
අපිට එක කාලයක් "පංසල් උනක්" තිබුනා . . . ඒක උනක් කිව්වේ මේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔදවැඩිලා ගිය ගමනක් නොවන නිසා. එය තනිකරම යෞවනයේ පොපියන චමත්කාරයෙන් ඔකඳ වෙලා මල්සරාගේ දුන්නයි ඊතලයි සොරකම් කරගෙන, නෙත සිත බැඳුනු රූ සපු, හදවත් ආක්රමනය කරන්න යන සොඳුරු දඩයමේ යාමක් වැනි ගමනක් නිසාවෙන්මයි . . . (සියලුම යෞවනයෝත්, යෞවනය පසුකලෝත් මගේ මේ සඳහන් කල "උනට" සාක්ශි දරත්වා . . . )
මා කලින් ලිපි වල සඳහන් කල අක්කගේ මිතුරියන් වූ අචලා චමිලා අක්කලාත් ඔවුන්ගේ සොයුරන්වූ දිලුම් අයියාත් දිලාශ් ත් මාත් චමිලා අක්කලාගේ ඤාති සොයුරු සොයුරින් කීප දෙනෙකුත් සමඟ, අපේ ගමේ ප්‍රසිද්ධ විශාල හා පුරාන පංසල් දෙකක්ම තිබුනා වුවත් අපේ නිවෙස් වල සිට කි.මී. දෙකක් පමන දුරින් පිහිටි කුඩා පන්සලක් වූ "විවේකාරාමය" පංසලට අපි හැම පෝයටම යන්න පටන් ගත්තේ මේ "පංසල් උනේ" ප්‍රතිඵලයක් ලෙසයි . . .
එක පෝයක් නිමා වෙලා ඊලඟ පෝය එනකම් ඇඟිලි ගැන ගැන නොයිවසිල්ලෙන් බලා ඉන්න තරම් මේ "උන" උත්සන්න වෙලා තිබුනු කාල පවා තිබුනා . . .
"ඊලඟ පෝයට පංසල් යනකොට අපි කට්ටිය පාර්ලිමන්ට් බන්ට් එක පැත්තේ එකට ගිහින් ඕලු මල් කඩා එග්න එමුද . .. ?"
"නෑ අපි බෝ මළුවේ බිම එක එක හැඩේට පහන් පත්තු කරමු . . "
"අපිට මල් ගොඩාක් කඩාගන්න පුලුවන් උනොත් පංසල් එන අයට බුදුන් වදින්න නෙලුම් කොල වල දාලා මල් දෙන්නත් පුලුවන් . . "
අපේ ඔය වැනි අනාගත සැලසුම් අප සියලු දෙනාගේම නොයිවසිල්ල නොදනුවත්වම පිට වුනු අවස්ථාවන් වලට උදාහරන . . .
අනෙක් පංසල් වලට වඩා මේ "විවේකාරාමයේ" විශේෂත්වය වුනේ එකල මෙහි වැඩිපුර සිටියේ යෞවන යෞවනියන් හා තරුණ තරුණියන් වීම . . .
කෙසේ හෝ මේ පංසලට යාම් ඊම පටන් ගත් මුල් අවදියේදීම එක් රූබර යෞවනියක් මගේ නෙත් සිත් පැහැර ගත්තා . . .
ඈ මා තරම්ම පුංචි එකියක් . . . පිට මැදට වන්නට තිබූ ටිකක් ලොකු කර්ලි කෙටි කොන්ඩය ඇයට එක් කලේ අමුතුම සුන්දර පෙනුමක් . . . දුටු මුල් දිනයේදීම ඈ මා හා හොඳින් සිනා සුනා . . . ඕනෑ තරම් ගැහනු ළමුන් සමඟ චකිතයක් නැතුව කතා කරන්න බුහුටි කමක් තිබූ මට මේ ගෑනු දරුවා සමඟ කතා කරන්න වචන එකතු කර ගැනීම ඉතාමත්ම අපහසු කාරියක් වුනා . .
තවත් නෙත් හී සර පහර වල් එකක් දෙකක් මා කරා ආවත් ඒ සැම වලක්වා ඈ දෙස පමනක් අවධානය යොමු කරන්න බොහෝ අවස්ථාන් වල්දී පරිස්සම් වූවා කියා කීවොත් එය කෙසේවත් බොරුවක් නම් නොවේ . ..
ඈට තිබුනේ මුස්ලිම් නමක් . . . අපි ඈ ශබීනා කියා හඳුන්වමු . . . ඈ සිංහල මුස්ලිම් මිශ්‍ර විවාහයක ප්‍රතිඵලයක් . . මුස්ලිම් නමක් තිබුනා වුවත් ඈ පංසල් ඒම අපට කෙසේ වත් අරුමයක් නොවූයේ අපගේ තවත් ක්‍රිස්තියානි ආගමික මිතුරි මිතුරියන් පවා පංසල් යෑමත් බෞද්ධ වූ අප සමහර විටෙක පල්ලි යෑමත් වැනි හේතු නිසාවෙන්මයි . . .
දෙනෝ දාහක් සෙනග ගැවසුනු බන ශාලාවේ . . . සිත කුල්මත් කල සිලි සිලි නදින් පිරුනු බෝ මළුවේ . . . ගාම්භීර රජවරු සිටුවරුන්ගේ රූප ඇඳ, ශාන්ත බුද්ධ පිලිම නෙලා තිබූ විහාර ගේ ඇතුලත . . . මර්කරි ලයිට් එලියෙන් කිරි සුදු පාටින් දිදුලන චෛත්‍ය වටේදී . . මේ සියලුම තැන් වල මා දුටුවේ එකම එක රුවයි . . . ඒ රුව සිනහවක් පා මා අසලින් ගමන් ගන්නා සෑම වෙලාවකම මා සිටියේ පංසලට ඇතුලුවීමේ පඩිපෙල අසල තනා තිබූ මුර ගල තරම්ම ගල් වූ ස්වභාවයකින් . . .
විටෙක ඒ ගල් වූ ස්වභාවයෙන් මිදී වට පිට බැලූ අවස්ථාවක මා දුටුවේ නිතරමා මා ලඟින්ම සිටිනා මගේ මිතුරු දිලාශ් ද ගල් වී සිටි බවයි . . . ඔහුගේ නෙත් ගමන් කරනා දිසාවට නෙත් යොමු කල මට හැඟුනේ ඔහුගේ නෙත් සිත් පවා නතර වී ඇත්තේ ශබීනා අසල බවයි . . . මගේ හිතට දනුනේ හීනි ඉඳි කට්ටකින් මගේ හදවත සිදුරු කරනවා වැනි වේදනාවක් . . . එක් වරම මගේ මිතුරා ගැන මගේ හිතේ ඇති වුනේ ඊර්ෂ්‍යාවක් . . . වේදනාව ඈ මට නොලබේදෝ කියා ඇති වූ හැඟීමෙන් උපන් එකක් වූ අතර ඊර්ෂ්‍යාව ඈ මට වඩා දිලාශ්ට කැමති වීමට තරම් සුදුසු කම් දිලාශ්ට ඇති බව මට පසක් වීමෙන් උපන්නක් වුනා . .
"ඒකි මේ මුස්ලිම් කෙල්ලෙක් මචං . . ."
"ඒකි එක විදිහක බඩ්ඩක් වගේ . . . බලපන් හැමෝටම පනාව දාන හටි . . "
"දාංගලේ නම් ටිකක් වැඩී වගේ එයාට . .. "
"එච්චරම ලස්සනක් නෑ නේ බං . . . "
"ඉගෙන ගන්න එහෙම බැරි මැටි ලූක් එකක් තියෙන්නේ එයාට . .. "
ඔය වැනි බොරු හේතු කාරනා මා විසින් දිලාශ්ටත් දිලාශ් විසින් මටත් හුවමාරු වුනේ හිතේ එක් කොටසක් වසාගෙන "අනේ මූට එයාව එපා වෙනවානම් " යන හැඟීමෙන් . . .
එක් දිනක් පංසල් ගිය ගමන් අක්කලා ටික අසල නිවසක මිතුරියක් වූ ගිම්හානි අක්කලගේ නිවසට ගියේ ඉක්මනින් නැවත පැමිනෙන බව අපට පවසා . . . එදින නිදහසේ හිතේ ඇති හැඟීම් කෙසේ හෝ ශබීනා ට පවසනවා යැයි මා මගේ සිතට ශපථ කරගෙන සිටි ලෙසම දිලාශ් ත් ඉන්න ඇති බව ඔහුගේ කතා බහෙන් මට වැටහී ගියා . . .
පැමිනි මොහොතේ සිට සෙව්වේ ඈ තනිවම කතා බහට අල්ලා ගත හැකි ඉඩ හසර ගැන . . . ඈ යන යන පසුපස අප දෙදෙනාද හොරෙන් හොරෙන් පියවර නැගුවේ . . . ඒ මොහොත කොයි වේලාවේ උදා වේදෝ කියා නොයිවසිල්ලකින් . . . අවසන බෝ මළුවේදී ඈ විසින්ම ඒ මොහොත අපට උදාකර දෙනු ලැබුවා . . . වැඩිපුර සෙනඟක් නැති අවස්ථාවක් බලා ඈ හෙමින් හෙමින් අප වෙත් පිය නැඟුවේ මුවේ සිහින් සිනා රැල්ලක් රඳවාගෙන . . .
දෙමෝලෙන් පිටි කොටනවා වැනිව මේ "ඩිග් . .. ඩිග්. . .ඩිග් . . " යනුවෙන් ඇසෙන්නේ මගේ හදවත ගහෙන රිද්මයද දිලාශ්ගේ හදවත ගහෙන රිද්මයද කියා සිතන්න ඉඩ ලබා නොදී අප වෙත පැමිනි ඈ ඇසුවේ . . .
"මල්ලී . . . කෝ මධූල චමිලලා . .. ???"
"ම්ම්ම්ම් . . . . ."
"මේ . . මේ . . මේ . . "
මල්ලී . .. ?????" ඒ මොන හරුපයක් ද . . දිලාශ් ත් මාත් නිරුත්තරයි . . . .
"අද ඔයාල දෙන්න විතරද ආවේ . . ."
නැවත ඇගෙන් ප්‍රශ්නයක් . ..
"නෑ . . . මේ . . . අක්කලා . . . එහා වත්තේ . . . ගිම්හානි අක්කලාගේ . . . ගෙදර ගියා . .. "අපහසුවෙන් හෝ තටම තටම පිලිතුරක් ලබා දීමට දිලාශ්ට හැකිවුනා . ..
"හා මාත් එහෙනම් එහේට යන්නම් . .. " ඈ ඉක්මන් ගමනින් අපෙන් වෙන් වුනා . . .
දිලාශ් යි මායි එකිනෙකාගේ මූනු දිහා බලා හිටියේ "මේ මොකද්ද බං වුනේ" කියා අසනු වැනිව . ..
පංසල් ගොස් එන ගමනේ දී වීදි පහන් නොමැති එක්තරා කළුවර අඩවියකදී අපගේ කුතුහලය සංසිදුවා ගන්න අප උත්සාහ කලා . . .
"මේ අක්කේ . . . අද මාර වැඩක් වුනානේ හලෝ . . "
"මොකද්ද . . ."
"ශබීනා ඇවිත් අපි දෙන්නට මල්ලී කියලා කතා කලානේ . . . "
"මොකද්ද ඒකේ තියෙන මාර වැඩේ . . . එයා අපේ වයසේ නේ . . . "
. . . .
"මල කෙලියයි . . . . "
"තව පොඩ්ඩෙන් ඇහුවනම් එහෙම උඹයි මායි සුනේ සුං . . "
දිලාශ්යි මායි කනට කර මුමුන ගත්තා . ..