Friday, September 10, 2010

යෞවනයට නැතුවම බැරි මිල්ටන් නම් තාරුණ්‍යයට නැතුවම බැරි ප්‍රියා . . !




මගේ බිරිඳගේ බලවත් ඉල්ලීම මත හා මගේත් ප්‍රියතම ගායකකු වීම නිසාවෙන් කාලයක සිට ලියන්න සිතා සිටි නමුත් නිදහසේ අකුරු අමුනන්න ඉසුඹුවක් නොලත් නිසාවෙන් දවසින් දවස කල් ගිය ලිපියක් ලිවීම තව දුරටත් ප්‍රමාද කිරීම නොතරම් යැයි හැඟුනු නිසාවෙන් අද දින ශරීරය පෙලන අසනීප තත්වය ගැන හෝ නොසලකා ලියන්න පටන් ගතිමි.

මා කලින් සටහනක මිල්ටන් මල්ලවාරච්චි ගැන ලිවීමේදී "යෞවනයට නැතුවම බැරි වූ මිල්ටන්" ලෙස මිල්ටන් මල්ලවාරච්චි හඳුන්වාදුන්නේ යම් සේද තාරුණයට නැතුවම බැරි වූ ගායකයෙක් වෙත්ද ඔහු නම් ප්‍රියා සූරියසේන හැර වෙන කිසිවෙක් නොවේ යනු කුඩා කල සිට ගී රස විඳින සහෘදයෙක් වූ මගේ හැඟීමයි.

තාරුණ්‍යය හා ආදරය යනු ගසට පොත්ත, මලට රේනු සේ එකිනෙක යාවූ, එකිනෙක හාවූ යමක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ කියා තාරුණ්‍යයේ සැරිසරන්නන් හා සැරිසැරූවන් දෙස් දෙනවා නොඅනුමානයි.

එසේ තාරුණ්‍යය හා බැඳුනු ආදරයේ මිහිරියාව, දයාබරත්වය, ප්‍රේමනීය බව ප්‍රියා අප හමුවේ තබන්නේ කෙතරම් ආනන්දයකින්ද කියා ප්‍රියාගේ "ආදරණීය නේරංජනා", "තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රැජින වී", "ජීවිතේ මගේ ඔයා කියලා . . . සිඟාවී ඔබේ අදරේ", "සරතැස නිවා දිවි ගමනේ . . ඔබ හමු වුනා මට සුහදේ", "මට වාසනා ඔබ මට වාසනා උප නූපන් හැම ආත්මයේ", "ඈත රන් විමන් තුලින් පාට සේලයෙන් සැදී", "තරුකැට දිදුළනවා . . මට මඟ පෙන්වනවා . . රහසේ ආදර සඳළුතලාවට පුරහඳ පානයවා", "හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ", "කැන්දන් යන්නම් රන් මල් මාල දාලා . . පායනා තරුවේ", "මල්සර හිනාව පෙම්බර කතාව කාගේදෝ", "මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා . . භවෙන් භවේ පෙම් පුරා බලා ඉන්නවා", "මී කැකුණ කැලේ . . ගමේ එහා ඉමේ . . සුදු හාමිනේ මගේ සුදු හාමිනේ", "සඳ මාගාවයි නෑ මා දුටුවේ නෑ" , “මොහොතක සුව දෙන චංචල ලෝකයේ”, "තරු යායේ ඈති ඈතට ඉගිලෙන රන් තරු යුවලක් සේ" ආදී ගීත අසත්දී ඔබට වැටහී නොයනවානම් ඔබේ තාරුණය ගැන දුක් වෙනවා හැර වෙන කල හැකි කිසිවක් නොවේ . . ..

තාරුණ්‍යයටම අවේනික වූ දඟකාරීත්වයත් ප්‍රියාගේ ගීත වල නොඅඩුව දක්නට ලැබෙන තවත් ලක්ෂණයක්. "ගෙල වට බැන්දා වූ මුතු පොටේ දිස්නෙට මුහුනේහී ඔප වැටේ", "සුදු පරෙවි රෑන සේ පියා සලා", "සීතා . . බාලේ එක්වී දොළ ගාව හැන්ගී හැන්ගී දඟ පෑව", "හිරුද මුවාවී ලැසි ගමන බලාවී. .. . කිංකිනි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා", "මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා", "නිල් මහනෙල් මල කිම මේ සරදම් . . නැතිද හදේ මුදු ගුණයක් කිසියම්", "පැතුම් පිරීලා උතුරා යනවා ඇය අද එනවා . . හමුවේදෝ" ආදී ගීත ඒ තාරුණ්‍යයේ දඟකාරීත්වය මොනවට පෙන්වා දෙන ගීත බැව් මේ ගීත ඇසූ, අසන ඔබට වැටහී යනු ඇත . ..

ආදරයත් විරහවත් තාරුන්‍යයේ දී එකම කාසියේ දෙපැත්ත යයි මා කීවොත් කිසිවෙක් මා හා උරණ නොවනු ඇතැයි සිතමි. එපමනටම ආදරය හා විරහව තාරුණ්‍යය හා බද්ද වී ඇති බව තාරුණ්‍යයේ විරහ වේදනා විඳින හා විඳි අය හැර වෙන කවුරු නම් දනීද . .. .

එසේ විරහ දුකින් පෙලෙන තාරුණ්‍යයේ වේදනාව "බිඟු වැලපීලා මල් පරවීලා",ප්‍රණීත මී පැනි ගෙන ආවත් . .. විස ඇත බඹර තුඩේ", "ලිහිණින් රෑන පියා සලන්නේ . . මන්දාරම් වැහි පොද වැටෙන්න්නේ", "ආපසු එනවා මගේ හිත ඉබි ගමනින් . . ඔබ ඈතක රඳවා", "සුදු මල් දෙකක් කඩා ගෙනත් මා නෙත් ලඟින් තබා", "හැරදා විමන් සිය මාපියන් ", "මුලු මුහුදම හඬයි මම වෙරලේ නිසසලයි . . ඔබ මුහුදයි මම වෙරළයි මට සිතේ", "එකම වීදියේ දෙතුන් වතාවක් එහා මෙහා අපි ඇවිද ඇති", "අඳුර අඳුර මගේ . . සොඳුර සොඳුර මගේ . . .නොයනු මැනවි දා තනිකර එලියේ . . ", "ඇසුරින් මිදීලා ඔබගේ ලොවේ . . සැඟවී ගිහින් මා වෙන්වී මෙසේ", "හදවත ඉල්ලා නොලැබුනු විටදී දහසක් සිතුවිලි මා හද තුල තෙරපී", "ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකින් . . දැන් ඉඳ හිටලා බලන්න එන්නේ දරන්න බැරි වේදනාවකින්", "රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා", "සඳ තාරකා හඬාවී .. . කඳු මීදුමෙන් එහා" ආදී ගීත තුලින් ප්‍රියා පාකර හැරි වග පසක් කලෝ එසේ විරහා වේදනා වින්දෝමය . . ..

ප්‍රියාගේ ගීත තරුණ හද බැඳ ගත් තරම කොමපන වුවත් ප්‍රියා තරම් සංගීත ක්ෂේත්‍රයේ අසාධාරණයට ලක් වූ තවත් ගායකයෙක් නොමැති තරම් යැයි සිතන්නෝ මා, මගේ බිරිඳ හා තව කීප දෙනෙකු හැර තවත් ඇත්දැයි සිතීම පවා විටෙක උගහටය.

රියලටි ෂෝ හෙවත් සුපර් ස්ටාර් තරඟ වලට අපගේ කිසිදු අකමැත්තක් නැත. බොහෝ කලකට පෙර වරප්‍රසාද ලත් කන්ඩායමකට පමනක් සීමාවූ වේදිකාව ඈත ගම් දනව්වලින් පවා බිහිවූ දක්ෂයන් කැලේ පිපී කැලේම පරවෙන මල් ගොන්නට වැටෙන්න නොදී ඉදිරියට ගෙනා සුපර් ස්ටාර් තරඟ ගැන ඇත්තෙන්ම අපිට ඇත්තේ පැහැදීමක්.

එසේ කැලේ පරවෙන්න දෛවයට අනුව නියම වී තිබුනු මල් එසේ පරනොවී රටම සුවඳ හමන්න ඉදිරියට ගෙන එන්න ප්‍රියාගේ ගීත සැපැයූවේ මහඟු අත්වැලක්. නමුත් අවසානවට අපේ රටේ බහුතරයක් මිනිසුන් ඉහලට නැගි ඉනිමඟට පයින් ගසා පෙරළාදමන මිනිසුන් වූ නිසාවෙන් අදටත් ප්‍රියා සංගීත සැඳෑවක ගී ගැයීමට එකතරා මුදලක් අය කරයිද ඒ මුදල මෙන් දහගුණයක මුදලක් ප්‍රියාගේ ගීතම ඒ සංගීත සැඳේවේම ගයා අඩුම තරමින් ඒ ගී වල මුල් ගායකයා ප්‍රියා සූරියසේන කියා වත් සඳහන් නොකරන තරම් අකාරුනික වූ හදිසියේ පීදුනු තරු සිටින බව සිහි කරන්නේ කනගාටුවෙන්.

(පුද්ගලිකව මා අත්විඳ ඇත්තේ ඇන්ජලීන්ගේ ගීත ඇගේ ගීත මෙන් ගැයූ හදිසියේ පිපුනු තරුවක් ගැන මතක සටහනක් පමනි. ප්‍රියා ගැන ඒ කරුනු මිතුරන් පිරිසක් සමඟ සාමිචීයකදී කන වැටුනු යමක් පමනි. ඇන්ජිගේ ගීත වලට වූ දේම ප්‍රියාටත් සිදු වූවා යි මා උපකලපනය කල බැව් සැලකුව මනාය)

. . . . . . . . . . . . . . .

තවදුරටත් ප්‍රියාගේ මේ පහල ඇති ගීත ඔබේ හදවතේ ගැඹුර ස්පර්ෂ කරනවා නොවේදැයි අසා . . විඳ බලන්න . .. .

. . . . .

මරණයෙන් පවා වෙන් කල නොහැකි ආත්මීය ආදරයක සුවඳක් කෙදිනක හෝ විඳ තිබේද . . .

ආදරණීය නේරංජනා

ආදරණීය නේරංජනා . . . / /
ඔබේ මුදු මදහස් රැලි මාලාවේ
වෙලී බැඳුනු දින රඟ ශාලාවේ
තුන් හිතකින් වත් නොසිතූ විලසින්
යලි ඔබ දැකුමට ආවේලාවේ
අප හමු වූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක් පමනකි තනි වූයේ
මටමම පුදුමයි අදහන්න බෑ
මම ම නොවේ යලි ඉන් පිට වූයේ

කවුදෝ මා පසුපස එනු දැනුනා
පාලු වීදියේ තනිකම මැකුනා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව හැඟුනා
නිදි යහනේ මා නින්දට වැටුනා
ඔබ මා සිහිනෙන් අමතනු දැනුනා
එනමුදු කෙලෙසද ඇගෙ අත ගන්නේ
මගේ සිතම මට මුමුනනු ඇසුනා

. . . . .. . . .. .

ඉරිදා උදයේම දෙල්කඳ හංදියෙන් 122 බසයට නැගුනේ ගොඩගම කාර්මික විද්‍යාලයේ හදාරමින් සිටින් පාඨමාලාවේ 8ට පටන් ගන්න දේශනයට සහභාගී වීම සඳහා. මහරගමින් බසයට නැගුනේ මගේ වයසේම කිවහැකි කඩවසම් තරුණයෙක්. කුමක්දෝ අවාසනාවකට ඔහුට රැකියාවක් කරන්න නොහැකි කමින් බස් වල ගීත ගයන්නෙක් . . . බසයේ ගොරහැඬි රිද්මය ඔහුගේ ගීතයෑ ළයාන්විත බවට බාදාවක් නොවුනා සේයි . . ..

ප්‍රණීත මී පැනි

ප්‍රණීත මී පැනි ගෙන ආවත්
විස ඇත බඹර තුඩේ
උදා එලිය පුබුදා සිය නෙත්
පුබුදයි නෙලුම් මඩේ
පිපෙන පිපෙන හැම මල් නෙලුවත්
ගස මල් පූදිනවා
ගලන සියලු රළ කරදියරේ
ගඟ රැලි නංවනවා . . ..

බිඳින බිඳින තරමට සුවඳයි
සුධවල සඳුන් ගසේ
පිසින පිසින තරමට උපදයි
කඳුළැලි බිඳුත් ඇසේ //
පිපෙන පිපෙන හැම මල් නෙලුවත්
ගස මල් පූදිනවා
ගලන සියලු රළ කරදියරේ
ගඟ රැලි නංවනවා

මිනිසුන් පිය සටහන් තැබුවත්
නොබිඳෙයි කිරණ සඳේ
මහද ආදරය තව උපදයි
ඔබ රිදවුවත් ළඳේ //
ප්‍රණීත මී පැනි . . .

දහවල් බත් පත මිතුරියන්ගෙන් පිරිමසා ගත හැකියි සිතා සවස බස් ගාස්තු පමනක් තබාගෙන පොකැට්ටුවේ තිබුනු සියලුම මුදල ඔහුට දුන් බව තාමත් මතකයේ ඇත

. . . . . .. . .

දයාබර නංගියේ මල්ලියේ . . . පාසැල් සමය යනු ජීවිතයේ කිසිම බරපතලක් සිතට නොගෙන නිදහසේ ආසාවෙන් ඉගෙනීම කල හැකි එකම කාලයයි. කොතනක හෝ වැරදීමක් සිදු වුවොත් එය යලි පිලිසකර කිරීම පහසු නොවේ . . . ඉගෙනීමටද යොවුන් ආදරයටද මූලිකත්වය දිය යුත්තේ කියා ඔබම මොහොතක් සිතා බලන්න . . . ..

ජීවිතේ මගේ ඔයා කියලා

ජීවිතේ මගේ ඔයා කියලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා

නීල දෑසේ කෝල බැලුම් පා සිනා සළා
යොවුන් කුමරි එවන් බසට නුවන් මං මුලා
ආදරේ කරන්න සිල්ප සතර නිම කරන්
ජීවිතේට මිහිර ඉසුර ඔබට ලං කරන්
බාල කාලේ අයේ එන්නේ නෑ
වැරදුනු තැන යලි හදන්න බෑ


මිහිරි මී වගේ දැනේවි යොවුන් ආදරේ
යොවුන් සිතට සතුට ගෙනේ එවන් ආදරේ
ආදරේක මිහිර ඔබේ හදට ලංකරන්
හිනාවෙන්න කුමරිය සිප් සතර ලංකරන්
බාල කාලේ අයේ එන්නේ නෑ
වැරදුනු තැන යලි හදන්න බෑ

. . . . . .. . .

"ආ මල්ලී. . එකහාමාරට ස්කෝලේ ඇරෙන්නේ දැන් දෙකයි කාලයි .. තාම මොකෝ බස් හෝල්ට් එකේ"
"අයියෝ මූ ගෙදර ගියා නම් ගෙදරට වෙලා නොයිඳ මොන දීපංකරේක යනවද . . නෑ මචන් කලින් ආපු බස් ඔක්කෝගෙම සෙනඟ"
"හරි හරී අපි නොදන්න චෙස් . . ඕන් අපි ගියා . . "
"අයියෝ මේ කෙල්ල මෙච්චර වෙලා මොනවා කරනවාද මංදා . .. එයාලගේ ඉස්කෝලේ අනිත් කෙල්ලෝ ඔක්කෝම වගේ ගිහින් ඉවරයි. . අද එයා ස්කෝලේ ආවේ නැතුවා වත්ද . . "

සුදු පරෙවි රෑන සේ

සුදු පරෙවි රෑන සේ පියා සලා
පාසැල නිමවී යොවුන් කුමරියන්
පෙලින් පෙලට එයි
ඈ තාම නෑ . . .ඈ තාම නෑ . . . //

පොත් පත් අහුරා මුදු ළැමට තුරු කරවා
පිරුනු සඳක් සේ මහද දිලේ
යහළු යෙහෙලියන් අතරේ
ඈ තාම නෑ . . ඈ තාම නෑ . . .

මල් හිනා පිපී මුව මඳල පුරා රඳවා
මුතු අහුරක් සේ දසන් සලා . .
ඉර හඳ දහසක් පරදා
ඈ තාම නෑ . . ඈ තාම නෑ . . .

. . . . . . . . . . .

අපේ ගැටලු මතවාද අපි අපිම විසඳා ගමු. අන් අය ඇසුරින් වෙන් වී දිවි ගෙවනු අපහසු බැව් සැබවි එනමුත් අඩු තරමින් ඔබත් මමත් අතර ඇති දේවලට අන් අයගේ මැදිහත් වීම් අවැසි නැති බැව් පමනක් වත් ගිවිසා ගනිමුද . . . ?

මගේ ළමැද සුව යහනක්

මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙනන් කියා
භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුනනවා
සොඳුරු ලොවක අපි දෙදෙනා හෙට තනි වෙනවා

සිහින ගෙනෙන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා
ඇය රවටා කැඳවාගෙන නොයන් කුමරියේ

අපට උරුම අපේ ලොවේ හද සොම්නස් සතුට දරා
මගේ ලඟින් සසර පුරා ඉන්න වාසනා

. . . .. . . .. .. . .

ජීවිත කාලය පුරාවට ම ඔබේ කුරිරු කම් වලින් මා විඳි වේදනාවට ප්‍රාණය සුන් මගේ කලේබරයේ දෙනෙත් අසල තැබූ සුදු මල් දෙකෙන් වන්දි ගෙවීම ඔබේ අභිලාශයද . . . . ?
ජීවත් වූ කාලයේ නොලඳ ආදරයේ වටිනාකමක් මියගිය පසු කුමකටදැයි නොසිතුවේ මන්ද . . .

සුදු මල් දෙකක් කඩා ගෙනත්

සුදු මල් දෙකක් කඩා ගෙනත් මා නෙත් ලඟින් තබා
ඔබේ කඳුලු බින්දුවෙන් තෙමා සමුගනෙන්පා එපා
උනුසුම් ඔබේ නෙතේ දියෙන් ඒ මල් හඬයි සිතා
නොසිතන් ළඳේ දිනක් නොවේ වැලපෙන්නෙපා එපා

සිනාසුනු ආදරේ නමින් රැඳී උන් ජීවිතේ වෙලී
වෙන් වූ දා ඉතිං ඔබෙන් පල නෑ මේ තරම් හැඟුම්
පැතූ පෙම් මාලිගා බිඳී දරා යයි වේදනා දිදී
මන්මත් වූ පැතුම් මැදින් පල නෑ මා සොයා ඇවිත්

. . .. . .. . .. . .

ස්ථානය : දෝහා කටාර් රාජ්‍යයේ කාර්මික ජනපදය
දිනය : 2004 වර්ෂයේ දිනක්
අවස්ථාව : ආධුනික ගී තරඟාවලියේ අවසන් වටය

ඔව් පිලිගන්න මේ තරඟාවලියේ ජයග්‍රහී ගායකයා සලාම් ආයතනයේ සේවය කරන ජානක අමරසිංහ . . ඒ අපේ අපේ ආයතනයේම සේවය කරන ජානක නොහොත් අපේ දයාබර කොඩී සොයුරා . .. .

අපේ විසිල් හඬ අත්පොලසන් හඬ හා "කමෝන් කොඩී" යනුවෙන් කෑ ගාන හඬ පිටිය සිසාරා ඇසෙයි . . .

රටකින් එහා ඉගිලී

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
අද මෙන් ළඳේ හෙට නෑ හමුවන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ

නා දළු දෙතොල් හසරැලී මතු වෙවී
ආගිය ගමන් සිහිව එයි යලි යලී
අසමාන වූයේ අප ආදරේ
කිසිදා බිදෙන්නෑ සැකයක් නැතේ . ..

අතිනත වෙලා පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමී සපුරලා සිත සිතුම්
හෙට ඒ දිනේදී සයුරෙන් එහා
පිලි ගනන්වාදෝ පැමිනී වහා

. . . .. . .. . . .. . .. . .. . .. .

ජීවිතේ රේඛාව එක දිගට කෙලින් ඉරක් නම් කිසි වෙනසක් නැතැයි සිතා මසකට වරක් කිසිම හේතුවක් නොමැතිව අමනාප වෙන්නත් අමනාප වූ සැනින් යලි හාද වෙන්නත් ඉඳහිට එලෙස පුංචි අමානපකම් ඇතිවුවත් නිතර මනාපයෙන් විනෝදයෙන් සිටින්නත් මෙලෙස අප හමුවූයේ දෛවයේ නියමයකින්ම විය යුතුයි කියා නොසිතේද . ..

සරතැස නිවා

සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුනා මට සොඳුරේ
දිය ගලනා උල්පත් මව මවා
සරතැස නිවා දිවි කතරේ

වියලුනු දෙතොල් සිසිලෙන් තෙමා
පුබුදා උපුල් නෙත් යුග යොමා
රණ මයුරියක ලෙසින්
හද තුල සැරි සරා

සඳවත් ඉතිං පල නැහැ ප්‍රියේ
ඔබෙ වත ලඟින් මගේ වත තියේ
හෙට යයි තවත් දිනක්
මට ඇත ඔබ නිසා

. . . . ..



52 comments:

  1. හරිම අපූරුයි දුකා...මේ ලිපිය කියැවීමෙන් ජීවිතයේ නොයෙක හරස්කැපුම්වල විඳි සුවහසක් මතකයෝ අවදි වුහයි සිතේ...

    මේ ගීත රස නොවිඳි කන් පින් මදයැ...
    මේ ගීත නොලියැවුනු පෙම්පත් වියැලිය...
    ප්‍රියාවෝ සදාකල් සිත්හි රැඳේ!

    ReplyDelete
  2. නියම ලිපියක්...සදාකාලිකව අසන්නන් තුල රැඳුනු හඬක්..ඔහු ගයන "අඳුර අඳුර මගේ".....මම කැමතිම ගීයයි....:)

    ReplyDelete
  3. උත්කෘෂ්ඨයි දුකෝ..
    තව එක උදවුවක් කරහං..ප්‍රියාට වැඩියෙන්ම ගීත ලියා ඇති අය ගැනත් අගින් හරි එල්ලපං..

    ReplyDelete
  4. නියම ලිපියක් දුකා! ඇත්තටම ප්‍රියාට අද වෙනකොටත් ලැබෙන්න ඕනෙ නිසි තැන ලැබිලා නෑ!!!

    ReplyDelete
  5. දැන්නං ප්‍රියාගේ සින්දු ඇහෙනවා අඩුයි තමා... උඹ අර උපකල්පනය කරපු එක උපකල්පනයක් විතරක්මත් නොවේ බං. ඇත්තත් ඒකයි. දැන් උං මොනා කරත් කමක් නෑ. ප්‍රියාට ආදරේ, හැම ඔටෝ එකකම, ලියුමකම ලියවෙච්ච, ට්‍රිප් එකක් කාරිය යනකො‍ට කියවෙච්ච, සතුටට, දුකට කියවෙච්ච ගීත වල වටිනා කම දන්න පිරිසක් ඉන්නවා කියලා මේ ලිපියට වැටෙන කමන්ට්ස් වලින් අපිට බලාගන්න පුළුවන් වෙයි බං.

    ReplyDelete
  6. ඈත රන් විමන් - ශෙල්ටන් වීරරත්න වගේ මතක (හෝ ප්‍රේමකීර්ති) + ප්‍රියා
    හෙට දවසේ අප දෙදෙනා - ප්‍රේමකීර්ති + ප්‍රියා
    ආපසු එනවා - දයා අල්විස්+ අනස්ට් සොයිසා
    සුදු පරෙවි රෑන -සුනිල් ආර් ගමගේ + ප්‍රියා
    ඇසුරින් මිදීලා- කුලරත්න ආරියවංස + ස්ටැන්ලි පීරිස්
    හදවත ඉල්ලා - ඩොනල්ඩ් අයිවන් (වගේ මතක හෝ වර්නන් පෙරේරා) + ස්ටැන්ලි පීරිස්
    සඳ තාරකා හඬාවී - උපාලි ධනවලවිතාන + ස්ටැන්ලි පීරිස්
    රටකින් එහා - ප්‍රේමකීර්ති + ප්‍රියා
    හිරුද මුවාවී -උපාලි ධනවලවිතාන + ක්ලැරන්ස් හෝ ප්‍රියා
    වසන්තියේ- උපාලි ධනවලවිතාන+සරත් දසනායක
    මගේ ළමැද- ඩොනල්ඩ් අයිවන්+ස්ටැන්ලි පීරිස්
    නේරංජනා - ප්‍රේමකීර්ති + ප්‍රියා
    මටවාසනා - ප්‍රේමකීර්ති
    ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ - ප්‍රේමකීර්ති
    බිඟු වැලපීලා - කේඩීකේ ධර්මවර්ධන+ ක්ලැරන්ස්
    තරුකැට දිදුලනවා- කේඩීකේ
    ප්‍රණීත මී පැණි- ප්‍රේමකීර්ති
    මුළු මුහුදම හඬයි - ප්‍රේමකීර්ති
    තුන්යමේ රෑ තුන්යමේ- ප්‍රේමකීර්ති
    හැරදා විමන් - ඩොනල්ඩ් අයිවන්
    ගෙලවට බැන්දාවු- ආචාර්ය අජන්තා රණසිංහ
    මාලිගා සොයා- ආචාර්ය අජන්තා
    හෙට දවසේ- ප්‍රේමකීර්ති
    එකම වීදියේ - ප්‍රේමකීර්ති

    අනේ අනික් ඒව මට මතක නෑනෙව.. ලොට් එකම දාල නේ.. කොහොමට මතක තියාගන්නද මෙච්චර. ප්‍රේමකීර්ති තමයි ප්‍රියාට වැඩියෙන්ම ලිව්වෙ. ප්‍රියාගේ ඕල්ඩ් ස්ටයිල් ඒවා අසූගණන් වලින් පස්සෙ ආවෙ නැත්තෙත් ඒ නිසා.. ප්‍රේමකීර්ති මහත්තයගෙ මරණෙ නිසා..කේඩීකේ, උපාලි ඊළඟට ඉන්නවා...ඒත් ප්‍රේමකීර්ති මහත්තය වගේ ලොට් පිටින් සිරා හිට්ස් ලියන පොරක් තවත් නෑ..
    ඔය සන්තෑසියමයි වික්ටර් රත්නායක මහත්තයට උනෙත්!

    ජයවේවා.. අපි කැපුණා....

    ආයෙත් දවසක තවත් ගායකයෙක් එක්ක හමුවෙමු...!!

    ReplyDelete
    Replies
    1. ඈත රන් විමන් - ක්ලැරන්ස් + ක්ලැරන්ස් (හුඟක් තැන් වල කියවෙන්නෙ මේ ගීතය ලිව්වෙ ප්‍රේමකීර්ති මහතා කියලයි. ඒ වුනාට මේක ලියල සංගීතවත් කරේ ක්ලැරන්ස්.)
      හදවත ඉල්ලා - වර්නන් පෙරේරා + ස්ටැන්ලි පීරිස්
      රටකින් එහා - ක්ලැරන්ස් + ක්ලැරන්ස්
      හිරුද මුවාවී -උපාලි ධනවලවිතාන + ක්ලැරන්ස්

      Delete
  7. අනිත් ඒව නං මට ශුවර් වගේම තමයි.. පොඩි පොඩි මිස්ටේක්ස් තිබ්බොත් ගණන් ගන්නෙපා.. ඔය කට්ටියම තමයි ඉතින් කැරකැවෙන්නේ.. කොමෙන්ට් එක දිග වැඩි නිසයි කෑලි දෙකකට දාන්නෙ.. ප්‍රියා කියන්නෙ සුපිරි පොරක්...

    ReplyDelete
  8. මම නම් ප්‍රියා ගේ හැම ගීතයකටම ආසයි.

    ඒ අතරින් " රටකින් එහා... " " හදවත ඉල්ලා " ගීත දෙකට හුඟක්ම...

    ප්‍රියා සූරියසේන මහත්මයට නේද ඔය සංගීත ප්‍රසංගයකට ගිය වෙලාවක ලිස්ට් එකක් දීල මේකෙ නැති ගීත කියන්න කියල තිබ්බේ... ලිස්ට් එකෙකි තිබ්බේ එතුමාගේ ජනප්‍රියම ගීත කීපයක් ලු. ඇයිද බැලුවම අලුත් තරුවක් ඒව කියනව කියල... එහෙනම් එයාටම ඉතිරියත් කියන්න කියල එතුමා නම්බු පිටින් ඇවිත්.

    වටිනාම වටින ලිපියක් දුකා අයියේ

    ReplyDelete
  9. ඈත රන් විමන් - ශෙල්ටන් වීරරත්න තමා.. පිස්සගෙ කතාව ඇත්ත. මම දන්න සිද්ධියක් ඒක..

    ReplyDelete
  10. සරතැස නිවා - ප්‍රේමකීර්ති + ප්‍රියා
    හිරුද මුවාවී - උපාලි ධනවලවිතාන + ක්ලැරන්ස්
    තරුකැට දිදුලනවා - කේඩීකේ ධර්මවර්ධන + ප්‍රියා
    ප්‍රණීත මී පැණි - ප්‍රේමකීර්ති + ප්‍රියා
    සුදු මල් දෙකක් - ප්‍රේමකීර්ති + රංජිත් පෙරේරා
    ලිහිණින් රෑන - ධර්මරත්න පෙරේරා - සරත් දසනායක
    අඳුර අඳුර මගේ - ඒ. රෝහණ පෙරේරා + ප්‍රියා
    ජීවිතේ මගේ - ආර්. බී. ජයසිංහ + රංජිත් පෙරේරා
    හැරදා විමන් - ඩොනල්ඩ් අයිවන් + ස්ටැන්ලි පීරිස්
    සීතා, බාලේ එක්වී දොළ ගාව - අජන්තා රණසිංහ + ප්‍රියා
    මාලිගා සොයා - ආචාර්ය අජන්තා + රංජිත් පෙරේරා

    ReplyDelete
  11. @වැම්පයර් !
    වැම්පයර් මළේ . . . උඹට ස්තූතියි කිව්වොත් අපරාදේ . . .

    සිරාවටම මේක උඹයි මමයි දෙනන්ම එකතු වෙලා ලියපු ලිපියක් කියන එකයි වැඩිය හොඳ . ..

    ජය . . !

    ReplyDelete
  12. නියමෙනුත් නියමයි දුකා . . .

    පොඩි කාලේ ඉඳන්ම මගේ ප්‍රියතම ගායකයෙක් තමයි ප්‍රියා.

    ගොඩක්ම මට වදින්නෙ ප්‍රියාගේ සින්දු වල තියන මෙලඩීස් සහ ප්‍රියාගේ වේරියේෂන්ස්. ඒ මෙලඩීස් ප්‍රියා ඇර වෙන ගායකයෙක් කිව්වොත් ඒවා මෙච්චර සිරා නැහැ.

    ඉස්සර මම ගොඩක් පොඩි දවස්වල, මගේ පොඩි බාප්පා ප්‍රියාගෙ කැසට් අරගෙන අවිල්ල ප්ලේ කරනවා. ඒ දවස්වල අපි හිටියේ මතුගම අපේ තාත්තලගේ මහ ගෙදර. ඉතින් නැන්දගේ පුතාලත් එක්ක වෙලේ නටල නටල, මඩ කරි අල්ලල, රඹුටන් ගස්වලට, වෙරළු ගස් වලට පොළු ගහල, කන්දේ දොලේ පීනල, සීයගෙ කුන්දිරා ගහෙන් හොරෙන් කුන්දිරා කඩන් බීල ගෙදර දුවන් එනකොට ඇහෙන්නෙ ප්‍රියාගෙ සින්දු. ඉතින් දැන් ඒ සින්දු ඇහෙනකොට අර පොඩි කාලේ මතකය හරිම සුන්දර විදිහට පේලි හැගෙනවා.

    ඒ මතකය ගැන නම් කියන්න වචන නැහැ මචන් . . . ! ගොඩක් පිං උඹට මාව ආපහු මගේ බාල කාලයට පා කරල ඇරියට.

    ReplyDelete
  13. @වැම්පි,
    මට මතක විදිහට 'ඈත රන් විමන්' ලියල තනුව දැම්මෙ ක්ලැරන්ස්.

    ReplyDelete
  14. Dhumee- Correct.. a typo from me..

    ReplyDelete
  15. liuwe nam shelton weerarathna.. I'm so sure..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. ඈත රන් විමන් සින්දුව ලියල තනුව දැම්මෙ ක්ලැරන්ස්.

      Delete
  16. ඔව් දුමී සහ වැම්පයර් . . ඈත රන් විමන් ගීතයේ පද රචනය ෂෙල්ටන් වීරරත්න සංගීතය ක්ලැරන්ස් විජේවර්ධන
    වැම්ප් සහෝ . . සමාවෙන්න උඹේ බ්ලොග් එක කලින් ඉඳන් කියවලා තිබුනාට මේ වෙන තුරු ෆොලොවර් කෙනෙක් වෙන්න බැරි වෙලා . . ඒ තරම් වටින බ්ලොග් එකක් ෆලෝ කරන්න මට ප්‍රමාද වුනේ ඇයි කියලා මටම හිතා ගන්න බෑ මචන් . . සමාවෙයන් . . .

    ReplyDelete
  17. ඈත රන් විමන් ගීතය ලියන්න පටන් ගත්තෙ ක්ලැරන්ස් තමයි. ඒක මුල් පේලි කීපය ලියල පැත්තකට දැම්මහම ඉතුරු ටික සම්පූර්ණ කරල තියෙන්නෙ ෂෙල්ටන් වීරරත්න.

    කට්ටියම ඔය උඩහ පලාතක සෙට් වෙච්ච වෙලාවක මහ රෑ, සිත මදු විතෙන් එහෙම උත්තේජනය වෙච්ච වෙලාවක, කඳු පේලි අතරින් පේන තරු දිහා බලල තමයි ක්ලැරන්ස් මේක ලියන්න පටන් අරන් තියෙන්නෙ. කොහොම හරි ඒ රාත්‍රිය නිමා වෙන්න කලින් ගීතයේ තනුවත් එක්ක මේ හරිම අපූරු ගීතය නිර්මාණය වෙලා තියෙනවා. මේ තාක් බිහිවුනු හොඳම සිංහල ගීත 10 පේලි ගස්සන්න කිව්වොත් මම නම් අනිවාර්යයෙන්ම මේ සින්දුව ඒකට ඇතුල් කරනව.

    ReplyDelete
  18. siravata ma aththa.

    masmath hithanne uuta hamadaama kapilla kiyala. nathnam me wage sambavya ekek mal/pansal sindu kiyayida.

    mageth hithe udama inna sirama ekek priya.tripak giyath api uuva sihi karanava.

    ela post eka duka. sindu tikata tanku.

    ReplyDelete
  19. ලියාගන්න දෙයක් හිතාගන්න බෑ. පස්සේ හිතෙන එකකුත් නෑ. ඒත් මුකුත් නොලියත් බෑ. ඒක හින්දා ලියන්නං මරු කියලා!

    "මම අද ඔෆිස් ගියා. හරිම මහන්සියි. මගේ මහන්සිය නැතිවෙන්නත් එක්ක ඕගොල්ලෝ මේකට කමෙන්ට් දාන්න" වගේ බ්ලොග් වලට බ්ලොග් කියන කාලෙක මේවට කියන්නත් නමක් හොයන්න වෙනවා!

    ReplyDelete
  20. සාමාන්‍යයෙන් සිංදු කීපයක් උපුටා දක්වලා ගායකයෙක් ගැන ලියන ලිපියකට වඩා වෙනස් රටාවකට දුකාගෙ අත්දැකීමුත් එකතු කරලා ලියලා තියෙන්නේ. මටනම් මේ රටාවෙ හොඳ නරක දෙකම දැනුනා.

    කොහොම වුනත් මමත් ගොඩක්ම කැමති ගායකයෙක්ගෙ සිංදු ගැන ලිවුවට ස්තුතියි. මම ප්‍රියා‍ගෙ වැඩියෙන්ම ගරු කරන්නේ continuity එකටයි. මම දන්න තරමින්නම් අවුරුදු 40කටත් වැඩි කාලයක් තිස්සේ කටහඬ බොහෝ දුරටම නොවෙනස්ව මේ සිංදු කියනවනේ...

    අන්තිමට මම පොඩි ඉල්ලීමකුත් කරන්නම්:
    වැම්පයර් දීපු ගීතය, රචකයා, සංගීතය විස්තර ටික සහ තව වැඩිපුර ගීතවල විස්තර පුලුවන්නම් ඒවත් මේ ලිපියේ "ප.ලි." සටහනක් විදියට එකතු කරන්න. පස්සේ දවසක කාට වුනත් ලේසියි එක තැනක විස්තරේ තියෙන එක.

    ReplyDelete
  21. ප්‍රියා වැනි ගායකයන් එක්ක බැලුවාම අද ඉන්නේ මොක්කුද කියලා නොහිතෙන්නෙමත් නැහැ මොකද.., අද ගොඩක් ගීතවල තනුව හදා අවසාන වූ පසුව හදන ගීතයි තියෙන්නේ.., ඒ තනුව මතුවෙන්නට.., ඒත් එදා තිබුණේ ගී පද අනුව තනුව හැදූ ගීත කලාවක්..! ඒ ලස්සන ගී දම් වැලේ ප්‍රියාගේ නම ලකුණු කල පුරුක හරි ශක්තිමත්..,
    වර්තමානය වෙනවිට සුපර් ස්ටාර්ලා වෙලා ඉන්න අජිත් බණ්ඩාරලා වගේ අය ගොඩ ආවේ ප්‍රියාගේ ගීවලින් උනත් ඒ ගීත වලට ලැබිය යුතු credit එක ලබාදෙනවාදැයි කියන එක නම් ගැටලුවක්..!
    මේ ලිපිය නම් සුපිරි අප්පා..!
    ගීත ගොඩක් අහන ගමන් ලිපිය කියවන එකත් මරේ මරු..!
    ජයෙන් ජය ම පතනවා..!

    ReplyDelete
  22. දුකා භයියා,
    ඔබ ගැන නං කියන්න වචන නෑ.
    මමත් කැමතිම ගායකයා ප්‍රියා. ප්‍රියාට කොච්චර ලොකු අසාධාරණයක් උනත් ප්‍රියා ඒ ගැන දුක් වෙන්නැති බව ''ජාතික රූපවාහිනියේ විකාශය වුනු සුරම්‍ය රාත්‍රී'' වැඩසටහන බලපු කාටත් තෙරෙන්න් ඈති.

    සුපර්ස්ටාස්ලා ගැන අහපු ප්‍රස්නෙට එයා දුන්නු උත්තරේ ඈහෙද්දි ප්‍රියා කොච්චර නං නිහතමානී ද කියලා හිතා ගන්න පුලුවන්. මේ තියෙන්නෙ ඒ වෙලාවේ කියපු සින්දුවක්...

    http://www.youtube.com/watch?v=EWrx44O3g90

    ReplyDelete
  23. ලිපිය නම් ඉතා වැදගත්..
    මම නොදන්නා ගීත කිහිපයකුත් තියෙනවා..
    ඒත් මේ ලින්ක් ටික වැඩ කරන්නේ නැහැනේ..

    ReplyDelete
  24. @Jeew!
    මම දාපු ලින්ක් ඔක්කෝම මියුරු ගී අඩවියේ ඒවා . . .එතන තියෙන ගීත වල කොලිටි එක එතරම්ම හොඳ නෑ ඒත් ගීත හැම එකක්ම තියෙන තැනක් හොයා ගන්න අපහසු නිසා මියුරුගී අඩවියේ ගීතම එකතු කලා. රියල් ප්ලෙයර් තියෙනවනම් මේ ගීත අහන්න පහසුයි. මියුරු ගී අඩවියේ ලිපිනය - http://www.infolanka.com/miyuru_gee/

    මී මැස්සා අඩවියේත් ප්‍රියාගේ හොඳ තත්වයේ ගීත තියෙනවා. . මෙන්න ලිපිනය
    http://www.meemessa.com/MP3/playerMultipleMenuPackage/Priya_Suriyasena.html

    ReplyDelete
  25. සිරාවටම මමත් ගොඩක් ආසයි ප්‍රියාගේ ගීත අහන්න.
    පොඩි අඩුවකට තියෙන්නේ ඔහුගේ ගීත වල මුල් පටිගත කිරීම් හොයාගන්න තියෙන අමාරුව තමයි. වැඩි හරියක් තියෙන්නේ ඔහු පසුකාලීනව සංගීත කණ්ඩායම් සමග කරපු පටිගතකිරීම්. ඒවා නං ගන්න දෙයක් නෑ.

    ReplyDelete
  26. ඇස්වහක් කටවහක් නෑ ලිපිය පංකාදු පහයි ඊට වැඩියි. මම ආසම හේතුවක් සහිතව "රටකින් එහා" ගීතයට. අනිත් ඒවත් සදා මතකයේ රැඳුන ගී මැයි.ස්තුතියි බොහොම මේ කරපු මහජන සේවයට.

    ReplyDelete
  27. ආයේ මොනවද ඉතින් මැක්සාම තමා....!!

    ReplyDelete
  28. dhumee- Thanks for the fact ayya...!!

    ReplyDelete
  29. අපේ වැම්පි ගුරා සහ අනික් සියළුම උදවියටත් ,නැවත වතාවක් දුකාටත් ස්තූතියි..මගේ ඉල්ලීම උඹලා අතින් ඉටු උන එකට..

    ReplyDelete
  30. කියන්ඩ දෙයක් නෑ...
    Maxxxxxa.....

    දුකා අයියාටත් වැම්පි කොලුවටත් ගොඩක් ස්තූතියි !

    ReplyDelete
  31. කියන්න දෙයක් නෑ. අපේ හොඳම ගීත ටිකක් තමයි ස්ටාර්ස්ලා සින්නක්කරේට ඇරන් තියෙන්නේ. එත් මම දකින විධියට නම් එයින් පස්සේ ස්ටාර්ස් ලාට තමන්ගේ ගීත වලින් ඉදිරියට එන්න බැරිඋනා. ප්‍රියා ඇතුව අපේ දක්‍ෂයින්ගේ නම් දැන් ඇහෙනවා අඩුයි තමා. එත් මේ තමා අපේ හදවතේ එක ලෙස ජීවත්වන ගායකයින්. ස්ටාර්ස් තරඟ නරක නෑ. එත් බිහිවන තරු තමන් අනුකරනය කළ මුල් ගායකයනට ගරු කරන්නත් තරුව වූ පසු තමන්ගේ නිර්මාණ වලට යන්නත් බැරිනම් ඒ දක්‍ෂකමෙන් ඇති වැඩක් තියනවද? මුලින් තරු වූ අය දැන් කෝ?
    කොහොම වෙතත් මේ ගායකයන් මතක් කරන එකෙන් දුකා කළේ ලොකු සේවයක්. අළුත් පරම්පරාවේ සමහර අය මේ ගායකයන් ගැන දන්නෙත් නෑ. ඔවුන් හිතන් ඉන්නේ මේ ගීත ප්‍රියාගේ නොව තරුවට සින්නක්කර ලියපු ඒව කියල. නැවත මේ වගේ ගායකයෙක් එක්ක එන්න.

    ReplyDelete
  32. ප්‍රියාට තියෙන්නෙ අමුතු ම කටහඬක්, සුදු පරෙවි රෑන සේ සින්දුව ම ඇති,ප්‍රියාගෙයි තාරුණ්‍යයෙයි සම්බන්ධතාවය ගැන කියන්න, ඒක නොකිය යන ට්‍රිප් නෑ මම හිතන්නෙ තවමත්...

    ReplyDelete
  33. දුකා අයියෝ මේ පෝස්ට් එකට ගොඩ වුනා විතරයි. ප්‍රියා සූරියසේන මහත්තයගේ ගීත ඇහෙන්න ගත්ත. සමහර ගීත මතක් වෙද්දි ඒ හා බැදුන පෙෘද්ගලික අද්දැකීම් මතක් වෙනවා...

    දුකා ඇත්තටම මේ හැම ගීතයක්ම හරිම සුවඳයි...

    ReplyDelete
  34. අතීතයේ ගිත විතරක් නෙමෙයි හැමදේම ඇත්තටම මිහිරියි.

    ReplyDelete
  35. ගායකයාට නෙමේ ගීයක වැඩි අයිතිය පද රචකයාටයි, සංගීත නිර්මාපකයාටයි නේද?

    ReplyDelete
  36. @හකාවතී!
    "මේ ගීත රස නොවිඳි කන් පින් මදයැ...
    මේ ගීත නොලියැවුනු පෙම්පත් වියැලිය...
    ප්‍රියාවෝ සදාකල් සිත්හි රැඳේ!"
    අගනේය . . ඉතා අගනේය

    @හේමලයා !
    අහා . . විශේෂ හේතුවක් තියෙනවද මචං ඒ ගීතයටම වැඩිය කැමති වෙන්න . .. ?? නිධාන කතාව ප්ලීස් . .

    @මාරයාගේ !
    අපේ වැම්ප් සහෝ උඹේ ඉල්ලීම ඉටුකලා නේ . ..

    ReplyDelete
  37. @බුද්ධික!
    මේ මූනු (sliles) මගේ කොම්පීතරේ නෑ අප්පා . .

    @blog gadol!
    ඒ වුනාට ප්‍රතිචාර දක්කාම හිතෙනවා අපේ හදවත් වලින් නම් ප්‍රියාට නියම තැන ලැබිලා තියෙනවා කියල . .

    @කුෂාන් !
    ඔව් මචන්, ඊයේ දුමීලගේ ගෙදර ගියාම දුමී කිව්වා දුමීගේ ගම හාමිනේලගේ ගෙවල් ලඟලු ප්‍රියා ඉන්නේ . .. ආර්ථික අතින් නම් මනුස්සයා එච්චර හොඳ තත්වෙක නෑ වගේ මම හිතන්නේ.

    @වැම්පයර් !
    උඹ නම් මාර ඩේටා බේස් එකක් මචං . . ලබන පාර ලංකාවට ආවාම අනිවාර්‍‍යෙන් උඹව හම්බුවෙන්න එන්න ඕන . . .

    ReplyDelete
  38. @පිස්සා පලාමල්ල !
    උඹ ලියපු දේ දැක්කම හරිම සතුටුයි . . ඒ කියන්නේ අපේ කලාකාරයෝ අතරේ නියම කොන්ද පන තියෙන අය තාම ඉන්නවා කියලා ප්‍රියා ඔප්පු කරලා පෙන්නලා . .. ස්තූතියි මළේ විස්තර වලට

    @දුමී!
    දුමී, අද උඹ හොඳ රසවින්දනයක් තියෙන සංවේදී මිනිහෙක් වෙලා ඉන්නෙත් ඕනෑම සිංදුවක් මෙලඩි එක මෙන්න මේ විදිහයි මචං කිව්වහම ප්ලේ කරන්න තරම් දක්ෂ වාදකයෙක් හා අපූරු ගායකයෙක් වෙන්න ලැබිලා තියෙන්නේත් උඹට ඒ පුංචි කාලේ ඉඳන් ලබුනු දායාදයන් නිසා වෙන්න ඇති මචන් . . . සතුටුයි අපි වගේම උඹත්, ඌෂානිත් ප්‍රියාට ප්‍රිය කරන එක දැන ගන්න ලැබුනු එක ගැන . .

    @Sujeewa Kokawala!
    ට්‍රිපක් නොගිහින් පෝස්ට් එකකින් උඹට ප්‍රියා ගැන මතකය අවදි කරලා දෙන්න ලබුනු එක ගැන මටත් සතුටුයි

    ReplyDelete
  39. @මුචලින්ද !
    "මම අද ඔෆිස් ගියා. හරිම මහන්සියි. මගේ මහන්සිය නැතිවෙන්නත් එක්ක ඕගොල්ලෝ මේකට කමෙන්ට් දාන්න" වගේ බ්ලොග් වලට බ්ලොග් කියන කාලෙක මේවට කියන්නත් නමක් හොයන්න වෙනවා!
    කොම්ප්ලිමෙන්ට් එකට තැන්කූ වේවා . ..

    @mptalks !
    "සාමාන්‍යයෙන් සිංදු කීපයක් උපුටා දක්වලා ගායකයෙක් ගැන ලියන ලිපියකට වඩා වෙනස් රටාවකට දුකාගෙ අත්දැකීමුත් එකතු කරලා ලියලා තියෙන්නේ. මටනම් මේ රටාවෙ හොඳ නරක දෙකම දැනුනා."
    වෙලාවක් තියේ නම් හොඳ නරක මොන මොනවද කියලා කියන්න ඇහැක් නම් ඊලඟ ලිපියක් ලියද්දී පොඩියක් උඹේ උපදෙසුත් සැලකිල්ලට ගන්න පුලුවන් වෙයි මචන් . . .
    අහ් හරි උඹ කියන වැඩේ මම අද හෙටම කරන්නම් . ..

    ReplyDelete
  40. @Lish!
    නමුත් මළේ ඒ සියළු රැලි ගහගෙන ගොස් අවසන් වූ පසුව ආපහු අපි ඒ දිහා බැලුවම අපි දැක්කේ රැලි වල උඩින් පීන ගෙන ආපු සුපර් ස්ටාර්ලා ගහගෙන ගිහින් ප්‍රියා එදා හිටපු තැන තාමත් ඒ විදිහට ඉනන්වා කියන එක නේද . . . හිතට කනගාටු එකම දේ වසර 40ක් නොකඩවා නොවැටී ඉන්න ප්‍රියා වගේ ගායකයන්ට ආර්ථිකව නැගිටින්න සහයෝගයක් දෙන්න වැඩපිලිවෙලක් නැති එක ගැනයි . ..

    @බුද්ධි!
    ඇත්තෙන්ම ප්‍රියාගේ දක්ෂ කමත් එක්ක මුහුවුනු ඒ නිහතමානී කම නිසාම වෙන්න ඇති වසර 40කට කිට්ටු කාලයක් (මම හිතන විදිහට) ප්‍රියා ලාංකික සංගෙත සහෘදයන්ගේ හදවත්වල ජීවත් වෙන්නේ

    ReplyDelete
  41. දුකා, ඔබ ඉතාම ලස්සනට වචන පෙළ ගස්වා තියෙනවා ප්‍රියා ගෑන. එක හුස්මට මම කියවාගෙන කියවාගෙන ගියා. ප්‍රේමකීර්තිගේ ගී රචනා - ප්‍රියාගේ හඩ එකකට එකක් මනාවට ගෑලපෙනවා සහ අපි යෞවනයට ගෙනියනවා. ඔහුගේ ගීත වල සංගීතයත් එකී ජනප්‍රියතාවයට හේතු වෙනවා නිසෑකයි.

    සුපර්ස්ටාර්ස්ලා "සුපිරි " වුනේ එච් ආර් ජෝතිපාල, ඈන්ජලීන්, ලතා වල්පොල, ප්‍රියා සුරියසේන ආදී ප්‍රවීණයන්ගේ ගී ගෑයූ නිසයි.

    කෙතරම් දුරට සත්‍යයක්දෑයි මා නොදනිතත් මේ වෙලාවේ මගේ මතකයට නෑගෙන හාස්‍යයජනක කතාවක් පහලින් ලියා තබන්නට සිත්වීමි.

    එක් සංගීත සංදර්ශණයකට සිංදු කියන්න ලතා වල්පොල සහ තවත් ප්‍රවීණ ගායක ගායිකාවන් රෑසක් සමග අලුතෙන් බිහිවූ සුපර්ස්ටාර්ස් ගායිකාවක්ද පෑමිණ සිටියේලු. ලතා වල්පොල මහත්මිය ගී ගයා අවසන් වී සිය වාහනයට නගින්න යද්දී, පසු කාලයක බිහිවූ සුපිරි තරු ගායිකාව ලතා වල්පොල මහත්මිය ලගට ඈවිත් ඈහුවලු "ඈයි ඈන්ටි මම කියන්න හිටපු ගීත ඔයා කිව්වෙ" කියලා. ඒ අවස්තාවේදී ලතා වල්පොල මහත්මිය උත්තර දුන්නලු සුපර්ස්ටාර් ගායිකාවට "ඒවා මං ගායනා කල මගේ ගීත මම කිව්වෙ" කියලා. අර එස් එම් එස් සුපර්ස්ටාර්ගෙ ඈස් උඩ ගියාලු.

    මේ වාගේ අමරණීය පුද්ගලයින් ගෑන තව තවත් ලියන්නට ඔබට දිරිය ලෑබේවා!!!

    ReplyDelete
  42. ප්‍රියා ගැන ලියෙවෙන්නෙත් කතා වෙන්නෙත් හරිම අඩුවෙන් මං හිතන්නෙ. ඒත් මෙතනත් කට්ටියගෙ අදහස් බැලුවහමත් පේනවනෙ ගොඩක් අය ප්‍රියාට කැමති කියල. ඉතින් ඒ නිසා අය්යගෙ මේ ලිපිය හරිම වැදගත්. ප්‍රියා කියන්නෙ මම කැමතිම ලිස්ට් එකේ ඉන්න ගායකයෙක් නන් නෙවෙයි.ඒත් එයාගෙ සින්දු කීපයක් තියනව මම උපරිමේටම කැමති. ප්‍රියාගේ සුරම්‍ය රාත්‍රී වැඩසටහන බැලුවා. ඒක නන් මැක්සා....
    ප්‍රියාට වැඩිපුරම සින්දු ලිව්වෙ ප්‍රේමකීර්ති කියල දැනගත්තෙ අදයි. එයා ලියන සින්දු ගැන අයේ ඉතින් කියල වැඩක් නෑනේ.... ආපහු මම ඒ වචන මතක් කරල බැලුවා. ඔය ඉන්නෙ ප්‍රේම්....

    ReplyDelete
  43. ප්‍රියා මගේ ආසම ගයකයන්ගෙන් එක්කෙනෙක්.
    ඇත්තෙන්ම හදවතට දැනෙන විදියට ගයන ගායකයෙක් තමා එයා.

    ReplyDelete
  44. ප්‍රියාගේ ගීත බොහොමයකටම මාත් හරිම ආසයි. "අඳුර අඳුර මගේ", "එකම වීදියේ", "සරතැස නිවා" ඉන් විශේෂයි.

    අගනා ලිපියට බොහොමත්ම ස්තුතියි මචං.

    ReplyDelete
  45. ගීත දාද්දි MP3 විදියට දාන්නකො. බාගන්න පුඵවන් විදියට mediafire or diveshare එකේ..

    ReplyDelete
  46. ප්‍රියා සූරියසේනගේ ගීත වලට මමත් කැමතියි..!!

    ReplyDelete
  47. This comment has been removed by the author.

    ReplyDelete
  48. නියමයි මිත්‍රයා !

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails