Friday, March 27, 2015

කිසිවෙක් නොමළ ගෙයකින් අබැටක් සොයන බොර දිය පොකුණේ ගෝතමී . . !

කවදා කිසි දිනෙක කිසිවෙකුගෙන් හෝ ප්‍රතික්ෂේපවීමකට ලක් නොවූ අය වේද? 

කිසියම්මදාක . . ?? කිසිවෙකුගෙන්ම . . ???

පිළිතුර ඔව් නම් . . . (ඒ කියන්නේ ඔබ කවදාවත් ප්‍රතික්ෂේපවීමකට බඳුන් වී නැති නම්)

ඔබට කෙදිනක වත් ගෝතමීගේ පපුවේ වේදනාව අඳුනා ගත් නොහැකි වනු ඇත.

ප්‍රතික්ෂේපවීමකින් පසු ඇඟේ ලේ නහර හරහා දුවන කෝපයද, ශෝකයද, ඉච්ඡාභංගත්වයද, වෛරයද, තමන්ට තමන් කෙරෙහිම ඇතිවන අප්පිරියාවද . . මේ කුමක් හෝ මනෝභාවයක් නිසා හදවත් තෙරපන විසි කරන්නත් බැරි දරාගෙන ඉන්නත් බැරි අරුම හැඟීමේ බර ඔබට නොදැනෙනු ඇත.

විපුලගේ කාමරේ ජනේලය ළඟ "අනේ අදට විතරක් එන්න දෙන්න" කියනා ගෝතමී දුටුවිට කෑගසා අඬන්න නොසිතෙනු ඇත.

ප්‍රතික්ෂේප නොවූවන් සොයා යෑම . . .කිසිවෙක් නොමළ ගෙයකින් අබැටක් සොයනා තරම් විරල ලෝකයේ ගෝතමී ගේ දුකට හඬන්නට හදවත් සොයා ගැනීම මහා අරුමක් නොවිය හැක. 

යෞවන වියේදි ප්‍රේමය ගැන ඇතිවූ කතාබහකදී තරුණ වියේ උන් එකෙක් කීවේ 

මල්ලී . . ආදරේදි අපි හැමෝම රවුමක දුවනවා . . !!

මම මට ඉස්සරහින් ඉන්න කෙනා අල්ලන්න දුවද්දී එයා එයාට ඉස්සරහා ඉන්න කෙනාව අල්ල දුවනවා. 

වටිනාම කෙනා ඒ රවුමෙදි මාව අල්ලන්න දුවනවා වෙන්න පුළුවන් ඒත් මට ඒ වටිනාකම් දැනෙන්නේ නෑ

මොකද මට පිටිපස්ස හැරිලා බලන්න වෙලාවක් නෑ මම මට ඉස්සරහින් දුවන කෙනාව අල්ලන්න දුවනවා . . !

එසේ වූ රවුමක දුවන්නේ ආදරයේදිද ආශාවේදීද කිය සොයා බැලීමේ තේරුමක් ඇතැයි මට සිතෙන්නේ නැත.

සුරන්ජිත් පසුපස දුවන මංගලාද, මංගලා පසුපස දුවන විපුල්ද, විපුල් පසුපස දුවන ගෝතමීද යනාදී වශයෙන් බොරදිය පොකුණේ පාත්‍රවර්ගයා මේ රවුමේ දුවන්නෝ වෙති.

ඔබට අත්විඳින්නට සිද්ධ වූ අමිහිරිම සිදුවීම දෙස වසර ගාණකට පසු හැරී බලද්දී එය ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට හේතුවූ හොඳම සිදුවීම ලෙස හැඟේ යා නොහැකිද?

පුද්ගලික අත්දැකීමක් ඇසුරින් කීවොත් වසර විසි එකේදී අසල්වැසි නිවසක ගෑස් කාන්දුවන් නිසා ඇතිවූ ගින්නක් නිවන්න උදව්වෙන්න ගොස් සෑහෙන තරමකට විරූප වෙන්න තරම් ගින්නකට ලක්වූ ඒ හේතුව නිසාම ජීවිතයට වටිනාකමක් ඇතිකරගත යුතු නිසාවෙන් උනන්දුවෙන් යමක් ඉගෙන ගෙන වර්තමනයේ සුවපහසු ජීවිතයක් අත්විඳින මට නම් ජීවිතයේදී මුහුණ දෙන්න සිදුවුණු අමිහිරිම සිදුවීම ජීවිතයට සිදු වූ හොඳම දේ කියා හදවතින්ම පැවසිය හැකියි

සුරන්ජි මල්ලී සමඟ ආශාවෙන් හෝ ආදරයෙන් බැඳෙන මංගලා විනාශ කරන දරු ගැබ, විපුල සමඟ ආශාවෙන් හෝ ආදරයෙන් බැඳෙන ගෝතමීගේ දරුගැබ විනාශ කරන්නැයි බලපෑම් කරන විපුල සහ ඒ ආශාවේ ආදරයෙන් උපන් බිළිඳා දුම් රිය ස්ථානයේ බංකුවක් මත දමා යන ගෝතමී එසේ වූ අමිහිරි අත්දැකීම් ජීවිතයට සිද්ධ වූ හොඳම සිදුවීම් කියා කිව හැකි අයද? 

භෞතිකමය ලෙස . . . 

විවාහ දිවියක බැඳෙන සුරන්ජි මල්ලිද . . 

අරන් හදාගත් දරුවෙක් සමඟ හොඳ නරක දුක සැප සමඟ විවාහ ජීවිතය විඳින මංගලා සහ විපුලද . . 

කලින් විවාහයේ බිරිඳගේ නොමනා හැසිරීම නිසා දයාබර දියණියගෙන්ද වෙන්ව සිත් තැවුන්ලෙන් වෙසෙන ඩෙමස්න්ගේ ජීවිතය හා බැඳී තුටින් ජීවත් වෙන්න වෙර දරන ගෝතමීද . . 


භෞතික කරානා සමඟ බැඳුණු සන්තෘෂ්ටිය සහ අධ්‍යාත්මික පාරිශුද්ධිය සමඟ බැඳුණු සන්තෘෂ්ටිය යන දෙකේ හර බර සමඟ ජීවිතය ජීවත් කරවන්නේ කෙසේද කියා ප්‍රේක්ෂකයාට දක්වන්නට පහන් සිලක් දල්වන්නෝ නොවේද . . !


මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails