ඊයේ ෆේස්බුක් එකේදි තමයි ඔය උඩ තියෙන ෆොටෝ එක දැක්කේ.
ඒ වෙලාවේ ඉඳන් මම කල්පනා කලේ මේ කියන කතාව කොයි තරම් ඇත්තක් වෙන්න පුලුවන්ද කියලයි.
අපි සමහර අය ගොඩක් වෙලාවට "නෑ කර්මය, ඉරණම කියල එකක් නෑ ඒ ඕන එකක් කෙනෙක්ගේ දැඩි අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් වෙනස් කරන්න පුලුවන්" කියලා විස්වාස කලාට, එහෙම විස්වාස කරගෙන වැඩ කලාට . . .
හෙම්බත් උනු වෙලාවක හිතෙන්න පුලුවන් "ඇත්ත තමයි අපිට පේන්නේ නැති උනාට කරුමේ කියලා දෙයක් තියෙන්නත් පුලුවන්" කියන එක.
ඒත් සමාජයේ දේශපාලකයෝ කරන මහජන මුදල් කාබාසිනියා කිරීම නිසා බහුතර මහජනතාවට දුක් විඳින්න ලැබීම අපේ සමාජයේ ගොඩක් දෙනෙක් "මේක අපේ කරුමේ. ඒ අයට හොරකම් කරලා හරි සැප විඳින්න වාසනාව තියෙනවා. අපිට සාධාරණ විදිහට ජීවත් වෙලාවත් දුකක් කරදරයක් අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන්න වාසනාවක් නෑ අපේ කරුමේ නිසා" කියලා කියන එක මේ කිව්ව කරුමෙට සම්බන්ධ කරන්න බෑ.
මොකද ඒ කරුමේ කියලා කියන දේ තනිකරම අසාධරණේට විරුද්ධ වෙන්න, තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සිටින්න කොන්ද පන නැති කම නිසා මිසක් පූර්ව කරුමයක් නිසා නෙමෙයි කියන එකයි මගේ හැඟීම.
කරුමේ කියන්නේ අනිත් කරුනු එක්ක දිගට හිතාගෙන ගියාම එහෙම කොන්ද පනනැති වීමත් කරුමේ තමයි කියලා ඒ තර්කයටම යටත් වෙන්න සිදුවීම.
මෙහෙම කියමු . .
සමහර මිනිස්සුන්ගේ ජීවිත දිහා ඒ අයට සිදුවෙන සමහර සිදුවීම් දිහා බැලුවාම හිතෙනවා මෙහෙම වෙන්නේ නම් ඒ අයගේ කරුමේ නිසාම තමයි කියලා.
කිසිම දුකක් කරදරයක් නැතුව සතුටින් ඉන්න පවුලකට එක පාරටම කාට හරි අසනීප වෙලා, කවුරු හරි මැරිලා, මුලු පවුලම සීසීකඩ ගිහින් අපා දුක් විඳින්න වෙන විදිහට උනාම . . .
හොඳ නිරෝගීව ඉන්න කෙනෙක් එකපාරටම අසනීපයක් වෙලා වැහැරිලා ගියාම.
බොහෝම සතුටින් ඉන්න කෙනෙක් එක පාරටම පිස්සෙක් වෙලා මහ පාරේ කියෝ කියෝ ඇවිදින්න උනාම
මේ වගේ වෙලාවල් වලදී අපිට නිතරම කියවෙන්නේ ඒ අයගේ නම් පෙර කරුමයක් වෙන්න ඇති . . නැතිනම් කොහොමද එහෙම වෙන්නේ කියලා.
කරුමේ කියන එක කෙනෙක්ගේ දැඩි අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් වෙනස් කරන්න පුලුවන් කියල කියපු එක මතක් උනාම මට මතක් වෙන්නේ මගේ ජීවිතේ එක කාලයක් . .
පුංචිම කාලේ ඉඳන් මගේ හිතට වද දුන්නු හැඟීමක් තමයි මට කවුරුත් ආදරේ නෑ කියන එක.
මගේ නංගියා ඉපදෙනකොට මට වයස තුනයි. ඒ කාලේ මම ආදරේ නෑ කියලා කොයි තරම් දුකෙන් ඉන්න ඇතිද කියලා නංගි ගැන ලියපු පෝස්ට් එකේ කිව්වනේ.
පස්සේ තේරෙන කාලේත් මට හිතුනේ මට කවුරුත් ආදරේ නෑ කියලම තමා.
ආදරේ පෙන්නන්න තාත්තා ගෙදර නෑ. ගෙදර එන්නේ මාස කීපෙකට සැරයක්. ආවත් එයාගේ දේසපාලන වැඩ අරව මෙව්වට ගිහින් ගෙදර එන වෙලාවට නංගී තමයි තාත්තගේ සම්පූර්ණ ආදරේ අයිති කර ගන්නේ.
අම්මත් ආදරේ පෙන්නුවේ නංගිට විතරයි.
අම්මාගෙන් නිතර බැනුම් අහලා මම ගොලු හදවතක් තියෙන කෙනෙක් වෙලා හිටියනේ සෑහෙන කාලයක්
අක්කට ආදරේ කරන්න කොල්ලෙක් හිටියා.
අක්කා මට ආදරේ පෙන්නුවේ තනියෙම ගෙයින් එලියට යන්න දෙන්නේ නැති නිසා කියලයි මම හිතුවේ.
පාසැලේ යාලුවන්ගේ හරි ගෙවල් පැත්තේ යාලුවන්ගේ හරි ආදරේ ලබන්න තරම් මම විශේෂ ක්‍රීඩා කෞශල්‍යක් හරි ඉගෙනීමේ දක්ෂකමක් හරි තිබුනු කෙනෙකුත් නෙමේ.
දහම් පාසැලේ, අක්කගේ හිතවත්කම් නිසා, ටියුෂන් ක්ලාස් කාලෙන් කාලෙට එකේ එක එක ආදර පැටලිලි තිබ්බට ඒවා හරියටම ආදරේමද කියලා තේරුම් ගන්න තරම් මෝරලා තිබ්බේ නෑ.
මට මතකයි මම ඒ කාලේ ඩයරි වල ගොඩක් පිටුවල උඩින්ම එක එක අකුරින් ලිව්වේ එකම දෙයක් . . ඒක චිත්‍රකතා පත්තරේකින් අහුල ගත්තු එකක්.
"ජීවිතය මම ඔබෙන් ඉල්ලුවේ ආදරය පමනි, අවාසනාවට මා නොලැබුවේද එපමනි !"
ඒක මම ඒ කාලේ හිතුවේ මගේ කරුමේ කියලයි. කිසි කෙනෙක් මට ආදරේ නැත්තේ මගේ කරුමේ නිසා කියලයි මම හිතුවේ.
පස්සේ කාලෙක තේරුම් ගත්තාම ආදරේ නිකම් ලබන්න බෑ ඒක හරියට ඔංචිල්ලාවක් වගේ. උඹ ආදරේ කරන්න ඕන එතකොට තමයි ආදරේ ලැබෙන්නේ කියලා.
විශේෂයෙන් මාව චාටර් වෙන්න පිච්චුනු වෙලාවේ මම හිතවත් කමින් උන්නු යාලුවෝ බලන්න වත් නාවට නිතර රන්ඩු වෙලා ඒ තරම් හිතවත්කමක් නොතිබුනු යාලුවෝ ඉස්පිරිතාලේ ඇවිත් උදව් කරද්දී තමයි තේරුනේ ආදරේ ලැබෙන්න නම් ආදරේ දෙන්න ඕන කියලා.
ඒත් එහෙම හිතලා ජීවත් වෙන්න පටන් ගත්තාම මම හිතුවේ ආදරේ කෙසේවෙතත් සතුට හරි මගේ ලඟ තියේවී කියලා.
හැමෝටම ආදරෙන් සලකන එකෙන් නැති කරදර විඳින්න තමයි උනේ. අර "හවුලේ කැඳත් එපා" පෝස්ට් එකේ කිව්ව සීන් එකෙන් පස්සේ යාලුවන්ගේ පිල් බෙදිල්ල නිසා හෙන කාලයක් දුක් විඳින්න උනා.
මට මතකයි ඒ කාලේ මම මගේ නෝට් බුක් වල ලිව්වේ අර යෞවන කාලේ ලියපු එකේ පොඩ්ඩක් වෙනස් කරපු වර්ෂන් එක.
"ජීවිතය මා ඔබෙන් ඉල්ලුවේ සතුට පමනි ! අවාසනාවට මා නොලැබුවේද එපමනකි!!!"
මොකද්ද මම කිය කිය හිටියේ . .
මේ මගුල් අතුරු කතා නිසා ඒකත් අමතක උනා.
අහ් කර්මය කියන එක කෙනෙක්ගේ මහන්සියෙන් වෙනස් කරන්න පුලුවන් කියලා හිතුවට හෙම්බත් උනු වෙලාවක එහෙම කෙනෙක්ටත් හිතෙන්න පුලුවන් "මේක මගේ කරුමේ" කියලා.
සමහර මිනිස්සුන්ගේ ජීවිත දිහා උඩින් බැලුවාම ඒ අය පුදුම සතුටකින් ජීවත් වෙන බව පේනවා. ඒ අය ඒ සතුටට උරුම කම් තියෙන අය නම් අපිත් සතුටින් ඒ අයගේ සතුටට හවුල් වෙලා සුභ පතනවා.
සමහර සතුටින් ඉන්නවා කියලා අපි හිතන නමුත් ඇත්තෙන්ම අසතුටෙන් ජීවත් වෙන මනුස්සයින්ගේ ජීවිත ඇතුලට එබෙන්න අවස්ථාවක් ආවොත් අපිටම පුදුම හෙතෙනවා . .
"දෙයියනේ මේ මනුස්සයට දුකෙන් ඉන්න කිසිම හේතුවක් නෑනේ . . ජීවිතේ හැමදේම සිද්ධ වෙලා තියෙන්නේ මේ මනුස්සයගේ ජීවිතේ සතූටින් ඉන්න පුලුවන් විදිහට නේ" කියලා . .
ඒත් ඒ මනුස්සයා අසතුටෙන් . . . ඒ සතුටින් ඉන්න පුලුවන් කිසිම දේකින් ඒ මනුස්සයට ඒ මනුස්සයා ජීවිතයෙන් ඉල්ලා සිටින සතුට නොලැබෙනවා නම් . . .
"ඒක උගේ පෙර ආත්මෙක ඉඳන් අරන් එන කරුමේ මිසක් වෙන මොකද්ද" කියලා අපි හිත හදාගනන්වා මිසක් අපිට කරන්න පුලුවන් දෙයක් තියෙනවද?
එහෙම අයට මම නම් හිතින් කියන්නේ "කරන්න දෙයක් නෑ මනුස්සයෝ උඹ ගැන දුකයි තමයි . . ඒත් උඹේ කරුමේ තව ආත්ම වලට ගෙනියන්නේ නැතුව මේ ආත්මෙදිම ගෙවලා ඉවර කරපන්" කියලයි.
කරුමේ කියන එක මහන්සියෙන් වෙනස් කරන්න පුලුවන් කියලා හිතන මටත් එහෙම හිතෙන එකේ . . හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්