Monday, February 9, 2015

පිහිතලය විනිවිද දිවූ උනුහුමක මතකය . . !

පිළිකා අවදානමක් නිසා වයස්ගත මවගේ පියයුරක් ඉවත් කලයුතු බව වෛද්‍යවරයාගෙන් දැන ගත් මැදිවියේ දරුවෝ විස්සෝපයෙන්. - ලංකාදීප පුවතක් -



උනුහුමට තුරුල් වී පපුවට
සීරුවට කිරි උරා බිව්
තනයක් අයින් කරනවායි ඇසූ විට
කඳුලක් නොහෙලා ඉන්න ඇහැකිද
මහමෙරක තරමට ආදරේ විඳපු
වයසට ගියපු උනත් දරුවන්ට

හැමෝටම හොඳ ටික බෙදා
වළඳේ අන්තිම දන්කුඩ ටිකෙත්
හොඳ ටික පිඟානකට හෙලා
වළඳේම කටක් දෙකටක් කා
බඩ පිරුනු බවක් අපිට පෙන්නා
හිනා වී අත හෝදපු . . . අම්මා

අනෙකා නොකල දේවලට
දොස් කියන එක දමා පසුවට
හැකි පමනටත් වඩා තව ටිකක්
කන් කෙඳිරියක් නැතුවම 
දරුවන්ට සහෝදර සහෝදරියන්ට
යුතුකම් ඉටු කරන . . . අම්මා

කියන්න ඕනෑ වුනු දේ
පොල්ලෙන් ගැසූ සේ 
කොන්ද කෙලින් තියාගෙන 
මූනටදම දමා ගසා
හිතේ කහටක් නැතුව
ඒ ගමන්ම හිනා වෙන . . . අම්මා

වයසට ගියත් දරුවන්ට
දැනෙනවා දුක පපුවට
උනුහුමට තුරුලු වී
කිරි උරා බිව් තනයක්
අයින් කරනවායැයි ඇසූ විට . . .!

Pic from: https://dianablography.wordpress.com/

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails