Saturday, September 3, 2011

විරුල්ට අදට අවුරුදු හතරක් . . . . !

ආදරය කියන මාතෘකාවේදී අපිට වැඩිහිටි අයව රවට්ටන්න පහසුයි. ඒ වගේම අපි රැවටෙන්න තියෙන ඉඩ කඩත් බොහෝම වැඩී.

මොකද කියනවනම් වැඩිහිටි අපි ආදරේ කියලා තේරුම් ගන්නේ කෙනෙක් ගේ කටින් කියන දේ නිසා.

බින්දු මාත්‍රයක් ආදරයක් හදවතේ නැතුව "මම ඔයාට ආදරෙයි සුදූ" කියලා හරි "මම මේ හැමදේම කරන්නේ ඔයාට තියෙන ආදරේ නිසානේ පැටියෝ" හරි කියලා කිව්ව ගමන් අපි කුප්පමේනියා ගහක් දැක්ක පූසෙක් වගේ හතරගාතෙන් ඒ කෙනා ලඟ වැටෙනවා.

ඒ අපි හදවතින් දැනෙන දේට වඩා කටින් කියන දේ විස්වාස කරන නිසා.

ඒත් ළමයින් එක්ක ඒ සෙල්ලම් බෑ.

ළමයින් ආදරේ අඳුන ගන්නේ ඒ අයගේ හදවතට දැනෙනවනම් විතරයි.

අපේ හිතේ ආදරයක් ඇති නොවුනු ළමයෙක්ට "මම ඔයාට ගොඩාක් ආදරෙයි බබෝ" කියලා පුලුවන් තරම් ළයාන්විතවම කියල බලන්න ළඟට එයිද කියලා . . . . !!

නෑ බැරි වෙලාවත් ආවොත් විනාඩි ගානක් ලඟ ඉන්නේ නෑ . . .

එහෙම වෙන්නේ ළමයි කටින් කියන දේට වඩා හිතට දැනෙන ආදරේට සංවේදී නිසා.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

මගේ කොලු පැටියා විරුල් හෙවත් සොඳුරු ත්‍රස්තවාදියා ගැන මම කාලෙකට කලින් ලියපු සටහනිනුත් කිව්වා "මම පුංචි එකා සංදියේ ඉඳන් පොඩි උන්ට හරිම ආදරෙයි. පුංචි එවුනුත් මට හරිම ආදරෙයි" කියලා.

දඟ කරන, වද දෙන, කෑ ගහන, අඬන පොඩි උන්ට ආදරේ වෙන්න හැමෝටම බෑ . . බොරු නෙමේ . . බොරු කියලා හිතෙනවනම් පොඩ්ඩක් හිතට තට්ටුවක් දාලා අහලා බලන්න.

ඒත් ඒ අතින් මම වාසනාවන්තයි. පොඩි උන්ගේ ඒ කරදර ඔක්කෝම ඉවසගෙන මට පුලුවනි උන්ට ආදරේ කරන්න. උනුත් මට ආදරේ වෙන්නේ මගේ ඒ ආදරේ දැනෙන නිසා කියලා මම දන්නවා.

ඒ වගේමයි පොඩි උන් එක්ක කටයුතු කරන එක ලේසි නෑ. පොඩි එකෙක් හින්දා මම හොඳටම නා ගත්තු දවසක් මට මතක් වෙනවා.

මගේ මිතුරු ප්‍රින්ස්ගේ ගෙදර ඉස්සර අපි හැමදාම හවසට යනවා. ප්‍රින්ස්ගේ දෝනි මම ආපු ගමන් අතින් අල්ලගෙන යන්නේ එයාගේ සෙල්ලම් බඩු තියෙන තැනට. ඉතිං මම ඔක්කෝටම කලින් දෝනි එක්ක සෙල්ලම් කරලා ඉන්න ඕන.

දවසක් අපි ගමනක් යන්න ලෑස්ති වෙලා පරක්කු වුනු නිසා ප්‍රින්ස්ගේ බිරිඳ දිල්මිගෙන් දෝනිගේ සපත්තු දෙක ඉල්ල ගත්තා මම දාන්නම් කියලා.

"දෝනි කෝ එන්න පාත්තු දාන්න" මම කතා කලා.

"පාත්තු ?? පාත්තු නෙමේ ඒ ෂූස්" හුටා පරිජාලං. . .

මම හැංගෙන්න තැනක් හොයද්දී කට්ටියම බඩවල් අල්ලගෙන හිනාවෙනවා.

. . . . . . . . . . . . . . . . . . . .. . . . . . . . . . . . . . . . .

අපේ තාත්තා අසනීපෙන් හිටි දවස්වල මම ලියපු පෝස්ට් එකේ මම ලිව්වා මේ ලඟක් වෙනකම් මම මේ ලොකේ තරහින් හිටියේ මගේ තාත්තා එක්ක කියලා. ඒකට හේතුව හොයාගත්තෙත් මගේ සොඳුරු ත්‍රස්තවාදියා මාස තුනක් විතර මගෙන් දුරස් වෙලා හිටි කාලේ කියලාත් කිව්වා මතකයි.

දරුවෙක් පියෙක්ගෙන් බලාපොරොත්තු වෙන ආදරේ ඒ තරමටම නොලැබුනාම දරුවෙක්ගේ හිතේ ඒ නොලැබුනු ආදරේ වෙනුවෙන් ඇති වෙන හිඩැස කොයි තරම් භෞතික දේවල් ලබා දුන්නත් පිරෙන්නේ නෑ. එතනදී පියෙක් පවුල වෙනුවෙන් මොන තරම් කැපකිරීම් කලත් දරුවෝ ඒ කැපකිරීම් වලට වඩා අර නොලැබුනු ආදරේ නිසා උපන් තරහව කරපින්නාගෙන යන බව මම අත්දැකීමෙන් දන්නවා.

ඒ හේතුව හින්දම මම හිතුවා මම නම් කවදාවත් අපේ තාත්තා කරපු මෝඩ වැඩේ නම් කරන්නේ නෑ මයි කියලා. මම මගේ කොල්ලට පුලුවන් උපරිමයෙන් ආදරේ දක්වනවා.

ඒත් කොල්ලටයි මටයි ආපහු පොඩි කාලයක් දුරස් වෙලා ඉන්න වෙනවා කියලා හිතුනාම මගේ හිතට හරිම අමාරුයි.

ඒත් ඒ දේ කරන්නේ කොල්ලගේ යහපත වෙනුවෙන් කියලා හිතුවාම අමාරුවෙන් හරි හිත හදා ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.

විරුල් මාස තුනේ වගේ පුංචිම කාලේ ඉඳන් මොකද්දෝ අමුතු බාසාවකින් කතා කලා. විරුල්ගේ වයසේ අනිත් ළමයින් අවුරුද්දකින් දෙකකින් සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කතා කරද්දී අපේ විරුල් අර කිව්ව වෙන මොකද්දෝ බාසාවෙන් කතාකරනවා හැබැයි අපි කියන දේ කොල්ලට හොඳට තේරෙනවා. ඌට ඕන කරන දේවලුත් අපිට තේරෙන විදිහකින් කොහොම හරි කියනවා.

අපේ දුමියා නම් ඒකට කිව්වේ "විරුල්ගේ ඒලියන් භාෂාව" කියලා . . . කතා කරන ස්ටයිල් එකට අහගෙන ඉන්න හරිම ආස හිතෙනවා.

මම නම් කියලම හිට්යේ කොල්ලා කලින් ආත්මේ කතා කරපු භාෂාවෙන් කතා කරනවා කියලයි.

ගිය මැසි පළමුදා ඉඳන් විරුල් නදීෂලගේ ගෙවල් ලඟ මොන්ටිසෝරි එකකට යන්න පටන් ගත්තු බවත් මම ලිව්වනේ.

මේ තියෙන්නේ ඒ ලිපිය

හැබැයි මොන්ටිසෝරි යන්න ගත්තායින් පස්සේ විරුල්ගේ අර ඒලින් භාෂාව අඩුවෙලා හොඳට සිංහල කතා කරන්න පටන් අරන් තියෙනවා. ඒත් මෙහේ ආවට පස්සේ සමහර වෙලාවට තනියෙම සෙල්ලම් කරද්දී ආපහු අර ඒලින් භාෂාවෙන් කතා කරනවා.

අහ් කියන්න අමතක උනානේ . . අපේ විරුල් සමහර වචන කියන්නේ උඩ යට මාරු කරලා. කොල්ලගේ මේ උඩ යට මාරු කරලා කියන සීන් එකේදි මට මතක් වෙන්නේ අපේ පුංචිගේ ලොකු දුව නිමාලි අක්කා පිඟානට කිව්වේ නම. එයා පිඟාන කියන එකට කිව්වේ කිඹාන කියලා හික්ස්

අක්කගේ දුවගේ මගුල් ගෙදරට ගිහින් එද්දී ගිය 27 වෙනිදා මාත් එක්කම කොල්ලයි කොල්ලගේ අම්මයි දෙන්නම ආවානේ. ආපහු දිගටම මෙහේ ඉමු කියලා අපි කතාවුනත් නදීෂා කියන්නේ නම් තව ටික කාලයක් ලංකාවේ මොන්ටිසෝරි ගිහින් සිංහල හොඳටම කතා කරද්දී මෙහේ එන්නම් කියලයි.

මගේ උවමනාව ඉන් පස්සේ මෙහේ ඇවිත් අපි තුන්දෙනා එකට ඉඳන් පිටරට රැකියා ජීවිතේ ඉවර කරලා ලංකාවේ පදිංචියට යන කම් කොල්ලව මෙහේ ඉස්කෝලේ යවමු කියන එකයි.

එතකොට සිංහල වගේම ඉංග්‍රීසි භාෂාවත් හොඳින් පුලුවන් වෙයිනේ. එහෙම වුනොත් අප්පච්චිට වගේ විශ්ව සාහිත්‍යයේ පොත් සිංහල පරිවර්ථන එනකම් ඉන්නේ නැතුව කොල්ලට අමු ඉංගිරිසියෙන්ම රස විඳින්න ඇහැක් වෙයිනේ.

ඉතිං ඒ හින්දයි මම කිව්වේ අපිට ආපහු පොඩි කාලයක් දුරස් වෙලා ඉන්න වෙනවයි කියලා. ඒත් අර කිව්ව වගේම අමාරුවෙන් හරි හිත හදාගෙන ඉන්න වෙනවා ඒ දේ කරන්නේ කොල්ලගේම හොඳට කියලා හිතුනහම.

අද කොල්ලගේ හතරවෙනි උපන් දිනේ. ඒ කිව්වේ 2007 සැප්තැම්බර් තුන්වෙනිදා උපන් කොල්ලා අද වෙනකොට අවුරුදු හතරක් සම්පූර්න කරලා පස් වෙනි අවුරුද්ද ලබනවා.

කොල්ලගේ හතරවෙනි උපන් දිනේ දවසේ දාන පෝස්ට් එකට ඒකා ඒලියන් භාෂාව අතහැරලා සිංහල කතා කරන්න පටන් ගත්තායින් පස්සේ එහා මෙහා මාරු කරලා කියන වචන ටික ලියලා තියන්න ඕන කියලා හිතුවා. මේ පහල තියෙන්නේ ඒවා:
තහරයි = තරහයි
මෙනේ = නෙමෙයි
ස්මයිඩ පෑන් = ස්පයිඩ මෑන්
මිකීස් මව් = මිකී මවුස්

මේ කොල්ලගේ තව වචන සෙට් එකක්:
කැතී ඊ = කැතයි
නාස්සනයි = ලස්සනයි
ලයින් මැක්වීන් = ලයිට්නින්ග් මැක්වීන්

ඔක්කෝටම හපන් එක තමයි කොල්ලට ජොලියක් ගියාම කියන වචනේ.

ගිය මාසේ වෙන කම් ඒකා ජොලියක් ගිය ගමන් කිව්වේ "අම්ම කුක්කූ" කියලා . . මේ ලඟදී ඉඳන් කියන්නේ "අපච්චී කුක්කූ" කියලා . . . (අපි දෙන්නා මැද්දේ නිදා ගෙන ඉන්න සමහර වෙලාවට අප්පච්චී කුක්කූ ඕන කියලා පපුවට කට තියලා බොරුවට කටින් සද්දයක් දානවා . . හෆොයි කිචි නිසා මාව උඩ ගිහින් ඇහැරෙනවා එතකොට)

මගේ සොඳුරු ත්‍රස්තවාදියා විරුල්ට සුභ උපන් දිනයක් වේවා.

පස් වෙනිදා (අනිද්දා) මාව තනියෙන් මෙහේ දාලා අම්මයි පුතයි යද්දී මට හිත හදාගෙන ඉන්න ලැබේවා!

. . . . .. . . .. . . .. . .. . .

කඩේ යන යන පාරට ටෝයිස් ඉල්ලා නොදුන් විට හඬා වැටෙමින් (ඊයේ රෑ 2-09-2011)


මේ පහුගිය ජූලි 25දා ඌම් අල් කුයින් වෝටර් පාර්ක් ගිය වෙලාවේ


Saturday, August 20, 2011

හුචක්කුවේ අතුරු කතා . . . !


මෙහේ යූ ඒ ඊ වල මගේ හොඳම මිතුරෙක්ගේ බිරිඳයි දරු දෙදෙනායිත් පාසැල් නිවාඩුවට මෙහේ ඇවිත්. (යාලුවා කවුද කියලා නම් කියන්න බැරියෝ.)

ආපු දා ඉඳන් දෙගොල්ලෝම කොහේ හරි යමු කිය කිය හිටියට අපේ නිමක් නැති ගමන් බිමන් එක්ක එයාලා එක්ක එහේ ගිහින් සෙට් වෙන්න කාලයක් ලැබුනේම නෑ.

බැරිම තැන දවසක් යාලුවා කතා කරලා දුමීලගේ ගේ තියෙන තැන ඇහුවා. (දන්නවනේ දුමී ගෙදර අපිට බාර දීලා නිවාඩුවට ලංකාවට ගිහින්)

"අද උඹලා ගෙදර හිටපල්ලා. අපි එනවා උඹලා ඉන්න දිහාවේ"

"හරි වරෙන්, මට එලියට යන්න තියෙනවා. එක වාහනයක යමු. උඹලවයි අපේ ගෙදර උන්දෑවයි ෂොපින්ග් මෝල් එකක දාලා මම මගේ වැඩේ කරගෙන එන්නම්" මම කිව්වා

යාලුවයි පවුලේ අයයි ඇවිත් තේ එකක් බිව්ව විතරයි, ගෑනු දෙන්නට කෝප්ප හෝදන්න කාලයක් හම්බ උනෙත් නෑ යාලුවගෙන් ප්‍රශ්නයක්.

“අනේ මචං අර ෆේස් බුක් එකේ තිබුනේ හුචක්කුව කියලා වීඩියෝ එකක්. මම ඒක ගැන මේ මනුස්සයට කිව්වා. මෙයා මාත් එක්ක වලි දානවා ඒක මම ගොතපු කතාවක් කියලා. ඒක මට ආපහු හොයා ගන්න බෑ මෙයාට පෙන්නන්න. උඹේ ෆේස් බුක් එකේ ඒක තියෙනවද?”

"මමත් දවසක් දැක්කා. ඔක්කෝම බලන්න බැරි උනාද කොහෙද"

අපේ උන්දැත් කිව්වා

"අයියෝ ඒක හොයන එක එච්චර අමාරු නෑ"

මම යූ ටියුබ් එක ඕපන් කරලා හුචක්කුව කියලා ටයිප් කරලා වීඩියෝ එක අරගෙන ප්ලේ වෙන්න දැම්මා.

"උඹලා ඕක බලපල්ලා" අපි දුමීලගේ සාලේ ඉඳගෙන ටී වී බලන්න පටන් ගත්තා.

මේ පහල තියෙන්නේ ඒ හුචක්කුව වීඩියෝ එක තමයි ඕන්.

නොදැකපු කෙනෙක් ඉන්නවනම් මුලින්ම මේක බලලම ඉන්න.


ටික වෙලාවකින් කිචි කිචි සද්ද සහ මුනු මුනු සද්ද ඇහුනත් අපි ඇහුනේ නෑ වගේ හිටියා.

ටික වෙලාවකින් මෙන්න බිරින්දෑ වරු දෙන්නා එනවා හුචක්කුවේ අතුරු කතා ටික අරගෙන

1. අර මනූස්සයා එක්කෝ ගෑනි මැරිච්ච කෙනෙක්, එහෙම නැති නම් ඩිවොස් වෙච්චි කෙනෙක් (නැත්නම් කොහොමද ඔහොම බය නැතිව ඇත්ත කතා කරන්නේ. . හික්ස්)

2. ඒත් නැත්න්ම් මේ වීඩියෝ එක ඒ මනුස්සයගේ ගෑනි දැකලා නම් එහෙම ඒ මනුස්සයා මේ වෙනකොට ජීවතුන් අතර නෑ.(හෆොයි අසරන මනුස්සයා)

3. ඔය ඔෆිස් වල බෙන්ස් කාර් උනත් ගෙවල් වල ඉන්නේ හුචක්කු වගේ තමයි අනේ (දෙයියනේ බෙන්ස් කාර් වලට ගිය කලක්)

4. හුහ් යමන්කෝ අද ෂොපින් . . . අපිටත් බෙන්ස් කාර් වෙන්න පුලුවන් කියලා මේ දෙන්නට පෙන්වන්න (අපේ උන්දෑ එයාගේ සප්ලිමන්ටරි ක්‍රෙඩිට් කාර්ඩ් එක හෑන්ඩ් බෑග් එකට දාන ගමන් කියනවා - ඇයි දෙයියනේ මම කිව්වැයි ඔයා හුචක්කුවක් කියල . . . ) යාලුවගේ බිරිඳත් යාලුවගේ අතින් අල්ලගෙන එලියට යන්න ආවා.

5. අර ගෙදර ආවහම බිරිඳව අතගාලා ප්‍රබෝදමත් කරන්න කියන්නේ. මෙයාලා ආපු වෙලාවේ ඉඳන් එක්කෝ කොම්පීටරේ ලඟ නැත්නම් ටී වී එක ඉස්සරහා. අපිට තනියෙම අතගාගෙන ප්‍රබෝදමත් වෙන්න තමයි වෙන්නේ (මේ අතුරු කතාව ඇහුවේ මහ රෑ දෙගොඩ හරියේ නිදා ගන්න යද්දී තමයි හික් හික් හික් හෆොයි අරූට කොහොමෙයි ඕවා කියන්නේ)

දැන් මේ සිදුවීමට දවස් ගානක් නිසා ඔක්කෝම අතුරු කතා මතක නෑ වගේ අප්පා.

පස්සේ මේ හුචක්කුවේ දෙවෙනි කොටස බලද්දෙ තමයි තේරුනේ මෙතුමා අපේ දයාබර කතා කරුවෙක් වන සරත් විජේසූරිය මහත්තයා බව.

මගේ නඩුව ඉවරයි, නිරානන්දය, සතුටින් ජීවත් වෙන හැටි වගේ පොත් එතුමා ලියපුවා.

ඇත්තෙන්ම ගෑනු පිරිමි හැමෝටම ප්‍රයෝජනවත් කරුනු රාසියක් එතුමාගේ කතාවේ තියෙනවා.

පලමු කොටස විනාඩි 6යි තත්පර 11යි.

ඒත් දෙවෙනි කොටස විනාදි 41යි තත්පර 20යි.

දෙමව්පියන්ගේ ආදරය අපි අඳුනා නොගන්නා හැටි.

පොඩි ප්‍රශ්නයක් උනත් මහා ලොකු ප්‍රශ්නයක් කරගෙන විඳවන හැටි.

පොඩි ප්‍රශ්නයක් උනත් පවුල් අවුල් වෙන තරම් දුර දිග යන හැටි.

පිරිසිදු කම ගැන අපි විශේෂ සැලකිල්ලක් නොදක්වන එකෙන් වෙන පවුල් ප්‍රශ්න.

අඬවැඩියා සංගීතය අසන්නන් ට දැනෙන හැටි.

කෙනෙක්ගේ පෞරුෂය ගැන අනෙක් අය සොයන්නේ කොයි අකාරයෙන්ද බව.

පවුලේ සාමාජිකයින් අතර සන්නිවේදනයේ අඩු ලුහුඬුකම්.

පෙම් කරන කාලයේ තිබූ ආලය විවාහයෙන් පසුව දියාරු වී යන හැටි.

ඔය ආදී විශාල පරාසයක මාතෘකා මේ විනාඩි හතලිහේ සුලු කාල සීමාවේදී එතුමා විග්‍රහ කරන අයුරු හරිම අපූරුයි. සිත් ඇද ගන්නා සුලුයි. සිත කම්පා කරනවන සුලුයි.

අපි අනවශ්‍ය දේවල් කරන්න කාලය කොයි තරම් නම් කැප කරනවද.

ඒ නිසා ඒ විනාඩි 41 බලන එක අපරාදයක් කියලා මොහොතකට වත් හිතන්නේ නැතුව මේ පහල තියෙන මුලු විඩියෝවම බලන්නයි කියා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා.


Friday, August 12, 2011

තාත්තා අසනීපයෙනි, වහාම එන්න එපා.. . !



මගේ මුල්ම පිටරට රැකියාව කරන කාලේ - කටාර් රාජ්‍යයේ - වැඩ කරන දවසක කෝල් එකක් ආවා. කතා කලේ අම්මා.

"පුතේ දැනට දවස් හතරකට කලින් තාත්තට ඩෙංගු හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කලා. ඔයාගේ යාලුවෝ ඉන්දික, හිමාෂ්, සමරෙ එහෙම තාත්තව බලා ගන්නවා. ඔයා බය වෙන එපා දැන් තාත්තට ගොඩක් හොඳයි"

අම්මට පිලිතුරු විදිහට මම මොනව කිව්වද මතකවත් නෑ.

මට මතක මගේ ඉස්මුදුනෙන් පටන් ගත්තු හිරි වැටීමක් බෙල්ල, පපුව, කකුල් හරහා යටි පතුලටම කරන්ට් එක වදිනවා වගේ දුවපු බව විතරයි.

"අනේ තාත්තා මැරුනොත්?"

මාව එතනම තිබුනු පුටුවේ ඉන්දවුනා කියලාත් මතකයි.

"තාත්තා නැතුව අපි කොහොම ජීවත් වෙන්නද?

එතකොට අක්කයි නංගියි දෙන්නත් බැඳලා පවුලෙන් වෙන්වෙලා, නංගී ජපානේ, මම කටාර්. ඒත් තාත්තා කියන්නේ අපේ පවුල් ගහේ මුදුන් මුල විතරක් නෙමෙයි මුලු ගහම. මට හිතුනේ එහෙම

පවුල වෙනුවෙන් තාත්තාට වැඩිය කැපකිරීම් අම්මා කලා උනත්, පිට රට ඉන්න නංගීත්-මමත් පවුලේ වියදම් බලා ගත්තා උනත් අපි හැමදෙනාම පවුල් ගහේ නිකම්ම නිකම් කොල. තාත්තා තමයි මුලු ගහම වුනේ.

මම එදාම නිවාඩු දාලා ලංකාවට ගියා.

යනකොටත් අම්මගේ, අක්කගේ, මගේ යාලුවන්ගේ සහ රෝහලේ වෙද-හෙද-හෙදි-සේවක පිහිටෙන්, සහයෝගයෙන්, උපකාරයෙන් තාත්තා සුවය ලබලා.

ගුවන් යානයේ ගමන් කාලය පුරාවටම මගේ හිත හිරි වට්ටපු එකම ප්‍රශ්නයයි තිබ්බේ.

"තාත්තා මැරුනොත් අපි ජීවත් වෙන්නේ කොහොමද? පවුලේ මූලිකයා නැතිවුනොත් අපිට මොනවා වෙයිද?"

ඒක තනිකරම ආත්මාර්ථකාමී හැඟීමක් වෙන්න ඇති, ඒත් ඒක එහෙමයි උනේ.

ඒ කාලේ අපි තුන්දෙනා ම වැඩියෙන්ම ආදරේ කලේ තාත්තට.

අක්කයි නංගියි තාත්තගෙන් ඇති වෙන්න ගුටි කාලා තිබුනත් අද වෙනකම් තාත්තා මට එක පාරක් වත් ගහලා නෑ.

මේ ලඟක් වෙනකම් ම සුනේත්‍රාගේ පූර්ව ජන්ම අපූර්වය සහ කර්ම අත්පොත කියවනකම්ම වගේ මම මේ ලොකේ තරහින් හිටියේ එකම එක්කෙනෙක් එක්ක.

ඒ තාත්තා එක්ක.

ලඟදී මගේ සොඳුරු ත්‍රස්තවාදියා විරුල් මගෙන් ඈත් වෙලා හිටපු මාස තුනට පස්සේ මට තේරුනේ මම තාත්තා එක්ක තරහා වෙන්න හේතුව.

මම තාත්තගෙන් ලොකූ ආදරයක් බලා පොරොත්තු උනා.

තාත්තගේ ව්‍යාපාරයට අනුව එක එක පලාත් වල තිබුනු ව්‍යාපෘති වලට ගියාම තාත්තා ගෙදාර එන්නේ සමහර විට මාසෙකින්, දෙකකින්, තුනකින්.

එහෙම කාලෙකින් එන තාත්තා අපිව හුරතල් කරයි කියලා මම නම් බලන් හිටියා.

සාලේ පැදුරක් එලාගෙන තාත්තා නිදා ගත්තාම පිට දිගේ ඇවිදින්න, පිටේ සුදු පාට බිබිලි කැඩුවාට එක බිබිලකට සත විසිපහ ගානේ අය කරන්න, තාත්තා පත්තරේ බලනකම් සරමේ ඔංචිල්ලා පදින්න . . .

මේ ඔක්කෝම හීන තාත්තා ගෙදර ආපු දා ඉඳන් වැඩි වෙලාවක් දේශපාලනය වෙනුවෙන් යොදවපු නිසා කැඩිලා බිඳිලා ගියාම තාත්තා ගැන තරහවක් ඉපදෙන්නේ නැතුව තියෙයිද?

ඒ ඔක්කෝම අතීතයේ කතා.

වර්තමානයේ මුනුබුරු මිනිබිරියෝ හත් දෙනෙක් ඉන්න සීයා කෙනෙක් වෙච්චි අපේ තාත්තට මුනුබුරු මිනිබිරියෝ බලන්න යන්න වෙලාවක් නැතත් කෙප්ප දෙසා බාන දේශපාලන රැස්වීම් වල කකුල් කෙඩෙත්තුව හැදෙන කම් හිටගෙන ඉන්න වෙලාව තිබ්බත් . . .

ඒ මුනුබුරු මිනිබිරියෝ හැමෝමත් උන්ගේ අම්මලා තාත්තා වගේම ආදරේ සීයට . . .

හැබැයි නොපෙන්නුවාට තාත්තාගේ හිතේ මගේ ගැනත් ලොකු ආදරයක් ඇති.

අපේ ගෙදර උන්දෑ නම් කියන්නේ එහෙම නැතිනම් කොහොමද ඔයා වලි දාන තරමට ඔයා එක්ක තරහක් ඇති කර ගන්නේ නැතුව ඉන්නේ කියලා. ඔයා කියන ජාති වලට කනට ගහන්නේ නැතුව හිනාවෙවී ඉන්නේ කියලා

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

පෙරේදා හවස නංගිගෙන් කෝල් එකක් ආවා.

"අයියේ තාත්තට හාට් ඇටෑක් එකක් ඇවිත් හෝමගම හොස්පිටල් එකේ නතර කලා"

කලින් දැනුනු හිරි වැටීම මෙද පාර නොදැනුනේ ඇයි?

මගේ හිතේ තාත්තා ගැන තිබුනු ආදරේ අඩුවෙලාද?

මම ළමයෙක් වගේ හිතන එක නතර කරලා වැඩිහිටියෙක් වගේ හිතන්න පටන් අරන්ද?

මගේත් රැවුල කොන්ඩේ සුදුවෙන්න පටන් අරන් එහෙම වයසට යන්න පටන් අරන් ඉන්න එකේ තාත්තාත් දැන් වයසයි කියලා මම හිතනවද?

මනෝකාය, මරණය හා සසර ප්‍රගමනය පොත ආපහු වතාවක් කියෙව්වට පස්සේ මාව ඕනෑම දුකක් වේදනාවක් ඉවසන්න තරම් නිර්වින්දනය කරලද?

"මම, මගේ කියලා මමත්වයකින් රැක ගන්න හදන දේවල් මගේ වෙන්නේ කොහොමද"

මගේ කියලා මම හිතාගෙන ඉන්න මගේ ශරීරය වත් මගේ නොවෙයි නම් . . . මගේ අය, මම ආදරය කරන අය, මට ආදරය කරන අය කියලා මම හිතාගෙන ඉන්න අය කරන දේවල් වලින් හිත රිදෝ නොගෙන ඉන්න ඒ පොතේ කරුනු හේතු වුනා තමයි.

කිසි දෙයක් නිසා ඕනවට වඩා සැලෙන්න නැතිව ඉන්න එක හොඳ දෙයක් උනත් මට වෙලාවකට හිතෙනවා එහෙම නොවී ඉන්න තිබ්බනම් කියලා . .

. . . . . . . . . . . . .

නංගීයි ඒ රෝහලේ වැඩ කරන මගේ මිතුරිය නදීගේ මල්ලී දොස්තර චමත් යි කියපු විදිහට තාත්තා ට සුව වෙමින් පවතිනවා. ඒත් සති ගානක් යනකම් බොහෝම පරිස්සම් වෙන්න වෙයිලු.

තාත්තාට ඉක්මනට සනීපවෙලා, ආපහු පරන සුපුරුදු පරිදි මට තාත්තා එක්ක වලි දාගන්න ලැබේවා.

Thursday, August 4, 2011

ඒ රටේ මිනිස්සු . . . !


අපි මෙහේ (ඩුබායි - අබුඩබි ) ඉන්න පිලිපීන් ජාතිකයින්ට හිනාවෙනවා මුන් උපයන ගාන වගේ දෙගුනයක් තුන්ගුනයක් ජීවත් වෙන්න වියදම් කරනවා ඇති කියලා. මුන්ට කිසිම බරපතලක් නැති දියුනු වෙන්න කිසිම උනන්දුවක් නැති ෂෝ එක විතරක් තියෙන සෙල්ලක්කාර ජාතියක් කියලා.

උන් අඳින්නේ ලකොස්ටේ, ලී කූපර්, ජෝර්ඩානෝ වගේ බ්‍රෑන්ඩඩ් ඇඳුම්මයි. දාන්නේ නයිකි, ඇඩිඩාස්, මෙරිල්, කොන්වර්ස් වගේ බ්‍රෑන්ඩ්ස් වල සපත්තු තමයි. ගාන්නේ සිමියාකි, ක්‍රිස්ටියන් ඩියෝර්, ඩන්හිල් වගේ සුවඳ විලවුන්. මැක්ඩොනල්ඩ්, කේඑෆ්සී, සබ්වේ වලින් කාලා ස්ටාර්බක්ස් වලින් කෝපි බීලා ෆුල්ම ෆන් එකේ(ෆන්ද ශෝද කියලා හරියටම කියන්න බෑ) ඉන්න ජාතියක්.

අපි සමහර වෙලාවට කියනවා පිල්ලෝ-පිල්ලියෝ මේ වගේ ජාතියක් නිසා ෆර්ඩිනන්ඩ් මාකෝස් - ඉමෙල්ඩා මාකෝස් වගේ මහජන මුදල් උඩ පිනුම් ගහන දේශපාලකයෝ බිහිවෙන්නේ නැතිනම් තමයි පුදුමේ කියලා.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

"සුළැඟිල්ලට කිරි එරෙන මාමා" කියලා මම දාපු පෝස්ට් එක කිවපු අයට මතක ඇති මම කිව්වා ඒ ලිපිය අපේ අක්කගේ ලොකු දූ අඩු වයසින් කසාද බඳින නිසා ඇති වුනු දුකට ලියවුනු එකක් වග.

මගේ අබුඩාබි රැකියාව නැති උනාට පස්සේ අපේ ගෙදර උන්දැයි සොඳුරු ත්‍රස්තවාදියයි ලංකාවේ ගිහින් පදිංචි වුනානේ. සතියකට පස්සේ ඩුබායි වලින් රැකියාවක් ලැබුනත් කොලුවව එහේ මොන්ටිසෝරියකට එහෙම දාලා කොලුවා ආසාවෙන් මොන්ටිසෝරි යන නිසා අපේ ගෙදර උන්දෑ කියන්නෙම තව ටික කාලයක් එහේ ඉන්නම් කියලමයි.

මේ මාසේ (අගෝස්තු මාසේ) නිවාඩු නිසා අපි කතාවුනා එහෙනම් මේ මාසේ වත් ආපහු ඩුබායි ඇවිත් ඉස්කෝලේ පටන් ගනිද්දී ආපහු කොල්ලයි අම්මයි යමු කියලා.

මෙහේ වසන්තයේදී උෂ්ණත්වය අම්බානකට ඉහල යන නිසා ඉස්කෝල වල වසන්තය නිවාඩුව මාස තුනක විතර දිගයි. දුමීගේ දුව ජනදිගෙයි පුතා තරුකගෙයි පාසැල් නිවාඩුව නිසා දුමීගේ ගමහාමිනෙයි දරුවෝ තුන්දෙනයි මේ දවස් ටිකේ ලංකාවේ.

අපේ ගෙදර උන්දෑවයි සොඳුරු ත්‍රස්තවාදියවයි මාසෙකට ආපහු ගෙන්න ගන්න ප්ලෑන් ගහද්දී තමයි දුමී කිව්වේ මාසෙකට ගෙවල් ගන්න ඕන නෑ අපේ ගෙදර අයත් නිවාඩු ගිහින් ඉන්න එකේ අපේ ගෙදර හිටපන් කියලා.

. . . .. . . . . . . . . . . . . . . . . . . . . . . . .

ගිය මාසේ දවසක් මමයි ලොක්කයි ව්‍යාපෘති රැස්වීමකට යන ගමන් මම ලොක්කට කිව්වා අක්කගේ දුවගේ මගුල් ගෙදරට සහභාගී වෙලා එන ගමන් මගේ ගෙදර උන්දෑවයි කොල්ලවයිත් එක්ක ඕන නිසා මට ලබන සතියේ සතියකට නිවාඩු යන්න ඕන බව.

"ලංකාවෙත් වසන්ත නිවාඩුවද" ලොක්කා ඇහුවා.

"මේ නිවාඩුවට අපි ඉස්සර කියන්නේ "සරුංගල් නිවාඩුව" මම කිව්වා.

"මගේ ගල්ෆ් ජීවිතයේ අත්දැකීම අනුව, පිලිපීන් ජාතිකයෝ හැරුනු කොට උන් වගේ ජොලියේ ඉන්න අනිත් ජාතිය තමයි ශ්‍රී ලාංකිකයෝ" ලොක්කා කිව්වා.

ඒක අගය කිරීමක්ද නැතිනම් අපි පිල්ලෝ ගැන කියනවා වගේ අපහාසයට කියපු ඇනුම්පදයක්ද තෝර බේර ගන්න බැරි උනු මම හ්හ්ම්ම්ම් අපි ශ්‍රී ලාංකිකයෝ සතුටින් ජීවත් වෙන්න කැමති සරල මනුස්සයෝ" කියලා ලාවට කියල දාල මාතෘකාව වෙනස් කලා.

. . . .. . . . . . . . . . . . . . . . . . . . . . . . .

සතියක් නිවාඩුව ගතකරලා ගිය 27වෙනිදා ආපහු ඇවිත් ඔෆිස් ගිය ගමන් මට එහා පැත්තේ මේසේ ඉන්න නගා ඇහුවේ "කොහොමද අයියේ ඡන්දේ" කියලා.

මට එතකොටයි මතක් උනේ චන්දයක් තිබ්බ බව. (ඡන්දේ දවසේ රස බර සිදුවීම් ටිකක් තියෙනවා. ඒවා පස්සේ වෙලාවක ලියන්නම්) අනේ නංගී ඡන්දයක් තිබ්බ බව නම් දන්නවා . . මොකා දින්නද මොකා පරාදද කියල නම් දන්නේ නෑ" කියලා

අපි රටින් පිට ඉන්න කොට රටේ සුලු සිදුවීමක් වුනත් මහා ලොකු දෙයක් වගේ පේනවා ඒත් රටේ ඉන්නකොට රට ඇතුලේ මහා ලොකු දෙයක් උනත් සුලු දෙයක් තරම් වත් දැනෙන්නේ නැති එක මාර දෙයක්නේ කියලයි මට හිතුනේ.

අපි මෙහේ ඉඳන් බනිනවා රටේ ඉන්නේ කිසිම හැඟීමක් දැනීමක් නැති, ඕනම ගොන් පාර්ට් එකක් එහෙයි කියලා හුරේ දාන මෝඩයෝ කියලා.

ලංකාවේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට ජීවිතේ ගැටගන්න ගන්න මහන්සියත් එක්ක රටේ ප්‍රශ්න ගැන සංවේදී වෙන්න බෑ කියලා කට්ටියක් කියනවා.

ඒත් ජීවිතේ ගැටගහගැනීම ලොකු ප්‍රශ්නයක් නොවන, දේශපාලනයට අම්බානක උනන්දුවක් තියෙන මමත් ලංකාවට ගියාම දෙනදේ කාලා වෙනදේ බලං දිහා බකන් නිලාගෙන ඉන්න එකෙක් වෙනවා.

එහෙම හිතුවාම මතක් උනේ අපේ ලොක්කගේ ඇනුම්පදේ වැරදිම නෑ නේද කියලා.

කවුරුහරි මට කිව්වොත් මගේ ගති ලක්ෂණ අනුව අනිත් සිරි ලාංකිකයොත් මම වගේ ම අය කියලා හිතලා සිරි දේසේ ගැන මක්කයි කියන්න පුලුවන් කියලා . . .

අම්මපා වෙඩි තිව්වත්, දේස දොරෝහියා කිව්වත් මට කියන්න හිතෙන්නේ "ලෝකෙන් උතුම රට ලංකාවයි . . .. ලංකාවයි සිරි ලංකාවයි" කියලා නම් නෙමේ ඕන් . . .

"ඒ රටේ මිනිස්සු . . . තනිකර කෙලින්නේ පිස්සූ . . .
අම්මපා ඕයි ඒ රටේ මිනිස්සු . . . තනිකර කෙලින්නේ පිස්සු . . . " කියලා තමයි . . .

Pic Taken from: http://olc.spsd.sk.ca/teachers/month/march/index.html

Friday, July 15, 2011

උරය පලා සැතකින් . . . .!



කෝට්ටේ රජමහා විහාරයේ පිටිපස්සේ මායිමේ පන්සල් වත්ත මායිමේ මැදට වෙන්න තියෙන කාක බෝධියට ලම්බකව තියෙන පාරට අපි කිව්වේ වතුර ටැංකිය පාර කියලා.

ඒ පාරේ වම් අත පැත්තේ දෙවෙනියට හෝ තුන්වෙනියට තිබුනු ගෙදර ඒ කාලයේ හැටියට ලොකු ගෙයක්. ඇස්බැස්ටොස් තහඩු හෙවිල්ලපු, ගේ ඉස්සරහා ලස්සනට මල් වවපු, අඩි පහක් විතර උසට තාප්පේ ගහපු ලස්සන ගෙයක්.

"සිරි අයියේ . . ජාති ආල කාරයෝ ටැංකිය පාරේ දෙමළ ගේ ගිනි තියලෝ . . ." ගේ ඉස්සරහින් කවුරු හරි කෑ ගහගෙන ගියා.

පනිවිඩේ අහන්න තාත්තා ගෙදර හිටියද කියලා මතකයක් නෑ . .

"ජාති ආලය කියන්නේ දෙමළ ගෙවල් ගිනි තියන එකද?" කියලා අර කියපු මනුස්සයගෙන් අහගන්න බැරි උනේ ඒ මනුස්සයා හදිසියේ දුව දුව වගේ හිටපු නිසා වෙන්න ඕන.

ටික වෙලාවකින් මම හිටියේ "ජාති ආලේ" තියෙන අය ගිනි තියපු අර කලින් කිව්ව ලස්සන ගේ ඉස්සරහා. ගේ තිබුනු පැත්තේ නෙමෙයි. පාරෙන් එහා පැත්තේ.

ඒ වෙනකොට අවුරුදු 10ක් වත් සම්පූර්න නැති මම එතනට ආවේ කාත් එක්කද කියලා මතකයක් අද නෑ. සමහර විට මාත් එක්ක සෙල්ලම් කර කර හිටපු කොලු නඩේ එක්ක වෙන්න පුලුවන්.

ලස්සන ගේ අතුලේ එකම ගිලි ජාලාවක්. පට පට ගාලා පිපිරුවේ ගෙයි සිවිලිමේ තහඩුද වහලේ තහඩුද කියලා නිච්චියක් නෑ.

මිනිස්සු 30ක් 40ක් එතනට වෙලා අර ගිනි ජාලාව දිහා බලන් හිටියා.

අවුරුදු 10යේ මම ඇපලෝ සර්කස් බලද්දී වගේ කුතුහලයකින් මැජික් එකක් දිහා බලන් ඉන්නවා වගේ බලන් හිටියා.

අර හිටියැයි කිව්ව මිනිස්සු "හොඳ වැඩේ තොපිට දෙමළ පර හැත්ත" කියලා සංතෝසෙන් බලන් හිටියද "අනේ කවුරු වුනත් මිනිස්සුනේ, කොහෙවත් ඉන්න කවුරු හරි කරපු දේකට මේ මිනිස්සු පලිද" කියලා දුකෙන් බලන් හිටියද කියලා නම් මතකයක් හිතේ කොනක වත් නෑ . .

ගෙදර මිනිස්සුන්ව පන්සලේ නායක හාමුදුවෝ උන්නාන්සේගේ කාමරයේ හංගගෙන ඉඳලා ඒ අයගේ ජීවිත බේරා ගත්තා කියලා ටික දවසකට පස්සේ ගමේ අය කතා වුනා.

ගිනි ජාලාව දිහා කොයි තරම් කාලයක් බලන් හිටියද කියලත් මතක නෑ ඒත් ආපහු ගෙදර යන ගමනෙදි විජේසූරිය වලව් වත්තට ටිකක් මෙහාට වෙන්න පාර අයිනේ ලස්සන පාට පාට මල් පිපෙන ගඳපාන ගහක් මුල තිබිලා පොතක් අහුල ගත්ත බව මතකයි.

"ජාති ආල කාරයෝ අර ගෙදර බඩු උස්සන් යද්දී වැටෙන්න ඇති" කවුදෝ කිව්ව වගේ ලාවට මතකයි.

පොතේ නම "සාමාන්‍ය දැනීම" කතෘ අනුර සී පෙරේරා.

“දෙමළ මිනිස්සු සිංහලෙන් ලියපු පොත් කියවනවද?” කියලා අපිත් එක්ක යමින් හිටි කාගෙන් හරි අහන්න තරම් පන්ඩිත කමක් මට තියෙන්න ඇති උනත් එහෙම ඇහුවේ නැත්තේ "වැටිලා තිබුන උනත් අනුන්ගේ දේවල් අපිට ඕන නෑ කියලා කියන අම්ම හිටියනම් මේ පොත මට අහුලගන්න දෙන එකක් නෑ" කියලා හිතමින් හිටපු නිසා වෙන්න ඇති.

ඒ වයසේ හිටපු මට මහා ලොකු දේවල් කියලා හිතුනු ඒ පොතේ තිබුනු කරුනු:
සෞරග්‍රහ මණ්ඩලය තාරකාවන් ගැන
ලෝකයේ දිගම ගඟ ගැන
පිරමීඩ ගැන
වැඩිම ජනගහනයක් ඉන්න රට
කට පාඩම් කරගෙන ගිහින් පන්තියේ කොල්ලෝ ඉස්සරහා ලොකු ශෝ දැම්මා කියලා මතකයි.

බලලා ගෙනත් දෙන්නම් කියල ඒ පොත ගෙනියපු එකෙක් ඒක ගෙනත් නොදී හිටියා.

ජාති ආලය කියන්නේ මොකද්ද, 83 ජූලි කලබල කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුලුවන් වුනු වයසේ ඉඳන් මම හිටියේ හිත ඇතුලෙන් පිච්චි පිච්චී . . .

වක්‍රාකාරව හරි අහිංසක මනුස්සයෙක්ගේ දෙයක් මංකොල්ල කන්න මම හවුල් වුනා නේද කියන ගිල්ටි ෆීලින්ග් එකෙන් මිදෙන්න මට කවදාවත් පුලුවන් වුනේ නෑ . .

පොත ගෙනත් නොදීපු එකාට පින් දීලා මට ඒ කරුම හැඟීමෙන් ගැලවෙන්න බැරි උනා . . අදටත් බෑ . .

ලංකාවේ රැකියාවක් කලා නම් උපයන්න පුලුවන් වෙයි කියලා හීනෙන් වත් නොහිතන ගානක් උපයන රැකියාවක් කරලා වත් හදමින් ඉන්න කාමර තුනෙයි, සාලයයි, කෑම කාමරය, කුස්සිය, ටීවී රූම් එකකුයි තියෙන විසාල නොවන ගේ හදාගෙන ඉවරයක් කරගන්න බැරුව ළතවෙන මාව අලුතෙන්ම පිච්චෙන්න ගන්නේ පුංචි කාලේ මතකයන් අතරේ තියෙන අර ගිනි ජාලාවක් වෙලා තිබුනු ගේ ගැන සිහිවෙනකොට.

ඒ ගේ හදන්න ඒ මිනිස්සු කොයි තරම් දුක් කරදර විඳින්න ඇද්ද?

ඒ දෙමළ තාත්තා තරුණ කාලේ ඉඳන් මැදි වයසට එනකම් එකතු කරපු සල්ලි වලින් ඒ ගේ හැදුවා වෙන්න ඇති.

ඒ වගේ ගෙයක් හදාගන්න උදේ හවා රැකියාව කරලා මදි හරියට පාර්ට් ටයිම් රැකියාත් කලා වෙන්න ඇති.

ඒත් ඒ හැමදේම පිච්චිලා අලුවෙලා යන්න ගියේ කොයි තරම් සුලු කාලයක්ද?

ඒ මිනිස්සුන්ට මොන දුකක් දැනෙන්න ඇද්ද?

සමහර විට මාතරින් (දකුනෙන්) යාපනේට ගිහින් දාඩිය බේරී බේරී දුක් විඳලා බේකරි දාගෙන හරි, පොඩි කඩ දාගෙන හරි පුංචි ගෙයක් දොරක් හදා ගත්තු, ව්‍යාපාරයක් පටන් ගත්තු අහිංසක සිංහල මිනිස්සුන්ගේ දේපොල ත්‍රස්තවාදීන් ගිනි තියද්දී ඒ අයටත් ඒ හැඟීමමම දැනෙන්න ඇති . . .

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ජා කවුරු වුනත් අතරේ ත්‍රස්තවාදීම් ඉන්න පුලුවන්.

බස් වල - කෝච්චි වල බෝම්බ පුපුරවන, පන්සල් වලට පැනලා හාමුදුරුවරු කැති ගහලා මරන, මුස්ලිම් පල්ලි වලට පැනලා යාඥා කරන බැති මතුන් මරන, කුඩු ගෙන්වලා තරුණ පරම්පරාව බිලි ගන්න, රටේ සංවර්ධනයට යොදා ගතයුතු මහජන මුදල් කාබාසිනියා කරන, අහිංසක අසරණ මිනිස්සුන්ට තාඩන පීඩන කරන . . . .ත්‍රස්තවාදීන්ට, ත්‍රස්තවාදීන්ට සලකන විදිහකට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ජා අපි කවුරුත් එකතු වෙලා ගහලා පන්නලා දාලා. .

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ජා අපි කවුරුත් සැතකින් උරය පැලුවොත් එකම රතු රුහිරු ගලන මිනිසුන් කියලා හිතලා සමඟියෙන් ඉන්න පුලුවන් දවසක් උදා වෙනවා නම් . . . . !

හිතේ කිසිම කහටක් නැතුව සිංහල අවුරුදු දාට දෙමළ-මුස්ලිම්-බර්ගර් යාළු ගෙවල් වලට කිරිබත්-කැවුම්-කොකිස් පිඟානක් ගෙනියන, තෛපොන්ගල් දවසට සිංහල-මුස්ලිම්-බර්ගර් යාළු ගෙවල් වලට කෑම පිඟානක් ගෙනියන, රාමසාන් උත්සව දවස්වලට කන්ජි කෝප්පයක්-බිරියානි පිඟානක්-වටලප්පන් කෝප්පයක් සිංහල-දෙමල-බර්ගර් යළු ගෙවල් වලට ගෙනියන්න ලැබෙන දවසක් උදා වෙනවා නම් . . . . !

Monday, July 4, 2011

යසෝදරා වන් බිරිඳක් . . . !



හැම සැමියෙකුගේම ප්‍රාර්ථනාව යසෝදරා වන් බිරිඳක්.

බෞද්ධ සාහිත්‍ය ගැන දැනීමක් ඇති ඕනෑම කෙනෙක් මා මේ ඉහතින් දැක්වූ අදහස එක සිතින් පිලිගන්නවා ඇති යන්න මගේ හැඟීමයි.

සිද්ධාර්ථ චරිතය, ගෞතම බුද්ධ චරිතය ගැන ගැඹුරින් අධ්‍යනය කල අය දන්නවා ඇති ගෞතම බුදුන් යසෝදරාගේ ගුණකඳ වර්ණනා කරන්න කිසි විටෙක පසුබට නොවූ වග.

එතුමා හැකි සෑම අවස්ථාවකදීම සඳහන් කර තිබෙනවා එතුමාගේ සත්‍ය සොයා යන ගමනට එසේත් නැතිනම් ලෝවැසින්ට සසර දුකෙන් මිදී නිර්වාණය අත්කරගැනීම වෙනුවෙන් වෙහෙසවුනු කාර්‍ය්යට යසෝදරා උපරිම අනුබලය දුන්වග.

සනත් නන්දසිරි මහතා ගායනා කරන "සිතේ නැඟුනු කළකිරීම කුමරිය ඔබ පමනයි දැන සිටියේ පෙර සිට" ගීතයේත් "එයින් මිදෙන මංපෙත සොයනා සඳ . . ඔබෙන් ලැබින නිබඳවම සියළු වෙර" ලෙසින් සඳහන් වන්නේ ඒ ඇගෙන් ලැබුනු අනුබලයේ දෝංකාරයයි.

බුද්ධත්වයෙන් පසු කපිලවස්තු පුරයට ගෞතම බුදුන් වැඩමකල අවස්තාවේ, සුදොවුන් පිය රජතුමාත් යසෝදරා සහ රහල් පුතුත් දැකගැනීමට මාලිගාවට වැඩම කල මොහොතේ යසෝදරා එතුමා අභිමුඛයට නොපැමින "ඔහු වෙනුවෙන් බිරිඳක් ලෙස මා කල කැපකිරීම් ගැන ඔහු සලකනවානම් මා අභිමුඛයට ඔහු පැමිණිය යුතුයි" සිතා ඇගේ කුටියට වී සිටි බව අප කියවා ඇත්තෙමු.

"මා හිස මුඩු කල බව අසා හිස මුඩුකල, මා දිනකට එක්වරක් ආහාර ගන්නා බව අසා දිනකට එක්වරක් අනුභව කරන, මා දළ කසාවත් පොරවන බව අසා දළ කසාවතින් රන් රුව පොරවන, රහල් කුමරු උපන්දාම මා ඔවුන් හැර ගිය නිසාවෙන් සියලු දුක් දොම්නස් උසුලන, මට සත්‍ය සොයා යන ගමනට දිරි දුන් යසෝදරාව බැහැදකින්න මා යායුතුයි" කියා ගෞතම බුදුන් යශෝදරාගේ කුටියට වැඩම කල බවත් එහිදී යසෝදරා බුදු පා මුල වැටී කඳුලින් බුදුපා තෙමූ වගත් අප කියවා ඇත්තෙමු.

යසෝදරාව කලාක් මෙන් හිස මුඩුකිරීම්, එක වරක් අනුභවය ආදී දේ සැමියන් බලාපොරොත්තු නොවුනත් යසෝදරාව මෙන් සැමියාගේ පරමාර්ථ හඳුනාගෙන ඒවා උසස් ඒවා යැයි හැඟේ නම් ඔහුට ඒ වෙනුවෙන් දිරිදීම සැමියාගේ ගමන් මගේ පහන් ටැඹක් වීම ආදියෙන් මා මුලින් කී ආකාරයෙන් සැමියා බලාපොරොත්තු වන යසෝදරාවක් වීම බිරිඳකට මහා අමාරු කාරියක් නොවන බව මඟේ හැඟීමයි.

දරුවන් කීප දෙනෙක් සමඟ බිරිඳ අත්හැර අභිනික්මන් කරන සිද්ධාර්ථ ලා අද සමාජයේ බොහෝ නමුත් ඒ සිද්ධාර්ථලාගේ අභිනික්මන සමාජයට අර්ථයක් සිද්ධ කිරීම නොවන නිසාම ඔවුන්ට සමාව දෙන්න බැරි වීම වෙනමම කාරණයක්.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

සමාජශීලී මිනිසෙක් වූ දාටත් වඩා පවුලේ යමක් තේරෙන කුඩා සහෝදරයෙක් දා පටන් කිසිම රස කෑමක් තනිවම බුක්ති විඳීමේ හැකියාව මා අතැර ගිය බැව් මා දනිමි. ඉදින් එවන් වූ මා හැමදෙනාටම රසවිඳිය හැකි යමක් ලදහොත් බෙදා හදාගෙන රසවිඳින්න පමා වන්නේ ඇයි.

"මචං මේක අහල බලපන්" කියා පෙරේදා මා මිතුරු බුද්ධි ඔහුගේ එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකේ තිබී අහම්බෙන් හමුවූ නරසීහ ගාථා MP3 එකක් අසන්න සැලස්වීය.

ඒ අසා උපන් තෘප්තිය ඒ නරසීහ ගාථා ඔබ සැමට රසවිඳින්න සල්වනු වස් මෙවන් වූ ලිපියක් ලියන්න ඉඩසැලසූ බව කියන්නේ සතුටිනි.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

බුද්ධත්වයෙන් පසු කපිලවස්තු පුරයට වැඩමකල ගෞතම බුදුන් එහි වීථි පුරා පා ගමනින් වැඩමකරද්දී, යසෝදරා සුදොවුන් රජ මාලිගයේ සඳළුතලාවේ සිට රහල් කුමරු තුරුල් කරගෙන එසේ පා ගමනින් වඩින බුදු පියා පෙන්වා මේ නරසීහ ගාථා ගැයූ බව අප බුද්ධ සාහිත්‍ය පත පොතින් කියවා ඇත්තෙමු.

එසේ කියවූ නරසීහ ගාථා මෙසේ අසද්දී දැනෙන හැඟීම ඔබත් විඳ බලන්න . . .



අනුමාන කරන ආකාරයට ගායිකාවගේ හඬ නම් විශාරද රශ්මි සංගීතා ගේ විය යුතුයි.

මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක . .

පහල නරසීහ ගාථා ගැන ඇති පින්තූරය ගත්තේ එලකිරි අඩවියෙන්




අනෙක් පින්තූරය ගත්තේ මෙතැනින්: http://thienviendaidang.net/01phathoc/nghiencuu.php?rowstart=462

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails