UAE Sri Lankans Events

Thursday, October 22, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (හතරවන කොටස)


පළමුවෙනි කොටස

දෙවෙනි කොටස

තුන්වෙනි කොටස

මේ අතරමං වූ ගතියක් දැනෙන ස්වභාවයෙන් මිදීමට මා කුමක් කල යුතුද . . . ? මේ හිරි වැටුනු වැනි හැඟීමක් දැනීමක් නැති ආකාරය කොපමන වේලාවක් පවතීද . . . හිස යාන්තමට ඔසවා වට පිට බැලූ මට මා වටා වූ සියලුම ජීවී අජිවී වස්තූන් පවා නිමේශයකට ගල් වී ඇති බවක් සිතුනා . . .

පුංචි කාලේ ආත්තම්මා කියා දුන් කතන්දර වල මෙන් . . .

"ඔන්න පුතේ . . ඒ මායාකාරී අර පුංචි කුමාරයාට සාප කලාලු කුමාරයයි . . . කුමාරයාගේ යාලුවෝ ටිකයි . . . අහල පහල තියෙන ගස් ටිකයි ඔක්කෝම ගල් වෙන්න කියලා . . . . "

"අනේ එයාලා හැමෝම ගල් වුනාලු . . . "

"ඔන්න දවසක් පුංචි කුමාරියෙක් අශ්වයෙකුගේ පිටින් මේ අහලින් . . . . ."

ෂිහ් මට මොනාද මේ හිතෙන පිස්සු කතා . . . . .

ඒත් ඇයි මේ ගසක කොලයක් වත් සෙලවෙන්නේ නැත්තේ . . .

හුලඟට හමන්න අමතක වෙලාද . . .

ගස් වැල් වලට හෙලවෙන්න අමතක වෙලාද . .

ඒ සිතුවිල්ල නිමා වෙන්නත් ප්‍රථම මගේ වැලමිට අසලින් කිසිවෙකු අල්ලනවා දැනී, ඒ සියලු පාෂානීභූත හැගීම් වලින් මිදෙන්නට හැකිවුනා . . .

තිලංශ ආදරණීය තිලංශ . .

එසේ මගේ වැලමිට අසලින් අල්ලාගත් අත මා මගේ දෑතින්ම අල්ලා තද කර ගත් පසුවයි දැනුනේ මා මෙපමන වෙලාවක් එවැනි ස්පර්ශයක් . . හවුහරනක් . . සහයක් . . . සහයෝගයක් . . ලැබෙන තුරු අපමාන නොයිවසිල්ලකින් සිටින්න ඇති බව

"ගනන් ගන්න එපා නිනේෂ්. . . " තිලංශ පැවසුවේ දයාබර හඬකින් . . .

"ඔව් ඔව් අමතක කරලා දාපන් . . " ඒ රුසිරු . . .

අමාරුවෙන් යලිත් වරක් හිස ඔසවා මිතුරන් තිදෙනාගේම මුහුනු මාරුවෙන් මාරුවට බැලූ මට මගේ මූනට හිනාවක් නගා ගන්න ගත් උත්සාහයේදී එය අසාර්ථක වී ඒ වෙනුවට මගේ කට ඇදවී ගිය බව මටම පසක් වුනා . . .

මා පත්ව සිටි අසරන තත්වය මගේ සියලුම මිතුරන් වටහා ගන්න ඇති . . . වෙන අවස්ථාවකදී නම් හූ කියා සමච්චල් කර සතුටු ගඟක් පිටාර යා හැකි සිදුවීමක් වුවත් මගේ දයාබර මිතුරු කැල මාව තවදුරටත් මා සිටිනා තැනින්, ඒ තත්වයෙන් පහල නොදැමීමට තරම් දයාබර වූවා . . . එසේ වෙන අයෙකුට මෙවැනි දෙයක් සිදුවූ විට නැගෙන හූ හඬවල් .. සමච්චල් හිනා හඩවල් . . උපහාස කතා කිසිවක් නොමැතිව මුනිවත රැකි ඔවුන් තත්වය සමාන්‍යකරනීය කිරීමට ඔවුන්ට හැකි පමන දායක වුනා . .

"මූන පොඩ්ඩක් හෝද ගනින් . . . එතකොට පොඩි ෆ්‍රෙශ් ගතියක් දැනෙයි නිනෝ . . . " මගේ සුරතල් ආමන්ත්‍රන නමින් මා ඇමතූ රුසිත් පිටට පොඩි තට්ටුවක් දැම්මා

"ඉක්මනට ඉක්මනට . . . පරක්කු වුනොත් සූ . . . . වක් ෂුවර් . . අනෙක සර් ගෙනුත් බැනුම් අහන්න වෙනවා . . ."

කිසි දෙයක් සිදු නොවූ හැඟීම ඇති කරන්න සාරංග සුපුරුදු පරිදි කලබලකාරී ලෙස දඟලනවා . .

වතුර ටිකකින් උගුර තෙමාගෙන මූනටත් වතුර ටිකක් ඉහගත් මා මිතුරන් කැල සමඟ ශාලාවට ඇතුලු වුනේ හොරකමක් කල එකෙක් මෙන් හොර බැල්මකින් වට පිට බලමින් . . . කිසිවෙකුගේ දෙනෙතකට මගේ දෙනෙත නොගැටීමට වඩාත් පරීක්ශාකාරී වෙමින් . . .

නමුත් එසේ විෂේශයෙන් පරීක්ශාකාරී වීමීදී සිදුනොවිය යුතු ලෙසම මගේ ඇස් නතර වුනේ මීට මොහොතකට පෙර එලියේ වතුර කරාමය අසලදී කාන්තිමත් දෙනෙතින් මා දෙස බලා සිට, මගේ අසංවර විහිලුවකින් සිත පෑරී මට බැන වැදුනු . . . නමුදු මේ දැං "අනේ මට සමාවෙන්න" වැනි යමක් දෙනෙතේ සටහන් කරගෙන ඇතුවාක් මෙන් මා දෙස බලා සිටින ඇගේ දෙනෙත අසලමයි . .

මින් පසු කිසිම අවස්ථාවක ඈ දෙස නොබලමියි මගේ හිතට ම ශපථ කරගෙන සිටි මට ඇගේ දෙනෙතේ ඇති ආකර්ශනීය බැල්ම දුටු වනම මගේ ශපථ කිරීම් කොහේ අතුරුදන්වී ගියාදැයි සිතා ගත නොහැකි වූවා . . . .

මගේ මිතුරන් කැල අසල පේලියක සිටින තවත් මිතුරන් පිරිසක් සමඟ කථාවක් . . . මා හිටි ලෙසටම නෙත් නොපියා ඇගේ දෙනෙත සමඟ කතාවක් . . එසේත් නැතහොත් ඒ දෙනෙතේ පනිවිඩය කියැවීමට දරන උත්සාහයක් . . .

මීට මොහොතකට පෙර සිහිවූ අත්තම්මා කියා දුන් කතන්දරයේ මෙන්, මායාකාරියගේ සාපයෙන් ඇයත් . . . මාත් පමනක් ජීවී වස්තූන් ලෙස ඉතිරි කර අනෙක් සියලුම දේවල් . . දාහකට වැඩි ප්‍රමානයක් වූ සියලුම සිසු සිසුවියන් . . බංකු-මේස . . . විදුලි පංකා . . මෙකී නොකී සියලුම දේවල් ගල්වී . . ඇයත් මාත් පමනක් එකෙනෙකා හඳුනාගැනීමේ වෑයමකින් එකිනෙකා දෙස නොත් නොපියා බලා සිටිනවා වැනිව මොහොතකට දැනෙන්න පටන් ගත්තා . . .

වජිරා චිත්‍රපටයට නන්දා මාලනී මහත්මිය ගැයූ ගීතයක් වහා එක්වරම මගේ හදවත ආක්‍රමනය කලාක් මෙන් දැනුනා . . .

"දෙනෝ දාහක් නුවන් අතරේ . . .

"දෙනෝ දාහක් නුවන් අතරේ
කවුරුදෝ මා . . . .
තනිකලේ . . . .
තනිකලේ . . . .
පාසැල් බිමේ . . . "

වජිරාට සිතෙන්නට ඇත්තේත් මට මේ දැන් සිතෙන දේම වන්න ට ඇති . . . ඉමාශාට සිතෙන්නේත් වජිරාට සිතුනු දේම වන්නට ඇති . . . කියා මා ඒ මගේ සිත ආක්‍රමනය කල හැගීම ඒ පැත්තට මේ පැත්තට පෙරල පෙරලා බලන්නට වූවා . . . මෙය පාසැලක් නොවුනත් . . පාසැලට තරම්ම ගෞරවයක් . . ආදරයක් ඇති අධ්‍යාපන ආයතනයක් . . . එනයින් ඒ ගීතයේ පවසන සිදුවීමත් මේ දැන් අප අතර සිදු වෙමින් පවතින සිදුවීමත් දෙකක් නොව එකක් සේ හැඟීමක් දැනී ඒ හැඟීමේ වෙලී සිටින්න ලෝභ කමක් වැනි හැඟීමකුත් දැනෙන්නට වුනා

මා ආපසු ගොස් බංකුවේ වාඩිවී ඇතැයි අනුමාන කල තිලංශ ඔහුගේ කතාබහ නිමාවී ආපසු යන්නට පිටත් වීමේදී මා තවදුරටත් එතැන යැයි නොදන්නා කමින් එක් වරම මගේ ඇගේ හැපීමෙන් මා එතෙක් වේලා සිටි බන්ධනයෙන් . . . එසේත් නොමැති නම් නිද්‍රාමායාවක් බඳු තත්වයෙන් එක්වරම මිදෙන්නට වුනා . . . .

"සොරි නිනෝ. . මම හිතුවේ උඹ අපේ පේලියට ගිහින් ඉඳ ගන්න ඇති කියලා . . . "

"ම් ම් ම් ම් ම් . . . "

මගේ කෙඳිරිල්ලක් බඳු පිලිතුරෙන් විපක්ශිත වූ මිතුරන් තිදෙනාගේම නෙත් හා හිස් වහා මා වෙතත් . . . මගේ නෙත් නතර වී ඇති ඉස්සව්ව දෙසටත් එහා මෙහා දෙටුන් විටක් ගමන් කලේ මේස පංකාවක් ඒ පැත්තටත් මේ පැත්තටත් කැරකෙනවාක් මෙන් නමුත් ලතාවකට නොව වේගයෙන් . . . .

"උඹට පිස්සුද . . . මේ දැන් ටිකකට කලින් චා වෙන්න බැනුම් අහගෙන . . . මෙතන ඇවිල්ලා අනිමිස ලෝචනේ . . "

ඈ මට කතා කල ආකාරය නොහොඹිනා යැයි උපකල්පනක කරගෙන ඒ වෙනුවෙන් මාත් සමඟ හවුලේ ඈ සමඟ තරහ වීමට කැමති මගේ මිතුරන් පිරිසෙන් කටකාර ම එකා වූ තිලංශ පවසනවා . .

"යමං යමං . . . අනිමිස ලෝචනේ හරි සත් සතිය හරි පස්සේ වෙලාවක රඟ දක්වමු . . . දැං යමං ඉඳ ගන්න අන්න සර් එනවා පේනවා හෝල් එකට . . . "

සාරංග අපි හැමෝවම තල්ලු කරද්දී අපි කෝච්චියක පෙට්ටි මෙන් එකා පසු පස එකා වශයෙන් අපේ බංකුවට ගොස් ඉඳ ගත්තා . . .

පංතියට එන ගමන් මින් මතු ඈ දිහා නොබලමි . . . ඈ සමඟ කතා නොකරමි කියා සිතාගෙන ආවත් අහම්බයෙන් මගේ නෙත් ඇගේ නෙත් සමඟ ගැටීමත් . . . එසේ ගැටීමේදී ඒ නෙත් වල දුටු සමාව ඉල්ලන පනිවිඩයත් දුටු මට අපි ඉඳගෙන සිටි බංකුවට ආ පසුත් ඒ සිදුවීම ගැනත් ඈ ගැනත් නොසිතා සිටීම අපහසු කාරයක් බව වැටහුනා . . . කෙසේ නමුත් ඒ මොහොතේ සිට කෙසේවත් මගේ සිත පාඩම් වල නොරැඳී ඒ සිදුවීම පිලිබඳ නැවත විශ්ලේශනයක යොමුවුනා . . . .

මා විසින් සිදු කලේ බරපතල පාපයක්ද . . . එතරම් විශාල ආයුධ වලින් පහර දීමට තරම් මගේ මුවින් පිටවූ වචන අශෝභනයිද . . . ? මා තුල ඇති කලේ නොසන්සුන් බවක් . . .

එසේ වරෙක මා මගේම සිත විසින් චෝදිතයෙකු බවටද . . වරෙක පැමිනිලි කරුවෙකු ලෙසටද පත්කර මගේ සිතෙන්ම තීන්දු අසා සිටීමෙදී මට ලැබුනේ පරස්පර විරෝධී තීරන . . .

නැත කෙසේවත් නැත . . .මා කිසි වරදක් කර නැත . . මා විසින් කලේ. . මගේ මුවින් පිටාර ගැලුවේ මගේ වයසේ පසුවන ඕනෑම යෞවනයෙකු (විශේෂයෙන් මවගේ පරම්පරාවේ ජාන වලින් ලැබුනු අහිතකර ත්‍යාගයකැයි විටෙක සිතෙන මුඛරිකම හෝ වාචාල කම නොඅඩුව පිහිටි යෞවනයෙකු ) අසංවර ලෙස නොවුනත් අන් යුවතියන්ගේ සායවල් වල දිගට වඩා එක අඟලක් හෝ අඩුවෙන් ඇති සායක් ඇඳි ඕනෑම යුවතියකට . . මානවිකාවකට, ඒ යෞවනයාගේ සිතේ ඇගේ නිරාවරන වටොර දැකීමෙන් හටගන්නා කුතුහලය, ආශාව පිරුනු සිතේ පිටාර ගැලීම ගලා යා හැකි ආකාරයටය

ඉදින් වරදකරු මාද . . . ?

මවගේ පරම්පරාවේ ජාන වලින් ලද ත්‍යාගය වූ වාචාල කමද . . ?

නිරතුරුව, සමවයසේ මානවිකාවන්ගේ පිරුනු හෝ පිරීගෙන එන ලය මඩලක් එසේත් නැතිනම් නිරාවරනය වූ වටොරක් දැකීමේ කුතුහලයකින් පෙලෙන යෞවන වියද . . .?

මට කිසිවකට එක් වරම "මොහු තමයි වැරදිකාරයා . . " කියා ඇඟිල්ල දිගු කරන්න නොහැකි ලෙසක් දැනුනා . . .

මවගේ පරම්පරාවේ ජාන ගැන සිහි කරද්දී . . . මවත් පියාත් අතර කිසියම් බහින්බස් වීමක් ඇතිවී . . . පියා පැවසූ දේවල් වලට ඔහුගේ තර්කය හෝ අදහස සම්පූර්නයෙන් පරාද කල හැකි යමක් මව පැවසූ අවස්ථා වල පියා ඔහුගේ පරජය භාර ගැනීමට ප්‍රථම පවසන යමක් වහා මගේ මතකයට නැගුනා . . . .

"අහ් ඔයා ඉතිං මැගිලින් අක්කගේ දුවනේ . . . අම්මට වගේ දුවලටත් බැරුවායැ ඇට නැති දිව ඕන අතකට හරෝලා කට ගහල දිනන්න ඕන වාදෙකින් . . "

ආත්තම්මාගේ විශේෂ හොඳ ගුනයක් ලෙස මා දකින කියන්න තියෙන දේ පොල්ලෙන් ගැහුවා වගේ මූනටම කෙලින් කියන ගතියට පියගේ ඇති අකමැත්ත ඔහු ප්‍රකාශ කරන්නේ එසේයි . . .

තවදුරටත් කල්පනා කිරීමේදී ඇයට එසේ මට බැන වැදීමට සාධාරන හේතු තිබුනා නොවෙදැයි කියා මට සිතෙන්නට වුනා . . . ඈ සිටියේ ඇගේ යෙහෙලියන් රැලෙන් වෙන්ව තනිවම . . .ඈ ඊටත් වඩා කොට සායවල් මෑට ප්‍රථම ඕනෑ තරම් පංතියට ඇඳගෙන විත් තිබුනි . . . ඇගේ සායේ දිග හෝ උස මීට පෙර මට ප්‍රශ්නයක් නොවූයේ මන්ද කියා ඈට නොසිතුනාද . . ? එය මීට පෙර මගේ නෙතට හසුවී එයට විරෝධයක් ඇත්නම් එය විහිලුවක් ලෙස මගේ මුවින් මීට පෙර එලියට නාවේ මන්දැයි කියා ඈට නොසිතුනාද . .

මෙසේ සිතද්දී ඈ එසේ බැන වැදීම ඇගේ පැත්තෙන් සිදුවිය යුතුම දෙයක් ලෙස මට සිතෙන්නට වුනා . . .

කෙසේ නමුත් පසුකාලයක මේ සිදුවීම ගැන සිහිකරද්දී සහ අපි කතා බහ කරද්දී එසේ ඈ මට බැන නොවැදුනානම් අප අතර කිසි කලෙක ආදරයක් ඇති නොවන්නට ඉඩ තිබූ බව අපිට පසක් වුනා . . . එලෙස බැන වැදීම හැර ඇගේ වයසේ වෙන මානවිකාවන් කරන පරිදි ඔරවාගෙන, රවාගෙන, ගස්සාගෙන පිටවී ගියේ නම් අප අතර ඉන් එහාට කිසිදු හිතවත්කමක් ගොඩනැගෙන්නට කොහොත්ම ඉඩක් නොතිබුනු බව අප තේරුම් ගත්තේ බොහෝ කාලයකට පසුවයි

ඒ සිදුවීමෙන් පසු එතෙක් වරා මලක් මෙන් නිදහසේ සතුටින් පංතියේ පා වෙවී උන් මා අනවශ්‍ය බරක් හිස දරා ගත්තෙකු ගේ මෙන් හැඟීමකුන් පෙලෙන්නට වුනා . . මෙතෙක් හැම කෙනා සමඟ ම සුහදව සිනා සී . . . යම් කිසි කවට කමක් කරමින් කල් ගතකල මට මින් පසු පංතියේදී යම් කිසිවකුගේ දෙනෙතක් මගහැර අන් අය සමග පෙර මෙන් සුහද ලෙස හැසිරිය යුතු බව මගේ සිතෙන් නිතර කරනු ලබන අනතුරු ඇඟවීම මහා හිසරදයක් ලෙස මට දැනෙන්නට වුනා . .

එලෙසින්ම අනෙත් අතට මා එසේ මග හරින්න හදන දෑසම මා පසුපස හඹා එනබව ත් මට ඉවකින් මෙන් දැනෙන්නට වූවා . . . විශේෂයෙන් ගැහැනු ළමයෙකු සමඟ කතා කරන අවස්ථාවකදී මගේ පසුපස ලුහුබඳින දෙනෙතෙන් වසන් වී පැවසීමට ඇති යමක් පැවසීමට මා දරන උත්සාහය තවදුරටත් මට හිරිහැරයක්ම වූවා . . . කෙසේ නමුත් ඒ දෑස මග හරින්න ගත් උත්සාහයේදෙ සිදුවූයේ තවදුරටත් මගේ දෙනෙතත් ඒ දෙනෙතේම පැටලීම පමනයි . . .

"මචං, උඹලට නිකමට හරි හිතිල තියෙනවද ස්වර්ණතිලකාව කවුරු හරි උස්සගෙන ගියා නම් උද්දාල බමුනා කොහොම මූන හදාගෙන ඉඳීවිද කියලා . . ."

" ම් ම් ම් හු . ."

"මේ බලපන් නිනේශ්ගේ මූන . . ෂුවර් එකටම මේ වගේ වෙන්න ඕන . . "

"නෑ නෑ බං ඊට වැඩිය හොඳ උදාහරනයක් තියෙනවා . . . "

"ඒ මොකද්ද . . "

"අර මචං ගගෙන් එගොඩ කරන්නම් කියලා දික්තලාව අරගෙන දික්පිටියා පැනලා ගිය වෙලාවේ . . . කාලගෝලයා ඉන්න ඇත්තේ මේ විදිහට . . ."

"අයියෝ දහයට අරගෙන දහදාහට දීලා වගෙනේ . . ."

"අඩෝ එහෙනම් සතුටු වෙන්න එපයි . . ."

"අහ් නෑ දහදාහට අරගෙන දහයට දීලා වගේ . .. "

"අනිච්චේ දුක්ඛේ සංසාරේ කිව්වලු . . . "

මගේ වෙනස් හැසිරීම මගේ මිතුරන්ගේ සමච්චලය නිතර ලක්වුනා . . . ඒ අතරම ඉමාශා ව මගේ මිතුරන් ඔවුන්ගේ පොදු තරහකාරියක් ලෙස සලකන්නට ත් පටන් ගනු ලැබුවා . . . .

මේ දිනවලදීම, පංතියේ පිරිමි පේලි වල ඉදිරියේ සිට තුන්වන පේලිවල සිටි මට ආසන්නයෙම අසුන්ගන්නා තිලංශත්, ගැහැනු පේලිවල ඉදිරියේ සිට තුන්වන පේලිවල අසුන්ගන්නා හිරුෂිත් අතර පෙම් සබඳකමක් ඇතිවීම දෛවයේ හාස්කමකින් සිදුවූවාක් මෙන් වූවා . .

ඉමාෂා ත් බොහෝ විට අසුන් ගත්තේ හිරුෂි සමීපයෙන් . . . ඔවුන් දෙදෙනා වෙනස් බාලිකාවන් දෙකක ඉගෙනුම ලැබුවා වුවත් කුමක් හෝ හේතුවකින් මෙන් ඔවුන් ළබැඳි මිතුරියන් වූවා . . . පංතියේ ඩෙස්ක් පේලි අතර ඇති ගමන් ගන්න හිස් තීරුවට ලඟින්ම ඉඳගැනීමට තිලංශ පුරුදු වූ සිටි අතර ඔහුගේ ලඟින්ම මම ත් ඊලඟට රුසිත් ත් සාරංගත් වශයෙන් අපේ අසුන් ගැනීමේ ගිවිසා නොගත් පුරුද්දක් තිබුනා වුවත් සමහර අවස්ථාවන් වලදී තිලංශ මට කෙලවර අසුන ලබා දුන්නා

සමහර අවස්ථාවන් වලදී පොතක් ඇතුලත දමා හිරුෂි හා තිලංශ විසින් කරනු ලබන ලිපි ගනුදෙනු ඉමාෂා විසින් මා හරහා තිලංශ ත් මා විසින් ඉමාෂා හරහා හිරුෂිට ත් වශයෙන් අතින් අතට යවනු ලබනවා . . . කෙසේ නමුත් ඒ සැම මොහොතකදීම ඇයගේ දෙනෙතේ වැඩි වේලාවක් නොරැඳෙන්න මා විසින් බොහෝ වෙහෙසක් ගනු ලබනවා . .

එසේ මා කෙලවරේ අසුන් ගත් දිනක අපි අතර විහිළු තහලු එහාට මෙහාට හුවමාරුවෙමින් තිබියදී එක් වරම ගැහැනු පේලි පැත්තෙන් නැගුනු ශබ්දයක් නිසා මා හිස හරවා බැලුවා . .

"ෂූ . . ෂූ. . ."

"අහපන් තාත්තා නයෙක් ද කියල . . . මෙයත් ෂූ ෂූ ගාන්නේ . . " ශබ්දය ඇහුනු පැත්තට හැරෙන්නත් කලින් තිලංශ මගේ කනට කර යමක් පවසනවා . .

ඉමාෂා ගේ අතේ පුංචි බබෙකුගේ පිට කවරයක් ඇති සමරු පොතක් හා මල් මල් පිටකවරයක් දැමූ ටීන් බූක් එකක් . . ඇගේ කාන්තිමත් දෑසේ අහිංසක බැල්මක් . .

ටීන් බුක් යනු පිටු අසූවේ එකසිය හැටක හෝ දෙසීයක අභ්‍යාස පොතක් එක කොටසකට පිටු දෙකක්, හතරක් හෝ පහක් වන ලෙස වෙන් කර කොටස් එසේත් නැතිනම් මාතෘකා පනහක් සීයක් හෝ ඊට වැඩි ගනනක් සඳහන් කර . . . මිතුරු මිතුරියන් ගේ ප්‍රියතම හා අප්‍රියතම දේවල් ගැන අදහස් හුවමාරු කර ගැනීමට එකල අපි භාවිතා කල අපගේ යෞවනයටම පොදුවූ විශේෂිත පොතක් . . . මෙහි දී අප බොහෝ විට ලාංකේය, බොලිවුඩ්, හොලිවුඩ් හා ලෝක සිනමාවේ හා කලාවේ අපගේ ප්‍රියතම නළුවන්, නිලියන්, චිත්‍රපටි, නාට්‍ය, පොත්, කතුවරු, ගීත, සිත සසල කල සිදුවීම්, වැඩියෙන්ම ආදරය කරන අය, ගෞරව කරන අය, පවුලේ විස්තර, අනාගත බලාපොරොත්තු ආදී වශයෙන් අප එතෙක් මෙතෙක් ජීවිතයේ අත්දැකීම් හෝ ඇසූ දුටු දේවල් අලලා මාතෘකා සකස් කර ගත් අමුතුම අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රමයක් . . . එසේ එයට යෞවනත්වයේ පොත හෙවත් ටීන් ඒජ් බුක් ලෙස අපම සකස් කර ගත් නමක්ද යොදා ගනු ලැබුවා . . සමහර අය මෙය ෆේවරිට් බුක් ලෙසත් හැඳින්වූවා ..

"ඇයි . . "

ඈ තරහකාරියක් ලෙස සැලකිය යුතුයි කියා පූර්ව නිගමනයන් තිබුනා වුවත් මගේ කටහඬේ තරහක් නොතිබූ වග මට තේරුනා . . .

"නිනේශ් . . . මේ මගේ ටීන් බුක් එකයි . . ඔටෝ ග්‍රාෆ් එකයි . . හරහා නැතුව ඔයා මේකේ ලියල දෙන්න පුලුවන්ද . . . "
එතරම් කාරුනික ඉල්ලීමක් ඉවත හෙලන්න තරම් මා දැඩි හදවත් ඇත්තෙක් නොවෙයි . . . .

"හ්හ්හ් ම් ම් ම් ම් . "

මම හෙමිහිට නමුත් ඒ දෑස් දෙස වැඩි වේලා නොබලන්නත් . . . ඇගේ ඇඟිල්ලක් වත් මගේ අතේ නොගැටෙන්නත් පරිසම් වෙමින් ඒ දෙකම ගත්තා . . .

මතු සම්බන්ධයි . . .

20 comments:

  1. ඇයි අනාගතයෙ සිද්ධවෙන දේවල් දැන්ම කියන්නෙ? ඒ ටික නොකිව්වනම් වැඩිය හොඳයි කියල හිතෙනවා.

    ReplyDelete
  2. ලස්සන කතාවක්. නමුත් කතා නායකයා කෙරෙහි ඊර්‍ෂ්‍යාවක් ඇති වෙන නිසා රසවිඳින්න බාධාවක් වෙනවාද මන්දා... :O

    ReplyDelete
  3. ඔයා මේක බ්‍රහස්පතින්දාට විතරක් post කරන්න ගත්ත තීරණය නම් පාඨකයන් හැටියට අපට හරිම අසාධාරණයි....කමක් නෑ ඒත්....වෙන වැඩත් ඇතිනෙ....

    ReplyDelete
  4. අගෙයි.......සිද්ධි අපූරුවට මැවිලා පේනවා........හෙමිහිට පොතකටම යමු නේද?

    ReplyDelete
  5. නියමයි... මටනම් හිතෙන්නේ “දෙනෝදාහක්” සිංදුව අහන්නේ නැතුව ඒ හැගීම අපිට දැනෙන්නේ නෑ වගේ...

    මෙතනින් බාගන්න.
    http://www.4shared.com/file/142748497/b5d59321/02_Nanda_Malini_-_Denodahak_Nuwan.html

    ReplyDelete
  6. ඊළග කොටස එන්න තව සතියක්ම යනවා නේ :-(

    ReplyDelete
  7. දුකා...,
    මම මේ කතාව කියවන තුන්වෙනි වතාව. මට තාම හිත ගන්න බෑ, නිනෝ ගැන xxxබාලිකාව මෙකී නොකී දහසක් දේගැන කුමක් කියන්නද කියලා. කතාව ගලා ගියත් පුංචිම පුංචි විරහවක ලකුණු මට මොනවායින් හෝ දැනෙනවා..! ඒ තරමට අපව ඒ ගැන හිතන්න පොළොඹවන තරමට ලස්සනට උඹ මේ කතාව ලියගෙන යනවා. ජයෙන් ජය පතනවා.

    [හැම දාම වගේ ඔන්ලයින් හිටියත් පුංචි හෝ චැටක්වත් දාන්න බැරි උනේ මම මේ දවස් වල පොඩ්ඩක් කාර්ය බහුල නිසා. ඉඩ ලැබුනු ගමන් මම ඔබව අමතන්නම්.]

    නැවතත් ඔබට ජයෙන් ජය.

    මේ ඉදිරිගමනට මගෙන් විය යුතු උදව්වක් තියෙනම් කියන්න. හැමදාම කියන්නා වගේ මගේ ශක්ති උපරිමය ඒ සඳහා යොදන්න මම සූදානම්. :)

    ReplyDelete
  8. අද තමයි මේක කියවන්න වෙලාවක් ලැබුනේ.....(ඔන්න මගේ වැඩෙත් කලා......)

    ReplyDelete
  9. @ කුමාර!
    මුල් කොටසේ තියෙන්නේ අවසනෙම නෙමෙයි වුනත් එක්තරා අවසානයක් . . . ඉතින් මැද්දෙදි ඒ කොටස නොගැලපෙනවද කියල මම ආයිත් බලන්නම්. . . ස්තූතියි . . .

    ReplyDelete
  10. @ Supun Budhajeewa!
    ඔයාගේ අර හිත ගිය මාලිගාව "හා" කිව්ව දවසට ඔය ඉරිසියාව නැති වෙයි හික් හික් . .

    ReplyDelete
  11. @ Anonymous!

    ඔව් ඔව් . . . වෙන වැඩත් තියෙනවා . . මේ බ්ලොග් වැඩේ නිසා දැං ගොඩක් වැඩ අතපහු වෙනවත් වගේ . . . ! !

    ReplyDelete
  12. @ සචී !
    බලමු බලමු සචී . . . කොයිදේ වෙන්නත් කලින් මේ කතාව කියන්න ඕන කියල මම හිතපු විදිහට ලියල ඉවර කරමු නේද . . ??? හික් හික්

    ReplyDelete
  13. @ Prabath !
    ඔව් අප්පා . . . ඒ සින්දුව නම් මගෙත් ප්‍රියතම එකක් . . . කුළරත්න ආරියවංශ මහතාගේ "30 වසරක ගී" ඇල්මබ් එක ගත්තු දවස් වල මම ඔය සින්දුව දවසට 50ස් පාරක් විතර අහන්න ඇති . . . !

    ReplyDelete
  14. @ malee_msg !
    ඔව් මලී . . . එතෙක් රැඳී සිටින්න . . . හික්ස්

    ReplyDelete
  15. @ LishWish!
    ස්තූතියි ලිශ් . . මට ලොකු ශක්තියක් ඔබ සැමගේ දිරිමත් කිරීම් . . . ! !

    ReplyDelete
  16. @ චමි.දේ.වා.!
    මට තේරුනේ නෑ මචං . . . ! ! !

    .....(ඔන්න මගේ වැඩෙත් කලා......) ????

    ReplyDelete
  17. නිනේශ් ටීන් බුක් එකෙයි, ඔටෝ ග්‍රාෆ් එකෙයි මොනව ලියයිද.....??????
    කතාව සතියට අඩුම තරමෙ කොටස් දෙකක් වත් දානව නම්..

    ReplyDelete
  18. @ පබලු !
    ඔන්න නගේ මේ පාර පස්වැනි කොටසින් ලිව්ව නිනේශ්, ඉමාෂාගේ ඔටෝ එකේ මොනාද ලිව්වේ කියලා . . ! ! ඒකත් බලන්නකෝ . .

    ReplyDelete
  19. ටින් බුක් ,ඔටෝ එකට කවියක්, හමොටෝම සුන්දර මතකයන් ෆේස් බුක් නැති 80 දශකයේ.

    ReplyDelete
    Replies
    1. ඔව් නේහ් ඒ කාලේ අපේ සෝෂල් මීඩියා ඕවා තමා

      Delete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails