UAE Sri Lankans Events

Friday, July 15, 2011

උරය පලා සැතකින් . . . .!



කෝට්ටේ රජමහා විහාරයේ පිටිපස්සේ මායිමේ පන්සල් වත්ත මායිමේ මැදට වෙන්න තියෙන කාක බෝධියට ලම්බකව තියෙන පාරට අපි කිව්වේ වතුර ටැංකිය පාර කියලා.

ඒ පාරේ වම් අත පැත්තේ දෙවෙනියට හෝ තුන්වෙනියට තිබුනු ගෙදර ඒ කාලයේ හැටියට ලොකු ගෙයක්. ඇස්බැස්ටොස් තහඩු හෙවිල්ලපු, ගේ ඉස්සරහා ලස්සනට මල් වවපු, අඩි පහක් විතර උසට තාප්පේ ගහපු ලස්සන ගෙයක්.

"සිරි අයියේ . . ජාති ආල කාරයෝ ටැංකිය පාරේ දෙමළ ගේ ගිනි තියලෝ . . ." ගේ ඉස්සරහින් කවුරු හරි කෑ ගහගෙන ගියා.

පනිවිඩේ අහන්න තාත්තා ගෙදර හිටියද කියලා මතකයක් නෑ . .

"ජාති ආලය කියන්නේ දෙමළ ගෙවල් ගිනි තියන එකද?" කියලා අර කියපු මනුස්සයගෙන් අහගන්න බැරි උනේ ඒ මනුස්සයා හදිසියේ දුව දුව වගේ හිටපු නිසා වෙන්න ඕන.

ටික වෙලාවකින් මම හිටියේ "ජාති ආලේ" තියෙන අය ගිනි තියපු අර කලින් කිව්ව ලස්සන ගේ ඉස්සරහා. ගේ තිබුනු පැත්තේ නෙමෙයි. පාරෙන් එහා පැත්තේ.

ඒ වෙනකොට අවුරුදු 10ක් වත් සම්පූර්න නැති මම එතනට ආවේ කාත් එක්කද කියලා මතකයක් අද නෑ. සමහර විට මාත් එක්ක සෙල්ලම් කර කර හිටපු කොලු නඩේ එක්ක වෙන්න පුලුවන්.

ලස්සන ගේ අතුලේ එකම ගිලි ජාලාවක්. පට පට ගාලා පිපිරුවේ ගෙයි සිවිලිමේ තහඩුද වහලේ තහඩුද කියලා නිච්චියක් නෑ.

මිනිස්සු 30ක් 40ක් එතනට වෙලා අර ගිනි ජාලාව දිහා බලන් හිටියා.

අවුරුදු 10යේ මම ඇපලෝ සර්කස් බලද්දී වගේ කුතුහලයකින් මැජික් එකක් දිහා බලන් ඉන්නවා වගේ බලන් හිටියා.

අර හිටියැයි කිව්ව මිනිස්සු "හොඳ වැඩේ තොපිට දෙමළ පර හැත්ත" කියලා සංතෝසෙන් බලන් හිටියද "අනේ කවුරු වුනත් මිනිස්සුනේ, කොහෙවත් ඉන්න කවුරු හරි කරපු දේකට මේ මිනිස්සු පලිද" කියලා දුකෙන් බලන් හිටියද කියලා නම් මතකයක් හිතේ කොනක වත් නෑ . .

ගෙදර මිනිස්සුන්ව පන්සලේ නායක හාමුදුවෝ උන්නාන්සේගේ කාමරයේ හංගගෙන ඉඳලා ඒ අයගේ ජීවිත බේරා ගත්තා කියලා ටික දවසකට පස්සේ ගමේ අය කතා වුනා.

ගිනි ජාලාව දිහා කොයි තරම් කාලයක් බලන් හිටියද කියලත් මතක නෑ ඒත් ආපහු ගෙදර යන ගමනෙදි විජේසූරිය වලව් වත්තට ටිකක් මෙහාට වෙන්න පාර අයිනේ ලස්සන පාට පාට මල් පිපෙන ගඳපාන ගහක් මුල තිබිලා පොතක් අහුල ගත්ත බව මතකයි.

"ජාති ආල කාරයෝ අර ගෙදර බඩු උස්සන් යද්දී වැටෙන්න ඇති" කවුදෝ කිව්ව වගේ ලාවට මතකයි.

පොතේ නම "සාමාන්‍ය දැනීම" කතෘ අනුර සී පෙරේරා.

“දෙමළ මිනිස්සු සිංහලෙන් ලියපු පොත් කියවනවද?” කියලා අපිත් එක්ක යමින් හිටි කාගෙන් හරි අහන්න තරම් පන්ඩිත කමක් මට තියෙන්න ඇති උනත් එහෙම ඇහුවේ නැත්තේ "වැටිලා තිබුන උනත් අනුන්ගේ දේවල් අපිට ඕන නෑ කියලා කියන අම්ම හිටියනම් මේ පොත මට අහුලගන්න දෙන එකක් නෑ" කියලා හිතමින් හිටපු නිසා වෙන්න ඇති.

ඒ වයසේ හිටපු මට මහා ලොකු දේවල් කියලා හිතුනු ඒ පොතේ තිබුනු කරුනු:
සෞරග්‍රහ මණ්ඩලය තාරකාවන් ගැන
ලෝකයේ දිගම ගඟ ගැන
පිරමීඩ ගැන
වැඩිම ජනගහනයක් ඉන්න රට
කට පාඩම් කරගෙන ගිහින් පන්තියේ කොල්ලෝ ඉස්සරහා ලොකු ශෝ දැම්මා කියලා මතකයි.

බලලා ගෙනත් දෙන්නම් කියල ඒ පොත ගෙනියපු එකෙක් ඒක ගෙනත් නොදී හිටියා.

ජාති ආලය කියන්නේ මොකද්ද, 83 ජූලි කලබල කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුලුවන් වුනු වයසේ ඉඳන් මම හිටියේ හිත ඇතුලෙන් පිච්චි පිච්චී . . .

වක්‍රාකාරව හරි අහිංසක මනුස්සයෙක්ගේ දෙයක් මංකොල්ල කන්න මම හවුල් වුනා නේද කියන ගිල්ටි ෆීලින්ග් එකෙන් මිදෙන්න මට කවදාවත් පුලුවන් වුනේ නෑ . .

පොත ගෙනත් නොදීපු එකාට පින් දීලා මට ඒ කරුම හැඟීමෙන් ගැලවෙන්න බැරි උනා . . අදටත් බෑ . .

ලංකාවේ රැකියාවක් කලා නම් උපයන්න පුලුවන් වෙයි කියලා හීනෙන් වත් නොහිතන ගානක් උපයන රැකියාවක් කරලා වත් හදමින් ඉන්න කාමර තුනෙයි, සාලයයි, කෑම කාමරය, කුස්සිය, ටීවී රූම් එකකුයි තියෙන විසාල නොවන ගේ හදාගෙන ඉවරයක් කරගන්න බැරුව ළතවෙන මාව අලුතෙන්ම පිච්චෙන්න ගන්නේ පුංචි කාලේ මතකයන් අතරේ තියෙන අර ගිනි ජාලාවක් වෙලා තිබුනු ගේ ගැන සිහිවෙනකොට.

ඒ ගේ හදන්න ඒ මිනිස්සු කොයි තරම් දුක් කරදර විඳින්න ඇද්ද?

ඒ දෙමළ තාත්තා තරුණ කාලේ ඉඳන් මැදි වයසට එනකම් එකතු කරපු සල්ලි වලින් ඒ ගේ හැදුවා වෙන්න ඇති.

ඒ වගේ ගෙයක් හදාගන්න උදේ හවා රැකියාව කරලා මදි හරියට පාර්ට් ටයිම් රැකියාත් කලා වෙන්න ඇති.

ඒත් ඒ හැමදේම පිච්චිලා අලුවෙලා යන්න ගියේ කොයි තරම් සුලු කාලයක්ද?

ඒ මිනිස්සුන්ට මොන දුකක් දැනෙන්න ඇද්ද?

සමහර විට මාතරින් (දකුනෙන්) යාපනේට ගිහින් දාඩිය බේරී බේරී දුක් විඳලා බේකරි දාගෙන හරි, පොඩි කඩ දාගෙන හරි පුංචි ගෙයක් දොරක් හදා ගත්තු, ව්‍යාපාරයක් පටන් ගත්තු අහිංසක සිංහල මිනිස්සුන්ගේ දේපොල ත්‍රස්තවාදීන් ගිනි තියද්දී ඒ අයටත් ඒ හැඟීමමම දැනෙන්න ඇති . . .

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ජා කවුරු වුනත් අතරේ ත්‍රස්තවාදීම් ඉන්න පුලුවන්.

බස් වල - කෝච්චි වල බෝම්බ පුපුරවන, පන්සල් වලට පැනලා හාමුදුරුවරු කැති ගහලා මරන, මුස්ලිම් පල්ලි වලට පැනලා යාඥා කරන බැති මතුන් මරන, කුඩු ගෙන්වලා තරුණ පරම්පරාව බිලි ගන්න, රටේ සංවර්ධනයට යොදා ගතයුතු මහජන මුදල් කාබාසිනියා කරන, අහිංසක අසරණ මිනිස්සුන්ට තාඩන පීඩන කරන . . . .ත්‍රස්තවාදීන්ට, ත්‍රස්තවාදීන්ට සලකන විදිහකට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ජා අපි කවුරුත් එකතු වෙලා ගහලා පන්නලා දාලා. .

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ජා අපි කවුරුත් සැතකින් උරය පැලුවොත් එකම රතු රුහිරු ගලන මිනිසුන් කියලා හිතලා සමඟියෙන් ඉන්න පුලුවන් දවසක් උදා වෙනවා නම් . . . . !

හිතේ කිසිම කහටක් නැතුව සිංහල අවුරුදු දාට දෙමළ-මුස්ලිම්-බර්ගර් යාළු ගෙවල් වලට කිරිබත්-කැවුම්-කොකිස් පිඟානක් ගෙනියන, තෛපොන්ගල් දවසට සිංහල-මුස්ලිම්-බර්ගර් යාළු ගෙවල් වලට කෑම පිඟානක් ගෙනියන, රාමසාන් උත්සව දවස්වලට කන්ජි කෝප්පයක්-බිරියානි පිඟානක්-වටලප්පන් කෝප්පයක් සිංහල-දෙමල-බර්ගර් යළු ගෙවල් වලට ගෙනියන්න ලැබෙන දවසක් උදා වෙනවා නම් . . . . !

49 comments:

  1. බොහොම ලස්සන ප්‍රාර්ථනාවක් දුකා අයියෙ... 83 ඕක වෙද්දි මම නෑනෙ... ඊට අවුරුද්දකට පස්සෙ තමයි එලියට ආවෙ...

    මෙච්චර සීරියස් පෝස්ට් එකක් අන්තිමට වටලප්පන් ගැන දාපු එක නම් වැරදී... වටලප්පන් කියන එක අහන දකින හැම වෙලාවෙම මතක් වෙන්නෙ අයිය හැදුවයි කියන දෙකලප්පන් එකනෙ.. අන්තිමට මේක කියවලත් හිනාවෙන්නයි වුනේ...

    ReplyDelete
  2. ....ඒ තමයි සැබැ ආශ්වර්යය උදාවෙන දවස.

    ReplyDelete
  3. හරවත් ලිපියක්.. මේ විදිහට හිතන්නෙ කීයෙන් කී දෙනාද?? අපි හැමෝගෙම සිරුරේ දුවන්නෙ එකම රුධිරයයි... අවාසනාවකට අපි අතරේ සිටින බොහෝ දෙනෙකුට මේක වැටහෙන්නෙ නෑ..

    ReplyDelete
  4. ඕක වෙද්දී මන් පොඩි ඉස්කෝලේ ශිෂත්ව පන්තියේ . ටීච මට්ටක්කුලිය පැත්තේ කියල මට හොඳට මතක හිටියේ ලොකු ටීච ඇවිත් එයා එක්ක පණිවිඩය කියනවා ඇහිච්ච නිසා . අපිටත් ගෙදර යන්න කිව්වා . ඒ තමයි ඉස්සෙල්ලම රටේ ප්‍රශ්නෙකට වේලාසනින් ගෙදර ගිය දා . ඊට පස්සේ නම් එහෙම ගිය දවස් අනන්තයි . බස් ස්ට්‍රයික් ..අර අය්යල ඉස්කෝලේ යන්න එපා කියපු දවස් ..බෝම්බ පුපුරන ආරංචි ...අපේ ළමා කලයි යව්වනයයි ගෙවුනේ අන්න එහෙම .
    කොතන මැරෙයිද කියල අවිශ්වාසෙන්. දැන්වත් ඉතින් අපිට අයිතිය ඕන සැනසීමේ ජිවත් වෙලා මැරිලා යන්න .
    අපේ තාත්ත කොළඹ ඉන්දන් පයින්ද කොහෙද ආවේ . ගෙදොරකඩදී කලිසම් කකුලේ රන්දිල තිබ්බ පරිප්පු ඇට ගසා දාල ගෙට ගොඩ වුනා . මන් ඔහුට සදා ස්තුතිවන්ත වෙනවා ඒ පැත්තෙන් ආපු හැමෝම මොකක් හරි කිහිලි ගහන එද්දී එහෙම හිස් අතින් ආවට .
    ඒ වගේම තමයි අම්මගේ නැඟී කෙනෙක් ත්‍රිකුණාමලේ පැත්තේ ඉඳන් යන්තම් පනබේරගෙන ආව . තව මම හුඟක් පුංචි කාලේ මන් හිතන්නේ 83 ට කලින් ඒ පැත්තේ ගෙදරකට ඇවිත් හිටියා වවුනියා පැත්තෙන් එහෙම ආපු පවුලක් . විශාල ගෙදරක් ඒක. ඈත අඳුරු කාමරයක සාරියකින් හදපු ඔන්චිල්ලාවක පුංචි බබෙක් නැලවුනා. මට ඒ ඔන්චිල්ලවට හරි හිතගියා . 71 ගැන අහල තියෙනවා විතරයි . 83 යි 87 යි දැහින්ම දැක්කා . යුද්ධෙන් වෙච්ච විනාසෙත් දැක්ක . ඔයවගේ කතා අනන්තයි . මේවා අපි අලුත් පරපුඅරට කියනවද නැද්ද දුකා . දැනගෙන ආයේ නොවෙන්න වැඩ වෙනවනම් නේද හොඳ .

    ReplyDelete
  5. ඔය සිද්දිය කාලෙ මේ පැත්තෙත් තිබුණ දෙමළ මිනිස්සුන්ගෙ කඩ එහෙම පිච්චුව, දෙමළ ලැයින් වලට පැනල ඒ මිනිස්සුන්ගෙ සත්තු එහෙම හොරකං කළා. ගොඩක්ම ඔය දේ කළේ ජාති ආලෙ හින්ද නෙමෙයි ඒ මිනිස්සුන්ගෙ දේපල වලට තිබිච්ච ආලෙ හින්දයි.
    කීපදෙනෙක්ගෙ ඕන එපාකං මත අපේ මිනිස්සු කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව වැඩකරන හින්ද තමයි ඔය වගේ ඒව දුරදිග යන්නෙ කියල තමයි මට හිතෙන්නෙ.
    වැදගත් ලිපියක්.

    ReplyDelete
  6. අසූතුන කියන්නෙ මම් උපන් අවුරුද්ද.මට මතකයි අප්පච්චිලා කියනව අපේ ගෙවල් දෙකකට විතර එහා තිබ්බ දෙමළ ගෙයක් ගිනි තියපු මිනිස්සු රත්තරන් බඩු අරව මේවා හොරකන් ක‍රන් ගියා කියල.ඒ ගේ කඩපු මිනිහෙක් ජනෙල් වලට ගහන්න ගිහින් ඇහැකුත් අන්දවෙලා.එයාට කරපු නපුරුකම් මේ ආත්මෙම පල දීලා.ඒ මිනිස්සුන්ව හංගලා ආයම යාපනේට යවල තියෙන්නෙ අල්ලපු ගෙදර සීයලා.

    මගෙත් හොදම යාලුවො ඉන්නව දෙමල,මුස්ලිම් අය.ඒත් ඔය පරණ තරහමරහ අමතක වෙන්න පරම්පරා ගානක් යයි කියලයි මටනම් හිතෙන්නෙ.එලිපිට නොපෙන්නුවට හිත් ඇතුලෙන් විදවන මිනිස්සු ගොඩක් අය ඉන්නව.මගෙ දෙමල යාලුවගෙත් අම්ම යුද්දෙ කාලෙ නැතිවෙලා තවම හොයනව.එයා යාපනේ.

    "සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ජා අපි කවුරුත් සැතකින් උරය පැලුවොත් එකම රතු රුහිරු ගලන මිනිසුන් කියලා හිතලා සමඟියෙන් ඉන්න පුලුවන් දවසක් උදා වෙනවා නම් . . . . !"

    අපෙත් ප්‍රාර්ථනය ඒකයි!

    ReplyDelete
  7. වෙනද වගේම වටින පෝස්ට් එකක් දුකා

    ReplyDelete
  8. ඉස්සර වාට්ටුවලට එන ආච්චි අම්මලා සීයලා ගොඩක් අයට සිංහල පුළුවන් ඒ අයගෙන් කොහෙන්ද ඉගෙන ගත්තෙ කියලා ඇහුවම කීවේ ඉස්සර කොළඹ ආශ්‍රිත ප්‍රදේශ වල ඉඳලා මෙහෙ ආපු හැටි තමයි. ඕවා වෙනකොට අපිත් අත් දරුවො නිසා වැඩී විස්තර දන්නේ නෑ. ස්තූතියි දුකා අලුත් කරන මතකයට. ඛේදවාචක ගොඩක් මැද්දෙ ඉඳලා අපි නම් නිවී සැනසිල්ලේ අද සැනසීමෙන් හිටියට. ඒ නැතිවෙච්ච ජීවිත සහ මතකයන් ඒ අහිමි වෙච්ච ජීවන මොහොතවල් මේවා කොහෙන් කොහොම හොයා දෙන්නද. ඒ අහිමිවීම් ඉදිරියේ සිංහල දමිල මුස්ලිම් මොන ජාතියේ වුනත් ඔවුන් සියල්ලෝම රෑ දාවල් තිස්සේ හදවතින් තවමත් වැලපෙනවා...

    ReplyDelete
  9. 83 වෙනකොට මමත් නෑ. අපේ අම්මට් මතක්වෙන මතක්වෙන හැමසැරයක්ගානෙම කියනවා සිංහල මිනිස්සු දෙමල මිනිස්සුන්ගේ කඩ සාප්පු ගිනි තියලා දේපල කොල්ල කාගෙන ගියා ය කියලා.

    පව්. කවුරු උනත් මිනිස්සු නේ. ඒ වගේම එක දවසක් කිරිබත්ගොඩදී මහත දෙමල මනුස්සයෙක්ව මරලා ඒ මනුස්සයාගේ කරේ තිබ්බ චේන් එකත් අරන් ගියා කියලා.

    ඇත්තටම එහෙමත් කාලයක් !!!! අම්මෝ කවදාවත්ම එන්න එපා එහෙම කාලයක් !!!
    (දැකපු නිසා නෙමේ මෙහෙම කියන්නේ. අහපු නිසා. අහලා මෙහෙම එපා වෙනවනම් දැක්කොත් කොහොම එපාවෙයිද !!!)

    ReplyDelete
  10. හැමොටම සාමයෙන් ඉන්න දවසක් එනවනම්...........
    ඒත් තණ්හාව පස්සෙ යන සුලු පිරිසක් නිසයි මෙ හැම දෙයක්ම නැතිවෙන්නෙ.

    ReplyDelete
  11. දෙයක් කරන්න මිනිස්සු කියන අය වැඩිය හිතන්නෙ නෑ දුකා අයියේ. එහෙම හිතනවා නම් අපි මීට වඩා ඉස්සරහින් ඉන්නවා. අපි ඉන්නෙ මුස්ලිම් අය වැඩිපුරම ඉන්න පැත්තක. මේ අවට සිංහල පවුල් කීපයයි ඉන්නේ.ඒත් මොන යම් දෙයක් උනත් ඉස්සර වෙලාම දුවගෙන ඉන්නෙ අර මුස්ලිම් අය. පන්සලට උනත් ඒ අය සැබෑවටම හිතවත්.

    මම දන්නා කියන අය ඉන්නවා දුකා අයියේ තවමත් අදටත් දමිළ කෙනෙක් දැක්කොත් තරහින් පුපුරනවා. මොකද හිත ඇතුලෙ තියෙන තරහම තවමත් ඉවර නෑ.

    ජාති කීයද අපේ රට ඇතුලෙ ඉන්නේ. ඒ ටිකට සාමයෙන් ඉන්න බැරිනම් තව මොනාද ....

    අතීතයේ මොනවා උනත් ...අනාගතයේදීවත් අපි හැමෝටම එකට එක්වෙලා සාමයෙන් සහයෝගයෙන් ඉන්න පුළුවන්නම්.....!

    ReplyDelete
  12. තමන් වගේ නොවන අයත් තමන් වගේම දුක වේදනාව දැනෙන අය බව හැමට දකින්නට හැකි දිනයක් උදා වෙනවානම්.
    නුවර සාප්පු තුනක් ගිනි තබා තිබුණු බව හැර මට වැඩි විස්තරයක් මතක නැහැ 83 ගැන. නමුත් හැත්තෑව දශකයේ පටන්ම අපේ රටේ දිගින් දිගට ඇවිළෙන භීෂණය විසින් ජීවිතවල වටිනාකම, දහදියේ වටිනාකම හෑල්ලුවට ලක් කරලා.

    ReplyDelete
  13. හ්ම්ම්..... ආයෙත් පරණ දුකා අයියගේ පෝස්ට් එකක් කියෙව්වා.. හුඟාක් ආඩම්බරයි අයියේ.

    ReplyDelete
  14. අපි වචන වලින් විතරක් ආශ්වර්යයක් කරලා හරියන්නෙනැ අපේ අඳහස් සිතුම් පැතුම් තමයි වෙනස් වෙන්න ඔනෙ එතකොට නිකන්ම අපි ආශ්වර්යයක් කරා ගමන් කරාවි.
    අපි උතුරේ රාජකාරි කරන කොට කිප දවසක් දෙමළ අම්මලා අක්කලා අපිට කන්න දිලා තියේනවා 

    ReplyDelete
  15. මේක කියවපු මට මතක් උනේ දවස් දෙක තුනකට කලින් ‍face book එකේ ජනප්‍රිය ගෘප් එකක (අපේ) කට්ටිය තවත් සාමාජිකයො 30000 ක් විකර හිටපු දෙමල අයගෙ ගෘප් එකක් තහනම් කරන්න කියල ඉල්ලල හිටපු හැටි. හැමෝම දෙමල අකුරු දැකපු ගමන්ම රිපෝට් කරල තිබුන. 90 % ක් දෙනා දැනගෙන හිටියෙ නැහැ google translator එකෙන් ට්‍රාන්ස්ලේට් කරල මේකෙ මොනවද තියෙන්නෙ කියල බලන්න පුලුවන් කියලවත්. 83 වෙන්න ඇත්තෙත් ඒ වගේ තමයි.
    (ගීතික)

    ReplyDelete
  16. ඉතා හොද ප්‍රාර්තනාවක්.
    ඒවගේම කියන්න ඕන දිනක් ඔයා කියන වතුර ටැංකිය පාරේ ගියා මගේ මිතුරියක් එක්ක. ඇය මට ඔය කියන ගෙය පෙන්නලා කිව්ව ඉස්සර ඒ ගෙය අපේ සිංහල මිනිසුන් විසින් විනාශ කල බව.සැගවිලා ඉඳලා රට ගියා කීවා.
    රජ මහා විහාරය පසු පස පාර දෙකට බෙදන තැන නේද?

    ReplyDelete
  17. මම කියවන්න පටන් ගත්තෙ අර පොඩිකාලෙ අයියටත් කරදරයක් උනු ගේ ගිනිගැනීම ගැන ලියල කියල හිතල ...
    හොද පෝස්ට් එකක් දුකා අයිය..මිනිස්සු තව අලුත් වෙද්දි අනිවා ඔය ප්‍රශ්න නැති වෙනව... මම කිව්වෙ අලුත් පරම්පරාව ඉදිරියට එත්දි
    ඔයාල නෙමෙයි.. මේ අපි :P :D

    ReplyDelete
  18. තමුන් හරි කියලා විශ්වාස කරන දේකට පෙනී හිටින්නත් වැරදි දේකට විරුද්ධ වෙන්නත් කොන්දක් තියෙන අය බොහොම අඩුයි, අපේ රටේ ඒක කොහොමත් නෑ වගේ, නීතියක් රකින්නේ නෑති රටේ, උපන්දා ඉදන් බොරුව කරන රටේ , ජාතිවාදය කියන්නේ තවත් එක ප්‍රශ්නයක් තමයි

    ReplyDelete
  19. 83 මගේ ඇස් වලින් දැකපුව කීවොත් උඹේ ඇස් වලින් කඳුළු එනව...

    මනුෂ්‍යයා කියන්නේ .. මනස උසස් කියන එකට.. තමන්ගෙම පන්තියේ මිනිහෙක් වෙන ප්‍රේමදාස මැරුණු වෙලාවේ කිරිබත් කාපු එවුන් ලඟ කොහෙද බන් මනුස්සකම..

    ලාංකික ජාතියත් මහ තිරිසන්ම ජාතියක්... එකේදි ආගම, ජාතිය ප්‍රශ්නයක් නෑ.. වනචාරී ගෝත්‍රික සමාජයක් .. අතීතයේ පටන් අද දක්වා...

    ReplyDelete
  20. හොඳ ලිපියක් දුකා.

    ReplyDelete
  21. කොහොමත් හොඳ දේ කරන්න ගොඩාක් වෙලාව යනවා,, නරක දේ වෙන්න කරන්න යන්නේ ඉතාම සුලු කාලයයි.., ඒ සුලු කාලය ගෙවෙන කොට අපේ අතින් වෙන්න ඕනේ වැරදි ටික වෙලා ඉවරනම් මොකටද අපේ මනුස්සකම්..?
    උඹ කිව්වා වගේ කරන්න අමාරු නෑ අයියේ.., ඔය කොදෙව් මානසිකත්වය නසන කම් ඔවැනි සිතුලිලි පහලවෙන එවුන් ප්‍රමාණේ අතේ ඇඟිළි ගානටත් අඩුවේවි..!

    ReplyDelete
  22. 70 ගණන්වල O/L පංතියේ පරමේශ්වරී හිටියා මුරුක්කු සහ කොට්ට කිලංඟු අරන් ‍එන. සබ්‍රීනා අරන් ආවේ වටලප්පන්. එලනෝර් අරන් එනවා ලව් කේක් දෙසැම්බරයේ. අවුරුදු කාලෙට ප්‍රියංකා තෙල් බේරෙන කැවුම් ගේනවා. 80 ගණන් මැද වෙද්දී එහෙම බෙදාගෙන කාපු අය ඔක්කොම ලංකාවෙන් පිටවෙලා ගියා!!!

    ReplyDelete
  23. දුකා අයියා... මික්ස් කල්චර් කියලා මගෙත් සංකල්පමය අදහසක් තියෙනවනේ ඔය ගැන.

    ඇත්තට කවදහරි දවසක අපිටත් අයියගේ ප්‍රාර්ථනාවේ හිටියට ඉන්න තිබුනොත් කොයිතරම් වාසනාවක්ද...

    ReplyDelete
  24. අපි අපි වගේම අනිත් කෙනා ගැන හිතනකම් ඕක ඔහොමම තියෙයි දුකා. ඉතින් අපිට තියෙන්නේ අපි අපි අතරින් හරි ඕක වෙනස් කරන්න.

    ReplyDelete
  25. මමත් කාලෙකට කලින් ජාති වාදියෙක් . මම එහෙම වුනේ මගේ තාත්තාට කොටි වෙඩි තියලා මරා දාපු දවසේ .. ඒත් මම කවදාකවත් මගේ හැඟීම් ප්‍රසිද්ධියේ එලියට දාලා නෑ .හිතෙන් බැන බැන හිටියා

    අපේ අල්ලපු ගමේ ගෑනු මිනිස්සු කෑලි කෑලි වලට කපලා දාලා තියනවා මම දැකලා තියනවා .. ඒ කෑලි වෙච්ච ගෑනියෙකුගේ තනේ එල්ලිලා කිරිබොන පොඩි එකෙකුත් මම දැකලා තියනවා .. මතකද ගෝනගල කොටි කැපුව හැටි ..මම ඉන්න ඔය අහල පහලමයි ..දැන් ඉතින් ආයේ හංගන්න දෙයක් නෑ ..

    ඒත් දැන් ඉතින් මගේ වෛර ගින්න නිවිලා ඉවරයි ...මම කවදාකවත් ආයේ ඒ ගිනි අවුලන්න යන්නෙත් නෑ .. මමත් හැමදෙයක්ම අල්ලලා දාලා ඉවරයි ..ආයේ හිතේ ජාතිවාදකම් නෑ .

    හොඳ ලිපියක් දුකා අයියා .. 83 අපි උපදින්න හිතලාවත් නෑ ..ඒ ගැන වැඩිය අහලා දැකලත් නෑ .. මේ ලිපිය ලීවට ස්තූතියි ..

    ReplyDelete
  26. 83 උන නරකම වැඩේ තමයි මේ වගේ මැර වැඩ නතර කොරනව වෙනුවට බලයේ උන්න ආන්ඩුව මේවා අවුලපු එක.ඒක ඊට ඉස්සර ජාතිවාදී කෝලාහල පටන්ගත්ත 58 වත් 77 වත් උනේ නැති දෙයක්. රජයත් රජයේ ඇමතිවරුත් ජාතිවාදී කෝලාහල වලට උඩගෙඩි දෙනකොට දෙමල මිනිහට හැරෙන්න වෙන තැනක් නැති උනා.කොටින්ට දේශීයවත් ජාත්යන්තරවත් පිලිගැනීම ආවෙ එතනින්.දෙමල සන්ධානෙන් චන්දෙ ඉල්ලන මන්ත්‍රීගෙ ගෙදර බල්ල මරල ගේට්ටුවෙ මල කුන එල්ලලා යද්දි අද සමහර ජාති ආල කාරයො ඒක ආතල් එකකට අරගෙන තියෙනව.ජන කොටසක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පාගන්න පාගන්න තමයි ත්‍රස්තවාදය බිහිවෙන්නෙ කියන එක අවුරුදු 30 ක ලේ හලපු යුද්ධයකින් පස්සෙවත් සමහරුන්ට තේරිලා නැති එක ගැන ඇත්තටම දුකයි.

    ReplyDelete
  27. සඳරු කිව්වා වගේ 83 අපි ඉපදෙන්න හිතලවත් නෑ... කොහොම වුනත් හැම දේම හිමීට හිමීට විසඳිලා යයි.

    ReplyDelete
  28. නායක හාමුදුරුවොන්ට එතුමා නොකියා උන්නාන්සේ කිව්වනං හරි ලොකු අයියේ. එතුමා කියන්නෙ ගිහියොන්ටනේ.

    ඕකනං මහ බලුම කාලයක් කියලා මට අනන්තවත් හිතිලා තියෙනව ලොකු අයියෙ. ඇත්තටම මිනිහෙක් බලාපොරොත්තුවක් ඉස්සරහ තියාගෙන අඩියෙන් අඩිය ඒකට ලං වෙද්දි කොහෙවත් ඉන්න වේ පුතාල ටිකක් ඇවිත් ජාතිය කියන වැරැද්ද උඩ උන්ගේ බලාපොරොත්තුවට යන පාර පිච්චුවහම ඒ මිනිස්සුන්ට කොහොම දැනෙන්නැද්ද?

    මාතෘකාවෙ ඉඳන් කතාවම සිරා. නන්ද මැඩම්ගෙ මම ආසම සින්දුවක්. මම දැක්කා දවසක් විප්ලවාදි තෙලක් ගහපු එකෙක් ඕකට කියනව ජාති වාදී සින්දුවක්ලු. මට ඒක තේරුනේ නෑ තාමත්!

    ReplyDelete
  29. අසූ තුනේ අපි ලංකාවේ නෑ. නමුත් මේ සේරම කතා ඇහුවා. අපිට අපි හිටිය රටේ ගොඩාක් දමිල , මුස්ලිම් යහලුවෝ හිටියා. අපි සමගියෙන් ජීවත් උනා. නමුත් අපිට හොරෙන් සමහර අය එහේදිත් මුදල් එකතු කරල ලංකාවට එවපු බවත් දන්නවා. මොනව උනත් දැන් ඒ කාලෙ ඉවරයි. අපි අපේ දරුවන්ට මේ දේවල් දෙන්න නරකයි දුකාමල්ලි. අපි සමගියෙන් මේ රටේ එකම ජාතියක් විදිහට ඉන්න එක තමයි වටින්නෙ. සමහරු මැලේසියාව ආදර්ශයට ගත්තට මම දන්නා විදිහට එහෙත් ජාතිවාදය තියෙනවා. මගෙ නංගි එහේ ඉන්නෙ. එහේ ඒ ජාතියෙ අයට වෙන්වෙච්ච තැන් තියෙනවා. සිංගප්පූරුව ඊට වඩා හොදයි. හැමෝම සමඟියෙන් ඉන්නවා. කොහොම උනත් මේ වගේ දැනුවත් කිරීම් හරිම වටිනවා.

    ReplyDelete
  30. දුකා, අපි දන්න අසූ තුන වගේම නොදන්න පනස් හයකුත් තිබ්බ. එදා ඩඩ්ලිලගෙ බඩේ මසලවඩේ කියල මේවට පාර කපපු උං අද බාහු කොටිය කිය කිය අලුත් පාරක් හදනව. දෙමළට දෙමළ උන නිසා වෙච්චි අමුතු ප්‍රශ්ණයක් නැතත් අපි උන්ට උන්ගෙ දේවල් කරගන්න ඉඩ දීල හැම ජාතියකටම වටිනාකමක් නොදුන්නොත් අසූ තුන යලි එන්න බැරි නෑ.

    ReplyDelete
  31. මෙව්වා කරන්නේ ජාති ආලේ තියෙන උන් නෙමේ දුකා කල දුටු කල වල ඉහ ගන්න කාලකන්න්නි හැත්ත.

    ReplyDelete
  32. ඔබේ ලිපිය කියෙව්වම ශ්‍යාම් සෙල්වදුරෙයි ගේ "Funny Boy" මතක් උනා. මම නං වටහාගත්තේ ඔය 83 කලබල කියන දේ එවක රාජ්‍ය ත්‍රස්තවාදය විසින් නිර්මාණය කරපු දෙයක් හැටියටයි. පොදු සිංහල බෞද්ධයාට සහෝදර දෙමළ මිනිහව මරන්න කිසි උවමනාවක් තිබුනේ නෑ. දේශපාලකයින්ගේ හෙන්චය්යෝ තමා කරපු තරමක් විනාස කෙරුවේ. ඇත්තටම කියනවා නං සාමාන්‍ය සිංහලයෝ තමා පුළුවන් තරමක් දෙමළ ජාතිකයන්ව බේරා ගත්තේ. අනෙක ඔය කලබල ඇතිවුණු හැටියේම නවත්තන්න රජයට ඕන තරම් හැකියාව තිබුණ. ඒත් මොකද කලේ දවස් තුනක්ම ගිනි ඇවිලෙන්න දීල බලාගෙන හිටිය. ඊට පස්සේ අපිට අවුරුදු තිහක්ම විඳවන්න උනේ ඔය නායකයෝ කරපු අමන කම් තමා. (කමෙන්ට් එක දේශපාලන නැඹුරුවක් ගත්තට සමාවෙන්ඩ. නොවැලැක්විය හැකි විදියට එහෙම ලියවුනා.)
    කතන්දරේ හොඳට තේරුම්ගන්න නං ශ්‍යාම්ගේ "Funny Boy" කියවන මෙන් හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. "අමුතු ඉලන්දාරියා" නමින් සුගතපාල ද සිල්වා ශූරීන් මේ කෘතිය පරිවර්තනය කලා.

    ReplyDelete
  33. "පට පට ගාලා පිපිරුවේ ගෙයි සිවිලිමේ තහඩුද වහලේ තහඩුද කියලා නිච්චියක් නෑ."

    බෝම්බ වෙංටෑ බං.

    ReplyDelete
  34. කියන්ට ගොඩක් දේවල් හිතට ආවත් දුකා අයියා පතනව වගේම මගෙත් ප්‍රාර්ථනය ඒකයි කියල විතරක් කියන්නම්.. :)

    ReplyDelete
  35. මිනිස්සුන්ගේ හදවතේ ඈවිලෙන ජාතිවාදී ගින්නේන් ඔවුන්ගෙම ජීවිත පිච්චිලා යනවා.. ඒත් අපේ මිනිස්සුන්ට මේවා දෑනෙන්නේ නෑ
    බොහොම වටින ලිපියක් දුකා :)

    ReplyDelete
  36. මට හොඳට මතකයි ජූලි කලබල පටන් ගත්ත දවස. මම එතකොට හිටියේ තුනේ පන්තියේ. එදා හරියටම අපිට වාර විභාගය තිබුණු දවසක්. එක පාරටම මුළු ඉස්කෝලෙම කලබල වෙන්න පටන් ගත්තා. නුගේගොඩ අහසේ තැනින් තැන කළු දුම් රොටු එන්න ගත්තාම නම් ගොඩක් බය උනා. කොල්ලො එහෙන් මෙහෙන් කියන්න පටන් ගත්තා නුගේගොඩ ඉස්කෝලත් ගිනි තියනවා කියලා. අපේ අම්මා ඉස්කෝලෙ ගාවට දුවගෙන ඇවිත් තිබුනේ ගෙදර ඇඳගෙන හිටිය ඇඳුම පිටින්මයි. මාව ගන්න එනකොට නවරස හෝටලේ ගාව මට මතක ඇති කාලෙක හිටන් හිටපු සපත්තු මහන මිනිහව පාරෙ මරලා දාල තිබිලා තියෙනවා අම්මා දැකලා. මාවයි අක්කවයි ඇදගෙන අම්මා ගෙදර දුවපු හැටි මට තාමත් මතකයි. එදා හවස් වරුව වෙනකොට මුළු අහසම කළු දුම් වලින් පිරිලා, කර ගඳ හැම තැනම පැතිරිලා තමයි තිබුනේ.

    අපේ ගෙදරට පිටි පස්ස පාරෙ දෙමළ පවුලක් හිටපු තට්ටු තුනේ, ඒ කාලේ හැටියට ලොකු සල්ලි කාර ගෙදරක් ගිනි ගන්න පටන් ගත්තෙ හවස පහ හය වෙන කොට. ඒ ගෙදර තිබුනු ටී.වී, කැසට් ප්ලේයර්, වෙන වෙන බඩු උඩ තට්ටුවල ජනෙල් වලින්ම පාරට විසි කරලා තිබුනා. මට මතකයි, ටී.වී එක කෑලි කෑලි වලට කැඩිලා පාර පුරාම විසිරිලා තිබුනු හැටි. මගේ නැන්දගේ පුතා ඒ ටී.වී එකේ පොඩි සර්කිට් කෑල්ලක් ගෙදර අරගෙන ඇවිල්ලා තිබුනා ඊට දවස් දෙකකට විතර පස්සෙ.

    මම දැකපු තිරිසන්ම දේ දැක්කේ ඊට දවස් කීපයකට පස්සෙ විතාරන්දෙනියේ අපේ මාමලාගේ ගෙදර යන්න මරදාන ස්ටේෂන් එකට ගිය වෙලාවෙදි. ස්ටේෂන් එකේ හිටපු දෙමළ මනුස්සයෙක්ව පොළු වලින් ගහලා මරලා දාල, රේල් පාරට දාල ගිනි තියලා තිබුනේ පත්තර ලෑල්ලෙ පත්තර ඒ මිනිහගේ ඇඟ උඩට දාලා. ඒ ගින්න නිවෙන්න දෙන්නෙ නැතිව සමහර මිනිස්සු තමන්ගේ අතේ බල බල හිටපු පත්තරත් ඒ ගින්නටම දැම්මා.

    ReplyDelete
  37. මේ දවස්වල මම ශ්‍යම් සෙල්වදොරේ ලියපු ෆනී බෝයි පොතේ සිංහල පරිවර්ථනය කියවනවා, අමුතු ඉලන්දාරියා සුගතපාල්ද සිල්වා. දෙමල ඇසකින් බලලා ලියපු ඔය කලු ජූලිය සහ ඒ හා බැඳුනු වටපිටාවක් ගැන මන් කියවනවමයි. ඒ මිනිස්සු කොච්චර පීඩාවකින් ඉන්න ඇද්ද අනික මේ මොන වරදක් කලාටද

    ReplyDelete
  38. හරිම දරුනුයි කතාව..
    මම ඉන්දියාවේ හිටපු කාලෙදි මට හමුවුනා පුද්ගලයෙක්.
    මාරම කොටියෙක් හැබැයි. ඒ කියන්නේ කොටි වෙනුවෙන්මයි කතාව. මම බැලුව මොකද මේ තරම් කොටින්ට තියන ආදරේ කියල.....
    ඔහුගේ සීය ඉස්සර ඉඳල තියෙන්නේ කොළඹ. ඔහුගේ අම්මත් ඉපදිලා තියෙන්නේ අපේ රටේදි. ඔය කලබල හන්ද ආපහු දකුණු ඉන්දියාවට ගිහින්. ඔවුන්ට දරුනු විදිහට කරදර කරල...
    දැන් ඔවුන්ගේ පරම්පරාවම සිංහල මිනිස්සුන්ට වෛර කරනව... දැන් සින්හල - දෙමල අය කොච්චර සමගියෙන් ඉන්නව කියුවත් විස්වාස කරන්නේ නෑ.
    සමහර විට මේ වගේ අය තව ඔනේ තරම් ඇති. ඔවුන් කොටි ත්‍රස්තයන් වෙනුවෙනුත් ඔනෙම දෙයකට ඉදිරිපත් වෙනවත් ඇති.

    යමක් සිද්ධ උනොත් ආපස්සට හරවනව බොරු... ඒක හන්ද අපි හැමෝටම වගකීමක් තියනව... අපේම අනාගතය වෙනුවෙන්... !!!

    ReplyDelete
  39. සුපුරුදු පරිදි මං එනකොට කට්ටිය කතා වෙලා ඉවරයි.

    83 දී [දුකාට වඩා පන්තියක් දෙකක පල්ලෙහා උන්නු මට] මතක මෙහෙමයි.

    අපි උන්නේ දකුණු පළාතේ ගමක. අපේ ගමේ හිටියේ දෙමෙල්ලු දෙන්නයි. යාපනේ ඉන්වර්ස් නේ දකුණ - එත්නික් එන්ක්ලේව්. අපේ ගමේ කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. රණ විරුවන් 13 කොටින් අවසාන ගමන යවපු වෙලාවෙත් කවුරුත් මොනවත් කිව්වේ නැහැ. එදා අපට ආරංචි උනා ලඟපාත ටවුමේ තිබ්බ දෙමල කඩේ කඩලා කියලා. ගම්මු කිව්වේ බඩු හොරකම් කරන්න කඩලා කියලා. මං ඉස්කෝලේ ගියාම දැක්කා වහල පිච්චිච්ච කඩේ.

    ඊට පහුවෙනිදා ගම්මු බය වුනේ ටවුමේ උන් ඇවිත් ඉන්න දෙමලු දෙන්න මරලා මංකොල්ල කවි කියලා. ඒ ගොල්ලන්ට රැකවරනේ දුන්නේ ගමෙන්. කාටවත් මොකුත් උනේ නැහැ ඒත් එක්කෙනෙක් පස්සෙන්දම යන්න ගියා. අනික කෙනා මාරුවක් හදා ගන්නකම් විතරයි හිටියේ.

    දෙමල ඝාතනය හරියි කිව්ව කිහිපයක් උන්නා. කොළඹ රස්සාවට ගිය කසින් අයියා කෙනෙක්. ඒ වගේම වනාතේ බුවෙක් හිටියා අපේ ගමේ ඇන්ටි කෙනකේ බැඳපු. පොර මාස ගානක් යනකම් ගෙදර වික්කා ටී වී කැසට් එහෙම. මුලින් කිව්වේ රට ඉඳලා ගෙනාවා කියලා. පස්සේ දැන ගත්තා පොරගේ ගමේ උන් කොල්ල කාපු එව්වා බව. හැබැයි අපේ ගමේ උන් එව්වත් ගත්තා කැත නැතුව.

    එදා සිට අද වෙනකම් මට මුණ ගැහුනා කවුරුත් කවදාවත් මේ ඝාතනය හරි යයි හිතන්නේ නැහැ. ඒ නිසා මා හිතන්නේ අදත් හන්දියක් ගානේ ඉන්න මංකොල්ල කල්ලිය දේශපාලන බලය මත කල එකක් කියලා. සිංහල ජාතිවාදිනුත් [අපේ අයිය වගේ] උඩ ගෙඩි දෙන්න ඇති. ජෙප්පෝ නම් නෙවි මේක කලේ.

    --------

    හැබැයි මේ ඝාතනයේ ලේ වන්දියට ඇති වෙන්න මිනි මැරුවා. ඒක සාධාරන කරන්න කට්ටිය සෑහෙන්න මහන්සි ගත්ත. 83 ඝාතනය කියන්නේ එහෙම පාවිච්චි කලයුතු දෙයක් නොවේ. නැවත මෙහෙම කාලකන්නි වැඩ නොවෙන්න මිනිසුන් අතර සහජීවනය වඩවන්න සිහි කලයුතු සැමරුමක්.

    --------

    අරුණිගේ පරණ යාළුවන් ගැන කිව්වම මට සිද්ද වෙනවා මගේ යාළුවන් ගැන කියන්න. [ලංකාවේ] මං උන්නු හැම ටීම් එකකම කිහිප දෙනෙක් දෙමල. කිසිම වෙනසක් නැතුව අපි ජීවත් වෙන්නේ. අපිටත් ලැබෙනවා ඔය ඒක ඒක කෑම. යාපනේ වරකා හම්බු වුනා මේ ලඟදි පට්ට රහයි [මෙහෙට වඩා පැණි වැඩියි]

    B යුද්ධ කාලේ උන්නේ යාපනේ. පොර යුද්ධේ මැද්දෙන් දිවි නොතකා මෙහෙට පැනලා තියෙන්නේ. එයාට තවමත් සිංහල බැහැ. එයත් එක්ක අනිවා සිංහලෙන් කතා කරන්න කියලා අපිට බල කරලා තියෙන්නේ එයා. ඔෆිස් එකේ ගහන මඩ පෝස්ටර් වල සිංහල අකුරු ගලපනවා පොර හැකි පමණින්. අවුරුද දහයකින් විතර යාපනේ ගිහින් ඇවිත් අපට කිව්වා ග්‍රවුන්ඩ් ස්ටටස්‌ ඒක නියමෙට.

    N ත් තිස්සේම විහිළුවක් කරනවා. හැම දේටම එනවා අපි කරන. T මිශ්‍ර. භාෂා දෙකෙන් ම හසලයි. වාසගම දෙමල - ජිවත් වෙන්නේ සිංහල විදිහට. ඒත් මේ දෙපැත්ත ගැන ම තිතට තේරෙනවා. P 83 දී පොඩි දරුවෙක් හැටියට ලංකාවෙන් පැනලා ගිහින් තියෙන්නේ පොඩි මල්ලක් විතරයි මුළු පවුලටම තිබිලා තියෙන්නේ. අම්ම ප්‍රෙග්නන්ට් - ඒ අම්මගේ බඩට පයින් පාරකුත් වැදිලා 83 අමනයින්ගෙන්. පස්සේ ආපහු ඇවිත් අද සෑහෙන්න සල්ලි තියෙන මිනිස්සු. දෙමල බෙදුම්වාදෙට විරුද්ධයි. සිංහල තිතට පුළුවන්. කිසිම වයිරයක්‌ හිතේ නැහැ.

    V ට සිංහලත් බැහැ. තල්වැට පැනලා අවුරුදු කිහිපයයි. හැබැයි මේ යුද්ධේ සම්බන්ධයෙන් ඔහු චෝදනා කරන්නේ ඩයස්පෝරාවට. මේක වන්නියේ කොල්ලෙක් කරන බරපතල ප්‍රකාශයක්.

    හැබැයි ඔක්කොටම හරියන්න ඔස්ට්‍රේලියාවේදී හම්බු වෙච්ච එහෙ පදිංචි R. එයාලත් 83 අනාතයෝ. අපි එක්ක නෝ කතා. මාර සයිස් එකේ ඉන්නේ. වයිරය ඇස්වල. ඒ කාලේ ම එහෙ උන්න S අක්ක නම් යාපනේ ඉඳලා ඉගෙන ගන්න ගියේ අපි වගේ. එයාලා අපිට වයිර කලේ නැහැ. අපි කතා කර කර හිටියේ අක්කගේ නංගි සයනයිඩ් බලකායට බලෙන් ගෙන යාමේ රිස්ක්‌ ඒක ගැන.

    ආ එතකොට අපේ මලයා බැඳපු නන්ගියාත් දෙමලනේ. අපි අගේට ඉන්නේ. එතකොට එයාලගේ පොඩිත්ති දෙමල ද සිංහල ද?

    අපි හොඳින් ඉන්නවා. කවුරුත් වෙනම කෑලි ඉල්ලන්නේ නැහැ. කවුරුත් දෙමළා කියලා කාටවත් නින්දා කරන්නේ නැහැ. බාසා ඔක්කොම ඔක්කොටම බැහැ. අපේ අයත් දෙමල අහ ගන්නවා ඒ ගොල්ලන් සිංහල ඉගෙන ගන්නවා. සුදු වෑන් වලින් ඇවිත් බය කරලා නොවේ ආසාවට.

    මෙහෙම හොඳ නැද්ද?

    ReplyDelete
  40. දිග කොමෙන්ටුවක් ලිව්වා.. ඒක බ්ලොගර් යකා ගිල්ලා.. කොන්වර්ටරේ පාවිච්චි කරගෙන ආපහු ලියන එක ඉතාම වෙහෙසකරයි...

    ඔබේ පෝස්ට් එක ගැන මට කියන්න ඕන දේ සුජීවගේ කොම්මෙන්ට් එකේ අන්තිම පැරා එකේ තියෙනව.. මම ඒක දාන්නම්..

    //අපි හොඳින් ඉන්නවා. කවුරුත් වෙනම කෑලි ඉල්ලන්නේ නැහැ. කවුරුත් දෙමළා කියලා කාටවත් නින්දා කරන්නේ නැහැ. බාසා ඔක්කොම ඔක්කොටම බැහැ. අපේ අයත් දෙමල අහ ගන්නවා ඒ ගොල්ලන් සිංහල ඉගෙන ගන්නවා. සුදු වෑන් වලින් ඇවිත් බය කරලා නොවේ ආසාවට.

    මෙහෙම හොඳ නැද්ද?//....

    ReplyDelete
  41. @සුජීව සහ සපතේරු
    ඇත්තටම එහෙම හොඳයි.

    ReplyDelete
  42. ඇත්තෙන්ම හිතට වදින පෝස්ට් එකක් කියල කියන්න ඕනේ මුලින්ම.83 ගැන ඔය එහෙන් මෙහෙන් අහල තිබ්බට දැකල නම් නැහැ.මොකද ඉපදෙන්න තියා හිතලවත් නෑ.කොහොම වුණත් ඒ කාලේ බෝම්බෙකටවත් අහුවුණාද කවුද දන්නෙ(ගිය ආත්මේ)

    මං හිතන්නේ ඔය ජාති,ආගම් වාදීනම් නැත්තටම නැති නරන්න බැරි දෙයක් මගේ මතේට අනුව නම්.මොකද ඕකට මූලිකම දේ ඉරිසියාව.රුසියාවටත් වඩා ඉරිසියාව ලොකුයි කියන්නේ නට කහනවටැයි.හොදම උදාහරණේ තමා දැන් ලංකාවේ යුද්‍ධය,ත්‍රස්තවාදය කොහොමින් කොහොමින් හරි ඉවර වුනා කියමුකෝ කොහෙද අර චැනල් 4 එකක් මැදට පනිනවා.ඇත්තද බොරුද කියන එක කොහොම වුණත් පැහැදිලි ඉරිසියාව කියල පේනවනේ.තව එකක් තමා මේ ලඟදී ලෝකේ සාමකාමීම ර‍ට වෙන නෝර්වේ වල බෝම්බ පුපුරනවා.වෙඩි තියනවා.පෙ‍ාඩි හරි ඉරිසියාවක් ගැවිලා ඇතිනේ....

    එතකොට ඔය 83යි මේ දැන් කාලේ එහෙමත් ලාවට හරි සිංහල දෙමළ මුස්ලිම් වාදය තියෙන්නේ ඉරිසියාව හින්දා කිව්වොත් මං හිතන්නේ මං නිවැරදියි.මොකද දෙමළ මිනිස්සු අපට වඩා බුද්ධිමත්(ඔක්කොම නොවුණත්)ඉතිං සිංහල මිනිස්සුන්ට ඉන්ඩ බෑ.තව එකක්,නිකමට පිටකොටුව පැතතේ ගියොත් බලන්න ගොඩක් තියෙන්නෙ මුස්ලිම් කඩ.හොර බොරු වංචා කරන්නෑ.ඒ හින්දම බලන් ඉද්දි දියුණු වෙන්නේ.ඒකට සිංහල කඩේකට ගියොත්....කියන්න ඕනේ නැතිවෙයිනේ(කට්ටියට තරහ යයිද දන්නෑ සිංහල එකෙක් සිංහල ජාතියටම බනිනවා කියල - ඒක බැනීමක්ම නෙමේ අපේ අතින් නොදැනුවත්ව වෙන වැරැද්ද)

    ඒ කොහොම වුණත් ඉස්සරට වඩා සෑහෙන සමඟියෙන් මිනිස්සු ජීවත් වෙන බව නම් හොදටම පේනවා.මට මේක ගැන කවි පන්තියක් ලියන්න හිතුනා දුකා අයියට පිංසිද්ධ වෙන්න.ලඟදීම කවි මුතු මල් වල දානවා.මෙන්න ලින්ක් එක.

    කව් මුතු මල්

    ආ... දුකා අයියේ අයියා කෝට්ටේ කොහේද ඉන්නෙ ? මාත් කෝට්ටේ.මගේ පොඩි කාලේ ඉස්කෝලේ කෝට්ටේ ශාන්ත තෝමස්.මං සමහරවිට අයියට දැකලත් ඇති එහෙනං.කෝට්ටේ පන්සලට ඊයෙත් ගියා.වතුර ටැංකිය පැත්තේ ගිහිං තිබ්බට ඔහොම ගෙයක් ගැන මතකයක් නෑ
    තව දිග කාලයක් ලියන්න. ආසිරි!

    ReplyDelete
  43. මොකෝ බන් සද්දයක් නෑත්තෙ?

    ReplyDelete
  44. අපෙත් සිංහලුන් මැරුනා, කපල කොටල දැම්මා, එතකොට ඔය කියන දෙමළ මිනිස්සුත් අපි ගැන ඔය කියන මානව දයාවෙන් යුතු ඇසකින්ම බැලුවද? අහිංසක දෙමළ මිනිස්සු මැරුණා කියන ඔබට දෙමළු ගෙනාව බෝම්බෙන් මැරුණු සිංහලුන් අහිංසකයො නෙමෙයිද? මායිම් ගම්මානවලට කොටි කපල කොටලා, දූෂණය කරල ගියේ අහිංසක සිංහලයො නෙමෙයිද? දෙමළ ජාතිය ජරා ජාතිය වෙන කතා කරන්න දෙයක් නෑ.

    මගේ බාප්පා මේ රටේ ඉහළම හමුදා නිළධාරියෙක් කොටි බෝම්බෙකට ලක් වුණ. මගේ පියා බ්‍රිගේඩියර් කෙනෙක් ක්‍රියාන්විතයේදි දිවි පුදපු, මගේ සහෝදරයා ගුවන් හමුදා ගුවන් නියමුවෙක් 2009 මහ ක්‍රියාන්විතයෙදි දිවි පිදුව. මගේ මවගේ නැඟණිය මහ බැංකු බෝම්බයෙන් ජීවිතක්ෂයට පත් වුණා, පොඩි ළමයි තුන් දෙනෙක් අනාථ වුණා අම්මා නැතිව.

    අද ඔබතුමා ඔහොම කතා කරන්නෙ, පොර ටෝක් දෙන්නෙ ඒ මිනිස්සු දහදිය, ලේ හෙළලා බේරගත්ත රට ඔබලාට, ඔබලාගෙ දරු දැරියන්ට ඉතිරි වුණ නිසයි. සිංහල මිනිස්සු ඉන්න තැන අද දෙමළ මිනිස්සු උන්නා නම් ඔබ කතා කරන විදිහත් වෙනස් වෙයි. කොටින්ට මේ රටේ පාලනය අත් වුණා නම් ඔය කියන දෙමළ මිනිස්සු, වැඩිය ඕන නෑ වැල්ලවත්තෙ පෙට්ටි කඩේ ඉන්න දෙමළාවත් අපිට ඔය ඔබතුමා කියන විදියට අද සළකන්නෙ නෑ, අපි උන්ගෙ වහල්ලු කරගන්නව මිසෙක. ඒක ඔබතුමාවගේ මාන්සිකත්ව තියෙන බොරු පොර ටෝක් දෙන අයට තේරුම් යන්න මේ රට කොටින්ගෙ පාලනයට ලක් වෙන්නම ඕනා.

    ReplyDelete
  45. @සාතන්!
    යකෝ මූටත් කන බොන ඒව තමයි ලොකු . .. හෙ හෙ හේ

    @බුවා!
    අන්න හරි මචන්. මගේ හැඟීමත් ඒකමයි.

    @රුපිකා!
    අපි ඒක වටහා නොගන්නා තාක් කල් අපිට අපේ රටේ සන්තෝසයෙන් ඉන්න ලැබෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත එහෙම නේද?

    @බින්දි,
    ඔව් බින්දි මමත් 71 අවසානාවන්ත සිද්දි දැකලා නැතත් අහලා තියෙනවා. 83 මම දැකපු අවාසනාවන්ත සිද්දියක් මේ. මීට වඩා ගොඩක් දේවල් ඇහුවා, කියෙව්වා. 88-89 සිදුවුනු අවසනාවන්ත සිද්ධීන්වල මතකය තාම හිත හිරි වට්ටනවා. මින් මතු ඒ වගේ කිසිම දෙයක් සිදු විය යුතු නෑ කියන එකයි මගේ අදහස. එහෙම දේවල් සිදුවෙන්න පුලුවන් පොඩි ඉඩක් හරි තියෙනවනම් ඒවා නැති කල යුතුයි කියන එකයි මගේ අදහස.

    @ප්‍රසන්න!
    ඇත්ත කවුරු කොහොම කිව්වත් එතනදී වුනේ අනුන්ගේ දේ කඩා වඩා ගන්න කැමති මිනිස්සු කීප දෙනෙක් නිසා අවුරුදු ගානක් දුවපු යුද්ධයක් දක්වා ඒ සිද්ධියේ බලපෑම තිබුනු එක. ඒ වෙලාවේ දෙමළ මිනිස්සු නැතුව සිංහල බිස්නස් කාරයන්ට විරුද්දව සිදුවීමක් වෙලා ඒ බිස්නස් කාරයින්ගේ දේපල කොල්ල කන්න ලැබුනා නම් ඒ මිනිස්සු ඒකත් කරනවා. එතකොට ඒක ජාති ආලේ නෙමෙයි පන්ති ආලේ (දුප්පත්-පෝසත්) කියලා නම් කරයි.

    ReplyDelete
  46. @ගලායන ජීවිතය!
    "සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ජා අපි කවුරුත් සැතකින් උරය පැලුවොත් එකම රතු රුහිරු ගලන මිනිසුන් කියලා හිතලා සමඟියෙන් ඉන්න පුලුවන් දවසක් උදා වෙනවා නම් . . . . !"
    අපෙත් ප්‍රාර්ථනය ඒකයි!
    අපි ඒ හීනය හැබෑවෙන දවස වෙනකම් අපි බකන් නිලාගෙන ඉන්නේ නැතුව අපිට කරන්න පුලුවන් පොඩි හරි දෙයක් කරමු නේද?

    @ඔබා!
    ස්තූතියි ඔබා මාමා, ඔබා අයියා, ඔබා

    @අනිත්කොන!
    71, 83, 88-89 නෙමෙයි අහිමි වීම් අදත් ඒ විදිහටම වෙනවනේ. ලංකා ඊ නිව්ස් එකේ ප්‍රගීත් සහ කටුනායක රොශේන් ඒකට උදාහරන දෙකක්. අපි සිංහල-දෙමළ, උඩරට-පහතරට, කුලීන-කුලහීන, Bsc- non Bsc , දුප්පත්-පෝසත්, ගාල්ල-කොලඹ, ආනන්දේ-රෝයල්, ආදී විදිහට පුලු පුලුවන් උපරිම විදිහට බෙදිලා මරා ගන්න තාක් කල් අහිමි වීම් හැමදාම සිදුවෙයි. හැමෝම එකම රටක්, එකම ජාතියක් විදිහට හිතනන් පටන් අරගෙන අහිවීම් වලට එරෙහි වෙන්න පටන් ගත්තු දා ඉඳන් අහිමි වීම් අහිමි වෙන්න පටන් ගනී.

    @මධුරංග!
    එහෙම කාලයක් එන්න එපා කිව්වට අද තියෙන්නෙත් එහෙම කාලයක් නෙමෙයිද මල්ලී. පවතින රජයට විරුද්දව ලිව්වොත්-කතා කලොත් ඒ අයව උස්සනවා-නැති කරනවා. කීයෙන් කීදෙනාට ඒවට විරුද්දව වත් කතා කරන්නේ. ඒ කියන්නේ අපි එහෙම වෙන්න එපා කියලා නිකම් හිතින් හිතුවා විතරයි නේද? අපෙන් කෙරෙන්න ඕන දේවල් කලාද? අපි අපේම හර්ද සාක්ශියෙන් ඇසිය යුතු ප්‍රශ්න.

    @රුකා!
    ඔව් තන්හාව නිසා, තමන්ගේ ජාතිය අනිත් අයට වැඩිය උසස් කියලා හිතපු හිට්ලර් නිසා, හිට්ලර්ගේ ඒ තන්හා හැඟීම නිසා මිලියනයකට වඩා වැඩි මිනිස්සු ප්‍රමානයක් අමු අමුවේ ලෝකෙන් තුරන් උනා. අපේ රටේ අද මේ වේගයෙන් ගලා යන මතවාදය ඒ වගේ ම එකක් කියලා මට හිතෙනවා. ඒ මතවාදය අපිව කොයි පැත්තකට විසි කරලා දායිද? මම නම් සෑහෙන කාලයක් ජීවත් උනා. ඒත් දරුවන්ගේ අනාගතේ ගැන හිතන කොටත් බය හිතෙනවා. (ඒකත් තන්හා හැඟීමක් තමයි ) ඒත් ඒ තන්හාවෙන් වැඩි දෙනෙක්ට සතුටින් ඉන්න පරිසරයක් නිමැවෙනවනම් . . .. . ??

    ReplyDelete
  47. @දිල්,
    ඔව් ගිය දේ ගියා. අතීතයේ පරන වැරදි වලින් පාඩම් ඉගෙන ගෙන නිවරදි හෙට දවසක් ගැන හිතිය යුතුයි. ඒත් අද දවසේ අපේ රටේ ඒ අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීම කියන දේ වෙනවද නගේ. දේශපාලකයෝ උන්ගේ වාසියට රටේ මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කරනවා. බ්‍රේශ් වොශ් කර ගත්තු අපි වැඩි දෙනෙක් ඒවට හුරේ දානවා.

    @නලිනි!
    "තමන් වගේ නොවන අයත් තමන් වගේම දුක වේදනාව දැනෙන අය බව හැමට දකින්නට හැකි දිනයක් උදා වෙනවානම්"
    කලින් කිව්ව වගේ ඒ දවස එන කම් හීන දැක දැන විතරක් නොයිඳ අපි සටන් කරමු නලිනි. කඩුවෙන්ම නෙමෙයි පෑනෙන්, කොම්පීතරෙන් . . . !

    @යසසි!
    ස්තූතියි නගේ

    @ගුණේ අයියා !
    වචන වලින් පෙන්නන ආස්චර්යෙන් අපේ ගොඩක් අය ගිනිකන වැටිලා නිසා එතනින් එහාට කිසි දෙයක් පෙන්නේ නෑ. හරියට ටෝච් එලියට ගිනිකන වැටුනු මුවාට වගේ. ඌට වෙඩි වැදිලා උගේ විනාසේ වෙනකම් ඌට පෙන්නේ නෑ, දැන්නෙනේ නෑ ඌ අමාරුවේ වැටිලා බව.

    @ගීතික!
    අපි මේ ගෝත්‍රික මානසිකත්වයෙන් මිදෙන කම් අපේ රට දියුනු වෙන්නේ නෑ මල්ලී.

    @ගිම්හානි!
    ඔව් පන්සල පිටිපස්සේ පාර අන්තිමට දෙකට බෙදෙන්නේ මිහිඳු මාවත සහ ජනතාමවතට, මැදෙන් වමට තියෙන පාර කුරුඳුවත්ත පාරට සහ බැද්දගාන ග්‍රවුන්ඩ් එකට යන පාර අපි කිව්වේ ටැංකිය පාර කියලා.
    ඔව් අපි ඒ ප්‍රාර්තනාව ඉෂ්ඨ කර ගන්න ට්‍රයි කරමු නේද?

    ReplyDelete
  48. මේ පොස්ට් එක කිහිප වරක්ම කියෙව්වත් කොමන්ටුවක් ලිවීම ලේසි නොවිය. හිස් අතින් හැරිලා ගියා කිහිප වරක්ම.

    කලු ජූලිය කාලයේ මං ට්‍රේනි කෙනෙක්, අතේ ෆයිල් එහෙම තියන් ගාලු නගරයේ ගිණි ගන්න කඩ බලා ඉඳලා පොලීසිය බාරයේ පැයක් විතර තපින්න වුනා - රිපෝටර්ලා කියලා අල්ලගත්තේ.

    අබුඩාබියේ හමුවූ පුද්ගලයෙකු සම්බන්ධව ලියවුන සටහනක කොටසක්: ඔහුට ප්‍රකාෂ් කියමු;

    "මගේ අම්මා තලවකැලේ. තාත්තා කේරළ. 83 දී අපිට ප්‍රශ්ණයක් වුනේ නැහැ. 85 අන්තිමේදී අපේ ගෙවල් පිච්චුවා. 86 මුල අපි හැමෝම කේරළ්වලට ආවා. මං එහේ දී ඉගෙන ගෙන යුනිවර්සිටි ගිහින් මිකැනිකල් ඉන්ජිනියර් කෙනෙක් වුණා. සන්තෝසයි, දැන් ලංකාවේ ප්‍රශ්ණ ඉවරයි. අපි ලංකාවේ පදිංචියට යන්න ඉන්නේ. දැන් තාත්තා නැහැ, අම්මායි නංගියි ඉන්නවා".

    ප්‍රකාෂ් නවාතැනට යන්න ගියා මා හයිපර් මාකට් එකට ලහි ලහියේ ගියෙමි.

    සම්බා හාල් පැකට් කීපය ට්‍රොලියට දාගෙන රතු කැකුළු හාල් තියෙන පැත්තට හැරෙන අතර තුරදී දුර ඉඳන් අත වනාගෙන තවත් දෙන්නෙක් එක්ක ප්‍රකාෂ් ආවා.

    "මාත් කන්නේ ලංකාවේ රතු කැකුළු, මේවා හරි හොඳයි අයියා"

    ReplyDelete
  49. ප්‍රකාෂ් මා එක්ක කතාව පටන් ගත්තේ සිංහලින්, ඔහු කතා කර විදියට උතුරු නැගෙන හිර අයෙකු වෙන්න ඇති කියලා හිතලා මා දෙමළින් කතා කරත් ඔහු දිගටම කතා කලේ සිංහලින්.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails