Thursday, December 10, 2009

සිරිකත පරද වන රූ සපුවකි ඇයට . . . . !



මමයි මගේ බිරිඳයි දෙන්නා ම ලංකාවේ නැටුම් කලාවට තදින් ආදරය කරන දෙන්නෙක්. මම කලින් ලිපියකත් කිව්වා වගේ සමහර වෙලාවක පිටරටක දී සමහර විජාතිකයින් අපි ශ්‍රී ලාංකිකයෝ කිව්වාම දන්නෙත් නෑ . . . නමුත් අපේ රටේ නැට්ටුවෙක්ගේ පින්තූරයක් පෙන්නුවාම අහනවා "අහ් මේ නැටුම් තියෙන රටේ ද උඹලා ඉන්නේ කියලා" අපේ නැටුම් එතරම්ම සුවිශේෂයි . . යුනික්. !! එවැනි අවස්ථාවන් වලදී අපේ ඒ ආදරයට ආඩම්බරයකයකුත් එකතු වෙන බව නොරහසක්.

අපේ රටේ මූලික නැටුම් අංග තුන වූ උඩරට, පහත රට හා සබරගමු නර්තන ශෛලීන්ට අමතරව එදිනෙදා ජන ජීවිතය හා බැඳුනු ජන සංගීතයක් හා ජන නැටුම් කලාවක් ද තිබෙනවා. නැටුම් කලාව ගැන වැඩි විචාරයක් හෝ විවරනයක් කරන්න තරම් මගේ ඒ සම්බන්ධ දැනීමක් නැති වුනත් මට සිතෙන ආකාරයට ජන නැටුම් වල සමහර අංග මේ මූලික නැටුම් කලාවන් හා සුසංයෝග වෙලා තිබෙනවා කියා.

ජන නැටුම් වෙනමම සංස්කෘතික අංගයක් ලෙස ගත් කල (සමස්තයක් ලෙස නැටුම් කලාවම අභායට යමින් තිබෙනවා වුවත්) ලංකාවේ මූලික නැටුම් කලාවන් කෙරෙහි ඇති සැලකිල්ල හ සසඳා බලන විට ජන සංගීතයට හා ජන නැටුම් වලට නියමිත අගය කිරීමක් හෝ සැලකීමක් නෑ කියන හැඟීම මගේ නම් නිතරම කනස්සල්ලට හේතුවක්.

එයට හොඳම උදාහරනය ලෙස ජන සංගීතය හා ජන නැටුම් නඟා සිටුවන්න නිහඬ අමිල සේවාවක් කල ශ්‍රේෂ්ඨ කලාකරුවෙකුවූ ලයනල් රන්වල මහතාගේ සේවය ඔහු මිය යන තුරුම අගය කිරීමකට ලක් නොවීම. වාසනාවකට මෙන් ඔහුගේ පුත් මගේ ප්‍රියතම කලාකරුවෙකු වූ සහන් රන්වල මහතා පියාගේ අඩි පාරේ යමින් ඔහු තරම්ම නිහඬ ලෙසට නොවුනත් තරමක් සීරුමාරුවෙන්, විශාල ඉදිරි දැක්මක් සහිතව ජන සංගීතය හා ජන කලාව ශ්‍රී ලංකික අපේ හදවත් වලට ලං කිරීමේ උදාර කර්තව්‍යය කරගෙන යමින් සිටිනවා.

පුංචි කාලේ ඉඳන්ම නිවාඩු කාලයට මාව ඔවුන්ගේ ගමේ එක්ක යන්න තාත්තාගේ පුංචි අම්මා හෙවත් අපේ පුංචි ආච්චී හෝ සීයා එන එක එකල නියතයක්. පුංචි ආච්චිගේ දුව මගේ ආදරණීය ලතා නැන්දා නැටුම් ගුරුවරියක්. ඇයගේ සැමියාත් ඔහුගේ සොයුරියත්,පියාත් නැටුම් ගුරුවරු. කුමාර මාමාගේ සොයුරිය විසින් රුවන්වැල්ල මොරාවත්ත පංසලේ කලායතනයක් පවත්වාගෙන යනු ලබනවා.

නිවාඩු කාලයක ගමේ ගිය විටෙක මට අහම්බෙන් මෙන් ඔවුන්ගේ කලායතනය විසින් පැවැත්වූ වාර්ෂික කලා මහෝත්සවයකට සහභාගී වීමට හැකි වුනා. එහිදී තිබූ නැටුම් අංගයන් අතුරින් මගේ සිත් ඉතා තදින් ඇද බැඳ ගත්තේ ගිරිදේවී නැටුමයි. පුහුනුවීම් වට දෙකකුත් සංදර්ශනයේ වට දෙකකුත් නරඹා අවසන මේ ගිරිදේවී නැටුමේ කවි මට කට පාඩම් වූවා. අදින් වසර ගනනාවකට ඉහත කඩපාඩම් වූ ඒ කවි අද දින අතරින් පතර හෝ යාන්තමින් මට කටපාඩම්.

බිරිඳ විසින් ස්කෑන් කර එවූ පොතේ සඳහන් පරිදි මේ ගිරිදේවී නැටුම පහත රට නැටුම් වල කෝලම් නැටුම් සම්ප්‍රදායේ කොටසක්. ජනවහරට අනුව ගිරි දේවී යනු ගරා යකා හෙවත් දළ කුමරුන්ගේ නැගණියයි. සොයුරු දළ කුමරුන් වෙතින් කෙලෙසෙමට පත් ගිරි කුමරිය ඇතිවූ ලැජ්ජාවත් ශෝකයත් දරා ගත් නොහැකිව ගසක එල්ලී ජීවිතක්ෂයට පත් වූවාය. නැගණියගේ වියෝවින් ශෝකයට පත් දළ කුමරු ද මිය ගොස් ගරා යකා ලෙස උත්පත්තිය ලැබූ අතර මරණින් පසු ගිරි කුමරිය ගිරි දේවිය බවට පත් වූවාය. ඇතැම් තැනක සඳහන් වන්නේ ගිරි යකිනිය වූ බවකි.

යූ ටියුබ් එකට පින්සිදු වන්න මට ඒ අලංකාර නැටුම නැවත වරක් රසවිඳින්න ලැබුනා. ඉතිං ඔබට ඒ අවස්තාව ලබා නොදී ඉන්නේ ඇයි . . . ??

සෑරි සොඳට දිගු වරලස දිලෙන්නේ . . .
නෙරිය තියා ලා සේලය අඳින්නේ . . .
රනින් රිදී මුතුහර ගෙල පෙනෙන්නේ . .
ගිරි දේවි උපතය මම කියන්නේ . . .

මයුර පිළස බැඳි කොන්ඩය යස රුවට . . .
දෙපියුරු වසා රන් පටියකි ළමැද වට . . .
සිරිකත පරද වන රූ සපු වකි ඇයට . . .
ආදර වඩන ගිරි දේවිය එයි සබට . . .

ඇඳ ඇඳ සේලය ගත බබළාදෝ . . .
බැඳ බැඳ වරලස සිකි පිලු විලදෝ . . .
සොඳ බඳ ළෙලුමෙන් පියයුරු ළෙලදෝ . . .
ඉඟ ඉඟ සිහිනිඟ දෙපස නටාදෝ . . .

">

මේ කවි වල අන්තිම කොටස තුන් පාරකට ඇදලා කියන එක තමයි මට හිතෙන්නේ මේ කවි වල ඇති සුවිශෙෂිත බව. ඒ නිසා තමයි මම හිතන්නේ මගේ හිතේ ඒ කවි පදවල් රැඳුනේ. හැමදෙනාම අහල බලන්න මේ වීඩියෝ පටිය නරඹන්න "අයියෝ නැටුම්නේ. . . නැටුම් කන්නද. .. !" කියලා අතහැරලා නම් දාන්න එපා. බලලා ඉවරවෙලා කමෙන්ට් එකකුත් දාන්න අමතක නොකර . .. !!











45 comments:

  1. ඉතා අගෙයි! හිත ඇතුලට කාවදිනවා.

    ReplyDelete
  2. @Tharaka Weerasekara !
    අහ් තාරක . . . මම පෝස්ට් එක දාලා ඉවර වෙලා පස්සේ ඇමෙන්ඩ්මන්ට්ස් දාලා ඉවර කරන්න ත් කලින් ඔයා කමෙන්ට් දාලා . . . එල එල . . !!

    ReplyDelete
  3. ඒත් video එක බලන්න අමාරුයි වගේ.... (කොහොමත් මගේ අන්තර්ජාලේ අද ජංජාලේ වෙලා තියෙන්නේ) ලිපිය කියවා සෑහීමකට පත්වුනා

    ReplyDelete
  4. බොහොම අගෙයි, ස්තුතියි

    ReplyDelete
  5. @Tharaka Weerasekara!
    වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න . . මෙකෙන් බලන්න බැරි නම් යූ ටියුබ් එකෙන් "Giridevi" කියල සර්ච් කරලා හරි බලන්න . .

    ReplyDelete
  6. @mier !
    ස්තූතියි කමෙන්ට් එකට ත් මේක බැලුවටත් !

    ReplyDelete
  7. ෂා..... කලාවට හිතැති කොල්ලෙක් නේ. මම නම් නැ‍ටුම් නම් හදාරලා නෑ. ඒත් සංගීතය නම් හදාරලා තියෙනවා. නැ‍ටුම් තරඟවලට සංගීතය සපයලාත් තියෙනවා. ඕවා අද කාලේ මිනිස්සුන්ට දැනගන්න ක්‍රමයක් හදල දුන්න එක නම් පිනක් දුකා අයියේ. මොකද අද ඉන්න කොල්ලො කෙල්ලො දන්නේ සංගීත, නැ‍ටුම් කිව්වොත් අර ‍රැප් කියල හෝ රීමික්ස් කියල කියන සිංදුයි කැපිච්ච පණුවෝ වගේ දඟලන නැ‍ටුමුයි විතරනේ.

    ReplyDelete
  8. අපේ ජන නැටුම් නගා සිටුවන්න විශාල මෙහෙයක් කළ ඩබ්ලිව්. බී. මකුලොළුව මහත්තයාත් මේ ගමන් ම මතක් කළා නම් අගෙයි නේද දුකා...? මකුලොළුව පටන් ගත්ත දේ සී. ද එස්. කුලතිලක ඉදිරියට ගෙන ගියා....ජන සංගීතය ගැන කිව්වොත්, මේ දෙපළ ගුවන් විදුලියේ කරපු පර්යේෂණ ගී මට්ටමේ ඒවා අද වෙනතුරුත් කෙරිලා නැහැ...ඉන්පසු ඒක එතනින් ඉදිරියට ගෙන යාමේ ගෞරවය රෝහණ බැද්දගේ ට හිමි වෙනවා.....කොහොම නමුත් මේ සියල්ල කෙරුණා වුණත් ඒවා එතරම් ජනප්‍රිය වෙලා තිබුණේ නැහැ....ලයනල් රන්වල, ආනන්දයෙන් විශ්‍රාම අරන් කරපු වැදගත් ම කටයුත්ත තමයි මේ ජන නැටුම් සහ ජන සංගීතය ජනප්‍රිය කරවපු එක..! ඒ මහත්තයා නිසා තමයි අපේ රටේ බොහෝ දෙනා මෙහෙම කලාවක් අපට තියෙනවා කියලා දැන ගත්තේ....

    මේ ගැන සටහනක් තැබීම ඉතා ම වටිනා දෙයක්..! දැන් මේ සටහන බලන අපේ නංගිලා මල්ලිලා මේ මොනවාද කියලා හොයලා බලන්න උනන්දු වේවි නේ....

    ReplyDelete
  9. දුකා මේ පොස්ට් එකට ඉතාමත් ස්තුතිය්.
    එකතු කිරීම කිහිපයක් කළ යුතු මයි. සිංහල සංගීතයක් නිෂ්පාදනය කිරීම ආරම්භවෙන්නේ දේවාර් සුරියසේන කරපු පර්යේෂණ වලින්. ඊට පස්සෙ ඩබ්. බී මකුලොලුව මහත්තයා 1950-60 කාලයේ කරපු පර්යේෂණ හා ලිපි හා දෙපානෝ ගී නළුව ලොකු වැඩ. රංවල සර් එලියට එන්නෙත් මකුලොලුව මහත්තයාගෙන්. ඊට අමතරව වෙනම ම සී ද එස් කුලතිලක ගුවන් විදුලියේ පර්යේෂණ අංශයෙන් කරපු සින්දු ටිකයි (අහන්න නන්දා පතිරණ- මල්වනේ රෝස කැකුළු, ටී එම් නීලා- බැද්ද වටට, ටී එම් -ඔයි රයිරෙ ඔයි රාමා-මියුරු ගී එකේ තියෙනවා), රෝහණ බැද්දගේ මධුර ජවනිකා වගේ නාට්‍ය වලට හා පස්සෙ කරපු 'රාජා හෝ මංගලියා' ගීතය ඇතුලත් ගී සංග්‍රහයයි තමා රංවල සර්ට පාර කපන්නේ.
    මේ අය මතක් කරන්නේ අමතක වෙනවාට අකමැති නිසා. ඒත් එක්කම ඔය ඔක්කොමල්ලා වගේම තමාගේම ගීතධාරාවක් හදපු සුනිල් සාන්ත, මේත් එක්කම මතක් කරනවා (උදා: හමුල් මරු නම් සීගිරි ගීය )

    ReplyDelete
  10. @C0dE | කෝඩ්!
    ඔව් මම ඇත්තෙන්ම කලාවට හිතැත්තෙක්. ඒ වගේම කලාවට හිතැත්තෝ ගොඩාක් ඉන්න බව මම දන්නවා. ඒ නිසාමයි මගේ මේ උත්සාහය එවැන්නෝ නින්දෙන් කූද්දලා අරගෙන යමක් කල හැකි අය බවට පත් කරන්න ට්‍රයි එකක් දීලා බැලීම.

    ReplyDelete
  11. හෂිත සචී . . .
    හරිම අගෙයි මගේ මේ බ්ලොග් පෝස්ට් එක හරහා ජන සංගීතයේ ඇරඹුම, විකාශනය හා එහි නිම් වළළු ගැන කතිකාවක් ගොඩ නැගෙන එක ගැන.

    ඒ අතරෙම මට සමාවෙන්න දේවාර් සුරියසේන, ඩබ්. බී මකුලොලුව, සී ද එස් කුලතිලක, සුනිල් සාන්ත මහත්වරුන්ගේ අමිල සේවාවන් ගැන ඇති මගේ අල්ප දැනීම ගැනත්.

    මම නිතරම කියනවාක් මෙන් ඔබ දෙපල ලාංකේය කලා ඉතිහසයේ සියළුම තොරතුරු රැගත් එක්තරා "විෂ්වකෝෂ" නැතහොත් "එන්සයික්ලොපීඩියා" දෙකක් !!

    ඉතිං අපි අරඹමු හැකි නම් ලිපි පෙලක් ඔබ දෙපලගේත් සයිබර් අවකාශයේ අනෙක් දැනුමැත්ත්න්ගේත් අපේ ජන සංගීතය හා ජන නැටුම් සම්බන්ධ අදහස් තොරතුරු හුවමාරු කර ගැනීමට. !!!

    ReplyDelete
  12. වීඩියෝ එක බලන්න බෑනේ මචෝ.
    පොස්ත් එකනම් එල.
    /නිශාන්ත

    ReplyDelete
  13. @නිශාන්ත අනුරුද්ධ!
    වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න . . මෙකෙන් බලන්න බැරි නම් යූ ටියුබ් එකෙන් "Giridevi" කියල සර්ච් කරලා හරි බලන්න . .

    ReplyDelete
  14. ජන නැටුම් අද කාලේ ඉතිං නටන්නේ පාසැල් කළා උලෙලවල් වලදි විත‍රනේ.. දැන් දැන් කළා උලෙලවල් උනත් මොඩ් වෙන එකේ ටික කාලෙකින් ඒවත් නැති වෙලා යයි...මං හිතන විදියට ගොවිතැන ටික ටික අඩුවෙලා යෑම තමයි මේකට මුල.. මොකද ඉස්සර ගොවිතැන් අහවර කරලා කමතේ තමයි නැටුම් එතකොට සොකරි.. වගේ නාටක නටන්න වෙන්කරගත්තේ... ඒත් දැන් ගොවිතැනත් නූතනයට ගැලපෙන විදියට වෙනස් වීම තුල මිනිස්සු එක් රැස් වීමත් අඩුවෙලා.. සිංහලුන් කියන්නේ අතිශය කළාකාමී ජනකොට්ඨාශයක්.. ඒත් දැන් එක ටිකෙන් ටික ඒ සියල්ල යටපත් වෙනවා.. සහන් රංවල ලා උනත් ටීවී වලට ගේන්නේ අවුරුදු කාලෙට විතරයි.. අනිත් දවස් වලට ඉන්නවද නැද්ද නැහැ.. මට මතකයි වතාවක් ලයනල් රංවල මහත්තයා අපේ ස්කෝලෙට ආවා අපේ සාහිත්‍ය සංගමේන් පවත්වපු වැඩමුළුවකට..

    ඇත්තටම මේ ලිපිය ලිව්වට දුකා අයියට ස්තූතියි.. අවුරුදු 12 ක් විතර උඩරට නැටුම් නැටුව මම මං හිතන්නේ අවුරුදු 4කට විතර පස්සෙයි ආයෙමත් ශ්‍රි ලාංකික නැටුම් ගැන මතක් කලේ..

    ReplyDelete
  15. @malee_msg !
    අහ් . . . මලී අවුරුදු 12 ක්ම නැටුවද? දැං නටන්නේ නැද්ද???

    විහිළුවක් නෙමෙයි ඔයයි මායි මගේ බිරිඳයි එකතු වෙලා තව තව නැටුම් වලට කැමති කට්ටියත් හවුල් කරගෙන හවුලේ නැටුම් බ්ලොග් එකක් පටන් ගමුද . . . ??? මොකෝ කියන්නේ . . ? අපි වගෙම නැටුම් වලට කැමති ඒ ගැන දන්නා අය ඉඳීවීනේ ඕන තරම් . . .!!

    ReplyDelete
  16. මචන් මේ උපුටා ගත්තු කොටස් තියෙන පොතේ නමත් දාන්න පුලුවන් ද?

    ReplyDelete
  17. අගය කල යුතුම ඉදිරිපත් කිරීමක්. නැටුම් කලාව පිළිබඳ දැනුම මා තුල අවම වූවද ඔබගේ ඉදිරිපත් කිරීම රසවිදීමට බාධාවක් වන තරම් නොවන බැවින් එය විද ගන්නට අවස්ථාව සලසා දුන් ඔබට තුති. සොකරි බැලීමටද අවස්ථාවක් සහ ඒ පිළිබද පැහැදිලි කිරිමකුත් තිබුනානම් පංකාදුයි.

    ReplyDelete
  18. @Charith Weerakkody !
    ඒ පොතේ විස්තර මම හෙට දාන්නම් මචං . .

    ReplyDelete
  19. @මාරයාගේ හෝරාව !
    සොකරි පිලිබඳවත් අනාගතයේදී යම් කිසිවක් ලියන්නට බලාපොරොත්තුවක් ඇත. වීඩියෝ දර්ශනයක් ද සමඟින් ලිපියක් පල කලොත් වඩාත් සාර්ථක බැවින් ටික කාලයක් ලබා දෙන්න වීඩියෝ දර්ශනයක් සොයා ගන්නා තුරු.

    ReplyDelete
  20. @දුකා

    හොඳ උත්සාහයක් අයියේ.

    ReplyDelete
  21. Dear Dukaa Mama,
    Thank you for posting that dance. I enjoyed it a lot.

    ReplyDelete
  22. excellent dukaa. as i always say i dont have much knowledge about these stuff. but i really love to enjoy them.
    (and my sympathy goes to Sahan for not calling his team to Italy.)

    ReplyDelete
  23. දුකා මට ඉතාමත් සතුටුයි. අපේ දේවල්වලට (මම කැමති දේවල්වලට) කැමති තරුණ අය ඉන්න එක ගැන. මමත් මේ දේවල් ශාස්ත්‍රීයව හදාරපු කෙනෙක් නෙවේ. ඒත් මම තැනින් තැන දැකල තැනින් තැන කියවල තියෙනවා.
    මම 'කපා ඔපමට්ටම් නො කළ' ගිරිදේවියගේ කවි සහ නැටුම්වලට වඩාත් කැමතියි. මට වරක් අදහසක් ආවා එවැනි 'රෝ' ගායනා එකතු කිරීමේ ව්‍යාපෘතියක් කළ යුතුයි කියල. නවීන තාක්ෂණය පාව්ච්චි කරමින්. මම කීපදෙනෙකුට මගේ අදහස කිව්වත් මගේ 'ෆ්‍රීකුවන්සි' එකේ වැඩකරන කෙනෙක් හමු වුණේ නෑ. මකුලොළුව මහත්මයා එAව එකතු කරල තියෙන බව ඒ අය කිව්වා. ඒත් මකුලොළුව මහත්මයාගේ එකතුව අපට පරිශීලනය කරන්න ලබාගත හැකි විදියක් මම දන්නේ නෑ. ඒවා ඇත්තේ පරණ ටේප්වල වෙන්න ඇති. කොපි කරන්න කොපි කරන්න හඞ තත්වය බාල වෙන.
    තවත් මම අප්‍රමාණ ලෙස කැමති ශෘංගාර කවි පොත් දෙකක් තමයි කව්සිළුමිණ හා ගීතගෝවින්දය.

    ReplyDelete
  24. දැන් නටන්නේ නැති බව මාව දකින අය දන්නවා.. නටලා නටලා නවත්තපු එකේ ප්‍රතිඵල මම දැන් උපරිමව භුක්ති විදිනවා.. අම්මා මාව නැටුම් පන්ති එක්ක ගියේ මම ස්කෝලේ යන්නත් කලින්.. 6 වසරෙන් පස්සේ පංති නොයා ස්කෝලෙන් ඉගෙන ගත්තා.. හැම කළා උලෙලකම වගේ මොනා හරි එකකට හිටියා.. හැබැයි කියන්න දුකයි 9 වසරෙන් පස්සේ මට නැටුම් පොතක් තිබ්බේ නෑ.. ඒ නිසා විදිමත්‍ ලේඛණයක් කරන්න මට අවශ්‍ය දේවල් නෑ.. හැබැයි ඔයාලා පටන් ගන්න.. මට පුළුවන් වෙයි පුස්ථකාල ආශ්‍රයෙන් විස්තර හොයලා යමක් එකතු කරන්න.

    ReplyDelete
  25. @ එරන්දතී !
    Thank you Erandi for your commnet.
    I knew that you will like it. And hopefully one day we can see that you are performing the Girideve Dance, aren’t we???

    ReplyDelete
  26. @Charith Weerakkody !

    අර පොතේ නමයි ලියපු කෙනාගේ නමයි මෙන්න . . සමාවෙන්න ඒක ඊයේ දෙන්න බැරිවුනු එකට.

    ප්‍රායෝගික පහතරට නර්තනය - 1 ජයසේන කෝට්ටගොඩ

    ReplyDelete
  27. @Samara !

    සමර මහත්මයා මටත් හරිම සතුටුයි ඔබ තුමා මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාන්න තරම් කාරුනික වීම ගැන.

    මමත් නැටුම් වලට ගොඩක් කැමති කෙනෙක් මිසක වැඩිදුර හදාරපු කෙනෙක් නෙමෙයි. මගේ නම් ලොකු අදහසක් තියෙනවා නැටුම් කලාව ජන සංගීතය ජන නැටුම් ගැන කුමක් හෝ දෙයක් කල යුතුයි කියා. මලී නගා ගෙන් ඇසූ ලෙස මට හිතෙනවා හවුල් බ්ලොග් අඩවියක් වත් අරඹන්න එවිට හැමෝටම තමන්ගේ ලිපි පලකල හැකියි. ඒ ගැන යමක් පටන් ගත් විට ඔබ තුමාට දැනුම් දෙන්නම් . . .

    ඔබ වැනි කෙනෙකුගේ දායකත්වය ලැබ එය සාර්ථකව පවත්වාගෙන යා හැකියි කියා මට සිතෙනවා . . !!

    ReplyDelete
  28. @Il mondo di una povera pazza !
    Yaah Rangi even I do not have much knowledge about dancing. But as u mentioned I too like to enjoy them.

    Yes since Sahan’s team is too big team; it is very difficult to organize shows for them abroad.

    ReplyDelete
  29. @malee_msg !
    හරි මලී. මම ලිෂාන් එක්කත් කතා කලා මේ ගැන. ඔහුත් කැමතියි වැඩේට සම්බන්ධ වෙන්න. අපි හදිස්සි නොවී මේ ගැන කතා බස් කරලා හොඳ විදිහකට වැඩේ පටන් ගමු.

    "දැන් නටන්නේ නැති බව මාව දකින අය දන්නවා" මට මැවිලා පේන්නේ බැරල් එකක් වගේ මලී කෙනෙක්ව. හික්ස්

    ReplyDelete
  30. අයියානායක දෙවියන්ගේ ආරක්ෂාවයි දුකෝ, මම නැටුම් කලාව මුලික දැනුමක් නැතුවත් නර්තනයත් බෙර වාදනයත් කරනවා, ඇත්තටම ආඩම්බරයි වගේම සතුටුයි. මාත් ටික ටික හෝ හැකි උදව්වක් කරන්නම් දුකෝ

    ReplyDelete
  31. හරි හරි අපෙනුත් සුභ පෑතුම් උබේ නෑටුම් වෑඩේට

    ReplyDelete
  32. Thilini JasinArachchiDecember 14, 2009 at 11:07 AM

    ඇත්තමයි මේක බැලුවම මට හරි සතුටක් දැනුනා...දුකා අයියා හෙමින් හෙමින් මාව අතිතයට අරගෙන ගියා....
    ගිරි දේවි නැටුම හරිම දැකුම්කලු රන්ගනයක්....
    මම හිතන්නේ අපේ පාසලේ අක්ක කෙනෙක් මේ රන්ගනය අතිවිශිෂ්ට විදි‍යට රග දැක්කුවා...රන්ගනයේ හැකියාව නිසාත් මේ නැටුමටම සරිලන අගපසගක් ඇයට හිමිවි තිබිම නිසාද මන්ද ගිරිදේවි නැටුම එදා මගේ හිතේ අලන්කාරයක් ඇති කලා
    ඉතින් මේකේ තියෙන රසාස්වාදය නිසාම මට මේක පද කඩින් කඩ මතකයේ රැදිලා තිබුනා..
    බොහොම ස්තුතියි දුකා අයියේ ඔයා හැම පැත්තෙම ඔයාගේ රසිකයන්ට රසවිදින්න යම් දෙයක් ලබාදිම ගැන...............
    බුදු සරනයි..

    ReplyDelete
  33. @~බිன்ku~ !
    තැන්කූ බීන්කු මලයෝ . . . .

    @NUWAN"s lane !
    තැන්කූ තැන්කූ නුවන් . . . .

    ReplyDelete
  34. @Thilini JasinArachchi !
    ඔව් තිලිණි . . මම කිව්වේ මමත් ඒ නැටුම දැකලා හරියට හිත ඇදිලා ගියා . . හරිම ලස්සන නැටුමක් . . .

    බලමු පුලු පුලුවන් විදිහට මේක බලන අයට උසස් රසවිඳනයක් ලබා ගන්න දෙන්න පුලුවන් දෙයක් දෙන්න . . . ස්තූතියි

    ReplyDelete
  35. බොහොම අපූරුයි දුකා.. මමත් කාලයක් උඩරට නැට්ටුවෙක්. මේක දකිනකොට වෙලාවකට හිතෙනව නටන එක නැවැත්තුවෙ අපරාදෙ කියල..

    ReplyDelete
  36. @නොදරුවා!
    අපරාදේ මචං නැවැත්තුවේ . . . ආයේ පාරක් හිතලා බලපන් කොහොම හරි පටන් ගන්න නටන එක . . .

    ReplyDelete
  37. වටින කියන ලිපි පල කරනවට ස්තුතියි දුකා අයියා.මමත් වෑඩිය නෑටුම් ගෑන දන්නෙ නම් නෑ.දුකා අයියා ගිරි දෙවි නෑටුමේ උත්පත්ති කතාවේ ටිකක් කියල තියෙනවනේ..මට හිතුන මම කියවල තියෙන විදියට මුලු කතාවම කිව්වොත් කට්ටිය තවත් ආසා වෙවි කියලා...ඔන්න කිව්වට කමක් නෑද්ද අයියේ??? කට්ටිය කතාව අහන්න ආසයි නම් reply එකක් දාන්නකො

    ReplyDelete
  38. @Asta !
    ලියන්න ලියන්න . .අපි හරිම ආසාවෙන් ඉන්නවා ඒ විස්තර දැන ගන්න . .. අනෙක අපේ තුන්පත් රටා බ්ලොග් එකට හවුල් වෙන්නකෝ අපිත් එක්ක මේ අදහස් ලෝකෙම ඉන්න ලාංකීය නැටුමට ජන සංගීතයට ජන නැටුමට ආදරය කරන අයට ඒ දැනුම බෙදා දෙන්න . ..

    ReplyDelete
  39. හරිම ලස්සනයි...

    ReplyDelete
  40. ලස්සනයි.. ස්තූතියි අයියේ පරණ මතක අලුත් කලාට... :)

    ReplyDelete
  41. http://www.youtube.com/watch?v=FIYvkty9pCM&feature=related

    ReplyDelete
  42. නියම පෝස්ට් එකක් අයියේ. සෑහෙන්න වටිනවා මේ වගේ ඒවා ලියන එක.. බොහොම ස්තූතියි මේ විදියට හරි මේවා සංරක්ෂණය කරන එකට..

    ReplyDelete
  43. දුකා එතකොට උඹ මට පුතා කියහං මොකද උඹ මට මාමා වෙනවා

    ReplyDelete
  44. මෑත කාලයේදී කැලණිය පුරවරයේ ඇරඹුණු 'ශෝභා' නමැති සංගීත කණ්ඩායමේ තබලා වාදනය කරන මා හට අප සංගීත කණ්ඩායමේ ප්‍රධානියාගෙන් දුරකථන ඇමතුමක් හදිසියේම අද සවස ලැබුණි.ඔහු පවසා සිටියේ අප මිට දින කිහිපයකට පෙර ජන සංගීතය ඇසුරින් නිර්මාණය වූ ගීත කිහිපයක පුහුණුවීම් වල වීඩියෝ පටයක් මුහුණු පොත ඔස්සේ මුදා හළ බවත් එම වීඩියෝ පටයට හොඳ ප්‍රතිචාර රැසක් ලැබී ඇති බවයි.අප එවැනි දේවල් වැඩිපුර ස්මතු කරමු' කියූ සැනින් ඒ සමගම මාහට මතකයට නැගුනේ ගිරි දේවී උපත කවි පද පෙළයි.මෙම සටහනින් ගිරි දේවිය ගැන මා උගත් දේ බොහොමයි අප සංගීත නිර්මාණයන්ට මෙය හොද අත්වැලක් වෙයි.බොහොම ස්තුතියි ඔබට

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails