UAE Sri Lankans Events

Thursday, December 29, 2011

අපි ගිරවුන්ට ආදරය කරන්නෝ වෙමු . . .!

පහුගිය 9 වෙනිදා හදිසියේම ලංකාවට ගියේ සති ගානක ඉඳන් පුහුනුවීම කලත් හරියටම දවස සහතික නොකල පුතාගේ පෙර පාසැලේ වාර්ෂික ප්‍රසංගය 10 වෙනිදාට කරන්න සහතික කරගත් බව අපේ ගෙදර උන්දෑ දන්වපු නිසයි.

මගේ සොඳුරු ත්‍රස්තවාදියටයි ගෙදර අය හැමෝටමයි බොහෝම සතුටුයි ඉතිං.

කොල්ලා කලින් ගිය පෙර පාසැල ට වඩා හොඳ එකක් ගෙවල් ලඟම තියෙනවා කියලා දැනගෙන අපේ ගෙදර උන්දෑ මීට මාස දෙක තුනකට කලින් ඒකට කොල්ලව දාලා.

"ඒක පොෂ් තැනක් නෙමෙයි ඒයි . . ඒත් එතන ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා" කිව්වේ ටිකක් සැකෙන් වගේ.

"මගුලක් කතා කරනවා . . මොන පොෂ්ද . . . කොල්ලට සමගියෙන් සෙල්ලම් කරන්න, අත්වැඩ කරන්න උගන්වනම් ඒ හොඳටෝම ඇති" මම කිව්වේ හිනා වෙවී.

ගිය දාට පහුවදාම උත්සවේ තිබ්බා.

ලාංකීය අභිමානයට සුපුරුදු පරිදි පටන් ගන්න හිටි වෙලාව පහුවෙලා තමා පටන් ගත්තේ.

අපේ කොල්ලා මේ පෙර පාසලේ මාස දෙකක් වගේ පොඩි කාලයක් උනාට නැටුම් ගැයුම් අංග අටකට තෝරගෙන.

තෝරගෙන නෙමේ මේකා බලෙන්ම වගේ ගිහින්.

නැටුමකට කට්ටිය එක්කගෙන යනකොට මේකා අහනවලු "ටීච, විරුල් එන්න එපාද?" කියලා. ටීචර්ට පුලුවන්ද එපා කියන්න. මේකා නම් පුදුම එකෙක්.

මතකයිනේ කිව්වා මේ තරම් හුරතලයක් ඇති එකෙක් මම තාම දැකලා නෑ කියලා. (මගේ එකා හින්දා කියනවා නෙමේ . . මූව දන්න අය ඔක්කෝම ඒ බව දන්නවා)

උත්සවේ නැටුම් ගැයුම් නාට්‍ය අංග 25ක් 30ක් විතර තිබ්බා.

වැඩ සටහන් අතරතුර දරුවන්ට ඇඳුම් මාරු කරගන්න ඉඩ සලස්වල දෙන්න ආරාධිත අමුත්තන්ට පොඩි පොඩි කතා පවත්වන්න ඉඩ දීලා තිබ්බා.

එක් විශ්‍රාමික විදුහල්පතිවරයෙක් (මයික් ටයිසන් කෙනෙක් - දාඩිය දාගෙන, ළමයි බඩගින්නේ, දාඩිය දාගෙන ඉන්න අස්සේ අම්මෝ ඒ මනුස්සයගෙන් මයික් එක ආපහු ගන්න වින්ද දුකක්) මේ පෙර පාසැල් අධ්‍යාපන (ඒ පෙර පාසැලේ) ක්‍රමය වැරදි බව කියනවා.

නැටුම් ගැයුම් වගේ දේවල් වලින් ළමයින්ට වැඩක් නැතිය.

දරුවන්ට පොත් පත් කියවන්න, ගනන් හදන්න පෙර පාසැලේ සිටම පුහුනු කරවිය යුතුය.

ආදී විදිහට මේ දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් ඉස්මතු කිරීමට වඩා පෙර පාසැලේ සිට දරුවන් ගිරව් කල යුතු බව ඇඟවෙන විදිහට ඒ ගුරුවරියන් දෙදෙනාගේ මහන්සිය සහ කැපවීම තුට්ටු දෙකට දමා කල කතාවෙන් . . .

ගැබිනියක් වූ (ගැබිනි බව ත් නොසලකා උපරිමයෙන් වෙහෙස මහන්සි වී ඉගැන්නුම් කල-කරන) තරුණ ගුරුවරියගේත් පුද්ගලික වැඩ රාජකාරී පවා ඉවත දමා දරුවන් වෙනුවෙන් කැපවෙන මැදි වයසේ ගුරුවරියගේත් හිත් රිදුනු බව අප දැන ගත්තේ පසුව.

ගුරුවරියන් දෙදෙනාට සහ උත්සවය සංවිධානය කල සියලුම දෙනාට ස්තූති කරන්න කතාවක් කරන්න ඇහැක්ද කියලා පේ ගෙදර උන්දෑ ඇහුවා.

යාලුවෝ එක්ක සහ බ්ලොග් එකෙන් පොර ටෝක්ස් දුන්නට සභාවක් මැද්දේ කතා කරන්න බැරි කකුල් මැඩ්ලින් ගහන ලෙඩක් තියෙනවා වුනත් ඕ පූ කියලා හා කිව්වා.

කකුල් මැඩ්ලින් ගහ ගහ මොනව කිව්වාද කියලා මතක නම් නෑ . . ඒත් මට කියන්න ඕන වුනේ මේන් මේ පහල තියෙන ඒවා කියලා නම් මතකයි.

අපි හැමෝම කැමති ගිරව් වගේ පොත් කටපාඩම් කර විභාග සමත්වන දරුවන්ටයි.

අපි දරුවන් ස්කෝලේ, ස්කෝලේ වෙලාවෙන් පස්සේ සහ සති අන්තවල අතිරක පන්ති යවමින් කරන්නේ ඔවුන් ගිරවුන් අතරින් හොඳම ගිරවා කිරීමටයි.

අපේ අධ්‍යාපන ක්‍රමයෙන් මෙසේ ගිරවුන් ලෙස පුහුනු කල අපි පාසලින්, සරසවියෙන් පිටවී රැකියාව කරද්දී මැරෙන තුරු හැමදාම එකම දෙයක් පමනක් කරමින් සිටිනෙමු.

ඒ කරන දේ සම්බන්ධව අපි උපරිම දක්ෂයෝ වෙමු.

ගිරව් ලෙස නොවී සෞන්දර්ය, නව නිර්මාන, සබකෝලය නැති ඉදිරිපත්වීම් ඇති හැම පැත්තක්ම ස්පර්ෂ වෙන පරිදි උගත්කමක් ලැබිය හැකි අධ්‍යාපන රටාවකට උගත් අයෙක් අර දක්ෂයා ලවා මරව මරවා වැඩ ගෙන කලමනාකරුවෙකු ලෙස හෝ ආයතනයක අධ්‍යක්ෂක වරයෙක් ලෙස ඉදිරියට යනු ඇත.

බොහෝ විට පිටරටක ගොස් රැකියා කරද්දී මේ කලමනාකරුවා හෝ ලොක්කා බටහිර ජාතිකයෙක් විය හැකියි.

රැකියාව සම්බන්ධයෙන් වුවත් ඔහුගේ දැනීම බොහෝම අල්ප විය හැකියි.

නමුත් ලොක්කෙක් ලෙස ඉදිරියට යන්නට ඔහු සතු වූ දේ සහ විෂය සම්බන්ධව ඉතා විශාල දැනීමක් අප සතු වුවත් ලොක්කෙක් වීමට අප සතු නොවූ දේ මොනවාද?

මා කලින් වැඩ කල ආයතනයේ නෙදර්ලඩ් ජාතික ගණකාදිකාරිනිය කීවේ ඇගේ දරුවන් කෙදිනක වත් පෙර පාසැල් නොයැවූ බවත් ඔවුන්ගේ ළමා කාලය සෙල්ලම් කරමින් සහ නිවසේ සිට චිත්‍ර ඇඳීම ආදී අත්වැඩ සඳහා පමනක් ඔවුන් යොමු කල බවය.

ඇගේ දරුවන් වර්ථමානයේ උසස් ලෙස විභාග සමත් වෙමින් සිටින බැව් මීට වසර කීපයකට පෙර ඈ පවසන ලදි.

පෙර පාසැල් අධ්‍යාපනය ගැන කතා කරනවනම් මගේ හැඟීම නම් දරුවන් මේ පහල ක්‍රියාකාරකම් පමනක් කලාම හොඳටෝම ඇති කියායි.

අනෙක් දරු උදැරියන් සමඟ සාමූහිකව රන්ඩු දබර නොවී ක්‍රීඩා කරන්න ඉගෙන ගැනීම.

ක්‍රීඩාවකින් ජය පරාජය දෙකම පිලිගත යුතු බව ඉගැන්වීම.

පසු කාලෙක සංස්කෘතිකමය දේවල අගය වටහා ගන්න පහසු කරනු වස් චිත්‍ර, ගායනය, වාදනය, රංගයන සහ නර්ථනය ඉගැන්වීම. (කලාව හිතට දැනන අය සංවේදී අය නිසා දුක සැප හොඳ නරක ආදියට සංවේදී පුරවැසියෙකු බිහි කිරීමත් මේ මඟින් සිදුවේවී)

සභාවක් මැද සබකෝලය නැතුව (කකුල් දෙක මැඩ්ලින් ගහන්නේ නැතුව) කතාවක් කරන්න වෙනයම් හෝ ඉදිරිපත් වීමක් කරන්න පුලුවන් ලෙස දරුවන් හැඩගැස්සවීම.

ජීවත් වන පරිසරය සුන්දරව තබා ගත යුතු බව ඉගැන්වීම. (ටොපියක් කෑවත් කොලේ අතන මෙතන විසි නොකර කුනු කූඩෙකටම ගෙනත් දැමීම, නිදාගත්සෙල්ලම් බඩු ටික සෙල්ලම් කල පසු පිලිවෙලකට තැබීම, ඇඳේ රෙද්ද නවා තැබීම ආදිය කුඩා උන්ට ලොකු වැඩි දේ නිසා පාසැල් බෑගය නියමිත තැනක තැබීමට හුරු කිරීම ආදිය )

වැඩිහිටියන්ට ගරු කරන්න ඉගැන්වීම සහ ඒ අතරම වැඩිහිටියන් වුනත් වැරදි දෙයක් කරනවා නම් එයට විරෝධය පාන්න ඉගැන්වීම. (මොනවද සීයේ මිදුලේ හැමතැනම බුලත් කෙල ගහන්නේ . . කානුවට හරි පඩික්කමකට හරි කෙල ගහන්නකෝ කියා පොඩි එකෙක් කීවොත් ලොකු මිනිහෙක් කියනවට වඩා දැනෙනවා නේද?)

සපත්තුවේ ලේස් එක පවා ගැටගසන්න අපහසු තඩි බඩගෙඩි ඇති අය නිතර දකින්න ඇති නිසා ශරීරය පහසුවෙන් සිහින්ව තබා ගන්න ව්‍යායාම ආදිය කලයුතු බව දන්වන්න සරඹ ආදියට හුරු කිරීම.

මුලින්ම ඕනෑම කෙනෙක් බලන්නේ දකින්නේ මතුපිට පෙනෙන ඔපය නිසා දත්, නියපොතු ආදිය පිරිසිදුවට තබා ගත යුතු බව ඉගැන්වීම.

විශේෂම දේ පොත් කට පාඩම් කරන්න ජීවිතයේ පාසැල් කාලය සහ සරසවි කාලය ඉදිරියේ ඇති නිසා ළමා කාලය කෙලි සෙල්ලමින් ගත කරන්න ඉඩ ලබා දීම.

පෙර පාසැල් අධ්‍යාපන ක්‍රමය කොයි වගේ උනොත් හොඳයිද කියලා මේන් මට දැනට දැනෙන විදිහ. මේ දේවල් පෙර පාසැලෙන් වෙන්නේ නැති නම් ගෙදරදිම උනත් දරුවන්ට උගන්වන්න පුලුවන් නේද?

චිත්‍ර පොතක් - පැස්ටල් - දිය සායම් ගෙනත් දී චිත්‍ර කලාවට හුරු කරන්න පුලුවන්.

නැටුම් ගැයුම් සඳහා ගෙදරදී අම්මට, තාත්තාට, ආච්චීට හෝ සීයට උදව් කරන්න පුලුවන්.

අහල පහල දරුවන් කෙප දෙනෙක් රැස් කර සභාවක් තියා කතා පැවැත්වීම, සභාවක ගීත ගැයීම ආදිය හුරු කරන්න පුලුවන්.

උදේ ම සරඹ ටිකක් කරලා මූන හෝදගන්න කියලා උගන්වන්න පුලුවන්

එහෙම නේද?

නෑ මම කියන්නේ පෙර පාසැලේ ක්‍රමයේ ඒ දේවල් නැතිනම් ගෙදරදී හරි ඒ දේවල් දෙන්න පුලුවන් උනොත් ගිරවෙක් නැතුව නිර්මාණශීලී දරුවෙක් ලෝකට දෙන්න අපිට පුලුවන් වෙයි නේද?

පෙර පාසැල් අධ්‍යාපනය කොයි වගේ උනා නම් හොඳයි ද කියලා ඔයාලට හිතෙන හැටි පොඩ්ඩක් කියන්නකෝ බලන්න.

මගේ සොඳුරු ත්‍රස්තවාදියගේ පෙර පාසලේ උත්සවයේදී ගත්තු පින්තූර ටිකකුයි එහේදි ගන්න බැරි වුනු ඒවට ගෙදරදී ඒ ඇඳුම් අන්දලා ගත්තු පින්තූර ටිකකුයි මේ පහල තියෙන්නේ.














Wednesday, December 7, 2011

මං . . මේ මං . . . !



හාත්පස ඇදහිය නොහැකි නිස්කලංක බව හිතේ ඇති කරන්නේ නොසන්සුන්කමකි.

ඒ නිස්කලංකබව අනෝරා වැස්සකට පසු ඇතිවන අරුම නිස්කලංක භාවය මෙනි.

දෙදෙනාගේ වචන හුවමාරුවේ ගෝසාව ඒ නිස්කලංකබව මැද සුලි සුළඟක් මෙන් දෙසවන සිසාරා රැව් පිලිරැව් නඟයි.

කතාබහේ දිගුව කවුරුන් විසින් අරබන්නදෝයි සිතේ කරන පෙරලිය අනෙකාට ඇසෙයිදෝ මෙන් බියෙන් දෙදෙනාම දෙදෙනා දෙස බලාගත්වනම හුන් ආසන වලම හිරවී සිටී.

"නිරාෂා, ඔයාගේ ඔය මල ඉලව් ගායනය නවත්තලා විනෝදාංශ ඕනෙම නම් වෙන මොනව හරි කරන්න . . ., පොත් බලන්න පුලුවන්, ෆිල්ම් බලන්න පුලුවන් කොයි තරම් දේවල් තියෙනවද රටේ ලෝකේ"

නිරාෂාගේ නළලේ රැලි කීපයක් නැඟෙන්නේ ඇගේ මුවට එක්විටම ගලා ආ වදන් සීමා කරගෙන සිත් නොරිදෙන පිලිතුරක් ගොඩ නගා ගන්න කාලය ලබා ගනු වස් යැයි සහන්ට නොතේරිනිද?

"අනේ සහන්, මම හිතන්නේ මට සින්දු කියන්න හොඳ හැකියාවක් තියෙනවා, මට හොඳ කට හඬක් තියෙනවා කියලයි. අනිත් අයත් එහෙම කියනවනේ . . . අනෙක මම හරිම සතුටක් ලබන්නේ ඒ විනෝදාංසෙන් . . ඉතිං එහෙම එකේ ඇයි මම ඒ විනෝදාංශේ නවත්වලා ඔයා කැමති, ඔයා තෝරලා දෙන විනෝදාංශයක් තෝරගන්න කියලා කියන්නේ?"

අධිපතිවාදය, අනෙකා මත තම බලය පැතිරවීමට ඇති කැමැත්ත හෝ ඉරිසියාව . . . මේ සියල්ල සමඟ සම්ම්ශ්‍රණය වූ හැඟීමක් සහන්ගේ හිතට ආ නමුත් ඒ සියල්ලට ප්‍රතිවිරුද්ධ අදහසක් ප්‍රකාෂ කල යුතු බැව් ඔහුගේ හිතට නැගෙන්නේ අසුරක් ගසන නිමේෂයකින්.

"මම එහෙම කියන්නේ ඔයාට තියෙන ආදරේ නිසානේ ළමයෝ . ."

මේ දැන් මෙතන ඉන්නේ මීට මොහොතකට කලින් ගෝරනාඩු කල මිනිසාමදැයි සිතා ගත නොහැකි තරම් වූ ළාමක හඬක් කෙසේ ආරෝපනය කර ගත්තාදැයි සහන්ටම හිතුනු අතර "අනේ මේ මිනිහා මට කිසි හැඟීමක් දැනීමක් නැති එකියෙක් කියලා හිතනවද?" කියා හැඟීමක් නිරාෂාට ඇති වුනු බව සහන් සනාත කර ගන්නේ ඇගේ මුහුනේ ඇතිවී නැතිවුනු සමච්චල් සිනාව නිසාවෙනි.

සැබෑ ආදරය නම් අනෙකාගේ සතුට පතන, තමන් ආදරය කරන කෙනා සතුටු දේ ලබාගෙන සතුටු වීම දිහා බලා සතුටු වීම නොවේදැයි වාදකලේ පසුගිය සතියේය. මේ ඉක්මනට ඒ දේ අමතක වූවාද නැති නම් උවමනාවෙන් අමතක කලාද?

"මට තියෙන ආදරේ නිසා නම් ඇයි මම සතුටු වෙන දෙයක් කරනවට ඔයා ඔය තරම් අකමැති සහන්"

යලිත් ගෝරනාඩුවක් තරම් වචන හුවමාරුවකට යාමට නොරිසි නිරාෂා මතුරන්නේ සහන්ට ඇසෙන්නට නොව ඈත ක්ෂිතිජයේ කොහේ හෝ ඉන්නා හදවතේ සියුම් රිද්මය පවා හඳුනා ගත හැකි ප්‍රානියෙකුට පවසන්නාක් මෙන් නොපෙනෙන අනන්තයක නෙත මානාගෙනයි.

මං . . මේ මං . . . මං කිරිල්ලියක් . .
මං කිරිල්ලියක් තමයි . .
මේ . . මගේ පිහාටූ . .
මට ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කනගාටූ
හිත සනසවන්න හිස අතගා දෙඩුවත් චාටූ . .
තටු කපන්නේ ඇයි . . හද මවමින් අඳුරු කුනාටූ . . . .

නිල් අහස අයිති අපටයි . .
ඔව් අත්තටු ඇති අයටයි . .
මේ ගමන අලුත් ලොවටයි . .
වැට කඩුළු ලෑම නිවටයි . .

ගඟ ගලන්නේ සමුදුරටයි
ඔව් බාදක නම් එමටයි
තටු ලැබෙන්නේ පෙර පිනටයි
තටු කපන්නේ බැරි කමටයි . .
තටු කපන්නේ බැරි කමටයි . . !

ගායනය - නිරෝෂා විරාජිනී
ගී පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීත නිර්මාණය - මහින්ද බන්ඩාර


පහුගිය කාලේ දවසක් බස් රේඩියෝ එකේ කතාබස් වැඩසටහනකට මට ආරාධනා ලැබිලා ඒක විකාෂනය වෙන අතරට දාන්න මගේ ප්‍රියතම ගීත කීපයක් තෝරා දෙන්න කියපු වෙලාවේ මම තෝරපු ගීතයක් මේ ගීතය.

නමුත් වැඩසටහන අතරතුර ගූගල් බස් සමඟින් එකතු වෙලා වැඩසටහන අහපු අය බස් එකේ කොමෙන්ට් කලා අයියෝ මෙලෝ රහක් නැති සිංදුවක් මේක නම් කියලා.

මම මේ ගීයට ප්‍රිය කරන්නේ මේ ගීයේ මට විඳින්න පුලුවන් තරමේ රසයක් (අර්ථය, සංගීතය, ගායනා කරන ආකාරය) තියෙන නිසා.

එත් මේක මෙලෝ රහක් නැති එකක් කියලා කියන අය මෙකේ පදමාලාවේ අර්ථය තේරුම් අරගෙන නැති නිසා මෙලෝ රහක් නෑ කියනවා වෙන්න ඕන කියලා මට හිතුනා.

ඉතිං එදා හිතුවා වෙලාවක මේ ගීතයේ අර්ථය මට දැනුනු විදිහ ලියන්න ඕන කියලා . . .

ඉතිං එච්චරයි . . . . . !!!

අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි . . .

Monday, November 28, 2011

2025 දී . . . !


අද (29) අපේ තාත්තගේ 68වෙනි උපන් දිනය.

පොදු පෙරමුණු ආන්ඩුවක් වෙනුවෙන් උදේ හවා හීන බලපු, රැස්වීම් වල හිටගෙන හිටපු, කකුල් කෙඩෙත්තුව හැදෙනකම් පෙලපාලි වල ගියපු, අතේ තිබ්බ පිච්චියත් ඒ වෙනුවෙන් කැපකරපු . . .

ඒ හීන දකින්නා වෙනුවෙන් මේ පෝස්ට් එක වෙන් කරන්න මම කැමතියි.

මේක ඕන් තනිකරම පිස්සු ලිපියක්.

මේ ඊයේ පෙරදා දොහක රනා ලියන බ්ලොග් කියන බ්ලොග් අඩවිය ලියන රසික කොලූ එක්ක ගූගලේ කතා බහක් දොඩමින් ඉන්නැහ්ද්දී අපි දෙන්නා කතාවෙච්චි දෙයක්.

ඇත්තෙන්ම කතා වුනේ හවුල් බ්ලොගක් කොරමු කියල උනත් අර තුන්පත් රෑන හවුල් බ්ලොගක් පටන් ඇන්න වෙච්චි සංගෙදිය දන්න හින්දා ඕන එකක් සත පනහයි කියලා මම්ම මගේ බ්ලොගේ ඇහැක් විදිහට ලියා දානවා කියා හිතුවා ඕන්.

මම දන්නවා බොලා මට හිනා වෙනවා කියලා මේක කියෝලා අහක්ක උනාම . .

කාරි නෑ . . බොලා හිනා උනාට . . . . "බැරි වෙලාවත් මාලුවගේ ඇඟේ මැක්කෙක් හිටියොත්" අහ් නෑ නෑ "බැරි වෙලාවත් මේක සීරියොස් ගන්න කෙනෙක්ගේ ඇහැ ගැහුනොත්" මක්කෙයි දොඩන්නේ?

කතා වෙද්දී රනා කොලූත් කිව්වේ "බලන උන් හිනා වෙයි ඒත් කාරි නෑ බන් අපි ලියමු" කියලයි.

ඉස්කෝලේ ගිය වංගියෙන් පස්සෙන් පහුත්, රස්සාවක් කොරන ගමන් ටැක්නිකොල් කොලීජියට යන සංදියෙත් සුද්දගේ බාසාව ඉගෙන ගන්ට ගිය රෑ ඉස්කෝලේ බොරැල්ලේ ෆෙයාර් ෆීල්ඩ් ගාර්ඩොන් එකේ බාංඩාර හාමිනේ කොරපු ඉංගිරිසි පංතිය වෙච්චි.

ඒ ඇත්තිටත් බුදුන් දැක නිවන් බව අත්වෙන්ට අද මේ රස්සා කොරගෙන ඉන්න තැනක සුද්දාගේ බාසාවෙන් යාන්තමට කොටන්න ඇහැක් වෙලා තියෙනවා.

බොලාට කියන්න ඒ ඇත්ති කිව්ව සමහර දේවල් තාමත් කන්බෙර දෙකේ දෝංකාර දෙනවා . .. අම්මාපල්ලා . .

"කවදා හරි වංගියක හැබෑවෙන්ට හරි උඹලා හීන මවන්ට ඕන දරුවනේ . . . "

"හීන මවන්නේ නැතුං හීන හැබෑකිරිල්ලක් කොයි?"


ඉතිං මේ ඒ ඇත්ති කිව්ව්හේ දුකා මවාන ඉන්න හීනයක්.

හැබෑ වෙන නොවෙන එක වෙනම දෙයක්. හීන මවාන ඉන්න එක කොයි තරම්ම සුන්දර කාරියක්ද? (බොරු නෙමේ බොලල්ලා . . බොලාත් හීන මවාගෙන කාරිය බලාපල්ලකෝ)

ආරළු බූරළු ඕනැන්නේනෑ . . කතාවට බහිමු.

රනා කොලූයි දුකායි කතා වුනේ 2025දී හැබෑවටම සිරි ලංකාව ආසියාවේ ආස්චරිය වෙන්ට නම් මක්ක මක්කාද වෙන්ට ඕන වෙනස් කම් කියලා වෙනම බ්ලොගක් හදාන ලියමු කියන එකයි.

කියෝන උන්ටත් උන්ට ඒ ගැන උන්ට හිතෙන දේ ලියාලා පෝස්ට් එකක් විදිහට දාන්ට අවසර දෙමු කියලයි කතාවුනේ.

කලින් කිව්වැහේ හවුලේ කැඳ හදන්න ගිහින් ආඬි හත්දෙනාගේ කැඳහැලිය වගේ වෙයි කියලා හිතාන 2025දී සිරි දේසේ ආසියාවේ හොඳම රටක් කොරන්න නම් මේ මේ දේවල් කලොත් හොඳා කියලා හිතෙන එව්වා මගේ බ්ලොගේම 2025දී කියලා ලේබොලයක් හදාන ලියන්න මම් හිතුවා.

හරි ඕන් . . මේන් මට හිතෙන පලමු දේ.

අපේ සිරි දේසේ පොරොඩක්ටිවිටි (Productivity) එක හෙවත් ඵලදායිකත්වය නම් අන්තිමයි නෙමේද?

රාජකාරියකට ආන්ඩුවේ ඔපීසියකට ගෙහුන් බලන්ට.

කාකාස ගේ ඉඳන් ඔපිසර රාළහාමි හෝ රාළහාමිනේ වෙනකම් අය ඉන්නේ නොරිස්සුමෙන්.

ඔපිසරලට පඩි නඩි ගෙවන්නේ අපි හාල් තුනපහේ ටිකෙනුත් ආන්ඩුවට ගෙවන බදු කාසි ඔලින් වුනත්, වැඩක් කොරගන්ට ලඟට එන එකා දිහා ඒ අය බලන්නේ ඒ උන්නේ කැවුත්ත කන්ට ආපු උන් දිහා බලනවා වගේ.

විනාඩි දහයෙන් කොරගන්න ඇහැක් වැඩේට තුන් හතර දොහක් බඩගාලා බඩගාලා මයිත්තිරී බාවනාව කොරලා කාකාස ගේ ඉඳන් ඔෆිසර වෙනකම් උන්නේ අම්මා අප්පලට පින් පෙත් දීලා (හිතින්) තමා වැඩේ ඉවරයක් වෙන්නේ.

මේක මෙහෙම වෙන්නේ, නෑ මම් කිව්වේ මේ ඔපිසර රාළහාමිලායි ඔපිසර රාළහාමිනේලයි ඔක්කෝම නොරිස්සුමෙන්, හිතේ කහටින්, දාහට ඇන්න සීයට දීලා වගේ ඉන්නේ මක්කෙයි කියලයි ඔහේලට හිතෙන්නේ?

ගමනාගමනය!!!

උදේ පාන්දර නැගිටල, උහල-පිහලා, ළමයි-බමයි ඉස්කෝල වෑන් වලට පටෝලා, සාරි පටලොගෙන, කලිසම් කමිස හිරකොරගෙන එන්ට ඕන බස් ඉස්ටෑන්ඩ් එකට.

ඕන් එතන මළ විජ්ජුම්බොරයයි.

එන එන බස් පොල් පටෝලහේ එන්නේ.

කොහොමින් හරි පුට් බෝඩ් එකට ගොඩවෙලා එක කකුලක් ගාල්ලේ අනෙක යාපනේ තියන්නැහේ, තමන්ගේ තන් බොත්තං අනුන්නේ බෑක් කඩමාලු අස්සේ දමානහේ ඔපීසියට එන්නේ යකා ආරූඩ වෙච්චි ආතුරයා ගානට. හා නැතෙයි?

එහෙව් සන්නියක් නටලා ඔපීසියට ආවහම වැඩක් පලක් නිස්කාන්සුවේ කොරන්න හිතේ සැනසිල්ලක් කොයි?

ආපහු හවස් ජාමේත් ඒ සුමේම එහෙම නැහ්නම් ඒ දහාට සන්නියෙම ඉතුරු කොටහා රඟ දක්වන්න ඕනෑ නේද කියල හිතන කොට දවලියෙත්, හවස් අතෙත් ඒ ඔපිසරලා ඉන්නේ පස්ස පැත්තේ මිරිස් කරලක් ගහගෙන ඉන්නැහේ තමා ඉතිං.

2025දී වත් සිරි දේසේ පොරොඩක්ටිවිටිය හරි හමන් තත්වෙකට ගෙන්න නම් දුකාගේ යෝජනාව සිරි දේසේ කොලොම් තොටේ ඉඳන් කොලොම් තොටට ආසන්න ගංතුලාන් ඔලට (ඔපීසි බොහොමයක් ඉතිං කොලොම් තොට නොවැ තියෙන්නේ . . ඒවායේ රාජකාරී කොරන්න ලේසි පාසුවට ඔපිසරලා එහාට ලඟපාතම නැතත් ඒ ඒ අවටම නොවැ ඉන්න උස්සාහ කොරන්නේ) විනාඩි දහයෙන් දහයට හරි පාලොහින් පාලොහට හරි දුවන මැට්‍රෝ කෝච්චි (Metro Train) පද්දතියක් තියෙන්න ඕන කියන එකයි.

දුකා, දැනට ඉන්න ඩුබායි රටේ මැට්‍රෝ කෝච්චිය නිතර පාවිච්චි කොරන මිනිහෙක් විදිහට කෝච්චියට ගොඩවෙන වාරයක් වාරයක් ගානේ අපේ සිරි දේසෙට 2025 දී වත් මෙහෙව් එකක් තියේ නම් කොයි තරම්ද කියලා හිතන බව කියන්ට ඕන.

(එහෙම හිතන වෙලාවල් වලට හඳුන්පොත කඩාවැටෙන්න එනවා තමා ඒත් අපිටත් දවසක හඳ නොපායයිද?).

මේන් තියෙනවා ඩුබායි මැට්‍රෝ එකේ වීඩියෝ ටිකක්









ඔපිසර නෝන මහත්තැන් ලා ගොඩක් ගෙවල් දොරවල් හදාන ඉන්නේ එහෙම නැතුන් කුලියට කාරිය ඉන්නේ මෙන්න මේ මේ අහ කියලයි දුකාගේ කම්පනාව.

1. කොලොම් තොට ඉඳන් අවිස්සාවෙල්ල ගන්තුලානට යන අතර මඟ කිරුලපොන, නුගේගොඩ, මහරගම, පන්නිපිටිය, කොට්ටාව, හෝමාගොම

2. කොලොම් තොට ඉඳන් කඩුවෙල ගන්තුලානට යන අතර මඟ බොරැල්ල, රාජගිරිය, ඇතුල් කෝට්ටේ, බත්තරමුල්ල, තලංගොම, මාලාබේ

3. කොලොම් තොට ඉඳන් මීගොමුව ගන්තුලානට යන අතර ගැරෑන්ඩ් පාස්, මාලිගාවත්ත, පෑලියගොඩ, වත්තල, කඳාන, ජාඇල, කටුනායක

4. කොලොම් තොට ඉඳන් ගාල්ල ගන්තුලානට යන අතර කොල්ලුපිටිය, බන්ම්බොලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර

5. කොලොම් තොට ඉඳන් මහනුවරට යන අතර මඟ පෑලියගොඩ, කිරිබත්ගොඩ, කැලනිය, කඩවත

6. කොලොම් තොට ඉඳන් හොරණ යන මඟ ටවුන්හෝල්, තිඹිරිගස්යාය, කොහුවල, පිලියන්දල

තව ඒවා තියේ ඒත් පොරොදාන බස් පාරවලට කිට්ටු ගන්තුනාන් මේවය් කියලයි මහිතේ

කොලොම් තොටින් පටන ඇන්න මේ මේ මහා ගන්තුලන් (මහනුවර, ගාල්ල, අවිස්සාවේල්ල, මීගොමුව, කඩුවෙල, හොරණ ) වල අතරමැද තියෙන ජනගහන වැඩියෙන් ඉන්න ගංතුලාන් වලට වෙනකම් වත් (කිරිබත්ගොඩ, මොරටුව, මහරගම, බත්තරමුල්ල, කොහුවල ) මැට්‍රෝ කෝච්චි පද්දතියක් තියේ නම් . . .

සිරි දේසේ ඔපිසර නෝනා මහත්තැන්ල කරදරයක් නැතුන් රාජකාරියට යන්ට එන්ට ඇහැක්කා උනොත් උන්දෑලාගේ අර මුකපූනේ තියන් ඉන්න ගතිය උසික්කා කොරලා හිනා වෙලා . . .

රාජකාරි කොර ගන්ට එන බඩගැත්තරයින්ගේ වැඩ කටයුතු කලට වෙලාවට කෙරිලා (උන්දෑලගේ අම්මලාගේ හචින් ලෙඩේත් ඉබේ හොඳ වෙලා)

සිරි දේසේ පොරොඩක්ටිවිටි එක 2025දී වත් හරි හමන් විදිහට කෙරෙයි කියන එකයි දුකාගේ අදහස . .

දුකාගේ එක හීනයක් ඔන්න ඔහොමයි බොලල්ලා . . .

ඒක එහෙම්ම වේවා කියලා බොලල්ලත් පරාර්තොනා කොරපල්ලා හොඳේ . . . . .

මෙහෙව් ලොකු මේ මැට්‍රෝ කෝච්චි පොරොජෙක්ට් එකක් කොරන්න සිරි දේසේ අපිට කාසි පනම් නැති හන්දා . . ඒක බී-ඕ-ටී (බිල්ට් - ඔපොරේට් - ටරාන්ස්පොර්) (BOT-Built-Operate-Transfer) විදිහට කොරන්න ඇහැකි.

ඒ කිව්වේ මේ සල්ලි බාගේ ඇති ඒරොප්පේ රටක ලොකු කොම්පැනියකට ඇහැකි මේ පොරොජෙක්ට් එක ඩිසයින් කොරලා, ඒ අයම ගොඩ නඟලා, අවුරුදු පාලහක් විස්සක් උනත් කමක් නෑ පාලනය කොරලා ආදායම ඇන්න ඉන් පාසේ සිරිදේසේ අපිට පවරලා යන්න.

මෙහෙව් පොරොජෙක්ට් එකක් බැරි වෙලාවත් සිරි දේසේ කාට හරි (ජනාදිපති තුමාට, පොරොවාහන ඇමතිතුමාට ) නිකමට හරි හිතිලා කොරන්න හිතුවොත් . . .

ඩුබායි රටේ රස්සා කොරන්න ආ මේ ඩුබායි මැට්‍රෝ පොරොජෙක්ට් එකේ වැඩකොරපු ගුරුහ නිර්මාන සිල්පියෝ, ඉන්ජිනෙරු නෝනා මත්තැන්ලා, ප්‍රමාන සමීක්සක නෝනා මහත්තැන්ලා එහෙම මූලික වැඩ කටයුතු (කොස්ට් පැලෑනින්ග්, පීසබිලිටි වගේ එහෙම ) තමන්ගේ උපරිම සහයෝගය රට වෙනුවෙන් නොමිලේම උනත් දේවී කියලා ලොකු විස්වාසයක් දුකාට තියේ.

දැන් ඉතිං බොලා ඇති පදම් හිනාවෙයල්ලා දුකාටත් පේන හීන කියලා . . . !!

pic from: http://color-city.blogspot.com/2011/11/amzing-stuff-about-dreaming.html

Tuesday, November 22, 2011

හීනෙන් මගෙ රටේ නිදියන හැම රෑම . . !!!


ඕනෑම දේක ලොකු වටිනාකමක් දැනෙන්නේ ඒ දේ අපෙන් දුරස් උනාම . ..

එහෙම නැති නම් නැත්තටම නැති උනාම . . .

රට ගැන උනත් එහෙම තමයි . . .

ඉස්සර ගෙදර ඉන්න කාලේ "මොන කන් කරච්චරලයක්ද මන්දා" කියලා හිතපු අම්මගේ තාත්තගේ බැනුම් අපව ජීවත් කරවපු උදා ගී කියලා තේරෙන්නේ රටින් පිට ගිහින් ඒ බැනුම් ආයේ ආයේ අහන්න කන් දෙක පෙරුම් පුරන බව දැනුනාමයි.

බිරිඳ, සැමියා, දූ පුතුන්, සහෝදර සහෝදරියෝ, අසල්වසියෝ, ඥාතියෝ . . . . මේ හැම දෙනෙක්ම අපේ ජීවිතවලට සුවිශේෂී අය බව පසක් වෙන්නේ රටින් පිට ගියාම . . .

රට ඇතුලේ ඉන්නකම් ලිඳේ ගෙම්බෝ වගේ අනෙක් රටවලට වඩා අපේ රට උතුම් කිව්ව වුනත් හැබෑ ලෙසම අපේ රටේ වටිනාකමක් දැනෙන්නේ රටින් එලියට ගියාම . . .

එතනදී රටේ ඉන්න බොහෝ අයට හරි කියලා හිතෙන දේවල්, "අපි එහේ ඉන්නකොට හරි කියලා හිතුනත් හරි නෑ මද මන්දා?" කියලා හිතෙන්න ත් පුලුවන් රටින් එලියට ගිහින් රට දිහා ආයි අමුතුවෙන්ම බලන්න ගත්තාම.

බටහිර රටකට ගියාට වඩා මැද පෙරදිග රටකට ආ අයට අපේ රටේ අගය වෙන අයට වඩා දැනෙන්නේ තියෙන ඉඩ කඩ වැඩී . .. .

ඒ බව නන්දක්කාගේ මේ ගීතය අහන ඕන කෙනෙකුට තේරේවි කියලා මම හිතනවා . ..

විලක් උනත් නිල් දිය පිරි විලක් නොවේ
මලක් උනත් සුවඳක් ඇති මලක් නොවේ
සඳක් උනත් පසලොස්වක සඳක් නොවේ
රටක් උනත් මගෙ රට වැනි රටක් නොවේ
. . . .
නෑවත් වතුර මල යට ඉඳ නළ වතුර
තාමත් සිතින් කිමිදෙමි ගගදිය අතර
කීවත් ගීත මැදපෙරදිග මරු කතර
කාටත් හොරෙන් කියවෙයි පැල් කවි නිතර
. . ..
සායෙන් හඬන දූ දරුවන් උදෙසාම
ආයෙම් මෙහෙවරට නොරටුන් ලඟ මෙහෙම
බානෙන් බැඳී සිටියත් යදියන් සේම
හීනෙන් මගෙ රටේ නිදියන හැම රෑම . . !!!


මම දේශපාලන අන්තවාදියෙක් නෙමේ . . . .

සුන්දර නිදහස් ශ්‍රී ලංකාවක් ගැන උදේ හවා හීන මවන මිනිහෙක්.

ඇත්තම කියනවනම් "මම" නන්දක්කා මේ කියනවා වගේ "හීනෙන් මගේ රටේ නිදියන හැම රෑම"

එහෙව් අයට සමහර විට රටේ ජීවත්වන අයට සුලු දෙයක් කියලා හිතෙන දෙයක් උනත් මහා ලොකු ඛේදවාචයකයක් විදිහට දැනෙනවා වෙන්න පුලුවන්.

කලින් ලිපිය තාවකාලික ව ඉවත් කලා පුද්ගලික හේතුවක් නිසා.

ඒ ගැන තව දුරටත් සුහදව සාකච්චා කරන්න කැමති අය ඉන්නවනම් මට ඊයක් එවන්න,

නැති නම් ස්කයිප් ලිපිනය දෙන්න . . .

අපි සුහදව කතා කරමු.



Thursday, October 27, 2011

අවුරුදු පහක් . . . අම්මේ අද ඊයේ වගේ . . !!



අම්මේ කාලය ගතවෙන ඉක්මන.

අවුරුදු පහක්ම කොහොම ගියාද කියලා හිතෙනවා.

මුල් අවුරුදු තුනේම (හතරෙම?) වගේ යුද්ධ කාලේ උතුරු නැගෙනහිර වගේ තිබිලා දැන් යුද්ධ ඉවර වෙලා තිරසාර සාමයක් උදාවෙලා තියෙන නිසා අර නවම් මලයා උන්දැලගේ ඇනිවසරි එක වෙනුවෙන් ලියපු පෝස්ට් එකේ ලිව්වා වගේ “උන්නු හැටියට මලා මදැයි” කියලා නම් කියන්න බැරියෝ බැරියෝ වගේ . . .

යුද්ධය මානුශීය මුහුනුවරකින් නිමා කරන්න, මගේ මේ බ්ලොග් අඩවිය සාම දූතයෙක්ගේ සේවාව ඉටු කලා කියන්නේ බ්ලොග් එකටත් කොමෙන්ට් කල අයටත් බොහෝම ස්තූතිවන්ත වෙමින්.

ඉස්සර බර අවි භාවිතා කරලා යුද්ද කල දාල පහුවදාට හිතේ දුක කිව්වේ බ්ලොග් එකට.

අනේ මගේ බ්ලොග් සහෘදයොත් ලෝභ නැතුව මධ්‍යස්තව හිතන්න පොලඹවන විදිහේ කොමෙන්ට් ලබා දුන්නා.

මේ යුද්ධයෙන් පසුව දාන ලිපි යුද්ධයක අතුරු ප්‍රතිපලයක් කියලා ඉවෙන් වගේ තේරුම් ගන්න හැකියාවක් තිබූ, "එක කුස නූපන් අවුරුද්දක් බාල මගේ නිවුන්නා" කියලා මාව හඳුන්වන බ්ලොග් සහෝදරියක් ඉස්සර ස්කයිප් එක හරහා මට නිතර එවන මෙසේජ් එකක් තිබ්බා . . .

"ගොඩක් අය බඳින්න කලින් අවුරුදු ගනන් ලව් කරලා බැන්දට පස්සේ ඒ ලව් සාමාන්‍යකරය වෙලා කලින් එහෙම උද්යෝගයකින් ලව් කරපු අයද කියලා හිතා ගන්න බැරි විදිහේ ඒකාකාරී ජීවිත ගෙවනවා . . සමහර අය මැරෙනකම් හැමදාම රන්ඩුවෙවී ජීවත් වෙනවා. ඔයාලා අහම්බෙන් අඳුනගෙන, විවාහ වෙලා මුල් අවුරුද්දේ දෙකේ රන්ඩු කරලා එකිනෙකා තේරුම් අරගෙන ඉන්පස්සේ මැරෙන තුරා ජීවිත කාලෙම සන්තෝසයෙන් ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

ඒ යුද්ධ කාලේ මට වුනු ලොකුම දේ මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන ගෑනු පස් දෙනාගෙන් එකෙක් යුද්ධ ප්‍රකාෂ කලාම මගේ පැත්තට එකෙක් වත් නැති වීම.

අර ගෑනු පස් දෙනාගෙන් ලාබාලම එකී, අක්කගේ දූ ෂෙරූ "මාමා උඹ හොඳ ස්වාමියෙක්, ඕනෑම ගෑනියෙක් හීන මවන ජාතියේ ස්වාමියෙක්. මම උනත් අම්මලට කියන්නේ මට උඹ වගේ ස්වාමියෙක් හම්බවෙනවනම් භෞතික සැප සම්පත් මහා ගොඩක් නොලැබුනත් කමක් නෑ කියලයි. ඒත් උඹේ කට?? උඹ පොල්ලෙන් ගැහුවා වගේ කියන ඒවට උඹව මරන් කන්න නොහිතෙනවද?" කියලා කියද්දී . . .

ඒ ගෑනුන්ගෙන් වැඩි මහලුම කෙනා උනු අපේ අම්මාගෙන් දායාද වුනු "තමන් වැරැද්දක් නැත්නම් නම් කට කෑවත් කෙලින් ඇත්ත කියන්න ඕන" කියන දැඩි ගති නිසා ම ඒකිගේ වචන මායිම් නොකර ඉන්න ඇහැක් උනා.

පස් දෙනාගෙන් තවත් ගෑනියෙක් උනු අක්කා කිව්වෙත් "තමුසේ වැරදියි . . මම නිශ්ශබ්ද බිරිඳක් නිසා පවුලේ සමඟිය ගැන හිතලා කතා නොකර හිටියත් ගෑනු අපි ඔක්කෝම හිතන්නේ ඔය විදිහට. තමුසේ ඒක දැනගෙන ඒ මනුස්සයට තරහ නොයන විදිහට ඉන්න බලනවා" කියලා . . .

පොඩි හරි සහනයක් ලැබුනේ අර පස් දෙනාගෙන් ඉතුරු කෙනා උනා නංගීගෙන් "උඹේ තමයි වැරැද්ද . . .අපේ මනුස්සය එක්ක මම වලි දාගන්න හැටි තමුසේ දන්නවනේ . . ඒත් පොඩ්ඩක් ඉවසලා හිටපන්කෝ . .. උඹේ වැරදි උඹේ හැටි කියලා ඒ මනුස්සයා තේරුම් අරගෙන උඹ හරියටම කවුද කියලා අඳුර ගත්තු දවසට ඒ මනුස්ස්යා උඹට ආදරේ කරන එක නවත්වන්න කොහොමටවත් බැරි වෙයි"

හරි . . . . ඒ කතා ඔක්කෝම අතීතෙට එකතු වෙලා ඉවරයි . . .

අපි දැන් බොහෝම සතුටින් . .

අර එක කුස නූපන් නිවුන්නි කියනවා වගේ ඉන් පස්සේ ඉදිරියට අපිට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියන එක තමයි මගේත් ලොකුම ප්‍රාර්ථනය . . ..
(අපේ උන්දෑගේ අතින් හැදූ අපූරු උපන්දින සුභ පැතුම් පත සහ ඇනිවසරි සුභ පැතුම් පත )

අද අපේ පස් වෙනි ඇනිවසරිය දවසේ මම හිතුවා තවත් පොඩි විශේෂ යමක් මගේ බ්ලොග් සහෘදයන්ට දෙන්න . .

ගොඩක් අය මඟුල් ගෙවල් වලදී Wedding ඇල්බම් එකට වගේම DVD එකටත් විශේෂ තැනක් දෙන්නේ එදා ඒ අමතක නොවන දවසේ සිදුවීම් සදා කෙසේ වෙතත් සෑහෙනන කාලයක් මතකේ රඳවා ගන්න ඕන නිසාමයි.

අපේ වෙඩිමේත් පින්තූර ගන්න ලොකු නමක් තියෙන තැනකට ලොකු ගානක් ගෙවලා අපි භාර දුන්නා. ඒත් ඉතිං අර ලොකු නම තියෙන කෙනා නම් ආවේ නෑ ගෝලයෝ එව්වා . .

කොහොමින් හරි පින්තූර ටික ගොඩක් හොඳට තිබ්බ නිසා බනින්න තරම් දෙයක් තිබ්බේ නෑ . . .

ඒත් වීඩියෝ කරපු ඒවත් ඒ ලොකු නම තියෙන ආයතනයෙන්ම භාර ගත්තේ එයාලගේ වැඩ භාර දෙන වෙනම ආයතනයක් තියෙනවා ඒකට ම දෙන්නම් කියලා එතනින්ම ගරන්ට් කරපු නිසා තමයි.

අන්තිමට වීඩියෝ එක බලනකොට තමයි යකා නැග්ගේ . .

අර ලොකු නම තියෙන තැනට කතා කරලා බැන්නා බැනිල්ලක් . .

"මේ ඔයාලගේ පින්තූර නම් හොඳයි. එකම අඩුවකට උනේ Indoor ගෲප් ෆොටෝ එකක් සහ හරිහමන් Indoor කපල් ෆොටෝ එකක් නැති එක විතරයි . . ඒත් අර DVD එක? අයියෝ ඒක බලනකොට ප්‍රයිවෙට් බස් එකක යනකොට වගේනේ . . . ජරාම ජරා සින්දු ටිකක් දාලා තියෙන්නේ . . ."

ආ ඒක අපි නෙමෙයිනේ කලේ . . අපි කිව්වනේ වෙන කට්ටියකට දීලා කරන්නේ කියල . .ඒ නිසා ඒ ගැන අපිට කරන්න දෙයක් නෑ . . ඔන්න ඔහොමයි අර ලොකු තැනින් උත්තර ලැබුනේ . .

පස්සේ කල්පනා කරලා බැලුවාව අපෙත් වැරැද්ද . . දාන්න ඕන සින්දු ටික අපි තෝරලා දුන්නා නම් කිසි කචල් එකක් නෑ නේද කියලා හිතුනා.

දැන් ඉතිං හිතාගෙන ඉන්නවා ලංකාවට ගිය වෙලාවක හොඳ වීඩියෝ එඩිටර් කෙනෙක් මුන ගැහිලා අපි කැමති සිංදු ටික දීලා ඒ වීඩියෝ එක අපිට කැමති විදිහකට හදා ගන්න කියලා . .

ඉතිං අද අපේ ඇනිවසරිය දවසේ මම දෙන්න හිතපු විශේෂ දේ තමයි මේ වෙඩින් DVD එකකට ඇතුළුකල යුතු සිංදු මොනවද කියලා ඔයාලට පොඩි අදහසක් ලබා දීම.

මේකේ සමහර සින්දුවල මුල් කොටස එහෙම නැතිනම් කොටස් දෙකක් විතර හරි තමයි වැඩේට ගැලපෙන්නේ.
නොගැලපෙන සින්දු එහෙමත් තියෙනවනම් කස්ටිය සමාවෙන්ට ඕන් ඈ . .

ඒ සින්දු ඔක්කෝම අහලා මේ මේ තැනට මේ මේ සින්දුවේ මේ මේ කෑල්ල දාන්න කියලා වීඩියෝ එඩිටර් ලඟ ඉඳගෙන කියලා වැඩේ ගොඩ දාගන්න එක ඉතිං තමන්ගේ කාරියක් හරිය . . .
________________________________________________________

වීඩියෝ එකේ මුලින්ම තියෙන්නේ මනමාලි ගෙදර ඉඳන් මේකප් කරන, මනමාලිගේ අම්මා නළල් පටිය බඳින, වේල් එක හදන සිදුවීම්නේ . . ඒවට මේ පහල සින්දු හෝ ඒවායින් සින්දු කෑලි දාන්න පුලුවන්.

මනමාලිය වී හෙට දවසේ . . . වෙන් වී යන්නම් ලිහිනියනේ
මංගල ඇඳුමින් . . රිය පෙරහැරකින් . . පිට වී යනවා සොයුරියනේ
- නිරංජලා සරෝජනී -

කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී වගේ දෙමාපියන් සෙවනේ . .
නිදැල්ලේ උන්නේ මා විනෝදයෙන් විඳ අමෝද සහනේ
මංගල නැකතින් පෙම්බරයෙකු හා හෙට මා පිට වෙනවා
ඒ ගැන සිතනා මොහොතක් පාසා දෙනෙත තෙමී යනවා
- ඩැල්රිසන් සුබී ??-

මගේ ලොවට ඔබ වඩින තුරා . . වඩින තුරා
තරුවක් වාගේ හෙටත් නොපායන
මගේ යොවුන් හද ප්‍රාර්ථනා
- නීලා වික්‍රමසිංහ -

ඉරට අකීකරු හඳට අකීකරු . . .
රෝස කැලේ රතු කැකුලී
- ඉන්ද්‍රානි -

කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී
බඳින දවස මගුල අදයි යස හැඩකාරී . .
- චිත්‍රා සෝමපාල -

සඳ කැන් දහරින් දෙනුවන් පිපිලා
දෙනුවන් කැලුමෙන් පියුමන් සැලිලා
- මාලනී බුලත්සිංහල

මගෙ හද වෙණ පිරිමැදලා . . . සැතපෙන සත්සර වයලා
අරුමැසි ගී තනු බිහිකරලා . . . නළවයි කවුදෝ එබිලා
. . .
සිරවුනු පාළුව මකලා . . ඔහු සදහට ගෙනයාවී
උනුසුම කරපින්නාලා . . .පොදිබැඳ අරගෙන ඒවී
. . .
ඔහු පදවන ඔංචිල්ලාවේ . . .බිලිඳිය ලෙස නැළවෙන්නම්
සොය සොය උන් සැනසිල්ලේ . . සහනය තුරුළට ගන්නම්
. . .
ඔහු මා සිත අරගත්තේ . . . ඉන් පිටවෙන මං නැත්තේ
අද හෙට ඉන් මතු මත්තේ . . .මගෙ දිවි ඔහු අත ඇත්තේ
- ඇන්ජලීන් ගුණතිලක -

රන් දුනුකේ මල සේ . . රන් මැනිකේ සැරසේ . .
පති කුළයේ කුමරා . . ඇය කැන්දා යනවා . .
- ක්ලරන්ස් -

හෙල කුල සිරිතට .. . සුභ නැකතින් සැරසී . .
මංගල ගමනට . . යන දියණී . . .
- රෝහන වීරසිංහ -

දේදුනු පායා පාට වැටෙනවා . . ජීවන අහස් තලේ . .
ආදර පවනේ සුසුම් කුසුම් වැල් මා යන මඟට හැලේ . .
- නන්දා මාලනී -
. . . . .. . . . . .. . . . . .
ඉන් පස්සේ තියෙන්නේ මනමාලයා එන ටිකයි පෝරුවේ චාර්ත්‍ර කර ටිකයි . . . දෙන්නා සෝෆා එකේ ඉඳගෙන කතා කර කර ඉන්න ටිකයි . . බීම බොන ටිකයි . . කේක් හරි කිරිබත් හරි කවන ටිකයි වගේ සිදුවීම් . .

ඒ ටිකට මෙන්න මේ සිංදු හරි ඒවායින් කෑලි හරි දාන්න පුලුවන්ද කියලා බලන්න

සුදු මුතු මාල පැලැන්දූ . . මුතු පවුරේ . .
පෙන මල් බුමුතුරුනේ . . සිහින ගිම්න් අරනේ . .
පිය නඟා යමු අපි දෙන්නා . . යමු අපි දෙන්නා . .
සුදු මුතු මාල පලන්දා . . .
- නන්දා මාලනී සහ වික්ටර් රත්නායක -

සෙවනේ කුඹුක් සෙවනේ . . ගංතෙරේ හමන පවනේ
මියුරු ගී වැල් පා කෙරේ . . සියුම් තත් බිඳ හදවතේ
- ලතා වල්පොල ටී.එම් ජයරත්න -

අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුර්ද රළ කෙතරම්
එතරම් මිහිරී ඔබ මට නම් . .
- නෙලූ අදිකාරී සමඟ කාෂ්‍යප දිසානායක -
මේ සින්දුවේ නම් මුල් කොටස් දෙක විතරක් දාන්න මතක ඇතුව

සරා සොඳුරු මල් පැටලී . . ලිහී නොයන ජීවිතයයි . .
නුරා දියර ගඟුල් හැලී සිහිල සදන ජීවිතයයි
- නන්දා මාලනී සහ වික්ටර් රත්නායක -

චාමර සැලුනාවේ . . සේසත් සැලුනාවේ . .
සුරංගනා සුළං රොදේ . . චාමර සැලුනාවේ . .
- නීලා වික්‍රමසිංහ -

නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
- අමරදේව මාස්ටර්

රන් සමනලයෝ පුංචි කැකුලියෝ දේදුන්න්නේ නැගිලා
- සුනිල් එදිරිසිංහ

පෙම් සිලිලාරේ තුන්සිත යාවී විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ . . සවනේ යාවේ
- නීලා වික්‍රමසිංහ -

සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා . . ඒ ගමනත් අපි එකට යමූ
- විජය කුමාරණතුංග සහ චන්ද්‍රලේඛා පෙරේරා -

ආදරයේ මන්දිරේ ඇරුනා මහදේ
ගීතේ ඇසේ යොවුන් මල් බඹර කලාපේ
- චන්ද්‍රලේඛා පෙරේරා සහ වික්ටර් රත්නායක -

වාසනා වේවා . .වාසනා වේවා . .
පෙම්බර යුවතිය කුළ කුමරිය වී . .
මංගල මල් නැකතේ . .
පිංබර කුමරෙකු අතිනත ගෙන ඈ . .
දීගෙක යන දවසේ
වාසනා වේවා . .වාසනා වේවා
- සනත් නන්දසිරි -

රෑන ගිරා ජෝඩුවයි . . හාද වෙලා අදරේ
රෑන ගිරා ජෝඩුවයි . .
- නන්දා මාලනී

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා . . ම්හ්ම් ම් ම් ම් ම්
ආදර නැකත උදාවේ
- වික්ටර් රත්නායක සමඟ ඉන්ද්‍රානි පෙරේරා -

සුදු මුතු රළ පෙළ . . කිඳුරු කොදෙව්වේ
පාවඩ පළස එලා . . .
කිඳුරඟ ගෙන දුන් මුතු කැකුලක් සේ
ඔබ මට තිලිණ වෙලා
- නීලා වික්‍රමසිංහ - (ස්තූතියි නිසූපා)

ජෝඩුව නෑදෑ හිතවතුන්ගේ මේස වලට ගිහින් එයාලත් එක්ක කතා බහ කරන සීන් ලන්නග්දී මෙන්න මේ සරල පෙම් ගී දාන්න පුලුවන් . . .

සීතල දිය පිරි සුනිල විලයි . .
ඒ විල මැද ඔබ සුවඳ මලයි
- සුනිල් එදිරිසිංහ

සීත අරනේ සුපුල් නාමල සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ . .
දැනේ උනුසුම ආදරේ
- නිරංජලා, මිල්ටන්

හිම කඳු යහනේ යහනේ . . යහනේ
වළා සඳැල්ලේ . . සදාහරිත තුරු සෙවනැල්ලේ
මොහොතක් සැඟවෙමු ලොවෙන් මුවාවී . . අපේ සිදින යනේ
- ග්‍රේෂන්, නිරංජලා,

දේදුන්නෙන් එන සමනලුනේ . . ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා . .අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ
- ලතා වල්පොල සමඟ සනත් නන්දසිරි -

ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා
ඔබේ කතා ලඟ සිත නැවතුනු දා
ප්‍රේමය හැඳින්නෙමී . . ප්‍රේමය හැඳින්නෙමී
- ජගත් වික්‍රමසිංහ

ලතා මඬුල්ලක් කතා කරනවා සෙවනට එන්න කියා
මේ මල් උධ්‍යානේ . . නවතිමු හැන්දෑවේ
- චන්ද්‍රානි ගුණවර්ධන සහ එඩ්වඩ් ජයකොඩි -

මේ ප්‍රේම සීමා මාලකේ තනිවී
නෙතු කැන් නිවා . . හසරැල් සලා
කඳුලින් සිනාසෙමූ
- නිර්මලා රණතුංග -

සුදු රෝසයි මුහුන පුරා. .
රතු රෝසයි දෝත දරා
හිනැහෙන්නේ මල් වාගේ මනමාලියේ
දෙව්දූය ඈ ආදරේ
- ගායකයා?? - (ස්තූතියි ගයාන්)

කඳුල ඉතිං සමාවෙයන් . . අපි වෙන් වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා . . සිරි යහනේ තනි රකින්න
- කීර්ති පැස්කුවල් - (ස්තූතියි ගයාන්)

කස්ටිය ඩාන්ස් කරන ඒවා තියෙන තැනට මෙන්න මේ සින්දු දාන්න පුලුවන් . .

තොරන් බඳින්නට රබන් ගසන්නට සුභ මොහොතක් ආවා
පැතුම් ලොවේ මල් සිහින සැබෑවී අලුත් යුවල ආවා
- සුනිල් පෙරේරා ජිප්සීස් -

ඔයා මගේ සුරංගනා කතාවේ . . ලස්සන සුරංගනාවී
දසන් විදා සිනා නඟන වෙලාවේ
හදවත සිසිල් කරාවී . .
- වර්නන් පෙරේරා -

යෞවන උයනේ පියුම් තටාකේ බිඟු වැල් පෑහේ . . මා ඔබ පෑහේ . .
- මිල්ටන්, ඇන්ජි

මී පිරුනු සුවඳ මල් වනේ . . ආදරය සිනා සෙනු පෙනේ
පැතුම් බිහිවෙලා . . කුරුලු වෙස් වලා . .
අනන්තයට යයි පියාඹලා . .
- එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක -

සතුටු සිනා ආ වාසනා . . පිරුනු සමය අද එළැඹුනා
ගයමු තුටු ගී ගායනා වාසනා . . . වාසනා .
- සුනිල් පෙරේරා ජිප්සීස් -

සිහිල් පින්න ගාව ගාවා සරාගී සුළන් රැලේ
-නිරෝෂා සහ බී.එන්.එස්. - (ස්තූතියි නිසූපා)

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
- රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා

සුදු මීදුම පීදෙන තොටිල්ලේ
සඳ පායන කෝමළ ඇසිල්ලේ
ඈතට ඈතට යමු අපි පාවීලා
අප සිත් සැනසෙනවා
- ග්‍රේෂන් ජයමහ - (තැන්කූ ලකී)

එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා
නාස් ලනුව දමනවාලු .. කරත්තයට බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුලු නාඹර වස්සා . . .
- එඩ්වර්ඩ් ජයකොඩි - (ස්තූතියි ලකී සහ නවම්)

අන්තිමට දෙන්නා දෙමාපියන්ගෙන් නෑදෑ හිතවතුන්ගෙන් සමුගෙන පිටත් වෙන වෙලාව්ට මේ සින්දු දාන්න පුලුවන් . . .

කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා
පායනා තරුවේ . .
තරු පලඳා . . මුතු පලඳා . . .
තරු මුතු වැල් පලඳා . . .. .
- මිල්ටන් මල්ලවාරච්චි -

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
- සුනිල් එදිරිසිංහ -

තුරුණුවනේ සරණයි..
හැදු වැඩු දෙමාපියන් සරණයි....
- මාලනි බුලත්සින්හල - (ස්තූතියි සුභා)

පුංචි දවස් වල නින්දට යද්දී . . පීතු පාදං නමා මහන් කියලා
වැන්ද දෙපා යලි අදත් වඳින්නම් . .
මංගල ගමනට යන්න අවසරයි පියාණනී . .
- සුජාතා අත්තනායක -

මංගල නැකතින් යන්නට . . සුභ වෙලාව ලංවිය දුවණී
අපේ සෙවන හැර අපට නොරිදවා ඔබ අපගෙන් සමුගන්නේ . .
සුභ ගමනක් වේවා සුදු දුව . . .සුභ ගමනක් වේවා
- චන්ද්‍රලේඛා පෙරේරා -

දෙන්නා කාර් එකේ නැගලා ටටා බායි කියලා යද්දී මෙන්න මේ සින්දුව දාන්න පුලුවන්

ඉතිං ඊට පස්සේ ඔබේ රූ පිලිරූ . .
පාට පාට දේදුනු සේ .. . මා සිසාරා
මහද මැනික් පහනක් වූවා . .
- වික්ටර් රත්නායක

වෙඩින් ඩීවීඩී වලට දාන්න මීට වඩා හොඳ සින්දු මතක් වුනොත් පහලින් ලියලා දාන්ට හොඳේ . . !

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails