
කලෙක හුරුබුහුටි ගැටයෙකු වීමි.
හැමගේ ආදරය දිනා ගතිමි.
තුටු වීමි.
රුදූ ගිනි දල්ලකට මැදිවී සියොලඟම දැවී විරූපී වීමි.
මග යන්නන් මා දුටු විට පිලිකුලෙන් අහක බලනු දුටු කල නොසැලුනෙමි.
සිත තව තව සවි කොට අමාරුවෙන් දරා ගතිමි.
සියළු සංස්කාරයෝ නැසෙන සුළුය
මෙලොව නොවෙනස්වන එකම දෙය සියළු දේ වෙනස්වනවා යන දහම පමනි යි සිතා පෙනුම නම් මොටදැයි සිතා දුක් නොවී සිටින්න උත්සාහ ගතිමි.
. . . . .
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ බල මහිමයෙන් හා රාජරත්න වෙදැදුරු තුමාට නිවන් සුව අත්වෙන්න පෙර තරම්ම නොවුනත් කඩවසම් තරුණයෙකු වීමට තරම් වාසනාවන්තයෙකු වීමි.
නැවත සැමගේ ආදරය, සැලකිල්ල නොමදව ලදිමි.
සංගීත සැඳෑවල්, නාට්‍ය, සතුටු සාද, චිත්‍රපටි, විනෝද ගමන්, ප්‍රේමණීය වදන් . . මෙසේ මේ සියළු දේ සමඟින් තාරුණ්‍යයේ රිසි සේ පියෑඹීමි.
තුටු වීමි.
. . . . . . . .
කැඩපත අසලට වී රැවුල බානාවිට සුදු ගස් එකක් දෙකක් නොව කීපයක්ම දිටිමි.
සැලූන් එකේ බාබර් ගේ "මහත්තයාගේ සෑහෙන්න තියෙනවා නේ සුදු කෙස් ගස්" බස් අසා සිනාසුනෙමි වගකට නැතුව.
සිත රිදෝ නොගතිමි.
මඛාදේව රජු මෙන් තපස් රැකුමට යාමට නොසිතීමි.
ඔව්ව ඔහොම තමයි.
. . . . . . . . . .
මුහුනේ, සමේ පෙර තිබූ දීප්තිය නැති බව කැඩපතින් දිටිමි.
රැලි වැටී නැතත් තවම සම, සිත නොව ශරීරය වයසට යන්න පටන් ගෙන ඇති බව පසක් කලෙමි.
උපේක්ෂාවෙන් සිතුවෙමි හැමදේම වෙනස්වෙනවා, මොනා කරන්නද.
සියළු සංස්කාරයෝ නැසෙන සුළුයි
ඉතිං කුමට දුක් වෙනවාද?
. . .
ට්‍රීං . . . ට්‍රීං . . .
(වෙලාව උදේ දහයයි . . දමිත් මල්ලී)
මොකෝ බං නිවාඩු දවසේ උදේ පාන්දර.
නිදා ගන්න දෙන්නේ නැද්ද අදවත් ටිකක් වැඩිපුර.
හරි හරි හලෝ. නිදා ගන්න එක කොයි වෙලාවේ කරන්න බැරිද.
ටී වී ලංකා දාන්න, අද එතෙර මෙතෙර ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් ඉන්නේ "වික්ටර්"
නැහ් සිරාවට . . !!
ඇඳෙන් නැගිට්ටාද පැන්නාද කියා සිහිය නැත.
සෙනෙහසේ ගුවන් පාලම "එතෙර මෙතෙර" එකළු කරමින් කහපාටට හුරු ජාතික ඇඳුමින් සැරසුනු වික්ටර්ගේ රුව කාලෙකට පසු දිටිමි.
. . . . . . . . . .
අනේ වික්ටර් වයසට ගිහින්
හිත හිරවුනාද??? හුස්ම ගන්න අමතක වුනාද???? ගල් වුනාද????
මීට කලිනුත් කීප පාරක් මෙහෙම වෙලා තියෙනවා.
ජෝතිපාල මැරුනු වෙලාවේ.
විජය, කැරැන්ස්, රමණී බර්තොලමියුස්, මිල්ටන්, ඩයනා කුමාරි, කේමදාස මාස්ටර්, මර්වින් පෙරේරා, මගේ මිතුරු සංජීව මැරුනු බව ඇසූ වෙලාවල් වලදීත්.
තාත්තා අසනීප වුනු බව දැන ගත්තු ගමන් ඉමර්ජන්සි ලීව් දාලා ලංකාවට යන ගමන් ප්ලේන් එකේදී "අනේ තාත්තා මැරුනොත්" කියලා හිතුනු වෙලාවේදී.
ඒත් මේ පාර ගල් වීම ඒ හැම එකටම වඩා වැඩී වගේ.
බුදු හාමුදුරුවෝ පිරිනිවන්පාන බව අහපු ආනන්ද හාමුදුරුවෝත් දුක් වෙන්න ඇත්තේ මේ වගේද?
. . . . . . .
ඇයි බං උඹම නේද කියන්නේ සියළු සංස්කාරයෝ නැසෙන සුළුයි කියලා නිතරම හිතන්න කියලා??
ලස්සනට තිබුනු උඹේ මූන චාටර් වෙන්න පිච්චිලා වත් දුක් නොවුනු උඹ . .
රැවුල කොන්ඩේ සුදු වෙන්න ඇවිත් වයසට යන්න පටන් අරන් කියලා දුක් නොවුනු උඹ. .
මොකෝ මේ වික්ටර් වයසට ගියා කියලා මෙච්චර දුක් වෙන්නේ?
සියළු දේ වෙනස්වනවා, නැසෙනවා කියන දේ වික්ටර් සම්බන්ධව අදාල නැද්ද ???
නෑ නෑ කොහොමත් වෙන්න බෑ.
මම මැරෙන තුරුත් වික්ටර් ජීවත් කරවලා වික්ටර් මැරෙනවා දකින එක මට නොදකින්න තරම් මාව වාසනාවන්තයෙක් කරාවී දෛවය.
උපේක්ෂාව, දරා ගැනීම ගන මොන තරම් බන කිව්වත් වික්ටර් වුනත් කවදා හරි මැරෙනවා කියන හැඟීම මොන හිතකින් දරා ගන්නද??
. . . . . . . .
සියලු දේ වෙනස් වන ලෝකයේ වික්ටර් ව පමනක් නොවෙනස් ව තබා ගැනීමට මගේ සිතට බල කරන්නේ වික්ටර්ගේ තනු නිර්මානයේ ඇති හැකියාවටත් වඩා ළයාන්විත කටහඬ කීවොත් මා සමඟ එකඟ නොවන්නෙක් සිටීද. . ?
. . . . . .
ප්‍රේමවන්තයෝ ආනන්දයෙන් අමන්දානන්දයට පත්කරවන්න, ශෝක වන්නන්ගේ හදවත් ශෝකයෙන් ඉරිතලා දෙදරවා යවන්න, දම් අසනු කැමැත්තෝ දම් සිසිලෙන් තෙමා සිහිලැල් කරන්න මේ ආදී කී නොකී ඒ ඒ ගීතයට ඒ ඒ අවස්තාවට උපරිම සාධාරනය ඉටු කරමින් සහෘද හදවත් පිනවිය හැකි වික්ටර්ට සමකල හැකි වෙන කිසිවෙක් සිටීද . . ?
. . . .
තුරුලට ගෙන අත්පා හැඩ ගස්වා
නිදි ගන්වා . . . යහන් ගැබේ. .
සිහිනෙන් ගෑ සුවඳක් මෙන් . . .
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා . . .
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ . .. ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ . .
සෙවන පතා අදමෙන් පැමිනෙන්නෙම්
සුළඟිල්ලේ එල්ලී. . .
අම්මගේ අනුදැනුමෙන්, ගීත ශබ්ද රසය පමනක් නොව අර්ථ රසයද සමඟින් රසවිඳින්න පුරුදු වූ පුංචි එකා සංදියේ සිට අද වන තුරුත් මේ ගීතය ඇසෙන හැම මොහොතකදීම ඇඟේ හිරිගඩු පිපෙන්නේ, මයිල් කෙලින් වෙන්නේ . . ඒ ගීතයේ සංගීතයට, පදමාලාවට අනුගතවෙමින් ගීතය අපේ බොක්කටම වදින්නේ වික්ටර්ගේ මියුරු ළයාන්විත හඬ නිසා නොවේද . . ?
. . . ..
ප්‍රේමය නම් ප්‍රේමයමැයි වටහා නොගෙන, ජාති, ආගම්, කුල - මල, දුප්පත් - පොහොසත් යන අවි අමෝරා ප්‍රේමයට වැටකඩොලු බඳින ලෝකයක
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .
කියා තම තම්න්ගේ හෙවනැලි වලටත් හොරෙන් මිදී ඇවිත් පෙම් ලෝකේ සුව විඳින්න කැස කවන ප්‍රේමවන්තයෙකුගේ හදවතේ ගීය වික්ටර්ට හැර වෙන කිසිවෙකුට ගයන්න හැකිද . . .
. . . . .
සුන්දර කඳුකරයදී බැඳී ප්‍රේමයේ මනරම් සුවය . . . සුදු සේල එතුවාක් මෙන් වූ මීදුමෙන් වැසුනු කඳු හරහා හමා එන ප්‍රේමයේ ගීතය . . . ආකාසේ සිඹින නීල කඳු මතින් ගලා හැලෙන දිය පහරේ රැදී ගයා යන ප්‍රේමයේ ගීතය . . . වික්ටර් ගයද්දී ඒ ප්‍රේමයට නතුවී . . . ජීවිතය,සිය පන වුව තොර වුවත් කම් නැතෙයි නොසිතේද . . . ??
දුර ඈත අතීතේ
කඳු සීත පලාතේ
මල් පිබිදෙන කාලේ
දෙහදක කතන්දරේ . .
ආකාසේ සිඹින නීල වර්ණ කඳු වැටී
සුදු මීදුමේ සිහින් සළුව ඔතාගෙන සිටී
කඩා හැලෙන ඇල්ලක් ලඟ ඇයව හමුවුනා . .
ඇගේ දෑසේ නිල් කැලුම්
ආදරේ හැඟුම් හදට තේරුනා . . .
පෙම් ගීතේ සංගීතේ මිහිර වින්ඳෙමු
අපි සැන්දෑවේ ගංගාවේ පාරු පැද්දෙමූ
වෙන් නොවන්න කිසිම දිනෙක සිතා ගත්තෙමු
ඇගේ ආදරේ සිතුම් . . ආදරේ පැතුම්
පහන් දැල්වුනා
. . . .. .
මාරුතේ මතුරා යතේ සුරඹුන් නැඟූ මුකුලූ . .
මාවතේ අතුරා ඇතේ නෙලූ කැකුලූ . . .
නීල බිඟු කැල තාම රස පෙල . .
ආදරෙන් සනසාලා . . .
තිසර තුඩු මුදු තඹර පහසින් . .
මෝහනය වීලා
පෙම්වතියගේ ප්‍රේමය බොහෝ අමාරුවෙන් දිනාගත් ප්‍රේමවන්තයෙකුට සිතුනුයේ තමා අවට මුලු ලොවම දිව්‍ය විමානයක් ලෙසයි .හමා යන මඳ සුලඟේ පවා ඔහුට ඇසෙන්නේ දෙවියන් නඟන මුකුලු හඬවල් ගැබ්වී ඇති ලෙසයි. පා නඟන මාවතේ පුරාවටම දෙවියන් නෙලූ මල් අතුරා ඇති ලෙසයි . ඉඳින් එවැනි පෙම්වතෙකුගේ උද්දාමයෙන් ගයන්න ට වික්ටර්ට හැර වෙන කිසිවෙකුට හැකිද . . .
. . . .
මල්සර හී සර වැදී අනුරාගයෙන් මත්වූ පෙම්වත් බඹරෙකුගේ නුරාහැවිල්ල මත්වූ හඬකින් වික්ටර් අපිට ගයද්දී අපේ හදවත් පවා අමුතු කිතියකින් කිලිපොලා යන බවක් නොහැඟේද . . ?
ගිගිරි ගීත රාවේ . .
මලවි හී සරේ . . .
සබඳ අද කිමදෝ . .
බමන ලෝකෙක කෑ ගසා කීවේ . .. .
. . . .
වලව්වේ නපුරු නිලමේගේ නපුරු කමට වෛර නොකර
නපුරු ළමාතැනීගේ නපුරු කමට වෛර නොකර
සොඳුරු පුංචි කුමාරිහාමිගේ මානුශික ගති අගය කරමින් අයිති කර ගැනීමේ කිසිදු අවැසිතාවක් නැතිව, මනරම් ව පිපී දිලෙන මලක් දෙස බලා සතුටු වන්න සේ ගයන්න ඔබට මට හෝ වෙන කිසිවෙක් සමත් වේද වික්ටර් හැර . . .
පොඩි කුමාරිහාමියේ . .
එපා වලව්වට යන්න නියර පිට
බලා ඉන්න
පොඩි කුමාරිහාමියේ . . .
කාසි එපා නුඹ හිනා වෙවී
ඔහේ බලා ඉන්නවා නම් . .
. . . . . .. .
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුලින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතුරුන් ජනිත වුනා
බුදු සිරිතේ අපි අසා දැක අති දුෂ්කර ක්‍රියා අතහැර මැදුම් පිලිවෙත තුලට වැද වීරියෙන් ඉපදීම දුකක්ය, තෘෂ්නාව නිසා යලි යලි ඉපදෙන මනුසත් බවට ශාන්තිය ලඟා කරගතහැකි එකම මඟ තෘෂ්නාව අතහැරීම යන සත්‍ය වටහා ගනු පිනිස උරුවෙල් දනව්වේ සැරිසැරූ බෝසතුන් විඳි සුවයෙන් බිඳක් වික්ටර්ගේ වචන හරහා අපිටත් විඳින්න ලැබෙනවා නොවේද . . .
. . . . . . . . . . . .
බබලන විසිතුරු ලෝකයට පා තැබීම තම එකම පරමර්ථය කරගනිමින් ඉගෙනීම, දෙමාපියන් පමනක් නොව තම ආත්මයද පුදදී ඒ ලොවේ සැරිසරන යෞවනියන්, තමන් පහන් දැල්ලට ලොබ බැඳි පලගැටියන් මෙන් පහන් දැල්ලේම වෙලී විනාශ වන බව වැටහෙන විට ආපසු හඬ හඬා එන්නේ සුපුරුදු දෙමාපියන්ගේ සෙවනටම නොවේද . .. . . .
ගැහැනු ලමයි මව් අත්හැරදා
ගමෙන් පිටත් වී යන්න සිතා
බබලන විසිතුරු නගරේ සිතේ ඇඳී
සිතේ ඇඳී
කොතරම් ලස්සන දේ ඇතුවත්
ඒ තුල රැඳෙනා සුලු මොහොතක්
නොපෙනී ඇතිවෙන කරදර මතුවී
නිවස සොයා
නැවතත් හඬ හඬ එයි . .
හඬ හඬ එයි . . . . .
ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ . .
ඉගිලී යන්නද සිත බලන්නේ . .
ගැහැනු ළමයිනේ . . අවට අලංකාරයිනේ . .
සිහිනෙන් දුටු දේ . . විසිරී යයිනේ . ..
ඒ අසරන යෞවනියන් ගැන වික්ටර් ගයන්නේ කෙතරම් කම්පා වූ හඬකින්ද . . . ?
. . . . . .. . . .
කැලේ පීදෙන මලකට රොඳ බඬින බෘංගයෙක් මෙන් ගමට සෙත සදන අරමුනින් ගමේ තිබුනු ගම් මඩු පොලේදී ඇස ගැටුනු . . ඇස ගැටුනු සැනින් සිත බැඳුනු ගමේ කැකුලිකට බැලුම් හෙලූ කැකුලෙකුට ඈ යන හැම තැනම පසුපස හඹා යද්දීත් ඈ නිනව් නැතුව සිටිද්දී හිතේ නැගෙන විස්සෝපය වික්ටර් හෙලි කරන්නේ කෙතරම් අපූරුවටද . . .
ඈත ලන්ද දිය මංකඩ
බෝම රුවට පිපුනු මලට
ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දූ
මලට ලොලේ . . පිනි කඳුලේ . .
නිතර රැඳී උන් බඹරින්දූ . ..
ආල පිරූ මා ගැන දැං නැද්ද නිනව්වක් . . .
රූකඩ මඩු යාග පොලේ
කෝල නුඹේ රුවට ලොලේ
ආල පිරූ මා ගැන දැං නැද්ද නිනව්වක් . . .
ආල පිරූ මා ගැන දැං නැද්ද නිනව්වක් . . .
. . . .. . ... . .. .
වෙන කිසිවෙකුට තම පෙම්බරියගේ මුහුන පෙනෙතැයි බියෙන් ඇයට ඇගේ මුහුන සඟවා ගන්න යි පවසන්න තරම් වික්ටර් කෙතරම් ඊර්ෂ්‍යාකාර පෙම්වතෙක්ද . . .
සඟවා ගනු මැන
ඔබැ රුව සොඳුරියේ
වෙනැකෙකු නෙත් ඔබැ
මුව මත ගැටෙතැයි මා සිත බියවී . .
සැලී සැලී යයි . . .
. . . . . .. .. . . . . . . .
කලු උක්ගසක් මෙන් ඔබ කලු වුවත් මට ඔබ වටී නගේ.
මේ හොල්මන් තිබෙන ගොම්මන් සමයමේ නුඹ දර කඩන්න කැලයට යනවා නම් තනියෙම නම් යන්න එපා නගේ.
මා ඔබ සමඟ එනවා එනවාමයි.
මං ආදර පෙම්මාදර බින්දූමතී
පෙමා වඩන ලද බින්දූමතී . .
මං ආදර පෙම්මාදර බින්දූමතී
පෙමා වඩන ලද බින්දූමතී . .
කළු උක් ගස විලසා කලු
කලු නංගියේ
දර කඩලා ඉහා තියලා
කොහිදෑ ගියේ
ගොම්මන් සමය දා ගම
හොල්මං තියේ
නුඹ එකා මා එන්නා
යමු නංගියේ
බින්දුමතීට පෙම්බැඳි වික්ටර් කෙතරම් කපටි පෙම්වතෙක්ද . . .??
. . . . . . . .. . . . .
ඇලේ දොලේ නා, පිහිනා සැනහුන වෙල් එලියේ දුව පැන සෙල්ලම් කල, මිදුලේ වැලිබත් උයා බෙදා හදාගෙන කෑ පුංචි එකෙක් අද තව දුරටත් පුංචි එකෙක් නොව මහ එකෙක් වී ඒ පුංචි සංදියේ මතකයන් අතර සිරව වේදනා විඳිමින් නංගිලාගෙන් මල්ලිලාගෙන් තමන්ගේ ඒ පුංචි කාලය ඉල්ලා සිටී. වික්ටර් ඒ ඉල්ලන දයාබර හඬට බෑ කිව හැකි නංගියෙක් මල්ලියෙක් සිටීදැයි සැක සහිත නොවේද . . ???
වැලි බත් උයන්නම් සැඟවී සිටින්නම්
මා දං කැලෑවේ පළු වීර වදුලේ . .
කවි ගී අසන්නම් ඇකයේ රැඳෙනම්
මව්ගේ තුරුල්ලේ උනුසුම් කැදැල්ලේ . .
නංගියේ මල්ලියේ
මල්ලියේ නංගියේ
මට දෙන්න මගේ පුංචි කාලේ . .
. . . . . . . . . . . .
ප්‍රේමයෙන් මුසපත් වූ පෙම්වතෙකුට හිමගිරත් වැලි කැටයක් සේ පෙනෙන බව, හිරුගෙන් සීතල වුවත් ලබා දිය හැකි බව, කඩු තුඩු මත පවා සැතපී තුටින් සිටිය හැකි බව ඒ ප්‍රේමයෙන් මුසපත් වූ හඬින් වික්ටර් හැර වෙන කවුරුනම් ගයයිද . . ?
මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද
සිතක් හිනැහුනා
වරෙක නැලවුනා වරෙක ළතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද
සිතක් මැලවුනා
හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම් . . .
. . . . . .. . . . . .
අම්මා මියගිය පසු මලනුවන්ගේ මව වී කුසයේ නොදැරුවත්, තනෙන් කිරි නොදුන්නත් සැබෑ මවම වී ඔහුගේ නැණ නුවන් පෑදීමට දිවියම කැපකරන අක්කා කීන්කුගේ ප්‍රේමය ගැන වික්ටර්ගේ දයබර හඬ්න් අසන විට සියලුම අක්කලා ගැන මට නම් සිතෙන්නේ කියා ගත නොහැකි ආදරයක් . . .
අම්මා නැති මට කිරි අම්මා වී
කරුවල ගෙදරට මිනි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ . . .
. . . . . . . . . . . . . .
මම තමයි පොර . . . මම තරම් දන්න කෙනෙක් ඉන්නවනම් වරෙව්. . . උඹල මොන හාල් කෑලිද . . යි සිතනා මොහෙන් මුලාවුනු මිනිසුන්ගේ මනුසත්කම ගැන වික්ටර් ගයන්නේ කෙතරම් උපේක්ෂාවෙන්ද . . .
මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී
අනුන් හෙලන්නට වලක් කපන්නා
ඒ තුල වැටිලා මිය යන්නා
කල දේ පලදේ එලෙසේ . .
මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා
තන්හාව ක්‍රෝධ ස්වේෂ පාරේ මිනිහා කොහේද මේ . .
රත්තරං කෙන්ඩියේ
සිංහ තෙල් වගේ
මිනිස් ගුනේ සැමදා බැබලේ . .
එය රැකීම අප උරුමේ වේ . .
. . . .. . . . .. . .
ඉදින් වික්ටර් ගැන ලියනවානම් මෙවැනි එක ලිපියක් නොව ලිපි මාලාවක්ම ලිව යුතු බව දන්නා නියායෙන්, නුදුරු අනාගතයේදී තවත් මෙවැනි වියුනකින් ඔබ හමුවට වික්ටර් කැඳවාගෙන එන්නෙමියි පොරොන්දුවෙන් අදට මෙතෙකින් නිමා කල යුතු බව හැඟේ මට . ..










