twitter
    Find out what I'm doing, Follow Me :)

පුතාගේ ලියුම . . .!

තාත්තා සූදු කෙලවයි.. කුඩු විකුනන උන්ට හෙල්ප් කරනවා මදිවට තිතට මත්වෙන්න බොයි. 

පවුලේ දිනුයුවට කියා ආච්චිලා නැන්දලා මාමලා දෙනදේ පමනක් නොව තාත්ත හම්බ කරන සියළු දේත් කාර් රේස් බලන්න ගොස්, හින්දි නිලියෝ නටන ශෝ බලන්න ගොස්, අල්ලපු ගෙදර එකාට උඩ යවන්න හදන සරුංගලේට සල්ලි දී, අහල පහල ගෙවල් වල උන්ට පඩ ශෝ දාන්න රෙජිෆෝම් ප්‍රදර්ශන පවත්වා ඒ මදිවට යාලුවෝ 225 දදෙනෙක්ටට ත් උන්ගේ හතර වරිගයටත් බෙදා දී විනාස කරයි. 

ඔක්කෝටම හපන් හතර වටේ ගෙවල් වලටත් නය වී ඒ සල්ලිත් මේ විගඩම් වලට වියදම් කරන එකයි.

ඒ ගත්තු නය ඉස්සරහා පරම්පරාවල් හතකට වත් ගෙවා නිම කරන්න බැරි තරම් වෙලාය.

හොඳ බෞද්ධයෙක් ලෙස පෙනී සිටිමින් එහාට මෙහාට කේලාම් කියා යටි උගුල් අදිමින් පන්සලේ හාමුරුවෝත්, දේවස්ථානයේ පාදිලිතුමාත්, පල්ලියේ ලෙබ්බේත් කොටවයි.

ගමේ කුඩු විකුනන එකාගේත් කසිප්පු විකුනන එකාගේත් කරේ අතදාගෙන උන්ට ගහන්න එන උන්ගෙන් උන්ව ආරක්ෂා කලාට ගුරුදෙගුරු සමිතියේ රැස්වීමෙදී දෑතින් පපුවට ගහගනිමින් කියන්නේ "අපි මේ මත් උවදුරෙන් අපේ දරුවන් බේරා ගත යුතුයි" කියලයි.

එවිට හැමෝම උඩ පැන පැන අත්පුඩි ගහ ගහා විසිල් ගහමින් බල්ටි ගහයි.

තාත්තාගේ ගොන් පාර්ට් වලට විරුද්ධව කතා කලොත් අපි කෙලෙහි ගුනේ නැති කාලකන්නි කියා බැන වදී.

ගෙදර ඇතුලේ බලයෙන් මත්වී තාත්තා කෙලින් පිස්සු නිසා අසල්වැසියන්ගෙන්, ඉස්කෝලේ උන්ගෙන් හිනාවට ලක්වන්නේ අපියි.

ගෙයි ගින්දර පිටට දෙන්න එප යකෝ කියනවට විතරක් නොව කිව්වොත් අතක් පයක් කැඩෙන්න හෝ බෙල්ල මුලින් යන ජාතියේ සබ්බුවක් ලැබෙයි කියා බයට අම්මත් අපිත් කටවල් පුකවල් වහගෙන ඉන්නෙමු.

තාත්තාගේ නාස්තිකාරකම ගැන කතාකරන්න හදන හැම වෙලාවේම ගෙදර හැමෝම බනින්නේ කළුගලේ ඔලුව ගහ ගන්නේ නැතුව හිටු කියායි.

තාත්තාගේ නාස්තිය දූෂණය නිසා තාත්තාත් මුලු පවුලත් විනාස වෙන බව දැක "ආඩම්බරකාර තත්තේ, දැන් වත් මේ ගොන් පාර්ට් නතර කර පවුලේ දියුනුව ගැන හිතපන්" කියලා කියන්න අපේ පවුලේ උන්ගේ කොන්ද පන තියෙන දවසක් මැරන්න කලින් උදාවේවායි මගේ එකම පැතුමයි.

මම සතුටින්ද?




මට සතුටින් ඉන්න ඕනම නම් ඕන කරන දේවල් මට තියෙනවා. ඒත් මම සතුටින්ද?

ඇත්තෙන්ම මටම ශුවර් නෑ වගේ.

මම වැඩිය කැමති සතුටින් ඉන්නද? එහෙම නැතිනම් මම සතුටින් ඉන්නවා කියලා අනෙක් අයට පෙන්නන්නද?

මට ශුවර් නෑ වගේ.

මම වැඩිය සතුටක් ලබන්නේ මට සතුටු වෙන්න පුලුවන් දේවල් විඳලා සතුටු වෙලාද එහෙම නැතිනම් අනෙක් අයට ලබන්න බැරි දේවල් මට ලබා ගන්න පුලුවන් කියලා අනෙක් අයට දැන ගන්න සලස්වලා ඒකට ඒ අය ඉරිසියා කරනවා කියලා හිතලද?

මට තාමත් ශුවර් නෑ වගේ.

මෙහෙම කියමු.

ගෙවල් දොරවල් ගැන හිතමු. මට සාලෙයි කෑම කාමරෙයි එකට එකට තියෙන, කාමර දෙකයි කුස්සියයි ටොයිලට් එකයි වැරැන්ඩා එකකුයි තියෙන තනි තට්ටුවේ පොඩි ගෙයෙක තිබ්බ නම් හොඳටම සතුටින් ඉන්නවා. ඇයි අතුගාන්න, හෝදන්න, අස් පස් කරන්න ලේසියි.

ඒත් මට ඇයි තට්ටු දෙකේ ගෙයක්ම ඕන උනේ? ටීවී රූම්, වෙනම කෑම කාමර, පැන්ට්‍රි, ටොයිලට් දෙක තුනක්.

පිස්සුද මන්දා.

නෑ මට ඕන උනේ උඹලට වඩා ලොකු ගෙයක් මට තියෙනවා කියලා හිතින් ස්වයංවින්දනයක යෙදෙලා ආතල් ගන්න. එහෙමත් නැති නම් අඩේ මූට ලොකු ගෙයක් තියෙනවනේ කියලා අනෙක් උන් ඉරිසියා කරයි කියලා හිතලා ආතල් එකක් ගන්න.

යාන වාහන ගැන හිතුවොත් . .

කාර් එකක් අරගෙන හම්බකරන තුට්ටු දෙක පෙට්‍රෝල් වලට, සර්විස් වලට යට කරනවට වඩා සෙනග එක්ක තෙරපිලා යන්න උනත්, වෙලාවට යන්න බැරි උනා උනත්, දාඩිය දැම්මත්, අනුන්ගේ දාඩිය ගඳ ඉවසන්න සිදුවුනා උනත් පාරේ බස් එකේ කෝච්චියේ යන එකේ ගතියක් තියෙනවා.

නෑ නෑ යකෝ ජැක් ගහන / ජැක් වදින එක විතරක් නෙමේ . . ගෙන්දගම් පොලොවේ පය ගහල ඉන්න මිනිස්සු එක ගැවසෙන්න ලැබෙන එක . . .

ඔක්කෝටම වඩා ලොකුම දේ පොකට් එකට වාසි දායක වීම.

ඒත් මට ගේ ඉස්සරහා පාර්ක් කරලා තියන්න කාර් එකක් ඕන.

ඇයි ඒ? යකෝ ක්ලාක් කෙනෙක් වෙච්චි අල්ලපුගෙදර එකාටත් කාර් එකක් තියෙද්දී මට නැතුව කොහොමද? අනෙක් උනගේ ඒවට වඩා වැඩි ගානක එකක්ම ගන්න ඕන.

සල්ලි? හරි හරි සල්ලි නෑ තමා ලොකු ලෝන් එකක් හරි දාලා ගන්න ඕන. කෑම බීමට වියදම් කරන එක අඩු කරලා හරි ගන්න එක උන්ට ඉරිසියා හිතෙන්න ගාන වැඩිම එකක් ගන්න ඕන.

මෙන්න මෙහෙමයි මම හිතන්නේ. අතේ කීයක් හරි ඉතුරු කරගෙන ඒ සල්ලි වලින් ආස රෙස්ටෝරන්ට් වලින් කාලා බීලා, යාලුවෝ එක්ක ට්‍රිප් එකක් ගිහින්, ගෙදර අය එක්ක ෆිල්ම් එකක් බලලද මම සතුටු උනේ?

නෑ . . අනෙක් අයට පෙන්න ගේ ඉස්සරහා ලොකු ගානක කාර් එකක් පාර්ක් කරලා තියලා ඒක දැකලා අනෙක් අය මට ඉරිසියා කරයි කියලා හිතලා තමයි මම සතුටු වෙන්නේ.

කෑම බීම ගැන හිතුවොත් . . .

අම්ම හරි වයිෆ් හරි උයන සුදුහාලේ බතට පරිප්පු හොද්දයි හාල් මැස්සෝ බැදුමයි එක්ක බත් ටිකක් කන එකේ සතුට වෙන මොන කෑමක වත් නෑ.

ඒත් මට එහෙම කන එකට වඩා ලොකු ෆයිව් ස්ටාර් හෝටලේක ඉටෑලියන් රෙස්ටෝරන්ට් එකකට ගිහින් ස්පැගැටි හරි ලසඥ්ඥා හරි කෑමක් ඕඩර් කරලා ෆෝන් එකෙන් ෆේස්බුක් ලොග් වෙලා හෝටලේ චෙක් ඉන් වෙලා ආපු කෑම එකේ පින්තූරයක් අරගෙන "ම්ම්ම්ම්ම් යමී .. යමී" කියලා පින්තූරේ ෆේස් බුක් එකේ දාලා අනෙක් උන් "යකෝ මූ ෆයිව් ස්ටාර් හොටෙල් වලින් දැන් කන්නේ බොන්නේ කියලා හිතයි කියලා ගන්න ලාමක ආතල් එක. හා නැද්ද?

ඔහොම බැලුවාම කොයි තරම් නම් ජාති තියේද?

හිල් හිල් තියෙන ඩී.එස්.අයි සෙරෙප්පු දෙක කොයි තරම් සැහැල්ලුවක් සතුටක් කකුලට ගෙනාවත් මට ඕන ගමනක් යද්දී කකුලට හිර උනු නයිකි සපත්තු දාන්න.

පේමන්ට් එකෙන් ගත්තු හොඳට දාඩිය උරන කපු ටී ශර්ට් එකට වඩා මම කැමති මහ දවාලේ උනත් තද පාට ලකොස්ටේ ටී ෂර්ට් ඇඳන් යන්න.

අතේ, කරේ, ඇඟිලි වල එක ජාතියේ මාල, වළලු, මුදු හිර කරන්, එල්ලගෙන ඉන්න එක කොහොමත්ම සතුටක් නෙමේ. ඒත් මට ඕන ලොකු ලොකු චේන් බෙල්ලේ එල්ලගෙන, බ්‍රේස්ලස් ඔරලෝසු අතේ බැඳගෙන, මුදු ඇඟිලි වල හිරකරගෙන ඉන්න.

නෑමේ ආතල් එක ගඟක ඇලක බැහැලා නාන එක තරම් වෙන මොකේවත් තියෙනවද? නැතිම උනොත් ලිඳෙන් ඇදගෙන නාන එක උනත්. ඒත් මට ඕන ලොකු ලොකු හෝටල් වල සවුනා වලින්, ස්ව්මින්ග්පූල් වලින්, ස්ටීම් බාත් එකෙන් නෑවා කියලා ෆේස්බුක් ස්ටේටස් දාන්න.

ඔව්වා මෙව්වා හිතුවාම තමා මට ඔලුව මඥ්ඥන් වෙන්නේ ඇත්තෙන්ම මම සතුටු වෙන්නේ මම සතුටක් විඳින්න කැමති දේවල් විඳලද එහෙම නැති නම් මම විඳෝලා හරි මම වටේ ඉන්න අනෙක් උන්ට පේන්න දේවල් කරලා උන් මගේ ගැන ඉරිසියා හිතනවා ඇති කියලා මානසික ස්වයංවින්දයනක් ලබන එකෙන්ද කියලා.

පලි: මේකේ "මම" කියන වචනේ මේක ලියපු එකාට විතරක් ආදේශ නොකර කියවන තමන්ටම අදේෂ කරගෙන කියෙව්වා නම් වැඩිපුර ආතල් ගත හැකි බව කරුනාවෙන් සලකන්න.


Pic From: http://aspireid.com/

කර්මය නොහොත් කරුමේ . . !



ඊයේ ෆේස්බුක් එකේදි තමයි ඔය උඩ තියෙන ෆොටෝ එක දැක්කේ. 

ඒ වෙලාවේ ඉඳන් මම කල්පනා කලේ මේ කියන කතාව කොයි තරම් ඇත්තක් වෙන්න පුලුවන්ද කියලයි.

අපි සමහර අය ගොඩක් වෙලාවට "නෑ කර්මය, ඉරණම කියල එකක් නෑ ඒ ඕන එකක් කෙනෙක්ගේ දැඩි අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් වෙනස් කරන්න පුලුවන්" කියලා විස්වාස කලාට, එහෙම විස්වාස කරගෙන වැඩ කලාට  . . . 

හෙම්බත් උනු වෙලාවක හිතෙන්න පුලුවන් "ඇත්ත තමයි අපිට පේන්නේ නැති උනාට කරුමේ කියලා දෙයක් තියෙන්නත් පුලුවන්" කියන එක.

ඒත් සමාජයේ දේශපාලකයෝ කරන මහජන මුදල් කාබාසිනියා කිරීම නිසා බහුතර මහජනතාවට දුක් විඳින්න ලැබීම අපේ සමාජයේ ගොඩක් දෙනෙක් "මේක අපේ කරුමේ. ඒ අයට හොරකම් කරලා හරි සැප විඳින්න වාසනාව තියෙනවා. අපිට සාධාරණ විදිහට ජීවත් වෙලාවත් දුකක් කරදරයක් අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන්න වාසනාවක් නෑ අපේ කරුමේ නිසා" කියලා කියන එක මේ කිව්ව කරුමෙට සම්බන්ධ කරන්න බෑ. 

මොකද ඒ කරුමේ කියලා කියන දේ තනිකරම අසාධරණේට විරුද්ධ වෙන්න, තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සිටින්න කොන්ද පන නැති කම නිසා මිසක් පූර්ව කරුමයක් නිසා නෙමෙයි කියන එකයි මගේ හැඟීම. 

කරුමේ කියන්නේ අනිත් කරුනු එක්ක දිගට හිතාගෙන ගියාම එහෙම කොන්ද පනනැති වීමත් කරුමේ තමයි කියලා ඒ තර්කයටම යටත් වෙන්න සිදුවීම.

මෙහෙම කියමු . . 

සමහර මිනිස්සුන්ගේ ජීවිත දිහා ඒ අයට සිදුවෙන සමහර සිදුවීම් දිහා බැලුවාම හිතෙනවා මෙහෙම වෙන්නේ නම් ඒ අයගේ කරුමේ නිසාම තමයි කියලා. 

කිසිම දුකක් කරදරයක් නැතුව සතුටින් ඉන්න පවුලකට එක පාරටම කාට හරි අසනීප වෙලා, කවුරු හරි මැරිලා, මුලු පවුලම සීසීකඩ ගිහින් අපා දුක් විඳින්න වෙන විදිහට උනාම . . . 

හොඳ නිරෝගීව ඉන්න කෙනෙක් එකපාරටම අසනීපයක් වෙලා වැහැරිලා ගියාම.

බොහෝම සතුටින් ඉන්න කෙනෙක් එක පාරටම පිස්සෙක් වෙලා මහ පාරේ කියෝ කියෝ ඇවිදින්න උනාම 

මේ වගේ වෙලාවල් වලදී අපිට නිතරම කියවෙන්නේ ඒ අයගේ නම් පෙර කරුමයක් වෙන්න ඇති . . නැතිනම් කොහොමද එහෙම වෙන්නේ කියලා.

කරුමේ කියන එක කෙනෙක්ගේ දැඩි අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් වෙනස් කරන්න පුලුවන් කියල කියපු එක මතක් උනාම මට මතක් වෙන්නේ මගේ ජීවිතේ එක කාලයක් . . 

පුංචිම කාලේ ඉඳන් මගේ හිතට වද දුන්නු හැඟීමක් තමයි මට කවුරුත් ආදරේ නෑ කියන එක. 

මගේ නංගියා ඉපදෙනකොට මට වයස තුනයි. ඒ කාලේ මම ආදරේ නෑ කියලා කොයි තරම් දුකෙන් ඉන්න ඇතිද කියලා නංගි ගැන ලියපු පෝස්ට් එකේ කිව්වනේ.

පස්සේ තේරෙන කාලේත් මට හිතුනේ මට කවුරුත් ආදරේ නෑ කියලම තමා.

ආදරේ පෙන්නන්න තාත්තා ගෙදර නෑ. ගෙදර එන්නේ මාස කීපෙකට සැරයක්. ආවත් එයාගේ දේසපාලන වැඩ අරව මෙව්වට ගිහින් ගෙදර එන වෙලාවට නංගී තමයි තාත්තගේ සම්පූර්ණ ආදරේ අයිති කර ගන්නේ. 

අම්මත් ආදරේ පෙන්නුවේ නංගිට විතරයි. 

අම්මාගෙන් නිතර බැනුම් අහලා මම ගොලු හදවතක් තියෙන කෙනෙක් වෙලා හිටියනේ සෑහෙන කාලයක් 

අක්කට ආදරේ කරන්න කොල්ලෙක් හිටියා. 

අක්කා මට ආදරේ පෙන්නුවේ තනියෙම ගෙයින් එලියට යන්න දෙන්නේ නැති නිසා කියලයි මම හිතුවේ.

පාසැලේ යාලුවන්ගේ හරි ගෙවල් පැත්තේ යාලුවන්ගේ හරි ආදරේ ලබන්න තරම් මම විශේෂ ක්‍රීඩා කෞශල්‍යක් හරි ඉගෙනීමේ දක්ෂකමක් හරි තිබුනු කෙනෙකුත් නෙමේ.

දහම් පාසැලේ, අක්කගේ හිතවත්කම් නිසා, ටියුෂන් ක්ලාස් කාලෙන් කාලෙට එකේ එක එක ආදර පැටලිලි තිබ්බට ඒවා හරියටම ආදරේමද කියලා තේරුම් ගන්න තරම් මෝරලා තිබ්බේ නෑ.

මට මතකයි මම ඒ කාලේ ඩයරි වල ගොඩක් පිටුවල උඩින්ම එක එක අකුරින් ලිව්වේ එකම දෙයක් . . ඒක චිත්‍රකතා පත්තරේකින් අහුල ගත්තු එකක්.

"ජීවිතය මම ඔබෙන් ඉල්ලුවේ ආදරය පමනි, අවාසනාවට මා නොලැබුවේද එපමනි !"

ඒක මම ඒ කාලේ හිතුවේ මගේ කරුමේ කියලයි. කිසි කෙනෙක් මට ආදරේ නැත්තේ මගේ කරුමේ නිසා කියලයි මම හිතුවේ.

පස්සේ කාලෙක තේරුම් ගත්තාම ආදරේ නිකම් ලබන්න බෑ ඒක හරියට ඔංචිල්ලාවක් වගේ. උඹ ආදරේ කරන්න ඕන එතකොට තමයි ආදරේ ලැබෙන්නේ කියලා. 

විශේෂයෙන් මාව චාටර් වෙන්න පිච්චුනු වෙලාවේ මම හිතවත් කමින් උන්නු යාලුවෝ බලන්න වත් නාවට නිතර රන්ඩු වෙලා ඒ තරම් හිතවත්කමක් නොතිබුනු යාලුවෝ ඉස්පිරිතාලේ ඇවිත් උදව් කරද්දී තමයි තේරුනේ ආදරේ ලැබෙන්න නම් ආදරේ දෙන්න ඕන කියලා.

ඒත් එහෙම හිතලා ජීවත් වෙන්න පටන් ගත්තාම මම හිතුවේ ආදරේ කෙසේවෙතත් සතුට හරි මගේ ලඟ තියේවී කියලා. 

හැමෝටම ආදරෙන් සලකන එකෙන් නැති කරදර විඳින්න තමයි උනේ. අර "හවුලේ කැඳත් එපා" පෝස්ට් එකේ කිව්ව සීන් එකෙන් පස්සේ යාලුවන්ගේ පිල් බෙදිල්ල නිසා හෙන කාලයක් දුක් විඳින්න උනා. 

මට මතකයි ඒ කාලේ මම මගේ නෝට් බුක් වල ලිව්වේ අර යෞවන කාලේ ලියපු එකේ පොඩ්ඩක් වෙනස් කරපු වර්ෂන් එක.

"ජීවිතය මා ඔබෙන් ඉල්ලුවේ සතුට පමනි ! අවාසනාවට මා නොලැබුවේද එපමනකි!!!"

මොකද්ද මම කිය කිය හිටියේ . . 

මේ මගුල් අතුරු කතා නිසා ඒකත් අමතක උනා. 

අහ් කර්මය කියන එක කෙනෙක්ගේ මහන්සියෙන් වෙනස් කරන්න පුලුවන් කියලා හිතුවට හෙම්බත් උනු වෙලාවක එහෙම කෙනෙක්ටත් හිතෙන්න පුලුවන් "මේක මගේ කරුමේ" කියලා.

සමහර මිනිස්සුන්ගේ ජීවිත දිහා උඩින් බැලුවාම ඒ අය පුදුම සතුටකින් ජීවත් වෙන බව පේනවා. ඒ අය ඒ සතුටට උරුම කම් තියෙන අය නම් අපිත් සතුටින් ඒ අයගේ සතුටට හවුල් වෙලා සුභ පතනවා.

සමහර සතුටින් ඉන්නවා කියලා අපි හිතන නමුත් ඇත්තෙන්ම අසතුටෙන් ජීවත් වෙන මනුස්සයින්ගේ ජීවිත ඇතුලට එබෙන්න අවස්ථාවක් ආවොත් අපිටම පුදුම හෙතෙනවා . . 

"දෙයියනේ මේ මනුස්සයට දුකෙන් ඉන්න කිසිම හේතුවක් නෑනේ . . ජීවිතේ හැමදේම සිද්ධ වෙලා තියෙන්නේ මේ මනුස්සයගේ ජීවිතේ සතූටින් ඉන්න පුලුවන් විදිහට නේ" කියලා . . 

ඒත් ඒ මනුස්සයා අසතුටෙන් . . . ඒ සතුටින් ඉන්න පුලුවන් කිසිම දේකින් ඒ මනුස්සයට ඒ මනුස්සයා ජීවිතයෙන් ඉල්ලා සිටින සතුට නොලැබෙනවා නම් . . .

"ඒක උගේ පෙර ආත්මෙක ඉඳන් අරන් එන කරුමේ මිසක් වෙන මොකද්ද" කියලා අපි හිත හදාගනන්වා මිසක් අපිට කරන්න පුලුවන් දෙයක් තියෙනවද?

එහෙම අයට මම නම් හිතින් කියන්නේ "කරන්න දෙයක් නෑ මනුස්සයෝ උඹ ගැන දුකයි තමයි . . ඒත් උඹේ කරුමේ තව ආත්ම වලට ගෙනියන්නේ නැතුව මේ ආත්මෙදිම ගෙවලා ඉවර කරපන්" කියලයි.

කරුමේ කියන එක මහන්සියෙන් වෙනස් කරන්න පුලුවන් කියලා හිතන මටත් එහෙම හිතෙන එකේ . . හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

හවුලේ කැඳත් එපා . . . !


"මචං මට නම් දැන් මේ මගුල් ජොබ් එක එපා වෙලා බන් තියෙන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම් නහිනවා ඒත් මාසේ අන්තිමට අතට හම්බ වෙන සොච්චම දැක්කම මොකටද කියලා හිතෙනවා. මේකෙන් අස් වෙලා පොඩි බිස්නස් එකක් පටන් ගන්නයි මගේ අදහස. හැබැයි මට තනියෙම ඒක කරන්න බෑ. කැමතිද උඹත් ජොයින් වෙන්න. මොකෝ කියන්නේ කැමතිද?" නිශාන්ත දවසක් හවසක අපි සෙට් වෙන්න අනිත් උන් එනකම් අපේ මිතුරු සහන්ලගේ ගෙදර ඉන්න වෙලාවක මගෙන් ඇහුවා.

"කැමතිද අකමැතිද කියන්න කලින් බිස්නස් එක මොකද්ද කියලා කියහන්කෝ. උඹ බ්‍රොතල් හවුස් එකක් දාන්න හදනවද කවුද දන්නේ" මම ගානක් ගන්නේ නැතුව කිව්වා.

නිශාන්ත මගේ යාලුවෙක් උනේ මගේ හොඳම යාලුවෙක් උනු සහන්ගේ හොඳම යාලුවෙක් නිසා. මගේ පිස්සු වැඩ නිසා ඌට මාව අල්ලලා ගියා වගේම උගේ කෙලින් කතාවයි, කියන දේ කරන කරන දේ කියන ගතියයි නිසා මට ඌව අල්ලලා ගිය නිසා අපි දෙන්නත් හෙන ෆිට් උනා.

"මෙහෙමයි මට අයිඩියා එකක් තියෙනවා කොමියුනිකේෂන් එකක් දාන්න. වීඩියෝ සෙන්ටර් එකකුත් එක්ක. නිමේෂ් ලගේ කඩපේලියේ ලොකු අක්කගේ කඩේ බංකොලොත් උනු නිසා වහලා දාලා තියෙන එකේ අපිට පුලුවන් ඒක සාධාරන ගානකට අපිට කුලියට දෙන්න කියලා ඉල්ල ගන්න. ලොකු අක්ක උඹත් එක්ක ෆිට් නිසා Key money නැතුව දෙන්න කියලා උඹට කියන්න පුලුවන්නේ"

"ම් ම් ම් ම් වැඩේ නම් හොඳයි වගේ. එතකොට උඹේ ජොබ් එක?"

"ඒකෙන් අස් වෙනව බන්. අපි දෙන්න හවුල් වෙලා කලොත් උඹ ඔෆිස් ගිහින් ආවට පස්සේ ශොප් එක බල ගන්න පුලුවන්නේ. ඒ වෙලාවට මට පුලුවන් මගේ ගෲප් ක්ලාස් ටික කරගෙන යන්න. දැන් කරන රස්සාව නිසා මගේ ටියුෂන් ගෝලයෝ ටික සහෙන්න හැලුනා බන්. වෙලාවක් නැති කම නිසාම."

නිශාන්ත විද්‍යා උපාදිධාරියෙක්. දක්ෂ ගණිත ගුරුවරයෙක්. ගෙවල් වලට ගිහින් ප්‍රයිවෙට් ටියුෂන් කරලා හොඳ නමක් හදාගෙන තිබුනා උගේ ගෙවල් පැත්තේ. උගේ ගෙවල් තිබුනේ අපේ ගෙවල් හරියේ ඉඳන් කිලෝමීටර් 2ක් විතර එහාට වෙන්න. උපාධිදාරීන්ට තරුණ අරුණ වැඩසටහන යටතේ ලබා දුන්නු  රැකියාවක් ඌ මේ කාලේ කර කර හිටියේ. ලොකු ආයතනයක විධායක රැකියාවක් ඒත් පඩිය හෙන අඩුයි. ට්‍රේනීස්ලා කියලා රෑ දවල් නැතුව මරෝ මරෝ වැඩ ගන්නවා කියලා නාහෙන් අඬ අඬා හිටියේ.

"ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකකට බහින එක රිස්කි නැද්ද" මම කවදාවත් බිස්නස් කරලා නැති නිසාටත් වඩා අපේ තාත්තා බිස්නස් කරලා නා ගන්න හැටිත් අපිත් ඒ හින්දම දන්න කාලේ ඉඳන්ම කන පරිප්පුවේ රස දන්න නිසාත් මම ඇහුවා.

"නෑ බන් ශාමිලා ත් සිංගපූර් ඉඳන් සල්ලි එවන්නම් කිව්වා හදිසියක් උනොත්"

උගේ කෙල්ල ඒ කාලේ සිංගපූර් වල හොස්පිට්ල් එකක නර්ස් කෙනෙක් විදිහට වැඩ කලේ. මට තාම සෙට් වෙලා තිබුනේ නැති උනාට සහන් කිව්ව විදිහට හෙන understanding වගෙම ජොලි පොරක්ලු.

"හරි මම සෙට් වෙන්නම්, හැබැයි මගේ ඩිසයින් ඔෆිස් එක දාගන්න පොඩි ඉඩක් මටත් ඕන." නිශාන්තයා ගැන දන්න නිසා ත් මොකක් හරි අලුත් දෙයක් කරන්න ඕන කියලා මමත් හිත හිතා හිටි නිසාත් මම වචනේ දුන්නා.

ඒ කාලේ මම ජොබ්ස් තුනක් කලා (මේ 1998 - 1999 කාලේ)

කටුනායක එයාර්පොර්ට් එකේ ප්‍රොජෙක්ට් එකක කන්ට්‍රැක්ටර් කෙනෙක්ගේ කම්පනි එකට ජොයින් උනේ QS පාර්ට් එක විතරයි මට කරන්න තියෙන්නේ කියලා. ඒ උනාට මුලු ප්‍රොජෙක්ට් එකම manage කරන්න උනේ මට තනියෙම. මාදිවෙල ඉඳන් උදේ හවා කටුනායක යන එකත් මට එපා වෙලා හිටියේ.

මගේ කලින් boss එයාගේ projects ඔක්කොම වගේ ක්ලෝස් කරලා බොස්වානා ගියා ජොබ් එකකට. එතකොට එයා කර කර හිටපු ලංකාවේ හෙන ලොකු පොරක්ගේ ගේ renovate කරන project එක මට බාර දීලා ගියා cost management පාර්ට් එක කරන්න කියලා.

ඊට අමතරම මම free lance designer කෙනෙක් විදිහට ගෙදර ඉඳන් AutoCAD යූස් කරලා හවුස් ඩිසයින්ස් කර කර හිටියා.

ඕවා මේවා නිසා වැඩකට ඉන්වෙස්ට් කරනවනම් කරන්න මට සල්ලි හොයා ගන්න අමාරු උනේ නෑ.

මගේ යෝජනාවට නිශාන්තයා කැමති උනා. අපි වැඩේ පටන් ගත්තා.

නිමේෂ්ලගේ ලොකු අක්කා හෙන අඩු කුලියට අපිට කඩේ දුන්නා.

Interior Design කලේ මම මයි.
 
තාත්තගේ Project එකකින් ඉතුරුවෙලා MDF Board,  2x2 රීප්ප හෙන ගොඩක් අපේ ගෙදර මිදුලේ ගොඩ ගහලා තිබ්බා (MDF බෝර්ඩ්ස් නම් ගෙදර ඇඳන් යට). අපේ වැඩේට ඕන කරන තරම් මැනලා අරගෙන ගියා.
 
වඩු වැඩ වලට වඩ්ඩෙක් අල්ල ගත්තට ගෝලයගේ ලී කපලා කොටලා එහෙම දෙන වැඩේ කලේ අපි අපිමයි.
 
කඩේටයි Furniture වලටයි ගාන පාට ඩියුලක්ස් color palate  එකෙන් සිලෙක්ට් කලෙත් මම. තාම මතකයි ඒ කලර් එකේ නම "රිවීරා" පීකොක් බ්ලූ වලට කිට්ටු පාටක්.
 
මම Barefoot ගිහින් මැච් වෙන රෙදි අරන් ආවා කුෂන් වලට.
 
ඔක්කෝම ප්‍රොෆෙෂනල් ජාතියේ වැඩ වලට ප්‍රොෆෙෂනල්ස් ලගේ සේවය ලබා ගන්න ඕන කියලා යෝජනා කලේ මම. නිෂාන්තයා කැමති උනා.
 
කුෂන් ටික ටේලර් කෙනෙක් ලව්වා මස්ස ගත්තා.
 
ඇලුමිනියම් වැඩ ඇලුමිනියම් වැඩ්ඩෙක් කලා.

යකඩ පුටු, ස්ටූල්ස් වෙල්ඩින් ශොප් එකකින් හදෝ ගත්තා.
 
නේම් බෝර්ඩ්, වීදුරුවල කරන ග්‍රැෆික් වැඩ ඒ වැඩ කරන පොරවල් සෙට් එකක් කලා.

ස්ප්‍රේ painter කෙනෙක් පේන්ටින් වැඩ කලා
 
ගොඩක් උන් Free කරලා දෙන්න ලෑස්ති උනා "අඩෝ උඹේ වැඩකට සල්ලි ගන්නේ කොහොමද" කියලා.

"යාලුකම් වෙනයි බිස්නස් වෙනයි. යාලුවෙක්ට උනත් නිකම් වැඩ කරලා හම්බකරන් කන රස්සාව බාල්දු කරන්න එපා මචන්" කියලා මම හැම එකාටම සාධාරන ගනන් ගෙව්වා.

බොහොම ලස්සනට අපි වැඩේ පටන් ගත්තා.
 
ශොප් එකට ආපු හැම කෙනාම කිව්වේ "අඩෝ මේක ගමේ බස් හෝල්ට් එක තියෙන හංදිකට මීටර් 50ක් විතර දුරින් තියෙන ශොප් එකක් නෙමේ shopping complex එකක තියෙන ශොප් එකක් වගේනේ" කියලා.

"ඔක්කෝම මුගේ වැඩ තමයි" කියලා නිශාන්තයා මාව පෙන්නුවහම හීනි ආඩම්බරයක් දැනුනට,

"නෑ මම කලේ පොඩි පාර්ට් එකක් විතරයි මචං . . . ලොකුම වැඩ කොටස කලේ, කරන්නේ මූ තමයි" කියලා නිශාන්තයාව පෙන්නලා වැඩේ නියම අයිති කාරයට ක්‍රෙඩිට් එක අරන් දෙන්න මම පොඩ්ඩක් වත් පස්ස ගැහුවේ නෑ.

අපි හෙන ස්ටෑන්ඩර්ඩ් එකට වැඩේ කරගෙන ගියා - වැල ෆිල්ම් කිසි දෙයක් නෑ. තිබුනත් ඒවා ෆිට්ම යාලුවන්ට ෆ්‍රී දුන්නා මිසක් බිස්නස් එකට අදාල කර ගත්තේ නෑ. 

ටෙලිෆොර්න් බූත් දෙක ඇතුලේ ෆෑන් හයි කරලා දොරවල් ෆුල් සීල් කලා අනිත් අයට conversation ඇහෙන්නේ නැති වෙන්න.

උදේ වැඩට යන මම ගෙදර ආපු ගමන් අම්ම උයල තියෙන දෙයක් කාලා දුවන්නේ ශොප් එකට.

ශොප් එකේ ඉස්සර කෑල්ලේ මගේ කොම්පුටර් එක තියාගෙන මම මගේ ෆ්‍රී ලාන්ස් House Planing සහ Estimation වැඩ කරගෙන ගියා.

මාව හොයාගෙන ආපු මගේ clientsල ට ගෙදරට එනවට වඩා මෙතන ලේසි උනා.

බස් හෝල්ට් එක තියෙන හංදිය හවස 6න් පස්සේ මැස්සෙක් වත් නැති තැනක් වෙද්දී නිමේෂ්ලගේලොකු අක්කගේ කඩේ ලඟ කොල්ලෝ සෙට් වෙන තැනක් උනා.

නිමේෂ්ගේ පොඩි අක්කයි ලොකු අක්කයි ත් එතනම හිටි නිසා කෙල්ලෝ උනත් එතන සෙට් වුනා.

මම ගමේ ඒ තරම්ම ජනප්‍රිය චරිතයක් නොවුනත් ප්‍රියමනාප චරිතයක් වෙලා හිටියා කියලා දැනුනේ "මල්ලී උඹ ඉන්න වෙලාවට තමා වැඩිපුර කට්ටිය මෙතන සෙට් වෙන්න කැමති" කියලා පොඩීයි, ලොකූයි කිව්ව නිසා තමයි.

සමහරවිට ඒ අපේ තාත්තගේ වගේ උස් පහත් බේදයක් නැතුව හැමෝම එක්ක හිනා වෙලා වචනයක් හරි කතා කරන පුරුද්ද නිසා වෙන්න ඇති.

නිමේෂ්ගේ හොඳම යාලුවෝ සෙට් එකත් අපිත් එක්ක හෙන ෆිට් උනා.

වැඩේ නැගලා ගියා. හැමදාම රෑ වෙනකම් කඩේ ඇරගෙන ඉඳලා නිමේෂ්ගේ සෙට් එක්ක එක්ක කොහේ හරි ගිහින් අඩියක් ගහලා ගෙදර එන්නේ දෙගොඩ හරි ජාමේ.

මගේ යාලුවෝ සෙට් එකට දිරෙව්වේ ම නෑ මේ වැඩේ. ඒත් මම හෙන සතුටක් ලැබුව නිසා ගමේ යාලුවෝ සෙට් දෙකම බැලන්ස් කරගෙන වැඩේ කරගෙන ගියා.

අක්කා කසාද බැන්දට පස්සේ හොරු ගෙනිච්චා වගේ උනා මස්සිනා එයාට අපේ ගෙදර එන්න දුන්නේ නැති එකෙන්. නංගිත් බැඳලා ජැපෑන් ගියා. තාත්තා මහ රෑ දෙකක් දාගෙන ගෙදර ඇවිත් තියෙන දෙයක් කාලා අම්මටයි මටයි බැනලා නිදා ගන්නවා. වැඩේ පටන් ගන්න මුලදී අම්මා මගේ උනන්දුව දැකලා ෆුල් සපොර්ට් එක දුන්නට ඉස්සර ඉඳන් කරගෙන ආපු අපි දෙන්නගේ හරබර සංවාද මන්ඩපය (කියවපු කෙටිකතාවක, නවකතාවක, අහපු සින්දුවක, බලපු ටෙලියක, ෆිල්ම් එකක ගුනා ගුන සංවාද; දේශපාලන සාකච්ඡා; අහල පහල ඕපා දූප) නතර කරන්න උනායින් අම්මත් මේ වැඩේට පස්සේ ඒ තරම් කැමැත්තක් පෙන්නුවේ නෑ. ඒත් ලොකු බල කිරීමක් කලේ නෑ.

සෑහෙන කාලයක් ඔහොම කරගෙන ගියා. 

මම සාමාන්‍යයෙන් වැඩක් කරද්දී හරිම උද්යෝගිමත්. මම හිතන්නේ ටිකක් ඕනවට වඩා උද්යෝගිමත්.

මට ඕන වුනේ නෑ අපේ බිස්නස් එක එක තැන පල් වෙනවට. මට ඕන වුනා ටික ටික දියුනු කරන්න. මම යෝජනා ගෙනාවා නිශාන්තට.

"මචං අපි ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් අරගෙන හයි කොලිටි ප්‍රින්ටර් එකකුත් අරගෙන ටයිප් සෙටින්ග් වැඩ එහෙමත් පටන් ගමු. ඇඹුල්දෙනිය හන්දියේ වත් එහෙම වැඩක් කර ගන්න තැනක් නෑ"

"එහා පැත්තේ කඩ කෑල්ලත් නිකම් වහලා තියෙන එකේ ඒකත් ඉල්ලගෙන ස්ටේෂනරි ශොප් එකක් දාමු. වැඩ කරන්න අපි දන්න කියන කෙල්ලෙක් ගමු"

ඒත් නිශාන්තට ඒ ගැන ලොකු උවමනාවක් තිබ්බේ නෑ. ඌගේ කෙල්ලත් සල්ලි එව්වා, ටියුෂන් වලින් පොඩි ගානක් හම්බ උනා. ශොප් එකෙන් සාමාන්‍ය ලාබයක් හම්බ උනා. ඌට එතනින් එහාට බිස්නස් එක දියුනු කරන්න ඕන උනේ නෑ.

මට Rat Race එකක් දුවන්න ඕන උනේ නෑ. ඒත් ඉතිං මිනිසා කියන්නේ උද්යෝගිමත් සත්වයෙක්නේ. අනික මට ඒ සත්වයට තියෙන්න ඕන කරන උද්යෝගිමත් කියන ගුනාංගේ වැඩියෙනුත් එක්ක තිබ්බනේ . . 

මට ඕන උනේ අලුත් දෙයක් කරන්න. 

සමහර විට ලොකු බුක් ශොප් වලට ගිහින් පොත්වල නියම ගාන වගේ දෙගුනයක් ගෙවන අපේ අසල්වාසී දන්න කියන පාරිභෝගිකයින්ට සහනයක් සමඟ අපිටත් යමක් ලැබෙන දෙයක් කරන්න. 

ලියුමක් ගහගන්න හතර අතේ දුවන අයට ලාබෙට ලස්සනට අපේ designing දැනීමයි, නීට් එකට යමක් කරන හැකියවයි භාවිතා කරලා අනිත් අයට quality product එකක් දෙන්න.

"තාම අවුරුද්දක් විතරනේ මචං පටන් අරගෙන . . හදිසි වෙන්නේ නැතුව අපි හෙමීට අලුත් බිස්නස් ඇඩ් කරමු. අනික රිස්ක් එකක් ගන්න ඕන නෑනේ මචං . . මේ හම්බ වෙන ගාන ශේප් කරගෙන යන්න ඇතිනේ." නිශාන්තයාගෙන් බිස්නස් ඩිවෙලොප්මන්ට් ගැන අහන අහන සැරේට කිව්වේ ඕකමයි.

"ඒත් අපි ඉන්වෙස්ට් කරපු ගානයි මහන්සියයි බලද්දී මේ ඩිවෙලොප්මන්ට් එක මට නම් මදි මචන්. අනික දැන් කස්ටමර්ස්ල ත් ගොඩක් අය මොබයිල් එහෙම ගන්න නිසා කෝල්ස් ගන්න එනවා අඩුයි. අපි අපේ බිස්නස් ලයින් එක වෙන වෙන පැති වලට අරන් යන්න ඕන දියුනු වෙන්න නම්. අනික එක තැන පල් වෙද්දී මට ත් මේ වැඩේ ගැන තියෙන උනන්දුව අඩු වෙනවා මචං" මම කොහොමත් කියන්න තියෙන දේ කෙලින් කියනා එකා නිසා කම් අ ගෝ චිකාගෝ කියලා කියලා මට කියන්න ඕන ටික දැම්මා.

"උඹ රස්සාවෙන් අයින් වෙලා බිස්නස් එකට ජොයින් වෙයන්කෝ" නිශාන්ත නිතරම කිව්වා.

"පිස්සුද ඒක මොන බොරු වැඩක්ද? මට දැන් මේ රස්සාවල් තුනෙන් හම්බ වෙන සල්ලි වලින් බිස්නස් එක දියුනු කරන්න පුලුවන්. ඒවයින් අයින් උනොත් බිස්නස් එකට ඉන්වෙස්ට් කරන්න සල්ලි කෝ. මම මේ කරගෙන යන රස්සාව කරන ගමන් බිස්නස් එක දියුනු කරන්න සල්ලි දාන්නම්. නය අරගෙන හිර වෙලා බිස්නස් කරන්න ඕන නෑනේ එතකොට" දුවන මුවන් දැකලා මහන්සියෙන් නෙලා ගත්තු පලා ටික බිමට හලන ජාතියේ වැඩ, විදුලිය එලිය දැකලා ගිනි හුල ලිපේ දාන ජාතියේ වැඩ කරන්න මට ඕන උනේ නෑ.

ලොකු රන්ඩු සරුවල් නොවුනට නිතර ම අපි අතරේ වාද විවාද ඇති උනා.

බිස්නස් එක ඉදිරියට ගෙනියන මගේ ඉදිරියට දැක්මයි, ඒක එක තැන පල් වෙන්න අරින නිශාන්තගේ දැක්මයි එක්ක මේ හවුල් බිස්නස් වැඩේ තව දුරටත් කරගෙන යන්න බෑ වගේ මට දැනුනා.

කියන්න ඕන ටික මම ඌට පැහැදිලි කරලා කිව්වා.

"මචං උඹයි මායි කඹ අදිනවා වගේ උඹ එක පැත්තකටයි මම එක පැත්තකටයි ඇද ඇද මේ බිස්නස් එක කරන්න බෑ"

"කරනවනම් හරියන්න හරි වරදින්න හරි කියලා අපි දෙන්නම එක තැනක ඉන්න ඕන."

"මේ බිස්නස් නිසා උඹෙයි මගෙයි යාලුකම නැති කර ගන්න ඕන නෑ. "

"උඹ වැඩේ තනියෙම කරගෙන පලයන් මචන්. මම මගේ ෆුල් සපෝර්ට් එක දෙන්නම්. "

"බිස්නස් එකේ මගේ ශෙයාර් එක ගනන් හදලා පුලුවන් නම් ටික ටික දීපන්"

"නැතත් අවුලක් නෑ. බිස්නස් එකක් පටන් ගන්න හැටි, කරගෙන යන හැටි, එන ප්‍රශ්න වගේ ප්‍රායෝගික දේවල් ගැන මම මේ ඉගෙන ගත්තු පාඩම ඒ ගානට වඩා මට වටිනවා"

ශොප් එකේ තිබ්බ මගේ කොම්පුටර් එකත් අරගෙන මම ගෙදර ආවා.

මගේ කාමරේ ඉඳගෙන මම කොම්පියුටරේ වැඩක් කර කර ඉන්නැත්දී අම්මා ඇවිත් දොර රෙද්ද දොරට උඩින් දාලා මාව පේන තැනකට වෙලා පත්තරයක් කියවන්න ගත්තා.

ටික වෙලාවකින් මම අම්ම දිහා බැලුවා.

"හවුලේ කැඳත් එපා කියන්නේ ඕකයි පුතේ . . . " අම්මා මූනේ ලාවට සතුටු හිනාවක් රඳවගෙන කිව්වා.

මම අම්ම හිටිය පුටුව පිටිපස්සෙන් ගිහින් බෙල්ල වටේට අත්දෙක දාලා අම්මගේ මූන ඉම්බා.

Pic From : http://ltmdraw.blogspot.ae/2010/09/illustration-friday-proverb-too-many.html

සඳුදා ඉඳන් . . .හැමදා උදේ . . . ! (2වෙනි කොටස)

"හත් දෙයියනේ ලඟක් වෙනකම් හම්බ උනේ නෑ කියන්නේ දැන් හම්බ වෙලා . . . අඩේ මාරයිනේ . . ඔයා මාර පොරක්නේ . . . ප්‍රීතියි ප්‍රීතියි . . කව්ද හලෝ ඒ වාසනාවන්තී . . . " මේ හොල්මන ආතක් පාතක් නැතුව කෑගහන දිහායි මගේ දිහායි බස් එකේ එකේ මිනිස්සු ඔක්කෝම නුරුස්සන බැල්මක් දාගෙන බලන් හිටියේ.

"පොඩ්ඩක් ඉන්නවා හලෝ බස් එකෙන් බහිනකම්. බැස්සට පස්සේ විස්තරේ කියන්නම්" මම තුෂාරිගේ කනට කරලා කිව්වා.

මේ පෝස්ට් එකේ කලින් කොටස මේ තියෙන්නේ . . . කියවපු නැති අය  ඒක කියවලාම එන්ටකෝ . . 

. . . . . . . . .. . . . .. . .. . . . .. . . . .. . .. . . .. . . .. . .. . . .. . .. . .. 


"ම් ම් ම් මෙහෙමයි. ඒ ළමයා තාම ස්කෝලේ යන කෙල්ලෙක්. අර අහවල් ස්කෝලෙට තමයි යන්නේ. A ලෙවල් කරන්න තමයි ඒ ස්කෝලෙට ගිහින් තියෙන්නේ" බස් හෝල්ට් එකේ වැටට හේත්තු වෙලා දිග කතාවක් කියන්න ලෑස්ති වෙන ගමන් මම කිව්වා.

"ඉතිං මක් වෙනවද? ඔයාටත් තාම 23යිනේ. A ලෙවල් නම් එයාට 18යිනේ. ඉතිං කොහොමද එයාව හම්බ උනේ. ඔක්කෝටම වඩා ඔයාගේ ගල් හිත බටර් උනේ කොහොමද" තුෂාරිට සිහිය නෑ කෝප්පේ මන්ඩි ඉතුරු නොවෙන්න හෝදන කම්.

"දන්නවනේ මගේ බස් එකේ සෙට් එක. මේ පැත්තට ආපු ගමන් වැඩිය කට්ටිය එක්ක ෆිට් නැති නිසා කාත් එක්කවත් කතා නොකර හිටියට, දවසක් අහම්බෙන් වෙනද යන බස් එක මිස් වෙලා ස්කෝලේ කෙල්ලෝ කොල්ලෝ යන බස් එකේ යන්න වෙච්චි සීන් එක මම දවසක් කිව්වනෙ"

"ඔව් ඔව් මතකයි"

"එදා බස් හෝල්ට් එකේ හිටපු ස්කෝලේ යන කොල්ලෝ දෙතුන් දෙනෙකුයි වැඩට යන සෙට් එකයි සෙට් උනාට පස්සේ මම එදා ඉඳන් ඔෆිස් ගියේ ඒ වෙලාවට යන බස් එකේ"

"ඒ කිව්වේ 6.50 CTB බස් එකේද?"

"ඔව් එක තමයි. කොල්ලන්ට එල්ලිලා යන්න චාන්ස් එක දීලා ෆුට් බෝඩ් එකේ පඩි පෙලේ යන නිසා සතියක් විතර යන කම් ඒ සෙට් එක ඇර වෙන කවුරු යනවද එනවද කියලා නිච්චියක් උනේ නෑ."

"ඉතිං අර ළමයව මුන ගැහුනේ"

"දවසක් මම එද්දී බස් එක අද්දනවා. මම ඔයාලගේ ගෙවලුත් පහුකරලා බස් එකට මීටර් 50ක් විතර දුරින් හිටියේ. මම දුවගෙන එනවා දැකලා ඩ්‍රැයිවර් අයියා බස් එක නතර කරගෙන හිටියා. පිටි පස්සේ පුට්බෝඩ් එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති නිසා එල්ලුනේ ඉස්සරහා ෆුට් බෝඩ් එකේ"

"ඔව් ස්කෝලේ යන අය වැඩට යන අය ඉන්න නිසා 6.50 බස් එකේ පුදුම සෙනගක් තමා ඉන්නේ"

"ඇඹුල්දෙනියෙන් බහින අයට බහින්න මට ෆුඩ් බෝඩ් එකෙන් බැහැලා ඉඩ දෙන්න උනා. බැස්සා විතරයි මගේ මූන ඉස්සරහම එයා. මම දන්නේ නෑ මට මොනව උනාද කියලා. එයා මගේ දිහාම බලාගෙන. මම එයා දිහාම බලාගෙන. හරියට කාලයක් එකට ඉඳල,  කියන්නේ වත් නැතුවම කොහේ හරි ගිහින්, අවුරුදු ගානකට පස්සේ අහම්බෙන් මුන ගැහිලා, විස්වාස කරන්න බැරුව වගේ අපි දෙන්න අපි දෙන්න දිහා බලාගෙන.  බහින එකෙක් මාව තල්ලු කරලා "පොඩ්ඩක් එහාට වෙනවකෝ" කිව්ව වගේ මතකයි"

"හිතා ගන්නවත් බෑ. මෙච්චර කාලයක් දෙතුන් දෙනෙක් ඔයා දිහා බැලුවට ඔයා නිකම් ඇවිදින මළමිනියක් වගේ හැඟීම් දැනීම් නැතුව හිටිය එකානේ"

"ඒක තමා හලෝ මටත් හිතා ගන්න බැරි උනේ. මම හිතුවේ අර සීන් එකෙන් පස්සේ ආදරේ කියන හැඟීම් මගේ හිතින් මැරිලා කියලා. ඇයි මම ම බලෙන් හිතාගෙන වෙනස් වෙන්න හැදුවත් බැරි උනානේ. ඒත් මේ ළමයා දැක්ක වෙලාවේ තමයි මට හිතුනේ නෑ එහෙම වෙලා නෑ කියලා"

"ඒ කියන්නේ ඔයාට මල්සරා මල් දුන්නට ඊතලයක් දාලා විද්දා හෙ හෙ හේ"

"ඊතලයකින් විද්දද තඩි පොල්ලකින් ගැහුවද මම දන්නේ නෑ තුෂාරි ඒ වෙලාවේ ඉඳන් මට දැනුනේ පුදුම වෙනස් හැඟීම් ටිකක්. අපි දෙන්නම බස් එකට නැගලා හිට ගෙන හිටියේ එක ලඟ. මම කී සැරයක් ඒ ළමයා දිහායි වටේ පිටේ ඉන්න උන් දිහායි හොරෙන් බැලුවද මතක නෑ මගේ පපුවේ ඩිග් ඩිග් ගාන සද්දේ අනිත් අයටත් ඇහෙයිද කියන සැකේට. මගෙ කන් දෙක! අයියෝ කියලා වැඩක් නෑ ඒක රොටී තැටිය වගේ රත් වෙලා. මම දෙතුන් පාරක් අල්ලලා බැලුවා ගිනි ගන්නවද කියලා. ඇහැ කරකෝලා බැලුවා කනෙන් දුම් දානවද කියලා"

"හෆෝයි මෙයාට වෙලා තියෙන දේ"

"කියලා වැඩක් නෑ හලෝ"

"ඉතිං අර ළමයා ෆුල් නෝමල් එකේ හිටියද?"

"මම අර හොරෙන් බලන බලන හැම සැරේම මාට්ටු එයත් මගේ දිහා හොරෙන් බලනවා. ඒ ළමයත් කොහොමද කියලා නෝටිස් කරන්න තරම් මානසිකත්වයක නෙමේ මම හිටියේ. ඒත් ටික දවසක් ගිහින් එදා ඉස්සෙල්ලම දවස ගැන හිතුවාම එදා ඒ ළමය හිටියෙත් මම හිටියා වගේම මොකද්දෝ කියාගන්න බැරි අපහසුවකින් හියලා හිතුනා"

"එහෙනම් වැඩේ හරි. ඒ කියන්නේ මල්සරා එයාටත් විදලා. මරු මරු . .හික්ස් "

"මල්සරාගේ විදිල්ලක් මං දන්නේ නෑ . . එදා ඉඳන් හැමදාම ඒ ළමයා මාව දකින්න බලාපොරොත්තු වෙනවා කියල මට හිතෙනවා. මම බස් එකේ ඉන්නවා දැක්කොත් විතරයි එයා ඒ ඒ බස් එකට නගින්නේ"

"ඔයා කොහොමද එහෙම කියන්නේ"

"මම ඒක දැන ගන්න පොඩි වැඩක් කලා. දවසක් ෆුට් බෝඩ් එකේ ඉන්නේ නැතුව බස් එකේ මැදට වෙලා එයාට පෙන්නේ නැති වෙන්න හොරෙන් බලන් හිටියා. එයා දෙපැත්තෙම ෆුට් බෝඩ් දිහා බලලා බස් එක ඇතුලෙත් මාව හොයනවා කියලා මම හොරෙන් දැක්කා. මම ඒත් මූන පෙන්නනේ නැතුව හිටියා. බස් එකේ ගොඩක් ම සෙනඟ හිටියෙත් නෑ ඒත් එයා නැග්ගේ නෑ. පව් ස්කෝලේ යන්න පරක්කු වෙන්නත් ඇති"

"ශිහ් ඔයා මාර පොරක්නේ . . "

"නෑ හලෝ මට ඕන උනේ මට එයාගැන දැනෙනවා වගේම දෙයක් එයාටත් දැනෙනවද කියලා දැන ගන්න. මොකද මම එයාව හන්දියේදි නොදැක්ක දවසට දෙල්කඳ හංදිය්ටම ටිකට් අරන් තිබ්බත් එතන හන්දියෙන් බහිනවා. බැහැලා එයා එන කම් ඉඳලා එයා යන බස් එකේමයි යන්නේ"

"ඉතිං මේ මාස ගානටම කතා කලේ නැද්ද?"

"හැමදාම උදේට හන්දියෙදි බස් එකට නඟින්නේ මම ඉනන්වද කියලා මේක්ශුවර් කරගෙන. පස්සේ ඇතුලට ගිහින් එයා ඉස්සරහා මම පිටිපස්සේ උනොත් බස් එකේ මිනිස්සු සිය ගානක් අතරින් අපේ ඇස් එකට මුන ගැහුනට පස්සේ තමයි දෙන්නටම සැනසුම් සුසුමක් වැටෙන්නේ. එතන ඉඳන් ඇස් දෙකෙන් තමා කතාව" 

"බස් එකේ යන එන මිනිස්සු එතකොට" 

"අනේ හලෝ ඇත්තටම කිව්වොත් අපි දෙන්නා ඇර වෙන කිසි කෙනෙක් බස් එකේ ඉන්නවද කියලා අපිට දැනෙන්නේ වත් නෑ . . "

"එහෙම නෙමේ හැබෑවට කතා කරන්න ට්‍රයි කලේ නැද්ද ඉතින් තාම. ඒ ළමයත් අකමැත්තක් නෑ කියලා හොඳටම තේරෙන එකේ කෙලින්ම කතා කරන්න එපැයි"

"කතා කරන්න කියලා දවස් තුන හතරක් ට්‍රයි කලා හලෝ. කොහේ කරන්නද එයා ලඟට ගිහින් හිට ගත්තු ගමන් මගේ කටේ කෙල හිඳිලා කන් දෙකෙන් දුම් දාන්න වගේ පටන් ගන්නවනේ. ඒ විතරක්ද පපුව ගැහෙන්න ගන්නවා අර කාටූන් වල වගේ. හාර්ට් එක අඩියක් විතර එලියටම ගිහින් ආපහු එන්නේ. කකුල් දෙකේ දනිස් පොල්කටු දෙක සට සට ගාලා එකට වදිනවා මටම ඇහෙනවා සද්දේ . . හෆෝයි . . "

"අප්පා . . . එහෙනම් මාස දෙක තුනක් උනාට ලෙඩේ බොහෝම උත්සන්න විදිහටම හැදිලා . . මේ මට ලෙක්චර්ස් යන්න පරක්කු වෙනවා අනේ. කෙල්ලෝ කැමති නෑ ඇඹරි ඇඹරි ඉන්න කොල්ලන්ට. අද ඉරිදා, හෙට ඔෆිස් යද්දී අනිවාර්යෙන් කෙල්ල එක්ක කතා කරන්න ඕන. හරිද . ."

"හා . . බලමුකෝ . . "

"බලමුකෝ නෙමේ මට පොරොන්දු වෙන්න . . "

"හරි හරි හලෝ . . පොඩ්ඩක් ඉන්නවකෝ . . "

"එහෙනම් මම ගියා අරයා බලාගෙන ඇති ඇයි මම පරක්කු කියලා . . " එහෙම කියපු තුෂාරි එයාගේ ක්ලාස් එක තියෙන පැත්තට දුවලා ගියා . .


මතු සම්බන්ධයි . . . !

දිග වැඩී අයියෝ . .  කෑලි කෑලි කඩලා තමා දාන්න වෙන්නේ . .!


Pics from: http://graphicsfairy.blogspot.ae/2012/01/vintage-clip-art-poems-of-love.html
http://www.canstockphoto.com/vector-clipart/paramedic.html

පොලී මුදලාලිගේ බුද්ධාගම . . !


නිවාඩුවට ලංකාවේ හිටි දවසක අපි ජගත්ලගේ ගෙදර ගියේ ඩිනර් එකකට එන්න කියලා ජගත් - අමිලා දෙන්නම අපිට ආරාධනා කරපු නිසා.

විරුල් ඒ ගෙදර එයාගේ වයසේ ළමයි දෙන්න එක්ක සෙල්ලමට වැටිලා හරියට කෑවෙත් නෑ.

අපි දෙන්න නම් කෑවා මදි නොකියන්න. අමිලාගේ කෑම රසයි.

කාලා ඉවර වේගන එනකොටම ජගත්ගේ යාලුවෝ සෙට් එකක් ආපු නිසා ජගත් කෑම මේසෙන් ඉක්මනට නැගිටලා ගියා.

කාලා ඉවර වෙලා චයිනීස් ග්‍රීන් ටී කෝප්පෙකුත් අරගෙන මම සාලෙට ගියාට ජගත් හිටියේ මිදුලේ.

මාත් තේ කෝප්පේ අරගෙනම එතනට ගියා.

ජගත් මධ්‍යම ප්‍රමානයේ ව්‍යාපාරිකයෙක්. එතන ඌගේ ලෙවල් එකේ බිස්නස් කාරයෝ කීප දෙනෙක් ම ඉන්න බව මම දැනගත්තේ කලින් දවසක ජගත්ලගේ ගෙදරදීම උන්ව මුන ගැහුනු නිසා.

කට්ටිය ම මහා ලොකු සල්ලි කාරයෝ නෙමෙයි නිසා පොලියට සල්ලි අරගෙන තමයි බිස්නස් කරන්නේ. මම එතනට යන වෙලාවේ කට්ටිය එතන කතා කර කර හිටියේ සල්ලි පොලියට ගන්න සීන් එකක් ගැන.

ඒ අපිත් විරූස් පටන් ගන්න කල් යල් බලබල හිටපු දවස් නිසා මාත් උනන්දුවෙන් කතාවට සම්බන්ධ උනා.

"දැන් උඹලට ඔය සල්ලි පොලියට දෙන බුවාලා ඉඩමක්, වාහනේක පොතක් එහෙම ඇපේට ඉල්ලනවද?" මම ශේප් එකේ ඇහුවා.

"ලොකු ගානක් ඉල්ලනව නම් දෙන්න ඕන. ඒත් අපි කලින් දීලා තියෙනවනම් ආයේ ඉල්ලන්නේ නෑ ඇග්‍රිමන්ට් එක වෙනස් කරනව විතරයි"

"ඒ කියන්නේ ලක්ෂයක් දෙකක් වගේ පොඩි ගානකට ඕන නෑ ?"

"අපි බුවාලා එක්ක කලින් ඩීල් කරලා අපිව විස්වාස නිසා ඕන නෑ. ඒත් අපි රෙකමන්ඩ් කලා උනත් අලුත් කෙනෙක්ගෙන් ඉල්ලන්න ඉඩ තියෙනවා, නැති වෙන්නත් ඉඩ තියෙනවා" අපේ විරූස් බිස්නස් සීන් එක ගැන ජගත් දන්න නිසා මම මේ හාර හාර අහන්නේ ඒකයි කියලා හිතලා වෙන්න ඇති ජගා කිව්වා.

"හරි උඹලා රෙකමඩ් කරපු නිසා හරි උඹලගේ යාලුකම නිසා හරි පොලියට සල්ලි ගත්තු කෙනෙක් නොගෙවා ඇරියොත් බුවාලා කොහොමද රිකවර් කර ගන්නේ?"
කට්ටියම මගේ දිහා බැලුවා.

"නෑ මම කිව්වේ ඩීඩ් එකක්, වාහනේක පොතක් මොකුත් නැතුව උඹලගේ යාලුවෙක්නේ කියලා විස්වාසෙට දුන්නු සීන් එකක් නම් එහෙම" ප්‍රශ්නේ ටිකක් සැර බාල කරන්න මම නැට්ටක් එල්ලුවා.

"මොකෝ උඹ මාව විකුනලා පොලියට සල්ලි අරගෙන පොල්ලක් තියන්නද හදන්නේ?" ජගා ඇහුවේ හිනා වෙවී.

"නෑ මම අහුවේ එහෙම දේවල් වෙන්න පුලුවන් නිසා"

"ඒවට බුවාලා ලඟ ක්‍රම සහ විධි තියෙනවා මල්ලී" කට්ටියම  එක එකා දිහා බලන ගමන් හිනාවුනා.

"කියහංකෝ බන් අපිටත් ඒ ක්‍රම සහ විධි. මගේ බිස්නස් එක පටන් ගන්නත් පොලියට ගානක් ගන්න හිතාගෙන ඉන්නවා. දැනගෙන ඉන්න එක කොයි එකටත් හොඳයිනේ" මමත් හිනාවෙවීම කිව්වා.

"මෙහෙමයි, උඹ පොල්ල තියන්න හදනවා කියලා උන්ට තේරුනොත් උඹට අනතුරු අඟවනවා සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කොල්ලෝ කියලා"

"ඊට පස්සේ"

"ඒත් උඹ ගනන් ගන්නේ නැතුව පොල්ල තියන්න හදනවනම් සල්ලි දෙන එක මඟ අරිනවනම් . . . " කියපු එකා ඉතුරු ටික නොකියා අනිත් උන්ගේ මූනු දිහා බලනවා.

"ඉතිං කියහන්" මට ඉවසිල්ලක් නෑ

"උන් එක්කෝ උඹේ ගෙදර ඇවිත් වටින කියන බඩු ටිකක් සීස් කරනවා, නැතිනම් උබේ පවුලේ කෙනෙක්ගේ අතක් පයක් කඩනවා"

"මොකක් . . වටින බඩුවක් උස්සන් යන එක ඕකේ කියමු. පවුලේ එකෙක්ගේ අතක් පයක් කඩන එක කොහොමද කරන්නේ. රටේ නීතිය කියල දෙයක් තියෙද්දී"

"ඕවා කරන බුවාලා නීතිය ක්‍රියාකරවන්න උඹට වඩා හොඳට දන්නවා මචං"

"ඒත් . . ඒත් . " මට වචන පැටලෙනවා වගේ.

"අතක් පයක් කඩනවනම් එහෙම කරන්නේ පවුලේ කෙනෙක්ගෙනුත් උඹ ගොඩක් ආදරේ කරන කෙනෙක්ට. උඹේ පුතාගේ, වයිෆ්ගේ එහෙම වෙන්න පුලුවන්"

"ඈහ් . . " මට මැවිලා පේන්න ගත්තා මම පොලියට සල්ලි ගත්තු බුවා කොන්ත්‍රාත් කාරයෝ ලව්වා මගේ කිරිකැටියා විරුල්ගේ අතක් මේසෙකට පුටුවකට තියලා නොපිට හරවලා කඩන හැටි.  මගේ ඔලුවේ ඉඳන් මුළු ඇඟම හිරි වැටිලා ගියා. අතේ තිබ්බ තේ එකත් එක්කම වෙව්ලන්න ගත්තා.

ජගායි යාලුවෝ සෙට් එකයි ටික වෙලාවක් මගේ දිහා කන්න වගේ බලන් හිටියා.

"ඔහොම දේවල් ඉංග්ලිෂ් ඇක්ෂන් ෆිල්ම් වල විතරයි . . . මෙහේ, මේ ගෙන්දගම් පොලොවේ වෙන්නේ නෑ කියලා හිතහං මචං . . " ජගා ගල්වෙලා හිටපු මාව අපහු යථාතත්වෙට ගෙන්න ඕනවට මගේ පිටට එකක් ගැහුවා.

"මම කරපු වැරැද්දට අතක් පයක් කඩනවනම් කඩන්න ඕන මගේනේ මචං . . මගේ දරුපැටියා මොකටද මගේ වැරැද්දට දඬුවම් ලබන්නේ? ඒක මහපොලොව උහුලන්නේ නැති අපරාදයක්නේ මචං .. !"

"උඹේ අතක් පයක් කඩලා උඹ එක්තැන් උනොත් කොහොමද ඌ උඹෙන් සල්ලි ටික ගන්නේ. අනික ඒ උඹ කියන විදිහට උඹේ වැරැද්දට උඹ දඬුවම් ලබන්න ඕන උඹේ බුද්ධාගමේ. පොලී මුදලාලිගේ බුද්ධාගමේ එහෙම නෑ මචෝ . . . !"

Pic from: http://www.shutterstock.com/

මෙන්න මෙහෙමයි වෙන්නේ . . !


"මචං උඹලගේ බඩු නම් හරි ලස්සනයි. කොහෙන්ද ගෙන්නන්නේ චීනෙන්ද?"

"මොකක් චීනෙන්. . ?"

"අහ් වෙන රටකින්ද? චීනෙන් හරි වෙන රටකින් හරි ගෙනත් උඹලගේ නම ගහල විකුනන එකනේ කරන්නේ නේද?"

"පිස්සුද ඒවා ඔක්කෝම මගේ ගෙදර උන්දෑ නදීෂා ම ඩිසයින් කරලා එයාම හදන ඒවා"

"සිරාවට? එතකොට නදීෂා ඒවා හදන්න ඉගෙන ගත්තද?"

"ඔව් මගේ නැන්දම්මා සපත්තු හදන කෝස් එකක් ගැන විස්තරයක් දැකලා එයාට බල කරලා ඒ කෝස් එක කරන්න කියලා. ඉතිං එයා කෝස් එක කලා. ඒක ඉවර වෙලා තමයි මේ වැඩේට බැස්සේ."

"එතකොට සපත්තු හදන මැෂින් එහෙමත් උඹලා ගත්තද?"

"තාම නෑ බන්. කොහොමත් අපේ සපත්තු 100% හෑන්ඩ්මේඩ්. ගොඩක් අය චීනේ මැෂින් වලින් හැදිලා එන සපත්තු වලට වඩා Handmade ඒවට කැමතියි"

"මැෂින් මොකවත් නැතුව කොහොමද බන් එයා ඒවා හදන්නේ?"

"මහන්න එහෙම තියෙන ඒවට දැනට එයාගේ අම්මගේ සිංගර් මැෂිම යූස් කරනවා. ඒ ඇරුනාම සපත්තු මෝල්ඩ්ස් වලට අමතරව පෑනයි, කතුරයි, ටේප් එකයි, අඩි රූලයි, පේපර් කටර් එකයි, තලන යකඩෙයි, රබර් මිටියයි විතරයි"

"අඩේ නියමයිනේ. එතකොට උඹලගේ Shop එක දාලා තියෙන්නේ කොහේද? කොළඹද, නුවරද?"

"අපි Shop එකක් දාලා නෑ මචං. අපිට තියෙන්නේ ඔන්ලයින් Shop එකක්"

"මොකක්?? ඔන් ලයින් Shop එකක්!! ඒ කිව්වේ?"

"මෙහෙමයි නදීෂා හදන හැම සපත්තුවක්ම මුලින්ම එයාගේ කකුලේ ගානට හදලා, එයා ටික දවසක් දාලා බලලා කොම්ෆොටබල් නම් ඩිසයින් එක ගැන එයා හැපී නම් ෆොටෝස් අරගෙන අපේ ෆේස්බුක් පේජ් එකේයි වෙබ් සයිට් එකේයි දානවා. අපේ වෙබ් සයිට් එකයි ෆේස්බුක් ෆෑන් පේජ් එකයි තමයි අපේ ශොප් දෙක."

"ඒක හොඳයි මචං, කට්ට කාගෙන Shop ගානේ යන්න ඕන නෑ කොම්පුටරේ ඉස්සරහා ඉඳගත්තා, උඹලගේ වෙබ් සයිට් එක බැලුවා. ඕඩර් කලා. එත් එතකොට ඒ සපත්තු අපිට ලැබෙන්නේ කොහොමද?”

"අපි Courier කම්පනි දෙකක් එක්ක ගිවිසුම් ගහල තියෙන්නේ. එකක් ලංකාව ඇතුලේ ඕනෑම තැනකට ගෙනියන්න. අනික ලෝකේ ඕනෑම රටකට ගෙනියන්න"

"එතකොට ඒවායේ ගනං මිනුම්?"

"ලංකාවේ ඇතුලේ ඕනෑම තැනකට එක සපත්තු කුට්ටමක් ගෙනියන්න රුපියල් 200යි. ($1.60), පිට රටවලට පලමු ග්‍රෑම් 500ට ඩොලර් $10 ඉඳන් ඩොලර් $15 වෙනකම් ගානකුත් වැඩිවෙන හැම ග්‍රෑම් 500කට අමතර ඩොලර් $3 ඉඳන් $5 වෙනකම් ගානකුත් දීලා තියෙන්නේ. ඒ නිසා පිට රට යවන සපත්තු වලට අපි එක සපත්තු කුට්ටමක් ඩොලර් $5.60ක් කියලා ඇවරේජ් ගානක් දාලා තියෙන්නේ පිට රට ඉඳන් ඕඩර් කරන කෙනෙක් අඩු තරමින් සපත්තු කුට්ටම් 3ක්වත් ඕඩර් කරයි කියලා උපකල්පනය කරලා"

"ඇයි එහෙම උපකල්පනයක් කලේ"

"ඩුබායි වුනත් යුරෝප් උනත් අපේ කොලිටියේ සපත්තු කුට්ටමක්  අපේ ගාන වගේ තුන් ගුනයක ගානක් ගෙවල මිසක් ගන්න බෑ. අපි රුපියල් 1000ට ($7.20) විකුනන සෙරෙප්පු දෙකක් පිටරටදී ඩොලර් 25ක් වත් වෙනවා. ඊට වැඩි මිසක් අඩු නෑ. ඉතිං පිටරට ඉඳන් අපේ සපත්තු ගන්න කෙනෙක් ලාබ නිසාම එක පාර තුක වත් ගනීවී කියලා අපි උපකල්පනය කලා"

“හරි එතකොට සල්ලි ගෙවන්නේ කොහොමද?"

"ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙන කෙනෙක්ට නම් මෙන්න මේ පහල තියෙන විදිහට වැඩේ කර ගන්න පුලුවන්. .

1. ඉන්ටර්නෙට් ලොග් වෙලා www.viroozv.com ගහලා අපේ වෙබ් සයිට් එකට යන්න.

2. ගිහින් එකේ ප්‍රොඩක්ට්ස් යටතේ තමන් ගන්න කැමති සපත්තු සිලෙක්ට් කරන්න

3. එතනදී සපත්තු සයිස් එකයි කුට්ටම් කීයක් ඕනද කියන එකයි සිලෙක්ට් කරලා මතක තියා ගන්න

4. පස්සේ Add to Bag කියල ක්ලික් කලාම එනවා මෙසේජ් එකක් "Go checkout" එහෙම නැතිනම්  "Continue Shopping" කියලා

5. සිලෙක්ට් කරපු සපත්තුව විතරක් ගන්නවා කියලා හිතුවොත් "Go checkout" එක ක්ලික් කලම සල්ලි ගෙවන තැනට යනවා"

6. එතනදි මුලින්ම රට සිලෙක්ට් කරන්න ඕන. පස්සේ Billing ඇඩ්‍රස් කියන තැනටයි Shipping ඇඩ්‍රස් කියන තැනයි පුරවලා ඉවර උනාම Proceed to Purchase කියන එක ක්ලික් කරන ඕන

7. පස්සේ ක්‍රෙඩිට් කාඩ් එකේ විස්තර ටික එහෙම ඇතුලත් කරලා ගෙවීම සහතික කරන්නයි තියෙන්නේ.

"හරි මෙහෙම හිතමු. මම ඉන්නේ USA මට ඕන නංගිගේ උපන්දිනේට තෑග්ගක් යවන්න. මට පුලුවන්ද මගේ USA ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් සල්ලි ගෙවලා ලංකාවේ ඉන්න නංගිගේ එඩ්‍රස් Shipping එඩ්‍රස් කියලා දාල යවන්න?"

"ම් ම් ම් ගොඩක් අය Paypal එක විස්වාස කරන නිසාත්, ලංකාවේ බැංකුවක පේමන්ට් ගේට්වේ  එකකට එකතු වෙන්න ලොකු ගානක් යන නිසාත් අපි පේමන්ට් ගේට්වේ එක විදිහට පාවිච්චි කරන්නේ Paypal. ඒකේ Billing එඩ්‍රස් වෙන රටක් තිබිලා Shipping එඩ්‍රස් ලංකාව දැම්මට සපෝර්ට් කරන්නේ නෑ. ඒ නිසා ඒ වැඩේ වෙන විදිහකින් තමයි කරන්න වෙනේ"

"ඇයි Paypal එකෙන් එහෙම කරන්න ඉඩ දෙන්නේ නැත්තේ"

"සමහර විට ක්‍රෙඩිට් කාර්ඩ් ෆ්‍රෝඩ්ස් වලට ලංකාව ප්‍රසිද්ද නිසාද දන්නේ නෑ මොකද මගේ ඩුබායි ක්‍රෙඩිට් කාර්ඩ් එකත් ලංකාවෙදි යූස් කලොත් ඒ වෙලාවෙම බ්ලොක් කරනවා. කරලා ආපහු ඩුබායි අවහම අලුත් එකක් දෙනවා"

"හරි එතකොට අර කිව්ව අනිත් ක්‍රමේ මොකද්ද?"

"යවන්න කැමති සපත්තු ටිකේ ගානයි ඒක ලංකාවේ ඇතුලත Deliver කරන්න යන ගානයි හදලා Billing එඩ්‍රස් එකයි Shipping එඩ්‍රස් එකයි එකක් දාලා ඒ වටිනාකමට හරියන්න තියෙන සපත්තු ටිකක් select කරලා ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් සල්ලි ගෙවනවා. ගෙවල ඉවර වෙලා අපිට ඊමේල් එකක් එවන්න සල්ලි ගෙව්ව සපත්තු නෙමෙයි ඇත්තටම මට ඕන කරන්නේ මෙන්න මේ මේ සපත්තු, යවන්න ඕන මෙන්න මේ එඩ්‍රස් එකට කියලා. සිම්පල් ප්ලෑන් එකක්. හි හී"
"එහෙම කරද්දි ගාන පොඩ්ඩක් එහා මෙහා උනොත්"

"අනේ බන් අපි ෂයිලොක් වගේ පපුවෙන් මස් රාත්තලම ඉල්ලන ජාතියේ නෙමෙයි. රුපියල් සීයක හමාරාක ගානක් එහා මෙහා උනාට අවුලක් නෑ"

"ඒත් හැමදාම ඕක කරන්න බෑනේ?"

"ඔව් අපි දියුනු උනාට පස්සේ අවුරුද්දකට රුපියල් 60,000ක් 70,000ක් ගෙවන්න ලංකාවේ බැංකුවක පේමන්ට් ගේට්වේ එකකට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා. තාම බිස්නස් එක පටන් ගත්තා විතරයිනේ බන්. අඩියෙන් අඩිය නැගලා එන්න එපැයි."

"හරි, ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙන අයට ඔහොම කරන්න පුලුවන්. නැති අයට ගන්න විදිහක් නැද්ද?"

"මොකෝ නැත්තේ. එයාලට කරන්න තියෙන්නේ තමන් ගන්න කැමති සපත්තුවල කෝඩ් නම්බර් ටිකයි, සයිස් එකයි, ඕන කරන පාටවල් ටිකයි දාලා අපිට ඊමේල් එකක් එවන එක. අපි එතකොට අපේ ගිනුම් අංකේ දෙනවා. සල්ලි දාලා අපිට ඩිපොසිට් ස්ලිප් එක ස්කෑන් කරල මේල් කරන්න. එතකොටම නදීශා ඒ සපත්තු හදන්න පටන් ගන්නවා. බෑන්ක් එකේ අපි චෙක් කරලා සල්ලි වැටුන කියල කන්ෆර්ම් වුනු ගමන් Courier කම්පනි එකේ අයට එන්න කියලා පාර්සලේ එයාලට දෙනවා."

"ඕන කරන පාටවල් ගැන උඹ කිව්වනේ. ඒ කියන්නේ සයිට් එකේ දාලා තියෙන සපත්තු සෙරෙප්පු වල තියෙන පාටට අමතරව අපි කැමති පාට වලින් ගන්න පුලුවන්ද?

"ඔව් හිතන්න මෙන්න මේ පහල තියෙන සෙරෙප්පුව.

අපේ සයිට් එකේ, ෆේස්බුක් ෆෑන්පේජ් එකේ එහෙම තියෙන්නේ රතුපාට සෙරෙප්පුව විතරයි. ඒත් කාට හරි මේ ඩිසයින් එකෙන් කලු පාට දෙකක් ඕන නම් අපිට ඊමේල් එකක් එවනන් මට ඕන කරන පාට කලු කියලා. එච්චරයි"

"ඉතිං පාට සිලෙක්ට් කරන පහසුකම සයිට් එකේම තිබ්බ නම් හරිනේ"

"ඔව් අපි එහෙම කරන්න පුලුවන් විදිහට සයිට් එක අප්ඩේට් කරමින් ඉන්නවා. ලඟදීම ඒ ටික කරලා ඉවර කරන්න පුලුවන් වෙයි"

"සපත්තු වල සයිස් එක සයිට් එකේ තියෙන විදිහට යූකේ සයිස් හරි යුරෝප් සයිස් වලින් හරි දුන්නොත් ඇත්ද?"

"මෙහෙමයි. කකුල කොලේක ඇඳලා රූලක් අරගෙන විලුඹේ ඉඳන් මහපට ඇඟිල්ල දක්වා තියෙන දිග අඟල් වලින් හරි සෙන්ටිමීටර් වලින් හරි එව්වොත් තවත් හොඳයි. මොකද අපි තනිකරම සපත්තු ගන්න කෙනාගේ කකුලටම මැච්වෙන විදිහටම හදන්නයි ට්‍රයි කරන්නේ."

"කකුල ඇඳපු කොලේ ම අර කිව්ව දිගයි, කකුලේ පළලම තැන මිම්මයි දාලා ඒ කොලේ ස්කෑන් කරල උඹලට එව්වොත්"

"එහෙම කලොත් තවත් හොඳයි"

"ආන්ඩුවේ රස්සාවක් කර කර හිටපු නදීෂාව ඒකෙන් අස් කරලා මේ වගේ දේකට පටලෝපු එක අපරාධයක් කියලා හිතෙන්නේ නැද්ද?

"අපේ පුතා විරුල් ඉපදුනාට පස්සේ එයාව තනිකරලා රස්සාවට යන එකට අපි දෙන්නම කැමති උනේ නෑ. අපි හැමදේම කරන්නේ දරුවෝ වෙනුවෙන්නේ. දරුවන්ට ලබා දිය යුතු අධ්‍යාත්මික ආදරය සෙනෙහස නොදී භෞතික මොන දේ දුන්නත් මොකටද කියලා අපි හිතුවා. මේ වැඩේ නිසා නදීෂාට විරුල් එක්ක ඉන්න කාලේ හම්බවෙනවා. අනික එයාට සහජයෙන් ලැබුනු මේ දක්ෂකමින් කරන නිර්මාණශීලී වැඩක් නිසා එයත් ගොඩක් සතුටක් ලබනවා.

"අන්තිම ප්‍රශ්නේ - කඩයිම් ප්‍රශ්නේ. . ගන්නවද?"

"අහපන්කෝ බලන්න"

"උඹයි නදීෂයි දෙන්නම QS ලා සිවිල් ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේ බිස්නස් එකක් නැතුව මේ වගේ ෆැෂන් ෆීල්ඩ් එකේ බිස්නස් එකක් කරන්න හිතුවේ ඇයි?"

"ඕකට දුන්නු දිග උත්තරයක් මෙන්න මේ ලිපියේ තියෙනවා. පොඩ්ඩක් ගිහින් බලපන්"

මේ තියෙන්නේ පහුගිය කාලේ පුරාවට මගේ යාලුවෝ ගොඩක් දෙනෙක් අපේ බිස්නස් එක ගැන  ෆේස්බුක් එකෙන්, ගූල් එකෙන්, ස්කයිප් එකෙන් සහ හැබෑවටම චැට් කරද්දී අහපු පුරස්න ටිකකුයි ඒවට මම දුන්නු උත්තර ටිකයි.

Related Posts with Thumbnails