කොතෙක් කියවීද කියවා නිමකළ නොහී කවියක් බඳු, කෙතෙක් නම් ලිව්වද ලියා නිම කල නොහැකි රචනාවක් බඳු කොටින්ම කොතෙක් සිතුවද සිතා නිම කල නොහැකි යමක් වේද ඒ නම් අම්මා මිස වෙන කිසිවක් නොවේ.
අව්වට වේලී පාට පිච්චුනු එකම චීත්තයක් සහ අවපැහැ ගැන්වුණු හැට්ටයක් ඇඳ නෙරියේ ගොටුකොළ පෙනෙල පලා සමඟින් අල්ලේ වෙරළු අහුරක්ද රඳවාගෙන හිසින් බර දරමිටියක් ඔසවාගෙන එන්නී අම්මාය.
ටයිට් ස්කර්ට් එකක් සහ පාටැති බ්ලව්ස් එකක් ඇඳ හයි හීල්ස් දෙකක් දාගෙන ලිප්ස්ටික් ගා දෙතොල්ද කියුටෙක්ස් ගා නියද ෆවුන්ඩේෂන් ගා මුහුණද පාටකර අයිෆෝනය අතකින් දරා පාටැති හෑන්බෑගයද සමඟින් කැට් වෝක් ගමනින් එන්නී වුවද මවක් නම් ඇයද අම්මාය.
කලින් සඳහන් කල අම්මාගේත් ඒ අම්මාගේත් වටිනාකම් සසඳන කල කිසිදු අඩුවක් නොවේ. අම්මා නම් අම්මාය.
නන්දා මාලනිය ගයන සේ කළුවර රෑ අහස ආලොකමත් කරන පසළොස්වක සඳක් මෙන් අපේ දිවිය එකලු කරන්නී ඇයයි. ජීවන සුවය සදන්නී ඇයයි.
වික්ටර් රත්නායකයන් ගයන සේ මහලුව මියෙන මොහොතක වුවද සිහිනෙන් ගෑ කිරි සුවඳක් මෙන් දැනෙන්නේ ආදරයේ උල්පත වූ ඇගේ ආදරයයි, දයාවයි.
දරුවන් තනන්නට පමණක් නොව දරුවන්ගේ දරුවන් පවා තනන්නට මහාපොළොව සේ දුක්ගිනි උහුලන්නී ඇයයි.
සියලු දුක්ඛ දෝමනස්සයන් සිතින් දරා සිත පතුලේ සඟවා දරුවන්ට සිනා මුහුණක් පෙන්වා සිනා නගන්නී ඇයයි.
කෑමට ඇත්තේ පීට්සාද බත්ද කුමක් වුවත් දරුවන්ට දිය හැකි හොඳම දෙයක් දී වලඳේ දංකුඩ බුදින්නී ඇයයි, පීට්සා වාටි අහුලන්නී ඇයයි.
_________________________
මාස කීපයකට පෙර මුහුණු පොතේ සරන විටෙක ගතේ හීගඩු නංවන්න සමත් අම්මා ගැන කවියක් ඇස ගැටුනේ අහම්බෙන්.
ගල්ලැහැ පන්මිටිය හුම්මේ ඔසවාන
නියරේ මාව වත්තන් කොට අල්ලාන
පිම්මේ ආපු හැටි මට මතකයි තාම
අම්මේ ඔත්පොලයි මගේ හිත හොඳටෝම
පැදුරු ආණ යටලීයේ ඔරවාන
මකුළු දැල් රටා උහුලයි කරබාන
වියපු පන් රටා පරණයි නුඹ සේම
වාටි ලිහීලා දිවියට නොදැනීම
පෑළ ආකහේ පඬු ඇඳලා මන්ද
මූණ සේම නුඹ වරුවක් ඉකි බින්ද
හීත දුරුත්තෙත් උණු කඳුලැලි මන්ද
පේන දුරක නිවනක් තාමත් නැද්ද?
මගේ දරුවන්ගේ අම්මා, අම්මාවරුන් වූ මගේ සොයුරියන්, මිතුරියන්, හිතවතියන්, ඥාතී සොයුරියන් කොටින්ම මගේ අම්මාද, නැන්දම්මාද ඇතුලු වර්ථමාන අම්මලා බොහෝ දෙනෙක් ඒ කවියේ විස්තර කරන පරිසරයක ජීවත් නොවෙනවා වුනත් අම්මලා සැමට ඒ කවියේ සඳහන් කරන කාරනා අදාලයි නේද කියා සිතුනා ඒ නිමේෂයේම.
_________________________
//ගල්ලැහැ පන්මිටිය හුම්මේ ඔසවාන
නියරේ මාව වත්තන් කොට අල්ලාන//
දරුවන්ගේ ටැබ්ලට් පීසී, ඒවායේ චාජර්, බෙහෙත්, කෑම, වතුර බෝතල්, හුළං පුරවන බෙල්ලට තබන කොට්ට, අදී සියලු සබ්බ සකලමනාව පුරවා ගත් හෑන්ඩ්බෑග් එකකත් සැමියාගේ ජීවන අරගලයට උරදෙන්න පැදුරක් වට්ටියක් වියන්න කියා එකතු කරගත් ගල්ලැහැ පන් මිටියේත් වෙනසක් ඇද්ද?
ශොපින් මෝල් එකක, මහ පාරක වේවා අත අත නෑර දරුවෝ වත්තම් කරගෙන සිටීමත් මඩ පිරුණු පටු නියරේ කුඹුරට වැටෙන්න නොදී වත්තම් කරගෙන සිටීමත් එකම නොවේද?
________________
එදාත් අදත් වෙනසක් නොමැත. තටු ලැබුණු, තටු සවිමත් වුණු කුරුළු පැටවුන් කැදැලි හැරදා පියඹා යයි.
එතැන් පටන් ඔවුන් තමන්ගේ ජීවන අරගලය සමඟ පොරබදමින් සිටිද්දී කුඩා කල ඔවුන් වෙනුවෙන් මුලු ජීවිතයම කැප කල අම්මා තාත්තා ඉඳහිටක හෝ මඟ හැරෙන්න ඉඩක් නැතිවෙයිද?
//පිම්මේ ආපු හැටි මට මතකයි තාම
අම්මේ ඔත්පොලයි මගේ හිත හොඳටෝම//
ජීවන අරගලය සමඟින් පොරබදමින් පිම්මේ දුවන ඔබට කවදා හෝ ආපසු හැරී බලන්න සිදුවෙනවා සත්තයි. එදාට ඒ මඟ හැරුණු යුතුකම් සිහිවී හිත ඔත්පලවීම කෙසේ නම් වලකාලන්නද?
සැබෑ ජීවන අරගයල පසෙකලා අනෙකාට නැති දේවල් අයිති කරගැනීමේ තරඟයක දුවන අය බොහෝ වෙත්. සතුට ඇත්තේ භෞතික දේවල් වැඩි වැඩියෙන් අත්පත් කරගන්න තරමටයි, නිවසේ තට්ටු ගාන වැඩි වෙන තරමටයි, ගරාජ් එකේ නවතා තිබෙන වාහන ප්‍රමානය වැඩි වෙන තරමටයි සිතා නොනවතින රේස් එකක දිවා රෑ පිම්මේ දුවන්නෝ නොවෙත්ද?
සැබෑ සතුට ඔවුන් පිටුපස සාක්කුවේ සඟවාගෙන සතුට කෝ කෝ කියා ඉබාගාතේ දුවන්නේ දුබල දෙමාපියන්ගේ දුක සැප බැලුවා නොබැලුවා කෙසේ වෙතත් මුනුබුරු මිනිබිරියන්ගේ බරත් අම්මාගේ උරේ එල්ලා වීම කෙතරම් ඛේදවාචකයක්ද?
___________________
//පෑළ ආකහේ පඬු ඇඳලා මන්ද
මූණ සේම නුඹ වරුවක් ඉකි බින්ද
හීත දුරුත්තෙත් උණු කඳුලැලි මන්ද
පේන දුරක නිවනක් තාමත් නැද්ද//
නමුත් දරුවන්ගේ සතුට වෙනුවෙන් මුනුබුරු මිනිබිරියන්ගේ අත්තම්මා නොව සැබෑ අම්මා වන ඇයගේ වරුවක් ලෝකෙට හොරා ඉකිබිඳ පෑල දොහේ පඬු පැහැ ආකාසේ මෙන් සෝකෙන් බර වත දකින්නේ කවුරුන්ද? කවදාද? පිම්මේ දුවන රේස් එකේදි ඇගේ තෙහෙට්ටුව ශෝකය ගැන කනගාටුවෙන්න කාලයක් කොයින්ද?
මහාපොළොව සේ සියලු දේ උහුලන ඇයට නිවනක් පේන දුරක නැත.
___________________________
//පැදුරු ආණ යටලීයේ ඔරවාන
මකුළු දැල් රටා උහුලයි කරබාන
වියපු පන් රටා පරණයි නුඹ සේම
වාටි ලිහීලා දිවියට නොදැනීම//
ශිෂ්‍යත්ව පන්ති, අපොස සාපෙළ - උසස්පෙළ පන්ති, කැම්පස් - ටෙක්නිකල් කොලේජ් මේ සියල්ල ඇය අපි වෙනුවෙන් එදා ගෙත්තම් කල පැදුරු රටා සේය. පඩිපෙළේ එකින් එක නැගගොස් ලබාගත් දැනුම සහ සහතික කේවල් කොට දරුවෝ ඉහල රැකියාවලය.
බසයෙන් බසයට මාරුවෙවී ආරක්ෂාවට අතින් අල්ලාගෙන පන්තියක් පන්තියක් ගානේ ඈ රැගෙන ගිය මතකය අතීතයට එක්වූ මතකයක් පමණක්මය. ඒවා පැදුරු ආනක එල්ලී ඇති වාටි ලිහී ගිය රටා දැමූ පැදුරු මෙනි. ඒ මතකයන්ට තවමත් වටිනාකමක් ඇතිදැයි සොයා බලන්න වත් ඉසුඹුවක් නැත.
______________________________
මාස ගණනකට කලින් ඇසගැටුණු කිවියර නයනසේන වන්නිනායක විසින් රචිත මේ කවියේ පහළින් මෙය ගීතයක් ලෙස ශාස්ත්‍රපති ලක්මිණී උඩවත්තයන් ගේ ගායනයෙන් ලඟදීම එළිදක්වන බව දන්වා තිබුණා.
දන්වා තිබූ ලෙසින්ම ශාස්ත්‍රපති ලක්මිණී උඩවත්ත ගේ ළයාන්විත කටහඬින් ගායනා කරන ගීතයේ යූ ටියුබ් වීඩියෝව ඇයගේ මුහුණුපොතේ බෙදාගෙන තිබුණායින් අසන්න ලැබුණා.
කිවියර නයනසේන වන්නිනායක විසින් රචනාකොට, විශාරද දර්ශන වික්‍රමතුංග විසින් සංගීතවත් කොට සඳරු ගමගේ ගේ නාද ශික්ෂණය සමඟින් ශාස්ත්‍රපති ලක්මිණි උඩවත්ත විසින් ගයන ඒ කෙතරම් ගැයුවත් ගයා නිමකළ නොහැකි ගීතය - "මේ අපේ අම්මාය" ගීතය අසන්න ඔබ සියලු දෙනාට මා අරාධනා කරන්නේ කඳුළු පිසින්න ලේන්සුවක්ද රැගෙන එන්නයි සිහි කැඳවමින්.