UAE Sri Lankans Events

Thursday, September 16, 2010

ඔය වගේ ගොං කතා ආයේ කියනවා නෙමෙයි තේරුනාද ?



සිංහල භාෂාවෙන් ලියන බ්ලොග් අතුරින් ලංකාවේ ප්‍රධානම පෙලේ බ්ලොග් අඩවිය හා හොඳම සමූහ බ්ලොග් අඩවිය ලෙස අසෙනිය කුසුම සම්මානය පවා හිමිකරගත් බයිස්කෝප් බ්ලොග් අඩවියේ ප්‍රධාන සාමාජිකයින් අතර සිටින රොයිලි සහෝදරයාගේ උපන්දිනය අදයි.

මූනු පොත හරහා ඔහුට සුභ පතන විටයි දුටුවේ ඔහු උපන් දිනය වෙනුවෙන් බ්ලොග් සටහනක් ද තබා ඇති බව . . .

බ්ලොග් පෝස්ට් එකටත් සුභ පැතුම් ප්‍රතිචාරයක් දුන් පසු, අවිවේකීබව නිසා කාලෙකින් ගොඩ වෙන්න බැරි වූ ඔහුගේ බ්ලොග් අඩවියේ එහා මෙහා යන විට ඇසගැටුනේ ඉතා වටිනා වස්තුවක්.

එක හුස්මට කියවා නිමවූ පසු මගේ හදවත අරක්ගත් ඊලඟ අදහස වුනේ මේ වටිනා වස්තුව බොහෝ දෙනෙක් අතර බෙදා හදා ගන්න පුලුවන් නම් කෙතරම් අගනේද කියායි . . .

කිසිවෙකු විසින් රචිත අගනා ලිපියක් කොටස් තුනකින් ඔහු විසින් පරිවර්ථනය කොට ඔහුගේ බ්ලොග් අඩවියේ පලකර තිබුනා.

මා සඳහන් කල වටිනා වස්තුව ඒ ලිපි හැර වෙන යමක් නොවේ. ඒ ලිපියත් ඔහුගේ අඩවියේ ඇති අනෙක් බොහෝ ලිපිත් ඉතා වටිනා වස්තූන් බව නම් සඳන් කල යුතුමයි.

කොටස් තුනක් වූ ඔහුගේ ලිපිය, ලිපියේ දීර්ඝ බව නොසිතාම මා ඔහුගේ විශේෂ අවසරය ලබාගෙන මගේ බ්ලොග් අඩවියේ එක සටහනක් ලෙස සටහන් කරන්න සිතුවා.

රොයිලි සහෝදරයා, උඹට බොහෝම ස්තූතියි . . සියලු පැතුම් ඉටුවන සුභ උපන් දිනයක්ද වේවා . . . !

. . . . . . . .. . .. .

පවුල තුළ සන්නිවේදනය

“ඔබේ උගුරට සම්පූර්ණ විවේකයක් අවශ්‍යයි. අඩුමතරමේ දවස් 10ක් වත් ඔබ කතා කිරීමෙන් වැළකී සිටින්නට හිතට ගන්නට ඕනෑ.” මගේ උගුර පරීක්ෂා කළ වෛද්‍ය විශේෂඥයා අවසන් වශයෙන් මට දුන් උපදේශයයි.

“මාසයක් කතා නොකර සිටීම වඩා ප්‍රවේසම් සහිතයි.” ඔහු වැඩි දුරටත් කීය. කොහෙත්ම කළ නොහැකි දෙයක්; මා කතා නැතුව සිටියොත් අපේ පවුලේ කටයුතු කොහොමට හිටීවිද? මට එකවරම සිතට ආයේය.

කෙසේ වෙතත් එදා සිටම මම පුංචි සටහන් පොතක් සාක්කුවේ දමා ගතිමි.

ඩෑන්, මගේ සැමියා මගෙන් යමක් ඇසූවිට මා ඊට දෙන පිළිතුර ඒ පොතේ ලියා එය ඔහුට පෙන්වූයෙමි. කෑම මේසයේදි මට කරන්නට ඇති විවේචන කඩදාසියක ලියා මේසය වටා ඩෑන්ටත් දස හැවිරිදි ඩැරින්, නව හැවිරිදි ඩීන් දෙපුතුනටත් අතිනත යැවීමී.

ඇත්තෙන්ම එය කරදරයකි. එය එතරම් සාර්ථක නොවීය. පසුව මම හිස සැලීමෙන් අදහස් ප්‍රකාශ කළෙමි. කෙසේ වෙතත් මාත් මගේ පවුලත් අතර පරතරයක් ඇතිවන ස්වභාවයක් මට පෙනී ගියේය.

ඊළඟ වෛද්‍ය පරීක්ෂණයේදී ගත් තීරණය අනුව ශල්‍යකර්ම දෙකක් කිරීමට සිදුවිය. එකක් 1969 යේ ජනවාරියේදීද අනික මාර්තුවේදීද සිදුකරන ලදී. මේ මුළු කාලයේම මගේ කටින් එකම වචනයක්වත් පිට නොකර සිටීමට මට සිදුවිය.

ඔබ තවත් සතියක් නිහඬව සිටිය යුතුයැයි වෛද්‍ය සින්ඩර් මට නියම කළේය. නැතහොත් ඔබගේ උගුරින් ඉවත් කල බිබිලි නැවත මතුවන්නට ඉඩ තිබෙනවා” යැයි වැඩිදුරටත් පැවසීය. රෝහලෙන් ආපසු ගෙදර පැමිණියත් මගේ සිතතුළ එකතරා සැකයක් නිතර හොල්මන් කරන්නට වන. මට සදාටම ගොලුවත රකින්නට සිදුවෙයිද?

එතැන් සිට මගේ නිවස මට අඳුරු කුටියක් විය. මා මාගේ පවුලට ඉතාමත් සමීපව සිටියත් දැන්නම් මගේ ඇතුළාන්තයේ ගැඹුරු හැඟීම් ඩෑන් සමඟ බෙදා ගැනීමක් හෝ ඔහුගේ පැතුම් ගැන විමසීමකු හෝ දැන් නැත.

“මගේ දරුවන් ගැන මා දැන් දන්නේ කුමක්ද? මා ගැන ඔවුන් සිතන්නේ කුමක්ද? මගේ අවශ්‍යතා ඒ සැටියෙන්ම ඔවුන් දන්නවාද? දෙවියනී මේ කුමක්ද මට සිදුවූයේ?”

මගේ බාලවියෙන් පසු නැවත වරක් මම හැඬුවෙමි. මගේ පියා කම්කරුවෙක් විය. මම ඔවුන්ගේ වැඩිමල් දියණිය වූයෙමි. පියාගේ දුෂ්කර ජීවිතය විසින් ඕනෑම ප්‍රශ්නයකට මූණ පෑමට ඔහු මා හට පුහුණු කර තිබිණි. ඔහු මට කවදාවත් හඬන්නට හෝ බියක් පෙන්වන්නට හෝ ඉඩ නොදුන්නේය.

ක්‍රම ක්‍රමයෙන් මගේ හැඟීම් ගැන මටම සිතාගන්නට බැරි තත්වයකට මම පත් වූවෙමි. දැන් දැන් ගොළුවකුගේ හැඟීම් කවරාකාරකදැයි මට අවබෝධ වන්නට විය.

ක්‍රම ක්‍රමයෙන් මගේ හැඟීම් ගැන මටම සිතාගන්නට බැරි තත්වයකට මම පත් වූවෙමි. දැන් දැන් ගොළුවකුගේ හැඟීම් කවරාකාරකදැයි මට අවබෝධ වන්නට විය. මීට පෙර අප බොහෝ දේ කතා කළත් කවදාවත් අපේ හැඟීම් ප්‍රකාශ කරගෙන නොතිබූ බව මට වැටහෙන්නට විය. මා තුල සෙමෙන් සෙමෙන් සිදුවී ගෙන යන වෙනසක් මට පෙනී යන්නට විය. වචනයකුදු කතා නොකර වුවද මට මගේ පවුල සමග හැඟීම් බෙදා ගැනීමට හැකි බව මම ඉගෙන ගතිමි.

වචන රහිතව
ඊලඟ සති කීපය තුලදී මගේ සැමියාගෙනුත් දරුවන්ගෙනුත් ඇසිය යුතු ප්‍රශ්න රාශියක් ගැන සිතා බැලුවෙමි.

ඩෑන් තුල කිසියම් බියක් චකිතයක් තිබේද? ඩැරින් වැඩිහිටි වයසට පත්වන විට ඔහු කවරෙකු වීමට බලාපොරොත්තු වෙයිද? ඩීන් ගේ අවශ්‍යතා මොනවාද? මම මා ගැනද නොයෙකුත් දේ සිතුවෙමි. ඔවුන් කුමක් ගැන අසනවාට මම කැමතිද? මා සතුටට පත් කළ දේ කුමක්ද? මා කෝපයට පත් කළ දේ කුමක්ද? අනාගතයේදී මා මාගේ ජීවිතයේ කුමක් වෙනස් කරගත යුතුද?

දිනක් සවස මා මේසය ලඟ වාඩිවී සිටියේ මගේ පවුලේ අයගෙන් ඇසීම සඳහා මා ලියා ගත් ප්‍රශ්න රැසක් ලඟ ඇතිවය. ප්‍රශ්න 200 ක් පමණ කඩදාසි කැබලි වල ලියා තිබිණි.

සමහරක් “ආදරය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?” වනි ගැඹුරු ප්‍රශ්නය. සමහරක් ඒවා “ඔබේ නිදහස් වේලාවලදී ඔබ කරන්නට කැමති මොනවාද?” වැනි ලිහිල් ප්‍රශ්නය. මට අදහසක් පහළ විය. එනම්, මේ ප්‍රශ්න කාඩ්පත් වලින් ක්‍රීඩාවක් නිර්මාණක කිරීමය.

ක්‍රීඩාවක්
පසුදා හවස අපේ පවුලේ අය එකට හිඳ ක්‍රීඩාව පටන් ගතිමු. තමන් කැමති ප්‍රශ්න අංකයන් තෝරාගෙන ඊට හිමි ප්‍රශ්නය සොයා එයට තමාගේ පිළිතුර අන් අය සමඟ බෙදා ගැනීම ඒ ක්‍රීඩාවයි. බෙදා ගැනීමක් විනා දිනුම් පැරදුම් එහි නැත.

මුල් වාර වලදී සැහැල්ලු ප්‍රශ්න තේරී ආවේය. පහසුවෙන් පිළිතුරුද ලැබිණ. ඒ ගැන අපි සාක්ච්ඡා කෙළෙමු. මාගේ වාරය පැමිණි විට මා මගේ පිළිතුර ලියා සියලු දෙනාටම පෙන්වීමි. මා නැවත් අන් අයට මම සමීප බවක් හැඟිණි.

ඊලඟට ඩෑන් ප්‍රශ්නයක් තෝරා ගති. “ඔබ වඩාත් බියක් දක්වන දෙය කියන්න” ඩෑන් තතනමින් මෙසේ පිළිතුර ප්‍රකාශ කළේය. “ඔබගේ මේ අසනීපය නිසා මිය ගියොත් අපට කුමක්ද වෙන්නේ? මම තනියම කෙසේද මේ දරුවන් ඇති දැඩි කරන්නේ…..” මම මවිතයට පත්වීමි.

ඊලඟ ප්‍රශ්නය ඩැරින්ටය. “කවුරුත් මා ඉතා ඉහළින් වැඩ කරාවියයි පතනවා ඇති. නමුත් ඒක මට කරදරයක්.” ඔහුගේ පිළිතුර විය. මගේ සිත පෑරිණි. මා නිතරම ඔහුට කරදර කළේ ඔහු වඩා උසස් කිරීමටය. මා කළේ වරදක්ද?

දැන් ඩීන් පුතාගේ වාරයයි. “යමකු සරදමට සිනාසුනොත් ඔබට ඇතිවන හැඟීම කුමක්ද?” මට මැරෙන්න හිතෙනවා. මම මහ මෝඩයෙකු නේද කියන්නා වගේ හැඟීමක්.” ඩීන් අහක බලාගෙන කීය. ඩැරින් බිම බලා ගත්තේය.

ජනප්‍රියයි
ක්‍රීඩාව වට කීපයක් ගිය පසු “පසුගිය අවුරුදු පහට වඩා මේ මිනිත්තු විස්ස තුලදී ඔබ හැම දෙනා ගැනම මම බොහෝ දේ දැනගත්තා.” යැයි ඩෑන් කීය. “අපි හෙට හවසටත් මේ සෙල්ලම කරමු.” එම දේ ඩෑන්ට පමණක් නොව අප හැමටම සිදුවී තිබිණි.

ඩෑන් ගේ වැඩ කටයුතු පිළිබඳ ප්‍රශ්න ගැන මගේ අවබෝධයත්, ඔහු කෙරෙහි මගේ ගෞරවයත් වැඩි විය. මගේ දරුවන් ගැන මගේ ඉවසීම දියුණු විය. ඔවුන් වඩ වඩා තුරුළු කර සිප වැළඳ ගැනීමට මම පෙළඹුනෙමි. ඔවුහුද කලින් මෙන් අප සමඟ වාද නොකළහ. ඩෑන් අප ගැන වැඩියෙන් කතා කරන බව පෙනිණි. අපි බොහෝ දේ එකට එකතු වී කිරීමට පුරුදු වූයෙමු.

දිනෙක අපේ ක්‍රීඩාවට අපේ අසල්වැසි ජෝ සහ ඇලිස්ටන්ටත් ආරාධනය කළෙමු. ඔවුහු ඔවුන්ගේ ගෙදරටද අපේ ක්‍රීඩාව ගෙන ගියහ. ඔවුන්ගේ වැඩිමල් පුතා එය උසස් විද්‍යාලයේ ඔහුගේ පන්තියට ද ගෙන ගොස් තිබිණි. පන්තියේ ගුරුතුමා ඒ ප්‍රශ්න වල පිටපත් ඔහුගෙන් ඉල්ලාගත් බව දැන ගන්නට ලැබිණි. එය කොතැනින් කෙළවර වී දැයි මම නොදනිමි.

මා නැවත වෛද්‍ය සින්ඩර් වෙත ගියේ ඔහු දෙන ඕනෑම නියමයක් පිළිගැනීමට සූදානම්ව සංසුන් සිතකිනි.

මා සම්පූර්ණයෙන් සුවවී සිටින බව ඔහු මට පැවසූ විට මට ලොකු තෑග්ගක් ලැබුණාක්මෙන් හැඟිණි. එහෙත් මම මගේ පරණ කථික පුරුද්දට නොවැටෙන්නට ඉටා ගතිමි. මේ දීර්ඝ නිහැඬි කාලසීමාව තුලදී, පවුලේ සන්නිවේදනය පිළිබඳව රහස් පහක් මම අනාවරණය කරගෙන සිටියෙමි.

රහස් පහක්

1. සවන් දෙන්න.
දිනක් පාසැලේ සිට පැමිණි ඩීන් “අපේ සර්ව මට පේන්න බෑ; මම නම් මීට පස්සෙ ඉස්කෝලෙ යන්නෙ නෑ” කියා බෙරිහන් දෙන්නට විණ.

කලින් නම් මා ඔහුට හොඳටම බැන වදිමින් ඝෝෂා කිරීම මගේ සිරිත වූවත්, මගේ උගුරේ ආබාධය සුව වීමෙන් පසු එදා කළේ නිහඩ වීමය. සුළු වේලාවකින් පසු පුතා තම් අහිස මගේ ඔඩොක්කුවේ ඔබාගෙන ඔහුගේ හැඟීම් ප්‍රකාශ කරන්නට විය.

“අම්මේ පොත කියවන විට මට වචනයක් වැරදුනා. සර් ඒක හරි ගැස්සුවා. එතකොට ඔක්කොම ළමයි මට හිනා වුනා. මට හරියට කේන්ති ගියා. ලැජ්ජා හිතුනා.” මම ඔහුගේ ගෙල වටා දෑත් යවා වළඳගෙන හාදුවක් දුනිමි.

ටික වේලාවකට පසු පුතා හිස ඔසවා “මම ජිමිත් එක්ක සෙල්ලම් කරන්න යනවා” කියමින් ක්‍රීඩා භූමිය දෙසට දිව ගියේ සියල්ල අමතක කරමිනි.

කවර අන්දමේ කථාවකදී වූවද ඉතාම වැදගත් පුද්ගලයා සවන් දෙන්නා බව මම ඉගෙන ගෙන සිටියෙමි. උගුරේ ආබාධයට පෙර නම් මා බොහෝ විට කළේ අනෙකාගේ කථාව අතර පැද්දට පැන මගේ අදහස ප්‍රකාශ කිරීමයි.

. . . .

2. විවේචනය හෝ විනිශ්චය කිරීමෙන් වලකින්න.
ජැකී සමග මා කුස්සියේ වැඩක යෙදී සිටියදී, ඇයගේ 16 හැවිරිදි දියණිය එතනට කඩා වැදුනාය.

”මේ අම්මේ ගබ්සා කිරීම ගැන ඔයා මොනාද හිතන්නේ?” ඕ කෑ ගැසුවාය. ජැකීගේ මූණ ජම්බු ගෙඩියක් මෙන් රතුවිය. “උඹ මීට පස්සෙ ඔය වචනෙ ආයෙත් කියන්නෙ නෑ! තේරුණාද?” ඕ දත් මිටි කෑවාය.

ඒ දැරිය ඔවැනි වැදගත් ප්‍රශ්නයක් ගැන යලිත් ඇයගේ මව සමග කථා නොකරනු ඇත. මෙවැනි අන්දමින් ඉතා වැදගත් සාකච්ඡාවකට ඇරෙන දොරවල් අපේ හදිසි විවේචන හෝ විනිශ්චයන් නිසා වසා දමමුද?

ඔබේ දරුවාට වේවා සැමියාට/ බිරියට වේවා, ඔබ දක්වන ප්‍රතිගාමී ප්‍රතිචාර දමනය කර ගන්න. ” මා දැන ගෙන සිටියෙ නෑ ඔයාට ඔවැනි ප්‍රශ්නයක් ගැන දැන් ගන්නට වුවමනා වෙලා තිබුනා කියලා” වැනි සමබර පිළිතුරක් ජැකීගෙන් පිටවිණි නම් වඩා සාර්ථක සංවාදයකට දොර විවෘත නොවන්නේද?

. . . .

3. හදවතින් කථා කරන්න.
වසර ගණනකට පෙර එක්තරා ක්‍රීඩා තරඟයක් නැරඹීමට මම ගියෙමි.

දස හැවිරිදි තරමේ දරුවෙක් මා අසල සිටි ඔහුගේ පියා අමතා, “තාත්තේ ඔයා දැක්කද මම හතරෙ පාරක් ගැසුවා?” කියමින් ඔහුගේ අතේ එල්ලුනේය.

“මොනවද ළමයෝ, උඹට එක හයේ පාරක් වත් ගහන්න බැරුව ගියානේ?” පියාගේ පිළිතුර විය. දරුවා පියාගේ අත අතහැර ඉවත බලාගත් සැටි මම දිටිමි. ඔහුගේ සිතේ ඉපිළ ආ සතුට සිඳී ගියේය. ඉන්පසු ඒ දරුවා තම හදවතේ නැගෙන හැඟීමක් සිය පියා සමඟ බෙදා ගැනීමට ඉදිරිපත් වෙතැයි ඔබට සිතිය හැකිද?

. . . .

4. හැඟීම් ගැන වාද නොකරන්න
ඔබ අනුන්ගේ කල්පනා හැඟීම් හරියටම දනිතියි නොසිතන්න.

ඩේව් හා මේරි අපේ ප්‍රශ්න කාඩ්පත් ක්‍රීඩාවේ අඩ පැයක් පමණ යෙදුනාහ. මේරිට ලැබුණූ කාඩ් පතේ සදහන්ව තිබූ ප්‍රශ්නය මෙයයි. “ඔබට කිසියම් අවස්ථාවකදී තනිකමක් දැනුනේද?”

“මට හැම රාත්‍රියකම තනි බව දැනෙනවා.” ඇයගේ ප්‍රකාශය විය. ඩේව් සුදුමැලි විය.

ක්‍රීඩාව අවසානයේදී “ඔබ කෙසේද එහෙම කියන්නෙ?” යයි අමනාපයෙන් මේරිගෙන් ඇසීය.

“හැම රාත්‍රියකම අපි දෙදෙනා ඇදට ගිය විට ඔබ මට පිට හරවා නිදා ගන්නවා.” ඩේව්ට උඩ බිම බැලිණි.

” මම පාසල් යන කාලේ පාපන්දු ගහන්නට ගොසින් වැටී ඉළ ඇට දෙක තුනක්ම කැඩුණි. ඒවා හරියටම හරි ගිහින් නැහැ. මට නිදාගන්නට පුළුවන් එක පැත්තකට හැරිලා පමණයි.”

සති කීපයකට පසු ඩේව් සහ මේරි මහ වෙළඳ පොලේදි මුණ ගැසිණ. මා දුටු විගස මේරි, “අපි අපේ ගැටළුව විසඳ ගත්තා.” යයි කීය. “අපි නිදාගන්න පැත්ත මාරු කරගත්තා.”

. . . . .

5. ආදරය ප්‍රකාශ කරන්න
වචන මෙන්ද ක්‍රියාද වැදගත්ය.

කාමන්ද ඇගේ සැමියා හා ඔවුන්ගේ දරු දෙදෙනාද සමග මම අපේ සුපුරුදු ක්‍රීඩාව කරමින් සිටියෙමි. කාමන් මැදිවියේ පොහොසත් රෑමත් කාන්තාවකි. ඇය සියල්ලෙන් සම්පූර්ණ තැනැත්තියකැයි මම සිතුමි.

කාමන් කාඩ් පතක් ඇද්දාය. “ඔබට සිත් වේදනාවක් ගෙන දුන් අවස්ථාවක් ගැන කියන්න.

”මෙතෙක් තම පවුලේ කිසිවෙකු සමගවත් බෙදා නොගත් තොරතුරක් ඕ පිළිතුරු වශයෙන් හෙළි කළාය.

“මට වයස හයක් තරමේදී අම්මා මට කීවා සිඹ ගැනීමට මා ලොකු වැඩියි කියලා. මට හරියට දුක හිතුනා. ඉන්පසුව හැමදාම උදේ මූණ හෝදන්න නාන කාමරයට ගියාම එහි තිබෙන අම්මගෙ තුවාය මූණට තියලා තද කරගෙන උන්නා.”

කාමන් මා සිතා සිටි අන්දමේ තෘප්තිමත් කාන්තාවක් නොවූවාය. වසර 4ක් පමණ හදවතේ මේ වේදනාව වසන් කරගෙන සිටීම ගැන මම මවිතයට පත් වීමී.

අපේ ක්‍රීඩාව වට කිහිපයක් කළ පසු කාමන්ගේ අට හැවිරිදි පුංචි පුතා හෙමින් සීරුවේ නැගිට ඇය වෙතට පැමිණ ඔහුගේ සිහින් දෑත කාමන්ගේ ගෙළ වට යවා ඇයගේ මූහුණ සිප ගත්තේය. ඇයගේ දෑස තෙත්වනු මම දිටිමි. ඇයගේ පැරණි වේදනාව ඒ කඳුළු කැට සමග සදහටම ඉවත්ව යන්නට ඇති.

෴෴෴෴෴෴

රෙයා සකික් කැලිෆෝනියාවේ, අඹු සැමියන්, ගුරුවරුන් වන්නන් හා සන්නිවේදනය පිළිබඳ වැඩමුළු සංවිධානය කරන ලදී. ඇයගේ ක්‍රීඩාවේ ප්‍රශ්ණ කාඩ්පත් භාෂා පහකින් මුද්‍රණය වී දශලක්ෂයකට වඩා අලෙවි වී ඇත. මනෝ විද්‍යාඥයන්, මනෝ චිකිත්සකයන්, ගුරුවරුන් විසින් ඒවා භාවිතා කෙරෙයි

. . . ...

රොයිලි සහෝදරයාගේ අඩවියේ පවුල තුළ සන්නිවේදනය ලිපි පෙලේ

පළමු කොටස මෙතනින්
දෙවන කොටස මෙතනින්
අවසන් කොටස මෙතනින්

20 comments:

  1. මොන කරුමකයක්ද මන්දා මම ලොග් වෙන වෙලාවටම තමයි දුකා අයියත් පොස්ට් එකක් දාන්නෙ.
    රොයිලි අයියාට ඔන්න අපිත් ගිහින් සුභපතනවා තව ටිකකින්. ජිවිතෙ අපුරු සුන්දරත්වයක් තියනවා එක අපිම මතු කරගන්න ඔනා, මම දැකලා අහාලා තියන විදියට, දුකා අයියාත් එ ප්‍රවාහයේම පිනමින් අපුරු සුන්දරත්වයක් විඳින අනිත් අයට විදවන්න ලබා දෙන අපුරු කෙනෙක්. ඉතින් ස්තුතියි. මාත් ලිපියක් දාන්න ආවා විතරයි. ඔයාව දැක්කෙ

    ReplyDelete
  2. හඃ හා . මේක නම් අපූරු වැඩක් රවා මල්ලියෝ . .. මේ දෙවෙනි පාර නේද . .. එල එල

    ReplyDelete
  3. මේ සටහන ඇත්තටම අපූරුයි..!!

    ReplyDelete
  4. මමත් දැන් ගිහින් සුභ පතලා කොමන්ට් එකක් දැම්මා. මතක් කළාට දුකා අයියට බොහොම ස්තූතියි.

    ReplyDelete
  5. දුකාටත් , රොයිලිටත් ගොඩක් ස්තූතියි, මේ වටිනා ලිපිය බෙදා හදා ගත්තාට . . . . !

    ReplyDelete
  6. දුකා අයියට වගේම රොයිලිටත් ස්තුතියි.... වටිනා ලිපියක්. හිතන්න යමක්

    ReplyDelete
  7. මමත් ඔය සටහන කියෙවුවා. අපූරු සටහනක්

    ReplyDelete
  8. හ්ම්...අගනා ලිපියක්...
    ජයවේවා!!!

    ReplyDelete
  9. දැමම්ම යන්න ඔනේ රොයිලි අයියලගේ පැත්තට..
    සිතූතියි දුකෝ මතක් කළාට.. ඒ වගේ ම ලිපිය හොයලා දුන්නට..

    ReplyDelete
  10. කියවා හිතන්නට යමක්... ස්තුතියි...

    ReplyDelete
  11. ඇත්තටම වටිනා ලිපියක් ... බොක්කටම වැදුනා ...ස්තුතියි ලිපියට ..

    ReplyDelete
  12. හුඟාක් වටින ලිපියක් දුකා අයිය.
    සොඳුරු හැගීම් බෙදා හදා ගන්න එක ජීවිත සුන්දර කරවනව............
    මේ ලිපිය බෙදා හදා ගත්තට ස්තූතියි......

    ReplyDelete
  13. හරිම රසවත්...හොඳ උපදේස ටිකක්. මීට පස්සේ මට හිතන්න යමක් තියනවා. ස්තුතියි අයියේ දැනෙන්න ටොක්කක් ඇන්නට.

    ReplyDelete
  14. හරිම හරවත් රසවත් වටිනා ලිපියක්....

    ReplyDelete
  15. මේකනම් මාරයි අයියේ...! වදිනවා බොක්කට ම..!

    ReplyDelete
  16. ඇත්තටම ගොඩක් වටින වස්තුවක්!

    කළු ගල් අතරෙ තිබිල මේ මැණික් කැටේ හොයල දුන්නට දුකා අයියටත්, රොයිලි සහෝටත් ගොඩක් ස්තූතියි!!!

    ReplyDelete
  17. මම හරි ආසයි ලස්සන ජීවිත කතා කියවන්න.thax!හිරිම අපූරුයි.

    ReplyDelete
  18. බොක්කටම වදින කතාවක්. මේක අද රෑට අපේ ගෙදර අතුරුපස සමග. දුකා ට ස්තුතියි.

    ReplyDelete
  19. මල්ලි .. මට පොඩි වැඩකට උවමනා කරල තියෙනව.... ගරු මර්සිලීන් ජයකොඩි පියතුමාගෙ පින්තූරෙකුයි , එතුමා ලියාපු ගීත දෙකකුයි.
    පුලුවන් වෙයිද හොයල එවන්න.
    කරදර කළාට කණගාටුයි.

    කුමාරයා.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails