Thursday, June 15, 2017

සුදු නෝනක්කා !

මහේෂුයි නිමාලියි කැක්ටස් ලේන් එකේ පදිංචියට ආවා නෙමේ එන්න සිද්ද වුනා කිව්වොත් හරි පදිංචි කලා කිව්වොත් හරි තමා හරියටම හරි.

"ඔයාලට කියන්න, මූ හම්බ කරන හැම සතේම යාලුවෝ එක්ක රවුම් ගහන්නයි බොන්නයි වියදම් කරනවා මිසක් අනාගතේ වෙනුවෙන් කිසිදෙයක් කරන්නේ නෑ. ඔයාලා හරි මොනව හරි දෙයක් කරන්නකෝ" කිය කියා මහේෂ්ගේ අම්මයි අක්කයි ඉස්සර මහේෂ්ගේ ඔෆිස් එකේ හොඳම යාලුවෝ උනු ජයමිණිටයි බිමල්ටයි නිතර කංකෙඳිරි ගානවා.

තුඩාවේ වැඩ කරපු මහත්තයෙක් ගේ ඉඩමකින් කෑල්ලක් විකුනන්න තියෙනවා කියලා අම්මලව අවුස්සලා තමා, ජයමිණියි බිමලුයි මහේෂ් ලව්වා බෑන්ක් ලෝන් එකක් දාලා කැක්ටස් ලේන් ලේන් එකේ ඉඩම් කෑල්ල අරන් දැම්මේ.

කෑල්ලන් කෑල්ල ගේ හැදෙව්වත් කසාදෙන් පස්සේ වත් මහේෂ්ට වත් නිමාලිට වත් කැක්ටස් ලේන් එකේ ගෙදරට එන්න උනන්දුවක් තිබ්බේ නෑ.

ලේසියට ඔෆිස් වලට කිට්ටු පැති වලින් ගෙවල් කුලියට අරන් හිටියට, ළමයි හම්බ උනාම ඒ සුමේ කරන්න දෙන්නගේම අම්මලා ඉඩ දුන්නේ නෑ.

"මේ කිරි සප්පයොත් කර ගහගෙන අහිකුංඨකයෝ වගේ අවුරුදු දෙකෙන් දෙකට ගෙයින් ගෙට යන මොකද්ද උඹලගේ මේ ජීවිතේ" කියන ගෝරනාඩුවෙන් බේරෙන්නම බැරි තැන තමා 100% ඉවර නොකරපු කැක්ටස් ලේන් එකේ ගෙදර පදිංචියට ආවේ.

ගෙවදින දවසට දවස් දෙකකට කලින් මහේෂ්ගේ ඔෆිස් එකේ යාලුවෝ බඩු අදින්න උදව් කරන්න එද්දී උඩ තට්ටුවේ ඔෆිස් එකේ කුමාරත් ඇවිත් හිටියා.

"අඩේ කැක්ටස් ලේන් කිව්වහම මම හිතුවේ පතොක් ගස් පිරුනු ශුෂ්ක ඒරියා එකක් කියලා. ඒත් මේක මාර නිස්කලංක පැත්තක්නේ" කියලා කුමාර හිනා උනේ වටපිට ලස්සන පරිසරය බලමින්.

"පතොක් විතරද කොහෙද මෙහේ නැත්තේ" කූල් ඩ්‍රින්ක්ස් ට්‍රේ එක අරන් එන ගමන් නිමාලි කිව්වේ හිනා වෙවී.

පාරම්පරික ඉඩම්, ඉඩම් නඩුවකින් බෙදිලා වෙන් කලාට පස්සේ, මේ පැත්තේ ගෙවල් වලට එන්න වෙනම පාරක් දාන්න ඕන උනු වෙලාවේ ඉන්ග්‍රීසි නමක් දාන්න හොයද්දී මේ නම අහුවෙලා තියෙන්නේ.

"මචං මගේ කසින් කෙනෙක් ඉන්නෝ බන්, උන් මහ ගෙදරට වෙලා ලෝන් දදා පරන මහගේ කෑල්ල කෑල්ල රෙපෙයාර් කර කර හෙන වදයක් විඳින්නේ. අර මහත්තයට කියලා ඌටත් මේකෙන් ඉඩම් කෑල්ලක් අරන් දියන්කෝ, ලොකු උදව්වක්"

"මගේ නොම්මරේ දියන් කෝල් කරන්න කියලා. මම සෙට් කරලා දෙන්නම්" මහේෂ් කිව්වේ තව දන්න කියන එකෙක් අසල් වැසියෙක් වෙන එක කොයි තරම් දෙයක්ද කියලා හිතුනු නිසා.

"මෙන්න විසිටර් කෙනෙක් ඇවිත් උඹව හොයනවා" රිසිප්ෂන් එකේ කෝල් එකන් මහේෂ් ලොබියට යද්දී ඉඳගෙන උන්නු මනුස්සයා නැගිටලා ඇවිත්

"මහේෂ් ?"

"ඔව් ඔයා?"

"අහ් මම කුමාරගේ කසින් ජගත්, මචං ෆෝන් එකේ වොයිස් එක විදිහට මම හිතුවේ උඹ මැන්ටලයක් කියලා බන්"

"මූ මැන්ටලේ තමා" රිසිප්ෂනිට් මොනිටරේ බලාගෙන කියලා දැම්මේ.

ජගත් - සාරදා පවුලට ලස්සන ගෙයක් හදාගෙන කැක්ටස් ලේන් එකේ පදිංචියට එන්න වැඩි කල් ගියේ නෑ.

ආපු දා ඉඳන් ජගත් ගේ ට්‍රයි එක උගේ නෑදෑයෝ යාලුවෝ ඔක්කෝම ලේන් එකේ පදිංචි කරවා ගන්න.

"අනේ බන් අර ලේන් එකේ ඇතුලට වෙන්න තියෙන කෑල්ල අපේ ඔෆිස් එකේ සුදත්ට සෙට් කරලා දියන්කෝ, අර කන්ද උඩ කෑල්ල අජිත්ට සෙට් කරලා දියන්කෝ" මල වදේ.

"යකෝ මම ලෑන්ඩ් සේල් කාරයෙක් කියලා හිතුවද?" මහේෂ් හිනා වෙවී කියනවා.

"අනිත් උන්ට පස්සේ සෙට් කරලා දියන්. අපේ ඔෆිස් එකේ සීසී - පියතිලක මාමට නම් අර අර උඹලෑ ගෙටයි ජේන් ආච්චිගේ ගෙටයි මැද්දේ තියෙන කෑල්ල කොහොම හරි අරන් දීපන්."

"ඒ මොකෝ කොහොම හරි"

"බැඳලා අවුරුදු 12ක් ගිහිල්ලත් තාම ළමයි නෑ කියලා නැන්දම්මා වදේ ගහනවලු බන්"

"නැන්දම්මගේ අහ යන්නේ නැතුව ඉන්න කියහන්"

"එහෙම කොහේ කරන්නද බන් උනුත් අපි ඉස්සර උන්නා වගේ මහගෙදරම කෑල්ලක් වෙන් කරගෙන ඉන්නේ"

ජගත්ලගේ ඔෆිස් එකේ උන් පියතිලක මාමා කිව්වට පොරට ලොකු වයසක් නෑ ඕන නම් ජගත්ට – මහේෂ්ට වඩා අවුරුදු 5ක් වැඩිමල් ඇති.

පියතිලක මාමලා කැක්ටස් ලේන් එකේ පදිංචි වෙලා අවුරුද්දක් යන්න කලින් තමා ලස්සන කෙලි පැංන්චියෙක් පවුලට එකතු උනේ. ඊලඟ අවුරුද්දේ තව කෙල්ලෙක්.

"ලේන් එකේ වාසනාව බලහන්කෝ" හැමෝම කිව්වේ පුදුම සංතෝසෙකින්.

ඒ කාලේ ඉඳන් අවුරුදු 10ක් 12ක් යන කම් මාසෙකට දවසක් වත් ගෙදරින් ගෙදරට  පාර්ටි. ඒ නැති නම් ට්‍රිප්.

“මේ පියතිලකයාට කවදාවත් වෙලාවට එන්න බෑ නේ අප්පා” ට්‍රිප් එකක් යන්න සෙට් වෙලා, කතා කර ගත්තු රෝසා බස් එක මහේෂ්ලගේ ගේ ඉස්සරහා නවත්වන් ඉන්නැද්දී අතින් කටින් බඩු මලු උස්සන් එන පියතිලකට මහේෂ් කියන්නේ හිනා වෙවී.

“අඩෝ එහෙම කියන්න එපා. ඔෆිස් එකේදි හවස 5ට කර කර හිටිය වැඩ ඉවර උනා නැතා “සුද්දෝ වගේ වෙලාවට වැඩ කරන්න ඕන පුතාලා” කියලා ෆයිල් ටික වහලා ඕෆ් වෙන මනුස්සයා හරිය” කියලා ජගත් තව අවුස්සනවා.

“අපේ සෙට් එක හරියට කැළනි පාලම නාට්ටියේ උන් වගේ බන්” පියතිලක මාමා වෙලාවකට හිනා වෙනවා.

“ඒ මොකො අයියේ – අපි ඒතරම් අනාථයෝද” සාරදා අහන්නේ බොරු කුතුහලේකින්.

“නෑ ඕයි, කරපිංචා නැට්ටක් දියන්කෝ බන් කියායගෙන එකෙක් කාගේ හරි ගේකට සෙට් වෙන්නේ. අන්තිමේදි අනිත් උන්ටත් එන්න කියලා, උයා පිහාගෙන කාලා, පැය ගානක් බයිලා ගහ ගහා ඉඳලා , කරපිංචා නැට්ට විතරක් ඉල්ලගන්නේ නැතුව පාන්දර ජාමේ ගෙවල් වලට යන්නේ”

ලේන් එකේ පටන් ගන්න තැන වම් පැත්තේ දෙවෙනි ගෙදර එකම කෙල්ල කාන්ති ටයිපින් ක්ලාස් යන්න ගත්තට පස්සේ සෙට් උනු කොල්ලෙක් එක්ක පැනලා ගියා. ඒ දුකට කාන්තිගේ තාත්තා හර්බර්ට් අන්කල් පපුවේ අමාරුව හැදිලා මලා. මල ගෙදරදී “අයියෝ මම තනිවුනා දෙයියනේ” කියලා වැලහින්නි වගේ අඬපු කුසුමා ඇන්ටි තුන්මාසේ දානේ දෙන්න කලින් ඩුබායි ගියේ බ්‍රෝකර් කෙනෙක් හොයලා දුන්නු පවුලකට ගේ කුලියට දීලා.

ඔන්න ඔහොමයි සුදුනෝනක්කලා කැක්ටස් ලේන් එකට ආවේ.

ශාන්ත අයියා වැටඩ යද්දී “ගිහින් එන්නම් සුදු නෝනේ” කිව්ව එක ඇහිලද, නැතිනම් කිරි සුදු පාටටත්, මල් වට්ටිය වගේ වගේ පේ වෙලා වැට අයිනට වෙලා පාරේ යන එන හැමෝම එක්කයි කතා කරන නිසා ආදරේටමද මන්දා ලේන් එකේ කොල්ලෝ සුදුනෝන්නකා කියලා නම දැම්මේ.

ගෑනු පිරිමි කියලා බේදයක් නෑ “නංගියේ පොලේ යනවැයි” කියලා පන් මල්ල එල්ලන් පොලේ යන ගෑනුන්ගෙනුයි, “කන්තෝරු යන ගමන්ද මල්ලියේ” කියලා ඔෆිස් යන පිරිමින්ගෙනුයි උනත් සුදු නෝනක්කා අහනවා කට පුරා හිනාවෙලා.

“අනේ හරී සීදේවි මනුස්සයා” කියලා මහේෂුයි නිමාලියි ගෙදරදි කතා වෙනවා.

ඒත් ඒක සීදේවි  බෝම්බයක් කියලා තේරුම් ගන්න වැඩි කල් ගියේ නෑ.

මහේෂුයි නිමාලියි දෙල්කඳ පොලේ ගිහින් හංදියෙන් බස් එකෙන් බැහැලා, අතින් කලින් බඩු මලු උස්සන් එන දවසක වැට අයිනේ උන්නු සුදු නෝනක්කා බලෙන්ම කතාවට අල්ල ගත්තා.

“අනේ හරී මහන්සි පාටයි, එන්න එන්න ෆ්‍රිජ් එකේ මම උදේ හදපු නාරං ඩ්‍රින්ක් එකක් තියෙනවා, උගුරක් බීල ඉමු” කියලා නිමාලිගේ බෑග් දෙකක් උදුර ගත්තේ බලෙන් වගේ.

හිස් කරපු වීදුරු දෙක තියන්න හම්බ උනේ නෑ “අර ගොල්ලොන්ගේ හිතේ තරහ නැතුව ඔයාලටත් එයාලගේ කාර් එකේ පොලේ එන්න කිව්ව නම් මේ තරම් මහන්සියක් නෑ නේ අනේ ඔයාලට” කියලා කියද්දී මහේෂුයි නිමාලියි මූනට මූන බලා ගත්තා.

“අර ගොල්ලෝ කිව්වේ” කියලා ඇහුවේ දෙන්නම එකට

“වෙන කවුද අනේ – ජගතුයි සාරදායි” ආරූඩ කර ගත්තු හිනාවකින් සුදු නෝනක්කා කිව්වේ.

“එයාලගේ හිතේ අපි ගැන තරහා ඇයි වදේ. අපි අවුරුදු ගානක් පරන හොඳ යාලුවෝනේ”

“ඒ ඔයාලා හිතාගෙන ඉන්න හැටි, උන් ඔයාලට හරි ඉරිසියයත් එක්ක”

“යකඩෝ හරි වැඩක් නේ, ලස්සනට ගෙවල් දොරවල් හදාගෙන, වාහනේකුත් අරගෙන ඉන්න එයාලා අපිට ඉරිසියා කරන්නේ නෑ අක්කේ”

“මම ඉතින් මේ හිතවත් කමට කියන්නේ, ඔයාලට කියන්න, ඔයාලෑ දූ සුදුයි එයාලෑ ළමයි 3දෙනාම තලේලුයි කියලත් ඉරිසියයි. මම ඒත් සාරදාට කිව්ව ඉතින් ඔයාට සුදු කෙනෙක්ව බඳින්න තිබ්බනේ කියලත්”

“අනේ අප්පේ මේ වගේ විහිළු. පොත්ත සුදට උන්නට අපේ එකී වගේද ඒ ළමයි? කොයි තරම් හොඳට ඉගෙන ගන්නවද! බාහිර වැඩටත් ඒ වගේම දස්සයි”

“හැමදාම ඔයාලගේ ගෙදර ජෝගි නටනවා - මල සමයන් කිය කිය හිනා වෙනවත් එක්ක අයියෝ”

“අනේ අක්කේ මේහ්” කියලා මහේෂ් කියද්දීම

“පරක්කු උනා, ගෙදර ගිහින් උයන්නත් ඕන. ඇපි ගිහින් එන්නම් අක්කේ” කියලා නිමාලි බෑග් ටික උස්ස ගත්තා.

“මගේ අම්මෝ ජම්බු ගෙඩිය වගේ උන්නට මේක නම් ක්ලේමෝ බෝම්බයක්” මහේෂ් කිව්වේ හිනා වෙවී.

“අපිට ඔහොම කිව්වට දැනටම සාරදාට කියලද දන්නේ නෑ එයාලා අපිට කිව්වයි කිව්ව ජාති ටිකම අපි සාරදාලට කිව්වයි කියලා”

නිමාලි ආපහු ටිකක් කල්පනා කර කර ඉඳලා “හැබෑවටම එහෙම වෙන්නත් පුලුවන් තමා. ඉස්සරහා ගෙදර චිත්‍රා මාත් එක්ක කිව්ව කතාවක් නිසා මට එහෙම හිතෙනවා"

“ඒ මොකද්ද?”

“ලඟදී ඉඳන් පියතිලක අයියලා චිත්‍රලගේ මූන බලන්නේ නෑලු.”

“ඒකට සුදු නෝනක්කා මොනා කරන්නද ඒයි”

“චිත්‍රලගේ ගෙදරට එන අර ජෝඩු දෙක ඉන්නේ. දවසක් එක ජෝඩුවක් එනව දැකලා පියතිලක අයියා අනිත් ජෝඩුවට කියලලු “අන්න උඹලා නැතුව අරුන් පාර්ටි දානවා” කියලා”

“ඉතින්”

“සුදු නෝනක්කා එක්ක කතා කර කර ඉන්න වෙලාවක ඕක චිත්‍රට කියවිලා”

“නෑහ්”

“නෑ නෙමේ ඔව්, සුදු නෝනක්කා පැනලා කිවලු අපෝ ඔය පියතිලකයා හරි කේලමා කියලා”

“හඃ හඃ හා . . ශුවර් එකට සුදු නෝනක්කා ඕක පියතිලකට කියන්න ඇති චිත්‍රා පියතිලකට කේලමා කිව්වා කියලා. . හඃ හඃ හා”

තාමත් ඉස්සර වගේ කැක්ටස් ලේන් එකේ මල් පිපෙනවා. ගෙඩි හැදෙනවා. ගෑනු - මිනිස්සු පොලේ යනවා. රස්සාවල් වලට යනවා. සුදු නෝනක්කා වැට ලඟට වෙලා නංගියේ, මල්ලියේ, නැන්දේ, මාමේ කියලා කට පුරා හිනා වෙලා හැමෝම එක්ක කතා කරනවා.

ඒත් අවුදු ගානක් හිතවත්කමින් උන්නු පවුල් එක එකාගේ මූනුවල් බලන්නේ නැති ගානට තරහා කාරයෝ වෙලා.

වෙන අය එක්ක හිනා වෙවී උන්නත් අර පරන යාලු පවුල් දැක්කාම ඔරෝගෙන අහක බලනවා.

හරියට සිරිමා බන්ඩාරණායක අගමැති වෙලා උන්නු කාලේ ලංකාවේ පවත්වපු පොදු රාජ්‍ය මන්ඩල සමුලුවේදි පිට රටවල උන් එක්ක හිනා වෙවී ඉන්න ගමන් මේ රටේ එකෙක් දැක්කහම බුම්ම ගන්නවා වගේ . . !

Monday, June 12, 2017

ඇඳලා කල් ගිය රෙදි වැරලි . . . නෑ මට වාවන්නේ . . !


සමහර සිංදු හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරනවා කියනවා.

ඒත් අපිට සමහර වෙලාවට ඒක හරියටම තේරුම් ගන්න අමාරුයි කොයි විදිහටද ඒ සපර්ශය වෙන්නේ කියන දේ.

සමහරවිට අඬන්න හෝ හිනාවෙන්න බැරි උනු සමහර සිදුවීම් දිහා ආපහු බලද්දී දැනෙන වේදනාව හෝ අමුතු හැඟීම වෙන්න බැරිද?

මම හිතන්නේ ඒක හරියට . . .

ගොළු හදවත පොතේ සුගත් වීරසේකර එයාගේ දෙමව්පියෝ නැති බව හිනාවකින් කියද්දී ඒක අහලා කම්පනයට පත් උනු දම්මිට අඬන්න බැරි උනා වගේ දෙයක් ?

මාලනී බුලත්සිංහලගේ "රජ මැදුරක ඉපදී සිටියානම්" ගීතයේ කොටස් ඇහෙද්දී සිතේ මැවෙන අපූරු චිත්තරූප වලින් මැවෙන දේවල් දිහා ප්‍රේක්ෂකයෙක්ගේ ඇසින් බලද්දී දැනෙන හැඟීම් වගේ දෙයක් ?

"පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ..."

ඒ කොටස ඇහෙද්දී මට පුලුවන් පෙරහැර කාලෙට කෝට්ටේ රජමහ විහාරයේ ඉස්සරහා පාරේ මැදට වෙන්න ඉස්සර තිබුනු වතුර මලේ ගැට්ටේ වාඩිවෙලා දෙපැත්තෙන් යන එන මිනිස්සු දිහා බලන් ඉන්න ප්‍රේක්ෂකයෙක් වෙන්න.

පැට්‍රෝල් මැක්ස් වලින් හරි ජෙනරේටර් වල විදුලියෙන් එලිය උනු, පාර දෙපැත්තේ තොරොම්බල් කඩ වල සෙල්ලම් බඩු පාරේ යන එන පොඩි උන්ට අත වනනවා.

ඒ අතරින් පොඩි කොල්ලෙකුයි කෙල්ලෝ දෙන්නෙකුයි එයාලගේ අම්මලට දරන්න පුලුවන් උනු මුදලින් අරන් දුන්නු උක් පුරුක් ටිකක් සූප්පු කර කර යනවා,  යෞවන වයසේ ලස්සන කෙල්ලයි පොඩිම කෙල්ලයි අම්මගේ අත් දෙකේ එල්ලිලා, පොඩි කොල්ලා තාත්තගේ අතේ එල්ලිලා.

අර පුංචි ඇස් ලොකු ආයාසයෙන් ගන්නවා අර තොරොම්බල් කඩ වල එල්ලිලා අත වනන සෙල්ලම් බඩු දිහා දිහා නොබලා ඉන්න.

වතුර මල් පොන්ඩ් එකේ ගැට්ටේ ඉන්න ප්‍රේක්ෂකයාට හිතෙනවා "අනේ ඒ පොඩි උන් සෙල්ලම් බඩුවක් ඉල්ලලා පොලොවේ හැපි හැපී ඇඬුවා නම් කියලා"

"ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ."

ඒ කොටස ඇහෙද්දී මට පුලුවන් මධ්‍යම පාන්තික සාමාන්‍ය මිනිස්සු ජීවත්වෙන මාවතක් අද්දර පරන පහේ ගෙදරක ඉස්සරහා අඹ ගහක් පාමුල, පොඩි ලී කනු දෙකකට පිටපලුවක් ගහපු ලොවි බන්කුවක වාඩි වෙලා ඒ ගේ ඇතුලට එබෙන ප්‍රේක්ෂකයෙක් වෙන්න.

අර පෙරහැර පොළේ දැකපු පවුලම වගේ පේන්නේ.

පවුලේ තාත්තා දුර රැකියවකට ගිහින් ටික දවසකින් ඇවිත් නෑ වගේ හිතෙනවා.

පොඩි කොලුවා දුවලා ගිහින් මාවත කෙලවරේ සිල්ලර කඩෙන් පාන් ගෙඩියක් ගෙනත්.

ඒක හතරට කපලා පොල් සම්බෝල එක්ක ගිල දාලා පොඩි උන් ඉස්කෝලේ යන්න මිදුලට පනිනවා.

කොලු පැංචා සුදු ෂර්ට් එක නිල් කලිසමට උඩින් දාගෙන ඉන්නේ කලිසම ගෙවිලා හමගිහින් බව අනිත් අයට නොපෙනෙන්න වෙන්න ඇති.

"මට අලුත් කලිසමක් මහලා දෙනකම් ඉස්කෝලේ යන්න බෑ" කියලා ඇයි ඒ කොලුවා අම්මා එක්ක රන්ඩු නොකලේ? අර බන්කුවේ ඉන්න ප්‍රේක්ෂකයාට හිතෙනවා.

"රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ..."

අර ප්‍රේක්ෂකයා තාමත් අඹ ගහ පාමුල ලොවි බන්කුවේ වාඩිවෙලා අර පරන තාලේ කුලී ගෙදර දිහා බලන් ඉන්නේ. එතනින් නැගිටලා ගේ ඇතුලට යනවා දැන්.

සිංහල උළු හෙවිල්ලපු පරන තාලේ ටිකක් විසාලෙට පේන ගෙයක්

පඩි 4ක් 5ක් නැග්ග ගමන් ආවරණය නොකල ඉස්තෝප්පුවක්. වම් පැත්තේ ස්ටෝරු කාමරේ විදිහට පාවිච්චි කරන ඔෆිස් කාමරයක්.

ස්තෝප්පුවෙන් ඇතුල් උනාම සාලයක්. රතු පාටින් කුෂන් කරපු පුටු සෙට් එකක්. දකුනු පැත්තේ ජනේලේ ගාව කෑම මේසේයි පුටු 6යි.

දකුනු පැත්තේ කාමරයක්. නැදුන් ලීයෙන් හදපු පරන අල්මාරියක්, පොරවපු රෙද්ද පවා පිලිවෙලට තියෙන ඩබල් ඇඳක්. අර යෞවන වයසේ ලස්සන ළමස්සිගේ වෙන්න ඕන.

සාලේ ආරුක්කුවෙන් ගියාම තව කොටසක්. ඒකෙත් වම් කොනේ ඩබල් ඇඳක්. දකුනු පැත්තේ ටිකක් අඳුරු පොඩි කාමරයක්. ලොකු රෙදි ඉස්කිරිමක් තියෙන සින්ගල් ඇඳක් තියෙන, උසින් තියෙන ජනේලේ පාමුල පොත් තියපු පොඩි  මේසයක් තියෙන පොඩි කාමරයක්. අර කොලු පැංචන්ගේ. ප්‍රේක්ෂකයා අනුමාන කරනවා.

මැද කෑල්ලෙන් එහා කුස්සියට කලින් කොටසක්. ගෑස් ලිපක් මේසේ උඩ. වම් පැත්තේ එලියට යන්න දොර. දකුනු පැත්තේ දර ලිපක් තියෙන දුම්මැස්සක් තියෙන කුස්සියක්.

මහ වැස්සක් කඩන් වැටෙනවා.

වහලේ තැන් 5-6කින්ම වතුර බේරෙනවා.

සිංහල උනු හෙවිල්ලපු වහලේ ගෙවල් අයිති කාරයෝ කාලෙකින් රෙපෙයාර් කරලා නැද්ද කොහේද?

"අක්කේ මගේ පොත් මේසේ අල්ලන්න එන්ඩෝ, මේන් මෙතනත් තෙමෙනෝ" පොඩි කොලුවා කාමරේ ඉඳන් කෑ ගහනවා.

අම්මයි ළමයි ටිකයි තරඟෙට කුස්සියට දුව දුවා බාල්දි බේසම් විතක් නෙමේ ඇලුමිනියම් කොරස් මැටි ඇතිලි පවා තියෙනවා වතුර වැටෙන තැන් වලට.

ඒ තරඟේ ඉවර උනු ගමන් පොඩි උන් දෙන්නා මිදුලට බැහැලා මහ පීල්ලෙන් වැටෙන වතුර පාරට ඔලුව අල්ලනවා.

ඉස්තොප්පුවේ පුටුවක ඉඳන් පොඩි උන් දෙන්නා දිහා බලන් ඉන්න අර යෞවන වයේ දැරිවිගේ ඇස් වල ඇත්තේ වේදනාවක්ද?

පොඩි උන් දෙන්නට ඒක තේරුම් ගන්න බෑ. උන් වැස්සේ එක එකා තල්ලු කරමින් පීල්ලට ඔලුව අල්ලනවා.

ඒ සිදුවීම දුක් වෙන්න ඕන එකක්ද සතුටු වෙන්න ඕන එකක්ද?

අර ප්‍රේක්ෂකයාගේ හදවතේ ගැඹුරුම තැනින් ප්‍රශනයක් ඇහෙනවා.

අන්න එහෙම වෙන්න ඕන සමහර ගීත හදවතේ ගැඹුරුම් තැන් ස්පර්ෂ කරන්නේ.



රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ...

පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

රජ මැදුරක...//

ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

රජ මැදුරක...//

ගායනය : විශාරද මාලනී බුලත්සිංහල
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : එච්. එම්. ජයවර්ධන

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails