Sunday, October 3, 2010

සම්පූර්ණයෙන් අසම්පූර්ණයි . . . !



මට මොකද වුනේ . . .

මේකට කියන්නේ කලකිරීමද, එපා වීමද, උකටලී වීමද, අධෛර්‍ය වීමද, මෝඩ වීමද, ඕනවට වඩා ඔලුවට ගැනීමද, අනවශ්‍ය ලෙස කැලඹීමද, නොදන්නා කමද මොන මළදානයක්ද . . . ???

මොන මළදානයක් වුනත් මොනවා හරි වුනු බව නම් මට දැනෙනවා . . !!

ඒත් ඒක හොඳකට වුනු දෙයක් නෙමෙයි කියලත් හිතෙනවා.

හොඳකට වුනු දෙයක් නෙමෙයි කියලා හිතෙන නිසාම මෙයින් මිදෙන්න ඕන කියලා හිත කෑ ගහලා අඬනවා.

මෑත අතීතයේ ඉඳන් ජීවිතේ හැමදාම වගේ හැමදේම ආදරෙන් බදාගත්තු මට හැමදේම එපා වෙන්න වුනේ ඇයි කියලා මම ම අහන ප්‍රශ්නේට පිලිතුරු නැතුව මම ම ළතවෙනවා.

වර්තමාන දේශපාලන වාතාවරණය විතරක් මේකට හේතු වුනාද කියලා හිතෙන් ඇහුවාම ලැබෙන පිලිතුර:

"ඇයි උඹ 88-89 කාලේ ජීවත් වුනේ නැද්ද?"

"තරුණ කොල්ලෝ කෙල්ලෝ අමු අමුවේ පාරවල් දිගේ මරලා දානවා ඇහුවේ නැද්ද? දැක්කේ නැද්ද?"

"එපා කියද්දී ප්‍රවෘත්ති කියන්න ගියා කියලා ප්‍රේමකීර්තිව මරපු බව දන්නේ නැද්ද"

"ජනාධිපති ආර්‍‍යාව ටෙනිස් ගහද්දී ෆොටෝ ගැහුවා කියලා ඡායාරූප ශිල්පියෙක්ව මැරෙව්වා කියලා කට කතා අහලා නැද්ද?"

"ට්‍රාන්ස්ෆෝමර් පිපිරෙව්වා කියලා ඇහුවේ, දැක්කේ නැද්ද?"

"රජයේ ඉඩකඩම් අක්කරය රුපියල් සීයට හිතවතු අතරේ බෙදා දුන්නා කියලා අහලා නැද්ද"

"ගල් කටස් එකෙන් වෙඩි තියලා මරපු ගමේ වැදගතාගේ මිනිය දණහිසෙන් ඉහලට එසෙව්වොත් බලාගෙනයි කියලා මලමිනියටත් අපහාස කරපුව අමතකයිද"

හිතෙන් ලැබෙන පිලිතුරු ලිස්ට් එකේ දිග කොයි තරම්ද කියනවනම් හිත කියන දේ තියෙන තැන හොයාගෙන ඒක ගලවලා විසි කරන්න පුලුවන් නම් කියලා හිතෙනවා.

. . . . . . . . .

එකම යුනිෆෝම් එක හෝද හෝදා ඇඳගෙන ඉස්කෝලේ යන්න බෑ තව එකක් මහගන්න අම්මට සල්ලි දෙන්න කියලා තාත්තගෙන් ඉල්ලුවාම . . "

"අපි ස්කෝලේ ගියේත් එකම යුනිෆෝම් එක හෝද ඇදගෙන, එහෙම එකේ උඹලට මොකෝ බැරි " කියලා තාත්තා යුනිෆොර්ම් එකක් මහගන්න රුපියල් දෙසීයක් නොදී පක්ෂ අරමුදලට රුපියල් දහදාහේ ඒවා පූජා කරනවා කියලා දැනගත්තු දවසේ ඇති වුනු කලකිරීම, "මම විඳපු දුක් මගේ දරුවත් ඒ විදිහටම විඳින්න ඕන කියලා මම නම් හීනෙකින් වත් හිතන්නේ නෑ මගේ පුතේ" කියලා හිතලා මට පුලුවන් උපරිමයෙන් මගේ දරුවගේ අනාගතය සාර්ථක කරන්න හීන මවමින් හා හීන හෑබෑ කරගන්න මහන්සිවී අඩියෙන් අඩිය ඉදිරියට යන එකෙන් ඒ තාත්තා ගැන ඇතිවූ කලකිරීමෙන් මිදෙන්න පුලුවන් වුනත් . . .


මේ දැන් මාසයක් විතර තිස්සේ හිතවෙලාගෙන ඉන්න කලකිරීම වගේ දැනන හැඟෙමෙන් මිදෙන්න මඟක් මට තාමත් පේන තෙක් මානෙක නෑ වගේ

පහුගිය දවස් ටිකේ මූනු පොතේ බෙදා ගත් (ෂෙයා කල) සබැඳියාවල් (ලින්ක්ස්) දුටු ජ.වි.පෙ පාක්ෂික හිතවතෙක් මූනු පොත හරහා පනිවිඩයක් එවා තිබුනා.

"නමුත් ඔබ දන්නවද "අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා පලක් නැහැ"කියල.
දිනක් මට මතකයි ඔබ ඊ ලිපියක් එවලා තිබුනා
මහ රජාට මම දොස් කියල හැමෝටම යවපු ලිපියකට පිලිතුරු කියල..

අපි එදත් මහ රජා යන පවුල්වාදී රට විනාසයට යන ගමන ගැන අවභෝදයෙන් සිටියා.
අපි දන්න විදිහට පුලුවන් සම්පත් ප්‍රයෝජනයට ගෙන හිත මිතුරන් හෝ අතර මේ අවදානම මතු කරන්න ලොකු උත්සාහයක නිරත උනා.

අවාසනාවක තරම....

යුද උන්මාදයෙන් වික්ශිප්ත වෙලා හිටපු ජනතාවට
අපි කතාකරන කරුනු අතේ පැලවෙන භිනයක් වගේ උනා,අපිව යාළුවන්ට පවා ලාදුරු රෝගීන් වගේ පෙනෙන්නට පටන්ගත්තා.එදත් අපි දැනගෙන සිටියා වීරයා කවුද,ද්‍රෝහියා කවුද කියල,
පස්සෙ ලියන්නම් "

පිලිතුරු ලෙස කියන්න දේවල් රැසක් හිතේ තෙරපුනත් පිලිතුරක් ලියා යවන්න තරම් උද්යෝගයක් නැති වෙන තරම් උකටලී වෙලා.

ජ.වි.පෙ. ම නොවේද මුලින්ම දැන් පවතින ආන්ඩුව යුද්ධ මාවතට රැගෙන ගියේ කියලා අහන්න සිතුවත් තවම අහලා යවන්න බැරි තරම් එපා වීමක්.

වසර තිහක් පුරා උදේට නිවසින් එලියට බසින කෙනෙක් සවසට ආපසු නිවසට එයිද නො එයිද යන දෙගිඩියාවෙන් පෙලුනු ජනතාවකට, යූ.එන්.පී. ආන්ඩුව විසින් ට්‍රන්ස්ෆෝමර් පුපුරවන, ප්‍රේමකීර්තිලාව මරන ජ.වි.පෙ. මර්ධයන කරද්දී හොඳින් හෝ නරකින් දෙපැත්තකින් පෙලූ භීශණය නිමා වෙන අයුරු බලා සිටියා වැනිවූ . . . මිය යන තරුණ දූ දරුවන් ගැන වේදනාවකිනුත් මොන ක්‍රමයකින් හරි මේ කරදරයේ නිමාවක් දකින සිතකිනුත් ඉවසා සිටියා වැනිවූ. . .

ඒ 30 වසරක භීෂණයේ නිමාව දෙස මිය යන ද්‍රවිඩ සහෝදර ජනයා න උපන් දුකකිනුත් යුද්ධයේ දී දිවි පුදන සෙබල, නිලධාරී දූ පුතුන් ගැන උපන් දුකකිනුත් කෙසේ හෝ රටේ අනාගතය සුභවාදී වී දෙමළ, සිංහල, මුස්ලිම්, බර්ගර් ආදී හැමෝම සාමයෙන් නිදහසේ ඉන්නා හෙට දවසක් ගැන සිතේ ඉපදුනු සිහිනයක් කර පින්නාගෙන ඉවසා සිටිබව ලියා යවන්න වත් අකුරු අමුනන්න ඇති අකමැත්ත හෝ එපා වීම අතහරින්නේ කෙසේ දැයි සිතා ගත නොහැකිය.

. . . . . . . .

"නිව්යෝර්ක් ගිහින් කෝටි 135ක මහජන මුදල් කාබාසිනියා කරන, සදා නිම කරන්නත් ප්‍රථම තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මහජන මුදල් කෝටි ගනන් තාවකාලික ස්ටේජ් එකට නැටුම් වලට වියදම් කරන, ජනාධිපතිවරණෙදි තමාට විරුද්ධව ඡන්දේ ඉල්ලපු එකට පලි ගනීමක් ලෙස වසර 30ක යුද්ධය නිමා කරන්න ඇප කැප වූ නායකයාව බොරු නඩු පටලා බරපතල වැඩ ඇතිව හිරේ යවන "සිංහල ප්‍රභාකරන් කෙනෙක්" වෙනුවට හිටපු "දෙමළ ප්‍රභාකරන්ම" හිටියා නම් අපිට මේ තරම් හිතට අමාරු නෑ නේද අයියේ"

කියලා මිතුරෙක් අහපු එකට "ඒකනේ බන්" කියා සුසුම් හෙලනු වෙනුවට

පපුවේ වේදනාව පිට වෙන තුරු දන්න කියන කුනුහරුප ඔක්කෝම කියා බනින්න උදේ හවස "මහින්ද සරණං ගච්චාමී" කියා පුද පූජා පවත්වන කැපුවත් නිල්පාට ලේ ගලන අයෙක් හමුවුනානම් මේ හිත පෙලන වේදනාවෙන් මිදෙන්න හැකි වෙයි කියාත් සිතේ.

වසර 37කට කිට්ටු කාලයක් උඹ මේ වනතුරු බොහෝ කාලයක් සතුටිනුත්, කෙටි කාලයක් දුකෙනුත් ජීවත් වුනා නේද ???

ඉතිං උඹේ ජීවිතේ හොඳම හරිය ගෙවිලා ඉවරයි . . තව මොකටද දුක් වෙන්නේ . . ??

අපේ රටේ බොහෝ අය ජීවත් වෙනවා වගේ ජීවිතේ ඉතුරු ටිකත් දෙන දේ කාලා වෙන දේ බලා ඉන්නවා තියරි එකෙන් ජීවත් වෙයන්

කියලා හිත කියන වෙලාවල් වලදී ඇඟ හිරි වැටිලා යන්නේ "ඇත්ත මගේ ජීවිතේ හොඳම හරිය ගෙවා අවසන්. ඒත් මගේ දරුවා, අපේ දරුවන් ඔවුන්ගේ හෙට දවස කෙසේ වේද" යන හැඟීම නොවේද.

එක පවුලක් හා ඒ පවුලේ ඕනෑම කාරියකට ආවඩා මඩිය තර කරගන්නා සොර මුලක්, බත් බැලයෝ රැලක් විසින් උන්ගේ ඉදිරි පරම්පරා 4ක් පහක් හෝ ඊට වඩා වැඩි ගනණකට අධිසුඛෝපභෝගී ජීවිත ගතකරන්න ඉඩ සලසනු වස් ලෝකේ වටෙන්ම ණය ලබාගෙන නටන නාඩගම් හෙට දවසේ අපේ දරුවන් විසින් ගෙවා නිම කල යුතු නොවේදැයි සිතෙන සිතුවිල්ල,

කොටින්ම ඩුබායිහි සියලු නිෂ්පාදන වියදම්, ප්‍රවාහන, ගබඩා ආදී වියදම් ඇතුලුව ඩිරාහ්ම්ස් 15ක හෙවත් ලංකාවේ මුදලින් රුපියල් 450කට මිලදී ගන්නා සිමෙන්ති කොට්ටයක් අද දවසේ අපි රුපියල් 850ක් පමන මිලකට මිලදී ගන්න සිදුවී ඇත්තේ සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී නොමිලේ ලබා දෙන සේවා සඳහා පමනක් නොව කලින් සිටි අය විසින් ලබා ගත් නය මුදල් ආපහු ගෙවීම් සඳහා ඇවැසි මුදල් සම්පාදනයත් සඳහා යැයි සිතෙද්දී . .

අද ලබා ගන්නා විදේශ ණය මුදල් ප්‍රමාණය ගැන සිතද්දී හෙට දවසේ අපේ දරුවන්ට නිවසක් තනා ගැනීම සිහිනයක්ම පමනක් වේදැයි සිතන සිතුවිල්ල කෙතරම් භයානකද . .

මේ සියල්ලත් සමඟින් රෝමය ගිනි ගනිද්දී වීණා වැයූ නීරෝ මෙන් හැඟීම් දැනීම් නොමැතිව . . "වගේ වගක් නැතුව ජීවත් වෙන" ජනතාව ගැන උපන් කලකිරීමටත් වඩා

තමන් අදහන පක්ෂයේ නායකයා කරන කියන සියළු දේ සර්ව සාධාරණ යැයි සිතනා ඔහුගේ අසූචිත් සුවඳයි කියා සිතනා ජනතාවක්

එසේත් නොමැති නම් අසාධාරණය දැක එය අසාධාරණයකයි කියා එයට විරුදුව හඬක් නගන්න උත්සාහ දරන්නන් දේෂද්‍රෝහීන්යැයි කියා උඩ පැන කෑ ගසන හදවත, හර්ද්‍ය සාක්ශිය උකස් කල ජනතාවක් දකින විට ඇතිවෙන කලකිරීම මේ සියල්ලටම වඩ වැඩියැයි සිතේ . .

ඉදින් මේ සියලු කලකිරීම් නිමාවෙන දවස අද හෝ හෙට වේවා කියා සිතමින් බලා හිඳිනවා හැර වෙන කල හැකි කිසිවක් නැති හැඩයි

මේ ලියමන මාතෘකාවෙන් කියූ පරිදි සම්පූර්ණයෙන් අසම්පූර්ණ සටහනක් . . කියවා අවසන "හරි දැන් උඹට මොකද්ද කියන්න ඕන වුනේ" කියලා කිසි කෙනෙක් මගෙන් ප්‍රශ්න නොකරාවී කියා මා උපකල්පනය කරමි.

25 comments:

  1. අද ලබා ගන්නා විදේශ ණය මුදල් ප්‍රමාණය ගැන සිතද්දී හෙට දවසේ අපේ දරුවන්ට නිවසක් තනා ගැනීම සිහිනයක්ම පමනක් වේදැයි සිතන සිතුවිල්ල කෙතරම් භයානකද . .

    ඉදින් මේ සියලු කලකිරීම් නිමාවෙන දවස අද හෝ හෙට වේවා කියා සිතමින් බලා හිඳිනවා හැර වෙන කල හැකි කිසිවක් නැති හැඩයි
    .......................

    ඔය අන්තිම ඡෙදය අවසානයේ නැවතීමේ තිතක් හෝ වෙන මොනයම් හෝ සලකුණක් යෙදුවෙ නැත්තෙ ඈයි? එතෙන්ට හරියටම යොදන්න අවශ්‍යය වන සලකුණ හිතාගන්න බැරි උනාද, දුකා?

    ReplyDelete
  2. @බුද්ධි !

    ම් ම් ම් ම්

    මේ සම්පූර්ණයෙන් අසම්පූර්ණ සටහනට තව කොටසක් දෙකක් පස්සේ එකතු කරන්න වෙයිද දන්නේ නැති නිසා දැනට ඒක එහෙමම තියෙන්න හැරියා බුද්ධි

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම් ....

    ReplyDelete
  4. ඔය කුණු ගොඩ දැං පල්වෙලා පල් වෙලා ගඳ ගහන්න පටන් අරන්. ඒත් අපේ අය මොකද කරන්නේ? ලඟින් යනකොට එක්කෝ නහය වහගන්නවා නැත්තං ගඳට හුරු වෙනවා. ඔය හිතේ අමාරුව බහුතරයකට තියනවා ඒත් බලය කියන්නේ සල්ලි වලට වඩා භයානක දෙයක් නිසා කුණු ගොඩ ගැන පැමිණිලි කරන්න යන්නේ නෑ. හැමෝම මැජික් කාරයෝ, අපිට පේන්නේ දුමයි තරුයි විතරයි.

    ReplyDelete
  5. අද ලබා ගන්නා විදේශ ණය මුදල් ප්‍රමාණය ගැන සිතද්දී හෙට දවසේ අපේ දරුවන්ට නිවසක් තනා ගැනීම සිහිනයක්ම පමනක් වේදැයි සිතන සිතුවිල්ල කෙතරම් භයානකද . .
    ඉදින් මේ සියලු කලකිරීම් නිමාවෙන දවස අද හෝ හෙට වේවා කියා සිතමින් බලා හිඳිනවා හැර වෙන කල හැකි කිසිවක් නැති හැඩයි

    ඇත්තටම නෑ තමයි... රජා වෙනුවට රනිල් / පොන්සේකා/ ජ.වි.පෙ./ මංගල /.. මතකත් නෑ ...අපට සේවය කරන්න රටේ ඉන්න කට්ට්ය කොපමණද කියා ...
    ඒත් ඇත්ත නම් ඔය කවුරු ආවත් ඔය විදිහම තමා කියලයි. සමහරවිට ඔයිට හපන් වෙන්නත් ඉඩ තියෙනවා.
    අපිම එකතු වෙලා අපේ රට ස්වයංපෝෂිත කර ගන්න තුරු ඕක ඔය විදිහටම වේවි .......

    ReplyDelete
  6. දේශපාලනේ කියන එකනම් හරියට වහ කදුරු වගේ..කොහොම උනත් එකක් පැහැදිලි වෙනවා...ඒ හිතන තරම් ජීවිතය සුන්දර නෑ...

    ReplyDelete
  7. අද මුළු රටම වෙලාගෙන තියෙන්නේ මරණීය නිහඬතාවයක්.කෑ ගහන හිත වචනවලටවත් ,ක්‍රියාවටවත් පෙරලෙන්නේ නැති හිස්කමක්.ඒවා වචනයට පෙරලුනොත් අදාළ කටට ආයේ බත් කන්න ලැබෙන්නේ නැති සමාජයක්.මේ වර්තමානය අනාගතයේදී ඉතිහාසය විදියට ලියවෙන්නේ කොහොමද කියලා හිතාගන්න පුලුවන්ද?මේ නිහඬතාවයේ අන්තිම කෙලවර වෙන්නේ මොන විදියටද කියලා හිතාගන්න පුලුවන්ද?අද අපිට වඩා,හෙට දවසේ ලෝකෙට ණය කාරයෝ වෙන අපේ දරුවන්ට හිටගෙන ඉන්න ඉඩක් මේ රටේ ඉතුරුවෙයි කියල ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න,දැන් ඉතින් වෙන කුමක් කරන්නද?

    ReplyDelete
  8. අවංකවම අයියෙ මටත් දේශපාලනය නම් වහකදුරු වගෙයි...

    ඇත්තටම මට ඔයිට වඩා අහන්න අකමැති අප්‍රසන්න වචනයක් වෙන නැති තරම්!

    ReplyDelete
  9. අසම්පූර්ණ සටහන් ගැන මෙන්ම තව බොහෝ දේවල් ගැන කතා කරන්න ඉතා ඉක්මණින්ම ​එන්න SKYPE එකට ... විපුල

    ReplyDelete
  10. සංවේදී සටහනක් දැකලා මොකුත් නොලියා ඉන්න බැරි වුණා. මෙන්න මෙතනින් පටන් ගන්නම්.

    "ඒ 30 වසරක භීෂණයේ නිමාව දෙස මිය යන ද්‍රවිඩ සහෝදර ජනයා න උපන් දුකකිනුත් යුද්ධයේ දී දිවි පුදන සෙබල, නිලධාරී දූ පුතුන් ගැන උපන් දුකකිනුත් කෙසේ හෝ රටේ අනාගතය සුභවාදී වී දෙමළ, සිංහල, මුස්ලිම්, බර්ගර් ආදී හැමෝම සාමයෙන් නිදහසේ ඉන්නා හෙට දවසක් ගැන සිතේ ඉපදුනු සිහිනයක් කර පින්නාගෙන ඉවසා සිටිබව"

    කවදාවත් ජාතිවාදී නොවුණු මා ත් මේ යුද්ධය නිමා කර කොටින් ගෙන් රට ගලවා ගෙන ජය ලබන තුරු බලා සිටියා නිදි මැරුවා අළුත් ආරංචි හොයමින්. මිය යන දුක් විඳින සහෝදර ජනතාව ගැන කැක්කුමක් නැතුව නොවේ. ඒත් විස ගහපු ටික ඉන්නා තුරු මෙහි අවසානයක් නොවන නිසාත්, කවදාවත් නොලැබෙන වෙනම රාජ්‍යයක් ගැන අප කවුරුත් ජීවිතෙන් වන්දි ගෙවීම නැවතිය යුතු නිසාත්. ඒ පුංචි උන්ටත් අපේ උන්ට වගේ ජීවිතයක් උරුම විය යුතු නිසාත්. කීයක් මිය ගියත් එය කළ යුතු බවයි මගේ අදහස. එහි වෙනසක් නෑ.

    ඒ වගේම 2005දි ඡන්දෙ දුන්න දා ඉඳන් මේ ජනාධිපතිට ඒක කළ හැකි බවට නම් විශ්වාසයක් තිබ්බා. එහෙම නැතුව දේශප්‍රේමී වෙන්නවත්, රුධිර කාණ්ඩය Blue+ නිසාවත් නොවේ.

    ජනාධිපති ආර්ථික ගොඩ නැගුම පටන් ගන්න කොට නම් මං ඒ හැටි විශ්වාස කළේ නෑ. මේ ඉන්න නියෝජිතයින් හා නිළධාරින් එක්ක ලොකු දුරක් යා නොහැකියි. ලොක්කත් අවු 40ක් මේ ක්‍රමය තුළින් ම බිහි වූ නිසා, අද මේ වෙන දේවල් අරුමයක් නොවේ. මා ඒ ගැන ප්‍රසාදයක් දක්වන්නේ නෑ.

    හැබැයි කරුණු කීපයකට මං උඹෙන් ඈත් වෙනවා. මේ ටික කිව්වම අම්මට හුඩු අර බණින්න ඕනෙ එකා හම්බු උනා කියලා උඹේ ඉස්තරම් ම කුණු හරුප ටිකෙන් මට ගහයි ද දන්නෙ නෑ. ඒත් උඹත් මං වගෙයි කියා හිතුණ නිසාත්, උඹත් මේ ගැන සංවේදී නිසාත්, හෙට මමත් උඹ ඉන්න තැනට එන්න ඉඩක් තියෙයි කියා මට සැක නිසාත් මං මේ ටික ලිව්ව. නැතුව උඹව දේශප්‍රේමී-baptise කරන්නවත්, උඹට බොරු කියා නළවන්නවත් නොවේ. බණිනවා නම් බණපන්.

    - මේ විදේශධාර ගත් එකම රජය නොවේ. සමහරු ණය මල්ලේ තරම කියා පාරම් බෑහ.

    - මේ විදේශාධාර වලින් ජෝගි නැටූ පළමු රජය නොවේ. ජැක්සන් ලා ගත්, නිව්යෝක් වල වැය කළ, පබා ලා අය කළා යැයි හිතන ගණන් වලට වඩා මහ ලොකු කුට්ටි පෙර හිටි උන් තුච්ඡ වැඩ වලට පිල්ලි යවා ඇත. ගම් උදාවේ තණකොළ පිඩැල්ලේ කතාව මට තවමත් මතකයි. ඒවා පැළ වුණේවත් නෑ.

    - මේගොල්ලන් විදේශාධාර වලින් කොටසක් කනවා යැයි තියෙන මතය සාධාරණයි කියා සිතේ. ඒත් මුන් ඉතිරි ටිකෙන් මොනවා හෝ කරති. ඒ කරන දෙය ප්‍රෙමදාසගේ ඔරලෝසු කණු වලට වඩා තේරුමක් ඇති දෙයකි. ජයවර්ධනගේ මහවැළියට වඩා [එකම ගඟක ජලාශ පහක් :)] විද්‍යාත්මක බවක් හා ශක්‍යතාවයක් ඇත. චන්ද්‍රිකා හා රනිල් අමතක කළා නොව උන්ගේ අම්මලාව හැර මතක් කරන්නට දෙයක් උන් කර නැත. හැබැයි උනුත් ණය ගත්තා.

    [ඊළඟ සටහනට]

    ReplyDelete
  11. [පෙර සටහනින්]

    - වරාය, ගුවන් පාළම්, ගුවන් තොටුපොළවල්, මුහුදේ තනන දිවයින් [අගනුවර ඉඩකඩ නැති නිසා], සැළසුම් කළ නගර, ප්‍රාදේශීයව ගොඩ නැගෙන නගර සංවර්ධනයේ සංකේත ලෙස හිතන්නට පුරුදු වී ඇත්තෙමු. මෙය ඇත්තක් දැයි නොදන්නා මුත් මැලේසියාවේ, සිංගප්පුරුවේ, ඩුබායි හි, ගිහින් ආ අය කියන්නේ අපේ උන් කවදා මේවා කරයිද කියායි. දැන් ඉන්න එකා ඒවා කරන්නට තතනයි. මින් පෙර උන් [ආයිත් එන්නේ උන් මයි] මේවා නොකළ නිසා, ලංකාවේ අපට ඕවා බැහැයි කියූ නිසා මා උන්ට වඩා මේකාට ප්‍රිය කරමි.

    - මේවාට සල්ලි දෙන්නට ලංකාවට විදිහක් නැත. ඉතිරි සුභසාධනය ද, ණය වාරික ද ගෙවීමට ඇත. සමහරුන්ගේ විරෝධය නොතකා යුද්ධ කළ නිසා [උන්ගේ ආයුධ වෙළඳ පොළ නැතිවූ බැවින්??] කට්ටියක් අප ව කන්නට වෙර දරයි. මේ වෙලාවේ ප්‍රාග්ධනය උකහා ගන්නට රට ම උකසට තබා ඇත. වෙනත් කළ හැක්කක් ඇද්ද? එක්කෝ අප "සංවර්ධනය" නැතුව සිටිය යුතුය. නැතිනම් අවදානම ගත යුතුය.

    - හැබැයි ඉතින් ඕකේ වගේ වගක් නැතිව ලොකු එව්වෝ ජෝගි නටති. මකුණෝ ලේ උරා බොති. කැණහිලුන් නැට්ට උස්සා මුත්‍රා කරති. අපි ඒවා විඳ ගෙන ඉන්නේ අපි යුද්ධෙන් මැරෙන මිනිසුන් ගැන දුක් වෙමින් එහි පැවැත්ම රැක ගත් අයුරින්මයි

    - ජෙනරාල් තුමා ගැන මටත් දුකයි. ඒත් උන් දෙන්නාට පැවැත්මක් නෑ. එකෙක් අනිකා ට කරන දෙය ම නේද අනිකා ඌට කරන්නෙත්. උන්නැහේට කෙළෙව්ව එකේ වැඩි වගකීමක් ගන්න ඕනේ ඒ රණ විරුවා ගේ පුද්ගලික වයිරයෙන් දේශපාලන එළිය බැලූ, අදත් ඔහු ව එළියට දාන්න තියෙන ප්‍රධාන බාධාව වන ජෙප්පන් නොවේද? [ජෙප්පන් කහින්නේ නැත්නම් ජෙනරාල් එලියට දාවි යයි මට සිතෙන්නේ ආණ්ඩුව සමාවක් ගැන මේ තරම් කෑ ගහන බැවිනි]. ජෙනරාල් 2010 ඉල්ලුව එක කොහෙත්ම නොමනා දෙයක්. ඔහු නො එන්නට රනිල් ලොක්කා ජනවාරියේ ගෙදර ගොස්, ලංකාවේ විපක්ෂයට බඩ විරේක වී සුද්ද වෙන්න ඉඩ තිබ්බා. ජෙනරාල්ට විස පොවා ඔහු ව කඩේ යවා, ඔහුගේ සිර ඇඳුමත් විකුණන් කන්නේ නින්දිත ජෙප්පන් බවයි මගේ හැඟීම. ලොක්කා පහර දෙන්නේ පළි ගැනීම හා ආත්මාරක්ෂාවට නොවේද?

    - මා වැනි බොහොමයක් [Blue+ ලේ නැති] මිනිසුන් හෙටත් මහින්ද ඉල්ලුවොත් ඡන්දේ දෙන්නේ ඔන්න ඔය කාරණා නිසායි. ඒත් මාත් උඹත් අතර ඇත්තේ සුළු වෙනසක්. හෙට මාත් ඔතනට එන්න පුළුවන්. අපිත් අවදියෙන්.

    මෙන්න මේ පොඩ්ඩ මං ලිව්වේ වෙනත් තැනක. ඒක මෙතනටත් ගැලපෙනවා.

    Mahinda’s stand position today shows much similarity to many ppl.

    - Mahathir of 80s
    - Lee Kwan Yew of 70s
    - Gamal Nazar of 60s
    - Mugabe of 60-70s
    - Kim Il Sung

    In diff perspectives Mahinda shows signs of all. Obviously in other perspectives you can say he has opposing personalities. SL can go either way. And there will be many factors deciding it not only Mahinda.

    දිගු සටහනක් වීම ගැන සමා වෙයන්. උඹට ජය.

    ReplyDelete
  12. @Sujeewa Kokawala !
    මචං
    බොහෝම ස්තූතියි උඹේ දිගු කමෙන්ට් එකට.

    උඹයි මමයි අදහස් අතින් බොහෝ දුර නෑ

    මේ උඹේ කරුනු බොහොමයක් එක්ක මම එකඟයි

    කිව්ව වගේ හෙටත් මහින්ද ඉල්ලුවොත් පක්ශව චන්දේ දාන්න ඉන්න ඉඩ තියෙන ගොඩේ ඉන්න එකෙක් මමත්.

    හැබයි ඒ අද ඉන්න මහින්දට නෙමෙයි. වටේ ඉන්න ලේ බොන මාපිලුන්ගෙන් මිදිලා නියම රටට ආදරේ කරන "ඇධික" බල ලෝභයෙන් මිදුනු මහින්ද කෙනෙක්ට.

    විස්වාස කරපන් මූනු පොත හරහා හරි බ්ලොග් එක හරහා හරි කියන්න ඕන කියලා හිතුනු යමක් කියනෙන අන්න ඒ නියම මහින්දව මතුකරගෙන දැනට ඉන්න බලලෝභී මහින්දව ඉවත් කරන්න කල හැකි දෙයක් කල යුතුයි කියන හැඟීම්න් මිසක් සංවර්ධනය කකුලෙන් අදින්න ඕන කියන හැඟෙමෙන් නෙමෙයි.

    මොකද මගේ එකම හීනය ලංකාවේ සතුටින් ජීවත් වෙන්න මිසක් මයිග්‍රේට් කිරීම නොවන නිසා.

    දවසක් දෙකක් දෙන්න මචන් . . මම නිදහසේ මේ ගැන වැඩි යමක් ලියන්නම් . .

    අපි කතා කරමු මචං . .

    දකින එකක් දෙන්නෙක්ට හරි සත්‍ය වටහා ගන්න ඇහැක් වුනොත් ඒ මදැයි . .

    ReplyDelete
  13. dukaa;

    boho durata aoi eka thana.

    navatha katha karamu.

    ReplyDelete
  14. දුකා...

    ලිපිය දැක්කේ දැන්.
    උඹෙන් බැනුම් අහන්න තරංම මම නිල් පාට නැහැ.ඒත් මම ලෑස්ති උනේ බැනුම් අහන්න.
    මොකද අඩුගානේ උඹටවත් සහනයක් ලැඛෙයිනේ කියලා හිතලා.
    උඹයි මමයි එකම පාරවල්වල ආපු උන් දෙන්නෙක්. ඒ හින්දා මටත් අයිතියක් තියෙනවා කියලා හිතලා ලියන්න පටන් ගන්නකොට තමයි දැක්කේ "සුජීවගේ" සටහන. ඒ ගමන ලියන්න ගිය දෙ නවත්තන්න මට හිතුනා.ඒත් ආව එකේ වචනයක් හරි කියලා යන්න හිතුනා.

    දුකා උඹෙ අප්පාගේ නිවුන් සහෝදරයා තමයි මගේ මහ එකා.

    මාත් ඉස්සර පුදුම වෛරයකින් තාත්තා දිහා බැළුවෙ...
    උඹ දන්නවද මම අවුරුදු දහ හතරෙ ඉඳලා හම්බ කරන්න පටන් ගත්තේ ආසාවට නෙවෙයි ජීවත් වෙන්න ඔන හින්දා.
    මම පහේ ශිෂ්‍යත්වෙ ගමෙ පාසලෙන් පාස් වෙච්ච පළමුවැනියා.
    ඊට පස්සේ කොළඹ නාලන්දෙට ගියේ...

    අන්තිමට මම උසස්පෙළ අතරමගදී අධ්‍යාපනය අතහැරලා දානවා.

    හේතුව..

    අපේ දෙමව්පියන්ට බැහැ මාව නඩත්තු කරන්න.
    මම ඉස්කෝලේ ගියේ සතියට දවස් තුනයි. අනිත් දවස්වල මම කුලී වැඩ හිටන් කළා.
    මගේ වයසේ අනිත් කොල්ලෝ තාත්තලගේ මුදල් වල රැස් විහිඳුවද්දී මම අසරණව බලා හිටියා.. නැති බැරි කමට.
    ඒ හැම දේටම තාත්තගේ දේශපාලනය බලපෑවා.
    ඉතින් මට වෛර කරන්න හේතුවක් ලැබුනා.

    ඒත් අද මම මගේ තාත්තාට ගරු කරනවා.
    එයා හැදුවෙ තමන්ගේ පුතාගේ විතරක් නෙවෙයි හැමෝගෙම පුතාලට හොඳ අනාගතයක් හදලා දෙන්න.
    උඹෙ තාත්තාත් එහෙමයි.
    හැබැයි ඒ තාත්තලා දෙන්නටම රටෙ ලෝකේ දරුවන්ට කරන්න යනකොට ගෙදර එකා වැටෙනවා පෙනුනේ නැහැ.
    අන්තිමට තාත්තා මැරිලා ගියා.
    ඒත් පහු කාලීනව තමයි මට තේරුණේ තාත්තා මා ඇතුළේ ඉන්නවා නේද කියලා.
    උඹ දන්නවද පහුගිය සතිය වෙනකොට මගේ බැංකු පොතේ තිබුනේ රුපියල් තිස් පන්දහයි.
    ගිය සතියේ මම මෙ පාවිච්චි කරපු ලැප් ටොප් එක තිස් දාහක් දීලා ගත්තා.
    දැන් පොතේ ගාණ කියන්න ඔන නැහැනේ.
    ගෙදර ඉන්න කාලේ හම්බ කරපු දේවල් වලින් ගත්ත වාහන දෙකතුනයි අනිත් දේවලුයි මල්ලිට දීලා ගෙදරින් පිට උන දා ඉඳලා අද මෙ වෙනකල් මට කියලා එක බිං අගලක් මෙ ලංකාවෙ නැහැ.
    පහුගිය කාලේ හම්බ උන දේවල් වලින් මගේ ගෝලබාලයන්ට ඉගෙන ගන්න උදව් කලා ඇර මම සත පහක් ඉතුරු කලේ නැහැ.

    මම මෙ ටික කිව්වෙ අද උඹට තියෙන දේවලු සහ මට තියෙන දේවල් ගැනයි උඹටම සංසංදනය කරන්න පහසු වෙන්න.
    හිතපං දුකා...

    එහෙම ඉන්න මං මහින්දව තව දුරටත් විශ්වාස කරනවා.
    මට තියෙන බලා පොරොත්තුව මහින්ද විතරයි.
    හැබැයි මිනිහා වටෙ ඉන්න වැඩි හරියක් හිපාටුවෝ රැල ගැන නම් මගේ විශ්වාසයක් නැහැ.
    ඒත් මම මහින්ද විශ්වාස කරනවා.

    ත්‍රස්තවාදය පිළිබඳ යුද්ධයට වඩා ආර්ථික යුද්ධය බියකරුයි.
    මහින්ද එදා යුද්ධෙදී කළෙත් ආවොත් ආවා..ගියොත් ගියා කියන දේයි.
    අද මෙ ආර්ථික යුද්ධයේදීත් ඒ අවධානම මිනිහා අරගෙන තියෙනවා.

    අපේ රටෙ මිනිස්සු හරි පුදුම ජාතියක් තමන් හොරකං වංචා කරන ගමන් අනිත් උන් එහෙම නොකරයි කියලා හිතන ජාතියක්...

    එහෙම හොරු රැළක් මැද වැඩ කරන එක ලේසි නැහැ.
    වංචාව දූෂණය බිංදුවට බස්සලා වැඩ කරන්න යන එක මෙ තියෙන තත්වය යටතේ ප්‍රායෝගික නැහැ.එහෙම කරන්න ගන්න උත්සහය පවා සිය දිවි නසා ගත්තා හා සමාන වැඩක්..විපක්ෂයට පාර කැපීමක් විතරයි.
    ඒ තත්වය යටතේ අනිත් උන්ටත් කුට්ටිය දෙන ගමන් කොහොම හරි කරන්න තියෙන වැඩ ටික කරව ගන්නයි වෙන්නේ.
    අද රටෙ වැඩ සිද්ධ වෙනවා.බඩු මිල ටිකක් ඉහළයි තමයි.
    කොටින්ම මට ඉඩමක් ගන්න..ගෙයක් හදන්න කියන දේවල් හීනයක් විතරයි.
    ඒ උනාට පොදු පහසුකම් හා රැකියා අවස්ථා වැඩි දියුණු වෙමින් පවතින තත්වයක් යටතේ මට ඉස්සරහ ගැන කළින්ට වඩා බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් වෙලා තියෙනවා.
    අනිත් කාරණාව තමයි මහින්දව එළවලා අපි එතනට ගේන්න ඔන කාවද කියන එකයි.
    මම හිතන්නේ නැහැ ඒ ප්‍රශ්නෙට දුකාට උත්තරයක් තියේවි කියලා.
    මටත් නැහැ.
    මහින්දගෙන් පස්සේ මෙ පක්ෂෙත් කවුරුවත් නැහැ.
    බැසිල් කියන්නේ මහින්දගේ සැලසුම්කරු. ඒ උනත් බැසිල් හිටියට පවුල්වාදෙන් ගහන එවුන් මිනිහට ඉඩක් දේවී කියලා මම හිතන්නේ නැහැ.

    ඒ මෙ පැත්තේ තත්වය..
    විපක්ෂය ගැන මොනවාද හිතන්න තියෙන්නේ.
    රටෙ මුල් පුටුව බාරගෙන වැඩ කරන්න අද තනි මිනිහෙකුට බැහැ.
    ඒකට එක මිනිහෙක් මූලික කරගත්ත හොඳ ටීම් එකක් තියෙන්න ඔන.
    එහෙම හොඳ ටීම් එකක් සහිත නායකයෙක් අපිට ඉන්නවද..?
    හැබැයි මම එක කාරණයකදී මෙ රජය සහ පැවති සියළුම රජයන්ට දොස් පවරන්න කැමතියි.
    ඒ තමයි අධ්‍යාපන අංශය...
    ඒ ගැන නම් කතා කරන්න දෙයක් නැහැ.

    ReplyDelete
  15. sorry දුකා. කලින් එන්න බැරි උනා. BF ගේ පෝස්ට් එකෙන් තමයි පත්තු උනේ. (ඒ පෝස්ට් එක ගැනත් අදහසක් තියෙනවා. ඒක එතන දාන්නම්)
    මම ඔබට කලා කිව්ව දේ ඔබ මටත් කලා. ඇත්තටම එපා වෙලා දුකා. බ්ලොග් වල මේ පල්හෑලි ලිව්වට මහ පොළොවේ සත පහක දෙයක් වෙනස් වෙන්නේ නෑ කියලා අපි දෙන්නම දන්නවා. ඒත් ඔයාටත් මටත් කරන්ඩ ඉතිරි වෙලා තියෙන්නෙ ඒක විතරක් වීමෙන්ම පේන්නෙ අපි කොයිතරම් අසරණද කියන එක මිසක් වෙන මොකද්ද?
    ඔයාගෙ ලිපිය ආයෙත් පාරක් කියවන්න කියලා මම මාරයගෙන් ආදරයෙන් ඉල්ලනවා. මොකද දුකා ලියලා තියෙන විදිහටම මේක කේවල ඒජන්තයන්ගේ හොඳ නරක ගැන ප්‍රශ්නයක් නෙමෙයි.

    දුකා ඔයාට පුලුවන්නම් මේ ලින්ක් එක ඔයාගෙ ජ.වි.පෙ යාලුවට දෙන්න. මා මිතුරෙකුගේ මේ පෝස්ට් එක තරමක් අන්තවාදී වෙන්නත් පුලුවන්. නමුත් සංවාදයක් සඳහා වැදගත් වේවි.
    http://sanuwa.blogspot.com/2010/09/blog-post_23.html

    ReplyDelete
  16. @charmi!
    ඔබ එවූ ලින්ක් එකේ තිබූ ලිපිය කියෙව්වා . .
    තව දුරටත් මගේ පෝස්ට් එකත් ඔබ එවූ සබඳියාවත් ජ.වි.පෙ. හිතවාදී මගේ මිතුරාට මූනු පොත හරහා යැව්වා . .
    අපි බලමු !
    සංවාදයක් ගොඩනැගෙනවනම් කොයි තරම් අපූරුද . . .

    ReplyDelete
  17. අදහස් දක්වූ සියලු දෙනාටම !

    මේ දිනවල කාර්‍‍යාලයේ වැඩ බොහෝමයි.

    ගෙදරදී මගේ සොඳුරු ත්‍රස්තවාදීයා සමඟ ගතකරද්දී බැරෑරුම් යමක් ලියන්න ඉඩ කඩ ලබෙනවා බොහෝම අඩුයි.

    ඒ අතරට හිත වෙලාගෙන තිබෙන එපා වීම 100% කම ඉවත්වෙලා ගිහින් නැති බවත් දැනනවා. ඒක නිසා දේෂපාලනය ගැන මොනවත් ලියන්න බැරි තරම් කම්මැලි කමකුත් දනෙනවා.

    උදේ හවස රවිබන්දු විද්‍යාපතිගේ බහු රංග සංයුක්ත තැටිය ට සම්වැදිලා ඉන්න එකෙක් ලබන මෝහනයට පත්වූවාක් වැනි ගතියෙන් ඒ එපා වීමෙන් ටික ටික මිදෙන ගතියකුත් දැනනවා.

    නිදහස් වෙලාවක සම්පූර්ණයෙන් අසම්පූර්ණ සටහනට ඌණ පූර්ණයක් එකතු කරන්නම් ඔබ සැමගේ අදහස් සියල්ලත් සමාලෝචනය කරමින්.

    හැමෝටම බොහෝම ස්තූතියි . ..

    ReplyDelete
  18. අපේ ජාතිය රැවටී සිටින්නට හරි කැමතියි. පසුගාමී අදහස් තියෙන්නේ. නිදහස ලබා අවුරුදු 62ක් ගිහිනුත්, තවම පාඩම තේරෙන්නේ නෑ. සිල්ලර හේතු වලින් හිත හදා ගන්ට පුළුවන් අයටනම් ප්‍රශ්නයක් නැහැ. අනිත් අයට තමයි අව්ල තියෙන්නේ.

    * වෙන උනුත් ණය ගත්ත නිසා, මුනුත් ගත්තාට කමක් නෑ ( හැබැයි වෙන්නෙ අපිව උකස් වෙන එක )

    * මෙච්චර කල් උනුත් හොරකම් කරපු එකේ, දැන් ඉන්න උන් කෙරුවාට කමක් නෑ ( ඒත් පක්ෂ/විපක්ෂ අපේම සල්ලි තමයි )

    * අපිට ඉතින් වෙන නායකයෙක් නෑ (හැබැයි වෙන්නේ තව එකෙක් බිහි වීමට ඉඩ නොදීම )

    * මහින්ද හොඳයි, වටේ ඉන්න උන් තමයි අව්ල ( මහින්දට කොන්දක් හෝ උවමනාවක් තියේ නම් හොර මුල සුද්ධ කරවන්ට බැරිවය, ලොකු එකා කෙළින් නම්, පොඩි උන් ඇදේට යනවය )

    * කොච්චර හොරකම් කෙරුවත් රටටත් පොඩ්ඩක් හරි කරන්වනේ, හොරකම් දූෂණ නවත්වන්ට ගියොත්, සංවර්ධන ගමන යන්ට වෙන්නේ නෑ ( තක්කඩියෝ කීප දෙනෙක්ට සැප සම්පත් උදෙසා, ඒත් උකස් වෙන්නේ අපිව තමයි. උන් කරන පොඩ්ඩ වගේ, දහස් ගුණයක් තැලෙන්නේ අපිවම තමයි)

    * මානව හිමිකම් එක්ක දියුණු වෙන්න බෑ. ( වෙන්නේ අනිත් උන්ව පාගලා, තක්කඩි ටික වැජඹෙන එක )

    අපේ හිත්වල තියන කුපාඩි කම් නිසා, ඔය වරහන් ඇතුලෙ තියන එක තේරෙන්නේ නෑ. කියන්න නම් දේවල් දාහක් තියනවා. ඒත් බීරි අලින්ට වීණා වයන්නේ මොකටද කියලා හිතෙනවා. වෙලාවකට ඉක්මනටම විනාශය ආවා නම් හොඳයි කියලා හිතෙනවා, අපේ කස්ටියට ඔළු ගෙඩි පෑදෙන්න. මටත් තියෙන්නේ පුදුම කළකිරීමක්. මමත් දුකාගෙ හිතේ අමාරුව බෙදා ගන්ට එකතු වෙනවා.

    ප ලි : හපෝ දේශපාලනය නම් අප්‍රසන්නයි කියන්නේ, නොම්මර එකේ අවස්තාවාදියෝ ටික. උන් නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ. තමන්ට, රටට ආදරයක් තියෙන එකෙක් එහෙම කියන්නේ නෑ. කැමති උණත්, නැතත් අපිව පාලනය වෙන්නේ දේශපාලුවෝ ගන්න තීන්දු නිසා බව පොඩි එකෙක්ට උනත් තේරෙනවනේ. මොන බඩකඩිත්තුව හරි හොඳයි කියන උන් ඊට වඩා දහස් ගුණයක් හොඳයි.

    ReplyDelete
  19. දුකා,
    මේ වෙලාවෙ කිසිම බරපතලයැයි සම්මත දෙයක් ලියන්න හිතෙන්නෙ නැහැ. උඹ විතරක් නෙවෙයි නන්නාදුනන ඒත් හොඳට අඳුනන අපි බහුතරයක්ගෙ මානසික තත්වය තමයි මේ දිග හැරෙන්නෙ.

    මෙච්චරක් කියන්නම්, උඹව කියෙව්වාම මට දැනෙනවා මං තනි නෑ කියලා.

    ReplyDelete
  20. Danfun,

    As you seem to have mis interpreted few of my ideas let me clarify. Sorry to use a diff language as now I hv not enough time to use Sinhala.

    -------

    >> * වෙන උනුත් ණය ගත්ත නිසා, මුනුත් ගත්තාට කමක් නෑ

    No. But what is your alternative?

    ( හැබැයි වෙන්නෙ අපිව උකස් වෙන එක )

    Yes. Like all the other 3rd world nations this is the end result. It has been happening for all our life time.

    I do not like it. However I cannot think of an alternative for it. The reason why I mentioned it here is not because I think it is OK, but because I never expected Mahinda not to stop borrowing. So there is no sudden pain that comes to me. And gthat is one point why I do not feel hopeless all of a sudden. Read carefully, I clearly said that I am sleptical about Mahinda winning economy battle easily.

    * මෙච්චර කල් උනුත් හොරකම් කරපු එකේ, දැන් ඉන්න උන් කෙරුවාට කමක් නෑ

    No. But do we have any other alternative?

    ( ඒත් පක්ෂ/විපක්ෂ අපේම සල්ලි තමයි )

    Yes indeed. I see it in this way. I take the outcome and add all corruption to it. That is the total spending. I wish to see a better and improving number for outcome/total_spending. Call me a fool but this is all you can expect in our country in reality.

    * අපිට ඉතින් වෙන නායකයෙක් නෑ (හැබැයි වෙන්නේ තව එකෙක් බිහි වීමට ඉඩ නොදීම )

    I am not talking about unborn or unknown leaders. But in the public arena I see nobody with a leadership capacity. Some believe that General is one, but my judgment is that he will be an incapable and cruel dictator. I judged him on his conduct during election and wartime.

    * මහින්ද හොඳයි, වටේ ඉන්න උන් තමයි අව්ල ( මහින්දට කොන්දක් හෝ උවමනාවක් තියේ නම් හොර මුල සුද්ධ කරවන්ට බැරිවය, ලොකු එකා කෙළින් නම්, පොඩි උන් ඇදේට යනවය )

    This was Maraya's idea. It is partially right that Mahinda has to fulfill some requirements even if he is a great and ideal man. But my opinion is that he is also not ideal. He is a product of this system and it is impossible that he's great and rest is bad.

    * කොච්චර හොරකම් කෙරුවත් රටටත් පොඩ්ඩක් හරි කරන්වනේ, හොරකම් දූෂණ නවත්වන්ට ගියොත්, සංවර්ධන ගමන යන්ට වෙන්නේ නෑ

    I did not mean that. I think NOBODY CAN STOP Corruption. It is always happening it will be happening for a long period. Accept this truth first.

    My point is that only few leaders have done some development and if we change this leader it is likely that all the projects he initiated get stuck and we will not get anything out of it.

    ( තක්කඩියෝ කීප දෙනෙක්ට සැප සම්පත් උදෙසා, ඒත් උකස් වෙන්නේ අපිව තමයි. උන් කරන පොඩ්ඩ වගේ, දහස් ගුණයක් තැලෙන්නේ අපිවම තමයි)

    Meka thamayi deshpalane. Loke koyi ratakavath koyi deshpalana kramayakavath meka visndalaa ne.

    * මානව හිමිකම් එක්ක දියුණු වෙන්න බෑ. ( වෙන්නේ අනිත් උන්ව පාගලා, තක්කඩි ටික වැජඹෙන එක )

    Human rights are no burden for development. But human rights just out of books are not at all realistic and never achieved anywhere. It is in fact human nature that rights get violated. If all human rights are implemented to the dot, I have no obligation and I like it. But if a govt does not keep HR rights well, I decide on them based on what the violations are. In my view the alleged HR violations of this govt are not major and I don't wanna change them for HR. You may feel diff.

    In a summary, it is easy to complain but providing a solution/alternative is hard.

    ReplyDelete
  21. @Sujeewa Kokawala > I didn't wanna comment on anyone, I am almost fed-up with it. I just expressed my regret over Duka's disappointment.

    PS - I don't care it's Mahinda, Ranil, Namal, KP or Sarath as the president, as far as he uses his power for the welfare of the country. All the shit SL rulers have misused democracy for their own benefit since 48. The point is, why on earth people keep silence (approve) on that instead of showing their objections. Thanks for bothering.

    ReplyDelete
  22. Danfun

    [[The point is, why on earth people keep silence (approve) on that instead of showing their objections.]]

    Simply because there is no better choice for them.

    - France revolted against kings and aritocrats, but after revolution, france knew nothing to do next. Other than beheading enemies, they had no idea what to do. It lead way to a dictator [worse than mahinda] Naepolean. Was it what revolution wanted?

    - Russians followed a more scientific approach for revolution. ALthough relatively backward Bolshevik leadership which gained control in first yr after revolution were pretty good, but see how it gradually fell into one of the most ruthless [worse than hitler] dictator.

    - Germans wanted to feel independant and get out of WWI shackles. They did it democratically, and found they're in the clutches of a worse time.

    But having said that, take following ideas.

    - USA won war and then had a civil war, by 1920s it was a shit place full of hunger etc. Worse place to live. They recovered it thru their own system, in the hands of Roosevelt, who is not their best president at all.

    - Singapore was also a crap place, but they never did a revolution. They recovered thru the system. So did Malaysia. Are Mahathir and Lee Kwan any great presidents, if you consider their first days?

    - China did a revolution against traditional ways, and fell into a really sad position in 50-70. But they used same system to overcome obstacles.


    I am pointing out some examples. I think a rapid change will always cost a worse situ, but a gradual change will help. It is collective resp of us all to make it happen, not just MR, RW etc. What SL has so far done is changing rulers as they're bad and getting one who is worse.

    Now that MR booked seat for another 20 odd years. We need to find his replacement, a proper one in that time. I see no candidate at all in public arena. It is time for that Next hero to emerge and take us constructively into a new era where MR stops.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails