UAE Sri Lankans Events

Monday, October 11, 2010

ඔහුට මුවා වී පාසැල් යන්නේ මා දැයි නිකමට මට සිතුනා !



ඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරේ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ළන්ද පුරා දුව පැන එනවා
මේ දරු දරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා

ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒ දඬු මංකඩ තිත්ත පැටව් රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එක තැන රැඳුනා

ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේලි සැදී හිඳ
මුතු ඇහිඳී මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුස ගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ

පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැඟුවා
ඔහුට මුවා වී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට සිතුනා
. . !



ගායනය : සුනිල් එදිරිසිංහ

. . . . . .. . . . .. . . . .. . .

මේ ගීතය අසන හැම මොහොතකම මම ජීවත් වෙන්නේ මගේ ළමා කාලයේ.

විස්වාස කරන්න මේ ගීතයේ "ඔහුට මුවාවී පාසැල් යන්නේ මා දැයි නිකමට මට සිතුනා" කොටස ඇසෙන හැම මොහොතකම මගේ ඇස් දෙක තෙත් වෙනවා.

මේ ගීයේ පදමාලාවට අනුව මැවෙන චිත්ත රූපයේ ඒ කියන දරුවා සුනිල් එදිරිංහ මහතාට ඒ තමා යැයි සිතෙනා ලෙසම මට සිතෙන්නේ ඒ මමයි කියා බව කීවොත් ඔබ පිලිගන්නවාද . . ?

වෙනසකට ඇත්තේ මේ දරුවා සොබා සුන්දරත්වය විඳිමින් තනිවම පාසැල නිමවී එන නමුත් මට මගේ කුඩා කාලයේ පාසලේ සිට නිවසට එන්න යෙහෙලියක් සිටීමත්, පාසැල නිමවා නිවසට එන අතරතුර තිත්ත පැටව් සමඟින් කතාබහ කරමින් සිටින්න ඒදඬු මංකඩක් නොතිබීමත් පමනක් යයි කිව හැකියි.

මගේ සොයුරියන්ගේ පාසැල මා උගත් පාසැලට කිලෝ මීටරයක් පමන දුරකින් පැවති නිසාත්, පාසැලේ අනෙක් දරුවන් පාසැල නිමවූ වහාම බඩ ගින්දර නිවා ගනු වස් නිවෙස් බලා දුවන නිසාත්, කුඩා මා තරම්ම සොබා දහමට පෙම් කල මා උගත් පාසැල අසල පාසැලේ උගැනුම ලැබූ පංචලී අක්කා මගේ ගමන් සගයා වීමේ අපූර්‍වත්වය වූවා.

අතේ ඉතුරු කරගත් සතපනහකට රුපියලකට මිලදී ගත්, කැන්දකොලයක තබා දෙන මිරිස් දමා කලවම් කල තැම්බූ වෙරළු ගෙඩි කීපයක් සූප්පු කරමින් (පංචලී අක්කාගේ පංගුව ඈ සඳහා ඉතුරු කරගෙන) පාසැලේ ගේට්ටුව ඉදිරිපිට (පාරෙන් එහා පැත්තේ) ඇති විශාල පඩි රාශියකින් සමන්විත රාජමහා විහාරය පංසලේ පහලම පඩියේ වාඩිවී මඟ බලා ඉන්නේ අපේ සුපුරුදු සෞන්දර්ය චාරිකාව අරඹනු සඳහායි.

පෙරහර කාලයක නම් අපේ අනිවාර්‍ය ගමන් මඟ පන්සල හරහා වැටුනු කෙටි ගමන් මාර්ගයයි, පන්සල් වත්තේ ගැට ගසා සිටින සියලු විශාල අලි ඇතුන් මඟහැර අපි නතර වෙන්නේ දඟකාර කුඩා ඇත් පැටවා ලඟ. උගේ දඟකාර කම් අපිට කුසගින්න පවා අමතකකරවන සුළුයි.

පන්සල හරහා වැටුනු කෙටි මාර්ගය තෝරා ගත් අනෙක් කරුන නම් ආවාසගේ ඉදිරිපිට සැපතිල්ලා ගස වටා සවිකොට ඇති විශාල කූඩුවේ රඟන මොණරු හා පන්සලේ රූස්ස ගස් උඩ නවාතැන් ගත් සුදුරෙදි හොරුන්, සිවුරු හොරුන්, පිළිහුඩුවන් ආදී කුරුල්ලන් හැර වෙන කිසිවක් නොවේ.

පන්සල වටා ඇති දිගු මාර්ගයට අපි වඩාත්ම ප්‍රිය කලේ පන්සලේ ඇති විශාල කෝන් ගහේ ගෙඩි වැටෙන්නේ පාරට වීමත්, කෝන් ගෙඩි කන්න ආ පලා කොට්ටෝරුවන් දකින්න නම් මහ පාරෙන් එන්න වීමටත් වඩා ශ්‍රී පාදයට වඩා පොඩ්ඩක් කුඩා යැයි අප උපකල්පනය කල කන්ද නැගීමේ සතුට විඳීමටයි.

පොත් බෑගයේ අඬු දෑතින් අල්ලා කුදුවී කන්ද නැගි සැටි මේ දැන් වගේ මතකයට ගලා ඒම කෙසේ නවතන්නද . . (වසර ගනනාවකට පසු ඒ මාර්ගයේ ලඟදී ගමන් ගනිද්දී සිතුනේ එය කෙතරම් කුඩා බෑවුමක්ද කියායි )

වතුර ටැංකිය පසුකර මීටර් 100ක් පමන ගිය තැන හමුවන විජේසූරිය වලව්වට අයත් විශාල ඉඩමේ එක පසක වලව්ව ඇති අතර පාරෙන් අනෙක් පැත්තේ ඇත්තේ ඔවුන්ගේ කටු කම්බි ගසා වට කල කජු වත්තයි. කජු වාරේදී නම් පාට පාට විදුලි බුබුලු මෙන් දිදුළන තද කහපාට, තැඹිලි පාට, තද රතු පාට කජු පිරුනු කජු පුහුලන් දිහා බලා සිටින්නේ වෙසක් තොරණ් දෙස බලා සිටිනවා වැනි පුදුම ආසාවකින්.

ඉඳහිට දවසක පංචලී අක්කා කම්බි පොටවල් දෙකක් මෑත් කර අල්ලා සිටිද්දී කජු වත්තට පැන බිම ගෑවෙන තරම් පහල අතුවල ඇති පුහුලමක් දෙකක් කඩාගෙන පසුපස නොබලා දුව යන විට දහම් පාසලේදී උගත් අදින්නාදානා වේරමණී ගාථාව නම් හිත අහලක වත් නොතිබූ බව කිව හැකියි. මතක ඇත්තේ කජු පුහුලන් හුලඟේ පැද්දී පැද්දී අපට අඬ ගැසූ බව පමනයි.

විටෙක අපි දෙදෙනා ම සමනලයෙකු පසුපස නිවස දෙසට නොව පාසැල දෙසට කිලෝ මීටරයක් පමන දිව ගොස් හිස් අතින් ආපසු හැරුනු පසුයි සිහියට එන්නේ නිවාස ඇත්තේ අනෙක් අන්තයේ බව.

වැස්ස දවස් වලට අනෙක් දරු දැරියන් වැස්ස පායන තුරු පාසැලටම වී බලා සිටිනවා වුවත් අපි නොවේ වැස්සේ අසිරිය නොවිඳ අපතේ හරින්න කැමති වූයේ. නිවසින් ගෙන ආ සිලි සිලි බෑගයකට පාසල් බෑගය ගිල්ලවා වැහි බිඳු වැටෙන අහසට මූන හරවා ගෙන වැස්සේ අසිරිය විඳිමින් නිවෙස් කරා ගිය ගමන අද සිහිවන්නේ සදෙව් ලොවට ගිය ගමනක් සේය.

පාසැල නිමවා එන චාරිකාවේ අප සිත ඇද බැඳ ගත් අවසාන නවාතැන් පල අපගේ නිවෙස් පේන මානයේ ඇති බේකරිය ඉඩමේ කෙලවරේ තිබූ ළූනු මල් යැයි අප හැඳින්වූ ලිලී මල් යායයි. සුදුපාට රෝස පාට හා තැඹිලි පාට ළූනු මල් වෙන වෙනම වරද්ද වරද්දා ගනන් කර අවසානයේ නිවස දුටු සැනින් මීටර් සීය තරඟාවලියේ මෙන් දුවන්නේ නිවස දුටු විගස සිහිවන ඉවසා ගත නොහැකි කුසගින්න නිසාවෙනි.

ඉදින්, මේ ගීයේ පවසන කුඩා එකා මා නොවේ යැයි කියන්නේ කෙසේද . . ?


මෙන්න ගීතය අහලා බලන්න . . !


Pic from :sundaytimes.lk

18 comments:

  1. පිස්සු හැදෙනවා බං උඹ ලියන ඒව කියවනකොට. උන් හිටි තැන් අමතක වෙලා ආපහු පොඩි කාලෙට ඇදල දැම්ම මචං. උඹ කිව්ව වගේ සින්දුව බොක්කටම වැදිල ඇස් වලට කඳුලු පිරෙනවා.

    ReplyDelete
  2. "වැහි බිඳු වැටෙන අහසට මූන හරවා ගෙන වැස්සේ අසිරිය විඳිමින් නිවෙස් කරා ගිය ගමන අද සිහිවන්නේ සදෙව් ලොවට ගිය ගමනක් සේය."

    මොන තරම් අපූර්වද...මොන තරම් සුන්දරද...!!! ස්තුතියි දුකා..!!!!

    ReplyDelete
  3. මම දවසට එක පාරක්වත් අහන සින්දුවක්.... ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්දැද්දි ඉබේම අවුරුදු විස්සකට එහා ඈතට යනවා... අයියට වගේම මටත් හිටියා ඉස්කෝලෙ යන්න යාලු අක්කෙක්... තුන වසරෙදි ඇති වෙච්ච මගේ පලමුවෙනි ක්‍රෂ් එක... :)
    කියවන් යද්දි ච්ත්‍රපටියක් වගේ එක පෙලට සීන් ටික මැවිල පෙනුනා....

    ReplyDelete
  4. පට්ට මචං.. අපි ඒ කාලෙ මොනතරං නං ජීවිතේ වින්දද.. දැං ඉන්න පොඩිඑවුංට හීනෙන්වත් ඒ අත්දැකීම් ලබන්න පුළුවන්ද.. උං ගැන පවු කියලා හිතෙනවා..

    ReplyDelete
  5. අපි ගම රට දියුනු වුනා කියල හිතුවට ඈත්තටම උනේ මොකක්ද කියල හිතෙනවා. අපෙ පොඩි එවුන් පව්!

    ReplyDelete
  6. ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

    * jokes
    * amazing facts
    * technical news..etc

    ලබා ගැනිමට,

    පියවර 1.
    ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

    පියවර 2.
    http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

    පියවර 3.
    ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

    කරදරයක් වූවානම් සමාවන්න.
    email: m.box@live.com

    ReplyDelete
  7. මටත් ඔය ගීතය අහන අහන වාරයක් පාසා ඒ මම කියල හිතෙනවා.. හැබැයි ඒකෙ තියන සුන්දර පරිසරය නම් මට විඳගන්න ලැබිල නෑ.. මම හිතෙන් ඒ පරිසරය විඳිනවා. දුකා අයියට වගේම මගෙත් ඇස්දෙක තෙත් වෙනවා අර අන්තිම පදේ ඇහෙද්දී. ඕක මම දාස් පාරක් අහල ඇති.. ඒත් වෙනසක් නෑ ඉස්සෙල්ලම අහනව වගේ අහන් ඉන්නේ..

    ReplyDelete
  8. හිතාගන්න බෑ අද ඒ වගේ අත්දැකීමක්...
    අතීතය සිහිනයක් පමණයි දුකා!!!
    ආයෙ එන්නෙ නෑ... අපට තියා අපේ දරුවන්ටවත්...

    ReplyDelete
  9. අපි එහෙම හිතන මුත් එහෙම අපේ දරුවන් දිහා
    අපි බලන්නේ මෙහෙමනම් නෙවෙයි
    කඩචෝරු කන්නෙපා - මඩ නාන්නට එපා
    එපා එපා එපාමයි අහන දියණියන් හා පුතුන් ගැන හිතමු


    හිතුවක්කාරයා විසිනි

    ReplyDelete
  10. නියමයි.....ඔබතුමාගේ ...සැම ලිපියක් වගේම...මුලු ඇගපතටම වදිනව...

    ReplyDelete
  11. 2010/07/31 ''කතන්දර සීයගෙ කතාව'' කියලා මම ලියපු පෝස්ට් එකේ,
    ''මම හිතන්නෙ ඒ කාලේ වගේ ලස්සන කාලයක් මේ විශ්වයේ ආයෙ කවම කවදාවත් එන්නැ කියලයි!''කියලා එක තැනක සඳහන් කලා.

    අදත් මට කියන්න තියෙන්නේ ඒකමයි!

    උඔ දරුවට තියා කවදහරි ඉපදෙන්න ඉන්න අපේ දරුවටත් ඒ සත්‍ය පොදුයි!

    හැබැයි මම එදා ලියපු පෝස්ට් එකට, උඔයි මමයි වගේම විශ්වයේ උදාවු ඒ සුන්දර කාලය විඳගත් ගොඩක් අය ප්‍රතිචාර දක්වලා තිබුනා! ඒක ගැන නම් සතුටුයි!

    ඒත් අපේ දරුවෝ ගැන හිතද්දි, මට සියුම් වේදනාවක් දැනෙනවා දුකා! ඒත් කරන්න දෙයක් නැ. ඒවා කියලා දෙනවා ඈරෙන්න!

    ReplyDelete
  12. සිරාවටම, මේ මම ආසම සිංදුවක්. සිංදුවේ අකුරක් නෑර මම අත්වින්දා මචං. තිත්ත පැටව් විතරක් නෙවෙයි, දණ්ඬි, පෙතියෝ, ඇරුනම සාරි ගප්පි අල්ලලා ජෑම් බෝතල් වල දාගෙන එන එක තමා ලොකුම රාජකාරිය.

    ReplyDelete
  13. මේ හැම වචනයක්ම හිතට තදින් වැදෙනවා... විශිෂ්ඨයි........

    ReplyDelete
  14. උපරිමයි දුකා...කියන්න වචන නෑ....!

    ReplyDelete
  15. දුකා අයියේ. මේක ලඟඳි බූන්දියෙ ගිය එකක්. මහගමසේකරගේ කවියක්. මේ ගීතයේ උත්පත්තිය මෙතනින් වෙන්න බැරි ද?

    අපේ පරණ ඉස්කෝලය

    කලාතුරෙන් දවසක ගමට යන විට
    අපේ පරණ ඉස්කෝලය පෙනෙයි මට
    සිංහල උලු සෙවිලි කල ඒ වහල යට
    සඟවා තිබේ මගෙ ජීවිතයේ සතුට

    ඈත අහස දෙස නිකමට දෑස හෙලා
    කොලුවෙක් සිටී පංතිය කෙලවරට වෙලා

    ගහ කොළ කියන දෙය ඇසෙනා මුත් කනට
    ගුරුතුමා කියන දෙය නෑසෙයි ඔහුට
    ඔහුගේ මුහුන හොඳ හැටි නොපෙනුනත් මට
    ඒ ඉන්නේ මා යැයි සැක සිතෙයි මට

    http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=1471#ComBookM2

    ReplyDelete
  16. මටත් ඔයවහේ ළමා කාලයක් තිබුන නිසා හිතට තදින්ම දැනුනා. ගීතයත්, ඔබේ පෝස්ට් එකත්, මහගමසේකරගෙ කවියත් යන්න සියල්ල අනර්ඝයි...!

    ReplyDelete
  17. මම දන්නවා දුකා අයියා ඉස්කෝලෙ ගිය පාර. පිට කෝට්ටෙ නේද තියෙන්නෙ. ඒක දැන්නම් ඒ කාළෙ තරම්ම ලස්සනද කියලා මට නම සැකයි. ඒත් ඉතින් ලස්සන තියෙන්නෙ අපේ හිත් වලනෙ. තාමත් අපි වගේම කට්ටියක් රස විඳිනවා ඇති. බේකරිය කිවුවෙ බැප්ටිස් එක නේද?දුකා අයියගේ ගෙවල් එපිටමුල්ල පාරෙද?ඉබ්බා ඇතුල් කෝට්ටෙ. ඒත් ඔය තරම් ලස්සන පාරක නෙවෙයි ඉස්කෝලෙ ගියේ. පීප් පීප් ගාන නලා හඩවල් තමා තිබ්බෙ. ඒත් ඒ කාලෙ හරි ලස්සනයි. මම මේ සින්දුව අහලා නෑ. දැන් තමා අහන්නෙ. මට හොඳටම හිතට වැදිච්ච සින්දුවක් තමා සුළඟේ ලෙළෙනා මල සේ දඟපා අප පාසල් ගිය කාලයේ කියන සින්දුව. මේ සින්දු හරිම ලස්සනයි. අපි වගේ හිතින් ඒ කාලෙ ජීවත් වෙන ගොඩ දෙනෙක් ඉන්න පාටයි.

    ReplyDelete
  18. මමත් ඉස්කෝලේ ගියා මේක කියවන ගමන් .. හරිම සංවේදී සින්දුවක් ඒ වගේම ඔයාගේ පෝස්ට් එකත් තදින්ම හිත කුඩා කාලෙට ගෙනිච්චා .

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails