UAE Sri Lankans Events

Tuesday, December 21, 2010

මම මම ම ද?



මේ අද මේ මොහොතේ ජීවත් වෙන මම මීට කලින් හිටි මම ම ද?

මීට අවුරුදු විස්සකටකට දහයකට හතරකට කලින් හිටි මමයි මේ දැන් ඉන්න මමයි එක්කෙනෙක්ද . . ?

නැතිනම් මේ මම එදා හිටි මට වඩා වෙනස් ම වූ කෙනෙක්ද . . .?

එදා හිටි මමයි අද ඉන්න මමයි අතරේ සමානකම් අසමානකම් තියෙනවද?

සමාන කමක් තිබුනත් එදා හිටි මමයි අද ඉන්න මමයි එක්කෙනෙක්ද ??

අසමාන කම් තිබුනත් එදා හිටි මට වඩා අද ඉන්න මම එදාට වඩා හොඳද ??? ඊට වඩා නරකද ??

නැති නම් එදා හිටි මම අද ඉන්න මට වඩා හොඳ එකෙක් වෙලා හිටියද?

එදා හිටි මම දැනුවත්ව හෝ නොදැනුවත්ව කියපු හෝ කරපු වැරදි දෙයක් වසර ගානක් ගිහිනුත් අද කිව්වා හෝ කලා වගේ චෝදනා කරනවනම් ඒක හරිද . . ?

ඒ එදා වුනු වැරැද්ද හදා ගත්තා වුනත් එදා හිටි මමත් අද ඉන්න මමත් එකම එකා නිසා එදා දැනුවත්ව හෝ නොදැනුවත්ව වුනු වැරැද්දට අදත් චෝදනා ලැබීම සාධාරණීය කල හැකි සූත්‍රයක් තියෙනවාද . . ?

. . . . . . . . . .

අපි ජීවත් වන සමජයේ සිදුවෙන සමහර සිදුවීම් දිහා බලුවාම, දෛනික ජීවිතයේ වුනත් සමහර සිදුවීම් වලට සංවේදී උනාම ඔය උඩ කිව්ව වගේ විකාර අදහස් ඇවිත් ඔලුව කොලොප්පන් වෙනවා.

ඒ වගේ වෙලවට අපිටම හිතා ගන්න බැරුව යනවා අපි කොයි විදිහට සමාජයේ ජීවත් විය යුතුයි කියලා අන් අය අපෙන් බලාපොරොත්තු වෙනවද කියන එක.

නිකමට හිතන්න, කෙනෙක් මීට වසර ගානකට කලින් තව කෙනෙක්ට (හිතවතෙක්ට කියමු ) මොනව හරි කියනවා.

සමහර විට කියපු කෙනා ඒ කියපු දේ ගැන වැඩිය හිතන්නේ නතුව කියපු දෙයක් වෙන්න පුලුවන්.

හිතාමතා හෝ තුන්හිතකින් වත් නොහිතා මීට බොහෝ කාලයකට පෙර කියපු කරපු දෙයකට අදත් චෝදනා කරනවනම් ඒක බොහෝම නරක දෙයක් කියලයි මගේ හැඟීම.

මෙහෙම කියන හැම මොහොතෙම අතක් වෙන්නේ මාව හොඳින් තේරුම් ගත්තු මගේ යාලු දමිත් මල්ලියි චමලුයි මම ගැන කියන කතා.

දමිත්: අයියේ තමුසෙගේ චාටර් කට හින්දා නොදන්න එකෙක් නම් ඔයාව වැරදියට තේරුම් ගන්නවා ෂුවර්.

චමල්: තොගේ ඔය ජරා කට අපිම හින්දා ඉවසනවා. වෙන උන් නම් ඕක ගලක අතුල්ලයි.


හික් හික් හික්

. . . . . . . . . .

මේ උදහරණයත් පොඩ්ඩක් බලන්න:

මගේ නංගිගේ යාලුවො සෙට් එකක් හිටියා හරිම රස්තියාදුකාරියෝ ටිකක්.

වින්ඩෝ ෂොපින්ග් යන එක තමයි ඒ අයගේ ප්‍රධාන විනෝදාංශය.

මුන් ටික අපේ නංගිවත් මේ රස්තියාදුවට එකතු කර ගත්තා.

දවසක් බැලුවා, දෙකක් බැලුවා, තුනක් බැලුවා . . ම්හු . . . තාත්තා ගෙදර එන වෙලාවට නංගී පේන්න නොහිටියොත් අම්මා බැනුම් අහනවා ඇයි යන්න දුන්නේ කියලා (ඒත් තාත්තා නංගීට මොකුත් කියන්නේ නෑ - තාත්තා ඒ කාලේ එයාට බයයි හික්ස්)

නිරපරාදේ අම්ම බනුම් අහනවා බලන් ඉන්න බැරි නිසා මම නංගීට කිව්ව "හෙටත් තමුසෙගේ ඔය මළ හෝන්තු ටික ආවොත් මම බැනලා එලව ගන්නවා" කියලා

"ආ ඒවා කොහෙද. තමුසේ මොනා හරි උන්ට කියල තිබ්බොත් බලා ගමු"

"මොනා බලා ගන්නද"

"උන් මගේ යාලුවෝ, තමුසෙට වැඩිය උන් මට වටිනවා"

"මොකක්"

කිව්ව වචනේ ඇදලා ගන්න බැරුව නංගී ගල් ගැහිලා හිටියා.

මම මාසයක් යනකම් එයා එක්ක වචනයක් කතා කලේ නෑ.

නංගී යාලුවෝ එක්ක රස්තියාදුවේ යන එක නතර කලා.

දවසක් නංගීම ඇස් දෙකේ කඳුරු පුරෝගෙන කතා කලා

"ඔයා මාර පොරක් හලෝ. ඔය පොඩි වචනෙකට තමුසෙට මාත් එක්ක මාසයක් තරහා වෙලා ඉන්න පුලුවන් වුනා නේද"

"තමුසෙට මට වැඩිය . . "

"ඒක බොරුවක්-එක පාරටම කටට ආවට කියවුන දෙයක් කියලා ඔයා හොඳටම දන්නවනේ"

අපේ වලිය එදායින් ඉවරයි.

ඔය වචන ටික අල්ලගෙන මම තාමත් නංගී එක්ක රන්ඩු වෙනවනම් එකෙන් පේන්නේ මගේ මෝඩ කම නේද කියලා තේරුනේ ඒ ගැන වෙනමම හිතන කොට.

එයා නොහිතා කියපු වචනෙට මගේ හිත රිදුනු නිසා රිදුනු හිත හදා ගන්න මාසයක් ගිහින් එයාට සමාව දුන්නයින් එයත් සතුටින්, මාත් සතුටින්. සුපුරුදු නොවෙනස් ආදරෙන්

. . . . . . . . . . . . . . . . . . .

පරන කුනුකන්දල් හිතේ පැසව පැසව තියාගෙන දුක් විඳින අපිට ඒවා එක එක අයින් කරන්න ලැබුනොත් කොයි තරම් හිතට සහනයක් දැනෙනවද කියනදේ තේරෙන්න නම් එහෙම කරලම බලන්න ඕන.

එහෙම අයින් කලාට පස්සේ ලබෙන ලොකුම ප්‍රතිලාභේ නිදිය ගන්න ඇඳට වැටුනු ගමන් නිදි දෙව්දුව අපිව නිදි ලෝකෙට අරන් යන එක. කරලාම බලන්න. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.

Sunday, December 19, 2010

සැබෑ ආදරය යනු පරිත්‍යාගයයි . . . !



ආදරය යනු පරිතයාගයකැයි කියනු ලැබේ…

සතුට හැර වෙන යමක් බලාපොරොත්තු නොවී ඔබට පුදදිය හැකි ආදරයේ නිම් වළලු කොයිබද??

මේ කියන්න යන්නෙත් එවැනි සුන්දර ආදරයක් ගැන කතාවක් අඩංගු ඉතාම විනෝදජනක චිත්‍රපටයක් ගැන.

ඩ්‍රිව් බැරිමෝර් කියන සුන්දර නිළියත් ඇඩම් සැන්ඩ්ලර් කියන විකට චිත්‍රපට වල වැඩිපුර රඟන නළුවත් තමයි මේකෙ ප්‍රධාන චරිත රගපාන්නෙ.

කතාව මෙන්න මෙහෙමයි…!

හවායි හි පදිංචි තරුණ පශුවෙදය වරයෙකුට අවන්හලකදී ඉතා සුන්දර තරුණ චිත්‍ර ගුරුවරියක්ව මුන ගැහෙනවා.

ඔවුන් ආදරයෙන් බැදෙනවා. ..

ඔවුන් කතාකර ගන්නවා එම අවන්හලේදිම පසුවදාට මුනගැසෙන්නට . . .

නමුත් පසුදා තරුණිය කියාසිටින්නේ ඇය මීට කලින් ඔහුව හදුනන්නේ නැති බවයි.

පසුව අවන්හලේ හිමිකාරිය ඔහුට ඇය ගැන සියලු විස්තර දැනුම් දෙනවා. . .

වසරකට කලින් සිදුවුනු දරුනු රිය අනතුරක් හේතුවෙන් ඇයට බරපතල අමතකවීමේ රෝගයක් ඇති බවත්, ඇගේ මතකයේ ඇත්තේ රිය අනතුර සිදුවූ දවස හෙවත් 2002 ඔක්තෝම්බර් 13 බවත් එදින ඇගේ පියාගේ උපන් දිනය යෙදී තිබුනු බවත් ඇය ඔහුට දැනුම් දෙනු ලබනවා.

අවන්හලේ හිමිකාරිය, යාවජීව පාරිභෝගිකයන්, ඇගේ පියා සහ සොහොයුරා ඇගේ සිත නොරිදවනු පිනිස විශාල කැපකිරීම් කරනු ලබනවා.

2002-10-13 දිනයේ පුවත්පතේ පිටපත් විශාල ප්‍රමානයක් මුද්‍රනය කර දිනපතා ඇයට එක බැගින් ලබා දීම, පියාට දිනපතා කේක් ගෙඩියක් කපා උපන්දින තෑග්ගක් පිරිනමා සුභ පැතීමට සැලැස්වීම ආදී ලෙස හා තවත් බොහේ දේ වශයෙන්. . .

ඇගේ සැබෑ තතු දැනගත් පසු ඇගෙන් වෙන්වීම වෙනුවට ඔහු තව තවත් ඇයට ආදරය කරනවා. . .

ඉන්පසු අපිට බලාගන්න පුලුවන් අර තරුණ පශුවෙදයවරයා මේ තරුනියට දිනපතා අලුතෙන් තමාව හදුන්වාදීමට විවිධ ආකාරයේ ක්‍රම භවිතා කිරීමත් ඒවා කොතරම් විනෝදජනකද යන බවත්.

ඇත්තෙන්ම කදුලු එනකම් හිනා වියහැකි කොටසක් මේ කොටස.

ඇගේ ජීවිතයට සතුටක් ලබාදීම තමාගේ එකම සතුට බවට පත්කරගත් තරුණ පශුවෙදයවරයාගේ සංවේදී ආදරයේ කතාව නම් බැලිය යුතුම විනෝදජනක (රොමෑන්ටික් කොමඩි වර්ගයේ) චිත්‍රපටයක් කියන එකයි මගේ අදහස නම්.
. . . . . .. ..

මගේ බ්ලොග් අඩවියටත් බයිස්කෝප් අඩවියටත් නිතර යන එන අය බොහෝ දෙනෙක් දන්නවා ඇති මම බ්ලොග්කරනයට පැමිනුනේ බයිස්කෝප් අඩවියේ ඉසිර සහෝදරයාගේ ඉල්ලීම පිට බව.


මම ලියන්න ගත්තු මුල්ම කාලේ ලියපුවත් මගේම බ්ලොග් එකේ තිබුනොත් හොඳයි කියල ආපු හිතුවිල්ල නිසා ඉසිර මළයගේ අවසරය පිට බයිස්කෝප් අඩවියට මම ලියපු ලිපි එක එක එතනින් කොපි කරලා මෙතන දාන්න පටන් ගත්තා.

මේ බයිස්කෝප් එක බා ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ ලින්ක් එකෙන් බයිස්කෝප් අඩවියට ගිහින් එතනින් බාගෙන බලන්න ඕන් . . . .

බයිස්කෝප් එක කොහොමද කියල තැන් දෙකේම සටහනක් දාන්නත් අමතක කරන්න එපා හරිය. .

Wednesday, December 15, 2010

තටු බිඳුනු පීනික්ස් !



අළු මතින් උපන් පීනික්ස් කුරුල්ලාත් සියලු දේ එපාවී අකර්මන්‍යවී කලකිරී පරාජය භාරගනීමට සූදානම් වූ මොහොතක් . . !

අරා නුබ ගැබ සරා සියොත් සකි
පුරා පියඹා ලොව දකිනු රිසි
ඉරා තිමිර පට තිබු නෙතු වැසි
පිරූ පාරමි කුරවියෙක් ඇති

ක්ෂිතිජ ඉම ඔබ දකිනු රිසි වූ
විසල් නෙත් හැර බලනු ලොබ වූ
නොදුටු සකි සඳු රැගෙන යනු වූ
අමිල පැතුමන් හදේ රැඳවූ

මහා ගමනෙක යන්ට පලමුව
බිඳි අත්තටු සලනු නොහැකිව
මිදී කඳුළැලි ඉනූ නෙත් මුල
පරාජිත වී ඇරඹුමේදිම . . . !

Monday, December 6, 2010

Home Sweet Home !



"Home Sweet Home"

"There is no place like home'
උදයේ නිවසින් රැකියාවට හෝ පාසැලට පිටවෙන අපි සවසට නිවසට පැමින අසුනකට බරදී ගිමන් නිවද්දී දැනෙන සැහැල්ලුව, සතුට, සනීපය, සුවදායි බව කෙතරම්දැයි ඔබ අත්විඳ තිබෙනවාද . . ?

මොහොතකට ඒ ගැන විශේෂයෙන් සිතා තිබෙනවාද . . ?

යලිත් මොහොතක් සිතා බලන්න.
එසේ වෙහෙස වී පැමින අසුනකට බරදී දෙනෙත් පියාගත් විට ඔබේ සිත ඔබව අතහැර ඈත අහසේ පුලුන් රොදක් මෙන්, වරා මලක් මෙන් පියාසළනවා යැයි සිතෙනවා නොවේද.
ඔබ ජීවත් වෙන්නේ පොල් අතු සෙවිලි කල පැල්පතක විය හැකියි, උඩට උඩුවියන් බඳි පයට පළස් ඇතුරූ රජ මාලිගාවක විය හැකියි, ගඳ ගහන මුඩුක්කුවක විය හැකියි.

මේ කොහේ ජීවත් වුවත් වෙහෙසකාරී දවසේ අවසන පැමිනෙන්න ඔබට නිවසක් ඇත.

වාසනාවන් . . . .

ඔබ වාසනාවන්තයෙකි.


වෙහෙසකාරී දවස අවසන ගිමන් නිවන්න නිවසක් තිබූ පමනින් ඔබ වාසනාවන්තයෙක් වේද . . ?

මොහොතක් සිතන්න, සවස නිවසට පැමිනෙන ඔබේ පියාට දකින්න ලැබෙන්නේ කුමක් හෝ හේතුවක් නිසා කෝපයෙන් සිටින මව එසේත් නොමැතිනම් පොර කුකුලන් මෙන් රන්ඩුවී මූන රකුසු කරගෙන සිටින දරුවන් නම් . . .

ඔහුට "Home Sweet Home" හෝ "There is no place like home" කියා සිතේද . .

නොමැති නම් අයියෝ මොන මගුලටද ගෙදර ආවේ කියා නොසිතේද

එසේත් නැතිනම් "හංදියේ බාර් එකට වෙලා අඩියක් ගහලා රෑට නිදා ගන්න ඩිංග ගෙදරට යන්න තිබුනානම්" කියාත් නොසිතේද . .

. . . .. . . .. . . .. . ..

නිකමට ඔබ ගැන සිතන්න.

ඔබ පාසැල් යන හෝ රැකියාවක් කරන විවාහ නොවූ හෝ විවාහ වූ අයෙක් නම් . . .

පාසැල් ගොස්, සවස අතිරේක පන්ති නිමවා; රැකියාවට ගොස් කාර්‍‍යාලයේ දවස නිමවා, පාරේ වාහන තදබදයේ හෝ බසයේ එල්ලී නිවසට පා නගන්නේ කෙතරම් බලාපොරොත්තු ඇතුවද?

එසේ එන ඔබට දොරකඩදීම කෝපයෙන් සිටින අම්මා, අක්කා, අයියා, නංගී, සැමියා, බිරිඳ මේ කවුරු හෝ වේවා සිටිනු දුටුවහොත්

අර මුලින් සඳහන් කල සුවදායී, සතුටු, සැහැල්ලු හැඟීම ඇස් පනාපිට බිඳ වැටුනු හීනයක් නොවේවිද . . ?

. . . . .. . . .. . .

ඔබ මා සියල්ලෝ කැමති සතුටින් ජීවත් වෙන්න නොවෙද . . ??

කුමන හෝ හේතුවක් නිසා මා අසතුටෙන් නම් ඒ මගේ අසතුට වෙන අයෙකු මතින් පාකර මගේ අසතුටට තවත් අයෙක් හවුල් කර ගන්නේ ඇයි . . .. ???

මොහොතකට හෝ අසතුට අමතක කර, හංගා ගෙට ගොඩවෙන පියාව, මවව, සහෝදරයාව, සහෝදරියව, සැමියාව, බිරිඳව සිනා පිරි සතුටු මුහුනෙන් පිලිගෙන . . ..

ඔවුන්ගේ විඩාව පලවා හරින්න සහයෝගය දී . . ..

පසුව නිවී සැනසිල්ලේ අපේ අසතුටට හේතුවත් . .

එය නැති කිරීමට ඔවුන්ගේ උදව් ඇවැසි බවත් කියා ගත හැකි නම් . .. . !!!!!

Wednesday, December 1, 2010

ගොළු හදවත !



මට තිබුනේ ගොළු හදවතක්.

නෑ නෑ දම්මිගේ වගේ කෙනෙක් රවට්ටන චපල හිතක් නෙමෙයි.

එලියට නිරාවරණය නොකරපු හිතක්.

හැමදේම හිතේ හිරකරගෙන විඳපු, විඳවපු හිතක්.

. . . . . .. . . . . . . . . . . . . . . . . . .. .

හිත ගොළු කර ගත්තු කාල වකවානුව ගැන හිතනකොට මගේ හිත නතර වෙන්නේ ගොඩක්ම පොඩි කාලයේ.

ඒ කාලයේ"ත්" මම හරිම චැටර් බොක්ස් එකක්.

අම්මගේ බාසාවෙන් කියනවනම් මළ කරච්ච්ලයක්.

තුන්වෙනියෙක් (නැන්ද කෙනෙක් කියමූ) ගැන අම්මලා කතාවෙන දේවල් ඒ නැන්දා අම්මලාව මුනගැහුනාම "ඔයා හරි කුඩුකේඩුයි කියලා අපේ අම්මා කිව්වා. කුඩු කේඩු කියන්නේ මොකද්ද නැන්දේ" වගේ දේවල් කියන එකෙක්. (ඒ ඉතිං පොඩි උන්ගේ හැටි නේ)

ඔය වගේ හේතු නිසා අම්මයි තාත්තයි මට නීති දාලා තමයි ("එහේ ගිහින් කට හොල්ලනවා නෙමෙයි" "පැත්තකට වෙලා ඉඳගෙන ඉන්න ඕන හොඳ ළමයෙක් වගේ") මාව ගමනක් වුනත් එක්කගෙන යන්නේ.

කොහේ හරි ගියාම "අනේ පුංචි අක්කගේ පුතා හරි අහිංසකයි" "පොඩි පුංචිගේ පුතා හොඳ ළමයෙක්" කියලා කියන වර්ණනා අහන්න පෙරේත කමට ගොළු වීම ආසාවෙන් කරන්න ඇති කියලා මතක් වුනේ සුනේත්‍රාගේ රිදී තිරංගනාවී පොත කියවද්දී.

. . . . . .. .. . . . . . . . . . . . . . . . .. .

හැමදේටම වඩා මගේ හිත ගොළු කරන්න බලපෑවේ අම්මලගේ ඇනුම් බැනුම් කියලා අතීතය කියන පෙට්ටගමේ පියන ඇරලා බැලුවාම තේරුනා.

"මේ ළමයා නැන්දම්මා වගේ කියවනවා"

"ගෑනු වගේ ඕන එකයි එපා එකයි ඕන නැති දෙයක් නෑ මූට"

"විලාප මෑණියෝ වගේ සම්ප්‍රප්පලාප නොදොඩා පොතක් පතක් බලා ගනින්'

මේ කතා මගේ "කට" විතරක් නෙමෙයි "හිතත්" ගොළු කරපු බව දැක්කේ ඒ ගැන අලුතෙන් හිතපු වෙලාවෙදි.

. . . . . .. .. . . . . . . . . . . . . . . . .. .

මගේ ගොළු හදවත් හින්ඳා ලබපු ලාභ අලාභ ගැන හිතුවොත් . . . .

කිසිම ලාභයක් වුනේ නැති බව දිවුරා කියන්න පුලුවන්.

අලාභ නම් ඉහටත් උඩින්.

පුංචිම කාලේ ඉඳන් හොඳම යාලුවා වෙලා මගේ ළඟ ඉඳපු අක්ක එක්කවත්, අක්කා විවාහ උනාට පස්සේ මගේ හොඳම යාලුවා වුනු නංගී එක්ක වත්, පොඩි කාලේ හරි යෞවන කාලේ හරි ජීවිතේ සිදුවුනු කුණාටු හා කඩාවැටීම් ගැන මගේ ගොළු හදවත විවර නොකරපු එකෙන් වුනේ . . ..

ජීවිතේ තේරෙන්න පටන් ගන්න වයසේ ඉඳන්ම ජීවිතේ ගැන මහා කනගාටුවක්, කළකිරීමක්, එපාවීමක් ඇතිවුනු එක.

තනියෙම හැම වේදනාවක්ම විඳවපු එක.

ඒත් මම ඒ "ගොළු හදවත" ඇතුලේ හංගගෙන එලියට පෙන්නුවේ වෙනස්ම මූනක්.

"උඹ පොල්කිච්චා වගේ හිනා වෙච්චි ගමන්මයි . . .

කොහොමද බන් උඹ මෙහෙම හිනාවෙලා ඉන්නේ" කියලා අහපු අයට මගේ ගොළු හදවත දුන්නු උත්තරේ

"අඬන්න බැරි කමට" කියන එක.

හොඳ වෙලාවට ඒ උත්තරේ අනික් අය අහුනේ නෑ එයාලට දකින්න පුලුවන් වුනේ මගේ සුපුරුදු හිනාව.

. . . . . .. .. . . . . . . . . . . . . . . . .. .

තරුණ කාලේ"ත්" මම තොරතෝංචියක් නැතුව කියවන එකක්.

යාලුවෝ මට කිව්වේ "මූත් එක්ක සෙට් වුනාම හරියට සිරස රේඩියෝ දාගත්තා වගේ" කියලා.

ඒත් මගේ ගොළු හදවත හංගපු තැන එහෙම්මම තිබුනා.

ඒක ඇරලා බලලා කාටවත් පෙන්නන්නවත් . . .

එකේ තිබුනු දේවල් ආදරෙන් ළඟ හිටපු අය එක්ක බෙද හදා ගනන්වත් මම කැමති වුනේ නෑ.

යෞවන කාලේත්, තරුණ කාලේත් ලෝකය ගැන මට හිතුනු දේවල් අනෙක් උන් එක්ක කිව්ව නම් "මූට පිස්සු" කියලා මිනිස්සු මාව කොන් කරයි කියලා හිතලා ගොළු හදවත තව තවත් ගොළු කරගත්තා.

වැඩි දෙනෙක් හරි දේ කියලා මට වැරදි කියලා හිතෙන දෙයක් සම්මත කරගෙන කරගෙන යද්දී වුනත් වැල යන අතට මැස්ස ගහන න්‍යාය පිලිපදිමින් හිතක් කියලා දෙයක් නැති එකෙක් වගේ හිටපු කාලවල් තිබුනා.

. . . . . .. .. . . . . . . . . . . . . . . . .. .

ජීවිතේ විස්සේ අන්තිම කාලේ, තිහේ මුල් කාලේ වෙනකොට මාව කාලයක් ඇසුරු කරලා හොඳින්ම මාව තේරුම් අරන් හිටපු මිතුරු මිතුරියන් ඉදිරියේ මගේ ගොළු හදවත විවර කලා.

නමුත් ඒක, සෙට් වෙන වෙලාවට ජොලියක් දාන්න හොඳ, පැරණි රසාංග විදිහට ප්‍රයෝජනයට අරගෙන පහුවදාට අමතක කරලා දැමිය යුතු දෙයක් විදිහට භාවිතා කලා විතරයි.

දශක තුනක් විතර තිස්සේ ගොළු කරගෙන හිටපු ගොළු හදවත විවර කිරීමෙන් මම හොයන්න ඇත්තේ ඒ ගොළු හදවත නිසා මම විඳපු වේදනා, විඳිමින් සිටි එපාවීමෙන් මිදෙන්න මාර්ගයක් හොයා ගැනීම කියලා මට හිතුනේ ඒ ගොළු හදවත වඩා ලොකු අවකාශෙකට විවර කලාට පස්සේ.

ඒ බ්ලොග් අවකාශේ.

දශක තුනක් විතර තිස්සේ හිරවෙලා . . හැංගිලා . . මුලුගැන්විලා . . .ඉඳපු මගේ "ගොළු හදවත" මම හරියට කතා කෙරෙව්වේ බ්ලොග් අවකාශේදී . .


. . . . . . . . . . .. . . . . . .. . . .

බාල වියෙන් යොවුන් වියට පියමන්න හැටි . .

සමාජයේ ඇති නැති පරතරයේ දිග පළල . .

නිමේශයක් ආශාවේ බූවල්ලාට යට වෙනවට වඩා මිතුරු කම වෙනුවෙන් හිත දඩි කරගැනීම වටිනාකම. .

යොවුන් වියේ ප්‍රේමය සුන්දරයි කියා සිතන නමුත් අඩු අත්දැකීම් නිසා බිඳුනු ප්‍රේමයක් වටිනා ජීවිතයක් සුනු විසුනු කල හැකි බව . .

ගුරු මෑණිවරු - පියවරුන්ගේ වටිනාකම . .

මිතුරු සබඳකම් ජීවිතය එලි පෙහෙලි කරන වග . . .

ඇපි හැදුනු ආසියානු සමාජයේ ඇති විශාලම වැරද්දක් හෙවත් මුවින් නොබිනූ දෙමාපියන්ට, සොයුරියන්ට, බිරිඳට, පුතාට, ඇති ආදරේ, සෙනෙහස මහාමේරුවක් තරම් බව

කියවූ නවකතා පොතකින්, නැරඹූ නාට්‍යකින්, චිත්‍රපටියකින්, වෙළද දැන්වීමකින්, ඇසූ ගීතයකින් විඳි සුන්දරත්වය . .

දරුවන්ට ලිංගික අධ්යාපනයක් අවැසි බව

ජීවිතයේ විශාලම කඩා වැටීමකදී තවත් වැඩි ජවයකින් නැගී සිටිය යුතු බව

දශක හතරකට කිට්ටු දිවියේදී ඇසූ දුටු රස බර සිදුවීම් රස කතා

විවාහ දිවියක නීරස බව සිඳ රස ලැබිය යුතු බව

ආදී මෙකී නොකී ගොළු හදවතේ සිරවී තිබූ බොහෝ දෑ මගේ බ්ලොග් අඩවියේ දෝර ගලා ගියේ කුඩා කල සිට සිත පෙළූ ජීවිතට එපාවීමේ . . . කළකිරීමේ නොපෙනෙනා ඈතකට පළවා හරිමින් බව කිව යුතුමයි.

. . . . . .. .. . . . . . . . . . . . . . . . .. .

ජීවිතය එපාවීම. . කළකිරීම වෙනුවට බ්ලොග් අඩවිය මට ලංකලේ "අඳුරට සාප නොකරමින් එක පහනක් හෝ දල්වාලීමේ බලාපොරොත්තුවයි."
ජීවිතයේ වැරදීම්, කඩාවැටීම්, ලද රිදවුම් අන් අය හා බ්ලොග් අඩවිය හරහා බෙදා හදා ගැනීමේදී හිත වෙලා ගත්තේ "උඹ වැටුනු තැනක් ගැන උඹ කියූ නිසා මෙය කියවන්නෙක් නොවැටී සිටීවී" කියා සිතීමෙන් ලද මානසික අල්ලසයි.

ඒ මානසික අල්ලස, තව තවත් හරවත් (යැයි මා සිතනා) දේ ලිවීමටත් ඒ වෙනුවෙන් ලබන ප්‍රතිචාර වෙනුවෙන් ලොල් වීමටත් . . . ඒ දෙස බලා තුටු වීම නිසාවෙන්, අර කලින් සඳහන් කල එපාවීම බොහෝ ඈතකට වී මා දෙස බලා සිටි බව . . .. .. මා හැර වෙන කවුරු නම් දනීද . .

. . . . . .. .. . . . . . . . . . . . . . . . .. .

හැමදේටම වඩා මේ ගොළු හිත කතා කරවීමෙන් "අ"වාසි ලැබුවේ මගේ හිසරුදාව.

මට අවුරුදු 16යේ 17තේ දී ඉඳන්ම වගේ තදබල හිසරුදාවක් තිබුනා.

පන්තියේදී වෙලාවකට මම පිටු 200 ලොකු පොතක් අරගෙන ඔලුවට ගහගෙන ගහගෙන යනවා.

නතර කරද්දී ඔලුවේ කැක්කුම එහෙම්මමයි.

ගෙදරදී ෂවර් එකේ ෂවර් රෝස් එක ගලවලා අඟල් තුන්කාලේ පයිප්පෙන් එන වතුර පාරට බිම ඉඳගෙන ඔලුව අල්ලගෙන ඉන්නවා පැය ගානක්. හිසරදේ අඩුවෙනකම් කියලා. වැඩක් නෑ.

උසස් පෙළ පන්තියේදී මගේ හිසරුදාව බලාගෙන ඉන්න බැරිවුනු රාජපක්ශ ටීචර් ගිහින් චෙක් කරල බලවන්න කියලා දෙන උපදෙස් නාහන මට අනෙක් අය ඉස්සරහා කතාවක් කිව්වා.

බිෂොප් එකේ ඉගෙන ගත්තු ටීචර්ගේ දුවගේ යාලුවෙක්ට හිසරදයක් තිබිලා චෙක් කලාම කන්නාඩි පාවිච්චි කරන්න කිව්වලු. ඒකෙන් හොඳ වුනාලු. මාස ගානක් ගිහින් විභාගේ කිට්ටුව දවසක් ඒ ළමයා කිව්වලු එයාගේ ඇස් පේන්නේ නෑ කියලා. චෙක් කලාම ඒ ළමයට ඔලුවේ කැන්සර් එකක්ලු. අවාසනාවට කැන්සර් එකේ මුල් අවදියේ හරියට චෙක් කලේ නැතුවායින් කන්නාසි නිසා තාවකාලිකව යටපත් වෙලා ටික කාලයකින් ඔලුවේ ඉඳන් පිට දක්වා පිලිකාව වර්ධනය වෙලා තිබුනාළු.ඒ වෙලාවේ ඔපරේෂන් එකට ගත්තලු. ඔපරේෂන් එකේදිම මැරුනලු.

. . . . . .. .. . . . . . . . . . . . . . . . .. .

ඒක අහපු දවසේ ඉඳන් ජීවිතේ එපා වෙලා හිටපු මම හරිම සංතෝසෙන් හිටියේ.

උදේ හවස මම පැතුවේ ඒ ළමයාට වගේ ඉක්මන් මරණයක්.

චෙක් කරලා ලෙඩේ හොයාගෙන විඳෝ විඳෝ ඉඳලා මැරෙන්නේ නැතුව එකපාරටම අසාධ්‍ය වෙලා මැරෙන්න.

පිටරට ගිය අලුත වේදනාව ඉවසගන්න බැරි නිසා චෙක් කරලා බලද්දී තමයි ප්‍රාර්ථනා සුනු විසුනු වුනේ.

මට කිසිම රෝගී තත්වයක් නෑලු.

හිත හදා ගන්න කියලා අඩු තරමේ මිග්‍රේන් වත් නෑලු.

ඒත් හිසරුදාව අඩු නෑ.

වෙලාවකට ඇස් දෙකෙන් කඳුලු එන තරම් වේදනාවක්.

ඒත් මම උත්සාහ කලේ කාටවත් වැඩිය ඒ බව නොපෙන්නා ඉන්න.

බැරිම වෙලාවක බඳින්න කලින් නම් ලළන්ත, දමිත්, චමල් මේ කාට හරි කියලා ඕඩි ක්ලෝන් දාලා මසාජ් කර ගන්නවා.

පස්සේ ඒ ජොබ් එක ඉබේම නදීෂාට පැවරුනා.

බෙහෙත් ගන්න ගිය වෙලාවක එක ඉන්ඩියන් ඩොකෙක් එක්ක මරා ගත්තා.

ඒ මනුස්සයා කියලම හිටියා "උඹට කිසි ලෙඩක් නෑ උඹේ හිතේ ලෙඩක් තියෙන්නේ" කියලා.

මස් රාත්තලම ඉල්ලනවා වගේ මම හේතුවක් අහන නිසා ඊ එන් ටී ඩොකෙක් MRI ස්කෑන් එකකුයි CT ස්කෑන් එකකුයි කරලා ඉවර වෙලා කිව්වා නහයේ පොඩි ඔපරේෂන් එකක් තියෙනවා. ඒක කලාට පස්සේ "හිසරදේ අඩු වෙන්න ඉඩ තියෙනවා" කියලා.

. . . . . . . .. . . . . . . . . . . . . . . . .. .

ටැබූගේ ලිපියක් කියවලා ඉවරවෙලා එක එක ලින්ක් ඔබලා ඉසිර මල්ලී (පොතේ ගුරාගේ) ගේ බයිස්කෝප් අඩවියේ තමයි නතර වුනේ.

ඉසිරගේ වදේට එයාම හදලා දුන්නු බ්ලොග් එකේ මගේ ගොළු හදවත කතාකරවලා බ්ලොග් අවකාශේ පුරා විසිරුනු සහෘදයෝ එක්ක වසරකට වැඩි කාලයක් ජීවිතේ බෙදා හදා ගත්තා.

බොහෝම සුන්දර මනුස්සයෝ රැසක් අඳුන ගන්න ලැබුනා.

දවසක් බූන්දියේ තිබුනා ලිපියක් ජී බී සේනානායකගේ සුව නොවන හිසරුදාව සුව වුනේ ඔහු ලියන්න පටන් ගත් පසුවයි කියලා.

එදා තමයි මට තේරුනේ අවුරුදු 16යේ 17තේ ඉඳන් වද දුන්නු මගේ හිසරදේත් දැන් ඉස්සර තරම් වද නොදෙන බව.

. . . . . .. .. . . . . . . . . . . . . . . . .. .

මම ලියන සමහර දේවල් නිසා මට ආදරය කරන සමහර අයගේ හිත් රිදෙන බව . . .

මම මටම අපහාසයක් වෙන විදිහේ දේවල් ලිවීමෙන් මගේ ප්‍රතිරූපයටත් ඒ හරහා මගේ ළඟම අයටත් වැරද්දක් වෙන්න පුලුවන් කියලා ඒ අය මාත් එක්ක දබර කරපු නිසයි දැනගන්න ලැබුනේ.

මම හතර අතේ හිතුවේ මම ආදරය කරන අය වෙනුවෙන් . . ..

මට ආදරය කරන අය වෙනුවෙන් . . .. .

එපා වෙලා තිබුනු මගේ ජීවිතයට අලුත්ම බලාපොරොත්තුවක් දුන්නා වුනත් . .

දශක දෙකක් තිස්සේ වද දුන්නු හිසරුදාව තරමකට සමනය කරලා දුන්නා වුනත්

මේ ලිවීම අත්හරින්න බැරිද කියන එකයි . . .

කරන්න පුලුවන් බව කලාට පස්සේ තේරුනා . . .

ඒත් මාසයක් විතර ඉන්න පුලුවන් වුනත් ආපහු මාව හොයගෙන ආවේ අර සුපුරුදු කළකිරීම . . . එපා වීම . . .
මගේ ජීවිතයෙන් කිසිම වැඩක් නෑ නේද කියන හැඟීම . . .

. . . . . .. .. . . . . . . . . . . . . . . . .. .

"පන නම් තණ අග පිනි බිඳු වැන්නේ"

කියලා කියන විදිහට අදද හෙටද කියලා නොදන්න මේ ජීවිතේ . . . සතුටින් ගතකරන්න පුලුවන් දෙයක් ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් කැපකරලා මමත් අසතුටෙන් ඉන්නවද . . .

මම අසතුටෙන් නිසා මගේ ළඟින්ම ඉන්න හැමෝමත් අසතුටේ පංගුකාරයෝ කරගන්නවද කියලා අහපු එකට ලබුනු පිලිතුර අපූරු එකක්.

ඒ ආදරේ කරන අය අර කිව්ව වගේ තණ අග රැඳිලා වගේ තියෙන පන කවදා හරි වාතලයට මුසු වුනු දවසක "මගේ හිත රිදුනට කමක් නෑ . . ඒ මනුස්සයා සතුටෙන් හිටියානේ" කියලා හිත හදා ගනීවී

ඉතිං ඔන්න මම ලියන දේවල් නිසා මින් පස්සේ හිත රිදෝ නොගන්නැයි ඉල්ලමින් . . .

කාගෙන් වත් චරිත සහතික බලාපොරොත්තු නොවෙන මට, - අතපය හයිය තිබෙන කාටවත් අතනොපා මගේ ලඟින් ඉන්න මට ආදරේ කරන, මම ආදරේ කරන අය රැකබලා ගන්න ඇහැක් බව දැන දැනත් ප්‍රතිරූප හානිය ගැන නොහිතා ඉන්නයිත් ඒ අයගෙන් ඉල්ලමින් . . .

ආදරේ යනු පරිත්‍යාගයක් බව සැබෑ නමුත් ආදරේ නමින් මා කරන්න තැතනූ පරිත්‍යාගයෙන් කිසිවෙකුට ලබා ගතහැකි යමක් නොමැති බව් මා ආදරය කරන මට අදරය කරන අය තේරුම් ගනීවී යයි උපකල්පනයන්ද සහිතව

ආපහු බ්ලොග් අවකාශේ වෙලාව තියෙන තියෙන හැටියට සැරිසරන්න එන බව සහෘදයන්ට මේ බොහෝම දිගු සටහනෙන් දන්වා සිටිමි . ..

Thursday, October 14, 2010

බ්ලොග් නොලියා ඉන්න වරයක් දුන් අඤ්ඤකොරොස් දෙයියා . . .!



"දරුව, අද දින නුඹගේ උපන් දිනය නිසාවෙන් නුඹට කැමති දෙයක් ඉටුකරදීමේ වරයක් ලබාදෙනු වස් පැමිනි ලංකාදීපය රකින්න කැපවුනු තිස්තුන් කෝටියක් දෙවිවරු අතරින් එක් දේවතාවෙක් වෙමි මම්'

උඩ ගිහින් ඇහැරුනු මම බැලුවේ “මේ කවුද යකෝ මේ. . . මූ මේ කොහෙන් ආවද දොර ජනෙල් වහලා තියෙද්දිත්” කියලා.

අනික අපේ රට රකින්න ඔය තරම් දෙවියෝ ඉන්නවා කියනවනම් ඒ කියන්නේ කෝටි දෙකට තිස්තුන් කෝටියක් කියන්නේ එකාට 16ගානේ ඉන්නවා කියන එකනේ . . කොහොමත් වෙන්න බැරි වැඩක්.

"හඃ හා වෙරි ෆනී . ., මම අහලා තියෙන්නේ දෙවියෝ කියන්නේ අපෙන් පිං අරගෙන ජීවත් වෙන කොටසක් කියලයි. ඉතිං කොහොමෙයි ඔහේලා අපිට ඉල්ලන ඉල්ලන දේ දෙන්නේ" මම කිව්වේ නින්ද කැඩූ තරහට නොරුස්සනා හඬින්.

"ඒ පණ්ඩිත කතා අනවශ්‍යයි දරුව. ඔබට යමක් අවශ්‍යයි නම් ඉල්ලනු. නැතිනම් මා ආපසු චුතවෙන්නෙමි"

නින්දෙනුත් ඇහැරුනු එකේ ඔන්න ඔහේ ඉල්ලලා දානවායි හිතපු මම වැඳගෙන පටන් ගත්තා

"අනේ දෙවියනේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ මට පේන විදිහේ වැරද්දක් තියෙනවා කියලා හිතෙන එක. පුලුවන් නම් අන්න ඒක හරිකොරලා දෙන්න" කිව්වේ අපේ ගෙදර උන්දෑ හොඳටම නිදි කියන එක කොන්ෆෝම් කර ගත්තට පස්සේ.

"ඒ වගේ දේවල් වලට නම් අපිට කොරන්න දෙයක් නෑ දරුවා. ඇස් කන්නාඩි සපයන තැනකට . . "

"මගුලක් කතා කරනවා" මේ ඉන්නේ දෙවියෙක් නේද කියලවත් හිතන්න කලින් දෙවියාට වාක්‍ය ඉවර කරන්නත් කලින් මගේ කටින් පැන්නා.

"මම කිව්වේ මේ අපේ රටේයි එහේයි මෙහේයි සිදුවෙන දේවල් මට පේන්නේ දැනෙන්නේ ගොඩක් උන්ට දැනෙන පේන විදිහට වඩා වෙනස් විදිහකට කියන එකයි"

"දරුවා, දෙවියන්ව කොන්ෆියුස් කරන්න එපා . . කියන දෙයක් පැහැදිලිව කියන්න"

අම්මට සිරි ඉංග්‍රීසි කෑලිත් දන්න දෙවියෙක්

"මෙන්න මේකයි දෙවියනේ. මට මේ මම කියන්න යන ලිස්ට් එකේ දේවල් පෙන්නේ අපේ රටේ ගොඩක් අයට පේනවඩා වඩා වෙනස් විදිහකට"

“කියමු බලන්න”

"නරකයි කියලා එක්කෙනෙකුට හරි ගොඩක් දෙනෙක්ට හරි පේන දෙයක් මට හොඳයි කියලා හිතෙන්න පුලුවන් නේද??? අනෙක මගේ හොඳම යාලුවෝ හොඳයි කිව්වේ නැත්නම් ඒක නරකයි කියලා හිතන්න ඕනද . . ??"

"සරත් ෆොන්සේකා කියන අර ආමි එකේ හිටපු ජෙනරාල්ව හිරේ දාපු එක අනිත් අයට හිතුනට රට අන්තර්ජාතික තරහ කාරයින්ගෙන් බේර ගන්න කලා කියලා මට හිතෙන්නේම මහින්ද මාමාට විරුද්දව චන්දේ ඉල්ලපු එකට ගේම දීමක් කියල"

"අනික එහෙම විරුද්ද අදහස් දරන අයව මර්ධනය කරන එක අනාගතේ භයානක ප්‍රතිපල දෙන දෙයක් කියලත් හිතෙනවානේ දෙවියනේ"

"මහින්ද මාමා නිව්යෝර්ක් යනකොට යාලුවෝ එකක් ගිහින් කෝටි 130ක් වියදම් කරන එක, උපන් දිනේ සමරන්න බාගෙට හදාගෙන යන වරායට වතුර පුරෝන උත්සව තියන කෝටි 75ක් විතර වියදම් කරන එක ඊහ්ම අනෙක් අය නම් කියන්නේ විදේශ ආයෝජකයෝ ආකර්ෂනය කර ගන්න කියලයි අනේ ඒත් මට හිතෙන්න ඒක මහජන මුදල් නාස්ති කිරීමක් කියලනේ දෙයියනේ"

"දරුවා දරුවා . . ."

"ඔන්න ඔය ටිකක් විතරයි දෙයියනේ ඒකයි මම කිව්වේ මට පේන විදිහේ වැරද්දක් තියෙනවා වෙන්ට ඇති කියලා තව ඕන නම් . . ."

"නෑ නෑ දරුවා . . ඔය ඇති . . මෙන්න මේකයි දරුවා . . . අපිටත් ඔය දේශපාලන කටයුතු වලට විරුද්ධ වෙන්න බෑ"

"අර මොකෝ"

"ඔය දේශපාලකයෝ හාමුදුරුවරුන්ට සැප කාර් දෙනවා වගේ අපිටත් ලොකු ලොකු සල්ලි කොල තියපු පූජාවට්ටි දෙනවා . . ."

"මදැයි කොලා . . හරි එහෙනම් මෙන්න මේක වත් කරලා දෙන්න"

"කියන්න දරුවා"

"අනේ දෙවියනේ මේ බ්ලොග් කියලා මගුලක් තියෙනවා මෙන්න මේ ලොකේ. ඒක ඔය කෙනෙකුගේ හිතේ තියෙන දුක, වේදනාව, තරහව වගේ දේවල් වෙන කෙනෙක්ගේ පිටින් යවා ගන්නේ නැතුව පිට කරන්න හොඳ දෙයක්"

"ඉතිං දරුව"

"ඒ වගේම කෙනෙක්ගේ ජීවිත අත්දැකීම් වල චාටර් සීන් එහෙම මේකේ ලියලා මේක බලන උන් ඒ වගේ චාටර් සීන් වලට මාට්ටු නොවී ඉඳහල්ලා කියලා පොඩි ඇඩ්වයිස් එකෙක් එහෙමත් දෙන්න පුලුවන්. තව ඉතින් දන්න කියන ජොලි කතා ලියලා කස්ටියව හිනා ගස්සන්න එහෙම පුලුවන්"

"හරි දරුවා දන් ඔබේ ඉල්ලීම කියන්න"

"අනේ දෙවියනේ මාත් මේ එකක් ලියනවා දැන් අවුරුද්දකුත් මාස හතරක් විතර තිස්සේ"

"හොඳයි දරුවා ඉතිං"

"අනේ දෙවියනේ මෙන්න මේ මගුල ලියන එක නතර කරන්න පුලුවන් වෙන්න මගේ හිත වෙනස් කරලා දෙන්න"

"දැන් ඔය දරුවා කියපු විදිහට ඕක ඔය දරුවගේ ස්ට්‍රැස් එක පිටකොරන හොඳ දෙයක් නේ . . අහවල් දේකටද ඉතින් ඕක නතර කොරන්න ඕන කියන්නේ"

"මේකේ මම ලියන ඒවා හින්දා සමහර අයට මාත් එක්ක තරහා වෙනවා දෙවියනේ. මම අර කලින් පිච්චුනාට පස්සේ ඉඳන් හරි අකමතියි මිනිස්සු තරහ කොර ගන්න දෙයියනේ . . මාව ආශ්‍රය කරන්නෙත් බොහෝම ටික දෙනයි “

“ඒ මොකෝ දරුවා”

“මගේ කට හොඳ නෑ කියලා දෙයියනේ . . මට හිතේ තියාගෙන පැසෝ පැසෝ ඉන්න බෑ දෙයියනේ . . මොනා හරි වැරැද්දක් දැක්කොත් පොල්ලෙන් ගහුවා වගේ කෙලින්ම මූනටම කියල දානවා. . .ඉතින් මගේ හිතවත්තු කියන්නේ මට තියෙනෙන බෝක්කු කටක් වගේ කටක් කියලා මාත් එක්ක යාලු වෙලා ඉන්න කැමති නෑ. මේ බ්ලොග් ලියන එක හින්දා මාත් එක්ක ඉන්න ටික දෙනාත් තරහා වෙනවා දෙයියනේ . . . "

"නතර කොරන්නේ නැතුව වෙන පිලියමක් නැද්ද දරුවා"

"අනේ එහෙනම් දෙවියනේ මට බොක්කෙන්ම හිතෙන දේවල් නැතුව සාමා එන්න අමර එන්න අපි මල් පිපී දැයි බලමු වගේ චෝයි ඒවා ලියන්න පුලුවන් වෙන විදිහට මගේ මේ කුරුවල් වෙච්චි මොලේ අප්සට් එක හදලා දෙන්න"

“එහෙම නත්නම් මාව මෙලෝ රහක් නැති එකෙක් කරන්න දෙයියනේ ඒත් බැරි නම් හැඟීම් දැනීම් නති එකෙක් කරන්න”

"දරුවා දෙවියන්ට වුනත් කරන්න පුලුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා" කියපු දෙවියා මොකුත්ම නොදී යන්න වගේ උතුරු සලුවේ පොට කරේ දා ගත්තා.

"උපන් දිනේ වෙනුවෙන් මොනා හරි වරයක් දෙන්නම් කියලා නේද කිව්වේ . . . වෙන මොකුත් එපා සිරාවට මේ මගුල් බ්ලොග් එක ලියන එක නතර කරන්න හිත හදාගන්න පුලුවන් වෙන්න මොනා හරි කරනවකෝ ඕයි . . "

දෙවියෙක් කියලත් අමතක වෙලා තදවුනු පාර කියවුනා.

"ඒක ඉතිං තමන්ම හිත තදකරගෙන කොරන්න ඕන දෙයක් මිසක් අපිට කොරන්න පුලුවන් දෙයක් නෙමේ ". . කියපු දෙයියා එක පාරටම නොපෙනී ගියා . .

පොර ගියා විතරයි මෙන්න මගේ එලාම් එක වදිනවා . .

මොනා කරන්නද උපන් දිනේ කියලා ගෙදරට වෙල නිදා ගන්න කියලෑ . . “ඉතිං ආයිබෝවන් බ්ලොග් මිතුරු ගරු” කියන්න වෙයිදෝ කියලා හිත හිත මම තුවාය කරේ දාගෙන නිදි මතේම බාත් රූම් එකට ගියා නාගන්න . .

Monday, October 11, 2010

ඔහුට මුවා වී පාසැල් යන්නේ මා දැයි නිකමට මට සිතුනා !



ඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරේ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ළන්ද පුරා දුව පැන එනවා
මේ දරු දරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා

ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒ දඬු මංකඩ තිත්ත පැටව් රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එක තැන රැඳුනා

ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේලි සැදී හිඳ
මුතු ඇහිඳී මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුස ගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ

පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැඟුවා
ඔහුට මුවා වී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට සිතුනා
. . !



ගායනය : සුනිල් එදිරිසිංහ

. . . . . .. . . . .. . . . .. . .

මේ ගීතය අසන හැම මොහොතකම මම ජීවත් වෙන්නේ මගේ ළමා කාලයේ.

විස්වාස කරන්න මේ ගීතයේ "ඔහුට මුවාවී පාසැල් යන්නේ මා දැයි නිකමට මට සිතුනා" කොටස ඇසෙන හැම මොහොතකම මගේ ඇස් දෙක තෙත් වෙනවා.

මේ ගීයේ පදමාලාවට අනුව මැවෙන චිත්ත රූපයේ ඒ කියන දරුවා සුනිල් එදිරිංහ මහතාට ඒ තමා යැයි සිතෙනා ලෙසම මට සිතෙන්නේ ඒ මමයි කියා බව කීවොත් ඔබ පිලිගන්නවාද . . ?

වෙනසකට ඇත්තේ මේ දරුවා සොබා සුන්දරත්වය විඳිමින් තනිවම පාසැල නිමවී එන නමුත් මට මගේ කුඩා කාලයේ පාසලේ සිට නිවසට එන්න යෙහෙලියක් සිටීමත්, පාසැල නිමවා නිවසට එන අතරතුර තිත්ත පැටව් සමඟින් කතාබහ කරමින් සිටින්න ඒදඬු මංකඩක් නොතිබීමත් පමනක් යයි කිව හැකියි.

මගේ සොයුරියන්ගේ පාසැල මා උගත් පාසැලට කිලෝ මීටරයක් පමන දුරකින් පැවති නිසාත්, පාසැලේ අනෙක් දරුවන් පාසැල නිමවූ වහාම බඩ ගින්දර නිවා ගනු වස් නිවෙස් බලා දුවන නිසාත්, කුඩා මා තරම්ම සොබා දහමට පෙම් කල මා උගත් පාසැල අසල පාසැලේ උගැනුම ලැබූ පංචලී අක්කා මගේ ගමන් සගයා වීමේ අපූර්‍වත්වය වූවා.

අතේ ඉතුරු කරගත් සතපනහකට රුපියලකට මිලදී ගත්, කැන්දකොලයක තබා දෙන මිරිස් දමා කලවම් කල තැම්බූ වෙරළු ගෙඩි කීපයක් සූප්පු කරමින් (පංචලී අක්කාගේ පංගුව ඈ සඳහා ඉතුරු කරගෙන) පාසැලේ ගේට්ටුව ඉදිරිපිට (පාරෙන් එහා පැත්තේ) ඇති විශාල පඩි රාශියකින් සමන්විත රාජමහා විහාරය පංසලේ පහලම පඩියේ වාඩිවී මඟ බලා ඉන්නේ අපේ සුපුරුදු සෞන්දර්ය චාරිකාව අරඹනු සඳහායි.

පෙරහර කාලයක නම් අපේ අනිවාර්‍ය ගමන් මඟ පන්සල හරහා වැටුනු කෙටි ගමන් මාර්ගයයි, පන්සල් වත්තේ ගැට ගසා සිටින සියලු විශාල අලි ඇතුන් මඟහැර අපි නතර වෙන්නේ දඟකාර කුඩා ඇත් පැටවා ලඟ. උගේ දඟකාර කම් අපිට කුසගින්න පවා අමතකකරවන සුළුයි.

පන්සල හරහා වැටුනු කෙටි මාර්ගය තෝරා ගත් අනෙක් කරුන නම් ආවාසගේ ඉදිරිපිට සැපතිල්ලා ගස වටා සවිකොට ඇති විශාල කූඩුවේ රඟන මොණරු හා පන්සලේ රූස්ස ගස් උඩ නවාතැන් ගත් සුදුරෙදි හොරුන්, සිවුරු හොරුන්, පිළිහුඩුවන් ආදී කුරුල්ලන් හැර වෙන කිසිවක් නොවේ.

පන්සල වටා ඇති දිගු මාර්ගයට අපි වඩාත්ම ප්‍රිය කලේ පන්සලේ ඇති විශාල කෝන් ගහේ ගෙඩි වැටෙන්නේ පාරට වීමත්, කෝන් ගෙඩි කන්න ආ පලා කොට්ටෝරුවන් දකින්න නම් මහ පාරෙන් එන්න වීමටත් වඩා ශ්‍රී පාදයට වඩා පොඩ්ඩක් කුඩා යැයි අප උපකල්පනය කල කන්ද නැගීමේ සතුට විඳීමටයි.

පොත් බෑගයේ අඬු දෑතින් අල්ලා කුදුවී කන්ද නැගි සැටි මේ දැන් වගේ මතකයට ගලා ඒම කෙසේ නවතන්නද . . (වසර ගනනාවකට පසු ඒ මාර්ගයේ ලඟදී ගමන් ගනිද්දී සිතුනේ එය කෙතරම් කුඩා බෑවුමක්ද කියායි )

වතුර ටැංකිය පසුකර මීටර් 100ක් පමන ගිය තැන හමුවන විජේසූරිය වලව්වට අයත් විශාල ඉඩමේ එක පසක වලව්ව ඇති අතර පාරෙන් අනෙක් පැත්තේ ඇත්තේ ඔවුන්ගේ කටු කම්බි ගසා වට කල කජු වත්තයි. කජු වාරේදී නම් පාට පාට විදුලි බුබුලු මෙන් දිදුළන තද කහපාට, තැඹිලි පාට, තද රතු පාට කජු පිරුනු කජු පුහුලන් දිහා බලා සිටින්නේ වෙසක් තොරණ් දෙස බලා සිටිනවා වැනි පුදුම ආසාවකින්.

ඉඳහිට දවසක පංචලී අක්කා කම්බි පොටවල් දෙකක් මෑත් කර අල්ලා සිටිද්දී කජු වත්තට පැන බිම ගෑවෙන තරම් පහල අතුවල ඇති පුහුලමක් දෙකක් කඩාගෙන පසුපස නොබලා දුව යන විට දහම් පාසලේදී උගත් අදින්නාදානා වේරමණී ගාථාව නම් හිත අහලක වත් නොතිබූ බව කිව හැකියි. මතක ඇත්තේ කජු පුහුලන් හුලඟේ පැද්දී පැද්දී අපට අඬ ගැසූ බව පමනයි.

විටෙක අපි දෙදෙනා ම සමනලයෙකු පසුපස නිවස දෙසට නොව පාසැල දෙසට කිලෝ මීටරයක් පමන දිව ගොස් හිස් අතින් ආපසු හැරුනු පසුයි සිහියට එන්නේ නිවාස ඇත්තේ අනෙක් අන්තයේ බව.

වැස්ස දවස් වලට අනෙක් දරු දැරියන් වැස්ස පායන තුරු පාසැලටම වී බලා සිටිනවා වුවත් අපි නොවේ වැස්සේ අසිරිය නොවිඳ අපතේ හරින්න කැමති වූයේ. නිවසින් ගෙන ආ සිලි සිලි බෑගයකට පාසල් බෑගය ගිල්ලවා වැහි බිඳු වැටෙන අහසට මූන හරවා ගෙන වැස්සේ අසිරිය විඳිමින් නිවෙස් කරා ගිය ගමන අද සිහිවන්නේ සදෙව් ලොවට ගිය ගමනක් සේය.

පාසැල නිමවා එන චාරිකාවේ අප සිත ඇද බැඳ ගත් අවසාන නවාතැන් පල අපගේ නිවෙස් පේන මානයේ ඇති බේකරිය ඉඩමේ කෙලවරේ තිබූ ළූනු මල් යැයි අප හැඳින්වූ ලිලී මල් යායයි. සුදුපාට රෝස පාට හා තැඹිලි පාට ළූනු මල් වෙන වෙනම වරද්ද වරද්දා ගනන් කර අවසානයේ නිවස දුටු සැනින් මීටර් සීය තරඟාවලියේ මෙන් දුවන්නේ නිවස දුටු විගස සිහිවන ඉවසා ගත නොහැකි කුසගින්න නිසාවෙනි.

ඉදින්, මේ ගීයේ පවසන කුඩා එකා මා නොවේ යැයි කියන්නේ කෙසේද . . ?


මෙන්න ගීතය අහලා බලන්න . . !


Pic from :sundaytimes.lk

Thursday, October 7, 2010

පුතුනි බලන් යොමා නුවන් . . . . . . !!!!



"ඒයි . . . අර පෝස්ටර් ටිකයි හෑන්ඩ් බිල්ස් ටිකයි පුතාට පෙන්නන්නකෝ . . "

උපකාරක පංති ගිහින් හවස ගෙට ගොඩ වෙනකොටම තාත්තා කිව්වා.

මගේ ඇස් අම්මගෙත්, තාත්තගෙත්, නංගිගේත් මූනු හරහා දිව්වේ මොහොතින්.

තාත්තගේ මූනෙත් කට හඬේත් තිබුනේ උද්දාමයක ලකුනු.

අම්මගේ මූනේ භාගයක කෝපයක් වගේ හැඟීමකුත් භාගයක සතුටක් වගේ හැඟීමකුත් තිබෙන බව දැක්කා.

නංගීගේ මූනේ තනිකරම තිබුනේ සමච්චල් සිනාවක්.

"මොන පෝස්ටර්ද?? මොන හෑන්ඩ් බිල්ස් ද"

මගේ කාමරේ දොර ලඟ හිටගෙන තුන් දෙනාගේම මූනු එකම බැල්මෙන් නිරීක්ෂනය කරමින් මම ඇහුවේ.

"ඇයි පහුගිය ටිකේ ගෙදර කතා බහ උඹට ඇහුනේ නැද්ද?? තාත්තා මෙදා පාර ප්‍රාදේශීය සභාවට චන්දේ ඉල්ලනවා"

චිමිනි පත්තු කරන කාලේ වැරදීමකින් චිමිනියේ අත ගෑවුනු වෙලාවක වගේ මාව ගැස්සිලා ගියේ ඒක ඇහුවාම.

"මොකක් ?? ඉන්න හරක් ටික මදිවටද?"

"හිකිස් . . ."

නංගීගෙන් පිට වුනේ ගොඩක් වෙලා ඉඳන් හිර කරගෙන හිටපු හිනාවක් කියලා තුන්දෙනාටම තේරුනා.

තාත්තා දැම්මේ මාව පිච්චිලා අළුවෙලා යන බැල්මක්.

"අයියෝ අපේ පක්ෂේ මේ තරම් පීචං ද . . .?? චන්දෙට ඉදිරිපත් කරන්න හරි හමන් අපේක්ෂකයෙක් හොයා ගන්න බැරි තරම්"

"උඹට ඒ පැහිච්ච කම් ඕන නෑ ලබන සතියේ ඉඳන් දෙන්නගෙම වීක් එන්ඩ් එකේ ක්ලාස් එකක් දෙකක් කට් වුනාට කමක් නෑ, දෙන්නම එන්න ඕන අපි එක්ක කැන්වසින් යන්න"

"මට නම් බෑ" අපි දෙන්නගෙම කටින් පිට වුනේ එකටම.

කලින් නම් ගහයි කියලා බයට කට වහගෙන හිටියත් ලඟදී ඉඳන් මම එකට එක කතා කරන නිසා නංගීගෙත් බය ඇරිලා දැන්.

"බෑ කියලා හරි යන්නේ නෑ. උඹලා වැඩ කරන්න ඕන මම කියන විදිහට"

"මට නම් බෑ. . . කිව්වොත් කිව්වා. මෙයාට දෙනවට වැඩිය හොඳයි අර ඥානසිරිට චන්දේ දෙනවා. ඌ අඩු තරමින් කට්ටිය එකතු කරගෙන පොකුනක්වත් සුද්ද කරනවා. මෙයාලා මැයි පෙලපාලි දවසට රතු කැප් දාගෙන බස් පුරෝගෙන පාරදිගේ කෑ ගහන එකයි . . කාගේ හරි ගෙදරකට වෙලා බෝතලක් වට කරගෙන ඇන්.ඇම් සහෝදරයා අරෙහම කලා . . . පිලිප් සහෝදරයා මෙහෙම කලා . . . විවියන් සහෝදරී මෙහෙම කිව්වා . . කියලා පම්පෝරි ගහනවා ඇර කරන බම්බුවක් තියෙනවද?"

"ඥානසිරිට දීපන් උඹේ . . ."

"අහ් මෙන්න දේශපාලනේ පලමු සුදුසු කම ගෙදරින්ම පටන් ගන්න වගේ ලෑස්තිය"

"උඹට මම එක පාරක් කිව්වා, එච්චරයි. ආ ඔයාගේ යාලුවෝ ඔක්කෝටමත් කියන්න ඕන මට සහයෝගය දෙන්න ඕන කියලා"

තාත්තා කලින් කටහඬේ තිබුනු සැර බාල කරලා මේසේ උඩ තිබුනු ජෝග්ගුවෙන් උස වීදුරුවක් පිරෙන්නම දාගත්තු වතුර එක එක හුස්මට බීලා තව පාරක් වීදුරුවෙන් භාගයක් පුරව ගත්තේ මම කියපු දේවලට උගුර කට වේලුනු නිසාද නැතිනම් ඇත්තටම වතුර තිබහක් තිබිලද කියලා හිතා ගන්නවත් ඉඩක් අපිට නොදෙන තරම් සුලු වෙලාවකදී.

"මම නම් කට කැපුවත් කියන්නේ නෑ තමන්ගේ ගෑනිට දරුවන්ට යුතුකම් ඉෂ්ඨ කරන්න බැරි මිනිහෙක්ව ගමේ මිනිස්සුන්ට යුතුකම් ඉෂ්ඨ කරන්න ප්‍රාදේශීය සභාවට යවන්න කතිරෙ ගන්න කියලා"

පොත් ටික කිහිල්ලේ ගහ ගන්න ගමන් මම කිව්වේ එක එල්ලේ තාත්තගේ ඇස් දිහා බලාගෙන.

තාත්තා එක අතකින් වතුර වීදුරුව අරගෙන අනිත් අත මිට මොළවගෙන මගේ ලඟට ආවේ “හිටු තොගේ දත් ටික බඩට යවන්න” කියන හැඟීමෙන් වෙන්න ඕන.

නංගියි අම්මයි තත්පරෙන් තාත්තගේ දෙපැත්තට ආවේ මට ගහන්න නොදී තාත්තව අල්ල වෙන්න අති කියන එක හිතුනේ දෙවෙනියට.

ඒ තත්පරේට වුනත් මට පලමුවෙන්ම මතක් වුනේ රා කල හතක් පොවලා හෙන්ඩුවෙන් ඇනලා ඇනලා තරහා ගස්සලා බුදු හාමුදුරුවෝ ඉස්සරහට එවපු නාලාගිරියාව. ඌත් එන්න ඇත්තේ ඔය විදිහටම වෙන්න ඇති.

"ඇයි ගහන්නද ??? මම වැරද්දක් කලා නම් වැරදි දෙයක් කිව්ව නම් මැරෙන කම් ගැහුවත් කට හොල්ලන්නේ නෑ. හැබැයි මම වැරද්දක් නොකර ඇත්ත කතා කරපු නිසා ගැහුවොත් මමත් ගහනවා. ආනන්තරීය පාප කර්මෙට වන්දි ලබන ආත්මේ ගෙවනවා. ගහන්න අත උස්සගන්න හයියක් නැති වුනොත් යනවා පොලිසි. තාත්තගෙම අතේ එල්ලිලනේ මම පොලිසි යන්න පුරුදු වුනේ. ඔයාලගේ පාක්ෂිකයෝ පෝස්ටර් අලවලා හිරේ දාපු වෙලාවල් වල පොලිසි යද්දී මමත් ආවනේ අතේ එල්ලිලා ඇයි මතක නැද්ද"

මම විනාඩි බාගයක් විතර තදින් ඇස් දෙක වහගෙන හිටියේ මේ දෙකෙන් කොයි එකක් කරන්න හරි හිතට දහිරිය ගන්න.

"ස්ලාං . . දහ් දහ්"

කන ලඟින් රූං ගාලා ගිය වීදුරුව බිත්තියේ හැපිලා කුඩු වෙලා ගියා. මිට මොලවපු අතින් තාත්තා බිත්තියට ගහගෙන ගහගෙන ගියා.

මූනට දමලා අරින්නේ නැතුව වීදුරුව බිත්තියට ගැහුවෙත්, මිට මොලවපු අතින් බිත්තියට ගැහුවෙත් තාත්තට හර්ද්‍යසාක්ෂිය කියල දෙයක් තිබුනු නිසාද නැතිනම් දරු සෙනෙහස නිසාද කියලා කියන්න දන්නේ තාත්තා විතරමයි.

ඉන් පස්සේ අද වෙනකම් කවදාවත් ඒ ගන කතා කලේ නැති නිසා ඒක හෙලි නොවුනු අභිරහසක් කියන ලිස්ට් එකට වැටුනා.

"උඹලට කන්න අඳින්න දෙන්න මම. උඹලා වැඩ කරන්න ඕන මම කියන විදිහට. හොඳින් හරි නරකින් හරි මම ඒ වැඩේ උඹලා ලව්වා කර ගන්නවා"

පරාජිත හඬකින් නමුත් “හහ් බලමුකෝ එහෙනම් කොරලා” කියන හඬත් ලාවට ගාවගෙන තාත්තා කියලා දැම්මා.

"අපේ අම්මා කසාද බැඳලා එනකොට දෑවැද්දට ගෙනාපු ළමයි නෙමෙයිනේ අපි තුන්දෙනා. අනික අම්මා වෙන මිනිස්සු එක්ක ගිහින් හදාගත්තු ළමයි නෙවෙයි කසාද මිනිහගෙම ළමයි කියලා අපි තුන්දෙනාගේ නහයවලුයි මූනු ටිකයි දැක්කාම ඕන පොට්ටයෙක්ට කියන්න පුලුවන්නේ. ඉතිං ලමයි හදපු මිනිහම කන්න අඳින්න දෙනවා ඇර අහල පහල මිනිස්සුන්ගෙන් කන්න අදින්න ඉල්ල ගන්නැයි"

කාගෙවත් හිත රිදෙන්න වචනයක් කියන්න අකමැති මගෙන් කවදාවත් ඒ වගේ දෙයක් කියවෙයි කියලා හීනෙන් වත් නොහිතපු අම්මයි තාත්තයි විතරක් නෙමෙයි නංගීත් ගැස්සිලා ගියා කියලා මම දැක්කා.

"කන්න නොදෙන නිසා බඩ ගින්නේ ඉන්න වුනත්, අඳින්න නොදෙන නිසා හෙලුවෙන් ඉන්න වුනත් මට බෑ හිතට විරුද්ද දෙයක් කරන්න.

මෙච්චර කාලයක් ඔයාගේ හැම වැඩක්ම අම්මයි, අක්කයි, මායි, නංගියි ඉවසුවා.

ඒකෙන් මට මගේ අක්කව නැති උනා.

ඔයාගේ නපුරු කම් ඉවසන්න බැරිම තැන අක්කා අඩු වයසෙන් තනි කැමැත්තෙන් කසාද බඳලා හොරු ගෙනිච්චා වගේ අතුරු දහන් වුනා.

මට මාව නැති උනත් තාත්තගේ මෝඩ තීරණ නිසා අනෙක් දේවල් මට නැතිවෙනවා බලං ඉන්න බෑ"

අන්තිම හරියෙදි අක්ක ගැන කියන තැන ඉඳන් මම කිව්වේ අඩ අඩා . . අක්කා බැඳලා මාව දාලා ගිය දවසේ කෑ ගහලා ඇඩුවට පස්සේ ඒ තරම්ම වේදනාවකින් මම ඒ ඇඬුවමයි.

නංගී මාව දාලා ගිය දවසේ අඬන්න නෙමෙයි බෝම්බයක් වැදිලා මුලු ඇඟම කැපිලා, හීරිලා තියෙන එකෙක්ට හැඟීම් දැනීම් නැති වෙනවා වගේ උගුරේ හිරවුනු ලොකු බෝලයක් වගේ දෙයක් නිසා වචනයක් කතා කරගන්න බැරුව හිටියා මිසක් අඬුනේ නෑ . .

"අක්කට ධෛර්යක් තිබ්බේ නෑ පවුල ඇතුලේ තාත්තගේ ඒකාධිපති වාදයට විරුද්ධ වෙන්න. . . .

අම්ම බැන්ඳ දවසේ ඉඳන් තාත්තා ගල් කැටයක් පෙන්නලා "ඒයි මේ මැනිකක්" කිව්වත් "ඔව් සිරී ඒ මැනිකක්" කියනවා මිසක් තාත්තට වැඩිය උගත් කමක් තිබුනා වුනත් අම්ම තාත්තගේ වචනෙට පිටින් ගියේ නෑ. . ..

අසාධාරණේ දැක දැක හැමදේම විනාස වෙලා යන දිහා කන්න නැති වෙයි කියලා බඩ ගැන හිතලා කට වහගෙන ඉන්න මම තවදුරටත් ලෑස්ති නෑ . . . .

දැනාටත් කරනව වගේ පොඩි ළමයින්ට ටියුෂන් දීලා මට පුලුවන් මගේ වියදම පිරිමහ ගන්න . .. .

තාත්තා පුලුවන් දෙයක් කරන්න,

වැරදි දේ තාත්තා නෙමෙයි දෙයියන්නාස්සේ කලත් වැරදියි කියලා කොන්ඳ කෙලින් තියාගෙන කියන්න තරම මගේ පිටකොන්ඳ දැන් හයියයි.

අසාධාරනේට අයුක්තියට විරුද්ධව කතා කරලා ගුටි කන්න වුනත්, බඩ ගින්නේ ඉන්න වුනත් මින් පස්සේ මට පුලුවන් වෙයි”

පැය කාලක් විතර කාමරේ ඇඳේ කොට්ටේ ඔලුව ඔබාගෙන කොට්ටේ පෙඟෙන කම්ම . . . අවුරුදු 18ක් තිස්සේ පෙලුනු වේදනාවක් පිටවෙනකම්, අක්කව මට නැති වුනු වේදනාව නැතිවෙනකම් අඬපු මම කාමරෙන් එලියට ඇවිත් කියාගන්න බැරි වුනු ඉතුරු ටික කියනකොටත් අම්මයි තාත්තයි නංගියි තුන්දෙනාම මම කාමරේට යන්න කලින් හිටි තන් වලම ගල් වෙලා හිටියා.

. . . . .. . ..

පක්ෂ දේශපාලනය මට එපා වුනා.

එදායින් අද මම එක පක්ෂෙක වත් සාමාජිකයෙක් නෙමෙයි.

මම එලිපිටම, තාත්තට ඇහෙන මානයේ ඉඳගෙන පවා තාත්තට විරුද්දව තාත්තගේ විරුද්දවාදියාට සහයෝගය දෙන්න කියලා මගේ මිතුරන්ගෙන් ඉල්ලා සිටියා.

තාත්තා චන්දේ දින්නොත් ප්‍රාදේශීය සභාවේ පොඩි හරි කමක් නෑ ජොබ් කට්ටක් ඉල්ල ගන්න පුලුවන් වෙයි කියන හැඟීම හිතේ තියාගෙන බොරු පූච්චානමට "මේ සුදු මහත්තයා විහිලුනේ කරන්නේ. මහත්තය තමයි ප්‍රාදේශීය සභාවට මේ ගමෙන් සුදුසුම කෙනා" කියලා තාත්තව පුම්බලා තිබ්බ මිනිස්සු නිසා . . . ගොනා හැරෙන කොටම පොල් පැලේට තමයි කියන්න මට ඉගෙන ගන්න පුලුවන් වුනා.

අදටත් එකාධිපති වාදයකට උඩගෙඩි දෙන, දූශිත නායකයෙක්ට සුදු හුනු ගාන පොරවල් දැක්කාම මට ඉවෙන් කියන්න පුලුවන් “මේ පොර මේ ට්‍රයි කරනෙන ආන්ඩුවේ ලොකු පෝස්ට් එකකට ද නැති නම් ආන්ඩුවේ සපෝර්ට් එකෙන් බිස්නස් එකක් කරන්නද” කියලා.

ප්‍රතිපල දවසේ තාත්තගේ විරුද්දවාදියා දිනලා තිබුනා.

මම මගේ යාලුවන්ට හංදියේ හෝටලයෙන් මගේ ගානේ ආප්ප අරන් දුන්නා . . .

. . . . . . . .. . . . . . ..

Pics from : http://royaltart.com/

Tuesday, October 5, 2010

ප්‍රේමය තාරුණ්‍යයේ බූදලයක්ද . . ?



ආදරය, ප්‍රේමය, සෙනෙහස මේ කිනම් නාමයකින් හෝ හඳුන්වන මිනිස් සන්තානයේ ඉපදෙන මේ අපූර්වතම හැඟීම, එය යෞවනයේ හා තාරුණයේ සින්නක්කර අයිතිවාසිකමක් ද ??

මහළු වියේදී ආදරය කිරීම පාපයක්ද. . ??

නහින දෙහින් කාලේ කියා පන්සලේ පල්ලියේ සිමෙන්ති හෝ මැටි ගොඩක් වූ පිලිමයක් ඉදිරිපිට අපහසුවෙන් වාඩිවී බොරුවට හිත රවට්ටා ගැනීමට, එකදු වචනයක හෝ තේරුමක් නොදන්නා නමුත් කුඩා කල සිට කට පාඩම් කල ගාථා හෝ යාඥා උදේ සිට සවස් වන තුරු මතුරමින් සිටීමෙන් ස්වර්ග රාජ්‍යයේ කිරුළ පැලඳිය හැකිද, නිර්වාණයේ මෝක්ෂ සුවය විඳිය හැකිද . . ?

බාල, තරුණ, මහළු විශේෂත්වයක් නොමැතිව අත්විඳින සෙනෙහස ආදරය දයා සිතින් ඉවසන්න හැකියාවක් ඇති දවසක්, මෛත්‍රී සිතින්, සතුටු සිතින් විඳින්න හැකි දවසක් කවදා උදා වෙයිද . .. ? එවැනි දවසක ලෝකය කොයි තරම් සුන්දර තැනක් වෙයිද . . ?

පස් වෙනි මණ්ඩලයේ මහා කලා නිර්මාණයැයි කියා ගන්නා සමහරක් උසස් චිත්‍රපටි, ඒවා අධ්‍යාත්මික සංහිඳියාවක් ඇති කරන උසස් කලා නිර්මාණ යැයි මාධ්‍ය හා විද්වතුන් විසින් පුවත්පත් පිටු ගනන් පුරව විචාරයට ලක් කරන සමහර චිත්‍රපටියක දක්නට නොලැබෙන තරම් භාවාතිෂය ගතියක් ඊයේ රාත්‍රියේ නැරඹූ මේ ඒකාංගික ටෙලි නාට්‍ය තුලින් මා වින්දෙමි.

රසවත් ආහාරයක් කෙසේ නම් තනිවම බුදින්නද . . ??

එබැවින් ඒ ඒකාංගික ටෙලිය ඔබ සැම සමඟ හවුලේ රසවිඳිනු නියායෙන් මේ කෙටි බ්ලොග් සටහන නොතියාම බැරිවූ බව පවසන්නේ සතුටින්.

එදා දුහුළු මලක් හි දඟකාර පෙම්වතිය නීටා අද මහළු පෙම්වතිය ලෙස එදා තිබූ තාත්විකත්වය බිඳුවකු අඩු නොකට . .. .

එදා අපේක්ෂා හි අහිංසක පෙම්වතා කලං අද මහළු වයසේ නමුත් සුපුරුදු අහිංසක පෙම්වතා ලෙස . . .

ඉදින් චාමර ජයවීර නම් වූ නිර්මාණකරුවෙකුගේ මේ අපූරු නිර්මාණය ඔබත් රසවිඳ බලන්න . . .

මෙන්න සබැඳියාව (ලින්ක් එක )

Sunday, October 3, 2010

සම්පූර්ණයෙන් අසම්පූර්ණයි . . . !



මට මොකද වුනේ . . .

මේකට කියන්නේ කලකිරීමද, එපා වීමද, උකටලී වීමද, අධෛර්‍ය වීමද, මෝඩ වීමද, ඕනවට වඩා ඔලුවට ගැනීමද, අනවශ්‍ය ලෙස කැලඹීමද, නොදන්නා කමද මොන මළදානයක්ද . . . ???

මොන මළදානයක් වුනත් මොනවා හරි වුනු බව නම් මට දැනෙනවා . . !!

ඒත් ඒක හොඳකට වුනු දෙයක් නෙමෙයි කියලත් හිතෙනවා.

හොඳකට වුනු දෙයක් නෙමෙයි කියලා හිතෙන නිසාම මෙයින් මිදෙන්න ඕන කියලා හිත කෑ ගහලා අඬනවා.

මෑත අතීතයේ ඉඳන් ජීවිතේ හැමදාම වගේ හැමදේම ආදරෙන් බදාගත්තු මට හැමදේම එපා වෙන්න වුනේ ඇයි කියලා මම ම අහන ප්‍රශ්නේට පිලිතුරු නැතුව මම ම ළතවෙනවා.

වර්තමාන දේශපාලන වාතාවරණය විතරක් මේකට හේතු වුනාද කියලා හිතෙන් ඇහුවාම ලැබෙන පිලිතුර:

"ඇයි උඹ 88-89 කාලේ ජීවත් වුනේ නැද්ද?"

"තරුණ කොල්ලෝ කෙල්ලෝ අමු අමුවේ පාරවල් දිගේ මරලා දානවා ඇහුවේ නැද්ද? දැක්කේ නැද්ද?"

"එපා කියද්දී ප්‍රවෘත්ති කියන්න ගියා කියලා ප්‍රේමකීර්තිව මරපු බව දන්නේ නැද්ද"

"ජනාධිපති ආර්‍‍යාව ටෙනිස් ගහද්දී ෆොටෝ ගැහුවා කියලා ඡායාරූප ශිල්පියෙක්ව මැරෙව්වා කියලා කට කතා අහලා නැද්ද?"

"ට්‍රාන්ස්ෆෝමර් පිපිරෙව්වා කියලා ඇහුවේ, දැක්කේ නැද්ද?"

"රජයේ ඉඩකඩම් අක්කරය රුපියල් සීයට හිතවතු අතරේ බෙදා දුන්නා කියලා අහලා නැද්ද"

"ගල් කටස් එකෙන් වෙඩි තියලා මරපු ගමේ වැදගතාගේ මිනිය දණහිසෙන් ඉහලට එසෙව්වොත් බලාගෙනයි කියලා මලමිනියටත් අපහාස කරපුව අමතකයිද"

හිතෙන් ලැබෙන පිලිතුරු ලිස්ට් එකේ දිග කොයි තරම්ද කියනවනම් හිත කියන දේ තියෙන තැන හොයාගෙන ඒක ගලවලා විසි කරන්න පුලුවන් නම් කියලා හිතෙනවා.

. . . . . . . . .

එකම යුනිෆෝම් එක හෝද හෝදා ඇඳගෙන ඉස්කෝලේ යන්න බෑ තව එකක් මහගන්න අම්මට සල්ලි දෙන්න කියලා තාත්තගෙන් ඉල්ලුවාම . . "

"අපි ස්කෝලේ ගියේත් එකම යුනිෆෝම් එක හෝද ඇදගෙන, එහෙම එකේ උඹලට මොකෝ බැරි " කියලා තාත්තා යුනිෆොර්ම් එකක් මහගන්න රුපියල් දෙසීයක් නොදී පක්ෂ අරමුදලට රුපියල් දහදාහේ ඒවා පූජා කරනවා කියලා දැනගත්තු දවසේ ඇති වුනු කලකිරීම, "මම විඳපු දුක් මගේ දරුවත් ඒ විදිහටම විඳින්න ඕන කියලා මම නම් හීනෙකින් වත් හිතන්නේ නෑ මගේ පුතේ" කියලා හිතලා මට පුලුවන් උපරිමයෙන් මගේ දරුවගේ අනාගතය සාර්ථක කරන්න හීන මවමින් හා හීන හෑබෑ කරගන්න මහන්සිවී අඩියෙන් අඩිය ඉදිරියට යන එකෙන් ඒ තාත්තා ගැන ඇතිවූ කලකිරීමෙන් මිදෙන්න පුලුවන් වුනත් . . .


මේ දැන් මාසයක් විතර තිස්සේ හිතවෙලාගෙන ඉන්න කලකිරීම වගේ දැනන හැඟෙමෙන් මිදෙන්න මඟක් මට තාමත් පේන තෙක් මානෙක නෑ වගේ

පහුගිය දවස් ටිකේ මූනු පොතේ බෙදා ගත් (ෂෙයා කල) සබැඳියාවල් (ලින්ක්ස්) දුටු ජ.වි.පෙ පාක්ෂික හිතවතෙක් මූනු පොත හරහා පනිවිඩයක් එවා තිබුනා.

"නමුත් ඔබ දන්නවද "අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා පලක් නැහැ"කියල.
දිනක් මට මතකයි ඔබ ඊ ලිපියක් එවලා තිබුනා
මහ රජාට මම දොස් කියල හැමෝටම යවපු ලිපියකට පිලිතුරු කියල..

අපි එදත් මහ රජා යන පවුල්වාදී රට විනාසයට යන ගමන ගැන අවභෝදයෙන් සිටියා.
අපි දන්න විදිහට පුලුවන් සම්පත් ප්‍රයෝජනයට ගෙන හිත මිතුරන් හෝ අතර මේ අවදානම මතු කරන්න ලොකු උත්සාහයක නිරත උනා.

අවාසනාවක තරම....

යුද උන්මාදයෙන් වික්ශිප්ත වෙලා හිටපු ජනතාවට
අපි කතාකරන කරුනු අතේ පැලවෙන භිනයක් වගේ උනා,අපිව යාළුවන්ට පවා ලාදුරු රෝගීන් වගේ පෙනෙන්නට පටන්ගත්තා.එදත් අපි දැනගෙන සිටියා වීරයා කවුද,ද්‍රෝහියා කවුද කියල,
පස්සෙ ලියන්නම් "

පිලිතුරු ලෙස කියන්න දේවල් රැසක් හිතේ තෙරපුනත් පිලිතුරක් ලියා යවන්න තරම් උද්යෝගයක් නැති වෙන තරම් උකටලී වෙලා.

ජ.වි.පෙ. ම නොවේද මුලින්ම දැන් පවතින ආන්ඩුව යුද්ධ මාවතට රැගෙන ගියේ කියලා අහන්න සිතුවත් තවම අහලා යවන්න බැරි තරම් එපා වීමක්.

වසර තිහක් පුරා උදේට නිවසින් එලියට බසින කෙනෙක් සවසට ආපසු නිවසට එයිද නො එයිද යන දෙගිඩියාවෙන් පෙලුනු ජනතාවකට, යූ.එන්.පී. ආන්ඩුව විසින් ට්‍රන්ස්ෆෝමර් පුපුරවන, ප්‍රේමකීර්තිලාව මරන ජ.වි.පෙ. මර්ධයන කරද්දී හොඳින් හෝ නරකින් දෙපැත්තකින් පෙලූ භීශණය නිමා වෙන අයුරු බලා සිටියා වැනිවූ . . . මිය යන තරුණ දූ දරුවන් ගැන වේදනාවකිනුත් මොන ක්‍රමයකින් හරි මේ කරදරයේ නිමාවක් දකින සිතකිනුත් ඉවසා සිටියා වැනිවූ. . .

ඒ 30 වසරක භීෂණයේ නිමාව දෙස මිය යන ද්‍රවිඩ සහෝදර ජනයා න උපන් දුකකිනුත් යුද්ධයේ දී දිවි පුදන සෙබල, නිලධාරී දූ පුතුන් ගැන උපන් දුකකිනුත් කෙසේ හෝ රටේ අනාගතය සුභවාදී වී දෙමළ, සිංහල, මුස්ලිම්, බර්ගර් ආදී හැමෝම සාමයෙන් නිදහසේ ඉන්නා හෙට දවසක් ගැන සිතේ ඉපදුනු සිහිනයක් කර පින්නාගෙන ඉවසා සිටිබව ලියා යවන්න වත් අකුරු අමුනන්න ඇති අකමැත්ත හෝ එපා වීම අතහරින්නේ කෙසේ දැයි සිතා ගත නොහැකිය.

. . . . . . . .

"නිව්යෝර්ක් ගිහින් කෝටි 135ක මහජන මුදල් කාබාසිනියා කරන, සදා නිම කරන්නත් ප්‍රථම තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මහජන මුදල් කෝටි ගනන් තාවකාලික ස්ටේජ් එකට නැටුම් වලට වියදම් කරන, ජනාධිපතිවරණෙදි තමාට විරුද්ධව ඡන්දේ ඉල්ලපු එකට පලි ගනීමක් ලෙස වසර 30ක යුද්ධය නිමා කරන්න ඇප කැප වූ නායකයාව බොරු නඩු පටලා බරපතල වැඩ ඇතිව හිරේ යවන "සිංහල ප්‍රභාකරන් කෙනෙක්" වෙනුවට හිටපු "දෙමළ ප්‍රභාකරන්ම" හිටියා නම් අපිට මේ තරම් හිතට අමාරු නෑ නේද අයියේ"

කියලා මිතුරෙක් අහපු එකට "ඒකනේ බන්" කියා සුසුම් හෙලනු වෙනුවට

පපුවේ වේදනාව පිට වෙන තුරු දන්න කියන කුනුහරුප ඔක්කෝම කියා බනින්න උදේ හවස "මහින්ද සරණං ගච්චාමී" කියා පුද පූජා පවත්වන කැපුවත් නිල්පාට ලේ ගලන අයෙක් හමුවුනානම් මේ හිත පෙලන වේදනාවෙන් මිදෙන්න හැකි වෙයි කියාත් සිතේ.

වසර 37කට කිට්ටු කාලයක් උඹ මේ වනතුරු බොහෝ කාලයක් සතුටිනුත්, කෙටි කාලයක් දුකෙනුත් ජීවත් වුනා නේද ???

ඉතිං උඹේ ජීවිතේ හොඳම හරිය ගෙවිලා ඉවරයි . . තව මොකටද දුක් වෙන්නේ . . ??

අපේ රටේ බොහෝ අය ජීවත් වෙනවා වගේ ජීවිතේ ඉතුරු ටිකත් දෙන දේ කාලා වෙන දේ බලා ඉන්නවා තියරි එකෙන් ජීවත් වෙයන්

කියලා හිත කියන වෙලාවල් වලදී ඇඟ හිරි වැටිලා යන්නේ "ඇත්ත මගේ ජීවිතේ හොඳම හරිය ගෙවා අවසන්. ඒත් මගේ දරුවා, අපේ දරුවන් ඔවුන්ගේ හෙට දවස කෙසේ වේද" යන හැඟීම නොවේද.

එක පවුලක් හා ඒ පවුලේ ඕනෑම කාරියකට ආවඩා මඩිය තර කරගන්නා සොර මුලක්, බත් බැලයෝ රැලක් විසින් උන්ගේ ඉදිරි පරම්පරා 4ක් පහක් හෝ ඊට වඩා වැඩි ගනණකට අධිසුඛෝපභෝගී ජීවිත ගතකරන්න ඉඩ සලසනු වස් ලෝකේ වටෙන්ම ණය ලබාගෙන නටන නාඩගම් හෙට දවසේ අපේ දරුවන් විසින් ගෙවා නිම කල යුතු නොවේදැයි සිතෙන සිතුවිල්ල,

කොටින්ම ඩුබායිහි සියලු නිෂ්පාදන වියදම්, ප්‍රවාහන, ගබඩා ආදී වියදම් ඇතුලුව ඩිරාහ්ම්ස් 15ක හෙවත් ලංකාවේ මුදලින් රුපියල් 450කට මිලදී ගන්නා සිමෙන්ති කොට්ටයක් අද දවසේ අපි රුපියල් 850ක් පමන මිලකට මිලදී ගන්න සිදුවී ඇත්තේ සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී නොමිලේ ලබා දෙන සේවා සඳහා පමනක් නොව කලින් සිටි අය විසින් ලබා ගත් නය මුදල් ආපහු ගෙවීම් සඳහා ඇවැසි මුදල් සම්පාදනයත් සඳහා යැයි සිතෙද්දී . .

අද ලබා ගන්නා විදේශ ණය මුදල් ප්‍රමාණය ගැන සිතද්දී හෙට දවසේ අපේ දරුවන්ට නිවසක් තනා ගැනීම සිහිනයක්ම පමනක් වේදැයි සිතන සිතුවිල්ල කෙතරම් භයානකද . .

මේ සියල්ලත් සමඟින් රෝමය ගිනි ගනිද්දී වීණා වැයූ නීරෝ මෙන් හැඟීම් දැනීම් නොමැතිව . . "වගේ වගක් නැතුව ජීවත් වෙන" ජනතාව ගැන උපන් කලකිරීමටත් වඩා

තමන් අදහන පක්ෂයේ නායකයා කරන කියන සියළු දේ සර්ව සාධාරණ යැයි සිතනා ඔහුගේ අසූචිත් සුවඳයි කියා සිතනා ජනතාවක්

එසේත් නොමැති නම් අසාධාරණය දැක එය අසාධාරණයකයි කියා එයට විරුදුව හඬක් නගන්න උත්සාහ දරන්නන් දේෂද්‍රෝහීන්යැයි කියා උඩ පැන කෑ ගසන හදවත, හර්ද්‍ය සාක්ශිය උකස් කල ජනතාවක් දකින විට ඇතිවෙන කලකිරීම මේ සියල්ලටම වඩ වැඩියැයි සිතේ . .

ඉදින් මේ සියලු කලකිරීම් නිමාවෙන දවස අද හෝ හෙට වේවා කියා සිතමින් බලා හිඳිනවා හැර වෙන කල හැකි කිසිවක් නැති හැඩයි

මේ ලියමන මාතෘකාවෙන් කියූ පරිදි සම්පූර්ණයෙන් අසම්පූර්ණ සටහනක් . . කියවා අවසන "හරි දැන් උඹට මොකද්ද කියන්න ඕන වුනේ" කියලා කිසි කෙනෙක් මගෙන් ප්‍රශ්න නොකරාවී කියා මා උපකල්පනය කරමි.

Thursday, September 16, 2010

ඔය වගේ ගොං කතා ආයේ කියනවා නෙමෙයි තේරුනාද ?



සිංහල භාෂාවෙන් ලියන බ්ලොග් අතුරින් ලංකාවේ ප්‍රධානම පෙලේ බ්ලොග් අඩවිය හා හොඳම සමූහ බ්ලොග් අඩවිය ලෙස අසෙනිය කුසුම සම්මානය පවා හිමිකරගත් බයිස්කෝප් බ්ලොග් අඩවියේ ප්‍රධාන සාමාජිකයින් අතර සිටින රොයිලි සහෝදරයාගේ උපන්දිනය අදයි.

මූනු පොත හරහා ඔහුට සුභ පතන විටයි දුටුවේ ඔහු උපන් දිනය වෙනුවෙන් බ්ලොග් සටහනක් ද තබා ඇති බව . . .

බ්ලොග් පෝස්ට් එකටත් සුභ පැතුම් ප්‍රතිචාරයක් දුන් පසු, අවිවේකීබව නිසා කාලෙකින් ගොඩ වෙන්න බැරි වූ ඔහුගේ බ්ලොග් අඩවියේ එහා මෙහා යන විට ඇසගැටුනේ ඉතා වටිනා වස්තුවක්.

එක හුස්මට කියවා නිමවූ පසු මගේ හදවත අරක්ගත් ඊලඟ අදහස වුනේ මේ වටිනා වස්තුව බොහෝ දෙනෙක් අතර බෙදා හදා ගන්න පුලුවන් නම් කෙතරම් අගනේද කියායි . . .

කිසිවෙකු විසින් රචිත අගනා ලිපියක් කොටස් තුනකින් ඔහු විසින් පරිවර්ථනය කොට ඔහුගේ බ්ලොග් අඩවියේ පලකර තිබුනා.

මා සඳහන් කල වටිනා වස්තුව ඒ ලිපි හැර වෙන යමක් නොවේ. ඒ ලිපියත් ඔහුගේ අඩවියේ ඇති අනෙක් බොහෝ ලිපිත් ඉතා වටිනා වස්තූන් බව නම් සඳන් කල යුතුමයි.

කොටස් තුනක් වූ ඔහුගේ ලිපිය, ලිපියේ දීර්ඝ බව නොසිතාම මා ඔහුගේ විශේෂ අවසරය ලබාගෙන මගේ බ්ලොග් අඩවියේ එක සටහනක් ලෙස සටහන් කරන්න සිතුවා.

රොයිලි සහෝදරයා, උඹට බොහෝම ස්තූතියි . . සියලු පැතුම් ඉටුවන සුභ උපන් දිනයක්ද වේවා . . . !

. . . . . . . .. . .. .

පවුල තුළ සන්නිවේදනය

“ඔබේ උගුරට සම්පූර්ණ විවේකයක් අවශ්‍යයි. අඩුමතරමේ දවස් 10ක් වත් ඔබ කතා කිරීමෙන් වැළකී සිටින්නට හිතට ගන්නට ඕනෑ.” මගේ උගුර පරීක්ෂා කළ වෛද්‍ය විශේෂඥයා අවසන් වශයෙන් මට දුන් උපදේශයයි.

“මාසයක් කතා නොකර සිටීම වඩා ප්‍රවේසම් සහිතයි.” ඔහු වැඩි දුරටත් කීය. කොහෙත්ම කළ නොහැකි දෙයක්; මා කතා නැතුව සිටියොත් අපේ පවුලේ කටයුතු කොහොමට හිටීවිද? මට එකවරම සිතට ආයේය.

කෙසේ වෙතත් එදා සිටම මම පුංචි සටහන් පොතක් සාක්කුවේ දමා ගතිමි.

ඩෑන්, මගේ සැමියා මගෙන් යමක් ඇසූවිට මා ඊට දෙන පිළිතුර ඒ පොතේ ලියා එය ඔහුට පෙන්වූයෙමි. කෑම මේසයේදි මට කරන්නට ඇති විවේචන කඩදාසියක ලියා මේසය වටා ඩෑන්ටත් දස හැවිරිදි ඩැරින්, නව හැවිරිදි ඩීන් දෙපුතුනටත් අතිනත යැවීමී.

ඇත්තෙන්ම එය කරදරයකි. එය එතරම් සාර්ථක නොවීය. පසුව මම හිස සැලීමෙන් අදහස් ප්‍රකාශ කළෙමි. කෙසේ වෙතත් මාත් මගේ පවුලත් අතර පරතරයක් ඇතිවන ස්වභාවයක් මට පෙනී ගියේය.

ඊළඟ වෛද්‍ය පරීක්ෂණයේදී ගත් තීරණය අනුව ශල්‍යකර්ම දෙකක් කිරීමට සිදුවිය. එකක් 1969 යේ ජනවාරියේදීද අනික මාර්තුවේදීද සිදුකරන ලදී. මේ මුළු කාලයේම මගේ කටින් එකම වචනයක්වත් පිට නොකර සිටීමට මට සිදුවිය.

ඔබ තවත් සතියක් නිහඬව සිටිය යුතුයැයි වෛද්‍ය සින්ඩර් මට නියම කළේය. නැතහොත් ඔබගේ උගුරින් ඉවත් කල බිබිලි නැවත මතුවන්නට ඉඩ තිබෙනවා” යැයි වැඩිදුරටත් පැවසීය. රෝහලෙන් ආපසු ගෙදර පැමිණියත් මගේ සිතතුළ එකතරා සැකයක් නිතර හොල්මන් කරන්නට වන. මට සදාටම ගොලුවත රකින්නට සිදුවෙයිද?

එතැන් සිට මගේ නිවස මට අඳුරු කුටියක් විය. මා මාගේ පවුලට ඉතාමත් සමීපව සිටියත් දැන්නම් මගේ ඇතුළාන්තයේ ගැඹුරු හැඟීම් ඩෑන් සමඟ බෙදා ගැනීමක් හෝ ඔහුගේ පැතුම් ගැන විමසීමකු හෝ දැන් නැත.

“මගේ දරුවන් ගැන මා දැන් දන්නේ කුමක්ද? මා ගැන ඔවුන් සිතන්නේ කුමක්ද? මගේ අවශ්‍යතා ඒ සැටියෙන්ම ඔවුන් දන්නවාද? දෙවියනී මේ කුමක්ද මට සිදුවූයේ?”

මගේ බාලවියෙන් පසු නැවත වරක් මම හැඬුවෙමි. මගේ පියා කම්කරුවෙක් විය. මම ඔවුන්ගේ වැඩිමල් දියණිය වූයෙමි. පියාගේ දුෂ්කර ජීවිතය විසින් ඕනෑම ප්‍රශ්නයකට මූණ පෑමට ඔහු මා හට පුහුණු කර තිබිණි. ඔහු මට කවදාවත් හඬන්නට හෝ බියක් පෙන්වන්නට හෝ ඉඩ නොදුන්නේය.

ක්‍රම ක්‍රමයෙන් මගේ හැඟීම් ගැන මටම සිතාගන්නට බැරි තත්වයකට මම පත් වූවෙමි. දැන් දැන් ගොළුවකුගේ හැඟීම් කවරාකාරකදැයි මට අවබෝධ වන්නට විය.

ක්‍රම ක්‍රමයෙන් මගේ හැඟීම් ගැන මටම සිතාගන්නට බැරි තත්වයකට මම පත් වූවෙමි. දැන් දැන් ගොළුවකුගේ හැඟීම් කවරාකාරකදැයි මට අවබෝධ වන්නට විය. මීට පෙර අප බොහෝ දේ කතා කළත් කවදාවත් අපේ හැඟීම් ප්‍රකාශ කරගෙන නොතිබූ බව මට වැටහෙන්නට විය. මා තුල සෙමෙන් සෙමෙන් සිදුවී ගෙන යන වෙනසක් මට පෙනී යන්නට විය. වචනයකුදු කතා නොකර වුවද මට මගේ පවුල සමග හැඟීම් බෙදා ගැනීමට හැකි බව මම ඉගෙන ගතිමි.

වචන රහිතව
ඊලඟ සති කීපය තුලදී මගේ සැමියාගෙනුත් දරුවන්ගෙනුත් ඇසිය යුතු ප්‍රශ්න රාශියක් ගැන සිතා බැලුවෙමි.

ඩෑන් තුල කිසියම් බියක් චකිතයක් තිබේද? ඩැරින් වැඩිහිටි වයසට පත්වන විට ඔහු කවරෙකු වීමට බලාපොරොත්තු වෙයිද? ඩීන් ගේ අවශ්‍යතා මොනවාද? මම මා ගැනද නොයෙකුත් දේ සිතුවෙමි. ඔවුන් කුමක් ගැන අසනවාට මම කැමතිද? මා සතුටට පත් කළ දේ කුමක්ද? මා කෝපයට පත් කළ දේ කුමක්ද? අනාගතයේදී මා මාගේ ජීවිතයේ කුමක් වෙනස් කරගත යුතුද?

දිනක් සවස මා මේසය ලඟ වාඩිවී සිටියේ මගේ පවුලේ අයගෙන් ඇසීම සඳහා මා ලියා ගත් ප්‍රශ්න රැසක් ලඟ ඇතිවය. ප්‍රශ්න 200 ක් පමණ කඩදාසි කැබලි වල ලියා තිබිණි.

සමහරක් “ආදරය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?” වනි ගැඹුරු ප්‍රශ්නය. සමහරක් ඒවා “ඔබේ නිදහස් වේලාවලදී ඔබ කරන්නට කැමති මොනවාද?” වැනි ලිහිල් ප්‍රශ්නය. මට අදහසක් පහළ විය. එනම්, මේ ප්‍රශ්න කාඩ්පත් වලින් ක්‍රීඩාවක් නිර්මාණක කිරීමය.

ක්‍රීඩාවක්
පසුදා හවස අපේ පවුලේ අය එකට හිඳ ක්‍රීඩාව පටන් ගතිමු. තමන් කැමති ප්‍රශ්න අංකයන් තෝරාගෙන ඊට හිමි ප්‍රශ්නය සොයා එයට තමාගේ පිළිතුර අන් අය සමඟ බෙදා ගැනීම ඒ ක්‍රීඩාවයි. බෙදා ගැනීමක් විනා දිනුම් පැරදුම් එහි නැත.

මුල් වාර වලදී සැහැල්ලු ප්‍රශ්න තේරී ආවේය. පහසුවෙන් පිළිතුරුද ලැබිණ. ඒ ගැන අපි සාක්ච්ඡා කෙළෙමු. මාගේ වාරය පැමිණි විට මා මගේ පිළිතුර ලියා සියලු දෙනාටම පෙන්වීමි. මා නැවත් අන් අයට මම සමීප බවක් හැඟිණි.

ඊලඟට ඩෑන් ප්‍රශ්නයක් තෝරා ගති. “ඔබ වඩාත් බියක් දක්වන දෙය කියන්න” ඩෑන් තතනමින් මෙසේ පිළිතුර ප්‍රකාශ කළේය. “ඔබගේ මේ අසනීපය නිසා මිය ගියොත් අපට කුමක්ද වෙන්නේ? මම තනියම කෙසේද මේ දරුවන් ඇති දැඩි කරන්නේ…..” මම මවිතයට පත්වීමි.

ඊලඟ ප්‍රශ්නය ඩැරින්ටය. “කවුරුත් මා ඉතා ඉහළින් වැඩ කරාවියයි පතනවා ඇති. නමුත් ඒක මට කරදරයක්.” ඔහුගේ පිළිතුර විය. මගේ සිත පෑරිණි. මා නිතරම ඔහුට කරදර කළේ ඔහු වඩා උසස් කිරීමටය. මා කළේ වරදක්ද?

දැන් ඩීන් පුතාගේ වාරයයි. “යමකු සරදමට සිනාසුනොත් ඔබට ඇතිවන හැඟීම කුමක්ද?” මට මැරෙන්න හිතෙනවා. මම මහ මෝඩයෙකු නේද කියන්නා වගේ හැඟීමක්.” ඩීන් අහක බලාගෙන කීය. ඩැරින් බිම බලා ගත්තේය.

ජනප්‍රියයි
ක්‍රීඩාව වට කීපයක් ගිය පසු “පසුගිය අවුරුදු පහට වඩා මේ මිනිත්තු විස්ස තුලදී ඔබ හැම දෙනා ගැනම මම බොහෝ දේ දැනගත්තා.” යැයි ඩෑන් කීය. “අපි හෙට හවසටත් මේ සෙල්ලම කරමු.” එම දේ ඩෑන්ට පමණක් නොව අප හැමටම සිදුවී තිබිණි.

ඩෑන් ගේ වැඩ කටයුතු පිළිබඳ ප්‍රශ්න ගැන මගේ අවබෝධයත්, ඔහු කෙරෙහි මගේ ගෞරවයත් වැඩි විය. මගේ දරුවන් ගැන මගේ ඉවසීම දියුණු විය. ඔවුන් වඩ වඩා තුරුළු කර සිප වැළඳ ගැනීමට මම පෙළඹුනෙමි. ඔවුහුද කලින් මෙන් අප සමඟ වාද නොකළහ. ඩෑන් අප ගැන වැඩියෙන් කතා කරන බව පෙනිණි. අපි බොහෝ දේ එකට එකතු වී කිරීමට පුරුදු වූයෙමු.

දිනෙක අපේ ක්‍රීඩාවට අපේ අසල්වැසි ජෝ සහ ඇලිස්ටන්ටත් ආරාධනය කළෙමු. ඔවුහු ඔවුන්ගේ ගෙදරටද අපේ ක්‍රීඩාව ගෙන ගියහ. ඔවුන්ගේ වැඩිමල් පුතා එය උසස් විද්‍යාලයේ ඔහුගේ පන්තියට ද ගෙන ගොස් තිබිණි. පන්තියේ ගුරුතුමා ඒ ප්‍රශ්න වල පිටපත් ඔහුගෙන් ඉල්ලාගත් බව දැන ගන්නට ලැබිණි. එය කොතැනින් කෙළවර වී දැයි මම නොදනිමි.

මා නැවත වෛද්‍ය සින්ඩර් වෙත ගියේ ඔහු දෙන ඕනෑම නියමයක් පිළිගැනීමට සූදානම්ව සංසුන් සිතකිනි.

මා සම්පූර්ණයෙන් සුවවී සිටින බව ඔහු මට පැවසූ විට මට ලොකු තෑග්ගක් ලැබුණාක්මෙන් හැඟිණි. එහෙත් මම මගේ පරණ කථික පුරුද්දට නොවැටෙන්නට ඉටා ගතිමි. මේ දීර්ඝ නිහැඬි කාලසීමාව තුලදී, පවුලේ සන්නිවේදනය පිළිබඳව රහස් පහක් මම අනාවරණය කරගෙන සිටියෙමි.

රහස් පහක්

1. සවන් දෙන්න.
දිනක් පාසැලේ සිට පැමිණි ඩීන් “අපේ සර්ව මට පේන්න බෑ; මම නම් මීට පස්සෙ ඉස්කෝලෙ යන්නෙ නෑ” කියා බෙරිහන් දෙන්නට විණ.

කලින් නම් මා ඔහුට හොඳටම බැන වදිමින් ඝෝෂා කිරීම මගේ සිරිත වූවත්, මගේ උගුරේ ආබාධය සුව වීමෙන් පසු එදා කළේ නිහඩ වීමය. සුළු වේලාවකින් පසු පුතා තම් අහිස මගේ ඔඩොක්කුවේ ඔබාගෙන ඔහුගේ හැඟීම් ප්‍රකාශ කරන්නට විය.

“අම්මේ පොත කියවන විට මට වචනයක් වැරදුනා. සර් ඒක හරි ගැස්සුවා. එතකොට ඔක්කොම ළමයි මට හිනා වුනා. මට හරියට කේන්ති ගියා. ලැජ්ජා හිතුනා.” මම ඔහුගේ ගෙල වටා දෑත් යවා වළඳගෙන හාදුවක් දුනිමි.

ටික වේලාවකට පසු පුතා හිස ඔසවා “මම ජිමිත් එක්ක සෙල්ලම් කරන්න යනවා” කියමින් ක්‍රීඩා භූමිය දෙසට දිව ගියේ සියල්ල අමතක කරමිනි.

කවර අන්දමේ කථාවකදී වූවද ඉතාම වැදගත් පුද්ගලයා සවන් දෙන්නා බව මම ඉගෙන ගෙන සිටියෙමි. උගුරේ ආබාධයට පෙර නම් මා බොහෝ විට කළේ අනෙකාගේ කථාව අතර පැද්දට පැන මගේ අදහස ප්‍රකාශ කිරීමයි.

. . . .

2. විවේචනය හෝ විනිශ්චය කිරීමෙන් වලකින්න.
ජැකී සමග මා කුස්සියේ වැඩක යෙදී සිටියදී, ඇයගේ 16 හැවිරිදි දියණිය එතනට කඩා වැදුනාය.

”මේ අම්මේ ගබ්සා කිරීම ගැන ඔයා මොනාද හිතන්නේ?” ඕ කෑ ගැසුවාය. ජැකීගේ මූණ ජම්බු ගෙඩියක් මෙන් රතුවිය. “උඹ මීට පස්සෙ ඔය වචනෙ ආයෙත් කියන්නෙ නෑ! තේරුණාද?” ඕ දත් මිටි කෑවාය.

ඒ දැරිය ඔවැනි වැදගත් ප්‍රශ්නයක් ගැන යලිත් ඇයගේ මව සමග කථා නොකරනු ඇත. මෙවැනි අන්දමින් ඉතා වැදගත් සාකච්ඡාවකට ඇරෙන දොරවල් අපේ හදිසි විවේචන හෝ විනිශ්චයන් නිසා වසා දමමුද?

ඔබේ දරුවාට වේවා සැමියාට/ බිරියට වේවා, ඔබ දක්වන ප්‍රතිගාමී ප්‍රතිචාර දමනය කර ගන්න. ” මා දැන ගෙන සිටියෙ නෑ ඔයාට ඔවැනි ප්‍රශ්නයක් ගැන දැන් ගන්නට වුවමනා වෙලා තිබුනා කියලා” වැනි සමබර පිළිතුරක් ජැකීගෙන් පිටවිණි නම් වඩා සාර්ථක සංවාදයකට දොර විවෘත නොවන්නේද?

. . . .

3. හදවතින් කථා කරන්න.
වසර ගණනකට පෙර එක්තරා ක්‍රීඩා තරඟයක් නැරඹීමට මම ගියෙමි.

දස හැවිරිදි තරමේ දරුවෙක් මා අසල සිටි ඔහුගේ පියා අමතා, “තාත්තේ ඔයා දැක්කද මම හතරෙ පාරක් ගැසුවා?” කියමින් ඔහුගේ අතේ එල්ලුනේය.

“මොනවද ළමයෝ, උඹට එක හයේ පාරක් වත් ගහන්න බැරුව ගියානේ?” පියාගේ පිළිතුර විය. දරුවා පියාගේ අත අතහැර ඉවත බලාගත් සැටි මම දිටිමි. ඔහුගේ සිතේ ඉපිළ ආ සතුට සිඳී ගියේය. ඉන්පසු ඒ දරුවා තම හදවතේ නැගෙන හැඟීමක් සිය පියා සමඟ බෙදා ගැනීමට ඉදිරිපත් වෙතැයි ඔබට සිතිය හැකිද?

. . . .

4. හැඟීම් ගැන වාද නොකරන්න
ඔබ අනුන්ගේ කල්පනා හැඟීම් හරියටම දනිතියි නොසිතන්න.

ඩේව් හා මේරි අපේ ප්‍රශ්න කාඩ්පත් ක්‍රීඩාවේ අඩ පැයක් පමණ යෙදුනාහ. මේරිට ලැබුණූ කාඩ් පතේ සදහන්ව තිබූ ප්‍රශ්නය මෙයයි. “ඔබට කිසියම් අවස්ථාවකදී තනිකමක් දැනුනේද?”

“මට හැම රාත්‍රියකම තනි බව දැනෙනවා.” ඇයගේ ප්‍රකාශය විය. ඩේව් සුදුමැලි විය.

ක්‍රීඩාව අවසානයේදී “ඔබ කෙසේද එහෙම කියන්නෙ?” යයි අමනාපයෙන් මේරිගෙන් ඇසීය.

“හැම රාත්‍රියකම අපි දෙදෙනා ඇදට ගිය විට ඔබ මට පිට හරවා නිදා ගන්නවා.” ඩේව්ට උඩ බිම බැලිණි.

” මම පාසල් යන කාලේ පාපන්දු ගහන්නට ගොසින් වැටී ඉළ ඇට දෙක තුනක්ම කැඩුණි. ඒවා හරියටම හරි ගිහින් නැහැ. මට නිදාගන්නට පුළුවන් එක පැත්තකට හැරිලා පමණයි.”

සති කීපයකට පසු ඩේව් සහ මේරි මහ වෙළඳ පොලේදි මුණ ගැසිණ. මා දුටු විගස මේරි, “අපි අපේ ගැටළුව විසඳ ගත්තා.” යයි කීය. “අපි නිදාගන්න පැත්ත මාරු කරගත්තා.”

. . . . .

5. ආදරය ප්‍රකාශ කරන්න
වචන මෙන්ද ක්‍රියාද වැදගත්ය.

කාමන්ද ඇගේ සැමියා හා ඔවුන්ගේ දරු දෙදෙනාද සමග මම අපේ සුපුරුදු ක්‍රීඩාව කරමින් සිටියෙමි. කාමන් මැදිවියේ පොහොසත් රෑමත් කාන්තාවකි. ඇය සියල්ලෙන් සම්පූර්ණ තැනැත්තියකැයි මම සිතුමි.

කාමන් කාඩ් පතක් ඇද්දාය. “ඔබට සිත් වේදනාවක් ගෙන දුන් අවස්ථාවක් ගැන කියන්න.

”මෙතෙක් තම පවුලේ කිසිවෙකු සමගවත් බෙදා නොගත් තොරතුරක් ඕ පිළිතුරු වශයෙන් හෙළි කළාය.

“මට වයස හයක් තරමේදී අම්මා මට කීවා සිඹ ගැනීමට මා ලොකු වැඩියි කියලා. මට හරියට දුක හිතුනා. ඉන්පසුව හැමදාම උදේ මූණ හෝදන්න නාන කාමරයට ගියාම එහි තිබෙන අම්මගෙ තුවාය මූණට තියලා තද කරගෙන උන්නා.”

කාමන් මා සිතා සිටි අන්දමේ තෘප්තිමත් කාන්තාවක් නොවූවාය. වසර 4ක් පමණ හදවතේ මේ වේදනාව වසන් කරගෙන සිටීම ගැන මම මවිතයට පත් වීමී.

අපේ ක්‍රීඩාව වට කිහිපයක් කළ පසු කාමන්ගේ අට හැවිරිදි පුංචි පුතා හෙමින් සීරුවේ නැගිට ඇය වෙතට පැමිණ ඔහුගේ සිහින් දෑත කාමන්ගේ ගෙළ වට යවා ඇයගේ මූහුණ සිප ගත්තේය. ඇයගේ දෑස තෙත්වනු මම දිටිමි. ඇයගේ පැරණි වේදනාව ඒ කඳුළු කැට සමග සදහටම ඉවත්ව යන්නට ඇති.

෴෴෴෴෴෴

රෙයා සකික් කැලිෆෝනියාවේ, අඹු සැමියන්, ගුරුවරුන් වන්නන් හා සන්නිවේදනය පිළිබඳ වැඩමුළු සංවිධානය කරන ලදී. ඇයගේ ක්‍රීඩාවේ ප්‍රශ්ණ කාඩ්පත් භාෂා පහකින් මුද්‍රණය වී දශලක්ෂයකට වඩා අලෙවි වී ඇත. මනෝ විද්‍යාඥයන්, මනෝ චිකිත්සකයන්, ගුරුවරුන් විසින් ඒවා භාවිතා කෙරෙයි

. . . ...

රොයිලි සහෝදරයාගේ අඩවියේ පවුල තුළ සන්නිවේදනය ලිපි පෙලේ

පළමු කොටස මෙතනින්
දෙවන කොටස මෙතනින්
අවසන් කොටස මෙතනින්

Friday, September 10, 2010

යෞවනයට නැතුවම බැරි මිල්ටන් නම් තාරුණ්‍යයට නැතුවම බැරි ප්‍රියා . . !




මගේ බිරිඳගේ බලවත් ඉල්ලීම මත හා මගේත් ප්‍රියතම ගායකකු වීම නිසාවෙන් කාලයක සිට ලියන්න සිතා සිටි නමුත් නිදහසේ අකුරු අමුනන්න ඉසුඹුවක් නොලත් නිසාවෙන් දවසින් දවස කල් ගිය ලිපියක් ලිවීම තව දුරටත් ප්‍රමාද කිරීම නොතරම් යැයි හැඟුනු නිසාවෙන් අද දින ශරීරය පෙලන අසනීප තත්වය ගැන හෝ නොසලකා ලියන්න පටන් ගතිමි.

මා කලින් සටහනක මිල්ටන් මල්ලවාරච්චි ගැන ලිවීමේදී "යෞවනයට නැතුවම බැරි වූ මිල්ටන්" ලෙස මිල්ටන් මල්ලවාරච්චි හඳුන්වාදුන්නේ යම් සේද තාරුණයට නැතුවම බැරි වූ ගායකයෙක් වෙත්ද ඔහු නම් ප්‍රියා සූරියසේන හැර වෙන කිසිවෙක් නොවේ යනු කුඩා කල සිට ගී රස විඳින සහෘදයෙක් වූ මගේ හැඟීමයි.

තාරුණ්‍යය හා ආදරය යනු ගසට පොත්ත, මලට රේනු සේ එකිනෙක යාවූ, එකිනෙක හාවූ යමක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ කියා තාරුණ්‍යයේ සැරිසරන්නන් හා සැරිසැරූවන් දෙස් දෙනවා නොඅනුමානයි.

එසේ තාරුණ්‍යය හා බැඳුනු ආදරයේ මිහිරියාව, දයාබරත්වය, ප්‍රේමනීය බව ප්‍රියා අප හමුවේ තබන්නේ කෙතරම් ආනන්දයකින්ද කියා ප්‍රියාගේ "ආදරණීය නේරංජනා", "තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රැජින වී", "ජීවිතේ මගේ ඔයා කියලා . . . සිඟාවී ඔබේ අදරේ", "සරතැස නිවා දිවි ගමනේ . . ඔබ හමු වුනා මට සුහදේ", "මට වාසනා ඔබ මට වාසනා උප නූපන් හැම ආත්මයේ", "ඈත රන් විමන් තුලින් පාට සේලයෙන් සැදී", "තරුකැට දිදුළනවා . . මට මඟ පෙන්වනවා . . රහසේ ආදර සඳළුතලාවට පුරහඳ පානයවා", "හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ", "කැන්දන් යන්නම් රන් මල් මාල දාලා . . පායනා තරුවේ", "මල්සර හිනාව පෙම්බර කතාව කාගේදෝ", "මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා . . භවෙන් භවේ පෙම් පුරා බලා ඉන්නවා", "මී කැකුණ කැලේ . . ගමේ එහා ඉමේ . . සුදු හාමිනේ මගේ සුදු හාමිනේ", "සඳ මාගාවයි නෑ මා දුටුවේ නෑ" , “මොහොතක සුව දෙන චංචල ලෝකයේ”, "තරු යායේ ඈති ඈතට ඉගිලෙන රන් තරු යුවලක් සේ" ආදී ගීත අසත්දී ඔබට වැටහී නොයනවානම් ඔබේ තාරුණය ගැන දුක් වෙනවා හැර වෙන කල හැකි කිසිවක් නොවේ . . ..

තාරුණ්‍යයටම අවේනික වූ දඟකාරීත්වයත් ප්‍රියාගේ ගීත වල නොඅඩුව දක්නට ලැබෙන තවත් ලක්ෂණයක්. "ගෙල වට බැන්දා වූ මුතු පොටේ දිස්නෙට මුහුනේහී ඔප වැටේ", "සුදු පරෙවි රෑන සේ පියා සලා", "සීතා . . බාලේ එක්වී දොළ ගාව හැන්ගී හැන්ගී දඟ පෑව", "හිරුද මුවාවී ලැසි ගමන බලාවී. .. . කිංකිනි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා", "මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා", "නිල් මහනෙල් මල කිම මේ සරදම් . . නැතිද හදේ මුදු ගුණයක් කිසියම්", "පැතුම් පිරීලා උතුරා යනවා ඇය අද එනවා . . හමුවේදෝ" ආදී ගීත ඒ තාරුණ්‍යයේ දඟකාරීත්වය මොනවට පෙන්වා දෙන ගීත බැව් මේ ගීත ඇසූ, අසන ඔබට වැටහී යනු ඇත . ..

ආදරයත් විරහවත් තාරුන්‍යයේ දී එකම කාසියේ දෙපැත්ත යයි මා කීවොත් කිසිවෙක් මා හා උරණ නොවනු ඇතැයි සිතමි. එපමනටම ආදරය හා විරහව තාරුණ්‍යය හා බද්ද වී ඇති බව තාරුණ්‍යයේ විරහ වේදනා විඳින හා විඳි අය හැර වෙන කවුරු නම් දනීද . .. .

එසේ විරහ දුකින් පෙලෙන තාරුණ්‍යයේ වේදනාව "බිඟු වැලපීලා මල් පරවීලා",ප්‍රණීත මී පැනි ගෙන ආවත් . .. විස ඇත බඹර තුඩේ", "ලිහිණින් රෑන පියා සලන්නේ . . මන්දාරම් වැහි පොද වැටෙන්න්නේ", "ආපසු එනවා මගේ හිත ඉබි ගමනින් . . ඔබ ඈතක රඳවා", "සුදු මල් දෙකක් කඩා ගෙනත් මා නෙත් ලඟින් තබා", "හැරදා විමන් සිය මාපියන් ", "මුලු මුහුදම හඬයි මම වෙරලේ නිසසලයි . . ඔබ මුහුදයි මම වෙරළයි මට සිතේ", "එකම වීදියේ දෙතුන් වතාවක් එහා මෙහා අපි ඇවිද ඇති", "අඳුර අඳුර මගේ . . සොඳුර සොඳුර මගේ . . .නොයනු මැනවි දා තනිකර එලියේ . . ", "ඇසුරින් මිදීලා ඔබගේ ලොවේ . . සැඟවී ගිහින් මා වෙන්වී මෙසේ", "හදවත ඉල්ලා නොලැබුනු විටදී දහසක් සිතුවිලි මා හද තුල තෙරපී", "ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකින් . . දැන් ඉඳ හිටලා බලන්න එන්නේ දරන්න බැරි වේදනාවකින්", "රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා", "සඳ තාරකා හඬාවී .. . කඳු මීදුමෙන් එහා" ආදී ගීත තුලින් ප්‍රියා පාකර හැරි වග පසක් කලෝ එසේ විරහා වේදනා වින්දෝමය . . ..

ප්‍රියාගේ ගීත තරුණ හද බැඳ ගත් තරම කොමපන වුවත් ප්‍රියා තරම් සංගීත ක්ෂේත්‍රයේ අසාධාරණයට ලක් වූ තවත් ගායකයෙක් නොමැති තරම් යැයි සිතන්නෝ මා, මගේ බිරිඳ හා තව කීප දෙනෙකු හැර තවත් ඇත්දැයි සිතීම පවා විටෙක උගහටය.

රියලටි ෂෝ හෙවත් සුපර් ස්ටාර් තරඟ වලට අපගේ කිසිදු අකමැත්තක් නැත. බොහෝ කලකට පෙර වරප්‍රසාද ලත් කන්ඩායමකට පමනක් සීමාවූ වේදිකාව ඈත ගම් දනව්වලින් පවා බිහිවූ දක්ෂයන් කැලේ පිපී කැලේම පරවෙන මල් ගොන්නට වැටෙන්න නොදී ඉදිරියට ගෙනා සුපර් ස්ටාර් තරඟ ගැන ඇත්තෙන්ම අපිට ඇත්තේ පැහැදීමක්.

එසේ කැලේ පරවෙන්න දෛවයට අනුව නියම වී තිබුනු මල් එසේ පරනොවී රටම සුවඳ හමන්න ඉදිරියට ගෙන එන්න ප්‍රියාගේ ගීත සැපැයූවේ මහඟු අත්වැලක්. නමුත් අවසානවට අපේ රටේ බහුතරයක් මිනිසුන් ඉහලට නැගි ඉනිමඟට පයින් ගසා පෙරළාදමන මිනිසුන් වූ නිසාවෙන් අදටත් ප්‍රියා සංගීත සැඳෑවක ගී ගැයීමට එකතරා මුදලක් අය කරයිද ඒ මුදල මෙන් දහගුණයක මුදලක් ප්‍රියාගේ ගීතම ඒ සංගීත සැඳේවේම ගයා අඩුම තරමින් ඒ ගී වල මුල් ගායකයා ප්‍රියා සූරියසේන කියා වත් සඳහන් නොකරන තරම් අකාරුනික වූ හදිසියේ පීදුනු තරු සිටින බව සිහි කරන්නේ කනගාටුවෙන්.

(පුද්ගලිකව මා අත්විඳ ඇත්තේ ඇන්ජලීන්ගේ ගීත ඇගේ ගීත මෙන් ගැයූ හදිසියේ පිපුනු තරුවක් ගැන මතක සටහනක් පමනි. ප්‍රියා ගැන ඒ කරුනු මිතුරන් පිරිසක් සමඟ සාමිචීයකදී කන වැටුනු යමක් පමනි. ඇන්ජිගේ ගීත වලට වූ දේම ප්‍රියාටත් සිදු වූවා යි මා උපකලපනය කල බැව් සැලකුව මනාය)

. . . . . . . . . . . . . . .

තවදුරටත් ප්‍රියාගේ මේ පහල ඇති ගීත ඔබේ හදවතේ ගැඹුර ස්පර්ෂ කරනවා නොවේදැයි අසා . . විඳ බලන්න . .. .

. . . . .

මරණයෙන් පවා වෙන් කල නොහැකි ආත්මීය ආදරයක සුවඳක් කෙදිනක හෝ විඳ තිබේද . . .

ආදරණීය නේරංජනා

ආදරණීය නේරංජනා . . . / /
ඔබේ මුදු මදහස් රැලි මාලාවේ
වෙලී බැඳුනු දින රඟ ශාලාවේ
තුන් හිතකින් වත් නොසිතූ විලසින්
යලි ඔබ දැකුමට ආවේලාවේ
අප හමු වූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක් පමනකි තනි වූයේ
මටමම පුදුමයි අදහන්න බෑ
මම ම නොවේ යලි ඉන් පිට වූයේ

කවුදෝ මා පසුපස එනු දැනුනා
පාලු වීදියේ තනිකම මැකුනා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව හැඟුනා
නිදි යහනේ මා නින්දට වැටුනා
ඔබ මා සිහිනෙන් අමතනු දැනුනා
එනමුදු කෙලෙසද ඇගෙ අත ගන්නේ
මගේ සිතම මට මුමුනනු ඇසුනා

. . . . .. . . .. .

ඉරිදා උදයේම දෙල්කඳ හංදියෙන් 122 බසයට නැගුනේ ගොඩගම කාර්මික විද්‍යාලයේ හදාරමින් සිටින් පාඨමාලාවේ 8ට පටන් ගන්න දේශනයට සහභාගී වීම සඳහා. මහරගමින් බසයට නැගුනේ මගේ වයසේම කිවහැකි කඩවසම් තරුණයෙක්. කුමක්දෝ අවාසනාවකට ඔහුට රැකියාවක් කරන්න නොහැකි කමින් බස් වල ගීත ගයන්නෙක් . . . බසයේ ගොරහැඬි රිද්මය ඔහුගේ ගීතයෑ ළයාන්විත බවට බාදාවක් නොවුනා සේයි . . ..

ප්‍රණීත මී පැනි

ප්‍රණීත මී පැනි ගෙන ආවත්
විස ඇත බඹර තුඩේ
උදා එලිය පුබුදා සිය නෙත්
පුබුදයි නෙලුම් මඩේ
පිපෙන පිපෙන හැම මල් නෙලුවත්
ගස මල් පූදිනවා
ගලන සියලු රළ කරදියරේ
ගඟ රැලි නංවනවා . . ..

බිඳින බිඳින තරමට සුවඳයි
සුධවල සඳුන් ගසේ
පිසින පිසින තරමට උපදයි
කඳුළැලි බිඳුත් ඇසේ //
පිපෙන පිපෙන හැම මල් නෙලුවත්
ගස මල් පූදිනවා
ගලන සියලු රළ කරදියරේ
ගඟ රැලි නංවනවා

මිනිසුන් පිය සටහන් තැබුවත්
නොබිඳෙයි කිරණ සඳේ
මහද ආදරය තව උපදයි
ඔබ රිදවුවත් ළඳේ //
ප්‍රණීත මී පැනි . . .

දහවල් බත් පත මිතුරියන්ගෙන් පිරිමසා ගත හැකියි සිතා සවස බස් ගාස්තු පමනක් තබාගෙන පොකැට්ටුවේ තිබුනු සියලුම මුදල ඔහුට දුන් බව තාමත් මතකයේ ඇත

. . . . . .. . .

දයාබර නංගියේ මල්ලියේ . . . පාසැල් සමය යනු ජීවිතයේ කිසිම බරපතලක් සිතට නොගෙන නිදහසේ ආසාවෙන් ඉගෙනීම කල හැකි එකම කාලයයි. කොතනක හෝ වැරදීමක් සිදු වුවොත් එය යලි පිලිසකර කිරීම පහසු නොවේ . . . ඉගෙනීමටද යොවුන් ආදරයටද මූලිකත්වය දිය යුත්තේ කියා ඔබම මොහොතක් සිතා බලන්න . . . ..

ජීවිතේ මගේ ඔයා කියලා

ජීවිතේ මගේ ඔයා කියලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා

නීල දෑසේ කෝල බැලුම් පා සිනා සළා
යොවුන් කුමරි එවන් බසට නුවන් මං මුලා
ආදරේ කරන්න සිල්ප සතර නිම කරන්
ජීවිතේට මිහිර ඉසුර ඔබට ලං කරන්
බාල කාලේ අයේ එන්නේ නෑ
වැරදුනු තැන යලි හදන්න බෑ


මිහිරි මී වගේ දැනේවි යොවුන් ආදරේ
යොවුන් සිතට සතුට ගෙනේ එවන් ආදරේ
ආදරේක මිහිර ඔබේ හදට ලංකරන්
හිනාවෙන්න කුමරිය සිප් සතර ලංකරන්
බාල කාලේ අයේ එන්නේ නෑ
වැරදුනු තැන යලි හදන්න බෑ

. . . . . .. . .

"ආ මල්ලී. . එකහාමාරට ස්කෝලේ ඇරෙන්නේ දැන් දෙකයි කාලයි .. තාම මොකෝ බස් හෝල්ට් එකේ"
"අයියෝ මූ ගෙදර ගියා නම් ගෙදරට වෙලා නොයිඳ මොන දීපංකරේක යනවද . . නෑ මචන් කලින් ආපු බස් ඔක්කෝගෙම සෙනඟ"
"හරි හරී අපි නොදන්න චෙස් . . ඕන් අපි ගියා . . "
"අයියෝ මේ කෙල්ල මෙච්චර වෙලා මොනවා කරනවාද මංදා . .. එයාලගේ ඉස්කෝලේ අනිත් කෙල්ලෝ ඔක්කෝම වගේ ගිහින් ඉවරයි. . අද එයා ස්කෝලේ ආවේ නැතුවා වත්ද . . "

සුදු පරෙවි රෑන සේ

සුදු පරෙවි රෑන සේ පියා සලා
පාසැල නිමවී යොවුන් කුමරියන්
පෙලින් පෙලට එයි
ඈ තාම නෑ . . .ඈ තාම නෑ . . . //

පොත් පත් අහුරා මුදු ළැමට තුරු කරවා
පිරුනු සඳක් සේ මහද දිලේ
යහළු යෙහෙලියන් අතරේ
ඈ තාම නෑ . . ඈ තාම නෑ . . .

මල් හිනා පිපී මුව මඳල පුරා රඳවා
මුතු අහුරක් සේ දසන් සලා . .
ඉර හඳ දහසක් පරදා
ඈ තාම නෑ . . ඈ තාම නෑ . . .

. . . . . . . . . . .

අපේ ගැටලු මතවාද අපි අපිම විසඳා ගමු. අන් අය ඇසුරින් වෙන් වී දිවි ගෙවනු අපහසු බැව් සැබවි එනමුත් අඩු තරමින් ඔබත් මමත් අතර ඇති දේවලට අන් අයගේ මැදිහත් වීම් අවැසි නැති බැව් පමනක් වත් ගිවිසා ගනිමුද . . . ?

මගේ ළමැද සුව යහනක්

මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙනන් කියා
භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුනනවා
සොඳුරු ලොවක අපි දෙදෙනා හෙට තනි වෙනවා

සිහින ගෙනෙන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා
ඇය රවටා කැඳවාගෙන නොයන් කුමරියේ

අපට උරුම අපේ ලොවේ හද සොම්නස් සතුට දරා
මගේ ලඟින් සසර පුරා ඉන්න වාසනා

. . . .. . . .. .. . .

ජීවිත කාලය පුරාවට ම ඔබේ කුරිරු කම් වලින් මා විඳි වේදනාවට ප්‍රාණය සුන් මගේ කලේබරයේ දෙනෙත් අසල තැබූ සුදු මල් දෙකෙන් වන්දි ගෙවීම ඔබේ අභිලාශයද . . . . ?
ජීවත් වූ කාලයේ නොලඳ ආදරයේ වටිනාකමක් මියගිය පසු කුමකටදැයි නොසිතුවේ මන්ද . . .

සුදු මල් දෙකක් කඩා ගෙනත්

සුදු මල් දෙකක් කඩා ගෙනත් මා නෙත් ලඟින් තබා
ඔබේ කඳුලු බින්දුවෙන් තෙමා සමුගනෙන්පා එපා
උනුසුම් ඔබේ නෙතේ දියෙන් ඒ මල් හඬයි සිතා
නොසිතන් ළඳේ දිනක් නොවේ වැලපෙන්නෙපා එපා

සිනාසුනු ආදරේ නමින් රැඳී උන් ජීවිතේ වෙලී
වෙන් වූ දා ඉතිං ඔබෙන් පල නෑ මේ තරම් හැඟුම්
පැතූ පෙම් මාලිගා බිඳී දරා යයි වේදනා දිදී
මන්මත් වූ පැතුම් මැදින් පල නෑ මා සොයා ඇවිත්

. . .. . .. . .. . .

ස්ථානය : දෝහා කටාර් රාජ්‍යයේ කාර්මික ජනපදය
දිනය : 2004 වර්ෂයේ දිනක්
අවස්ථාව : ආධුනික ගී තරඟාවලියේ අවසන් වටය

ඔව් පිලිගන්න මේ තරඟාවලියේ ජයග්‍රහී ගායකයා සලාම් ආයතනයේ සේවය කරන ජානක අමරසිංහ . . ඒ අපේ අපේ ආයතනයේම සේවය කරන ජානක නොහොත් අපේ දයාබර කොඩී සොයුරා . .. .

අපේ විසිල් හඬ අත්පොලසන් හඬ හා "කමෝන් කොඩී" යනුවෙන් කෑ ගාන හඬ පිටිය සිසාරා ඇසෙයි . . .

රටකින් එහා ඉගිලී

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
අද මෙන් ළඳේ හෙට නෑ හමුවන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ

නා දළු දෙතොල් හසරැලී මතු වෙවී
ආගිය ගමන් සිහිව එයි යලි යලී
අසමාන වූයේ අප ආදරේ
කිසිදා බිදෙන්නෑ සැකයක් නැතේ . ..

අතිනත වෙලා පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමී සපුරලා සිත සිතුම්
හෙට ඒ දිනේදී සයුරෙන් එහා
පිලි ගනන්වාදෝ පැමිනී වහා

. . . .. . .. . . .. . .. . .. . .. .

ජීවිතේ රේඛාව එක දිගට කෙලින් ඉරක් නම් කිසි වෙනසක් නැතැයි සිතා මසකට වරක් කිසිම හේතුවක් නොමැතිව අමනාප වෙන්නත් අමනාප වූ සැනින් යලි හාද වෙන්නත් ඉඳහිට එලෙස පුංචි අමානපකම් ඇතිවුවත් නිතර මනාපයෙන් විනෝදයෙන් සිටින්නත් මෙලෙස අප හමුවූයේ දෛවයේ නියමයකින්ම විය යුතුයි කියා නොසිතේද . ..

සරතැස නිවා

සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුනා මට සොඳුරේ
දිය ගලනා උල්පත් මව මවා
සරතැස නිවා දිවි කතරේ

වියලුනු දෙතොල් සිසිලෙන් තෙමා
පුබුදා උපුල් නෙත් යුග යොමා
රණ මයුරියක ලෙසින්
හද තුල සැරි සරා

සඳවත් ඉතිං පල නැහැ ප්‍රියේ
ඔබෙ වත ලඟින් මගේ වත තියේ
හෙට යයි තවත් දිනක්
මට ඇත ඔබ නිසා

. . . . ..



Wednesday, September 1, 2010

නෙත කඳුලින් නුඹ හඩද්දි හිත කඳුලින් මම හැඬුවෙමි. .!



නිල් කටරොලු මල් ගොමුවේ
පැනි උරනා සමනයෙක්
මිදුලේ දුව පැන නටනා
පුතුගේ අතේ ගල් අහුරක්
කුරුමානම වැරදුනාට
කමක් නෑ පුතේ
සතුනට හිංසා වද දී
නොවෙන් පුතේ දඟ ළමයෙක් . ..
. . . .
පුංචි කමට නොදැන කරන
වැරදි වලට සමා නොදී
කෝටු පාර ඉඳ හිටලා
නුඹට තලද්දී
නෙත කඳුලින් නුඹ හඩද්දි
හිත කඳුලින් මම හැඬුවෙමි . . .
. . . .
කිරි කල හත පෙවී නුඹට
පා පොඩි එසවුනු දා සිට
සුරතල් සිහිනයකි මගේ
ළය මුලු ගැන්වී රැඳුනේ
නුඹ හොඳ මිනිහෙක් වන දා
මල් පිපියන් මගේ සිහිනේ . . . . !!

සිංදු අහන්න පුරුදු වුනු පුංචි කාලේ ඉඳන් හරියටම අදට අවුරුදු තුනකට කලින් දවසක් වෙනකම් ම මේ ගීතය සිය දහස් වර සවනට වැටෙන්න ඇති . . ඒ හැම වාරෙකම ලස්සන නිල් කටරොලු මල් වැලකුයි . . .ලස්සන සමනලයෙකුයි . . . පුන්චි දඟකාර සුරතල් කොලු පොඩ්ඩෙකුයි . . කෝටුවක් අතේ තියාගෙන ඉන්න නපුරු තාත්තා කෙනෙකුයි හිතේ මැවුනා හැර වෙන කිසි දෙයක් සිහිපත් නොවුනු බව මට මතකයි වගේම මේ ගීත අසා පුරුදු ඔබ සැමටත් ඉන් එහා යමක් මතක් වුනාද කියා අහන්නත් මට හිතෙනවා.

"අනේ මට නම් මේ ළමයට කවන්න දවස තිස්සේ ට්‍රයි කරලා එපා වෙලා තියෙන්නේ . .. ඔයාට පුලුවන් නම් කොහොම හරි කරලා බත් කටක් කවන්න"

කියලා ලෝකේ අමාරුම කාරිය වුනු පොඩි එවුන්ට කවන රාජකාරිය නදීෂා මට පවරපු දවසක, මගේ සොඳුරු ත්‍රස්තවාදියා බත් කටක් කන්න කට නෑර කට වහගෙනම ඉන්න වෙලාවක . . . තරහා ඉවස ගන්න බැරිම තැන පස්ස පැත්තට දෙකක් දීලා මට තරහ ගිය බව දැකපු පුංචි කොල්ලා මහ හයියෙන් මර හඬ දීලා අඬපු වෙලාවෙයි . . .

ගිය සතියේ ෂොපින් ගිය වෙලාවක අපි පස්සෙන් එනවද කියලා බල බල ෂොපින් මෝල් එකේ එක කෙලවරක ඉඳන් අනෙක් කෙලවරට දුවලා අපිව බය කරන්න හැංගිමුත්තන් සෙලල්ම් කරද්දී . . . මෙහේ ෂොපින් මෝල් වල දී ළමයින් නැතිවුනු කතා අහලා තිබුනු නිසා "අපි පාර්ක් ගිය වෙලාවක සෙලල්ම් කරපු පුතේ . . මේක ඇතුලේ දුවන්න එපා" කියලා කියපු දේ අහන්නේ නැතුව හත් පාරක් මාව ෂොපින් මෝල් එකේ එහාටයි මෙහාටයි දුවවපු වෙලාවේ ඇති වුනු තරහට ආපහු පස්ස පැත්තට දෙකක් දුන්නු නිසා කොල්ලට දුක හිතිලා බිම ඉඳගෙන අඬපු වෙලාවෙයි . . .

තමයි මට තේරුනේ මේ ගීතයේ අර කටරොලු මල් වලට. . සමනලයාට . . කෝටු පාරට එහා ගිය . . . පපුවේ ලේ කිරි නොවුනා වුනත් . . මහා සාගරය වගේ නොසංසිඳෙන පිය සෙනෙහසක අරුතක් මේ ගීතයේ ගැබ් වෙලා තියෙනවා කියලා . . .

කොලුවා බිම ඉඳගෙන විනාඩි දෙකක් ඇස් දෙකෙන් කඳුලුපෙර පෙර අඬලා ඒක අමතක කරලා හිනා වෙලා මට තුරුල් වෙලා හිටියාට කොලුවට තලපු එක මතක් වෙන මතක් වෙන වාරයක් පාසා කොලු පැටියාට තලපු මගේ අතේ ඇඟිලියි හිතේ කඳුලුයි තාමත් තරඟෙට අඬන බව දන්නේ මම විතරක් බව නොකියා කොහොමද . ..

මේ ගීතයේ කියැවෙන පිය සෙනෙහස ගැන වටහා ගන්න මමත් පියෙක් වෙනකම් ඉන්න වුනා කියනවට වඩා මම පියෙක් වෙනකම්ම පිය සෙනෙහස වටහා ගන්න මම උත්සාහ නොකලා කියන එක තමයි වඩා නිවරදි කියලා මම දන්නවා.

ඒකෙන් වුනේ ඒ මොහොත වන තුරුම "තාත්ත අපිට ආදරේ නෑ" කියලා කෝපය සමඟ මුසු වුනු බරක් මගේ හිතේ රැඳිලා තිබ්බ වගේම . . . "මුන්ට මගේ ආදරේ තේරෙන්නේ නෑ" කියලා වේදනාව මුසු වුනු බරක් තාත්තගේ හිතේ රැඳිලා තියෙන්න ඇති කියලා මට හිතෙනවා.

කෙසේ නමුත් කලින් දවසක් මා ලියූ සුනේත්‍රා රාජ කරුණානායකගේ පූර්ව ජන්ම අපූර්වය ආදී පොත් වලට පිංසිදු වෙන්න ඒ බරවල් වලින් නිදහස් වෙන්න මංපෙත් පෑදුනු එක කොයි තරම් නිදහසක් ද කියලා දැනෙන්නේ ඒ නිදහස් ගැඹුරු දියේ පීනා සුව විඳින නිසාවෙන්මයි.

යහගුණදම් වලින් සපිරුනු දරුවෙක් බිහිකරනවාට වඩා අල්ලපු ගෙදර එකාට වඩා ඉහල යවන්න පුලුවන් සරුංගලයක් කිරීමේ පරමාර්ථයෙන් පුහු ආටෝපයන්ගෙන් පමනක් සපිරුනු රේස් දුවන තරඟකරුවෙක් නොකර දරුවා "හොඳ මිනිහෙක් වනදා . . .මල් පිපියන් මගේ සිහිනේ" එනම් ඔහු හොඳ මිනිහෙක් වනදා ඔහුගේ ජීවිතයේ සියලු පරමාර්ථයන් ඉටුවුනායි කියා සිතන මේ ගීතය ගයන පියාට මම හිස නමා ආචාර කරන්නේ ඔහු මෙන් මමත් මගේ දරුවා රේස් එකකට හුරු නොකරමියි අධිෂ්ථානයෙන් . .


මේ ගීතයත්, ගීතය ගැන මගේ අටුවාවත් වෙන වෙන වල්පලුත් මේ සැම ලියවුනේ අද විශෙෂ දවසක් නිසාවෙන් . . . මගේ බ්ලොග් එක කියවන ඔයාල හැමෝම කලින් කියවන්න ඇතිනේ මගේ "විරුල් නොහොත් සොඳුරු ත්‍රස්තවාදියා" ගැන මම දවසක් ලියපු සටහන් . .. නොකියවපු කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ඒ ලිපියත් කියවලා බලන්නකෝ . .. ඉතිං අද මගේ ඒ විරුල් නොහොත් සොඳුරු ත්‍රස්තවාදියාගේ තුන්වෙනි උපන් දිනේ . . .

ගිය අවුරුද්දේ දෙවෙනි උපන් දිනේට අපි ලංකාවේ සිටිය නිසාවෙන් ගල්කිස්සේ ළමා නිවාසයකට දානයක් දෙන්න පුලුවන් වුනා . . . ඒ ගැනත් ලිපියක් "ළමා නිවාසයේ අකුරු ඉගැන්වූ යුවතිය" නමින් ලිව්වා . . කැමති කෙනෙක්ට මෙන්න මෙතනින් ඒ ලිපියත් කියවන්න පුලුවන් . . .

ලංකාවේ නොසිටියා වුනත් විරුල්ගේ හැම උපන්දිනයකටම දානයක් දෙන්න එදා භාරගත්තේ පුතාගේ උපන් දිනයට පමනක් නොව හැකි සෑම මොහොතකම ඒ ළමා නිවාසය වෙනුවෙන් යමක් කල යුතුයි කියා හැඟීමෙන් වුවත්. . .පවතින ආර්ථිකයත් සමඟ මාසික ණය වාරික, නඩත්තු, ජීවන වියදම්, නොරටක වසන නිසාවෙන් ජීවිතයේ සතුට විනෝදාස්වාදය වෙනුවෙන් වැය කලයුතු විය හියදම් ආදී සියලු දේත් සමඟින් වසරකට එකක් පමනක් කල හැකි තත්වයකට පත්වීම උපේක්ෂාවෙන් දරා ගන්නවා හැර වෙන කල හැකි නැති නිසා අනාගතය සුභ වෙන දිනක් දෙස බලාපොරොත්තු තබා ගෙන සිටින එක හැර වෙන විකල්පයක් නැති තරම් . ..

කෙසේ නමුත් මෙදා සැරේත් උපන් දිනය වෙනුවෙන් දානයක් දෙන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා මෙහේ ලඟපාත ඉන්න මිතුරෝ දෙතුන් දෙනාත් නදීෂාගේ මල්ලීත් ඔහුගේ බිරිඳත් ගෙන්න ගෙන කේක් එකක් කපලා පුංචි සාදයකුත් පවත්වන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසා හෙටත් ආපහු මගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් මේ ලිපිය කියවන්න එනවානම් අද හවස පාර්ටියේ පින්තූර ටිකකුත් මේ ලිපියට එකතු කරන්න පුලුවන් . .. .

එහෙනම් හැමෝම ඔන්න මගේ කොලු පැටියට අමතක නොකර සුභ පතලා යන්න හොඳේ . . මම එකා ලොකු වුනාම ඒවා පෙන්නම් . . . එහෙනම් සුභ දවසක් වේවා කිව්වා හැමෝටම . .. .

අර උඩින්ම මම සඳහන් කල ගීතය ගයන්නේ සුනිල් එදිරිසිංහ මහතා. මියුරු ගී අඩවියේ ඇති ගීතය මෙන්න මෙතනින් ගිහින් අහන්න පුලුවන්







Tuesday, August 24, 2010

චූචි චීචර්ට වෙච්චි දේ . . . හෆොයි . . .!!




අර මම කලින් ලියපු ඇටසැකිල්ලේ කතාව මතකයි නේද . . ?, ඇයි අප්පා අර හදිසියට ඇටසැකිල්ල කියලා ලියන්න ගිහින් පලමු දවසේ නිසා චකිතයට පොඩි අකුරු ටැපලිල්ලක් වෙලා අකරතැබ්බයකට මූන දුන්නු ටීචර්ගේ කතාව . . හරි දැන් මතකයිනේ මතක නැත්නම් මෙන්න මෙතනින් ගිහින් ඒක බලලා එන්න . . .

. . . . . .

හරි හරි . . . අද මම කියන්න යන්නේ ඒ ජාතියෙම තවත් ටීච කෙනෙක්ට වෙච්චි තවත් අකරතැබ්බයක් ගැන කතාවක් . . .

මේකත් මම ඇහුවේ දැක්කේ කොහේදිද කියලා නම් ඉතිං හාංකවිසියක මතකයක් නෑ ඕන් . ..

. . . . . .. . . .. . ..

හරි කතාවට බහිමුකෝ දැන් . . .

ඔන්න තවත් අලුත් ටීච කෙනෙක්ට මූලික පත්වීම ලැබුනලු බොහෝම දුෂ්කර පලාතක

ඉතිං මේ ටීචත් සූට් කේස් එකකට ඇඳුම් කැඩුම් ටික සාරි හැට්ට ටික අඩුක් කරගෙන කොලඹින් නැග්ගලු ටීචගේ ඉස්කෝලේ තියෙන පැත්තේ ටවුන් එකක නතර කොරන බස් එකකට.

ඒ බස් එක හතර වරම් ගහලා ගහලා ටවුන් එකේ නවත්තන කොට හොඳටෝම හවස් වෙලාලු.

බැහැපු ගමන් චූටි ටීචර් විපරම් කලාලු ඉස්කොලේ තියෙන ගමට යන බස් එක ගැන . . .

මනුස්පයෙක් පොඩි හුංඩුවක් වගේ වෑන් කට්ටක් පෙන්නලා කිව්වලු "ආං නෝනේ ආං අර බස් එක තමයි ඔය ගමට යන අන්තිම බස් එක . . .” කියල . .

අපේ චූටි ටීචත් එක අතකින් සාරියත් පැත්තකින් උස්සගෙන අනිත් අතින් සූට් කේස් එකත් උස්සගෙන දුවලා දුවලා ගිහින් නැග්ගලු අර මොරගහ හේනේ පොල් පටෝපු බස් එක වගේ බස් එකට

දන් මේ ටීච කොන්දොස්තර ළමයට කියලා ඉස්කෝලෙට හැරෙන හන්දියෙන් බැස්සලු . . . ඒත් එක්කම තව අවුරුදු 3ක විතර පුංචි කොලු පැටියෙක් වඩා ගත්තු අම්ම කෙනෙකුයි කොලු පැටියගේ අප්පච්චි කියලා හිතන්න ඇහැක් මනුස්සයෙකුත් බැස්සලු.

බැහැලා බැලින්නම් හතර අත කට්ට කලුවරයිලු.

ටීචර් අර මනුස්ස පරාන දෙකෙන් ඇහුවාම ඉස්කොලේ තියෙන්නේ කොයි හරියෙද කියලා අර කොලු පැටියගේ අප්පච්චි කිව්වලු "අනේ නෝනේ ඉස්කෝලේට මෙතන ඉඳන් මයිල හතරක විතර දුරක් යන්ට වෙන්වා නොවෑ . . " කියලා

ඒ මනුස්සයා එක පාරටම මයිල කිව්ව ගමන් ටීචර්ව පොඩ්ඩක් අන්දොස් උනු බව දැක්ක ගෑනු කෙනා " ඒ කිව්වේ නෝනේ මේ හැතැප්ම හතරක්" කියලා මනුස්සයගේ කතාවට ගෑනු කෙනා නැටි කෑල්ලක් එල්ලුවලු.

"මේ අපේ ස්කෝලෙට අලුතෙන් එන ගුරුතුමී වෙන්ටැ . . . සතා සරුපයියා හක්කලන් කොරන මේ වෙලාවේ ගුරු නිවාසෙට යන්ට ඇහැකිය . . ?? ඇහැක් විදිහට අද අපේ දිහා ඉඳලා හෙට උදානැක්කේ ගුරු නිවාසෙට යන්ට බැරුවායැ" කියලා අර ගෑනු කෙනා මනුස්සයගෙන් අවසර ඉල්ලන බැල්මක් දාගෙන කිව්වලු.

"අනේ අක්කේ ඒක නම් ලොකු උදව්වක්" කියලා ටීචර් ස්තූතිපූර්වක බැල්මක් දෙන්නටම දැම්මලු.

කොහේදෝ තිබිලා හුලු අත්තකුත් පත්තු කරගෙන තුන් හතර දෙනා යන ගමන් අර මනුස්සයා "හැබැයි නෝනේ ඒ වුනාට අපේ ගෙදර එහෙමට ඉඩ පාඩු නම් නැතෙයි" කියලා කිව්වහම

“කමක් නෑ අයියේ මට අද රෑට විතරයිනේ කියලා ටීචර් ඒක ශේප් කලාලු.

දැන් ඉතිං ඔන්න කට්ටියම ගෙදරට ආවලු.

කටු මැටි ගහපු මේ ගෙදරට තියෙන්නේ එකම එක කාමරයයිලු. කනු හිටෝපු පිලක් දාපු පොඩි ස්තෝප්පුවේ පැලළි දොරෙන් ඇතුල් වුනාම මේ කියපු කාමරේ ඉන් එහා තව පැලළි දොරක් ඇරියාම ගෙට එහාට වෙන්න තියෙන කුස්සියලු. කට්ට කලුවරේ නිසා ටීචර්ට මේ කිසි දෙයක් හිතා ගන්නත් බෑලු.

ගෙදරට ඇවිත් අර ගෙදර ගෑනු මනුස්සයා ටීචර්ව කාමරේට එක්ක ගිහින් ඇඳුම් මාරු කරගෙන ඇවිත් මූන කට ඩිංගක් හෝදගෙන කෑවායින් නොකෑවයින් නිදා ගන්නලු ලෑස්තිය.

කොලු පැටියගේ අම්මයි තාත්තයි කාමරේ පැදුරක් එලලා හෙලිකොට්ටෙන් නිදාගෙන හිටපු කොලු පැටියව පැදුරේ තියලා "ගුරුතුමී එහෙනම් මේ කාමරේ තියෙන අපේ එකම ඇඳේ නිදා ගන්ට . . අපි දෙන්නා ඉස්තෝප්පුවේ පැදුරක් දාගෙන නිදා ගන්නම්. කොලු පැටියා ඉස්තෝප්පුවේ නිදා ගත්තොත් පිනී බායිනේ . . ඒක නිසා ඌව මෙතන බිමින් නිදි කලා " කියලා ටීචර් ස්තූති කරද්දී ගෙදර තිබුනු එකම කුප්පි ලාම්පුවත් අරගෙන කාමරෙන් ඉස්තෝප්පුවට යන්න තිබුනු පැලැළි දොරත් වහගෙන ගියාලු.

කට්ට කලුවරේ කොහු ලනු මෙට්ටේ එහාට මෙහාට ඇඹරී ඇඹරී ඉන්නවා මිසක් ටීචර්ට නින්ද අහලක වත් නෑලු . . .

ඔහොම පැයක් දෙකක් ඉන්න කොට අපේ මේ ටීචර්ට එනවලු අම්බානක පිප්පි බරක් . . .

මේ කෑලි කපන්න පුලුවන් කලුවරේ කාමරේ දොරක් කොහේ තියෙයිද කොහාට කියලා යන්නද කියලා නොදන්න ටීචරුත් ඉවසගෙන ඉන්නවලු දැන් එලිවෙයි දැන් එලිවෙයි කියලා . . .

ම්ම්හූ එලිවෙන පාට කෙසේ වෙතත් තව ඉවසගෙන හිටියොත් මුත්‍රා බොක්ක පැලයි වත්දෝ කියලා හිතලා කොහොමද මේ බරෙන් නිදහස් වෙන්නේ කියලා හිත හිත ඉන්න ටීචර්ගේ ටිකිරි මොලේට ආවලු නියම අයිඩියා එකක් . ..

ටීචර් කලුවරේ අත ගගා ගිහින් අර කොලු පැටියව උස්සගෙන ඇවිත් තිබ්බලු ඇඳ උඩින් . .. තියලා කොලු පැටියා නිදාගෙන හිටපු පැදුරේ පිප්පි කලාලු . . . "දැන් හරි දැන් ඉතිං මේක වැටෙන්නේ මේ කොලු පැටියගේ එකවුන්ට් එකටනේ" කියලා හිතලා ආපහු කලුවරේ අත ගගා ඇවිත් කොලු පැටියව ආපහු පැදුරෙන් තියන්න ඒකාව වඩා ගන්න හදනකොට ටීචර්ට ආපහු පාරක් චූ බර හැදෙන වැඩක් වෙලාලු . ..

පොඩි එකා ඇඳේ කක්කි දාලලු . . ..

. . . ..

pic taken from : http://lagringasblogicito.blogspot.com/

Sunday, August 15, 2010

හාමුදුරුවනේ දනක් බෙදන්නට හයි හත්තිය නෑ දැන් . . . !



"ට්‍රී. .. . න්"

"හ . . . ලෝ . .. "

"අනේ අයියා ඔයාලා තාම නිදිද . . . සමාවෙන්න ඇහැරෙව්වට"

"කවුද මේ . . . "

"මම චාන්දනී, මංජුලගේ වයිෆ්"

"ආ නංගී . . කියන්න . . ."

"අනේ අයියා අද රිවිර පත්තරේ බලනකොට දැකපු ලිපියක් හින්දයි අයියට කරදර කරන්න උනේ නිවාඩු දවසේ උදේ පාන්දරම . . "

“ඒකට කමක් නෑ නංගී. මොකද්ද සීන් එක”

"අපේ ගමේ අපි දන්න කියන දුප්පත් පවුලක ගෑනු ළමයෙක් ගැන පත්තරේ තියෙනවා දැකලා මම එහාට කෝල් කලා . . .අනේ අයියා ඒ ගෑනු ළමයා කැම්පස් යන කෙනෙක් . . . වකුගඩු දෙකම නරක් වෙලා ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න ඕන කියලා දැන් හොස්පිටල් එකේලු ඉන්නේ . . ."

"ඒ කියන්නේ දැන් ඔපරේට් කරන්නද හදන්නේ"

"නෑ ඒකට එයාට මැච් වෙන වකුගඩුවක් ලැබෙන පාටක් තියෙනවලු. හැබැයි ඒ වකුගඩුව දෙන කෙනාට ත් රුපියල් ලක්ෂ තුනක්ද කොහෙද දෙන්න ඕන වගේ කතාවක් කිව්වා"

"අද කාලේ මිනිස්සු හරිම අමාරුවෙන්නේ නංගී ජීවත් වෙන්නේ ඉතිං ඒ වකුගඩුව දෙන කෙනාත් ඒ ලැබෙන සල්ලි වලින් පවුලේ අය වෙනුවෙන් මොනව හරි යමක් කරන්න ඉන්නව වෙන්න පුලුවන් . . ඒක නිසා ඒ මනුස්සයා ගැන අහිතක් හිතන්න නරකයි"

"වැඩේ කියන්නේ අයියා ඔපරේට් කරනකම් සතියක්ලට සැරයක් විතර ඉස්පිරිතාලේ යන්න ඕනළු . . එකට එක පාරකට රුපියල් 9000ක් විතර වියදම් වෙනවළු. මේ පවුලේ අය ගැන මම දනන්වා අයියා එයාල එහෙමට වත්කමක් තියෙන අය නෙමෙයි. අපි කට්ටිය එකතු වෙලා කීයක් හරි එකතු කරල යවමුද අයියා . .. "

"හරි මම කැමතියි නංගී"

"තව එකක් අයියා, ඉස්සර ඉඳන්ම මේ වගේ වැඩ ඕගනයිස් කලේ . . ඔයාටම බැරිද මේ වැඩේත් පොඩ්ඩක් ඕරගනයිස් කරලා කට්ටියට කෝල් කරලා වැඩේ කෙරෙන විදිහකට වැඩේ සංවිදානය කරන්න අයියා . .. "

දැනට සති තුනකට පමන කලින් සිකුරාදා උදේවරුවක ලැබුනු දුරකතන ඇමතුමෙන් පසු මුලින්ම මූනු පොතේ මේ පනිවිඩය සියලුම මිතුරු මිතුරියන් හට දන්වා දෙවෙනුව මා දන්නා හඳුනන මීට කලින් මේ වගේ යහපත් කාර්‍‍යන්ට හවුල් වුනු මිතුරනුත් ඊට අමතරව බ්ලොග් හරහා අඳුන ගත්තු මිතුරු මිතුරියනුත් අතර මේ පනිවිඩය බෙදා හැරීමෙන් පසු අද හවස් වන විට මිතුරු මිතුරියන්ගේ කීප දෙනෙකුගේ උපකාරයෙන් මේ වන විට ලංකාවේ මුදලින් රුපියල් 60,000කට කිට්ටු මුදලක් එකතු වී ඇති බව චාන්දනීත් අනෙක් පසින් මුදල් බැර කිරීම සඳහා ගිනුම් අංකය හා සියලු සහයෝගය ලබා දෙන මනෝජ් මල්ලීත් දැනුම් දෙනු ලැබූ විට දැනුනේ සියුම් සතුටක් හා මුසුවුනු වේදනාවක් . . .

ඒ වේදනාව තුලින් මට ඇසුනේ මාලනී බුලත්සිංහල මහත්මිය ගායනා කරපු ගීතයක්.

"හාමුදුරුවනේ දනක් බෙදන්නට හයි හත්තිය නෑ දැන්
ඉස්සර නම් දවසක් ඇර දවසක් පන්සල් එනවා මං
දැන් කොහොමද ලොකු හාමුදුරුවනේ කරන්නේ ඒ වගේ ඉතින්
රස්සාවක් නැති දරුවගේ දරුවොත් රකින්නේ මං නේ දැන් . . . !"

මේ උපාසකම්මා "දනක් බෙදන්නට හයි හත්තිය නෑ දැන්" කියන දෙයින් අදහස් වෙන්නේ ඇය වයසට ගොස් නිසාවෙන් හයි හත්තිය නොමැති බව නෙමෙයි, ඉස්සර කාලේ වගේ නමෙයි දැන් ජීවිතේ පවතින ආර්ථික අපහසුකම් එක්ක ඉස්සර වගේ පිනට දහමට විය පැහැදම් කරන්න ශක්තියක් නැති බව බව මේ ගීතයෙ සිව් වන පදය අහන කොට ම අපට වැටහෙනවා.

මටත් හිතුනේ අපි හැම දෙනාටමත් වෙලා තියෙනෙන මේ දේම නොවේද කියලා . . .

ඉස්සර ඒ කිව්වේ මීට අවුරුද්දකට දෙකකට කලින් මේ වගේ දෙයක් වෙනුවෙන් අපි මුදල් එකතු කරද්දී දැන් වගේ දෙතුන් පාර දුරකතන ඇමතුම් දෙන්න අවශ්‍ය වුනේ නෑ . . .

ඒත් ලෝක මූල‍ය අවපාතය අපි ඉන්න මේ රටට තදින්ම බලපාලා හැමදෙනාගේම වගේ රැකියා අහිමි වෙලා, ගොඩක් අඩු පඩි වලට නැවත් රැකියා සොයාගෙන, ඒ අතරේ රැකියා අහිමි නොවුනු අයගේ වැටුප තදබල ලෙස සීයට ලොකු ගනන් වලින් අඩු කලාට පස්සේ කලින් එක්තරා මුදලකට සරිලන ලෙස ජීවත් වෙන්න හුරුවෙලා ඉඳපු අපි හැමෝම ඊට වඩා අඩු මුදලකට ජීවත් වෙන්න උත්සාහ කරද්දී (වැටුප් අඩු කලාට බඩු මිල වත් බැංකු වලින් අරන් තිබුනු ණය වල වරික මුදලේ වටිනාකම වත් අඩු නොවුනු නිසාවෙන් සහ ලංකාවේ මෙතුවක් කරගෙන ආ නඩත්තු සඳහා යවන මුදල් ප්‍රමානය දිනෙන් දින වැඩි වනවා මිස අඩු වීමක් නැති නිසාවෙන්) මාලනී බුලත්සිංහල මහත්මිය කියන අයුරු ඉස්සර වගේ දන් පින් කරන්න හයි හත්තිය නැති එක ගැන කනගාටු වෙනවා හැර වෙන මොනවා කියලා කරන්නද කියලා හිතෙනවා.

දුමී මට ඔහුගේ හිතවතෙකුගේ (ජෝර්ජ් අයියගේ)පරන ලැප්ටොප් පර්ඝනකයක් ලබා දීපු වෙලාවේ ඒකට ස්තූති කරලා මම මූනු පොතේ දාපු සටහනට රන්දිල් නංගී කියලා තිබුනු "බත් ඇති තැනටමයි කොස්" කියන කොමෙන්ටුවට දුමී දුන්නු "අපි කන හැටි ලිපා දනී" කියන පිලිතුර දැක්කාම මට හිතුනේ ඒක තමයි ලබා දෙන්න පුලුවන් නියම පිලිතුර කියලයි. මොකද ලංකාවේ ඉන්න අය (පිට රටක වැඩ නොකරපු අය ) ගොඩක් අය හිතන්නේ පිට රට ඉන්න අය සුරපුරයක ජීවත් වෙනවා . . . එහෙම නැතිනම් සල්ලි ගස් හිටවලා තියෙන දිහාක ජීවත් වෙනවා . . එයාලට තියෙන්නේ ඕන වෙලාවට ඒ ගහ යටට ගිහින් ගහ පොඩ්ඩක් හොල්ලන එක විතරයි කියලා (අපේ අම්මයි තාත්තයි උනත් හිතන්නේ එහෙමයි )

කොහොමින් හරි අපි අමාරුවෙන් එකතු කර ගත්තු මුදල් එයාලගේ ගිනුම් අංකයට යවන්න හිතලා චාන්දනී නංගී ඒ ගෙදරට ආපහු දුරකතන ඇමතුමක් ලබා දුන් වෙලාවේ ඒ අය කියලා තියෙනවා තව සතු තුනකින් හෝ මාසෙකින් විතර පස්සේ මුදල් ලැබුනත් ඇති කියලා . . .

අහ් තව දෙයක් ඉතාලියේ වැඩ කරන කෙනෙකුගේ තාත්තා කෙනෙක් මහ රෝහලට ගිහින් මේ සොයුරියගේ දුක සැප බලා ඒ වෙලාවේම රුපියල් 15,000ක පරිත්‍යාගයක් කරලා කිව්වලු මූනු පොතේ තිබුනු පනිවිඩේ දැකලා අර ඉතාලියේ වැඩ කරන ඔහුගේ දරුවා කිව්ව කියලා ගිහින් පුලුවන් උපකාරයක් කරන්න කියලා . .. .

ඉතිං ඒක ඇහුවට පස්සේ හා තව සති තුනක්,මාසයක් කල් තියෙනවා කියලා තේරුනාට පස්සේ මම හිතුවා ආපහු පාරක් මේ උදව්වට සම්මාදම් වෙන්න කියලා මගේ බ්ලොග් එකේත් දැම්මොත් පුලුවන් කමක් තියෙන අය කවුරු හරි උදව් කරාවී නේද කියලා . . ..

ඉතිං මගේ ඉල්ලීම ලොකු දනක් බෙදන්නට හයි හත්තිය නැති උනත් තියෙන හත්තියේ තරමින් පොඩි හරි දනක් බෙදන්න කැමති අය ඉන්නව නම් පොඩියක් හිතලා බලන්න . .. .

(ප.ලි. ලංකාවට මෙහෙන් මුදල් යවන්න ඩිරාහ්ම්ස් 15ක් යන නිසා ඒ මුදලත් මෙහේ එක්කෙනෙක් එකතු කරලා එක පාරට යවන්න ත් මුදල් යවලා ඉවර උනාට පසු රිසිට් එක සියලු දෙනාට මේල් කරලා යවන්නත් අපි හිතුවා. . .ඒක නිස (UAE) ඩුබායි, අබුඩාබි ඉන්න තව කවුරු හරි මේකට එකතු වෙන්න කැමති නම් 050-4514671 කියන අංකයට දුරකතන ඇමතුමක් දෙන්න කියලා ඉල්ලා සිටින්නත් කැමතියි.



නයෝමි ගැන සඳහන් රිවිර පුවත්පතේ ලිපිය සඳහා සබඳියාව මෙතනින්

Pic taken from : http://www.dhammakaya.net/events/501104_kathina.php

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails