නන්දාගේ "යොවුන් වසන්තයේ - දුහුල් වළා කුලේ" ගීතය ඇහෙන හැම වාරෙකම මාව 1988-1989 තරම් අතීතයට පාවෙලා ගිහින් නුගේගොඩ නාවල පාරේ ඇල්ෆා ඉන්ස්ටිටියුට් එක ලඟ ඉඳන් නුගේගොඩ හංදියට වෙනකම් තියෙන කොටසේ අතරමං වෙනවා වගේ දැනෙනවා.
ඕලෙවල් සබ්ජෙක්ස්ට් වලට ටියුෂන් ගිය ඇල්ෆා එකේ හිමිකාර ජයනෙත්ති සර් ක්ලාස් ඉවර උනාට ඔක්කොටම එක පාර යන්න දෙන්නේ නෑ.
මුලින් කෙල්ලෝ ටික යවනවා. උන් YMBA එක පහුකරලා ඇති වගේ හිතෙන කාලෙකදී කොල්ලන්ට යන්න දෙනවා.
පංතියේ කෙල්ලෝ ඒ පංතියේම නසරානි කොල්ලෝ එක්ක යාලුවෙලා චාටර් වෙයි කියලා බයට උන්ව බේරා ගැනීමේ සද්භාවයෙන්, නැතිනම් උන්ගේ ආරක්ශාවට එහෙම කලේ කියලා තමා අපි හිතුවේ.
88-89 කාලේ අවුරුදු 35ක්-40ක් විතර වුනු ජයනෙත්ති සර් ඒ වෙනකම් කසාද නොබැඳේ සර්ගෙම ක්ලාස් වල කෙල්ලෝ කොල්ලෝ සාප කරපු නිසා කියලා කොල්ලෝ කෙල්ලෝ හොරෙන් කතා වෙවී හිනා උනේ.
උන් එහෙම කිව්වට ජයනෙත්ති සර් කියන්නේ පුදුම සුන්දර මනුස්සයෙක්. ඒ කාලේ කවදාවත් ටියුෂන් ෆීස් ඉල්ලලා කරදර කලේ නෑ. ගොඩක් අයට ෆ්‍රී කාර්ඩ්ස් දීලා තිබ්බා.
ක්ලාස් එකේ නීති රීති තද නිසා කල්ලි ගැහුනාම විහිලු කලා උනාට ළමයි ජයනෙත්ති සර්ට පන වගේ ආදරෙයි ඒ නිසාම.
හරි ආපහු කතාවට
කෙල්ලන්ව කලින් යැව්වට ඉතිං ගොඩක් කෙල්ලෝ උන්ගේ ආරක්ෂාවට හෙන ගහපුවාවේ ඇල්ෆා එකේ ඉඳන් නුගෙගොඩට තනියෙම එන කොල්ලෝ ටික ආරක්ෂා කරන්න ඕන කියලා හිතලද මන්දා නාකි බල්ලෝ කොළඹ යනවා වගේ හෙමීට හෙමීට ගාට ගාට යන්නේ අර කොල්ලෝ එන කම්.
කොල්ලෝ ටිකත් සර් යන්න දුන්නු ගමන් පුකට පැටෝල් ගහලා වගේ දුවනවා ඉතිං.
වැඩි දුර යන්න කලින් පේනවා දන්න කියන ගෑනු ළමයි ළතා ගමනින් උන් එනකම් විනාඩියට මීටර් බාගේ ස්පීඩ් එකෙන් ගිහින් මඟ ඉන්න බව.
එතන ඉඳන් නුගේගොඩ බස් හෝල්ට් වලට දුර එවෙන්නෙත් ඉතින් ඒ ස්පීඩ් එකෙන් තමා.
රසික මාලින්ද වගේ ඩීසන්ට් කොල්ලෝ කෙලින්ම බස් හෝල්ට් වලට. රසික 259 බස් හෝල්ට් එකේ මාලින්ද සිටි ටිම්බර් හෝල් බස් හෝල්ට් එකේ.
නිලක්ෂ මම වගේ පරාර්ථකාමී කොල්ලෝ එහෙම නෑ !
"මේ ගෑනු ළමයි ඉතිං කාගේ උනත් දරුවෝනේ - ඒ අයව පරිස්සමින් හයිලෙවල් පාරේ බෝ ගහ ලඟ හෝල්ට් එකට, නැතිනම් සෙන්ට් ජෝන්ස් එක ලඟ බස් හෝල්ට් එකට ඩ්‍රොප් කරන්න ඕන" කියලා හිතලා අර සුපුරුදු විනාඩියට මීටර් බාගේ ස්පීඩ් එකෙන් පාවෙනවා.
මිනිස්සු දාස් ගානක් එහා මෙයා යනවා අපිට දැනෙන්නෙත් නෑ.
අපිට දැනුනේ අපි සිඟිති ආදර දූපතක තනිවෙලා වගේ
පාර දිගේ පාවුනේ හරියට රෑන් මුදාගෙන අහස් ගඟේ දියඹ දිගේ පා වෙවී ඉගිලෙන සරුංගල් වගේ.
ඒ ගමනෙදි පුංචි දේකට උනත් මහ හයියෙන් හිනා වෙන්නේ හරියට තරු අහුරක් එක සැරේට රෑ අහසේ ඇවිලෙනවා වගේ.
එහෙමත් කාලයක් අප්පා . . . !
එදා අපි එක්ක ඇල්ෆා එක ලඟ ඉඳන් නුගේගොඩ හංදියටට වළාකුලු මතින් ගමන් කරපු අනිත් අය ලෝකේ කොහේ ඇද්ද?
අපේ ස්කොලේ මගේ පන්තියේ උන්නු (නාවල පාරේම ගෙවල් තිබ්බ ) "චාමර" - එයාගේ නිවුන් සහෝදරී අනුලා ගිය "චාමරී",
ඩී එස් ගිය "අකිල"
සමුද්‍රදේවියේ "රෂිකා" (ජුබිලි කනුව හන්ංදියේ ගෙවල් තිබ්බේ), රෂිකාගේ යාලුවා "තේජා"
තේජාගේ කොල්ලා කියලා අපි විහිලු කරපු ඉසිපතනේ "මිහිර"
SPM ගිය කුමුදු
අනුලා ගිය ඉෂාරා ගිහානි සමරකෝන්
කෝට්ටේ ආනන්ද බාලිකාවේ ඒ කාලේ උන්නු එකම ලස්සම කෙල්ල නෙල්කා,
නෙල්කා ගේ කොල්ලා කියලා අපි විහිලු කරපු අපේ ස්කෝලේ කීර්ති
ආනන්ද බාලිකාවටම ගිය අපේ ගෙදරට අල්ලපු ගෙදර ලක්මාලි
මේ අය දැන් කොහේ ඇද්ද !!
ඔය කිව්ව කිසි කෙනෙක්ට මාව නම් මතක නැතුව ඇති.
මම ඒ කාලෙත් නෝටිසබල් කැරැක්ටර් එකක් නෙමේ.
කිසිම විශේෂත්වය නැති පට්ට ඕඩිනරි ඒත් ගෙදරදි, ගෙවල් පැත්තෙදි සිල් ගත්තු පූසෙක් වගේ උන්නට පාරෙදි පිස්සෙක් වගේ -
පිස්සෙක් වගේ ජොලියේ හිටපු එකෙක්.
_________________
නන්දාගේ ඒ සින්දුව ඇත්තෙන්ම හරියට අතීතෙට අරන් යන රිදී හුයක් වගේ හා නැද්ද?
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...
දිළිසෙන කඳුළේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී...
ගංඟාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී...
හසරැලි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ...
තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන...
අහස් ගඟේ දියඹ දිගේ...
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්නයන්
සංගීතය: D R පීරිස්
Pic from: https://unsplash.com/photos/AsahNlC0VhQ