මොකද කියනවනම් වැඩිහිටි අපි ආදරේ කියලා තේරුම් ගන්නේ කෙනෙක් ගේ කටින් කියන දේ නිසා.
බින්දු මාත්‍රයක් ආදරයක් හදවතේ නැතුව "මම ඔයාට ආදරෙයි සුදූ" කියලා හරි "මම මේ හැමදේම කරන්නේ ඔයාට තියෙන ආදරේ නිසානේ පැටියෝ" හරි කියලා කිව්ව ගමන් අපි කුප්පමේනියා ගහක් දැක්ක පූසෙක් වගේ හතරගාතෙන් ඒ කෙනා ලඟ වැටෙනවා.
ඒ අපි හදවතින් දැනෙන දේට වඩා කටින් කියන දේ විස්වාස කරන නිසා.
ඒත් ළමයින් එක්ක ඒ සෙල්ලම් බෑ.
ළමයින් ආදරේ අඳුන ගන්නේ ඒ අයගේ හදවතට දැනෙනවනම් විතරයි.
අපේ හිතේ ආදරයක් ඇති නොවුනු ළමයෙක්ට "මම ඔයාට ගොඩාක් ආදරෙයි බබෝ" කියලා පුලුවන් තරම් ළයාන්විතවම කියල බලන්න ළඟට එයිද කියලා . . . . !!
නෑ බැරි වෙලාවත් ආවොත් විනාඩි ගානක් ලඟ ඉන්නේ නෑ . . .
එහෙම වෙන්නේ ළමයි කටින් කියන දේට වඩා හිතට දැනෙන ආදරේට සංවේදී නිසා.
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
මගේ කොලු පැටියා විරුල් හෙවත් සොඳුරු ත්‍රස්තවාදියා ගැන මම කාලෙකට කලින් ලියපු සටහනිනුත් කිව්වා "මම පුංචි එකා සංදියේ ඉඳන් පොඩි උන්ට හරිම ආදරෙයි. පුංචි එවුනුත් මට හරිම ආදරෙයි" කියලා.
දඟ කරන, වද දෙන, කෑ ගහන, අඬන පොඩි උන්ට ආදරේ වෙන්න හැමෝටම බෑ . . බොරු නෙමේ . . බොරු කියලා හිතෙනවනම් පොඩ්ඩක් හිතට තට්ටුවක් දාලා අහලා බලන්න.
ඒත් ඒ අතින් මම වාසනාවන්තයි. පොඩි උන්ගේ ඒ කරදර ඔක්කෝම ඉවසගෙන මට පුලුවනි උන්ට ආදරේ කරන්න. උනුත් මට ආදරේ වෙන්නේ මගේ ඒ ආදරේ දැනෙන නිසා කියලා මම දන්නවා.
ඒ වගේමයි පොඩි උන් එක්ක කටයුතු කරන එක ලේසි නෑ. පොඩි එකෙක් හින්දා මම හොඳටම නා ගත්තු දවසක් මට මතක් වෙනවා.
මගේ මිතුරු ප්‍රින්ස්ගේ ගෙදර ඉස්සර අපි හැමදාම හවසට යනවා. ප්‍රින්ස්ගේ දෝනි මම ආපු ගමන් අතින් අල්ලගෙන යන්නේ එයාගේ සෙල්ලම් බඩු තියෙන තැනට. ඉතිං මම ඔක්කෝටම කලින් දෝනි එක්ක සෙල්ලම් කරලා ඉන්න ඕන.
දවසක් අපි ගමනක් යන්න ලෑස්ති වෙලා පරක්කු වුනු නිසා ප්‍රින්ස්ගේ බිරිඳ දිල්මිගෙන් දෝනිගේ සපත්තු දෙක ඉල්ල ගත්තා මම දාන්නම් කියලා.
"දෝනි කෝ එන්න පාත්තු දාන්න" මම කතා කලා.
"පාත්තු ?? පාත්තු නෙමේ ඒ ෂූස්" හුටා පරිජාලං. . .
මම හැංගෙන්න තැනක් හොයද්දී කට්ටියම බඩවල් අල්ලගෙන හිනාවෙනවා.
. . . . . . . . . . . . . . . . . . . .. . . . . . . . . . . . . . . . .
අපේ තාත්තා අසනීපෙන් හිටි දවස්වල මම ලියපු පෝස්ට් එකේ මම ලිව්වා මේ ලඟක් වෙනකම් මම මේ ලොකේ තරහින් හිටියේ මගේ තාත්තා එක්ක කියලා. ඒකට හේතුව හොයාගත්තෙත් මගේ සොඳුරු ත්‍රස්තවාදියා මාස තුනක් විතර මගෙන් දුරස් වෙලා හිටි කාලේ කියලාත් කිව්වා මතකයි.
දරුවෙක් පියෙක්ගෙන් බලාපොරොත්තු වෙන ආදරේ ඒ තරමටම නොලැබුනාම දරුවෙක්ගේ හිතේ ඒ නොලැබුනු ආදරේ වෙනුවෙන් ඇති වෙන හිඩැස කොයි තරම් භෞතික දේවල් ලබා දුන්නත් පිරෙන්නේ නෑ. එතනදී පියෙක් පවුල වෙනුවෙන් මොන තරම් කැපකිරීම් කලත් දරුවෝ ඒ කැපකිරීම් වලට වඩා අර නොලැබුනු ආදරේ නිසා උපන් තරහව කරපින්නාගෙන යන බව මම අත්දැකීමෙන් දන්නවා.
ඒ හේතුව හින්දම මම හිතුවා මම නම් කවදාවත් අපේ තාත්තා කරපු මෝඩ වැඩේ නම් කරන්නේ නෑ මයි කියලා. මම මගේ කොල්ලට පුලුවන් උපරිමයෙන් ආදරේ දක්වනවා.
ඒත් කොල්ලටයි මටයි ආපහු පොඩි කාලයක් දුරස් වෙලා ඉන්න වෙනවා කියලා හිතුනාම මගේ හිතට හරිම අමාරුයි.
විරුල් මාස තුනේ වගේ පුංචිම කාලේ ඉඳන් මොකද්දෝ අමුතු බාසාවකින් කතා කලා. විරුල්ගේ වයසේ අනිත් ළමයින් අවුරුද්දකින් දෙකකින් සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කතා කරද්දී අපේ විරුල් අර කිව්ව වෙන මොකද්දෝ බාසාවෙන් කතාකරනවා හැබැයි අපි කියන දේ කොල්ලට හොඳට තේරෙනවා. ඌට ඕන කරන දේවලුත් අපිට තේරෙන විදිහකින් කොහොම හරි කියනවා.
අපේ දුමියා නම් ඒකට කිව්වේ "විරුල්ගේ ඒලියන් භාෂාව" කියලා . . . කතා කරන ස්ටයිල් එකට අහගෙන ඉන්න හරිම ආස හිතෙනවා.
මම නම් කියලම හිට්යේ කොල්ලා කලින් ආත්මේ කතා කරපු භාෂාවෙන් කතා කරනවා කියලයි.
ගිය මැසි පළමුදා ඉඳන් විරුල් නදීෂලගේ ගෙවල් ලඟ මොන්ටිසෝරි එකකට යන්න පටන් ගත්තු බවත් මම ලිව්වනේ.
මේ තියෙන්නේ ඒ ලිපිය
හැබැයි මොන්ටිසෝරි යන්න ගත්තායින් පස්සේ විරුල්ගේ අර ඒලින් භාෂාව අඩුවෙලා හොඳට සිංහල කතා කරන්න පටන් අරන් තියෙනවා. ඒත් මෙහේ ආවට පස්සේ සමහර වෙලාවට තනියෙම සෙල්ලම් කරද්දී ආපහු අර ඒලින් භාෂාවෙන් කතා කරනවා.
අහ් කියන්න අමතක උනානේ . . අපේ විරුල් සමහර වචන කියන්නේ උඩ යට මාරු කරලා. කොල්ලගේ මේ උඩ යට මාරු කරලා කියන සීන් එකේදි මට මතක් වෙන්නේ අපේ පුංචිගේ ලොකු දුව නිමාලි අක්කා පිඟානට කිව්වේ නම. එයා පිඟාන කියන එකට කිව්වේ කිඹාන කියලා හික්ස්
අක්කගේ දුවගේ මගුල් ගෙදරට ගිහින් එද්දී ගිය 27 වෙනිදා මාත් එක්කම කොල්ලයි කොල්ලගේ අම්මයි දෙන්නම ආවානේ. ආපහු දිගටම මෙහේ ඉමු කියලා අපි කතාවුනත් නදීෂා කියන්නේ නම් තව ටික කාලයක් ලංකාවේ මොන්ටිසෝරි ගිහින් සිංහල හොඳටම කතා කරද්දී මෙහේ එන්නම් කියලයි.
මගේ උවමනාව ඉන් පස්සේ මෙහේ ඇවිත් අපි තුන්දෙනා එකට ඉඳන් පිටරට රැකියා ජීවිතේ ඉවර කරලා ලංකාවේ පදිංචියට යන කම් කොල්ලව මෙහේ ඉස්කෝලේ යවමු කියන එකයි.
එතකොට සිංහල වගේම ඉංග්‍රීසි භාෂාවත් හොඳින් පුලුවන් වෙයිනේ. එහෙම වුනොත් අප්පච්චිට වගේ විශ්ව සාහිත්‍යයේ පොත් සිංහල පරිවර්ථන එනකම් ඉන්නේ නැතුව කොල්ලට අමු ඉංගිරිසියෙන්ම රස විඳින්න ඇහැක් වෙයිනේ.
ඉතිං ඒ හින්දයි මම කිව්වේ අපිට ආපහු පොඩි කාලයක් දුරස් වෙලා ඉන්න වෙනවයි කියලා. ඒත් අර කිව්ව වගේම අමාරුවෙන් හරි හිත හදාගෙන ඉන්න වෙනවා ඒ දේ කරන්නේ කොල්ලගේම හොඳට කියලා හිතුනහම.
අද කොල්ලගේ හතරවෙනි උපන් දිනේ. ඒ කිව්වේ 2007 සැප්තැම්බර් තුන්වෙනිදා උපන් කොල්ලා අද වෙනකොට අවුරුදු හතරක් සම්පූර්න කරලා පස් වෙනි අවුරුද්ද ලබනවා.
කොල්ලගේ හතරවෙනි උපන් දිනේ දවසේ දාන පෝස්ට් එකට ඒකා ඒලියන් භාෂාව අතහැරලා සිංහල කතා කරන්න පටන් ගත්තායින් පස්සේ එහා මෙහා මාරු කරලා කියන වචන ටික ලියලා තියන්න ඕන කියලා හිතුවා. මේ පහල තියෙන්නේ ඒවා:
මෙනේ = නෙමෙයි
ස්මයිඩ පෑන් = ස්පයිඩ මෑන්
මිකීස් මව් = මිකී මවුස්
නාස්සනයි = ලස්සනයි
ලයින් මැක්වීන් = ලයිට්නින්ග් මැක්වීන්
ඔක්කෝටම හපන් එක තමයි කොල්ලට ජොලියක් ගියාම කියන වචනේ.
මගේ සොඳුරු ත්‍රස්තවාදියා විරුල්ට සුභ උපන් දිනයක් වේවා.
කඩේ යන යන පාරට ටෝයිස් ඉල්ලා නොදුන් විට හඬා වැටෙමින් (ඊයේ රෑ 2-09-2011)






