UAE Sri Lankans Events

Wednesday, August 24, 2016

මේ අපේ අම්මාය . !


කොතෙක් කියවීද කියවා නිමකළ නොහී කවියක් බඳු, කෙතෙක් නම් ලිව්වද ලියා නිම කල නොහැකි රචනාවක් බඳු කොටින්ම කොතෙක් සිතුවද සිතා නිම කල නොහැකි යමක් වේද ඒ නම් අම්මා මිස වෙන කිසිවක් නොවේ.

අව්වට වේලී පාට පිච්චුනු එකම චීත්තයක් සහ අවපැහැ ගැන්වුණු හැට්ටයක් ඇඳ නෙරියේ ගොටුකොළ පෙනෙල පලා සමඟින් අල්ලේ වෙරළු අහුරක්ද රඳවාගෙන හිසින් බර දරමිටියක් ඔසවාගෙන එන්නී අම්මාය.

ටයිට් ස්කර්ට් එකක් සහ පාටැති බ්ලව්ස් එකක් ඇඳ හයි හීල්ස් දෙකක් දාගෙන ලිප්ස්ටික් ගා දෙතොල්ද කියුටෙක්ස් ගා නියද ෆවුන්ඩේෂන් ගා මුහුණද පාටකර අයිෆෝනය අතකින් දරා පාටැති හෑන්බෑගයද සමඟින් කැට් වෝක් ගමනින් එන්නී වුවද මවක් නම් ඇයද අම්මාය.

කලින් සඳහන් කල අම්මාගේත් ඒ අම්මාගේත් වටිනාකම් සසඳන කල කිසිදු අඩුවක් නොවේ. අම්මා නම් අම්මාය.

නන්දා මාලනිය ගයන සේ කළුවර රෑ අහස ආලොකමත් කරන පසළොස්වක සඳක් මෙන් අපේ දිවිය එකලු කරන්නී ඇයයි. ජීවන සුවය සදන්නී ඇයයි.

වික්ටර් රත්නායකයන් ගයන සේ මහලුව මියෙන මොහොතක වුවද සිහිනෙන් ගෑ කිරි සුවඳක් මෙන් දැනෙන්නේ ආදරයේ උල්පත වූ ඇගේ ආදරයයි, දයාවයි.

දරුවන් තනන්නට පමණක් නොව දරුවන්ගේ දරුවන් පවා තනන්නට මහාපොළොව සේ දුක්ගිනි උහුලන්නී ඇයයි.

සියලු දුක්ඛ දෝමනස්සයන් සිතින් දරා සිත පතුලේ සඟවා දරුවන්ට සිනා මුහුණක් පෙන්වා සිනා නගන්නී ඇයයි.

කෑමට ඇත්තේ පීට්සාද බත්ද කුමක් වුවත් දරුවන්ට දිය හැකි හොඳම දෙයක් දී වලඳේ දංකුඩ බුදින්නී ඇයයි, පීට්සා වාටි අහුලන්නී ඇයයි.
_________________________

මාස කීපයකට පෙර මුහුණු පොතේ සරන විටෙක ගතේ හීගඩු නංවන්න සමත් අම්මා ගැන කවියක් ඇස ගැටුනේ අහම්බෙන්.

ගල්ලැහැ පන්මිටිය හුම්මේ ඔසවාන
නියරේ මාව වත්තන් කොට අල්ලාන
පිම්මේ ආපු හැටි මට මතකයි තාම
අම්මේ ඔත්පොලයි මගේ හිත හොඳටෝම

පැදුරු ආණ යටලීයේ ඔරවාන
මකුළු දැල් රටා උහුලයි කරබාන
වියපු පන් රටා පරණයි නුඹ සේම
වාටි ලිහීලා දිවියට නොදැනීම

පෑළ ආකහේ පඬු ඇඳලා මන්ද
මූණ සේම නුඹ වරුවක් ඉකි බින්ද
හීත දුරුත්තෙත් උණු කඳුලැලි මන්ද
පේන දුරක නිවනක් තාමත් නැද්ද?

මගේ දරුවන්ගේ අම්මා, අම්මාවරුන් වූ මගේ සොයුරියන්, මිතුරියන්, හිතවතියන්, ඥාතී සොයුරියන් කොටින්ම මගේ අම්මාද, නැන්දම්මාද ඇතුලු වර්ථමාන අම්මලා බොහෝ දෙනෙක් ඒ කවියේ විස්තර කරන පරිසරයක ජීවත් නොවෙනවා වුනත් අම්මලා සැමට ඒ කවියේ සඳහන් කරන කාරනා අදාලයි නේද කියා සිතුනා ඒ නිමේෂයේම.
_________________________

//ගල්ලැහැ පන්මිටිය හුම්මේ ඔසවාන
නියරේ මාව වත්තන් කොට අල්ලාන//

දරුවන්ගේ ටැබ්ලට් පීසී, ඒවායේ චාජර්, බෙහෙත්, කෑම, වතුර බෝතල්, හුළං පුරවන බෙල්ලට තබන කොට්ට, අදී සියලු සබ්බ සකලමනාව පුරවා ගත් හෑන්ඩ්බෑග් එකකත් සැමියාගේ ජීවන අරගලයට උරදෙන්න පැදුරක් වට්ටියක් වියන්න කියා එකතු කරගත් ගල්ලැහැ පන් මිටියේත් වෙනසක් ඇද්ද?

ශොපින් මෝල් එකක, මහ පාරක වේවා අත අත නෑර දරුවෝ වත්තම් කරගෙන සිටීමත් මඩ පිරුණු පටු නියරේ කුඹුරට වැටෙන්න නොදී වත්තම් කරගෙන සිටීමත් එකම නොවේද?
________________
එදාත් අදත් වෙනසක් නොමැත. තටු ලැබුණු, තටු සවිමත් වුණු කුරුළු පැටවුන් කැදැලි හැරදා පියඹා යයි.

එතැන් පටන් ඔවුන් තමන්ගේ ජීවන අරගලය සමඟ පොරබදමින් සිටිද්දී කුඩා කල ඔවුන් වෙනුවෙන් මුලු ජීවිතයම කැප කල අම්මා තාත්තා ඉඳහිටක හෝ මඟ හැරෙන්න ඉඩක් නැතිවෙයිද?

//පිම්මේ ආපු හැටි මට මතකයි තාම
අම්මේ ඔත්පොලයි මගේ හිත හොඳටෝම//

ජීවන අරගලය සමඟින් පොරබදමින් පිම්මේ දුවන ඔබට කවදා හෝ ආපසු හැරී බලන්න සිදුවෙනවා සත්තයි. එදාට ඒ මඟ හැරුණු යුතුකම් සිහිවී හිත ඔත්පලවීම කෙසේ නම් වලකාලන්නද?

සැබෑ ජීවන අරගයල පසෙකලා අනෙකාට නැති දේවල් අයිති කරගැනීමේ තරඟයක දුවන අය බොහෝ වෙත්. සතුට ඇත්තේ භෞතික දේවල් වැඩි වැඩියෙන් අත්පත් කරගන්න තරමටයි, නිවසේ තට්ටු ගාන වැඩි වෙන තරමටයි, ගරාජ් එකේ නවතා තිබෙන වාහන ප්‍රමානය වැඩි වෙන තරමටයි සිතා නොනවතින රේස් එකක දිවා රෑ පිම්මේ දුවන්නෝ නොවෙත්ද?

සැබෑ සතුට ඔවුන් පිටුපස සාක්කුවේ සඟවාගෙන සතුට කෝ කෝ කියා ඉබාගාතේ දුවන්නේ දුබල දෙමාපියන්ගේ දුක සැප බැලුවා නොබැලුවා කෙසේ වෙතත් මුනුබුරු මිනිබිරියන්ගේ බරත් අම්මාගේ උරේ එල්ලා වීම කෙතරම් ඛේදවාචකයක්ද?
___________________

//පෑළ ආකහේ පඬු ඇඳලා මන්ද
මූණ සේම නුඹ වරුවක් ඉකි බින්ද
හීත දුරුත්තෙත් උණු කඳුලැලි මන්ද
පේන දුරක නිවනක් තාමත් නැද්ද//

නමුත් දරුවන්ගේ සතුට වෙනුවෙන් මුනුබුරු මිනිබිරියන්ගේ අත්තම්මා නොව සැබෑ අම්මා වන ඇයගේ වරුවක් ලෝකෙට හොරා ඉකිබිඳ පෑල දොහේ පඬු පැහැ ආකාසේ මෙන් සෝකෙන් බර වත දකින්නේ කවුරුන්ද? කවදාද? පිම්මේ දුවන රේස් එකේදි ඇගේ තෙහෙට්ටුව ශෝකය ගැන කනගාටුවෙන්න කාලයක් කොයින්ද?

මහාපොළොව සේ සියලු දේ උහුලන ඇයට නිවනක් පේන දුරක නැත.
___________________________

//පැදුරු ආණ යටලීයේ ඔරවාන
මකුළු දැල් රටා උහුලයි කරබාන
වියපු පන් රටා පරණයි නුඹ සේම
වාටි ලිහීලා දිවියට නොදැනීම//

ශිෂ්‍යත්ව පන්ති, අපොස සාපෙළ - උසස්පෙළ පන්ති, කැම්පස් - ටෙක්නිකල් කොලේජ් මේ සියල්ල ඇය අපි වෙනුවෙන් එදා ගෙත්තම් කල පැදුරු රටා සේය. පඩිපෙළේ එකින් එක නැගගොස් ලබාගත් දැනුම සහ සහතික කේවල් කොට දරුවෝ ඉහල රැකියාවලය.

බසයෙන් බසයට මාරුවෙවී ආරක්ෂාවට අතින් අල්ලාගෙන පන්තියක් පන්තියක් ගානේ ඈ රැගෙන ගිය මතකය අතීතයට එක්වූ මතකයක් පමණක්මය. ඒවා පැදුරු ආනක එල්ලී ඇති වාටි ලිහී ගිය රටා දැමූ පැදුරු මෙනි. ඒ මතකයන්ට තවමත් වටිනාකමක් ඇතිදැයි සොයා බලන්න වත් ඉසුඹුවක් නැත.
______________________________

මාස ගණනකට කලින් ඇසගැටුණු කිවියර නයනසේන වන්නිනායක විසින් රචිත මේ කවියේ පහළින් මෙය ගීතයක් ලෙස ශාස්ත්‍රපති ලක්මිණී උඩවත්තයන් ගේ ගායනයෙන් ලඟදීම එළිදක්වන බව දන්වා තිබුණා.

දන්වා තිබූ ලෙසින්ම ශාස්ත්‍රපති ලක්මිණී උඩවත්ත ගේ ළයාන්විත කටහඬින් ගායනා කරන ගීතයේ යූ ටියුබ් වීඩියෝව ඇයගේ මුහුණුපොතේ බෙදාගෙන තිබුණායින් අසන්න ලැබුණා.

කිවියර නයනසේන වන්නිනායක විසින් රචනාකොට, විශාරද දර්ශන වික්‍රමතුංග විසින් සංගීතවත් කොට සඳරු ගමගේ ගේ නාද ශික්ෂණය සමඟින් ශාස්ත්‍රපති ලක්මිණි උඩවත්ත විසින් ගයන ඒ කෙතරම් ගැයුවත් ගයා නිමකළ නොහැකි ගීතය - "මේ අපේ අම්මාය" ගීතය අසන්න ඔබ සියලු දෙනාට මා අරාධනා කරන්නේ කඳුළු පිසින්න ලේන්සුවක්ද රැගෙන එන්නයි සිහි කැඳවමින්.

33 comments:

  1. අනේ මන්දා මගේ පවුකාරකමද කොහෙද . මට උඹලට වගේ දැනෙන්නේ නැ

    ReplyDelete
    Replies
    1. උඹ තනි නැහැ මචං....

      Delete
    2. හැමෝටම එකම විදිහට දැනෙන්න ඕනමයි කියලා එකක් නෑනේ බන්ස්
      එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස්.
      ඒක පවුකාරකමක් කියන්නේ කොහොමද?

      Delete
  2. අම්මා ගැන ලියන හැම ලිපියකම පේලියකම මට ලස්සනක් පෙනෙනවා. අපේ අම්මා අපට පුංචි කාලේ එක එක සෙල්ලම් කියල දුන්න. දාම් අදින්න, අර නයාගේ බෝඩ් සෙල්ලම් කරන්න, කොටු කෑලි කලා දාල කම්බියෙන් හෙලවෙන්නේ නැතිව ගන්න. තව හුඟක් සෙල්ලම්. කොහෙන් ඉගෙන ගත්තද මන්ද. මම අකමැති වුන එකම දේ තමයි අම්මා අන්තිමට කන එක. තවමත් එහෙමයි. කොච්චර කිව්වත් ආපන ශාලාවකට හරි විනොද ගමනකදී හරි ඇරෙන්න ගෙදරදී හැම වෙලේම අපි කනකන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අපේ අම්මා නම් දැන් වයසට ගිහින් නිසා වෙලාවට බෙහෙත් බොන්න ඕන කමට අපි කෑවා නොකෑවා වෙලාවට කනවා.
      ඉස්සර නම් ඒ වගේ තමා. යකඩෝ ඔයාගේ අම්මා ඒ ක්‍රීඩා කොහෙන් හොයාගෙනද? සෑහෙන පොත් කියවන කෙනෙක් වෙන්න ඇති

      Delete
  3. පදයි ගායනයයි ඉතාම ලස්සනයි. අම්මා ගැන ලියවෙච්ච හොඳම ගීතයක්. අහන්න සැලැස්සුවාට පිං

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් අහම්බෙන් දවසක් ලැබුනේ පස්සේ බැලින්නම් එක්සත් අරාබි එමීරයේම ඉන්න දන්න කියන මහත්මයෙක් ලියලා තියෙන්නේ මෙහේ ජීවත් වෙන දන්න කියන ගායිකාවක්මයි ගයන්නෙත් . . !

      Delete
  4. සටහනත් අපූරුයි. මීට කලින් අහලා නැති ගීතයත් අපූරුයි. හිතට දැනෙන ගීයක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මේක අලුත් ගීයක්. තාම ලෝන්ච් කරලා වැඩි කාලයක් නෑ

      Delete
  5. මේක බෙදා ගත්තට දුකාට ස්තුතී.. ලස්සන පද සංකල්පනාව, ගැයුම...

    අම්මා මොන පරිසර තත්වයක හිටියත්, මොන සංස්කෘතියක සිටියත් අම්මා නම් අම්මාම ය.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒත් ඉතින් අපි තාම අම්මා කියලා සංස්කෘතිමය විදිහට දකින්න කැමති අර නෙරිය තියලා චීත්ත අඳින අම්මාව.

      Delete
  6. මේ ගීතය බෙදාගත්තාට පිං. සුන්දර පදවැලක් වගේම ලයාන්විත කටහඬක්. ස්තුතියි දුකා

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන් ඇත්තෙන්ම අපූරු පද පෙලක්. සංගීතය වගේම ලක්මිණිගේ වොයිස් එකත් නියමෙට රයිම් වෙනවා

      Delete
  7. Replies
    1. පාලි අයියා තැන්කූ ඈ

      Delete
  8. අපූරු ගීතයක් ... කලින් අහලා තිබුනෙ නෑ.. ස්තූතියි අපිත් එක්ක මේ ගීය බෙදා ගත්තට ...

    ReplyDelete
    Replies
    1. ඔව් මේක අලුත් ගීයක්. තාම ලෝන්ච් කරලා වැඩි කාලයක් නෑ

      Delete
  9. එද අම්මා සහ අද අම්මා සැසඳීම අපූරුයි... හැමෝම අම්මා කිව්වම පෙන්නන්නේ චීත්ත ඇඳ ගත්තු, පන් වට්ටි උස්සන් යන අයවනේ... අර අම්මලත් අම්මලා තමා....

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් අපි තාම අම්මා කියලා සංස්කෘතිමය විදිහට දකින්න කැමති අර නෙරිය තියලා චීත්ත අඳින අම්මාව. අනිත් අම්මලා දිහා ගොඩක් උන් බලන්නේ කෑල්ලක්, ගෙඩියක්, ඇන්ටි කෑල්ලක්, බඩුවක්ද දන්නේ නෑ වගේ වපර ඇහින්න්නේ බන්ස්

      Delete
  10. දැන් අම්මලා නෑ බං.... ඉන්නේ අම්මිලා... අනික දරුවෝ අම්මලා එක්ක පුදුම වෛරයකින් ඉන්නේ.. දරුවන්ට දරුවන් විදියට ඉන්න නොදෙන නිසා.. මේවා බයිලා..

    ReplyDelete
    Replies
    1. අපේ පරම්පරාවේ සමහර උනුත් අම්මලා එක්ක මලෙන් හිටියා බන්. දැන් ළමයින්ව අපිව වගේ අතෑරලා දාපු හරක් වගේ හදන්න බෑ නේ බන්. සමාජේ දරුනුයි. පාරේ සෙල්ලම් කරන්න බෑ වාහන වැඩී. අම්මලා ළමයි හිරකරගෙන. ළමයි අම්මලා එක්ක තරහින්. මොකෝ කරන්නේ ඉතින්

      Delete
  11. මීට කලින් අහලා නැ දුකා..ලක්මිණි මීට ගොඩක් කාලේකට ඉස්සර ගායනෙන් දායන උන "වැසි වසිනා අහස අපි " ගීතය තරන් මට ඇයගේ එක ගායනයක් වත් දැනෙන්නෙ නැ...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඇය ඒ ගීය ගැයුවේ පාසල් සිසුවියක් කාලේ. මට නම් ඇගේ හඬ ගොඩක් හොඳයි කියලා දැන්න්නේ.

      Delete
    2. ඇගේ හඬේ වරදක් නැ දුකා.. ඒ නිසා තමයි පාසල් කාලේ කිව්වත් ඒ ගීතය තාම හිතේ රැඳිලා තියෙන්නෙ.. පහළින් විචාරක කියන දේ තමයි මම අදහස් කලෙත්. හඬ හොඳ උනාටම අපේ හදවතට දැනෙන්නේ නැ.. එවැනි නිර්මාණ බිහි වෙන්න හැම අතින්ම ගැලපෙන්න ඕන මං හිතන්නේ..

      Delete
  12. ඔව් බං. අම්මලගෙ වර්ෂන් එකයි ෆෝර්මැට් එකයි වෙනස් වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඒත් අම්මා අම්මමයි. වැඩිය ඕන නෑ අපේ ළමයින්ගේ අම්මා ගන හිතුවාම බලහන්. අපිට එයාලා කරන දේවල් කරන්න තියා හිතනන් වත් පුලුවන්ද

      Delete
    2. මෙහෙම දේකුත් තියනවා දුකා.. මෙතන අපේ අම්මලා කරන ඔබ ඔබට බැ කියල කියන දේවල් පිට රටවල් වල පිරිමියා හරි අපූරුවට කරනවා. වෙන එකක් තියා අලුත උපන් දරු පැටියා නාවන්නෙත් තාත්තා.. මම මගේ පුතා එක්කන් ගිය බොහෝ "Play Group" වලට මාරුවෙන් මාරුවට අම්මයි තාත්තයි තමයි ලමයි එක්කන් එන්නේ. තාත්තත් අම්මා වගෙම අත දරුවත් බලාගෙන අනිත් වැඩිමල් දරුවත් බලාගෙන හරි අපුරුවට ඒ පැය කීපය ගත කරනවා. අත දරුවට දෙන කිරි එක හදන්නෙත් තාත්තා හරිම හුරුපුරුදු විදිහට , පොවන්නෙත් එහෙමයි, අම්මට call කර කර අහන්නේ නැ එකින් එක. මට හිතෙන්නේ අපේ රටේ තත්තලාට බැරි නෙමේ.. හුරු නැ.. හුරු කරන්නේ නැ.. හුරු කරන පරිසරයක් හැදිලා නැ... ඒ අතින් බලන කොට ලංකාවේ ගැහැනිය,අම්මා විඳින්නේ අපා දුකක් වගේම විඳිය යුතු නැති දුකක් කියලා මට හිතෙනවා...

      Delete
  13. සිව්පද විරිතෙන් ලියනලද කවි නිසා, ගීතමය රිද්මයක් ඇතිකිරීම තරමක් අමාරුයි. ඇත්තෙන්ම ගීතය ගායනා කෙරෙන්නේ, සිව්පද කියන ආකාරයට ඉතා ආසන්නව නිසා, ගීතයක තිබිය යුතු ස්වර පරාස අතර මාරුවීම අතිශයින් සීමා වී තිබෙනවා. දක්‍ෂ සංගීතඥයකු අතට පත්වුනා නම්, මේ පදමාලාවේ යම් යම් වෙනස්කම් කොට, මීටවඩා ගීතමය ලක්ෂණ වැඩි කරන්නට ඉඩ තිබුණා.

    අද ඉන්න අම්මලාගෙන් බහුතරයක්, එදා අම්මලාට සමකරන්න අමාරුයි. ඒ අම්මලා ලෝකය සහ ජීවිතය ඉගෙනගත්තේ, පාසල් අධ්‍යාපනයෙන් හෝ, අමතර පන්තිවලින් නොවෙයි. ජීවිතය සමග ගැටීමෙන්, පාරම්පරිකව සම්ප්‍රේෂණය වන ඥානය ග්‍රහණය කරගැනීමෙන් සහ පරිසරය තුලින්.

    ඔවුන් සංස්කෘතික ලක්ෂණ තුලින් ලද ගැඹුරු ශික්ෂණයක් පවත්වාගත් අතර එය වෙනස්වුනේ හෝ බලපෑම් මගින් වෙනස් කල නොහැකි තත්වයක තිබුණා. උදාහරණයක් වශයෙන්, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් රටාව සහ ආහාර රටාව නවීන ලෝකය සමග වෙනස්වුනේ නැහැ.

    අද ඉන්න අම්මලා වේගයෙන් වෙනස් වෙනවා. එය අද පරිසරය තුලින් ඔවුන්ට ඇතිකරන දැඩි බලපෑම් වල ප්‍රතිඵලයක්. එදා අම්මලා ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්, වත්තේ පිටියේ වැඩ, ආගම ධර්මයේ හෝ පිං අතේ වැඩ, මහ කප්පරක් කරන ගමන්, ළමයි හත අටකුත් වැදුවා හැදුවා. ඔවුන්ට මග පෙන්නුවා. ඔවුන් උස්මහත් කොට ආවාහ විවාහ කරදුන්නා. ඉස්කෝලෙට පන්සලට තනියම යැව්වා.

    නමුත් අද ඉන්න අම්මලා, අර බරමල්ල ඔසවාගෙන, මග දිගටත් ළමයින්ට කෑම ගිල්ලවමින් දඟලන්නේ, අද ලෝකය එකම අභියෝගයක් වීම, තරගකාරිත්වයෙන් නොවැටී සිටින්නට (සමහරවිට බොරු මහත්නත්වය අටවාගන්නට) දරන උත්සාහය, සහ අද සමාජයෙන් නිරතුරුව දරුවන්ට එල්ලවන විවිධ ආපදාවලින්, ඔවුන්ව ගලවාගැනීමේ මුරකාරයාගේ රාජකාරිය කරන්නටයි.

    සාරිය අතහැර සාය හැට්ට වලට බැසගත් අම්මලා, අද කලිසම ගලවන්නේ හවසගෙදර ආවාමයි. කාලය අනුව එසේවීම පුදුමයක් නෙවෙයි.

    නමුත් මේ ගීතයේ කියන අම්මලා කළුගල් වගේ. නිශ්චලයි, ස්ථාවරයි, වෙනස් නොවනසුළුයි. මහ ගස් වගේ. හැමටම සෙවන දෙනවා. සමාජයෙන් හමන සැඩ සුළඟින් නොසැලෙන මහා වනස්පතීන් ලෙස සිටියේ, සංස්කෘතික අතින් ඉහල, සාරධර්ම නමැති මූල පද්ධතියක් තිබුන නිසා.

    ReplyDelete
  14. සාරිය ඇන්දත්, රෙද්ද හැට්ටෙ ඇන්දත් , ඩෙනිම ඇන්දත් දරුවෙක් වදන්න විළිරුදාව දරන්නෙ අම්මා විතරමයි. ලේ කිරි කර පොවන්නෙත් අම්මා විතරමයි.

    ReplyDelete
  15. හරිම වටිනා වචන ටික . අගේට ගලපල . ස්තුතියි තරු .

    ReplyDelete
  16. අම්මා කියන්නෙ අම්මාම තමා.. ඒත් සමහරුන් අම්මා කියන වචනෙට හරිම තේරුමක් දෙන්න අසමත් වෙනවා.ඒක නම් හරිම කණගාටුදායකයි.බාහිරින් කොහොම පෙනුමක් තිබුණත් අභ්‍යන්තරය මව්වත් කරගැනීමනෙ වැදගත්..

    ලක්මිණී උඩවත්ත කියන්නෙ තරුණ පරම්පරාවෙ තියෙන ප්‍රබල ම කටහඬක්.ඇගේ ජීවිතය දැනෙයි-ගී පද ලියැවෙයි මෙබඳුම අපූරු ගීතයක්..

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails