Showing posts with label දුකට ලියූ කවි. Show all posts
Showing posts with label දුකට ලියූ කවි. Show all posts

Monday, April 1, 2019

දවස් තුන !


මාසයක් පුරා විදි
ඉහිලුම් නොදෙන තනිකමට
තාවකාලික කොමාවක් තබන,
ගුවන් යානයේ වේගය
ඉතාම මදි යැයි සිතෙන,
දොරකඩවී බලා ඉන්නා
ආදරණීය දෑස් දකින තුරු
නොයිවසිලි ගැස්මක් පපුවේ පිරුනු  . . .
පළවෙනි දවස

ඒ පැත්ත බලා
මේ පැත්ත බලන ටිකට
ගෙවී නිමවෙන,
උදේ සිට රෑ වෙනතුරු
එහේ මෙහේ දුවන,
අම්මට වචනයකට වත්
ඉඩක් නොදී
අයියයි නංගියි තරගෙට මෙන්
තොරතෝංචියක් නැතුව
අප්පච්චී අප්පච්චී කියා දොඩවන,
නොදැනීම රෑ වෙද්දී
අයියෝ දවස ඉවරයි කියා සිතෙන . . . .
දෙවෙනි දවස

දරු දෙදෙනා ඇගට තුරුලුකර
රෑ එලිවෙන තුරා නිදාගෙන,
එලාම් එකට සාප කරමින්
උදේට ඇහැරෙන,
විනාඩි ගානක් ගතකර
තවත් මාසයකට ඇතිවෙන්න
ජීවන සුවද හොදින් විද,
ඇහේ කදුලු හිතේ පතුලේම ගුලිකොට
තවත් මාසයක දුෂ්කර ක්‍රියාවට
දොරින් එලියට බසින . . .
තුන්වෙනි දවස !

Tuesday, May 29, 2018

කුසුමක සුසුමක් !


ඔබ
මඩ වගුරු බිමක
අහම්බෙන් පීදුනු
රතු රෝස ගසක,
සුවඳ හමන
රෝස කුසුම !

මේ මඩ වගුරේ
මල් නෙලන්න
කවුරු නම් ඒදැයි
සුළඟට ගතු කියාපු
රෝස කුසුම

වගුරු බිමට නිතර නිතරම
වටු කුරුළු බිත්තර
දඩයමේ ආ
කුරුළු දඩයක්කරුට
පෙම් බැන්ද
හිතුවක්කාර කුසුමිය

මලක් නම්
පුදසුනක පිදෙනු බැරිනම්,
ලොවට සුවඳ දී
ගසේම මිලින වීම
සැපයකැයි කී සුළඟට
නෝක්කාඩු බස් දෙඩූ
රූමතිය

ලොවම නිදිගත් රාත්‍රියක
ප්‍රේමය නම් මෙයැයි කියා
නපුරාට බහ දුන්
පෙම්වතිය

නපුරාගේ අත පත්ව
එකින් එක පෙති සිඳිදී යද්දී
කඳුලු පිරුනු දෑසින්
සුළඟට දෙස බැලුවාට
දුකින් කඳුලු හෙලනු මිස
සුළඟ වෙන කුමක් කරන්නද !


https://unsplash.com/photos/3FySzt4df70

Wednesday, November 1, 2017

රළු සුමුදු පෙති !



මලක පෙත්තක් ඇති
සැඩ සුලඟේ හැපි හැපී
වේදනා විඳ විඳ
ආදරයේ වේදනාවත්
සතුටක්යැ කියන!

අනෙක් පස හැරී
කාටවත් නොපෙනෙන්න
කඳුළු පිස දමන,
යලිත් ඉදිරිය බලා
සිනා මුව පෙන්වන!

මලක පෙත්තක් ඇති
බඹර තුඩු ඇනී ඇනී
සියොලඟම රිදුම් දෙන අතර
වේදනාවෙන් තොර
ආදරයක් නැතැයි
කොඳුරන !

ලොවම නිදිගත් පැයේ
රහසින් ඉකිබිඳින!

මලක පෙත්තක් ඇති
දුක් කඳුලු වේදනා
මලක් නම් උරුම යැයි සිතන!

හෙට මිලිනවන බව දැන
අද ඇතිතරම් හිනාවෙන්
ලොවට සුවඳ දෙන !


Photo by Evan Kirby on Unsplash

Tuesday, October 11, 2016

ඉතින් අවසරයි !


ප්‍රිය සබඳ
වසර ගනනක් යොදුන් ගනනක්
තුටින් එක මඟ 
එකට ආ බව සැබවි
ඉදිරියටද එකම දිශානතියට 
යා යුතු වුව
එක මඟ එකට යන්නට 
නොරිසි වෙනවා වන්නට පුලුවන
පැවසිය නොහැකි හෙලිකල නොහැකි 
හේතු බොහොමයක් 
තිබෙනවා වන්නට පුලුවන
අතරමඟ හමුවූ 
තවත් ළබැඳියන් සමඟ
නවමු හැඟුමින් වෙන මඟක 
යන්නට සිතුවාට කම්නැත
අත අත නෑර සිටිය යුතුමයැයි
නියමයන් නැති බව දනිමි
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික කිසිවක් 
නොමැති බවත් දනිමි
එනමුඳු 
මිහිරි යටගියාවේ නාමයෙන් වත්
හද දොර කවුලු 
සෙමෙන් වසා යනවානම් යෙහෙකි ....!



එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමයේ (SLQS-UAE) 2016 මධ්ය ගිම්හාන සුහද හමුව වෙනුවෙන් නිර්මිත සමරු කලාපය වෙනුවෙන් ලියූ නිසඳැස

Wednesday, September 21, 2016

උඹලා නැති ලොව අපිට මොකටද ?


පුතුන් දෙදෙනා මුහුදට බිලිවූ සොවින් මව සහ පියා එල්ලී මියයති
දිවයින පුවත් පත 2016 සැප්තැම්බර් 20

ලොකු පුතේ උඹ උපන් දා මට
සුරබි දේනුව වගේ දැනුනා
උදේ හවහට නමස්කාර දී
දුර්ගා දේවිට පහන් තිබ්බා

කහටෙ පෙඟවූ පාන් වාටිත්
හරිම රස යැයි අපිට හිතුනා
මනියේ සද්දෙට දුවල ඇවිදින්
කිරි තනේ උඹේ කටේ එබුවා

පොඩි පුතේ උඹේ දාංගලයට
උඩහ ගෙදරින් බැනුම් ඇහුවා
උඹේ හුරතල් කිරි හිනාවට
පපුව සතුටින් නැටුම් නැටුවා

බාර් එක ලඟ තැග් ගැහුනු පා
විදුලි වේගෙන් ගෙදර දිව්වා
තියෙන විදිහට බෙදාගෙන කා
එකට පැදුරේ තුරුළු වූවා

ඉලන්දාරින් ලෙසට යස හැඩ
හැදෙනු දැක අපි උදම් වූවා
සතුට උහුලනු නොහැකි විටකදි
සරොම් වාටියෙ කඳුලු පිස්සා

සුනිල් මල්ලී දුවල ඇවිදින්
පනිවිඩේ අපේ කනේ තිබ්බා
පපුවේ සද්දේ නතර වුනු බව
ඒ වෙලාවෙම අපිට දැනුනා

ලේන් ජෝඩුවෙ දුකට පිහිටට
සක්‍ර දෙයියෝ පිහිට වූවා
සක්‍ර දෙයියට වැඩත් වැඩි ඇති
අපිට ඒ බව දැනිලා තිබ්බා

උඹලා නැති ලොව අපිට මොකටද
පපුව පැලිලා ලේත් ගැලුවා
ගහේ කොල අතු අපේ දුක දැක
අහක බලමින් කඳුලු සැලුවා !

Pic from : http://tinybuddha.com/

Sunday, September 27, 2015

මාරුතය . . !


මාරුතය 

බොහෝම ස්තූතියි ආවාට 

සිතූ පරිදි බොහෝ දේ විනාස කලාට

විසිතුරු සිහින කැබැලිද

සතුට එකතු කල පුංචි පුංචි දේවල්ද

දස අතට බැඳ තැබූ රැහැන්ද

තව බොහෝ දේද

දැන් ඉතින් ඉතා සරලයි

සියල්ල හොඳින් වේයැයි

බලා ඉන්න එක විතරමයි ඉතුරු

මාරුතය 

බොහෝම ස්තූතියි ආවාට

බලාපොරොත්තු නැතුව ජීවත් වෙයන් යැයි

පාඩම් ඉගැන්නුවාට . . !

Wednesday, August 26, 2015

දබර කරන ප්‍රේමය . . !

ප්‍රේමය

ලඟ අති විටක

හිත සැහැල්ලුවට සැපට නින්ද යන

වෛරයක් ක්‍රෝධයක් නැතුව

පොඩි දේටත් රන්ඩු වෙන

ආඬපාලි කිව්වට හිත නො රිදෙන

ප්‍රේමය

ලඟ නැති විටක

පාලුවට නින්ද නො යන

කම්මැලි කමට ෆේස්බුක් එකේ

නිකම් උඩ පහල යන

සිගරට් දුමෙන් 

පපුව පුරවන . . !


pic from : http://www.thesite.org/

Saturday, August 22, 2015

සුදු දුවේ එදිනට නුඹ කොතැනක සිටියත් . . . !

කිරිකැටි පායුග හැඩකල

හුරතල් නුඹේ මේස් පොඩි

තබා ගමි සුරැකිව

මතු අනාගතේ දවසක

මහළුව මියෙන මොහොතක

එන්නට බැරි දුරක සිටියොතින්

මියෙන්නට මොහොතකට පෙර

කිරිකැටි නුබේ මතකයේ

සුවඳ යලි යලිත් විඳ 

මියෙන්නට සොම්නසින් !


Wednesday, August 19, 2015

බඹරෙකු හැඬුවා . . !


නිශා යාමයේ පමණක් 

රුවට පිපී සුවඳ දී

පරව ගිය කඩුපුල් මලක් අස

හැඬුවාලු බඹරෙක්

අහිමි වූ මල්කෙමි රස

සුවඳ ගැන ලොබින් ! 

වෙනී අයියගේ ෆේස්බුක් එකේ මේ පින්තූරේ දැක්ක වෙලාවේ මෙහෙමයි හිතුනේ මට.
පින්තූරේ අයිතියත් වෙනී අයියගෙමයි අනවසරයෙන් ගත්තෙත් වෙනියගේ ෆේස්බුක් එකෙන්ම තමා  :D

Wednesday, August 12, 2015

දෙමලිච්චෝ . . !

දෙමලිච්චෝ . . !

තොරතෝංචියක් නැතුව 

හිනාවෙනවායැයි 

දකින් උන් රැවටෙන්න ඉඩ ඇති 

හිනාවෙනවාදැයි අඬනවාදැයි 

කිසිවෙක්ට හිතා ගත නොහැකි

එකම හඬකින් කෑගසන 

කිසිම හැඟුමක් එලියට නොපෙන්වන

දෙමලිච්චෝ . . !


Pic from : http://ibc.lynxeds.com/photo/common-babbler-turdoides-caudata/common-babbler-group-drinking

Tuesday, June 23, 2015

සිතුවිලි ගඟ . . !

ගඟ:
බෝ දුරක සිට ඇවිත් 
නැවැත් වූ පසුව එහි
සුකෝමල ගමන් මඟ
බැඳ දමා ඇල වේලි
ඉවසලා බැරිම තැන 
ගලා යයි පිටාරව 
ගම් බිම්ද යටත් කොට . .

සිතුවිලි:
මතක ඇතිදා පටන් 
හිත් කොනේ ගොඩ ගැසුණු
දිනෙන් දින විසල් වූ
හොඳද නරකද නොදත්
ගරහන්න සැදි ලොවක
ගැරහුමට බිය සැකෙන්
විසි කරන්නට බැරුව
තව තවත් ගොඩ ගසන . . !


Pic from: http://www.prevention.com/

Monday, February 9, 2015

පිහිතලය විනිවිද දිවූ උනුහුමක මතකය . . !

පිළිකා අවදානමක් නිසා වයස්ගත මවගේ පියයුරක් ඉවත් කලයුතු බව වෛද්‍යවරයාගෙන් දැන ගත් මැදිවියේ දරුවෝ විස්සෝපයෙන්. - ලංකාදීප පුවතක් -



උනුහුමට තුරුල් වී පපුවට
සීරුවට කිරි උරා බිව්
තනයක් අයින් කරනවායි ඇසූ විට
කඳුලක් නොහෙලා ඉන්න ඇහැකිද
මහමෙරක තරමට ආදරේ විඳපු
වයසට ගියපු උනත් දරුවන්ට

හැමෝටම හොඳ ටික බෙදා
වළඳේ අන්තිම දන්කුඩ ටිකෙත්
හොඳ ටික පිඟානකට හෙලා
වළඳේම කටක් දෙකටක් කා
බඩ පිරුනු බවක් අපිට පෙන්නා
හිනා වී අත හෝදපු . . . අම්මා

අනෙකා නොකල දේවලට
දොස් කියන එක දමා පසුවට
හැකි පමනටත් වඩා තව ටිකක්
කන් කෙඳිරියක් නැතුවම 
දරුවන්ට සහෝදර සහෝදරියන්ට
යුතුකම් ඉටු කරන . . . අම්මා

කියන්න ඕනෑ වුනු දේ
පොල්ලෙන් ගැසූ සේ 
කොන්ද කෙලින් තියාගෙන 
මූනටදම දමා ගසා
හිතේ කහටක් නැතුව
ඒ ගමන්ම හිනා වෙන . . . අම්මා

වයසට ගියත් දරුවන්ට
දැනෙනවා දුක පපුවට
උනුහුමට තුරුලු වී
කිරි උරා බිව් තනයක්
අයින් කරනවායැයි ඇසූ විට . . .!

Pic from: https://dianablography.wordpress.com/

Monday, February 4, 2013

සතුට, දුක, කඳුල, සිනහව . . .!

සතුට
දෑත අද්දරටම පැමින
ඇඟිලි තුඩඟ, නියඟ තුඩඟ 
ගෑවී නොගෑවී මෙන් ඉඳ
ඔච්චම් පා ඈතටම ඇදී යන . . . !

දුක
ආත්මයම තුරුළු කර
ඉරා කීතු කොට හද 
දවා හළු කර බිඳෙන් බිඳ
කැඳවන ඒ වෙතටම තවත් . . . !

කඳුළ
රූරා වැටෙන්නට ඉඩ නොදී
කොපුල් තල තෙමාගෙන
බොඳ කරනට දෑස් තුලම
මහත් වෙහෙසක් දරන . . . !

සිනහව
දුක් කඳුළු බිම දමා
දූලි ගා පාගා දමා
හද කවුළු විවර කර
පිබිදෙන්න ඉඩ සොයන . . . !



අමරදේව මාස්ටර්ගේ මේ සින්දුවත් අහලා බලන්නකෝ


ආරාධනා . .. !

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතිතයේ ගිලිහි ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජිවිතයේ දිගු ගමනින් අනාථ වූදා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
බිඳුනු එවන් රජදහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා



Pic From: http://www.sweetclipart.com/

Saturday, January 26, 2013

උඹේ කරුමෙට අපි මොනව කරන්නද . .. !!!!



මතක ඇති කාලේ පටන් 
අග හිඟ දුක් කරදරම විඳ
අල්ලට සීනී කා කහට බී
කල්ගිය රෙදි වැරලි ඇඳ
ගහ මරා ගත්තත් පොඩි දේටත් 

ගෙදර අපි තුන්දෙනාම
උන්නම එක පොදියට ගුලිවී
දුක දුකක්ම නෙමේ කියා
හිතුනා නේද
කියපන්

මහාමේරුව අල්ලන්න නොව
රස්සාවක් හොයා ගනින් කියූ
ගෝරනාඩුවෙන් ගැලවෙන්ටත්
මහ උන්ගේ බර ඩිංගක්වත්
හෑල්ලු කරන්න වත් කියල 

උඹ තීරණේ ගන්න ඇති
එහෙම හිතෙනකොට 
වාවන්නේ නෑ බන්

අතාරින්න බෑ කියා හිතා හිටි
සියලු දේ අතෑරලා මදිවට
අපි දෙන්නත් අතෑරලා
ඔය ලෝකෙට උඹ යද්දී
සැප හීනත් තියෙන්නැති
නෑ කියන්න ඇහැක්ද උඹට . .?


හීන කියන්නේ හීන වලට
ජීවිතේ හූරන ලොතරැයියන්ක්ද
මොන මගුලටද උඹ
ඔට්ටු ඇල්ලුවේ ජීවිතය
දවාලේ මවපු හීන වලට ??
උඹ හීනෙන් ඇහැරෙන කොට
එන්න බැරි තරම් දුර ගිහින්
ඔට්ටුවෙන් උඹ පරාදයි බන් . . !


උඹ හිනාවෙනකොට හිනාවෙන්න
පෙරුම් පුරුම් පුරපු අපිට උනේ
උඹ අඬන දහා බලාගෙන 

එක පොදියට එකට අඬන්න

ඒත් උඹ කැමති නෑ ඒකට
කඳුලු පපුවේ හංගගෙන
උඹ හිනා උනා යස අපූරුවට

හිතුව උඹ අපි රැවටෙයි කියලා.  
අපේ දුක උඹට උහුලන්න
බෑ කියලා දන්න නිසාම
හිනා වුනා අපිත් බොරුවට
උඹත් එක්කම එකට
හරි අපූරු රැවටිලිකාර සෙල්ලම . . !


දුක් කාලේ ගෙවිලා ගොස්
සරු කාලේ ආවා අපිට
ඒත් උඹ. . 

උඹ තාම එතනම
ඉතිං සරුවෙන් පලක් මොකටද අපිට
උඹට නැති කොට අපිට වැඩක්ද ?

ඒත් උඹ හිනා වෙලා කිව්වෙම
මම හැමදා පැතුවේ
උඹල දෙන්නට හරි යන්න . . !


උඹේ පපුවේ කුහක කම 
අහලක වත් නෑ බන් 
අපි දන්නවා ඒක

උඹටත් සරු වෙන්නෙයි කියලා
කරපු හැමදේම අපි
ගඟට කපපු ඉනි වගේ
උඹත් එක්කම
ගඟ දිගේම ගලා යනවා

ඇස් දෙකෙන් දකිද්දී ඒ බව
පීනලා බේර ගන්නත්
බැරි බව පෙනෙද්දී
උඹ ගහගෙන යන දිහා බලාගෙන
වාවන්න බැරි දුකින්
මහ පොලොව පෙඟෙන්න අඬනු මිස
ඒ ගඟට ම පැනලා මැරෙන්නද ?


Pic from: http://collegecandy.com/

Tuesday, November 27, 2012

වැලි කතරේ අපි . . .!

091111115843-large

ගිනිගෙන දැවෙනා මිරිඟු දියෙන් පිරි
වැලිකැට පුපුරන වැලි කතරක් සරි
ගහක් කොලක් නැති දිය කඳුලක් නැති
මරු කතරක් ගැන ඇසුවෙමි බිය ඇති

මිනිසුන් යති එති කහවනු ගෙන එති
මැදුරුද තනවා සිටුවරු මෙන් වෙති
කහවනු ඇති මුත් බෝ දුක් එහි ඇති
කතරට යන්නට නොසිතනු පවසති

ගත සරසන්න සළු පිලි නැති මුත්
කුස පුරවන්නට මසවුළු නැති මුත්
කරදර අඟහිඟ බෝ දුක් ඇති මුත්
කිම යනු කතරට සුරපුර මෙහි වෙත්

දේසපාලුවන් මුලු රට වනසති
මහජන මුදලින් සෙල්ලම් පෙන්නති
ජීවන වියදම අහසට උඩයති
දුප්පත් අපගේ බඳපටි තදවෙති

දෙමාපියන් හා අඹු දරු විඳවති
නොබලා ඉන්නට සිත සවි බල නැති
මරු කතරේ නොව මරු මුව තුල ඇති
කහවනු ගන්නට යන්නට සිත ඇති

ආවෙමි කතරට උන් ගැන සිතලා
දහදුක් වින්දෙමි උන් සැප පතලා
කතරේ දුක් ගිනි සිත තුල වලලා
සිනා සිසී ඉමි උන් දෙස බලලා  . . .!

Pic from: http://www.sciencedaily.com/releases/2009/11/091111115843.htm

Thursday, June 14, 2012

පාලුව දෙවනත් කරලා නාඩන් උළලේනෝ . . . !


දෙනෝ දාහක් නුවන් අභියස
දෙනෝ දාහක් පිරිස අභියස
නොමැති වී ඒ සෙනේ සිසිලස
හුදකලා වී පාලු කතරක

රොස් පරොස් බස් ඇතත් ඉඳහිට
බත ඉදුනු පසු නිමයි ඒ සැම
නිය තුඩින් හිස සෙමෙන් සනසන
කෑ ගසයි සිත නොමැති තැන එය

ටිකිරි සුරතල් කතා බස් රැස
නිමක් නොවනා ප්‍රශ්න වැල් සැම
ගෙල බදා ගෙන නිදා ගන්නා
අනේ ඒ සුව නැතුව කොහොමද

සොඳුරු සුවබර හෙට දිනේකට
පිය නගන්නට වාරු ඇතුවම
සිතම සවිකර දුකත් සඟවා
ඉන්න දරනා තැත අසීරුය . . . !

Monday, April 9, 2012

අනේ දෙවියනේ මට සවි දෙනු මැනවී . . .!!



ආතුරයන් මැද අනාතුරව හිඳින්න
අනේ දෙවියනේ මට සවි දෙනු මැනවී . . .

මුව හම් පොරවා ගත් මෘගයන් මැද
උන්ගේ ගොදුරක් නොවී ඉන්න
අනේ දෙවියනේ මට සවි දෙනු මැනවී . . .

ගොදුරක් ඩැහැගත් මෘගයෙක්
තියුණු උල් දත් වලින් බරු ගසද්දී
මෘගයාගේ පුල්ලි වල වර්ණය
අගය කරන
කලා කරුවන් යැයි කියා ගන්නා උන්
අනේ දෙවියනේ මගේ දෑහින් උන් ඉවත්කල මැනවී . . .

මෘගයාට ගොදුරු වූ අහිංසකයා
දිවූ අත වැරදිය කියා
වේගය සහ කාලය අතර
ප්‍රවේගය ගනන් බලන
බුද්ධිමතුන්ගේ වචන
අනේ දෙවියනේ මගේ කන් බිහිරි කල මැනවී . . .

අනෙකාට හෙන ගැසූවත්
මම තාම යහතින්නේ
උගේ බඩ හතරට පැලුවත්
මගේ බඩ පිරිලනේ සිතන
බඩගෝස්තර වාදීන්
අනේ මට උන් මඟ හැර ඉන්න
ඉඩ සලස්වා දෙන්න දෙවියනී . .

මෘගයන් ඇති වනයේ
අහිංසකයින් පා නොතැබිය යුතු බවට
දහම් දෙසන
පඬිවරයන් හා දේශකයන්
නෑසු කනින් ඉන්නට
අනේ දෙවියනේ
හිත සවි දුන මැනවී . . .

මුව හම් පොරවා ගත් මෘගයන් මැද
උන්ගේ ගොදුරක් නොවී ඉන්න
අනේ දෙවියනේ මට සවි දෙනු මැනවී . . .

ආතුරයන් මැද අනාතුරව හිඳින්න
අනේ දෙවියනේ මට සවි දෙනු මැනවී . . . !!!

Saturday, June 4, 2011

ගාමන්ට් කෑලි වල නියම අගය පෙන්වූ නුඹ . . !



අපෝ ගාමන්ට් කෑලිද - උන් හොඳ සොමියක් ගන්න
ගාමන්ට් කෙල්ලෝ කොල්ලෝ - මෙලෝ රහක් නෑ චා මැක්ස්
මෙසේ කියමින් උගතුන් වියතුන් - පැෂන්කාර පොෂ් පොරවල්
දෙකේ කොලේට දමා තිබූ නමුත් - වචනයේ පරිසමාප්තියෙන්ම
නියම කම්කරුවන් වූ - අපේම සහෝදරියන් සහෝදරයන්
කොන්ද පන ඇති - නියම මිනිසුන් බව
ලෝකෙට පෙන්වාදුන් - සලකුණ නුඹයි සොයුර

හැම අවුරුද්දෙම මැයි පලමුදාට - පක්ෂ සාමාජික පොරවල්
රතු නිල් කොල කමිස ඇඳන් - බුරියානි කා අරක්කු බොමින්
මන්ත්‍රී සල්ලි ගෙවූ බසයෙන් - කොළඹට ට්‍රිප් ඇවිත්
කම්කරුවන්ට ජයවේවා කියනු වෙනුවට
මන්ත්‍රීට ජය වේවා, ජනාධිපතිට සැප වේවා කියා
උගුරු කඩාගෙන කෑ ගහන විටත්
ෂිප්මන්ට් එකට පෙර - ටාගට් කවර් කරන්න
ෆැක්ටරියේ සොයුරු සොයුරියන් සමඟින්
හරි හරියට වැඩ කරන්න ඇති - රොෂේන් සොයුර නුඹත්

රුපියල් පන්සීයක වැඩි පඩියක් - වෙන ෆැක්ටරියකින් දෙන්නම් කීවොත්
ගෙදර බ්ලොග් ගල් බිත්තියක් - කපරාරු කරගන්න
සතියට දවසක් දෙකක්වත් - මාලු කෑල්ලක් මස් කෑල්ලක් එක්ක
බත් කටක් අම්ම-අප්පට - අක්කලාට ලබා දෙන්න
ඕන කමට යන්න හිතුවොත්
බලෙන් ලබාදෙන්න යන - පැන්ෂන් එකේ වගන්ති
"අවුරුදු දහයට අඩුවෙන් අයින් වුනොත්
කපා ගත් කිසිවක් දෙන්නේ නැත "
උඹේ හිත හිරි වට්ටන්න ඇති . .

ආන්ඩුව කියන්නැහේ - ජෙප්පන් ලියාදුන් දේ
කට පාඩමින් කියන - ගිරාපෝතකයින් නොව
සහතික මිටි, උගත්කම - පැත්තකට වීසි කොට
අම්ම අප්පට තව තවත් - බරක් වෙන්න බැරි කමට
ෆැක්ටරියක රස්සාවට ආ - බුද්ධිමතුන් පිරිසක් වග
ලෝකෙටම නුඹලා - පෙන්නුවා නොවේද සොයුර
වීඩියෝ වලින් අප දුටු - මේ අකාරයෙන් ප්‍රශ්න කර

"කම්කරු අපේ යහපතට - කිසිවක් කරන්නැයි
පාලකයින්ගෙන් නො ඉල්ලන නුඹලාට
අපේ සොච්චම් පඩි පතින් ගානක් කපාගෙන
වයස පනහේදී පැන්ෂන් ගොස්
හැටේදී පැන්ෂන් පඩියක් දෙන්න තරමට
අපි ගැන දුකක් පහල වුනේ – අරුමය කිම මේ හදිස්සියෙන්"

තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් - උදේ හවා පක්ෂයකට කඩේ යන
මහා උගතුන් යැයි කියාගන්නා - පොරවල් දැක දැක
අනේ මේ වගේ කොඳුඇටපෙළක් නැති - බඩජාරි හැත්තක් ඉන්න රටක
ඉපදුනේ මොන කරුමෙටද කියා - දුක් වෙවී ඉන්න මොහොතක

තුවක්කුවට බැටන් පොල්ලට බය නැති
අතක් පයක් කැඩුවත් බඩට හෙන ගැහුවත් විතරක් නොව
ජීවිතයම වුව පුදන්න තරම් බය නැති අභීත
අසාධාරණයට එරෙහි වෙන - කොන්ද පන ඇති මිනිස්සුත්
මේ රටේ ඉන්න වග - පසක් කර දුන් සොයුර
කලකිරීම දුරු කරගන්නට හිතට සවි දුන් සොයුර
නුඹ වෙනුවෙන් කඳුලක් හෙලීම පමනක් - තේරුමක් නැති බව හැඟේ මට

අයුක්තිය වෙනුවෙන් කඳුලු සැලීමට වඩා දෙයක් කල යුතු බව
හදට දැනවූ සොයුර හිතට බල කරවන සොයුර
ස්තූතියි නුඹට ණයගැතියි මා නුඹට
දෙව් මවු තුරුලේ නුඹට සාමදානෙන් සැතැපෙන්නට
වරම් ලැබේවා යි පතමි නුඹට දයාබර රොෂේන් සොයුර . . . !


Friday, May 27, 2011

සුලැඟිල්ලට කිරි එරෙන මාමා . . !



ලේන් පැටියෙක් තරම් දා නුඹ
වඩා ගත් දා පෙමින් දෝතට
හදේ උතුරා ගැලූ සෙනෙහස
මෙතෙක් වේ යැයි කෙසේ කියමිද

ලොවේ ඉපදුනු සියලු දරුවන්
ගැන දයාවෙන් සිතනු හැකි මුත්
විශේෂිත වූ සෙනේ හැඟුමන්
කෙසේ ඉනුවා දැයි නොදන්නෙමි

කිරි සිනා පා කෝල හැඟුමින්
බදා ගන්නා විට ගෙලේ නුඹ
පියා නොවුනත් දරු සෙනේහෙට
සුලැඟිල්ල කිරි බර වුනේ

අම්මා අප්පා සෙනේ පෑමුත්
මයිලනූගේ සෙනේ මදිවෙද
කෙලි පැටික්කී සුරතලී නුඹ
මගෙම දෝනියි මට සිතේ

උරේ දා නුඹ නිදි කෙරූ මම
ජරා කැත කුණු අත ගගා
ලොකු වුනත් මගෙ කරේ තරමට
මගේ හුරතලි නුඹ සදා

වැඩී අද නුඹේ අත්පා කර දඬු
කුළගෙයක පිට වෙනු සිතා
මගේ සියුමැලි පුංචි දෝනී
කෙසේ ඉවසා ගමි මෙමා

දුවෙක් විණි නම් දීග දිය යුතු
ලොවේ සම්මතයැයි සිතා
මගේ කඳුලැලි උනන නෙත් මුල
නුඹට මල් සේ දෙමි මෙදා . . !

Thursday, February 24, 2011

බඩ ගැත්තරයාට සමාව බයබෝයි . ..!



අනින්ඩ හාන්දුනන්නේ අනින්ඩ
පිට පොත්තටම ඇලුනු බඩ පොත්තටම අනින්ඩ
රුපියල් හැත්තෑවේ හාල් ඔලින් බැරි නම්
රුපියල් පනහේ පොල් ගෙඩියෙන් හරි අනින්ඩ
කැවුත්ත කුඩු වෙන්ටම අනින්ඩ . . .!

දැයට කිරුලේ පාට පාට බලුප් වල එලියට
ගිනිකනවැටුනු දෑහින් තරු විසි වෙන්ටම අනින්ඩ
රත්තරන් මුදු දමාපු ඔය අතින්
වසී බොලේ හිර කොරන් ඉන්න ඔය අතින් 
බඩ පොත්තට කැවුත්තට ඉතරක් නම් මොකෑ
ඉහ මොල කුඩු පට්ටම් වෙන්ට ඇන්නත්
හැබෑ සනීපයි ආයොබෝං . .. !

කෝටි දාහක් වියදම් කොට හැදූ
කෝටි සීයක් වටින හැයිවේ එකේ
ප්‍රාඩෝ පැජරෝ ඔලින්
ලොකු ලොකු මහත්තැන් යන කොට
බඩ සා ගින්දරේ උන්නත්
අපි අප්පොඩි තලන්නං හාන්දුනන්නේ . .. !

පාන්ඩු පාට ගැහුනු අපේ බර ගොයියෝ
පරන ටෑර් එකක් තල්ලු කොලාන යන දිහා
සෝකෙන් දුකෙන් බලා හිටියත්
අනේ ආයිබෝං ඔබ තුමන්ලාගේ
රත්තරන්පාට බේබි මහත්තුරු
ඇස්ටිං මාටිං ඔලින් උජාරුවට යන හැඩ
තන්තෝසෙන් බලා ඉන්නම් හාන්දුනන්නේ . ...!

නිව් යොරොක් ඒරොප්පේ යනකොට ලබන සැරේත්
යාලුමිත්තරයෝ ඔක්කෝම ඇන්න යන්ට ආයිබෝං
නැව් නො එන වරායත් තව දෙපාරක් වත්
විවුර්ත කොරන්ඩ ආයොබෝං
අපිට පෙරහැරේ ඇවිත් හුරේ දාන්ඩ
වෙන මක්කැයි ඉතිං ....!

(අ)සාධාරනේට විරුද්ද වෙන උන් රොත්තම
දඟගෙයි දාන්ඩ හාන්දුනන්නේ
අනේ එහෙම බැරිනම්
අපේ රත්තරන් ඇමතිතුමාට කියා
උන්ගේ පස්සටම දෙවන්ඩ හාන්දුනන්නේ
අපි ඔය සෙල්ලම් ලෙල්ලම් දිහා බලන්
දේස පෙරේමෙන් උඩ පැන පැන
නටන්නම් හාන්දුනන්නේ . . ...!

හැබැයි ඉතිං ඔය මොනවා කොලත්
ටැලි විසොන් පෙට්ටියේ පෙන්නන
පබායි පබලුයි නැවැත්තුවොත් නම්
අන්න එදාට අපි බලාගන්නම් ආයිබෝං . ...!

මගේ ප්‍රියතම නවකතා රචිකාවියක වන "සේපාලි මායාදුන්නේ"ගේ අලුත්ම නව කතාව වූ "දණ්ඩ චක්‍රය" නවකතා පොත බලා උපන් සංවේගයෙන් හා ගෝනි කරේ තියන් පක්ෂයක් වෙනුවෙන් කඩේ යන "මහා ජනතාවක්" දැක උපන් කෝපයෙන් ලියවිනි.

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails