Sunday, October 19, 2014

අකනිටා සමඟින් මරියසෙල් රුක්ශාන් සංගීත සැඳෑව . . !



මැදපෙරදිග රැකියා කරන / ජීවත් වෙන අපිට තියෙන්නේ හරිම එකාකාරී ජීවන රටාවක්

ඔෆිස් යන කෙනෙක් නම්
1. උදේ එලාම් එකට නැගිට්ටා
2. තේ එක බිව්වා, ටොයිලට් ගියා, දත් මැද්දා නෑවා වැඩට ගියා
3. යකා බැඳගත්තා වගේ වැඩ කලා (වැඩ අඩුයි නම් අයියෝ ලංකාවට මොකෝ වෙන්නේ කියලා ෆේස් බුක් එකේ පෝස්ට් දැම්මා / පෝස්ට් වලට කොමෙන්ට් දැම්මා / එක එකා එක්ක මරා ගත්තා)
4. හවසට ගෙදර ආවා - කෑවා, ටීවී බැලුවා / ෆිල්ම් බැලුවා / පොතක් බැලුවා
5. නිදා ගත්තා.
* සති අන්තේ නම් යාලුවෙක්ගේ ගෙදර ගිහින් හරි යායුවන්ට ගෙදර එන්න කියලා හරි උන් එක්ක දේසපාලනේ කතාකර කර අඩියක් ගැහුවා - පහුවදා කුජීත වෙන්න නිදා ගත්තා

වැටුප් රහිත බරපතලම රැකියාව කරන ගෘහනියක් නම්
1. උදේ එලාම් එකට නැගිට්ටා
2. ඉව්වා, ළමයි ස්කෝලේ යවන්න, හබියව ඔෆිස් යවන්න ලෑස්ති කලා - උන්ව පිටත් කලා.
3. ගෙවල් අස්පස් කලා, නෑවා, තියෙන තියෙක කෑවා-බීවා
4. ඉන්ටර්නෙට් එකේ ටෙලි නාට්ටි ටික බැලුවා.
5. බලා ගන්න අතදරු ළමයි නැති නම් වෙලාව ඉතුරු වෙලා තියේ නම් ටිකක් නිදා ගත්තා
6. හවස ළමයි ගෙදර මිනිහා ආවහම උන්ට කන්න හදලා දුන්නා, වලියක් දාගන්න චෑන්ස් එකක් තිබොත් පොඩි වලියක් දාගත්තා
7. ගෙවල් අස්පස් කරලා නිදා ගත්තා
* සති අන්තේ මිනිහා පාටි දානවා නම් එන අයට කෑම බයිට් හැදුවා කස්ටිය ගියාම බෝතල් විසි කලා, පහුවදා හවස් වෙනකම් ගෙවල් අස් කලා

ඔය ඒකාකාරී ලයිෆ් ස්ටයිල් එකේ දුවන ගමන් ෆේස්බුක් එකේ දකිනවා නෙලුම් පොකුණ රඟහලේ, යූත් සෙන්ටර් එකේ  අහවල් ප්‍රවීන ගායක / ගායිකා වගේ සංගීත සැඳෑව, සුගතදාස ස්ටේඩියම් එකේ ලයනල් රිචී, යානි ලයිව් ඉන් කොන්සර්ට්, ජෝන් ද සිල්වා එකේ අහවල් නාට්‍යය . . .

ඉතින් මැරෙන්න හදනවා "යකඩෝ මේ ජීවිතේ ණය ගෙවන්න මේ කාන්තාරේ ඇවිත් අපිට ඔය මොන මගුලක් වත් නෑ . . . ලංකාවේ ශෝස් වල ටිකට් රුපියල් පන්දාහයි දහදාහයි පාලොස්දාහයි ඒත් රුපියක් 30,000ක මාසෙ පඩිය ගන්න එකා උගේ පවුල පිටින් රුපියක් 10,000 ටිකට් වලට ශෝ එක බලන්න ගිහින් ෆේස් බුක් එකේ ෆොටෝ දානවා ඒත් මෙහේ ඉඳන් ඌ කරන රස්සාවට උගේ වගේ හතර පස් ගුණයක් පඩි ගත්තා උනත් එහෙව් එකක් බලන්න යන්න මට පින නෑ" කිය කියා .. . .

එහෙම කිය කිය මැරෙන්න හදන එවුන්ට මචන් මේ වීක් එන්ඩ් එකේ මියුසිකල් ශෝ එකක් තියෙනවා . . අහවල් අහවල් ගායක ගායිකාවෝ එන්නේ . . අහවල් හෝටලේ ඉන්ටර්නැෂනල් ඩිනර් එකත් එක්කම ටිකට් එකක් ඩිරාහ්ම්ස් 100යි 150යි කිව්වහම අර කියපු ඔක්කෝම ෆැක්ට්ස් (ලංකාවේ ශෝ රසවිඳින්න නැත් වීම, ලංකාවේ උන්ට වඩා හතර පස් ගුණයක් පඩි වැඩි කම, පොඩි ගානක් ඉපැයුවත් ලංකාවේ ඉන්න උන් පට්ට ෆන් එකේ ජීවත් වීම බ්ලා බ්ලා බ්ලා) අමතක කරලා "අම්මෝ ඩිරාහ්ම්ස් 100ක්ද" කියලා අහනවා ස්ටාර් හොටෙල් එකක ඩිනර් එකටම ඩිරාහ්ම 100ත් 150ත් අතර ගානක් යන බව දැන දැනත්. .

හරි ඔය වැල් බයිලා නෙමේ මට කියන්න ඕන උනේ මේ 23 වෙනි බ්‍රහස්පතින්දා රෑ 8 ඉඳන් සිරි ලාංකික අපිට සුපිරි ආතල් එකක් ගන්න අවස්ථාවක් මමත් සාමාජිකයෙක් වෙච්චි එක්සත් අරාබි එමීරයේ "අපේ කට්ටිය" මිතුරු සංගමයෙන් සංවිධානය කරලා තියෙනවා. 

මේ ප්‍රසංගයට සහභාගී වෙන ජනප්‍රිය ගායිකා "මරියසෙල් ගුණතිලක" සහ "රුක්ෂාන් පෙරේරා" දෙපල සහ සංගීතය සපයන එක්සත් අරාබි එමීරයේ අතිදක්ෂ වාද්‍ය වෘන්දය "අකනිටා වාදක මණ්ඩලය සමඟ එකට එකතු වී ගී ගයන සිංග් එලෝන්ග් සෙසන් විතරක් නෙමේ ප්‍රසංගය පවත්වන ඩුබායි නගරයේ රැඩිසන් බ්ලූ හෝටලයේ මහ විශාල සzබීල් බෝල් රූම් ශාලාවේ ඩාන්සින් ෆ්ලෝ එකේ දාඩිය දාන කම් හිතමිතුරන් එක්ක නටන්නත් පුලුවන්.

මුලින් 24  වෙනි සිකුරාදාට සලසුම් කරලා තිබ්බ ප්‍රසංගය 23 වෙනි බ්‍රහස්පතින්දා සවසට දාගන්න උනා 24 වෙනිදට ආගමික නිවාඩු දිනයක් යෙදෙන බැවින් 24 දවස මධුපානය තහනම් දිනයක් වෙන නිසා.

70 දශකයේ ක්ලැරන්ස් විජේරත්න මහතා ප්‍රමුඛ කන්ඩායම් සංගීත ලෝලීන් අරඹපු වේගරිද්ම පමනක් නොවන 70 දශකයටම ආවේනික අපූර්ව සංගීත ආභාෂයක් තියෙන මරියසෙල් රුක්ශාන් ගේ සංගීත සැඳෑවක්  - මදුවිතේ රසවිඳින සහෘදයන්ට මදුවිතෙන් සප්පායම් වෙලා ගායනයට වාදනයට අනුගතව ඩාන්ස් කරමින් විඳින්න ලැබීමත් මදුවිත තොල නොගෑවත් ගායනයෙන් සංගීතයෙන් මත් වෙන්න පුලුවන් සහෘදයන්ට ඒ මධුර සංගීතයෙන් ගීතයෙන් මත් වෙලා රඟන්න ලැබීමත් - තුසිත දෙව්ලොව සුරයන් මාධුර්යෙන් ආනන්දයෙන් නලවාපු කාමෝත්සවයක් නොවන සුයාම පූජවක් වෙයි කියලා හිතෙන්නේ නැද්ද?

ඉර එලිය වැටුනාම සං ගාලා වාෂ්ප වෙන තණකොල අගිස්සවල් වල තියෙන පිනි බින්දු වගේ ජීවිතේ - කොයි වෙලාවේ පොඃ ගාලා මැන්ටලේ ගහලා යයිද කවුද දන්නේ . . . එහෙව් එකේ මේ කාන්තාරේ අම්මා - තාත්තා, සහෝදර - සහෝදරියෝ, සමහර වෙලාවට බිරිඳ - දරුවෝ පවා ලඟපාත නැතුව දුක් විඳින ජීවිතේ පොඩ්ඩක් වෙනසකටත් එක්ක අඩියක් ගහලා, සින්දුවක් අහලා, ඩාන්ස් කරලා ජොලියක් දාන්න වරෙල්ලා බන් . . මෙහෙම අවස්තා හමදාම තියෙනවා කියලද . . නෑ නේ  . .. !!

හරි ඔන්න එහෙනම් හැමෝම එන්න මේ සුපිරි සංගීත සැඳෑවේ රසයෙන් මත්වෙලා සතුටු වෙන්න . . 

දවස: ඔක්තෝම්බර් 23 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී 8ටේ ඉඳන් 

තැන: ඩුබායි රෙඩිශන් බ්ලූ හෝටලයේ සාzබීල් බෝල් රූම් ශාලාවේ 

ටිකට් මිල: ඉන්ටර්නැෂනල් ඩිනර් එකක් සමඟින් වැඩිහිටි - ඩිරාහ්ම්ස් 175/- අවුරුදු 12ට අඩු 6ට වැඩි දරුවන් සඳහා ඩිරාහ්ම්ස් 75/- 

ටේබල් එකක වටේට පුටු 10ක් තියෙනවා - යාලුවෝ 10ක් එක්ක එනවා නම් ටේබල් එකක්ම වෙන් කර ගන්න පුලුවන්

තව ටිකට් වැඩිම උනොත් 100ක් ඉතුරු වෙලා ඇති. කෑම බීම සඳහා 

අවසාන හෙඩ් කවුන්ට් එක හෝටලේට දැනුම් දෙන්න ඕන නිසා හෙට 20 වෙනිදායින් පස්සේ ටිකට් විකුන්නන්නේ නැති බවත් මතක තියා ගන්න.

කොහොමටත් ප්‍රසංගය අවස්තාවේදී ටිකට් විකිනීමක් නම් කෙරෙන්නේම නැති බවත් කියන්න ඕන.




Sunday, September 7, 2014

අපේ ගී පැදුර 2014 . . !

QSUM (Quantity Surveyor's of the University of Moratuwa) එකෙන් ගිය අවුරුද්දේ සංවිධානය කරපු අපේ ගී පැදුර සංගීත අත්දැකීම විඳලා එලියට ආපු ජනකයි මමයි කතා වුනේ ඒක නම් සමහර විට ජීවිතේ එක්වරක් පමනක් විඳින්න ලැබෙන ජාතියේ අපූර්වතම රාත්‍රියක් කියලා.

ඒ අත්දැකීම හැමෝම අඩු තරමින් එක් වරක් වත් විඳින්න ඕන එහෙම නැති නම් අවුරුද්දකට වතාවක් වත් ආයේ ආයේ විඳින්න ලැබෙනවානම් කොයි තරම් වාසනාවක්ද කියලත් අපි කතා වුනා.

"සංගීත ප්‍රසංගය" නොකියා ඇයි "සංගීත අත්දැකීම" කියලා කිව්වේ කියලා හිතුනා නේද?

ඒ වැඩසටහනට ප්‍රසංගය කිව්වොත් ඒකට කරන ලොකුම හානියක් - මොකද ප්‍රසාංගික වැඩසටහනකින් බොහෝ එහාට ගිහින් ගීතයක් එහි පදමාලාවෙන්, නාද රටාවෙන් ගායකයා හෝ ගායිකාවගේ ගායනයෙන් සහ මේ හෑම දේකම සුසංයෝගයෙන් නියමාකාරයෙන් රසවිඳින්නේ කොහොමද කියන එක ගැන බොහෝම සරලව සහ හිතට කාවදින අයුරින් සුප්‍රසිද්ධ ගීපදරචක නිලාර් එන්. කාසිම් මහතා අපට එදා පැහැදිලි කලා.

පොතක පත්තරේක ඒ වෙනුවෙන් ලියැවුනු ලිපියක් කියවනවාට වඩා බොහොම වෙනස්, ගීතයක් ගයන - වයන අතරතුර ඒ පිලිබඳව පැහැදිලි කරද්දී දැනෙන හැඟීම.

ඒක මෙහෙම වචන වලින් කියන්න බැරි හැඟීමක්. ඒක අත්විඳලම ලබා ගන්න ඕන දෙයක්.

ගීතයක හෝ ඕනෑම කලා නිර්මාණයක රසවිඳීම එකිනෙකාට වෙනස්. විශේෂයෙන් ගීත ගැන ගත්තොත් සමහර විට අපි ගීතයක් නියමාකාරයෙන් රසවිඳින්නේ කොහොමද කියලා දන්නේ නෑ වෙන්න පුලුවන්.

අපි නිතරම හිතන්නේ අපි දන්නවා කියලනේ . . . දන්නවා උනත් කමක් නෑ තව ටිකක් දැන ගත්තාට අහක යන එකක් නෑ . . ඒකයි මම කියන්නේ මේ ගීත අත්දැකීම අපි හැමෝම ජීවිතයේ එක් වරක් හෝ වසරකට වරක් හෝ බැගින් අත්විඳිය යුතු අත්දැකීමක් කියලා.

උපතින් මුස්ලිම් ජාතිකයෙකු වුනත් අහලා තියෙන විදිහට විශ්ව විද්යාලයෙන් සිංහල භාෂාවට ගෞරව සාමාර්ථයක් ලබා ගීත රචනයට එක් වුනු නිලාර් එන් කාසිම් එදා අනෙක් කිසිම ගීත රචකයෙක්ට ගී තනු නිර්මාපකයෙක්ට ගායකයෙක්ට ගායිකාවක්ට කොටින්ම කිසිම සංගීත ශිල්පියෙකුට චෝදනා නොකර අපි අපිට තම තමන්ට හැඟෙන දැනෙන තරම අනුව ගීතයක් රසවිඳෙන්නේ කොහොමද කියලා බොහොම සරලව සුමටව විනාඩි කීපයක කාලයක් අරන් කියලා දුන්නා.

ගීතය ගයන්න - වැයන්න පෙර හෝ පසු විනාඩියකින් දෙකකින් ඒ කරපු පැහැදිලි කිරීම කොහොමටවත් සමහර කථිකයින්ගේ වගේ නීරස කියවිල්ලක් නොවෙයි. හරිම අරුත්බර, එක වචයක් වත් ඇහුනේ නැති උනොත් කියල ලෝභ හිතෙන සුන්දරම සුන්දර පැහැදිලි කිරීමක්.

QSUM එකෙන් මේ වසරේත් ඒ සුපිරි අත්දැකීම ප්‍රමාන සමීක්ෂක හිතවතුන්ට පමනක් සීමා නොකර ඔවුන්ගේ හිතවතුන්ටත් හිතවතුන්ගේ හිතවතුන්ටත් ලබා ගන්න පුලුවන් ආකාරයට ඉඩ ප්‍රස්තා සලස්වලා තියෙනවා.

ඉතින් එක්සත් අරාබි එමීරයේ ඉන්න මගේ සියලුම කලාකාමී මිතුරු මිතුරියන්ට මම ආරාධනා කරනවා මේ මහඟු අවස්ථාව අපතේ නොහැර ඔබත් ඒ අපූර්වතම සංගීත අත්දැකීම විඳගන්න එන්න කියලා.

ගායනය: කරුණාරත්න දියුල්ගනේ සහ නෙලූ අධිකාරී
සංගීතය: මහින්ද බන්ඩාර, කපිල පූගල ආරච්චි සහ අපේ දුෂාන්(දුමී), දර්ශන, රජීව් ප්‍රබුඛ අකනිටා වාදක මඬුල්ල
මෙහෙයවීම: ගිය වසරේම පරිදි නිලාර් එන්. කාසිම්

දවස: සැප්තැම්බර් 19 වෙනි සිකුරාදා සවස 6 සිට.
තැන: ඩුබායි ට්‍රේඩ් සෙන්ටර් වටරවුම අසල එච්. හෝටලයේ
රාත්‍රී ආහාරයත් ඒ සමඟ රසවිඳින්න පුලුවන්. සහ පොඩ්ඩන් වෙනුවෙන් කිඩ්ස් කෝනර් එකක් පවා සකස් කර තිබෙනවා.
මිල - වැඩිහිටියන් සඳහා ඩිරාහ්ම්ස් 150/- පොඩ්ඩන් සඳහා ඩිරාහ්ම්ස් 75/-

සංදර්ශන වල මිල ගනන් ගැන අපි මේ ලඟදී නිවාඩු ගිහින් ආපු යාලුවෝ කීප දෙනෙක් එක්ක කතාවක් ගියා.

ලංකාවේ බොහෝ සංදර්ශන වල මේ දවස් වල මිල ගනන් රුපියල් 5,000/-, 10,000/- 15,000/-. ඒ වගේම ඒවා බලන්න සෙනඟ අඩුවකුත් නෑ කියලා ඔවුන් කියන්නේ.

ලංකාවේ සංදර්ශන ගැන ෆේස්බුක් එකේ දකින් අපි මෙහේ ඉඳන් මැරෙන්න හදනවා අපරාදේ ලංකාවේ හිටිය නම් ඒවා බලන්න යන්න තිබ්බනේ කියලා . .

ඒත් මෙහේදි හොඳ ප්‍රසංගයක් තියෙන වෙලාවට ෆයිව් ස්ටාර් හෝටලේක කෑමකුත් එක්ක ටිකට් එක ඩිරාහ්ම්ස් 100 - 150යි කිව්ව ගමන් හෆොයි ගාන වැඩී කියලා හිතලා නොගිහින් ඉන්නවා.

අන්තිමේදි මෙහේ ඉන්න නිසා ලංකාවේ ඒවා විඳලත් නෑ ගාන වැඩී කියලා මෙහේ ඒවා විඳලත් නෑ . . . ඒක නිසා කවදාවත් මෙහේදි ලබා ගන්න පුලුවන් (තමන් කැමති ජාතියේ ) කිසිම සංගීත ප්‍රසංග අත්දැකීමක් අතාරින්න හොඳ නෑ කියලා අපි කතා වුනේ . .

මේ පෝස්ට් එක දුමියා ශෙයා කලාට පස්සේ මට හිතුනේ මේ ප්‍රසාංගික කර්තව්‍යයේ සංගීතය සපයන අය ගැන කෙටියෙන් හෝ කියපු නැති එක ලොකු අඩුවක් කියලා.

මේ වගේ උසස් රසවින්දනයකින් සපිරි සංගීතමය වැඩසටහනකට දිවුල්ගනේ, නෙලූ වගේ ප්‍රවීන ගායක ගායිකාවෝ එනවා නම් වාදක මණ්ඩලය හැටියට ගුවන් විදිලියේ වාදක මණ්ඩලයවත් ඉන්න ඕන වගේ හැඟීමක් සමහර අයට තියෙන බව කතා බහ වලින් තේරෙනවා. ඒ වගේ අයට දැනුම් දීමක් විදිහට තව ඩිංගක් ලියන්න හිතුවා.

මේ සැරේ වාදක මණ්ඩලේට ලංකාවෙන් එන මහින්ද බන්ඩාර, කපිල පූගල ආරච්චි වගේ අය බොහෝ ප්‍රසිද්ධ වෘත්තිය සංගීත ශිල්පීන් නේ . . .


ඒත් අකනිටා වාදක මණ්ඩලයේ දුෂාන් කරවිට, දර්ෂන නාකන්දල, රජීව් ප්‍රනාන්දු, භානු බෝගොඩ, චමින්ද කොළඹමුදලි, සුරේෂ් තිලකරත්න වගේ අය සංගීත ක්ෂේත්‍රයට අහසින් වැටුනු අය නෙමෙයි. ඒ අයත් සහජ සංගීත හැකියාවක් ඇති, පාසැල් කාලයේ ඉඳන් සංගීතය හදාරලා සමහර අය වැඩිදුරටත් සංගීතය හදාරපු නමුත් වෘත්තීමය සංගීතඥයෙක් වෙනවා වෙනුවට වෙනත් ජීවන වෘත්තියක නිරතවෙන දක්ෂ සංගීත ශිල්පීන් බව දන්නේ ඔවුන් සංගීතය සැපයූ ප්‍රසංග රසවිඳපු අය පමනයි.

ඔවුන්ගෙත් ගුවන් විදුලි වාදක මණ්ඩලයේත් සංගීත හැකියාවන්හි වෙනසක් නැති බව දන්නේ ඉහතකී අයුරින් අකනිටා සංගීත කණ්ඩායම සංගීතය සැපයූ ප්‍රසංගයක් රසවිඳි අයෙක් පමනයි.

ඒ නිසා ඔබට කිසියම් කුකුසක් ඇතිනම් ප්‍රසිද්ධ ගායක ගායිකාවන් සහභාගී වන නමුත් වාදක මඬුල්ල එක්සත් අරාබියේ අකනිටා නේද කියලා . . කියන්න තියෙන්නේ දයාබර සොයුර සොයුරිය අකනිටා වාදක මඬුල්ල අකනිටා බ්‍රහ්ම ලෝකය මෙන් පට්ට සුපිරි සෙට් එකක් බවයි.


_____________________________

මෙන්න තියෙනවා අපේ ගී පැදුර ගැන නිලාර් එන්. කාසිම් ලබා දුන්නු වොයිස්කට් එකක්.

මේ තියෙන්නේ නෙලූ අධිකාරි ලබා දුන්නු වොයිස් කට් එක 

මෙන්න තියෙනවා ගිය අවුරුද්දේ අපේ ගී පැදුර වැඩසටහනේ වීඩියෝ කීපයක්



ගිය අවුරුද්දේ අපේ ගී පැදුර වැඩසටහනේ ඇල්බම් එක බලන්න කැමති අයට මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්

Wednesday, May 21, 2014

බබාට නමක් . . . !!!


බබෙක්ට නමක් දාන සීන් එක ගැන අපි ලඟදී කතාවක් ගියා.

ඒ වෙලාවේ මට හිතුනේ අපේ රටේ මේ නම් බබාට නම් දාන ක්‍රියා පටිපාටියේ මාර මෙව්වා එකක් තමා තියෙන්නේ සහ තිබිලා තියෙන්නේ කියලා.

සුද්දන්ට නම් කිසි ඊ ඊ ඊ ඊ ම අවුලක් නෑ මීට පරම්පරා හය හතකට නෙමේ දහය දොලකට කලින් දාපු නම් ම තමා තාම දන්නේ - පීටර්, සයිමන්, ක්‍රිස්ටෝපර්, කොලින්, ජේම්ස්, ජෝර්ජ් ඔන්න ඔය වගේ.

මම හිතන්නේ ඉස්සර බුදුන් බුදුවෙන්න පෙරුම් පුරන කාලෙත් එහෙම වෙන්න ඕන ඒකනේ ඔක්කෝම ජාතක කතාවල ඉන්න රජතුමා බ්‍රහ්මදත්ත වෙලා තියෙන්නේ.

රජ පවුල් වල නම් අපේ රටේත් ඒ කාලේ එහෙම වෙන්න ඇති නේහ්?

ඒකනේ ඉතිහාසය ලියපු අය අඳුන ගන්න ලේසියට 1වෙනි 2වෙනි 6වෙනි පරාක්‍රමබාහු, විජයබාහු, රාජසිංහ වගේ හඳුන්වලා ලියලා තියෙන්නේ.

ඒකට වර්තමානේ.

බබාට දාන නම මීට කලින් කිසිම කෙනෙක්ට නොතිබුනු නමක්ම වෙන්න ඕන. ෆුල්ම අන්කොමන්. 

ළමයගේ දෙමාපියන්ට, නෑදෑයන්ට, අසල්වැසියන්ට කොටින්ම ළමයට ලොකු උනාම ඌට / ඒකිට වත් උගේ / ඒකිගේ යාලුවන්ටවත් කියෝ ගන්න බැරි අන්ජබජල් නමක් උනත් කමක් නෑ අන් කොමන් නම් වෙන්න ම ඕන.

අනික් කාරනේ තමා ළමයා උපන්න ගමන් වේලපත්කඩේ බලපු කෙනා දුන්නු අකුරු වලිනම් වෙන්නත් ඕන.

අපේ ඕන් ඔය අන්කොමන් ස්ට්‍රැටජි එක ටක්කෙටම තේරුම් ගත්තු හොඳ බිස්නස් කාරයෙක් වෙච්චි අරිසෙන් අහුබුදු මහත්තයා නම් ජීවත් වෙලා ඉන්න කාලේ ගොඩේ ගොඩ ගියා.

රුපියල් 2500ක් එතුමගේ එකවුන්ට් එකට ඩිපොසිට් කලාම නමට දුන්නු අකුරු වලට මැච් වෙන නම් ලිස්ට්ම එවනවා. (මගේ සොඳුරු ත්‍රස්තවාදියා විරුල් කොල්ලගේ නම් ගත්තෙත් එහෙම්ම තමා)

ඒ නම් වල තේරුම් ටිකත් එතුමම දෙනවා. ඇත්ත බොරුද කියලා දන්නවායැ. හා හා ඒකේ තේරුම් ඒක තමා කියලා අපිත් ඉතින් නමක් දානවා. දාලා හැමෝටම කියනවා "අපි නම් ළමයට අන් කොමන් වගේම හොඳ තේරුමකුත් තියෙන නමක් දැම්මා" කියලා. :D

හැබැයි ඉතින් ඒ නම් වල තේරුම ඒ කිව්ව එකමද කියලා වෙලාවකට හිතෙනවා සමහර නම් ඇහුවාම.

මේ ලඟදී කොහෙද කතාවෙනවා ඇහුනා හෙමින්ද? කියලා නමක්.

හෆොයි ඒක ඇහුනම මට මැවිලා පෙනුනේ ඒ කොල්ලා ඇවිදින වැඩ කරන විදිහ ගැන. (නම හෙමින්ද? උනාට වැඩ සුපර් මෑන් වගේ ඩබල් එකේ වෙන්න ඇති හැබැයි)

අපි හිතාගෙන ඉන්නේ ඔය ජ්‍යෝතිෂ්‍ය සහ ගුප්ත දේවල් ගැන ඉස්සර හිටපු මිනිස්සු තමයි වැඩිපුර සැලකිල්ලක් දැක්කුවේ කියලා.

ඒත් අපේ රටේ හැබෑවට නම් වෙන්නේ ඉස්සර හිටි නූගත් මිනිස්සුන්ට වඩා දැන් ඉන්න විද්‍යාව උගත් මිනිස්සු මේ ජ්‍යෝතිෂ්‍ය සහ ගුප්ත දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න එක. හා නැද්ද??

ඒත් ඒ කාලේ මිනිස්සු නම් තිබ්බේ ඒ ඒ කාලේ සමාජීය වෙනසට සමාන්තරව කියල මට හිතෙන්නේ.

සුද්දෝ අපිව යටත් කර ගන්න කලින් රංකිරා, ඩිංගිරි, පොඩිනා, එතනා වගේ නම් තිබ්බ අය සුද්දගේ කාලෙන් පස්සේ (සුද්දගේ පාලනයේ බලපෑම තිබුනු පැතිවල විශේෂයෙන්) එක්කෝ සුද්දගේ නමම බබාට දැම්මා එහෙම නැති නම් සුද්දගේ නම අපිට කියෝ ගන්න පුලුවන් විදිහට බබාට දැම්මා. හරි සිම්පල්.

මාටින් - මාටින්ම උනා. ජෝර්ජ් - ජෝර්ජ්ම උනා. ග්‍රෙගරිස් - ගිරිගෝරිස් උනා, ඇග්නස් - ඇගිනස් උනා ශෝර්ට් කරලා ඇගිනා උනා, එලිසබෙත් සෝර්ට් කරලා එලිසා උනා. ඒබ්‍රහම් - ඒබරන් උනා, පෘතුගීසි සිඥ්ඥෝරේ - සිඥ්ඥෝ උනා.

පරන මිනිස්සුන්ගේ මේ බබාලට නම් දැමීමේ කලාව තේරුම් ගන්න අපේ අපේ අම්මගේ තාත්තා - අපේ ආතා නම් දාපු විදිහ බැලුවාම පහසුයි කියලා මට හිතිලා තියෙන්නේ.

ආතා හොඳ ජ්‍යෝතිෂ සාස්ත්‍රඥයෙක් උනාට ළමයි අටදෙනාගේ නම් දාලා තියෙන්නේ සමාජීය පරිවර්ථනයට අනුකූලව කියලයි මම කියන්නේ.

ලොකුම ලොකු අම්මා මියුරින්, දෙවෙනි ලොකු අම්මා අයිසා, ලොකු මාමා අන්දිරිස් (නැන්දට ඒ නම කැතයි කියලා කවුරු ඇහුවත් කියන්නේ මාමගේ නම ආනන්ද කියලා හිකිස්) අපේ අම්ම ජස්ලින්. මේ අය සුද්දගේ පාලන කාලෙට කිට්ටු අය - අපේ අම්මා 1945.

ඉන් පස්සේ උපන් එක මාම කෙනෙක් සෝමවීර, අනිත් කෙනා ජිනසෝම, පුංචි කල්‍යානි, පොඩි මාමා කීර්ති.

. . .. . . .. . ..

සෝමා ජයකොඩිගේ කර්නල්ගේ බිරින්දෑවරු පොතේ තැනක තියෙනවා කර්නල් දෙවෙනි සැරේ බඳින නෝනා - ධරනි ටීචර් හීන මැව්වා කියලා පුතෙක් උපන්නොත් පුතාට මනු හරි මනුජය කියලා දන්න ඕන කියලා.

ඒ වගේ අපේ ගෙදර උන්දෑත් හිතාගෙන ඉඳලා තියෙනව කොල්ලට "ශ්" හරි "ෂ" හරි අකුරෙන් ඉවර වෙන නමක් දාන්න ඕන කියලා, කොහේද අහුබුදු උන්දෑ දුන්නේ නෑනේ එහෙම නමක්.

මනු කියන නමට මමත් හරිම ආසයි. ආයි කොල්ලක් උපන්නොත් නමට අකුරු කුදගහන්න කියලා ඌට මනුජය (මිනිසුන්ගේ හිත් දිනා ගන්නා) කියලා දාන්න ඕන.

අර කලින් කිව්ව වගේ ඉස්සර හිටපු නූගත් ගුප්ත දේවල් ජ්‍යෝතිෂය විස්වාස කරපු අන්ධභක්තික මිනිස්සුන්ට වඩා ජ්‍යෝතිෂය, රොඩී වශී ගුරුකම්, මළයලි ගුරුකම්, සාස්තර, පේන, අන්ජනම් බලන ඒවට ඇබ්බැහි උනු විද්‍යාව උගත් සමාජයේ උඩුගම් බලා පීනන්න . . . .

කොටින්ම තමන්ගේ දරුවට තමන් ආසාකරන නම් දාන්න අපේ සපාට සහ සමන්තිට තිබ්බ හිතේ දහිරිය අපිටත් තියෙයිද බලමු හහ් . . . !!

. . .. . .. 

බබාට නම් කියලා ගූගල් සර්ච් කලාම ආවේ ඔය උඩින්ම තියෙන ෆොටෝ එක. ඒකේ ඔයිට වඩා නම් ගොඩක් තියෙන පින්තූරයක් ආවා ඊමේල් වලින්. ඒක හොයා ගන්න නෑ අප්පා

. . .. . ..

අහ් කියන්න බැරි උනා . . බ්ලොග් එකේ උඩින්ම මම චන්ද විමසීමක් දැම්මා පොඩ්ඩක් ඒකට ත් සපොර්ට් එකක් දීල යන්ට ඈ 

Thursday, April 24, 2014

අපේ සැටලයි එක.

ඊයේ පෙරදා ෆේස්බුක් එකේ දැක්කා මෙදා සැරේ බස්නාහිර පලාත්සභාවේ වීඩියෝ එකක්. ඒකේ තිබුනේ සභාවේ චන්ද විමසීමක් අතරතුර එක මන්ත්‍රී කෙනෙක් වට පිට බල බල කොලේකින් කාක්කෙක් හදලා විදින සීන් එකක් ඔව් ඔව් යකෝ අර අපි දෙකේ තුනේ පන්තිවල ඉන්නකොට විදපු කාක්කෝ හෙවත් රොකට් එකක් තමා . .

ඒක මම මගේ ෆේස්බුක් එකේ ශෙයා කලේ "රොකට් රෝහිත මේක දැක්ක ගමන් තාත්තට කියලා මේ යකාව ගන්නවා පලාත්සභාවෙන් පාර්ලිමේන්තුවට . . . " කියලා පොඩි කෙටි සටහනක් දාලා.

ඒ වෙලාවේ හිතුනා කෝ යකෝ අර ලංකාවේ අපි යැව්ව සැටලයිට් එක කියලා පෝඩ්ඩක් හොයලා බලන්න . . .

මෙන්න වදේ ගූගල් කලාම එනවා ශ්‍රී ලංකා මිරර් කියන සයිට් එකක විස්තරක් "ලංකාවෙන් එහෙම එකක් යවලා නෑකියලා විද්‍යාත්මක කටයුතු පිළිබඳ ඇමති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. කියලා පෝස්ට් එකක්

"පසුගිය වසරේදී ශ‍්‍රී ලංකා රජය චීන සමාගමක් හා එක්ව චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කලේ යයි පැවසුවද එවැනි චන්ද්‍රිකාවක් ශ‍්‍රී ලංකාව අභ්‍යවකාශ ගත කර නැතැයි විද්‍යාත්මක කටයුතු පිළිබඳ ඇමති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.


ඔහු මේ බව පැවසුවේ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් සී පෙරේරා විසින් අසන ලද ප‍්‍රශ්ණයකට පිළිතුරු ලෙසය.


අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කර ඇත්තේ චීනයේ හා ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික සමාගම් දෙකක් එවැනි කටයුත්තක් ක‍්‍රියාත්මක කර ඇති බවයි.


2012 නොවැම්බර් 27 දා සවස චීන වේලාවෙන් 6.13 ට චීනයේ සීචුඇන් ප‍්‍රදේශයේ ඇති සිචැන්ග් චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට චයිනාසැට්-12 නම් මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කළ බවද, එය නිවැරදි කක්ෂයට ළඟා වූ බව සහ චන්ද්‍රිකාව නිවැරදිව කි‍්‍රයාක්මක වන බවද චීන නිල ප‍්‍රවෘත්ති සේවය වන සිනිහුවා ප‍්‍රවෘත්ති සේවය පසුදා වාර්තා කළේය.


එය චයිනා සැටලයිට් කොමියුනිකේෂන් සමාගමේ 13 වැනි වානිජ චන්ද්‍රිකාව වන අතර ආසියාව, අපි‍්‍රකාව සහ යුරෝපයේ සේවාදායකයන්ට මෙයින් සේවා ලබා ගත හැකි බවද පැවසිණ.


ප‍්‍රංශයේ තේල්ස් ඇලීනියා ස්පේස් ආයතනය නිෂ්පාදනය කළ චන්ද්‍රිකාව ලෝන්ග් මාර්ච්-3ඊ නම් ප‍්‍රවාහන රොකට්ටුව ආධාරයෙන් අභ්‍යාවකාශගත කර තිබිණ. එය ලෝන්ග් මිර්ච් ප‍්‍රවාහන රොකට් මාලාවේ 173 වැනි ගුවන්ගත කිරීම වෙයි.


මෙය ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාවක් බව ආණ්ඩුවේ මාධ්‍ය වාර්තා කර තිබුනද, මෙම චන්ද්‍රිකාව සහ ශී‍්‍ර ලංකාව සම්බන්ධයක් පිළිබඳව චීනය නිකුත් කළ පුවත් වාර්තාවේ සඳහන් නොවින."


ආච්චිගේ රෙද්ද

යකෝ මේක පුදුම අපහාසයක්නේ . . . මේ හාල් පාරු අපිට නෙමේ අපේ රටේ ප්‍රධාන පුරවැසියගේ බාල පුතාට මේ අපහාසේ කරන්නේ.

එතකොට අර වීඩියෝ ප්‍රෝගෑම් පුරා රෝහිත පුතා කිව්ව මහා ලොකු වියදමක් දරලා යැව්වේ ආච්චිගේ රෙද්දද?

බොරු නම් බලපල්ලා මේ වීඩියෝ එක



අනික ඒ වෙනුවෙන් සෑහන ගානක් වියදම් කරලා ඔෆීසියල් සිංදු හිටන් හැදුවනේ.

ඔව් ඔව් බන් අර මිනිස්සු උඩ බලන් ඉන්න සීන් තිබ්බ වීඩියෝ එක තමා. බාතිය සන්තුෂ්ලානේද ඒක කලේ. . .
මේ තියෙන්නේ ඒ වීඩියෝ එක


මේ විදිහට ජනාදිපතිගේ පුතාට රටේ ප්‍රවීන ගායකයන්ට අපහාස කරන්න ඇමතිලට බලය දුන්නේ මොකාද?

මම නම් කියන්නේ ඒක තනිකරම ජාත්‍යාන්තර කුමන්ත්‍රණයක් . . අපි මේවට එරෙහිවෙන්න ඕන . . සිරි ලාංකිකයෝ විදිහට අපේ දේවල් අපේ තාක්ෂණය අගය කරන්න ඕන . . 


ඒක නෙමේ ප්‍රශ්නේ කෝ බන් හැබෑට රෝහිත යවපු සැටලයිට් එක?

අහ් මේන් ඉන්නවා අර කාක්කෝ යවපු මන්ත්‍රී . . .

මේන් තියෙනවා කාක්කෝ ගහපු වීඩියෝ එක . . 



රොකට් ගැසීම අවුරුදු ක්‍රීඩා වලට එකතු කලොත් මොකද කියලා චාමියා කිව්වහමයි මතක් උනේ මේ අවුරුදු ක්‍රීඩාවක් උනු හොඳම හිනාව වීඩියෝ එකත් මේකට එකතු කරන්න. රෝහිත මල්ලිගේ සැටලයි එක ගැනත් මේකේ කෑල්ලක් තියෙනවා. උඹලා පෝස්ට් එකවත් අනිත් වීඩියෝ වත් නොබැලුවත් කමක් නෑ මේ වීඩියෝ එක බලහල්ලා . . .

Wednesday, April 2, 2014

ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී . . . !!


පහුගිය කාලේ ෆේස්බුක් එකේ පොඩි සංවාදයක් ගියා. ඒකේ විෂය උනේ මහාචාර්‍ය සුනිල් ආරියරත්න මහතා විසින් රචිත, නන්දා මාලනිය විසින් සංගීතවත්කොට ගායනා කරන “සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ” ගීතයෙන් කියවෙන වයසක දෙමාපිය යුවලකගේ ආදරණීය ඉල්ලීම එහෙම ආදරණීය ඉල්ලීමක් නොව චෝදනාකාරී අඬවැඩියාවක් බවයි.

අවාසනාවට මට ඒ සංවාදයට ප්‍රායෝගිකව එක්වෙන්න බැරි උනත් ඒ සංවාදයේ ගොඩක් කොමෙන්ට්ස් කියෙව්වා. සිංහලෙන් ටයිප් කරලා මගේ අදහසත් එතනදී සාකච්චා කරන්න ඕන කියලා හිතුනත් ඒ දවස්වල තිබ්බ අවිවේකී බව නිසා ඒක කරන්න බැරි උනා. දැන් ඒ සංවාදය ආපහු සොයන්න ලේසි වෙන එකක් නෑ කියලා හිතෙන නිසා මට එදා කියන්න ඕන උනු දේවල් මගේ බ්ලොග් එකේ වත් ලියන්න ඕන කියලා හිතුවා.

ඔක්කෝටම කලින් සිංදුවේ වචන ටික කියෝලා සිංදුව අහලා ඉමුකෝ . .

සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරුපිරිවර මැද සුවසේ
ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ
මං විතරයි තනියෙම දැන් මගේ නිවසේ . .

නුඹලගේ තාත්තා ඇත දුර බලාගෙන
කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
වේවැල් කැඩුනු පුටුවේ වක ගසාගෙන
මං ඉන්නවා නෙතු කඳුලැලි දරාගෙන

දරුවන් ඇඳුම් ඇඟලුම් ගෙන සිඹින්නේමී
මනසින් එදා කෙලි සෙල්ලම් දකින්නෙමී
මරණයේ දොරකඩට සපැමින සිටින්නෙමී
ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී . .



මතක හැටියට එතනදී අදහස් දක්වපු බොහෝ දෙනෙක්ගේ අදහස උනේ ගොඩක් දෙමාපියන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ වැරැද්ද කරන බවයි කෙටියෙන් කීවොත් මේ පහත ආකාරයේ නෝක්කාඩු වයසක දෙමාපියන් විසින් දරුවන්ට සිදු කරන බවයි.

වයසක අපි ගැන උඹලා බලන්නේ නෑ;
උඹලා පොඩි කාලේ අපි අපි හැම දේම කැප කලේ උඹලා වෙනුවෙන් ඒත් උඹලට අපිව බලන්න එන්න වත් වෙලාවක් නෑ;
ලේ කිරි කරලා, ගූ හුජ්ජ අතගාලා හදපු දෙමව්පියන්ට වඩා කොහේවත් ඉන්න උන් උඹලට ලොකු උනා එහෙනම්;

ඒ කතා මොනවා උනත් මට නම් මේ ගීතය ඇහෙද්දී දැනෙන්නේ පුදුම දුකක්. අහන්න එපා ඒ දුක ළමයි නිවාඩුවට ගෙදර එනකම් බලන් ඉන්න මගේ අම්මා තාත්තා ගැනද කියලා.

මම හිතන්නේ මම දුක් වෙන්නේ මම ගැන.

මේ සිංදුව ඇහෙන හැම මොහොතකම මට මැවිලා පේන්නේ පුංචි කාලේ ආදරෙන් ඉඹ ඉඹ හදපු දරුවෝ කොයි වෙලේල අපිව බලන්න එයිද කියලා හාන්සි පුටුවක වක ගැහිලා බලන් ඉන්න වයසට ගිය මාව. විසි කරන්න ලෝබ කමට අල්මාරියේ කොනක හංගගෙන ඉන්න විරුල් පුංචි කාලේ ඇඳපු ඇඳුමක් ඉඹ ඉඹ පුතාගේ පුංචි කාලේ දඟ වැඩ හිතෙන් මවාගෙන එහෙම නැති නම් පුංචි කාලේ වීඩියෝ එකක් බලාගෙන ඇස් දෙකේ ලොකු කඳුලු බෝල පුරෝගෙන ඉන්න මගේ ගෙදර උන්දෑව . .

අර දෙමාපියන්ගේ චෝදනා ගන චෝදනා කරන අයගේ හිතේ කොනක හරි තියෙනවා ඇති කියලා මට හිතෙනවා "දෙමාපියෝ දරුවෝ හදන්නේ අනාගත ආයෝජනයක් විදිහට වෙන්න ඇති" කියලා කරන උපකල්පනය.

ඒත් මම නම් කියන්නේ ඒක එහෙම නෙමේ කියලයි.

කලින් ජෙනරේෂන් වල් නම් මම දන්නේ නෑ අලුත් ජෙනරේෂන් එකේ නම් දෙමාපියෝ දන්නවා රටේ ලෝකේ ආර්ථිකේ යන විදිහට ළමයින්ට දෙමාපියන් ලඟට වෙලා බේබි සිටින් අහ් නෑ පේරන්ට් සිටින් කරන්න බෑ උන්ට උන්ගේ ලොකේ හොයාගෙන දෙමාපියෝ ජීවත් වෙන රටේ වෙන දුරකට හරි නැති නම් ලෝකේ වෙන කොහේ හරි රටකට හරි යන්න වෙනවා කියලා .

අක්කගේ ළමයින්ට බේබි සිටින් කරන්න මම ගියේ ඒ ලෙවල් කරද්දී . . ඒ ලෙවල් පස්සේ අවුරුදු 2ක් ඉන්ග්‍රීසි ක්ලාස් එකකට ගියා මිඅක් කිසිම දෙයක් ඉගෙන ගන්නේ වත් නැතුව අක්කගේ ළමයි බැලුවා. නංගිත් එහෙමයි. ඒ කියන්නේ එක අතකින් අක්කගේ ළමයින්ට මායි නංගියි දෙමාපියන්ම තමා.

මම ඉතිං මැදපෙරදිගනේ, අක්කගේ ලොකු එකා ඒ ලෙවල් කරද්දී ඉස්කෝලේ වලියකට බොරැල්ලේ චන්ඩි වගයක් ගහන්න ඇවිත් නංගී උන් එක්ක මාර ගේමක් ඉල්ලුවා."මුන්ව ඇහේ තියාගෙන හදලා එක එකාගෙන් ගුටි කන්න දෙන්න කොහොමද බන්" මොකට ඔය චන්ඩි එක්ක හැප්පෙන්න ගියාද කියල අපි නංගිට බැන්නම ඒකි කිව්වේ එහෙම.

උන් නිසා තමයි අපි ඉගෙන ගත්තේ අපි ළමයි හැදුවේ අනාගත ආයෝජයනකට නෙමේ කියලා . . . දැන් උන් උන්ගේ ලෝකවල. අපිට කෙනෙහිලි කමක් කලොත් බනිනවා මිසක් අපි උන්ගෙන් මෙලෝ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ . .

ඒත් දෙමාපියන්ට දරුවෝ මොන තරම් ලොකු උනත් වයසට ගියත් උන් දරුවෝමයි. අක්කගේ ළමයි අපිට වඩා ලොකු උන් උනාට අපි තාම ආසයි උන්ව පොඩි කාලේ බදාගෙන හුරතල් කලා වගේ තුරුල් කරන් ඉන්න. අපි දැන් පොඩි උන් නිසා මගේ පුතාව නංගිගේ පොඩි උන්ව නදීෂගේ නංගිගේ පොඩි උන්ව තුරුල් කරන් හුරතල් කරනවා. මුන් වයසට ගියත් දෙමාපියන් විදිහට ඒ විදිහටම හුරත කරන්න තියෙන ආසාව නැතිවෙයි කියලා මම නම් හීනෙන් වත් හිතන්නේ නෑ.

ළමයින්ටත් හිතෙන්න පුලුවන් "මොන සමයංද අපිත් දැන් ලොකු එවුන්" . . "ලැජ්ජ නැද්ද හුරතල් වෙන්න" . . "මිනිස්සු දැක්කොත් හිනා වෙයි" . . .කියලා ... එතනදී දෙමාපියන්ගේ හිතේ අර අසාව ඉෂ්ඨ කර ගන්න බරි දුක එලියට එන්නේ නෝක්කාඩුවක් විදිහට කියලයි මට හිතෙන්නේ . ..

දකින උන්ට ඕන බන්බුවක් හිතාගන්න කියන්න . . . තමන් කොයි තරම් වසක උනත් කමක් නෑ වයසක අම්මා තාත්තා ගාවට ගියාම ඒ අය අපි පොඩි කාලේ හුරතල් කරපු විදිහට . . අපි අපේ පොඩි උන්ව හුරතල් කරන විදිහට හුරතල් කරන්න ඒ අයට ඉඩක් දෙන්න . . . 

"සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ" කියලා අම්මලා කියන්නේ නෝක්කාඩුවක් නෙමේ "ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී" කියන්නේ අනේ මැරෙන්න කලින් ආයි සැරයක් අර උඹලා පුංචි කාලේ හුරතල් කලා වගේ කරන්න තිබ්බා නම් කියන දුක්බර ප්‍රේමනීය ඉල්ලීම මිසක් වෙන මොකක් වත් නෙමේ . . .


Pic from: http://diyhealth.com/myths-about-aging.html

Tuesday, January 28, 2014

අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . .



අද වැඩ ඇරිලා එන ගමන් මුත්තුසාමි සංගීතවත් කරපු මෝහන් රාජ්ගේ මධුරයාමේ සීඩී එක තමයි අහ අහා ආවේ . . ..

ඒකේ එක සිංදුවක් අහද්දී මට එක පාරටම හිතුනේ මේක මේ මහින්ද මහත්තයා ජනාධිපති වෙච්චි වෙලාවේ කියපු සිංදුව නේද යකෝ කියලා . . .

අහල බලපල්ලකෝ . . . මේ තියෙන්නේ මහින්ද මාත්තියාගේ ලිරික්ස් ඈ . . .

අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . .
අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . .

සිතුවා වගේ කොමිස් කතෑකී මින් පස්සේ සිතුසේ . .. .
සිතුවා වගේ කොමිස් කතෑකී මින් පස්සේ සිතුසේ . .. .

අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . .

හොඳට ගැහුවට කවදාවත් නෑ මුන්ට තේරෙන්නේ . .
හොඳට ගැහුවට කවදාවත් නෑ මුන්ට තේරෙන්නේ . .

අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . .

සිතුවා වගේ කොමිස් කතෑකී මින් පස්සේ සිතුසේ . .. .

චීනෙන් අරගෙන වංගුව ගහලයි කාලේ ගෙනියන්නේ . .
චීනෙන් අරගෙන වංගුව ගහලයි කාලේ ගෙනියන්නේ  . .

අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . .

ජිම්බිරින් ජිකින් බිකින් . . ජිම්බිරින් ජිකින් බිකින් . .

දෙවියන්ගේ බැල්ම අපිට වැදිලා තියෙනවා . .
අපේ පවුල ඉක්මනටම දියුනු කරනවා . .
දෙවියන්ගේ බැල්ම අපිට වැදිලා තියෙනවා . .
අපේ පවුල ඉක්මනටම දියුනු කරනවා . .

ජිම්බිරින් ජිකින් බිකින් . . ජිම්බිරින් ජිකින් බිකින් . .

කාලා බීලා ජොලිකරලා ඉන්නකම් අපී . .
ඉන් පස්සේ හපේ මුන්ට දීලා යතහැකී . ..
කාලා බීලා ජොලිකරලා ඉන්නකම් අපී . .
ඉන් පස්සේ හපේ මුන්ට දීලා යතහැකී . ..

ෆිල්ම් වලින් ගොන්නු ටිකක් ගෙනත් දුන්නැකී . .
මුන්ගේ චන්ද ඉන්පස්සේ නිකම් ගත්තැකී . . .
ෆිල්ම් වලින් ගොන්නු ටිකක් ගෙනත් දුන්නැකී . .
මුන්ගේ චන්ද ඉන්පස්සේ නිකම් ගත්තැකී . . . . . .

අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . .
අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . .

සිතුවා වගේ කොමිස් කතෑකී මින් පස්සේ සිතුසේ . .. .
සිතුවා වගේ කොමිස් කතෑකී මින් පස්සේ සිතුසේ . .. . . . .

http://www.youtube.com/watch?v=gioUWwm3T04

කාලෙකින් ලිව්වෙත් නැති එකේ නිකම් ජොලියට වගේ ලිව්වේ ඈ . . වැඩිය සීරියස් ගන්න එපා . . . හිකිස්

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails