Wednesday, July 29, 2009

කර්නල්ගේ බිරින්ඳෑවරු


බත් එපා පොත් වර්ගීකරනයට අද මම හිතුවා මගේ ප්‍රියතම පොතක් ගැන ලියන්න ඕන කියලා . . .

මේ පොත මම දැනට 12 සැරයක් හෝ ඊට වැඩි වැඩි පාරක් කියවලා තියෙනවා . . . නමුත් ආයෙත් හෙට මේ පොත ගත්තොත් බලන්න කියලා අලුතෙන්ම මේ පොත බලනවා වගේ ආයෙ පාරක් රසවිඳින්න පුලුවන් . . . . මම නමය වසරෙ . . දහය වසරෙ වගේ පංති වල ඉන්නකොට හිතා හිටියේ පරිවර්තන පොත් විතරයි මෙහෙම ආයෙ ආයෙ කියවන්න තරම් හිතට දැනෙන විදිහට ලියල තියෙන්නෙ කියලා . ..

නමුත් . . . පසුකාලෙක කරුණාසේන ජයලත් මහතාගේ . . . සෝමා ජයකොඩි මහත්මියගේ . . ජයසේන ජයකොඩි මහතාගේ . . සුනේත්‍රා රාජකරුණායක මහත්මියගේ එහෙම පොත් බලනන් ගත්තට පසුව තමයි මට තේරුනේ පරිවර්තන විතරක් නෙමෙයි ස්වතන්ත්‍ර පොතුත් ඒ වගේ ම ආයෙ ආයෙ බලල රසවිඳින්න පුලුවන් තරමට ලියලා තියෙනවා කියලා . . (පසුකාලෙක කිව්වට මට මතක හැටියට මම මුලින්ම බැලුවේ ගොලු හදවත පොත )

මම විස්තර කරන්න යන පොතේ නම "කර්නල්ගේ බිරින්ඳෑවරු" . . . මේ පොත ලියල තියෙන්නෙ සෝමා ජයකොඩි මහත්මිය . . .

යුධ හමුදාව ඇතුලේ තිබෙන ඉහලට යාමට . . . තනතුරු ලබාගැනීමට . . කරනු ලබන කැපිලි කෙටිලි ගැනත් . . . ස්වාමියා බිරිඳ අතර අදහස් හුවමාරුවක් නැති කමිනුත් . . . එකිනෙකා කෙරෙහි විශ්වාසයක් නැති කමිනුත් . . පවුල් කැඩී විසිරෙන හැටිත් . . . ඉන් දරුවන් දුකට පත්වෙන හැටිත් . . . සහෝදර සහෝදරින් . . නෑදෑයින් . . පවුලේ දේපල වල උරුමයට එකිනෙකා කා කොටා ගන්න අයුරුත් . . . දෙමාපියන්ගේ ප්‍රශ්න දිහා දරුවනුත් සානුකම්පිත ලෙස සිතා බලන්න ඕන කියන දෙයත් . . . මාතෘත්වයට මිනිසුන් කොතරම් ගරු කරනාවාද යන්නත් . . . අරක්කු බෝතලේක සංතෝශමකට තමාගේ බිරිඳ වෙන කෙනෙකුට පාවා දිය හැකි තරම් දීන මිනිසුන් වුවද මේ මිහිපිට සිටින බවත් . . . ජීවිතයේ වටිනා කියන හැමදෙම නැතිවූවාට පසුව වුවත් . . . ජීවිතේ ආයිත් අලුතින් පටන් අරගෙන . . තමාට වැඩක් නැතිනම් . . . කාට හෝ වැඩක් ඇති ලෙස . . . ලස්සන . . . වැඩදයි ජීවිතයක් ලෙස ගතකල හැකියි . . යනාදී ලෙස . . .ජීවිතයට . . . සමාජයට . . .විශාල මෙහෙවරක් කලහැකි . . . පනිවිඩ රාශියකින් සපිරි නවකතාවක් කියන්න පුලුවන් මේ නවකතාව . . ..

මම කතාවේ සාරංශය හෝ කිව්වොත් ඔයාලට බලන්න හියෙන උනන්දුව අඩුවෙයි කියලා හිතලා කතාවේ සාරංශය නැතුව මගේ හිත සසල කල සමහරක් තැන් දෙක තුනක් විතරක් මම ඔයාලට කියන්නම් . . .

තරුණවියේදීම අවාසනාවන්ත ලෙස බිරිද මියගිය . . . යුධහමුදාවේ කැපිලි කෙටිලි වලින් කලකිරී හමුදා ජීවිතයටත් ආයිබෝං කියා කලින්ම විශ්‍රාම ගත් . . . කර්නල් චූලාභය තෙන්නකෝන්ට . . . ජීවිතයේ මහා පාලුවක් . . . තනිකමක් . . .දැනී . . . ඒ පාලුව තනිකම මකා ගන්න දෙවෙනි විවාහයක් ගැන හිතුවොත් කියා නිකමට හිතූ මොහොතේ විදුලියක් කෙටුවා වැනිව හිතට ආවේ . . . නිවාඩු කාලයට දමයන්ති අක්කගේ අනාථ නිවාසයට එන . . . කොටි ත්‍රස්තවාදීන් තම භාගයක් දෙමළ භාගයක් සිංහල සැමියාව පැහැර ගත් නිසාත් . . . කුඩා කලම කුඹුරේදීම තම දෙමාපියන් කොටි ත්‍රස්තවාදීන් විසින් මරා දැමූ නිසාත් අනාථ භාවයට පත්වුනු . . . තරුණ ගුරුවරිය ධරනී ගැනයි . . . . !

ඔවුන් දෙදෙනාගේම හද පතුලටම ඔඩු දිවූ අතීතය නැමැති මුල් ගලවා දමා ඔවුන්ගේ ජීවිත සුන්දර කිරීමේ අරමුනින් . . . පවුලේ බූදලේටත් . . . පවුලේ පාරම්පරික රන් ආභරනවලටත් . . . කෑදර . . . එක් යක්ශාවේස වූ නීලමනී කෙනෙකු නොව . . . නීලමනීලා දාහක් ආවත් . . . තම ඤාති සොහොයුරා පමනක් නොව . . . පලමු විවාහය බිඳවැටී . . . දුක් විඳින . . . දෙවෙනි විවාහයක් ගැන හිතන හැම දෙනාම වෙනුවෙන් . . . ඕනෑම පරාස්සයෙක් සමඟ වුව ගැටිය හැකියි යන ආත්ම විශ්වාසය ඇති . . . අනුන්ගේ දුක් කරදර වලට පිහිට වෙන්න දෝත දිගුකරගෙන මෙලොවට ආවායි සිතන . . . මහඹබාගේ නියෝජිත වරිය හෙවත් . . . සොඳුරු කුමන්ත්‍රන කාරිය . . දමයන්ති අක්කට . . . ඔවුන් දෙදෙනා එක කිරීමට හැකි වේද . . . ?

තමන්ට පෞරුශයක් ඇති සැමියෙක් නොලත් කමින් . . . නොසන්සිඳෙන ඉරිසියාවෙන් . . චූලාභය ගැන බොරු කේලාම් කියා සරෝජිනීගේ සිත ඔහුකෙරෙන් බිඳුවා . . . තම එකම නිවුන් සොයුරියට අකල් මරනයක් හිමිකර දුන් . . . කුරිරු නීලමණී . . . හමුදාවේ උසස් නිධාරියෙකු වූ තම මස්සිනා ලවා . . . උතුරේ ක්‍රියාන්විතයේ රාජකාරී කල . . . චූලාභයගේ එකමු පුතු . . . කැප්ටන් මනුජය තෙන්නකෝන් . . . කොළඹට ගෙන්වාගෙන . . . පියාගේ දෙවෙනි විවාහය පිලිබඳ අදහසට එරෙහිව සටන් කරවන්න කරන කුමන්ත්‍රනයට මනුජය අසුවේද . . . ? පියාගේ දෙවෙනි විවාහය පිලිබඳ අදහසට ඔහු කෙසේ ප්‍රතිචාර දක්වයිද . . .?

උප ඇමතිනියගේ නොසන්ඩාල පුත්‍රයා විසින් දූෂනය කල . . . එම හේතුව නිසාම දමයන්ති මැඩම්ගේ අනාථ නිවාසයට පැමිනි . . . රූමත් . . . විජයකාන්තිගේත් . . . ෆුට්බෝල් ක්‍රීඩාවට ගොස් කකුල කඩාගෙන නොව . . නොව රට වෙනුවෙන් සටනට ගොස් බට්ටෙක් පෑගීමෙන් කකුලක් අහිමි වූ . . . එනිසාම තමාව අතහැර වෙන මිනිසෙක් සමඟ පැනගිය පෙම්වතියට සාප කරමින් නොසිට . . . විජයකාන්තිගේ කන්‍යාභාවයත් . . අනාථකමත් . . . පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් නොසලකා . . . ඈව විවාහ කරගැනීමට සැරසෙන කෝප්‍රල් සාලින්දගේත් . . . විවාහ උත්සවය . . . චූලාභයටත් . . ධරනීටත් . . . ඔවුන්ගේ සිත් එකිනෙකා කෙරෙහි විමසිලිමත් වන්නට ඉඩ සලසාදෙන තෝතැන්නක් වීද . . . හිතේ උපන් සෙනෙහස ලත් තැනම ලොප් කල . . . සාදයක් වීද . . .?

මේ හැම දේටම ඔබට පිළිතුරු අවශ්‍යනම් . . . කර්නල්ගේ බිරින්ඳෑවරු ඔබට බලන්නම වෙනවා . . .

Monday, July 27, 2009

කාලයේ වැලිතලාව පහුරුගා . . .!


බලන කට්ටිය මට බනිනවද දන්නෙ නැහැ මම වැඩිපුරම ලියන්නේ දුක හිතෙන දේවල්මයි කියලා . . . බ්ලොග් එකෙ නමත් දුකා නිසා එහෙම හිතෙනවත් වෙන්න ඇති . . .

මම ඇත්තෙන්ම හරිම සතුටින් කාලය ගතකරන කෙනෙක් . . . මාව ගොඩක් ලඟින් ඇසුරු කරන අය හෙවත් මගේ හොඳම යහලු යෙහෙලියන් හැමෝම දන්නවා ඒ බව . . . ඒ අය අහම්බෙන් හරි දැක්කොත් මම දුකෙන් ඇස්දෙකේ කඳුලු පුරෝගෙන ඉන්නවා . . . ඒ අය දන්නවා ඒ මම එහෙම ඉන්නේ . . එක්කෝ . . දුක හිතන නවකතාවක් බලල . . . නැතිනම් දුක හිතෙන චිත්‍රපටියක් බලල . . නැතිනම් දුක්ගීතයක් අහල. . . එහෙමත් නැතිනම් කාට හෝ සිදුවුනු දුක හිතෙන යමක් අහන්න ලැබිලා වත් කියලා . . .

හැබැයි මට මොනා උනත් මට එහෙමට දුකක් දැනෙන්නේ නෑ . . . (ඇත්තමයි)

මට මතකයි දවසක් අපේ චමරියට යාලුවෙකුගේ යාලුවෙක් ඇවිත් . . ඌට වැරදිලා මගේ කාමරේ දොර ඇරගෙන ඇතුලට ආවා . . මම ඒ වෙලාවේ "සෝමා ජයකොඩි" මහත්මිය ලියපු "මධාරා" නවකතාව කඳුලු පෙරපෙර බල බල හිටියේ . . . මටත් ටිකක් ලැජ්ජත් හිතුනා. . .

ඌ “සමාවෙන්න මචං” කියල පිටවෙලා ගියා . . .

ගිහින් ඌ ඇහුවලු අනිත් අයගෙන් “මචං . . අරූට මොකක් හරි ගෙදර ප්‍රශ්නයක්ද . . . ?? කාට හරි අසනීපයක් වෙලා මූට ගෙදර යන්න නිවාඩු ගන්න බෑ වගේ සීන් එකක්ද . . ?” කියලා . . .

මගේ මිතුරෝ ඇහුවලු . . . "උගේ අතේ පොතක් තිබුනද . . ?" කියලා . . .

ඌ කිව්වලු . . "ඔව් මම දැක්කා පොතක් තියෙනවා . . " කියලා . . .

මගේ මිතුරෝ කිව්වලු . . . "ආ එහෙනම් ඕක ගනන් ගත යුතු දෙයක් නෙමෙයි . . . " කියලා . . .

ඒ කොටස ඇත්තෙන්ම අතුරු කතාවක් . . . දැන් අපි නියම කතාව ගැන හිතුවොත් . . .

ඔන්න ඉතිං මම අද හිතුවා මගේ ප්‍රියතම ගායිකාව වූ "නන්දා මාලනී ගෝකුළ" මහහ්මිය ගැයූ මගේ හද සසල කල ගීත ටිකක් ලියා තබන්න කියලා . . . ඇත්තෙන්ම මේ ගීත දැන් රේඩියෝ එකේ වත් ඇහෙනවද කියල සැකයි . . . !

මේ බ්ලොග් පෝස්ට් එක ඔයාල බැලුවොත් . . මම කියනවාට වත් නිකමට අහල බලන්න මේ ගීත කොතරම් ළයාන්විතයිද . . කොතරම් හැඟීම් බරයිද කියලා . . .

මියුරුගී සයිට් එකෙන් මේවා අහන්න පුලුවන් කැමති කෙනෙකුට . . .

මම කලින් අක්කල ගැන ලියපු ලිපියේ සඳහන් කරපු මගේ මිතුරාත් (කීර විකුනපු අක්කගේ මල්ලී) අපේ හතරදෙනාගේ කල්ලියේ අනෙක් අයත් තව ගෙවල් පැත්තේ මිතුරනුත් . . . අපි කට්ටිය කාලෙකට පසුව මුනගැසෙන හැම විටම (මම දැන් පදිංචිය ඒ පැත්තට වඩා කි.මී. 20කට වැඩිය දුරක ) පුලුවන් හැකි උපරිමයෙන් පුංචි හෝ මධුසාදයක් පවත්වනවා . . .

එහිදී මගේ මිතුරා කරන විශේෂ ඉල්ලීමක් තමයි . . . "අනේ දුකා කාලයේ වැලිතලාව පහුරුගා සිංදුව කියපන් . . " කියන එක . . .

"ඒක ඇහෙන කොට මට මතක් වෙන්නේ අපි ගතකරපු . . . ජීවිතයේ ආයි කවදාවත් නොලබෙන . . . සිහිනෙන් දිවගෑ සුවඳක් වගේ දැනෙන . . . අපේ සුන්දරම සුන්දර අතීතය" කියලා ඔහු පවසන්නේ ඇස් දෙකත් වසා ගෙන හිතින් ආපහු අතීතෙට ගිහින් වගේ . . . !

කාලයේ වැලිතලාව පහුරුගා . . .

කාලයේ වැලිතලාව පහුරුගා . . .
නියඟ ගෙවී ලේ ගලනා වෙලාවේ . . .
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම් . . .
ඒ සෙනෙහස යලි ඉල්ලා හඬන්නම් . . .

වියැලුනු හෝපලු වනයේ . .
සුලඟේ යන පරඬැල් මැද . .
අතීතයක ගුන සුවඳක් විඳින්නම් . .
ඒ සුවඳම හමුවනතුරු සිටින්නම් . . .

කාලයේ වැලිතලාව . .

ගිනිදැල්වෙන මරු කතරේ . .
පුපුරු ගසන වැලිකැට මත . .
ළතෙත් බවක සිහිලැස සිහි කරන්නම් . .
ඒ සිහිලම පතමින් මඟ බලනම් . .

කාලයේ වැලිතලාව . .


සුන්දර ප්‍රේමනීය අතීතයක විඳි සිනා කඳුලු සිහිකරන මට නිතැතිම සිහියට එන්නේ මේ ගීය . . .

වැස්සකට ඉඩ ඇතත් . .

වැස්සකට ඉඩ ඇතත් . . අහස්කුස දස අතම . .
හිරුට එපමන කුමට . . පුන්චිපෙදෙසක් ඇතිය . .
සිනාසී සිනාසී දෙතොල් ඉරි තැලෙද්දී . .
හඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට . . .

පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල . .
බිඳීගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය. . .
ඔබට මා . . මටද ඔබ හමුවුනෝතින් . .
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අපි දෙදෙන . . .

සයුර ගොඩ එන තුරා කඳු මුඳුන් ඇත උසට . .
ගලන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද . . .
ඔබට මා . . මටද ඔබ හමුවුනෝතින් . .
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අපි දෙදෙන . . .

ඔබට මා . . මටද ඔබ හමුවුනෝතින් . .
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අපි දෙදෙන . . .


මම කලින් ලියූ "ගැහැනු ළමයිනේ . . කොහෙද බලා ඉන්නේ . . ." ලිපියේ සඳහන් චූටි නංගි ගැන හිතන හැම විටෙකම . . ඇගේ කැදල්ල කැඩී ගියොත් ඇයට පිහිට වියහැකි අයෙක් මේ ලෝකයේ සිටීදැයි සිතෙන විටෙක මට සිහිවෙන්නේ මේ ගීතය . . .
(ඇගේ කැදැල්ල විසිරී නොයා ඔවුන්ට සතුටින් සිටීමට ඉඩ සැලැසීමට මා මට හැකි ඕනෑම කිරීමට මා ඉටාගෙන සිටින්නේ . . . )

සුළං කපොල්ලේ . .

සුළං කපොල්ලේ . .
තැනූ කැදැල්ලේ . .
කෑලි කැඩී බිඳී වැටේ
නිල් කඳු රැල්ලේ . . //

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී . . .
දැන් ඔබ ලඟ සිටී රුවක් විලස නොසෙල්වී . . .
යොදුන් ගමන් ඔබමැ සොයා ආ සියුමැල්ලී . . .
පිලිගනු ඈ කොහි යන්ටද නැවත ඉගිල්ලී . . .

සුළං කපොල්ලේ . .

ඇයට මවක් පියෙක් නොමැත සිතිජ වළල්ලේ . .
කඳුල පමනි ඇයට උරුම දවස මුලුල්ලේ . .
ඔබ තනිකඩ කුරුලු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ළැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ . .

සුළං කපොල්ලේ . .
තැනූ කැදැල්ලේ . .
කෑලි කැඩී බිඳී වැටේ
නිල් කඳු රැල්ලේ . . //

මම කලින් අක්කල ගැන ලියපු ලිපියේ සඳහන් කරපු ලොකු අක්කාට කියා බත්කවා ගන්නා මිතුරා තමයි මා දන්නා අයගෙන් සාර්ථකම විවාහ දිවිය ගත කරන්නේ . . . ඔවුන්ගේ අන්‍යෝන්ය අවබෝදය දකින මට සිහිවෙන්නේ මේ ගීතයයි . . .

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන . .

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන . .
අනන්ත බාධක දුක් පීඩා විඳ . .
භවෙන් භවය යන මං සළකුනු දැක . .
ඔබව සොයා ආවා . . ඔබව සොයා ආවා . . .

සත් සමුදුරු තරනය කර ආවා . .
සත්කුලු පව් අතරින් දිව ආවා . . //
තරු එලියෙන් පියවර මැන ආවා . .
ඔබව සොයා ආවා . . ඔබව සොයා ආවා . . .

කප් සුවහස් කල් . . .

නොනිමෙන ගමනක ආශා පොදි බැඳ . .
මිරිඟුව පසුපස දිව යන ඉකිබිඳ . . //
දිවි දෙන වැයුමට ඔබ පසෙකින් හිඳ . . .
ඔබව සොයා ආවා . . ඔබව සොයා ආවා . . .

කප් සුවහස් කල් . . .

දහය වසරෙදි මා ගිය නුගේගොඩ නාවල පාරේ "ඇල්ෆා ඉන්ස්ටිටුට්" උපකාරක පංතියේදී මා නුගේගොඩ "අනුලා විද්‍යායයේ" යුවතියකට පෙම්කලා . . . තද විනය නීහි තිබූ එහි අපට එකෙනෙකා කෙරෙහි බලා ඉන්නවත් නිමේශයක් ලැබුනේ විවේක කාල වලදී පමනයි . .

අප දෙනෙත්වලින් කතාකරද්දී අවට සිටි දහසක් සිසු සිසුවියන් මැද අප පමනක් තනිවූවා වැනිවයි අපට දැනුනේ . . . ඒ අතීතය යලි යලිත් සිහිකරවන මේ ගීතය ඇත්තෙනම හද සසල කරනවා නොව හද පාරනවා කීවොත් නිවරදියි . . .

දෙනෝ දාහක් නුවන් අතරේ . .

දෙනෝ දාහක් නුවන් අතරේ . .
කවුරුදෝ මා . .
තනිකලේ . . තනිකලේ . .
පාසැල් බිමේ . .

සිනා කෙළිලොල් තෙපුල් රහසේ . . .
දෙඩූ තැන් අද ගොලුවෙලා . .
සොඳුරු පාසැල් පියස කඳුලින් බොඳ වෙලා . .
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා . .

නිබඳ ඔබ මා ඇවිද ගිය තැන් . .
සෙවන දුන් ගහ කොල පුරා . .
බිමට බරවුනු කැකුලු අතු ඉති මැලවිලා . .
දුකින් හදවත ගොලුවෙලා . .

දෙනෝ දාහක් නුවන් අතරේ . .
කවුරුදෝ මා . .
තනිකලේ . . තනිකලේ . .
පාසැල් බිමේ . .

Saturday, July 25, 2009

ආදරණීය අක්කලා හෙවත් හිට්ලර්ගේ අවතාර . . . !


වතුරට වඩා ලේ ඝනකමයි කියන කතාව මට අහම්බෙන් පොතක තිබිලා දකින්න හෝ කවුරුහරි කියනවා අහන්න ලැබුනා මේ ලඟදී දවසකදී . . .

ඉතිං ඒ වෙලාවෙම මම හිතා ගත්තා මේ සම්බන්ධව යමක් ලියන්න ඕන කියල . . විශේෂයෙන් අක්කලා ගැන . . . මොකද මගේ අක්කා ගැනත් . . මගේ හොඳම මිතුරන් දෙදෙනෙකුගේ අක්කලා දෙදෙනෙකු ගැනත් හැඟීම මහාමෙරක් වගේ මගේ හිතේ බරට රැඳිලා තියෙනවා . .

පුංචිකාලෙ නැතිනම් පාසැල් යනකාලේ නම් අක්කල ගැන හිතුවොත් . .

අක්කා කියන්නේ . . මහාම මහා පරාල ඇණයක් . .

ඕන එකටයි එපා එකටයි හැම එකටම හොටදාන . .

ඇඳ අස්සේ හරි නැතිනම් කාටවත් හොයාගන්න බැරිතැන් කියලා හිතාගෙන අපි හංගන කෙල්ලො එවපු ලියුම් කොහොම හරි හොයාගෙන අම්මට කේලාම් කියන . .

නැතිනම් ලියුම් වල තිබුනු කෑලි කියකිය නක්කලේ දාලා අපේ හිසට යක්ෂයා අවේශ කරන . .

පෝයදාට පේවෙලා උපාසකයෝ වගේ හවස 5-6 ට විතර බොහෝම ශ්‍රද්ධාවෙන් පන්සල් ගිහින් කාටත් හොරෙන් ගෑනු ලමය එක්ක නිදහසේ ටිකක් කතාකර කර හිටියොත් නැතිනම් වෙන ගෑනු ලමයෙකුට රබර් ඇහැ දානවා දැක්කොත් . . "මල්ලී . . . මොකීද ඒ සක්කර වට්ටම . . " "තමුසේ කාවද ඔය සක බඹරෙ වගේ කැරකි කැරකි හොයන්නේ . . " වගේ දේවල් පවුලේ හැමෝම ඉදිරියේ කියලා ප්‍රසිද්ධියේ අපව නිරුවත් කලා වගේ හැඟීමක් හිතට දනවන . . .

පාසැල් ඇරිලා ගෙදර ඇවිත් තියෙන දෙයක් කාලා හවස්වරුවම යාලුවෝ එක්ක සෙල්ලම් කරලා ගෙදර එනකොටම . . ඇවිත් පොඩ්ඩක් රෙස්ට් කරන්න කියලා හිතනකොටම . . "හෆොයි . . ගස් ගඳේ බෑ . . හඩු ගඳේ බෑ . . පලයන් පලයන් නාගෙන වරෙන්" කියා ලිඳලගට හෝ නාන කාමරයට බලෙන් ඇදගෙන ගොස් අපව බලෙන්ම නාවන . .

ඊට පස්සෙ ඉතිං ටීවී එක ටිකක් බලන්න කියල හිතුවොත් . . "හා හා ඉඳ ගත්ත ඉතිං මැජික් පෙට්ටිය ඉස්සරහා . . ඕක වහල පාඩම් කරපන් . . පාඩම් කරපන් . . " කියලා අපේ අපිරිසිදුවට ඉන්නත් . . ටීවී බලන්නත් තියෙන මානුශික නිදහස අමු අමුවේ උල්ලන්ඝනය කරන ජේලර් කෙනෙක් මේකි නම් කියා හිතෙන . .

ඇණ පැකට් එකක් කියා තමයි අපි හැමෝම නැතිනම් ගොඩක් දෙනෙක් හිතන්නේ අක්කලා ගැන . . . .

කොටින්ම කිව්වොත් අක්කා කියන්නෙ හිට්ලර්ගේ අවතාරෙ කියලයි අපි හිතන්නේ . .

අපි කීයෙන් කීදෙනාටද ඇගේ නියම ආදරේ ගැඹුර තේරුම් ගන්න පුලුවන් වෙන්නේ . . ඇත්තෙනම ඇගේ මතුපිටින් තියෙන හිට්ලර්ගේ බඳු නියෝග වලට යටින් තියෙන්නේ උතුරා යන සෙනෙහස . . අපේ අනාගතය සුන්දර කිරීමේ ඒකායන පරමාර්ථය . . අප යහපත් පුරවැසියෝ කිරීමේ සොඳුරු බලාපොරොත්තුව . .

ඛේදයකි . . අප කීදෙනෙකුටද මේ ඇගේ නියම ස්වරූපය හඳුනා ගතහැකිවූයේ . . .

මට තාම මතකයි . . යාලුවෝ එක්ක සෙල්ලම් කර කර ඉන්න මට චිත්‍රකතා පත්තරයක් පෙන්වා . . ලගට ආවොත් පිටුවක් දෙනවා කියා අපේ ගෙදරට නගින්න තියෙන පඩි පහෙන් උඩම පඩියේ වාඩිවෙලා . . ලගට ආ ගමන් ඇදලා අරගෙන පහල පඩියේ මාව ඉන්ඳවාගෙන පත්තරේ බලනකම් ඔලුවේ ඉස් හොරි තියෙනවාද . . සෙල්ලම් කරන්න ගොස් තුවාල කරගෙනද කියලා ආදරෙන් මාව පරීක්ශා කරන . . හවසට හඩු පෙරාගෙන ගෙදර ආ ගමන් ලිඳ ලගට ඇදගෙන ගොස් වතුර ඇද මාව නාවන . . "නිතරම දත් . . නියපොතු . . ඉකිලි . . කිහිලි . . පිරිසිදුව තියා ගන්න මල්ලී කවදහරි කෙල්ලෙක් යාලුකර ගන්න දවසක ඔයාට තේරෙයි . . කෙල්ලෝ මූනේ ලස්සනට වඩා හිතන්නේ ඕවා ගැන . ."කියා බලෙන් මගේ දත් මද්දා . . පරන දත් බුරුසුවකින් මගේ නියපොතු මැද මාව ඈ පිරිසිදු කලහැටි . . අදටත් මගේ නියපොතු රෝසපාටයි . . හැම උදේම නාන්න යන මොහොතෙදී මගේ හිතේ ඈ දුන් උපදෙස් රැව් පිලිරැව් දෙනාවා . . .

"අම්මා නැති මට කිරි අම්මා වී . . .
කරුවල ගෙදරට මිණි පහනක් වී . .
දැනගත් දා සිට . . පෙරුම් පිරූවේ . .
අක්කේ මං මතු . .
සක්විති වෙයි සිතලා . . දෝ . . "

වික්ටර් රත්නායක මහතාගේ මේ ගීතය ඇසෙන හැම මොහොතකම මගේ හිත රිදවනවා මගේ හොඳම මිතුරෙකු ගැන සිතලා . . ඔහු සා/පෙළ කරන්න කලින් පියා මියගිහින් . . උසස්පෙළ කරන කාලෙදි මවත් මියගිහින් . . එදින පටන් ඔහුගේ ලොකු අක්ක තමයි ඔහුට මව වී තිබෙන්නේ . . අදටත් ඔහු අතින් අනාගෙන බත් කන්න හරිම කම්මැලියි . . ඔහුගේ බිරිඳගේ ලොකුම චෝදනාව තමයි "ලොකු අක්ක තමයි මෙයාව නරක් කරල තියෙන්නේ . . " කියන එක . .

මගේ දෙවෙනියට ගම උනු පෙදෙසේදි මට මතකයි කෙට්ටු, අහිංසක, කරුනාව උතුරා යන මූනක් තිබූ තරුණ ගෑනු කෙනෙක් දෑතින්ම විශාල බෑග් දෙකක කීර (කංකුන් . . මුකුනුවැන්න, ගොටුකොල ආදී කොල වර්ග ) ගෙනවිත් දාඩිය පෙරාගෙන ගෙවල් ගානේ ගෙනගොස් විකුනනවා . . පසුව කාලෙක ඇගේ මල්ලී මගේ හොඳම මිතුරෙක් වූවා . . ඔහු දිනක් මට කීවා ඔහුගේ ලොකු අක්ක කීර විකුනලා තමයි ඔහුට විශ්ව විද්‍යායලයේ ඉගෙන ගන්න වියදම් සපයලා දුන්නේ කියලා . . මගේ හිත හෝස්ගා ඇවිලී ගියා . . හදවත වෙව්ලා ගියා ඇගේ සහෝදර ප්‍රේමයේ තරම දැනිලා . .

මා කුඩා කල ඈ මට අමතන්නේ "චූටි මහත්තයා" කියා . . පසුව ඇගේ මල්ලි මගේ මගේ මිතුරෙක් වූ පසු මා ඈ එකඟ කරවා ගත්තා මට මල්ලී කියන්න කියා . . දැනටත් ඉඳ හිට හෝ ඈව මට ඔහුගේ ගෙදරදී මුන ගැසුනාම සමුගන්න මොහොතේදී මා ඈ සිප ගන්නේ හදපිරි භක්තියෙන් . .

මගේ නංගී විවාහවී කලින්ම විදේශ ගතවුනා . . මා මුලින්ම රැකියාවක් සඳහා විදේශ ගතවන මොහොතේදී "අනේ මල්ලී . . මට ඉන්නේ ඔයාල දෙන්න විතරයි . . නංගී රට ගියාම මම හිත හදාගත්තා ඔයා මගේ ලග ඉන්නවානේ කියලා . . අනේ දැන් ඔයත් මාව දාලා යනවා . . මම තනිවෙනවා . . " කියා මගේ අක්කා හඬාවැටුනු මොහොතේදී පිටරට රැකියාව බල්ලට ගියාවේ කියා හිතා හදාගෙන ලංකාවේම රැඳී සිටින්න මට හිතුනා . .

ඇත්තෙන්ම කෙදිනක වත් විදේශගත වෙන්න කැමැත්තක් නොතිබූ මට "ඔයා මෙහේ හිටියොත් ගන්න දෙයක් නැති වෙනවා . . කීයක් හම්බුකලත් කිසිම ඉතුරුවක් නෑ . . යාලුවොත් එක්ක රවුම් ගහලා පාන්දර ගෙදර එන්නේ . ." ආදී වශයෙන් බොහෝ කරුනු ගෙනහැර දක්වා මාව ඒ සඳහා උනන්දු කලෙත් ඈමයි . . .

ගුවන්තොටුපලේ වීදුරු බාදකයෙන් එපිට . . දරුවන් වඩාගෙන සිටි මස්සිනාගේ ඇගට වාරුවී . . කඳුලුපිරි දෙනෙතින් මා දෙස බලා සිටි . . ඈ දුටු මට . . . මගේ හදවත වීදුරු බාදකයෙන් එපිට බිම වැටී . . . යන එන දහසක් මිනිසුනගේ පයට පෑගී . . වේදනා විඳිනු වගේ දැනුනා . . .

නිවාඩුවට ගෙදර ඇවිත් ආපසු යන මොහොතේදී . . පිරිසිදුකම ගැන මට ඉගැන්වූ නමුත් . . . දරුවන් රැසකගේ වැඩ කටයුතු නිසා . . ඇගේ පිරිසිදුකම ගැන සිතන්න නිමේශයක් නැතිකමින් . . දාඩිය සුවඳින් පිරුනු ඈව මා සිපගනිද්දී . . "දෙවි පිහිටයි මල්ලී . . පරිස්සමින් ගිහින් එන්න" කියා ආශීර්වාද කරද්දී . . . දෙවියන් සිටිනාවායැයි විශ්වාස නොකරන මගේ හිතට . . . ඇගේ ආශීර්වාදයේ බර දැනෙන්නේ මහාමේරුවක් ලෙසට . . . !

ඉඩකඩම් වල අයිතිය වෙනුවෙන් සහෝදර සහෝදරියන් කෙසේ මිනිමරා ගන්නවාදැයි "වතුරට වඩා ඝනකම් වූ ලේ වලින් සැදි " සහෝදරත්වයේ සුවඳ හඳුනන . . . මටනම් සිතාගන්න වත් නොහැකියි . . . !

ඔබත් මෙපමන කලක් අක්කාගේ නියම ආදරය හඳුනා නොගත් සොයුරෙක් . . සොයුරියක් වියහැකියි . .

මා පැවසූ අක්කලා ගැන නියම සත්‍යයේ නාමයෙන් . . . ඔවුන්ගේ නියම ආදරයේ ගැඹුර ගැන සිතා . .

ඔබ සිටින්නේ ඔවුන්ට දුරින් වියහැකියි . . ඔවුන්ට දුරකතන ඇමතුමක් දී හෝ ඔබ ඔවුන්ට කොතරම් ආදරේ දැයි පවසා සිටින්න . . . ඔවුන් ඔබේ ජීවිතයට කල බලපෑම් ඒකාලයේ සතුරුකම් කියා සිතුවත් . . ඉන් ඔබේ ජීවිතයට වූ යහපත කෙතරම්දෙයි පවසන්න . . .

අදම පවසන්න . . . හෙට පමා වැඩිවිය හැකියි . . . !

Wednesday, July 22, 2009

හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ . . . !


"කොළඹ සරසවියේ ශාස්‌ත්‍රපීඨ සිසු ගැටුමක්‌ "

"පහරකෑමට ලක්‌වූ මහරගම නාගරික මන්ත්‍රී මරුදකියි "

අද දිවයින පුවත්පතේ මේ ලිපි දෙක දුටු මට අපේ සමාජයේ මිනිසුන්ගේ එක් අඩුපාඩුවක් සම්බන්ධව යමක් ලියන්න සිතුනා . . .

අපේ රටේ සිංහල බෞද්ධයින් බහුතරයක් සිටියා උනත් . . .අපි හැමෝම ශ්‍රී ලාංකික කියන වර්ගීකරනයෙන් අපව හඳුන්වා ගත්තොත් . . . සාමාන්‍යයෙන් අපේ මිනිසුන් හරිම සාමකාමීයි . . කවුරුන් කෙසේ කීවත් මොන මොන ආකාරයට විග්‍රහ කලත් . . . ශ්‍රී ලාංකික අප ජාතිවාදීනම් නැති බවයි මගේ හැඟීම නම් . . (ජාතිවාදී නැති වුවත් පංතිවාදීයි ) ආගම් කීපයක් සමාජයේ තිබුනා වුවත් බහුතරයකගේ ආගම වූ බෞද්ධ දර්ශනයේ අභාශය සුලුවෙන් හෝ අන් ආගම් වලටත් කර ලද බලපෑමක් නිසා හෝ . . සමානාත්මතාවය . . (එකම පංතියට අයත් අය අතර ) . . මානුශිකත්වය . . මිත්‍රශීලී බව . . සුහදබව . . අප අතර නොඅඩුව තිබෙනවා . .

ඒවාට උදාහරන කීපයක් පහත දැක්වෙන ආකාරයෙන් සටහන් කල හැකියි . .
1. ලංකාවේ සංචාරය කල පිටරැටියන් කරන ලද ගුණවැනුම් . .
2. සුනාමි ඛේදවාචකය අවස්ථාව . .
3. අවතැන්වූ ජනතාවට හැකි අයුරින් කල පරිත්‍යාග . .
4. වෙසක්, පොසොන් දින වලට දෙනු ලබන දානමානාදිය . .
5. පුවත්පත් වල කාට හෝ සිදුවූ අනතුරක් . . කාගේ හෝ අකාල මරනයක් දුටුවිට අනේ . . අපෝයි . . කියා දුක්වීම . .
මේ ටිකක් පමනයි . .

මේ ඉහත දේවල වලට වැරදි ලෙස දායක වූ කොටසක් නැතුවාමත් නොවෙයි . . නමුත් බහුතරයක් ජනතාව මේවාට හර්ද්‍යාංගමව . . .කිසිම පැකිලීමක් නැතුවම . . . දායක වූ කොටසක් . .

කෙටියෙන් කීවොත් ශ්‍රී ලාංකික අප මිත්‍රශීලීයි . . සාමකාමීයි . . හර්ද්‍යාංගමයි . . මානුශිකයි . .

අනිවාර්‍යයෙන්ම එහි ප්‍රශංසාව . . ගෞරවය . . ලැබීමට බොහේ දෙනෙක් උචිතයි . .

එවැනි උතුම් ජාතියක් වූ ශ්‍රී ලාංකික අපට . . මානය . . ක්‍රෝධය . . පාලනය කරගත නොහැකිවීම විශාල ඛේදවාචකයක් ලෙසයි මම දකින්නේ . . . !

රටේ උගතුන් බිහිකරන මධ්‍යස්තාන . . හෙවත් . . විශ්ව විද්‍යාලවල . . උසස් අධ්‍යාපන ආයතනවල . . එහි ඉගෙනුම ලබන්නේ අනාගතයේ රටේ ජීවනාලිය හෙවත් හෙට දිනයේ රට භාර ගැනීමට සිටින තරුණ උගතුන් නම් . . ඔවුන් එකිනෙකාට වෛර කරමින් කා කොටා ගැනීම කොතරම් අශෝභනද?

රට පාලනය කරන ආයතන වන . . . පාර්ලිමේන්තුව . . . පලාත් සභා . . ප්‍රාදේශීය සභා . . වල. . ඇමතිවරුන් . . මන්ත්‍රීවරුන් . . අපට ඕනෑම දෙයක් කිරීමට බලය තිබෙනවා . . . ඕනෑම කෙනෙකුට බලපෑම් කල හැකියි කියන මානයෙන් . . අහිංසක ජනතාව පෙලීම කෙතරම් ජුගුප්සාජනකද?

පොලීසිය හා ත්‍රිවිධ හමුදාව යනු රටේ ව්‍යවස්තාව විසින් සම්මත කරනු ලබන නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනවේ . . එහි සේවය කරන සමහර මුග්දයින් . . "මම අහවල් පොලිසියේ අහවල් නිලය දරන්නා" . . . "මම හමුදාවේ අහවල් නිලය දරන්නා" ආදී වශයෙන් . . තමාගේ රැකියාවේ සහ නිල ඇඳුමේ . . තරාතිරම කරටගෙන . . සාමාන්‍ය මහජනතාවට ගෙම්බර් දැමීම . . කෙතරම් . . අශිෂ්ටද?

සංගීත ප්‍රසංගයක් යනු ගීත ඇසීමට කැමති අයට පැමින ගීත රසවිඳිය හැකි . . නටන්න අවැසි අයට පැමින නැටිය හැකි . . තමන් ප්‍රිය කරන ගායකයා හෝ ගායිකාව සියැසින් දැක ගැනීමට අවැසි අයට ඉඩප්‍රස්ථා සපයන . . සැමටම පොදුවේ විනෝද වියහැකි තැනක් . . තමන් පැමිනි වාහනයේ යකඩ පොලු හෝ බයිසිකල් චේන් රැගෙන විත් . . . එසේත් නැතිනම් ඉනේ පිහියක් හෝ කිනිස්සක් සඟවාගෙන විත් . . . එසේත් නැතිනම් මොලේ කලඳක්වත් නැති නමුත් ඇඟේ මස් පිරුනු කුළුමීමුන් වැනි මිතුරන් පිරිසක් සමඟින් එවැනි තැනකට පැමින . . එහි සිටින සියලුම ගැහැනු ළමයින්ගේ ඕනෑම ශරීරාංගයක් අතගෑමට . . මිරිකීමට තමන්ට අයිතිය ඇතැයි . . සිතා ඊට එරෙහි වන ඕනම කෙනෙකුට පිහියකින් අනින්න . . යකඩ පොල්ලකින් හෝ බයිසිකල් චේන් එකකින් ගහන්න . . සමහර තරුණ පිරිස් පෙලඹීම . . කෙතරම් අසික්කිතද?

සමාජශාලා යනු . . එවැනි තැනකට ගොස් විනෝද වියහැකි ආර්ථික ශක්තියක් ඇති අය ගොස් මධුවිතක් තොලගාන අය මධුපානය කරන . . . නටන්න අවැසි අය නටන. . තමන්ගේ යහලු යෙහෙලියන් සමඟ විනෝද වන තැනක් . . එවැනි තැන්වලට පිතෝලයක් හෝ ආයුධයක් රැගෙන යන යන සමහර අමන තරුනණයන් . . "මම අහවල් ඇමතිගෙ පුතා" "අහවල් උසස් පොලිස් නිලධාරියා මගේ මාමා" "හමුදාවේ අහවල් ලොක්ක මගේ බාප්පා" කියා . . . නටද්දි ඇඟේ හැපුනා කියා . . නැතිනම් තමන්ගේ ගෑනු ළමයා දිහා බැලුවා කියා . . . බොරු ගොංපාට් දමා . . කලබගෑනි ඇති කිරීම කොතරම් හිරිකිතද?

නිකමට සිතා බලන්න . . කැළනිය විශ්වවිද්‍යාලයේ ගැටුම . . . පුවත්පත් වලින් නිතරම දකින අනෙක් විශ්වවිද්‍යාලවල ගුටි ඇනගැනීම් . . . කැප් තොප්පියක් නිසා තරුණයින් ගනනාවක් මියගිය පානදුර පිංවත්තේ සංගීත සන්දර්ශනයේ ගැටුම . . . පෙම් හබයක් නිසා කුඩා සිසුන් ගනනාවක් නිරපරාදේ මරාදැමූ සූරියවැව ඛේදවාචකය . . ආදී මෙකී නොකී සියලුම සිදුවීම් අපේ දරාගත නොහැකිවූ මානයත් . . . උතුරා යන ක්‍රෝධයත් නිසා සිදුවූ සිදුවීම් නොවේ යැයි පැවසීමට කිසිවෙකුටත් හැකියාවක් ඇතිද???

ඊයේ දවසේ . . අද දවසේ . . මේක කියවන ඔබත් . . ලියන මමත් . . මේ වැරදිවල කොටස් කරුවන් වූවා විය හැකියි . . කුමක් කරන්නද? . . . වැරදි සිදුවීම මනුශ්‍ය ලක්ශනයක් නොවැ . . . නමුත් කිසිවෙකු හෝ ඔබේ වැරැද්ද පෙන්වා දුන් පසුවත් . . නැවත .. නැවතත් එම වැරැද්දම කරනවානම් . . එවිට ඔබ තවදුරටත් මනුශ්‍යයෙක් ලෙස හැඳින්වීමට සදාචාරාත්මක අයිතියක් ඇත්දයි ඔබේම හදවතට තට්ටු කර අසා බලන්න. . .

දිය බින්දුව බින්දුව එක් වෙලා ගඟක් හැදෙනවා යයි අප දන්නවා . . . මුලුමහත් සමාජයක් එක්වරම වෙනස් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැති බවත් ඔබ දන්නවා. . . මෙය ලියූ මමත් . . . කියවන ඔබත් . . ඉටාගත්තොත් . . . හෙට දිනයේදී මෙවන් වරදකට අපේ දායකත්වය නොදෙනෙමියි කියා . . . අපට බලපෑම් කලහැකි අපේ මිතුරු මිතුරියන්ට . . පවුලේ අයට . . හිතවතුනට . . .අපට හැකිනම් උපදෙස් දෙන්න එවැනි වරදවල් වලට දායක නොවෙන්න කියා . . .

හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරන්නට අපට මූලික වියහැකියි නොවේද . . . ?

Saturday, July 18, 2009

අඳ වාදකයා හෙවත් හද සිදුරු කරන්නා. . . !





අන්තිමට ම බලල ඉවර කරපු පොතෙන්ම මේ වර්ගීකරනයට ලියපු පලමු ලිපිය ලියන්න ඕන කියලා මම හිතුවා . . . . පොතේ නම "අඳ වාදකයා" . . මෙපමන කල් බලපු පොත් එක්ක බැලුවොත් . . . හැම එකකටම වඩා මගේ හිත සසල කලේ මේ පොත කියලා කියන්න පුලුවන් . . . .

කරුණාසේන ජයලත් මහතාගේ "මව සහ දුව" නවකතාව බලද්දි දැනුනු දුකටත් වැඩිය . . . සෝමා ජයකොඩි මහත්මියගේ "කර්නල්ගේ බිරින්ඳෑවරු" නවකතාව බලද්දි දැනුනු දුකටත් වැඩිය . . . "ගුරු ගීතය" නවකතාව "ගෝදානය", "අපූගේ ලෝකය", "අරණකට පෙම්බැඳ" නව කතා බලද්දි දැනුනු දුකටත් වැඩිය . . . මේ කතාව මගේ හදට ශෝකී රසයක් ගෙනාවා . . .

කරුණාසේන ජයලත් මහතාගේ "ගැහැනු ළමයි . . පිරුනු හදක් . . හතුරු හිතක්" නවකතාවල "කුසුම්" ගැන හිතලා හැඬුවාට වැඩිය මාව හැඬෙව්වා . . .

කතාව පටන් ගැනීමේදීම අඳ දරුවාගේ මව වූ "ආන්යා" දරුවා බිහිකල මොහොතේම ඇයට දැනුනු යම්කිසි වෙනස් හැඟීමක් නිසා විදි වේදනාව හදවතට ඉඳි කටු වලින් අනිනවා වගේ හැඟීමක් දැනවූවා . . . ටික දිනකින් දරුවා අඳ බව දොස්තර නිශ්චිතවම පැවසූ මොහොතේ . . . "මා ඒ බව දැන සිටියා . " කියා වේදනාවෙන් පවසද්දී හා ඈ දරාගත නොහැකි දුකෙන් වැළපෙද්දී . . . අනේ මටත් ඇගේ දුකට හවුල්වී ඈත් සමඟ දුක බෙදාගන්න බැරි වුනානේ කියන හැඟීම මගේ හද රිදෙවූවා . . .

අඳ දරුවා "පේතෘස්" ඔහු අන්ධයෙක් බව ඔහුගේ කුඩා මිතුරිය ස්වර්ණකේශනිය හෙවත් "එවලිනා" ට පවසූ මොහොතේ එක්වරම ඇයට ඔහු කීදේ නොතේරී පසුව එය තේරුනු මොහොතේ තණ බිම කම්පා වෙන ලෙස හඬාවැටුනු ආකාරය . . . "පපුවේ පිහියක් ඇණුනු ලෙස . . . එය එලියට ඇද දැම්මොත් ජීවිතය විනාශවෙන තුරු ලේ ගලා ගොස් මියයාවී යැයි බියෙන් මෙන් . . හද කීරීගැසෙන ලෙස දුකින් හඬා වැළපුනු ආකාරය මේ දැන් තාමත් මගේ ඉදිරියේ මැවීපෙනෙනවා වගේ දැනෙනවා . . .

අඳ දරුවා "පේතෘස්" මුලින්ම තණබිමට ගෙනගිය දවසේ විවිධ ශබ්ද වලින් හදවත විකෘති වී එය දරාගත නොහී සිහි නැතුව වැටුනු අයුරුත් . . පාට හඳුනාගැනීමට වෙහෙස වී වේදනාවෙන් කම්පිත වූ අකාරයත් . . . ඔහුගේ අඳ බව ඔහුටම දරා ගත නොහැකි උනු අවස්ථාවලදී ඔහු වේදනා විඳි හැටිත් කියැවීමේදී . . "පේතෘස්" ඔහුගේ කුඩා නියපොතු වලින් මගේ හදවත ලේ ගලන තුරු පහුරු ගානවා වගේ හැඟීමක් . . . මගේ උගුරින් පහලට ඔහුගේ කුඩා දෑත් දමා මගේ හදවත ඔහුගේ දෑත් වලින් මිරිකනවිට දැනෙනවා වැනි හැඟීමක් . . . මට දැනවූවා . . . අන් අයගේ සමච්චලයට බියෙන් හඬාවැටෙන්නට නොහැකිවූ මගේ පුරුෂ ආත්මය ඉරිතලා යන සෙයක් මට දැනුනා . . .

අඳ දරුවාගේ අනාගතය යහපත් කිරීමේ වගකීම පවරා ගත් "මක්සීම්" මාමාගේ උරහිසට හිස තබාන මගේ වේදනාව පහවනතුරු හඬාවැටෙන්නට තිබුනා නම් කියා මට සිතුනා . . .

පොත බලද්දී දෑසින් ගැලූ කඳුලු මා අන් අයගෙන් වසන් කරගතේ . . . කෑ ගසා හඬන්නට අවැසි හැඟීම මා සිරකර දරා ගත්තේ . . . හැඬීම . . . කඳුලු . . . අයිති ගැහැනුන්ට පමනයි . . කියා සිතන . . පුරුෂාධිපති සමාජයට වෛර කරමින් . . .

Friday, July 17, 2009

බත් එපා පොත් . . . !


මේ නමින් වර්ගීකරනයක් හදල යමක් ලියන්න හිතුවේ මම බලල තියෙන පොත් ගැන මගේ අදහස් ඔබ සමග බෙදා හදා ගැනීමේ පරම චේතනාවෙන්. . . . !

මේ "බත් එපා පොත්" නම දාන්න හේතු වුනේ නම් මගේ අම්මගෙන් මට නිතරම එල්ලවුනු චෝදනාවක් නිසා තමයි . . .

ගෙදර ඉන්න කාලෙත් . . . ගෙදරින් පිටවෙලා . . .මාස 6කට වතාවක් . . . අවුරුද්දකට වතාවක් . . . ගෙදර එන්න වුනු කාලෙත් මම බොහෝ විට කලේ එනගමන්ම . . . නැතිනම් ගෙදර අවට පස්සෙ දවසෙ උදේ පාන්දරම . . . මරදානේ ගොඩගේ බුක් ෂොප් එකට හරි . . . දයාවංශ ජයකොඩි බුක් ෂොප් එකට හරි ගිහින් . . නැතිනම් නුගේගොඩ සරසවි බුක් ෂොප් එකට හරි ගිහින් . . . අතේ තියෙන ගානට ගන්න පුලුවන් තරම් නවකතා පොත් අරගෙන ඇවිත් . . ඇදේ හාන්සි වෙලා හරි . . නැතිනම් . . එලියෙන් පුටුවක් තියාගෙන හරි . . . කෑමක් බීමක් ගැන නිනව්වක් නැතුව . . පොත් බලන එක තමයි . . .

මාස 6කට වතාවක් . . . අවුරුද්දකට වතාවක් . . . ගෙදර එන්න වුනු කාලෙ අම්ම හරිම ආසාවෙන් ඉන්නේ මම ගෙදර ආවහම මගේ ප්‍රියතම මෙනු එක වුනු (අම්ම හදන ඒවායින්) සම්බ හාලේ බතුත් එක්ක . . . තලපත් මාලු කිරට උයල . . කැරට් හිඳෙන්න උයල . . . උම්මලකඩ දාපු කට්ට සම්බලයකුත් හදලා දීලා . . මම අවුරුද්දකින් විතර කෑම නොදැකපු එකෙක් වගේ පෙරේත කමකින් . . . බුරිය උල් වෙනකම් ගිලදාන දිහා බලාගෙන ඉන්න එක . . . (මේ දනුත් කටට කෙල උනනවා අම්මගේ බත් එකේ රස මතක් වෙලා . . අම්ම ලඟට පියාඹලා යන්න හිතෙනවා මේ දන්න්මම . . . .)

ඉතිං . . . අම්ම එපමන ආසාවකින් හදන බත් එක කන්නවත් මට හදිස්සියක් නෑ මම ඉතිං පොත් ටිකක් ගෙනාවොතින් . . .

අම්ම එතකොට අම්මගේ මැරුනු ආච්චි වැහිලා වගේ . . . මට බනිනවා . . .
"බූරුවෝ . . . . මේ බත් ටික උනු උනුවෙම කාපන් . . . " කියලා . . .

හැබැයි හයි ඩෙසිමල් ගානකින් බනින ඒ බැනිල්ල මට ඇහෙන්නේ . . . තුන්වෙනි වරට විතර රි-ප්ලේ . . කලාම තමයි . . .

"බූරුවෝ බතුත් කනවද ඩාලිං . . . " කියලා මම අම්මව තව ටිකක් ඔරොප්පු වෙන විදිහේ රිප්ල්යි එකක් දුන්නාම නම් . . .

"නොකන්නේ මොකද . . උඹ ඔය හිටපු ගමන් යස අපූරුවට කන්නේ . . . " කියලා මාව චක බ්ලාස් වෙලා යන ආන්සර් එකක් ලැබෙනවා ලැබෙනවාමයි . . .

"උඹට ඉතින් පොතක් අහු උනාම ගොනාට තනකොල ටිකක් අහු උනා වගේ තමයි . . . වමාර වමාර ඒකම කනව . . . . හිටපු ගමන් බක බක ගාලා හිනා වෙනවා . . . හිටපු ගමන් කදුලු පෙර පෙර අඬනව . . . " ටිකක් නිවුනු හඬින් අම්ම කියන්නේ මම ගැන ඇති උනු දුකකින් වගේ . . .

"උඹේ අතට පොතක් අහු උනොත් උඹට බතුත් ඕන නෑ . . . "

ඔන්න අම්මගේ චෝදනාව . . .

දැන්නම් ඉතිං ඉස්සර සෙල්ලම් බෑ . . . අම්මගේ සෙනෙහස වෙනුවෙන් කැපකිරීම් කරන්න බැරි උනාට (අම්ම ඉතිං සෙනෙහස පෑවෙ ආපසු අපේ සෙනෙහස බලාගෙනම නෙමේනෙ . . !) තවත් අය වෙනුවෙන් පොත් කියවීම කැප කරන්න සිදුවෙලා තියෙන්නේ . . .

(අම්මගේ සෙනහස නම් ඉතිං කවදාවත් හිඳෙන්නෙ නැති මහා සාගරේ වගේනේ . . අනිත් අය නම් ඉතිං උඹ එහෙනම් පොත් බලබලම හිටපන් . . . කියල යන්න ගියොත් කියලා හිතලා) දැන් පොත් කියවීමට සීමා මායිම් දාගෙන ඉන්නේ . . .

කොහොම උනත් ඔන්න ඉතිං පුලුපුලුවන් වෙලාවට මම රසවිඳපු පොත් ගැන බ්ලොග්ස් ලියන්නම්කෝ . . . .

Monday, July 13, 2009

රතු හැට්ටෙ පළල් මදි . . . !


මලීගෙ බ්ලොග් එකේ තාරාවො ඉගිලෙනවා බලන්න බැරි උනු බව දැකපු වෙලේ ඉදන් මම මගේ නැති උනු තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ ගීත අඩංගු සංයුක්ත තැටිය හෙව්වා . . . "හොයන්නාට හම්බවෙයි" කියනවානේ . . . ඔන්න මම හොයා ගත්තා. . . එතකොට තමයි දැක්කේ ඒකෙ තාරාවෝ ඉගිලෙති නාට්‍යයෙයි රතු හැට්ටකාරී නාට්‍යයෙයි දෙකේම සින්දු තියෙනවා කියලා . . . .

ඉතිං මට හිතුනා නෑසෙන ගී රස එකට ඒකෙ තියෙන ගීත දෙක තුනක් ලියන්න ඕන කියලා. . .

බලන්න ඔබටත් මතකද කියලා මේ ගීත . . . !

රතු හැට්ටෙ පළල් මදි දෙතන පෙනෙන්නට . . .
තිසරුන් ආසයි මුහුන බලන්නට . . .
උස්සලා තන පට තද කරපන් . . .
රණ තිසරු පනී බැදපන් . . .

සේලෙ පලන් උඹේ කලව පෙන්නෙන්ට . . .
සුලිය වගේ නාභිය පෙන්වන්නට . .
උස්සලා පස්ස ටිකාක් හදපන් . . .
ඉඟ සේලෙ තදින් ඇදපන් . . .

පාරට්ටු ළදේ නුඹෙ මුහුන පෙනෙන්නට . .
නීල දෙබැම දිගු දෑස දිලෙන්නට . . .
උස්සල කෙස්ස තදින් බැදපන් . . .
රන් තෝඩු කනේ දමපන් . . .

රතු හැට්ටෙ පළල් මදි දෙතන පෙනෙන්නට . . .
තිසරුන් ආසයි මුහුන බලන්නට . . .
උස්සලා තන පට තද කරපන් . . .
රණ තිසරු පනී බැදපන් . . .
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

බෑ බෑ ගෙදර යන්න බෑ . . . / /
ගෙදර යන්නේ නෑ මම ගෙදර යන්නේ නෑ . . . / /
පය ඔසවා ගන්න බෑ මගේ . . .
සියොලගින්ම බැද දමා තිබේ . . . / /
සිර මැදිරිය හැරලුවත් මෙසේ . . මේ සිරකරු යන්නේ නෑ කපේ . . . / /

ඉගිල යන්න ඇයි බැරී . . ඉගිල යන්න ඇයි බැරී . .
ඉගිල යන්න ඇයි බැරි මගේ තාරාවෝ . .
කූඩුවෙ දොර හැර දම්මා මා . . .
අහස තියෙයි ඔබ හට සීමා . . . / /
විසල් ලොවට මඟ ඉඩ දෙන්නා ඉතිං ඉගිලියන් තාරාවා . . .

බෑ බෑ ගෙදර යන්න බෑ . . . / /
ගෙදර යන්නේ නෑ මම ගෙදර යන්නේ නෑ . . . / /
බෑ බෑ ගෙදර යන්න බෑ . . . / /
ගෙදර යන්නේ නෑ මම ගෙදර යන්නේ නෑ . . . / /
දියපීනා එයි තාරාවා . . . .
ඉගිලී පල කලු තාරාවා . . . / / / /
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා . . . / /
ළඟම ඇතේ දුරක නැතේ . . . / /
අපි යන්නේ ඒ පාරේ . .
යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා . . .

යුක්ති ගරුක අතීතයට කැන්දන් යමි මම
දස රාජ ධර්ම කල තෙද වීර රජුන් ඇත . . .
ඇස් ඉදිරියෙ ඔබ ලග . . ඇස් ඉදිරියෙ ඔබ ලග . .
අතීතයේ ඉස්ටෝරුව එදා ඉදන් මම . . .
නිදි මර මර මුර කොට . . .
බහිරව බිලිපුද කොට . . .
රැක ගත්තේ ඔබලට . . .රැක ගත්තේ ඔබලට . . .

යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා . . ./ /

රජවරු රජ මැති වරු යස රාජ බිසෝ වරු . . .
කල කෙළි සෙල්ලම් දැක . . .
තව කාසි දියන් මට. . .
හොද තෑගි දියන් මට . . . . / /

යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා . . ./ /
ළඟම ඇතේ දුරක නැතේ . . . / /
අපි යන්නේ ඒ පාරේ . .
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

තට්ටු කරන්න හෙමින් . . . තට්ටු කරන්න හෙමින් . . .
මගේ විමානේ . . දොරටුව ඔබගේ . . .
තට්ටු කරන්න හෙමින් . . . තට්ටු කරන්න හෙමින් . . .

දෙපා තබන්න හෙමින් . . . දෙපා තබන්න හෙමින් . . .
මගෙ බුමුතුරුනේ සුපහස ඔබටයි . . .
දෙපා තබන්න හෙමින් . . . දෙපා තබන්න හෙමින් . . .

මා වෙත එන්න පෙමින් . . . මා වෙත එන්න පෙමින් . . .
මගෙ මී බදුනේ . . මධුරස ඔබටයි . . .
මා වෙත එන්න පෙමින් . . . මා වෙත එන්න පෙමින් . . .
මා වෙත එන්න පෙමින් . . . මා වෙත එන්න පෙමින් . . .

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails