Sunday, April 17, 2011

විජයගේ ආදරය චන්ද්‍රිකාටද - චන්ද්‍රලේඛාටද??



විජය කුමාරතුංග ජනප්‍රිය නලුවෙක්ව සිටි බව සැබෑවක් නමුත් ඔහුගේ බොහෝ චිත්‍රපටි නරඹා ඇති මගේ මිනුම් දඬු වලට අනුව නම් ඔහු විශිෂ්ඨ ගනයේ නලුවෙක් නොවේ.

ඔහුගේ විශිෂ්ඨතම රඟපෑම් ඇත්තේ කැඩපතක ඡායා චිත්‍රපටියේ බව මතක හැටියට වරක් ටැබූ කොහෝ තැබූ කොමෙන්ටුවක දුටු නමුත් අවාසනාවට එම චිත්‍රපටිය නරඹා නොමැති නිසාවෙන් ඔහු හා එකඟ වන්නට මට හැකියාවක් නැත.

කෙසේ නමුත් ඔහු ගායනා කල ගීත බොහොමයක් අසා ඇති මට ඔහු ඉතා විරල කටහඬක් ඇති අපූරු ගායකයෙක් බව නම් කටපුරා කිවහැකියි.

මිල්ටන් පෙරේරාගේ හඬින් ගයන්න ඔහුගේ පුතුන් වූ ප්‍රියංකර හා චලක චමුපති සිටින අතර අමිත් වල්පොල ධර්මදාස වල්පොල මහතාගේ හඬට සමාන හඬින් ගී ගයයි. චිත්‍රපටි පසුබිම් ගායනයට ජෝතිපාල මහතා අහිමි වූ නමුත් ග්‍රේෂන් ආනන්ද මහතා ඔහුගේ හිස් තැන ඔහු පමනටම නැතත් සුලුවෙන් හෝ පිරවූ බව මගේ අදහසයි.

මොහිදීන් බෙග්ගේ ගීත ඔහු පුත් ඉෂාක් බෙග්ද මර්වින් පෙරේරාගේ ගීත කීපයක් අමල් පෙරේරාද, මිල්ටම් මල්ලවාරච්චිගේ ගී ඔහු පුත් රනිල් මල්ලවාරච්චිද ගායනා කරන නිසාවෙන් අප මතකයෙන් ගිලිහී නොයා තවත් කලක් අප අතර රැඳෙනු ඇත.

එනමුත් විජය කුමාරතුංගගේ විරල කටහඬ හිමි කිසිවෙක් තවම කරලියට පැමින නැති නිසාවෙන් ඔහුගේ ගීත අපගේ වර්තමාන පරපුරට සේම අනාගත පරපුරටද අහිමිවී යාමේ අවදානමක් ඇති බව සිතෙන විට මට නම් ඇතිවන්නේ සියුම් වේදනාවක්.

මේ බ්ලොග් සටහන එවන් වූ මගේ වේදනාව මකා ගැනීමේ කුඩා තැතක් පමනි.

දේශපාලනයේ චරිතයක් වීම විජයගේ සිහිනයක්ව තිබුනා විය හැකියි. බලවත් දේශපාලනක පවුලක චන්ද්‍රිකා ට විජයගේ ආදරය හිමිවීමෙන් ඈ ඔහුගේ බිරිඳවීමෙන් පසු විජයගේ තිබුනා වන්නට විය හැකියැයි මා උපකල්පනය කරන දේශපාලකයෙකු වීමේ සිහිනය යතාර්ථයක් කර ගන්නට ඔහුට ඉඩ ලැබුනා වන්නට ඇත.

සිනමා ක්ෂේත්‍රයේ සංගීත ක්ෂේත්‍රයේ සියල්ලෝ "ඉතා උසස් මානුෂික ගති වලින් හෙබි සුන්දර මනුස්සයෙක්" යනුවෙන් නිතර අර්ථකතනය කල විජය අපට අකාලයේ අහිමිවීම ඔහුගේ දේශපාලන ආගමනය නිසා සිදුවූවක් බව මගේ පමනක් නොව බොහෝ අයගේ මතය නොවේද??

චන්ද්‍රලේඛා පෙරේරා, මාලනී බුලත්සිංහල, ඇන්ජලීන් ගුණතිලක ආදී ගායිකාවන් කීප දෙනෙකු සමඟ විජය යුග ගී ගයා ඇතත් ඔහුගේ යුග ගී අතුරින් විශාල ජනතා රසික ප්‍රදායක් දිනුවේ විජය සහ චන්ද්‍රලේඛා ගායනා කල යුග ගී බව මගේ හැඟීමයි.

ඉදින් විජයගේ ආදරය චන්ද්‍රිකාට නොලැබී චන්ද්‍රලේඛාට ලැබුනි නම් විජය අදටත් විශිෂ්ඨ ගායකයෙකු ලෙස අප අතර සිටින්න ඉඩ තිබුනා නොවේද කියා මට සිතීම අහම්බයක්ද??

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

සිංහල හින්දු අවුරුදු සමය ඇති - නැති, ලොකු - පොඩි කාටත් එකසේ සිතට සුවය සදන සමයක් බව කිව මනාද? ගැමි ජීවිතයේ සුන්දරත්වයත් සිංහල හින්දු අවුරුදු සමයේ ඇති සිරියාවත් මේ ගීතයේ අපූරුවට ගැබ් වී අති අකාරය බලන්න.

පුංචි පැලත් මේ කාලේ මාලිගා
රජ මාලිගා දොලොස් මහේ නැකත ඇවිල්ලා
ගම්මානෙම මංගල ගී ගායනා ගැමි ගායනා
සිංහල අවුරුද්ද ඇවිල්ලා

මල් වරා තිබූ දළු මල් බරින් පිරී
රන් ගොයම් පැසී නැමී සැලේ
බාලොලියා බෝවිටියා හිනැහී ඇතේ
කෝළ ළඳුන් මුවඟ රබන් සුරල් සේ

කමත් බිම් කෙත පුංචි පැංචියන් පිරී
චන්ද කිඳුරු නාඩගම වෙතේ
කෝළ ළඳුන් ආල සිතුම් ගැටවු හා ඇති
ඈත කුඹුරු පිටියෙ සරුංගල් අරී


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

අනෙකාගේ සෙවනැල්ල පවා හදට සිහිල සදන ගිමන් හලක්වූ, අනෙකාගේ සිතට සීමා මායිම් පැනවූ ඒකාධිපතියන් නොවූ, අනෙකාගේ සතුට සැපත පමනක් තමාගේ සතුට සැපත බවට පත් කරගත් ප්‍රේමයෙන් මුසපත් වූ යුවලකගේ ආත්මීය කථනයක්.

සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ

ජීවන මංපෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමු වූයේ
කටු කොහොලින් පිරි කළල් වියේ මා
තනිව මියෙද්දිය හමු වූයේ
මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ළතැවුල් සෝ ගී නෑසෙන සේ
පමනක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ

මතු උසංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරනා කල එලඹෙනදා
කුළුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතනෙමු සසරින් නික්මෙන්දා
සංසිඳුවා සිතු පහන් කරන්නෙමි
මේ පෙම කුළුඳුල් පෙම යැයි සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

ආදරය දෙස මෙත් සිතින් බලනු හැකි වැසියන් නොමැති; ආදරයෙන් බැඳුනු සිත් රිදවීම, කඩා ඉහිරවීම ඒකායන ප්‍රාර්ථනය කරගත් වැසියන් නොමැති; පෙදෙසක් කොහේ වේද? මිනිස් වාසයෙන් තොර වන දහන හැර එවන් පාරාදීසයක් මිහිමත වෙත්ද??

වනසපු මල් පිපෙන වන රොදේ
ජීවිතයේ සුවඳ විජිතයේ
ඔබ හමුවන්නට මා ආවේ
ලොවින් සැඟව මේ වන දහනේ
ගහකොල මල් සෙවනැලි අතරේ
වැතිරෙමු අපි පිනි කැට යහනේ

කුරිරු සිතින් දළ තුඩු ඇන
අප රිදවන කිසිවෙකු නැත
බොරු හසරැලි මල් රොන් යට
විස සඟවන කිසිවෙක් නැත

පෙමට නිවන් මඟ සලසන
වන ගහනය සිත සුව දෙන
ඔබෙත් මගෙත් සිත හඳුනන
කුරුළු ගීත අසනු මැනවි


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

දෙතැනක සිරවුනු දෙසිතක සෙනෙහසක් එක්තැන්ව ප්‍රේමයේ සිහිල විඳින දවස කවද උදාවේද?

ඈත එහා . . . ඔබ සිටිනා . . .සිතක සිනා
ඒ සුවඳ හමා
මගේ හදේ ලියවී තියෙනා
කැකුල පිපේයා . . සුවඳ හමා
ඈත එහා . . . ඔබ සිටිනා . . .සිතක සිනා
ඒ මහද සලා
මගේ හදේ සිරවී තිබෙනා හැඟුම් ගලා යා
ඔබව සොයා

පියඹා එන්නට අවසර දෙනු මැන
ලංවී ඉන්නට සැමදා ඔබ වෙත
සෙනෙහස ගන්නට පහස ලබන්නට
සිහිය ලොවින් හෝ සැබේ කරනු මැන

ඔබ හා සිතනා මාගේ පැතුමන්
හමනා සුළඟේ මුදා හරින්නම්
සීත පටලයන් අතරේ සැඟවී
උනුසුම් සුසුමන් නිවා හරින්නම්


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

නගරයේ ඇති කෘතිම විච්චූර්ණ අරුමෝසම් මායාව විසින් සුන්දර සිහිලැල් ගම්මානය ආක්‍රමනය කිරීම කොතරම් පාපයක්ද?

මා දිනු ගම්බද මේ බිමේ
ගුම් බිඟු ගී නෑසේ
ලාළිත සුන්දර ලාළනා
දැන් නෑ ගම්මානේ
මාදුටු කෝළ ලඳු මේ ගමේ උන්
වෙනස් වීලා ඔබ වගේ

පැරණි දේවල් අගය නෑ නේ
නගර ගම්මානේ
ආල සිත මා ඔබට දුන් ඒ
අගය දැන් නැතිදෝ

ළමැද ඇට පොට ඔසරි වළලූ
ඔබට දැන් හුරු නෑ
ගම වෙනස් වී හිත වෙනස් වී
ඔබත් නෑ මතකේ


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

ගම්මානයේ සිරියාව නගරයේ අරුමෝසම් වැස්සේ දියෙන් සේදී ගියත් කැකුලෙක් කැකුලියකට ආදරය කිරීම මහා පාපයක් ලෙස සිතන පුහු ආකල්ප වෙනස් නොවූයේ මන්ද??

පෙරමඟ සුභ නිමිත්ත වී
හෙටත් උදෑසන වඩින්න
අකුරට යන බාල නගේ
වෙල ඉස්මත්තේ
එපා ඉන්න හෙට මේ ලෙස
මං යනවා පිට පාරේ

වටින් ගොඩින් එලිය වැටී
දොල ලඟ බැද්දේ
එන්න එපා කතා හැදෙයි මේ ගම්මැද්දේ
කුමාරියක් බලා හිඳී හද විල් තීරේ
පුංචි නෙළුම් මල් යහනාවේ

ජම්බු රතට රතට වෙරේ
ඇහළ මලක් පෙමට හඬයි
පිට දිග වරලේ
පුර පෝය හඳ එලියේ අන්දර හෙවනේ
ඉන්නෙ කෙසේ පෙම් පිලිසඳරේ


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

තෙතමනයක් නොමැති හදවත් ඇති සියක් දාහක් මිනිස් පුරයක් වුව පිපාසයට දිය බිඳක් නොමැති කතරක් නොවේද?


මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසු දැල් අසිරි සලක්
සිහින ඉසව්වක්
සිත් කතරක නෙත් දනවන
සිහින දනව්වක්

කතරක් වෙන කොතැනක හෝ
කෙම් බිම් යලි හමුවෙනවා
දුක් අරගෙන යන ගමනේ
හසරැල්ලක් මුසුවෙනවා
කඳුලින් තරු වූ උයනේ
මිනිසත් කම් දලු ලනවා

සිත තෙත් නැති කාලේ
කොතැනත් කතරක් වෙනවා
හදවත් පිවිතූරු වූ දා
නව කෙම් බිම් බිහිවෙනවා
දෙසිතක් මුසුවූ දැහැනේ
දහසක් මල් පිබිදෙනවා

. . . . . . . . . . . . . . . . . . . . . .. . . . . . . . . . . .

පුංචි කාලේ ගෙවුනු තාලේ ආයෙමත් සිහිවේ
අපගේ බාලේ සෙනෙහේ දාමේ නෑ තවත් බිඳුනේ
ඔබගේ දෑතේ එතිලා ආයේ නැගෙනිය මා අයියේ
දෑස වාගේ සෑමාදා මා ඔබලඟමයි ඉන්නේ

වී කරල් පැසුනා මී මලුත් පිපුනා
වෙල් එලි මැද දුවලා කාලයම ගෙවුනා
සොයුරේ පෙර දිනේ ගී සිනා සිහිවේ

දෑසමන් නෙලලා මාලයක් ගොතලා
අයියන්ඩිගේ ගෙලලා මා බලා සිටියා
නැගෙනී පෙරදිනේ ගී සිනා සිහිවේ


මේ ගීතයට මා විසින් පෙර ලියූ බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්වූ "කරදරකාර නංගී හෙවත් දෙවියන් ලබා දුන් අගනා තෑග්ග" නම් වූ ලිපිය හර වෙන යමක් ඇවැසිද??

“කුඩාකල මහා කරදර කාරියක් ලෙස අප සිතා සිටින නංගී සැබැවින්ම කරදරකාරියක් නොව දෙවියන් විසින් දුන් අගනා වස්තුවක් බව කඳුලින්ම මුනගැසී . . . කඳුලින්ම සමුගන්නා මගේ නංගී මා හට පසක් කර දුන්නා යැයි මට නිතරම හැඟේ . . ..”

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

විජයගේ විශිෂ්ථ ගායන කුසලතාවය හඳුනා ගත හැකි තවත් අපූරු ගීත දෙකක්

මිණි කිංකිනි හඬ පරදා
මේ ගැල් ගමනේ
කළුවර කතරේ
කඳු වැටි මානේ
දුක් ගී රාවේ සවනත පෑරේ
සුදු මැනිකේ

පාලුවේ පාවී හපුතල් කඳේ
පුර හඳ නැගුනේ මේ දිගු ගමනේ
ගවකුර වැඩිවේ ගව්වෙන් ගව්වේ
ඔබ නැති ගම්මනේ මේ දුර පෑහේ

සීපදේ රාවේ සියොළඟ සසැලේ
ඔබ සිත සැඟවේ දාහය උතුරා
උනුසුම ඔබගේ සිරුරේ තැවරේ
නෑ හිරු පායන්නේ
නෑ මට ආයේ


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

ඔබ නෙතු මා හා රන්දා
මා සිතු ඔබ හා බන්දා
ආදර හැඟුමන් හදතුල අතුරා
ඇයි දැන් සැගවෙන්න
මා සිත රිද වන්නේ

කාටත් දෙන ඔය නෙතේ කැලුම්
සැමට පිදෙන ඔබේ නුරා බැලුම්
මුතු අතරින් එන පොකුරු සිනාවෝ
ආදර සිත කලඹයි
මා ආදර හද කලතයි

සසර සැරි සරා සෙවූ සිහිනේ
පෙරුම් පුරා ලා බැන්ද සෙනේ
තලන්නෙපා අත හරින්නෙපා
ආදර සිත ඇත්තයි
මා ආදර හද සත්තයි


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

පින්තූරය ගත්තේ : http://www.sundayobserver.lk/2008/02/24/imp03.asp

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails