Tuesday, April 17, 2012

ස්තූතියි උඹට මයිකල් සීඩ් . . . !



අවුරුදු පහේදි පුංචි උඹ උඹේ තාත්තාගේ ලිංගික ගොදුරක් වුනා කියලා දැන ගත්තාම, ඔහුගේ අමානුෂික වද හිංසා වලට ලක් වුනා කියලා දැන ගත්තාම . . දන්නවාද උඹ වෛර කලාටත් වඩා උඹේ තාත්තාට මම වෛර කලා.

උඹේ ආච්චි උඹට තෑගි කල උඹ හීතලට පොරවන රෙද්ද, උඹේ අම්මා විෂාදයට බොන බෙහෙත් වැඩිපුර බීල අසිහියෙන් උඹේ රෙද්ද ත් පොරෝගෙන උඹ නිදා ගන්න සෝෆා එකේ නිදා ගනිත්දී උඹ හීතලේ පුටුවක ගුලි ගැහිලා වෙව්ල වෙව්ල හිටියා කියලා දැන ගත්තාම උඹේ අම්මටත් වෛර කලා.

ඒ විතරක්ද . . උඹට ආදරේ දක්වපු උඹේ ආච්චිට (අම්මගේ අම්මට) උඹ කලාටත් වඩා ආදරේ කලා මම.

උඹට අමානුශික වද හින්සා කරපු උඹේ තාත්තගේ අම්මා වුනු නපුරු ආච්චිගේ බෙල්ල මිරිකන්න තිබ්බනම් කියලා මම වෛරයෙන් දත් මිටි කෑවා.

උඹට ඉස්කෝලෙදි පහරදීපු, සෙල්ලම් කරද්දී උඹව ජරා අයිස් වතුර වගුරක ගිල්ලවන්න හදපු උඹේ ඉස්කෝලේ කොල්ලන්ව . . . . හපා කන මිනීමරු බල්ලෙක් වෙන්න මට තිබ්බ නම් කියලා මම හිතුවා.

අවුරුදු හයේ ඉඳන් දාසය වෙනකම් අම්මා පැනලා මැරුනු කෝච්චියටම පැනලා උඹ මැරෙන්න සැලසුම් කරද්දී, මුහුදේ ගිලිලා හරි වෙන මොන ක්‍රමේකින් හරි මැරෙන්න සැලසුම් කරද්දී සත්තයි උඹේ දුක බෙදා ගන්න උඹ එක්ක එකතු වෙලා මැරෙන්න තිබ්බා නම් කියලා මමත් හිතුවා.

ඇත්තමයි රිදී නිම්නයේ කුසලා වෙනුවෙන්, අඳවාදකයා හි පේතෲස් වෙනුවෙන්, පිරුනු හදක්හි කුසුම් වෙනුවෙන්, යහලු යෙහෙලිහි ඉන්ද්‍රරත්න වෙනුවෙන්, කර්නල්ගේ බිරින්දෑවරුහි කර්නල් චූලාභය වෙනුවෙන්, අපූගේ ලෝකයේ අපූ වෙනුවෙන්, අරණකට පෙම්බැඳහි අරසරණ මිනිස්සු වෙනුවෙන් මේ ඔක්කෝම වෙනුවෙන් කම්පා උනාට වැඩිය උඹ ගැන මම කම්පා උනා.

උඹ ගැන කියවන්න අරගෙන මුල් පිටු කීපෙන් පස්සේ දිගට කියවන එක කුමාරිගේ "ඔරොප්පු සාප්පාඩ" කවි පොත කියවනවා වගේ පපුවට උල් පිහියකින් අනිනව වගේ හැඟීමක් උනත් කුමාරිගේ පොත සම්පූර්ණයෙන් නොකියවා ම පැත්තකට දැම්මත් මුලින් සඳහන් කල තරම් කුරිරුකම් වලට මුහුන දීලත් උඹ මුලු ලෝකෙටම ආදරේ කරන සුන්දර මනුස්සයෙක් කරපු රහස දැන ගන්න මම උබව දිගටම කියෙව්වා . . .

තාම සම්පූර්ණයෙන් කියවලා ඉවර නැති උනත් උඹ අවුරුදු හයේ ඉඳන් උදේ හවා ප්‍රාර්ථනා කරපු සියදිවි හානිකරගන්න ප්‍රාර්ථනය අත්හැරපු තැනදි පහුගිය ටිකේ ට්‍රැක් පැනලා සුපුරුදු සැහැල්ලුවෙන් මිදිලා ඔලුව කුරුවල් කරගෙන හිටි මගේ ඔලුවට උඹ හිල් වෙන්න ටොක්කක් ඇන්න වගේ දැනුනා.

ඇත්තෙන්ම මගේ ඇස් දෙක කඳුලින් පිරුනා. ඇඟේ හිරිගඩු පිපුනා. මවිල් කෙලින් උනා.

එහෙම උනේ දුකටද, සතුටටද, මම මම ගැනම සහ මම ගනන් ගන්න අනෙක් උන් ගැන හිතලා රිදුනු හිත සුවපත් උනු නිසාද, මොකක් හරි හේතුවකට . . .. නැති නම් හේතු ගොඩකට . . .

මොකක් උනත් කමක් නෑ . . .

තමන් හෑබෑ තමන් වීමෙන් තමන්ට ම දැනෙන සීරියස් ගතිය දරා ගන්න බැරි කමට මවා ගත්තු තමන් කෙනෙක් වෙලා ලෝකෙට ජෝකර් කෙනෙක් වෙන්න ඕන උන් ඔහේ හිටපුවාවේ . . .

තමන්ගෙත් පවුලේ උන්ගෙත් බඩ පුරවන්න ඕන කම නිසාම අසාධාරනේට හැඟීම් දැනීම් නැති අන්ධයෝ බීරෝ ගොලුවෝ වගේ ඉඳලා තමන්ගේ බඩගෙඩි ටික පුරවන අය වෙනුවෙන් ෂොපින් යන උන් ඔහේ ෂොපින් ගියාවේ . . .

තමන් දරන මතේට විරුද්ධ මතයක් දරන උන් ඔක්කෝම මකබෑවිලා ගියාවේ කියලා උන්ව විනාස කරන ක්‍රියාදාමෙට උඩගෙඩි දීලා හෙට ඒ ක්‍රියාදාමේ සමාජ සම්මතයක් වෙලා තමනුත් තමන්ගේ පවුලේ දූ දරුවනුත් ඒ ක්‍රියාදාමේ ම ගොදුරක් වෙන බව දැන දැන ත් නොදන්න වගේ ඉන්න උනුත් ඔහේ ඉඳපුවාවේ . . .

තමන් උපන් දෙමාපියන් අදහන ආගම, ඒ අය කතා කරන භාෂාව තමන්ගේ ආගම භාෂාව කියලා හිතලා අනෙක් ආගම් අදහන අනෙක් භාෂා කතා කරන උන් . . . උන් ජීවත් වෙන පරිසරේ වැඩි දෙනෙක් කතා කරන භාෂාව කතා කරන්න ඕන අදහන ආගම අදහන්න ඕන කියලා හිතන උනුත් ඔහේ හිටියාවේ . . .

මේ ඔක්කෝම උන්ගේ හිතවත් කම ලබන්න, ආදරේ ලබන්න තරම් වාසනාවන්තයෙක් වීම ගැන සතුටු නොවී "මොන මගුලකට අනෙක් උන් කරන, කිය න, හිතන දේවල් නිසා උඹේ හිත රිදෝ ගන්නවාද බන්?" කියන දේ ඔලුව හිල්වෙන්න තරම් ටොක්කක් ඇනලා කියලා දුන්නු මයිකල් සීඩ් . . ස්තූතියි උඹට ඇත්තෙන්ම . . .

අහ් ජබෙල් අලී ඉඳන් කෝච්චියේ ගිසස් මගේ ගෙදරට ම ඇවිත් මේ පොත දීලා "අයියේ ඔයා මේ පොත අනිවාර්යෙන් කියවන්නම ඕන. . " කියලා බල කරපු භාෂිත මල්ලී . . .උඹටත් ස්තූතියි . . .

හැමෝම මේ පොත හොයාගෙන කියවන්න. අමාරු ඉංග්‍රීසි නෙමේ තියෙන්නේ . . . (මමත් කියෙව්වා කියන්නේ ඉතිං හිතා ගන්න කොයි තරම් ලේසි ඇද්ද කියලා)

අවසානයේ මේ පොත කියවන්න බල කරපු මුල් පිටේ වචන ටික ත් මෙතන ලියන්නම් . . .

"If you read any book this year, read this one.

He overcome the horrors of his childhood and went on to help others.

Believe this story, weep, then cheer his triumph."

Monday, April 9, 2012

අනේ දෙවියනේ මට සවි දෙනු මැනවී . . .!!



ආතුරයන් මැද අනාතුරව හිඳින්න
අනේ දෙවියනේ මට සවි දෙනු මැනවී . . .

මුව හම් පොරවා ගත් මෘගයන් මැද
උන්ගේ ගොදුරක් නොවී ඉන්න
අනේ දෙවියනේ මට සවි දෙනු මැනවී . . .

ගොදුරක් ඩැහැගත් මෘගයෙක්
තියුණු උල් දත් වලින් බරු ගසද්දී
මෘගයාගේ පුල්ලි වල වර්ණය
අගය කරන
කලා කරුවන් යැයි කියා ගන්නා උන්
අනේ දෙවියනේ මගේ දෑහින් උන් ඉවත්කල මැනවී . . .

මෘගයාට ගොදුරු වූ අහිංසකයා
දිවූ අත වැරදිය කියා
වේගය සහ කාලය අතර
ප්‍රවේගය ගනන් බලන
බුද්ධිමතුන්ගේ වචන
අනේ දෙවියනේ මගේ කන් බිහිරි කල මැනවී . . .

අනෙකාට හෙන ගැසූවත්
මම තාම යහතින්නේ
උගේ බඩ හතරට පැලුවත්
මගේ බඩ පිරිලනේ සිතන
බඩගෝස්තර වාදීන්
අනේ මට උන් මඟ හැර ඉන්න
ඉඩ සලස්වා දෙන්න දෙවියනී . .

මෘගයන් ඇති වනයේ
අහිංසකයින් පා නොතැබිය යුතු බවට
දහම් දෙසන
පඬිවරයන් හා දේශකයන්
නෑසු කනින් ඉන්නට
අනේ දෙවියනේ
හිත සවි දුන මැනවී . . .

මුව හම් පොරවා ගත් මෘගයන් මැද
උන්ගේ ගොදුරක් නොවී ඉන්න
අනේ දෙවියනේ මට සවි දෙනු මැනවී . . .

ආතුරයන් මැද අනාතුරව හිඳින්න
අනේ දෙවියනේ මට සවි දෙනු මැනවී . . . !!!

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails