UAE Sri Lankans Events

Tuesday, September 8, 2015

හදවතේ පිපාසයට - ගී පැදුරෙන් ගී පොදක් . . !



දිවට දැනෙන පිපාසයට දිය අවැසි සේ, කුසට දැනෙන පිපාසයට ආහාර අවැසි සේ ජීවිතයට දැනෙන පිපාසයට මිනිස් සබඳකම් අවැසි බව - මගේ එක් ප්‍රිය නවකථා රචිකාවියක් වූ සෝමා ජයකොඩි මහත්මිය ඇගේ කර්නල්ගේ බිරින්දෑවරු පොතේ සඳහන් කළාය.

එයටම ඌන පූර්ණයක් ලෙස හදවතට දැනෙන පිපාසයට කලාව අවැසි බව මම විශ්වාස කරමි.

සාගරයක් තරම් වූ කලාව නම් වූ විෂයෙන් ගීතය නම් වූ කොටස හදවතට දැනෙන පිපාසය සංසිඳවන මූලිකම දේ බව ගී රසයේ අපූර්වත්වය විඳින්නෝ පමණක් දනී.

නන්දා මාලනී මහත්මිය ගායනා කරන "ලොවම එපා වී ලොවම කලකිරී . . තැවී දැවී හිඳිනා වේලේ" වැනි අවස්ථාවක ගීතයකින් හදවතට දැනන හැඟීම කෙසේ නම් විස්තර කරන්නද?

විරහවෙන් පෙළෙන වෙලාවක ප්‍රේම ගී කුමටද? බණක් දෙසුමක් වත් කෙසේ සිතට ගන්නද? හදවතේ පුරවා ඇත්තේ වේදනාව පමණි. විසෙන් විෂ නසී කියා ඇසූ කතා සැබෑ යැයි සිතෙන්නේ ඒ අවස්ථාවලදීයි . . . හදවතේ පිපාසයට තව තවත් ඉල්ලන්නේ වේදනාවයි.

"මා ගැන මතකය ගුලි කොට මහවැලියට දමන්න . . !"
"ඔබට වරම් නැති මටද වරම් නැති . . සෙනෙහෙස කොතැනද සැඟව ගියේ . . !'
"වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ .. . සදා මේ සංසාරේ අපේ හමුවීම නොවේ. . !'
"ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි . . දෙ අත රැගෙන එකම දිනෙක යළි හමුවෙන්නයි . . !"

සැරව ගලන වේදනාබරිත තුවාලය සැතකින් තව තවත් සූරා දමයි. තුවලය සුව වෙන්න පටන් ගන්නේ ඉන් පසුයි . .

ගීතය වේදනා සමනය කරන්නේ එවන් වූ අපූරු ආකාරයකටයි.

ඒ අපූර්වත්වය සොයා දැන ගන්න අපට රත්න ශ්‍රී විජේසිංහ වැනි ප්‍රවීණ ගීත රචකයන්ගේ, ශ්‍රේෂ්ඨ කවියන්ගේ මඟ පෙන්වීම අවැසිය.

ප්‍රේමයෙන් ඔකඳ වී ඉන්නා විට ගෙවෙණා කාලයේ ලෝකය හැල්මේ දුවන බවක් දැනෙනවාද? උදේට ඉර පායන බව, හවසට ඉර බහින බව දැනෙනවාද? හැමදාම දුටුවත් සැබෑවට නොදුටු, ගස්වල අපූරු මල් පිපෙන බව, කුරුල්ලෝ හැමෝම කෑ ගසන්නේ එකම හඬකින් නොවන බව ආදී ලෝකේ විසිතුරු බව පසක් වන්නේ ඒ කාලයේයි . .

"සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ . . . මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ . . . සිනාසී . . ."
"සඳ පානේ ඝන අඳුරේ . . අත් පටලා යමු ආයේ. . "
"යොවුන් වසන්තයේ . . දුහුල් වලා රොදේ . . රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා . . "
"සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා . .එන්න යන්න මල් මාවතේ . . !"

ප්‍රේමය නිසා ඉපදී පොපියන සිතුවිලි උත්කර්ෂයට නංවන්නේ ගීතයයි . . . 

එවන් වූ ගීත සොයා ප්‍රේමයෙන් මුසපත්වූ හදවත් වල පිපාසය සංසිඳවා ගන්න ප්‍රේම ගී වල සැබෑ අරුත් දැන ගන්න අපට රත්න ශ්‍රී විජේසිංහ වැනි ප්‍රවීණ ගීත රචකයන්ගේ, ශ්‍රේෂ්ඨ කවියන්ගේ මඟ පෙන්වීමක් ලැබෙනවා නම් කොයි තරම් අගනේද?

සමාජයේ සියලුම ස්තරයන් විනිවිද දකින මහා කවිකාරකමින් හෙබි නමුත් නිහතමානී කවියෙකුගෙන් අප නිතර අසන ගීත කිහිපයක දිග පළල . . අප ඇසට අසු නොවූ අතට අහුනොවූ මානයන් අසා දැන ගන්න අවස්ථාවක් ලැබේ නම් එවන් අපූර්ව වූ සන්ධ්‍යාවන් සිහිනෙන් දිවගෑ සුවඳක් මෙන් සදා මතකයේ රැඳේවි.

පාළු කතරක රැකියාව කරමින් හදවතේ පිපාසය ගීතයෙන් සංසිඳවාගන්නා සහෘදයන් එවන් වූ අවස්ථා උදාවෙනකම් මඟබලා සිටිනව කීවොත් නිවැරදියි.

විශේෂයෙන් මව් බිමෙන් බැහැරක සිටියදී, මව්බිමේදි නිතර නැතත් දුර්ලභ නැති නමුත් මැදපෙරදිගදී දුර්ලභ අත්දැකීමක් වන එවන් වූ අවස්ථාවක් කෙසේ නම් මඟහැර යමුද?

ප්‍රවීණ ගීපද රචක රත්න ශ්‍රී විජේසිංහ කවියා ලවා එවන් වූ දුර්ලභ අවස්ථාවක් ඔබට මට උදාකරදෙන්න මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රමාණ සමීක්ෂක පාඨමාලාව හදාරා එක්සත් අරාබි එමීරයේ සේවය කරන සොයුරු සොයුරියන්ගෙන් සැදුම් ලත් QSUM සංවිධානය විසින් කටයුතු සකස් කර ඇත.

මේ මස (සැප්තැම්බර්) 18 වෙනි දින ඩුබායි කොලේජ් ශ්‍රවණාගාරයේදී සවස 6.30 සිට ප්‍රවීණ ගායක ටී.එම්. ජයරත්නයන්, ප්‍රවීණ ගායිකා දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, වජිනියා සමරනායක ආදීන් ඔබ වෙනුවෙන් ගීතවත් වෙන්න බලාපොරොත්තුවෙන් සිටී.

ප්‍රවීණ සංගීතවේදී නාලක අංජන කුමාර විසින් එක්සත් අරාබි එමීරයේ අකනිටා වාදක මණ්ඩලයට නායකත්වය දෙමින් ඔවුනට සංගීතය සපයයි.

රත්න දී විසින් රචිත සුනිල් එදිරිසිංහ ගයන "ලෙංචිනා මගේ නංගියේ ඇයි ගං තෙරට වී ගොම්මනේ" සහ නිරංජලා සරෝජනී සහ ගුණදාස කපුගේ ගයන "නිර්මලා ලොන්ඩරිය හිමි සලුවඩන මැණිකේ නිර්මලා" යන ගීත අපේ සමාජයේ පහළ යැයි සම්මත කුල දෙස හෙළූ සානුකම්පිත බැල්මක් බව සියලු විචාරකයින්ගේ මතයයි.

ඒ පිලිබඳව ගීත රචක යසනාත් ධම්මික බන්ඩාර විසින් ඔහුගේ බ්ලොග් අඩවියේ ලිපියක් පල කර ඇත
ඒ සම්බන්ධයෙන්ම දිවයින පුවත්පතේ පලවූ ලිපියක් මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්

රටක ජීවත්වන විවිධ ජනකොටස් අතරේ සාමාහිකත්වයක්, සංහිඳියාවක් ඇති කිරිමේ අදිටනින් රත්න ශ්‍රී ලියූ තවත් ගී දෙකක් මේ - කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන "ශාන්තිනි තෙමා වැටේ නළල කුංකුමන්", ගුණදාස කපුගේ ගායනා කරන "කල්ලඩි පාලම පාමුල සිංදු කිව්ව මාළුවෝ" .

ගීත රචක දයානන්ද රත්නායක ගේ අස්වැන්න බ්ලොග් අඩවියේ "කවිකමේ ගුණ සුවඳ ගී මග පුරා පතුරන රත්න ශ්‍රී." ලිපියේ මෙසේ සඳහන් වී ඇත

"රත්න ශ්‍රී විජේසිංහයන් මේ වන විට ලියා ඇති ගීත ප්‍රමාණය හාරදහසකට ආසන්නය. කවියෙකු ලෙසින් ඔහු සිය කවීත්වයේ ප්‍රභාව විහිදා ඇති කාව්‍ය කෘති සංඛ්‍යාව හතකි. ඒ අතර බිය නොවන්න අයියණ්ඩි, වස්සානේ, සුබ උදැසන, තරු ලකුණ, සල්ගහ යට, මධ්‍යම යාමය සහ සන්ධ්‍යා තීර්ථය යන කෘතීහු වේ, ඔහුගේ ගී මංපෙතෙහි අතුරා ඇති ගී පද රචනා කෘති සංඛ්‍යාවද හතකි. ඒ අතර වංක ගිරිය අරණේ, සුදු නෙළුම, ගංගා ගීතය, ඉරබටු තරුව, නෙත නිලුපුල්, ආලකමන්දා සහ නිකිණි වැස්ස යන කෘතීහු වේ. මේ වන විට කව්‍ය කෘතිවලින් හතරක් ද, ගීත කෘතිවලින් හතරකට ද රජ්‍ය සාහිත්‍ය සම්මාන සහ විද්‍යෝදය සම්මානය හිමි වී ඇත. ඒ සියල්ලට අමතරව විවිධ පුවත් පත් සහ සඟරාවලට ලියු ලිපි ඇතුළත් විවිධ ලිපි කෘති ගණනාවක්ද ළමා කෘති ගණනාවක්ද ලියා පළකර ඇත"

එවන් වූ ප්‍රවීණ කවියෙකුගේ මඟපෙන්වීමෙන් පැය කිහිපයක් පුරා ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත රසවිඳින්න අපූරු සංගීත සැඳෑවක් ගතකර හදවතට දැනෙන පිපාසය සංසිඳුවා ගන්න මේ 18 වෙනි සිකුරාදා සවස 6.30ට ඩුබායි නගරයේ ඩුබායි කොලේජ් හි ඔඩිටෝරියම් එකට එන්නැයි ඔබට මෙසේ ඇරයුම් කරමි.

QSUM සවිධානය විසින් වාර්ෂිකව සංවිධානය කරන මේ ගී සැඳෑවේ තුන්වෙනි වර ප්‍රසංගයේදී කලින් වසර වලදී සිදුවූ යම්කිසි අඩුපාඩුවක් - කුඩා දරුවන්ගේ එහා මෙහා දිවීම් නිසා ගීත රසවින්දනයට ඇතිවූ බාධාවන් මඟහරවා ගැනීම වෙනුවෙන් මෙවර ප්‍රසංගය ඩුබායි කොලේජ් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට තීරණය කර තිබෙන බවත් සඳහන් කල යුතුයි.

මේ අපේ ගී පැදුර 2015 වෙනුවෙන් සකස් කල ෆේස්බුක් ඉවෙන්ට් එකේ ලින්ක් එක. යන්න තීරණය කල අය දැන්ම මේට ගිහින් ගොයින් කියලා සඳහන් කරන්න

මේ වීඩියෝවේ ඇති පැහැදිලි කිරීම වැනි නමුත් කෙටි පැහැදිලි කිරීම් ඔබට එදාට අත්විඳිය හැකියි



රත්න ශ්‍රී ලියූ අතරින් කීපයක් මේ
බිම්බරක් සෙනඟ ගැවසෙන - ගුණදාස කපුගේ
සොඬින් නෙළුම් මල ගෙනියන ඇතින්නියේ - අතුල අධිකාරී
චන්ද්‍ර මන්ඩලේ සැතපුන පුංචි සාවියේ - සුනිල් එදිරිසිංහ
දේදුනු පාලම (මිනි මිනි පොද වැටේවි ) - එඩ්වර්ඩ් ජයකොඩි
කිරුළ මුතු ලිහී - ජානක වික්‍රමසිංහ
කොන්ඩ කිරිල්ලියේ - කරුණාරත්න දිවුන්ගනේ
මා ඉතින් යන්න යනවා - සුනිල් එදිරිසිංහ
නාඩන් පුංචි හිරමනේ - ප්‍රදීපා ධර්මදාස
මේ කන්ඩ්න්හුලු බින්දුව - සුනිල් එදිරිසිංහ
නින්ද නැති රැයේ - ගුණදාස කපුගේ
සිංහල සිංදු කියන - ගුණදාස කපුගේ

2 comments:

  1. දුකා අපිට ඉතින් ගොඩක් දුරයිනේ.... ඒ නිසා බලලා අපිටත් විස්තර කියන්නකෝ.....

    ReplyDelete
  2. දුකා මමත් ඔය වගේ ඉවෙන්ට් රස විඳින්න හරිම ආසයි. ඒත් මේකට එන්න වෙන්නේ නෑ. මම ලංකාවෙනෙ ඉන්නේ. මට මතක විදිහට කැම්පස් එකෙන් අයින් වුනාට පස්සේ මේවගේ ගී පැදුරකට යන්න බැරි වුනා. සංවිධානය කරන කන්ඩායම ට සුබ පැතූ බව කියන්න.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails