවුන්ට අමතක වුන් ලෙස . . . එසේ වචනයෙන් දෙකෙන් මගහැර යන ඔවුන් අත මා කෙසේ ඈට පනිවිඩ යවම්ද . . .

පංති නිමාවෙන වේලාවට නුගේගොඩ හංදියේ අපේ සුපුරුදු බීම හල ලඟට වී ඈ සමඟ වචනයක් හුවමාරු කරගෙන සමාව ඉල්ලීමට මට ඉඩක් නොදීම . . . . ඈ මා දුටුවිට හිරුෂි නොමතිව තනියෙම ආ විටෙක පවා දන්නා හෝ නොදන්නා බාලිකාවන් රැලකට මැදිවී මා මඟහැර ගියේ මා නොදුටු ලෙස . . . එක් වරක් හෝ හෝ ඈ හැරී බලනු ඇතැයි මා මගේ සිතත් සමඟ කල ඔට්ටු ඇල්ලීම් වලින් මා දිනුම ලැබුවා වුවත් වචනයක් හුවමාරු කිරීමට කිසිදු ඉඩක් ඈ නොවේ මට ලබා දුන්නේ . . .

කිසිදු ලෙසකින් ඇගෙන් සමාවක් ඉල්ලීමට ඉඩක් නොලද මා එතැන් සිට මගෙන්ම පලි ගන්නවා හැර වෙන කුමක් කරන්නද . . . ???

ඈ යලිත් මට නොලැබෙන බව පසක් වෙන හැම මොහොතකදීම ඈවම ඇගේ සෙනෙහසම ඉල්ලා කෑ ගසන සිතට දිය හැකි උපරිම දඬුවම් ලබා දෙමට මා කිසිවිටෙක පැකිළුනේ නෑ . . . මා ආදරය කල සැම දෙයින්ම මා පලා යා යුතුයි . . . ම දැනසිටි, මා ඇදහූ පලිගැනිමේ ක්‍රමය එපමනයි . . . ! ! !

. . . . . . . . .

දිනක් පාසැල් වේලාවේ මගේ පන්තිය අසල මගේ මාමගේ පුත්‍රයා රැඳී සිටියේ එම කාල පරිච්ඡේදය නිමා වෙනතුරුයි . . .

"තිසල් මල්ලී මොකෝ මේ . . . පංති කට් කලාද . . . "

"නෑ නිනෝ අයියේ . . අද අපේ සයන්ස් ටීච නිවාඩු . . ඉතිං මේ පීරියඩ් එක ෆ්‍රී . . "

"මොකෝ ඉතිං තමුසේ මාව බලන්න අවේ . . . "

"නිනෝ අයියේ මගේ මාළු ටැංකිය ඊයේ අපේ මල්ලිගේ අතින් කැඩුනා හලෝ . . . මාළු ටික බේසමක දාලා තියෙන්නේ . . ඔයාට ටැංකි හතක් විතර තියෙනවානේ . . මට එකක් දෙනවකෝ හලෝ . . . "

"එහෙනම් හවසට එන්න . . . මම දෙන්නම් . .. " උගේ මූනේ රැඳුනේ සතුටු සිනාවක් . . .

හවස ඔහු එනවිට මා ටැංකි හතේම සියලුම මාළුවන් වෙන වෙන බෑග් වලට දමා ටැංකි වල තිබූ උපකරනත් ගල් වර්ග, ලී කැබලි ආදියත් බෑග් වල අසුරා ටැංකි ටිකත් මිදුලේ පේර ගස යට තබා තිබුනා . . .

"මේ මොකෝ මේ . . . "

"ඔයා මේ ඔක්කොම ගන්න . . . යමු මම එක ටැංකියක් ගන්නම් . . ඔයා පොඩි එකක් ගන්න . . "

ඔහුගේ ඇස් විස්මයෙන් ඉපිලී එලියට නොපැන්නා පමනි . ..

. . . . . . . .

මිදුලේ ලොවි බංකුවේ වාඩිවී පොතක් බලනවා වැනි ඉරියව්වකින් වේදනාබර කල්පනා ලෝකයේ කිමිදී ඉන්නා විටෙක . . . .

"ස්ස්ස්ස්ස්ස් . . . . හලෝ හලෝ . . . නිනේෂ් අයියේ . . ."

ඉස්සරහා වත්තේ කවින්ද්‍යා නංගී

"මොකෝ . . . "

"මේ ඔයාගේ මුද්දර පොත් වල තියෙනවනම් ඔස්ට්‍රියා වල එක වගේ මුද්දර දෙකක් මට එකක් දෙන්නකෝ තරහා නැතුව . . . මම ඔයාට මගේ ලඟ එක වගේ දෙකක් තියෙන ඉන්ඩියා වල රෙයා මුද්දරයක් දෙන්නම් . . "

සුළු මොහොතකින් මා ඔවුන්ගේ නිවසේ සීනුව නාද කලා . . .

ඇතුළු කාමරක සිටි කවින්ද්‍යා නංගී සාලයට අවේ . . .

"අම්මෝ . . .මාර Quick නේ . . . ඉන්න මම මගේ මුද්දර පොත් ටික අරගෙන එන්නම් . . "

"නෑ . . එපා . . . මෙන්න මේ ටික ඔක්කොම ඔයා තියා ගන්න . . . "

කාලයක් ආදරෙන් එකතු කල, රටවල් ගනනාවක එක එක වර්ගයේ දුර්ලභ මුද්දර එකතුවකින් යුතු මගේ මුද්දර පොත් හතරම මා ඇගේ අතේ තැබුවා . . . .

ඈ සතුට දරා ගත නොහැකිව නොහැඩුවා පමනයි . . .

. . . . . . . .

මගේ කුරුළු පිහාටු එකතුවත් . . . රට රට වල කාසි එකතුවත් හිමි වුනේ අපේ පටුමගේ පටන් ගන්නා තැනම වම් පැත්තේ ගෙදර මිතුරාගේ කුඩා මලනුවන්ට . . . .

. . . . ..

ඉතිං තවදුරටත් ඉතිරි වී ඇත්තේ මගේ ප්‍රියතම විනෝදාංශය ආදරනීය ඉගෙනීම පමනි . . . නමුත් මුද්දර පොත්, මාළු ටැංකි, කාසි, පිහාටු මෙන් එය අතහැරීම ලේසි කාරියක් නොවේ . . . සියලුම දෙනාට නොදැනෙන්නට එය කල යුතු වේ . . .

ඒ සඳහා මාස කීපයක් ගතවුනි . . .

මුලින්ම වෙනස දැනුනේ මගේ ගණිත ගුරුවරියටයි . . . විවේකය සඳහා සීනුව නාදවී සියල්ලෝම එලියට දුවන්න සරසෙන මොහොතේ ඈ . .

"නිනේෂ් . . පොඩ්ඩක් නවතින්න . . . මට ඔයාත් එක්ක කතා කරන්න තියෙනවා ටිකක් . . . . "

මා ගල් ගැසී ගියේ මා පමනක් දන්නා රහසක් ඈ කෙසේ දැන ගත්තාදෝ කියා දෙගිඩියාවෙන් . . . සියළුම දෙනා පිටව ගිය පංති කාමරය ඇතුලේ සිටියේ ගුරුතුමියත් මාත් පමනයි . . .

"පුතා . . . මම මෙහෙම අහුවට අමනාප වෙන්න එපා . . . . . "

බෙල්ල නමාගෙන සපත්තුව දෙස නෙත් යොමාගෙන සිටි මා දෙස ඈ සුලු මොහොතක් බලා සිටින්න ඇති . .

"ඔයාට මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් තියෙනවාද . . ."

"නෑ මිස් . . . "

"ඔයා ලඟකදී ඉඳලා ගණන් වලට හරිම දුර්වලයිනේ . . . ඉස්සර ගානක් දුන්නු ගමන් ගාන බෝඩ් එකේ ලියල ඉවර වෙන්න කලින් හදන කෙනා දැන් මොකද පීරියඩ් එක ඉවර වෙනකනුත් ගණන් හදල පොත පෙන්නන්නේ නැත්තේ . . . "

“මම දවසක් ටීචර්ස් රූම් එකෙදි විජේසූරිය මිස් එක්කයි . . . මුනසිංහ සර් එක්කයි කතා කරපු වෙලාවක එයාලත් කිව්වේ ඒකමයි . . . English Day එකෙදි කප් ගහපු ලමයා . . . සයන්ස් ටීචගේ ප්‍රියතම ගෝලයා . . . ඔයට මොකද්ද මේ වුනේ . . . අපි හැමෝටම පුදුමයි මෙච්චර දක්ෂ ඔයා ඇයි මේ එක පාරටම දුර්වල වුනේ කියන එක . . . ඒකයි මම කිව්වේ මම හෙමීට අහල බලන්නම් කියලා . . . "

" මම . . . . මම . . . ටියුෂන් ක්ලාස් යන එක නැවත්තුවනේ මිස් . . . ඒක නිසා වෙන්න ඇති . . . "

"ඒ වුනාට ටියුෂන් ක්ලාස් යන්න කලින් ඔයා ඊටත් හොඳට වැඩ කලානේ . . . මොකක් හරි ප්‍රශ්නයක් තියෙන වනම් කියන්න ලැජ්ජ වෙන්න එපා . . . ඔයාලව ඉතිං අපිට අපේම දරුවො කියලා තමයි දැනෙන්නේ . . . "

"නෑ . . එහෙම මොකුත් නෑ මිස් . . . " තටම තටම මා කියූ බොරුව ඈ විශ්වාස නොකල බව ඇගේ දෙනෙතේ බැල්මෙන් මා තේරුම් ගත්තා . . .

"විභාගෙට තව මාස තුනයි තියෙන්නේ . . . මහන්සි වෙලා වැඩ කරන්න . . ." අපි හැමෝම ඔයා ඩී අටක් නැත්ත හතක් වත් ගනී කියලා තමයි ඉස්සර ඉඳලම හිතාගෙන හිටියේ . . . සංගීත ගුරුතුමාගේ ඉගැන්වීමේ තරම දන්නා නිසා ඈ සිතා සිටින්නේ සංගීතයට හැර අනෙක් සියලුම විශයන්ට මා ඩී ලබා ගනීවී කියා . . .

විභාගයේ ප්‍රතිපල පිටවෙන දවසේ අනිත් ළමයින් උදේ ඉඳන් පාසලට ගියා වුනත් මා දහවල පසූවී පාසැලට ගියේ ගුරුවරුන් පිටවී ගොස් ප්‍රතිඵල ලේඛනය දැන්වීම් පුවරුවේ අලවා ගොස් ඇතැයි අනුමාන කරමින් . . . නමුත් අවාසනාවට ඉංග්‍රීසි ගුරුවරිය ඒ වන විටත් පැමිනෙන සිසුන්ට ප්‍රතිඵල දැනුම් දෙමින් සිටියා . . . මා දුටු විගස ම . .

"නිනේෂ් . . . මොනවද මේ කරගත්තේ . . . " කියා ඇසූ සැනින් මට ඇතිවූ හැඟීම නම් මා බලාපොරොත්තු වූ ලෙසම සියළුම විෂයන්ගෙන් මා අසමත්ව ඇති . .. දැන් ඉතිං කෙසේද මා ගුරුවරුන්ට මූන දෙන්නේ යනුයි . . .

මා සිතූ තරම් අයහපත් ප්‍රතිඵල ලබා නොතිබීම කුඩා කල පටන්ම මා අසාවෙන් කල ඉගෙනීම වෙනුවෙන් මා ලද ත්‍යාගයක් මිස වෙන කිසිවක් නොවේ . . . සංගීතය හැර සියළුම විශයන් සමත්වී උසස් පෙළ සඳහා වරම් ලැබීමට තරම් සම්මාන ද ලබා තිබුනා . . . ගුරුවරුන්ගේ නෝක්කාඩු . . . ඇනුම් බැනුම් කෙසේ වෙතත් මාස ගනනාවකට පසු මගේ මුවේ සතුටු සිනා රැළි ඉතිරී යනු මට දැනුනා . . . . පවුලේ අයගෙන් බැනුම් ලබා නොගෙනීමට මා විභාගය නිමාවූ දිනවල පටන් පරිසරය සකස් කොට තිබුනායින් (ක්ලසස් යන්න බැරි වුනු නිසා විභාගේ හොඳින් කරන්න බැරි වුනා ආදී බොරු වලින් . . . ) ගෙදරින් වැඩි බලපෑමක් නොමැතිව සැනසීමක් ලබන්න හැකිවූවා

"මට බෑ ආයේ ඉස්කෝලේ යන්න . . . "

මා සිදු කල වරදට මගේ ජීවිතයෙන්ම පලි ගැනීමේ අවසාන භාගයගේ මුව විටේ මා සිටියේ . . . ඒ සඳහා සුදුසුම අවස්ථාව මේ . . . මම අම්මාට මගේ ඉගෙනීම නතර කරීමේ තීරනය දැනුම් දුන්නා . . .

"ආ කමක් නෑ . . . හිටපන් මම තාත්තාට කියන්න ගොනෙක් නැති කරත්තයක් අරගන්න කියලා . . . " අම්මා පැවසුවේ සැහැල්ලුවෙන් . . .

"මම ඉස්කෝලේ නොයෑමයි ගොනා නැති කරත්තෙයි සම්බන්ධෙ මොකද්ද . . . " මට හිතා ගන්න වත් බැරි වුනා . .

"ඇයි ඉතිං උඹට ඉකෝලේ යන්න බෑ කිව්වනේ . . . නිකම් කන්න බොන්න දිදී තියා ගන්නේ මොකටද . . . කරත්තෙක බැඳලා හංදියට වත් යවන්න කියලා අර හාඩ්වෙයර් එකේ ගඩොල් අදින්න කියලා . . . . "

"අම්මට කිව්වට තේරෙන්නේ නැත්ද . . . මට ඉගෙන ගන්න බෑ . . . මම හරිම දුර්වලයි ඉගෙන ගන්න . . . "

"දුර්වල නිසාද එක දවසක් වත් පාඩම් කරන්නේ නැතුව සම්මානත් අරගෙන විභාගේ පාස් වුනේ . . . පිස්සු කතා කියන්නේ නැතුව AL ක්ලස් එකක් බලපන් . . . "

"සල්ලි . . . ????"

"සල්ලි . . . තාත්තයි මායි බලා ගන්නම් . . . උඹ ඒ ගැන හිතන්නේ නැතුව හිටපන් . . .“

ඒ සටනෙන් මට ගැලවී සිටින්නට . . . දිනන්නට . . . බැරි බව දැනුනු විට මා සිතුවේ . . . "හරි . . මම හොඳ වැඩක් කරන්නම්කෝ . . . අන්තිමට විභාගේ ෆේල් උනාම හරිනේ . . . එතකොට මෙයාලට තේරෙයිනේ . . . “

උසස් පෙල උපකාරක පංති සඳහා පියාගේ හිතවත්කම උඩ නුගේගොඩ උසස් අධ්‍යාපන ආයතනයකින් විශයන් හතරටම Free Card එකක් ලැබීම මා සැලකුවේ ඒ ගුරුවරයා මට කල අසාධාරනයක් ලෙසට . . . . "මේ මගුල නොලැබුනානම් ක්ලස් Fees වියදම් වුනා හරි මොනා හරි බොරුවක් කියලා ක්ලාස් නොගිහින් ඉන්න තිබුනා . . . දැන් ඉතින් පලයන්කෝ ක්ලාස් . . . . "

පාසැලේ උසස්පෙල පංතියේ මගේ කුඩා කල සිටම මිතුරෙකුවූ . . . අසිත මුලින් මුලින් කෙසේ හෝ මා ව බලෙන්ම වාගේ උපකාරක පංතියට ඇදගෙන ගියා . . .

"අනේ මචං මට වැඩිය යාළුවෝ නෑ උඹ දන්නවානේ . . . ටොයිලට් යන්න ගියත් ටැප් එක ලඟට ගියත් යන්නෙ හෙන අප්සට් එකේ බං තනියෙම ක්ලාස් ගිය දාට . . . ඒක නිසා හොඳ එකා වගේ ක්ලාස් වරෙන් බං . . . "

මට පංති යන්න කිසිම අවශ්‍යතාවයක් නැති වුනා වුනත් අසිතගේ උවමනාවටම පංති යන්න සිදුවුනා . . .

දෙවෙනි හෝ තුන්වෙනි සතියේ දිනක් පංති යෑමේදී ගේට්ටුව අසල දී මා දුටුවේ මා හීනෙන් පවා ප්‍රාර්ථනා කල රුවක් . . . ටක් ශොප් එක අසල කොට්ටම්බා ගස යට බංකුවේ වාඩිවී සිටියේ ඉමාෂා ඇතුළු ඇගේ පාසැලේ යෙහෙළියන් රෑන . . .

ඈ දුටු වනම මා ගල්සුනාක් මෙන් පා ඔසවා ගත නොහැකිව ළතවෙද්දී ඈත් මා මෙන්ම විමතියෙන් ගල් ගැසුනු බව මා පමනක් නොව ඇගේ යෙහෙළියන්ටත් දැනුනු බව ඔවුන් මාරුවෙන් මාරුවට මා දෙසත් ඈ දෙසත් බැලූ බැල්මෙන් ම මා අඳුනා ගත්තා . . .

"මොකෝ මචං . . . මොකද්ද අප්සට් එක . . . " මේ කිසිවක් නොදන්නා අසිත ඇසුවේ පිටට තට්ටුවක්ද දමමින් . . .

"නෑ මචං . . . කිසි අප්සට් එකක් නෑ . . . යමු පංතියට . . . " මා දෙතුන් වතාවක් හැරි හැරී බලන බව අසිත දුටුවත් මා කා දෙස බලනවාදැයි තේරුම් ගැනීම ඔහුට අපහසු වූ බව ඔහුගේ සැක සහිත බැල්මෙන් මට තේරුනා . . .

පංති නිමාවී බස් නැවතුමට එන අතර කතාව මුල සිට අගට අසිතට පැවසූ මා බලාපොරොත්තු සහගත සතුටු සිනාවක් නැගුවේ . .

"කමක් නෑ . . . දැන් ඉමාෂාත් මාත් ඉන්නේ එකම පංතියේ . . . උත්සාහයක් දැරුවොත් නැතිවූ ප්‍රේමය යලි ගොඩනංවාගෙන මගෙන් සිදුවූ වැරැද්දට සමාව ඉල්ලාගෙන . . . තිබුනාටත් වඩා වැඩි ප්‍රේමයක් ඇතිකරගත හැකි නොවේදෝ . . . " කියා සිතුනු හැඟීමෙන් . . .

පංතියේ මට අවසාන පේලි වල අසුන් ගැනීමට අවැසි වුවත් අසිතගේ උවමනාවට ඉඩදිය යුතු නිසාවෙන් අපි ඉඳ ගත්තේ මැද පේලිවල . . . ඉඳ ගත් සැනින් මගේ කාරිය වුනේ ඉමාෂා කොහේදැයි සොයා බැලීමයි . . . මුලු පංතිය සිසාරා සොයා බලන විට මගේ දෙනෙතට අසුවන්නේ ගැහැනු ළමයින්ගේ පේලිවල මුල් හරියේ වාඩිවී පැන්සල් පෙට්ටියේ සවිකරගත් කන්නාඩියකින් මා කොහේදැයි සොයා බලන ඉමාෂාවයි . . . අහම්බයෙන් අපගේ දෙනෙත් එකට මුන ගැසෙනවිටම ඈ කරන්නේ පැන්සල් පෙට්ටිය වසා දැමීමයි . . . නමුත් එවැනි ඉඟි වලින් මා තේරුම් ගත්තේ උත්සාහ කලොත් ඇගේ සිත වෙනස් කිරීමට හැකියාවක් ඇති බවයි . . .

මුල් මාස කීපය සතුටින් පංති ගියේ ඒ ඇතිවූ උද්දාමයෙන් . . . හැමදේටම කලින් ඇගේ යෙහෙළියන් සමඟ යලි මිතුරු කම් අලුත් කරගත යුතු බව පසක් වූ මා හිනාවෙන් පටන් ගෙන කතාවක් කරගත හැකි තරම් මිතුරු කම් ගොඩනගා ගත්තා . . .

"උඹට මොකෝ බං උනේ . . . "

"උඹ ඇයි එච්චර නරක විදිහට ඉමාෂාව අතහැරියේ . . . "

"ඒකි මාර දුකෙන් ඒ කාලේ ගෙව්වේ . . . "

"තාමත් ඒකි අර උඹ යාළු වෙන්න ඉස්සෙල්ලා හිටියා වගේ ජොලියේ ඉන්නවා අපි නම් තාමත් දැක්කේ නෑ . . . "

ඇගේ මිතුරින්ගේ දාහක් ප්‍රශ්න වලට ඒ වෙලාවට ගැලපෙන පිළිතුරු දීගන්න හැකිවුනත් ඈත් මාත් අතර මිතුරු කමක් ඇති කරන්න හැකි බවක සේයාවක් වත් මා දුටුවේ නැති තරම් . . . මොන කතාවක් ඇති වුවත් තහනම් වචනය ලෙස අපගේ මිතුරු කම යන මාතෘකාව ඔවුන් සැලකුවා මෙනි . .

ඔවුන් අතේ යැවූ ලිපි සියල්ලම විවෘත නොකරම හරවා එවන්න තරම් ඇගේ හදවත ඈ ගල් කරගෙන සිටියා . . . පංති නිමාවී බස් නැවතුමට යන අතර මඟ දී වචනයක් හුවමාරුකර ගැනීමට ගත් සියළුම උත්සාහයන් ඈ පයේ පෑගෙන දූවිල්ලක් තරම් වත් ගනන් නොගෙන පිටු දැක්කා . . .

මා සතුටින් පංති ගිය කාලය නිමා වූවා . . . ඈ මා පිළිකෙව් කරන බැව් නිත්‍යලෙසම දැනගත් පසු තවදුරටත් පංතිය මට සතුටින් යා හැකි තැනක් නොවූවා . . .

අසිතට මා දැමූ කොන්දේසිය නම් පංතියට යන විට ගේට්ටුව අසල ඈ සිටියෝතින් මා ආපසු හැරී යන බවයි . . . සතියක් දෙකක් මා සමඟ එසේ පංති මඟහැර පැමින චිත්‍රපටි . . නාට්‍ය . . . බලන්න පැමිනි අසිත තෙවෙනි සතියේදී පැවසුවේ . . .

"අනේ මචං . . . උඹට ක්ලාස් නොගිහින් අනාගතේ අවුල් කරගන්න පුළුවන් වුනාට මට නම් එහෙම කරන්න පුළුවන් කමක් නෑ . . . උඹ ක්ලාස් නාවට අනිත් දවසේ මම නම් ක්ලාස් යනවා . . . "

මට දිය හැකි පිළිතුර වූයේ . . .

"කමක් නෑ මචං . . . මගේ පව් මම ම තනියෙම ගෙවන්නම් . . . උඹ ක්ලාස් පලයන් . . ." කියා පමනි . . .

කාලය ගතවන ඉක්මන . . . වසර දෙකහමාරක කාලය අවසන, ආරම්භය ගැන සිතීමේදී එය අද ඊයේ මෙන් දැනුනා . . .

. . . .

එපා හිරු පායන්න . . .අදින් පසු මගේ ලොවට . . .
අදයි අවසන් දවස . . .
ඇගෙන් මා . . .
මගෙන් ඈ සමුගන්න . . .

සැඳෑ තරු නොදිලෙන්න . . .
සරා සඳ නොනඟින්න . . .
වෙලී යුඟදුර සතර . . .
අනු දිසා ගිලගන්න . . .
ගලා යන නදී දොල මිදී . . .
මිදී නැවතී ඉන්න . . .

ලිය මඬුලු තුරු සිරස . . .
එපා මල් පලදින්න . . .
වසන්තය නිමාවිය . . .
කොවුලනේ ගොළු වන්න . . .
සොබා දම් නෑසියනි සැලී . . .
සැලී කම්පා වන්න . . .

පංතියේ අවසන් දින නිවසින් පිටවීමේදී සුපුරුදු පරිදි අල්ලපු ගෙදර රේඩියෝව මගේ හදවතේ ඇනී තිබුනු පිහියේ මිටට තදබල පහරක් එල්ලකලා . . .

පංතිය අවසාන වනතුරු කාලය කෙසේ ගතවුනාදැයි සිහියේ රැඳුනේ නැති තරම් . . . පංතියේ අවසන් දිනයේදී පමනක් දිගහරින ගුරුතුමාගේ ජීවිත කතාවේ කිසිදු කොටසක් මගේ මතකයේ රැඳුනේ නැති බව පමනක් දනී . . . නිමාවූ අවසන් පංතියෙන් එලියටබට යෞවන යෞවනියන් කිසිවෙකුට නිවෙස් බලා යාමට උවමනාවක් නැති හැඩයි . . . තැන තැන එකතු වී කන්ඩායම් පිටින් හඬා වැටෙන කුමර කුමරියන් . . . කඳුළු පිරි දෑසින් සමරු පොත් එහාට මෙහාට හුවමාරුකරගන්නා කුමර කුමරියන් . . . අතුරින් මා දෙතුන් විඩක් එහාට මෙහාට පිස්සුවෙන් වගේ ගමන් කලේ එක් වරක් හෝ ඉමාෂාව අඩු තරමින් දැක ගන්න වත් තිබුනෝතින් යන ප්‍රාර්ථනාව හිසේ දරාගෙන . . .

අහම්බෙන් අතරමගකදී මා මෙන්ම පිස්සුවෙන් මෙන් කාවදෝ සොයමින් ළමයින් අතුරින් හිර වෙවී ගමන් ගත් ඉමාෂාව දුටු මා ඇගේ අතකින් අල්ලා ගත්තේ තවෙකෙකුගේ හිසටත් උඩින් අත දමා . . .

"නිනේෂ් . . . . මම මේ මෙච්චරවෙලා හෙව්වේ ඔයාව . . . "

මා දුටු ගමන් ඇගේ දෑසින් කඳුළු කැට කඩා හැළුනේ සොරොව්වක් ඇරියාක් මෙන් . . . ඒ දුටු මගේ දෙනෙතුත් මෙතුවක් කල් රහසේ හෙලූ කඳුළු වලට නිදහසේ ගලා යන්න ඉඩ සලසා දුන්නේ මෙතෙක් කල් හදවතේ ගල්වී තිබූ කඳුළු නිධි සියල්ලම එලියට ඇද දැම්මාක් මෙන් . . . .

නිනේෂ් දිනුත ගුණරත්න ත් ඉමාෂා විහාරි සමරතුංගත් එකිනෙකාගේ දෑත් අල්ලාගෙන දෙනෙතින් දෙනෙත බලාගෙන කඳුළු සැලීම කිසිවෙකුට අරුමයක් නොවුනේ පංතියේ අවසන් දවස කඳුළු වෙනුවෙන්ම වෙන්කල දවස්කැයි හැමදෙනාම සිතූ නිසාම වෙන්න ඇති . . .

"ඉමා . . . අනේ ඉමා මට එක පාරක් කියන්න . . . එකම එක පාරක් කියන්න . . . ඔයා මට සමාව දෙනවා කියලා . . . "

"නිනෙෂ් . . ඊට කලින් මට කියන්න . . . ඇයි ඔයා මට එහෙම කලේ කියලා . . මම මොකද්ද ඔයාට කරපු වැරැද්ද . . . ඔයා කොහොමද ඔයාගේ අහිංසක හිත ගල් කර ගත්තේ කියන්න මට රිද්දන්න තරම් . . . "

"මම දන්නේ නෑ ඉමා . . . විස්වාස කරන්න මටත් තාම හරියටම හිතා ගන්න බෑ ඇයි මම එහෙම කලේ කියලා . . . සමහර විට මට හිතෙන්න ඇති අපි දෙන්නා නොගැලපෙනවා කියලා . . . ඔයා මගේ දුප්පත් කමට හිනාවෙනවා කියලා වගේ මට හිතෙන්න ඇති . . . "

"ඒ කියන්නේ ඔයා මාව හරියට අඳුර ගත්තේ නෑ කියන එකනේ නිනෝ . . . මම කොහොමද ඔයාට සමාව දෙන්නේ . . . "

"ඕනෑම කෙනෙකුගේ අතින් වැරදි සිද්ද වෙන්න පුළුවන් ඉමා . . . වැරදි කාරයෙකුට වැරැද්ද හදාගෙන ජීවත් වෙන්න දෙවෙනි අවස්ථාවක් දෙන්න බැරි ඇයි ඉමා . . . කියන්න . . . . ඇයි බැරි ඉමා . . . . "

"එක පාරක් විස්වාසේ කඩපු කෙනෙක් දෙවෙනි වතාවටත් ඒ වැරැද්දම නොකරයි කියලා දෙන්න පුලුවන් සහතිකේ මොකද්ද නිනෝ . . . ආදරේ කියන්නේ වීදුරු මල්පෝච්චියක් වගේ . . . ඒක එක පාරක් බිඳුනොත් ආයේ කොයි විදිහෙන් ඇලෙව්වත් ඒ පරන ලස්සන ආපහු ගන්න බෑ . . . ඒ පළුදු නැති කරන්න බෑ . . . දේයියනේ ඇයි ඔයා ඒක තරුම් නොගත්තේ නිනෝ . . . . "

"ඒ කියන්නේ ඔයා මට කිසිම විදිහකින් සමාවක් දෙන්නේම නැද්ද . . ?"

"මම ආදරේ ඉගෙන ගත්තේ ඔයාගෙන් නිනෝ . . . ජීවිතේ ආයි කවදාවත් . . . කාටවත් . . . මම ඔයට ආදරේ කරපු තරම් ආදරේ කරන්න බැරි වෙයි . . . වෙන කෙනෙක්ව බැන්දා වුනත් . . . අපි ආයි ජීවිතේටම හම්බවෙන්නේ නෑ නිනෝ . . . හොඳින් ඉගෙන ගන්න . . . සන්තෝසෙන් ඉන්න . . . මම යනවා නිනෝ . . . . ගූඩ් බායි . . . . ! . . . "

එතැන් සිට වෙලේ බෝක්කුව උඩට වෙනකම් මා කෙසේ ආවාදැයි කොපමන උත්සාහ කලත් සිහියත නඟා ගත නොහැකි වූවා . . . එය හරියට ජීවිතයේ එක්තරා රික්ත කාල පරාසක් වගේ කියා මත සිතුනා . . .

. . . . . . . .

ගොයම් කැපූ වෙල් යායට සඳ රැස් අපූරුවට වැටී තිබුනා . . . පොත් ටිකත් සෙරෙප්පු දෙකත් අතට ගත් මා සඳ එලියේ නෑ වෙමින් කුඩා ඇලෙන් එගොඩ වී නියර මතට පා තැබුවේ . . . සැබෑවටම මින් මතු මගේ ලොවට හිරු පායන්නේ නැති බව සත්‍යක් බව පසක් කරමින් . . . .

. . . . . . . අවසානයි . . . !. . . . ..

අග පිපි මල් හෙවත් එක් සත්‍යය කතාවක් . . . ! ! !




අද මම කියන්න හදන පොත නම් ගොඩක් දෙනෙක් බලල ඇති කියල මට විශ්වාසයි . . . ඒත් නොබලපු අය ඉන්නවනම් ඒ අයට මේ පොත බලන්න කියන හැඟීමෙන් මම මේ පොත ගැන විස්තරක් කරන්න හිතුවා . . . .

චමින්ද වාසල මිතුරා දවසක් මට කමෙන්ට් එකක් දාලා තිබුනා දුකා ඇයි මේ විවාහ ජීවිතේ ගැන බය හිතෙන දේවල් ම කියන්නේ කියලා . . . .

විවාහ ජීවිතේ සතුටුදායක දෙයක් කියලා දන්න නිසානේ එහෙම නැතිනම් ඒක සතුටුදායක දෙයක් කියලා අනුමාන කරන නිසානේ හැමෝම විවාහ බැම්මෙන් බැඳෙන්නේ . . . ඒත් යම් යම් සිදුවීම්, මත ගැටීම්, සන්නිවේදන නොමැති කම්, වැරදි වැටහීම්. . . ආදිය නිසා ඒ සතුට නැතිවෙන බව මම දැකලා තියෙන නිසා, එවැනි දේවල් වලින් විවාහ ජීවිතයේ සතුට නැති කරගන්න එපා කියන හැඟීමන් විවාහ දිවියේ නියම සතුට රඳවාගෙන යහපත් දරු දැරියන් ලොවට දායාද කරමින් ප්‍රීතිමත් ජීවිතයක් ගතකරන්න පාඩම් ඉගෙන ගත හැකි දේවල් ගැන සටහන් කරන්න හිතුවේ . . .

මේ පොත බලපු මුල් දවස් වල මම හිතුවේ මේක හුදු ප්‍රභන්ධයක්, ගොතපු කතාවක් පමනයි කියලා . . . නමුත් ටික කලෙකට පසු මේ පොතේ සඳහන් වෙන ආකාරයේම සිදුවීමක් මම මගේ ඇස් දෙකෙන්ම දැක්කට පස්සේ මගේ ඒ හැඟීම දෙදරා ගියා . .

ඉන් ටික කලෙකට පස්සේ මේ පොත ඇසුරින් වසන්ති චතුරානි මහත්මිය ඒ පොතේ නමින්ම නිශ්පාදනය කරලා ඈම ප්‍රධාන චරිතය රඟපාපු ටෙලි නාට්‍යය මම එක කොටසක් වත් මඟ නොහැර බැලුවේ ඒ සැබෑ ලෝකේ දැකපු සිදුවීමෙන් මගේ හිතේ ඇති වුනු කම්පනයත් සිතේ දරාගෙන . . .( පොතක් ඇසුරින් ටෙලි නාට්‍යක් නිපදවීමේදී පොතට වඩා සාර්තක වූ මා දැක ඇති එකම නිර්මාණය ඒ ටෙලි නාට්‍යය කියා කියන්න පුළුවන් . . සමහර විට කතුවරියම නාට්‍යය පිටපත ලියපු නිසාම වෙන්න ඇති . .)

මේ පොතේ කතා නායිකාව "අමා" නීතිඥවරියක් . . . ඇගේ ස්වාමියා "අසිත" ත් නීතිඥවරයක් . . . ඔවුන් කාලයක් ප්‍රේමයෙන් වෙලිලා අමාගේ ගෙදර අයගේ අකමැත්තෙන්ම ඇගේ කැමැත්තට ඉඩදී ඔහු හා විවාහ වෙන්නේ ඔහු ප්‍රේමනීය පුද්ගලයෙක් කියා ඇගේ සිතේ ඇතිවූ හැඟීමන් . . . නමුත් අවාසනාවට අසිතට කාලයකදී කිසිම හේතුවක් නැතුව අමා ව එපා වෙනවා . . . . ඈ ඉතාම යහපත් බිරිඳක් . . . අවසානයේ ඔවුන් දෙදෙනා වෙන් වෙනවා . . .

එතැන් සිට ඇගේ ජීවිතයේ ඈ මුහුන දෙන දුක් කම්කටොළු . . . නින්දා අපහාස . . . දරුවන්ගේ ප්‍රශ්න. . . ලිංගික පීඩනය . . . යනාදී වශයෙන් මා ඉතිරි සියල්ලත් පැවසුවොත් ඔබට මේ පොත බලන්න තිබෙන උවමනාව නැතිවී යන්න ඉඩ තිබෙන හෙයින් මෙතැනින් මා මේ පොත ගැන කරන සඳහන නතර කරනවා . . .

කලින් සඳහන් කලාක් මෙන් මේ පොත් හුදු ප්‍රභන්ධයක් කියා සිතන්න බැරි ආකාරයට කිසිම සාධාරන හේතුවක් නැතුව ස්වාමියන්ට බිරිඳැන්ව එපා වෙන එකත් බිරිඳැන්ට ස්වාමියන්ව එපා වෙන එකත් ඇස් දෙකෙන්ම දැකපු මට මේ පොත ප්‍රභන්ධයක් නොව "අග පිපි මල් - එක් සත්‍යය කතාවක්" කියල අලුත් නමකින් හඳුන්වන්න තිබුනානම් කියලා හිතුනා . . .

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (හත්වන කොටස)


බැසැ යන සැඳෑ හිරුත් සමඟ කූඩු කරා ඇදෙමින් සිටියදී ගිමන් නිවන්නට මෙන් සිතා කාක බෝ ගසේ වැසූ කාක්කන් රැලක් යලිත් වරක් මගේ සිහිනය බොඳ කර දමනු ලැබුවා . . . ඒ ඇසිල්ලෙන් මා වට පිට බැලුවේ දැන් රෑ බෝ වී ඇත්දැයි බලන්නට මෙන් . . . කනත්ත පැත්තේ වූ බටහිර අහස තැඹිලි පාටකිනුත් අළු පාටකිනුත් මිශ්‍රවුනු පසුබිමක් සහිතව තැන තැන ඉතිරි වුනු සරුංගල්ද කුරුළු රෑන්ද සිතුවම් කල සිතුවමක් මෙන් මට සිතුනා . . ..

තවත් රෑ වූ පසුම නිවසට ගියෝතින් කිසිවෙකුගේ අවහිරයකින් තොරව නිදහසේ තනිවී කෙසේ හෝ මේ වේදනාකාරී මතකයෙන් මිදීමට මඟක් සොයාගත හැකිවේවී යැයි සිතුනු බැවින් එකම ඉරියව්වෙන් හිඳගෙන සිටීමෙන් හිරිවැටී තිබුනු දෙකකුල් වලට වෙනසක් ලබාදීමට මෙන් සිතා නැඟිට ටික වේලාවක් සක්මනේ යෙදුනු මා යලිත් වරක් ගස යට හිඳ ගත්තේ තව හෝරා කීපයක් වත් මෙතනටම වී ගත කල යුතුයි කියා හැඟු නියාවෙන් . . .

මේ වේදනාවේ සුල මුල ගැන සිතීමෙදී . . . මා මේ තරම් අසරණ තත්වයකට පත් කලේ ඇයි කියා සිතීමේදී . . එයට වරද කරුවන් . . හවුල් කරුවන් කවුරුදැයි සිතීමේදී එක්වරම මගේ සිතට රිංගා ගත් හැඟීමන් මගේ හිස් මුදුනෙන් පටන් ගත් හිරි වැටීමක් නහර වැල් දිගේ මුලු සිරුර පුරාම දිව ගියා . . . .

"දහම් පාසැල . . "

හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං . . . බාල වියෙන් එලියට ඇද දමා යොවුන් වියට තල්ලු කර දැමූ සිදුවීම් වලට මුහුන දීමට මං සැලසූ දහම් පාසැල . . .

නැත එය කෙසේ වත් එසේ විය නොහැක . . . .

ඒ වරදකාරී හැඟීමට එරෙහි සිතුවිල්ලක් මගේ සිත තුලින්ම මතුවී කෑ ගසනු මට ඇසුනා . . .

ශුද්ධවූ යමක් මගේ අතින් කෙලෙසුනාක් මෙන් වූ හැඟීමකින් හද වෙව්ලවා ගියා . . . අමතකවීමකින් පන්සලේ බුදු මැදුරට සෙරෙප්පු දමාගෙන් පැමින එක්වරම දෙපයේ පාවහන් දුටුවාක් වැනි වරදකාරී හැඟීමක් මා පෙලා දැමුවා . .

එසේ නම් දහම් පාසැලේ මගේ ප්‍රියතම මිතුරියන් රැල . . සොයුරියන් රැල . .පර්ල්, ලළා, ලතිකා අක්කලා . . . . නැත . . මගේ වරද මා අතම මිස ඔවුන්ට කෙසේ දොස් පරන්නෙම්ද . . .??? කුඩා කල පටන් අනුන්ගේ වරදක් වුව මගේ ද වරදක් ලෙස දකින්නට හුරුවූ මගේ අහිංසක සිතෙන්ම නැවත ඔවුන් ඒ වරදෙන් මුදවා ලනු ලැබූවා . .

වරද කරු මා පමනි . . . ආදරය සැක කල මා පමනි . . . සත්‍ය, සත්‍ය ලෙස නොදුටු මා පමනි . . .

සිත යලිත් මතක මංපෙතේ පාවී ගියා . .

"ඔයාගේ ආසම පොත වදරිං හයිට්ස් කියලා ලියලා තිබුනා නේ ඔයාගේ ටීන් බුක් එකේ . . . මටත් හරි ආසයි ඒ පොත බලන්න . . . ඒත් මගේ ඉංග්‍රීසි දැනීම මදි පොත් කියවන්න තරම් . . . "

එදා දවසින් පසු ඈ නිතර නිතර මාමලාගේ ගෙදරට යාමට කරුනු සකසා ගත් පසු . . . දවසක් බසයේ කෙලවරේම අසුනේ වාඩිවී බසය ගමන් අරඹන තුරු කතාබහට ඇරඹුමක් මා ලැබුවේ එසේයි . . .

"ඒ පොත නම් ටිකක් අමාරුයි තමයි . . ඒත් හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ . . . "

"ඒ වුනාට මට හිතෙන්නෙම මට එහෙම දෙයක් කරන්න තරම් පුලුවන් කමක් නෑ කියලයි "

"ඇයි එහෙම හිතන්නේ . . . සුභවාදී විදිහට හිතන්න පුරුදු වෙන්න . . මුලින්ම පලමුවෙනි පරිච්ඡේදයේ තේරෙන නොතේරෙන ඔක්කොම පුලුවන් විදිහට කියෝගෙන යන්න . . . "

"ඊට පස්සේ . . . . "

"ඊට පස්සේ පරන කොපි පොතක අමාරු වචන ටික ලියාගන්න . . . ඊලඟට ඩික්ශනරි එකෙන් ඒ වචන වල තේරුම හොයලා ඊට ඉස්සරහින්ම ලියා ගන්න . . . දෙවෙනි පාරට ත් ඒ පරිච්ඡේදය කියවන්න . . කියවගෙන යද්දි අමාරු වචන වල තේරුම අර පොත එක්ක බල බල කියවන්න . . . ෂුවර් එකටම තුන්වෙනි පාරටත් ඒ පරිච්ඡේදයම කියෙව්වොත් සිංහලෙන් ලියපු තේරුම දිහා නොබලම කියවන්න පුලුවන් වෙයි . . . ඒකෙන් ඉංග්‍රීසි දැනුමත් වැඩි වෙනවා . . "

ඇය පැහැදිලි කර දෙන්නේ පරිනත ඉංගීසි ගුරුවරියක් මෙන් . .

"ඉතිං ඔච්චර ආස වෙන්න මොකද්ද ඒ පොතේ විශේෂත්වය . . ."

"ඒකේ තියෙන්නේ මරණයෙන් වත් කෙලවර නොවන සදාදර ප්‍රේමයක් ගැන කතාවක් . . . "

කථාව කෙටියෙන් එහෙත් කෙනෙකුට අසා හිඳින්න ආසා හිතෙන ලෙස ඈ පවසන්නේ හීත්ක්ලිෆ්ගේත් කැතරින්ගේත් ප්‍රේමයත් . . වේදනාවත් දැනුනු තරම් සතුටකින් . . සංවේගයකින් . . .

"එච්චර තදබල ආදරයක් තිබුනා නම් හීත්ක්ලිෆ් කොහොමද කැතරින්ගේ දුවගෙනුත් පලි ගන්න තරම් හිත දැඩි කර ගන්නේ . . . " මා ඇසුවේ කුතුහලයෙන්

"ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි කියනවානේ . . . "

"ඒත් මගේ හැඟීම නම් ආදරය කල හිතකින් කවදාවත් වෛර කරන්න බෑ කියන එකයි . . . "

"හැමෝම එක විදිහට ප්‍රේම කරන්නේ නෑ නේ . . . මටත් ඔය ප්‍රශ්නෙම ආවා පොත බලද්දී . . . ඒත් මට හිතුනේ හීත්ක්ලිෆ්ට ප්‍රේමයත් එක්කම එයාව වෙලාගෙන තිබුනු හීන මානයෙන් මිදෙන්න බැරි වුනු නිසා තමයි ඒ විදිහට කැතීගේ දුවගෙනුත් හැම දෙනාගෙන්මත් පලි ගන්න ඕන වුනේ කියලයි”

. . . .

"ඔයාගේ ආසම පොත ගැහැනු ළමයි නේ . . ?? මාත් හරිම ආසයි ආයෙ ආයෙත් කියවන්න කුසුම්ගේ පරිත්‍යාගශීලී ආදරේ ගැන . . . "

මට දනුනේ අප්‍රමාන සතුටක් . . මගේ ආසම පොත ඇගේ ත් ආසම පොතක් . . .

"ඔව් . . ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියන එක හොඳට වදින්න පෙන්නල තියෙනවා ඒ පොතේ . . . "

තවත් දවසක අපේ මාතෘකාවට හසු වන්නේ අනාගත බලාපොරොත්තු . . .

"මම නම් ආසම කවදා හරි ඉනැටුම් ගුරුවරයෙක් වෙන්න . . . "

"නැටුම් ගුරුවරයෙක් . . ???" ඇය අසන්නේ විස්මයක් දෙනෙතේ රඳවාගෙන . . .

"ඔව් මම හිතන්නේ අපේ රටේ නැටුම් ශිල්පය තරම් කලාත්මක නැටුම් ශිල්පයක් ලෝකේ කොහේවත් නැතුව ඇති . . . අපේ ගෙට එහා ගෙදර මාමා එක එක රටවල් වලට ගිහින් තියෙනවා බිස්නස් වැඩ වලට . . . එයා කියනවා සමහර රටවල අය ලංකාව කිව්වට දන්නෙත් නැහැළු . . . එත් උඩරට නැට්ටුවෙකුගේ ෆොටෝ එකක් පෙන්නුවොත් අහනවාලු අහ් . . ඒ උඹලගේ රටේද කියලා . . . ඉතිං එච්චර වටිනාකමක් තියෙන සංස්කෘතික අංගයක් උගන්වන්න තියෙනවනම් කොච්චර දෙයක්ද . . ???"

"ඒක නම් ඇත්ත . . . අපේ තාත්තත් දැකලා තියෙනවා අර්ල්ස් රීජෙන්සි හොටේල් එකේ නැටුම් සංදර්ශයනක් වෙලවක යුරෝපිය ජාතිකයෝ කන්ඩායමක් ඒ දිහා බලා හිටියේ වශීවෙලා වගේ කියලා තාත්තා ගෙදරදි දවසක් කියනවා මට ඇහුනා . . . "

මගේ ප්‍රාර්ථනාව අනුමත කරන කඩහඬින් මට ඇගේ වචන ඇසෙන්නේ . . . . !

. . .

"වෙලේ බෝක්කුව උඩ වාඩිවෙලා ඇස් දෙක පියා ගත්තාම මටත් පුලුවන් හුලඟක් වගේ පාවෙලා යන්න . . . නිල්පාටට හුරු කොලපාට ගොයම් යායම නැවෙන විදිහට ඒ ගොයම් ගස් වලින් එන අමුතු සුවඳ විඳගෙන හමා යන්න පුලුවන් . . . "

කුඩා කල සිටම ස්වභාව සෞන්දර්යේ රස විඳින්න හුරුවී සිටි මා පවසන්නේ මේ දැන් බෝක්කුව උඩ ට වී දෙනෙත් පියාගෙන සිටිනවාක් වැනි හැඟීමකින් . . .

"ඔව් එදා එතනට ගිය වෙලාවේ මටත් හිතුනා ඒ විදිහට පාවෙලා ගිහින් කැඩුනු සරුංගලයක් හුලඟේ යන දිහාව බලාගෙන අඬන දරුවෙකුට එයාගේ සරුංගලය ආපසු ගෙනත් දීලා . . ඒ මූනේ ඇතිවෙන හිනාව දකින්න වගේ දෙයක් මටත් කරන්න පුලුවන් කියලා . . . "

"නුගේගොඩ රේල් පාර දෙපැත්තේ තියෙන පැල්පත් වල වහලවල් දිහා බලගෙන රේල් පාර උඩින් පාවෙන කොට . . . තාත්තාට කුලී වැඩක් නොලැබුනු නිසා දවල්ට, රෑට කන්න දෙයක් නැතුව බඩගින්නේ ඒ පැල්පත් ඇතුලේ ඉඳන් අඬන පුංචි ළමයින්ගේ සද්දේ මට ඇහෙනවා වගේ . . "

මගේ වචන ඈට අකමැති මාතෘකාවක් හැඩයි . . . ඈ උරහිස් හකුලවන්නේ ඒ පැල්පත් ගැනත් ඔවුන් එවැනි පැල්පත් වල කෙසේ ජීවත් වනවාදැයි හැඟුනු නිසාත් නොව . . .නැතිනම් ඔවුන්ගේ කුස ගින්නේ වේදනාව දැනුනු හෙයිනුත් නොව ඒ පැල්පත් අසලින් හමා එන පිලී ගඳ නිසාවෙන් යැයි මා වරදවා වටහා ගත් තරම් . . .

මෙසේ අහසත් පොලොවත් අතර අපමන දේ ගැන අප කතා බහ කරන්න ඇති . . . නිතර පංතියේදී මුන ගැසුනා වුවත් පෙම් හසුන් හුවමාරු කර ගැනීමත් අනිවාර්යෙන් සිදුවූවා . . . පාසැල් දිනවලට පෙම් හසුන් හුවමාරුව සිදුවුනේ මගේ නිවස අසල නිවසේ සිටි ඉමාෂාගේම පාසැලේ ඉගෙනීම ලැබූ යෙහෙලියක් හරහා . . .

එසේ මා ලබන පෙම් හසුන් මා ඇඳේ මෙට්ටය යට හෝ මගේ පොත් මේසයේ කොලය යට හෝ සඟවා තැබුවා වුවත් මගේ අක්කාගේ විචක්ශණශීලී දෙනෙතින් ඒවා කෙසේ හෝ සොයාගෙන කියවා ඒවායේ තිබූ සමහර වැකි කියමින් මා අපහසුවට පත් කිරීම විඳ දරා ගැනීමත් කාලයකදී නිතැතින්ම හුරු වූවා . . .

පාසැලේ සමහර ලමයින් තීන්ත පෑන් භාවිතා කරමින් ලස්සනට අකුරු ලියනවා දුටු මටත් ඇති වූයේ තීන්ත පෑනක් ලබා ගැනීමේ නොතින් ආශාවක් . . . නමුත් එවැන් දෙයක් මිලදී ගැනීම සඳහා අම්මාගෙන් මුදල් ඉල්ලා කරදර කිරීමට සිත පැකිලෙමින් තිබුනු මොහොතක . . . දිනක් ඈ ගෙන් මා ලද කුඩා සටහනක් . . .

"හවසට පංති ඉවර වුනාම බස් හෝල්ට් එකේ ඉන්නවා . . . එතනට එන්න . . "

බස් නැවතුමේදේ ඈ දුඹුරු කොලයකින් එතූ යමක් මට දුන්නේ . . .

"පොඩි තෑග්ගක් . . දැන් බලනන් එපා . . ගෙදර ගිහින්ම බලන්න . . . "

ගෙදර යනකම් නොයිවසිල්ලකින් සිටි මා ඇසුරුම ගැලවූ සැනින් දුටු දේ මගේ සියලුම හැඟීම් එක් වරටම නතර කරනු ලැබුවා . ..

"දෙවියනේ . . . ඈ මගේ සිත කියවූවේ කෙසේද . . . ?? පාකර් තීන්ත පෑනක්. . . " සතුටකුත් සමඟ මගේ පුංචි සිත අරක් ගත්තේ හීනමානයක් වැනි කුමක්දෝ නොතෙරෙන හැඟීමක් . . .

විලාසිතා දැක්මකට මෙන් ළමයින් එක එක මෝස්තරයේ එක එක වර්නයේ කලිසම් . . ටී ෂර්ට්ස් පංතියට ඇඳගෙන එන විට මට තිබූ එකම ඩෙනිම් කලිසමත් පාට පිච්චුනු ටී ෂර්ට් දෙකත් පංතියට ඇඳගෙන නොයාමේ උපක්‍රමයක් ලෙස මා භාවිතා කලේ පාසැල් දිනවලදී පාසැල් නිලඇඳුම පිටින්ම පංතියට යෑමයි . . . නමුත් සති අන්තයේ පංති වලට මේ උපක්‍රමයෙන් පිහිටක් ලබා ගත නොහැකි වූ තැනේදී මා පංතිට ගියේ සිතේ ඇති අමුතු දුක්බර හැඟීමකින් . . .

"අනේ අනිත් ළමයින්ට මෙන් මටත් ලස්සන ඇඳුම් තිබුනානම් . . . " නමුත් කෙසේවත් ඉරිසියාවක් නොවූ ඒ හැඟීම ට පිහිටක් ලබා ගැනීමට අමාරුවෙන් නිවසේ වියදම් පිරිමසන අම්මාට තාත්තාට කරදර කිරීමට තරම් දළදඬු හිතක් මට නොතිබුනා තරම් . . .
මා එසේ පරන ඩෙනිමත් පාට පිච්චුනු ටී ෂර්ට් එකකිනුත් සැරසී පංති ගිය දින වලදී ඈ . . . අමුතු ලෙස මගේ දිහා බලා . .

"ම් ම් ම් ඔයා අද හරිම ලස්සනයි . . . . හරියට පුංචි කුමාරයෙක් වගේ . . . " කියා කී මගේ සිත අස්වසාලීමේ පද පේලි මා ගනන් ගත්තේ ඈ මට කල සමච්චලයක් ලෙසට . . .

ඇගේ සුවිශාල ප්‍රේමනීය හදේ . . . තවත් කෙනෙකු අගය කිරීමට සැදී පැහැදී සිටි හදේ . . . කෙනෙකුගේ සිතට සතුටක් දීමට කැසකැවූ හදේ . . . දොරගුල් හැර දමා ඇතුලට එබී නොබලා මතුපිටින් බලා එහි ඇතුලත ඇතේ මේවායැයි වැරදි නිගමන කල මගේ පටු නිගමනශීලී හිතට මා දොස් පවර ගන්නවා හැර වෙන කුමක් කරන්නද . . . ??

සියල්ල වැටහෙන විටා පමා වූවා වැඩිය . . . සියල්ල ඇස් ඉදිරියේදීම කඩා වැටී ඇත . . . පසුතැවෙනු හැර . . වේදනා විඳිනු හැර වෙන කල හැකි යමක් ඉතිරි වී ඇත්ද . . ??

කාලය ගත වුනේ කෙතරම් සුන්දර ලෙස වුවත් හදවතේ එක් කොටසක් ඒ සුන්දර සතුටේ සුව විඳින අතරම තවත් කොටසක් ඒ සුන්දර සතුට කෙරෙහි ඇති එක්තරා බයක් වැනි හැඟීමකින් ඒ සතුටෙන් ඈත් කර තැබීමට උත්සාහ දරමින් සිටියා කියා කීවොත් නිවරදියි . . .

පවුලේ අගහිඟකම් වලට පිලියමක් ලෙස අප ඉහලින්ම බලා පොරොත්තු තැබූ, පියා විසින් බොහෝ වෙහෙස මහන්සියෙන් ලබා ගැනීමට උත්සාහ කල ව්‍යාපාරික කටයුත්තක් ඉටු වීම . . . කෙටියෙන් කීවොත් ඉතා දුර බැහැර ව්‍යාපෘතියක වැඩ කටයුතු පියාට ලැබීම පොදුවේ පවුලේ සියලු දෙනා සතුටු වූ කරුනක් වුවත් . . . ව්‍යාපාරයේ සාර්ථකත්වයේ දෙවෙනි පියවර ලෙස අපගේ පදිංචිය වෙනස් කිරීමටත් පාසැල් වලින් අපව අස් කරගෙන ඒ නව පදිංචිය අසල පාසැලකට මාරු කිරීමටත් පියා ගත් තීරනය සතුටත් දුකත් එකසේ සමව විඳි තීරනයක් ලෙස දැනුනා . . . . .

. . . .

"එහේ ගියාම මට ආයෙත් මේ ක්ලාස් එන්න වෙන්නෙ නැති වෙයි . . "

"අනේ . . . කවදාවත් එන්නේ නැතුව ඉන්නද හිතන්නේ . . . " ඉමාෂා අසන්නේ දෑසේ කඳුලු පුරෝගෙන . . .

"කියන්න බෑ . . . ගෙදරින් එන්න එපා කීවොත් . . . "

නිතරම දෙගිඩියාවකින් පෙලුනු . . ආදරේ ගැන සැකයක් සිතේ සඟවාගෙන කල් ගෙවූ මට සමහර විට ඒ තීරනය අස්වැසිල්ලක් ගෙන දෙන තීරයක් ලෙස දැනෙන්නට ඇති . . . මා කල් ගෙවූයේ ඇගේ ශෝකය නොදුටු එකෙක් ලෙස . . .

සිනා කෙළිලොල් තෙපුල් රහසේ
දෙඩූ තැන් අද ගොලු වෙලා . . .
සොඳුරු පාසැල් පියස
කඳුලින් බොඳ වෙලා . . .
කැදැල්ලෙන් ඔබ
වෙන් වෙලා . . . .
. . .
නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවන දුන් ගහ කොල පුරා . . .
බිමට බරවුනු කැකුලු
අතු ඉති මැලවිලා . . .
දුකින් හදවත
ගොලු වෙලා . . .
. . .

දෙනෝ දාහක් නුවන් අතරේ . . ගීතයේ දෙවන තුනවන පද පේලිවල මෙන් වූ වේදනාවකින් ඇගේ හදවත ඉරිතලා යන්න ඇති . . .

නමුත් මා තරම් නරුමයෙක් . . . ඇගේ අගය කිරීම මා සමච්චලයට ලක් කිරීමකැයි සිතූ . . . ඇගේ තිලින මට අනුකම්පාවකින් දෙන ලද දේ යැයි සිතූ මා ඈ ඒ ලබන වේදනාවෙන් කුරිරු සතුටක් වැනි දෙයක් ලැබූ හැටි සිහි වන විට මා මේ ලබන වේදනාව මදි යැයි මගේ සිතෙන්ම පහර කෑමකට ලක් වනු හැර වෙන පිලියමක් ලද හැකිද . . .

සිදුවීම් සිදු වන්නේ අප බලාපොරොත්තු වන ලෙසටම නම් ලෝකය කෙතරම් සොඳුරු තැනක් වේද . . . !!

දුර බැහර අලුත් ව්‍යාපෘතියේදී දී පියා තදබල ලෙස අසනීප වී අලුත පටන් ගත් ව්‍යාපෘතියේ කටයුතු නතර වී සියලු බලාපොරොත්තු සුන් වුනේ අප කිසිසේත් බලාපොරොත්තු නොවූ ලෙසට අප තවදුරටත් සිටි තැනින් පහතට ඇද දමමින් . . .

අපගේ අතිරේක පංති සඳහා වැය කිරීමට තවදුරටත් පවුලේ ආදායම නොසෑහීමේ ප්‍රතිඵලය වූයේ අමතර පංති නොගොස් පාසැලේ ඉගෙනීමෙන් පමනක් සෑහීමකට පත්වීමට හුරු වෙන්න සිදුවීමයි . . . .

උපකාරක පංතියේ ආදරණීය සියලු දෙයින්ම වෙන් වී යන්න මට මගේ සිත එකඟ කරවා ගැනීම අපහසු කාරියක් වුවත් . . . සිත ගල් කරගෙන එය පිලිගැනීමට මගේ සිතට සවිය දෙනු ලැබිවේ ඈ විසින් මට දක්වනු ලබන්නේ අනුකම්පාවක් පමනි යන මගේම සිතුවිල්ලත් . . . මගේ නැතිබැරිකම් ඈ සමච්චලයට ලක් කරනවා යැයි මා ඇති කරගෙන තිබුනු වැරදි වැටහීමත් කීවොත් එයයි නිවරදි . . .

"අනේ නිනේෂ් . . . පංති නාවට කමක් නෑ . . . සචිනි අතේ මට හැමදාම නැතත් සතියකට දෙකක් වත් ලියුම් එවන්න . . . "

"පන්ති තියෙන දවස් වලට ඇරෙන වෙලාවට පුස්ථකාලෙට එන්න . . . එතකොට අපිට සතියකට දවසක් දෙකක් වත් මුනගැහෙන්න පුලුවන් නේ . . . "

"පන්ති නාවට කමක් නෑ . . ඉස්කෝලේ කියල දෙන දේවල් හොඳට පාඩම් කරලා කොහොම හරි විභාගේ පාස් වෙන්න කියලා මහන්සි වෙලා වැඩ කරන්න . . . "

"ඔයා පවුලේ එකම පිරිමි දරුවා නිසා ඔයාගේ ඉගෙනීම පවුලේ දියුනුවට ගොඩාක් බලපානවා . . . පංති එන්න බැරි වුනා කියලා හිතන්නේ නැතුව, අම්මගේ හිතට දුකක් නොදෙන්න හිතාගෙන විභාගේ කොහොම හරි හොඳින් පාස් වෙන්න . . "

"මම ක්ලාස් එකේ ටියුට්ස් . . පාස් පේපර්ස් ෆොටො කොපි කරල තිලංෂ තේ හරි සචිනි අතේ හරි ඔයාට එවන්නම් . . "

මාසේ අවසානයෙන් පසු මා පංති නො එනා වග ඈට දැනුම් දුන් විට වේදනාවෙන් හැඩූ ඈ සුලු මොහොතකින් යලි සිත සංසුන් කරගෙන ජීවිතයට හොඳින් මුහුන දීමට . . . විභාගය කෙරෙහි උකටලී නොවන්න ට . . අපේ ඇසුර නොබිඳී පවත්වාගෙන යන්නට . . . දුන් උපදෙසුත් . . ගුරුහරුකමුත් මා අසා සිටියේ ඇස් කන් නැති ගොලුවෙක් . . කනෙක් . . බීරෙක් ලෙසට . ..

. . . ..

මතු සම්බන්ධයි . . .