ඒකට හැමෝම කිව්වේ සාරභූමිය කියලා.
අහම්බෙන් වැටෙන ඇටයකින් උනත් රූස්ස ගහක් හැදෙන්න තරම් සාරවත් බවක් එකේ තිබුනු නිසාම එහෙම කියන්න ඇති.
ඒක ඇත්තෙන්ම බටහිර අධිරාජ්‍යවාදීන්ට අයිති ඉඩමක්. ඔවුන් එකට දාලා තිබුනු නම වුනු “සයිමන් ස්පේස්” කියන එක හැදිලා තිබුනේ ඒක මුලින්ම මිලදී ගත්තු සුද්දා - සයිමන්ගේ සාවිය කියන එකෙන් කියලා දැනගන්න ලැබුනේ කාලෙකට පස්සේ.
මෑත කාලයේ සාරභූමිය හෙවත් සයිමන්ගේ සාවිය හෙවත් සයිමන් ස්පේස් එකේ කටයුතු සිද්ද උනේ මහා පුදුම අකාරයකට.
පස්සේ කාලේක මේ ඉඩමේ අයිතිය ලබා ගත්තු බටහිර අධිරාජ්‍යවාදීන්, මේ ඉඩම තමන්ගේම කියලා දෙයක් වවාගන්න කැමති නමුත් ඒකට අදාල බර-පැන නැති එහෙම නැතිනම් බර-පැන තිබබ්ත් තාක්ෂනික දැනීම නැති අයට පහසුවෙන් තමන්ගේම කියලා දෙයක් වවා ගන්න කියලා මේ ඉඩමේ කොටස් නොමිලේ ලබා දෙන්න තීරණය කලා.
නොමිලේ ලබාගන්න ඕන වුනු අයට කරන්න වුනේ බොහෝම සුළු දෙයයි.
ඒ බටහිර අධිරාජ්‍යවාදීන්ට අයිති එන්.ජී.ඕ එකේ සාමාජිකත්වය ඉල්ලලා තමන්ගේ නම ගම ආදිය සටහන් කරපු ඉල්ලුම්පත්‍රයක් යවන එක විතයි.
ඊලඟ දවසේ ඉඳන් ඉඩම තමන්ගේ.
කැමති කැමති අයට හිතේ හැටියට වවන්න පුලුවන්.
වෙන වෙන රටවල මේ ක්‍රමේට ඒ අයම ඉඩම් ලබා දීලා තමන්ගේම කියලා ඉඩමක වවන එක කාලෙකට කලින් ඉඳන් ජනප්‍රිය වෙලා තිබ්බත් අපේ අයට ඒක අල්ලලා ගියේ බොහෝම මෑත කාලෙදි.
කට්ටිය හිතේ හැටියට වවන්න පටන් ගත්තා. පුංචි කාලේ ඉඳන් අනුන් වවපු දේවල් දිහා බලාගෙන හිතේ විතරක් දළු දාමින් තිබුනු ගස්-වැල් තව දුරටත් හීනයක්ම නොවී හැබෑවටම අත්විඳින්න ලැබුනා.
ආසාවෙන් පොහොර වතුර දාදා ඒ තමන්ම පැල කරපු ගස් වැල් මෝරන දිහා ඇස් වල කඳුලු පුරවාගෙන බලන් හිටියා.
වත්තේ වැවුනු මල්-පළතුරු අහලින් පහලින් යන අය එක්ක, අහල පහල වතු වල අය එක්ක බෙදා හදා ගත්තේ උතුරා යන සන්තෝෂයෙන්.
අහලින් පහලින් ගිය අය “ෂා මේ වත්තේ මල් හරිම ලස්සනයි, මේ පළතුරු හරිම මිහිරියි කියල කියද්දී අත්වින්දේ පුදුම නිරාමිස ප්‍රීතියක්.
සමහර අය නීරස ගෙඩි උනත් රසයි කිව්වා වත්තේ අයිතිකාරයගේ හිත රිදෙයි කියලා හිතලා. ඒත් ඇත්ත ඇති සැටියෙන් කීම වගා කරන කෙනාට කරන උදව්වක් විදිහට හිතපු සමහර අය නම් “මේ ගෙඩි නම් මෙලෝ රහක් නෑ බන්” වගේ කතා කිව්වා.
කොහොම නමුත් හැමෝම මල් පලතුරු විතරක් වැව්වේ නෑ. සමහරු නීති විරෝධී දේත් වැව්වා. පරිසරයම ගඳ ගස්සන කීඩාරම් මල් එහෙමත් වවපු අය හිටියා.
ඒත් මේ මල් පලතුරු වල සුවඳ – රස හොඳින් අඳුන්න පුලුවන් තරම් රසඥතාවයක් තිබුනු අය හොඳම මල් වතු – හොඳම පළතුරු උයන් වලට ගිහින් ඒ මල් වල අපූර්වත්වය වින්දා . . .පළතුරුවල මිහිර රසවින්දා
එක ජාතියේ මල් – පළතුරු වලට කැමති අය එක එක පොඩි පොඩි හවුල් හදාගෙන එයාලා වවන දේවල් වල අත්දැකීම් බෙදා හදා ගත්තා. එයාලා වවන්න ආසාකරන දේවල් ගැන අදහස් හුවමාරු කර ගත්තා.
ඔව් ඔව් අපේ අයගේ ඕනේම හවුලකට සහභාගී වන මිතුරා “මධුපාන්‍ය”ත් ඒ තන් වල නිතරම ගැවසුනා. ඒත් ඒ මධුපාන්‍ය ඒ මිතුරු සමාගම් වල සමාගම රකින්න එකතු වුනු කෙනෙක් විතරක් උනා.
“මධුපාන්‍ය” වෙනුවෙන්ම ඇතිවුනු මිතුරු සමාගමුත් මේ වැවිල්ල නිසා ඇතිඋනා කිව්වොත් ඒක බොරුවක් නෙමේ.
සරලව කිව්වොත් මධුපාන්‍ය ට ලොල් වෙච්චි අය, ඒක තමන්ගේ ආත්මයේ කොටසක් කර ගත්තු අය ඒ වෙනුවෙන් මිතුරන් ඇති කර ගන්න මේ වැවිල්ල යොදා ගන්නවා කියලා එහෙම නොකරපු අයට සාධාරණ සැකයන් පහල උනු අවස්ථාත් තිබුනා.
කොහොම නමුත් මේ එක් එක් කුඩා කන්ඩායම් කල්ලි අතරේ තිබුනු මත ගැටුම්, තමන්ගේ වත්තේ වැවෙන දේවල් වල අගය සහ අනුන්ගේ වතුවල වැවෙන දේවල් වල නිස්සාරත්වය, කල්ලි ගැසීමේ හොඳ කම සහ නරක, මධුපාන්‍ය සහ ශෘන්ගාරය මේ වැවිල්ලට සම්බන්ධ කර ගත යුතුද වගේ මාතෘකා ඔස්සේ සුහදව ගල ගියා මිසක් එතනින් එහාට ශාරිරිකව හෝ මානසිකව වදයක් දෙන තරම් ලොකු රන්ඩු සරුවල් වුනේ නෑ.
මොකද සමහර අය අනුන්ගේ වතු වල වැවෙන මල්-පළතුරු රසවින්දාට ඒවායේ අයිතිකාරයා හරියටම කවුරුද කියලා නොදැන හිටි අවස්ථා ඉඳන් තිබ්බා.
එහෙම වෙන්නත් හේතු තිබ්බා. සමහර වවපු අය කැමති උනේ නෑ තමන්ගේ අනන්‍යතාවය එලි කරන්න. ඒ අය කිව්වේ “මගේ වත්තේ මල් වල පළතුරු වල රසය-සුවඳ විතරක් විඳින්න වවන කෙනාගේ ජාතකේ නොසොයන්න – වෙනස් විදිහකට කිව්වොත් “මයියොක්කා ගන්න ආවනම් මයියොක්කා අරගෙන පලයන් වත්තේ හතර මායිම් නොසොයා” වගේ ජාති වහෙන් ඔරෝ කිව්වා . . . එහෙම නැතිනම් කිව්ව බව දැන ගන්න ලැබුනා.
සුවඳ–ගඳ මල්, රස-නීරස පළතුරු, සුහද සංවාද – පුංචි පුංචි මතවාද – අඬදබර තිබුනු සාරභූමි වතුයාය උඩු යටිකුරු වුනේ සාර්ථක වවන්නෙක්ගේ මඟ පෙන්වීමෙන් එකතු උනු අලුත් වවන්නෙක් නිසා.
මුලින් ඔහුත් කිසිම වෙනසක් නැති අන් අය වගේම තමන්ගේ කියලා දෙයක් වවා ගැනීමේ පරම චේතනාවෙන් වවන්න එක් වුනු වවන්නෙක් ලෙස පෙනී සිටිය නමුත් ඔහු ඔහුගේම ඇජෙන්ඩා එකකට – (න්‍යාය පත්‍රයක් කියමූ) අනුව වෙනස්ම ප්රතිලාභ බලා පොරොත්තුවෙන් වවන්න ආවෙක් බව අනෙක් අයට දැන ගන්න ලැබෙන කොට, සාරභූමි වතුයායේ සාරය අසාරය වෙයිදෝ කියා සිතන මන්සන්ධියකට පැමින තිබුනා.
කරුනාසේන ජයලත්ගේ රිදී නිම්නය නවකතාව කියවලා තිබුනු අය ඔහු ගැන කිව්වේ සිල්ලර එලිය හෙවත් රිදී නිම්නය (සිල්වර් වැලි) විනාස කරන්න ආපු සොයිසා වගේ පිලිලයක් කියලා, "හිස්ට්‍රි රිපීට්ස් කියන්නේ මේකයි මචං" කියලා කියපු අයත් හිටියා.
සොයිසා සිල්ලර එලියේ ඔහුට බාගන්න පුලුවන් උනු කොල්ලන්ව බේබද්දෝ කලා, කෙල්ලන්ව ගණිකාවෝ කලා, සොයිසාගෙන් පිනට බොන්න ආපු අය සොයිසාගේ හෙංචයියෝ විදිහට තියාගෙන සිල්ලර එලියේ සාමාන්‍ය මිනිසුන්ට එරෙහිව, එහෙම නැතිනම්සොයිසාගේ ජඩ වැඩ වලට එරෙහිව කතා කරන ලියන මහත්තයා වගේ අයට එරෙහිව පවා කල්ලි ගැහිලා වටවෙලා ගැහුවා.
ඒ වගේ ඔහුත් ඔහුට බා ගන්න පුලුවන් වුනු අයව ඔහුගෙ හෙංචයියෝ විදිහට තියාගෙන ඔහුගේ වැවිල්ලට ඔහුගේ වැඩවලට විරුද්ධ ව යමක් කියන අයව මර්ධනය කරන්න යොදා ගත්තා. (මේ සමහර අය ඔහුගෙන් පිනට බොන්න ආපු අයම නෙමේ ඔහු සැබෑ මිතුරෙක් කියලා වැරදියට වටහා ගත්තු අයත් මේ හෙංචයියා කල්ලි වල හිටියා)
කොහේ හරි දෙන්නෙක් තුන්දෙනෙක් අතර මත භේධයක් තියෙනවා දැක්කොත් (යටි හිතේ වෙනස් බලා පොරොත්තු තියාගෙන නෝර්වේ රජයෙන් සාම සාධකයෝ එනවා) වගේ ඔහු සාම සාධකයා උනා.
පස්සේ හතර පැත්තම කොටවලා කුකුල්ලු කොටවන්න පොර පිටියට තමන්ගේ වත්ත දෙනවා වගේ මරා ගන්න අයට ගහ මරා ගන්න තමන්ගේ වත්තේ ඉඩ දුන්නා.
දිය යටින් ගින්දර ගෙනිහින් හතර අතේ කෙටෙව්වත් ඔහු නිතර පෙනී සිටියා ඔහු තමයි සයිමන් ස්පේස් එකේ හෙවත්
සාරභූමියේ ආරක්ෂකයා එහෙම නැතිනම් ගැලවුම් කරුවා වගේ.
මොකද මුලින් ඔහු සැබෑ මනුස්සයෙක් කියලා වැරදියට වටහා ගත්තු අය ඔහුගේ මූලිකත්වයෙන් හෝ සහභාගීත්වයෙන් වවන්නන් අතර සුහද හමුවක්, පොහොර, බීජ නැති අය කීප දෙනෙක්ට ආධාර ලබා දීම් වගේ ඉසව් කීපයක් සංවිධානය කිරීමේදී ඔහුගේ සහාය ලබා ගත්තා. හැබැයි මේ හෑම් තැනකදීම ඔහු තනියෙම සියළු දේ කලා වගේ හැඟීමක් සැබෑ තත්වය නොදන්නා අයට අඟවන්න පුලුවන් වෙන විදිහට රඟපාන්න තරම් ඔහුගේ කපටි මොලේ වැඩ කලා.
කොහොම නමුත් ඔහුගේ බැටළු හමට යටින් තියෙන නරි මූන "එක වවන්නෙක්" හෙලි කරනකොට ඔහු බොරු හිතවත්කම් පෙන්නලා වවන්නෝ කීප දෙනෙක්වම අපහසුවට පත්කරලා ඉවරයි.
අන්න එතනදියි ගොඩක් අයට වැටහුනේ ඔහුගේ අපේක්ෂාව වැවීම නෙමෙයි කියන එක.
ඔහුට ඕන වුනේ වවන්නෙක් විදිහට පෙනී සිටිමින් ඔහුගේ වෙනත් ව්‍යාපරවලට ආයෝජකයෝ සොයා ගැනීම.
මොකද මේ වැවිල්ලට එන්නේ ලෝකේ කාලා වතුර බීපු තෙම්පරාදු වෙච්චි මනුස්සයෝ නෙමෙයි සංවේදී කලාකාමී හදවත් ඇත්තෝ කියන එක ඔහුගේ කපටි මොලෙට වැටහිලා තිබුනු නිසා.
කොහොම නමුත් ඔහුත් ඔහුගේ හෙංචයියලා කන්ඩායමත්, කුකුල් කෙටවිලිත්, දිය යටින් ගින්දර ගෙනයෑමුත් නිසා සැබෑවටම වවන්න ආසාවෙන් හෝ වැවූ දේවල් රසවිඳින්න සාරභූමියට ආපු අයටත් මේ වෙනකොට සාරභූමිය එපා වෙන තත්වයකට පත්වෙලා තිබ්බා.
ඉස්සර ආසාවෙන් තමන්ගේ වතුවල මල්-පලතුරු වවපු අය සාරභූමිය පැත්ත පලාතේ නොයන තරම් අප්‍රසන්න තැනක් බවට ඔහු පත්කරලා තිබ්බ උනත්, කිසිම දෙයක් නොකල කෙනෙක් ලෙසට ඔහුගේ වත්තේ ඉඳහිට යමක් වන්න ඔහු අමතක කලෙත් නෑ.
සිරි ලාංකිකයින්ට ඕනෑම දෙයක් මතක සති දෙකයි කියලා ජරාම ජරා ත්‍රස්තවාදී නායකයා කියපු දේ සහතික ඇත්තක් කියලා ඔප්පු උනා මුලින් ඔහුට බැනපු අය පවා ඔහු සාරභූමිය විනාස කරන්න මුල් වුනු පුද්ගලයා බව අමතක කරලා ටික දවසක් ගිහින් ඔහුගේ වත්තේ මල්-පල අගය කරන්න පටන් ගත්තාම.
ඉස්සර සාරභූමියේ ආසාවෙන් මල් – පලතුරු වවපු අය, වැවුනු මල්වල සුවඳ විඳි අය, පලතුරු වල රස විඳපු අය තාමත් ඉඳහිට හිතින් හඬනවා ඒ සිහිනෙන් දිව ගෑ අතීතය සිහි කරමින්.
සොයිසාට සිල්ලර එලිය විනාසෙටම විනාස කරන්න බැරි උනා වගේ සිල්ලර එලියේ කුසලලා – ජෝතිරත්නලා වගේ අය ආපහු ඇවිත් සාරභූමිය රසින්-සුවඳින් පුරවන දවස වෙනකම් ඔවුන් බලන් ඉන්නවා.