Wednesday, December 1, 2010

ගොළු හදවත !



මට තිබුනේ ගොළු හදවතක්.

නෑ නෑ දම්මිගේ වගේ කෙනෙක් රවට්ටන චපල හිතක් නෙමෙයි.

එලියට නිරාවරණය නොකරපු හිතක්.

හැමදේම හිතේ හිරකරගෙන විඳපු, විඳවපු හිතක්.

. . . . . .. . . . . . . . . . . . . . . . . . .. .

හිත ගොළු කර ගත්තු කාල වකවානුව ගැන හිතනකොට මගේ හිත නතර වෙන්නේ ගොඩක්ම පොඩි කාලයේ.

ඒ කාලයේ"ත්" මම හරිම චැටර් බොක්ස් එකක්.

අම්මගේ බාසාවෙන් කියනවනම් මළ කරච්ච්ලයක්.

තුන්වෙනියෙක් (නැන්ද කෙනෙක් කියමූ) ගැන අම්මලා කතාවෙන දේවල් ඒ නැන්දා අම්මලාව මුනගැහුනාම "ඔයා හරි කුඩුකේඩුයි කියලා අපේ අම්මා කිව්වා. කුඩු කේඩු කියන්නේ මොකද්ද නැන්දේ" වගේ දේවල් කියන එකෙක්. (ඒ ඉතිං පොඩි උන්ගේ හැටි නේ)

ඔය වගේ හේතු නිසා අම්මයි තාත්තයි මට නීති දාලා තමයි ("එහේ ගිහින් කට හොල්ලනවා නෙමෙයි" "පැත්තකට වෙලා ඉඳගෙන ඉන්න ඕන හොඳ ළමයෙක් වගේ") මාව ගමනක් වුනත් එක්කගෙන යන්නේ.

කොහේ හරි ගියාම "අනේ පුංචි අක්කගේ පුතා හරි අහිංසකයි" "පොඩි පුංචිගේ පුතා හොඳ ළමයෙක්" කියලා කියන වර්ණනා අහන්න පෙරේත කමට ගොළු වීම ආසාවෙන් කරන්න ඇති කියලා මතක් වුනේ සුනේත්‍රාගේ රිදී තිරංගනාවී පොත කියවද්දී.

. . . . . .. .. . . . . . . . . . . . . . . . .. .

හැමදේටම වඩා මගේ හිත ගොළු කරන්න බලපෑවේ අම්මලගේ ඇනුම් බැනුම් කියලා අතීතය කියන පෙට්ටගමේ පියන ඇරලා බැලුවාම තේරුනා.

"මේ ළමයා නැන්දම්මා වගේ කියවනවා"

"ගෑනු වගේ ඕන එකයි එපා එකයි ඕන නැති දෙයක් නෑ මූට"

"විලාප මෑණියෝ වගේ සම්ප්‍රප්පලාප නොදොඩා පොතක් පතක් බලා ගනින්'

මේ කතා මගේ "කට" විතරක් නෙමෙයි "හිතත්" ගොළු කරපු බව දැක්කේ ඒ ගැන අලුතෙන් හිතපු වෙලාවෙදි.

. . . . . .. .. . . . . . . . . . . . . . . . .. .

මගේ ගොළු හදවත් හින්ඳා ලබපු ලාභ අලාභ ගැන හිතුවොත් . . . .

කිසිම ලාභයක් වුනේ නැති බව දිවුරා කියන්න පුලුවන්.

අලාභ නම් ඉහටත් උඩින්.

පුංචිම කාලේ ඉඳන් හොඳම යාලුවා වෙලා මගේ ළඟ ඉඳපු අක්ක එක්කවත්, අක්කා විවාහ උනාට පස්සේ මගේ හොඳම යාලුවා වුනු නංගී එක්ක වත්, පොඩි කාලේ හරි යෞවන කාලේ හරි ජීවිතේ සිදුවුනු කුණාටු හා කඩාවැටීම් ගැන මගේ ගොළු හදවත විවර නොකරපු එකෙන් වුනේ . . ..

ජීවිතේ තේරෙන්න පටන් ගන්න වයසේ ඉඳන්ම ජීවිතේ ගැන මහා කනගාටුවක්, කළකිරීමක්, එපාවීමක් ඇතිවුනු එක.

තනියෙම හැම වේදනාවක්ම විඳවපු එක.

ඒත් මම ඒ "ගොළු හදවත" ඇතුලේ හංගගෙන එලියට පෙන්නුවේ වෙනස්ම මූනක්.

"උඹ පොල්කිච්චා වගේ හිනා වෙච්චි ගමන්මයි . . .

කොහොමද බන් උඹ මෙහෙම හිනාවෙලා ඉන්නේ" කියලා අහපු අයට මගේ ගොළු හදවත දුන්නු උත්තරේ

"අඬන්න බැරි කමට" කියන එක.

හොඳ වෙලාවට ඒ උත්තරේ අනික් අය අහුනේ නෑ එයාලට දකින්න පුලුවන් වුනේ මගේ සුපුරුදු හිනාව.

. . . . . .. .. . . . . . . . . . . . . . . . .. .

තරුණ කාලේ"ත්" මම තොරතෝංචියක් නැතුව කියවන එකක්.

යාලුවෝ මට කිව්වේ "මූත් එක්ක සෙට් වුනාම හරියට සිරස රේඩියෝ දාගත්තා වගේ" කියලා.

ඒත් මගේ ගොළු හදවත හංගපු තැන එහෙම්මම තිබුනා.

ඒක ඇරලා බලලා කාටවත් පෙන්නන්නවත් . . .

එකේ තිබුනු දේවල් ආදරෙන් ළඟ හිටපු අය එක්ක බෙද හදා ගනන්වත් මම කැමති වුනේ නෑ.

යෞවන කාලේත්, තරුණ කාලේත් ලෝකය ගැන මට හිතුනු දේවල් අනෙක් උන් එක්ක කිව්ව නම් "මූට පිස්සු" කියලා මිනිස්සු මාව කොන් කරයි කියලා හිතලා ගොළු හදවත තව තවත් ගොළු කරගත්තා.

වැඩි දෙනෙක් හරි දේ කියලා මට වැරදි කියලා හිතෙන දෙයක් සම්මත කරගෙන කරගෙන යද්දී වුනත් වැල යන අතට මැස්ස ගහන න්‍යාය පිලිපදිමින් හිතක් කියලා දෙයක් නැති එකෙක් වගේ හිටපු කාලවල් තිබුනා.

. . . . . .. .. . . . . . . . . . . . . . . . .. .

ජීවිතේ විස්සේ අන්තිම කාලේ, තිහේ මුල් කාලේ වෙනකොට මාව කාලයක් ඇසුරු කරලා හොඳින්ම මාව තේරුම් අරන් හිටපු මිතුරු මිතුරියන් ඉදිරියේ මගේ ගොළු හදවත විවර කලා.

නමුත් ඒක, සෙට් වෙන වෙලාවට ජොලියක් දාන්න හොඳ, පැරණි රසාංග විදිහට ප්‍රයෝජනයට අරගෙන පහුවදාට අමතක කරලා දැමිය යුතු දෙයක් විදිහට භාවිතා කලා විතරයි.

දශක තුනක් විතර තිස්සේ ගොළු කරගෙන හිටපු ගොළු හදවත විවර කිරීමෙන් මම හොයන්න ඇත්තේ ඒ ගොළු හදවත නිසා මම විඳපු වේදනා, විඳිමින් සිටි එපාවීමෙන් මිදෙන්න මාර්ගයක් හොයා ගැනීම කියලා මට හිතුනේ ඒ ගොළු හදවත වඩා ලොකු අවකාශෙකට විවර කලාට පස්සේ.

ඒ බ්ලොග් අවකාශේ.

දශක තුනක් විතර තිස්සේ හිරවෙලා . . හැංගිලා . . මුලුගැන්විලා . . .ඉඳපු මගේ "ගොළු හදවත" මම හරියට කතා කෙරෙව්වේ බ්ලොග් අවකාශේදී . .


. . . . . . . . . . .. . . . . . .. . . .

බාල වියෙන් යොවුන් වියට පියමන්න හැටි . .

සමාජයේ ඇති නැති පරතරයේ දිග පළල . .

නිමේශයක් ආශාවේ බූවල්ලාට යට වෙනවට වඩා මිතුරු කම වෙනුවෙන් හිත දඩි කරගැනීම වටිනාකම. .

යොවුන් වියේ ප්‍රේමය සුන්දරයි කියා සිතන නමුත් අඩු අත්දැකීම් නිසා බිඳුනු ප්‍රේමයක් වටිනා ජීවිතයක් සුනු විසුනු කල හැකි බව . .

ගුරු මෑණිවරු - පියවරුන්ගේ වටිනාකම . .

මිතුරු සබඳකම් ජීවිතය එලි පෙහෙලි කරන වග . . .

ඇපි හැදුනු ආසියානු සමාජයේ ඇති විශාලම වැරද්දක් හෙවත් මුවින් නොබිනූ දෙමාපියන්ට, සොයුරියන්ට, බිරිඳට, පුතාට, ඇති ආදරේ, සෙනෙහස මහාමේරුවක් තරම් බව

කියවූ නවකතා පොතකින්, නැරඹූ නාට්‍යකින්, චිත්‍රපටියකින්, වෙළද දැන්වීමකින්, ඇසූ ගීතයකින් විඳි සුන්දරත්වය . .

දරුවන්ට ලිංගික අධ්යාපනයක් අවැසි බව

ජීවිතයේ විශාලම කඩා වැටීමකදී තවත් වැඩි ජවයකින් නැගී සිටිය යුතු බව

දශක හතරකට කිට්ටු දිවියේදී ඇසූ දුටු රස බර සිදුවීම් රස කතා

විවාහ දිවියක නීරස බව සිඳ රස ලැබිය යුතු බව

ආදී මෙකී නොකී ගොළු හදවතේ සිරවී තිබූ බොහෝ දෑ මගේ බ්ලොග් අඩවියේ දෝර ගලා ගියේ කුඩා කල සිට සිත පෙළූ ජීවිතට එපාවීමේ . . . කළකිරීමේ නොපෙනෙනා ඈතකට පළවා හරිමින් බව කිව යුතුමයි.

. . . . . .. .. . . . . . . . . . . . . . . . .. .

ජීවිතය එපාවීම. . කළකිරීම වෙනුවට බ්ලොග් අඩවිය මට ලංකලේ "අඳුරට සාප නොකරමින් එක පහනක් හෝ දල්වාලීමේ බලාපොරොත්තුවයි."
ජීවිතයේ වැරදීම්, කඩාවැටීම්, ලද රිදවුම් අන් අය හා බ්ලොග් අඩවිය හරහා බෙදා හදා ගැනීමේදී හිත වෙලා ගත්තේ "උඹ වැටුනු තැනක් ගැන උඹ කියූ නිසා මෙය කියවන්නෙක් නොවැටී සිටීවී" කියා සිතීමෙන් ලද මානසික අල්ලසයි.

ඒ මානසික අල්ලස, තව තවත් හරවත් (යැයි මා සිතනා) දේ ලිවීමටත් ඒ වෙනුවෙන් ලබන ප්‍රතිචාර වෙනුවෙන් ලොල් වීමටත් . . . ඒ දෙස බලා තුටු වීම නිසාවෙන්, අර කලින් සඳහන් කල එපාවීම බොහෝ ඈතකට වී මා දෙස බලා සිටි බව . . .. .. මා හැර වෙන කවුරු නම් දනීද . .

. . . . . .. .. . . . . . . . . . . . . . . . .. .

හැමදේටම වඩා මේ ගොළු හිත කතා කරවීමෙන් "අ"වාසි ලැබුවේ මගේ හිසරුදාව.

මට අවුරුදු 16යේ 17තේ දී ඉඳන්ම වගේ තදබල හිසරුදාවක් තිබුනා.

පන්තියේදී වෙලාවකට මම පිටු 200 ලොකු පොතක් අරගෙන ඔලුවට ගහගෙන ගහගෙන යනවා.

නතර කරද්දී ඔලුවේ කැක්කුම එහෙම්මමයි.

ගෙදරදී ෂවර් එකේ ෂවර් රෝස් එක ගලවලා අඟල් තුන්කාලේ පයිප්පෙන් එන වතුර පාරට බිම ඉඳගෙන ඔලුව අල්ලගෙන ඉන්නවා පැය ගානක්. හිසරදේ අඩුවෙනකම් කියලා. වැඩක් නෑ.

උසස් පෙළ පන්තියේදී මගේ හිසරුදාව බලාගෙන ඉන්න බැරිවුනු රාජපක්ශ ටීචර් ගිහින් චෙක් කරල බලවන්න කියලා දෙන උපදෙස් නාහන මට අනෙක් අය ඉස්සරහා කතාවක් කිව්වා.

බිෂොප් එකේ ඉගෙන ගත්තු ටීචර්ගේ දුවගේ යාලුවෙක්ට හිසරදයක් තිබිලා චෙක් කලාම කන්නාඩි පාවිච්චි කරන්න කිව්වලු. ඒකෙන් හොඳ වුනාලු. මාස ගානක් ගිහින් විභාගේ කිට්ටුව දවසක් ඒ ළමයා කිව්වලු එයාගේ ඇස් පේන්නේ නෑ කියලා. චෙක් කලාම ඒ ළමයට ඔලුවේ කැන්සර් එකක්ලු. අවාසනාවට කැන්සර් එකේ මුල් අවදියේ හරියට චෙක් කලේ නැතුවායින් කන්නාසි නිසා තාවකාලිකව යටපත් වෙලා ටික කාලයකින් ඔලුවේ ඉඳන් පිට දක්වා පිලිකාව වර්ධනය වෙලා තිබුනාළු.ඒ වෙලාවේ ඔපරේෂන් එකට ගත්තලු. ඔපරේෂන් එකේදිම මැරුනලු.

. . . . . .. .. . . . . . . . . . . . . . . . .. .

ඒක අහපු දවසේ ඉඳන් ජීවිතේ එපා වෙලා හිටපු මම හරිම සංතෝසෙන් හිටියේ.

උදේ හවස මම පැතුවේ ඒ ළමයාට වගේ ඉක්මන් මරණයක්.

චෙක් කරලා ලෙඩේ හොයාගෙන විඳෝ විඳෝ ඉඳලා මැරෙන්නේ නැතුව එකපාරටම අසාධ්‍ය වෙලා මැරෙන්න.

පිටරට ගිය අලුත වේදනාව ඉවසගන්න බැරි නිසා චෙක් කරලා බලද්දී තමයි ප්‍රාර්ථනා සුනු විසුනු වුනේ.

මට කිසිම රෝගී තත්වයක් නෑලු.

හිත හදා ගන්න කියලා අඩු තරමේ මිග්‍රේන් වත් නෑලු.

ඒත් හිසරුදාව අඩු නෑ.

වෙලාවකට ඇස් දෙකෙන් කඳුලු එන තරම් වේදනාවක්.

ඒත් මම උත්සාහ කලේ කාටවත් වැඩිය ඒ බව නොපෙන්නා ඉන්න.

බැරිම වෙලාවක බඳින්න කලින් නම් ලළන්ත, දමිත්, චමල් මේ කාට හරි කියලා ඕඩි ක්ලෝන් දාලා මසාජ් කර ගන්නවා.

පස්සේ ඒ ජොබ් එක ඉබේම නදීෂාට පැවරුනා.

බෙහෙත් ගන්න ගිය වෙලාවක එක ඉන්ඩියන් ඩොකෙක් එක්ක මරා ගත්තා.

ඒ මනුස්සයා කියලම හිටියා "උඹට කිසි ලෙඩක් නෑ උඹේ හිතේ ලෙඩක් තියෙන්නේ" කියලා.

මස් රාත්තලම ඉල්ලනවා වගේ මම හේතුවක් අහන නිසා ඊ එන් ටී ඩොකෙක් MRI ස්කෑන් එකකුයි CT ස්කෑන් එකකුයි කරලා ඉවර වෙලා කිව්වා නහයේ පොඩි ඔපරේෂන් එකක් තියෙනවා. ඒක කලාට පස්සේ "හිසරදේ අඩු වෙන්න ඉඩ තියෙනවා" කියලා.

. . . . . . . .. . . . . . . . . . . . . . . . .. .

ටැබූගේ ලිපියක් කියවලා ඉවරවෙලා එක එක ලින්ක් ඔබලා ඉසිර මල්ලී (පොතේ ගුරාගේ) ගේ බයිස්කෝප් අඩවියේ තමයි නතර වුනේ.

ඉසිරගේ වදේට එයාම හදලා දුන්නු බ්ලොග් එකේ මගේ ගොළු හදවත කතාකරවලා බ්ලොග් අවකාශේ පුරා විසිරුනු සහෘදයෝ එක්ක වසරකට වැඩි කාලයක් ජීවිතේ බෙදා හදා ගත්තා.

බොහෝම සුන්දර මනුස්සයෝ රැසක් අඳුන ගන්න ලැබුනා.

දවසක් බූන්දියේ තිබුනා ලිපියක් ජී බී සේනානායකගේ සුව නොවන හිසරුදාව සුව වුනේ ඔහු ලියන්න පටන් ගත් පසුවයි කියලා.

එදා තමයි මට තේරුනේ අවුරුදු 16යේ 17තේ ඉඳන් වද දුන්නු මගේ හිසරදේත් දැන් ඉස්සර තරම් වද නොදෙන බව.

. . . . . .. .. . . . . . . . . . . . . . . . .. .

මම ලියන සමහර දේවල් නිසා මට ආදරය කරන සමහර අයගේ හිත් රිදෙන බව . . .

මම මටම අපහාසයක් වෙන විදිහේ දේවල් ලිවීමෙන් මගේ ප්‍රතිරූපයටත් ඒ හරහා මගේ ළඟම අයටත් වැරද්දක් වෙන්න පුලුවන් කියලා ඒ අය මාත් එක්ක දබර කරපු නිසයි දැනගන්න ලැබුනේ.

මම හතර අතේ හිතුවේ මම ආදරය කරන අය වෙනුවෙන් . . ..

මට ආදරය කරන අය වෙනුවෙන් . . .. .

එපා වෙලා තිබුනු මගේ ජීවිතයට අලුත්ම බලාපොරොත්තුවක් දුන්නා වුනත් . .

දශක දෙකක් තිස්සේ වද දුන්නු හිසරුදාව තරමකට සමනය කරලා දුන්නා වුනත්

මේ ලිවීම අත්හරින්න බැරිද කියන එකයි . . .

කරන්න පුලුවන් බව කලාට පස්සේ තේරුනා . . .

ඒත් මාසයක් විතර ඉන්න පුලුවන් වුනත් ආපහු මාව හොයගෙන ආවේ අර සුපුරුදු කළකිරීම . . . එපා වීම . . .
මගේ ජීවිතයෙන් කිසිම වැඩක් නෑ නේද කියන හැඟීම . . .

. . . . . .. .. . . . . . . . . . . . . . . . .. .

"පන නම් තණ අග පිනි බිඳු වැන්නේ"

කියලා කියන විදිහට අදද හෙටද කියලා නොදන්න මේ ජීවිතේ . . . සතුටින් ගතකරන්න පුලුවන් දෙයක් ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් කැපකරලා මමත් අසතුටෙන් ඉන්නවද . . .

මම අසතුටෙන් නිසා මගේ ළඟින්ම ඉන්න හැමෝමත් අසතුටේ පංගුකාරයෝ කරගන්නවද කියලා අහපු එකට ලබුනු පිලිතුර අපූරු එකක්.

ඒ ආදරේ කරන අය අර කිව්ව වගේ තණ අග රැඳිලා වගේ තියෙන පන කවදා හරි වාතලයට මුසු වුනු දවසක "මගේ හිත රිදුනට කමක් නෑ . . ඒ මනුස්සයා සතුටෙන් හිටියානේ" කියලා හිත හදා ගනීවී

ඉතිං ඔන්න මම ලියන දේවල් නිසා මින් පස්සේ හිත රිදෝ නොගන්නැයි ඉල්ලමින් . . .

කාගෙන් වත් චරිත සහතික බලාපොරොත්තු නොවෙන මට, - අතපය හයිය තිබෙන කාටවත් අතනොපා මගේ ලඟින් ඉන්න මට ආදරේ කරන, මම ආදරේ කරන අය රැකබලා ගන්න ඇහැක් බව දැන දැනත් ප්‍රතිරූප හානිය ගැන නොහිතා ඉන්නයිත් ඒ අයගෙන් ඉල්ලමින් . . .

ආදරේ යනු පරිත්‍යාගයක් බව සැබෑ නමුත් ආදරේ නමින් මා කරන්න තැතනූ පරිත්‍යාගයෙන් කිසිවෙකුට ලබා ගතහැකි යමක් නොමැති බව් මා ආදරය කරන මට අදරය කරන අය තේරුම් ගනීවී යයි උපකල්පනයන්ද සහිතව

ආපහු බ්ලොග් අවකාශේ වෙලාව තියෙන තියෙන හැටියට සැරිසරන්න එන බව සහෘදයන්ට මේ බොහෝම දිගු සටහනෙන් දන්වා සිටිමි . ..

45 comments:

  1. ආපහු එන්න ගත්ත තීරණේ නම් හුඟක් හොඳයි අය්යෙ. ඇත්තටම ඔබ මේ බ්ලොග් අවකාශයෙන් සමු ගත යුතු කෙනෙක් නොවෙයි. මේ ක්ෂේත්‍රයේ ඔබ දැවන්තයෙක්. මා වැනි බොහෝ අය බ්ලොග් කලාවට පැමිණියේ ඔබේ අඩි පාරේ. ඔබ අපට නිහඬ මගපෙන්වන්නෙක්.

    ReplyDelete
  2. දුකා අයියා ලියන එකනම් නවත්තන්න එපා. අයියගෙ ලිපි ගොඩක් හොඳයි. ඇත්තටම ඒක හොඳ මඟපෙන්වීමක්. ආයෙත් දිගටම ලියයි කියල බලාපොරොත්තු වෙනව. ජයෙන් ජය....

    ReplyDelete
  3. නෙතට කඳුලක් අරගෙනම දුකා ආපහු ඇවිල්ලා . . . .

    ඔන්න ආපහු සිංහල බ්ලොග් අවකාශය දෝරෙ ගලන්නයි යන්නෙ . .. .

    හුරේ . . . !

    ReplyDelete
  4. බ්ලොග් එකක් හරියට කිරීමේදී නිර්නාමිකත්වය හරිම වැදගත් දෙයක්. නමුත් ඒ සඳහා අප යම් මිළක් ගෙවිය යුතුයි.

    පුවත්පතකට ලියපු ලිපියක් ප්‍රතික්ෂේප කරන ගමන් මෙලෝ දෙයක් නොදන්න සබ් එඩිටර් කෙනෙක් "මල්ලි, තව ටිකක් බර කරල අර ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් එක ආදර්ශෙට අරන් ලියන්න" කියන කොට "ඒක ලියන්නෙත් මම තමා යකෝ!" කියල පොරගේ මූණේ අතිවන හැඟීම් බලල වින්දනයක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි කර ගන්න එක මාර අමාරුයි.

    අතථ්‍ය ලෝකයේ අප දන්නා චරිත කිහිපයක් (නමින් බ්ලොග් ලියන එව්වො) සෙට් වෙලා පාටියක් දාපු පින්තූර ෆේස්බුක් එකේ දකින කොට ඊටත් අමාරුයි.

    ඒත් ඒ කැපකිරීම් කළ යුතුයි නිර්නාමිකත්වය වෙනුවෙන්.

    නැත්නම් දුකාට වගේ අපටත් බ්ලොග් ලියන්ට වෙන්නේ නෑ. අපේ හඬත් මරල දාල ගොඩාක් කල්.

    - Taboo

    ReplyDelete
  5. හුරේ,,,,,,මම නම් දැනගෙන හිටියා වතුරෙ ඔබපු රබර් බෝලෙ කොයි වෙලාවෙ හරි උඩ එන බව,,, හුරේ,,,,,,,,,,,,,,,,,,,,,

    ReplyDelete
  6. සතුටුයි... වෙන වචන එන්නේ නෑ.... සතුට වැඩිකමටමද මන්දා කියවන අකුරින් අකුර ඇහැට අනිනව වගෙ දැනුනා... ජයවෙවා අයියා...

    ReplyDelete
  7. ප්‍රීති ප්‍රීති ප්‍රීති......

    මචං, කාටත් ඔහොමයි... හිනා කතා කියන මමත් ඔහොමයි..... අල්ලලා දාලා ලියන්න.... මොන මගුලක්ද කියලා හිතෙන් අහපන් මචං..එතකොට ඔක්කොම ඉවරයි.....

    ReplyDelete
  8. මට දැනෙන විදියට ඔබ තමා සින්හල බ්ලොග් අවකාශයේ හිටි දැවැන්තයා ... ඔබේ බ්ලොග් එක නිසයි මමත් මේ දේට මෙතරම් ඇලුම් කරන්න ගත්තෙ..... ඔබ නොදන්නව උනත් ඔබව අනුගමනය කරන ඔබ වගේ වෙන්න උත්සාහ කරන තවත් අය මම දැකල තියනව ... ඉතින් ඇයි අනික් අය ඔබ වගේ වෙන්න හදද්දි ඔබ ,'ඔබ' නොවී වෙන අයෙකු වෙන්න උත්සාහ කලේ ....
    ඇත්තටම හරිම සතුටුයි ඔබ යලිත් ඒක පටන් ගන්නවට අයිය ... ජයවේවා !!! : )

    ReplyDelete
  9. දුකාගේ බ්ලොග් එක නිතරම කියවන්න බැරිවුණා. මේක කියවනකොට ඇයි දුකා මංගැන ලියලා තියෙන්නේ කියා මට සිතුණු තැන් කිහිපයකුත් තිබුණා. ටැබූ කිව්වාවාගේ නිර්නාමිකත්වය වැදගත් තමයි නමුත් ටැබුවැන්නවුන් නිර්නාමිකව සිටීමත් එක්තරා ආකාරයක පාඩුවක්. දුකා තමන්ට ආදරය කරන්නවුන්ගැන සිතන එකත් වැදගත්. කවුරු නැතිවුණත් සැබැවට ආදරයකරනවුන් අන්තිමේ බැණ බැණ හරි ඉන්නවා.

    ගොළු හදවත නිසා තනියෙන් විඳදරාගත්ත දේවල් ඔබව ශක්තිමත් කරලා ඇති. මින් මතුවට නිතර කියවන්නට බලාපොරොත්තුවෙමි.

    ReplyDelete
  10. බොහෝ දේ ලියා ඇත, කාලෙකට පසුව නිසා වැඩ පැත්තකට දා කියෙව්වෙමි.

    ජීවිතය ජීවිත ජීවත් කරවන්න කරන දානයක්.
    ඒ පුන්‍යකර්මය ඉටුකරන්න ජීවත්විය යුතුයි.

    සුභ පැතුම් මිත්‍රයා.

    ReplyDelete
  11. මේ බව මම කාටවත් කීවේ නැතත් මම උඹ ආයි එන බව දැනන් උන්නා..! මොකද උඹට උඹේ හිත වෙන කොහෙවත් හංගලා තියලා ඉන්න බැරි වග මම හොඳට ම දන්න නිසා..!
    නැවත ගමන් අරඹමු..!
    උඹට ජය..!

    ReplyDelete
  12. සන්තොසයි දුකා... ලියමු ඉතින් අපි කියවනවා.

    ReplyDelete
  13. Aththa...liyana eken prashna godak amathaka wenawa.leda godak suwa wenawa.aiye liyana eka nathara karanna epa... :-)

    oya kiwwa wagema podi kaalayak thamaa matath thibbe.eth waasanaawakata ape loku aiya gedara culture eka wenas kala.api dan harima open....
    a wagema thama blogs.

    hithe thiyana dewal nidahas karanna,kenekwa hinassanna,adahas,jeewithaya bedaa gannai methana thiyenne.digatama liyanna k? :-)

    ReplyDelete
  14. හොල්මන්ද පොල්කොල... මොකක්ද බොල මේ පෝස්ට් එකේ තියෙන්නෙ. මගෙ නං ඔලුව කුරුවල් වුනා මේක කියවල...


    නැවත පැමිණීම දැඩි සතුටක්..

    ReplyDelete
  15. ජයවේවා දුකා !! යමු දිගටම අදින් පස්සේ මමත් දුකාගේ සාමාජිකයෙක්

    ජයවේවා !!

    ReplyDelete
  16. මමත් එකඟයි ඔබේ අදහස් වලට. මමත් ගොඩක් ගොළු චරිතයක්. ඒත් මට නම් ඒක උපතින්ම ලැබුන දෙයක්. අනිත් අය කතා කරන කොට ඒ අයගෙ කට දිහා බලා ඉන්න මම හරි ආසයි. ලෙඩක් වෙන්න ඇති.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  17. ඔබට තව ගොඩක් දුර ‍යන්න පුළුවනි අයියේ..නොයා ඉන්නෙපා..අපරාදයක්..

    ReplyDelete
  18. ඔන්න දුකා අයියට තවත් සාමාජිකයෙක්.ඉස්සරත් සැරෙන්,සැරේ ආවා.ඔන්න දැන් දිගටම ඉන්නවා.

    ReplyDelete
  19. උඹ ආයෙමත් සැරයක් ලියන්න පට්ටාං ගත්ත එක ගැන බොහොම සන්තෝසයි...

    ReplyDelete
  20. ඇත්තටම උඔ එනවා කියලා දැනගත්තත් ගියා කියලා දැනගෙන හිටියේ නෑ. උඹ නිහඬයි කියලයි මං හිතං හිටියේ. නිවුස් වල උඹේ නිහැඩියාවට වෙනස් අර්ථකතනයක් එකතුවුනානං සමා වෙයං. කොහොම උනත් මුල ඉඳන්ම ඉන්න එකෙක් විදිහට නෙනැවතී ලියන එක තමා වැදගත්. දැන් ආපහු පටන් ගත්තානේ. පටන් ගන්න එකයි අමාරු. දැන් හරි. දැන් ලියපං. ජය...!!!

    ReplyDelete
  21. දුකා ආපහු ආපු එක ගැන අපිට ගොඩක් සතුටුයි.ඕං ආපහු යන්නෙ එහෙම නෑ හොදද?

    ReplyDelete
  22. හදවතට කතා කරනවා වාගේ....

    ReplyDelete
  23. සෑහෙන දවසකින් ආයෙ ලියන්න අරන් තියෙන්නේ. සතුටුයි දුකෝ ආපසු ලියන එක ගැන. මම හිතුවේ දෙයියෝ ඇත්තටම වරය දීල කියල..

    ReplyDelete
  24. බලාපොරොත්තුවෙන් හිටියෙ කවද හරි ආපහු ලියයි කියලා. වැඩ වැහිවැහැලා තිබ්බත් ඔන්න මුලු පෝස්ට් එකම කියෙව්වා. ලියලා තියන විදිහට කියෙව්වාට වඩා කි‍යැවුනා.

    ReplyDelete
  25. අයියේ උබ ආපු එක ලොකු දෙයක්... අර වරයක් දීපු දෙයියව හොය හොය උන්නේ මම... හික් හික්... උබ ලියන එව්වා ගැන අමුතුවෙන් මෙ මම මක්ක කියන්නද... ලියපන් ලියපන්... අපි කියවනවා...

    දුකා කියන බ්ලොග් එක මම දැකපු මුල්ම සිංහල බ්ලොග් වලින් එකක්...

    ටැබූ කියපු කතාව ඇත්ත... නිර්නාමිකත්වය කියන එකේ අවාසි සහ වාසි හුඟායි..

    ReplyDelete
  26. අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි . . .

    ලිවීම නවත්වන්න ගත්තු තීරණය ගැනත් . . ..

    පස්සේ ආපහු ලියන්න පටන් ගත්තු තීරණාය් ගැනත් . . .

    පෝස්ට් එකේම හම දේම තියෙන නිසා ස්තූතියි කියලා විතරක් කියන්නම් හැමෝටම.

    ReplyDelete
  27. මම මේ සන්තෑසියක් දැනගෙන උන්නෙ නෑ නොවැ. අනේ බුදු අයියේ දිගටම ලියන්ට. මෙතන අපිව මඤ්ඤං කොරන්න නං ලෑස්ති වෙන්න එපා. අපිත් මේ බොලොග් කෙරුවාවට බැස්සෙ මේ බොලොග් එක බලල ආව ෆිට් එකටයි.(බැස්සයි කිවුවට අපි කොරපු බ්ලොගක් නෑ. අනිත් ඒව බැලුවා මිසක්) අඤ්ඤකොරොස් වෙලා හිටිය මං යන්තං ගොඩ ආවෙ මේ බ්ලොග් හින්දයි. අනේ වස්තුවෙ ආයෙ ඉස්සර ලිවුවා වගේ ලියාගෙන යං...

    ReplyDelete
  28. අහ් දුකා අයියේ අයියටත් ශාන්ති කර්මයක් කොරලම වැඩ පට්ටාන් ගමු....කෝ කෝ දොහොත් මුදුන්දී වැඳගත්තනම්....

    ඕං රීං කට්ටු කට්ටු.. අනේ උඹේ කට් පිට්ටු පිට්ටු...හැමෝගෙම දුක් ගත්තාවු...ඕං ඒවගේම බ්ලොග් අවකාශයට නව අරුතක් ගෙනාවු වගේම...තවත් එක් බක පණ්ඩිත දුකා(රාළ) කෙනෙක් නෙවු හිතහොද මේ දුකා අයියාට ආයෙත් සිතුවිළි අකුරු කරන්නට ශක්තිය ධෛර්යය අඩු නැතිව වැඩි වැඩියෙන් උතුරායත්වා....

    ඔං රීං....හිසියත් හදවතින් සහ බොක්කෙන් යන දෙකෙන්ම සම සමව කිලෝ 50 මිටි වලින්, සුභ පැතුම් කිරාමැන...අලි නාන කල්දේරමකට දමා මද ගින්නේ බාගෙට ලෑලි කෑලි සමග පත අට 21ට හිදෙන තුරු හින්දා උ‍ණු උ‍ණූ වේ අවන් එකේන් බාලා පොල්කට්ටේ දමා රා කෝප්පයක් සමග පිළිගන්නවමි....

    ඔන්න ඕක බිව්වනම් දැං....

    එහෙනම් හිසියා වාෂ්ප වුණා.
    ඒසවඃ පුඃ....

    ReplyDelete
  29. එල දුකා...හිතට එකගව තමන් ආසා දේ කිරීමේ තියෙන්නේ මාරම ආතල් එකක්..ඔය සාලීය කුමාරයා රජකම අතඇරියෙත් අන්න ඒ සතුට වෙනුවෙන් නෙව...

    තමන් ආසා කරන දේ කිරීමේ ලිමිට් එක තීරනය වෙන්නේ ඒක අනිත අයගේ නිදහස ට බදා කරන තැනදීයි..මයියට හිතෙන් විදිහට දුකා ඒ ලිමිට් එක ගැන ඕනාවට වඩා හිතනවා,,

    මොනා උනත් ලියන්න පටන් ගත්හ්ට එක එල

    ReplyDelete
  30. හුරේ.........මරේ මරු... :)))

    ReplyDelete
  31. ආයෙත් නැගිටලා ලියපන් දුකා,ෆීනික්ස් කුරුල්ලා වගේ.

    ReplyDelete
  32. දුකෝ..

    හිනා වෙන්නේ නැතුව දුකට අඩන්නම ගියානං..?
    මම කියන්න ඔන නැහැනේ..

    හරි අපි කොතනින්ද පටන් ගන්නේ..?

    ReplyDelete
  33. බොහෝම සතුටුයි..නැවත පැමිණීම.. ගැන
    සුභ පැතුම ..!!

    ReplyDelete
  34. "නිමේශයක් ආශාවේ බූවල්ලාට යට වෙනවට වඩා මිතුරු කම වෙනුවෙන් හිත දඩි කරගැනීම වටිනාකම" මට ඔය කෑල්ල දැක්කම කතා දෙකක් මතක් වෙනව මචං. මමත් ඔය විදියම තමා. කවද හරි මම ඒ කතා දෙකම ලියනව. හැබැයි ඔය ප්‍රතිපත්තියෙ ඉඳල කොල්ලො යාලුවොන්ගෙන් නම් බැනුම් අහගෙනත් තියෙනව "ඉටිපන්දම් හඳුන් කූරුද" කියල අහල. මම උන්ට දෙන උත්තරේ, "එක එක වෙලා වට ඇ‍ඟෙ එක එක තැන් වලට වැඩි පුර ලේ ගැලුවට හැමතිස්සෙම මගේ මොලේ තියෙන්නෙ එකම තැන" කියල.

    ReplyDelete
  35. එළ කිරි දුකා අයියේ..

    මම හරිම ආසාවකින් කියවන බ්ලොග් එකක් ආයේත් රන් වෙනවා කියන්නේ කොච්චර එකක් ද.

    මටත් කියන්න ඕන ගොඩක් දේවල් තිබුනට ඒවා කියාගන්න බෑ.. ඒ මිනිස්සුන්ගේ හිත් නරක් වෙන නිසා මිසක් වෙනින් දෙවල් නිසා නෙවෙයි..

    නිර්නාමිකව පටං අරන් ලියන්න ගත්තානම් කියලා මටත් අනේක වාරයක් හිතිලා තියෙනවා.. ඒත් දැන් පටං ගත්තු එක කොහොම හරි කරගෙන යනවා.

    කොහොම හරි එල්ලිලා යං දුකා අයියේ, අපි නිසා වත්.

    ReplyDelete
  36. සුපුරුදු ලෙංගතුකමින් අපිත් එක්ක සිංහල බ්ලොග් අවකාශේ කරක් ගහන්න දුකා අයියා ආපු එක ගැන ඇත්තටම සතුටුයි...................

    ReplyDelete
  37. දුකා;

    ඇති යන්තම් ඕක ආයිත් විවර කළා. මන්ද [යකෝ] හිතේ තද කරන්, අපටත් කියාපන්.

    හිසේ රදේ නම් වොරින්. හැබැයි ඔය වගේ ලෙඩ වලට බෙහෙත් තියෙනවා නෙ බං. මටත් ඔය වගේ සීන් එකක් තියෙනවා. අදත් ඔලුවේ කැක්කුමක් ආවා හවස ඉඳන්. අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි ගාපන් සිද්ධාර්ථෙ තෙල් නළල වටේ ඉඳලා බෙල්ලෙ "බල" නහර වෙනකම් රවුමට ගාපන්. ඊට පස්සෙ නහයට ඉන්හේල් කරපන්. සෙම සම්බන්ධ සිද්ධියක් නම් සුවර් සුවයි. බෝතලයක් ඉතින් මෙහෙන් ගෙන්න ගන්න වෙයි නේද? සප්ලයි ඔන්න්නම් කියපන් කොහොම හරි එවන්නම්.

    මටත් කණනාඩියක් ලියලා දුන්නා ඩොකා ගිය සතියේ

    ඔච්චර ලේසියෙන් අපට මැරෙන්න බෑ යකෝ. අඬන්න පොඩි හිතක් ඉන්නකම්. ඒකෙ රඟේ මං දන්නෙ අත් දැකීමෙන්. තාත්තා මැරෙන කොට මට 11යි. පිස්සු කෙළින්නෙ නැතුව බෙහෙතක් ගනින්.

    ReplyDelete
  38. ඔය දුකා මොන බයිලා ගැහුවත් මම දන්නවා මිනිහාට බ්ලොග් එක නැතිව ඉන්න බැ කියලා :D

    අනේ අම්මෙ මේ පොස්ට‍ එක හැතැම්මක් විතර දිගයිනේ....අවුලක් නැ ... :D

    හුරේ,....දුකා ඇවිල්ලෝ...........!!!

    ReplyDelete
  39. අදහස් දක්වපු හැමෝටම බොහොමත්ම ස්තූතියි.

    මේ සෙනෙහස දයාබරත්වය මේ අවකාශේ බොහෝ කල් රැඳිලා සමාජය වෙනුවෙන් සිදුකල හැකි කුඩා හෝ සේවයක් ඉටුකරලීමට ඇවැසි ශක්තිය ධෛර්ය සපයන බව කිය මනාද . .

    ReplyDelete
  40. අම්මෝ දිගම දිග පෝස්ට් එකක් සමඟ ආපහු දුකා ඇවිත්...
    :D
    බොහොම සන්තෝසයි, දිගටම ලියමු.

    ReplyDelete
  41. කොච්චර පරන උනත් මේකට කමෙන්ට් එකක් දාන්නම ඕනි මමත් මේ වගේ මිනිහෙක් හන්දා...හිත තමන්ටත් වහගන හැඟීම් බල්ලට දාලා...ඕනි මගුලකට හිනාවෙන මම වගේම මිනිස්සු තවත් ඉන්නව එහෙනම්.....යාලුවො අතරෙ මමත් චැටර් බොක්ස් එකක්..ගෙදරදි මටවත් කතා කරගෙන්නෙ නෑ...හ්ම්ම්ම්ම්ම්........ජීවිතේ මුල හරියනම් අපි දෙන්නගෙම සමානයි වගේ..ඒත් මම තාම ඔයා තරම් දුර ඇවිත් නෑ

    ReplyDelete
  42. Lalan DissanayakeMarch 5, 2013 at 8:44 PM

    ඔලුවෙ කැක්කුමට මම නම් කරන්නෙ සමාන්ය ගානට උනු කරගත් (shower එකේ hot water) වතුරේ කකුල් දෙක දාගෙන විනඩි 10ක් විතර ඉන්නවා. එතකොට ටික ටික කැක්කුම නැතිවෙලා යනවා.
    මෙක මට කිව්වෙ මගෙ Indian යාලුවෙක්.එයානම් කිව්වෙ අපේ ගැට ගැහුනු නහර උනු වතුර නිසා ලිහිල් වෙලා ලේ ගමනාගමනය හරියට වෙන්න ගත්තම ඔලුවෙ කැක්කුම නැතිවෙනව කියල.
    කැක්කුම තියෙන වෙලාවට කරල බලන්න.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails