Wednesday, September 1, 2010

නෙත කඳුලින් නුඹ හඩද්දි හිත කඳුලින් මම හැඬුවෙමි. .!



නිල් කටරොලු මල් ගොමුවේ
පැනි උරනා සමනයෙක්
මිදුලේ දුව පැන නටනා
පුතුගේ අතේ ගල් අහුරක්
කුරුමානම වැරදුනාට
කමක් නෑ පුතේ
සතුනට හිංසා වද දී
නොවෙන් පුතේ දඟ ළමයෙක් . ..
. . . .
පුංචි කමට නොදැන කරන
වැරදි වලට සමා නොදී
කෝටු පාර ඉඳ හිටලා
නුඹට තලද්දී
නෙත කඳුලින් නුඹ හඩද්දි
හිත කඳුලින් මම හැඬුවෙමි . . .
. . . .
කිරි කල හත පෙවී නුඹට
පා පොඩි එසවුනු දා සිට
සුරතල් සිහිනයකි මගේ
ළය මුලු ගැන්වී රැඳුනේ
නුඹ හොඳ මිනිහෙක් වන දා
මල් පිපියන් මගේ සිහිනේ . . . . !!

සිංදු අහන්න පුරුදු වුනු පුංචි කාලේ ඉඳන් හරියටම අදට අවුරුදු තුනකට කලින් දවසක් වෙනකම් ම මේ ගීතය සිය දහස් වර සවනට වැටෙන්න ඇති . . ඒ හැම වාරෙකම ලස්සන නිල් කටරොලු මල් වැලකුයි . . .ලස්සන සමනලයෙකුයි . . . පුන්චි දඟකාර සුරතල් කොලු පොඩ්ඩෙකුයි . . කෝටුවක් අතේ තියාගෙන ඉන්න නපුරු තාත්තා කෙනෙකුයි හිතේ මැවුනා හැර වෙන කිසි දෙයක් සිහිපත් නොවුනු බව මට මතකයි වගේම මේ ගීත අසා පුරුදු ඔබ සැමටත් ඉන් එහා යමක් මතක් වුනාද කියා අහන්නත් මට හිතෙනවා.

"අනේ මට නම් මේ ළමයට කවන්න දවස තිස්සේ ට්‍රයි කරලා එපා වෙලා තියෙන්නේ . .. ඔයාට පුලුවන් නම් කොහොම හරි කරලා බත් කටක් කවන්න"

කියලා ලෝකේ අමාරුම කාරිය වුනු පොඩි එවුන්ට කවන රාජකාරිය නදීෂා මට පවරපු දවසක, මගේ සොඳුරු ත්‍රස්තවාදියා බත් කටක් කන්න කට නෑර කට වහගෙනම ඉන්න වෙලාවක . . . තරහා ඉවස ගන්න බැරිම තැන පස්ස පැත්තට දෙකක් දීලා මට තරහ ගිය බව දැකපු පුංචි කොල්ලා මහ හයියෙන් මර හඬ දීලා අඬපු වෙලාවෙයි . . .

ගිය සතියේ ෂොපින් ගිය වෙලාවක අපි පස්සෙන් එනවද කියලා බල බල ෂොපින් මෝල් එකේ එක කෙලවරක ඉඳන් අනෙක් කෙලවරට දුවලා අපිව බය කරන්න හැංගිමුත්තන් සෙලල්ම් කරද්දී . . . මෙහේ ෂොපින් මෝල් වල දී ළමයින් නැතිවුනු කතා අහලා තිබුනු නිසා "අපි පාර්ක් ගිය වෙලාවක සෙලල්ම් කරපු පුතේ . . මේක ඇතුලේ දුවන්න එපා" කියලා කියපු දේ අහන්නේ නැතුව හත් පාරක් මාව ෂොපින් මෝල් එකේ එහාටයි මෙහාටයි දුවවපු වෙලාවේ ඇති වුනු තරහට ආපහු පස්ස පැත්තට දෙකක් දුන්නු නිසා කොල්ලට දුක හිතිලා බිම ඉඳගෙන අඬපු වෙලාවෙයි . . .

තමයි මට තේරුනේ මේ ගීතයේ අර කටරොලු මල් වලට. . සමනලයාට . . කෝටු පාරට එහා ගිය . . . පපුවේ ලේ කිරි නොවුනා වුනත් . . මහා සාගරය වගේ නොසංසිඳෙන පිය සෙනෙහසක අරුතක් මේ ගීතයේ ගැබ් වෙලා තියෙනවා කියලා . . .

කොලුවා බිම ඉඳගෙන විනාඩි දෙකක් ඇස් දෙකෙන් කඳුලුපෙර පෙර අඬලා ඒක අමතක කරලා හිනා වෙලා මට තුරුල් වෙලා හිටියාට කොලුවට තලපු එක මතක් වෙන මතක් වෙන වාරයක් පාසා කොලු පැටියාට තලපු මගේ අතේ ඇඟිලියි හිතේ කඳුලුයි තාමත් තරඟෙට අඬන බව දන්නේ මම විතරක් බව නොකියා කොහොමද . ..

මේ ගීතයේ කියැවෙන පිය සෙනෙහස ගැන වටහා ගන්න මමත් පියෙක් වෙනකම් ඉන්න වුනා කියනවට වඩා මම පියෙක් වෙනකම්ම පිය සෙනෙහස වටහා ගන්න මම උත්සාහ නොකලා කියන එක තමයි වඩා නිවරදි කියලා මම දන්නවා.

ඒකෙන් වුනේ ඒ මොහොත වන තුරුම "තාත්ත අපිට ආදරේ නෑ" කියලා කෝපය සමඟ මුසු වුනු බරක් මගේ හිතේ රැඳිලා තිබ්බ වගේම . . . "මුන්ට මගේ ආදරේ තේරෙන්නේ නෑ" කියලා වේදනාව මුසු වුනු බරක් තාත්තගේ හිතේ රැඳිලා තියෙන්න ඇති කියලා මට හිතෙනවා.

කෙසේ නමුත් කලින් දවසක් මා ලියූ සුනේත්‍රා රාජ කරුණානායකගේ පූර්ව ජන්ම අපූර්වය ආදී පොත් වලට පිංසිදු වෙන්න ඒ බරවල් වලින් නිදහස් වෙන්න මංපෙත් පෑදුනු එක කොයි තරම් නිදහසක් ද කියලා දැනෙන්නේ ඒ නිදහස් ගැඹුරු දියේ පීනා සුව විඳින නිසාවෙන්මයි.

යහගුණදම් වලින් සපිරුනු දරුවෙක් බිහිකරනවාට වඩා අල්ලපු ගෙදර එකාට වඩා ඉහල යවන්න පුලුවන් සරුංගලයක් කිරීමේ පරමාර්ථයෙන් පුහු ආටෝපයන්ගෙන් පමනක් සපිරුනු රේස් දුවන තරඟකරුවෙක් නොකර දරුවා "හොඳ මිනිහෙක් වනදා . . .මල් පිපියන් මගේ සිහිනේ" එනම් ඔහු හොඳ මිනිහෙක් වනදා ඔහුගේ ජීවිතයේ සියලු පරමාර්ථයන් ඉටුවුනායි කියා සිතන මේ ගීතය ගයන පියාට මම හිස නමා ආචාර කරන්නේ ඔහු මෙන් මමත් මගේ දරුවා රේස් එකකට හුරු නොකරමියි අධිෂ්ථානයෙන් . .


මේ ගීතයත්, ගීතය ගැන මගේ අටුවාවත් වෙන වෙන වල්පලුත් මේ සැම ලියවුනේ අද විශෙෂ දවසක් නිසාවෙන් . . . මගේ බ්ලොග් එක කියවන ඔයාල හැමෝම කලින් කියවන්න ඇතිනේ මගේ "විරුල් නොහොත් සොඳුරු ත්‍රස්තවාදියා" ගැන මම දවසක් ලියපු සටහන් . .. නොකියවපු කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ඒ ලිපියත් කියවලා බලන්නකෝ . .. ඉතිං අද මගේ ඒ විරුල් නොහොත් සොඳුරු ත්‍රස්තවාදියාගේ තුන්වෙනි උපන් දිනේ . . .

ගිය අවුරුද්දේ දෙවෙනි උපන් දිනේට අපි ලංකාවේ සිටිය නිසාවෙන් ගල්කිස්සේ ළමා නිවාසයකට දානයක් දෙන්න පුලුවන් වුනා . . . ඒ ගැනත් ලිපියක් "ළමා නිවාසයේ අකුරු ඉගැන්වූ යුවතිය" නමින් ලිව්වා . . කැමති කෙනෙක්ට මෙන්න මෙතනින් ඒ ලිපියත් කියවන්න පුලුවන් . . .

ලංකාවේ නොසිටියා වුනත් විරුල්ගේ හැම උපන්දිනයකටම දානයක් දෙන්න එදා භාරගත්තේ පුතාගේ උපන් දිනයට පමනක් නොව හැකි සෑම මොහොතකම ඒ ළමා නිවාසය වෙනුවෙන් යමක් කල යුතුයි කියා හැඟීමෙන් වුවත්. . .පවතින ආර්ථිකයත් සමඟ මාසික ණය වාරික, නඩත්තු, ජීවන වියදම්, නොරටක වසන නිසාවෙන් ජීවිතයේ සතුට විනෝදාස්වාදය වෙනුවෙන් වැය කලයුතු විය හියදම් ආදී සියලු දේත් සමඟින් වසරකට එකක් පමනක් කල හැකි තත්වයකට පත්වීම උපේක්ෂාවෙන් දරා ගන්නවා හැර වෙන කල හැකි නැති නිසා අනාගතය සුභ වෙන දිනක් දෙස බලාපොරොත්තු තබා ගෙන සිටින එක හැර වෙන විකල්පයක් නැති තරම් . ..

කෙසේ නමුත් මෙදා සැරේත් උපන් දිනය වෙනුවෙන් දානයක් දෙන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා මෙහේ ලඟපාත ඉන්න මිතුරෝ දෙතුන් දෙනාත් නදීෂාගේ මල්ලීත් ඔහුගේ බිරිඳත් ගෙන්න ගෙන කේක් එකක් කපලා පුංචි සාදයකුත් පවත්වන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසා හෙටත් ආපහු මගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් මේ ලිපිය කියවන්න එනවානම් අද හවස පාර්ටියේ පින්තූර ටිකකුත් මේ ලිපියට එකතු කරන්න පුලුවන් . .. .

එහෙනම් හැමෝම ඔන්න මගේ කොලු පැටියට අමතක නොකර සුභ පතලා යන්න හොඳේ . . මම එකා ලොකු වුනාම ඒවා පෙන්නම් . . . එහෙනම් සුභ දවසක් වේවා කිව්වා හැමෝටම . .. .

අර උඩින්ම මම සඳහන් කල ගීතය ගයන්නේ සුනිල් එදිරිසිංහ මහතා. මියුරු ගී අඩවියේ ඇති ගීතය මෙන්න මෙතනින් ගිහින් අහන්න පුලුවන්







68 comments:

  1. මම මෙතනට එද්දි ඔයා ලිපිය දාලා තප්පර 4 යි, දරුවා තමයි කෙනෙක්ගෙ ජිවිතයක තියන වටිනාම තැන. අපි නම් තවම පොඩියි. මම නම් හිතනව විදියට දරුවාට අපි දෙන හොදම දෙ පොත් පත්. මම ඔයාගෙ පුංචි එකාට සුභ උපන්දිනයක් කියලා පතන ගමන්, මට නොලැබුණු නමුත් පොඩි කාලෙ මට මෙක ලැබුනා නම් මම මිට වඩා වෙනස් කෙනෙක් වෙන්න තිබුනා කියලා එවා තමයි පැංචන්ට තියන පින්තුර කතා පොත්. ගොඩාක් එක පාර ගෙනල්ලා මෙසෙ උඩින් පෙන්න තියන්න. මුකුත් කියන්න එපා, එයාම අරන් කියවන්න ගනියි. අපි ගියා

    ReplyDelete
  2. තුණුරුවන් සරණ ලැබේවා පුතේ, නිදුක් නිරෝගී සුව පතන්නම්, " හොඳ මිනිහෙක් වෙයන් පුතේ"

    ReplyDelete
  3. සුභ උපන්දිනයක් වේවා පුංචි විරුල්ට...!!

    ReplyDelete
  4. ඔන්න පුතේ සුබම සුබ උපන්දිනයක් කියලා මමත් පතනවා....!!!!

    ReplyDelete
  5. අනේ, මේ පොඩි එකාට අත ඉස්සුවේ මොන හිතකින්ද හැබෑට...
    :(

    ReplyDelete
  6. හිතට දැනෙන සින්දුවක් අයියේ... ගොඩාක් වෙලාවට අපිට තාත්තාගේ ආදරේ දැනෙන්නේ නෑ තමා.. පුංචි විරුල්ට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා. බුදු සරණයි!

    ReplyDelete
  7. පුංචි පුතුට සුභම සුභ උපන්දින්ක කියලා ඔන්න මමත් මගේ මුළු හදවතින්ම සුභ පතනවා.....හුරතල් කොලු පැට්ටා....
    ඒවගේම පුංචි පවුලටත් තුරුණුවන්ගේ සරණයි...!!!

    ReplyDelete
  8. ෂා එයා දැන් ලොකු ළමයෙක්...

    විරූල් පුතේ...උඹට සුභ පතන්න එකතු වෙන මම මාරයා මාමා..
    උඹ කවදා හරි දවසක මෙ සටහන බලපු දවසට උඹෙ අප්පා උඹ ගැන හිතපු හැටි උඹටම තේරෙවි.
    එතකන් මම උඹට ඒ ගැන කියන්න යන්නේ නැහැ.
    කොහොම උනත් උඹෙ අප්පා දහසක් වැඩ මැද උනත් අපි වගේ තවත් මිනිසුන් රාශියක් සමග සුහදව ලෙන්ගතු කමින් කටයුතු කරන හොඳ මනුස්සයෙක්..
    ඒ අප්පච්චිටත් උගේම කියලා ලෝකයක් තිබුනා..
    ඒත් උඹ උපන්නාට පස්සේ ඒ අප්පාගේ ජීවිතේ වැඩි හරිය උඹටයි වෙන් උනේ..අදටත් හෙටටත් හැමදාටමත් ඒ ඉඩ වෙන කිසිම කෙනෙකුට අයිති කරගන්න හම්බ වෙන්නේ නැහැ.
    අද උඹෙ අප්පා උඹට ගහන වාරයක් පාසාම උඹ කේන්ති ගනී..
    ඒත් කවදා හරි දවසක උඹ තේරුම් ගනී උඹ ගැන ඒකා හිතුව විදිය...
    මෙ ලියන මං තාම කසාදයක් බැදලා ළමයි ළපටි ඉන්න එකෙක් නෙවෙයි..
    මම දන්නවා නිදහස කියන වචනයට තේරුම් හුගාක්..මම නොදන්න තේරුම් තව හුගාක් ඇති..
    ඒත් මම දන්න හුගාක් තේරුම් වල තියෙන නිදහස අද උඹ වෙනුවෙන් උඹෙ අප්පච්චි නැති කරගෙන ඉන්නේ..
    අපි කවුරුත් කාලා බීලා නිදහසේ ඉන්න කැමති උදවිය..ඒත් උඹ උපන් දවසේ ඉඳලා උඹෙ අප්පච්චි ඒ කළින් විඳපු නිදහස උඹ වෙනුවෙන් කැප කරලා තමයි දැන් ජීවත් වෙන්නේ.
    උඹටත් කවදා හරි දවසක මෙ මාරයා මාමා කියපු දේ තේරුම් යාවී...
    එදාට උඹ උඛෙ අප්පච්චිට සමාව දියන් උඹට ගැහුව හැම පාරකටම...
    කවදා හරි දවසක උඹෙ අප්පාට උඹෙ හයිය ඔන වෙන දවසක් එනවා..අන්න එදාට අද උඹ වෙනුවෙන් හැම දේම කැප කරලා ජීවත් වෙන ඒ නාකියා වෙනුවෙන් උඹත් උඹෙ ජීවිතේ ටිකක් හරි කැප කරපං...
    අප්පාට විතරක් නෙවෙයි උඹෙ අම්මා ටත් එක්කයි මම මෙ කියන්නේ..
    ඒ දෙන්නා වෙනුවෙන් උඹත් සංවෙදී වෙයං...
    උඹෙ අප්පා උඹෙ සීයා ගේ දරු සෙනෙහස ගැන ගැන හිතන්න ටිකක් පරක්කු උනාට උඹ එච්චර පරක්කු වෙන්න එපා.

    උඹට බුදු සරණයි...

    ReplyDelete
  9. පොඩි දුකාට සුබ උපන්දිනයක් වේවා...

    ReplyDelete
  10. අපේ තාත්තත් මට ගහලා තියෙනවා. හැබැයි ටික වෙලාවකට පස්සේ ඊට වඩා ආදරයෙන් ලං වෙනවා. ඒ තාත්තලාගේ හැටි. මං හිතන්නේ මට ඒක තාමත් හරියට තේරිලා නැතුව ඇති :(
    මට හොඳටම වැදුනේ මේ කෑල්ල.

    **ඒකෙන් වුනේ ඒ මොහොත වන තුරුම "තාත්ත අපිට ආදරේ නෑ" කියලා කෝපය සමඟ මුසු වුනු බරක් මගේ හිතේ රැඳිලා තිබ්බ වගේම . . . "මුන්ට මගේ ආදරේ තේරෙන්නේ නෑ" කියලා වේදනාව මුසු වුනු බරක් තාත්තගේ හිතේ රැඳිලා තියෙන්න ඇති කියලා මට හිතෙනවා**

    විරුල් පුතේ... සුභම සුභ උපන් දිනයක් වේවා ඔයාට... පස්සේ කාලෙක තාත්තා වගේම බ්ලොග් අවකාශෙට එන්නත්, තාත්තා වගේම කට්ටියත් එක්ක හොඳින් ඉන්නත් පුළුවන් වේවා කියලත් පතනවා. ගොඩක් කල් යනකං ඉන්න ඕන නෑ. ඉස්කෝලේ යන ගමන්ම බ්ලොග් එකක් පටන් ගන්න. පුංචි දේවල් ලියන්න. එතකොට ඔයා තව ලොකුවෙනකොට ඔයාට වඩා අවුරුදු කිහිපයකින් වයස අඩු බ්ලොග් මල්ලියෙක් ඔයාට ඉඳීවි...

    සුභ පැතුම්...

    ReplyDelete
  11. සොඳුරු ත්‍රස්තවාදියාට සුබම සුභ උපන් දිනයක්!..හැප්පි හැප්පි බර්ත් ඩේ....:D

    ReplyDelete
  12. සොදුරු ත්‍රස්තවාදියාට ළමයාගෙනුත් සුබපැතුම්!

    සුබම සුබ උපන් දිනයක් වේවා කොලුවෝ!!!!!!!!!! අනාගතයේ තත්තාටත් වඩා හොද කෙනෙක් වෙන්න වාසනාව ශක්තිය ලැබේවා....... :D

    ReplyDelete
  13. සුභ උපන්දිනයක් වේවා පුංචි විරුල්ට පුතණ්ඩියට!

    ReplyDelete
  14. විරුල් මල්ලියාට සුබ නොපතා කොහොමද...
    සුබ උපන් දිනක් මල්ලියෝ.... අර මාරය මාම ලියල තියෙන දේ හොඳට හිතට ගනිං...
    සුබ පැතුම් උන්නැහේ අයියගෙන්.

    ReplyDelete
  15. @උන්නැහේ!
    උන්නැහේ මාමා ද උන්නැහේ සීයාද . .??? හික් හික්

    ReplyDelete
  16. @රවා මලේ!
    උඹේ උපදෙස මම හිතට ගත්තා . . අපිත් ගොඩක් වෙලවට පොත් පත් අරන් දෙනවා තමයි . . .උඹ කියන දේ ඇත්ත . . සෙල්ලම් බඩු වලට වඩා කියවන්න හුරු කරන්න ඇහැක් නම් වඩා හොඳ වෙයි තමයි . . . බොහෝම ස්තූතියි මලේ . . .

    ReplyDelete
  17. පුංචි විරුල් පුතාට අපෙනුත් සුබ ම සුබ උපන් දිනයකට ආසිරි!
    එරන්දතී අක්කා, හෂිත මාමා, සචී නැන්දා

    ReplyDelete
  18. හ්ම්...ගෙදර ගිහිල්ලා නිදහසේ කියවලා කමෙන්ට් එකක් දාන්නම් අයියා...

    ReplyDelete
  19. පුංචි විරුල් පැංචට මාත් මුළු හදින්ම සුභ පතනවා......!!!!

    තාත්තයි අම්මයි හිතන විදියටම ‍හොඳ පැටියෙක් ‍වෙන බව අපි හැ‍මෝම දන්නව.........
    එ‍හෙනම් ඔන්න මං යනවා.......

    චූටියට ආ‍යෙමත් ස්භ පතනවා.....
    බුදුසරණයි !!!!

    ReplyDelete
  20. අනේ දුකා අයියෙ මම තාමත් තාත්තගෙන් ගුටි කනවා..ඒත් ඒක දවසෙන් අමතකයි :D තාත්තලගේ ආදරේ පිටට පෙන්නේ නැහැ නෙවැ....

    සොදුරු ත්‍රස්තවාදියට සුභම සුභ උපංදිනයක් වේවා !!!

    :D

    ReplyDelete
  21. සොදුරු ත්‍රස්තවාදියාට සුභම සුභ උපන්දිනයකට මගෙනුත් සුභ පැතුම!!!!

    ReplyDelete
  22. පියෙකුට දරුවෙක් කොයි තරම්ම වටිනවද කියල තේරුනේ මමත් තාත්ත කෙනෙක් උනහම.....
    ඇත්තටම විරුල් ගොඩාක් වාසනාවන්තයි. හොඳ හිතක් තියෙන හොඳ පියෙක් ලැබිල ඉන්න නිසාම ටික කාලයක් යනකොට ඔය චන්ඩි කොලු පැංචගෙ චන්ඩ් කම් ටික ටික අඩු වෙලා ගිහින් හොඳ පුතන්ඩියෙක් වේවි........

    විරුල්ට සුභම සුභ උපන්දිනයක්.......

    ReplyDelete
  23. සොඳුරු ත්‍රස්තවාදියාට සුබ උපන් දිනයක්...!!

    ReplyDelete
  24. සොඳුරු ත්‍රස්තවාදියාට මගෙනුත් සුබ පැතුම් දුකා අයියේ.......

    හැමදේම ජීවිතේට එකතු කරගෙන " හොඳ මනුස්ස පරානයක් වෙයං පුංචි පුතේ....."

    මට මගේ අම්මයි අප්පච්චියි මතක් උනා අයියේ. මේ සටහන මාව හොඳටෝම ඇඬෙව්වා. අයියා දන්නවද මගෙ 7 වෙනි උපන්දිනය දවසෙදි අම්මයි අප්පච්චියි දෙන්නා මාව එළියට අරන් ගිහින් එන ගමනෙදි තමා ......................

    ReplyDelete
  25. ඔන්න දැන් තමා නිදහසේ කියවලා ඉවර කරේ.. ඇත්තම කියනවා නම් අයියේ පෙර කල පවක් නිසා මට පොඩි කාලෙම තාත්ත කෙනෙක්ගේ ආදරේ විඳින්න තිබුන අවස්ථාව නැති වෙලා ගියා... ඒත් අම්මා එකතු කරගෙන තිබුන තාත්තාගේ ලියුම් කියවලා මට තේරුම් ගන්න පුළුවන් උනා තාත්තා කෙනෙක්ගේ දරු සෙනෙහස පරදින්නේ අම්මා කෙනෙක්ගේ දරු සෙනෙහසට විතරයි කියලා.. එදා මං ඉකිගගහා ඇඬුවා තනියම. දැන් ඔයාගේ සටහන කියව ගෙන යද්දි මට මාර ලෝබ හිතුන මං කවදාවත් විඳලා නැති ඒ පිය සෙනෙහස වෙනුවෙන්.
    විරුල් පුතේ.. ඔයා හරිම වාසනාවන්ත දරුවෙක්..ඔයාගේ තාත්තා ඔයාට කොච්චරනම් ආදරේද කියලා ඔයා කවද හරි මේ සටහන කියවද්දි දැන ගනීවි..
    ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා...! ඔයාලගේ ලස්සන පුංචි පවුලට ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...!

    ReplyDelete
  26. චූටි බබාට සුබම සුබ උපන් දිනයක් වේවා!!

    ReplyDelete
  27. පොඩි එකාට මගෙන් සුබ පැතුම්

    ReplyDelete
  28. සටහනයි කොමෙන්ටුයි කියෙව්වහම හොඳටෝම හිත හැඟීම් බර වෙනවා.... මාරයාගේ කොමෙන්ටුවනම් පපු කැවුතු වලටම කථා කරනවා... ඇත්තටම මේ දරුවෝ වාසනාවන්තයි කියලා මට හිතෙනවා... දෙගමනක් ධෛර්‍යයෙන් පුතාලගේ ජීවිතය යහපත් කරන්න අපි වැඩ කරනවා පුතේ... නුඹට තුණුරුවන් සරණයි...!

    ReplyDelete
  29. ඔන්න පුතේ සුබම සුබ උපන්දිනයක් කියලා මමත් පතනවා....!!!!

    පුතේ උඹ ලොකු මිනිහෙන් නෙමෙයි උසස් හොද යුක්ති ගරුක මිනිහෙක් වෙයන් පුතේ...
    ඒ වගේම උඹට යොධ බල යෝධ ශක්තිය ලැඛෙන්න කියලා පොජ්ජෙ මාමා සුභ පතනවා.

    ReplyDelete
  30. ජිප්සීස් කණ්ඩායමේ "තාත්තා මට ඇනපු ටොක්ක" සින්දුව මුලදි අහනකොට ඒක බයිලාවක් වගේ හිතුණා. ඒත් පස්සේ ආයේ ආයේ ම අහනකොට තමයි තේරුණේ ඒකේ තියෙන රහස මොකක්ද කියලා.
    පුතේ... ඔයා කවදහරි ලොකු මහත්‍තයෙක් වුණු දවසට තාත්තා මේ ලිපිය පෙන්නුවොත් ඔයාට තේරෙයි ඔයාගේ දෙමව්පියන් ඔයා වෙනුවෙන් කොච්චර දේවල් කළාද, ඔයා ගැන මොන තරම් බලාපොරොත්තු ඔවුන් ළඟ තිබුණද කියලා.

    ආදරණිය පුතේ.. ඔයාගේ ජීවිතයේ සමරණ සෑම උපන් දිනයක් පාසාම යහපත උදා වෙන්නටත් ඔයා සමාජයට වැඩදායී හොඳ දරුවෙක් වෙන්නටත් මේ මාමාගෙනුත් සුබ පැතුම්..

    ReplyDelete
  31. Happy Birthday, Virul!

    ReplyDelete
  32. කීප සෑරයක් ම දුකා අය්ය පින්තූර ටික දාලද කියල ඇවිත් බලල ගියා...දැන් නම් ඔන්න හරි.. සුබ උපන්දිනයක් වේවා... පුංචි පුතාට

    ReplyDelete
  33. සොඳුරු ත්‍රස්තවාදියාට සුභ උපන්දිනයක්!!!
    අනාගතයේ හැමටම ඕන කරන වටිනා මිනිසෙක් වේවා.

    ReplyDelete
  34. සොඳුරු ත්‍රස්තවාදියාට අවුරුදු 3ක් වෙලා නේ... සුබම සුබ උපන් දිනයක් වේවා....පොඩි එකා වාසනාවන්තයි බන්... උබ වගේ තාත්ත කෙනෙක් හම්බුන එක ගැන....



    මේ දුකා අන්කල්... මතක ඇතුව කියපන් හොඳද.... පිස්ස අයියා විරුල් මල්ලිට සුබ පැතුවා කියලා.... හි හි.

    ReplyDelete
  35. සොඳුරු ත්‍රස්තවාදියා කියන එකෙන් ම මේ තාත්තාගේ ආදරේ කොච්චරද කියන එකයි පුතාගේ දඟකම කොච්චරද කියන එකයි හොඳට පැහැදිලි වෙනවා...සුභ උපන් දිනයක් ත්‍රස්තවාදි පැටියෝ.....

    ReplyDelete
  36. මචෝ, විරුල් පුතාට සුභම සුභ උපන්දිනයක් පතනවා කියපන් දුමී මාමා . . . මට ඉතින් පොඩි එකාගේ ඒලියන් භාෂාව දන්නෙ නැති නිසා උඹට හරි නදීෂට හරි තමා මම වෙනුවෙන් සුභ පතන්න වෙන්නෙ . . . !

    අපි අද උදේ තමා ආපහු කාන්තාරෙට ආවෙ. පොඩ්ඩක් නිදාගෙන ඉඳල ඔන්න දැන් තමා බ්ලොග් ටික කියවන්න ආවෙ. උඹ පෙරේදා රෑ කතා කරල මට විස්තරේ කිව්වට මට ඒ වෙලාවෙදි පොඩි එකාට සුභ පතන්නවත් ඉස්පාසුවක් තිබුනේ නැහැ මචෝ . .

    ReplyDelete
  37. අයියේ මාත් සුභ පතන්නට එකතු වෙනවා. මාත් මේ පැත්තේ එන්නේ අවාරෙට පොල් වැටෙනවා වගේ නිසා අයියගේ විස්තර වැඩිමනත් දන්නෙත් නැහැ. කොහොම උනත් ආයෙමත් සුභ පතනවා.අයියේ අනිත් දේ තමා විරුල්ට ත්‍රස්තවාදියා කියලා කියන එකට මම විරුද්ධයි.(මේ අනාගතය ගැන හොඳට හිතල බලල ගන්න පියවරක්! මොකද මට පෙනෙන විදියට අයියගේ හිතේ අදහසක් තියනව බ්ලොග් පෝස්ට් එක දවසක පොඩි එකාට පෙන්නන්න.)

    ReplyDelete
  38. සුභ උපන් දිනයක් වේවා ‍චූටි දුකා බබා .....
    දුකා අයිය වගේ තාත්ත කෙනෙක් ඉද්දි අමුතුවෙන් සුභ වෙන්න කියල පරාර්ථනා කරන්න දෙයක් නෑ මම හිතන්නෙ
    ""හොඳ මිනිහෙක් වනදා ඔහුගේ ජීවිතයේ සියලු පරමාර්ථයන් ඉටුවුනායි කියා සිතන මේ ගීතය ගයන පියාට මම හිස නමා ආචාර කරන්නේ ඔහු මෙන් මමත් මගේ දරුවා රේස් එකකට හුරු නොකරමියි අධිෂ්ථානයෙන් . .""

    ReplyDelete
  39. මටත් හිතෙන්නෙ එහෙමයි...
    දුකා අයියා වගේ තාත්ත කෙනෙක් ඉන්න විරුල් ඇත්තටම ගොඩක් වාසනාවන්ත කොලු පැටියෙක්!

    විරුල් පුතා...
    උඹට සුබ ම සුබ අනාගතයකට සනා මාමාගෙනුත් සුබ පැතුම්!
    ලොකු මිනිහෙක් වෙනවට වඩා හොඳ මිනිහෙක් වෙන්න උත්සහ කරපන් පුතේ!

    ReplyDelete
  40. "ඒකෙන් වුනේ ඒ මොහොත වන තුරුම "තාත්ත අපිට ආදරේ නෑ" කියලා කෝපය සමඟ මුසු වුනු බරක් මගේ හිතේ රැඳිලා තිබ්බ වගේම . . . "මුන්ට මගේ ආදරේ තේරෙන්නේ නෑ" කියලා වේදනාව මුසු වුනු බරක් තාත්තගේ හිතේ රැඳිලා තියෙන්න ඇති කියලා මට හිතෙනවා. "


    මෙන්න මේ පෙලිටික තමයි මට හිතෙන හැටියට වැදගත්ම තැන.... මගේ ඇහැටත් කදුලු ආවා.හැබැයි ඇයි කියන්න දන්නෙ නෑ.සමහර විට පොඩි කාලෙ ඉදන් තාත්තා රට ඉදපු නිසා වෙන්න ඇති...


    විරුල් මල්ලියාට උපන්දිනේට නිපුන අයියා සුබ පැතුවා කියන්න.
    :)

    ReplyDelete
  41. සුබ උපන්දිනයක් චුටි පුතේ...
    මචන් මමත් ලගදි තත්ත කෙනෙක් වෙන්න යන්නෙ...
    මාරය ගෙ කතව අපි කාටත් වටිනව..

    මව මෙලොකෙ වැදියෙන්ම තෙරුම් ගත්තෙ මගෙ තාත්ත...
    මගෙ හොදම යාලුවත් එයා...
    මම නොරටක හිටියත්

    මචන් හරිම වටිනා ලිපියක් මෙක...
    සැම දරුවෙකුම කියවියයුතු 1ක්...

    මචන් දුකා පවුලටම සුබ අනාගතයක් කියල පතනව...!!

    ReplyDelete
  42. හරී, අසංකා, වාසල. . !
    බොහෝම ස්තූතියි සුභ පැතුම් වලට . ..

    ReplyDelete
  43. @අසංකා!
    අනේ ඒකනේ නගේ මටත් හිතා ගන්න බැරිව දුක් වෙන්නේ . . මේකා හරිම ස්වීට් ම ස්වීට් . . . මොකා වැහිල මම මූට ගැහුවද මන්දා අප්පා . . . පුංචි කමට නොදැන කරන
    වැරදි වලට සමා නොදී
    කෝටු පාර ඉඳ හිටලා
    නුඹට තලද්දී
    නෙත කඳුලින් නුඹ හඩද්දි
    හිත කඳුලින් මම හැඬුවෙමි . . .

    ReplyDelete
  44. සුභ උපන්දිනයක් වේවා විරුල් පුතේ...!!!

    ReplyDelete
  45. ජාලය ටිකක් දුරස් නිසා අදයි දැක්කේ.. මෙන්න මගෙනුත් ටිකක් පරණ වුණ ඒත් උණුසුම් සුබ පැතුමක් ! මේ මලත් පොඩි දුකාට දෙන්න
    @>>-<--+----

    ඒක නෙවෙයි පිස්සා කොහොමද අයියා වුණේ ???

    ReplyDelete
  46. ඉස්ඉස්සෙල්ලාම සොඳුරු ත්‍රස්තවාදියට බිලේටඩ් බර්ත් ඩේ විෂ් එකක් හද පත්ලෙන්ම එකතු කරනවා. දරුවන් තමයි මෙලොව වටිනාම සම්පත.
    කියන්නම ඕනි අද තමයි මම මේ පැත්තේ පලමුවතාවට රවුමක් ගැහුවේ. රවුමක් කිව්වට මොකද ඒක ලොකු ට්‍රිප් එකක් වුණා. මොකද ඔක්කොම පෝස්ට් කියෙව්වා.
    තාත්තාගේ හෙවනැල්ලයි ආදරේයි මට නැතිවුනේ ‍මං පුංචි කාලේ. එදා ඉඳලා ‍අද වෙනකල් වේදනාව ඇස් වලින් පිට කරන එක තමයි කරන්නේ. මට මතක විදිහට මගේ තාත්තා මට ගහලම නෑ. මගේ අයියානම් අන්දර කොටුවකිනුත් ගුටි කෑවා මතකයි.

    දරුවෙක්ට මවයි පියයි කියන්නේ ඉරයි හඳයි.
    මගේ සුභ පැතුම් පුංචි පුතුට!

    ReplyDelete
  47. @හසී!
    ඇත්තටම මේ ගීතය හරිම අපූරු ගීතයක් . . .
    ස්තූතියි සුභ පැතුම් වලටත් . ..
    @හසියා!
    ගොඩක් ස්තූතියි සුභ පැතුම් වලට . ..

    ReplyDelete
  48. @මාරයා!
    දයාබර මාරයා . . . (මාරයා කොයිතරම් සුන්දර මිනිහෙක්ද කියලා මේ හැමෝම දන්න නිසා කිසි කෙනෙක් වැරදියට හිතන්නේ නෑ කියලා මම හිතනවා මාරයා කොහොමද දයාබර මාරයා උනේ කියලා)

    උඹේ සටහන නම් හරිම අගෙයි . .

    මගේ දරුවා යමක් කමක් තේරෙන කාලෙට ඇත්තෙන්ම මේ සටහන් කියවන්න දෙන්න මගේ උවමනාවක් තියෙනවා . .

    එදාට උඹේ මේ අදහස් දැක්වීම පොඩි එකාට බොහෝමත්ම ප්‍රයෝජනවත් වේවී අනිවාර්‍යෙන්ම . ..

    උඹට ත් ජය . . .

    ReplyDelete
  49. @පුතා!
    බොහොම ස්තූතියි සුබ පැතුමට . ..

    @කුෂාන්!
    උඹටත් ස්තූතියි සුබ පැතුම් වලට . ..
    ම් ම් ම් ම් විරුල් ස්කෝලේ යන කාලේදී බ්ලොග් ලියන්න පටන් ගත්තාම පස්සේ කාලෙක තවත් බ්ලොග් ලියන මල්ලියෙක් කිව්වේ කුෂාන් මාමාගෙයි ෆා නැන්දගෙයි පුතා වෙන්න ඇති නේද . .. හි හි

    ReplyDelete
  50. @හේමලයා, ළමයා, බුද්ධි, උන්නැහේ මාමා, එරන්දතී , හෂිත, සචී, හා පැටික්කි!

    ඔයාලා හැමෝටම ස්තූතියි සුබ පැතුම් වලට . . .

    ReplyDelete
  51. @Bunny!
    උඹ කරන මගෝඩි වැඩ වලට ගුටි කාලා බේරෙනවනම් ඇති දඬුකඳේ නොගහා . .. හි හි
    තැන්කූ වේවා සුභ පැතුම් වලට . ..

    @නිර්මල!
    ස්තූතියි සුබ පැතුමට . . !

    @කංචු!
    ඔව් කංචු මලේ හරියටම පිය සෙනෙහස අඳුන ගන්න නම් පියෙක් වෙන්නම ඕන කියලයි මටත් හිතුනේ . .. අනේ මේකා එහෙමටම චන්ඩි වැඩ නෑ . . . හුරතලේ නම් හොඳටම වැඩී . . අර ෂොපින් මෝල් වලදි නම් දෙකක් දීලා හරි ලඟට කරලා තියාගෙන ඉන්නේ නැතිවුනොත් එහෙම කියලා බයට . . මේකට තියෙන ආදරේට . . . ස්තූතියි සුබ පැතුම්ට

    ReplyDelete
  52. @ගයන්ත!
    ස්තූතියි මළේ සුබ පැතුම්ට . .

    @දිල්, ෆා !
    අනේ හරිම දුක හිතුනා . . .
    ජීවිතේ හැටි ඔහොම තමයි . .
    හැමෝටම හැමදෙම ලැබෙන්නේ නෑ . . .
    ලබා ගන්න පුලුවන් දේ ලබා ගන්න උත්සාහ කරන එකත් . .
    ලැබෙන දෙයින් සතුටු වෙන්න මනස හදා ගන්න එකත් තමයි හොඳ දෑ
    ස්තූතියි නගේ සුභ පැතුම් වලට

    !wathsala, Dam!
    ස්තූතියි සුභ පැතුම් වලට . . . !

    ReplyDelete
  53. @තිසා!
    ඔව් මචන් මාරයාගේ කමෙන්ට් එක නම් මාරයි . . . ඔව් බන් අපි ඉතිං හැම දේම කරන්නේ ළමයි වෙනුවෙන් නේ . . .

    @පොජ්ජේ !
    ගොඩක් ස්තූතියි පොජ්ජේ . . .

    @Jeew!
    ඔව් මචන් ඒ ගීතය එකපාරට ඇහුවට ඔලුවට යන්නේ නෑ . . හෙමීට අහනකොට තමයි තේරෙන්නේ එකේ තියන ගැඹුරු තේරුම . . ස්තූතියි මචන් . . .

    ReplyDelete
  54. @arunishapiro!
    Tnx for wishes dear . .. !

    @චේජනා, මුචලින්ද,priyantha.ඒබී!
    ඔයාලා හැම දෙනාටමත් ස්තූතියි හොඳේ

    @පිස්සා පලාමල්ල !
    අනේ බොහොම ස්තූතියි පිස්සා පුතේ මම විරුල් මල්ලීට ලොකු උනාම කියන්නම්

    ReplyDelete
  55. @deeps!
    අම්මේ මෙන්න අනං මනං වත් කාලෙකින් නොලියපු ඩීප්ස් මේ පැත්තේ ඇවිත් . . තැන්කූ වේවා කිව්වා හොඳේ

    @දුමී !
    මචෝ මටත් වැඩිය ඒ ඒලියන් භාශාව තේරෙන්නේ නදීෂටම තමයි . . මම එයාටම කියන්නම් . . හි හි

    @leks' world !
    මළේ මගේ පොඩි එකාට සොඳුරු ත්‍රස්තවාදියා කියන්නේ මේකා සොඳුරු කමේ එක්ස්ට්‍රර්ම් එන්ඩ් එකේ ඉන්න නිසා මිසක් ත්‍රස්තවාදියා කියන හැඟීමෙන් නෙමෙයි . . අර මම කලින් ලියපු පෝස්ට් එක කියවන්නකෝ . . . එතකොට තේරෙයි . . ස්තූතියි සුභ පැතුම් වලට මළේ

    ReplyDelete
  56. @Randika Sedara, සනා !
    මම නෙමෙයි මළේ මේ කොල්ලගේ සියළුම වැඩ නම් කෙරෙන්නෙ කොල්ලගේ අම්මා අතින් . . . මම ඉතින් කොල්ල එක්ක සෙල්ලම් කරනවා විතරයි වගේ බලාගෙන ගියාම . . .
    ස්තූතියි සුභ පැතුම් වලට

    ReplyDelete
  57. පරක්කු වෙලා වුනත් අපේ සොදුරු ත්‍රස්තවාදියා විරුල් පැටියාට සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මමත්.

    දුකාගෙ වගේම මාරයාගේ සටහනත් නෙතට කදුළු එක්කලා...තාත්තයි අම්මයි තමයි මුළු ලෝකෙම...

    ReplyDelete
  58. @නිපුනdk !
    අනේ පව් මලේ ?? පුතේ තාත්තල ගැන එහෙම හිතන්න එපා . . විශේෂයෙන් දරුවන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ හොඳම කාලය තනිවම පිට රටක ගත කරන පියෙක් වෙනුවෙන් කොහොමත් එහෙම හිතනන් එපා . ..
    ස්තූතියි සුභ පැතුම් වලට . . .

    @Indika!
    ලඟදී පියෙක් වෙන්න යන ඉන්දිකට මගේත් සුභ පැතුම් . . .
    ස්තූතියි උඹේ සුභ පැතුම් වලටත් මචන් . ..

    ReplyDelete
  59. @නිශාචරයා!
    උඹටත් ස්තූතියි මචන් . ..

    @සු!
    ස්තූතියි සුභ පැතුම් වලට සූ . .. ඒක තමයි පිස්සා පලාමල්ල මාමාද සීයාද මන්දා . . හි හි

    @Naදී!
    නදී අදම හරි කමක් නෑ මේ පැත්තේ ආපු එක කොයි තරම් දෙයක්ද . . හැබැයි ඔයාගේ මෝනිං පැන්චී නම් මම ඒ දවස්වල ඉඳන්ම කියවනවා . .. .
    අහ් ඔයා පුංචි කාලේ තාත්තා නැති උනා කියලා ඇහුවම හරි දුකයි . . ඒත් ජීවිතේ හැටි ඔහොමයි අනේ මොනවා කරන්නද . . . ස්තූතියි සුභ පැතුම් වලට

    @sri!
    පරක්කු වෙලා හරි සුභ පතන්න එකතු වුනු එක ගැන සතුටුයි මචන් . . . ස්තූතියි

    ReplyDelete
  60. මම එහෙම හිතලා කිව්වා නෙමෙයි අයියෙ.මම දන්නවා එයා මට ආදරේ කියලා.ඒත් පිරිමි ලමයි උනාම අම්මත් එක්කනෙ වැඩියෙම යාලු.තාත්ත මට ගොඩාක් ආදරේ වෙන්න ඇති.ඒත් එයා ඒක කවදවත් පෙන්නලා නෑ මට මතක විදිහට.පියෙක් දරුවෙක් ගැන හිතන විදිහ ගැන දැන ගන්න ඔයත් තාත්තා කෙනෙක් උන දවසට තේරුම් ගනී කියලයි මගෙ අරයත් මට කිව්වෙ.අනේ ඉතින් බලන්නකො ඒකෙත් හැටි...

    ReplyDelete
  61. @නිපුනdk !
    තාත්තලාගේ හිත් වල තියෙන ආදරේ එලියට නොපෙනෙන එක ගැන මම ගොඩක් කාලේකට කලින් ලියපු ලිපියක් (පිය සෙනෙහස ගැන ලියවුනු ගීත ටිකකුත් එක්කම) තියෙනවා මල්ලී . . ඒකත් වෙලාවක් ලබුනොත් කියවන්නකෝ . . ..

    http://dukaa.blogspot.com/2009/10/blog-post_4101.html

    ReplyDelete
  62. සමා වුව මැන ප්‍රමාදයට,

    දුකා,

    අප ඉදිරියේ ඇත්තේ මෙන්ම අපේ දරුවන්ට උරුම වන්නේද,
    කිසිසේත් දෙව්ලොවක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

    කල්පාවසානයේ වසිතැයි පැවසෙන මුරුගසං වරුසාවේ ලකුණු දැනටම පෙනෙන්නට ඇත.

    මිනිසුන් නරුමයන් වන ලොවක,
    මිනිසත් බව රැක ගැනීමට,
    මඩෙහි පිපුනුමුත් මඩ නොතැවරුනු අරවින්දයක් වන්නට,
    මිනිස්කම් දැවී, අලු වී යන ලොවක සිහිල් මඳ පවනක් වන්නට,
    විරුල් හට මඟ පෙන්විය හැක්කේඔබදෙපලට පමණි.
    ඒ වෙනුයෙන් ඇවැසි කැපවීමද, දිරියද,හැකියාවද,
    ඔබට නොඅඩුව ඇති බව දනිමි.

    "දරු සෙනෙහස ලේ,මස්, නහර, ඇට මිදුලු අතරෙහිද,විනිවිද යන්නෙකි" - සිංහබාහු

    "පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී" - ටී. එම්. ජයරත්න මහතාගේ ගීයක්



    Virul my son,
    I don't think you understand how lucky you are,
    But,
    I know , you will,
    One day

    ReplyDelete
  63. @Ravi !
    පමාවී හෝ තැබූ සටහන කෙතරම් අගනේද . . .

    "මිනිසුන් නරුමයන් වන ලොවක,
    මිනිසත් බව රැක ගැනීමට,
    මඩෙහි පිපුනුමුත් මඩ නොතැවරුනු අරවින්දයක් වන්නට,
    මිනිස්කම් දැවී, අලු වී යන ලොවක සිහිල් මඳ පවනක් වන්නට,
    විරුල් හට මඟ පෙන්විය හැක්කේඔබදෙපලට පමණි.
    ඒ වෙනුයෙන් ඇවැසි කැපවීමද, දිරියද,හැකියාවද,
    ඔබට නොඅඩුව ඇති බව දනිමි.

    "දරු සෙනෙහස ලේ,මස්, නහර, ඇට මිදුලු අතරෙහිද,විනිවිද යන්නෙකි" - සිංහබාහු

    "පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී" - ටී. එම්. ජයරත්න මහතාගේ ගීයක්

    සහෝ උඹේ සටහන හදේ ගැඹුරම තැන් ස්පර්ෂ කල බව කිවයුතුද . . . ස්තූතියි උඹට

    ReplyDelete
  64. ඔන්න පැටියො සුභ හෙට දවසකට ආසිරි...

    ReplyDelete
  65. දුකා අයියේ, පුතාට සුභම සුභ අනාගතයකට ආසිරි පතනවා...

    සමාවෙන්න ඕන වැඩ ගොඩක් මැද්දේ හිටපු නිසා දැන් තමයි මේක කියවන්න වෙලාවක් හම්බුනේ..

    උඩින් ලියල තියෙන සින්දුව හරිම සංවේදී එකක්.. මට මතකයි ඔය සින්දුව රේඩියෝ එකක යන වෙලාවකදී අපේ තාත්ත මගෙන් ඇහුවා මතකද පොඩි කාලේ ගුටිකෑව ඒවා කියල.. ඒව මතක් කර කර එයා එදා අඬනවා දැකල මට මේ ලෝකෙ නැති දුකක් ඇතිවුනා..

    තවමත් මේ සින්දුව ඇහෙනකොට මගේ හිට ඒ අතීතයට දුවගෙන යනවා.. තාත්තලා අපිට කොච්චර ආදරේද කියල හිතෙනවා..

    ReplyDelete
  66. @රන්!
    ස්තූතියි රන් . . .

    @sameerausa !
    පරක්කු වෙලා හරි සුබ පතපු එක කොයි තරම් දෙයක්ද . .
    තාතලගේ අදරේ අඳුනගත්තු ඔයා ගැන මට සතුටුයි මලේ . .. ජය

    ReplyDelete
  67. හැම තාත්තම වගේ දරුවන්ට අදරේ නොපෙන්නා ඉන්න එපා රත්තරන් අය්යේ.. මට හුගක් වෙලාවට හිතෙනවා තාත්තේ මං ඔයාට අදරෙයි කියලා පොඩි කාලේ වගේ අතේ එල්ලෙන්න, එත් මාව හැදුනේ එහෙම නෙවී.. එ නිසා තාත්ත වගේම මල්ලී මමයි දෙන්නත් ආදරේ හිර කරන් ලත වෙනවා.. හිතෙන කොයිම මොහොතක උනත් ඔඩොක්කුවට පැනල මූන බදාගන නාහෙ හපාගෙන ආදරෙයි කියන්න එයාට අවස්තාව දෙන්න මගේ අය්යේ, කඳුලු අස්සෙන් බලාගන මේ ලියන්නේ.. තාත්තට මං හුගාක් අදරෙයි. එත් එක කියන්න මට හිත හය්ය නෑ... විරුල්ට එහෙම වෙන්න දෙන්න එපා,
    විරුල් පුතා හරිම වසනවන්තයි.. සුබම සුබ අනාගතයක් වේවා.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails