Saturday, July 18, 2009

අඳ වාදකයා හෙවත් හද සිදුරු කරන්නා. . . !





අන්තිමට ම බලල ඉවර කරපු පොතෙන්ම මේ වර්ගීකරනයට ලියපු පලමු ලිපිය ලියන්න ඕන කියලා මම හිතුවා . . . . පොතේ නම "අඳ වාදකයා" . . මෙපමන කල් බලපු පොත් එක්ක බැලුවොත් . . . හැම එකකටම වඩා මගේ හිත සසල කලේ මේ පොත කියලා කියන්න පුලුවන් . . . .

කරුණාසේන ජයලත් මහතාගේ "මව සහ දුව" නවකතාව බලද්දි දැනුනු දුකටත් වැඩිය . . . සෝමා ජයකොඩි මහත්මියගේ "කර්නල්ගේ බිරින්ඳෑවරු" නවකතාව බලද්දි දැනුනු දුකටත් වැඩිය . . . "ගුරු ගීතය" නවකතාව "ගෝදානය", "අපූගේ ලෝකය", "අරණකට පෙම්බැඳ" නව කතා බලද්දි දැනුනු දුකටත් වැඩිය . . . මේ කතාව මගේ හදට ශෝකී රසයක් ගෙනාවා . . .

කරුණාසේන ජයලත් මහතාගේ "ගැහැනු ළමයි . . පිරුනු හදක් . . හතුරු හිතක්" නවකතාවල "කුසුම්" ගැන හිතලා හැඬුවාට වැඩිය මාව හැඬෙව්වා . . .

කතාව පටන් ගැනීමේදීම අඳ දරුවාගේ මව වූ "ආන්යා" දරුවා බිහිකල මොහොතේම ඇයට දැනුනු යම්කිසි වෙනස් හැඟීමක් නිසා විදි වේදනාව හදවතට ඉඳි කටු වලින් අනිනවා වගේ හැඟීමක් දැනවූවා . . . ටික දිනකින් දරුවා අඳ බව දොස්තර නිශ්චිතවම පැවසූ මොහොතේ . . . "මා ඒ බව දැන සිටියා . " කියා වේදනාවෙන් පවසද්දී හා ඈ දරාගත නොහැකි දුකෙන් වැළපෙද්දී . . . අනේ මටත් ඇගේ දුකට හවුල්වී ඈත් සමඟ දුක බෙදාගන්න බැරි වුනානේ කියන හැඟීම මගේ හද රිදෙවූවා . . .

අඳ දරුවා "පේතෘස්" ඔහු අන්ධයෙක් බව ඔහුගේ කුඩා මිතුරිය ස්වර්ණකේශනිය හෙවත් "එවලිනා" ට පවසූ මොහොතේ එක්වරම ඇයට ඔහු කීදේ නොතේරී පසුව එය තේරුනු මොහොතේ තණ බිම කම්පා වෙන ලෙස හඬාවැටුනු ආකාරය . . . "පපුවේ පිහියක් ඇණුනු ලෙස . . . එය එලියට ඇද දැම්මොත් ජීවිතය විනාශවෙන තුරු ලේ ගලා ගොස් මියයාවී යැයි බියෙන් මෙන් . . හද කීරීගැසෙන ලෙස දුකින් හඬා වැළපුනු ආකාරය මේ දැන් තාමත් මගේ ඉදිරියේ මැවීපෙනෙනවා වගේ දැනෙනවා . . .

අඳ දරුවා "පේතෘස්" මුලින්ම තණබිමට ගෙනගිය දවසේ විවිධ ශබ්ද වලින් හදවත විකෘති වී එය දරාගත නොහී සිහි නැතුව වැටුනු අයුරුත් . . පාට හඳුනාගැනීමට වෙහෙස වී වේදනාවෙන් කම්පිත වූ අකාරයත් . . . ඔහුගේ අඳ බව ඔහුටම දරා ගත නොහැකි උනු අවස්ථාවලදී ඔහු වේදනා විඳි හැටිත් කියැවීමේදී . . "පේතෘස්" ඔහුගේ කුඩා නියපොතු වලින් මගේ හදවත ලේ ගලන තුරු පහුරු ගානවා වගේ හැඟීමක් . . . මගේ උගුරින් පහලට ඔහුගේ කුඩා දෑත් දමා මගේ හදවත ඔහුගේ දෑත් වලින් මිරිකනවිට දැනෙනවා වැනි හැඟීමක් . . . මට දැනවූවා . . . අන් අයගේ සමච්චලයට බියෙන් හඬාවැටෙන්නට නොහැකිවූ මගේ පුරුෂ ආත්මය ඉරිතලා යන සෙයක් මට දැනුනා . . .

අඳ දරුවාගේ අනාගතය යහපත් කිරීමේ වගකීම පවරා ගත් "මක්සීම්" මාමාගේ උරහිසට හිස තබාන මගේ වේදනාව පහවනතුරු හඬාවැටෙන්නට තිබුනා නම් කියා මට සිතුනා . . .

පොත බලද්දී දෑසින් ගැලූ කඳුලු මා අන් අයගෙන් වසන් කරගතේ . . . කෑ ගසා හඬන්නට අවැසි හැඟීම මා සිරකර දරා ගත්තේ . . . හැඬීම . . . කඳුලු . . . අයිති ගැහැනුන්ට පමනයි . . කියා සිතන . . පුරුෂාධිපති සමාජයට වෛර කරමින් . . .

34 comments:

  1. මේ ලිපිය කියෙව්වයින් පස්සෙ නම් කාටවත් පුලුවන් වෙන එකක් නෑ මේ පොත නොකියව ඉන්න..හෙටම හොයාගන්න ඕන..ස්තූතියි සහෝ!

    ReplyDelete
  2. මම මේක කොහෙදෝ තිබිල සෑහෙන කාලෙකට උඩදි කියෙව්වා.ඇත්තටම ලස්සන පොතක්.දැන් නම් පොත මා ගාව නැහැ.මේවා හොයාගන්නත් අමාරුයි දැන් මම හිතන්නෙ.
    තවත් රුසියන් කතාවක් මට මතකයි "කුඩා රත්මිනි ඔටුන්න"කියල කෙටිකතාවක්.ඒකෙ ලේඛකයා මට මතක නැහැ.මාර විදිහට හිතට දැනෙන එකක් ඒකත්
    බොහොම ස්තුතියි සටහනට.කියවලා නැති අයව කියවන්න පොලඹවනවා මේ වගේ සටහන්

    ReplyDelete
  3. අනේ දුකා..,"ගුරු ගීතය" , "ගෝදානය", "අපූගේ ලෝකය", "අරණකට පෙම්බැඳ".....අම්මෝ නම් ටික ඇහුවත් සැපයි..ඔයාගේ කලින් ලිපිය කියවලා මම මේ අපූ ත්‍රිත්වය ගැන ලියන්න හිතුවා විතරයි..

    අඳ වාදකයා පොත මන් ලඟ තියනවා.( පළමුවරට BMICH එකේ තිබ්බ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයෙන් ගත්තේ )හරිම ලස්සන පොත.
    මේ පොතේ කතෘ වන 'V.කරලෙන්කො' ගොර්කි,ටොල්ස්ටෝයි ලා ටත් කලින් ඉඳන් සාහිත්‍යයේ නියැලුන කෙනෙක්.(රුසියානු විප්ලවයට පෙර )."රුසියානු ගත්කරුවාගේ පරමාදර්ශය " විදියටයි ගොර්කි මෙතුමාව හඳුන්වලා තියෙන්නේ...

    ReplyDelete
  4. Слепой музыкант
    AKA: Slepoi Musykant, The Blind Musician, අඳ වාදකයා
    by Vladimir Korolenko

    මේකෙ දැදිගම වි. රුද‍්රිගු මහත්තයගෙ ප‍රිවර්ථනය කියෙවුව! :)
    ගොඩක් කල්, හ‍රියටම මතක නෑ. රුසියානු ලේකඛයෙක් ලිවුවට කතාව පෝලන්තෙ වගේ රටක එකක් නේද?
    පට්ට කතාව. සංවේදී වගේම විප්ලවීයයි!

    ReplyDelete
  5. @Anjalee

    හැබැයි V. Korolenko (1853-1921), Leo Tolstoy (1828-1910) ත‍රම්ම ප‍රණ නෑ :D

    "ගුරු ගීතය" වගේම චිංගීස් අයිත්මාතොව් ගෙ "ධීව‍ර ගීතය" සහ "සමුගනිමු ගුල්සාරි" ත් කියවල ඇති නෙ!...

    ReplyDelete
  6. @ පොතේ ගුරා !
    අනිවාර්යෙන්ම බැලිය යුතු පොතක් සහෝ . . . හරිම සංවේදීයි . . .

    @ Ramachandra !
    ස්තූත්යි ඔත්තුවට . . . හැකි ඉක්මනට හොයාගෙන බලන්න ඕන . . . "කුඩා රත්මිනි ඔටුන්න"

    @ Anjalee !
    ලියන්න ලියන්න ඉක්මනින් ලියන්න අපූ ත්‍රිත්වය හෙවත් "මාවතේ ගීතය" , "අපූගේ ලෝකය" හා "අපරාජිත ජීවිතයක්" ගැන . . . මොන සැප සම්පත් ලැබුනත් තෘප්තිමත් නොවන අපේ කෑදර සිත් සමඟ . . . ලැබෙන පුංචි දෙයින් සතුටුවූ "අපූර්ව බාබු" ගේ ජීවිතය සංසංදනය කරන්නත් එයින් ජීවිතයට යම්කිසි පාඩමක් ඉගෙන ගන්නත් හැකි වේවි බලන හැමෝටම . . . ඉක්මනින් ලියන්න . . . !
    අහ් ලිපියට ඌන පූර්නයක් එක් කලාට ස්තූත්යි . . .

    @ Akila DJ !
    ඇත්ත . . . රුසියානු කිව්වට පෝලන්ත කතාවක ගතියක් තමයි දැනෙන්නේ . . මමත් කියෙව්වෙ "දැදිගම වි. රුද‍්රිගු මහත්තයගෙ ප‍රිවර්ථනය" තමයි සහෝ . . !

    ReplyDelete
  7. @Akila DJ
    ආ..වැරදීම පෙන්නුවාට සිතූතියි..:)

    ReplyDelete
  8. @ Akila DJ !
    තව පොත් තුනක් හොයා ගන්නකම් දැන් සිහිය නෑ . . .
    1. "කුඩා රත්මිනි ඔටුන්න"
    2. "ධීව‍ර ගීතය"
    3. "සමුගනිමු ගුල්සාරි"
    ගොඩාක් ස්තූත්යි . . . !

    ReplyDelete
  9. ච්ංගීස් අයිත්මාතව් ගේ 'ජමිලා','මහාපුරුෂ කාන්තාවක්' 2ත් නියමයි

    ReplyDelete
  10. @ Anju !
    ජමීලා නම් බැලුවා. . . හරිම ලස්සන පොතක් ඇත්තෙනම . . . !

    ReplyDelete
  11. අඩේ... කියවන්න පොත් ගොඩායි නෙව... ඔතන තියෙන ලැයිස්තුවෙන් එකක්වත් හරිහැටි කියවලා නෑ නෙව. ඔන්න ළඟ ළඟ එන පොත් ප්‍රද‍ර්ශනේ වෙනුවෙන් ලෑස්ති වෙන්න කාලේ හරි කියන බ්ලොග් සටහනක් තමයි මේක. එළ එළ!

    ReplyDelete
  12. මම කැමතිම ෙපාත් රාක්කය (පරිවර්තන) ඉස්සරහ ඉන්නව වගෙ.
    ගුරු ගීතය,සමුගනිමු ගුල්සාරි,අපූගේ ලෝකය....හරිම අපූරුයි.

    ReplyDelete
  13. @ Supun Sudaraka !
    ඔව් ඔව් ලබන මාසේ සාහිත්‍ය මාසේ නේ . . . ! දැම්මම අනවශ්‍ය වියදම් එහෙම කපාහැරලා ලෑස්ති උනා නම් හොදයි නේද??

    @ The Chinthaka !
    අරණකට පෙම්බැඳ පොතත් ඕකට එකතු කර ගන්න . . ඊට පස්සෙ කවදාවත් වැරදිලා වත් ගහක් කපන්න හිතෙන එකක් නැහැ . . . නිවාඩුවක් ලැබුනු ගමන් ආරණ්‍යසේනාසන හොය හොයා යන්න හිතෙයි . . . !

    ReplyDelete
  14. අනිවාර්යයෙන්ම.
    පරිසරය, ගහකොල ගැන දේවල් අමතක කරන්න බැරි තරම් අපූරුවට ලියල තියෙනවා.

    ReplyDelete
  15. @ The Chinthaka !
    ඇත්තෙන්ම ඒ පොතත් අපි ඒ අඩවියේ වාසය කලා වැනි හැඟීමක් දනවන විදිහට ලියලා තියෙනවා . . . කොහොමත් බෙංගාලි නවකතා හැම එකක්ම හරිම අපූරුයි . . . ලංකාවේ අපේ හදවත් වලට වංග සාහිත්‍ය කෘති බද්ධ කල කතුවරියක් අපේම පවට අකාලයේ මිය ගියා . . . ඇය තමයි "චින්තා ලක්ෂ්මි සිංහාරච්චි" (මට මතක හැටියට ඈ මියගියා කියලා පුවත්පතක මා දුටුවා . . . )

    ReplyDelete
  16. ඔබ හරි. ඒත් චින්තා ලක්ෂ්මි සිංහාරච්චි සිංහල සාහිත්‍යයට කල ෙස්වය නිසි අැගයීමකට ලක් ෙනාවූ බවයි මගේ හැඟීම. අද වන තුරුත් අැය හා අැගේ සාහිත්‍ය ෙස්වය ගැන පුවත්පත් ලිපි පල වී අැත්ෙත් ඉතා සුලු ප්‍රමාණයක්.

    බ්ෙලාග් අවකාශයෙ ෙම් අැති ෙවලා තිෙයන ප්‍රවණතාවය ඉතා වැදගත් ෙවන්ෙන ඒ නිසා. පුවත්පත් වල ෙහා් ෙවනත් ඒවැනි තැන් වල අරක් ෙගන ඉන්න පණ්ඩිතයන්ෙගන් ෙතාරව ෙපාත්පත් කියවන , රස විදින සාමාන්‍ය අයට සංවාදයක් අැති කිරීමට අවස්ථාවක් අැති නිසා.

    ReplyDelete
  17. ඈත්තටම ඉඩක් ලෑබුනු වෙලාවක කියවන්න හිතෙනවා දුකා.ස්තුතියි.

    ReplyDelete
  18. ඔබේ පෝස්ට් එක දෙකක් කියවා තිබුනද, විවේකීව සියල්ල කියවූයේ අදය. මා මගෙන්ම අසාගත් ප්‍රශ්නයක් වූයේ මෙතෙක් මා ඔබේ බ්ලොග් එක සැලකිල්ල්ට නොගත්තේ මන්ද යන්නයි. සමාවන්න.

    මේ සිංහල බ්ලොගවකාශ කතරෙහි තෝතැන්නකි. තව ලියන්න. නතර කරන්න නම් එපා.

    Taboo

    ReplyDelete
  19. @ taboosubjects !
    අද දවස මට සතුටින් නිදා ගත හැකි දවසක් . . . මොකද මම මෙපමන කලක් ඉතා උවමනාවෙන් බලා සිටි යමක් අද ඉෂ්ට උනා . . ඒ ඔබගේන් කමෙන්ට් එකක් . . . අවංකවම කියනවානම් . . . මා සිංහල බ්ලොග් අවකාශයට අහම්බෙන් එක් වූයේ ඔබගේ ලිපියක් කියැවීමෙන් . . .මගේ කාර්‍යාලයේ මිතුරෙක් දිනක් ඔබේ ලිපියක ලින්ක් එකක් මට එව්වා "බලපන් හොද ලිපියක්" කියා . . (ලිපිය කුමක්ද කියා මතක නැත ) එදින මා ඔබගේ සියලුම් පොස්ට් එක හුස්මට කියෙව්වා. . . ඔබේ අඩවියේ තවදුරටත් සෙවීමේදී තමයි මට බයිස්කෝප් සිංහලෙන් අඩවියත් සොයා ගන්න ලැබුනේ. . . එදින පටන් මා ඔබගේත් බයිස්කෝප් අඩවියේත් හොද රසිකයෙක් . . හැමදිනම වගේ උදේට පුවත් පත් බලනවා වගේ ඔබේ අඩවියත් . . . බයිස්කෝප් අඩවියත් බලනවා අලුත් ලිපි මොනවත් ඇත්දැයි දැනගනීමට . . . මට බොහෝම සතුටුයි ඔබේ අගය කිරීම ගැන . . . ස්තූතියි . . . !

    ReplyDelete
  20. @ The Chinthaka !

    ඇත්තෙන්ම මා පුවත්පතක දුටුවා ලිපියක් . . ඈ බොහෝ වෙහෙස මහන්සිවී බොහෝ කැපකිරීම් කොටයි අපවෙත . . වංග සාහිත්‍ය රසය ගෙනත් දුන්නේ කියා . . . සමහරවිට ඇගේ පුද්ගලික ධනය පවා වැයකොට . . . මා හිතන්නේ ඒ පුවත පුවත පලවූයේ ඇගේ මරනින් පසු . . මා බොහෝ දුක්වූවා . . ඈ ජීවත්ව සිටිකාලයේ ඇගේ සේවය අගයකොට පෝස්ට්කාඩ් එකක් දාන්න තරමට වත් මගේ හිත නොනැමීමෙන් මා ග්ණ්නමකුවෙකු වූවා නොවේද කියා. . . "Tomorrow is too late" කියා කියමනක් තියෙනවානේ . . . මින් මතුවටවත් අගය කලයුතු තැන අගය කලයුතු දෙය කුහක නොවී අගය කල යුතුයි කියා මා සිතා ගත්තේ ඉන් පසුවයි . . .

    ReplyDelete
  21. @ NUWAN"s lane !

    අනිවාර්‍යයෙන් කියවන්න නුවන් . . . හැබැයි කඳුලු පිසින්න ලේන්සුවකුත් ලඟින්ම තබා ගන්න. . . !

    ReplyDelete
  22. පොඩි කාලෙ කියවපු පොතක් මතක් උනා!...
    ඒත් ඒකෙ නම මතක නෑ හරියටම :(
    "කළු කිකිළි සහ තවත් කතා" වගේ නමක්. හ‍රි හැටි නිච්චියක් නෑ!
    රුසියානු කෙටි කතා ටිකක් ඒකෙ තියෙන්නෙ. කෙටි කතා කිවුවට කෙටි කතාම නෙමෙයි. චූටි ළමයින්ට කියවන්න තියෙන කුඩා කතා. පොඩි කාලෙ හිතට අල්ලලම ගිය කතා ටිකක් ඒකෙ තියනව :)
    නම දන්න/කියවපු කෙනෙක් ඉන්නවදෝ?

    ReplyDelete
  23. ගිය පාර බී එම් අයි සී‍ එච් එකේ ප්‍රදර්ශ‍ණෙන් අ‍රගෙන කියෙව්වා... ඇත්තටම හරිම ලස්සන පොතක්.. කොහොමත් රුසියන් කථා සේරම හරීම මානුෂීයයි.. ඒවා කෙලින්ම අපේ හදවතින් රුධිර නාලිකා දක්වාම කථා කරනවා.. "අම්මා" "‍වානේ පන්නරය ලැබූ හැටි" "සැබෑ මිනිසෙකුගේ කථාවක්" පවා ‍එහෙමයි.!

    ReplyDelete
  24. ආ... මම අන්තිමටම ගිය සතියේ කියෙව්වේ ගෝරා.. ඒක පරිවර්තනය කරලා තියෙන්නෙත් චින්තා ලකෂ්මි මහත්මිය.. කියවලා නැති අය හොයන් කියවන්න.. ඒ තරම් මානුෂීයයි.. අගුලු දාන් ඉන්න හදවත් වල හැමෝ වෙනුවෙන්ම ඉඩක් වෙන් කරන්න පුළුවන් ‍හැගීමක් හිතට එයි කියවද්දි. අමතක උනා.. ගෝරා මුල් කතෘ තබීන්ද්‍රනාත් තාගෝර්.

    ReplyDelete
  25. @ malee_msg !
    මලී කියපු පොත් ඔක්කෝම මම බලල තියෙනවා . . . අවාසනාවට තාම හිතේ රැඳිලා තියෙන්නේ අම්මා පොත විතරයි . . . අනෙක් ඒවානම් පුංචිකාලේ බැලුවේ . . ඒක නිසා ආයෙත් පාරක් බලන්න ඕන . . . ගෝරා නම් . . . හදිස්සියේ බලල දෙන්න වුනායින් . . ලේ . . නහර . . .වලට දැනෙන්න්න කියවන්න බැරි උනා . . . ඒකත් ආයෙත් පාරක් බලන්න ඕන ඊලඟ පොත් ප්‍රදර්ශනෙන්වත් අරගෙන . . . . ස්තූත්යි මලී මතක් කලාට. . . .

    ReplyDelete
  26. @ DJ !
    බලමු මේක බලන කෙනෙක් ඔයාගේ ප්‍රශ්නෙට පිළිතුරු අරන් ඒවිද කියලා . . . ! මට නම් විශ්වාසයි කවුරුහරි ඉඳී කියලා. . . !

    ReplyDelete
  27. අනේ දුකා...! ඇත්තටම මම අදයි ඔයාගෙ මේ සටහන දැක්කෙ....මම ඊයෙ ආපහු (100 වෙනි වතාවට වෙන්න ඇති!) අඳ වාදකයා කියෙව්වා.....!!!!!..වචන නෑ සහෝදරයා.....! මටත් අඬන්නෙ නැතුව ඒක කියවන්න බෑ තාමත්....
    'අඳ ඇස් ඇති හිඟන්නන්ට...යමක් දෙන්න ජේසු නමට....!!!!'

    @DJ....ඔයා කියන පොත 'රසකතා'....ඒකේ 'කළු කිකිළිය හෙවත් පාතාල ලෝකයේ මිනිස්සු' ගැන නේද ඔයා කියන්නේ? අලෝෂා ඉන්න?..දැන් ඒකේ reprints තියෙනවා...

    ReplyDelete
  28. සචී . . . සචී . . . සචී . . .

    ඒ පොත බලල මම තරම්ම වේදනා විඳපු තවත් එක්කෙනෙක් හරි එහෙනම් මේ ලෝකේ ඉන්නවා. . .. ?? එල කිරි . ..

    ReplyDelete
  29. එක්කෙනෙක් නෙමේ...තව ඉන්නවා....අපේ මනුස්සයා, අපේ මලයා එයින් මම දන්න ම දෙන්නෙක්..!

    ReplyDelete
  30. @ සචී !
    හරිම සතුටුයි සචී . . . අනෙක් අයෙක්ගේ දුකක් වෙනුවෙන් කඳුලක් වත් හෙලන්න පුලුවන් අය තුල . . . යම් පමනකට හෝ මනුස්සකම් ඉතිරි වී තිබෙනවා කියලයි මගේ හැඟීම . . .

    ReplyDelete
  31. මම ඔය පොත කියවලා තියනවා. ඒත් රුසියානු නවකතා එක්ක සසඳද්දී අසාර්ථක නවකතාවක් කියලා මට හිතෙනවා. ඒක නවකතාවත් නෙමෙයි ගොඩක් ලස්සන කතන්දරයක්. ඒ මුලු කතාවම ලේඛකයා රචනාව වගේ විස්තර කරගෙන යනවා. හොඳින් කතාව නිරූපණය කළා නම් ලොකයේ ශ්‍රේෂ්ඨ නවකතාවක් වෙන්න තිබ්බා.

    ReplyDelete
  32. දුකා දවසෙන් දවස තමන්ගෙ ලිවීමේ හැකියාව දියුනු කරගන්න බව පේනව. තව තවත් හොද දේවල් ලියන්න. අපූ ත්‍රිත්වය, ශ්‍රී කාන්ත වගේ බෙංගාලි නවකතා අපේ ජීවිත වලට ගොඩාක් සමීපයි. පොළවෙන් ඉහල තියෙන කාල්පනික ලෝකෙකට වඩා මේ කතා අපට සමීප ලෝකෙ ගැන ලියල තියෙනව කියල හිතෙනව. කොහොම උනත් ‍ඔයා ලියල තියෙන මේ පොත නම් තවම කියල නැහැ ඒකත් හොයාගෙන කියවන්න ඕනි.

    ReplyDelete
  33. මම දැන් මොකක්ද දන්නවද කලේ මේකෙ තියෙන පොත්වල නම් සේරම කොපි කර ගත්ත,හෙට අනිද්දම නුගේගොඩ පොත් කඩ ටික පෙරලල හරි හොයාගන්න ඕනෙ.ගුරු ගීතය සමුගනිමු ගුල්සාරි තව රුසියන් පරිවර්තන කීපයක් මා ගාව තියෙනව.දුකා කියපු පොතනම් තාම හම්බ උනේ නෑ.සමුගනිමු ගුල්සාරි පොතත් දුකා කියපු වගේම පොතක්.බොහොම දුක හිතෙන සංවේදී පොතක්.කියවපු නැතිකෙනෙක් හොයල කියවන්න.

    ReplyDelete
  34. ඇයි 'අම්මා සහ නිල් කබාය' හරිම සන්වේදියි

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails