Sunday, November 5, 2017

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...!


නන්දාගේ "යොවුන් වසන්තයේ - දුහුල් වළා කුලේ" ගීතය ඇහෙන හැම වාරෙකම මාව 1988-1989 තරම් අතීතයට පාවෙලා ගිහින් නුගේගොඩ නාවල පාරේ ඇල්ෆා ඉන්ස්ටිටියුට් එක ලඟ ඉඳන් නුගේගොඩ හංදියට වෙනකම් තියෙන කොටසේ අතරමං වෙනවා වගේ දැනෙනවා.

ඕලෙවල් සබ්ජෙක්ස්ට් වලට ටියුෂන් ගිය ඇල්ෆා එකේ හිමිකාර ජයනෙත්ති සර් ක්ලාස් ඉවර උනාට ඔක්කොටම එක පාර යන්න දෙන්නේ නෑ.

මුලින් කෙල්ලෝ ටික යවනවා. උන් ‍YMBA එක පහුකරලා ඇති වගේ හිතෙන කාලෙකදී කොල්ලන්ට යන්න දෙනවා.

පංතියේ කෙල්ලෝ ඒ පංතියේම නසරානි කොල්ලෝ එක්ක යාලුවෙලා චාටර් වෙයි කියලා බයට උන්ව බේරා ගැනීමේ සද්භාවයෙන්නැතිනම් උන්ගේ ආරක්ශාවට එහෙම කලේ කියලා තමා අපි හිතුවේ.

88-89 කාලේ අවුරුදු 35ක්-40ක් විතර වුනු ජයනෙත්ති සර් ඒ වෙනකම් කසාද නොබැඳේ සර්ගෙම ක්ලාස් වල කෙල්ලෝ කොල්ලෝ සාප කරපු නිසා කියලා කොල්ලෝ කෙල්ලෝ හොරෙන් කතා වෙවී හිනා උනේ.

උන් එහෙම කිව්වට ජයනෙත්ති සර් කියන්නේ පුදුම සුන්දර මනුස්සයෙක්. ඒ කාලේ කවදාවත් ටියුෂන් ෆීස් ඉල්ලලා කරදර කලේ නෑ. ගොඩක් අයට ෆ්‍රී කාර්ඩ්ස් දීලා තිබ්බා.

ක්ලාස් එකේ නීති රීති තද නිසා කල්ලි ගැහුනාම විහිලු කලා උනාට ළමයි ජයනෙත්ති සර්ට පන වගේ ආදරෙයි ඒ නිසාම.

හරි ආපහු කතාවට

කෙල්ලන්ව කලින් යැව්වට ඉතිං ගොඩක් කෙල්ලෝ උන්ගේ ආරක්ෂාවට හෙන ගහපුවාවේ ඇල්ෆා එකේ ඉඳන් නුගෙගොඩට තනියෙම එන කොල්ලෝ ටික ආරක්ෂා කරන්න ඕන කියලා හිතලද මන්දා නාකි බල්ලෝ කොළඹ යනවා වගේ හෙමීට හෙමීට ගාට ගාට යන්නේ අර කොල්ලෝ එන කම්.

කොල්ලෝ ටිකත් සර් යන්න දුන්නු ගමන් පුකට පැටෝල් ගහලා වගේ දුවනවා ඉතිං.

වැඩි දුර යන්න කලින් පේනවා දන්න කියන ගෑනු ළමයි ළතා ගමනින් උන් එනකම් විනාඩියට මීටර් බාගේ ස්පීඩ් එකෙන් ගිහින් මඟ ඉන්න බව.

එතන ඉඳන් නුගේගොඩ බස් හෝල්ට් වලට දුර එවෙන්නෙත් ඉතින් ඒ ස්පීඩ් එකෙන් තමා.

රසික මාලින්ද වගේ ඩීසන්ට් කොල්ලෝ කෙලින්ම බස් හෝල්ට් වලට. රසික 259 බස් හෝල්ට් එකේ මාලින්ද සිටි ටිම්බර් හෝල් බස් හෝල්ට් එකේ.

නිලක්ෂ මම වගේ පරාර්ථකාමී කොල්ලෝ එහෙම නෑ !

"මේ ගෑනු ළමයි ඉතිං කාගේ උනත් දරුවෝනේ - ඒ අයව පරිස්සමින් හයිලෙවල් පාරේ බෝ ගහ ලඟ හෝල්ට් එකටනැතිනම් සෙන්ට් ජෝන්ස් එක ලඟ බස් හෝල්ට් එකට ඩ්‍රොප් කරන්න ඕන" කියලා හිතලා අර සුපුරුදු විනාඩියට මීටර් බාගේ ස්පීඩ් එකෙන් පාවෙනවා.

මිනිස්සු දාස් ගානක් එහා මෙයා යනවා අපිට දැනෙන්නෙත් නෑ.

අපිට දැනුනේ අපි සිඟිති ආදර දූපතක තනිවෙලා වගේ

පාර දිගේ පාවුනේ හරියට රෑන් මුදාගෙන අහස් ගඟේ දියඹ දිගේ පා වෙවී ඉගිලෙන සරුංගල් වගේ.

ඒ ගමනෙදි පුංචි දේකට උනත් මහ හයියෙන් හිනා වෙන්නේ හරියට තරු අහුරක් එක සැරේට රෑ අහසේ ඇවිලෙනවා වගේ.

එහෙමත් කාලයක් අප්පා . . . !

එදා අපි එක්ක ඇල්ෆා එක ලඟ ඉඳන් නුගේගොඩ හංදියටට වළාකුලු මතින් ගමන් කරපු අනිත් අය ලෝකේ කොහේ ඇද්ද?

අපේ ස්කොලේ මගේ පන්තියේ උන්නු (නාවල පාරේම ගෙවල් තිබ්බ ) "චාමර" - එයාගේ නිවුන් සහෝදරී අනුලා ගිය "චාමරී",

ඩී එස් ගිය "අකිල"

සමුද්‍රදේවියේ "රෂිකා" (ජුබිලි කනුව හන්ංදියේ ගෙවල් තිබ්බේ)රෂිකාගේ යාලුවා "තේජා"

තේජාගේ කොල්ලා කියලා අපි විහිලු කරපු ඉසිපතනේ "මිහිර"

SPM ගිය කුමුදු

අනුලා ගිය ඉෂාරා ගිහානි සමරකෝන්

කෝට්ටේ ආනන්ද බාලිකාවේ ඒ කාලේ උන්නු එකම ලස්සම කෙල්ල නෙල්කා,

නෙල්කා ගේ කොල්ලා කියලා අපි විහිලු කරපු අපේ ස්කෝලේ කීර්ති

ආනන්ද බාලිකාවටම ගිය අපේ ගෙදරට අල්ලපු ගෙදර ලක්මාලි

මේ අය දැන් කොහේ ඇද්ද !!

ඔය කිව්ව කිසි කෙනෙක්ට මාව නම් මතක නැතුව ඇති.

මම ඒ කාලෙත් නෝටිසබල් කැරැක්ටර් එකක් නෙමේ.

කිසිම විශේෂත්වය නැති පට්ට ඕඩිනරි ඒත් ගෙදරදිගෙවල් පැත්තෙදි සිල් ගත්තු පූසෙක් වගේ උන්නට පාරෙදි පිස්සෙක් වගේ -
 පිස්සෙක් වගේ ජොලියේ හිටපු එකෙක්.
_________________

නන්දාගේ ඒ සින්දුව ඇත්තෙන්ම හරියට අතීතෙට අරන් යන රිදී හුයක් වගේ හා නැද්ද?

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...

දිළිසෙන කඳුළේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී...
ගංඟාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී...

හසරැලි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ...
තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන...
අහස් ගඟේ දියඹ දිගේ...

පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්නයන්
සංගීතය: D R පීරිස්


Pic from: https://unsplash.com/photos/AsahNlC0VhQ

Wednesday, November 1, 2017

රළු සුමුදු පෙති !



මලක පෙත්තක් ඇති
සැඩ සුලඟේ හැපි හැපී
වේදනා විඳ විඳ
ආදරයේ වේදනාවත්
සතුටක්යැ කියන!

අනෙක් පස හැරී
කාටවත් නොපෙනෙන්න
කඳුළු පිස දමන,
යලිත් ඉදිරිය බලා
සිනා මුව පෙන්වන!

මලක පෙත්තක් ඇති
බඹර තුඩු ඇනී ඇනී
සියොලඟම රිදුම් දෙන අතර
වේදනාවෙන් තොර
ආදරයක් නැතැයි
කොඳුරන !

ලොවම නිදිගත් පැයේ
රහසින් ඉකිබිඳින!

මලක පෙත්තක් ඇති
දුක් කඳුලු වේදනා
මලක් නම් උරුම යැයි සිතන!

හෙට මිලිනවන බව දැන
අද ඇතිතරම් හිනාවෙන්
ලොවට සුවඳ දෙන !


Photo by Evan Kirby on Unsplash

Saturday, September 23, 2017

අපේ ගී පැදුර 2017


නොකාපු රස කෑමක් (දූරියන්?) ගැන අපි අදහස් දක්වන්නේ "අපෝ ඒ මොන ජරාවක්ද" කියලා වගේ කලාවේ රස නොවිඳපු බොහෝ අය කලාව ගැන අදහස් දක්වන්නේ උඩ කිව්ව වගේ "කලාවෙන් ඇති වැඩේ මොකද්ද " කියලා.

කලා මාධ්‍යන් අතරින් චිත්‍රපටි, නාට්‍ය වැනි කලාවන්ට සාපේක්ෂව ගීත කලාව අඩු වියදමකින් විශේෂ වෙහෙසීමක් කාල වේලාව වෙන් කිරීමක් නොමැතිව රසවිඳිය හැකි කලාවක්.

ගමනක් බිමනක් යද්දී එද්දී පවා රේඩියෝ එක අහන්නේ සංයුක්ත තැටි මිලදීගෙන අහන්නේ  ඉතාම පහසුවෙන් ගීත කලාව රසවිඳින්න හැකි නිසා කිව්වොත් බොහෝ අය එකඟ වේවි.

ඒ තරම් පහසුවෙන් රසවිඳින්න පුළුවන් කලාවක් වත් රසනොවිඳින මිනිසුන් අද සමාජයේ බොහෝමයි.

සමහරු කලාව ගැන දැනුවත්, ඉහළ ඉගෙනීමක් ලැබූවන්. නමුත් අවාසනාවට කලාව රසවිඳින්නේ නෑ, කලාවේ ආශ්චර්ය ඇඟට දැනිලා නෑ.

මට හිතෙන ආකාරයට එවැනි මිනිසුන් කිසි තෙතමනයක් නැති වියළි මිනිසුන් !

හැදූවැඩූ දෙමාපියන්ට නොසලකන, බිරිඳ දූ දරුවන්ට නොසලකන, ළයාදර හිතමිතුරන් බිඳවන, සුදුස්සෙකුගේ අවස්ථාවන් උදුරා ගන්නා, තමා ලබාගත් දෙයක් වෙන කිසිවෙක් හෝ ලබා ගතයුතු නැතැයි සිතන, අවස්ථාවදී, ආත්මාර්ථකාමී මිනිසුන් එවැනි වියළි මිනිසුන් ලෙසයි මගේ නිර්වචනය නම්.

නොගැලපෙන බව වටහාගෙන ප්‍රේමයෙන් සමු ගන්නා පෙම්වතාට, පෙම්වතීට පිහිපාර එල්ල කරන, ඇසිඩ් ගස්සවන වියලි මිනිසුන් අතර කලාවෙන් තෙතමනය ලැබූ මිනිසුන් "එපා තවත් ඔබ මා රිදවන්නට ඇගේ සෙවණ මුදු මල් යහනාවක් නම් - ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී . .අඳුරු මතකයෙක් මට සමු දෙනු මැනවී" හෝ "මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න" හෝ "වසා යන්නකො හද දොර සෙමින් . . මගෙ හැඟුම් තව නොරිදමින්" යයි පවසා ඔවුන්ට ජීවිතයෙන් සමුගන්න ඉඩ ලබා දෙනවා.

මහගෙදර අයිතිය වෙනුවෙන් වියළි මිනිසුන් වූ සහෝදර සහෝදරියන් කා කොටා ගනිද්දී "පාරමී දම් පුරමු අපි දෙදෙනා - මටම අයියණ්ඩියක වී ඔබ, නැගෙණි වී මා එකම මවු කුස, සසර මතුදා උපත ලබනට පාරමී දම් පුරමු අපි දෙදෙනා" කියා ප්‍රාර්ථනා කරන්නේ කලාවෙන් තෙතමනය ලැබූ මිනිසුන්.

අයුතු ලෙස ප්‍රයෝජන ලබමින් සිට පසුව සිත රිදවා ඉවත්වූ මිතුරු මිතුරියන් සමඟ ආක්‍රෝශ පරිභවයෙන් බැණවදිමින් කලකෝලාහල කරන වියළි මිනිසුන් ට "මාලු නහී උඩින් වැටෙන ඇම කන හින්දා, යාලු නහී මේ මම් වගේ ලනු කන හින්දා" කියා තමාගේ දුර්වල කම් වලට තමන් තමන්ටම හිනා වෙන්නේ කෙසේදැයි කලාවෙන් තෙත් වූ උන් කියා දෙනු ඇත.

කවා-පොවා හදා-වඩා උස්මහත් කල දෙමාපියන්, මහලු වී - රෝගී වී - අසරණ වී සිටිනා විට යුතුකම් ඉටුකිරීම් මඟහරින, මහලු මඩම් වලට දෙමාපියන් ගාල් කරන  වියළි මිනිසුන් අතර "ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී, ඒ ජීවිතයට කිරිදී පන දී, මා දැඩි කල අම්මා" කියා සිතනා කලාවෙන් තෙත්වූ හදවත් ඇත්තෝ වයසක මාපියන්  පෝෂණය කරමින්, යුතුකම් ඉටුකරමින් කල් ගෙවන්නෝ වෙති.

ගීත කලාව ඔහේ ඇහෙන්නන්ම් වාලේ අහන්නේ නැතුව කලාවක් විදිහට රස විඳින්නේ කෙසේද යන්න දැන ගැනීමත් එක්තරා කලාවක්.

මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රමාණ සමීක්ෂක පාඨමාලාව හදාරා එක්සත් අරාබි එමීරයේ සේවය කරන සොයුරු සොයුරියන්ගෙන් සැදුම් ලත් QSUM සංවිධානය වාර්ෂිකව ඉදිරිපත් කරන "අපේ ගී පැදුර" ප්‍රසංගය ගීතය කලාත්මකව රසවිඳින්නේ කෙසේදැයි අපට උගන්වමින් ගී රස විඳින්න ඉඩ සලසන අපූරු ප්‍රසංගයක්.

එම ප්‍රසංගයට මේ වසරේත් ප්‍රවීණ ගීපද රචක රත්න ශ්‍රී විජේසිංහ කවියා ගී අරුන් පහදා දෙද්දී, ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ, එඩ්වර්ඩ් ජයකොඩි ගායන ශිල්පිනී උමාරියා සිහවංශ ගායනයෙන් සභභාගී වෙන්නේ සංගීතඥ නාලක අංජන කුමාර සංගීත මෙහෙයවන අකනිටා සංගීත කණ්ඩායමෙ වාදනයටයි.

කලාවෙන් සිසිල් වූ හදවත් ඇත්තන් ගීත කලාවෙන් කුල්මත් කරවීම උදෙසා ඉදිරිපත් කරන මේ ප්‍රසංගය රසවිඳීමට නොයිවසිල්ලෙන් ඉන්නවාට කිසිදු සැකයක් නෑ.

දිනය: 2017 සැප්තැම්බර් 29 වෙනි සිකුරාදා
ස්ථානය: ඩුබායි කොලේජ් ඔඩිටෝරියම්
වේලාව: සවස 6.30 සිට

Thursday, August 24, 2017

සිහින !


ඇත්තෙන්ම ජීවිතේ සමහර සිහින - සිහින විදිහට සදහටම තියෙනවා.

නමුත් සමහර සිහින හැබෑ කරගන්න වාසනාව උදා වෙනවා

මගේ බ්ලොග් එකේ හෝ ෆේස්බුක් එකේ දාපු තොරතුරු අනුව ගොඩක් අය දන්නවා අපේ "විරූස් - Virooz" සිහිනයේ තොරතුරු.

නොදන්න අයට දැන ගන්න කෙටියෙන් ලියන්නම්කෝ.

අපි ඇඳුම් ගන්න ගියාම මුහුණ දුන්නු ලොකුම ප්‍රශ්නයක් තමා පොකට් එකට දරන්න පුළුවන් ගානට හොඳ කොලිටියේ ඇඳුම් සපත්තු නැතිකම.

ලොකු ගණන් දීලා නදීෂාට ඇඳුම් ගෙණෙද්දී කාලෙකට කලින් දවසක එයා කිව්වේ "මට මේ තරම් ගණන් ඇඳුම් එපා - මහන මැෂිමක් අරන් දෙන්න, රෙදි අරන් දෙන්න මම ම හොඳ කොලිටි එකට මහගන්නම්" කියලා.

ඒ අරන් දුන්නු මැෂිමෙන් මට ෂර්ට් එකක් මහලා තෑගි කරපු වෙලාවක ඒකේ ෆොටෝ එකක් ෆේස්බුක් එකේ දැම්මහම "අපිටත් මහලා දීපල්ලකෝ" කියන මිතුරු ඉල්ලීම් තමා අපේ විරූස් සිහිනයට මූලික උණේ.

එදා ඉඳන් අපේම බ්‍රෑන්ඩ් එකකින් දරන්න පුළුවන් මිල ගණන් වලට හොඳ කොලිටි එකේ නිර්මාණ කරන්න ඕන කියන අපි සිහින මැව්වා.

බහතෝරන කාලේ ඉඳන් ගෙදර හැම දේකටම "දිස් ඉස් විරූ'ස්, දිස් ඉස් විරූ'ස්" කිය කියා අයිතිවාසිකම් කිව්ව මගේ සොඳුරු ත්‍රස්තවාදියා විරුල් නිසා අපි හිතා ගත්තා අපේ බ්‍රෑන්ඩ් නේම් එක විරූස් වෙන්න ඕන කියලා.

නදීෂා ඇඳුම් මහන කෝස් එක ඉවර කරලා සපත්තු හදන කෝස් එක කරද්දී ඒකෙදි හදපු සපත්තු දැකපු හැමෝම "අනේ අපිටත් හදලා දෙන්න" කියපු නිසා අපි 2012දී අපේ විරූස් කම්පනි එක රෙජිස්ටර් කරලා අපේ හීනයේ කොටසක් හැබෑ කර ගත්තා.

ඒ කාලේ නදීෂයි විරුලුයි ලංකාවේ මම මේ අරාබි රටේ කාන්තාරේ.

උණුහුමට තුරුල් වෙලා ඉන්න අප්පච්චි නැති කමින් විරුල් ඒ කාලේ මාත් එක්ක තරහින් හිටියේ.

කෝල් එකක් දුන්නත් ෆෝන් එක නදීෂට දෙනවලු "මෙන්න ඔයාගේ හස්බන්ඩ් කෝල් කරනවා" කියලා.

එයාට කතා කරන්න එන්න කිව්වම "බෑ මම බිසී" කියනවා.

මම පුදුම දුකෙන් හිටි කාලයක්.

2013 අගෝස්තු ස්කොලේ නිවාඩුවට එයාල මෙහේ ආවහම විරුල් කියලම හිටියා ආයේ මාව දාලා යන්න බෑ කියලා.

දරුවගේ අනාගතේ වෙනුවෙන් කියලා පටන් ගත්තු විරූස් තාවකාලිකව අපි නතර කළේ දරුවගේ වර්තමාන සතුට නැති කරලා ලබන අනාගත ජයග්‍රහණ මොකටද කියලා හිතලා.

ඉන් අවුරුද්දකට පස්සේ, මාෂා ඇන්ඩ් බෙයා කාටූන් බලද්දී දෙවියන්ගෙන් ඉල්ලපු ඊෂා අපිට ලැබුණා.

දවසින් දවස වයසට යන දෙමවුපියෝ බලා ගන්න ආපහු අපේ රටට යන්න ඕන කියලා හිතද්දී විරූස් සිහිනය ආයේ අලුතින් දකින්න ගත්තා.

ගිය අවුරුද්දේ අවසාන කාර්තුවේ ඉඳන් අපි දෙන්න දවල් රෑ නැතුව මහන්සි උණා.

ඒ මහන්සියත් අපි දෙන්නගේ යාළු හිත මිත්‍රාදීන්, දෙමාපියන්, සහෝදර සහෝදරියන් හැමෝගෙම උදව් උපකාරයෙන් ගිය මාසේ ජූලි 29 වෙනිදා විරූස් බිස්නස් ලෝන්ච් එක කරන්න පුළුවන් වුණා.

ගිය සැරේ වගේම සහ ඊට වඩා උදව් කරන අය අපි එක කණ්ඩායමක් විදිහට වැඩ කරන්න කතා වුණා.

ටීම් එකේ අපි කීප දෙනෙක් ප්‍රොඩක්ෂන් කර ගන්න මහන්සි වෙන අතරේ අනිත් අය අදාළ අනෙක් වැඩ (ලෝන්චින් පාර්ටිය, ප්‍රින්ටින්ග් වැඩ) වගේ දේවලට මහන්සි වුණා.

මගේ නිවාඩු අනුමත කර ගන්න වෙලා ගිය නිසාවෙන් හැමදේම කර ගන්න වුණේ හදි-හදිසියේ.

මුලින් පවුලේ අයට අමතරව තව සීමිත කීප දෙනෙක්ට විතරක් ආරාධනා කරමු කියන අදහස මම ලංකාවට ආවට පස්සේ වෙනස් කරන්න උණා ටීම් එකේ අයගේ අදහස් අනුව.

ආරාධනා කරන භාර ධූර වැඩේ පැවරුණේ මට.

ලෝන්ච් එකට දවස් කීපෙකට කලින් අනිත් වැඩ වලට දුවන පනින අතරේ ලැබෙන පොඩි ඉඩකදී ෆේස්බුක් ලොග් වෙලා තමා මේ ආරාධනා කරන වැඩේ කළේ.

ආරාධනා කරපු හැම දෙනාම වගේ ආවා.

ලෝන්ච් එකෙන් දවස් කීපයක් ගිහින් ආපහු බලද්දී තමා බොහොම දෙනෙක්ට ආරාධනා කරන්න බැරි වෙලා කියන දේ

ඒ හැමෝගෙන්ම පුද්ගලිකව සමාව ඉල්ලන්න වුණේ නෑ.

ඒ නිසා මේ පෝස්ට් එකෙන් පොදුවේ ඒ ආරාධනා කරනන් බැරි වුණු හමෝගෙන්ම සමාවෙන්න කියලා ඉල්ලා සිටිනවා.

ඒ වගේම අපේ ආරාධනව පිළිගෙන විරූස් එළිදැක්වීමේ සාදයට සහභාගී වුණු හැමෝටම බොහෝම ස්තූතියි කියලත් කියන්න ඕන.

එළිදැක්වීමේ උත්සවය වෙනුවෙන් ෆේස්බුක් එකේ කවර් ෆොටෝ මාරු කරන කැම්පේන් එකක් කරමු කියලා මිතුරෙක් යෝජනා කළත් ඒ වෙද්දී අපේ ප්‍රොඩක්ට්ස් සම්පූර්ණ වෙලා නොතිබුණු නිසා ප්‍රොඩක්ස් එළියට දාන්න වුණේ ටිකක් පහුවෙලා.

ඒ වෙනුවෙන් අපේ විරූස් ව්‍යාපාරයට උදව්වක් විදිහට ෆේස්බුක් එකේ තමන්ගේ කවර් පික් එක මාරු කරන්න පුළුවන්ද කියලා මම ඉල්ලා සිටි හැමෝම වගේත්, තව මම පුද්ගලිකව නොදන්න අය පවා ඒ කැම්පේන් එකට සහභාගී වෙලා තමන්ගේ කවර් ෆොටෝ එකට මම දුන්නු විරූස් කවර් ෆොටෝ එක දාලා විරූන් නම ගොඩක් අය අතරට ගෙනියනන් ලොකු උදව්වක් කළා.

ඒ හැම දෙනාටම මගේ ගෞරවණීය ආදරණීය කෘතවේදී බව දන්වන්න ඕන - ඒ උදව් කල හැමෝටම බොහෝම ස්තූතියි !

විරූස් අපි මේ පොඩි අඩියක් තිබ්බා විතරයි.

ඉදිරියට දිග ගමනක් යන්න ඔබ හැමෝගෙම සහයෝගය අපිට දිගටම ලැබෙන බව විශ්වාසයි.

නන් අයුරින් උදව් උපකාර කල හැමෝටම යළිත් වතාවක් ස්තූතියි !

ආදරෙන් - සුභාෂ් ගුණවර්ධන සහ විරූස් කණ්ඩායම

විරූස් සෝෂල් මීඩියා ලින්ක්ස් මේ තියෙන්නේ.
ලයික් කරන්න, ෆලෝ කරන්න, උපදෙස් ලබා දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සින්නත් කැමතියි.
Facebook: www.fabebook.com/viroozv
Instagram: www.instagram.com/virooz_v
Twitter: www.Twitter.com/viroozv
Blog: www.viroozv.blogspot.ae/

Thursday, June 15, 2017

සුදු නෝනක්කා !

මහේෂුයි නිමාලියි කැක්ටස් ලේන් එකේ පදිංචියට ආවා නෙමේ එන්න සිද්ද වුනා කිව්වොත් හරි පදිංචි කලා කිව්වොත් හරි තමා හරියටම හරි.

"ඔයාලට කියන්න, මූ හම්බ කරන හැම සතේම යාලුවෝ එක්ක රවුම් ගහන්නයි බොන්නයි වියදම් කරනවා මිසක් අනාගතේ වෙනුවෙන් කිසිදෙයක් කරන්නේ නෑ. ඔයාලා හරි මොනව හරි දෙයක් කරන්නකෝ" කිය කියා මහේෂ්ගේ අම්මයි අක්කයි ඉස්සර මහේෂ්ගේ ඔෆිස් එකේ හොඳම යාලුවෝ උනු ජයමිණිටයි බිමල්ටයි නිතර කංකෙඳිරි ගානවා.

තුඩාවේ වැඩ කරපු මහත්තයෙක් ගේ ඉඩමකින් කෑල්ලක් විකුනන්න තියෙනවා කියලා අම්මලව අවුස්සලා තමා, ජයමිණියි බිමලුයි මහේෂ් ලව්වා බෑන්ක් ලෝන් එකක් දාලා කැක්ටස් ලේන් ලේන් එකේ ඉඩම් කෑල්ල අරන් දැම්මේ.

කෑල්ලන් කෑල්ල ගේ හැදෙව්වත් කසාදෙන් පස්සේ වත් මහේෂ්ට වත් නිමාලිට වත් කැක්ටස් ලේන් එකේ ගෙදරට එන්න උනන්දුවක් තිබ්බේ නෑ.

ලේසියට ඔෆිස් වලට කිට්ටු පැති වලින් ගෙවල් කුලියට අරන් හිටියට, ළමයි හම්බ උනාම ඒ සුමේ කරන්න දෙන්නගේම අම්මලා ඉඩ දුන්නේ නෑ.

"මේ කිරි සප්පයොත් කර ගහගෙන අහිකුංඨකයෝ වගේ අවුරුදු දෙකෙන් දෙකට ගෙයින් ගෙට යන මොකද්ද උඹලගේ මේ ජීවිතේ" කියන ගෝරනාඩුවෙන් බේරෙන්නම බැරි තැන තමා 100% ඉවර නොකරපු කැක්ටස් ලේන් එකේ ගෙදර පදිංචියට ආවේ.

ගෙවදින දවසට දවස් දෙකකට කලින් මහේෂ්ගේ ඔෆිස් එකේ යාලුවෝ බඩු අදින්න උදව් කරන්න එද්දී උඩ තට්ටුවේ ඔෆිස් එකේ කුමාරත් ඇවිත් හිටියා.

"අඩේ කැක්ටස් ලේන් කිව්වහම මම හිතුවේ පතොක් ගස් පිරුනු ශුෂ්ක ඒරියා එකක් කියලා. ඒත් මේක මාර නිස්කලංක පැත්තක්නේ" කියලා කුමාර හිනා උනේ වටපිට ලස්සන පරිසරය බලමින්.

"පතොක් විතරද කොහෙද මෙහේ නැත්තේ" කූල් ඩ්‍රින්ක්ස් ට්‍රේ එක අරන් එන ගමන් නිමාලි කිව්වේ හිනා වෙවී.

පාරම්පරික ඉඩම්, ඉඩම් නඩුවකින් බෙදිලා වෙන් කලාට පස්සේ, මේ පැත්තේ ගෙවල් වලට එන්න වෙනම පාරක් දාන්න ඕන උනු වෙලාවේ ඉන්ග්‍රීසි නමක් දාන්න හොයද්දී මේ නම අහුවෙලා තියෙන්නේ.

"මචං මගේ කසින් කෙනෙක් ඉන්නෝ බන්, උන් මහ ගෙදරට වෙලා ලෝන් දදා පරන මහගේ කෑල්ල කෑල්ල රෙපෙයාර් කර කර හෙන වදයක් විඳින්නේ. අර මහත්තයට කියලා ඌටත් මේකෙන් ඉඩම් කෑල්ලක් අරන් දියන්කෝ, ලොකු උදව්වක්"

"මගේ නොම්මරේ දියන් කෝල් කරන්න කියලා. මම සෙට් කරලා දෙන්නම්" මහේෂ් කිව්වේ තව දන්න කියන එකෙක් අසල් වැසියෙක් වෙන එක කොයි තරම් දෙයක්ද කියලා හිතුනු නිසා.

"මෙන්න විසිටර් කෙනෙක් ඇවිත් උඹව හොයනවා" රිසිප්ෂන් එකේ කෝල් එකන් මහේෂ් ලොබියට යද්දී ඉඳගෙන උන්නු මනුස්සයා නැගිටලා ඇවිත්

"මහේෂ් ?"

"ඔව් ඔයා?"

"අහ් මම කුමාරගේ කසින් ජගත්, මචං ෆෝන් එකේ වොයිස් එක විදිහට මම හිතුවේ උඹ මැන්ටලයක් කියලා බන්"

"මූ මැන්ටලේ තමා" රිසිප්ෂනිට් මොනිටරේ බලාගෙන කියලා දැම්මේ.

ජගත් - සාරදා පවුලට ලස්සන ගෙයක් හදාගෙන කැක්ටස් ලේන් එකේ පදිංචියට එන්න වැඩි කල් ගියේ නෑ.

ආපු දා ඉඳන් ජගත් ගේ ට්‍රයි එක උගේ නෑදෑයෝ යාලුවෝ ඔක්කෝම ලේන් එකේ පදිංචි කරවා ගන්න.

"අනේ බන් අර ලේන් එකේ ඇතුලට වෙන්න තියෙන කෑල්ල අපේ ඔෆිස් එකේ සුදත්ට සෙට් කරලා දියන්කෝ, අර කන්ද උඩ කෑල්ල අජිත්ට සෙට් කරලා දියන්කෝ" මල වදේ.

"යකෝ මම ලෑන්ඩ් සේල් කාරයෙක් කියලා හිතුවද?" මහේෂ් හිනා වෙවී කියනවා.

"අනිත් උන්ට පස්සේ සෙට් කරලා දියන්. අපේ ඔෆිස් එකේ සීසී - පියතිලක මාමට නම් අර අර උඹලෑ ගෙටයි ජේන් ආච්චිගේ ගෙටයි මැද්දේ තියෙන කෑල්ල කොහොම හරි අරන් දීපන්."

"ඒ මොකෝ කොහොම හරි"

"බැඳලා අවුරුදු 12ක් ගිහිල්ලත් තාම ළමයි නෑ කියලා නැන්දම්මා වදේ ගහනවලු බන්"

"නැන්දම්මගේ අහ යන්නේ නැතුව ඉන්න කියහන්"

"එහෙම කොහේ කරන්නද බන් උනුත් අපි ඉස්සර උන්නා වගේ මහගෙදරම කෑල්ලක් වෙන් කරගෙන ඉන්නේ"

ජගත්ලගේ ඔෆිස් එකේ උන් පියතිලක මාමා කිව්වට පොරට ලොකු වයසක් නෑ ඕන නම් ජගත්ට – මහේෂ්ට වඩා අවුරුදු 5ක් වැඩිමල් ඇති.

පියතිලක මාමලා කැක්ටස් ලේන් එකේ පදිංචි වෙලා අවුරුද්දක් යන්න කලින් තමා ලස්සන කෙලි පැංන්චියෙක් පවුලට එකතු උනේ. ඊලඟ අවුරුද්දේ තව කෙල්ලෙක්.

"ලේන් එකේ වාසනාව බලහන්කෝ" හැමෝම කිව්වේ පුදුම සංතෝසෙකින්.

ඒ කාලේ ඉඳන් අවුරුදු 10ක් 12ක් යන කම් මාසෙකට දවසක් වත් ගෙදරින් ගෙදරට  පාර්ටි. ඒ නැති නම් ට්‍රිප්.

“මේ පියතිලකයාට කවදාවත් වෙලාවට එන්න බෑ නේ අප්පා” ට්‍රිප් එකක් යන්න සෙට් වෙලා, කතා කර ගත්තු රෝසා බස් එක මහේෂ්ලගේ ගේ ඉස්සරහා නවත්වන් ඉන්නැද්දී අතින් කටින් බඩු මලු උස්සන් එන පියතිලකට මහේෂ් කියන්නේ හිනා වෙවී.

“අඩෝ එහෙම කියන්න එපා. ඔෆිස් එකේදි හවස 5ට කර කර හිටිය වැඩ ඉවර උනා නැතා “සුද්දෝ වගේ වෙලාවට වැඩ කරන්න ඕන පුතාලා” කියලා ෆයිල් ටික වහලා ඕෆ් වෙන මනුස්සයා හරිය” කියලා ජගත් තව අවුස්සනවා.

“අපේ සෙට් එක හරියට කැළනි පාලම නාට්ටියේ උන් වගේ බන්” පියතිලක මාමා වෙලාවකට හිනා වෙනවා.

“ඒ මොකො අයියේ – අපි ඒතරම් අනාථයෝද” සාරදා අහන්නේ බොරු කුතුහලේකින්.

“නෑ ඕයි, කරපිංචා නැට්ටක් දියන්කෝ බන් කියායගෙන එකෙක් කාගේ හරි ගේකට සෙට් වෙන්නේ. අන්තිමේදි අනිත් උන්ටත් එන්න කියලා, උයා පිහාගෙන කාලා, පැය ගානක් බයිලා ගහ ගහා ඉඳලා , කරපිංචා නැට්ට විතරක් ඉල්ලගන්නේ නැතුව පාන්දර ජාමේ ගෙවල් වලට යන්නේ”

ලේන් එකේ පටන් ගන්න තැන වම් පැත්තේ දෙවෙනි ගෙදර එකම කෙල්ල කාන්ති ටයිපින් ක්ලාස් යන්න ගත්තට පස්සේ සෙට් උනු කොල්ලෙක් එක්ක පැනලා ගියා. ඒ දුකට කාන්තිගේ තාත්තා හර්බර්ට් අන්කල් පපුවේ අමාරුව හැදිලා මලා. මල ගෙදරදී “අයියෝ මම තනිවුනා දෙයියනේ” කියලා වැලහින්නි වගේ අඬපු කුසුමා ඇන්ටි තුන්මාසේ දානේ දෙන්න කලින් ඩුබායි ගියේ බ්‍රෝකර් කෙනෙක් හොයලා දුන්නු පවුලකට ගේ කුලියට දීලා.

ඔන්න ඔහොමයි සුදුනෝනක්කලා කැක්ටස් ලේන් එකට ආවේ.

ශාන්ත අයියා වැටඩ යද්දී “ගිහින් එන්නම් සුදු නෝනේ” කිව්ව එක ඇහිලද, නැතිනම් කිරි සුදු පාටටත්, මල් වට්ටිය වගේ වගේ පේ වෙලා වැට අයිනට වෙලා පාරේ යන එන හැමෝම එක්කයි කතා කරන නිසා ආදරේටමද මන්දා ලේන් එකේ කොල්ලෝ සුදුනෝන්නකා කියලා නම දැම්මේ.

ගෑනු පිරිමි කියලා බේදයක් නෑ “නංගියේ පොලේ යනවැයි” කියලා පන් මල්ල එල්ලන් පොලේ යන ගෑනුන්ගෙනුයි, “කන්තෝරු යන ගමන්ද මල්ලියේ” කියලා ඔෆිස් යන පිරිමින්ගෙනුයි උනත් සුදු නෝනක්කා අහනවා කට පුරා හිනාවෙලා.

“අනේ හරී සීදේවි මනුස්සයා” කියලා මහේෂුයි නිමාලියි ගෙදරදි කතා වෙනවා.

ඒත් ඒක සීදේවි  බෝම්බයක් කියලා තේරුම් ගන්න වැඩි කල් ගියේ නෑ.

මහේෂුයි නිමාලියි දෙල්කඳ පොලේ ගිහින් හංදියෙන් බස් එකෙන් බැහැලා, අතින් කලින් බඩු මලු උස්සන් එන දවසක වැට අයිනේ උන්නු සුදු නෝනක්කා බලෙන්ම කතාවට අල්ල ගත්තා.

“අනේ හරී මහන්සි පාටයි, එන්න එන්න ෆ්‍රිජ් එකේ මම උදේ හදපු නාරං ඩ්‍රින්ක් එකක් තියෙනවා, උගුරක් බීල ඉමු” කියලා නිමාලිගේ බෑග් දෙකක් උදුර ගත්තේ බලෙන් වගේ.

හිස් කරපු වීදුරු දෙක තියන්න හම්බ උනේ නෑ “අර ගොල්ලොන්ගේ හිතේ තරහ නැතුව ඔයාලටත් එයාලගේ කාර් එකේ පොලේ එන්න කිව්ව නම් මේ තරම් මහන්සියක් නෑ නේ අනේ ඔයාලට” කියලා කියද්දී මහේෂුයි නිමාලියි මූනට මූන බලා ගත්තා.

“අර ගොල්ලෝ කිව්වේ” කියලා ඇහුවේ දෙන්නම එකට

“වෙන කවුද අනේ – ජගතුයි සාරදායි” ආරූඩ කර ගත්තු හිනාවකින් සුදු නෝනක්කා කිව්වේ.

“එයාලගේ හිතේ අපි ගැන තරහා ඇයි වදේ. අපි අවුරුදු ගානක් පරන හොඳ යාලුවෝනේ”

“ඒ ඔයාලා හිතාගෙන ඉන්න හැටි, උන් ඔයාලට හරි ඉරිසියයත් එක්ක”

“යකඩෝ හරි වැඩක් නේ, ලස්සනට ගෙවල් දොරවල් හදාගෙන, වාහනේකුත් අරගෙන ඉන්න එයාලා අපිට ඉරිසියා කරන්නේ නෑ අක්කේ”

“මම ඉතින් මේ හිතවත් කමට කියන්නේ, ඔයාලට කියන්න, ඔයාලෑ දූ සුදුයි එයාලෑ ළමයි 3දෙනාම තලේලුයි කියලත් ඉරිසියයි. මම ඒත් සාරදාට කිව්ව ඉතින් ඔයාට සුදු කෙනෙක්ව බඳින්න තිබ්බනේ කියලත්”

“අනේ අප්පේ මේ වගේ විහිළු. පොත්ත සුදට උන්නට අපේ එකී වගේද ඒ ළමයි? කොයි තරම් හොඳට ඉගෙන ගන්නවද! බාහිර වැඩටත් ඒ වගේම දස්සයි”

“හැමදාම ඔයාලගේ ගෙදර ජෝගි නටනවා - මල සමයන් කිය කිය හිනා වෙනවත් එක්ක අයියෝ”

“අනේ අක්කේ මේහ්” කියලා මහේෂ් කියද්දීම

“පරක්කු උනා, ගෙදර ගිහින් උයන්නත් ඕන. ඇපි ගිහින් එන්නම් අක්කේ” කියලා නිමාලි බෑග් ටික උස්ස ගත්තා.

“මගේ අම්මෝ ජම්බු ගෙඩිය වගේ උන්නට මේක නම් ක්ලේමෝ බෝම්බයක්” මහේෂ් කිව්වේ හිනා වෙවී.

“අපිට ඔහොම කිව්වට දැනටම සාරදාට කියලද දන්නේ නෑ එයාලා අපිට කිව්වයි කිව්ව ජාති ටිකම අපි සාරදාලට කිව්වයි කියලා”

නිමාලි ආපහු ටිකක් කල්පනා කර කර ඉඳලා “හැබෑවටම එහෙම වෙන්නත් පුලුවන් තමා. ඉස්සරහා ගෙදර චිත්‍රා මාත් එක්ක කිව්ව කතාවක් නිසා මට එහෙම හිතෙනවා"

“ඒ මොකද්ද?”

“ලඟදී ඉඳන් පියතිලක අයියලා චිත්‍රලගේ මූන බලන්නේ නෑලු.”

“ඒකට සුදු නෝනක්කා මොනා කරන්නද ඒයි”

“චිත්‍රලගේ ගෙදරට එන අර ජෝඩු දෙක ඉන්නේ. දවසක් එක ජෝඩුවක් එනව දැකලා පියතිලක අයියා අනිත් ජෝඩුවට කියලලු “අන්න උඹලා නැතුව අරුන් පාර්ටි දානවා” කියලා”

“ඉතින්”

“සුදු නෝනක්කා එක්ක කතා කර කර ඉන්න වෙලාවක ඕක චිත්‍රට කියවිලා”

“නෑහ්”

“නෑ නෙමේ ඔව්, සුදු නෝනක්කා පැනලා කිවලු අපෝ ඔය පියතිලකයා හරි කේලමා කියලා”

“හඃ හඃ හා . . ශුවර් එකට සුදු නෝනක්කා ඕක පියතිලකට කියන්න ඇති චිත්‍රා පියතිලකට කේලමා කිව්වා කියලා. . හඃ හඃ හා”

තාමත් ඉස්සර වගේ කැක්ටස් ලේන් එකේ මල් පිපෙනවා. ගෙඩි හැදෙනවා. ගෑනු - මිනිස්සු පොලේ යනවා. රස්සාවල් වලට යනවා. සුදු නෝනක්කා වැට ලඟට වෙලා නංගියේ, මල්ලියේ, නැන්දේ, මාමේ කියලා කට පුරා හිනා වෙලා හැමෝම එක්ක කතා කරනවා.

ඒත් අවුදු ගානක් හිතවත්කමින් උන්නු පවුල් එක එකාගේ මූනුවල් බලන්නේ නැති ගානට තරහා කාරයෝ වෙලා.

වෙන අය එක්ක හිනා වෙවී උන්නත් අර පරන යාලු පවුල් දැක්කාම ඔරෝගෙන අහක බලනවා.

හරියට සිරිමා බන්ඩාරණායක අගමැති වෙලා උන්නු කාලේ ලංකාවේ පවත්වපු පොදු රාජ්‍ය මන්ඩල සමුලුවේදි පිට රටවල උන් එක්ක හිනා වෙවී ඉන්න ගමන් මේ රටේ එකෙක් දැක්කහම බුම්ම ගන්නවා වගේ . . !

Monday, June 12, 2017

ඇඳලා කල් ගිය රෙදි වැරලි . . . නෑ මට වාවන්නේ . . !


සමහර සිංදු හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරනවා කියනවා.

ඒත් අපිට සමහර වෙලාවට ඒක හරියටම තේරුම් ගන්න අමාරුයි කොයි විදිහටද ඒ සපර්ශය වෙන්නේ කියන දේ.

සමහරවිට අඬන්න හෝ හිනාවෙන්න බැරි උනු සමහර සිදුවීම් දිහා ආපහු බලද්දී දැනෙන වේදනාව හෝ අමුතු හැඟීම වෙන්න බැරිද?

මම හිතන්නේ ඒක හරියට . . .

ගොළු හදවත පොතේ සුගත් වීරසේකර එයාගේ දෙමව්පියෝ නැති බව හිනාවකින් කියද්දී ඒක අහලා කම්පනයට පත් උනු දම්මිට අඬන්න බැරි උනා වගේ දෙයක් ?

මාලනී බුලත්සිංහලගේ "රජ මැදුරක ඉපදී සිටියානම්" ගීතයේ කොටස් ඇහෙද්දී සිතේ මැවෙන අපූරු චිත්තරූප වලින් මැවෙන දේවල් දිහා ප්‍රේක්ෂකයෙක්ගේ ඇසින් බලද්දී දැනෙන හැඟීම් වගේ දෙයක් ?

"පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ..."

ඒ කොටස ඇහෙද්දී මට පුලුවන් පෙරහැර කාලෙට කෝට්ටේ රජමහ විහාරයේ ඉස්සරහා පාරේ මැදට වෙන්න ඉස්සර තිබුනු වතුර මලේ ගැට්ටේ වාඩිවෙලා දෙපැත්තෙන් යන එන මිනිස්සු දිහා බලන් ඉන්න ප්‍රේක්ෂකයෙක් වෙන්න.

පැට්‍රෝල් මැක්ස් වලින් හරි ජෙනරේටර් වල විදුලියෙන් එලිය උනු, පාර දෙපැත්තේ තොරොම්බල් කඩ වල සෙල්ලම් බඩු පාරේ යන එන පොඩි උන්ට අත වනනවා.

ඒ අතරින් පොඩි කොල්ලෙකුයි කෙල්ලෝ දෙන්නෙකුයි එයාලගේ අම්මලට දරන්න පුලුවන් උනු මුදලින් අරන් දුන්නු උක් පුරුක් ටිකක් සූප්පු කර කර යනවා,  යෞවන වයසේ ලස්සන කෙල්ලයි පොඩිම කෙල්ලයි අම්මගේ අත් දෙකේ එල්ලිලා, පොඩි කොල්ලා තාත්තගේ අතේ එල්ලිලා.

අර පුංචි ඇස් ලොකු ආයාසයෙන් ගන්නවා අර තොරොම්බල් කඩ වල එල්ලිලා අත වනන සෙල්ලම් බඩු දිහා දිහා නොබලා ඉන්න.

වතුර මල් පොන්ඩ් එකේ ගැට්ටේ ඉන්න ප්‍රේක්ෂකයාට හිතෙනවා "අනේ ඒ පොඩි උන් සෙල්ලම් බඩුවක් ඉල්ලලා පොලොවේ හැපි හැපී ඇඬුවා නම් කියලා"

"ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ."

ඒ කොටස ඇහෙද්දී මට පුලුවන් මධ්‍යම පාන්තික සාමාන්‍ය මිනිස්සු ජීවත්වෙන මාවතක් අද්දර පරන පහේ ගෙදරක ඉස්සරහා අඹ ගහක් පාමුල, පොඩි ලී කනු දෙකකට පිටපලුවක් ගහපු ලොවි බන්කුවක වාඩි වෙලා ඒ ගේ ඇතුලට එබෙන ප්‍රේක්ෂකයෙක් වෙන්න.

අර පෙරහැර පොළේ දැකපු පවුලම වගේ පේන්නේ.

පවුලේ තාත්තා දුර රැකියවකට ගිහින් ටික දවසකින් ඇවිත් නෑ වගේ හිතෙනවා.

පොඩි කොලුවා දුවලා ගිහින් මාවත කෙලවරේ සිල්ලර කඩෙන් පාන් ගෙඩියක් ගෙනත්.

ඒක හතරට කපලා පොල් සම්බෝල එක්ක ගිල දාලා පොඩි උන් ඉස්කෝලේ යන්න මිදුලට පනිනවා.

කොලු පැංචා සුදු ෂර්ට් එක නිල් කලිසමට උඩින් දාගෙන ඉන්නේ කලිසම ගෙවිලා හමගිහින් බව අනිත් අයට නොපෙනෙන්න වෙන්න ඇති.

"මට අලුත් කලිසමක් මහලා දෙනකම් ඉස්කෝලේ යන්න බෑ" කියලා ඇයි ඒ කොලුවා අම්මා එක්ක රන්ඩු නොකලේ? අර බන්කුවේ ඉන්න ප්‍රේක්ෂකයාට හිතෙනවා.

"රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ..."

අර ප්‍රේක්ෂකයා තාමත් අඹ ගහ පාමුල ලොවි බන්කුවේ වාඩිවෙලා අර පරන තාලේ කුලී ගෙදර දිහා බලන් ඉන්නේ. එතනින් නැගිටලා ගේ ඇතුලට යනවා දැන්.

සිංහල උළු හෙවිල්ලපු පරන තාලේ ටිකක් විසාලෙට පේන ගෙයක්

පඩි 4ක් 5ක් නැග්ග ගමන් ආවරණය නොකල ඉස්තෝප්පුවක්. වම් පැත්තේ ස්ටෝරු කාමරේ විදිහට පාවිච්චි කරන ඔෆිස් කාමරයක්.

ස්තෝප්පුවෙන් ඇතුල් උනාම සාලයක්. රතු පාටින් කුෂන් කරපු පුටු සෙට් එකක්. දකුනු පැත්තේ ජනේලේ ගාව කෑම මේසේයි පුටු 6යි.

දකුනු පැත්තේ කාමරයක්. නැදුන් ලීයෙන් හදපු පරන අල්මාරියක්, පොරවපු රෙද්ද පවා පිලිවෙලට තියෙන ඩබල් ඇඳක්. අර යෞවන වයසේ ලස්සන ළමස්සිගේ වෙන්න ඕන.

සාලේ ආරුක්කුවෙන් ගියාම තව කොටසක්. ඒකෙත් වම් කොනේ ඩබල් ඇඳක්. දකුනු පැත්තේ ටිකක් අඳුරු පොඩි කාමරයක්. ලොකු රෙදි ඉස්කිරිමක් තියෙන සින්ගල් ඇඳක් තියෙන, උසින් තියෙන ජනේලේ පාමුල පොත් තියපු පොඩි  මේසයක් තියෙන පොඩි කාමරයක්. අර කොලු පැංචන්ගේ. ප්‍රේක්ෂකයා අනුමාන කරනවා.

මැද කෑල්ලෙන් එහා කුස්සියට කලින් කොටසක්. ගෑස් ලිපක් මේසේ උඩ. වම් පැත්තේ එලියට යන්න දොර. දකුනු පැත්තේ දර ලිපක් තියෙන දුම්මැස්සක් තියෙන කුස්සියක්.

මහ වැස්සක් කඩන් වැටෙනවා.

වහලේ තැන් 5-6කින්ම වතුර බේරෙනවා.

සිංහල උනු හෙවිල්ලපු වහලේ ගෙවල් අයිති කාරයෝ කාලෙකින් රෙපෙයාර් කරලා නැද්ද කොහේද?

"අක්කේ මගේ පොත් මේසේ අල්ලන්න එන්ඩෝ, මේන් මෙතනත් තෙමෙනෝ" පොඩි කොලුවා කාමරේ ඉඳන් කෑ ගහනවා.

අම්මයි ළමයි ටිකයි තරඟෙට කුස්සියට දුව දුවා බාල්දි බේසම් විතක් නෙමේ ඇලුමිනියම් කොරස් මැටි ඇතිලි පවා තියෙනවා වතුර වැටෙන තැන් වලට.

ඒ තරඟේ ඉවර උනු ගමන් පොඩි උන් දෙන්නා මිදුලට බැහැලා මහ පීල්ලෙන් වැටෙන වතුර පාරට ඔලුව අල්ලනවා.

ඉස්තොප්පුවේ පුටුවක ඉඳන් පොඩි උන් දෙන්නා දිහා බලන් ඉන්න අර යෞවන වයේ දැරිවිගේ ඇස් වල ඇත්තේ වේදනාවක්ද?

පොඩි උන් දෙන්නට ඒක තේරුම් ගන්න බෑ. උන් වැස්සේ එක එකා තල්ලු කරමින් පීල්ලට ඔලුව අල්ලනවා.

ඒ සිදුවීම දුක් වෙන්න ඕන එකක්ද සතුටු වෙන්න ඕන එකක්ද?

අර ප්‍රේක්ෂකයාගේ හදවතේ ගැඹුරුම තැනින් ප්‍රශනයක් ඇහෙනවා.

අන්න එහෙම වෙන්න ඕන සමහර ගීත හදවතේ ගැඹුරුම් තැන් ස්පර්ෂ කරන්නේ.



රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ...

පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

රජ මැදුරක...//

ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

රජ මැදුරක...//

ගායනය : විශාරද මාලනී බුලත්සිංහල
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : එච්. එම්. ජයවර්ධන

Tuesday, April 18, 2017

ඉරවැඳුම !

ලංකාවේ නැටුම් කලාව කියන්නේ මුලු ලෝකය ඉස්සරහම ශ්‍රී ලාංකික අපිට ආඩම්බරයෙන්, අභිමානයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රසාංගික කලාවක් බව අවිවාදිතයි.

එක්සත් අරාබි එමීරය වගේ ලෝකයේ හැම ජාතියකම මිනිසුන් ජීවත් වෙන රටක දී ඒ ප්‍රසාංගික කලාව ඉදිරිපත් කරන්න ලැබෙන එක අභියෝගයක්.

ඒ වගේම අපේ අන්‍ය ජාතික හිත මිතුරන් රැගෙන ගිහින් අපේ සංස්කෘතියේ, කලාවේ තරම "ලෝක සිතියමේ පුංචි තිතක් වගේ තියෙන ඒ රටේ කලාවේ අපූර්වත්වය මෙන්න" කියලා පෙන්වන්න ලැබෙන දුර්ලභ අවස්ථාවක්.

දක්ෂ පළපුරුදු ගුරුවරියන් දෙදෙනෙකු මෙහෙයවන ඩුබායි නගරයේ සරසවි රංගායතනය ඒ අභියෝගය ජයගන්න සූදානම් වෙමින් ඉන්නේ.

සරසවි රංගායතනයේ නැටුම් කලාව හදාරන, එක්සත් අරාබි එමීරයේම ජීවත්වන අපේම දූ දරුවන් ගේ නර්තන කල එළි මංගල්‍යක් "ඉරවැඳුම" නමින් පවත්වන්න කටයුතු සියල්ල සූදානම්.

අප්‍රේල් මස (මේ මාසේ) 28 වෙනි සිකුරාදා දින, සවස 6.30හේ සිට, ඩුබායි නගරයේ ජුමෙයිරා හි එමිරේටෙස් ඉන්ටර්නැෂනල් පාසැලේ ශ්‍රවණාගාරයේ දී තමයි මේ "ඉරවැඳුම" ප්‍රසංගය පැවැත්වෙන්නේ.

එමීරයේ අපේම දූදරුවන්ගේ දස්කම් අගය කරන්න, ඔවුන් දිරිමත් කරන්න එමීරයේ ජීවත්වෙන ඔබ සියලු දෙනාට කෙරෙන කාරුණික ආරාධනයයි මේ !

ප්‍රසංගයේ ටිකට් පත් ඩිරාහ්ම්ස් 150, 100, 75 යන මිල ගණන් වන අතර, ප්‍රසංගය අවසානයේ කිසියම් ලාභයක් වෙතොත් ඒ මුදල් ශ්‍රී ලාංකාවේ ජීවත්වෙන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ලබා දෙන බව සංවිධායක මණ්ඩලය දැනුම් දී ඇත.

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails