UAE Sri Lankans Events

Wednesday, September 16, 2009

පන හයියම ආච්චී හෙවත් බොරුවට මැරුනු චරිත්ලගේ ආච්චී . . . !


පුංචි ළමයින්ගෙයි . . වයසක අයගෙයි විශාල සමානකම් තියෙන බව ඔබට කෙදිනක හෝ නිකමට මෙන් හැඟී තිබෙනවාද . . ?

පුංචි ළමයින් අන් අයගේ අවධානය . . . ආදරය තමන් වෙතට ලඟාකර ගැනීමට විවිධ උපක්‍රම යොදන බව ඔබ දැක ඇත්ද . . ? වයසක අයත් එලෙසමයි . . .

"අනේ පුතේ මට උඹව අඳුර ගන්න බැරි වුනා බං . . මගේ මේ ඇස් දෙක දැන් හරියට පේන්නේ නෑ කොල්ලෝ . . . "

"මගේ කොන්දේ කැක්කුමයි පුතේ "

"දැන් මට හරියට ඇවිද ගන්න බෑ පුතේ මගේ මේ කකුල් දෙකම රිදෙනවා ටිකක් හිටගෙන හිටියත් . . "

"උඹ කියපු එක අහුනෙ නෑ පුතේ . . මගේ කන් දෙක දැන් ඉස්සර තරම් හොඳට ඇහෙන්නේ නෑ . . "

කොන්දේ අමාරු . . . ඇස් නොපෙනීම . . . කන් නෑසීම . . . වාත අමාරු . . . ගැන ඔවුන් බොහෝවිට පවසන්නේ ඒවා ගැන ඔවුන් වේදනාවෙන් පසුවෙනවාට වඩා ඒවා ඔබට පැවසීමෙන් ඔබේ අවධානය ඔවුන් වෙත යොමුකරවා ගැනීමට කියායි මගේ නම් අදහස . . . !

බොහෝ කලකට පෙර . . . ආච්චී . . සීයා . . නැතිනම් අත්තම්මා . . ලොකු අත්තා . . යනු අපේ රටේ පවුල නම් සංකල්පයේ මහා පහන් ටැඹ දෙකක් මෙන් වූවා . . . දරුවන්ට ජන කතා . . . ජන ගායානා . . . සුරංගනා කතා . . . වීර කතා . . ඉතිහාස කතා . . බෞද්ධ ජාතක කතා . . ආදී දේවල් වලින් දරුවන්ගේ පුංචිලෝකය විචිත්‍රවත් කලේ මේ දෙපලයි . . . !

නන්නත්තාර වූ ආර්ථික රටාවක් තුල අද දවසේ ඉතාම කුඩා කැබලි වලට කැඩී බිඳී ගොස් ඇති එම පවුල නම් සංකල්පයේ ආච්චී සහ සීයා බොහේ විට මහ ගෙදර කාගේ හෝ හව්හරනක් නැතිව තනියෙම බලා ගත් අත බලා ගෙන ජීවිතය ගෙවන "අනේ ඇයි මම ඉක්මනට මැරිලා යන්නේ නැත්තේ" කියා තමන්ගෙන්ම අසාගන්නා මානසිකත්වයකින් පසුවන . . අසරන ජීවිත දෙකක් විය හැකියි . . .
නැතිනම් මහගෙදර අයිතිය හිමිකර දුන් දුවගේ . . පුතාගේ . . මුනුබුරු මිනිබිරියන්ගේ . . . (සමහර විට ඔබේ අම්මා . . තාත්තා . . නැන්දා . . මාමා . . ලොකු අම්මා . . ලොකු තත්තා . . විය හැකියි )ඇනුම් බැනුම් අසමින් දුකින් කල් ගෙවන දෙපලක් නැතිනම් අයෙක් විය හැකියි . .

පහත සඳහන් අපහාස . . අවලාද . . නෝක්කාඩු . . චෝදනා . . කෙදිනක හෝ ඔබේ කනට වැටී ඇත්දැයි නිකමට සිතා බලන්න . . . . ?

"මේ නාකි සමයම ගේ හැම තැනම ඇවිදිනවා එක තැනකට වෙලා ඉඳගෙන ඉන්නෙ නැතුව . . ."

"වයසට ගියා නම් වයසට ගිය විදිහට ඉන්නෙ නැතුව හැම එකටම හොට දාන්න එනවා . . ."

"අයියෝ හරිම කරදරේ . . මේ ගේත් එක්කම ලොකු කරුමෙකට තමයි මමත් කර ගැහුවේ . . ."

"ගමනක් බිමනක් යන්න නෑ මෙයාට මේ වෙලාවට කන්න බොන්න දෙන්න ඕන නිසා . . ."

"ලමයි රොත්තක් නම් ඉන්නවා ඒ උනාට මටම වද දෙන්න මෙහාට වෙලා ඉන්නවා. . ."

"අපෝ එයා නම් දැම්මම මැරෙන හෝන්තුවක් නෙමෙයි . . . "

"එයාල වයසට ගිහින් අපි එයාල හින්ද කරුම ගෙවනවා . . ."

"මේ නාකි හුරතල් බල බල ඉන්නේ නැතුව මෙයාලට කලින් මාව මැරිලා යනවානම් දෙයියනේ . . ."

මේ ටිකක් පමනයි . . . ඔබ නිකමට ටිකක් සිතා බලන්න ඔබ වයසට ගිය පසු ඔබට මෙවැනි දේ ඔබේ දරුවා හෝ මුනුබුරු මිනිබිරියන්ගේ මුවින් අසන්නට ලැබුනොත් . . . ඔබ කොතරම් කම්පාවට පත්වේදැයි කියා . . . ! ! !

ඔබේ හදවතට මොහොතක් තට්ටු කර අසා බලන්න ඔබේ ආදරේ අවැසි ඔබේ ආච්චීට . . . සීයාට . . . ඔබේ මුවින් ආදරනීය වචනයක් පිටකර හැරියේ කොතරම් කලකට පෙරදැයි කියා . . .

මහළු දිවියේ මතක සටහන් ගැන නන්දාමාලනී මහත්මිය ගැයූ (පද රචනය සුනිල් ආරියරත්න මහතාගේ විය යුතුයි ) පහත ගීය අසන අසන හැම වාරෙකම මගේ හද සසල කරනු ලබනවා අනාගතයේදී එලඹෙන මගේ මහළු දිවිය කෙතරම් සුන්දර හෝ අසුන්දර වේදෝ කියා සිතා . . .

සුදු හාමිනේ නුඹ කොතැනේ අද දවසේ . . .
සුදු හාමිනේ නුඹ කොතැනේ අද දවසේ . . .
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ . .
ලේලිය කැටුව මගේ පුතු වෙන්විය රහසේ . . .
මං විතරයි තනියෙම දැං මගේ නිවසේ . . .

නුඹලගේ තත්තා ඇත දුර බලාගෙන
කවදා දූ පුතුන් ඒදැයි පතාගෙන . .
වේවැල් කැඩුනු පුටුවේ වක ගසාගෙන. .
මම ඉන්නවා නෙත කඳුලැලි දරාගෙන. . .

දරුවන් ඇඳූ ඇඟැලුම් ගෙන සිඹින්නෙමී . . .
මනසින් එදා කෙලි සෙල්ලම් දකින්නෙමී . .
මරනයෙ දොරකඩට සපැමින හිඳින්නෙමී . . .
ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී . . .

සුදු හාමිනේ නුඹ කොතැනේ අද දවසේ . . .
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ . .
ලේලිය කැටුව මගේ පුතු වෙන්විය රහසේ . . .
මං විතරයි තනියෙම දැං මගේ නිවසේ . . .

මේ පහත සිද්ධියෙන් පසුව මහළු අය අන් අයගේ අවධානය තමා කෙරෙහි යොමු කරවා ගැනීම ගැන මගේ මතය තහවුරු වූවා කීවොත් නිවරදියි . . .

මගේ යාලුවා චරිත් ගැන මම කලින් කිව්ව ඔයාලට මතක ඇතිනේ අර කිරිටොෆී පාර්සලේට තනියම වගකියපු එකා . . . .

දවසක් අපි කට්ටිය (චරිත් . . මම . . ශේන් . . අමරේ. .) සෙට් වුනු වෙලාවක ශේන් චරිත්ට වද කරා . . .

"අනේ මචං අර උඹලගේ ආච්චි මැරුනු විස්තරේ කියපන්කෝ කියලා . . ."
මෙතන ඉඳලා අපි චරිත් කියපු විදිහටම අහමු . . .

“ අපේ ආච්චී මචං හොඳටම අමාරුවෙලා නවරෝහලට ඇඩ්මිට් කලානේ . . . අනේ පව් බං ඩොක්ටර්ස්ලා කිව්වා මේ ලෙඩාගේ ජීවිතේ අද දවසේ කොයි වෙලාවෙද කියන්න බෑ . . . කැමති කෑමක් බීමක් එහෙම තියෙනවානම් ගෙනත් දෙන්න කියලා . . ."

"ඔව් බං . . . අපි ඉතිං කටියම ගෙදර ඇවිත් ගෙදර මකුළු දැල් කඩලා පින්තූර කනපිට හරවලා . . ලෑස්ති උනා හවසට ආච්චීගේ මිනිය ගේන්න වෙයි කියලා . . . හැබැයි අපිට පොඩි ජොලියක් වගේ දෙකුත් තිබුනා නෑදෑයෝ කට්ටියම කාලෙකට පස්සේ සෙට් වෙනවා නේද කියලා . . ."

"අපි හවස යන කොට මෙන්න උදේ මැරෙන්න වගේ හිටපු ආච්චී හොඳ සනීපෙට ඇඳේ වතට හේත්තුවෙලා . . . කකුල් දෙකත් හොල්ල හොල්ල ඉන්නවා . . ."

ෂා නියමයිනේ . . . ශේන් හොට දැම්මා . .

"ඊට අවුරුදු ගානකට පස්සේ ආයි ආච්චීට අමාරු වුනා . . . දුවල පුතාලා ඔක්කොම ඇඳ වටේට වෙලා දුකෙන් වගේ හිටියා . ."

"ආච්චී පන අදිනව වගේ ඉන්න ගමන් කියනවා මචං . . . අර කුස්සියේ වංගෙඩියයි මෝල්ගහයි . . . පොඩි එකීට දීපල්ලා . . . මගේ මේසේ . . ලොකු පුතාට ගන්න කියපන් . . . මිරිස් ගල ලොකු කෙලීට දීපන් . . . ආලේ පිත්තල පහනත් ලොකු කෙලීට ගන්න කියපන් . . . කියලා මරන මංචකේ ඉඳන් ආච්චීගේ බූදලේ බෙදනවා . . ."

අපිට නම් හිනා . . . නමුත් බලන්න ඇගේ දරු සෙනෙහස . . . !

"ඔන්න මචං හිටපු ගමන් දිග හුස්මක් අරන් අතහැරලා මලා වගේ ඉන්නවා . . . කවුද අඬන්නේ බලන්න . . . එක පාරක් ඔය විදිහට හිටපු වෙලාවක මාමල නැන්දලා ඉක්මනට අතපය හදන්න හැදුවා . . .ඉක්මනට මිනිය ගල් වෙන්න කලින් අතපය හදමු කියලා . . . ආච්චී ඇස් ඇරලා බනිනවා . . මොකේ බං මේ කරන්න හදන්නේ . . . මට නිදහසේ ඉන්න දීපල්ලකෝ . . . කියලා . . ."

පොඩි රැවටීමක් කලේ අන් අයගේ අවදානය දිනා ගැනීමටයි කියා අප සිතුවා . . .

"ආයෙත් ඔය වගේ හුස්ම නොගෙන ගොඩක් වෙලා ඉන්නකොට හැමෝම සාලේ ඉඳන් හිතුවා මැරිලා වෙන්න ඇති කියලා පස්සෙ ටික වෙලාවකින් චර චර ගාලා සද්දයක් එනවා ආච්චීගේ කාමරෙන් . . අපි දොර රෙද්ද මෑත්කරල බැලුවා . . ආච්චි කොට්ටෙ යටට අත දාලා ක්‍රීම් ක්‍රැකර් බිස්කට් කනවා . . ."

හෙන ජොලි ආච්චි කෙනෙක් වෙන්න ඇති . . . මට නම් එහෙම හිතුනා . . .

කොහොම කොහොම හරි දවස් ගානක් මේ වගේ දුවල පුතාලව බොරුවට මැරුනා වගේ රවටපු චරිත්ලගේ ආච්චී එක දවසක් ඇත්තටම මැරුනා කියලා ඌ කිව්වා . . .

මේ කතාව කෙසේ වෙතත් මගේ ලිපියේ අරමුන නම් ඔබට පහදා දෙන්න ඔබේ ආදරේට ඔවුන් කෙතරම් කැමැත්තක් දක්වනවාද යන්න ගැන . . . . ඒ අතරම මානව දයාව ගෑන් පොත් පත් කියව කියවා සිටිනවාට වඩා . . . පොත් ලියනනවාට වඩා . . . ලිප්ටන් වට රවුමේ පිකටින් කරනවාට වඩා . . . . දේශන පවත්වනවාට වඩා . . . අඩු තරමින් සතියකට වරක් වත් . . . නැතිනම් මාසෙකට වරක් . . . ලඟපාත නොවේ නම් ඔබ ඔවුන්ගේන් බෝහෝ දුරස් නම් අවුරුද්දකට වරක් වත් . . . ඔවුන් බලන්න ගොස් . . .පෙන්වන්න ඔබේ නියම මානව දයාව . . . බලා සතුටු වන්න ඔබේ අදරෙන් ඔවුන් කෙතරම් සතුටක් ලබනවාද කියා . . . !

27 comments:

  1. සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ . . .

    මෙය සුනිල් ආරියරත්න පීචං දේශපාලන ගීත රචකයකු වන්නට කලියෙන් ලියූ හොඳ ගීතයක්. සුදු හාමිනේ යනු ඔහුගේ මෑණියන්ට කවුරුත් ආදරයෙන් කතාකළ නම.

    මුල් පදය මෙසේ වෙනස් විය යුතුයි:

    සුදු හාමිනේ නුඹ කොතැනේ අද දවසේ . . .

    ReplyDelete
  2. @ taboosubjects!
    ස්තූතියි ටැබූ . . . සුනිල් ආරියරත්න මහතා දේශප්‍රේමී,දේශාභිමානී ගීත රචනා කරනවාට වටා සංවේදී මානුශීය ගීත රචකයෙකු ලෙස වඩාත් සාර්ථකයි කියා මගේත් හැඟීම නම් . . . !

    ReplyDelete
  3. honda post ekak ! elaz !

    ReplyDelete
  4. @ Anonymous!
    ස්තූතියි . . .. !

    ReplyDelete
  5. ජීවිතය ගැන මොකද්දෝ කියන්න බැරිදෙයක් මතක් කළා වැනා අදහසක් ඇතිකර ඇත

    ReplyDelete
  6. ඔය ? හැමතැනම තියනව දුකො.ඔය ? වැඩිහරියක් භාජනය වෙන්නෙ අාච්චිල තමා.සීයලනමි වැඩිකලි ඉන්නෙත් නෑනෙ.කතා කලයුතු ?ක්

    ReplyDelete
  7. @ ප්‍රදීප් කාවින්ද ‍කොටුවේගෙදර!
    අනේ ඔව් ප්‍රදීප් . . . අපි ටිකක් නිර්ලෝභීව අපේ ආදරේ ටිකක් හරි එයාලට දෙන්න පුලුවන් නම් . . . එයාලගේ අඳුරු . . .කනගාටු ජීවිත වලට කොයි තරම් සහනයක් ලැබෙයිද . . . ?

    ReplyDelete
  8. @ මම ගැන නේද !
    ඔබේ කතාව ඇත්ත . . . ආච්චිලා තමයි ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නෙට මූන දෙන්නේ . . .

    හරිම ඛේදවාචකයක් . . . තරුන කාලේ, මැදිවයස . . . දරුවෝ . . මුනුබුරෝ මිනිබිරියෝ වෙනුවෙන් කැප කරලා . . . මහළු වයස ඔවුන්ගෙන්ම හිරිහැර විඳගෙන ජීවත් වීම . . . !

    ReplyDelete
  9. මගේ අම්මාගේ අම්ම,තාත්තා (මට ආච්චි, සීයා)තමයි මට හිටියේ..... තාත්තාගේ අම්මා, තාත්තා ඉපදෙනකොට නෑතිවෙලා. තාත්තාගේ තාත්තා ගෑන නම් මම දන්නේ නෑහෑ. කොහොම උනත් ආච්චි, සීයා දෙන්නා හරිම හොදයි. අපේ ගෙදර කට්ටිය අව්රුද්දකට සෑරයක් ගමේ(අපේ අම්මගේ උපන් ගම මාතර ) යනවා. එහෙම ගියහම එගොල්ලන්ට හරිම සතුටුයි. අපිත් ලගට වෙලා ආච්චිලාගේ සීයලාගේ කාලේ කතා අහා අහා ඉන්නවා. ගෑමි කමයි, ගෑමි කතාවයි නිසා අපිව වෙනම ලොකෙකට ගෙනියන්න එගොල්ලන්ට පුලුවන් වුනා. ඒ දේන්නා ලග මාර ගොඩක් අත්දෑකීම් තිබුනා.කොහොම උනත් සීයා ඉක්මනටම අපෙන් වෙන් උනා.අච්ච් ඊට ගොඩක් කාලයකට පස්සේ. මට තාම ඒ දේන්නාව හොදට මතකයි.අපි කොයි මොහොතකවත් ඒ දෙන්නා රිදේව්වේ නෑ කියලා මම දන්නවා. ඒ වගේම මමත් මගේ දෙමාපියන්ව බලාගන්නව කියලා මට විශ්වාසයි.මගේ පෑතුම හෑම ආච්චී සීයා කෙනෙකුටම සතුටින් සෑනසීමෙන් ජීවිතයේ අවසාන මොහොත ගෙවන්න ලෑබෙන්න කියලා...............

    ReplyDelete
  10. හැමෝටම හුඟ වෙලාවට ජීවිතය කියල දෙන්නෙ මුලින්ම ආච්චිල, සීයල. ඒ ගොල්ලොත් තරුණ අම්මලා තාත්තලා වෙල හිටිය කට්ටිය නෙ. අබල දුබල වෙනකොට ඒගොල්ලන්ව හෑල්ලු කරන එක නරකයි. ඒ ගොල්ලොත් ආදරය ලැබෙන කල් බලාගෙන ඉන්නෙ. අපිට කතන්දරයක් කියල දුන්න ඇරෙන්න වෙන මොකුත් නොකළත් අපේ අම්මල තාත්තලව ලොකු මහත් කළේ,යහපත් අය කළේ ඒ ගොල්ලො නේ. ඒ අයට කළ ගුණ සලකන්න. මේ කියවන ඔබත් කවදාම හරි ආච්චියෙක්, සීයෙක් වෙනවමයි. ගැලවීමක් නැහැ.
    මේවා මතක් කරල දෙන එකට ඔයාටත් පින්, දුකා මල්ලි!

    ReplyDelete
  11. හැමදා වගේම මරු දුකා......:)

    ReplyDelete
  12. @ Anonymous !
    ඔයා හොඳ දරුවෙක් . . . හැම අම්මෙක්ම තාත්තෙක්ම ඔයා වගේ දරුවෙක් ලබන්නත් හැම ආච්චී කෙනෙක්ම සීයා කෙනෙක්ම ඔයා වගේ මුනුබුරෙක් හෝ මිනිබිරියක් ලබන්නත් පින් කරල තියෙන්න ඕන . . . හැමදාම ඔය වගේ හිතන්න . . ඔයාට වරදින්නේ නෑ . . . ජය වේවා . .. !

    ReplyDelete
  13. @ අක්කණ්ඩි !
    ඔව් අක්කන්ඩි මේ සමාජ ක්‍රමේ විදිහට එයාලත් ජීවන අරගලේ රේස් එකේ දුවන නිසා කතන්දරයක් කවියක් කියල දෙන්න වත් සමහරවිට වෙලාවක් නැති උනා උනත් . .. අපේ අම්ම තත්තාව හොඳින් හැදුවේ වැඩුවේ එයාලා නේද කියලා හිතලා අපිට පුලුවන් ලෙසකින් අපේ ආදරේ එයාලට පෙන්නන්න පුලුවන් උනොත් . . . අපේ මේ ලැබුනු මනුශ්‍යත්වයටත් ආඩම්බරයක් වෙයි නේද . . ?

    ReplyDelete
  14. @ Ishara !
    ස්තූතියි මලේ . . . !

    ReplyDelete
  15. චරිත්ගෙ ආච්චිගෙ සෙල්ලම ගැන හිනා වෙවී කියෙව්වට අන්තිමේදි මොකක්දෝ ලොකු දුකක් දැනුනා. සම්පූර්නයෙන්ම එකගයි අන්තිමට ලියල තියෙන දේට. බොරුවට ලෝකෙ හදන්න කියලා මවාපාන්නෙ නැතුච තමන් හැදෙන්න උත්සහ කරන එකයි කල යුත්තෙ.

    ReplyDelete
  16. @ änthräX !
    ඔව් මචෝ . . . අපේ ආදරේ . . පිහිට . . සෙනෙහස . . බලාපොරොත්තුවෙන කොටසක් තමයි ඒ අය . . .

    ReplyDelete
  17. එලෙළම ලිපයක් මචං! දැන් දුකයියා සමාජමය පැති කතා කරන්න අරං වගේ? ;) පට්ට පට්ට! ඔහොමොහොම යං!

    ReplyDelete
  18. @ -බිன்ku- !
    ඇත්තෙන්ම මේක මම කොමඩි පැත්තට බර ලිපියක් විදිහට තමයි මුලින්ම ලිව්වේ . . . පස්සේ කියවගෙන යද්දි මට හරි දුක හිතුනා චරිත්ගේ ආච්චීගේ කතාවේ ඇතුල් පැත්ත ගැන හිතිලා . . ඉතිං මම ගොඩක් කොටස් මකලා අලුතින් ලිව්වා . . . ස්තූතියි බීන්කු මලේ උඹට . . .

    ReplyDelete
  19. මම ඉපදෙනකොටම මගේ ආච්චිලා 2යි සීයා කෙනෙකුයි මේ ලොකේන් ගිහිං.. මට මගේ අම්මාගේ තාත්තාව නම් ගොඩක් මතකයි.. එයා නැති වුනේ අවුරුදු 3 කට විතර කලින්.. එයා හිටියේ අම්මාගේ මල්ලි ළග.. මහ ගෙදර.. මාසයක් අම්මට එයාව බලන්න යන්න බැරි උනොත් එයා ‍මාමා අපේ ගෙදරට කෝල් කරලා කියනවා අනේ අ‍ක්කේ ඔයාගේ ලෙඩ පැත්තක තියලා ඇවිල්ලා තාත්තාව බලලා යන්න අන්න අපිටත් එක්ක බැන බැන ඉන්නවා .. කොයි වෙලෙත් බොරු ලෙඩ ගන්නවා කියලා.. අනේ ඉතිං අපි පහුවෙනිදට දුවනවා.. මෙන්න සීයට කිසි අමාරුවක් නෑ.. ගිය වෙලේ ඉදං අ‍හන්නේ චූටි දුවා ‍තේකක් බිව්වද උදේට කෑවද?.. කඩෙන් අයිස්ක්‍රීම් ගේන්නද? යෝගට්? මේ ළමයට ‍ඉක්මනට කන්න හලා දෙනවාකෝ.. අනේ මගේ සීයා...!!:( දැන් නැහැ නේ.. ගෙදර සාංගික දානයක් දීලා පහුවෙනිදා එයා නැතිවුනා.

    ස්තූතියි දුකා අයියේ මේක ලිව්වට.

    ReplyDelete
  20. @ malee_msg !
    මලී ඔයගේ කමෙන්ට් එක මගේ දෑසට කඳුලු ගෙනාවා . . . ඔයාගේ අම්මට කියන්න එයාගේ මානුශිකත්වය ඉදිරියේ මම වැඳ වැටුනා කියා . . . ! මාසයකට වරක් වත් සීයා බලන්න ගොසින් ඔහුගේ සිත සුවපත් කලාට මමත් ඇයට පිං පැමිනුව කියා කියන්න . . . ඔබටත් ඉන් කොටසක් අයිතියි . . ඔබත් ඇය සමඟ ගොස් ඔහුගේ සුවදුක් විමසුවානේ . . . !

    ReplyDelete
  21. මගේ සීයා නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මම ඉස්කෝලේ නිවාඩු කාලේ ගමේ ගිහින් ඉන්නවා එතකොට සීයා මාව එක්කගෙන වෙල් එලි වල, ගම්මැද්දේ වැවේ එක්කන් ගිය හැටි හරිම සුන්දරයි. හැබැයි මම ඒ සුන්දර කම අත්වින්දට එයාගේ අවසන් කාලේ මට එයාව බලන්නවත් යන්න බැරිවුනා. මේ ලිපියෙන් ඒක මට ආයෙත් මතක් වුනා...

    ReplyDelete
  22. @ Prabath !
    උඹ නිවාඩු කාලේ වත් සීයගේ සමාගමේ දැවටිලා හිටියානේ . . . උඹ දුරු කතර ඉඳන් ඇවිත් සීයා ලඟ අවසානේ ඉන්න ඕන කියලා සීයා පතන්නෙත් නැතුව ඇති මචං . . . හැකි පමන තනිය මැකූ පිනම මදිද. .. ?

    ReplyDelete
  23. ස්තුතියි අයියේ....
    අද ඇත්තටම අපේ කාලෙ අයට අමතක වෙලා තියෙන දෙයක් ඔහොම හරි කියලා දෙන්න උත්සහා ගන්නවට...

    දිනිති දීපිකා

    ReplyDelete
  24. @ Anonymous/ දිනිති දීපිකා !

    ස්තූතියි ඔබගේ අගය කිරීමට . . .

    ReplyDelete
  25. දුකාගේ සටහන් මීට බොහෝ කලකට පෙර කියවන්න ලැබුනත් ඒකාලෙ අපි බ්ලොග් හරඹ හදාරනවා ඉතින් අදහස් හුවමාරු කරගන්න තරම් දැනීමක් තිබ්බෙ නෑ.ඔයාගේ සහෘද සටහන් වලට ගොඩක් ස්තූතියි දුකා. පරක්කු වෙලා හරි යමක් සටහන් කරන්නේ හද පිරි සතුටෙන්. අමතක වෙන මනුස්ස සාරධර්ම පෙන්වා දීම ගොඩක් වටිනවා. මගේ ආත්තම්මලා දෙන්නම අපි ලොකු මහත්වෙනකම්ම අපි එක්ක හිටියා. අපේම නොවුනත් අත්තලා ආච්චිලා සීයලා බොහෝමයක් අපි වටේ හිටියා.අදටත් ඉන්නවා. ඒ අපේ පවුල් වල තිබුන එකමුතුව නිසාත් එක ගමක ජීවත්වීම නිසාත් වෙන්න ඇති. ඒක ලොකු සැපතක්. ඉතිහාසය ගැන ඒකාලේ පරණ කථන්දර අහගන්න අපිට හැකිවුනා වගේම අපට අප්‍රමාණ සෙනෙහසක් දෙන්න ඔවුන්ට හැකිවුනා. ඒවගේම ජරපත්ව වියපත්ව ගියත් දෙමාපියන් බරක් නොවුන දරුවෝ ලබන්න ඔවුන් පින් කරලා තිබ්බා. සමහර විට මට හිතෙනවා ඒක එයාලා දරුවෝ හදද්දී ඒ දරුවන්ට පොවපු මානුෂීය ගුණ ධර්ම සහ ආගමික සංස්කෘතික සාරධර්ම නිසා ඒවගේම හොඳට එයාලා මහළු කාලෙදී ඒ අය දරුවන්ගෙන් සැප වින්දා කියලත්. මතකද අපි පොඩි කාලෙ කියවපු මැටි කෝප්පය කථාව. පොත් ප්‍රදර්ශනේට ගියහම මම ඒ පොත් කීපයක්ම අරන් ආවා අපේ අහල පහළ පොඩි එවුන්ට දෙන්න.

    ReplyDelete
  26. @ sereneworld!
    ඔබේ කතාව සම්පූර්න ඇත්ත . . . මාත් ඒ කතා පොතේ පිටපත් ටිකක් හොයල අරන් තියා ගන්න ඕන . . . ස්තූතියි . .

    ReplyDelete
  27. දුකා උබේ මේ පෝස්ට් එක කියෝලා විනාඩ් කිහිපයක් කල්පනා කලා අපේ ​ලොකු තාත්තා ගැන.(අම්මගේ තාත්තා) එයත් ඔය ආච්චි වගේ මාර හයියක් තිබ්බ මනුස්සයෙක්. වයස 73 දීත් තනියම බයි​සික​ලෙන් වැවට ගිහිං නාලා එනවා. අපි අවුරුද්දට ගමේ ගියාම එයාම කිරිබත් උයලා ​ඉදවලා තියෙන කෙසෙල් එහෙම මෙසෙට තියලා අපිට සංග්‍රහ කරනවා.(ලොකු අමිමා එයා මේ ලොකේ තනිකරලා ගියේ මම පොඩිම කාලේ) එයා මම පොඩිකාලෙ දුනු ඊ තල හදලා දීලා තියෙනවා සෙල්ලං කරන්න. ලොකුතාත්තා කොහේ ගියත් එද්දි කන්න මට කෙසෙල් දෙකකුයි, සීනි බනිස් එකකුයි ගේනවා. මොන කෑම ජාති තිබුනත් එයා ගෙන්නෙ ඔය කෑම ජාති දෙක. එයා දන්න, එයාට කඩෙන් ඉල්ලන්න දන්න එකම කෑම ජාතිය මං වෙනුවෙන්. මීට අවුරුදු එකහමාරකට කලිං එයා නැති උනා. මිහිදන් කෙරුවට පස්සෙ මම වල වහලා තියෙන පස් විනිවිදගෙන ගිහිං එයා නිසංසලව ඉන්න හැටි බැලුවා. ඒ වෙලාවෙ මට දැනිච්ච සිතිවිලි මට කවදාවත් වචන කරන්නනං බැරිවෙයි දුකා.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails