UAE Sri Lankans Events

Tuesday, July 27, 2010

සාහිත්‍ය ලෝකයේ සියළු නොපනත්කම් ඉවසමින් සිට ඈ අවසන් ගමන ගියාය.



පහුගිය මාසයේ දින කීපයක් අසනීපෙන් උන්නු නිසාවෙන් ලැබුනු පොඩි විවේකයේ කලින් වතාවක් කියවා තිබූ පොතක් යලිත් වරක් කියවන්න සිතා පොතත් රැගෙන සයනයේ හරි බරි ගැසුනෙමි.

පොතේ නම “ගෝ දානය” නූතන ඉන්දීය ලේඛකයින් විසින් විශිෂ්ඨතම කතුවරයෙකු ලෙස සලකන ප්‍රේම් චාන්ද් විසින් රචිත, චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි විසින් පරිවර්ථිත ශ්‍රේෂ්ඨ නවකතාවක්. පොත පතට ආදරය කරන අපි බොහෝ දෙනෙක් ආදරයෙන් වැළඳගත් පොතක් . ..

පොතේ කතෘ හා පරිවර්තිකාව පොත හරහා විවරණය කරන්න අදහස් කරන සමාජ කතිකාව කලින් වතාවේ කියවනවිට දැනුනාට වඩා විශාල ලෙස හදවතට වැදුනු බවක් දැනුනා වුවත් අද මගේ සටහනේ පරමාර්ථය පොත ගැන මට හැඟුනු දේ සටහන් කිරීම නොවේ . . . .

ඒ ගැන නුදුරු දිනෙක ලියා තබන්නම් කියා පොරොන්දු වෙන්නම්.

පොතේ පෙරවදන ලෙස එකතු කර තිබෙන සරත් විජේසූරිය මහතා විසින් දිවයින පුවත්පතට 2000-08-20 දින ලියූ ලිපිය කියවූ සැනින් එතනින් එහාට පොත කියවාගන්න තරම් ශක්තියක් නොමැතිව හදවත ගල්වූවා වැනි හැඟීමක්, එසේත් නොමැතිනම් මගේ දයාබර නැගෙනිය මා හැරදමා දුරු රටකට ගියදා දැනුනාක් බඳු ගිලින්නත් නොහැකි විසිකරන්නත් නොහැකි ගුලියක් වැනි යමක් උගුරේ සිරවුනාක් වැනි හැඟීමක් නිසාවෙන් දෙනෙතේ හා හදවතේ රැඳි කඳුලු බිඳු අතරින් ඇගේ මහඟු සත්කාරිය මගේ ජීවිතයට කෙසේ බැලපෑමක් කලාදැයි සිතන්න මා වෙහෙසුනා . . .

සෝමා ජයකොඩි, මර්ටින් වික්‍රමසිංහ, ජී බී සේනානායක, ජයකොඩි සෙනෙවිරත්නයන් ආදීන්ගේ පොත් තුලින් මානව දයාවේ වටිනා කම හා එහි ගැඹුර උගත් ලෙසින්, කරුණාසේන ජයලත් මහතාගේ පොත් තුලින් සොයුරියන්ට, මිතුරු මිතුරියන්ට ගහකොලට මුලු විශ්වයටම ආදරය කරන්න ඉගෙන ගත් ලෙස, ජයසේන ජයකොඩි මහතාගේ පොත් තුලින් ජීවිතයේ ඕනෑම කඩාවැටීමක් උපේක්ෂාවෙන් දරාගැනීමට හුරුවූවාක් මෙන් සුනේත්‍රා රාජකරුණාය්නායකගේ පූර්වජන්ම අපූර්වය පොත තුලුන් ක්‍රෝධය ඉවතලන හැටි ඉගෙන ගත්තාක් මෙන් වෙනසක් නොමැත ඇගේ අපූ ත්‍රිත්වය, ගෝ දානය හා අරණකට පෙම්බැඳ තුලින් ලද දෙයින් තුටුවන අකාරය, ජීවිතයේ සතුට ලබන ආකාරය, සොබාදහමට ආදරය කරනා ආකාරය ආදී ලෙසින් කොටින්ම ජීවිතය විඳිනා අයුරු ඉගෙන ගතිමි.

ඉදින් මා අද දින මගේ දිවියේ මේ අත්විඳින සැහැල්ලුව සතුට වෙනුවෙන් මා සදා ණයගැති අය අතර ඈත් මූලිකම ස්ථානයක හිඳින නිසාවෙන් මීට දසවසකට පෙර අප අතරින් වියෝවූ නමුත් ඇගේ මියගිය ආත්මයට ශාන්තියක් උදාවේවායි හදවතේ ගැඹුරුම තැනින් කල ප්‍රාර්ථනාවෙන් පසු මා ගෝදානය පොතේ පිටු පෙරලන්නට වීමි.

ලිපිය දිගු වුවත් ඇගේ පොත් හරහා ජීවිතයේ සතුට ලද අය විසින් කියවාවි යයි උපකල්පනයෙන් තවදුරටත් ඈට උපහාරයක් ලෙස ගෝදානය පොතේ මුලට හැඳින්වීම ලෙස එකතුකොට තිබූ සරත් විජේසූරිය මහතා විසින් 2000-08-20 දින දිවයින පුවත්පතට සැපයූ ලිපිය ස්කෑන් කර මේ ලිපියේ අගට ඇමිනීමට මා අදහස් කලෙමි.







32 comments:

  1. මං මෙතුමියගේ පොත් වලින් මුලින්ම කියෙව්වේ අපූ ත්‍රිත්වය. ඉන්පස්සේ අරණකට පෙම් බැඳ පොතත් කියෙව්වා. ඒ පොත් තරම් මං කැමැත්තෙන් කියවපු වෙනත් පොත් නැති තරම්.

    ඒවා කියවද්දී හිතට දැනුණු දේ විස්තර කරන්න වචන කිහිපයකින් බැහැ. ඒත් ඒව මගේ හිතට ගොඩක් සමීප වුණා කියල කෙටියෙන් කියන්න පුළුවන්.

    අම්මා තමයි ඇගේ ජිවිතය ගැන මට මුලින්ම කිව්වෙ. ඈ ගැන ලියවුණු ලිපියක් දකින්නට ලැබීමත් හිතට සතුටක්.

    ReplyDelete
  2. අපූ ත්‍රිත්වය නම් මම කියවල තියෙනව, ඒත් අරණකට පෙම් බැඳ ගැන මතකයක් නෑ... කොහොම වුණත් ඒ ලේඛිකාව ගැන නම් මම මුකුත් දැනගෙන හිටියෙ නෑ...ඒත් ඒ විස්තර ටික කියෙව්වම නම් අපේ රට ගැන කළකිරෙනව...

    ReplyDelete
  3. අපූගේ ලෝකය,අරණකට පෙම්බැඳ,මාවතේ ගීතය,ගෝරා, ශ්‍රීකාන්ත වැනි ශ්‍රෙෂ්ඨ කෘති අපට රසවිඳීමට ඉඩකඩ සැලසූ ඇයට ඇත්තෙන්ම අපි ණයගැතිවෙමු.....හැබැයි අපේ රටේ නම් ඕවා ගැන පුදුම වියයුතු නෑනේ.....ගරු කල යුතු මිනිස්සු කවදාද මෙහේ ගෞරවයට ලක්වුනේ.....පුස් මිනිස්සුන්ට හුලං ගහලා වඳිනවා මිසක ....බොහොමත්ම ස්තුතියි මේ ලිපියට.....

    ReplyDelete
  4. පරිවර්තිකාව ගේ නම 'චින්තා ලක්ෂ්මී සිංහාරච්චි' විය යුතුයි. hashitha

    ReplyDelete
  5. දයාබර මිතුර...
    දුකා යන අන්වර්ථ නාමයෙන් පෙනී සිට ඔබ සමාජයට කරන්නේ අපිරිමිත සේවයක්. ඉතිං මිතුර ඔබේ ඒ උත්සාහයට මම හදවතින්ම ප්‍රශංසා කරමි.
    අපෙන් වියෝ වු ලේඛිකාවට ඔබ කළ මෙම උපහාරය අති විශිෂ්ටයි සොයුර.

    රුක්ෂිලා වෙත්තමුණි

    ReplyDelete
  6. මයියා ට මේ චින්තා ලක්ශ්මි මහත්මියගේ පොතක් කියවන්න උනේ නැ..ඒත් දුකා ගේ මේ ලිපියේනුත්, සරත් මහත්තයගේ ලිපියෙනුත් ඒකට උනන්දුවක් ඇති උනා..ඒකට ඔය දෙන්නටම පින්..

    ReplyDelete
  7. අපූ ත්‍රිත්වය ජීවිතයට පුදුමාකාර සමීප බවක් දක්වන කෘතියක්.අපූ හැම දරුවෙක් තුලම (මා තුලත් ) ජීවත් වෙනවා මෙන් දැනෙනවා. ශ්‍රී කාන්ත චරිතයත් ඒ වගෙමයි ආදරය , ජීවිතය ගැන උපේක්ෂාවෙන් බලන්න පෙළඹීමක් ඇති කරනවා .අපි ජීවත්වන තත්වයෙන් පහලට නොව ඉහලට හිතන්න පුරුදු කරනවා කීවොත් නිවැරදි.

    ReplyDelete
  8. හ්ම්ම්.. මමත් බොහොම කැමති පරිවර්තිකාවක්...මුලින්ම කියෙවුවෙ භිබූතිභූශණ බන්දෝපාද්‍ය (නම මතක නෑ බොලං හරියට) ගෙ පාතර් පංචාලි පොතේ පරිවර්තනය මාවතේ ගීතය නමින්. ඊට පස්සෙ ඉතින් වැලට කියෙවුවා. මට කොච්චර ආස හිතුනද කිව්වොත් හැම තැනම කරක් ගහල සත්‍යජිත් රායි ගේ ශෝ එකත් හොයාගෙන බැලුව, වීඑච්එස් එකක, පුස් ඇරල. මෙතුමිය තමයි බෙංගාල සාහිත්‍ය කියන දේ ලංකාවට හඳුන්වල දුන්නෙ. ඒ අමුතුම ලෝකෙ ජීවත්වෙනවා කියන හැඟීම මට මේව මතක් වෙද්දිත් එනව. ඒ තරමට සුන්දරව වැඩේ කරල තිබුණා.

    මගේ මතකය හරි නං මම මෙන්න මේව කියවල තියනවා මෙතුමියගේ පරිවර්තන විදියට.

    අපූගේ ලෝකය
    මාවතේ ගීතය
    ගෝරා
    අරණකට පෙම් බැඳ
    ගෝදානය
    ශ්‍රී කාන්ත
    ශ්‍රී කාන්ත හා ලක්ශ්මී
    අපරාජිත ජීවිතයක්
    ඉසිවරයා

    දුකා- හැමදාම වගේ පෝස්ට් එක ටොප් ක්ලාස්.. බොහොම හොඳයි.

    ReplyDelete
  9. මේ පොත් ටික කියවල තියෙනව. මමත් ගොඩක්ම ආශාවෙන් කියවපු පොත් ටිකක්. ඇත්තෙන්ම ඇය වගේ පරිවර්තිකාවක් ඉන්පසු බිහිවුණාද කියන එක දන්නෙ නෑ.

    ReplyDelete
  10. දුකා අයියා... මොන මඟුලක්ද මන්දා මටත් ඔය උගුර හිර වෙන සීන් එක වෙනවා දුකක් හිතුනම... සරත් විජේසූරිය මහත්තයා ලියල තියෙන සැරටද..... ඇත්තටම දුකක් දැනුන නිසාද කියන්ට තේරෙන්නෙ නෑ දැනුත් ඔය සිද්ධිය වුනා....
    යාන්තමට වගේ මතකයි මම අපූගේ ලෝකය කියෙව්වා වගේ... ඒත් හරියටම ෂුවර් නෑ... ඒත් ආයෙත් පොත් කියවන්ට පටන් ගන්න ඕන කියන ආසාව ආව උඹේ ලියුම කියෙව්වම...

    ReplyDelete
  11. උඹ කිව්වට සොරි වෙන්ට ඕන... දැම්මට පස්සෙයි දැක්කේ ඕං

    ReplyDelete
  12. වංග සාහිත්‍යය හරියට අපේම දෙයක් වගේ අපට හැගෙන තරමට ඇගේ පරිවර්තන සජීවියි. අපූ ත්‍රිත්වය, ශ්‍රීකාන්ත, අරණකට පෙම්බැද වගේ පොත් කියවද්දි හිතට දැනුන හැගීම අද වගේ මතකයි මචං. සත්තකයි මචං උඹනං මහ විශාල පිනක් කරන්නෙ මේ වගේ දේවල් නොදන්නා අයට කියලා දීලා. අපි රසවිදපු දේ තව කීපදෙනෙක් හරි රසවිදිනවා දැකීම තරං සතුටක් තවත් කොයින්ද. ස්තූතියි උඹට...

    ReplyDelete
  13. මට මතකයි ඔය අරණකට පෙම් බැඳ කියන පොත අතට අරගෙනත් ආපහු තිබ්බා. අපරාදෙ. මම ඉන්නෙ කොතැනද කියලා හිතුනා. මේ ගමන කටුනායකින් බැහැලා කෙලින්ම යන්නෙ ගොඩගේ හරි ගුණසේන හරි ඕං...
    බොහොම පිං අය්යට මේ දැනුවත් කිරීමට,,,,,,,,,,
    (තියෙනවනං දෙන්ඩෝ,,,,,,,,,,,, කියවල ආපහු දෙන්නම්)

    ReplyDelete
  14. @හරී!
    අරණකට පෙම්බැඳ පොත තමයි මම මගේ ජීවිතයේ මෙතුවක් කාලෙකට කියවපු හොඳම පොත . .. අනේ මගේ ලඟ ඒ පොත නෑ මමත් කියෙව්වේ අනුන්ගේ පොතක් . . මමත් ඒක සල්ලි දීල ගන්න ඕන . ..

    ReplyDelete
  15. ගොඩක් වෙලාවට මම ලංකාවට ගියාහම නොවරදවාම මරදානෙ පොත්සාප්පුවෙන් සාප්පුවට යන්න...පොත් අතපත ගාන්න දවසක් වෙන්කරවාගන්නවාමයි...ඒ හැමදාමත් මගේ අතයි හිතයි දෙකම නොවරදවාම රැඳෙන තැනක් තමයි පරිවර්ථන රාක්ක...චින්තා ලක්ෂ්මි මහත්මියගෙ පොත් අතට අරගෙන නොවරදවාම පිටුවක් දෙකක් පෙරලලා එතන ඉඳලම බලන එක සිරිතක්...ඊට පස්සෙ ඒ දවසම ගෙවන්නෙ "අපූත්" එක්ක නැත්නම් "ගෝර"ත් එක්ක....ඒ තරමටම හිතට සමීපයි...දැන් නම් මගේ පොත් කියවීම අඩුම වෙලා ගොහිල්ලා...මේ වැඩත් එක්ක...කොහොම නමුත් රවීන්ද්‍රනාත් තාගෝර් වැනි ශ්‍රේෂ්ඨයන්ගෙ ලෝක පූජිත කෘති පරිවර්ථනයේදී ඇයගේ සංයමය අති විශිෂ්ඨයි..."ගෝරා" පොතෙහි මේ උපුටාගැනීම කියවන්න...ඇයගේ පරිවර්ථන්යේ විශිෂ්ඨත්වය අද්වතීයයි නෙවද???

    "කිසියම් සුභ ක්ෂණයකදී ස්ත්‍රි පුරුෂයන්ගේ ප්‍රේමය ඇසුරු කරගෙන වචනයෙන් කිව නොහැකි එක්තරා අසාමාන්ය මිනිස් ස්වභාවයක් මතුවන බව විනය පැවසූ විට ගෝරාට පෙර මෙන් සිනාසී ඒ කථාව ඉවත දැමීමට හැකි වූයේ නැත. එය සාමාන්ය හමුවීමක් නොවන බවද, ඒ ඇසුරින් ජීවිතයේ ඇති සියලු දේවල ඇති වටිනාකම වැඩිවන බවද විනය පැවසීය. එය කල්පනාවලට දේහයක් දී ඒ දේහයට ප්‍රාණය පුරවන බවද, එය ප්‍රාණය තුළ ප්‍රාණය ද, මනස තුළ චින්තනයද, දෙගුණ කරනවා පමණක් නොව ජීවිතයට නව රසයක් ලබා දී අභිෂේක කරන බවද ගෝරා සිතින් පිළි ගත්තේය."


    සුලා..

    ReplyDelete
  16. මටත් ඇය මිය ගියා කියල අහන්න ලැබුනු දවසෙ ලොකු දුකක් දැනුණ. මට හිතුනෙ මගේ ලඟම යාලුවෙක් නැතිවුණා කියල. ඒ තරමටම ඇය ඇගේ පරිවර්තන කෘතීන් හරහා අපේ හිත්වලට ලංවෙලා තිබුණ. ගෝ දානය පොත කියවපු දවසේ මට දැනුනු හැඟීම අදටත් මතකයි. මම කියවලා තියෙන ඇගේ අනිත් පරිවර්තන කෘති කිහිපයත් අති විශිෂ්ටයි. ඒ තරම් සජිවී බවක් දැනෙන්න පොතක් පරිවර්තනය කරන්න පුලුවන් වෙන්නෙ සුවිශේෂ ලේඛකයෙක්/ලේඛිකාවකට විතරයි...

    දුකා අයියා, පොස්ට් එකට ගොඩක් ස්තුතියි....

    ReplyDelete
  17. mata nam sinhalen liyanna therenne na....samawenna....eth me lipiya kiyawanakal man danagena hitiye na methumiya api ath harala gihilla kiyala...mage hoda yaluwekta pin sidda wenna thamai man mulinma "mawathe geethaya" kiyeuwe..yaluwa obata pin mage as paduwata...man ita passe godak poth kiyeuwa methumiyage...Mage hithata wada dunna hagumak oyage me lipiyen passe man sahathika kara gannawa..."sathpurshayane ayusha kiti kalayai"...ithin mathiniyani obata niwan suwa...hama muwakama noradunath buddimath/usas patakayanta oba mathaka tibimama mahagu pinak noweda.....ape as padana duka aiyatath,comment karapu hamotamath sthuthie....mama mahesh..

    ReplyDelete
  18. අදහස් දක්වපු හැම දෙනාටම බොහෝම ස්තූතියි . .

    මේ දවස්වල කාර්‍යබහුල ජීවිතෙත් එකක් ඉස්සර වගේ නිදහසේ මේ විනෝදාංශේ කරගෙන යන්න ලැබෙන්නේ නැති එක දුකක් වුනත් ගෙදරදී නිවාඩු දවස්වලට පොඩි එකාගෙන් බලෙන් කොම්පූටරේ උදුරගෙන කරන්න මටත් හිත දෙන්නේ නෑ . .

    හෂිත උඹට ගොඩක් ස්තූතියි ඒක කොහොම උනාද මංදා කොපි පේස්ට් කරද්දී මොකක් හරි අවුලක් උනා වෙන්න ඇති . ..

    ReplyDelete
  19. මේ පොත් ටික කියවා ඇත..
    අපූරු බ්ලොග් පෝස්ට් එකක් අයියා..

    ReplyDelete
  20. කියවීම නිසා අපේ ජිවිත වල අත්තටම සෑබෑම වෙනස් වීම් සිද්ද වෙනව.බොහෝවිට හොද පෑත්තට.ඉතින් මේ විදියට පෝශණය වෙන අපි,පෝශණය වුනේ කොහොමද කියල මොහොතක් හෑරිල බලන්න,ඒ මහා ඝාන්දර්වයන්ට කෘතගුණ,අවවාදයට වඩා ආදර්ශයේ තියන උතුම් බව,කියන මේ හැම දෙයක්ම ඔයගෙ ලිපියෙ තියෙනව.
    නියමයි.....

    ReplyDelete
  21. මන් සෑහෙන කළයක ඉන්දල බ්ලොග් කියවනවා.එත් සින්හලෙන් කොමන්ට් එකක්වත් දාන්නෙ අද.
    මේ පොස්ට් එකට නොදාම බැහැ.
    මම මෙතුමියගේ පොත් 'ගෝදානය' හැර අනිත් සියල්ලම කියවලා තියනවා.
    පළවෙනි පොත කියෙව්වෙ..මන් 11 වසරෙදි,'මාවතෙ ගීතය'.පොත යලුවෙක්ගෙන් ඉල්ලගෙන අපි සෙට් එකම කියෙව්වා.අපි වශී උනා කිව්වොත් හරි.
    පොත ගන්න මට සල්ලි තිබ්බෙ නෑ...... ඇරත් O/ L කටේ තියෙද්දී පොත් අරන් දෙන්නෙ නෑනේ..
    මන් කොච්චර මෙතුමියට ආදරය කලාද කිව්වොත්.. මන් එදාම හිතා ගත්තා..ලොකු උනාම මෙයාව බලන්න යන්වා කියලා...
    දන්නවනේ ඉතින්,අපි ලොකු වෙලා කියලා අපේ අම්මලා පිලිගන්නේ 26 ක් විතර වෙලා,ජොබක් කරන කොටනේ...
    එත් ඉට කලින් මෙතුමිය අපිව හැර ගියා... එදා මට දැනුන වේදනාව මට කියන්න තෙරෙන්නෙ නෑ.....
    ඉටත් පස්සෙ තමයි මන් දැන ගත්තේ.. මෙතුමිය ජීවත් උනේ මට වි.45 ගමනකින් යන්න පුලුවන්.. කඩුගන්නවේ කියලා....
    ඇයට ජීවත් වෙලා ඉන්න කලේ නිසි ගරුත්වය ලැබුනේ නැහැ..
    මේ පොත් කියවලා.. අපි කෙල්ලො සෙට් වෙලා..ඉස්සර විචාර කරනවා...
    ඒ විචාර වලදි කියවුනු දෙයක් තමයි.."සින්හල සිනමාව වැටිල කියල කෑගහන අයට.. ඇයි මේවගේ දෙයක් සිනමාවට (සමාවෙන්න.. පොත කන්නෙ නැතිව ) නගන්න බැරි කියලා..."
    අපිට එතකොට අවුරුදු 15 යි..අදටත් එහෙම දෙයක් වෙලානෑ..
    මන් දැන් ජීවත් වෙන්නෙ ඕස්ට්රතලියාවෙ.. මේක ලියද්දිත්.."ගෝරා" පොත මගේ දිහා බලන් ඉන්නවා…..
    මේ අවුරුදු දහයටම, මෙතුමිය ගොඩාක් සිහිඋන වෙලාවන් තිබුන...
    විශ්වාස කරන්න දුකා.. මන් කවදවත්.. මෙතුමියට නිවන් සුව පතුවේ නැහැ..අත්මාර්තකාමී තමඊ..කමක් නෑ..............
    ..........................................
    දුකා..
    ගොඩාක් පින් පොස්ට් එකට...මගේ හිතේ තිබුන දුකත් පොඩ්ඩක් අඩු උනා කොමෙන්ට් එක දැම්ම නිසා...

    ReplyDelete
  22. මා ඇයට ආදරේය.මාගේ වැඩිමහල් සහොදරිය ඇගේ පොතක් මා අතට පත්කල දවසේ සිට ඇය මාගේ සිතේ ජිවත්විය.ඇය දැකගන්නට,කථා කරන්නට අපි අශාකලෙමු.පොතක් කියවන්නට හිතක් එනවිට,අරණකට පෙම්බඳින්නට,අපුගේ ලොකයේ සැරිසරන්නට අශා විමු.

    තවත් දෙයක් කියන්නට උවමනාය.මේ blog එකේ link  එක කෙනෙකු එවන්නේ මෙහෙම වචන ටිකකුත් එක්කය.ඒ “mata hitagannat ba thiyena comment dakkama”

    මේ blog එක කියවා වැඩියෙන්ම දැනූන,ඇයට අප ආදරය  කරනබව දැනි ඇයමෙන්ම සතුටු වන, ඇය ගැන මා දැනගත්, ඇය නැති වේඳනාව වැඬියෙන්ම ඳැනෙන ඇයගේ එකම පුත් වෙනුවෙන් ඔබ සැමට තුති.

    ඇයගේ පුතුගේ යෙහෙළි

    ReplyDelete
  23. ඈය ගැන හිතට එන දේවල් ලියන්න ගියොත්, මේ විදියට අකුරු හොය හොය ගහලා ඉවර කරන්න වෙන්නෑ... එක් දෙයක්... එක් සත්‍යයක් මා අනිවාර්යයෙන්ම කිව යුතුයි. ඒ නම් ඈය මගේ 'එක් විශිෂ්ට ගුරුවරියක්' වූ බව... එයට මා සදා ණයගැතියි.
    අපේ දුක්ගන්නාරාළ නොහොත් දුකා-සුභාෂ් ට තුති මේ උපහාරයට...

    විපුල

    ReplyDelete
  24. අපූගේ ලෝකය
    මාවතේ ගීතය
    ගෝරා
    අරණකට පෙම් බැඳ
    ගෝදානය
    ශ්‍රී කාන්ත
    ශ්‍රී කාන්ත හා ලක්ශ්මී
    අපරාජිත ජීවිතයක්
    මේ පොත් මං ගත්තේ සල්ලි එකතු කරලා.. එකතු කලේ pocket money වලින්

    ReplyDelete
  25. මාත් කියවල තියෙන අපූරු පොත් ටිකක්.
    අපූරු ලිපියක් දුකා. ස්තූතියි උඹට

    ReplyDelete
  26. කියන්නට දෙයක් නැහැ ඇය ගැන. වචනයේ පරිසමාප්ථාර්තයෙන්ම ඇය විශිෂ්ථ ලේඛිකාවක්............

    ReplyDelete
  27. ඔන්න මන් අලුත් පොස්ට් එකක් ලියන්න හිතන් හිටි වැඩේ නවත්තල ඔබතුමාගේ පරණ පෙට්ටගම්ට බැස්ස ..මේකේ හුස්ම හිරවෙලා මන් මැරෙයිද . මටත් බත් වලට පෙර පොත් හින්ද [බත් එකට හුන් කැරපොත්තෙක් වැටුනත් වගේ වගක් නැහැයි අම්මගෙන් නෝක්කාඩු ඇහුවත් නතර නොවුණු පුරුද්දක්.]

    දැන් මේ පොස්ට් එක. ඔව් ඇය මිය ගිහින්....මට ඇය මිය ගිය බව විශ්වාස කරන්න ඕන නැහැ. පරණ ගමට ගිය අපුට වගේ මට මගේ මතක මාවතේ ඇය හමුවන්න ඕන. දැනුත් මා ඇය හමුවෙනවා. වෙච්ච දේවල් මොනවා වුනත් මට ඇය සදා ජීවමානයි.

    ReplyDelete
  28. මේ කොමෙන්ට් වලට ඇත්තෙන්ම මට කියන්න දෙයක් නෑත් වගේ . .

    කමක් නෑ හැමෝටම ස්තූතියි කියලවත් කියන්නම්.

    ඒ අතරේ පුදුම සතුටක් තියෙන්නේ ඇගේ පොත් අපි බොහෝ දෙනෙක්ට ජීවිතය උගන්වපු බව දෑන් ගැනීම.

    අපි පැතුවත් නැතත් ඒ පින් ඇයට අනිවාර්යෙන් අනුමෝදන් වේවි.

    ReplyDelete
  29. මම මාවතේ ගීතය පොත කියවන්න පටන් ගත්තේ අහම්බෙන්....කම්මැලි කියලා හිත හිත ඉඳපු පොත අතට ගත්තට පස්සේ දවස් එක හමාරක් ඇතුලත මම‍ අපූ ‍කතා මාලාවම කියවලා ඉවර කරා.....ඊට පස්සේ තමා මම චින්තා ලක්ෂ්මී සිංහාරච්චිගේ රසිකයෙක් වෙන්න පටන් ගත්තේ....මට කියන්න වචන නෑ අයියා...ඒ තරමට ඒ පොත් වලට මම ආදරේ කරනවා....

    ReplyDelete
  30. මට අරණකට පෙම් බැඳ කියවන්න බැරි වුනා අනිත් හැම එකක්ම කියෙව්ව. ඒ තුලින් මා ඉන්දියාව දැක්ක. එතුමිය කල අමිල සේවය කෙසේ අගයන්නද ? අප සියළු දෙනා එතුමියගේ ලේඛණ කලාව ගුරු කොටගෙන තිබෙනවා. එයම ඇයට ලැබෙන හොඳ සම්මානයක් නොවෙයිද ?

    ReplyDelete
  31. කාලෙකට පස්සේ ආයේ මේ පෝස්ට් එක කියෙව්වා . .

    කොමෙන්ට්ස් ටික කියෙව්වාම ඇස් දෙකේ කඳුලු පිරුනා . .

    ඇයට මතු ආත්ම භවයකදී නිවන් සුව අත්වේවා . .. !

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails