UAE Sri Lankans Events

Thursday, October 7, 2010

පුතුනි බලන් යොමා නුවන් . . . . . . !!!!



"ඒයි . . . අර පෝස්ටර් ටිකයි හෑන්ඩ් බිල්ස් ටිකයි පුතාට පෙන්නන්නකෝ . . "

උපකාරක පංති ගිහින් හවස ගෙට ගොඩ වෙනකොටම තාත්තා කිව්වා.

මගේ ඇස් අම්මගෙත්, තාත්තගෙත්, නංගිගේත් මූනු හරහා දිව්වේ මොහොතින්.

තාත්තගේ මූනෙත් කට හඬේත් තිබුනේ උද්දාමයක ලකුනු.

අම්මගේ මූනේ භාගයක කෝපයක් වගේ හැඟීමකුත් භාගයක සතුටක් වගේ හැඟීමකුත් තිබෙන බව දැක්කා.

නංගීගේ මූනේ තනිකරම තිබුනේ සමච්චල් සිනාවක්.

"මොන පෝස්ටර්ද?? මොන හෑන්ඩ් බිල්ස් ද"

මගේ කාමරේ දොර ලඟ හිටගෙන තුන් දෙනාගේම මූනු එකම බැල්මෙන් නිරීක්ෂනය කරමින් මම ඇහුවේ.

"ඇයි පහුගිය ටිකේ ගෙදර කතා බහ උඹට ඇහුනේ නැද්ද?? තාත්තා මෙදා පාර ප්‍රාදේශීය සභාවට චන්දේ ඉල්ලනවා"

චිමිනි පත්තු කරන කාලේ වැරදීමකින් චිමිනියේ අත ගෑවුනු වෙලාවක වගේ මාව ගැස්සිලා ගියේ ඒක ඇහුවාම.

"මොකක් ?? ඉන්න හරක් ටික මදිවටද?"

"හිකිස් . . ."

නංගීගෙන් පිට වුනේ ගොඩක් වෙලා ඉඳන් හිර කරගෙන හිටපු හිනාවක් කියලා තුන්දෙනාටම තේරුනා.

තාත්තා දැම්මේ මාව පිච්චිලා අළුවෙලා යන බැල්මක්.

"අයියෝ අපේ පක්ෂේ මේ තරම් පීචං ද . . .?? චන්දෙට ඉදිරිපත් කරන්න හරි හමන් අපේක්ෂකයෙක් හොයා ගන්න බැරි තරම්"

"උඹට ඒ පැහිච්ච කම් ඕන නෑ ලබන සතියේ ඉඳන් දෙන්නගෙම වීක් එන්ඩ් එකේ ක්ලාස් එකක් දෙකක් කට් වුනාට කමක් නෑ, දෙන්නම එන්න ඕන අපි එක්ක කැන්වසින් යන්න"

"මට නම් බෑ" අපි දෙන්නගෙම කටින් පිට වුනේ එකටම.

කලින් නම් ගහයි කියලා බයට කට වහගෙන හිටියත් ලඟදී ඉඳන් මම එකට එක කතා කරන නිසා නංගීගෙත් බය ඇරිලා දැන්.

"බෑ කියලා හරි යන්නේ නෑ. උඹලා වැඩ කරන්න ඕන මම කියන විදිහට"

"මට නම් බෑ. . . කිව්වොත් කිව්වා. මෙයාට දෙනවට වැඩිය හොඳයි අර ඥානසිරිට චන්දේ දෙනවා. ඌ අඩු තරමින් කට්ටිය එකතු කරගෙන පොකුනක්වත් සුද්ද කරනවා. මෙයාලා මැයි පෙලපාලි දවසට රතු කැප් දාගෙන බස් පුරෝගෙන පාරදිගේ කෑ ගහන එකයි . . කාගේ හරි ගෙදරකට වෙලා බෝතලක් වට කරගෙන ඇන්.ඇම් සහෝදරයා අරෙහම කලා . . . පිලිප් සහෝදරයා මෙහෙම කලා . . . විවියන් සහෝදරී මෙහෙම කිව්වා . . කියලා පම්පෝරි ගහනවා ඇර කරන බම්බුවක් තියෙනවද?"

"ඥානසිරිට දීපන් උඹේ . . ."

"අහ් මෙන්න දේශපාලනේ පලමු සුදුසු කම ගෙදරින්ම පටන් ගන්න වගේ ලෑස්තිය"

"උඹට මම එක පාරක් කිව්වා, එච්චරයි. ආ ඔයාගේ යාලුවෝ ඔක්කෝටමත් කියන්න ඕන මට සහයෝගය දෙන්න ඕන කියලා"

තාත්තා කලින් කටහඬේ තිබුනු සැර බාල කරලා මේසේ උඩ තිබුනු ජෝග්ගුවෙන් උස වීදුරුවක් පිරෙන්නම දාගත්තු වතුර එක එක හුස්මට බීලා තව පාරක් වීදුරුවෙන් භාගයක් පුරව ගත්තේ මම කියපු දේවලට උගුර කට වේලුනු නිසාද නැතිනම් ඇත්තටම වතුර තිබහක් තිබිලද කියලා හිතා ගන්නවත් ඉඩක් අපිට නොදෙන තරම් සුලු වෙලාවකදී.

"මම නම් කට කැපුවත් කියන්නේ නෑ තමන්ගේ ගෑනිට දරුවන්ට යුතුකම් ඉෂ්ඨ කරන්න බැරි මිනිහෙක්ව ගමේ මිනිස්සුන්ට යුතුකම් ඉෂ්ඨ කරන්න ප්‍රාදේශීය සභාවට යවන්න කතිරෙ ගන්න කියලා"

පොත් ටික කිහිල්ලේ ගහ ගන්න ගමන් මම කිව්වේ එක එල්ලේ තාත්තගේ ඇස් දිහා බලාගෙන.

තාත්තා එක අතකින් වතුර වීදුරුව අරගෙන අනිත් අත මිට මොළවගෙන මගේ ලඟට ආවේ “හිටු තොගේ දත් ටික බඩට යවන්න” කියන හැඟීමෙන් වෙන්න ඕන.

නංගියි අම්මයි තත්පරෙන් තාත්තගේ දෙපැත්තට ආවේ මට ගහන්න නොදී තාත්තව අල්ල වෙන්න අති කියන එක හිතුනේ දෙවෙනියට.

ඒ තත්පරේට වුනත් මට පලමුවෙන්ම මතක් වුනේ රා කල හතක් පොවලා හෙන්ඩුවෙන් ඇනලා ඇනලා තරහා ගස්සලා බුදු හාමුදුරුවෝ ඉස්සරහට එවපු නාලාගිරියාව. ඌත් එන්න ඇත්තේ ඔය විදිහටම වෙන්න ඇති.

"ඇයි ගහන්නද ??? මම වැරද්දක් කලා නම් වැරදි දෙයක් කිව්ව නම් මැරෙන කම් ගැහුවත් කට හොල්ලන්නේ නෑ. හැබැයි මම වැරද්දක් නොකර ඇත්ත කතා කරපු නිසා ගැහුවොත් මමත් ගහනවා. ආනන්තරීය පාප කර්මෙට වන්දි ලබන ආත්මේ ගෙවනවා. ගහන්න අත උස්සගන්න හයියක් නැති වුනොත් යනවා පොලිසි. තාත්තගෙම අතේ එල්ලිලනේ මම පොලිසි යන්න පුරුදු වුනේ. ඔයාලගේ පාක්ෂිකයෝ පෝස්ටර් අලවලා හිරේ දාපු වෙලාවල් වල පොලිසි යද්දී මමත් ආවනේ අතේ එල්ලිලා ඇයි මතක නැද්ද"

මම විනාඩි බාගයක් විතර තදින් ඇස් දෙක වහගෙන හිටියේ මේ දෙකෙන් කොයි එකක් කරන්න හරි හිතට දහිරිය ගන්න.

"ස්ලාං . . දහ් දහ්"

කන ලඟින් රූං ගාලා ගිය වීදුරුව බිත්තියේ හැපිලා කුඩු වෙලා ගියා. මිට මොලවපු අතින් තාත්තා බිත්තියට ගහගෙන ගහගෙන ගියා.

මූනට දමලා අරින්නේ නැතුව වීදුරුව බිත්තියට ගැහුවෙත්, මිට මොලවපු අතින් බිත්තියට ගැහුවෙත් තාත්තට හර්ද්‍යසාක්ෂිය කියල දෙයක් තිබුනු නිසාද නැතිනම් දරු සෙනෙහස නිසාද කියලා කියන්න දන්නේ තාත්තා විතරමයි.

ඉන් පස්සේ අද වෙනකම් කවදාවත් ඒ ගන කතා කලේ නැති නිසා ඒක හෙලි නොවුනු අභිරහසක් කියන ලිස්ට් එකට වැටුනා.

"උඹලට කන්න අඳින්න දෙන්න මම. උඹලා වැඩ කරන්න ඕන මම කියන විදිහට. හොඳින් හරි නරකින් හරි මම ඒ වැඩේ උඹලා ලව්වා කර ගන්නවා"

පරාජිත හඬකින් නමුත් “හහ් බලමුකෝ එහෙනම් කොරලා” කියන හඬත් ලාවට ගාවගෙන තාත්තා කියලා දැම්මා.

"අපේ අම්මා කසාද බැඳලා එනකොට දෑවැද්දට ගෙනාපු ළමයි නෙමෙයිනේ අපි තුන්දෙනා. අනික අම්මා වෙන මිනිස්සු එක්ක ගිහින් හදාගත්තු ළමයි නෙවෙයි කසාද මිනිහගෙම ළමයි කියලා අපි තුන්දෙනාගේ නහයවලුයි මූනු ටිකයි දැක්කාම ඕන පොට්ටයෙක්ට කියන්න පුලුවන්නේ. ඉතිං ලමයි හදපු මිනිහම කන්න අඳින්න දෙනවා ඇර අහල පහල මිනිස්සුන්ගෙන් කන්න අදින්න ඉල්ල ගන්නැයි"

කාගෙවත් හිත රිදෙන්න වචනයක් කියන්න අකමැති මගෙන් කවදාවත් ඒ වගේ දෙයක් කියවෙයි කියලා හීනෙන් වත් නොහිතපු අම්මයි තාත්තයි විතරක් නෙමෙයි නංගීත් ගැස්සිලා ගියා කියලා මම දැක්කා.

"කන්න නොදෙන නිසා බඩ ගින්නේ ඉන්න වුනත්, අඳින්න නොදෙන නිසා හෙලුවෙන් ඉන්න වුනත් මට බෑ හිතට විරුද්ද දෙයක් කරන්න.

මෙච්චර කාලයක් ඔයාගේ හැම වැඩක්ම අම්මයි, අක්කයි, මායි, නංගියි ඉවසුවා.

ඒකෙන් මට මගේ අක්කව නැති උනා.

ඔයාගේ නපුරු කම් ඉවසන්න බැරිම තැන අක්කා අඩු වයසෙන් තනි කැමැත්තෙන් කසාද බඳලා හොරු ගෙනිච්චා වගේ අතුරු දහන් වුනා.

මට මාව නැති උනත් තාත්තගේ මෝඩ තීරණ නිසා අනෙක් දේවල් මට නැතිවෙනවා බලං ඉන්න බෑ"

අන්තිම හරියෙදි අක්ක ගැන කියන තැන ඉඳන් මම කිව්වේ අඩ අඩා . . අක්කා බැඳලා මාව දාලා ගිය දවසේ කෑ ගහලා ඇඩුවට පස්සේ ඒ තරම්ම වේදනාවකින් මම ඒ ඇඬුවමයි.

නංගී මාව දාලා ගිය දවසේ අඬන්න නෙමෙයි බෝම්බයක් වැදිලා මුලු ඇඟම කැපිලා, හීරිලා තියෙන එකෙක්ට හැඟීම් දැනීම් නැති වෙනවා වගේ උගුරේ හිරවුනු ලොකු බෝලයක් වගේ දෙයක් නිසා වචනයක් කතා කරගන්න බැරුව හිටියා මිසක් අඬුනේ නෑ . .

"අක්කට ධෛර්යක් තිබ්බේ නෑ පවුල ඇතුලේ තාත්තගේ ඒකාධිපති වාදයට විරුද්ධ වෙන්න. . . .

අම්ම බැන්ඳ දවසේ ඉඳන් තාත්තා ගල් කැටයක් පෙන්නලා "ඒයි මේ මැනිකක්" කිව්වත් "ඔව් සිරී ඒ මැනිකක්" කියනවා මිසක් තාත්තට වැඩිය උගත් කමක් තිබුනා වුනත් අම්ම තාත්තගේ වචනෙට පිටින් ගියේ නෑ. . ..

අසාධාරණේ දැක දැක හැමදේම විනාස වෙලා යන දිහා කන්න නැති වෙයි කියලා බඩ ගැන හිතලා කට වහගෙන ඉන්න මම තවදුරටත් ලෑස්ති නෑ . . . .

දැනාටත් කරනව වගේ පොඩි ළමයින්ට ටියුෂන් දීලා මට පුලුවන් මගේ වියදම පිරිමහ ගන්න . .. .

තාත්තා පුලුවන් දෙයක් කරන්න,

වැරදි දේ තාත්තා නෙමෙයි දෙයියන්නාස්සේ කලත් වැරදියි කියලා කොන්ඳ කෙලින් තියාගෙන කියන්න තරම මගේ පිටකොන්ඳ දැන් හයියයි.

අසාධාරනේට අයුක්තියට විරුද්ධව කතා කරලා ගුටි කන්න වුනත්, බඩ ගින්නේ ඉන්න වුනත් මින් පස්සේ මට පුලුවන් වෙයි”

පැය කාලක් විතර කාමරේ ඇඳේ කොට්ටේ ඔලුව ඔබාගෙන කොට්ටේ පෙඟෙන කම්ම . . . අවුරුදු 18ක් තිස්සේ පෙලුනු වේදනාවක් පිටවෙනකම්, අක්කව මට නැති වුනු වේදනාව නැතිවෙනකම් අඬපු මම කාමරෙන් එලියට ඇවිත් කියාගන්න බැරි වුනු ඉතුරු ටික කියනකොටත් අම්මයි තාත්තයි නංගියි තුන්දෙනාම මම කාමරේට යන්න කලින් හිටි තන් වලම ගල් වෙලා හිටියා.

. . . . .. . ..

පක්ෂ දේශපාලනය මට එපා වුනා.

එදායින් අද මම එක පක්ෂෙක වත් සාමාජිකයෙක් නෙමෙයි.

මම එලිපිටම, තාත්තට ඇහෙන මානයේ ඉඳගෙන පවා තාත්තට විරුද්දව තාත්තගේ විරුද්දවාදියාට සහයෝගය දෙන්න කියලා මගේ මිතුරන්ගෙන් ඉල්ලා සිටියා.

තාත්තා චන්දේ දින්නොත් ප්‍රාදේශීය සභාවේ පොඩි හරි කමක් නෑ ජොබ් කට්ටක් ඉල්ල ගන්න පුලුවන් වෙයි කියන හැඟීම හිතේ තියාගෙන බොරු පූච්චානමට "මේ සුදු මහත්තයා විහිලුනේ කරන්නේ. මහත්තය තමයි ප්‍රාදේශීය සභාවට මේ ගමෙන් සුදුසුම කෙනා" කියලා තාත්තව පුම්බලා තිබ්බ මිනිස්සු නිසා . . . ගොනා හැරෙන කොටම පොල් පැලේට තමයි කියන්න මට ඉගෙන ගන්න පුලුවන් වුනා.

අදටත් එකාධිපති වාදයකට උඩගෙඩි දෙන, දූශිත නායකයෙක්ට සුදු හුනු ගාන පොරවල් දැක්කාම මට ඉවෙන් කියන්න පුලුවන් “මේ පොර මේ ට්‍රයි කරනෙන ආන්ඩුවේ ලොකු පෝස්ට් එකකට ද නැති නම් ආන්ඩුවේ සපෝර්ට් එකෙන් බිස්නස් එකක් කරන්නද” කියලා.

ප්‍රතිපල දවසේ තාත්තගේ විරුද්දවාදියා දිනලා තිබුනා.

මම මගේ යාලුවන්ට හංදියේ හෝටලයෙන් මගේ ගානේ ආප්ප අරන් දුන්නා . . .

. . . . . . . .. . . . . . ..

Pics from : http://royaltart.com/

29 comments:

  1. දුකා අයිය ඇත්තටම සාර්ථකයි ඔබේ කතාව ... නමුත් මේකෙ ඉන්න පුතා තාත්තට කතාකරන විදියට නම් සැර වැඩියි නේද ...
    කොහොම උනත් වැඩේ එල

    ReplyDelete
  2. මම් මොනවා කියම්ද......

    ReplyDelete
  3. කතාවක් විදිහට හිත් ගන්නව... තාත්තල පුතාලා අතර තියෙන අරගලය මේකෙන් පේනව...

    ඇත්තටම එතන තියෙන්නේ ආඩම්බරය සහ ඊර්ෂ්‍යාව වගේ දෙයක්..

    එහෙම නැති අප්පල පුතාලාත් ඉන්නව.. හිහ් මහ රජානෝ සහ පැටිය වගේ..

    ReplyDelete
  4. ඉතාම අව්‍යාජ ආත්ම කථනයක්.

    අපේ රටේ පක්ෂ දේශපාලනය යනු ලොකු එකා පොඩි එකා ගොනාට අන්දවා උගේ කරේ නැඟී තමන්ගේ අරමුණු කරා යන ආත්මාර්ථකාමී ගමනක්. මේ ගමනේදී වැඩියෙන්ම කරදරයට පොඩි එවුන්ගේ පත් වන්නේ ගෙවල් වල ඉන්නා අහිංසක බිරින්දන් හා දරුවන්.

    මහින්දගේවත්, රනිල්ගේවත්, සරත් ෆොන්සේකාගේවත්, සෝමවංස ගේවත් ලොකු වෙනස්කම් නැහැ. හැම එකාම එකයි. මේ හැම එකාම කරන්නේ අපව ගොනාට අන්දා ගැනීමට බැලීම බව තේරුම් ගත් දා පමණයි අපට මේ නාරා වලෙන් ගොඩ විය හැක්කේ.

    ReplyDelete
  5. හ්ම්ම්ම්... සංවේදී කතාවක්...

    ReplyDelete
  6. හිතට අමුතු හැගීමක් ගෙනාපු කතාවක්.

    ReplyDelete
  7. පස්ටම කතාව දුකෝ,මල් හතයි. ලෝකෙට පරකසෙ පෙන්වන හුගක් පවුල් වල ඇත්ත කතාව.

    ReplyDelete
  8. දුකා, සටහන ලියා ඇති ආකාරය අති විශිෂ්ඨයි. ජාතක කළ පමණින්, වැඩිහිටි වූ පමණින්, කන්න දීපු පමණින් ගෞරව දැක්විය යුතුය යන්න මිථ්‍යාවක් සේ මා දකිමි. මා නිතරම මගේ දියණියට කියුවේ ඇයගේ ගෞරවය ලබා ගන්නට මා සුදුස්සෙකු විය යුතුය කියාය. මා සුදුසු ලෙසකින් නොහැසිරෙනා කළ ඇයට මා වෙත ගෞරව නොදක්වන්නට අයිතිය දුනිමි. එයින් මා වඩා හොඳ මවක් වුනෙමි. ඇයගේ ගෞරවය නොකඩවා ලබමි. මවිසින් සමාව නොදුන් වැරදි තිබුණත් මගේ පියා ද මට ඒ අයිතිය දී තිබුණි. දන්නා හඳුනන තාත්තලා අතරින් මගේ තාත්තාව හැමදා අගය කරන්නේ ද ඒ නිසාමයි.

    ReplyDelete
  9. දුකා
    මෙ තියෙන හැටියටම කතා කරපු එක නිකන් තරුණ කමේ ආවේගය වගෙ තෙරුනාට,මේ දෙබස නිකන් අපේ රටේ නොවී යුරෝපීය රටක දෙබසක්‌ වගෙ මට දැනෙනව....මට හොඳටම මතකයි අපෙ අම්මා නිතරම කියනව....''මොනා කලත් අත පය නොකද හැදුවට හිතපන්'' කියන එක..සමාජය ගෙන අපි මොන මොන මති මතාන්තර දැරුවත් මේ තරම්ම නොවුනත් මිට වඩා සැර අඩු කතවක්‌ තමංගෙ දරුවෙක්‌ගෙන් අහන්න වුනොත් ඔයාටම තේරෙයි වේදනවෙ තරම...
    ලෝකෙ කොහෙත් දරු සෙනෙහස එකයි වෙනසකට තියෙන්නෙ....දෙමපියංගෙ දැනුමෙ සිමාව...
    අපේ අම්මල තාත්තල අපි වගේ සමාජයක ඉපදුනානම්...අපි වගේම හිතන්න තිබ්බා..
    කරුමෙට එයාල කලින් ඉපදුනානෙ....හිකිස්‌...

    ReplyDelete
  10. මෙහි දේශපාලනමය අර්ථකථනය නම් හොඳයි. නමුත් පිය පුතු අරගලය නම් එච්චර දිරෙව්වෙ නැහැ. සමහරවිට මම ගොඩේ බය්යේක් හන්ද වෙනද ඇති.

    ReplyDelete
  11. ඔය දේශපාලනයට සම්බන්ධ වුනු පිය පුතු අරගලය‍ක් තියෙන්නේ යුගාන්තය කතාවෙත්.. හැබැයි අර තාත්තා ගැහුවොත් පොලීසි යනවා කිව්ව එක කොහොම වුනත් තාත්තටත් ගහනවා කිව්ව එක නම් මට නිකං මොකද මොකද වගේ... :D

    නියම පෝස්ට් එක දුකා අයියා... සුපිරි..

    ReplyDelete
  12. මේ ගැන කිසිවක්ම මම ලියන්නෙ නෑ. ලියන්න දෙයක් ඉතුරු කරළත් නෑ. විශිෂ්ඨයි.

    ReplyDelete
  13. හ්ම්...නිර්මාණය අගෙයි...
    ගැටුම ඔයින් විසඳුනානම් හොඳයි..ඒත් බොහෝ වෙලාවට ඉන් එහාට යනවා...
    ජයවේවා!!!

    ReplyDelete
  14. කතාව නම් එල. ඒත් තාත්තට විරුද්දව අත ඉස්සීම පොලිසි යාම අනුමත කරන්න පුලුවන් කමක් නෑහෑ.

    රංගන ගෙ කතාව සම්පූර්න ඈත්ත ඔය ලොකු වදන් කියන හෑමොම කවද හරි දරුවෙක් ගෙන් දෙයක් අහපු වම තේරේවි දෑනෙන දුක.
    මොන දේ උනත් වෑඩිහිටියන්ට ගරු කරන්න මට පුරුදු කරපු එක ගෑන මම මගෙ දෙමව්පියන්ට ස්තූති කරනව. දුකා ගෙ කතාවෙම පුතා ගහන්න හිතුවට තාත්තගෙ ප්‍රතිචාරය හ්ම්ම් දෙමව්පියො එහෙම තමා!

    ReplyDelete
  15. බොක්කටම වැදුණා .... නොයම කතාව .....

    ReplyDelete
  16. මේ කෙටි කතාව බැලුවාම මට තේරුනේ "පියාත් - පුතාත් අතර ඇතිවෙන සංවාදයකට වඩා පාලක පක්ෂය හා පාලිත පක්ෂය ආතර ඇතුවුන සංවාදයක්" කියලා..

    බොහෝ දේශපලකයින් කරන්නේ තමන් යටතේ ඉන්න මහජනතාවගෙන් බලෙන් ඡන්දෙ ලබා ගැනීමක් මිස ඡන්ද දායකයාට නිදහසේ තම ඡන්දය ප්‍රකාෂ ඉඩ ලබා නොදීමයි.. බොහො දෙනා මෙම සංස්කෘතියට පුරුදුවෙලා.. එහෙමත් කෙනෙක් තමා විරද්ධව කථා කරන්න ඉදිරිපත් වෙන්නේ.. එහෙම ඉදිරිපත් වෙන්නෙත් ඒ පීඩනයට උහ්ලන් ඉඳල බැරිම තැනයි..

    මේ පියාගෙත් පුතාගෙත් අතර ඇතුවුන සංවාදය ඒ වගේ එකක් කියලයි මට දැනෙන්නේ..


    [මමතේරුම් ගත්ත විදිය වැරදිද මන්දා..]

    ReplyDelete
  17. මමත් පුතෙක්ගේ තාත්තෙක්.

    මගේ පුතා තරුණයෙක් වුනු දවසක මම තාත්තා හැටියට පුතාට හිතට විරුද්ධ දෙයක් කරන්න කියලා බල කරද්දී

    "පුළුවන් දෙයක් කරන්න මට නම් ඒ වැඩේ කරන්න බෑ"

    කියල එහෙම නැතිනම් මම තාත්තා විදිහට පවුලේ මූලිකයා කියන බලතල පාවිච්චි කරලා එයාට වැරැද්දක් නොකර ගහන්න හැදුවොත්

    "වැරැද්දක් නොකර ගහුවොත් මමත් ගහනවා"

    කියලා කිව්වොත් විස්වාස කරන්න මම මේ හදවතින්මයි කියන්නේ . .

    මම මගේ පුතා ගැන සතුටු වෙනවා "මේකා අසාධාරණේ ඉවසන එකෙක් නෙමෙයි කියලා හිතලා.

    "මගේ පුතා අයුක්තිය අසාධාරණය නොඉවසන දරුවෙක්"

    කියන හැඟීම මිසක් මූ වැඩිහිටිටන්ට ගරු කරන්න නොදන්න අමනයෙක් කියලා මොහොතකට වත් හිතෙන්නේ නැතිවෙයි කියලා විස්වාසයි.

    තාත්තා වැරද්දක් නොකර ගැහුවොත් ගහනවා කියලා හරි, පොලිසි ගිහින් කම්ප්ලේන් කරනවා කියලා හරි කියන එකා අමනයක් කියලා හිතනවා නම් එතන තියෙන්නේ ආකල්ප වල ප්‍රශ්ණයක් මිසක් වැඩිහිටියන්ට ගරු කිරීම හෝ අමන කමක් නොවේ කියලා මට හිතෙනවා.

    අපි වැඩිහිටියෝ දරුවන්ගෙන් "ගෙදර මූලිකයා වුනු තාත්තාගෙන් සිදුවන අසාධාරණේට විරුද්ධ වෙන්න එපා, එහෙම කරන්නේ අමනයෝ" කියන හැඟීමක් දරුවන්ගේ හිත් වලට ඇතුලු කරලා දරුවෝ එහෙම කල යුතුයි කියලා බලාපොරොත්තු වෙනවානම් ඒක අපි වැඩිහිටියෝම දරුවෝ දීනයෝ කිරීමක් කියලයි මගේ හැඟීම.

    වැඩිහිටියෙක්ගෙන් සිදුවිය යුතු යුතුකම දීන දරුවෙක් සමාජයට තිලිණ කිරීමද අදීන දරුවෙක් සමාජයට තිලිණ කිරීමද?

    ReplyDelete
  18. දුකා දරුවා මෙහෙම කිව්වොත් තාත්තා ගෑහුවත් මම ඔය දෙ කරන්නෙ නෑ කියලා. එතකොට ඒ දරුව දීනයෙක්ද?

    වෑරෑද්දක් නොකර ගහන්න හදන කොට තාත්තෙ ඔයා කරන්න හදන්නෙ වෑරෑද්දක් කියල කියන්න පුරුදු වෙච්ච දරුව දීනයෙක්ද?
    අනිවර්යයෙන්ම අප සමාජයට තිලින කල යුත්තේ අදීන දරුවෙක්. සමජ අසදාරනයන්ට විරුද්ද විය හෑකි සාදාරනය අසද්දරනය තෙරුම් ගත හෑකි අසාදාරනයන්ට විරුද්ද විය් හෑක්කෙක්.
    නමුත් මට ගෑහුවොත් තාත්තාටත් ගහනව වර්ගයෙ දරුවෙකු ගෙන් සමාජයට හොඳක් වෙයි කියා ඔබ හිතනවාද?

    ReplyDelete
  19. නිෂ්
    මට හිතෙන්නේ අපි හැදුනු බෞද්ධ පරිසරයේදී " වැරැද්දක් නොකර ගහුවොත් මමත් ගහනවා" කියන තැනට එද්දී දරුවෙක් ගුටි කෑවත් මම නම් කරන්නේ නෑ කියන ඒවා රාශියක් පහුකරලා ඉවසීම කියන එකේ එක්තරා සීමාවකට ඇවිත් කියලයි.
    මේ කතාවේ පුතා කියනවා නේද මෙච්චර කල් අපි දෙනාම හැම වැරද්දක්ම ඉවසුවා හැබැයි මින් පස්සේ තව දුරටත් ඉවසන්න මම ලෑස්ති නෑ කියලා . . .!!

    ReplyDelete
  20. සමහර දේ ගැන එකඟ විය නොහැකි නමුත් නිර්මාණයක් වශයෙන් අගනේය. ජය පතමි....

    ReplyDelete
  21. //වැරදි දේ තාත්තා නෙමෙයි දෙයියන්නාස්සේ කලත් වැරදියි කියලා කොන්ඳ කෙලින් තියාගෙන කියන්න තරම මගේ පිටකොන්ඳ දැන් හයියයි...//මුළු ලියමනම අති විශිෂ්ටයි අයියා
    ඇත්තටම මටත් අර උගුර මොනවද මොනවද වෙන එක වුනා අර අක්කගෙයි නංගිගෙයි වෙන්වෙන තැන කියවද්දි... හරියටම කියන්ට දන්නෙ නෑ... සමහර විට තව ටික දවසකින් මටත් ඔය තත්වෙට මූණ දෙන්ට වෙන හින්දා වෙන්ට ඇති

    ReplyDelete
  22. පරම්පරා ගැටුම වගේම තවත් මාතෘකා ගණනාවක් කැටි කරලා ලියපු නියම කතාවක් තමා ඔයා ලියලා තියෙන්නේ............

    ReplyDelete
  23. දුකා ට තාත්තාට කතා කරන හැටි ගැන ටියුෂන් දෙන්න ඔය තත්වෙට මූණ දුන්නෙ නැති කෙනෙකුට අයිතියක් නෑ. මගේ අදහස නම් අන්තිම සාධාරණ උත්තරයක් ඌ දීලා තියෙන්නෙ [සත්‍ය කතාවක් කියා උපකල්පනය කළා]. දෙමව්පියන්ටත් සදාචාරාත්මක අයිතියක් නෑ ඔය වගේ වැඩ කරන්න.

    ඔය රතු කට්ටිය කට අරින්නෙ ප්‍රජාතන්තරේ, නිදහස වගේ ලොකු කතා කියා ගෙන. හැබැයි තමන්ගෙ ගෙදර ඒවා නෑ.

    රත්තන් හමදාම කරන ගොනාට ඇඳීම හා දරු පවුල් උගසට තියා කඩේ යාම මෙහි මනාව ලියා තියෙනවා. මේ අද දවසෙත්, පවුලෙ උන්ට වද දිදී පොලිට්-බියුරෝ එකේ දේව කාරියට කැප වෙන එවුන් ඕන තරම් ඇති. උන්ටත් දුකා වගේ පොඩි එවුන් ඇති.

    හැබැයි කඩේ යන්නේ රත්තන් විතරක් නොවෙයි. තව ඕන තරම් පක්ෂ වලට කට්ටිය කඩේ යනවා. ශ්‍රී ලංකාවේ පාවෙන චන්ද දායක ප්‍රතිශතය 15%ක් විතර කිව්වම ඉතින් තව මොනවද? හරි නම් හැම එකාම ඔය "පා වෙන" එකෙක් වෙන්න එපැයි.

    දුකා උඹට මල් මිටි දෙකක්. පළමුව ඔය වගේ තැනකින් උඹ විනාස නොවී නිවහල් ව හිතන්නත් අත නොපා ජීවත් වෙන්නත් හකි වීම ගැන. දෙවනුව උඹේ පොඩි එකාට ඒ කරුමය දෙන්නෙ නෑ කියන උඹේ මතයට.

    මචෝ ඔය දේශපාලන කල්ලිවාදය කියන්නේ මහා ප්‍රාථමික ගතියක්. ඇස් පියාගෙන තම කල්ලිය ඇදහීමයි ඒ වෙනුවෙන් තම ජීවිත කැප කිරීමයි ඔකෙ රෝග ලක්ෂණ.

    දේශපාලන මතවාද වලට ජීවිත [තමන් හා පවුලේ] පුද කරන සියළුම මිනිසුන් ට මේ ලිපියෙන් බුද්ධිය පහළ වේවා.

    ReplyDelete
  24. දරුවෙක් තමන්ගෙ පියාට 'ගැහුවොත් ගහනවා' කියන එක වැඩි දෙනෙකුට දරාගන්න බැරි බව පේනවා. නමුත් ඔබේ පියා ඒක දරාගත යුතුයි කියලා මං හිතන්නෙ. ඔහු දෙබිඩි පුද්ගලයෙක්.(පියාගේ ව්‍යාපාරයේ සිටි සීයට අනු පහකටත් වඩා එහෙමයි). සමාජය හමුවේ දෙසාබාන ඔහුගේ වාමාංශික දේශපාලන අදහස් 'භාවිතය' තුල නැති බව පැහැදිලියි. (සමාජයේ විමුක්තිකාමී අදහස් දෙසාබාන බහුතරයක් පවුල තුලදී පීඩකයෙක්.)
    ලාංකීය වැඩවසම් පවුල් ආකෘතිය වන්දනාමාන කරන්නෙකුට නම් ඔබ අජාසත් වැනි දරුවෙකු ලෙස පෙනිය හැකියි.
    ඉතුරු ටික arunishapiro කියල තියෙනවා.

    ReplyDelete
  25. දුකා, උඹේ ලිපිය කියෙව්වහම මට නම් දැනුනෙ ලොකු වේදනාවක්. උඹ වගේ සුන්දර මිනිහෙක්ට එච්චර දරුණු විදිහට තාත්තාට එරෙහිව නැගී හිටින්නට සිදු උනානම් උඹ මේ විස්තර කරලා තියෙන දේවල්වලටත් වඩා යමක් ඔතන තියෙන්න ඕනෙ කියලයි මට නම් හිතෙන්නෙ. ඒක හරිම අවාසනාවක්.

    මගේ ලෝකයේ නම් හැමදාම වීරයා උනේ මගේ තාත්තා. ඔහු සර්වවම්පූර්ණ පුද්ගලෙයෙක් නොවුනත් මුළු ජීවිත කාලයම අපේ පවුල නගා සිටුවන්න ලොකු වෙහෙසක් ගත්තා. අද මම දෙපයින් නැගී සිටින්නෙත්, අනිත් මිනුස්සුන්වත් දෙපයින් නගා සිටුවන්න සුළුවෙන් හරි පුළුවන් විදිහට අත දෙන්නෙත් ඔහු අපි වෙනුවෙන් හෙලපු අප්‍රමාණ වූ කැප කිරීම් නිසයි.

    සමහර වෙලාවට අපේ පවුලට අඟහිඟකම් තිබුනත් වෙනෙකෙකුගේ දැවෙන දුකකදි නොමසුරුව අප වෙනුවෙන් වියදම් කිරීඉමට තිබූ මුදල්ද පරිත්‍යාග කලා මට මතකයි.එවන් වෙලාවකදි අම්මා තාත්තාට දොස් පැවරුවාත් මට මතකයි. නමුත් කිසිම දිනක අපි සහෝදර සහෝදරියන් හතර දෙනාට කිසිම දිනෙක කුස ගින්නේනම් ඉන්නට ඔහු ඉඩ තැබුවේනම් නැහැ.

    මගේ අතට ගිටාරය හුරු කලෙත් ඒ සඳහා අනුබල දුන්නෙත්, මම අද සිටින පරිඝණක ක්ශේත්‍රයට පැමිනීමට අඩි තාලම දම්මෙත් ඔහු.

    උඹේ කතාව කියවත්දි මට නිසැකවම මැවී පෙනුනේ මගේ තාත්තාව. උඹේ තාත්තා හිටපු තැනට මම මගේ තාත්තාව ආදේශ කරහම නම් මට උඹ ගැන දැනුනේ ලොකු තරහක්. පුතෙක් කොහොමද තාත්තට එහෙම කරන්නෙ කියලයි මට හිතුනේ. ඒකයි මම කිව්වෙ උඹ ඔය කියල තියෙන දේවල් වලට වඩා මේ සඳහා වස්තු බීජ වුනු උඹ නොකියන කතාවකුත් මේක ඇතුලෙ හැන්ගිලා තියෙනවා කියලා.

    මට මගේ තාත්තා ගැන කියන්න තියෙන අදහස ගැබ්වෙලා තියෙන්නෙ අබේවර්ධන බාලසූරියගේ "පියානනේ මා නැවත උපන්නොත්" සහ ටී.එම් ගේ "අම්මා සඳකි" යන ගීත වල.

    මම මෙතනදි කියන්න හැදුවෙ තාත්තා කෙනෙක් පුතෙකුගේ ජීවතයට කොච්චර වටිනවද කියලයි. උඹට ඒ අවස්ථාව නැති වෙලා කියලයි මට උඹේ කතාවෙන්නම් පේන්නෙ. ඒ බැඳීම උඹට අහිමි වීම ගැන යාළුවෙක් විදිහට මම ඇත්තටම කණගාටු වෙනවා.

    ReplyDelete
  26. තුවාලයේ වේදනාව දන්නේ තුවාලය ඇති එකාය.

    මතු පිටින් එහි ගැඹුර දකින්නා ඇතුට ඔඩු දිවූ තුවාලයේ ගැඹුරත් එහි වේදනාව ගැන අංශු මාත්‍රයක් වත් හැඟීමක් නොලබන බව පමනක් දනිමි.

    අයුක්තිය හෝ අසාධාරය ජාතක කල, කන්න අඳින්න දුන්නු පියා වුව කරනවා නම් එයට විරුද්ධ විය යුතුමයි යන මගේ පුද්ගලික මතය වෙනුවෙන් ලියූ කතාවෙන් අයුක්තිය අසාධාරණයට එරෙහි වීමේ සාධාරණය වෙනුවට පියාණන් නිසා ඕනෑම අසාධාරණයක් ඉවසිය යුතුයි යන ගතානුගතික මතය මේ කතාව නිසා අභියෝගයට ලක් වීමේන් හිත් රිදීමක් සිදුවූවා නම් ඒ ගැන මගේ කනගාටුව ප්‍රකශ කිරීමට කැමැත්තෙමි.

    ReplyDelete
  27. දුකෝ, උඹට තාත්තා ගැන තියෙන තරහ උඹ නැති කරගත්තෙ පූර්ව ජන්ම අපූර්වත්වය කියව්වට පස්සෙ කියල උඹ මට කියල තියෙනවා. සුනේත්‍රා කියන විදිහට නම් මේ භවයෙදි විඳින්න සිදුවන අත්දැකීමවලට පූර්ව කර්ම තමයි බලපෑම් කරන්නෙ.

    මම උඹේ ලියමන අභියෝගයට ලක් කරන්නෙ නැහැ. උඹ තාත්තාත් එක්ක ගැටෙන්න ඉතාමත් සාධාරණ හේතු තියෙන්න ඇති. නැතිනම් උඹ වගේ සංවේදී හා සුන්දර මනුස්සයෙක්ට ඒක එච්චර ලේසි වෙන්නෙ නැහැ.

    මොනව උනත් උඹ කියන්නැහේ උඹට පිහිටල තියෙන්නෙ තාත්තගේ මූන කට ඇඟපත විතරක් නෙමෙයි මගේ හිතේ, උඹ මොනව කිව්වත් උඹ ඒ එරෙහි උනු උඹේ තාත්තගේ මාක්ස් වාදි අදහසුත් උඹේ ඇඟේ තියෙනවා කියලයි උඹත් එක්ක කතා කරනකොට මටනම් හිතෙන්නෙ.

    ReplyDelete
  28. ඒ, ඒ තාත්ත ලා ට, ඒ ඒ පුත්තු ලැබේ.

    තම අවංක මතය කියන්නටත් කරන්නටත් හැකි පුතෙක් ලැබීම ද තාත්තෙකු ගේ පිණකි.

    ReplyDelete
  29. මට හිතාගන්න බෑ ඇයි මම මේක කලින් දැක්කෙ නැත්තෙ කියල. පහුගිය දවස්වල තිබුණු අධික කාර්ය බහුල තත්ත්වය නිසා කිසිම බ්ලොග් එකක් කියවන්න නොලැබීම ඒකට හේතුව වෙන්න ඇති. මේ සිද්ධිය ගැන මීට කලින් පුද්ගලිකව අහලා තියෙන නිසා මම දන්නව මේ කියල තියෙන කිසිම දෙයක් අතිශයෝක්තියක් නෙමේ කියල. කරන්න දෙයක් නෑ...අම්මල තාත්තල වුණත් දරුවන්ගෙන් හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවනම් ඉගෙන ගන්න ඕනැ. අම්ම තාත්තා වුණත් වැරදි දේවල් කරනවනම් හෝ කියනවනම් අපි ඉවසගෙන කට පියාගෙන ඉන්න ඕනි නැහැ. අපටත් ඒක අදාළයි. අපේ දරුවෙක් අපට අපේ වැරැද්දක් පෙන්නල දුන්නොත් අපි ඒක පිළිගන්න ලෑස්ති වෙලා ඉන්න ඕනැ. නිවටයන් ගෙන් කාටවත් වැඩක් නැහැනෙ. ඇත්ත...දුකා තාත්තට කතා කරල තියෙන විදිය සැර වැඩියි වගේ තමයි...ඒත් ඉවසීමෙ සීමාවක් තියෙනවනෙ...දුකා කියන්නෙ රහත් වෙලා තියා සෝවාන් වෙලාවත් ඉන්න මිනිහෙක් නෙවෙයිනෙ..මේ සිද්දිය වෙනකොට හිටපු දුකා දැන් ඉන්න දුකා තරම් මුහුකුරා ගිය කෙනෙකුත් නෙවෙයිනෙ..එහෙම වුණා නම් සමහරවිට මේ කතාව මීට වඩා තරමක් වෙනස් වෙයි..

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails