Saturday, September 23, 2017
අපේ ගී පැදුර 2017
නොකාපු රස කෑමක් (දූරියන්?) ගැන අපි අදහස් දක්වන්නේ "අපෝ ඒ මොන ජරාවක්ද" කියලා වගේ කලාවේ රස නොවිඳපු බොහෝ අය කලාව ගැන අදහස් දක්වන්නේ උඩ කිව්ව වගේ "කලාවෙන් ඇති වැඩේ මොකද්ද " කියලා.
කලා මාධ්‍යන් අතරින් චිත්‍රපටි, නාට්‍ය වැනි කලාවන්ට සාපේක්ෂව ගීත කලාව අඩු වියදමකින් විශේෂ වෙහෙසීමක් කාල වේලාව වෙන් කිරීමක් නොමැතිව රසවිඳිය හැකි කලාවක්.
ගමනක් බිමනක් යද්දී එද්දී පවා රේඩියෝ එක අහන්නේ සංයුක්ත තැටි මිලදීගෙන අහන්නේ ඉතාම පහසුවෙන් ගීත කලාව රසවිඳින්න හැකි නිසා කිව්වොත් බොහෝ අය එකඟ වේවි.
ඒ තරම් පහසුවෙන් රසවිඳින්න පුළුවන් කලාවක් වත් රසනොවිඳින මිනිසුන් අද සමාජයේ බොහෝමයි.
සමහරු කලාව ගැන දැනුවත්, ඉහළ ඉගෙනීමක් ලැබූවන්. නමුත් අවාසනාවට කලාව රසවිඳින්නේ නෑ, කලාවේ ආශ්චර්ය ඇඟට දැනිලා නෑ.
මට හිතෙන ආකාරයට එවැනි මිනිසුන් කිසි තෙතමනයක් නැති වියළි මිනිසුන් !
හැදූවැඩූ දෙමාපියන්ට නොසලකන, බිරිඳ දූ දරුවන්ට නොසලකන, ළයාදර හිතමිතුරන් බිඳවන, සුදුස්සෙකුගේ අවස්ථාවන් උදුරා ගන්නා, තමා ලබාගත් දෙයක් වෙන කිසිවෙක් හෝ ලබා ගතයුතු නැතැයි සිතන, අවස්ථාවදී, ආත්මාර්ථකාමී මිනිසුන් එවැනි වියළි මිනිසුන් ලෙසයි මගේ නිර්වචනය නම්.
නොගැලපෙන බව වටහාගෙන ප්‍රේමයෙන් සමු ගන්නා පෙම්වතාට, පෙම්වතීට පිහිපාර එල්ල කරන, ඇසිඩ් ගස්සවන වියලි මිනිසුන් අතර කලාවෙන් තෙතමනය ලැබූ මිනිසුන් "එපා තවත් ඔබ මා රිදවන්නට ඇගේ සෙවණ මුදු මල් යහනාවක් නම් - ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී . .අඳුරු මතකයෙක් මට සමු දෙනු මැනවී" හෝ "මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න" හෝ "වසා යන්නකො හද දොර සෙමින් . . මගෙ හැඟුම් තව නොරිදමින්" යයි පවසා ඔවුන්ට ජීවිතයෙන් සමුගන්න ඉඩ ලබා දෙනවා.
මහගෙදර අයිතිය වෙනුවෙන් වියළි මිනිසුන් වූ සහෝදර සහෝදරියන් කා කොටා ගනිද්දී "පාරමී දම් පුරමු අපි දෙදෙනා - මටම අයියණ්ඩියක වී ඔබ, නැගෙණි වී මා එකම මවු කුස, සසර මතුදා උපත ලබනට පාරමී දම් පුරමු අපි දෙදෙනා" කියා ප්‍රාර්ථනා කරන්නේ කලාවෙන් තෙතමනය ලැබූ මිනිසුන්.
අයුතු ලෙස ප්‍රයෝජන ලබමින් සිට පසුව සිත රිදවා ඉවත්වූ මිතුරු මිතුරියන් සමඟ ආක්‍රෝශ පරිභවයෙන් බැණවදිමින් කලකෝලාහල කරන වියළි මිනිසුන් ට "මාලු නහී උඩින් වැටෙන ඇම කන හින්දා, යාලු නහී මේ මම් වගේ ලනු කන හින්දා" කියා තමාගේ දුර්වල කම් වලට තමන් තමන්ටම හිනා වෙන්නේ කෙසේදැයි කලාවෙන් තෙත් වූ උන් කියා දෙනු ඇත.
කවා-පොවා හදා-වඩා උස්මහත් කල දෙමාපියන්, මහලු වී - රෝගී වී - අසරණ වී සිටිනා විට යුතුකම් ඉටුකිරීම් මඟහරින, මහලු මඩම් වලට දෙමාපියන් ගාල් කරන වියළි මිනිසුන් අතර "ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී, ඒ ජීවිතයට කිරිදී පන දී, මා දැඩි කල අම්මා" කියා සිතනා කලාවෙන් තෙත්වූ හදවත් ඇත්තෝ වයසක මාපියන් පෝෂණය කරමින්, යුතුකම් ඉටුකරමින් කල් ගෙවන්නෝ වෙති.
ගීත කලාව ඔහේ ඇහෙන්නන්ම් වාලේ අහන්නේ නැතුව කලාවක් විදිහට රස විඳින්නේ කෙසේද යන්න දැන ගැනීමත් එක්තරා කලාවක්.
මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රමාණ සමීක්ෂක පාඨමාලාව හදාරා එක්සත් අරාබි එමීරයේ සේවය කරන සොයුරු සොයුරියන්ගෙන් සැදුම් ලත් QSUM සංවිධානය වාර්ෂිකව ඉදිරිපත් කරන "අපේ ගී පැදුර" ප්‍රසංගය ගීතය කලාත්මකව රසවිඳින්නේ කෙසේදැයි අපට උගන්වමින් ගී රස විඳින්න ඉඩ සලසන අපූරු ප්‍රසංගයක්.
එම ප්‍රසංගයට මේ වසරේත් ප්‍රවීණ ගීපද රචක රත්න ශ්‍රී විජේසිංහ කවියා ගී අරුන් පහදා දෙද්දී, ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ, එඩ්වර්ඩ් ජයකොඩි ගායන ශිල්පිනී උමාරියා සිහවංශ ගායනයෙන් සභභාගී වෙන්නේ සංගීතඥ නාලක අංජන කුමාර සංගීත මෙහෙයවන අකනිටා සංගීත කණ්ඩායමෙ වාදනයටයි.
කලාවෙන් සිසිල් වූ හදවත් ඇත්තන් ගීත කලාවෙන් කුල්මත් කරවීම උදෙසා ඉදිරිපත් කරන මේ ප්‍රසංගය රසවිඳීමට නොයිවසිල්ලෙන් ඉන්නවාට කිසිදු සැකයක් නෑ.
දිනය: 2017 සැප්තැම්බර් 29 වෙනි සිකුරාදා
ස්ථානය: ඩුබායි කොලේජ් ඔඩිටෝරියම්
වේලාව: සවස 6.30 සිට
Subscribe to:
Posts (Atom)