Monday, April 13, 2015

සංසාරික පුරුද්දකට ඉඩ සලසන සහන !


"පුතේ කුස්සියේ හැලියෙන් බතුයි එහා පැත්තේ ලිපේ මාලුවකුයි ඇති බෙදාගෙන කන්න" ඉස්සර වැඩ ඇරිලා එන ගමන් අපේ ගෙදරට ගෙවල් 15ක් 20ක් මෙහායින් තියෙන මගේ දුප්පත් යාලුවගේ ගෙදරට ගොඩ වෙනකොටම යාලුවගේ අම්මා කියන්නේ එහෙම.

"උඹත් ගිහින් එහෙන් කෑවහම හිඟන්නගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගේ තියෙයි, ඔය අඩි දහයත් ඇවිත් උඹ ගෙදරින් කාපන්" අපේ අම්මා එහෙම කියන්නේ

"කොයි තරම් දුප්පත් උනත් තව කෙනෙක්ට දීලා බෙදා හදාගෙන කන්න සංසාරේ පුරුද්දක් තියෙන්න ඕන" කියලා මගේ යාලුවගේ අම්ම ගැන ආඩම්බරයෙන් කියන ගමන්.

සමහර අවස්ථාවලදී සමහර මිනිසුන් දිහා බැලුවාම ඇත්තෙන්ම හිතෙනවා ඒ අය අනෙක් මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න සංසාරයේ පතාගෙන ඇවිත්ද කියලා. 

එක්සත් අරාබි එමීරයේ සහන සංවිධානයේ ක්‍රියාකාරීන් - ජෝර්ජ් හෙට්ටිආරච්චි, නිෂාන්ත වික්‍රම ආරච්ච්, සිස්ටර් ඔල්ගා, අජන්ත ප්‍රේමරත්න, චාමින්ද රබෙල්, දුෂාන් කරවිට, රජීව් ප්‍රනාන්දු, දර්ශන නාකන්දල, ෆුජේයිරා වල අනිල්, ලක්ෂමන් කුළරත්න (මේ එක පාර මතකෙට ආපු නම් කීපයක් විතරයි) ආදී මානුෂිකත්වය උතුරා යන  මිනිසුන් දැක්කාම මට නම් ඇත්තෙන්ම හිතෙනවා අර කිව්ව සංසාරයේ පතාගෙන උපදින කතාව ඇත්තමයි කියලා

පිහිටක් ඇවැසි තමත් මනුෂ්‍යයෙක්ට හෝ මනුෂ්‍යයින් පිරිසකට පිහිට වෙන්න අවස්ථාව උදාවුනාම "උදව් කරම්දෝ නොකරම්දෝ" දෙගිඩියාවෙන් පෙළෙන අය බොහෝමයි.

බොහෝ විට ක්‍රියාකාරීව ශ්‍රමයෙන් උදව්වක් කරන්න බැරි අවස්ථාවක හැකියාවක් තියාගෙනත් මුදලකින් හරි සහභාගී වෙන හැකියාවක් ඇතත් ඩිරාහ්ම්ස් 50ක, 100ක සම්මාදමක් දීලා හිත සනසවා ගන්න අවස්ථාව තිබිලත් "මොකට දෙනවද" කියලා අත වෙව්ලන අයත් බොහෝයි . . 

මම විස්වාස කරන ආගමට අනුව අහල දැකලා ඇඟට කාවැදුනු හැඟීම නම් "ඒ වගේ අය අනුන් වෙනුවෙන් යමක් කරන්න මතු සංසාරයේ ප්‍රාර්ථනා කරන්නෝ වෙන්න තව මනුස්ස අමුනුස්ස ජීවිත බොහෝ කාලයක් ජීවත් වෙන්න වෙයිද?" කියන එකයි.

අද අපි හොඳින් හිටියත් හෙට හෝ කොයි වෙලාවේ අනුන්ගේ උපකාරයක් අපිට ඕන වෙයිද කියලා කොහොම කියන්නද? 

එහෙව් ලෝකේ තමන්ට හැකියාව තියෙන මොහොතේ සුලුවෙන් හරි තව කෙනෙක් හෝ තව පිරිසක් වෙනුවෙන් තමන්ට හැකි ආකරයෙන් පිහිට වුනු කෙනෙක්ට කිසි පැකිලීමක් නැතුව තමන්ට උපකාරයක් ඕන වුනු වෙලාවක තව කෙනෙක්ගෙන් හෝ සංවිධානයකින් උදව්වක් ඉල්ලන්න සදාචාරත්මක අයිතියක් තියෙනවා කියල හිතෙන්න පුලුවන්.

ඉදින් යහපත් සංසාරික පුරුද්දක් ඇති කර ගන්න පස් මහ බැලුම් බලමින්  සිටිය යුතු නොවේ. 

දුගී දුප්පත් කමින් මිදී  තමන්ට සහ තමන්ගේ දරු පවුල ටිකක් හෝ යයපත් ජීවන තත්වයක් උදාකර ගන්නා සිහිනයක් හිසේ දරාගෙන අරාබියට පියමනින අඩු ආදායම්ලාභී අපේම සොයුරු සොයුරින්, හිතවතුන් අකල්හි අසරණභාවයට පත්වූවොතින් ඒ අයට පිළිසරණ වනු සඳහා එක්සත් අරාබි එමීරයේ මානුෂීය හිතැත්තෝ රාශියක ගේ එකමුතුවෙන් පිහිටුවා ඇති සහන සංවිධානය ඔබට ඒ අවස්තාව උදා කර දෙන්නේ බැතියෙන්.

එසේ වූ අඩු ආදායම්ලාභී සොයුරු සොයුරින්ට ඔබේ මගේ අපේ පිහිට අවැසි අවස්ථාවලදී පිහිටවෙන්න සහර සංවිධානයේ අරමුදල් රැස් කිරීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන සංගීත ප්‍රසංගයේ තුන්වෙනි අදියරයේ මුව විට අප සිටින්නෙමු.

මෙවර සහන සංවිධානය ඉදිරිපත් කරන්නේ ලංකාවේදී වුව රසවිඳින්න අවකාෂය අඩු විරල සංගීත අත්දැකීමක්.

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ සදාකාලික සිහිවටනය ක්ලැරන්ස් විජේවර්ධනගේ 70 දශකය කැලඹූ සංගීත කන්ඩායම සුපර් ගෝල්ඩන් චයිම්ස් හි ලොව පුරා විසිරී සිටින සංගීත වේදීන් අතරින් ජීවතුන් අතර සිටින සාමාජිකයින් යලි එකතු කර (ක්ලැරන්ස් ඔබ නැති අඩුව කවුරු පියවන්නද?) වසර 40කට වඩා කාලයක් ඔබ අප පිනවූ ඉදිරියටත් චිරාත් කාලයක් අපත් අපගේ අනාගත පරපුරත් සනහාලන ඒ සුමියුරු සංගීතයෙන් අප පිනවන්න ඔවුන් සූදානම්.




මේ පින්තූර ගත්තේ විකිපීඩියාවෙන් 

වසර 40කටත් වඩා ඔබ අසා ඇති නමුත් ඇනස්ලි මාලේවන, ෂ්‍යාමි ෆොන්සේකා, රුක්ෂාන් පෙරේරා ඇතුලු සාමාජිකයින් ඔබ නිරුවත් දෙනෙතින් තවම දැක නැතුවා වෙන්න පුලුවන්. ඉදින් ඔවුන් සියල්ලෝ දකින්න මුනගැහෙන්න ලැබෙන මේ අවස්ථාව ඔබ මඟ හරින්නේ කෙසේද? 

ඩිරාහ්ම්ස් 150ක, 100ක, 75ක, හෝ 50ක ටිකත් පතක් මිලදීගෙන තව දින පහකින් එනම් අප්‍රේල් 17 වෙනි සිකුරාදා දින ඩුබායිහි ශේක් රශීඩ් ඔඩිටෝරියම් එකේදී රාත්‍රී 7.30 සිට සුපර් ගෝල්ඩන් චයිම්ස් රි යුනියන් ප්‍රසංගය නරඹන ඔබ එදා 70 දශකයේ  සිට අප පිනවාලන ඒ සංගීත වේදීන්ගේ අමරණීය ගායන වාදන වලට සවන් දෙනවා පමනක් නොව එක්සත් අරාබි එමීරයේ අඩු ආදායම්ලාභී සොයුරු සොයුරියන්ට පිහිටක් අවැසි වෙලාවක මූල්‍යාධාර ලබා දෙන්න සහන අරමුදල වෙනුවෙනුත් ඔබේ සහභාගීත්වය ලබා දෙන බව අමතක නොකරන්න.

කුමක් හෝ හේතුවක් නිසා ප්‍රසංගය රසවිඳින්න එන්න හැකියාවක් නැතත් කලින් සඳහන් කල පරිදි ඔබේ මගේ උදව් අඇසි අඩු ආදායම් ලාභී සොයුරු සොයුරිනට සහනයක් අවැසි වෙලාවට සහනයක් ලබා දෙන්න සහන සංවිධානය හරහා ඔවුන්ගේ දුකට හඬන්න උරහිසක් වෙන්න පුලුවන් අඩු වශයෙන් ප්‍රසංගයේ ටිකට් පතක් හෝ මිලදී ගෙන .. දයාබර සොයුර සොයුරිය . . ඒ ආයාචනය ඔබටයි . . !

එසේනම් අපි හමුවෙමු අප්‍රේල් 17 වෙනි සිකුරාදා දින ඩුබායිහි ශේක් රශීඩ් ඔඩිටෝරියම් එකේදී රාත්‍රී 7.30


මේ සහන සංවිදානයේ ස්වේච්ඡා සමාජික ෆුජේරා ඉඳන් ඩුබායි ඇවිත් ලෙඩ්ඩුන්ට උපකාර කරන අනිල් අයියා

Thursday, April 2, 2015

රවුමක දුවන ආදරවන්තයෝ


හදිසියේ ලංකාවට ගිය ගමන් බොරදිය පොකුණ ෆිල්ම් එක බලලා ඒ ෆිල්ම් එක ගැන මට හිතුනු දේ බ්ලොග් එකේ ලියද්දී පරන කතාවකුත් ඒකට එකතු කලා . .

//යෞවන වියේදි ප්‍රේමය ගැන ඇතිවූ කතාබහකදී තරුණ වියේ උන් එකෙක් කීවේ

"මල්ලී . . ආදරේදි අපි හැමෝම රවුමක දුවනවා . . !!

මම මට ඉස්සරහින් ඉන්න කෙනා අල්ලන්න දුවද්දී එයා එයාට ඉස්සරහා ඉන්න කෙනාව අල්ල දුවනවා.

වටිනාම කෙනා ඒ රවුමෙදි මාව අල්ලන්න දුවනවා වෙන්න පුළුවන් ඒත් මට ඒ වටිනාකම් දැනෙන්නේ නෑ

මොකද මට පිටිපස්ස හැරිලා බලන්න වෙලාවක් නෑ මම මට ඉස්සරහින් දුවන කෙනාව අල්ලන්න දුවනවා !"

එසේ වූ රවුමක දුවන්නේ ආදරයේදිද ආශාවේදීද කිය සොයා බැලීමේ තේරුමක් ඇතැයි මට සිතෙන්නේ නැත.//

බොරදිය පොකුණ ෆිල්ම් එකේ අධ්‍යක්ශක සත්යජිත් මාඉටුපේ ගේ ෆේස් ෆුක් පිටුවේ ඒ සටහන ශෙයා කරලා තිබ්බේ ආදරේදි අපි රවුමක දුවනවා කියලා කොටස කොපි කරලා.

ඒක දැක්කම මට මතක් උනේ පරන ෆිල්ම් එකක සිංදුවක්.

ෆිල්ම් එක බලල නෑ ඒත් ගායිකාවෝ දෙදෙනෙකුත් (ලතා වල්පොල, චන්ද්‍රිකා සිරිවර්ධන) ගායකයෝ දෙදෙනෙකුත් (HR ජෝතිපාල, විජය කුමරතුංග) ගායනා කරන මේ ගීතයත් ඒ රවුමක දුවන පෙම්වතුන් ගැන නේද කියලා එක සැරේටම මතක් උනා . .

ගීතය ඇතුලත් ෆිල්ම් එක අහිංසා
. . . .. .. .
නෙලූ මලෙකිය විලෙන් නොව ඔබ පිදූ මල් අසුනින්
පුදන් ඒ මල මසිත මලඳන වරම් මට ඔබගෙන්
ඇදේවා ගව් ගනන් දුර ඒ සුවඳ පෙම් කුසුමින්
රැඳේවා අම මිහිර දෙළයෙහි සසර සරනා තෙක් . .

පෙම් පුදසුනේ බැති පිදුවේ පූජනීයයි ආදරේ
තුන් සිතේ හෝ නෑ පැතුවේ අන් ළයක පිදෙනා
නෙත් වසාගෙන මං තනි වෙන්නම් ඒ සුවඳේ එතිලා
මා නෙත් යුග පියවේවා . . මා උන් සුවඳ වසා . .

දෙපෝදා පිපි සුපුන් සඳටත් ගුවන් තල සෙනෙහේ
සුනිල් තරුවද අමාවක දා ගුවන් තල සෙනෙහේ
රැඳේවා ඒ සඳේ සිහිලස තරු ඇතිරු සිහිනේ
නිවේවා ඉන් පහන් වී ලොව ගිමන් රැඳි ගමනේ

ආදරේම ආදරේ හා පුරා කිව් ආදරේ
යම් දිනේ ඔබ හිත කඩා නම් බැඳි අත් බැමි ලිහිලා
මල් මතින් හෝ ගිරි පව්ව පැන ලංවෙමි ඔබ සනහා
මා නෙත් පියවෙන තුරා ලඟ ඉමි ඔබ සනහා
මා නෙත් පිය වෙන තුරා ලඟ ඉමි ඔබ සනහා
මා නෙත් පිය වෙන තුරා ලඟ ඉමි ඔබ සනහා
මා නෙත් පිය වෙන තුරා ලඟ ඉමි ඔබ සනහා



pic from: http://hdw.eweb4.com/out/940420.html

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails