UAE Sri Lankans Events

Wednesday, March 20, 2013

කර්මය නොහොත් කරුමේ . . !



ඊයේ ෆේස්බුක් එකේදි තමයි ඔය උඩ තියෙන ෆොටෝ එක දැක්කේ. 

ඒ වෙලාවේ ඉඳන් මම කල්පනා කලේ මේ කියන කතාව කොයි තරම් ඇත්තක් වෙන්න පුලුවන්ද කියලයි.

අපි සමහර අය ගොඩක් වෙලාවට "නෑ කර්මය, ඉරණම කියල එකක් නෑ ඒ ඕන එකක් කෙනෙක්ගේ දැඩි අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් වෙනස් කරන්න පුලුවන්" කියලා විස්වාස කලාට, එහෙම විස්වාස කරගෙන වැඩ කලාට  . . . 

හෙම්බත් උනු වෙලාවක හිතෙන්න පුලුවන් "ඇත්ත තමයි අපිට පේන්නේ නැති උනාට කරුමේ කියලා දෙයක් තියෙන්නත් පුලුවන්" කියන එක.

ඒත් සමාජයේ දේශපාලකයෝ කරන මහජන මුදල් කාබාසිනියා කිරීම නිසා බහුතර මහජනතාවට දුක් විඳින්න ලැබීම අපේ සමාජයේ ගොඩක් දෙනෙක් "මේක අපේ කරුමේ. ඒ අයට හොරකම් කරලා හරි සැප විඳින්න වාසනාව තියෙනවා. අපිට සාධාරණ විදිහට ජීවත් වෙලාවත් දුකක් කරදරයක් අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන්න වාසනාවක් නෑ අපේ කරුමේ නිසා" කියලා කියන එක මේ කිව්ව කරුමෙට සම්බන්ධ කරන්න බෑ. 

මොකද ඒ කරුමේ කියලා කියන දේ තනිකරම අසාධරණේට විරුද්ධ වෙන්න, තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සිටින්න කොන්ද පන නැති කම නිසා මිසක් පූර්ව කරුමයක් නිසා නෙමෙයි කියන එකයි මගේ හැඟීම. 

කරුමේ කියන්නේ අනිත් කරුනු එක්ක දිගට හිතාගෙන ගියාම එහෙම කොන්ද පනනැති වීමත් කරුමේ තමයි කියලා ඒ තර්කයටම යටත් වෙන්න සිදුවීම.

මෙහෙම කියමු . . 

සමහර මිනිස්සුන්ගේ ජීවිත දිහා ඒ අයට සිදුවෙන සමහර සිදුවීම් දිහා බැලුවාම හිතෙනවා මෙහෙම වෙන්නේ නම් ඒ අයගේ කරුමේ නිසාම තමයි කියලා. 

කිසිම දුකක් කරදරයක් නැතුව සතුටින් ඉන්න පවුලකට එක පාරටම කාට හරි අසනීප වෙලා, කවුරු හරි මැරිලා, මුලු පවුලම සීසීකඩ ගිහින් අපා දුක් විඳින්න වෙන විදිහට උනාම . . . 

හොඳ නිරෝගීව ඉන්න කෙනෙක් එකපාරටම අසනීපයක් වෙලා වැහැරිලා ගියාම.

බොහෝම සතුටින් ඉන්න කෙනෙක් එක පාරටම පිස්සෙක් වෙලා මහ පාරේ කියෝ කියෝ ඇවිදින්න උනාම 

මේ වගේ වෙලාවල් වලදී අපිට නිතරම කියවෙන්නේ ඒ අයගේ නම් පෙර කරුමයක් වෙන්න ඇති . . නැතිනම් කොහොමද එහෙම වෙන්නේ කියලා.

කරුමේ කියන එක කෙනෙක්ගේ දැඩි අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් වෙනස් කරන්න පුලුවන් කියල කියපු එක මතක් උනාම මට මතක් වෙන්නේ මගේ ජීවිතේ එක කාලයක් . . 

පුංචිම කාලේ ඉඳන් මගේ හිතට වද දුන්නු හැඟීමක් තමයි මට කවුරුත් ආදරේ නෑ කියන එක. 

මගේ නංගියා ඉපදෙනකොට මට වයස තුනයි. ඒ කාලේ මම ආදරේ නෑ කියලා කොයි තරම් දුකෙන් ඉන්න ඇතිද කියලා නංගි ගැන ලියපු පෝස්ට් එකේ කිව්වනේ.

පස්සේ තේරෙන කාලේත් මට හිතුනේ මට කවුරුත් ආදරේ නෑ කියලම තමා.

ආදරේ පෙන්නන්න තාත්තා ගෙදර නෑ. ගෙදර එන්නේ මාස කීපෙකට සැරයක්. ආවත් එයාගේ දේසපාලන වැඩ අරව මෙව්වට ගිහින් ගෙදර එන වෙලාවට නංගී තමයි තාත්තගේ සම්පූර්ණ ආදරේ අයිති කර ගන්නේ. 

අම්මත් ආදරේ පෙන්නුවේ නංගිට විතරයි. 

අම්මාගෙන් නිතර බැනුම් අහලා මම ගොලු හදවතක් තියෙන කෙනෙක් වෙලා හිටියනේ සෑහෙන කාලයක් 

අක්කට ආදරේ කරන්න කොල්ලෙක් හිටියා. 

අක්කා මට ආදරේ පෙන්නුවේ තනියෙම ගෙයින් එලියට යන්න දෙන්නේ නැති නිසා කියලයි මම හිතුවේ.

පාසැලේ යාලුවන්ගේ හරි ගෙවල් පැත්තේ යාලුවන්ගේ හරි ආදරේ ලබන්න තරම් මම විශේෂ ක්‍රීඩා කෞශල්‍යක් හරි ඉගෙනීමේ දක්ෂකමක් හරි තිබුනු කෙනෙකුත් නෙමේ.

දහම් පාසැලේ, අක්කගේ හිතවත්කම් නිසා, ටියුෂන් ක්ලාස් කාලෙන් කාලෙට එකේ එක එක ආදර පැටලිලි තිබ්බට ඒවා හරියටම ආදරේමද කියලා තේරුම් ගන්න තරම් මෝරලා තිබ්බේ නෑ.

මට මතකයි මම ඒ කාලේ ඩයරි වල ගොඩක් පිටුවල උඩින්ම එක එක අකුරින් ලිව්වේ එකම දෙයක් . . ඒක චිත්‍රකතා පත්තරේකින් අහුල ගත්තු එකක්.

"ජීවිතය මම ඔබෙන් ඉල්ලුවේ ආදරය පමනි, අවාසනාවට මා නොලැබුවේද එපමනි !"

ඒක මම ඒ කාලේ හිතුවේ මගේ කරුමේ කියලයි. කිසි කෙනෙක් මට ආදරේ නැත්තේ මගේ කරුමේ නිසා කියලයි මම හිතුවේ.

පස්සේ කාලෙක තේරුම් ගත්තාම ආදරේ නිකම් ලබන්න බෑ ඒක හරියට ඔංචිල්ලාවක් වගේ. උඹ ආදරේ කරන්න ඕන එතකොට තමයි ආදරේ ලැබෙන්නේ කියලා. 

විශේෂයෙන් මාව චාටර් වෙන්න පිච්චුනු වෙලාවේ මම හිතවත් කමින් උන්නු යාලුවෝ බලන්න වත් නාවට නිතර රන්ඩු වෙලා ඒ තරම් හිතවත්කමක් නොතිබුනු යාලුවෝ ඉස්පිරිතාලේ ඇවිත් උදව් කරද්දී තමයි තේරුනේ ආදරේ ලැබෙන්න නම් ආදරේ දෙන්න ඕන කියලා.

ඒත් එහෙම හිතලා ජීවත් වෙන්න පටන් ගත්තාම මම හිතුවේ ආදරේ කෙසේවෙතත් සතුට හරි මගේ ලඟ තියේවී කියලා. 

හැමෝටම ආදරෙන් සලකන එකෙන් නැති කරදර විඳින්න තමයි උනේ. අර "හවුලේ කැඳත් එපා" පෝස්ට් එකේ කිව්ව සීන් එකෙන් පස්සේ යාලුවන්ගේ පිල් බෙදිල්ල නිසා හෙන කාලයක් දුක් විඳින්න උනා. 

මට මතකයි ඒ කාලේ මම මගේ නෝට් බුක් වල ලිව්වේ අර යෞවන කාලේ ලියපු එකේ පොඩ්ඩක් වෙනස් කරපු වර්ෂන් එක.

"ජීවිතය මා ඔබෙන් ඉල්ලුවේ සතුට පමනි ! අවාසනාවට මා නොලැබුවේද එපමනකි!!!"

මොකද්ද මම කිය කිය හිටියේ . . 

මේ මගුල් අතුරු කතා නිසා ඒකත් අමතක උනා. 

අහ් කර්මය කියන එක කෙනෙක්ගේ මහන්සියෙන් වෙනස් කරන්න පුලුවන් කියලා හිතුවට හෙම්බත් උනු වෙලාවක එහෙම කෙනෙක්ටත් හිතෙන්න පුලුවන් "මේක මගේ කරුමේ" කියලා.

සමහර මිනිස්සුන්ගේ ජීවිත දිහා උඩින් බැලුවාම ඒ අය පුදුම සතුටකින් ජීවත් වෙන බව පේනවා. ඒ අය ඒ සතුටට උරුම කම් තියෙන අය නම් අපිත් සතුටින් ඒ අයගේ සතුටට හවුල් වෙලා සුභ පතනවා.

සමහර සතුටින් ඉන්නවා කියලා අපි හිතන නමුත් ඇත්තෙන්ම අසතුටෙන් ජීවත් වෙන මනුස්සයින්ගේ ජීවිත ඇතුලට එබෙන්න අවස්ථාවක් ආවොත් අපිටම පුදුම හෙතෙනවා . . 

"දෙයියනේ මේ මනුස්සයට දුකෙන් ඉන්න කිසිම හේතුවක් නෑනේ . . ජීවිතේ හැමදේම සිද්ධ වෙලා තියෙන්නේ මේ මනුස්සයගේ ජීවිතේ සතූටින් ඉන්න පුලුවන් විදිහට නේ" කියලා . . 

ඒත් ඒ මනුස්සයා අසතුටෙන් . . . ඒ සතුටින් ඉන්න පුලුවන් කිසිම දේකින් ඒ මනුස්සයට ඒ මනුස්සයා ජීවිතයෙන් ඉල්ලා සිටින සතුට නොලැබෙනවා නම් . . .

"ඒක උගේ පෙර ආත්මෙක ඉඳන් අරන් එන කරුමේ මිසක් වෙන මොකද්ද" කියලා අපි හිත හදාගනන්වා මිසක් අපිට කරන්න පුලුවන් දෙයක් තියෙනවද?

එහෙම අයට මම නම් හිතින් කියන්නේ "කරන්න දෙයක් නෑ මනුස්සයෝ උඹ ගැන දුකයි තමයි . . ඒත් උඹේ කරුමේ තව ආත්ම වලට ගෙනියන්නේ නැතුව මේ ආත්මෙදිම ගෙවලා ඉවර කරපන්" කියලයි.

කරුමේ කියන එක මහන්සියෙන් වෙනස් කරන්න පුලුවන් කියලා හිතන මටත් එහෙම හිතෙන එකේ . . හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

Monday, March 11, 2013

හවුලේ කැඳත් එපා . . . !


"මචං මට නම් දැන් මේ මගුල් ජොබ් එක එපා වෙලා බන් තියෙන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම් නහිනවා ඒත් මාසේ අන්තිමට අතට හම්බ වෙන සොච්චම දැක්කම මොකටද කියලා හිතෙනවා. මේකෙන් අස් වෙලා පොඩි බිස්නස් එකක් පටන් ගන්නයි මගේ අදහස. හැබැයි මට තනියෙම ඒක කරන්න බෑ. කැමතිද උඹත් ජොයින් වෙන්න. මොකෝ කියන්නේ කැමතිද?" නිශාන්ත දවසක් හවසක අපි සෙට් වෙන්න අනිත් උන් එනකම් අපේ මිතුරු සහන්ලගේ ගෙදර ඉන්න වෙලාවක මගෙන් ඇහුවා.

"කැමතිද අකමැතිද කියන්න කලින් බිස්නස් එක මොකද්ද කියලා කියහන්කෝ. උඹ බ්‍රොතල් හවුස් එකක් දාන්න හදනවද කවුද දන්නේ" මම ගානක් ගන්නේ නැතුව කිව්වා.

නිශාන්ත මගේ යාලුවෙක් උනේ මගේ හොඳම යාලුවෙක් උනු සහන්ගේ හොඳම යාලුවෙක් නිසා. මගේ පිස්සු වැඩ නිසා ඌට මාව අල්ලලා ගියා වගේම උගේ කෙලින් කතාවයි, කියන දේ කරන කරන දේ කියන ගතියයි නිසා මට ඌව අල්ලලා ගිය නිසා අපි දෙන්නත් හෙන ෆිට් උනා.

"මෙහෙමයි මට අයිඩියා එකක් තියෙනවා කොමියුනිකේෂන් එකක් දාන්න. වීඩියෝ සෙන්ටර් එකකුත් එක්ක. නිමේෂ් ලගේ කඩපේලියේ ලොකු අක්කගේ කඩේ බංකොලොත් උනු නිසා වහලා දාලා තියෙන එකේ අපිට පුලුවන් ඒක සාධාරන ගානකට අපිට කුලියට දෙන්න කියලා ඉල්ල ගන්න. ලොකු අක්ක උඹත් එක්ක ෆිට් නිසා Key money නැතුව දෙන්න කියලා උඹට කියන්න පුලුවන්නේ"

"ම් ම් ම් ම් වැඩේ නම් හොඳයි වගේ. එතකොට උඹේ ජොබ් එක?"

"ඒකෙන් අස් වෙනව බන්. අපි දෙන්න හවුල් වෙලා කලොත් උඹ ඔෆිස් ගිහින් ආවට පස්සේ ශොප් එක බල ගන්න පුලුවන්නේ. ඒ වෙලාවට මට පුලුවන් මගේ ගෲප් ක්ලාස් ටික කරගෙන යන්න. දැන් කරන රස්සාව නිසා මගේ ටියුෂන් ගෝලයෝ ටික සහෙන්න හැලුනා බන්. වෙලාවක් නැති කම නිසාම."

නිශාන්ත විද්‍යා උපාදිධාරියෙක්. දක්ෂ ගණිත ගුරුවරයෙක්. ගෙවල් වලට ගිහින් ප්‍රයිවෙට් ටියුෂන් කරලා හොඳ නමක් හදාගෙන තිබුනා උගේ ගෙවල් පැත්තේ. උගේ ගෙවල් තිබුනේ අපේ ගෙවල් හරියේ ඉඳන් කිලෝමීටර් 2ක් විතර එහාට වෙන්න. උපාධිදාරීන්ට තරුණ අරුණ වැඩසටහන යටතේ ලබා දුන්නු  රැකියාවක් ඌ මේ කාලේ කර කර හිටියේ. ලොකු ආයතනයක විධායක රැකියාවක් ඒත් පඩිය හෙන අඩුයි. ට්‍රේනීස්ලා කියලා රෑ දවල් නැතුව මරෝ මරෝ වැඩ ගන්නවා කියලා නාහෙන් අඬ අඬා හිටියේ.

"ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකකට බහින එක රිස්කි නැද්ද" මම කවදාවත් බිස්නස් කරලා නැති නිසාටත් වඩා අපේ තාත්තා බිස්නස් කරලා නා ගන්න හැටිත් අපිත් ඒ හින්දම දන්න කාලේ ඉඳන්ම කන පරිප්පුවේ රස දන්න නිසාත් මම ඇහුවා.

"නෑ බන් ශාමිලා ත් සිංගපූර් ඉඳන් සල්ලි එවන්නම් කිව්වා හදිසියක් උනොත්"

උගේ කෙල්ල ඒ කාලේ සිංගපූර් වල හොස්පිට්ල් එකක නර්ස් කෙනෙක් විදිහට වැඩ කලේ. මට තාම සෙට් වෙලා තිබුනේ නැති උනාට සහන් කිව්ව විදිහට හෙන understanding වගෙම ජොලි පොරක්ලු.

"හරි මම සෙට් වෙන්නම්, හැබැයි මගේ ඩිසයින් ඔෆිස් එක දාගන්න පොඩි ඉඩක් මටත් ඕන." නිශාන්තයා ගැන දන්න නිසා ත් මොකක් හරි අලුත් දෙයක් කරන්න ඕන කියලා මමත් හිත හිතා හිටි නිසාත් මම වචනේ දුන්නා.

ඒ කාලේ මම ජොබ්ස් තුනක් කලා (මේ 1998 - 1999 කාලේ)

කටුනායක එයාර්පොර්ට් එකේ ප්‍රොජෙක්ට් එකක කන්ට්‍රැක්ටර් කෙනෙක්ගේ කම්පනි එකට ජොයින් උනේ QS පාර්ට් එක විතරයි මට කරන්න තියෙන්නේ කියලා. ඒ උනාට මුලු ප්‍රොජෙක්ට් එකම manage කරන්න උනේ මට තනියෙම. මාදිවෙල ඉඳන් උදේ හවා කටුනායක යන එකත් මට එපා වෙලා හිටියේ.

මගේ කලින් boss එයාගේ projects ඔක්කොම වගේ ක්ලෝස් කරලා බොස්වානා ගියා ජොබ් එකකට. එතකොට එයා කර කර හිටපු ලංකාවේ හෙන ලොකු පොරක්ගේ ගේ renovate කරන project එක මට බාර දීලා ගියා cost management පාර්ට් එක කරන්න කියලා.

ඊට අමතරම මම free lance designer කෙනෙක් විදිහට ගෙදර ඉඳන් AutoCAD යූස් කරලා හවුස් ඩිසයින්ස් කර කර හිටියා.

ඕවා මේවා නිසා වැඩකට ඉන්වෙස්ට් කරනවනම් කරන්න මට සල්ලි හොයා ගන්න අමාරු උනේ නෑ.

මගේ යෝජනාවට නිශාන්තයා කැමති උනා. අපි වැඩේ පටන් ගත්තා.

නිමේෂ්ලගේ ලොකු අක්කා හෙන අඩු කුලියට අපිට කඩේ දුන්නා.

Interior Design කලේ මම මයි.
 
තාත්තගේ Project එකකින් ඉතුරුවෙලා MDF Board,  2x2 රීප්ප හෙන ගොඩක් අපේ ගෙදර මිදුලේ ගොඩ ගහලා තිබ්බා (MDF බෝර්ඩ්ස් නම් ගෙදර ඇඳන් යට). අපේ වැඩේට ඕන කරන තරම් මැනලා අරගෙන ගියා.
 
වඩු වැඩ වලට වඩ්ඩෙක් අල්ල ගත්තට ගෝලයගේ ලී කපලා කොටලා එහෙම දෙන වැඩේ කලේ අපි අපිමයි.
 
කඩේටයි Furniture වලටයි ගාන පාට ඩියුලක්ස් color palate  එකෙන් සිලෙක්ට් කලෙත් මම. තාම මතකයි ඒ කලර් එකේ නම "රිවීරා" පීකොක් බ්ලූ වලට කිට්ටු පාටක්.
 
මම Barefoot ගිහින් මැච් වෙන රෙදි අරන් ආවා කුෂන් වලට.
 
ඔක්කෝම ප්‍රොෆෙෂනල් ජාතියේ වැඩ වලට ප්‍රොෆෙෂනල්ස් ලගේ සේවය ලබා ගන්න ඕන කියලා යෝජනා කලේ මම. නිෂාන්තයා කැමති උනා.
 
කුෂන් ටික ටේලර් කෙනෙක් ලව්වා මස්ස ගත්තා.
 
ඇලුමිනියම් වැඩ ඇලුමිනියම් වැඩ්ඩෙක් කලා.

යකඩ පුටු, ස්ටූල්ස් වෙල්ඩින් ශොප් එකකින් හදෝ ගත්තා.
 
නේම් බෝර්ඩ්, වීදුරුවල කරන ග්‍රැෆික් වැඩ ඒ වැඩ කරන පොරවල් සෙට් එකක් කලා.

ස්ප්‍රේ painter කෙනෙක් පේන්ටින් වැඩ කලා
 
ගොඩක් උන් Free කරලා දෙන්න ලෑස්ති උනා "අඩෝ උඹේ වැඩකට සල්ලි ගන්නේ කොහොමද" කියලා.

"යාලුකම් වෙනයි බිස්නස් වෙනයි. යාලුවෙක්ට උනත් නිකම් වැඩ කරලා හම්බකරන් කන රස්සාව බාල්දු කරන්න එපා මචන්" කියලා මම හැම එකාටම සාධාරන ගනන් ගෙව්වා.

බොහොම ලස්සනට අපි වැඩේ පටන් ගත්තා.
 
ශොප් එකට ආපු හැම කෙනාම කිව්වේ "අඩෝ මේක ගමේ බස් හෝල්ට් එක තියෙන හංදිකට මීටර් 50ක් විතර දුරින් තියෙන ශොප් එකක් නෙමේ shopping complex එකක තියෙන ශොප් එකක් වගේනේ" කියලා.

"ඔක්කෝම මුගේ වැඩ තමයි" කියලා නිශාන්තයා මාව පෙන්නුවහම හීනි ආඩම්බරයක් දැනුනට,

"නෑ මම කලේ පොඩි පාර්ට් එකක් විතරයි මචං . . . ලොකුම වැඩ කොටස කලේ, කරන්නේ මූ තමයි" කියලා නිශාන්තයාව පෙන්නලා වැඩේ නියම අයිති කාරයට ක්‍රෙඩිට් එක අරන් දෙන්න මම පොඩ්ඩක් වත් පස්ස ගැහුවේ නෑ.

අපි හෙන ස්ටෑන්ඩර්ඩ් එකට වැඩේ කරගෙන ගියා - වැල ෆිල්ම් කිසි දෙයක් නෑ. තිබුනත් ඒවා ෆිට්ම යාලුවන්ට ෆ්‍රී දුන්නා මිසක් බිස්නස් එකට අදාල කර ගත්තේ නෑ. 

ටෙලිෆොර්න් බූත් දෙක ඇතුලේ ෆෑන් හයි කරලා දොරවල් ෆුල් සීල් කලා අනිත් අයට conversation ඇහෙන්නේ නැති වෙන්න.

උදේ වැඩට යන මම ගෙදර ආපු ගමන් අම්ම උයල තියෙන දෙයක් කාලා දුවන්නේ ශොප් එකට.

ශොප් එකේ ඉස්සර කෑල්ලේ මගේ කොම්පුටර් එක තියාගෙන මම මගේ ෆ්‍රී ලාන්ස් House Planing සහ Estimation වැඩ කරගෙන ගියා.

මාව හොයාගෙන ආපු මගේ clientsල ට ගෙදරට එනවට වඩා මෙතන ලේසි උනා.

බස් හෝල්ට් එක තියෙන හංදිය හවස 6න් පස්සේ මැස්සෙක් වත් නැති තැනක් වෙද්දී නිමේෂ්ලගේලොකු අක්කගේ කඩේ ලඟ කොල්ලෝ සෙට් වෙන තැනක් උනා.

නිමේෂ්ගේ පොඩි අක්කයි ලොකු අක්කයි ත් එතනම හිටි නිසා කෙල්ලෝ උනත් එතන සෙට් වුනා.

මම ගමේ ඒ තරම්ම ජනප්‍රිය චරිතයක් නොවුනත් ප්‍රියමනාප චරිතයක් වෙලා හිටියා කියලා දැනුනේ "මල්ලී උඹ ඉන්න වෙලාවට තමා වැඩිපුර කට්ටිය මෙතන සෙට් වෙන්න කැමති" කියලා පොඩීයි, ලොකූයි කිව්ව නිසා තමයි.

සමහරවිට ඒ අපේ තාත්තගේ වගේ උස් පහත් බේදයක් නැතුව හැමෝම එක්ක හිනා වෙලා වචනයක් හරි කතා කරන පුරුද්ද නිසා වෙන්න ඇති.

නිමේෂ්ගේ හොඳම යාලුවෝ සෙට් එකත් අපිත් එක්ක හෙන ෆිට් උනා.

වැඩේ නැගලා ගියා. හැමදාම රෑ වෙනකම් කඩේ ඇරගෙන ඉඳලා නිමේෂ්ගේ සෙට් එක්ක එක්ක කොහේ හරි ගිහින් අඩියක් ගහලා ගෙදර එන්නේ දෙගොඩ හරි ජාමේ.

මගේ යාලුවෝ සෙට් එකට දිරෙව්වේ ම නෑ මේ වැඩේ. ඒත් මම හෙන සතුටක් ලැබුව නිසා ගමේ යාලුවෝ සෙට් දෙකම බැලන්ස් කරගෙන වැඩේ කරගෙන ගියා.

අක්කා කසාද බැන්දට පස්සේ හොරු ගෙනිච්චා වගේ උනා මස්සිනා එයාට අපේ ගෙදර එන්න දුන්නේ නැති එකෙන්. නංගිත් බැඳලා ජැපෑන් ගියා. තාත්තා මහ රෑ දෙකක් දාගෙන ගෙදර ඇවිත් තියෙන දෙයක් කාලා අම්මටයි මටයි බැනලා නිදා ගන්නවා. වැඩේ පටන් ගන්න මුලදී අම්මා මගේ උනන්දුව දැකලා ෆුල් සපොර්ට් එක දුන්නට ඉස්සර ඉඳන් කරගෙන ආපු අපි දෙන්නගේ හරබර සංවාද මන්ඩපය (කියවපු කෙටිකතාවක, නවකතාවක, අහපු සින්දුවක, බලපු ටෙලියක, ෆිල්ම් එකක ගුනා ගුන සංවාද; දේශපාලන සාකච්ඡා; අහල පහල ඕපා දූප) නතර කරන්න උනායින් අම්මත් මේ වැඩේට පස්සේ ඒ තරම් කැමැත්තක් පෙන්නුවේ නෑ. ඒත් ලොකු බල කිරීමක් කලේ නෑ.

සෑහෙන කාලයක් ඔහොම කරගෙන ගියා. 

මම සාමාන්‍යයෙන් වැඩක් කරද්දී හරිම උද්යෝගිමත්. මම හිතන්නේ ටිකක් ඕනවට වඩා උද්යෝගිමත්.

මට ඕන වුනේ නෑ අපේ බිස්නස් එක එක තැන පල් වෙනවට. මට ඕන වුනා ටික ටික දියුනු කරන්න. මම යෝජනා ගෙනාවා නිශාන්තට.

"මචං අපි ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් අරගෙන හයි කොලිටි ප්‍රින්ටර් එකකුත් අරගෙන ටයිප් සෙටින්ග් වැඩ එහෙමත් පටන් ගමු. ඇඹුල්දෙනිය හන්දියේ වත් එහෙම වැඩක් කර ගන්න තැනක් නෑ"

"එහා පැත්තේ කඩ කෑල්ලත් නිකම් වහලා තියෙන එකේ ඒකත් ඉල්ලගෙන ස්ටේෂනරි ශොප් එකක් දාමු. වැඩ කරන්න අපි දන්න කියන කෙල්ලෙක් ගමු"

ඒත් නිශාන්තට ඒ ගැන ලොකු උවමනාවක් තිබ්බේ නෑ. ඌගේ කෙල්ලත් සල්ලි එව්වා, ටියුෂන් වලින් පොඩි ගානක් හම්බ උනා. ශොප් එකෙන් සාමාන්‍ය ලාබයක් හම්බ උනා. ඌට එතනින් එහාට බිස්නස් එක දියුනු කරන්න ඕන උනේ නෑ.

මට Rat Race එකක් දුවන්න ඕන උනේ නෑ. ඒත් ඉතිං මිනිසා කියන්නේ උද්යෝගිමත් සත්වයෙක්නේ. අනික මට ඒ සත්වයට තියෙන්න ඕන කරන උද්යෝගිමත් කියන ගුනාංගේ වැඩියෙනුත් එක්ක තිබ්බනේ . . 

මට ඕන උනේ අලුත් දෙයක් කරන්න. 

සමහර විට ලොකු බුක් ශොප් වලට ගිහින් පොත්වල නියම ගාන වගේ දෙගුනයක් ගෙවන අපේ අසල්වාසී දන්න කියන පාරිභෝගිකයින්ට සහනයක් සමඟ අපිටත් යමක් ලැබෙන දෙයක් කරන්න. 

ලියුමක් ගහගන්න හතර අතේ දුවන අයට ලාබෙට ලස්සනට අපේ designing දැනීමයි, නීට් එකට යමක් කරන හැකියවයි භාවිතා කරලා අනිත් අයට quality product එකක් දෙන්න.

"තාම අවුරුද්දක් විතරනේ මචං පටන් අරගෙන . . හදිසි වෙන්නේ නැතුව අපි හෙමීට අලුත් බිස්නස් ඇඩ් කරමු. අනික රිස්ක් එකක් ගන්න ඕන නෑනේ මචං . . මේ හම්බ වෙන ගාන ශේප් කරගෙන යන්න ඇතිනේ." නිශාන්තයාගෙන් බිස්නස් ඩිවෙලොප්මන්ට් ගැන අහන අහන සැරේට කිව්වේ ඕකමයි.

"ඒත් අපි ඉන්වෙස්ට් කරපු ගානයි මහන්සියයි බලද්දී මේ ඩිවෙලොප්මන්ට් එක මට නම් මදි මචන්. අනික දැන් කස්ටමර්ස්ල ත් ගොඩක් අය මොබයිල් එහෙම ගන්න නිසා කෝල්ස් ගන්න එනවා අඩුයි. අපි අපේ බිස්නස් ලයින් එක වෙන වෙන පැති වලට අරන් යන්න ඕන දියුනු වෙන්න නම්. අනික එක තැන පල් වෙද්දී මට ත් මේ වැඩේ ගැන තියෙන උනන්දුව අඩු වෙනවා මචං" මම කොහොමත් කියන්න තියෙන දේ කෙලින් කියනා එකා නිසා කම් අ ගෝ චිකාගෝ කියලා කියලා මට කියන්න ඕන ටික දැම්මා.

"උඹ රස්සාවෙන් අයින් වෙලා බිස්නස් එකට ජොයින් වෙයන්කෝ" නිශාන්ත නිතරම කිව්වා.

"පිස්සුද ඒක මොන බොරු වැඩක්ද? මට දැන් මේ රස්සාවල් තුනෙන් හම්බ වෙන සල්ලි වලින් බිස්නස් එක දියුනු කරන්න පුලුවන්. ඒවයින් අයින් උනොත් බිස්නස් එකට ඉන්වෙස්ට් කරන්න සල්ලි කෝ. මම මේ කරගෙන යන රස්සාව කරන ගමන් බිස්නස් එක දියුනු කරන්න සල්ලි දාන්නම්. නය අරගෙන හිර වෙලා බිස්නස් කරන්න ඕන නෑනේ එතකොට" දුවන මුවන් දැකලා මහන්සියෙන් නෙලා ගත්තු පලා ටික බිමට හලන ජාතියේ වැඩ, විදුලිය එලිය දැකලා ගිනි හුල ලිපේ දාන ජාතියේ වැඩ කරන්න මට ඕන උනේ නෑ.

ලොකු රන්ඩු සරුවල් නොවුනට නිතර ම අපි අතරේ වාද විවාද ඇති උනා.

බිස්නස් එක ඉදිරියට ගෙනියන මගේ ඉදිරියට දැක්මයි, ඒක එක තැන පල් වෙන්න අරින නිශාන්තගේ දැක්මයි එක්ක මේ හවුල් බිස්නස් වැඩේ තව දුරටත් කරගෙන යන්න බෑ වගේ මට දැනුනා.

කියන්න ඕන ටික මම ඌට පැහැදිලි කරලා කිව්වා.

"මචං උඹයි මායි කඹ අදිනවා වගේ උඹ එක පැත්තකටයි මම එක පැත්තකටයි ඇද ඇද මේ බිස්නස් එක කරන්න බෑ"

"කරනවනම් හරියන්න හරි වරදින්න හරි කියලා අපි දෙන්නම එක තැනක ඉන්න ඕන."

"මේ බිස්නස් නිසා උඹෙයි මගෙයි යාලුකම නැති කර ගන්න ඕන නෑ. "

"උඹ වැඩේ තනියෙම කරගෙන පලයන් මචන්. මම මගේ ෆුල් සපෝර්ට් එක දෙන්නම්. "

"බිස්නස් එකේ මගේ ශෙයාර් එක ගනන් හදලා පුලුවන් නම් ටික ටික දීපන්"

"නැතත් අවුලක් නෑ. බිස්නස් එකක් පටන් ගන්න හැටි, කරගෙන යන හැටි, එන ප්‍රශ්න වගේ ප්‍රායෝගික දේවල් ගැන මම මේ ඉගෙන ගත්තු පාඩම ඒ ගානට වඩා මට වටිනවා"

ශොප් එකේ තිබ්බ මගේ කොම්පුටර් එකත් අරගෙන මම ගෙදර ආවා.

මගේ කාමරේ ඉඳගෙන මම කොම්පියුටරේ වැඩක් කර කර ඉන්නැත්දී අම්මා ඇවිත් දොර රෙද්ද දොරට උඩින් දාලා මාව පේන තැනකට වෙලා පත්තරයක් කියවන්න ගත්තා.

ටික වෙලාවකින් මම අම්ම දිහා බැලුවා.

"හවුලේ කැඳත් එපා කියන්නේ ඕකයි පුතේ . . . " අම්මා මූනේ ලාවට සතුටු හිනාවක් රඳවගෙන කිව්වා.

මම අම්ම හිටිය පුටුව පිටිපස්සෙන් ගිහින් බෙල්ල වටේට අත්දෙක දාලා අම්මගේ මූන ඉම්බා.

Pic From : http://ltmdraw.blogspot.ae/2010/09/illustration-friday-proverb-too-many.html

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails