Monday, January 9, 2012

දිලුම් වෙනුවෙන් අපි . . ඉලංදාරියා සහ ජෙරූෂා . . !

දිලුම් වෙනුවෙන් අපි බ්ලොග් එකට ලියපු ලිපිය මගේ බ්ලොග් එකේත් දාන්න හිතුවා මොකද මේ සද්කාරියට හවුල් වුනු අය බොහෝ දෙනෙක් මගේ බ්ලොග් අඩවියට එන බව දන්නා නිසා බැරිවෙලාවත් ඒ අයට අර ලිපිය මඟහැරුනොත් කියලා.



ඊයේ බොහෝම සතුටු දවසක්.

ගිය අවුරුද්දේ ජනවාරි 26දා ඉලන්දාරියගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් තියෙනවා ගිහින් බලපන් කියලා තිසා කිව්වේ.

එදා ගෙදර ගිය ගමන් නදීෂත් කිව්වේ ඒ පෝස්ට් එක ගැන.

පහුවදා උදේම මගේ පරන ඔෆ්ෆිස් එකේදි ජනක මල්ලිත් එක්ක කතාබහ කරලා දුමීටත් කෝල් කරලා ඉලංදාරියට අපි උදව් කරන්න ඕන කියලා මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාලා අදට අවූරුද්දකට කිට්ටුයි.

මේ කාලේ ඇතුලත කොයි තරම් දේවල් සිද්ද වුනාද?

බ්ලොග්ස් කියවන, නොකියවන හැමදෙනාම ඉලංදාරියගේ පෝස්ට් එකයි, අනිත් බ්ලොග් පෝස්ටුයි දැක්ක ගමන් ඉලංදාරියගේ එකවුන්ට් එකට සල්ලි යැව්වා.

දුමීලා (දුමී, රජීව්, දර්ෂන, කින්චා, චරිත්, කෞෂි, භානු සහ අපේ කට්ටිය සංවිධානයේ තව ගොඩක් අය ) රෑ දවල් නිදි මරාගෙන පැදුරු සාජ්ජ දැම්මා ඉලංදාරියගේ ඔපරේෂන් එකට සල්ලි හොයන්න.

ටැබූ, සුපුන්, බින්කු එකතු වෙලා පේපෑල් ගිනුමකට මුදල් එකතු කලා.

අභීත මූලිකත්වය අරගෙන සයිබර් ෆෙස්ටිවල් අවුරුදු උත්සවයක් තිබ්බා.

පුතා(වරුණ), මම, ලිෂා, ඩී, රචියා, චමිල, පැතුම් එකතු වෙලා පින්තූර පෝස්ට් කාඩ් ගැහුවා.

ඉලංදාරියගේ පාසැල් මිතුරෝ ටිකට් පොත් ගහලා බ්ලොග් මිතුරෝ හවුල් කරගෙන ඒවා විකුනලා සල්ලි එකතු කලා.

එකතු වෙන සල්ලි තැන්පත් කරන්න ප්‍රියන්ත, ඉලංදාරියා, ඩීප්ස් එකතු වෙලා ජොයින්ට් එකවුන්ට් එකක් හැදුවා.

මේ සියලුම දේ කරමින් ඉන්නා අතරතුර ඔලුවේ පොඩි ගෙඩියකට කරපු ඔපරේෂන් එකෙන් අපේ දයාබර ඉලංදාරියා මියගියා.



බ්ලොග් සහෘදයෝ බොහෝ දෙනෙක් මල ගෙදර ගියා.

ඔහුට පින් පතා පිලිකා රෝහලට පවා දාන මානාදිය දුන්නා.

එකතු කල මුදල් ගැන වැඩි දෙනාගේ අදහස උනේ ඒ මුදල් ඉලංදාරියගේම ජාතියේ කර්ණාබාධයක් තියෙන කෙනෙක් හොයලා දෙමු කියන එකයි.

ජෙරූෂා ගැන අභීතට දැනගන්න ලැබිලා ගිහින් විස්තර හොයල බලලා සත්‍යතාව පැහැදිලි කර ගත්තාට පස්සේ හැමෝම එකඟ උනා ඒ වන විට එකතු කල මුදල් අවුරුදු 9ක් උනු ජෙරූෂගේ ඔපරේෂන් එකට දෙන්න.


ඉලංදාරියා මිය ගියා කියලා නවත්වන්නේ නැතුව දුමීලා පැදුරුපාර්ටි දිගටම කරගෙන ගියා ජෙරූෂගේ ඔපරේෂන් එකට සල්ලි එකතු කරන්න.


අපේ කට්ටිය මිතුරු සංසදයේ රජීව් ප්‍රනාන්දු මහතා අභීත එදිරිසිංහ සොයුරා සමග ජෙරූෂලගේ ගෙදර ගිහින් විස්තර සොයා බලා එයින් නොනැවතී දොස්තරවරු මුණ ගැසී සාකච්ඡා කර, මුලදී Rs 23,00,000/ යැයි මිල නියම කරන ලද ශ්‍රවණ උපකරණය හා Rs 18,00,000/= ට මිල නියම කරන ලද ශ්‍රවණ උපකරණය හා සමාන බව ඔවුන් වෙතින් සහතික කරවා ගත්තා. උපකරණය මිලදී ගෙන දුන්නොත් ශල්‍යය කර්මය ඇතුළු ඉතුරු අවශ්‍යය කටයුතු රෝහලින් අය කිරීමකින් තොරව කරමින් වෛද්‍යවරයා ඒ වගකීම ගන්නා බවටත් ප්‍රතිඥ්ඥා දී තිබුනා.

ඩුබායි සහ එමීර් රාජ්‍යයේ අපේ කට්ටිය මිතුරු සංසදයේ රජීව් ප්‍රනාන්දු මහතා ජෙරූෂා දියණියගේ මවට, ජෙරූෂාගේ ශල්‍යකර්මය වෙනුවෙන් පැදුරු සාජ්ජ වලින් එකතු කල මුදල් ලබා දෙන බවට සහතික කල ලිපිය ලබා දුන් මොහොත.

මෙඩිකොන් කියල අයතනයකින් ලක්ෂ 18 (Rs 18,00,000)කට ඒ උපකරණය ලබා ගන්න ඔවුන් සහතික කරගෙන තිබුනා.


ලක්ෂ Rs 18,00,000/= න් ලක්ෂ 3ක් ජනාධිපති අරමුදලින් ලැබෙනවා කියා සහතිකයක් ලැබුනා. එතකොට ඕන කරන මුදල ලක්ෂ 15යි. (Rs 15,00,000/=)


මේ ලක්ෂ 15න් ජෙරූෂගේ පවුලේ අය මහන්සි වී ලක්ෂ 4ක මුදලක් සොයාගෙන තිබුනා.



දැන් මදි පාඩුව ලක්ෂ 11යි.


කෙලින්ම දිලුම්ගේ එකවුන්ට් එකටදාපු සල්ලි සහ පස්සේ ජොයින්ට් එකවුන්ට් එකද දාපු සල්ලි මේ ඔක්කෝම 307,000/= වෙලා තිබ්බා.


මේකෙන් Rs 20,000/= ක් ඉලංදාරියගේ අවමන්ගල්‍යය සඳහා පවුලේ අයට ලබා දුන්නා. ඉතුරු මුදල 2,87,000/=.


මුලින්ම මෙඩිකොන් ආයතනයට අත්තිකාරමක් ගෙව්වෙ මේ මුදලින් Rs 100,000/= ක් අරගෙනයි. (මේ අත්තිකාරම් මුදල තැන්පත් කරන ලද්දේ ජෙරූශාගේ දෙමව්පියන් ඔවුන් එකතු කල Rs 400,000 මුදල මෙඩිකොන් වෙත තැන්පත් කරන්නට පෙරයි. )



ඉතුරු Rs 1,87,000/= ඒ වන විට පොලිය සමග Rs 190,158/= ක් වෙලා.ඒ මුදලත් රැගෙන පසුව මෙඩිකොන් ආයතනයේ තැන්පත් කලා.




දැන් අවශ්‍ය කරන මුදල Rs 8,10,000/=


දුමීලගේ පැදුරු පාර්ටි වලින් ඒ වෙනකොට එකතු වී තිබූ Dhs 16,325 සහ මදි පාඩුව සකස් කර (ඒ වන විට රුපියල් වලින් එකතු වී තිබුනේ Rs 489750/= ) Rs 500,000/= ක් මෙඩිකොන් ආයතනයේ තැන්පත් කලා.

( එම මුදල තැන්පත් කල දිනට පසු පැවති අවසාන පැදුරු සාජ්ජයේදි (ප්‍රමාණ සමීක්ෂකවරුන්ගේ සුහද හමුව) තවත් Dhs 1930/=ක් එකතු වී පැදුරු සාජ්ජ වලින් එකතු කල මුළු මුදල Dhs 18,255ක් උනා. )


එම මුදල තැන්පත් තැන්පත් කල පසුව අවශ්‍ය කරන මුදල Rs 3,10,000/=


පැදුරු පාර්ටි වලින් එකතු කරපු Dhs18,255න් ලක්ෂ 5ක් යවන්න Dhs 16,865ක් වියදම් වෙලා තිබ්බා.



පින්තූර පෝස්ට් කාඩ් වලින් ඩුබායි වලින් එකතු කල මුදල Rs 27,900යි.
(සුරාජ්ගේ මිතුරන් - Dhs 500
මනෝජ්ගේ මිතුරන් - Dhs 300
දුමීගේ ඔෆිස් එකේ මිතුරන් - Dhs 130
= Dhs 930 x 30 [Dhs1 = Rs 30 ] --> Rs 27,900)

18,255න් 16,865ක් අඩු උනාම ඉතුරු මුදල ඩිරාහ්ම්ස් 1,390යි පින්තූර පෝස්ට් කාඩ් වල මුදල ඩිරාහ්ම්ස් 930 එකතුව 2,320 ඒ කියන්නේ (2,320 x 30 = 69,600) වෙනුවෙන් Rs 70,000/= ක් තැන්පත් කලා.



මේ රිසිට් එකේ Rs 70,000/= වෙනුවට Rs 72,100/= ක් කියලා සඳහන් වෙන්නේ ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් ගෙවපු නිසා අය කරපු අමතර මුදලට.


ඒ Rs 70,000 න් පසුව අවශ්‍ය කරන මුදල Rs 2,40,000/=


2011 සැප්තැම්බර් 15 වෙනිදා ඩුබායි වල තිබුනු ප්‍රමාන සමීක්ෂකවරුන්ගේ මධ්‍ය ගිම්හාන පැදුරු පාර්ටියේ සංගීත කටයුතු සියල්ල සිදු කලේ දුමීලගේ සංගීත කණ්ඩායමෙන්.


එහිදී අපි ඔවුන්ට වෙත ඉදිරිපත් කර සිටියා දිලුම් සහ ජෙරූෂාගේ කතාව.


එය අසා සිටි ඩුබයිහි ප්‍රමාන සමීක්ෂක ආයතනයක් හිමි අයිවන් සෝවිස් මහතා පැවසුවා "පුතාලා ඒ ඔපරේෂන් එකට මෙතනින් එකතු උනාට පස්සේ මදි ගාන කීයද? ඒ ගාන මම දෙන්නම්" කියා.


ඊයේ මමයි දුමීයි ගියා අයිවන් සෝවිස් මහත්මයාව මුන ගැහෙන්න. කෙටි කතා බහකින් ඒ මහතා පසුව මම පිලියෙල කර කලින් ඊ-මේල් මඟින් යැවූ ජෙරූෂා ව්‍යාපෘතියේ තත්ව සමාලෝචන වාර්ථාවේ පිටපත් බලා ඒ මොහොතේම අදාල අවෂ්‍ය කරන මුදල වූ Rs 2,40,000/= වෙනුවෙන් Dhs 7,686/= ක චෙක් පතක් ලබා දුන්නා.




සාරාංසයක් ලෙස ගතහොත්


ජනාධිපති අරමුදලින් ලැබෙන මුදල = Rs 300,000.00
ජෙරූෂගේ පවුලේ අය එකතු කල මුදල = Rs 400,000.00
ඉලංදාරියගේ ගිනුමට එකතු වූ මුදල = Rs 290,000.00
පැදුරු පාර්ටි වලින් එකතු වූ මුදල = Rs 542,350.00
පින්තූර පෝස්ට් කාඩ් වලින් එකතු වූ මුදල = Rs 27,900.00
අයිවන් සෝවිස් මහතා ලබා දුන් මුදල = Rs 240,000.00
මුළු එකතුව = Rs 1,800,250.00


ඉතින් ඔන්න අපි හැමෝම සද්භාවයෙන් පටන් ගත්තු වැඩේ නිමා කරන්න අපිට පුලුවන් වෙලා තියෙනවා.

අන්තර්ජාලය ඔස්සේ දැන අඳුනා ගත් මනුස්සකම් හඳුනන මිනිස් පිරිසක් රුපියල් ලක්ෂ 11ක මුදලක් එකතු කරනවා කියන්නේ අති විශාල කර්තව්‍යක්.


මේ ඉලක්ක මේ ලෙස සපුරා ගන්න පුලුවන් උනේ හැමදෙනාගේම මනුස්සකම සහ තව කෙනෙක් වෙනුවෙන් තමන්ගෙන් කෙරෙන්න ඕන යුතුකමක් ඉටු කරන්න ඕන කියන මානුෂීය හැඟීම මිසක් වෙන කිසි දෙයක් නෙමෙයි.


එහෙනම් මේ සද්කාරියට සුලුවෙන් හෝ මහා පරිමාණයෙන් හෝ දායක උනු ඔබ හැමදෙනාටම පින්.

මේ ලිපියෙනුත් මේ සමඟ අමුනා ඇති බිල්පත්, මුදල් තැනපත් සහතිකපත් ආදියෙනුත් මේ කාරිය සඳහා එකතු වුනු සියළු දෙනා ඉහල විනිවිදභාවයකින් යුතුව මේ කාරිය සිදුකල බව ඔබ සැමට සහතික වනු ඇති කියා මා සිතනවා.


කිසියම් කෙනෙකුට කුමක් හෝ පැහැදිලි කර ගත යුතු දෙයක් තිබෙනවනම් පහල කොමෙන්ට් තීරුව මඟින් හෝ, අපව පුද්ගලිකව දන්නා හඳුනන කෙනෙක් නම් දුරකථන මඟින් කර ගත හැකි බවත් දන්වන්නේ සතුටින්.

අපි ආයේ ත් මේ වගේ පුන්‍යකර්ම ව්‍යාපෘතියකින් හමුවෙමු.

36 comments:

  1. සුභාෂ් මල්ලී සහ දුෂාන් මල්ලී,
    ඔබ දෙදෙනා ඇතුළු අනෙකුත් සියළුම මිතුරන් එකතුවී කල මේ සත්කාරය මම ඉතා අගය කරමි. ඔබලා කල මේ සත්කාරයේ සතුට ඔබලා ජීවත්වනතාක් කල් ඔබලාගේ සිත්තුල සදා පැලපදියන්වනු ඇත. අපට වචනයකින්වත් පෙරලා උදව්වක් උපකාරයක් කල නොහැකිකෙනෙකුට අප කරනා උදව් උපකාරයන් ඉතා වටින්නේය.
    The beauty of life depends on how happy others are because of us

    ReplyDelete
  2. වචන වලින් පිට කල නොහැකි ගොඩාක් ලොකු හැගිමක් හිතේ හිරවෙලා.. ඇත්තටම කියන්න දේවල් ගොඩාක් තිබුනත් ඒවා කියන්න මට තේරෙන්නේ නැ...

    ඔයාලට ගොඩාක් පින් අයියේ

    ReplyDelete
  3. ඇත්තෙන්ම මේ වැඩේට මගෙන් නම් මහා විශාල දෙයක් කෙරුනේ නෑ පොඩි පොඩි කෝඩිනේෂන් වැඩ ටිකක් ඇරෙන්න.

    මෙ වැඩේට බොහෝම වෙහෙස මහන්සිවෙලා කැපවුනු ලොකු පිරිසක් ඉන්නවා.

    ඒ අය ට තමා මේ වැඩේට ස්තූතියක් හෝ අගය කිරීමක් කල යුතු නම් කල යුත්තේ . .

    විශේෂයෙන් දුමී-ගම හාමිනේ, රජීව්, දර්ෂන-ෂෙනාලි, කෞෂි, ජෝර්ජ් අයියා, චරිත්, නාමල්, කොටා අයියා ඇතුලු අපේ කට්ටිය සංවිධානයේ අයත් . . අභීත, මරේ, අසේල ටැබූ, සුපුන්, බින්කු ඇතුලු බ්ලොග් සහෘදයෝත් . .

    මෙහෙම නම් වශයෙන් කියන්න ගියොත් නම් මේ කොමෙන්ටුව ම පෝස්ට් එකක් වෙනවා . .

    ReplyDelete
  4. A birthday is just the first day of another 365-day journey around the sun. Enjoy the trip.

    ReplyDelete
  5. එල ! සුභ පැතුම්!

    ReplyDelete
  6. ඇත්තටම ඔයාලා මේ කල දේ ගැන සතුටුයි අයියේ..

    ReplyDelete
  7. සතු‍ටුයි කරලා තියෙන වැඩේ දැක්කම...

    ReplyDelete
  8. මිනිසුන්ගේ මනුස්සකම්, අපේ පුංචි ශ්‍රී ලංකාව වගේම පුංචි එකෙකුගේ මුලු ලෝකයම සුන්දර කරන්න ඔය හැමෝම එකතු වෙලා කරපු මේ දේට මගේ ආචාරය! සුන්දර මිනිස්සු එකතු වෙලා මෙහෙම දේවල් කරන කොට මේ පින්බර සිරිලකේ ඉපදිච්ච මම කොච්චර වාසනාවන්තද කියලා නැවත නැවතත් හිතෙනවා අයියේ!

    ReplyDelete
  9. කොච්චර වුනත් මනුස්සකම තාම අපිව දාලා ගිහින් නෑ දුකා අයියා...... මමත් කාගේ හරි බ්ලොග් එකක් දිගේ ගිහින් තමයි ඉලංදාරියාගේ විස්තරේ හොයාගත්තේ. ප්‍රථිඵල දකිද්දි නම් ඇත්තටම සතුටුයි...... ජෙරූශා දිල්මිටත් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා... එකෙන්ම ආයෙත් එකතුවෙමු...

    ReplyDelete
  10. අනේ මට මේ වැඩේට සම්බන්ධ වෙන්න වුනේ නැහැ. මම බ්ලොග් වලට එනකොට මේ ප්‍රශ්නේ ඉවරවුනා විතරයි. කොහොමත් ඔබලා කලේ ඉතාම හොද වැඩක්.

    ReplyDelete
  11. ගොඩාක් සතුටුය් අය්යෙ ඉලන්දරියා වෙනුවෙන් ඔයලා කරපු මේ දේවල් ගන..හොද මිනිස්සු තවමත් මෙ ලොකේ ඉතුරුවෙලා ඉන්නවා කියන එකට හොද සක්ශියක් ඔයලා....

    ReplyDelete
  12. කරපු වැඩේ අති විශිෂ්ඨයි, ඇත්තටම මේ වගේ දෙයක් මේ වගේ තැනකින් සිද්ධ උනා කියන්නෙ නිකං ආශ්චර්යයක් වගේ ....

    ReplyDelete
  13. නියමයි මචං. එළ. මේ කරපු දේ වලට පින් කියලද මම කියන්න ඕනි. ඒ වචනෙ මදි.

    ReplyDelete
  14. මමත් මේ බ්ලොග් කරණයට බොහොම අළුත්. ඒ නිසා මටත් මේ සද්කාර්යයට සම්බන්ධ වෙන්න ලැබුනේ නැහැ. එහෙම වුනත් අනුන්ගේ දුකේදී උනුවන හදවත් ඇති, ඒ වෙනුවෙන් තමන්ට කලහැකි‍ ප්‍රමාණයෙන් කවරහෝ දායකත්වයක් දක්වන්න පසුබට නොවූ සියළු බ්ලොග් කරුවනි, ඔබ සැමට මගේ ප්‍රණාමය !

    ReplyDelete
  15. ඉලන්දාරියා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දෙය කරලා තියෙනවා මටත් හරි සතුටුයි මේ කතාව ඇහුවම ....
    ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා.
    අපිටත් කියන්න මේ වගේ දේවල් ඉදිරියට වෙනවනම් පොඩියට හරි දායකත්වයක් දෙන්න.

    ReplyDelete
  16. ඔන්න දුකා අයියේ, මම බ්ලොග් රචකයෙක් කියලා බය නැතුව ආඩම්බරයෙන් කියන්න පුළුවන් උඹලා වගේ හොඳ මිනිස්සු නිසා...!!! වෙන රටවල වුන් FB එකෙන් සෙට් වෙලා ආණ්ඩු පෙරලද්දී අපේ අය බ්ලොග් අවකාශෙදි හම්බවෙලා හොඳ වැඩකට දායක වුනා... ඇත්තටම ආඩම්බරයි මමත් මේ පවුලේ එකෙක් වීම ගැන...

    ඔහොම යං දුකා අයියා... මනුස්සකම යට වුනත් මරන්න බෑ. උඹලා වගේ හොඳ පපු තියෙන කල් මැරෙන්නෙත් නෑ... ජය.

    මේ සත් කාර්යයට දායක වුනු හැමෝටම බොහොම පිං. ඒ වගේම ඒ පිනෙන් අපේ දිලුම් සොයුරාට මතු භවයකදී අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු...!!!

    ReplyDelete
  17. මටත් කියන්න තියෙන්නේ ඉලන්දාරියා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දෙය කරලා තියෙනවා.. කවදා හරි මේ කරපු පුන්‍යකර්මයට ඔයාලා ඔක්කොටම හොද දෙයක් වෙයි.. මට කණගාටුයි රුපියලකින් හරි මට උදව් වෙන්න බැරි උන 1ක ගැන.. මොකද මම Blog අවකාශයට අලුත් නිසා..

    ඉලංදාරියාට, හදවතින්ම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  18. Oh my god... dilum use to my class mate.. how this could happen? Obata niwan suwa labewa!!!

    ReplyDelete
  19. .....ම නු ස් ස ක ම ....

    ReplyDelete
  20. සතුටුයි දුකා..

    දුන් දේ සුවඳයි - කෑ දේ ගඳයි...

    ඉලංදාරියා වෙනුවෙන් ගත් මහන්සිය අපතේ ගියා උනත් ජෙරූෂා දියණිය වෙනුවෙන් මහන්සිය ප්‍රථිපල දායක වේවායි මුළු හදින්ම පතනවා..

    අපිට ඊටත් පස්සෙ තවත් බලාපොරොත්තුවක් තියෙනවා..

    ReplyDelete
  21. ලංකාවේ ඉපදුන මිනිස්සු ලෝකේ කොතැනක හිටියත් එතන මනුස්සකම තියනවා. මට මේ පින් කමට සම්බන්ද වෙන්න ලැබුනේ නැතත් කියන්න තියෙන්නේ ගොඩාක් පින් කියලා. ජෙරුෂටත් ඉක්මනටම සනීප වෙලා අප්‍රේල් වල සයිබර් සැනකෙලියේදී අපිත් එක්ක සතුටු වෙන්න එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  22. මේ ව්ශිෂ්ඨ පුණ්‍ය කර්මයට දායකවුන හැමෝටම හොදක්ම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ඒ වගේම මේ වගේ තවකෙකුගෙ කරදරයකදි හිත උණුවෙන යාළුවො ටිකක් අඳුන ගන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි..
    පුංචි කණගාටුවකට තියෙන්නෙ මට මේකට මොනම විදියකටවත් දායක වෙන්න නොහැකිවීම ගැන...දැනගත්තෙ ගොඩක් පහුවෙලා, සහභාගිත්වයක් දෙන්න තිබුන අවස්තාත් මගෙන් මග හැරිලා...

    ReplyDelete
  23. ජෙරූෂා දුවට ඉක්මන් සුවය පතනව . . . .

    ReplyDelete
  24. මේ වැඩේට දසමෙකින් වත් අපට සම්බන්ධ වෙන්න නම් බැරි වුණා . මේ ගැන යන්තම් සතුටක් හීනිවට මගේ පපුවෙනුත් ඇතිවුනා

    ජෙරූෂා සහෝදරියට මමත් ඉක්මන් සුවය පතනවා

    යන දවසට ගෙනියන්න ඉතින් ඉතිරි වෙන්නේ මෙන්න මේ විදිහට එක් රැස් කරගන්න එවුවා තමයි

    ReplyDelete
  25. මේ පින් ඇති දුකා අයියේ උඹලට නිවන් දකින්න...
    හරිම විනිවිද පෙනෙන විදියට වැඩේ සිද්ධ වෙලා තියෙන බව පේනවා...
    උඹල වගේ එවුවො තව ගොඩක් ඕනේ...

    ReplyDelete
  26. හැමෝම එකතු වෙලා කරපු ලොකු පින්කමක්. ජයවේවා අයියෙ!

    ReplyDelete
  27. මචං දුකා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම උඹල තමා මිනිස්සු.බ්ලොග් ලියන්න පටන්ගෙන වැඩි කලක් නැහැ.ඒ දෙයට මට සහබාගි වෙන්න බැරි උනා.උඹල හැමෝටම බොහොම පින්.

    ReplyDelete
  28. කස්ටියම වැරදියට අර්ථකතණය කරන්න එපාලා . .

    මම කලිනුත් කිව්වා මේ වැඩේට මගෙන් උනේ පොඩි කෝඩිනේෂන් වැඩ ටිකක් විතරයි . .

    මහන්සි උනු අය ඉන්නවා පැත්තක . .

    ඒ අය ක්‍රෙඩිට්ස් බලා පොරොත්තු වෙන්නේ නැති එක වෙනම කතාවක් . .

    ඒත් මහා ලොකු දෙයක් නොකරපු මට ක්‍රෙඩිට් ලැබෙන එක හරි ඔඩ් වගේ . .

    ඒ නිසා කරුණාකරලා මිතුරනේ . . . . . . ..

    ReplyDelete
  29. සංගීතය විඳින්න කන් ඇහෙන්න එපැයි... හැබැයි දුමියාගේ ගිටාර් පාර වැඩියෙන්ම විඳින්න ඇත්තේ කන් ඇහෙන්නේ නැති ඒ දරුවා වෙන්න ඇති... මම හිතන්නේ දුමියා ගිටාර් එකකින් කරන්න පුළුවන් උතුම්ම දේ කලා...

    දුමී දුකා ඇතුලුව මහන්සි වූ සැමට ආචාර කරමි...

    ReplyDelete
  30. බ්ලොග් ලියන කියවන අපි හුඟ දෙනෙක් කිට්ටු වෙන්න හේතු උනෙත් ඔය ඉලංදාරියගේ සිදුවීම... බ්ලොග් ලියන කියවන කිසි කෙනෙක්ට ඔහුව අමතක වෙන එකක් නෑ... ඒ වෙනුවෙන් එකතු උන උදව් කල සියලුම දෙනාටත්... ඒ දෙය එතනින් ඉදිරියට ගෙනිහින් මේ වගේ පිනක් කරන්න ඉදිරිපත් උන සියල්ලන්ටමත් හුඟක් පින්... සතුටුයි හුඟක්.

    ජෙරූශාට සුවය පතනවා...

    ReplyDelete
  31. මේ උතුම් කාර්යය වෙනුවෙන් මහන්සි වී කටයුතු කල සැමදෙනාටම බොහොම පින්...

    ReplyDelete
  32. මේව තමයි දුකා වැඩ.. කියන්න දෙයක් නැහැ මචං..

    පිං !

    ReplyDelete
  33. ඇත්තටම ඉලන්දාරියා අපෙන් සමුගත්තට පස්සෙ ඒ ප්‍රොජෙක්ට් එක තාම යනව කියල මම දැන ගත්තෙ අද දුකා අය්ය කතා කරපු වෙලාවෙ. ඒ වෙලාවෙ දුකා අය්ය මට කිවුවම අන්තිම පේමන්ට් එක අද කරා මල්ලි කියල මට සතුටක් වගේම දුකකුත් ඇති උනා. අය්යෝ මට මීට වඩා දෙයක් කරන්න තිබුන නේද කියල. ඒත් කොහොම හරි දැන් වෙන්න ඕනෙ දේ හරියට උනා.

    මගේ ප්‍රාර්ථනාව ඒ දුවට කවද හරි දුමි අය්යගේ සංගීතයත් රස විඳින්න ලැබේවා කියල. මේ ව්‍යාපෘතියට දායක වුන හැමෝම උතුම් වැඩකට දායක උනා කියල සතු‍ටු වෙන්න පුලුවන්.

    ඒ දුවගේ ශල්‍යකර්මය සාර්තකව සිදුවේවා, ඇයට ඉක්මන් සුවය ලැබේවා.

    ReplyDelete
  34. ඉතාමත් සතුටුයි දුකා මල්ලි මේ සත්කාරය දකිත්දි, මම ඉල්ංදාරියාගෙ අම්මා සමඟ කතා කලා ඔහු හොස්පිටල් ඉන්නැත්දි. එයා කියපු ගිනුමකට ඉතාම සුලු මුදලක් තැන්පත් කලා. නමුත් මේ දේට නම් මට සහභාගි වෙන්න ලැබුනේ නැහැ. ඒ උනාට වෙහෙස මහන්සියෙන් කටයුතු කල සෑම දෙනාටම ස්තූති කරනවා.

    ReplyDelete
  35. කියන්න තියෙන්නෙ තව මේ වගේ වැඩ කරන්න බලමු කියලා. මටනම් මේකට දායක වෙන්න බැරි උනා නමුත් හරිම ආඩම්බරයක් දැනෙනවා අපේ මිනිස්සුන්ගේ මනුස්සකම ගැන...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails