Wednesday, October 3, 2012

Facebook වෝල් පුරවන බෞද්ධ යැයි කියා ගන්නා වානරයෝ . . . !




අපි පරිනාමය වෙමින් පවතින වානරයෝ වෙමු. . . !

වානරයෝ නිතරම බලය මත තමන්ගේ පැවැත්මේ තත්වය රඳවා ගන්නා ජාතියක්.

වානර රැලක නායකත්වය – ගැහැනු සතුන්ගේ අයිතිය වගේ දේවල් හිමිවෙන්නේ කාය ශක්තිය හෝ බලය වැඩි වානරයාට.

අනෙක් වානරයෝ ඔහුගේ නායකත්වය පිලිගෙන ඔහුගේ අණට අනුව ජීවත්විය යුතුයි.

ඒ අණට අකීකරුවෙන එකා එක්කෝ පහරකා වැනසෙන්න ඕන නැති නම් වානර රැල අතහැර තනිවම කැලෑ වදින්න ඕන.

පවුල කියන කුඩාම සංකල්පය ඇතුලේ ස්වාමියා කියන වානරයාට ඕන බිරිඳ කියන වානරයා තමන්ගේ සියළු වැඩකටයුතු නිසි වෙලාවට කර දෙන ඊට අමතරව තම වර්ගයා බෝ කරන වහලියක් වෙනවා දකින්න.

බිරිඳ කියන වානරයට ඕන සැමියා කියන වානරයා තමන්ගේ අතේ නැටවෙන රූකඩයක් කරගන්න.

තාත්තා කියන වානරයට ඕන දරුවෝ, ගෑනි එයාගේ නායකත්වය පිලිගෙන කිසි දෙයක් ප්‍රශ්න නොකර එයාට බයෙන් ඉන්න.

අම්මා කියන වානරයට ඕන තාත්තා සහ දරුවෝ තමන් කියන විදිහට ජීවත් වෙන අය වෙනවා දකින්න.

ලිංගිකව හෝ වෙන භෞතිකමය දෙයකට ආකර්ෂනය නොවී අධ්‍යාත්මිකව ආකර්ෂනය වීම නිසාම ඇතිවෙන මිතුරු සමාජෙකදී උනත් අපිට අපේ අර සම්පූර්ණයෙන් පරිනාමය නොවුනු ලක්ෂන පහල වෙනවා.

එක වානරයෙක්ට ඕන වෙනවා ඒ මිතුරු කන්ඩායමේ නායකයා මඟ පෙන්වන්නා වෙන්න.

සමාජය ගත්තොත් ගමේ මරණාධාර සමිතියටත් නායකත්වයට සභාපති ලේකම් කෙනෙක් ඕන වෙනවා.

සමාජිකයෝ කියන වානරයෝ ටිකට උන් කරන්නේ මොනවද කරන්නේ කොහොමද කියන එක සිවිලයිස් වුනු මනුස්සයන්ට වගේ හිතවත්කමින් විසඳගන්න බෑ ඒකට නායකත්වය දෙන වානරයෙක් ඕනම වෙනවා.

ඔෆිස් එකේ ලොක්කා කියන වානරයා කැමතියි තමන් යටතේ වැඩකරන වානරයෝ තමන්ගේ නායකත්වය පිලිබඳව තමන් නිතරම දැනුවත් කරනවට . .

ඒකට ඔහු යොදා ගන්නේ “සර්” කියන වචනය. සේවක සේවිකා වානරයෝ ඔෆිස් එකේ වානර නායකයට සර් කියලා අමතලා ඔහුට යටහත්ව පහත්ව ඉන්න ඕන.

මගේ ඔෆීසියේ ලොක්කන්ට අපි හැමෝම කියන්නේ එවාන් / ස්ටුවර්ට් කියලා. අඩු තරමේ මිස්ටර් එවාන් මිස්ටර් ස්ටුවර්ට් කියල වත් කියන්නේ නෑ ඔවුන් එහෙම කියනවට අකමැති නිසා.

කලින් වයසක පහේ ඩිරෙක්ටර් කෙනෙක් හිටියා ගෝර්ඩන් කියලා. කවුරු හරි මනුස්සයට “සර්” කිව්වොත් “මට තාම රැජිනගෙන් නයිට් නාමේ ගන්න බැරි උනා . . ඒ නිසා මට දනට ගෝර්ඩන් කියපන්” කියලා වහාම කියනවා.

එහෙම බැලුවාම සමහර බටහිර අධිරාජ්ය වාදී (ඌරුවංශ කියන විදිහට) රටවල වානරයෝ ආසියාතික අපිට වඩා සිවිලයිස් වෙලා කියලා හිතෙනවා.

ඒකට අපේ රටේ.

ඉන්න ඇමතියගේ ඡන්ද ව්‍යාපාරෙදි පෝස්ටර් අලවපු හෙංචයියෙක් නිසා ම පියන් ජොබ් එක ලැබුනු රජයේ කාර්‍යාලයක පියන් කියන වානරයට උනත් එතනින් වැඩක් කර ගන්න යන ඩොක්ටර් හරි ඩිරෙක්ටර් හරි කවුරු නමුත් සර් හරි මිස්ටර් හරි කියන්න ඕන. නැතිනම් ඉතිං සොරි ඩොට් කොම් තමයි.

අට පාස් වෙච්චි ඇමති වානරයගෙන් පත්වීම ගන්න මහාචාර්‍ය වරයා කියන වානරයා හතරට පහට නැමිලා ඇමතියගේ බඩ අතගාලා වැඳ වැටෙන්න ඕන.

උගත් කමට තැනක් ලැබෙන්නේ සිවිලයිස් සමාජෙක. වානර සමාජයේ තැන ලැබෙන්නේ බලය තියෙන එකාට.

සමහර බටහිර රටවල ජනාධිපති / අගමැති හෝ ඇමති කියන නායකයෝ වැරදි කලහම මහජනයා කියන  අය ඒකට විරුද්ද උනාම ඉල්ලා අස්වෙනවා, එහෙම නැති නම් බලයෙන් පහකරනවා ප්‍රවෘත්ති වල දකිනවා. ඒ සිවිලයිස් උනු වානරයෝද?

අපේ රටේ නම් ඇමති පුතා කියන වානරයා රට වෙනුවෙන් සේවය කල (ටික කාලෙකට ඉස්සර අපි වානරයෝ "හදවති අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ" කිය කිය මැරෙන්න හදපු) රණවිරුවෙක් කියන වානරයෙක් ට ඔලුව කුඩු වෙන්න ගැහුවත් ගුටි කාපු වානරයා කියන්න ඕන මට ගැහුවේ ඌ නෙමේ කියලා.

බලය තියෙනවා කියලා අපි වගේ සාමාන්‍ය වානරයෝ හිතාගෙන ඉන්න වානරයෙක්ට එහෙම නම්, කිසිම බලයක් නැති සාමාන්‍ය අපි වගේ වානරයෝ බලය තියෙන එකා ඉස්සරහා නැට්ට පුකේ ගහගෙන ම ඉන්න ඕන කියලා මතක තියා ගන්නවා හොඳා.

අනික අපේ වානර ගති කොයි තරම්ද කියනව නම් නායක වානරයෝ (තාත්තා, අම්මා, සභාපති, බොසා, මන්ත්‍රියා, ඇමතියා, ජනාධිපතියා මොකා උනත් ) තමන් වගේම සමාන අයිතිවාසිකම් තියෙන සමානයෙක් කියලා අපි වානරයෝ හිතන්නේ ම නැති එක.

අපි වානරයෝ හිතන්නේ ඒ අයට ඕනම වැරැද්දක් කරන්න අයිතිය තියෙනවා – මොකද ඒ අය නායකයෝ කියලා.

එහෙම බැලුවාම මහ ලොකුවට අපි බෞද්ධයෝ කියලා ෆේස් බුක් එකේ වෝල් එක පුරවන එක මහා ලොකු විහිලුවක්.

මොකද බෞද්ධාගම කියන දර්ෂනය සොයා ගත්තු ගෞතම කියන සාශ්තෲ වරයගේ මූලික පරමාදර්ෂයක් තමයි සියළු සත්වයෝ සමානයි කියන එක හෙවත් සමානාත්මතාවය.

සැඩොල් කුලේ එකාත් ශාක්‍ය කුලේ එකාත් එකම බුදු සසුනේ මහන වෙන්න සුදුස්සෝ කියලා එතුමා කියලා තියෙන්නේ.

මිනිහෙක් බ්‍රාහ්මණයෙක් හරි වසලයෙක් හරි වෙන්නේ උපතින් නෙමේ ක්‍රියාවෙන් කියලා එතුමා කියලා තියෙන්නේ.

නායකයෝ කියන වානරයෝ තමන්ට වඩා අසමන අය, උන් මොනව කලාම අපේ මොකෝ කියලා හිතන උන් බෞද්ධාගමට අනුව ජීවත් වෙන සිවිලයිස් මනුස්සයෝ වෙන්න බෑ. . .

උන් තාම පරිනාමය වෙමින් පවතින වානරයෝ . . . !!

අසාධාරණය දැක්කාම ඒට එරෙහිව නැගී සිටින්න කොන්ද පන නැති . . එහෙම නැගී සිටින උන් දැක්කම උන්ට විරුද්ධව මඩ ගහනන හොරිකඩයෝ ත් ඒ උතුම් සමානාත්මතා ධර්මය පිරුනු දර්ෂනය අදහන්න වටින උන් නෙමේ . .

උනුත් සාමාන්‍ය අනිත් එකාට බයේ මුලුගැන්විලා ඉන්න, බලය තියෙන එකාගේ බලය පිලිගෙන අත්දෙක දෙපැරැන්දේ ගහගෙන වකුටු වෙලා ඉන්න වානරයෝ . . !

බලය තියෙන වසලයා කරන වසල වැඩ ඌ බලය තියෙන එකානේ ඒ නිසා කමක් නෑ කියලා ඌගේ වසල වැඩ වලට හුරේ දාන උනුත් සිවිලයිස් මනුස්සයෝ නෙමේ ඌත් තාම පරිනාමය වෙමින් පවතින වානරයෝ . . !

එහෙව් එකේ "අපි පරිනාමය වෙමින් පවතින වානරයෝ වෙමු. . . !" කියලා මම කිව්වේ බොරුද හා?



Pic From: http://elijahthewaterman.blogspot.com/

38 comments:

  1. වැරදියි!

    අපි මිනිසුන් ලෙස සිට ආපසු වානරයින් බවට පරිනාමය වෙමින් සිටින අර්ධ මිනිසුන් කියන එකයි නිවරදි තත්වය.

    ReplyDelete
  2. මේ වානරයා ඔය වානරයා කියන දේට සම්පූර්ණයෙන්ම එකඟයි....!

    ReplyDelete
  3. ඕක තමයි ඇත්ත. සමහර රට වල අය එක්ක වැඩ කරද්දී හිතෙනවා අපි මොන තරම් පිටිපස්සෙන්ද කියන එක. අපිත් අවංකව වැඩ කරන්න, වහෙන් ඔරෝ නැතිව කෙලින් කතා කරන්න, හරි දේ අගය කරන්න, වැරදි දේ හෙළා දකින්න, අනුන්ගේ රෙද්දවල් අස්සේ රිංගන්නේ නැතිව ඉන්න, ... සහ තවත් අදාළ දේ කරනවානම් ලොකු වෙනසක් වේවි.. එහෙම වෙනවා අපිට දකින්න ලැබෙයිද ?

    අර කතන්දර කියපු එක වඩාත්ම ගැලපෙන නිර්වචනය කියලත් හිතුනා..

    ..
    ප.ලි. අපි ඉදිරියෙන් ඉන්න හොඳ දේ නැතිව නෙවෙයි, හැබැයි හරි චුට්ටයි..

    ReplyDelete
  4. පින්තූරේ නියමයි දුකා මල්ලි කතාව වගේමයි!!!

    ReplyDelete
  5. තමං බෞද්ධ කිය කිය වෝල් එක පුරවන බොරු යතුරුපුවරු වීරයෝ දෙතුන්දෙනෙක් මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් ඉන්නවා. මමදවසක් කිවුවා "ඕක කරන්න එපා බං, උඹමයි චාටර් වෙන්නේ" කියලා. ඒත් ඒ යකා අහන්නෙ නෑ. දැං කරන්න තියෙන්නෙලිස්ට් එකෙන් අයින් කරන එක...

    නියම පෝස්ට් එක.. ඒකයි බැරිමරගාතෙම ෆෝන් එකෙන් ‍රිප්ලයි කලේ...

    ReplyDelete
  6. ඇත්ත බං. මං වානරයත් අකමැතිම දෙයක් තමයි අනිත් වානරයෝ මට සර් කියන එකයි, අනික් වානරයින්ට සර් කියන්නයි.
    උඹ වානරයා කියන වානර කතාව හරියටම හරි.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  7. ෆේස්බූක් එකේ ඇඩ් දාන්නෙ ගොඩක් බොරු ෂෝ එකට ආගම අදහන උන් කියලයි මට හිතෙන්නෙ.මොකද නියම බෞද්ධයා 'මම බෞද්ධ මම බෞද්ධ. තොපි ඔක්කොම මිත්‍යාදෘෂ්ටිකයෝ' කියලා ප්‍රචාරය කරන්ඩ ඕනෙ නෑනෙ.

    බලයට කෑදරකම වගේම බලය ඉස්සරහා වැඳ වැටෙන්නෙ තියෙන දීනකමට කියලයි මගෙනං අදහස

    ReplyDelete
  8. මක්කා කියනවද ?
    මම දැන් රටවල් දෙකක සේවය කරලා තියෙනවා. සේවා ස්ථානය කියන්නෙ ලොක්කද පොඩ්ඩද කියලා නෑ ඔක්කෝම සම තත්ත්‍වයෙන් ආමන්ත්‍රණය කරන තැනක්. නමුත් තම තමන්ගෙ අයිතිවාසිකම් යුතුකම් තත්ත්‍වය තම තමන් අඳුනගෙනයි වැඩ කරන්නෙ.... ඒ නිසා මහාචාර්ය තුමාගෙ වැඩ කරන්න පියන් යන්නෙ නෑ.. ඒ වුනාට මහාචාර්ය තුමා පියන් කෙනෙක්ගෙ තත්තවයට බැහැලා වැඩක් කළා කියලා ඒ මහත්තයගෙ පදවියට බාධාවක් වෙන්නෙත් නෑ..
    අපේ රටේ සමහර සමාගම් තියනවා.. උදාහරණයක් වශයෙන් යුනිලීවර් සමාගමත් සියළුම දෙනාට මුල් නමින් අමතන සමාගමක්. කම්කරුවො කළමණාකාරවරුන්ට සර් කියනවා ඇරෙන්න වෙන සර් කතා නෑ...
    දුකා කිවු දේ වලට මම 200% ක් එකගයි.. අපි මහලොකුවට බෞද්ධයො කියලා කෑගැහුවට සමානාත්මතාවය කියන දේ අදහන්නෙ නෑ... අපි අන්තගාමී වෙනවා... මේකට වගකියන්න ඕන මිනිස්සු උසි ගන්වන ලොක්කො... තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් උන් මිනිස්සු අන්තගාමී කරනවා...
    ඒ වගේම මිනිස්සු දැනගන්නත් ඕන තමන් යන්නෙ කොයි පාරෙද කියලා.. මිනිස්සුන්ට මග පෙන්විය යුතු උන්නාන්සෙලා තමන්ගෙ කාර්යය අමතක කරලා දේශපාලනයයි මන්තර කටයුතුයි පස්සෙ යනකොට ඉතින් ඒ ඉටු දේවතාවුන්ගෙනුත් වැඩක් කොර ගන්න බෑ..
    පුදුම සමාජයක්... කාට කියන්නද ?

    ඇලා

    ReplyDelete
  9. ඇයි මචෝ ඒ වගේ එවුන්ට බැනල උබ පොර කියල මාර්කට් කරගන්න උම්බ වගේ එවුන්ට කියන්න නමකුත් මේකෙම දාපන්කො වැඩේ සම්පූර්ණ වෙන්න.

    “පිම්පියා“ කියන නම හොදයි වගේ නේද?

    මොකද පිම්පියා කරන්නෙ ගෑණු වෙළදාමනේ... ඒවගේ උම්බත් කරන්නෙ මෙතන සූටි මාර්කට්න් පාරක් දාලා මේකෙ කෙල්ලොන්ට පෙන්න ලොල්ල දාන එක!!!

    ෆේස් බුක් උන් කරන්නෙ උන්ගේ ආතල් එකටනම් උම්බ මේ කරන්නෙ උම්බේ ආලත් එකටනේ... ඕක තේරුම් ගන්න බැරි එකෙක් කොල්ලෙක් නෙවී ලොල්ලෙක් නේ නේද?

    උම්බ‍ට ඔච්චර සමාජෙ ගැන කැක්කුමක් තියනවනම් පාරට බැහැල ඔය ජාතිවාදෙටයි ආගම් වාදෙටයි ජාතික හොරුන්ටයි, මිණීමරුවන්ටයි, දූෂකයන්ටයි විරුද්දව උද්ඝෝෂණය කරල පෙන්නපන්කො ලිප්ටන් වටරවුමෙ???

    පලයන් බන් යන්න... පින්පි දුකා...

    ReplyDelete
  10. ඇත්ත.අපිත් මේ සමාජයේ වැරදි දකිනවා.ඒත් බලය කියන එක හමුවේ අපට කර කියා ගන්න දෙයක් නෑ.අපිට අපේ ප්‍රතිපත්ති ඒ විදිහටම රකින්න තියෙනවනම් හොදයි.ඒත් ඒක වෙන්නේ නෑ කොයිම සමාජයකවත්

    ReplyDelete
  11. අප තවමත් පරිණාමය වෙමින් පවතින දූපත් වාසි ගෝත්‍රික සමාජයකි. ආගම ලෙස තලේබාන් බුදු දහම අදහමු..

    ReplyDelete
  12. අපි හැමෝටම අර සාඩම්බර අතීතෙන් ආපු පොඩි පහේ වැඩවසම් වලිගයක් තියෙනවා. ඒක තමයි මේ සේරටම මුල. බයවෙන්නෙපා. අපේ නසරාණි පොඩිවුන්ට ඔය වලිගෙ නෑ. උන් මේක තැනකට ගනී.

    ReplyDelete
  13. " අනික අපේ වානර ගති කොයි තරම්ද කියනව නම් නායක වානරයෝ (තාත්තා, අම්මා, සභාපති, බොසා, මන්ත්‍රියා, ඇමතියා, ජනාධිපතියා මොකා උනත් ) තමන් වගේම සමාන අයිතිවාසිකම් තියෙන සමානයෙක් කියලා අපි වානරයෝ හිතන්නේ ම නැති එක. "

    මෙන්න මේ වානර කතාවට සම්පුර්ණයෙන්ම මම වානරයා විරුද්ධයි. කොහොමද සමාන අයිතිවාසිකම් තියන වානරයෝ වෙන්නේ සභාපති / මන්ත්‍රී /ඇමති / ජනාධිපති? මේ ටික කියාපන් දුකා අයියේ.. උන් සේරම සමාන නම් අපිට අපි අද මෙහෙ ඇවිත් මෙච්චර දුක් විඳින්න ඕනෙද??

    ReplyDelete
  14. වානර ගති පාපු එකෙක් ඔය උඩිං කමෙන්ට් කරලා තියෙන්නේ අන්නොව්න් කියලා...

    ReplyDelete
  15. මමත් මීට සැහෙන කාලෙකට කලින් ඔය ෆේස් බුක් කී බෝර්ඩ් වීරයෝ ගැන ලීවා. ඒ ලිවෙත් බෞද්ධ කියන වානරයන්ට කොහෙත්ම නුසුදුසු දේවල් බෞද්ධ නමින් පොස්ට් කරනවා දැක්කහම ඇති වෙච්ච දුකට..... කොහොම දුකා අයියේ කතාව හරියටම හරි...... අපි නැවතත් පසු පසට.......

    ReplyDelete
  16. අපි තවම මිනිසුන් බවට පත්නොවූ, මිනිසුන් බවට පත්වීමට සඳහා පරිණාමය වෙන සත්තු ජාතියක් කියලා හිතන්න කැමතියි. චාල්ස් ඩාවින් ගේ මතය බොරු කරමින් පරිණාමය නොවූ (වෙන්න හිතන්නේ වත් නැති ) ෆුල් වානරයොත් මේ පරිණාමය වෙමින් පවතින උන් අතර ඉන්නවා. ඔහොම ලියන පෝස්ට් එකකින් හරි, මිනිසුන් බවට පරිණාමය වෙන්න එකෙකුට දෙන්නෙකුට හරි පුංචි තල්ලුවක් ලැබෙනවා මං හිතන්නේ...

    ReplyDelete
  17. දුකාගේ ගොඩාක් අදහස් මමත් පිලිගන්නවා. ඔය අපරිනාමිත සත්තු අපේ ජාතියේ (වානර ජාතියේ ) නෙවෙයි.. උන් වා නරි (වරෙන් නරියෝ ) ජාතියේ. නරින්ගෙන් පැවත එන උන්.. මන් ඔය ගැන පරීක්ෂණ කරලා පොතක් ගහන්න හිතන් ඉන්නේ.. අපේ වානර සංහතියට අපහාස කිරීම ගැන මම ඔබට එරෙහිව වානර උසාවියේ නඩු නොපවරන්නේ අර කියා ඇති අසමජ්ජාති ගති ගැන මමත් එකඟ වෙන හින්දාය..

    ReplyDelete
  18. සර් කියන එක නම් අපේ රටේ තව බොහොම කාලයක් යයි.. මේ රටේ නම් එක දැනටමත් නැහැ.. මම රාජ්ජ සේවේ ඉන්න කාලේ මටත් සර් කිවුවා. මම එකට අකමැති උනාට ඕක කියන්න ගියා නම් මම නිකම් අමුතු සතෙක් වෙනවා. ඒ හින්දා ඔහේ කියා ගනිල්ලා කියල නිකම් හිටියා. වරින් වර කීප වතාවක් විදේශවල සේවය කරමින් ලංකාවෙත් වැඩ කල නිසා මට ඕක මහා විකාරයක් උනත් මම නිකම් හිටියා. සමහර විට මමත් එක ගැන සතුටුවෙන්න ඇති..

    ReplyDelete
  19. // මොකද බෞද්ධාගම කියන දර්ෂනය සොයා ගත්තු ගෞතම කියන සාශ්තෲ වරයගේ මූලික පරමාදර්ෂයක් තමයි සියළු සත්වයෝ සමානයි කියන එක හෙවත් සමානාත්මතාවය //

    මේ ටික තේරුම් ගන්න බැරි නිසානෙ අර විදියට වෝල් පුරවන්නේ.

    //මගේ ඔෆීසියේ ලොක්කන්ට අපි හැමෝම කියන්නේ එවාන් / ස්ටුවර්ට් කියලා. අඩු තරමේ මිස්ටර් එවාන් මිස්ටර් ස්ටුවර්ට් කියල වත් කියන්නේ නෑ ඔවුන් එහෙම කියනවට අකමැති නිසා//

    මගේ ඉෆීසියෙත් සර්ල මැඩම්ලා නෑ. හමෝටම කතා කරන්නෙ නම් කියලා. මිස්ටර් මිස් කෑලිත් නෑ. එතකොට වැඩ කරන්න පහසුයි වගේම අදහස් ප්‍රකාශ කරන්නත් පහසුයි

    මොනා උනත් පෙස්ටුව නියමයි. අදහස් වටිනවා

    ReplyDelete
  20. මහත්මයාගේ ලිපියනම් ඉතා අගෙයි. අප ජීවත් වන තිරිසන් සමාජය. තිරිසන් සතුන්ටත් වඩා අන්ත බව මගේ හැඟීමයි.

    අපේ අහටත් ගොඩ වෙලා යන්න නිවාඩූ පාඩූ වේලාවක. මහත්මයා සැමට අත හිත දෙන බව දැනගන්නට ලැබුනා...

    http://ithihaasaya.blogspot.com/

    ReplyDelete
  21. කතාව නම් සහතික ඇත්ත දුකෝ. සියලු දේම අනිත්‍ය වූ බුදු දහමේ මොනවා අරක්ෂා කරන්නද. තම තමන් නියම බෞද්ධයෙක් වීමම මදිදි? ඇගිල්ලෙන් ඇනලා අරක්ෂා කොරපන් කියන්න ?????
    අපිත් අර මිනී මරලා බුදු දහම ආරක්ෂා කොරන තැනට තමයි මේ යන්නේ. බුදු දහම ඇති වූ බුදුන් වහන්සේ ජීවමාන කාලයේ මොනතරම් දර්ශන වාද ඉන්දියාවෙම තිබ්බද? ඇයි අපිට අනිත් අයගේ විශ්වාස ගැන සමාන්ත්මතාවෙන් හිතන්න බැරි?

    අපි මේක පිලිපදිමු. අපේ දරුවන්ට ප්‍රායෝගික බුදු දහම තේරුම් ගන්න ඉඩ හරිමු. එතනින් එහාට මොන ආරක්ෂාවක්ද?

    ReplyDelete
  22. මට වානරයෝ ගොඩක් ඉන්න ෆිල්ම් එකක් මතක් උනා.. හි හි...

    ෆේස් බුක් එකම මට නම් විකාරයක් දැං....

    ReplyDelete
  23. කොහොමත් අපි වානර පරපුරක පුරුක්නේ.
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
  24. සිරා කතාව දුකා අයියේ මේ රටට හෙන ගහලා තියෙන්නේ මේවා හින්ද තමා

    ReplyDelete
  25. UNKNOWN කියන්නෙ අපේ ටැක්සි අබේ හෙවත් පොලු අබේ වගේ නේද සෑර්! පොඩ්ඩක් අහන්ඩ බලන්ඩ ඉන්දික සෑර්ගෙන කතා විලාසෙ ඒ වගේ නේද කියල! හෙහ් හෙහ්.. "දුකා උඹ පොරක්ද කියලත් අහල තිබ්බනේ..සෑර් එක්ක මාර මලක් නේ මූට තියෙන්නෙ.

    ReplyDelete
  26. බුදුදහමේ එකිනෙකා පරයා යන දෙයක් කරන්න උගන්වන්නේ නෑ දුකා මල්ලි. මේ කියන අය සමාජය කුපිත කරවන අයුරින් තමයි දේවල් ලියන්නේ. පුංචි දෙයක් අල්ලාගෙන මහ ලොකුවට ලයික් එකක් දාන්න කියල එවනවා. මේවා කොහෙන් එනවාද මන්දා. පුංචි විහිලුවක් කරල අපහාසයක් නොවෙන ලෙස කෙනෙක්ට හිනා වීමේ වරදක් නෑ. ඔය කාටුන් වගේ දේ. මේව එහෙම නෙමෙයි උසිගැන්වීම් කරන දේවල්. ඒව අපිට වටින්නෙ නෑ. දහම තියෙන්නෙ සිත් නිවන්න මිසක ගිනි තියන්නට නොවෙයි. මේ ලිපියෙන් කෙනෙක් හිතාවි දෙයක් කරන්නට කලින්.
    // අපි මේක පිලිපදිමු. අපේ දරුවන්ට ප්‍රායෝගික බුදු දහම තේරුම් ගන්න ඉඩ හරිමු. එතනින් එහාට මොන ආරක්ෂාවක්ද?// ස්තූතියි ! මහ වෙදනා.

    ReplyDelete
  27. හිතන්න දෙයක් තියන නියමම පෝස්ට් එකක්.
    ජයම වේවා සහෝ!

    ReplyDelete
  28. හරියටම හරි.. අපි තවම නොදියුනු මිනිස් සමාජයක ඉන්නේ.බුදු දහමේ පැහැදිලි කරල දුන්න සමානාත්ම තාවය අද පන්සල් වලත් නැහැ. නිකං නමට බෞද්ධයෝ විතරයි.

    මුදල් තියෙනවනම් ඕනෑම සිවිල් බලයක් තමන් කෙරෙහි නමාගන්න පුළුවන් ඒකයි ඇත්ත.

    ReplyDelete
  29. වැදගත් මාතෘකාවක් ගැන ලියවුනු සරල ලිපියක්.. සම්පූර්ණ ඇත්ත .. අමු තිත්ත කුණුහරුප කියාගෙන කුකුලොයි හරකුයි අරුනුයි මුනුයි මරණ පිතූර තොග ගනනනේ ෂෙයා කර කර ෆේස්බුක් එකේ නටන නාඩගම්කාරයන්ට ඕනි තවත් ජාතිවාදී කෝලාහලයක් අවුලවන්න විතරයි.. බුදුන්ගේ කාලෙත් බමුනෝ හිටියා..ජටිලයෝ හිටියා.. තව එක එක ජාතියේ ආගම් තිබුනා.. එහෙමයි කියලා බුදුහාමුදුරුවො අනිත් හාමුදුරුවරුනුත් එක්ක මරපියව් කොටපියව් කියාගෙන දැගලුවේ නෑනේ..උන්වහන්සේ තමන්ගේ දර්ශනය පෙන්නුව..කැමති කෙනෙක්ට පිලිගන්නත් අකමැති කෙනෙක්ට ඒක පිටුදකින්නත් ඉඩ දුන්න .. ඒ සරල දේ තේරුම් ගන්න බැරි මැටි මෝල්ලු ටිකක් තමන්ගේ අනන්‍යතාවයවත් හරියට එලියට නොදා බොරු ෂෝ එකක් දානවා.. බුදුහාමුදුරුවො වැඩ හිටියා නම් මේ නරි නාටක දැකලා පාරිලෙ‍ය්යිය කැලේටම වෙලා ඉන්නවා හැමදාටම :/

    ReplyDelete
  30. //ආසියාතික අපිට වඩා සිවිලයිස් වෙලා කියලා හිතෙනවා.///
    හිතෙන්න දෙයක් නෑ උන් සිවිලයිස්

    ReplyDelete
  31. කිසි කරදරයක් නෑ අන්සබ්ස්ක්‍රයිබ් කලා නම්..! උන්ගේ ගොංකං බූරුකං හපංකං බලනවා ඇරෙන්න වෙන වෙලාවක් නෑ බුකියට ගියාම..!
    ඕවා දාන වෙලාවේ තමන් කැමති හෝ තමන් ලියූ බ්ලොග් එකක ලින්ක් එක පබ්ලිශ් කරා නම් අඩුගානේ එක කියවලා මිනිහෙක්ගේ ඔලුවක් හරි දියුණු වෙනවා.!

    ReplyDelete
  32. අපි සියල්ලෝම අඩු-වැඩි වශෙයන් වානරයෝ වෙමු. එය පිළිගැනීමට ලැජ්ජා විය යුතු නැත.
    වනරයෙන් විසින් එවන් වානර පිරිසකටම අප හැමගේම වානර ගතිය පතල කිරීම ගැන නම් වානරයෙක් වශයෙන් මම මාගේ හදපිරි කෘතඥතාව පළකරමි

    ReplyDelete
  33. සේරම තීරණය වෙන්නෙ වනරයා බලන කෝනෙන් වානර අයියෙ. සමහර වෙලවට එක පර්ශවයකට විතරක් හැමදෙයටම නිදහස දෙනවනම් ඒවගෙ දෙයකට පුලුවන් විදියට ඒ කියන්නෙ බ්ලොග් එකක් කරනවනම් ඔබතුම කරනව වගෙ කියන්න පුලුවන් එහෙමත් නැතිව එච්චරවත් හැකියවක් වත් නැති කෙනෙක් මුහුනු පොතින් කෑගහන එකේ වරදක් දකින්න පුලුවන්ද?? මොකද වනරයො කරේ හැමදාම කෑගහන එකනෙ නේද?

    ReplyDelete
  34. ඔය වෙලාවට මටත් හිතෙනවා..වානරයගෙයි අපෙයි මොකක් හරි සම්බන්ධයක් තියෙනවා ද?.. ඒ කියන්නෙ .. පරිණාම වාදයෙත් මොකක් හරි ඇත්තක් තියෙනවා ද?.. කියලා..

    ReplyDelete
  35. දුකා අයියෙ උඹ නම් මරු පොරක් බං. මුළු පෝස්ට් එක පුරාවට අපේ සදාචාරවත් කියන උංගෙ ඇත්ත් තත්වෙ පට්ටෙටම පැහැදිලි වෙනවා. මම මේ වෙනකං කියෝපු එළම පෝස්ට් එක මේ බ්ලොගේ

    පරම පට්ට පඳුරු ඇත්තක්

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails