
මට ගොඩාක් පුංචි කාලේ ඉඳන්ම දේශපාලන උනක් තිබුනා . . . ඒ උන හැදෙන්නයි . . වැඩි වෙන්නයි හේතු අපේ ගෙදර පරිසරයෙන්ම ලැබුනා කිව්වොත් නිවරදියි . . . අපේ තාත්තා එකල එතරම්ම විශාල නැතත් විශාල පිලිගැනීමක් තිබූ වාමාංශික පක්ෂයක "හොඳ කකුලක්"
පාසැලට අවශ්‍ය අමතර පොතක් ගන්න රුපියල් සීයක් ඉල්ලගන්න ඕන වුනොත් ඒ සීය ගන්න කාරනා සීයක් ඉදිරිපත් කරල නහයෙන් අඬල අඬල ඉල්ල ගන්න සිදුවෙද්දී පක්ෂ අරමුදලට ආධාර වශයෙන් රුපියල් දහදාහේ ඒවා පරිත්‍යාග කරලා තියෙනවා කියලා අම්මා ඇඳුම් සෝදද්දී තාත්තාගේ කමිස වල තිබිලා අහුවුනු රිසිප්ට් වලින් දැක්ක දවසේ ඉඳලා තාත්තගේ වාමාංශික දේශපාලනය මොන වගේ එකක්ද කියලා මම හිතලා බැලුවත් එයා එක්ක වාද කලත් මට තාම හරියටම එයාගේ දේශපාලන දර්ශනය නම් මීටර් වෙලා නෑ . . .
හැබැයි අපේ තාත්තා දේශපාලනෙන් පුද්ගලික වාසි නම් බලාපොරොත්තු වුනේ නැති බව මම හොඳාකාරවම දන්නවා . . . ඒත් මම ඉස්සර තාත්තා එක්ක වාද කරනවා දරුවන්ට උවමනාවකට සල්ලි නොදී පක්ෂ අරමුදලට ලොකු කුට්ටි දෙන දේශපාලනේට කියන නම සමාජවාදය නෙමෙයි "ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වාදය" කියලා . . . ඒ වෙලාවට මාව කන්න වගේ බලං හිටියත් මම දන්නවා තාත්තා මට ගහන්නේ නෑ කියලා කවදාවත් . . . (ඒකනේ බය නැතුව ඒ වගේ දේවල් කිව්වේ)
අපේ ගෙදර ඉස්සර අක්කයි මමයි රුපියල රුපියල එකතු කරලා අරන් අපේ වත්ත පුරාම හිටෝපු මල් පාත්ති තලලා පොඩි කරලා දාපු රැස්වීම් ලොකු මිදුලකුයි පඩි හතරක් පහක් නැගලා ගොඩ වෙන්න තිබුනු විවෘතත ස්ටේජ් එකක් වැනි අඩි පහලොවක් පමන පළල විස්සක් විතර දිග විවෘත ඉස්තෝප්පුවේ හැම මාසෙකටම පාරක් විතර තිබුනා.
මැයි පෙලපාලි දවස්වලට අපේ ගෙදර කෑම ඉව්වේ කල්දේරම් වල . . . රැස්වීම් දවස්වලට සරුවත් හැදුවේ ලොකු ප්ලාස්ටික් බැරල් වල . . . ඔතපු කෑම පාර්සල් පෙට්ටි වල අසුරන එක . . . රැස්වීම වලට ආපු අයට ට්‍රේ වල තියාගෙන ගිහින් සරුවත් පිලිගන්වන එක අපිට (නංගිටයි මටයී හරිම ජොලි වැඩක් වුනා . . .
තාත්තා ගෙදරදී යාලුවොත් එක්ක එකතු වෙලා අඩියක් ගහන ගමන් කතාකරපු එන් එම් සහෝදරයා, සිරිමා මැතිනිනිය, ෆීලික්ස් ඩයස් බන්ඩාරනායක, ඉන්දිරා ගාන්ධි, සුභාෂ් චන්ද්‍රබෝෂ්, එස්.ඩබ්.ආර්.ඩී. බන්ඩාරනායක, බොරළුගොඩ රාළහාමි, පිලිප් සහෝදරයා, විවියන් සහෝදරී, ඩී.එස්. සේනානායක, රොබට් ගුනවර්ධන, ශ්‍රී නේරු, වගේ අය ගැන මම අහගෙන හිටියේ එක්කෝ තාත්තගේ සරමේ ඔන්චිල්ලා පැද පැද . . නැතිනම් ඔඩොක්කුවේ ඉඳගෙන . . .
ඔය හේතු ඔක්කෝම මට අර කලින් කිව්ව දේශපාලන උන හැදෙන්නත් . . වැඩි වෙන්නත් හේතු වෙන්න ඇති . . .
ටිකක් විතර කාරනා කාරනා තේරෙන කාලෙදි මට හිතෙන්න ගත්තා "අත කැපුවත් අපේ තියෙන්නේ නිල් පාට ලේ" කියලා කියපු ආච්චිගේ දුව වෙච්චි ඒ ජාතියෙම කතා කියූ අපේ අම්මත් කීකරු බිරිඳක් වගේ තාත්තගේ දේශපාලනේට සහයෝගය දෙනවා වුනත් . . තාත්තා මේ පක්ෂේ හොඳ කකුලක් නිසා මාත් මේ පක්ෂේ හෙංචයියෙක් වෙන්නේ ඇයි කියලා. . . මේක මේ කියන තරම් හොඳ එකක්ද කියලා හොයලා බලන්න ඕන කියලා . . .
කොහොමින් හරි ගෙදර තිබුනු දේශපාලන පරිසරයත් එක්ක අනිත් ප්‍රධාන පක්ශ වල ප්‍රතිපත්ති ප්‍රකාශන හොයාගන්න එතරම් අමාරුවක් නොතිබුනායින් ඒ හැම එකම කියෙව්වා.
අවසානේට මගේ පොඩි මොලේට තේරුනා ඒ පක්ෂේ ප්‍රතිපත්ති අනිත් ඒවාට වඩා ප්‍රයෝගියකයි . . . කාලීනයි කියලා. ඉතින් මාත් එදා ඉඳන් ඒ පක්ෂේ සාමාජික ලැයිස්තුවට නොවැටුනු ඡන්ද බලය වත් නොතිබුනු පක්ෂ සාමාජිකයෙක්. පසු කාලයක අපේ පක්ෂය බලවත් පක්ෂයක නායිකාවකට සහයෝගය දෙන්න පක්ෂේ කොඳුනාරටිය කඩා ගත්තු දවසේ ඉඳන් එතකොට ඡන්දහිමි පුරවැසියෙක් වෙලා හිටි මම වැටුනේ පාවෙන ඡන්ද කියන ගොඩට.
මේ දැවස්වල ඇතිවෙලා තියෙන ඡන්ද උනුසුමත්; බුමුතුරුණු, ටැබූ සබ්ජෙක්ට්, බියෝන්ඩ් ෆ්‍රේම්, රාමචන්ද්‍රගේ අඩවිය, සත්දින, මෙම්බර් ඩොට් කොම්, පුලස්තිගේ සටහන වැනි දේශපාලන ලිපි අඩංගු බ්ලොග්ස් ත් බලල ඒ උන නිව්මෝනියාවක් දක්වා වර්ධනය වෙන්න කලින් දේශපාලනය ගැන මගේ අදහස් ටිකත් ලිපි පෙලකින් ලියන්න හිතුවා.
මගේ ජීවිතයේ මෑත කාලයේ සිදුවූ සිදුවීම් වලින් මාව අලුත්ම මිනිසෙක් කල කාරනා දෙකක් තියෙනවා. එකක් මගේ පුංචි පුතා "විරුල්" ("ඇයි මම" කියලා මගේ ගෙදර උන්දෑ ඔන්න වලි දානවා එහෙම නෙමෙයි හොඳේ - ඒකනේ මම කිව්වේ මෑත කාලයේ දේවල් වලින් කියලා) විරුල්ගේ සුරතල් දඟකාරකම් දකින අහන මම හැම දවසකම පුදුමාකාර සතුටක් ලබනවා. අනික මගේ බ්ලොග් එක . . .
මගේ බ්ලොග් එක මාව වෙනස්ම කෙනෙක් කලා කීවොත් නිවරදියි . . . මගේ බ්ලොග් එකත් මේ බ්ලොග් අවකාශෙත් මගේම අදහස් මටම විවේචනය කරලා බලන්න . . . හැමදෙයක්ම වෙනස් විදිහකට දකින්න මට තුන්වෙනි ඇසක් ලබා දුන්නා කියලයි මට හිතෙන්නේ.
මම මීට කලින් දේශපාලනේ ගැන කතාකරා නම් ක්‍රෝධයෙන්, ද්වේශයෙන්, කලකිරීමෙන් කතා කරන්න බොහෝවිට ඉඩ තිබුනා.
නමුත් කලින් සඳහන් කල තුන්වෙනි ඇසින් ලෝකය දකින්න ගත්තු මට අද ක්‍රෝධයෙන්, ද්වේශයෙන් තොරව දේශපාලනය ගැන කතාකරන්න හැකියාවක් ලැබිලා තියෙන නිසා මම හිතනවා මේක තමයි මගේ අදහස් මෝචනය කරන්න සුදුසුම අවස්තාව කියලා. .
එහෙනම් රැඳී ඉන්න දුකා සමඟ . . අපි කතා කරමු . . පහර ගහමු. . විවේචනය කරමු . . . විග්‍රහ කරමු . . . ඔය ඔක්කෝම කරලා ඉවර වෙලා පිලිපදින්න පුලුවන් කියල එකඟ වුනු දේවල් තුලින් හෙට දවසේ යහපාලනයක් ගැන අද දවසේ හීන දකිමින් හැමදාම හැමෝටම බැන බැන නොයිඳ, ශ්‍රී ලාංකිකපුරවැසියන් විදිහට මේ ලාංකික දේශපාලනය කියන මඩ ගොහොරුවේ නෙළුමක් පුබුදුවන්න අපිට කලහැකිදේ මොනවාද කියා සොයා බලා ක්‍රියාත්මක වෙමු.