UAE Sri Lankans Events

Monday, December 6, 2010

Home Sweet Home !



"Home Sweet Home"

"There is no place like home'
උදයේ නිවසින් රැකියාවට හෝ පාසැලට පිටවෙන අපි සවසට නිවසට පැමින අසුනකට බරදී ගිමන් නිවද්දී දැනෙන සැහැල්ලුව, සතුට, සනීපය, සුවදායි බව කෙතරම්දැයි ඔබ අත්විඳ තිබෙනවාද . . ?

මොහොතකට ඒ ගැන විශේෂයෙන් සිතා තිබෙනවාද . . ?

යලිත් මොහොතක් සිතා බලන්න.
එසේ වෙහෙස වී පැමින අසුනකට බරදී දෙනෙත් පියාගත් විට ඔබේ සිත ඔබව අතහැර ඈත අහසේ පුලුන් රොදක් මෙන්, වරා මලක් මෙන් පියාසළනවා යැයි සිතෙනවා නොවේද.
ඔබ ජීවත් වෙන්නේ පොල් අතු සෙවිලි කල පැල්පතක විය හැකියි, උඩට උඩුවියන් බඳි පයට පළස් ඇතුරූ රජ මාලිගාවක විය හැකියි, ගඳ ගහන මුඩුක්කුවක විය හැකියි.

මේ කොහේ ජීවත් වුවත් වෙහෙසකාරී දවසේ අවසන පැමිනෙන්න ඔබට නිවසක් ඇත.

වාසනාවන් . . . .

ඔබ වාසනාවන්තයෙකි.


වෙහෙසකාරී දවස අවසන ගිමන් නිවන්න නිවසක් තිබූ පමනින් ඔබ වාසනාවන්තයෙක් වේද . . ?

මොහොතක් සිතන්න, සවස නිවසට පැමිනෙන ඔබේ පියාට දකින්න ලැබෙන්නේ කුමක් හෝ හේතුවක් නිසා කෝපයෙන් සිටින මව එසේත් නොමැතිනම් පොර කුකුලන් මෙන් රන්ඩුවී මූන රකුසු කරගෙන සිටින දරුවන් නම් . . .

ඔහුට "Home Sweet Home" හෝ "There is no place like home" කියා සිතේද . .

නොමැති නම් අයියෝ මොන මගුලටද ගෙදර ආවේ කියා නොසිතේද

එසේත් නැතිනම් "හංදියේ බාර් එකට වෙලා අඩියක් ගහලා රෑට නිදා ගන්න ඩිංග ගෙදරට යන්න තිබුනානම්" කියාත් නොසිතේද . .

. . . .. . . .. . . .. . ..

නිකමට ඔබ ගැන සිතන්න.

ඔබ පාසැල් යන හෝ රැකියාවක් කරන විවාහ නොවූ හෝ විවාහ වූ අයෙක් නම් . . .

පාසැල් ගොස්, සවස අතිරේක පන්ති නිමවා; රැකියාවට ගොස් කාර්‍‍යාලයේ දවස නිමවා, පාරේ වාහන තදබදයේ හෝ බසයේ එල්ලී නිවසට පා නගන්නේ කෙතරම් බලාපොරොත්තු ඇතුවද?

එසේ එන ඔබට දොරකඩදීම කෝපයෙන් සිටින අම්මා, අක්කා, අයියා, නංගී, සැමියා, බිරිඳ මේ කවුරු හෝ වේවා සිටිනු දුටුවහොත්

අර මුලින් සඳහන් කල සුවදායී, සතුටු, සැහැල්ලු හැඟීම ඇස් පනාපිට බිඳ වැටුනු හීනයක් නොවේවිද . . ?

. . . . .. . . .. . .

ඔබ මා සියල්ලෝ කැමති සතුටින් ජීවත් වෙන්න නොවෙද . . ??

කුමන හෝ හේතුවක් නිසා මා අසතුටෙන් නම් ඒ මගේ අසතුට වෙන අයෙකු මතින් පාකර මගේ අසතුටට තවත් අයෙක් හවුල් කර ගන්නේ ඇයි . . .. ???

මොහොතකට හෝ අසතුට අමතක කර, හංගා ගෙට ගොඩවෙන පියාව, මවව, සහෝදරයාව, සහෝදරියව, සැමියාව, බිරිඳව සිනා පිරි සතුටු මුහුනෙන් පිලිගෙන . . ..

ඔවුන්ගේ විඩාව පලවා හරින්න සහයෝගය දී . . ..

පසුව නිවී සැනසිල්ලේ අපේ අසතුටට හේතුවත් . .

එය නැති කිරීමට ඔවුන්ගේ උදව් ඇවැසි බවත් කියා ගත හැකි නම් . .. . !!!!!

37 comments:

  1. ඔවු ඈත්ත කථාව...
    මම රැකියාවක් නොකළත් පංති ගිහින් ගෙදර එන්නේ පුදුම මහනසියකින්... ගෙදර ඈවිත් පුටුවක් උඩට හරි ඈඳ උඩ​ට හරි වැටුනම දැ​නෙන්නේ නිවන් දැක්කා වගේ (නිවන් ගියාම ඒ වගේ වෙන්න ඈති)

    ReplyDelete
  2. @සෝරෝ !
    ඇත්තන්ම අපේ අය නිවන් ගියා වගේ කියලා හරියට නිවන් ගිහින් තියෙනවා වගේ කියන්නේ එහෙම පුටුවක් උඩට වැටුනාම දැනෙන සනීපේ නිසාම වෙන්න ඇති නේද මලේ.

    ReplyDelete
  3. මට ඔය ආතල් එක ගන්න බෑ....බෝඩිමට ඇවිත් උයන්න ඕනි...බෝඩිමට ආව කියල මහ ලොකු වෙනසක් මටනම් දැනෙන්නෙ නෑ.

    ReplyDelete
  4. කතාවනම් සහතික ඇත්ත දුකා අයියේ. මමත් රස්සාවක් නොකළට පන්ති ගිහින් ආවාම ගෙදරට ආවාම දැනෙන ඒ සැහැල්ලුව කියලා වැඩක් නෑ. මහන්සි වෙලා විතරක් නෙමෙයි කොහේ ගියත් ආයෙමත් ගෙදරට ආවාම හිතට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක්.

    ReplyDelete
  5. අද නං මාත් නිදහස්....

    ReplyDelete
  6. ඒ කතාවනම් ඇත්ත තමයි.ඉස්කෝලේ ගිහින් එපාවෙලා ආවාම ගෙදර නිකන් දිවිය ලෝකෙ වගේ :D

    ReplyDelete
  7. උඹ කියන කතාව ඇත්ත. අම්බානෙකෙට මහන්සි වෙලා ගෙදරට එන කොට බලාපොරොත්තු වෙන්නෙ ආදරණීය හිනාවක්. ඒකෙන්ම අර ඔක්කොම මහන්සිය, කාන්සිය කොහේ ගියාද දන්නෙ නැහැ. බැරි වෙලාවත් රැවුම් ගෙරවුම් ලැබුනොත්, අර උඹ කිව්ව වගේ ගෙදර අය නිදා ගන්න වෙලාව බල බල ඔෆිස් එකටම වෙලා ඉඳලා නිදා ගන්න ටිකට විතරක් ගෙදරට ආපු වෙලාවල් තියෙනවා.

    ඒත් මේකෙ අනිත් පැත්තකුත් තියෙනවනේ, අපි ඔෆිස් එකට වෙලා වැඩ කරද්දි අපේ භාර්යාවොත් ගෙදරට වෙලා මොනතරම් වැඩ කන්දරාවක් කරනවද. ඒගොල්ලන්ටත් අපිට දැනෙන මහන්සියම, කාන්සියම දැනෙනවනේ. ඉතින් සමහර වෙලාවට අපි ගෙදර එන වෙලාවට ඒගොල්ලගෙ මූඩ් එකත් මොකක් නිසා හරි වෙනස් වෙලා තියෙන්න පුළුවං අවස්තා ඕන තරං තියෙනවා.ඉතින් ඒ වගේ වෙලාවට පොඩ්ඩක් ඉවසලා කාරණය තේරුම් ගන්න බැලුවනං කාගේවත් හිත් නොරිදවාගෙන ඉන්න පුළුවං වෙයි.

    ReplyDelete
  8. සහතික ඇත්ත මචං. බයික් එක ඇතුලට දාන්න අම්මා ගේට්ටුව අරින කං මං බලන් ඉන්නේ. මොනාහරි අවුලක් නම් මට එතෙන්දීම දැනෙනවා. මේ දැනුත් ගෙදර යන්නේ නැතිවයි මේක කියවන්නේ. හැබැයි ඉතින් ගිහිල්ලා ඇඳට වැටිලා ඉන්නවා මතක් වෙනකොටත් සැපයි...
    ඇත්ත ගෙදරට එන මොකා වුනත්, අමුත්තා වුනත්, හැමදාම එකම වෙලාවට එන එකා වුනත් වෙල්කම් කරන එක සෑහෙන්න වටිනවා ඒ මනුස්සයට.

    ReplyDelete
  9. අපි මේවට බ්ලොග් කියලා නොකියමු! මොකද මෙහෙම නොවෙන එව්වට බ්ලොග් කියලා කියනවලු. මේක පිට කැහීමක් නොවන්නේ මම දේකට කමෙන්ට් කරන්නේ ඒක සිරා නම් පමණක් නිසා. උඹත් ඒක දන්නව ලොකු අයියේ!

    ReplyDelete
  10. අනේ මන්ද.
    මට නම් ගෙදර එපා වෙන තත්වයක් ඇවිල්ලා...
    දැන් අවුරුදු එක හමාරකට කිට්ටු වෙන්ට ගෙදර ම නෙව.
    තව සති දෙක තුනකින් බෝඩිමකට කොටු වෙලා ඉන්නකොට තේරෙයි ගෙදර අගේ....
    මටම එහෙම හිතෙනවා....
    ඒත් දැනට නම් ආසාව ඉක්මනටම අපේ ඇකඩමික් පටං ගනිත්වා කියන එක.

    ReplyDelete
  11. ගෙදර විතර සුව‍දෙන තැනක් වෙන කොහේද..
    මට මතක් වෙනවා මේ සිංදුව..

    පොඩි දුවගේ සිනා වැලයි
    පොඩි දුවගේ කතා පෙළයි
    ප්‍රිය බිරිඳගෙ සෙනෙහෙ විලයි
    මගේ නිවන මගේ පැල්පතයි....

    කටු මැටි ගෑ බිත්ති පුරා
    පළිඟු මැණික් එළිය දිලේ
    ගොම මැටි ගෑ ගෙබිම මගේ
    පියවිලි බුමුතුරුණු වගේ....

    ලබන නමුත් දුක් පීඩා
    කූඩු වුණත් පුංචි පැලේ
    අඹු දරුවන් අතර තුරේ
    මට නිම් නැති සුවය දැනේ...

    ‍හැබැයි නොවුනොත් ගෙදරට වඩා මහපාර තමයි හොඳ...

    ReplyDelete
  12. බොහෝම වටිනා ලිපියක්. ප්‍රතිචාර්යයන්ගෙන් තවත් හරවත් කරලා.

    දුමී යාළුවාගේ සටහන ඉතා අගේය.

    ReplyDelete
  13. ගෙදර කොච්චර සනීපයි ද කියනවා නම් වෙන කොහේවත් යන්න හිතෙන්නෙත් නැති තරම්!!

    ReplyDelete
  14. කුෂාන් කිව්වා වගේ උණුසුම් පිළිගැනීමක් වටිනවා උණු තේ එකකට වඩා.., මහන්සි වෙලා ආවම ඒ පිළිගැනීම පළිගැනීමක් නොවී එය උණුසුම් වූවාම දැනෙන සනීපේ කියාගන්න වචන නැති තරම්..!

    මට කියන්න තියෙන්නේ මුචාගේ කොමෙන්ටුවට "එම" කියන එක විතරයි..! මරු!

    ReplyDelete
  15. නියම පෝස්ට් එක දුකා අයියා..!!

    ReplyDelete
  16. නියමයි දුකා ...........................
    දුමී ගේ කතාවත් නියමයි.....................
    ජීවිතය සොඳුරු කර ගත යුත්තේ අප විසින් මය

    අපො ගෙදරට ගිහින් පුටුවකට වැතෙනව තරම් දෙයක් තව තියනවද office ඇරිල ගෙදර ගියාම

    ReplyDelete
  17. කථාව ඇත්ත.... ඒත් අපි දෙන්නටම ඕක හීනයක්.... අපි වැඩ ඇරිලා ගෙදර යන ගමන් පැටව් දෙන්නවත් ඉන්න තැනකින් අරගෙනනෙ යන්නෙ... ඒත් අපි හතරදෙනා ගෙදර යද්දි අපිව පිළිගන්න අපේ ගෙදර කව්රුත් නෑ.. :( මාස හයකට කලින් නම් හිටියා...

    ඒ ගියත් පැටවුන්ට ටී.වී. එකවත් දාල දීලා රෑට උයන්න පටන් ගන්න වෙනවා තේ ටිකක් හදාගන්න අතරම... ඕව ඉවර වෙලා දෙන්නට කවලා පුටුවකට හරි ඇදකට හරි වුනාම සැපක් ගැන හිතන්න කලින් නින්ද ගිහින් මල්ලී.... :)

    ReplyDelete
  18. අනේ ඒකනම් ඈත්ත! කලාතුරකින් ගෙදර එද්දී, ගෙදර ලං වෙනකොට දෑනෙන හුලගත් සනීපයි!

    ReplyDelete
  19. ඉතාම අනර්ඝ ලිපි කීපයක්ම කිව්ව...තව තවත් ලියන්න කියල ඉල්ලා සිටිනව...

    මම මේ ලගදි ගොඩවැදුන බ්ලොග් එකක් තියෙනව, මේ වගේ අදහස් තියෙන කවුරුත් කැමති වෙයි මම හිතන්නෙ....

    http://geesithuvam.blogspot.com/

    ReplyDelete
  20. ඉස්සර අපේ අම්මාත් කියන කථාවක් තමයි, ගෙට ගොඩ වෙච්චි ගමන් අරක මේක කියාගෙන එන්න එපා කියන එක. අයියාගේ ලිපිය කියැවුවාම ඒ සිදුවීම් සිහිවුනා. නැවතත් වටිනා අදහස් ඇති ලිපියක් අයියේ !!! බොහොම වටිනවා. ස්තුතියි.

    ReplyDelete
  21. කියන්න දෙයක් නැත. මේ මම හැමදා අති විඳිනා දෙයයි. ඒත දුකා කියනකල් මට මේක හිතුනේ නෑනේ. මමත් ගෙදර යන්නේ මෙහෙසකින් තමා. ඒ වෙලාවට අම්මාගේ සිනා මුසු වචනයක් අහන්න ලැබෙන එකත් ලොකු සතුටක්. ඉතින් තවත් කවර කතාද?........

    ReplyDelete
  22. එල කතාව දුකා අයියා.මටනම් බකින්හැම් පැලස් එකේ හිටියත් ,ගෙදර බූරු ඇදේ නිදාගෙන ඉන්නව තරම් ආතල් එකක් ලොවෙත් නෑ.

    ReplyDelete
  23. @Indi!
    ම් ම් ම් බෝඩිං ජීවිතේ නම් පව් අප්පා

    @පූසා !
    ඔව් ඔව් ජොලි ගමනක් ගියත් ගෙදරට ආවහම දැනෙන්නේ වෙනස්ම පුදුමම සතුටක්. කතාව ඇත්ත මළයෝ.

    @Jeew!
    මොකෝ අද විතරක්?

    @Aditha Jayasuriya!
    හරියට උඹ එහේ කලින් ගිහින් තියෙනවා වගේ . . හික්ස්

    ReplyDelete
  24. @දුමී!
    ඒකනම් ඇත්ත දුමියෝ . .
    එයාලා කරන ජොබ් එකේ රඟේ තේරෙන්නේ නිවාඩු දාට ගෙදර හිටියාම.

    @වන්නි!
    ඔව් බන් මාත් කියන්නේ අපිට මළ පනලා හිටියත් ගෙදර එන කෙනා ඒකට පලි නෑනේ. ඌ ඒකට පලි වුනත් දෙන ගේමක් පොඩ්ඩක් වෙලා ගිහින් දෙනව නම් හොඳයි කියලයි මම කියන්නේ.

    @මුචා!
    තැන්කූ වේවා මළේ.

    @රාළ!
    බෝඩිමට ගියාම උඹට තේරෙයි කොල්ලෝඅ ගෙදර අගේ.

    @තරු අහස!
    අහ් ඇත්ත තමයි.
    හරි නම් මේ සින්දුව ලිපියේ අගට එකතු කරන්න තිබ්බා.
    කමක් නෑ ඔයා ඒ වැඩේ සම්පූර්ණ කලානේ මළේ.

    @ඩීන්!
    ස්තූතියි මචෝ.
    ඇත්තෙන්ම කමෙන්ට් ටිකත් ආවට පස්සේ තමයි මේ ලිපිය සම්පූර්ණයි වගේ දැනුනේ.

    @අරුණි!
    එහෙම කියලා කොහොමෙයි අප්පේ.
    යන්න තියෙන ගමන් යන්ටම එපැයි.

    @ලිශ්!
    ඔව් මළේ. ඒක නම් හැබයි.
    උනු තේ පරාදයි පොඩි හිනාවකට.

    @අසංකා!
    තැන්කූ වේවා නගේ.

    ReplyDelete
  25. මාත් අවුරුදු 6ක් තිස්සෙ බෝඩිං ජීවිතේ තමා. මාසෙකට සැරයක් ගෙදර යන්නෙ. හිත රිදුණු වෙලාවට ඇස් දෙක පියාගෙන ගෙදර මවා ගත්තම ඇත්තටම දුක අඩු වෙනවා. Home Sweet Home කියන්නෙ බොරුවටද නේද?

    ReplyDelete
  26. ඇත්ත නේන්නම්. නියම ලිපිය. !
    මමත් දැන්ම ගෙදර යන්න ඕන. අපේ ගෙදර උන්දෑටනම් මේ දවස් වල පාර බලන් ඉන්න වෙලාවක් නැහැ. පොඩි එකෙක් ඉන්නව නොවැ දැන් අපිට. පොඩ්ඩ දැක්කම මහන්සිය කොහෙන් යනවද මන්ද...

    ReplyDelete
  27. @නිශ්!
    අනිවා අනිවා.
    ජීවිතය දුකක් හෝ සැපක් කර ගත යුත්තේ අපි විහින්මය.

    @තනෝජා!
    අනේ ඔයාගේ ආදරණීය නැන්දම්මා මතක් වුනා.
    කියන්නද වැඩක්.
    බලු පැටියෙක් හදන්න.
    එතකොට ගෙදර එනවෙලාවට පිලිගන්න කෙනෙක් ඉන්නවනේ.
    ආරක්ශාවටත් හොඳයි.

    @නදී!
    අනේ ඔව් ගෙදරින් පිට ඉන්න අයට ඔය කිව්වටත් වඩා ගෙදර මතක් කලත් සැපයි. නැද්ද?

    ReplyDelete
  28. @ඇනෝ!
    බොහෝම ස්තූතියි අදහස් දක්වූවාට.
    ඔබ දුන් ලිපිනයේ අඩවිය හරිම අපූරු එකක්.
    මම ඒක මගේ බ්ලොග් රෝල් එකටත් දා ගත්තා.
    දන් නිතරම කියවන්න පුලුවන්.
    ස්තූතියි.

    @රන්දිල්!
    ඔව් නගේ මටත් මතකයි අපේ අම්ම වැඩ ඇරිලා එන කොට නංගී අපි ගැහුව කියලා කේලම් කිව්වම මඟදීම සාරිපොට අනේ ගහගෙන කෙලින්ම යන්නේ කුස්සියට . . . අක්කටයි මටයි ගේම දෙන්න දර පොල්ලක් අරගන්න.
    හික්ස්

    @ප්‍රියන්ත
    අනේ ඔව් මලේ.
    ඒක ඉතිං විඳපු එකෙක්ම තමයි දන්නේ කොයි තරම් සැපයක්ද කියලා

    @දිනේෂ්
    අහ් බූරු ඇඳ ඒ තරම් සැපද?
    හික්ස්

    ReplyDelete
  29. මේක නම් හැබෑම ඇත්තක් අයියේ. මහන්සිවෙලා එන ස්වාමියාව සනසන්න ගේදොරකඩ හිනා වෙලා ඉන්න බිරිඳව බලාපොරොත්තු වෙන තවත් එක් ස්වාමිපුරුෂයෙක් නොවී ඔයා හැමෝගෙම පැත්තෙන් හිතලා තියෙනවා. අප්පේ මං අපේ නංගිට කී වතාවක් කියලා ඇද්ද මම එන වෙලාවට දොර වහලා තියන්න එපා කියලා. කොහෙද අහන්නේ.. මම දොරට තඩි බාලා විනාඩි පහකින් දොර අරිනවා ඒකත් බාගට. හිහි..
    ඔයා කියපු අර පුටුවේ වාඩි වෙලා ටිකකින් තේ එකකුත් අතටම ලැබුනම ඉතින් මේ තමා දිව්‍යලෝකේ කියලයි මට හිතෙන්නේ.. මං ගෙදර යන වෙලාවට නම් සිරසේ ටොම් ඇන්ඩ් ජෙරි කාටුන් එකත් පටන් අරන්. ඉතින් ජොලි ඩබල් මට.. (ඕං දැන් මට බැනපල්ලා සිරස බලනවා කියලා)

    ReplyDelete
  30. sathyai sathyai Niwaeradi pahadaadeema....!!! great... keep it up!

    ReplyDelete
  31. දවස පුරාවට විඩාපත්වු ගත,
    සනසන සුරඟන ඒ ඔබමයි,
    උදේ පටන් විඳි ලතැවුල් මකමින්,
    මුව අග පිපි හස රැල්ල ඔබයි,

    කතරක සිට කෙම් බිම වෙත ආ මට,
    සිහිලැල් දියදෝතත් ඔබමයි,
    හැමදාමත් රිදෙනා තැවෙනා සිත,
    සනසන දිව ඔසුවත් ඔබමයි,

    ReplyDelete
  32. මාත් මේ පුලුවන් තරම් මහන්සි වෙන්නේ ගෙදර එනකොට හිනාවෙලා මට තේකක් හදලා දෙන කෙනෙක් හොයා ගන්නනේ!

    ReplyDelete
  33. @පිණිබිඳු... !
    ඔයාම කියනවා හිත් රිදුනු වෙලාවට ඇස් දෙක පියා ගෙන ගෙදර මතක්කලම හිත හැදෙනවා කියලා ආයිත් අහනවා හෝම් ස්වීට් හෝම් බොරුවක්ද කියලා . .
    නෑ නෑ හලෝ ඒක ඇත්තමයි.

    @nawammawatha !
    පොඩ්ඩගේ වැඩ කොයි තරම් තිබුනා උනත් ගෙදර උන්දෑ ම්ඟ බලන් ඉන්නවා බන් . . පාරට එන්නම ඕන් නෑනේ මඟ බලන් ඉන්න.
    අහ් අනේ ඔව් පොඩි එකාව දැක්කාම ත් මහන්සිය සුස් ගාලා මැකෙනවා.
    බලල නැද්ද දවසක් මම ලිව්ව "විරුල් නොහොත් සොඳුරු ත්‍රස්තවාදියා" පෝස්ට් එක . .

    ReplyDelete
  34. @ෆා!
    කියනන්ද වැඩක්
    අනිත් ඩවසේ ගෙදර යනකොට තඩි පොල්ලක් අරන් යන්න.
    එකෙන්ම දොරට තඩිබාලා දොර අරපු ගමන් නංගිටත් තඩිබාන්න.
    හික්ස්.

    මේ අර සිරස බලනෑකට මොකුත් කියන්න බෑ බන්.
    ඉස්සර අපේ කාලේ නම් රූපවාහිනිය අයි ටී එන් එක මිනිස්සුන්ගේ රසවිඳනය වැඩි කිරීමේ කොන්ත්‍රාත් එකනේ අරන් තිබ්බේ. දැන් ඒ දෙක ආන්ඩුවේ රෙදි හෝදන කොන්ත්‍රාත් එක අරගෙන නිසා වැඩි දෙනෙක් බැන බැන හරි බලන්නේ සිරස තමයි.

    @චමින්දි!
    ස්තූතියි කිව්වා ඕන්.

    @රවී!
    ස්තූතියි රවී.
    කලාතුරකින් කවියක් වගේ දෙයක් ලියන්න ඇහැක් වුනාට මෙහෙම අපූරුවට ලියපු කවියකට පිලිතුරක් ලියන්න තරම් හැකියාවක් මට නති නිසා ස්තූතියි කියලා විතරයි කියන්නේ ඔන්න.

    @Podi Kumarihami !
    හැබෑටම ගෑනු පිරිමි කියලා නෑ, මහන්සි වෙලා ගෙදරන එන කාටත් හිනාවෙලා ආදරෙන් පිලිගන්ට ඕන නේද මෙයා.
    කොහොම හරි කමක් නෑ ඔයාට එහෙම කෙනෙක් ඉක්මනට ලැබේවා කියලා මම හදවතින්ම පතන්නම්.

    ReplyDelete
  35. සිංහල බොලොග් වල ඉන්න "පොර" මම නිසා. මට කියන්න තියෙන්නේ කතාව හොදයි කියලා...

    ReplyDelete
  36. හැබෑව දුකා..ජීවිතය විඳියයුත්තක් මිස විඳවියයුතු නොවේ..

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails