Monday, October 5, 2015

වෙන්වූ දා ඉතින් ඔබෙන් . . පල නෑ මේ තරම් හැඟුම්



අනේ මගේ දෙයියෝ . . හ්
ඔයා මොන හිතකින්ද අපිව දාලා යන්නේ රත්තරා . . ..න්
අපි ඔයා නැතුව සතුටින් ඉන්නේ කොහොමද වස්තුවේ . . . හ්
මං ඔයාට කොයි තරාම් ආදරෙයිද සුදෝ . . . හ්
අපිව දාලා යන්න එපා අයියෝ . . .. හ්

මොකාක් . .
මේ ගෑනි මම ඉන්නකම් මාව කන්න හැදුවා
මෙන්න යකෝ මම මලා විතරයි මේ ගෑනි මට ආදරෙයිලු
මේ ගෑනිට දිස්ටියක් වැහිලද?
මේහ් ඕයි . . ඕයි මේහ්

හෑ . . බුදු අම්මෝ මෙන්න හොල්මනාක්. . !

බෙරිහන් දෙන්න එපා යෝදියේ . .
මම මේ උඹේ මැරිච්ච මිනිහා . .

ඒක තමා වාහේ කිව්වේ ඔහේ හොල්මනක් කියලා 
බුදු අම් . .. 

ස්ස්ස්ස්ස්ස්ස් කෑ ගහන්න එපා ඕයි . . 
මම මලා තමා.
ඒත් දන්නේ නැතෙයි මලාට පස්සේ දවස් හත අටක් යන කම් ඒ ගෙදර මැරිච්චි මිනිහාට ඉන්න ඇහැක් වග?

ආ එහෙමද? 
ඔහේ ආවේ මගෙන් පලි ගන්නද?

අහවල් දේකට පලිගන්නද?
ඉන්න කම් ඔහේ මාව නොමරා මැරුවා තමා ඒත් ඉතින් ඉන් එහා මටෙයි කියලා කොයි තරම් නම් දේවල් කලාද?
උදේ නැගිලටා කෑම උයලා බෑග් එකට එබුවා.
අසනීපයක් හැදුනාම රෑ තිස්සේ ඇහැරිලා සාත්තු සප්පායම් කලා.
එහෙව් එකේ මක්කටෙයි මම ඔහේගෙන් පලි ගන්නේ?

නෑ ඉතින් ඔහේ ජීවත් වෙලා ඉන්න කාලේ අපිට තන්තෝසෙන් ඉන්න ඇහැක් කමක් තිබිලත් පොඩි පොඩි දේවල් මහා ලොකු දේවල් කරගෙන අපි හැමදාම වගේ රන්ඩු කලානේ.
අපේ සතුටට කියල ඔහේ කරපු කොයියම්ම දේක උනත් අඩු පාඩුවක් කොස්සක් හොයලා ඔහේට වචන වලින් දමලා ගැහුවා මිසක් ඔහේ අපි වෙනුවෙන් කරපු කිසිම දෙයක් අගය කලේ නෑනේ.
මෙච්චර දේවල් කරලත් මේ විදිහට කතන්දර අහ අහා ඉන්නවට වඩා මැරෙන එක සැපයි කියලා හිතලා ඔහේ අනේ ඉක්මනට මැරෙනවනම් කියලා හිත හදාගන්න ඇත්තේ ඒ හින්දා වෙනටෑ කියලා දැන් තමයි තේරෙන්නේ අයියෝ . .. 

දැන් ඉතින් ගිය දේ ගියා නෝනේ . . . 
මිනිය උඩින් සුදු මල් දෙකක් තියලා වැලහින්නි වගේ ඇඬුවට දැන් මැරුනු එකාට පන එන්නේ නෑ . . . 
ඉන්න කම් නොමරා මරපු එකාට මලාට පස්සේ මිනිය බදාගෙන ඇඬුවා කියලා සිද්ද වෙන වෙනසක් නෑ . . 
එහෙනම් ඉතින් දැන්වත් සතුටින් ඉන්න පුලුවන් කම තියෙද්දී ඕන නැති කොන් කෑලි හොයාගෙන නිකාන් සතුට නැති කර ගන්න මෝඩ කම ආයේ නම් කොරන්නේ නෑ කියලා හිත හදාගෙන සතුටින් ඉන්න බලන්න !
_________________________________________

සුදු මල් දෙකක් කඩා ගෙනත් 
මා නෙත් ලඟින් තබා 
ඔබේ කඳුලු බින්දුවෙන් තෙමා 
සමුගන්නෙපා එපා
උනුසුම් ඔබේ නෙතේ දියෙන් 
ඒ මල් හඬයි සිතා
නොසිතන් ළඳේ දිනක් නො ඒ 
වැලපෙන්නෙපා එපා . . 

සිනාසුනු ආදරේ නමින් 
බැඳී උන් ජීවිතේ මෙසේ 
වෙ වූ දා ඉතින් ඔබෙන්
පල නෑ මේ තරම් හැඟුම් 
පැතූ පෙම් මාලිගා බිඳී 
ගලා යයි වේදනා දිදී
මන්මත් වූ පැතුම් මැදින් 
පල නෑ මා සොයා ඇවිත් 

සුදු මල් දෙකක් කඩා ගෙනත්  . . 


Pic From: http://simplyoloni.com/shocking-abusive-relationship-stories/

Sunday, September 27, 2015

මාරුතය . . !


මාරුතය 

බොහෝම ස්තූතියි ආවාට 

සිතූ පරිදි බොහෝ දේ විනාස කලාට

විසිතුරු සිහින කැබැලිද

සතුට එකතු කල පුංචි පුංචි දේවල්ද

දස අතට බැඳ තැබූ රැහැන්ද

තව බොහෝ දේද

දැන් ඉතින් ඉතා සරලයි

සියල්ල හොඳින් වේයැයි

බලා ඉන්න එක විතරමයි ඉතුරු

මාරුතය 

බොහෝම ස්තූතියි ආවාට

බලාපොරොත්තු නැතුව ජීවත් වෙයන් යැයි

පාඩම් ඉගැන්නුවාට . . !

Tuesday, September 8, 2015

හදවතේ පිපාසයට - ගී පැදුරෙන් ගී පොදක් . . !



දිවට දැනෙන පිපාසයට දිය අවැසි සේ, කුසට දැනෙන පිපාසයට ආහාර අවැසි සේ ජීවිතයට දැනෙන පිපාසයට මිනිස් සබඳකම් අවැසි බව - මගේ එක් ප්‍රිය නවකථා රචිකාවියක් වූ සෝමා ජයකොඩි මහත්මිය ඇගේ කර්නල්ගේ බිරින්දෑවරු පොතේ සඳහන් කළාය.

එයටම ඌන පූර්ණයක් ලෙස හදවතට දැනෙන පිපාසයට කලාව අවැසි බව මම විශ්වාස කරමි.

සාගරයක් තරම් වූ කලාව නම් වූ විෂයෙන් ගීතය නම් වූ කොටස හදවතට දැනෙන පිපාසය සංසිඳවන මූලිකම දේ බව ගී රසයේ අපූර්වත්වය විඳින්නෝ පමණක් දනී.

නන්දා මාලනී මහත්මිය ගායනා කරන "ලොවම එපා වී ලොවම කලකිරී . . තැවී දැවී හිඳිනා වේලේ" වැනි අවස්ථාවක ගීතයකින් හදවතට දැනන හැඟීම කෙසේ නම් විස්තර කරන්නද?

විරහවෙන් පෙළෙන වෙලාවක ප්‍රේම ගී කුමටද? බණක් දෙසුමක් වත් කෙසේ සිතට ගන්නද? හදවතේ පුරවා ඇත්තේ වේදනාව පමණි. විසෙන් විෂ නසී කියා ඇසූ කතා සැබෑ යැයි සිතෙන්නේ ඒ අවස්ථාවලදීයි . . . හදවතේ පිපාසයට තව තවත් ඉල්ලන්නේ වේදනාවයි.

"මා ගැන මතකය ගුලි කොට මහවැලියට දමන්න . . !"
"ඔබට වරම් නැති මටද වරම් නැති . . සෙනෙහෙස කොතැනද සැඟව ගියේ . . !'
"වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ .. . සදා මේ සංසාරේ අපේ හමුවීම නොවේ. . !'
"ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි . . දෙ අත රැගෙන එකම දිනෙක යළි හමුවෙන්නයි . . !"

සැරව ගලන වේදනාබරිත තුවාලය සැතකින් තව තවත් සූරා දමයි. තුවලය සුව වෙන්න පටන් ගන්නේ ඉන් පසුයි . .

ගීතය වේදනා සමනය කරන්නේ එවන් වූ අපූරු ආකාරයකටයි.

ඒ අපූර්වත්වය සොයා දැන ගන්න අපට රත්න ශ්‍රී විජේසිංහ වැනි ප්‍රවීණ ගීත රචකයන්ගේ, ශ්‍රේෂ්ඨ කවියන්ගේ මඟ පෙන්වීම අවැසිය.

ප්‍රේමයෙන් ඔකඳ වී ඉන්නා විට ගෙවෙණා කාලයේ ලෝකය හැල්මේ දුවන බවක් දැනෙනවාද? උදේට ඉර පායන බව, හවසට ඉර බහින බව දැනෙනවාද? හැමදාම දුටුවත් සැබෑවට නොදුටු, ගස්වල අපූරු මල් පිපෙන බව, කුරුල්ලෝ හැමෝම කෑ ගසන්නේ එකම හඬකින් නොවන බව ආදී ලෝකේ විසිතුරු බව පසක් වන්නේ ඒ කාලයේයි . .

"සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ . . . මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ . . . සිනාසී . . ."
"සඳ පානේ ඝන අඳුරේ . . අත් පටලා යමු ආයේ. . "
"යොවුන් වසන්තයේ . . දුහුල් වලා රොදේ . . රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා . . "
"සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා . .එන්න යන්න මල් මාවතේ . . !"

ප්‍රේමය නිසා ඉපදී පොපියන සිතුවිලි උත්කර්ෂයට නංවන්නේ ගීතයයි . . . 

එවන් වූ ගීත සොයා ප්‍රේමයෙන් මුසපත්වූ හදවත් වල පිපාසය සංසිඳවා ගන්න ප්‍රේම ගී වල සැබෑ අරුත් දැන ගන්න අපට රත්න ශ්‍රී විජේසිංහ වැනි ප්‍රවීණ ගීත රචකයන්ගේ, ශ්‍රේෂ්ඨ කවියන්ගේ මඟ පෙන්වීමක් ලැබෙනවා නම් කොයි තරම් අගනේද?

සමාජයේ සියලුම ස්තරයන් විනිවිද දකින මහා කවිකාරකමින් හෙබි නමුත් නිහතමානී කවියෙකුගෙන් අප නිතර අසන ගීත කිහිපයක දිග පළල . . අප ඇසට අසු නොවූ අතට අහුනොවූ මානයන් අසා දැන ගන්න අවස්ථාවක් ලැබේ නම් එවන් අපූර්ව වූ සන්ධ්‍යාවන් සිහිනෙන් දිවගෑ සුවඳක් මෙන් සදා මතකයේ රැඳේවි.

පාළු කතරක රැකියාව කරමින් හදවතේ පිපාසය ගීතයෙන් සංසිඳවාගන්නා සහෘදයන් එවන් වූ අවස්ථා උදාවෙනකම් මඟබලා සිටිනව කීවොත් නිවැරදියි.

විශේෂයෙන් මව් බිමෙන් බැහැරක සිටියදී, මව්බිමේදි නිතර නැතත් දුර්ලභ නැති නමුත් මැදපෙරදිගදී දුර්ලභ අත්දැකීමක් වන එවන් වූ අවස්ථාවක් කෙසේ නම් මඟහැර යමුද?

ප්‍රවීණ ගීපද රචක රත්න ශ්‍රී විජේසිංහ කවියා ලවා එවන් වූ දුර්ලභ අවස්ථාවක් ඔබට මට උදාකරදෙන්න මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රමාණ සමීක්ෂක පාඨමාලාව හදාරා එක්සත් අරාබි එමීරයේ සේවය කරන සොයුරු සොයුරියන්ගෙන් සැදුම් ලත් QSUM සංවිධානය විසින් කටයුතු සකස් කර ඇත.

මේ මස (සැප්තැම්බර්) 18 වෙනි දින ඩුබායි කොලේජ් ශ්‍රවණාගාරයේදී සවස 6.30 සිට ප්‍රවීණ ගායක ටී.එම්. ජයරත්නයන්, ප්‍රවීණ ගායිකා දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, වජිනියා සමරනායක ආදීන් ඔබ වෙනුවෙන් ගීතවත් වෙන්න බලාපොරොත්තුවෙන් සිටී.

ප්‍රවීණ සංගීතවේදී නාලක අංජන කුමාර විසින් එක්සත් අරාබි එමීරයේ අකනිටා වාදක මණ්ඩලයට නායකත්වය දෙමින් ඔවුනට සංගීතය සපයයි.

රත්න දී විසින් රචිත සුනිල් එදිරිසිංහ ගයන "ලෙංචිනා මගේ නංගියේ ඇයි ගං තෙරට වී ගොම්මනේ" සහ නිරංජලා සරෝජනී සහ ගුණදාස කපුගේ ගයන "නිර්මලා ලොන්ඩරිය හිමි සලුවඩන මැණිකේ නිර්මලා" යන ගීත අපේ සමාජයේ පහළ යැයි සම්මත කුල දෙස හෙළූ සානුකම්පිත බැල්මක් බව සියලු විචාරකයින්ගේ මතයයි.

ඒ පිලිබඳව ගීත රචක යසනාත් ධම්මික බන්ඩාර විසින් ඔහුගේ බ්ලොග් අඩවියේ ලිපියක් පල කර ඇත
ඒ සම්බන්ධයෙන්ම දිවයින පුවත්පතේ පලවූ ලිපියක් මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්

රටක ජීවත්වන විවිධ ජනකොටස් අතරේ සාමාහිකත්වයක්, සංහිඳියාවක් ඇති කිරිමේ අදිටනින් රත්න ශ්‍රී ලියූ තවත් ගී දෙකක් මේ - කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන "ශාන්තිනි තෙමා වැටේ නළල කුංකුමන්", ගුණදාස කපුගේ ගායනා කරන "කල්ලඩි පාලම පාමුල සිංදු කිව්ව මාළුවෝ" .

ගීත රචක දයානන්ද රත්නායක ගේ අස්වැන්න බ්ලොග් අඩවියේ "කවිකමේ ගුණ සුවඳ ගී මග පුරා පතුරන රත්න ශ්‍රී." ලිපියේ මෙසේ සඳහන් වී ඇත

"රත්න ශ්‍රී විජේසිංහයන් මේ වන විට ලියා ඇති ගීත ප්‍රමාණය හාරදහසකට ආසන්නය. කවියෙකු ලෙසින් ඔහු සිය කවීත්වයේ ප්‍රභාව විහිදා ඇති කාව්‍ය කෘති සංඛ්‍යාව හතකි. ඒ අතර බිය නොවන්න අයියණ්ඩි, වස්සානේ, සුබ උදැසන, තරු ලකුණ, සල්ගහ යට, මධ්‍යම යාමය සහ සන්ධ්‍යා තීර්ථය යන කෘතීහු වේ, ඔහුගේ ගී මංපෙතෙහි අතුරා ඇති ගී පද රචනා කෘති සංඛ්‍යාවද හතකි. ඒ අතර වංක ගිරිය අරණේ, සුදු නෙළුම, ගංගා ගීතය, ඉරබටු තරුව, නෙත නිලුපුල්, ආලකමන්දා සහ නිකිණි වැස්ස යන කෘතීහු වේ. මේ වන විට කව්‍ය කෘතිවලින් හතරක් ද, ගීත කෘතිවලින් හතරකට ද රජ්‍ය සාහිත්‍ය සම්මාන සහ විද්‍යෝදය සම්මානය හිමි වී ඇත. ඒ සියල්ලට අමතරව විවිධ පුවත් පත් සහ සඟරාවලට ලියු ලිපි ඇතුළත් විවිධ ලිපි කෘති ගණනාවක්ද ළමා කෘති ගණනාවක්ද ලියා පළකර ඇත"

එවන් වූ ප්‍රවීණ කවියෙකුගේ මඟපෙන්වීමෙන් පැය කිහිපයක් පුරා ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත රසවිඳින්න අපූරු සංගීත සැඳෑවක් ගතකර හදවතට දැනෙන පිපාසය සංසිඳුවා ගන්න මේ 18 වෙනි සිකුරාදා සවස 6.30ට ඩුබායි නගරයේ ඩුබායි කොලේජ් හි ඔඩිටෝරියම් එකට එන්නැයි ඔබට මෙසේ ඇරයුම් කරමි.

QSUM සවිධානය විසින් වාර්ෂිකව සංවිධානය කරන මේ ගී සැඳෑවේ තුන්වෙනි වර ප්‍රසංගයේදී කලින් වසර වලදී සිදුවූ යම්කිසි අඩුපාඩුවක් - කුඩා දරුවන්ගේ එහා මෙහා දිවීම් නිසා ගීත රසවින්දනයට ඇතිවූ බාධාවන් මඟහරවා ගැනීම වෙනුවෙන් මෙවර ප්‍රසංගය ඩුබායි කොලේජ් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට තීරණය කර තිබෙන බවත් සඳහන් කල යුතුයි.

මේ අපේ ගී පැදුර 2015 වෙනුවෙන් සකස් කල ෆේස්බුක් ඉවෙන්ට් එකේ ලින්ක් එක. යන්න තීරණය කල අය දැන්ම මේට ගිහින් ගොයින් කියලා සඳහන් කරන්න

මේ වීඩියෝවේ ඇති පැහැදිලි කිරීම වැනි නමුත් කෙටි පැහැදිලි කිරීම් ඔබට එදාට අත්විඳිය හැකියි



රත්න ශ්‍රී ලියූ අතරින් කීපයක් මේ
බිම්බරක් සෙනඟ ගැවසෙන - ගුණදාස කපුගේ
සොඬින් නෙළුම් මල ගෙනියන ඇතින්නියේ - අතුල අධිකාරී
චන්ද්‍ර මන්ඩලේ සැතපුන පුංචි සාවියේ - සුනිල් එදිරිසිංහ
දේදුනු පාලම (මිනි මිනි පොද වැටේවි ) - එඩ්වර්ඩ් ජයකොඩි
කිරුළ මුතු ලිහී - ජානක වික්‍රමසිංහ
කොන්ඩ කිරිල්ලියේ - කරුණාරත්න දිවුන්ගනේ
මා ඉතින් යන්න යනවා - සුනිල් එදිරිසිංහ
නාඩන් පුංචි හිරමනේ - ප්‍රදීපා ධර්මදාස
මේ කන්ඩ්න්හුලු බින්දුව - සුනිල් එදිරිසිංහ
නින්ද නැති රැයේ - ගුණදාස කපුගේ
සිංහල සිංදු කියන - ගුණදාස කපුගේ

Thursday, August 27, 2015

ආච්චිගේ කොලම . . !


වර්තමානයේ පවතින දේශපාලන තත්වය උපහාසයට ලක් කරමින්, කිසිදු පක්ෂයකට හෝ කන්ඩායමකට දේශපාලන භාශාවෙන් කියන කඩේ යෑමක් නොකර, තීරු ලිපි ලියන්නෙක් වේ නම් ඒ සහන් කසීර වික්‍රමසිංහ පමනි.

මා එසේ පැවසීමඅසාධාරන නොවේ යැයි සහන්ගේ ආච්චිගේ කොලම කියවූ යම් කිසිවෙක් වෙද්ද ඔවුන් මා හා එකඟ වේයැයි සිතමි.

කසීරගේ ආච්චි එතරම්ම අති දක්ෂ ලෙස බොහෝ සිදුවීම් උපහාසයට ලක් කරනු මා දැක ඇත.

තමා ජැකලින් ෆර්ඩිනඩ්ස් තරම්ම් සුරූපී යැයි සිතා සිටින ඇය තමාට අම්මේ කියා ඇමතූ මහින්ද රාජපක්ෂ මහතා කෙල්ලන් සමඟ සෙල්ෆී ගනිද්දී උරණවන්නීය.

අසිහියෙන් දතක් පුරවා ගන්න ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙක් මුන්ගැහෙන්න යන ඇය නිදහසට කාරනා කියන්නේ කනේ අමාරුවට ශශී වීරසිංහ ප්‍රසව හා නාරි වෛද්‍යවරු මුගැහෙන්න ගියා නම් මට බැරි ඇයි කියායි.

එතරම් අසිහිය ඈ විටෙක සීයා ඇයට ලව් කරනා කාලයේ ඇගේ පිඟානට කිරියා කෑල්ලක් නොබෙදා මැගිලින්ට කිරියා බෙදූ බව සිහියේ තබාගෙන සිටී . .

ජේවීපී කාරයින්ට දැන් ඉතිරිව ඇත්තේ සාමාජිකයන් කාලයක් තිස්සේ වැවු දිග රැවුල් පමණක් කියා කෝචොක් කරන ඇය නවගත්තේගම ගුරුවරිය දණ ගැස්සු හිටපු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාට ගුරුවරියක් හෝ සිසුවියක් දූෂණය කරන්න අවස්තාව ලබා දෙන්න යලිත් වරක් නාමයෝජනා ලබා දෙන්න ඕනෑ බව කියයි.

සමාවන්න. . මගේ අටුවා ටීකා ටිප්පනි හෙවත් මල්වඩම් අනවෂ්‍ය බව දනිමි. එහෙත් මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මාන උළලේ තීරුලිපි සංග්‍රහ සඳහා ලියවුනු පොත් වල අවසන් වටයට කසීරගේ ආච්චිගේ කොලම පොතත් යෝජනා වී ඇති බව දුටු විට ඇතිවූ සතුට ප්‍රකාශ කිරීමට මට වෙන ක්‍රමයක් එකවරම සිතා ගත නොහැකි විය.



එබැවින් මගේ බ්ලොග් අඩවියේ ඔහුගේ තීරු ලිපි රචනා කීපයක කොටස් අමුනා ඒ ඒ සම්පූර්ණ තීරු ලිපියම කියවීමට කියවන්නන්ට පහසු ආකාරයෙන් ලින්ක් ලබා දී කෙටි ලිපියක් ලිවීමෙන් සෑහීමකට පත්වන්න සිතුවෙමි.

මට වසර 10යේදී පමන මාස කීපයක් අම්මාගේ ගැබෙහි හිඳ හදිසියේ නික්ම ගොස්, වෙනත් මවු කුසකින් ඉපද බොහෝ පසු කාලයක මට හමුවූ සෝයුරා කියා මා විස්වාස කරන නිසාම නොව, මැදිවයසට එනතුරු සෝයුරෙකු නැති හිස්තැනක් තිබූ ජීවිතයේ හිස්තැන පුරවාපු නිසාම නොව . . . සහන් කසීර වික්‍රමසිංහ නම් වූ සහජ නිර්මාණශීලීත්වයක් හිමි තරුණ නිර්මාපකයා වෙනුවෙන් ලියූ කෙටි සටහනක් ලෙස මේ සටහන තබමි.



සහන් කසීර වික්‍රමසිංහගේ ෆේස්බුක් පිටුවේ ඇති ආච්චිගෙ කොළම තීරු ලිපි කීපයකින් උපුටා ගත් කොටස් කීපයක් පහත ඇත. සම්පූර්ණ ලිපි කියවන්න ඒ ඒ ලින්ක් එක මත ක්ලික් කරන්න.

"ආච්චි ඉස්ලාම් ආගමට හැරුණාය. මේ වගක් අසා කම්පාවට පත් අපේ සීයා, ජනපතිවරණය අවසන් වූ විගස සාටකය ද අමතක කර රට අත්හැර ගිය බැසිල් මැතිඳුන් මෙන් සිංහලේ පැන්නේ අමුඩ ලේන්සුවද වැලේ අමතක කර දමමිනි."  තීරු ලිපියම කියවන්න

"ආච්චි ඡන්ද පොළට යාමට බැරියැයි කන්කෙඳිරි නගන්නීය. වෙනකක් තබා පසුගිය මැතිවරණයෙන් පසු තිස්ස අත්තනායක මහතාට වූවාක් මෙන් එළියට බහින්නටවත් බැරි තරමට ලැජ්ජ්ජාවෙන් පසු වන්නීය. >> අවසානයේ ඇය සීයාට දොස් පවරමින් මාධ්ය හමුවේ සාකච්ඡා කරනවාට අමතරව ස්වයං රැකියාවක් කිරීමට තීරණය කළාය. ඒ අනුව ගෘහස්ත කර්මාන්තයක් ලෙස නිවසේ සිටම පරිගණක මෘදුකාංග නිපදවීම ඇරඹූ ඇය සුසිල් ප්රේමජයන්ත මහතාගේ පින්තූරයක් ද රාමු කර දිනපතා දුම් ඇල්ලීමට කටයුතු කළාය"  තීරු ලිපියම කියවන්න


"ආච්චි ගේ පැහැර ගැනීම සම්බන්ධව පොලිස් පැමිණිල්ලක් කරන්නට යාමේ අවසාන ප්රතිපලය වූයේ සීයාව රෝහල්ගත කිරීමට සිදුවීමය. අතුරුදන් ව ඇත්තේ කාන්තාවක් වන්නට උවමනා නැත. රෙදි වැලක වනා තිබූ ගවුම් රෙද්දක් නැති වූවත් ලංකාවේ පොලිසියට ඇත්තේ එක් පොදු අනුමානයකි. "ආච්චි කොල්ලෙක් සමග පැන යන්නට ඇති බවත් දවස් දෙක තුනකින් නැවත පැමිණෙනු ඇති බවත්" පොලිසිය පවසනු අසා සීයා ට කලන්තය සෑදිණ.  >> දැන් ගෙදර එක ගිනි විජ්ජුම්බරයකි. සීයා ආච්චි සමග විරසක වී ඇති අතර ඔවුන් දැන් අතුල - සමිතා තරමට ගමේ ජනප්රියය. මේ නාඩගම් නිසා තාමට දීගයක් කරගන්නට බැරිවෙතැයි පසුතැවිල්ලෙන් සිටින අක්කා සැනසූ ආච්චි , තව කිහිප දිනකින් මහින්ද රාජපක්ෂ මහතා සමග නැගිටින රැළියක් පැවැත්වෙන බවත්, ඉන්පසුව සීයා ගේ විරසකය අවසන් වන බවත් පැවසුවාය. අපට නම් ඔය කතා මෙලෝ දෙයක් තේරෙන්නේ නැත. ආච්චි පැහැදිලි කරන ආකාරයට මහින්ද සමග නැගිටින රැස්වීම් වලින් මෙතෙක් සිදු වී ඇති එකම සෙතේ වන්නේ විරසක වී ප්රසිද්ධියේ ගහ මරා ගත් දික්කසාද ජෝඩු යළිත් හාද වීමයි" තීරු ලිපියම කියවන්න 

"ආච්චිට ගිහි ගෙය කල කිරී ඇත. ජනවාරි නම වැනිදායින් පසුව නිවෙසට වී හැඬූ කඳුලින් , නොකා නොබී සිටි ඇය යාන්තම් ජීවිතය ගැට ගහගත්තේ තුන් වේලට බඩපුරා ආහාර ගැනීමෙනි. ගම්මු පැමිණ ඇය හාමතේ මිය යාවියැයි යන බියෙන් කෑම බීම කන්නටැයි බල කළ ද ඇය පවසා සිටියේ හිටපු ජනපති තුමන් අතින් තැඹිලි වීදුරුවක් පානය කරන තුරු තම උපවාසය අවසන් නොවන බවය. නමුත් ආච්චිව අමතක කළ හිටපු ජනපති තුමන් දහ අටේ ගැටිස්සියන් පිරිවරා සෙල්ෆී ගන්නා අයුරු රටම දැනගත් අතර, ඒ අසා අපේ ආච්චි විජාතික කුමත්රණයක් දුටු විමල් වීරවංශ මහතා මෙන් පරල වන්නට වූවාය.  >> සිනා නොමසෙන් දසන් දක්වා යැයි කාව්යශේඛරයේ කියා ඇත්තේ ආච්චි ටය. රූපවාහිනිය ඉදිරිපිට වාඩිගත් විට අපේ ආච්චිගේ හැසිරීම අන්තිමය. නිරෝෂාලා , යුරේනි නොෂිකලා කැළේය. විටෙක බඩ අල්ලාගෙන සිනා වෙන ඇය විටෙක කොක් හඬලා සිනාසෙන්නීය. යහපාලන ආණ්ඩුව ට පින් සිදුවන්නට යාපනයේ පාසැල් සිසුවියන් දූෂණය වන බව නාමල් රාජපක්ෂ මහතා ට්වීට් කර තිබෙනු දැක ආච්චි සිනාව නතර කර ගත්තේ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්රා ෂීක් ගේ ඡායාරූපයක් නැරඹීමෙනි" තීරු ලිපියම කියවන්න 

"ආච්චිගේ සිත පෑරී ඇත. ඉන්දියාවේ සිට පැමිණි නරේන්ද්රසිං මෝදි මහතා අත් දෙක වන වනා එනු දැක ඇය යහපාලනය පිළිබඳ කලකිරීමෙන් පසුවේ.ආච්චි පවසන විදියට මෝදිට ඇඳුම් බෑගයක්වත් ගෙන ඒමට උවමනාවක් නැත. මොකද කියනවා නම් වත්මන් ජනපති තුමන් ළඟ මෝදිටත් සෑහෙන්නට ඒ ජාතියේ ඇඳුම් තිබෙන බැවිනි. >> සියල්ල මෙසේ වෙද්දී හිටපු ජනපතිතුමන් මිහින්තලයේදී මාධ්යවේදීන් ට පවසා සිටියේ පොලිස්පති කිව යුතු දේ නීතිපති කිවයුතු දේ එක එක්කෙනා කියමින් සිටින බවත් එය යහපාලනය නම් දෙයියන්ගේ පිහිටම බවත්ය. එසේ පැවසූ එතුමා සම අසුනක වාඩි වී හිඳිමින්ම සංඝයා වහන්සේ නමකගෙන් පිරිත් නූලක් බැඳ ගත් අතර සිරිසේන මැතිණිය එලිසෙබෙත් රැජින අදිරිපස හිස නැමූ ආකාරය රස විඳි බොහෝ දෙනෙකුට එම දර්ශනය මගහැරී තිබිණ." තීරු ලිපියම කියවන්න 

"කෙසේ නමුත් මේ දිනවල ඇගේ සිහි බුද්ධිය එතරම් හොඳ තත්වයක නැත. ආච්චි පුරවන්නට තිබූ දතක් පෙන්වීමට ප්රසව හා නාරි වෛද්යවරයෙක් හමුවීමට ගොස් තිබූ අතර ඇය පවසන්නේ ශෂී වීරවංස ඔවුන්ට ගේ කණේ අමාරුව හොඳ කිරීමට හැකි නම් ඇගේ දත ද පුරවන්නට හැකි වනු ඇති බවයි. - >> එක් ගමන් බලපත්රයක සඳහන් වයස අනුව බාල වයස්කාරියක විවාහකර ගැනීමේ වරදට තමා නීතිය හමුවට පැමිණවීමට පවා ඉඩ ඇති බැවින් වහාම දික්කසාද විය යුතු බව සීයා බල කර සිටියේය. අනෙක් ගමන් බලපත්රයට අනුව ආච්චි අපේ අම්මාට වඩා වසර දෙකක් වැඩිමල් වන බැවින් පංසලකට ගොස් බණක් භාවනාවක් කරන්නට කාලය එළඹ ඇතැයි යෝජනාවක් නැගිණි. එයට අකැමැත්ත පළ නොකරන ආච්චි පවසන්නේ නිවන් යන්නට වුණත් උපන්දිනය සෙලිබ්රේට් කරන හාමුදුරු කෙනෙක්ගේ පන්සලක් ම සොයාගතයුතු බවයි" තීරු ලිපියම කියවන්න 

""මාළිගාවේ මා රැජිණි යනුවෙන්" සුජාතා අත්තනායකයන් එදා ගැයූ අතර අපේ ආච්චි එය වරදවා වටහා ගෙන දළදා මාලිගාවේ දී මහ රජාණන් දැක රැජිණක මෙන් විලාප දී හඬන්නට විය. මට සිතෙන විදියට නම් ලංකාවේ කාන්තා ප්රජාව සම්ප්රදායක් වශයෙන් ගිය හකුරට අඬා වැලපෙන්නට රුසියන්ය. වසර ගණනාවකට පෙර ෂිහාන් මිහිරංග නම් කොලුවෙක් සුපර් ස්ටාර් තරගයේ හයවැනියා ලෙස පරාජයට පත් වූ අතර එතැන් සිට සමස්ත ලංකා විලාප දී හැඬීමේ කාන්තා තරගය ආරම්භ විය. - >> යූ ඇන් පී ය කෙසේ කිවුවත් එතුමා විඳින්නේ එසේ මෙසේ දුකක් නොවේය. අච්චර හඩු පෙරාගෙන - කොණ්ඩේ අවුල් කර ගෙන අඩුම තරමේ හරි හමං උඩු රැවුලක් වත් නොතිබූ ගඩාෆි වටේ හිටියේද අතිශය සුරූපි , උද්යෝගිමත් ලලනාවන්ය. නමුත් යුද්ධය නිමා කළ,සාඩම්බර පෙනුමක් ඇති නිතරම අතේ වශී බෝලයක් තබාගෙන සිටින අපේ හිටපු ජනපති තුමන් වෙත ආකර්ෂණය වන්නේ හොටු පෙරාගෙන අඬන වියපත් කාන්තාවන්ය. ආච්චි නම් පවසන්නේ ඕවා දිට්ඨ ධම්ම වේදනීය කර්ම බවයි. වයස හැත්තෑවේදී තම සම වයස් කාන්තාවන්ට අම්මේ යැයි ඇමතීමෙන් සිදු කර ගත්තාවූ කුසල කර්මය හේතු කොට ගෙන එතුම දුටු දුටු තැන හැත්තෑවේ ආච්චිලාට තනි ඇහැට පවා ඇඬෙන බව ඇගේ මතයයි" තීරු ලිපියම කියවන්න

"තමා ජනපති මහින්ද මහතා පරදින බව දැන සිටි බව සුමනදාස නම් වූ යක්දෙස්සාණන් පවසා සිටි අතර ආච්චි පවසන්නේ එහෙනම් ජය ගන්නවා කියන්නට ඇත්තේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය ගැන බවයි.කෙසේ නමුත් ගාළු මුවදොර පිටියේ ජාතික වීරයන්ගේ පිළිම අතරට සුමනදාස ගේ පිළිමයක් තැබීමට තරම් ඔහු ජාතික මෙහෙවරක් කළ අයෙක් යැයි පවසන ආච්චි පවිත්රා වන්නිආරච්චි මහත්මිය ඔට්ටු ඇල්ලූ නිවස පිළිබඳව සොයා බැලුවාය. තමාත් නංගීත් මෙච්චර කල් වැටී සිටි ගෙදර ඔට්ටු අල්ලන බව ඇමතිනිය පැවසුවාය. පවිත්රා මැතිනිය සහ ඇගේම සහෝදරියක ජීවත් වූවානම් එක්කෝ අහළ පහළ එක ගෙදරක්වත් තිබෙන්නට බැරි බවත් සමහර විට බිහිරි පාසලක් නම් තිබෙන්නට පුළුවන් යැයි ආච්චි අනුමාන කරන්නීය. ආච්චිට හාල් ගරන ආකාරයත් , යශෝදරාවගේ මැරිටල් ස්ටේටස් පිළිබඳවත් සුසන්තිකා දෙසූ බණ ඇසූවන්ට ඉතිරිව ඇත්තේ ජේතවනයට ගල් ගැසීම පමණක් බව පවසන ආච්චි ලයිට් කපන විට පවා සති දෙකකට පෙර නෝටිස් දෙන බැවින් සෝමරත්න දිසානායක සහ ඔහුගේ ඇඹේණියට ඊ ළඟ ජනපතිවරණ දිනය කල් තියා දන්වන්නැයි නව ජනපති තුමන්ට දන්වා සිටියේ පිල් මාරුවකට සාධාරණ කාල සීමවක් අවශ්ය බැවිනි" තීරු ලිපියම කියවන්න 

"කසාදයක් කර ගත යුතු වයස එළැඹ ඇති බව මා කොතරම් පැවසූවත් පලක් වෙන පාටක් නැත. අපේ ආච්චි පවසන්නේ දැන් කාලයේ සිටින කෙල්ලන් සමග දීග යනවාට වඩා පොලිසිය සමග සැඟවූ ආයුධ පෙන්වීමට යාම හිතකරදායක බවයි. එහි ද ඇත්තක් නැත්තේ නොවේ. අද කාලයේ පොලිසිය කෙතරම් කාර්යක්ෂම ද කිවහොත් තව අවුරුදු දෙකක් ගත වෙන විට නීතිඥ වරුන්ට සහ නඩුකාර උන්නාන්සේලාට රස්සාවක් නැතිවේ යැයි මසිතේ සැකයක් පවතී . >> ඔය අතරවාරයේ විපක්ෂයේ පොදු අපේක්ශකයා විසින්තම මෑණියන්දෑ පැහැරගත් පවසමින් ළමා නළුවෙක් අයි.ටී.එන් නාලිකාවේ හොටු බේරෙන රඟපෑමක නිරත විය. අපේ ආච්චි පැවසුවේ සෝමරත්න - රේණුකා යුවල කරණම් නොගසා සිටියා නම් ඔය ළමයා යොදා තවත් ළමා චිත්රපටයක් නිර්මාණය කර රාජ්ය බලය යොදාගෙන ප්රදර්ශනය කරන්නට තිබූ බවයි" තීරු ලිපියම කියවන්න

"ඒ කතා වලින් වැඩක් නැත. අපේ ආච්චිගේ හිතත් විපක්ෂ මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතාගේ හිත වාගේමය. මේ දැන් කියූ දෙය තව මොහොතකින් අමතක කර දමන ආච්චි සියලුම පරණ කථා අමතක කර මේ දිනවල වර්ණ භේද වාදයට එරෙහිව නැගී සිටින්නැයි ඉල්ලා සුප්රකට රෝසා පාර්ක් මෙන් සටන්කාමිනියක් වී ඇත.මා දන්නා තරමින් ලංකාව තුළ එබඳු ගැටළුවක් නැති වුවත් ආච්චි සිතන පරිද්දෙන් මේ රට තුල කළු සමට ඇත්තේ අඩු සැලකිල්ලකි. ඒ කෙසේද පැවසුවහොත් කළු පාට ගෑවුණු කිසිම දෙයකට මේ රට තුළ අගයක් නොමැති නමුත් සුදු පැහැති සෑම දෙයක්ම පාහේ ප්රධාන ප්රවෘත්තියක් වේ. කැස්බෑවෙක් වේවා නයෙක් වේවා අතුරුදන් වී ඇත්නම් උන් සුදු පැහැති එවුන් වන අතර උන්ගේ වටිනාකම ද කියා මිල කළ නොහැක. - >> මෙම සිදුවීම පසු ගිය වසරේ සිදු විණි නම් මේ සුදු නයා තමාගේ ලොකු තාත්තා බවත් තමාට පීඩා කරන දුෂ්ටයින්ට දෂ්ට කිරීමට ලොකු තාත්තා සත්තු වත්තෙන් පැන ආ බවත් "නයි නළඟන" මවුබිම පත්තරයට පවසනු ඇති බව ඇයට විශ්වාසය.මේ ආකාරයට "සුදු" පාට හැම මගුලම අතුරුදන් වෙන්නට ගියොත් තව ටික කාලයකින් "ෆෙයාර් ඇන්ඩ් ලවුලි " සමාගම ලක් වාසීන් වෙනුවෙන්ම සම කළු පැහැ කරවන ක්රීම් වර්ගයක් හඳුන්වා දෙතැයි පවසන ඈ පොලිස් මාධ්යප්ර කාශක තුමා ඔහුගේ සුදු දත් ටික හංගාගෙන පච කෙලින්නේ මන්දැයි තමා තේරුම් ගත් බව ද පවසන්නීය" තීරු ලිපියම කියවන්න 

"ජාතික රූපවාහිනියේ සැළලිහිණියාටත් වඩා වැඩි වෙලාවක් රූපවාහිනී තිරයේ දිස් වන පොලිස් මාධ්ය ප්රකාශක තුමා ආර්. දුමින්ද සිල්වා මහතාට පසු හිරු නාලිකාවේ වැඩිපුරම දක්නට හැකි පුද්ගලයා බවට පත්ව ඇත. >> මේ අතරතුර රතු සාළුවක් සොයා ගත් අපේ ආච්චි කඩිමුඩියේ පරණ ට්රන්ක පෙට්ටියක් ද රැගෙන ගෙදරින් පිටත් වුවාය. නිරන්තරයෙන්ම සිංහල උපසිරැසි සහිත හෝ සිංහල හඬ කැවූ කොරියානු ටෙලි නාට්ය නරඹන බුද්ධිමත් ලාංකීය තරුණියක වන ආච්චි ගේ සිත චංචල බැවින් මා බියට පත් වුණෙමි. ඇය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නට යන්නේයැයි සැකයෙන් ආච්චි පසුපස හඹා ගිය මුත් ඇය පැවසුවේ හැට පැන්නත් තවම හොට බිම ඇනී නැති බැවින් එවැනි තීරණයකට එළැඹීමට අවශ්ය නැති බවයි. ජනතා විමුක්ති පෙරමුණ ට දැන් ඉතිරිව ඇත්තේ සාමාජිකයන් කාලයක් තිස්සේ වැවු දිග රැවුල් පමණක් බව පැවසු ආච්චි අන්ජාන් උම්මාට රැවුලක් නැති බැවින් ඇයට ද ඇඩ්රස් නැති වී ඇතැයි සිහිපත් කළාය >> ඇය "දෙරණ - වාද පිටිය" හරහා ගොන්පොර බැලීමට තීරණය කර තිබිණ. දයාසිරි - හරීන් ගේ දේශපාලන දැනුමෙන්පිරී ඉතිරී ගිය වාද පිටිය නරඹන අතරමග කිහිපවරක්ම ජනේලය හැර ටොමියාට කෑ ගැසූ ආච්චිට සද්ද බද්ද එන්නේ මිදුලේ බලු පොරයකින් නොව දෙරණ වාද පිටියෙන් බව තේරුම් කර දීම පහසු වූයේ නත .එය නැරඹු පසු ඇය පවසන්නේ මින් ඉදිරියට ජනපතිතුමන්ගේ දෑත ශක්තිමත් කරන්නට අදහස් කර සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ට නියමිත එන්නත් නිසි කලට ලබා ඇති බවට පශුවෛද්යවරයෙක්ගෙන් සහතිකයක් රැගෙන ඒම අනිවාර්යය කළ යුතු බවයි" තීරු ලිපියම කියවන්න

"ලාංකීය බොදුණුවන් ඇසල පොහොය එළැඹෙන්නට මත්තෙන්ම ආලෝක පූජා පැවැත්වීමට උනන්දු වූ අතර එහි ප්රතිපලයක් ලෙස අලුත්ගම - බේරුවල ප්රදේශයේ මුස්ලිම් කඩ සාප්පු ගිනි දෙවියන්ට බිලි වද්දී ප්රදේශය පුරා ඇඳිරි නීතිය ද ක්රියාත්මක කරන ලදී. >> අතපය කැඩුණු පිළිම වහන්සේලා පන්සල් වල බෝධි මූලය අසල දමා යන්නා සේ අතපය බැඳ දැමු සංඝයා වහන්සේලා පාලම් බෝක්කු අසලින් දමා යන යුගයක් උදා වී ඇත. වරෙක උසේන් බෝල්ට් ටත් වඩා වේගයෙන් දුවගොස් මහියංගන ප්රාදේශීය සභාවට වැඩම කළ ,තවත් වරෙක වානරයන්ගේ ටාර්සන් මෙන් ගස් මත වැඩම කළ වටරැක විජිත නම් වූ හිමි නම කැපුම් තුවාල සමග රෝහල්ගත කර තිබිණ. උන්වහන්සේ නොමිලයේ සුන්නත් කිරීමකට ද භාජනය වීමේ අවස්ථාවල ලබා ඇති බව පුවත්පත් වල සඳහන් ව තිබෙනු දුටු අපේ ආච්චි පවසන්නේ ලංකාව යනු භික්ෂුන් වහන්සේලාට හොඳින්ම සලකන රට බවයි" තීරු ලිපියම කියවන්න

"මේ අතර වාරයේ දැනට සිනමාහල්හි සාර්ථකව තිරගත වන "කොස්තාපල් පුඥ්ඥසෝම" නැරඹීමේ ආසාවක් හට ගත්තද අපේ ආච්චි ගෙන් එම අදහසට බාධා එල්ල විය. ඇය පවසන්නේ තුන්සිය හැටපස් දවස මුළුල්ලේම ප්රවෘත්ති වල පෙනී සිටින "පොලිස් මාධ්ය ප්රකාශක තුමන්" සිටින තාක් කල් අළුතෙන් "කොස්තාපල් පුඥ්ඥසෝම"ලා නැරඹීමට සල්ලි නාස්ති කිරීමට උවමනා නැති බවයි. >> අනුව එතුමා රූපවාහිනියට පැමිණ පවසන කථා එම චිත්රපට වල කතා මෙන්ම ඒකාකාරී වන අතර අවසානයේ සිදු වන්නේ කුමක් දැයි ඕනෑම පුත්තලම් බූරුවෙක්ට වුවද වටහා ගත හැකිය. වෙන්නට බැරි නැත. එතුමා පවසන පරිදි නිට්ටඹුවේ පොලිස් භටයන් විසින් පිටුපස සිට වෙඩි තබා ඇති අතරසිටි යතුරුපැදියේ පසුපස සිටි තරුණයාට වෙඩි නොවැදී එය ධාවනය කළ තරුණයාගේ ඇඟ ඉදිරිපසින් වෙඩි පහර වැදී ඇත.මේ පුවත අසා මාලි වික්රමසිංහ සහ පුෂ්පමාලි රාමනායක දෙදෙනා ඉලක්කයට වෙඩි තැබීමේ ඉසවුව සඳහා ඔවුන් විසින් දිනා ගත් පොදු රාජ්ය මණ්ඩල රන් පදක්කම් බේරේ වැවට විසි කරන්නට ඉඩ ඇතැයි ආචිචි පවසන්නීය" තීරු ලිපියම කියවන්න

"මේ අතර නවගත්තේගම ගුරුවරිය දණ ගැස්සු හිටපු ආණ්ඩු පක්ෂ මන්ත්රීවරයාට නීතිය ඉදිරියේ දණ ගැසීමට සිදු විය. තීන්දුවෙන් පසු මාධ්ය ඇමතූ ඔහු තමා ගුරුවරියක් හෝ සිසුවියක් දූෂණය නොකළ බවත් කුඩු විකුණුවේ නැති බවත් පවසා සිටි අතර සාපරාධි බිය ගැන්වීමට පමණක් වැරදිකරු වූ බව සාඩම්බරයෙන් ප්රකාශ කරනු ලැබුවේය. මෙය අසා සාපරාධි ලෙස බියට පත් වූ අපේ ආච්චි පවසන්නේ පසුගිය චන්දයේ දී එතුමාට නාමයෝජනා ලබා නොදීමෙන් රජය විසින් සාපරාධි වරදක් කර ඇති බවයි. ඉදින් එවර නාමයෝජනා ලැබිණි නම් , තවත් වරක් මන්ත්රී වරමක් හිමි විණි නම් , ඔය නොකළායැයි කී සකල සියලු දෑ කිරීමට එතුමාට ඉඩ අවකාශය ලැබෙන බව ඇය සිහිපත් කළාය" තීරු ලිපියම කියවන්න 

"ලෝක තරුණ සමුළුව අති සාර්ථක ලෙස හම්බන්තොට දී අවසන් වූ අතර 55 හැවිරිදි තරුණයෙක් වන ඩලස් අලහපෙරුම තරුණ මහතාට එහි සභාපතිත්වය හිමි ව තිබිණ. අසූ හැවිරිදි තරුණියක වන තමාද මෙම සමුළුවේ වැදගත් තනතුරකට ආරාධනා ලබා තිබුණද හදිසි අසනීප තත්ත්වයක් නිසා එයට සහභාගී වීමට නොහැකි වූ බව අපේ ආච්චි පැවසුවේ ඇගේ බොරු දත් කුට්ටම සහ වාතේ තෙල් බෝතලය කනප්පුව උඩ තබමිනි. >> මේ අතරතුර තරුණ සමුළුවට පැමිණි තරුණ පිරිස නයිජීරියාවේ බොකෝ හරාම් ත්රස්තයින් සිර කර සිටින ගැහැණු ළමුන්ව ආපසු දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුණාහ. සාමාන්යයෙන් ලාංකීය පොලිසිය සහ හමුදාව උද්ඝෝෂණ වලට පන්න පන්නා පහර දීමටත් - වෙඩි තැබීමටත් උපන් හපන් කමක් දක්වන නමුත්, විදේශික තරුණයින්ගේ විරෝධතාවට අබැටක තරම් බාධාවක් සිදු නොකළහ. මෙය ඇසු අපේ විද්වත් ආච්චි පවසන්නේ මින් ඉදිරියට ආරක්ෂාකාරී පියවරක් ලෙස මීගමුවේ ධීවරයින් - කටුනායක ඇඟලුම් සේවකයින් - රතුපස්වල ගම්වැසියන් සහ පොළොන්නරු වී ගොවීන් ද ඉංග්රීසි භාෂාවෙන් උද්ඝෝෂණ කිරීම නුවණට හුරු බවයි. ඒ අතරවාරයේ "ඹ්‍රින්ග් බcක් ඔඋර් ගිර්ල්ස්" යනුවෙන් කෑ ගසන නයිජීරියානු තරුණියන් ඇමතූ අපේ ආච්චි පවසා සිටියේ තංගල්ල වෙරළ තීරයට හැර ඕනෑම තැනකට ඔය කියන ගෑනු දැරිවියන් ගෙන්නා ගත්තාට කමක් නැති බවයි" තීරු ලිපියම කියවන්න  

සංහිද ප්‍රකාශකයින්ගේ පොතක් ලෙස 2014දී එලිදැක්වුනු සහන් කසීරගේ ආච්චිගේ කොලම පොතේ දෙවෙනි කොටසත් ඉතා ලඟදීම එලිදක්වනවා ඇති.


Wednesday, August 26, 2015

දබර කරන ප්‍රේමය . . !

ප්‍රේමය

ලඟ අති විටක

හිත සැහැල්ලුවට සැපට නින්ද යන

වෛරයක් ක්‍රෝධයක් නැතුව

පොඩි දේටත් රන්ඩු වෙන

ආඬපාලි කිව්වට හිත නො රිදෙන

ප්‍රේමය

ලඟ නැති විටක

පාලුවට නින්ද නො යන

කම්මැලි කමට ෆේස්බුක් එකේ

නිකම් උඩ පහල යන

සිගරට් දුමෙන් 

පපුව පුරවන . . !


pic from : http://www.thesite.org/

Saturday, August 22, 2015

සුදු දුවේ එදිනට නුඹ කොතැනක සිටියත් . . . !

කිරිකැටි පායුග හැඩකල

හුරතල් නුඹේ මේස් පොඩි

තබා ගමි සුරැකිව

මතු අනාගතේ දවසක

මහළුව මියෙන මොහොතක

එන්නට බැරි දුරක සිටියොතින්

මියෙන්නට මොහොතකට පෙර

කිරිකැටි නුබේ මතකයේ

සුවඳ යලි යලිත් විඳ 

මියෙන්නට සොම්නසින් !


Wednesday, August 19, 2015

බඹරෙකු හැඬුවා . . !


නිශා යාමයේ පමණක් 

රුවට පිපී සුවඳ දී

පරව ගිය කඩුපුල් මලක් අස

හැඬුවාලු බඹරෙක්

අහිමි වූ මල්කෙමි රස

සුවඳ ගැන ලොබින් ! 

වෙනී අයියගේ ෆේස්බුක් එකේ මේ පින්තූරේ දැක්ක වෙලාවේ මෙහෙමයි හිතුනේ මට.
පින්තූරේ අයිතියත් වෙනී අයියගෙමයි අනවසරයෙන් ගත්තෙත් වෙනියගේ ෆේස්බුක් එකෙන්ම තමා  :D

Wednesday, August 12, 2015

දෙමලිච්චෝ . . !

දෙමලිච්චෝ . . !

තොරතෝංචියක් නැතුව 

හිනාවෙනවායැයි 

දකින් උන් රැවටෙන්න ඉඩ ඇති 

හිනාවෙනවාදැයි අඬනවාදැයි 

කිසිවෙක්ට හිතා ගත නොහැකි

එකම හඬකින් කෑගසන 

කිසිම හැඟුමක් එලියට නොපෙන්වන

දෙමලිච්චෝ . . !


Pic from : http://ibc.lynxeds.com/photo/common-babbler-turdoides-caudata/common-babbler-group-drinking

Saturday, July 18, 2015

17 වසරක සාපයක් යලිත් ඕනද?



වර්ථමාන දේශපාලන පිටිය නිරීක්ෂණය කලාම මහින්ද ප්‍රමුඛ පරන හොර නඩය අන්ත පරාජයක් ලබන බව පේන්න තියෙනවා.

එහෙම වෙලා UNPයට 1977දි JR ලැබුනා වගේ ලොකු බලයක් ලැබුනොත් කියලා හිතුවාම එන්නේ ලොකු භීතියක්.

JRගේ බෑනා රනිල් ජේ.ආර්.ට එහා ගිය භයානක නායකයෙක් නොවෙයි කියලා චරිත සහතික දෙන්න විදිහක් කොහෙත්ම නෑ.

1977 බලය ලබා ගෙන 17 වසරක සාපය කියලා අපි හඳුන්වපු  UNP ආන්ඩුව 1994 චන්ද්‍රිකා මුල් වෙලා බිඳවට්ටෙන්න්නේ කැපුවත් කොල කියන UNP කාරයින්ටත් UNP ආන්ඩුව එපා උනු හින්දා මිසක් චන්ද්‍රිකාගේ ප්‍රතිපත්ති වලට කැමැත්ත නිසා නිසා ලැබුනු චන්ද නිසා නෙමෙයි.

යලිත් 17 වසරක හෝ ඊට අඩු වැඩි කාලයක් නොඑන්න නම් කරන්න ඕන රනිල්ට UNPයට විශාල බලයක් නො එන විදිහට බල තුලනයක් කරන එක.

ඒ කරන්න හොඳම ක්‍රමය සභාග ආන්ඩුවක් පිහිටුවන්න හෙට්ටු කරන්න / කේවල් කරන්න තරම් හොඳ ආසන සංඛ්‍යාවල් JVPයට ලබාදීම.

මේ හෙට්ටු කරන / කේවල් කරන බලය මීට කලින් ලැබුනේ ආගම් / සුළු ජාතීන් මූලික කරගත්තු පක්ෂ වලට .

ඒකෙන් සිදුවුනේ ෂෛලොක් පපුවේ මස් රාත්තලම ඉල්ලා සිටිනවා වගේ රටට හෙන ගැහුවත් තමන්ගෙ ජාතියට ආගමට පමනක් වාසි වෙන දේවල් ඉල්ලගෙන ආන්ඩු පිහිටවන එක. විල්පත්තු කැලෑ කැපීම වගේ දේවල් ඒවට උදාහරණ.

ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා මහජන දේපල විනාස කරපු, ප්‍රභූන් මරපු අඳුරු කාල පරිච්චේදය වෙනුවෙන් රටෙන් ජාතියෙන් සමාව අයැදලා JVP ය ප්‍රධාන දේශපාලන ප්‍රවාහට එක් උනාට පස්සේ පරන පව් වල වන්දි ගෙවන ආකාරයකින් කටයුතු කලා කටයුතු කරමින් ඉන්නවා කියන එක මගේ හැඟීම.

එහෙව් එකේ ජාති ආගම් කුල බේද නැතුව රටේ හැම පුරවැසියෝ ගැනම දයානුකම්පාවෙන් බලන JVP යටය මේ සැරේ මහ මැතිවරණයේදි ආන්ඩු පිහිටුවන්න එකතු කරගත යුතු එකම සාධකය කරගැනීම තමයි රටේ හෙට දවස වෙනුවෙන් අද අපිට කරන්න පුලුවන් හොඳම දේ කියලා මට හිතෙන්නේ.

Pic from: shariaunveiled.wordpress.com

Tuesday, June 23, 2015

සිතුවිලි ගඟ . . !

ගඟ:
බෝ දුරක සිට ඇවිත් 
නැවැත් වූ පසුව එහි
සුකෝමල ගමන් මඟ
බැඳ දමා ඇල වේලි
ඉවසලා බැරිම තැන 
ගලා යයි පිටාරව 
ගම් බිම්ද යටත් කොට . .

සිතුවිලි:
මතක ඇතිදා පටන් 
හිත් කොනේ ගොඩ ගැසුණු
දිනෙන් දින විසල් වූ
හොඳද නරකද නොදත්
ගරහන්න සැදි ලොවක
ගැරහුමට බිය සැකෙන්
විසි කරන්නට බැරුව
තව තවත් ගොඩ ගසන . . !


Pic from: http://www.prevention.com/

Monday, April 13, 2015

සංසාරික පුරුද්දකට ඉඩ සලසන සහන !


"පුතේ කුස්සියේ හැලියෙන් බතුයි එහා පැත්තේ ලිපේ මාලුවකුයි ඇති බෙදාගෙන කන්න" ඉස්සර වැඩ ඇරිලා එන ගමන් අපේ ගෙදරට ගෙවල් 15ක් 20ක් මෙහායින් තියෙන මගේ දුප්පත් යාලුවගේ ගෙදරට ගොඩ වෙනකොටම යාලුවගේ අම්මා කියන්නේ එහෙම.

"උඹත් ගිහින් එහෙන් කෑවහම හිඟන්නගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගේ තියෙයි, ඔය අඩි දහයත් ඇවිත් උඹ ගෙදරින් කාපන්" අපේ අම්මා එහෙම කියන්නේ

"කොයි තරම් දුප්පත් උනත් තව කෙනෙක්ට දීලා බෙදා හදාගෙන කන්න සංසාරේ පුරුද්දක් තියෙන්න ඕන" කියලා මගේ යාලුවගේ අම්ම ගැන ආඩම්බරයෙන් කියන ගමන්.

සමහර අවස්ථාවලදී සමහර මිනිසුන් දිහා බැලුවාම ඇත්තෙන්ම හිතෙනවා ඒ අය අනෙක් මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න සංසාරයේ පතාගෙන ඇවිත්ද කියලා. 

එක්සත් අරාබි එමීරයේ සහන සංවිධානයේ ක්‍රියාකාරීන් - ජෝර්ජ් හෙට්ටිආරච්චි, නිෂාන්ත වික්‍රම ආරච්ච්, සිස්ටර් ඔල්ගා, අජන්ත ප්‍රේමරත්න, චාමින්ද රබෙල්, දුෂාන් කරවිට, රජීව් ප්‍රනාන්දු, දර්ශන නාකන්දල, ෆුජේයිරා වල අනිල්, ලක්ෂමන් කුළරත්න (මේ එක පාර මතකෙට ආපු නම් කීපයක් විතරයි) ආදී මානුෂිකත්වය උතුරා යන  මිනිසුන් දැක්කාම මට නම් ඇත්තෙන්ම හිතෙනවා අර කිව්ව සංසාරයේ පතාගෙන උපදින කතාව ඇත්තමයි කියලා

පිහිටක් ඇවැසි තමත් මනුෂ්‍යයෙක්ට හෝ මනුෂ්‍යයින් පිරිසකට පිහිට වෙන්න අවස්ථාව උදාවුනාම "උදව් කරම්දෝ නොකරම්දෝ" දෙගිඩියාවෙන් පෙළෙන අය බොහෝමයි.

බොහෝ විට ක්‍රියාකාරීව ශ්‍රමයෙන් උදව්වක් කරන්න බැරි අවස්ථාවක හැකියාවක් තියාගෙනත් මුදලකින් හරි සහභාගී වෙන හැකියාවක් ඇතත් ඩිරාහ්ම්ස් 50ක, 100ක සම්මාදමක් දීලා හිත සනසවා ගන්න අවස්ථාව තිබිලත් "මොකට දෙනවද" කියලා අත වෙව්ලන අයත් බොහෝයි . . 

මම විස්වාස කරන ආගමට අනුව අහල දැකලා ඇඟට කාවැදුනු හැඟීම නම් "ඒ වගේ අය අනුන් වෙනුවෙන් යමක් කරන්න මතු සංසාරයේ ප්‍රාර්ථනා කරන්නෝ වෙන්න තව මනුස්ස අමුනුස්ස ජීවිත බොහෝ කාලයක් ජීවත් වෙන්න වෙයිද?" කියන එකයි.

අද අපි හොඳින් හිටියත් හෙට හෝ කොයි වෙලාවේ අනුන්ගේ උපකාරයක් අපිට ඕන වෙයිද කියලා කොහොම කියන්නද? 

එහෙව් ලෝකේ තමන්ට හැකියාව තියෙන මොහොතේ සුලුවෙන් හරි තව කෙනෙක් හෝ තව පිරිසක් වෙනුවෙන් තමන්ට හැකි ආකරයෙන් පිහිට වුනු කෙනෙක්ට කිසි පැකිලීමක් නැතුව තමන්ට උපකාරයක් ඕන වුනු වෙලාවක තව කෙනෙක්ගෙන් හෝ සංවිධානයකින් උදව්වක් ඉල්ලන්න සදාචාරත්මක අයිතියක් තියෙනවා කියල හිතෙන්න පුලුවන්.

ඉදින් යහපත් සංසාරික පුරුද්දක් ඇති කර ගන්න පස් මහ බැලුම් බලමින්  සිටිය යුතු නොවේ. 

දුගී දුප්පත් කමින් මිදී  තමන්ට සහ තමන්ගේ දරු පවුල ටිකක් හෝ යයපත් ජීවන තත්වයක් උදාකර ගන්නා සිහිනයක් හිසේ දරාගෙන අරාබියට පියමනින අඩු ආදායම්ලාභී අපේම සොයුරු සොයුරින්, හිතවතුන් අකල්හි අසරණභාවයට පත්වූවොතින් ඒ අයට පිළිසරණ වනු සඳහා එක්සත් අරාබි එමීරයේ මානුෂීය හිතැත්තෝ රාශියක ගේ එකමුතුවෙන් පිහිටුවා ඇති සහන සංවිධානය ඔබට ඒ අවස්තාව උදා කර දෙන්නේ බැතියෙන්.

එසේ වූ අඩු ආදායම්ලාභී සොයුරු සොයුරින්ට ඔබේ මගේ අපේ පිහිට අවැසි අවස්ථාවලදී පිහිටවෙන්න සහර සංවිධානයේ අරමුදල් රැස් කිරීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන සංගීත ප්‍රසංගයේ තුන්වෙනි අදියරයේ මුව විට අප සිටින්නෙමු.

මෙවර සහන සංවිධානය ඉදිරිපත් කරන්නේ ලංකාවේදී වුව රසවිඳින්න අවකාෂය අඩු විරල සංගීත අත්දැකීමක්.

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ සදාකාලික සිහිවටනය ක්ලැරන්ස් විජේවර්ධනගේ 70 දශකය කැලඹූ සංගීත කන්ඩායම සුපර් ගෝල්ඩන් චයිම්ස් හි ලොව පුරා විසිරී සිටින සංගීත වේදීන් අතරින් ජීවතුන් අතර සිටින සාමාජිකයින් යලි එකතු කර (ක්ලැරන්ස් ඔබ නැති අඩුව කවුරු පියවන්නද?) වසර 40කට වඩා කාලයක් ඔබ අප පිනවූ ඉදිරියටත් චිරාත් කාලයක් අපත් අපගේ අනාගත පරපුරත් සනහාලන ඒ සුමියුරු සංගීතයෙන් අප පිනවන්න ඔවුන් සූදානම්.




මේ පින්තූර ගත්තේ විකිපීඩියාවෙන් 

වසර 40කටත් වඩා ඔබ අසා ඇති නමුත් ඇනස්ලි මාලේවන, ෂ්‍යාමි ෆොන්සේකා, රුක්ෂාන් පෙරේරා ඇතුලු සාමාජිකයින් ඔබ නිරුවත් දෙනෙතින් තවම දැක නැතුවා වෙන්න පුලුවන්. ඉදින් ඔවුන් සියල්ලෝ දකින්න මුනගැහෙන්න ලැබෙන මේ අවස්ථාව ඔබ මඟ හරින්නේ කෙසේද? 

ඩිරාහ්ම්ස් 150ක, 100ක, 75ක, හෝ 50ක ටිකත් පතක් මිලදීගෙන තව දින පහකින් එනම් අප්‍රේල් 17 වෙනි සිකුරාදා දින ඩුබායිහි ශේක් රශීඩ් ඔඩිටෝරියම් එකේදී රාත්‍රී 7.30 සිට සුපර් ගෝල්ඩන් චයිම්ස් රි යුනියන් ප්‍රසංගය නරඹන ඔබ එදා 70 දශකයේ  සිට අප පිනවාලන ඒ සංගීත වේදීන්ගේ අමරණීය ගායන වාදන වලට සවන් දෙනවා පමනක් නොව එක්සත් අරාබි එමීරයේ අඩු ආදායම්ලාභී සොයුරු සොයුරියන්ට පිහිටක් අවැසි වෙලාවක මූල්‍යාධාර ලබා දෙන්න සහන අරමුදල වෙනුවෙනුත් ඔබේ සහභාගීත්වය ලබා දෙන බව අමතක නොකරන්න.

කුමක් හෝ හේතුවක් නිසා ප්‍රසංගය රසවිඳින්න එන්න හැකියාවක් නැතත් කලින් සඳහන් කල පරිදි ඔබේ මගේ උදව් අඇසි අඩු ආදායම් ලාභී සොයුරු සොයුරිනට සහනයක් අවැසි වෙලාවට සහනයක් ලබා දෙන්න සහන සංවිධානය හරහා ඔවුන්ගේ දුකට හඬන්න උරහිසක් වෙන්න පුලුවන් අඩු වශයෙන් ප්‍රසංගයේ ටිකට් පතක් හෝ මිලදී ගෙන .. දයාබර සොයුර සොයුරිය . . ඒ ආයාචනය ඔබටයි . . !

එසේනම් අපි හමුවෙමු අප්‍රේල් 17 වෙනි සිකුරාදා දින ඩුබායිහි ශේක් රශීඩ් ඔඩිටෝරියම් එකේදී රාත්‍රී 7.30


මේ සහන සංවිදානයේ ස්වේච්ඡා සමාජික ෆුජේරා ඉඳන් ඩුබායි ඇවිත් ලෙඩ්ඩුන්ට උපකාර කරන අනිල් අයියා

Thursday, April 2, 2015

රවුමක දුවන ආදරවන්තයෝ


හදිසියේ ලංකාවට ගිය ගමන් බොරදිය පොකුණ ෆිල්ම් එක බලලා ඒ ෆිල්ම් එක ගැන මට හිතුනු දේ බ්ලොග් එකේ ලියද්දී පරන කතාවකුත් ඒකට එකතු කලා . .

//යෞවන වියේදි ප්‍රේමය ගැන ඇතිවූ කතාබහකදී තරුණ වියේ උන් එකෙක් කීවේ

"මල්ලී . . ආදරේදි අපි හැමෝම රවුමක දුවනවා . . !!

මම මට ඉස්සරහින් ඉන්න කෙනා අල්ලන්න දුවද්දී එයා එයාට ඉස්සරහා ඉන්න කෙනාව අල්ල දුවනවා.

වටිනාම කෙනා ඒ රවුමෙදි මාව අල්ලන්න දුවනවා වෙන්න පුළුවන් ඒත් මට ඒ වටිනාකම් දැනෙන්නේ නෑ

මොකද මට පිටිපස්ස හැරිලා බලන්න වෙලාවක් නෑ මම මට ඉස්සරහින් දුවන කෙනාව අල්ලන්න දුවනවා !"

එසේ වූ රවුමක දුවන්නේ ආදරයේදිද ආශාවේදීද කිය සොයා බැලීමේ තේරුමක් ඇතැයි මට සිතෙන්නේ නැත.//

බොරදිය පොකුණ ෆිල්ම් එකේ අධ්‍යක්ශක සත්යජිත් මාඉටුපේ ගේ ෆේස් ෆුක් පිටුවේ ඒ සටහන ශෙයා කරලා තිබ්බේ ආදරේදි අපි රවුමක දුවනවා කියලා කොටස කොපි කරලා.

ඒක දැක්කම මට මතක් උනේ පරන ෆිල්ම් එකක සිංදුවක්.

ෆිල්ම් එක බලල නෑ ඒත් ගායිකාවෝ දෙදෙනෙකුත් (ලතා වල්පොල, චන්ද්‍රිකා සිරිවර්ධන) ගායකයෝ දෙදෙනෙකුත් (HR ජෝතිපාල, විජය කුමරතුංග) ගායනා කරන මේ ගීතයත් ඒ රවුමක දුවන පෙම්වතුන් ගැන නේද කියලා එක සැරේටම මතක් උනා . .

ගීතය ඇතුලත් ෆිල්ම් එක අහිංසා
. . . .. .. .
නෙලූ මලෙකිය විලෙන් නොව ඔබ පිදූ මල් අසුනින්
පුදන් ඒ මල මසිත මලඳන වරම් මට ඔබගෙන්
ඇදේවා ගව් ගනන් දුර ඒ සුවඳ පෙම් කුසුමින්
රැඳේවා අම මිහිර දෙළයෙහි සසර සරනා තෙක් . .

පෙම් පුදසුනේ බැති පිදුවේ පූජනීයයි ආදරේ
තුන් සිතේ හෝ නෑ පැතුවේ අන් ළයක පිදෙනා
නෙත් වසාගෙන මං තනි වෙන්නම් ඒ සුවඳේ එතිලා
මා නෙත් යුග පියවේවා . . මා උන් සුවඳ වසා . .

දෙපෝදා පිපි සුපුන් සඳටත් ගුවන් තල සෙනෙහේ
සුනිල් තරුවද අමාවක දා ගුවන් තල සෙනෙහේ
රැඳේවා ඒ සඳේ සිහිලස තරු ඇතිරු සිහිනේ
නිවේවා ඉන් පහන් වී ලොව ගිමන් රැඳි ගමනේ

ආදරේම ආදරේ හා පුරා කිව් ආදරේ
යම් දිනේ ඔබ හිත කඩා නම් බැඳි අත් බැමි ලිහිලා
මල් මතින් හෝ ගිරි පව්ව පැන ලංවෙමි ඔබ සනහා
මා නෙත් පියවෙන තුරා ලඟ ඉමි ඔබ සනහා
මා නෙත් පිය වෙන තුරා ලඟ ඉමි ඔබ සනහා
මා නෙත් පිය වෙන තුරා ලඟ ඉමි ඔබ සනහා
මා නෙත් පිය වෙන තුරා ලඟ ඉමි ඔබ සනහා



pic from: http://hdw.eweb4.com/out/940420.html

Friday, March 27, 2015

කිසිවෙක් නොමළ ගෙයකින් අබැටක් සොයන බොර දිය පොකුණේ ගෝතමී . . !

කවදා කිසි දිනෙක කිසිවෙකුගෙන් හෝ ප්‍රතික්ෂේපවීමකට ලක් නොවූ අය වේද? 

කිසියම්මදාක . . ?? කිසිවෙකුගෙන්ම . . ???

පිළිතුර ඔව් නම් . . . (ඒ කියන්නේ ඔබ කවදාවත් ප්‍රතික්ෂේපවීමකට බඳුන් වී නැති නම්)

ඔබට කෙදිනක වත් ගෝතමීගේ පපුවේ වේදනාව අඳුනා ගත් නොහැකි වනු ඇත.

ප්‍රතික්ෂේපවීමකින් පසු ඇඟේ ලේ නහර හරහා දුවන කෝපයද, ශෝකයද, ඉච්ඡාභංගත්වයද, වෛරයද, තමන්ට තමන් කෙරෙහිම ඇතිවන අප්පිරියාවද . . මේ කුමක් හෝ මනෝභාවයක් නිසා හදවත් තෙරපන විසි කරන්නත් බැරි දරාගෙන ඉන්නත් බැරි අරුම හැඟීමේ බර ඔබට නොදැනෙනු ඇත.

විපුලගේ කාමරේ ජනේලය ළඟ "අනේ අදට විතරක් එන්න දෙන්න" කියනා ගෝතමී දුටුවිට කෑගසා අඬන්න නොසිතෙනු ඇත.

ප්‍රතික්ෂේප නොවූවන් සොයා යෑම . . .කිසිවෙක් නොමළ ගෙයකින් අබැටක් සොයනා තරම් විරල ලෝකයේ ගෝතමී ගේ දුකට හඬන්නට හදවත් සොයා ගැනීම මහා අරුමක් නොවිය හැක. 

යෞවන වියේදි ප්‍රේමය ගැන ඇතිවූ කතාබහකදී තරුණ වියේ උන් එකෙක් කීවේ 

මල්ලී . . ආදරේදි අපි හැමෝම රවුමක දුවනවා . . !!

මම මට ඉස්සරහින් ඉන්න කෙනා අල්ලන්න දුවද්දී එයා එයාට ඉස්සරහා ඉන්න කෙනාව අල්ල දුවනවා. 

වටිනාම කෙනා ඒ රවුමෙදි මාව අල්ලන්න දුවනවා වෙන්න පුළුවන් ඒත් මට ඒ වටිනාකම් දැනෙන්නේ නෑ

මොකද මට පිටිපස්ස හැරිලා බලන්න වෙලාවක් නෑ මම මට ඉස්සරහින් දුවන කෙනාව අල්ලන්න දුවනවා . . !

එසේ වූ රවුමක දුවන්නේ ආදරයේදිද ආශාවේදීද කිය සොයා බැලීමේ තේරුමක් ඇතැයි මට සිතෙන්නේ නැත.

සුරන්ජිත් පසුපස දුවන මංගලාද, මංගලා පසුපස දුවන විපුල්ද, විපුල් පසුපස දුවන ගෝතමීද යනාදී වශයෙන් බොරදිය පොකුණේ පාත්‍රවර්ගයා මේ රවුමේ දුවන්නෝ වෙති.

ඔබට අත්විඳින්නට සිද්ධ වූ අමිහිරිම සිදුවීම දෙස වසර ගාණකට පසු හැරී බලද්දී එය ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට හේතුවූ හොඳම සිදුවීම ලෙස හැඟේ යා නොහැකිද?

පුද්ගලික අත්දැකීමක් ඇසුරින් කීවොත් වසර විසි එකේදී අසල්වැසි නිවසක ගෑස් කාන්දුවන් නිසා ඇතිවූ ගින්නක් නිවන්න උදව්වෙන්න ගොස් සෑහෙන තරමකට විරූප වෙන්න තරම් ගින්නකට ලක්වූ ඒ හේතුව නිසාම ජීවිතයට වටිනාකමක් ඇතිකරගත යුතු නිසාවෙන් උනන්දුවෙන් යමක් ඉගෙන ගෙන වර්තමනයේ සුවපහසු ජීවිතයක් අත්විඳින මට නම් ජීවිතයේදී මුහුණ දෙන්න සිදුවුණු අමිහිරිම සිදුවීම ජීවිතයට සිදු වූ හොඳම දේ කියා හදවතින්ම පැවසිය හැකියි

සුරන්ජි මල්ලී සමඟ ආශාවෙන් හෝ ආදරයෙන් බැඳෙන මංගලා විනාශ කරන දරු ගැබ, විපුල සමඟ ආශාවෙන් හෝ ආදරයෙන් බැඳෙන ගෝතමීගේ දරුගැබ විනාශ කරන්නැයි බලපෑම් කරන විපුල සහ ඒ ආශාවේ ආදරයෙන් උපන් බිළිඳා දුම් රිය ස්ථානයේ බංකුවක් මත දමා යන ගෝතමී එසේ වූ අමිහිරි අත්දැකීම් ජීවිතයට සිද්ධ වූ හොඳම සිදුවීම් කියා කිව හැකි අයද? 

භෞතිකමය ලෙස . . . 

විවාහ දිවියක බැඳෙන සුරන්ජි මල්ලිද . . 

අරන් හදාගත් දරුවෙක් සමඟ හොඳ නරක දුක සැප සමඟ විවාහ ජීවිතය විඳින මංගලා සහ විපුලද . . 

කලින් විවාහයේ බිරිඳගේ නොමනා හැසිරීම නිසා දයාබර දියණියගෙන්ද වෙන්ව සිත් තැවුන්ලෙන් වෙසෙන ඩෙමස්න්ගේ ජීවිතය හා බැඳී තුටින් ජීවත් වෙන්න වෙර දරන ගෝතමීද . . 


භෞතික කරානා සමඟ බැඳුණු සන්තෘෂ්ටිය සහ අධ්‍යාත්මික පාරිශුද්ධිය සමඟ බැඳුණු සන්තෘෂ්ටිය යන දෙකේ හර බර සමඟ ජීවිතය ජීවත් කරවන්නේ කෙසේද කියා ප්‍රේක්ෂකයාට දක්වන්නට පහන් සිලක් දල්වන්නෝ නොවේද . . !


Monday, February 9, 2015

පිහිතලය විනිවිද දිවූ උනුහුමක මතකය . . !

පිළිකා අවදානමක් නිසා වයස්ගත මවගේ පියයුරක් ඉවත් කලයුතු බව වෛද්‍යවරයාගෙන් දැන ගත් මැදිවියේ දරුවෝ විස්සෝපයෙන්. - ලංකාදීප පුවතක් -



උනුහුමට තුරුල් වී පපුවට
සීරුවට කිරි උරා බිව්
තනයක් අයින් කරනවායි ඇසූ විට
කඳුලක් නොහෙලා ඉන්න ඇහැකිද
මහමෙරක තරමට ආදරේ විඳපු
වයසට ගියපු උනත් දරුවන්ට

හැමෝටම හොඳ ටික බෙදා
වළඳේ අන්තිම දන්කුඩ ටිකෙත්
හොඳ ටික පිඟානකට හෙලා
වළඳේම කටක් දෙකටක් කා
බඩ පිරුනු බවක් අපිට පෙන්නා
හිනා වී අත හෝදපු . . . අම්මා

අනෙකා නොකල දේවලට
දොස් කියන එක දමා පසුවට
හැකි පමනටත් වඩා තව ටිකක්
කන් කෙඳිරියක් නැතුවම 
දරුවන්ට සහෝදර සහෝදරියන්ට
යුතුකම් ඉටු කරන . . . අම්මා

කියන්න ඕනෑ වුනු දේ
පොල්ලෙන් ගැසූ සේ 
කොන්ද කෙලින් තියාගෙන 
මූනටදම දමා ගසා
හිතේ කහටක් නැතුව
ඒ ගමන්ම හිනා වෙන . . . අම්මා

වයසට ගියත් දරුවන්ට
දැනෙනවා දුක පපුවට
උනුහුමට තුරුලු වී
කිරි උරා බිව් තනයක්
අයින් කරනවායැයි ඇසූ විට . . .!

Pic from: https://dianablography.wordpress.com/

Thursday, January 22, 2015

කමක් නෑ මිත්‍රයා . . !


ජීවිතේදි සමහර වෙලාවට පුදුම විදිහේ කම්පන වලට (shocks වලට) මුහුන දෙන්න සිද්ද වෙනවා. 

පුදුම වැඩේ කියන්නේ 33,000හේ DC කරන්ට් එකක් වැදිලා නොවෙන විදිහේ shock එකක් පොඩි AC කරන්ට් එකක් වැදිලා වෙන්න පුලුවන් කම.

උදාහරණ සහිතව කතා කලොත්, කෙනෙක්ට තමන්ගේ ලස්සන කඩවසම් මූනත්තහඩුවත් එක්ක සරීරෙම පිච්චුනු වෙලාවක . . . එහෙම නැති නම් හතර අතේ Loan වලට හිර වෙලා ඉන්න වෙලාවක ගහෙන් ගෙඩි එන්න වගේ රස්සාව නැතිවීම වගේ දේකට නොවෙන shock එකක් හොඳම යාලුවෙක් Facebook එකේ උගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් තමන්ව අයින් කරලා තියෙනවා දැක්කාම ඇති වෙන්න පුලුවන්. :D

ජීවිතේ එක කවුළුවක් වැහෙද්දී තව දොරක් ඇරෙනවා (When one door closes, another door opens), කොයි දේ වෙන්නෙත් හොඳටයි (everything happens for reason) වගේ ලොරි ටෝක්ස් issue කරන පොරකට ඒ වගේ shock එකක් උනොත් බඩුම තමා . . 

බන කියන තරම් ලේසි නෑ පුතෝ පිලිපදින්න ගියාම . . . හිකිස්

හරි හරි අනුන්ට කරපන් කිව්ව දරාගැනීම තෝ දැන් කොරලා පෙන්නහකෝ කියලා ජීවිතේ ලබාදෙන දඬුවමක් වගේ නේද හා . . !

. . . . . . . . . . . . . . . . . . 

වෙලාවකට අපිට අපි එක්කම තරහ වෙන්න සිද්ද වෙන වෙලාවල් එනවා. අර අපි අහලා තියෙන බ්ලේඩ් වලින් කපා ගැනිලි, උල් වලින් ඇණ ගැනිලි වගේ සීන් වෙන්නේ එහෙම වෙලාවට වෙන්ටෑ . . . !

මල මගුලයි මට මාවම එපා උනා කියලා කපා ගන්න කියලයි? ඇනගන්න කියලයි? 


ලේසිම වැඩේ මම මගේම කියලා දැනෙන එකක්ට අනින එක . . කපන එක . . (සිම්පල් ප්ලෑන් එකක් - ඇද්ද තොට)

සිරාවට, සමහර වෙලාවල් වලදී අපිට දැනෙනවා අපි වෙනස් වෙන්න ඕන කියලා. ඒකාකාරී ජීවිත රටාවෙන් හෙම්බත් වෙලා ඉන්න කාලෙක, මොකක් හරි දේකට උත්සාහ කරලා ඒකෙන් ගොඩ යන්න බැරි වෙච්චි කාලෙක, එහෙම නැති නම් අලුත් දෙයක් කරන්න ඕන කියලා හිතේ කොනක තියෙන කාලේක (පොතක් ලියන්න, වත්තක් වවන්න, අලුත් විනෝදාංශෙකට යොමු වෙන්න මේ ඕනෑම දෙයක් මේ කැටගරි එකට දාන්න පුලුවන්) අපිට ඕන වෙනවා මේ ඉන්න අපි නොවී වෙන කෙනෙක් වෙන්න.

ඒත් කරුමෙට (කර්මය අනුව කියහන්කෝ ඈ) අපිට එක එක බැඳීම් . . . පවුල් බැඳීම්, යාලු මිත්‍ර බැඳීම්, දේශපාලන බැඳීම් අරවා මෙව්වා . . . 

අර අපි හිතාගෙන ඉන්න වෙනස් එකා වෙන්න නම් මේ බැඳීම් වලින් සෑහෙන්න අයින් වෙන්න ඕන. 

ලේසි නෑ. සමහර ඒවා ප්‍රායෝගිකව කරන්නම බෑ - පවුල් බැඳීම් වලින් අයින් වෙන්න පුලුවන්ද බෑනේ අන්න ඒ වගේ . . 

හොඳම දේ කරන්න අමාරු දේවල පස්සට දාලා ලේසි දේවල් (ලේසි කිව්වට ලේසි මත් නෑ හිටං) කරන්න පටන් ගන්න එක 

එකින් එක . . මුලෙන් මුල . . අලෙන් අලේ ගලෝලා අයින් කරන එක. 

"ඔබේ ඇස ඔබට වදයක් නම් උගුලුවා දමන්න කියලා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේත් කිව්වා කියලා මනෝරමයගේ ෆේස්බුක් වෝල් එකේ ලියලා තියෙනවා දැක්කා :P

එහෙම ගලෝලා අයින් කරද්දී ඇයි යකෝ මාව අයින් කලේ කියලා බැරි වෙලාවත් එක අලයක් හරි අහයි කියලා හිතෙනවා නම් හේතුත් හදලා තියා ගන්නවා . . 


ඇයි යකෝ අර කිතුල් ගහට නැග්ග එකාත් "තණකොල ඩිංගක් කපන්න නැග්ගේ ආයිබෝන්" කිව්වා නම් මොනා නොකියන්න බැරිද

ගලෝලා අයින් කරන සීන් එකේදි තේරුන් ගන්න ඕන කරන දේ තමා කෙනෙක් රූස්ස ගස් නෙමේ තණකොළ ගහක් වත් ගලවන්නේ නෑ හේතුවක් නැතුව . . 

බොරු නෙමේ අපේ අම්මගෙන් අහන්න . . . හැමදාම අනුන්ගේ කුලී ගෙවල් වල, පොඩි පොඩි ඉඩන් වල හිර වෙලා ඉඳලා අපේම කියලා පොඩ්ඩක් ඉඩ පාඩු තියෙන වත්තක් අරන් පේර, ජම්බු, නාරං ගස් වැව්වා . . එක නිවාඩුවකට යද්දී අම්මා ගස් ඔක්කෝම වගේ කප්පෝලා. ඇයි කියලා ඇහුවාම "කොල වැටෙනවා බන් . . උඹ ඉන්නේ රට මෙහේ ඉන්න මං එපැයි ඒවා ඇතු ගාන්න . . ඉතිං ඔක්කෝම කැප්පෙව්වා" කිව්වා :D

හේතුවක් නැතුව අයින් කොරන්නේ නෑ කියලා පස්සේ හරි තේරුනොත් (තේරුම් කරලා දුන්නොත්) එහෙනම් උඹේ අලුත් වෙනසට මගේ සුභ පැතුම් මිත්‍රයා .. කියලා කියන එක නේහ් වඩා හොඳ?

කමක් නෑ මිත්‍රයා . . මම තරහා නෑ . . . එහෙනම්  මචං මේ සමඟ එවන සුභපැතුම් පිලි ගනින් . . !

ජය  . . . !

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails