Wednesday, January 25, 2012

යාලුවෝ මාලුවෝ යාලුවෝ . . .



හවුල් යාලු මිතුරු කතා බහකදී බීට්ල් කිව්ව කතාවක් දැක්ක ගමන් මට මතක් උනේ ඉස්කෝලේ යන කාලේ මට වෙච්ච් සිදුවීමක්.

ඒ කාලේ මගේ සිංහල අත් අකුරු හරිම ලස්සනයි. භාෂා දින අත් අකුරු තරඟවලට හිටන් ඉඳලා තියෙනවා.

අට වසරෙදි ටීච කෙනෙක් නැති දවසකදී මගේ හොඳම යාලුවෙක් ඌගේ කෙල්ලට මගේ අත් අකුරු වලින් සහ අදහස් වලින් ලියුමක් ලියලා දෙන්න කිව්වා.

මම ලියලා දුන්නා.

අපි ලව් ලෙටර් එක ලියන අතරේ පංතියේ හිටපු තවත් සෙට් එකක් කුනුහරුප ලියුමක් ලිව්වා.

කවුද පාවා දෙන්නෙක් ඊලඟට එන්න හිටපු සර්ට කියලා පන්තියේ කොල්ලෝ කුනුහරුප ලියුම් ලියනවා කියලා.

සර් එක පාරටම ප්‍රිෆෙක්ට්ස්ලා ටිකක් එක්ක පන්තියට කඩන් පැන්නා.

ඔක්කෝගෙම බෑග් ඇවිස්සුවා.

අර කුනුහරුප ලියුම අරුන් කොහොම හරි හංගගෙන එත් මම යාලුවට ලියපු ලියුම මාට්ටු උනා උගේ බෑග් එකේ තිබිලා.

කාගෙද කියලා ඇහුවම යාලුවා සද්ද නැතුව හිටියා.

හොයල බලද්දී අත් අකුරු මගේ.

අපේ පන්තිවල උන් ඔක්කෝම දැනගෙන හිටියා ඒ කාලේ මට දහම් පාසැලේ කෙල්ලෙක් හිටපු බව.

ලව් එකක් කිව්වට එහෙමට එකක් නෙමේ අප්පා. නිකම් ඒක පාර්ශවික වගේ එකක්. මේ තියෙන්නේ ඒ විස්තරේ .

යාලුවා මාව පාවල දුන්නා මගේ කෙල්ලට ලියුමක් ලියන ගමන් ඌටත් ලිව්වා කියලා.

වැඩේ දුරදිග ගිහින් වයිස් ප්‍රින්සිපල් ලඟට ගියා.

වයිස් ප්‍රින්සිපල්ගේ කාමරේට අරගෙන මුලින් ප්‍රශ්න කලේ යාලුවගන්. ඌට අම්මව එක්ක එන්න කිව්වා.

මාව ඉතිං ගිඩි ගිඩි ගාල ගැහෙනවා.

වයිස් ප්‍රින්සිපල් අපේ සීයගේ යාලුවෙක්. අම්මවත් දන්නවා.

වයිස් ප්‍රින්සිපල් මගෙන් මොකුත් ඇහුවේ නෑ . . .

ඔෆිස් කාමරේ එලියේ සම්මාන දාන වීදුරු කබඩ් එක ලඟදී අනිත් පැත්ත හැරිලා කබඩ් එක අල්ල ගන්න කිව්වා.

ඔෆිස් එකේ ඔක්කෝම ඉස්සරහා වේවැලෙන් දුන්නා මගේ පස්ස පැත්තට තුනක් හෝ හතරක්.

ගහන ගමන් කිව්වේ "මේ ගහන්නේ තමන්ගේ කෙල්ලට විතරක් නොලියා අනුන්ගේ කෙල්ලන්ට ලියුම ලිව්වට කියලා"

ඒ තමයි ඉස්කෝලේ ගත කරපු අවුරුදු දහතුනටම මම මගේ වරදකට ගුරුවරයෙකුගෙන් වේවල් පාරක් කාපු එකම දවස.

ඉස්කෝන් අස්වෙනකම්ම ඒ යාලුවත් එක්ක මම තරහා වෙලා හිට්යේ . .

පස්සේ කාලෙක අහම්බෙන් මෙහේදිම (ඩුබායි වලදීම) ඌව සෙට් වෙලා ඒ කාලේ වෙච්චි සීන් එක මතක් කර කර අපි හිනා උනා.

අවවාදය: මිතුරු ඇසුරක දීර්ඝකාලීන / සදාකාලික හෝ කෙටි කාලීන පැවැත්මේ එකම සූත්‍රය / රහස විස්වාසයයි.

Wednesday, January 11, 2012

රෑට ඉර පෑව්වොත් . . . .????



අපි මෙහෙම හිතමු, ඔබ මාව අඳුන්නේ නෑ . . . ඒත් මම උමතු වුනු ගීතයකටම ඔබත් වසඟ වෙලා . . ඒත් අපි දැකලා වත් නෑ . . ඉතිං අපි අඳුන්නේ නැති උනත් අනුන් ලියපු, අනුන් හදපු, අනුන් ගයපු ගීයක් නිසා සදාකාලික මිත්‍රයෝ වෙන්න පුලුවන්.

රෑට ඉර පෑව්වොත් කොහොමට තියෙයිද?

ඉස්සර අපි පුංචි කාලේ නම් අපිට රෑට ඉර පෑව්වා.

ඒ බව මම මෙන්න මේ පෝස්ට් එකෙන් කිව්වා.

මේ පෝස්ට් එක තමා මම හිතන්නේ මගේ බ්ලොග් එකේ වැඩිම කොමෙන්ටු ලැබුනු පෝස්ට් එක.

බොරු නෙමේ ඇත්තමයි. රෑට රේඩියෝ එක ලඟ එකතු උනාම අපිට දැනුනේ
රෑට ඉර පෑව්වා වගේ එලියක්.

ඒ රසවින්දනය කියන එලිය මුලු ජීවිතයම එලිය කරන්න බලපෑවා කියලා ලෝබ නැතුව කියන්න පුලුවන්.

පුංචි කාලේ රෑ වෙලා පායපු ඉර එලිය වගේ එලියක් ඊයේ අත්දුටුවා.

. . . . . .

කාලෙක ඉඳන් යාලු මිත්තරයෝ කීප දෙනෙක් මේ රෑට පායන
ඉර එලිය ගැන කිව්වත් හිතේ නිදහසක් නැති කමින් ඒ එලිය දකින එක දවස්න් දවස කල් ගියා.

ඒත් ඊයේ රෑ . . . ඔව් ඊයේ රෑ . . . ඇඟේ හීගඩු නංවාගෙන . . .. (දුකකටද, සතුටටද මොන මගුලකටලද මන්දා) ඇස් දෙකට උනපු කඳුලු දරාගෙන . . . පාෂාණීභූත වෙලා ඒ කිව්වේ මේ ගල් වෙලා මේ රෑ පායපු එලියේ අපූර්වත්වය වින්දා . . . !!!

ඒ වෙන කිසිම දෙයක් නෙමේ . . . දෙරණ රේඩියෝ එකෙන් කරන රෑ ඉරපාන වැඩසටහන . . . .



“විනාඩි තුනක් හතරක් වුනාට සමහර ගීත වල තියෙනවා සියවස් ගානක් හිතන්න දේවල් “

බන්දුල නානායක්කාරවසම් මහත්මයාගේ වචන තාමත් හදවතේ දෝංකාර දෙනවා . . .

වැඩි කතා ඕන නෑ . . ඔයාලත් අහලා බලන්න මේ රෑ ඉරපාන . . .

අහලා බලලා කියන්න ඒ වින්දනීය ගීත සෙනෙහස් සාගරයේ ගැඹුර කොයි තරම්ද කියලා . . .




පිස්සා පලාමල්ල අඩවියේත් ඔක්තෝම්බර් 14දින මේ වෙනුවෙන් ලිපියක් ලියලා. ඒකත් ගිහින් බලන්න . . ඒකේ තියෙනවා තව ලින්ක්ස් ටිකක් . .



Monday, January 9, 2012

දිලුම් වෙනුවෙන් අපි . . ඉලංදාරියා සහ ජෙරූෂා . . !

දිලුම් වෙනුවෙන් අපි බ්ලොග් එකට ලියපු ලිපිය මගේ බ්ලොග් එකේත් දාන්න හිතුවා මොකද මේ සද්කාරියට හවුල් වුනු අය බොහෝ දෙනෙක් මගේ බ්ලොග් අඩවියට එන බව දන්නා නිසා බැරිවෙලාවත් ඒ අයට අර ලිපිය මඟහැරුනොත් කියලා.



ඊයේ බොහෝම සතුටු දවසක්.

ගිය අවුරුද්දේ ජනවාරි 26දා ඉලන්දාරියගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් තියෙනවා ගිහින් බලපන් කියලා තිසා කිව්වේ.

එදා ගෙදර ගිය ගමන් නදීෂත් කිව්වේ ඒ පෝස්ට් එක ගැන.

පහුවදා උදේම මගේ පරන ඔෆ්ෆිස් එකේදි ජනක මල්ලිත් එක්ක කතාබහ කරලා දුමීටත් කෝල් කරලා ඉලංදාරියට අපි උදව් කරන්න ඕන කියලා මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාලා අදට අවූරුද්දකට කිට්ටුයි.

මේ කාලේ ඇතුලත කොයි තරම් දේවල් සිද්ද වුනාද?

බ්ලොග්ස් කියවන, නොකියවන හැමදෙනාම ඉලංදාරියගේ පෝස්ට් එකයි, අනිත් බ්ලොග් පෝස්ටුයි දැක්ක ගමන් ඉලංදාරියගේ එකවුන්ට් එකට සල්ලි යැව්වා.

දුමීලා (දුමී, රජීව්, දර්ෂන, කින්චා, චරිත්, කෞෂි, භානු සහ අපේ කට්ටිය සංවිධානයේ තව ගොඩක් අය ) රෑ දවල් නිදි මරාගෙන පැදුරු සාජ්ජ දැම්මා ඉලංදාරියගේ ඔපරේෂන් එකට සල්ලි හොයන්න.

ටැබූ, සුපුන්, බින්කු එකතු වෙලා පේපෑල් ගිනුමකට මුදල් එකතු කලා.

අභීත මූලිකත්වය අරගෙන සයිබර් ෆෙස්ටිවල් අවුරුදු උත්සවයක් තිබ්බා.

පුතා(වරුණ), මම, ලිෂා, ඩී, රචියා, චමිල, පැතුම් එකතු වෙලා පින්තූර පෝස්ට් කාඩ් ගැහුවා.

ඉලංදාරියගේ පාසැල් මිතුරෝ ටිකට් පොත් ගහලා බ්ලොග් මිතුරෝ හවුල් කරගෙන ඒවා විකුනලා සල්ලි එකතු කලා.

එකතු වෙන සල්ලි තැන්පත් කරන්න ප්‍රියන්ත, ඉලංදාරියා, ඩීප්ස් එකතු වෙලා ජොයින්ට් එකවුන්ට් එකක් හැදුවා.

මේ සියලුම දේ කරමින් ඉන්නා අතරතුර ඔලුවේ පොඩි ගෙඩියකට කරපු ඔපරේෂන් එකෙන් අපේ දයාබර ඉලංදාරියා මියගියා.



බ්ලොග් සහෘදයෝ බොහෝ දෙනෙක් මල ගෙදර ගියා.

ඔහුට පින් පතා පිලිකා රෝහලට පවා දාන මානාදිය දුන්නා.

එකතු කල මුදල් ගැන වැඩි දෙනාගේ අදහස උනේ ඒ මුදල් ඉලංදාරියගේම ජාතියේ කර්ණාබාධයක් තියෙන කෙනෙක් හොයලා දෙමු කියන එකයි.

ජෙරූෂා ගැන අභීතට දැනගන්න ලැබිලා ගිහින් විස්තර හොයල බලලා සත්‍යතාව පැහැදිලි කර ගත්තාට පස්සේ හැමෝම එකඟ උනා ඒ වන විට එකතු කල මුදල් අවුරුදු 9ක් උනු ජෙරූෂගේ ඔපරේෂන් එකට දෙන්න.


ඉලංදාරියා මිය ගියා කියලා නවත්වන්නේ නැතුව දුමීලා පැදුරුපාර්ටි දිගටම කරගෙන ගියා ජෙරූෂගේ ඔපරේෂන් එකට සල්ලි එකතු කරන්න.


අපේ කට්ටිය මිතුරු සංසදයේ රජීව් ප්‍රනාන්දු මහතා අභීත එදිරිසිංහ සොයුරා සමග ජෙරූෂලගේ ගෙදර ගිහින් විස්තර සොයා බලා එයින් නොනැවතී දොස්තරවරු මුණ ගැසී සාකච්ඡා කර, මුලදී Rs 23,00,000/ යැයි මිල නියම කරන ලද ශ්‍රවණ උපකරණය හා Rs 18,00,000/= ට මිල නියම කරන ලද ශ්‍රවණ උපකරණය හා සමාන බව ඔවුන් වෙතින් සහතික කරවා ගත්තා. උපකරණය මිලදී ගෙන දුන්නොත් ශල්‍යය කර්මය ඇතුළු ඉතුරු අවශ්‍යය කටයුතු රෝහලින් අය කිරීමකින් තොරව කරමින් වෛද්‍යවරයා ඒ වගකීම ගන්නා බවටත් ප්‍රතිඥ්ඥා දී තිබුනා.

ඩුබායි සහ එමීර් රාජ්‍යයේ අපේ කට්ටිය මිතුරු සංසදයේ රජීව් ප්‍රනාන්දු මහතා ජෙරූෂා දියණියගේ මවට, ජෙරූෂාගේ ශල්‍යකර්මය වෙනුවෙන් පැදුරු සාජ්ජ වලින් එකතු කල මුදල් ලබා දෙන බවට සහතික කල ලිපිය ලබා දුන් මොහොත.

මෙඩිකොන් කියල අයතනයකින් ලක්ෂ 18 (Rs 18,00,000)කට ඒ උපකරණය ලබා ගන්න ඔවුන් සහතික කරගෙන තිබුනා.


ලක්ෂ Rs 18,00,000/= න් ලක්ෂ 3ක් ජනාධිපති අරමුදලින් ලැබෙනවා කියා සහතිකයක් ලැබුනා. එතකොට ඕන කරන මුදල ලක්ෂ 15යි. (Rs 15,00,000/=)


මේ ලක්ෂ 15න් ජෙරූෂගේ පවුලේ අය මහන්සි වී ලක්ෂ 4ක මුදලක් සොයාගෙන තිබුනා.



දැන් මදි පාඩුව ලක්ෂ 11යි.


කෙලින්ම දිලුම්ගේ එකවුන්ට් එකටදාපු සල්ලි සහ පස්සේ ජොයින්ට් එකවුන්ට් එකද දාපු සල්ලි මේ ඔක්කෝම 307,000/= වෙලා තිබ්බා.


මේකෙන් Rs 20,000/= ක් ඉලංදාරියගේ අවමන්ගල්‍යය සඳහා පවුලේ අයට ලබා දුන්නා. ඉතුරු මුදල 2,87,000/=.


මුලින්ම මෙඩිකොන් ආයතනයට අත්තිකාරමක් ගෙව්වෙ මේ මුදලින් Rs 100,000/= ක් අරගෙනයි. (මේ අත්තිකාරම් මුදල තැන්පත් කරන ලද්දේ ජෙරූශාගේ දෙමව්පියන් ඔවුන් එකතු කල Rs 400,000 මුදල මෙඩිකොන් වෙත තැන්පත් කරන්නට පෙරයි. )



ඉතුරු Rs 1,87,000/= ඒ වන විට පොලිය සමග Rs 190,158/= ක් වෙලා.ඒ මුදලත් රැගෙන පසුව මෙඩිකොන් ආයතනයේ තැන්පත් කලා.




දැන් අවශ්‍ය කරන මුදල Rs 8,10,000/=


දුමීලගේ පැදුරු පාර්ටි වලින් ඒ වෙනකොට එකතු වී තිබූ Dhs 16,325 සහ මදි පාඩුව සකස් කර (ඒ වන විට රුපියල් වලින් එකතු වී තිබුනේ Rs 489750/= ) Rs 500,000/= ක් මෙඩිකොන් ආයතනයේ තැන්පත් කලා.

( එම මුදල තැන්පත් කල දිනට පසු පැවති අවසාන පැදුරු සාජ්ජයේදි (ප්‍රමාණ සමීක්ෂකවරුන්ගේ සුහද හමුව) තවත් Dhs 1930/=ක් එකතු වී පැදුරු සාජ්ජ වලින් එකතු කල මුළු මුදල Dhs 18,255ක් උනා. )


එම මුදල තැන්පත් තැන්පත් කල පසුව අවශ්‍ය කරන මුදල Rs 3,10,000/=


පැදුරු පාර්ටි වලින් එකතු කරපු Dhs18,255න් ලක්ෂ 5ක් යවන්න Dhs 16,865ක් වියදම් වෙලා තිබ්බා.



පින්තූර පෝස්ට් කාඩ් වලින් ඩුබායි වලින් එකතු කල මුදල Rs 27,900යි.
(සුරාජ්ගේ මිතුරන් - Dhs 500
මනෝජ්ගේ මිතුරන් - Dhs 300
දුමීගේ ඔෆිස් එකේ මිතුරන් - Dhs 130
= Dhs 930 x 30 [Dhs1 = Rs 30 ] --> Rs 27,900)

18,255න් 16,865ක් අඩු උනාම ඉතුරු මුදල ඩිරාහ්ම්ස් 1,390යි පින්තූර පෝස්ට් කාඩ් වල මුදල ඩිරාහ්ම්ස් 930 එකතුව 2,320 ඒ කියන්නේ (2,320 x 30 = 69,600) වෙනුවෙන් Rs 70,000/= ක් තැන්පත් කලා.



මේ රිසිට් එකේ Rs 70,000/= වෙනුවට Rs 72,100/= ක් කියලා සඳහන් වෙන්නේ ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් ගෙවපු නිසා අය කරපු අමතර මුදලට.


ඒ Rs 70,000 න් පසුව අවශ්‍ය කරන මුදල Rs 2,40,000/=


2011 සැප්තැම්බර් 15 වෙනිදා ඩුබායි වල තිබුනු ප්‍රමාන සමීක්ෂකවරුන්ගේ මධ්‍ය ගිම්හාන පැදුරු පාර්ටියේ සංගීත කටයුතු සියල්ල සිදු කලේ දුමීලගේ සංගීත කණ්ඩායමෙන්.


එහිදී අපි ඔවුන්ට වෙත ඉදිරිපත් කර සිටියා දිලුම් සහ ජෙරූෂාගේ කතාව.


එය අසා සිටි ඩුබයිහි ප්‍රමාන සමීක්ෂක ආයතනයක් හිමි අයිවන් සෝවිස් මහතා පැවසුවා "පුතාලා ඒ ඔපරේෂන් එකට මෙතනින් එකතු උනාට පස්සේ මදි ගාන කීයද? ඒ ගාන මම දෙන්නම්" කියා.


ඊයේ මමයි දුමීයි ගියා අයිවන් සෝවිස් මහත්මයාව මුන ගැහෙන්න. කෙටි කතා බහකින් ඒ මහතා පසුව මම පිලියෙල කර කලින් ඊ-මේල් මඟින් යැවූ ජෙරූෂා ව්‍යාපෘතියේ තත්ව සමාලෝචන වාර්ථාවේ පිටපත් බලා ඒ මොහොතේම අදාල අවෂ්‍ය කරන මුදල වූ Rs 2,40,000/= වෙනුවෙන් Dhs 7,686/= ක චෙක් පතක් ලබා දුන්නා.




සාරාංසයක් ලෙස ගතහොත්


ජනාධිපති අරමුදලින් ලැබෙන මුදල = Rs 300,000.00
ජෙරූෂගේ පවුලේ අය එකතු කල මුදල = Rs 400,000.00
ඉලංදාරියගේ ගිනුමට එකතු වූ මුදල = Rs 290,000.00
පැදුරු පාර්ටි වලින් එකතු වූ මුදල = Rs 542,350.00
පින්තූර පෝස්ට් කාඩ් වලින් එකතු වූ මුදල = Rs 27,900.00
අයිවන් සෝවිස් මහතා ලබා දුන් මුදල = Rs 240,000.00
මුළු එකතුව = Rs 1,800,250.00


ඉතින් ඔන්න අපි හැමෝම සද්භාවයෙන් පටන් ගත්තු වැඩේ නිමා කරන්න අපිට පුලුවන් වෙලා තියෙනවා.

අන්තර්ජාලය ඔස්සේ දැන අඳුනා ගත් මනුස්සකම් හඳුනන මිනිස් පිරිසක් රුපියල් ලක්ෂ 11ක මුදලක් එකතු කරනවා කියන්නේ අති විශාල කර්තව්‍යක්.


මේ ඉලක්ක මේ ලෙස සපුරා ගන්න පුලුවන් උනේ හැමදෙනාගේම මනුස්සකම සහ තව කෙනෙක් වෙනුවෙන් තමන්ගෙන් කෙරෙන්න ඕන යුතුකමක් ඉටු කරන්න ඕන කියන මානුෂීය හැඟීම මිසක් වෙන කිසි දෙයක් නෙමෙයි.


එහෙනම් මේ සද්කාරියට සුලුවෙන් හෝ මහා පරිමාණයෙන් හෝ දායක උනු ඔබ හැමදෙනාටම පින්.

මේ ලිපියෙනුත් මේ සමඟ අමුනා ඇති බිල්පත්, මුදල් තැනපත් සහතිකපත් ආදියෙනුත් මේ කාරිය සඳහා එකතු වුනු සියළු දෙනා ඉහල විනිවිදභාවයකින් යුතුව මේ කාරිය සිදුකල බව ඔබ සැමට සහතික වනු ඇති කියා මා සිතනවා.


කිසියම් කෙනෙකුට කුමක් හෝ පැහැදිලි කර ගත යුතු දෙයක් තිබෙනවනම් පහල කොමෙන්ට් තීරුව මඟින් හෝ, අපව පුද්ගලිකව දන්නා හඳුනන කෙනෙක් නම් දුරකථන මඟින් කර ගත හැකි බවත් දන්වන්නේ සතුටින්.

අපි ආයේ ත් මේ වගේ පුන්‍යකර්ම ව්‍යාපෘතියකින් හමුවෙමු.

Thursday, December 29, 2011

අපි ගිරවුන්ට ආදරය කරන්නෝ වෙමු . . .!

පහුගිය 9 වෙනිදා හදිසියේම ලංකාවට ගියේ සති ගානක ඉඳන් පුහුනුවීම කලත් හරියටම දවස සහතික නොකල පුතාගේ පෙර පාසැලේ වාර්ෂික ප්‍රසංගය 10 වෙනිදාට කරන්න සහතික කරගත් බව අපේ ගෙදර උන්දෑ දන්වපු නිසයි.

මගේ සොඳුරු ත්‍රස්තවාදියටයි ගෙදර අය හැමෝටමයි බොහෝම සතුටුයි ඉතිං.

කොල්ලා කලින් ගිය පෙර පාසැල ට වඩා හොඳ එකක් ගෙවල් ලඟම තියෙනවා කියලා දැනගෙන අපේ ගෙදර උන්දෑ මීට මාස දෙක තුනකට කලින් ඒකට කොල්ලව දාලා.

"ඒක පොෂ් තැනක් නෙමෙයි ඒයි . . ඒත් එතන ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා" කිව්වේ ටිකක් සැකෙන් වගේ.

"මගුලක් කතා කරනවා . . මොන පොෂ්ද . . . කොල්ලට සමගියෙන් සෙල්ලම් කරන්න, අත්වැඩ කරන්න උගන්වනම් ඒ හොඳටෝම ඇති" මම කිව්වේ හිනා වෙවී.

ගිය දාට පහුවදාම උත්සවේ තිබ්බා.

ලාංකීය අභිමානයට සුපුරුදු පරිදි පටන් ගන්න හිටි වෙලාව පහුවෙලා තමා පටන් ගත්තේ.

අපේ කොල්ලා මේ පෙර පාසලේ මාස දෙකක් වගේ පොඩි කාලයක් උනාට නැටුම් ගැයුම් අංග අටකට තෝරගෙන.

තෝරගෙන නෙමේ මේකා බලෙන්ම වගේ ගිහින්.

නැටුමකට කට්ටිය එක්කගෙන යනකොට මේකා අහනවලු "ටීච, විරුල් එන්න එපාද?" කියලා. ටීචර්ට පුලුවන්ද එපා කියන්න. මේකා නම් පුදුම එකෙක්.

මතකයිනේ කිව්වා මේ තරම් හුරතලයක් ඇති එකෙක් මම තාම දැකලා නෑ කියලා. (මගේ එකා හින්දා කියනවා නෙමේ . . මූව දන්න අය ඔක්කෝම ඒ බව දන්නවා)

උත්සවේ නැටුම් ගැයුම් නාට්‍ය අංග 25ක් 30ක් විතර තිබ්බා.

වැඩ සටහන් අතරතුර දරුවන්ට ඇඳුම් මාරු කරගන්න ඉඩ සලස්වල දෙන්න ආරාධිත අමුත්තන්ට පොඩි පොඩි කතා පවත්වන්න ඉඩ දීලා තිබ්බා.

එක් විශ්‍රාමික විදුහල්පතිවරයෙක් (මයික් ටයිසන් කෙනෙක් - දාඩිය දාගෙන, ළමයි බඩගින්නේ, දාඩිය දාගෙන ඉන්න අස්සේ අම්මෝ ඒ මනුස්සයගෙන් මයික් එක ආපහු ගන්න වින්ද දුකක්) මේ පෙර පාසැල් අධ්‍යාපන (ඒ පෙර පාසැලේ) ක්‍රමය වැරදි බව කියනවා.

නැටුම් ගැයුම් වගේ දේවල් වලින් ළමයින්ට වැඩක් නැතිය.

දරුවන්ට පොත් පත් කියවන්න, ගනන් හදන්න පෙර පාසැලේ සිටම පුහුනු කරවිය යුතුය.

ආදී විදිහට මේ දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් ඉස්මතු කිරීමට වඩා පෙර පාසැලේ සිට දරුවන් ගිරව් කල යුතු බව ඇඟවෙන විදිහට ඒ ගුරුවරියන් දෙදෙනාගේ මහන්සිය සහ කැපවීම තුට්ටු දෙකට දමා කල කතාවෙන් . . .

ගැබිනියක් වූ (ගැබිනි බව ත් නොසලකා උපරිමයෙන් වෙහෙස මහන්සි වී ඉගැන්නුම් කල-කරන) තරුණ ගුරුවරියගේත් පුද්ගලික වැඩ රාජකාරී පවා ඉවත දමා දරුවන් වෙනුවෙන් කැපවෙන මැදි වයසේ ගුරුවරියගේත් හිත් රිදුනු බව අප දැන ගත්තේ පසුව.

ගුරුවරියන් දෙදෙනාට සහ උත්සවය සංවිධානය කල සියලුම දෙනාට ස්තූති කරන්න කතාවක් කරන්න ඇහැක්ද කියලා පේ ගෙදර උන්දෑ ඇහුවා.

යාලුවෝ එක්ක සහ බ්ලොග් එකෙන් පොර ටෝක්ස් දුන්නට සභාවක් මැද්දේ කතා කරන්න බැරි කකුල් මැඩ්ලින් ගහන ලෙඩක් තියෙනවා වුනත් ඕ පූ කියලා හා කිව්වා.

කකුල් මැඩ්ලින් ගහ ගහ මොනව කිව්වාද කියලා මතක නම් නෑ . . ඒත් මට කියන්න ඕන වුනේ මේන් මේ පහල තියෙන ඒවා කියලා නම් මතකයි.

අපි හැමෝම කැමති ගිරව් වගේ පොත් කටපාඩම් කර විභාග සමත්වන දරුවන්ටයි.

අපි දරුවන් ස්කෝලේ, ස්කෝලේ වෙලාවෙන් පස්සේ සහ සති අන්තවල අතිරක පන්ති යවමින් කරන්නේ ඔවුන් ගිරවුන් අතරින් හොඳම ගිරවා කිරීමටයි.

අපේ අධ්‍යාපන ක්‍රමයෙන් මෙසේ ගිරවුන් ලෙස පුහුනු කල අපි පාසලින්, සරසවියෙන් පිටවී රැකියාව කරද්දී මැරෙන තුරු හැමදාම එකම දෙයක් පමනක් කරමින් සිටිනෙමු.

ඒ කරන දේ සම්බන්ධව අපි උපරිම දක්ෂයෝ වෙමු.

ගිරව් ලෙස නොවී සෞන්දර්ය, නව නිර්මාන, සබකෝලය නැති ඉදිරිපත්වීම් ඇති හැම පැත්තක්ම ස්පර්ෂ වෙන පරිදි උගත්කමක් ලැබිය හැකි අධ්‍යාපන රටාවකට උගත් අයෙක් අර දක්ෂයා ලවා මරව මරවා වැඩ ගෙන කලමනාකරුවෙකු ලෙස හෝ ආයතනයක අධ්‍යක්ෂක වරයෙක් ලෙස ඉදිරියට යනු ඇත.

බොහෝ විට පිටරටක ගොස් රැකියා කරද්දී මේ කලමනාකරුවා හෝ ලොක්කා බටහිර ජාතිකයෙක් විය හැකියි.

රැකියාව සම්බන්ධයෙන් වුවත් ඔහුගේ දැනීම බොහෝම අල්ප විය හැකියි.

නමුත් ලොක්කෙක් ලෙස ඉදිරියට යන්නට ඔහු සතු වූ දේ සහ විෂය සම්බන්ධව ඉතා විශාල දැනීමක් අප සතු වුවත් ලොක්කෙක් වීමට අප සතු නොවූ දේ මොනවාද?

මා කලින් වැඩ කල ආයතනයේ නෙදර්ලඩ් ජාතික ගණකාදිකාරිනිය කීවේ ඇගේ දරුවන් කෙදිනක වත් පෙර පාසැල් නොයැවූ බවත් ඔවුන්ගේ ළමා කාලය සෙල්ලම් කරමින් සහ නිවසේ සිට චිත්‍ර ඇඳීම ආදී අත්වැඩ සඳහා පමනක් ඔවුන් යොමු කල බවය.

ඇගේ දරුවන් වර්ථමානයේ උසස් ලෙස විභාග සමත් වෙමින් සිටින බැව් මීට වසර කීපයකට පෙර ඈ පවසන ලදි.

පෙර පාසැල් අධ්‍යාපනය ගැන කතා කරනවනම් මගේ හැඟීම නම් දරුවන් මේ පහල ක්‍රියාකාරකම් පමනක් කලාම හොඳටෝම ඇති කියායි.

අනෙක් දරු උදැරියන් සමඟ සාමූහිකව රන්ඩු දබර නොවී ක්‍රීඩා කරන්න ඉගෙන ගැනීම.

ක්‍රීඩාවකින් ජය පරාජය දෙකම පිලිගත යුතු බව ඉගැන්වීම.

පසු කාලෙක සංස්කෘතිකමය දේවල අගය වටහා ගන්න පහසු කරනු වස් චිත්‍ර, ගායනය, වාදනය, රංගයන සහ නර්ථනය ඉගැන්වීම. (කලාව හිතට දැනන අය සංවේදී අය නිසා දුක සැප හොඳ නරක ආදියට සංවේදී පුරවැසියෙකු බිහි කිරීමත් මේ මඟින් සිදුවේවී)

සභාවක් මැද සබකෝලය නැතුව (කකුල් දෙක මැඩ්ලින් ගහන්නේ නැතුව) කතාවක් කරන්න වෙනයම් හෝ ඉදිරිපත් වීමක් කරන්න පුලුවන් ලෙස දරුවන් හැඩගැස්සවීම.

ජීවත් වන පරිසරය සුන්දරව තබා ගත යුතු බව ඉගැන්වීම. (ටොපියක් කෑවත් කොලේ අතන මෙතන විසි නොකර කුනු කූඩෙකටම ගෙනත් දැමීම, නිදාගත්සෙල්ලම් බඩු ටික සෙල්ලම් කල පසු පිලිවෙලකට තැබීම, ඇඳේ රෙද්ද නවා තැබීම ආදිය කුඩා උන්ට ලොකු වැඩි දේ නිසා පාසැල් බෑගය නියමිත තැනක තැබීමට හුරු කිරීම ආදිය )

වැඩිහිටියන්ට ගරු කරන්න ඉගැන්වීම සහ ඒ අතරම වැඩිහිටියන් වුනත් වැරදි දෙයක් කරනවා නම් එයට විරෝධය පාන්න ඉගැන්වීම. (මොනවද සීයේ මිදුලේ හැමතැනම බුලත් කෙල ගහන්නේ . . කානුවට හරි පඩික්කමකට හරි කෙල ගහන්නකෝ කියා පොඩි එකෙක් කීවොත් ලොකු මිනිහෙක් කියනවට වඩා දැනෙනවා නේද?)

සපත්තුවේ ලේස් එක පවා ගැටගසන්න අපහසු තඩි බඩගෙඩි ඇති අය නිතර දකින්න ඇති නිසා ශරීරය පහසුවෙන් සිහින්ව තබා ගන්න ව්‍යායාම ආදිය කලයුතු බව දන්වන්න සරඹ ආදියට හුරු කිරීම.

මුලින්ම ඕනෑම කෙනෙක් බලන්නේ දකින්නේ මතුපිට පෙනෙන ඔපය නිසා දත්, නියපොතු ආදිය පිරිසිදුවට තබා ගත යුතු බව ඉගැන්වීම.

විශේෂම දේ පොත් කට පාඩම් කරන්න ජීවිතයේ පාසැල් කාලය සහ සරසවි කාලය ඉදිරියේ ඇති නිසා ළමා කාලය කෙලි සෙල්ලමින් ගත කරන්න ඉඩ ලබා දීම.

පෙර පාසැල් අධ්‍යාපන ක්‍රමය කොයි වගේ උනොත් හොඳයිද කියලා මේන් මට දැනට දැනෙන විදිහ. මේ දේවල් පෙර පාසැලෙන් වෙන්නේ නැති නම් ගෙදරදිම උනත් දරුවන්ට උගන්වන්න පුලුවන් නේද?

චිත්‍ර පොතක් - පැස්ටල් - දිය සායම් ගෙනත් දී චිත්‍ර කලාවට හුරු කරන්න පුලුවන්.

නැටුම් ගැයුම් සඳහා ගෙදරදී අම්මට, තාත්තාට, ආච්චීට හෝ සීයට උදව් කරන්න පුලුවන්.

අහල පහල දරුවන් කෙප දෙනෙක් රැස් කර සභාවක් තියා කතා පැවැත්වීම, සභාවක ගීත ගැයීම ආදිය හුරු කරන්න පුලුවන්.

උදේ ම සරඹ ටිකක් කරලා මූන හෝදගන්න කියලා උගන්වන්න පුලුවන්

එහෙම නේද?

නෑ මම කියන්නේ පෙර පාසැලේ ක්‍රමයේ ඒ දේවල් නැතිනම් ගෙදරදී හරි ඒ දේවල් දෙන්න පුලුවන් උනොත් ගිරවෙක් නැතුව නිර්මාණශීලී දරුවෙක් ලෝකට දෙන්න අපිට පුලුවන් වෙයි නේද?

පෙර පාසැල් අධ්‍යාපනය කොයි වගේ උනා නම් හොඳයි ද කියලා ඔයාලට හිතෙන හැටි පොඩ්ඩක් කියන්නකෝ බලන්න.

මගේ සොඳුරු ත්‍රස්තවාදියගේ පෙර පාසලේ උත්සවයේදී ගත්තු පින්තූර ටිකකුයි එහේදි ගන්න බැරි වුනු ඒවට ගෙදරදී ඒ ඇඳුම් අන්දලා ගත්තු පින්තූර ටිකකුයි මේ පහල තියෙන්නේ.














Wednesday, December 7, 2011

මං . . මේ මං . . . !



හාත්පස ඇදහිය නොහැකි නිස්කලංක බව හිතේ ඇති කරන්නේ නොසන්සුන්කමකි.

ඒ නිස්කලංකබව අනෝරා වැස්සකට පසු ඇතිවන අරුම නිස්කලංක භාවය මෙනි.

දෙදෙනාගේ වචන හුවමාරුවේ ගෝසාව ඒ නිස්කලංකබව මැද සුලි සුළඟක් මෙන් දෙසවන සිසාරා රැව් පිලිරැව් නඟයි.

කතාබහේ දිගුව කවුරුන් විසින් අරබන්නදෝයි සිතේ කරන පෙරලිය අනෙකාට ඇසෙයිදෝ මෙන් බියෙන් දෙදෙනාම දෙදෙනා දෙස බලාගත්වනම හුන් ආසන වලම හිරවී සිටී.

"නිරාෂා, ඔයාගේ ඔය මල ඉලව් ගායනය නවත්තලා විනෝදාංශ ඕනෙම නම් වෙන මොනව හරි කරන්න . . ., පොත් බලන්න පුලුවන්, ෆිල්ම් බලන්න පුලුවන් කොයි තරම් දේවල් තියෙනවද රටේ ලෝකේ"

නිරාෂාගේ නළලේ රැලි කීපයක් නැඟෙන්නේ ඇගේ මුවට එක්විටම ගලා ආ වදන් සීමා කරගෙන සිත් නොරිදෙන පිලිතුරක් ගොඩ නගා ගන්න කාලය ලබා ගනු වස් යැයි සහන්ට නොතේරිනිද?

"අනේ සහන්, මම හිතන්නේ මට සින්දු කියන්න හොඳ හැකියාවක් තියෙනවා, මට හොඳ කට හඬක් තියෙනවා කියලයි. අනිත් අයත් එහෙම කියනවනේ . . . අනෙක මම හරිම සතුටක් ලබන්නේ ඒ විනෝදාංසෙන් . . ඉතිං එහෙම එකේ ඇයි මම ඒ විනෝදාංශේ නවත්වලා ඔයා කැමති, ඔයා තෝරලා දෙන විනෝදාංශයක් තෝරගන්න කියලා කියන්නේ?"

අධිපතිවාදය, අනෙකා මත තම බලය පැතිරවීමට ඇති කැමැත්ත හෝ ඉරිසියාව . . . මේ සියල්ල සමඟ සම්ම්ශ්‍රණය වූ හැඟීමක් සහන්ගේ හිතට ආ නමුත් ඒ සියල්ලට ප්‍රතිවිරුද්ධ අදහසක් ප්‍රකාෂ කල යුතු බැව් ඔහුගේ හිතට නැගෙන්නේ අසුරක් ගසන නිමේෂයකින්.

"මම එහෙම කියන්නේ ඔයාට තියෙන ආදරේ නිසානේ ළමයෝ . ."

මේ දැන් මෙතන ඉන්නේ මීට මොහොතකට කලින් ගෝරනාඩු කල මිනිසාමදැයි සිතා ගත නොහැකි තරම් වූ ළාමක හඬක් කෙසේ ආරෝපනය කර ගත්තාදැයි සහන්ටම හිතුනු අතර "අනේ මේ මිනිහා මට කිසි හැඟීමක් දැනීමක් නැති එකියෙක් කියලා හිතනවද?" කියා හැඟීමක් නිරාෂාට ඇති වුනු බව සහන් සනාත කර ගන්නේ ඇගේ මුහුනේ ඇතිවී නැතිවුනු සමච්චල් සිනාව නිසාවෙනි.

සැබෑ ආදරය නම් අනෙකාගේ සතුට පතන, තමන් ආදරය කරන කෙනා සතුටු දේ ලබාගෙන සතුටු වීම දිහා බලා සතුටු වීම නොවේදැයි වාදකලේ පසුගිය සතියේය. මේ ඉක්මනට ඒ දේ අමතක වූවාද නැති නම් උවමනාවෙන් අමතක කලාද?

"මට තියෙන ආදරේ නිසා නම් ඇයි මම සතුටු වෙන දෙයක් කරනවට ඔයා ඔය තරම් අකමැති සහන්"

යලිත් ගෝරනාඩුවක් තරම් වචන හුවමාරුවකට යාමට නොරිසි නිරාෂා මතුරන්නේ සහන්ට ඇසෙන්නට නොව ඈත ක්ෂිතිජයේ කොහේ හෝ ඉන්නා හදවතේ සියුම් රිද්මය පවා හඳුනා ගත හැකි ප්‍රානියෙකුට පවසන්නාක් මෙන් නොපෙනෙන අනන්තයක නෙත මානාගෙනයි.

මං . . මේ මං . . . මං කිරිල්ලියක් . .
මං කිරිල්ලියක් තමයි . .
මේ . . මගේ පිහාටූ . .
මට ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කනගාටූ
හිත සනසවන්න හිස අතගා දෙඩුවත් චාටූ . .
තටු කපන්නේ ඇයි . . හද මවමින් අඳුරු කුනාටූ . . . .

නිල් අහස අයිති අපටයි . .
ඔව් අත්තටු ඇති අයටයි . .
මේ ගමන අලුත් ලොවටයි . .
වැට කඩුළු ලෑම නිවටයි . .

ගඟ ගලන්නේ සමුදුරටයි
ඔව් බාදක නම් එමටයි
තටු ලැබෙන්නේ පෙර පිනටයි
තටු කපන්නේ බැරි කමටයි . .
තටු කපන්නේ බැරි කමටයි . . !

ගායනය - නිරෝෂා විරාජිනී
ගී පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීත නිර්මාණය - මහින්ද බන්ඩාර


පහුගිය කාලේ දවසක් බස් රේඩියෝ එකේ කතාබස් වැඩසටහනකට මට ආරාධනා ලැබිලා ඒක විකාෂනය වෙන අතරට දාන්න මගේ ප්‍රියතම ගීත කීපයක් තෝරා දෙන්න කියපු වෙලාවේ මම තෝරපු ගීතයක් මේ ගීතය.

නමුත් වැඩසටහන අතරතුර ගූගල් බස් සමඟින් එකතු වෙලා වැඩසටහන අහපු අය බස් එකේ කොමෙන්ට් කලා අයියෝ මෙලෝ රහක් නැති සිංදුවක් මේක නම් කියලා.

මම මේ ගීයට ප්‍රිය කරන්නේ මේ ගීයේ මට විඳින්න පුලුවන් තරමේ රසයක් (අර්ථය, සංගීතය, ගායනා කරන ආකාරය) තියෙන නිසා.

එත් මේක මෙලෝ රහක් නැති එකක් කියලා කියන අය මෙකේ පදමාලාවේ අර්ථය තේරුම් අරගෙන නැති නිසා මෙලෝ රහක් නෑ කියනවා වෙන්න ඕන කියලා මට හිතුනා.

ඉතිං එදා හිතුවා වෙලාවක මේ ගීතයේ අර්ථය මට දැනුනු විදිහ ලියන්න ඕන කියලා . . .

ඉතිං එච්චරයි . . . . . !!!

අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි . . .

Monday, November 28, 2011

2025 දී . . . !


අද (29) අපේ තාත්තගේ 68වෙනි උපන් දිනය.

පොදු පෙරමුණු ආන්ඩුවක් වෙනුවෙන් උදේ හවා හීන බලපු, රැස්වීම් වල හිටගෙන හිටපු, කකුල් කෙඩෙත්තුව හැදෙනකම් පෙලපාලි වල ගියපු, අතේ තිබ්බ පිච්චියත් ඒ වෙනුවෙන් කැපකරපු . . .

ඒ හීන දකින්නා වෙනුවෙන් මේ පෝස්ට් එක වෙන් කරන්න මම කැමතියි.

මේක ඕන් තනිකරම පිස්සු ලිපියක්.

මේ ඊයේ පෙරදා දොහක රනා ලියන බ්ලොග් කියන බ්ලොග් අඩවිය ලියන රසික කොලූ එක්ක ගූගලේ කතා බහක් දොඩමින් ඉන්නැහ්ද්දී අපි දෙන්නා කතාවෙච්චි දෙයක්.

ඇත්තෙන්ම කතා වුනේ හවුල් බ්ලොගක් කොරමු කියල උනත් අර තුන්පත් රෑන හවුල් බ්ලොගක් පටන් ඇන්න වෙච්චි සංගෙදිය දන්න හින්දා ඕන එකක් සත පනහයි කියලා මම්ම මගේ බ්ලොගේ ඇහැක් විදිහට ලියා දානවා කියා හිතුවා ඕන්.

මම දන්නවා බොලා මට හිනා වෙනවා කියලා මේක කියෝලා අහක්ක උනාම . .

කාරි නෑ . . බොලා හිනා උනාට . . . . "බැරි වෙලාවත් මාලුවගේ ඇඟේ මැක්කෙක් හිටියොත්" අහ් නෑ නෑ "බැරි වෙලාවත් මේක සීරියොස් ගන්න කෙනෙක්ගේ ඇහැ ගැහුනොත්" මක්කෙයි දොඩන්නේ?

කතා වෙද්දී රනා කොලූත් කිව්වේ "බලන උන් හිනා වෙයි ඒත් කාරි නෑ බන් අපි ලියමු" කියලයි.

ඉස්කෝලේ ගිය වංගියෙන් පස්සෙන් පහුත්, රස්සාවක් කොරන ගමන් ටැක්නිකොල් කොලීජියට යන සංදියෙත් සුද්දගේ බාසාව ඉගෙන ගන්ට ගිය රෑ ඉස්කෝලේ බොරැල්ලේ ෆෙයාර් ෆීල්ඩ් ගාර්ඩොන් එකේ බාංඩාර හාමිනේ කොරපු ඉංගිරිසි පංතිය වෙච්චි.

ඒ ඇත්තිටත් බුදුන් දැක නිවන් බව අත්වෙන්ට අද මේ රස්සා කොරගෙන ඉන්න තැනක සුද්දාගේ බාසාවෙන් යාන්තමට කොටන්න ඇහැක් වෙලා තියෙනවා.

බොලාට කියන්න ඒ ඇත්ති කිව්ව සමහර දේවල් තාමත් කන්බෙර දෙකේ දෝංකාර දෙනවා . .. අම්මාපල්ලා . .

"කවදා හරි වංගියක හැබෑවෙන්ට හරි උඹලා හීන මවන්ට ඕන දරුවනේ . . . "

"හීන මවන්නේ නැතුං හීන හැබෑකිරිල්ලක් කොයි?"


ඉතිං මේ ඒ ඇත්ති කිව්ව්හේ දුකා මවාන ඉන්න හීනයක්.

හැබෑ වෙන නොවෙන එක වෙනම දෙයක්. හීන මවාන ඉන්න එක කොයි තරම්ම සුන්දර කාරියක්ද? (බොරු නෙමේ බොලල්ලා . . බොලාත් හීන මවාගෙන කාරිය බලාපල්ලකෝ)

ආරළු බූරළු ඕනැන්නේනෑ . . කතාවට බහිමු.

රනා කොලූයි දුකායි කතා වුනේ 2025දී හැබෑවටම සිරි ලංකාව ආසියාවේ ආස්චරිය වෙන්ට නම් මක්ක මක්කාද වෙන්ට ඕන වෙනස් කම් කියලා වෙනම බ්ලොගක් හදාන ලියමු කියන එකයි.

කියෝන උන්ටත් උන්ට ඒ ගැන උන්ට හිතෙන දේ ලියාලා පෝස්ට් එකක් විදිහට දාන්ට අවසර දෙමු කියලයි කතාවුනේ.

කලින් කිව්වැහේ හවුලේ කැඳ හදන්න ගිහින් ආඬි හත්දෙනාගේ කැඳහැලිය වගේ වෙයි කියලා හිතාන 2025දී සිරි දේසේ ආසියාවේ හොඳම රටක් කොරන්න නම් මේ මේ දේවල් කලොත් හොඳා කියලා හිතෙන එව්වා මගේ බ්ලොගේම 2025දී කියලා ලේබොලයක් හදාන ලියන්න මම් හිතුවා.

හරි ඕන් . . මේන් මට හිතෙන පලමු දේ.

අපේ සිරි දේසේ පොරොඩක්ටිවිටි (Productivity) එක හෙවත් ඵලදායිකත්වය නම් අන්තිමයි නෙමේද?

රාජකාරියකට ආන්ඩුවේ ඔපීසියකට ගෙහුන් බලන්ට.

කාකාස ගේ ඉඳන් ඔපිසර රාළහාමි හෝ රාළහාමිනේ වෙනකම් අය ඉන්නේ නොරිස්සුමෙන්.

ඔපිසරලට පඩි නඩි ගෙවන්නේ අපි හාල් තුනපහේ ටිකෙනුත් ආන්ඩුවට ගෙවන බදු කාසි ඔලින් වුනත්, වැඩක් කොරගන්ට ලඟට එන එකා දිහා ඒ අය බලන්නේ ඒ උන්නේ කැවුත්ත කන්ට ආපු උන් දිහා බලනවා වගේ.

විනාඩි දහයෙන් කොරගන්න ඇහැක් වැඩේට තුන් හතර දොහක් බඩගාලා බඩගාලා මයිත්තිරී බාවනාව කොරලා කාකාස ගේ ඉඳන් ඔෆිසර වෙනකම් උන්නේ අම්මා අප්පලට පින් පෙත් දීලා (හිතින්) තමා වැඩේ ඉවරයක් වෙන්නේ.

මේක මෙහෙම වෙන්නේ, නෑ මම් කිව්වේ මේ ඔපිසර රාළහාමිලායි ඔපිසර රාළහාමිනේලයි ඔක්කෝම නොරිස්සුමෙන්, හිතේ කහටින්, දාහට ඇන්න සීයට දීලා වගේ ඉන්නේ මක්කෙයි කියලයි ඔහේලට හිතෙන්නේ?

ගමනාගමනය!!!

උදේ පාන්දර නැගිටල, උහල-පිහලා, ළමයි-බමයි ඉස්කෝල වෑන් වලට පටෝලා, සාරි පටලොගෙන, කලිසම් කමිස හිරකොරගෙන එන්ට ඕන බස් ඉස්ටෑන්ඩ් එකට.

ඕන් එතන මළ විජ්ජුම්බොරයයි.

එන එන බස් පොල් පටෝලහේ එන්නේ.

කොහොමින් හරි පුට් බෝඩ් එකට ගොඩවෙලා එක කකුලක් ගාල්ලේ අනෙක යාපනේ තියන්නැහේ, තමන්ගේ තන් බොත්තං අනුන්නේ බෑක් කඩමාලු අස්සේ දමානහේ ඔපීසියට එන්නේ යකා ආරූඩ වෙච්චි ආතුරයා ගානට. හා නැතෙයි?

එහෙව් සන්නියක් නටලා ඔපීසියට ආවහම වැඩක් පලක් නිස්කාන්සුවේ කොරන්න හිතේ සැනසිල්ලක් කොයි?

ආපහු හවස් ජාමේත් ඒ සුමේම එහෙම නැහ්නම් ඒ දහාට සන්නියෙම ඉතුරු කොටහා රඟ දක්වන්න ඕනෑ නේද කියල හිතන කොට දවලියෙත්, හවස් අතෙත් ඒ ඔපිසරලා ඉන්නේ පස්ස පැත්තේ මිරිස් කරලක් ගහගෙන ඉන්නැහේ තමා ඉතිං.

2025දී වත් සිරි දේසේ පොරොඩක්ටිවිටිය හරි හමන් තත්වෙකට ගෙන්න නම් දුකාගේ යෝජනාව සිරි දේසේ කොලොම් තොටේ ඉඳන් කොලොම් තොටට ආසන්න ගංතුලාන් ඔලට (ඔපීසි බොහොමයක් ඉතිං කොලොම් තොට නොවැ තියෙන්නේ . . ඒවායේ රාජකාරී කොරන්න ලේසි පාසුවට ඔපිසරලා එහාට ලඟපාතම නැතත් ඒ ඒ අවටම නොවැ ඉන්න උස්සාහ කොරන්නේ) විනාඩි දහයෙන් දහයට හරි පාලොහින් පාලොහට හරි දුවන මැට්‍රෝ කෝච්චි (Metro Train) පද්දතියක් තියෙන්න ඕන කියන එකයි.

දුකා, දැනට ඉන්න ඩුබායි රටේ මැට්‍රෝ කෝච්චිය නිතර පාවිච්චි කොරන මිනිහෙක් විදිහට කෝච්චියට ගොඩවෙන වාරයක් වාරයක් ගානේ අපේ සිරි දේසෙට 2025 දී වත් මෙහෙව් එකක් තියේ නම් කොයි තරම්ද කියලා හිතන බව කියන්ට ඕන.

(එහෙම හිතන වෙලාවල් වලට හඳුන්පොත කඩාවැටෙන්න එනවා තමා ඒත් අපිටත් දවසක හඳ නොපායයිද?).

මේන් තියෙනවා ඩුබායි මැට්‍රෝ එකේ වීඩියෝ ටිකක්









ඔපිසර නෝන මහත්තැන් ලා ගොඩක් ගෙවල් දොරවල් හදාන ඉන්නේ එහෙම නැතුන් කුලියට කාරිය ඉන්නේ මෙන්න මේ මේ අහ කියලයි දුකාගේ කම්පනාව.

1. කොලොම් තොට ඉඳන් අවිස්සාවෙල්ල ගන්තුලානට යන අතර මඟ කිරුලපොන, නුගේගොඩ, මහරගම, පන්නිපිටිය, කොට්ටාව, හෝමාගොම

2. කොලොම් තොට ඉඳන් කඩුවෙල ගන්තුලානට යන අතර මඟ බොරැල්ල, රාජගිරිය, ඇතුල් කෝට්ටේ, බත්තරමුල්ල, තලංගොම, මාලාබේ

3. කොලොම් තොට ඉඳන් මීගොමුව ගන්තුලානට යන අතර ගැරෑන්ඩ් පාස්, මාලිගාවත්ත, පෑලියගොඩ, වත්තල, කඳාන, ජාඇල, කටුනායක

4. කොලොම් තොට ඉඳන් ගාල්ල ගන්තුලානට යන අතර කොල්ලුපිටිය, බන්ම්බොලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර

5. කොලොම් තොට ඉඳන් මහනුවරට යන අතර මඟ පෑලියගොඩ, කිරිබත්ගොඩ, කැලනිය, කඩවත

6. කොලොම් තොට ඉඳන් හොරණ යන මඟ ටවුන්හෝල්, තිඹිරිගස්යාය, කොහුවල, පිලියන්දල

තව ඒවා තියේ ඒත් පොරොදාන බස් පාරවලට කිට්ටු ගන්තුනාන් මේවය් කියලයි මහිතේ

කොලොම් තොටින් පටන ඇන්න මේ මේ මහා ගන්තුලන් (මහනුවර, ගාල්ල, අවිස්සාවේල්ල, මීගොමුව, කඩුවෙල, හොරණ ) වල අතරමැද තියෙන ජනගහන වැඩියෙන් ඉන්න ගංතුලාන් වලට වෙනකම් වත් (කිරිබත්ගොඩ, මොරටුව, මහරගම, බත්තරමුල්ල, කොහුවල ) මැට්‍රෝ කෝච්චි පද්දතියක් තියේ නම් . . .

සිරි දේසේ ඔපිසර නෝනා මහත්තැන්ල කරදරයක් නැතුන් රාජකාරියට යන්ට එන්ට ඇහැක්කා උනොත් උන්දෑලාගේ අර මුකපූනේ තියන් ඉන්න ගතිය උසික්කා කොරලා හිනා වෙලා . . .

රාජකාරි කොර ගන්ට එන බඩගැත්තරයින්ගේ වැඩ කටයුතු කලට වෙලාවට කෙරිලා (උන්දෑලගේ අම්මලාගේ හචින් ලෙඩේත් ඉබේ හොඳ වෙලා)

සිරි දේසේ පොරොඩක්ටිවිටි එක 2025දී වත් හරි හමන් විදිහට කෙරෙයි කියන එකයි දුකාගේ අදහස . .

දුකාගේ එක හීනයක් ඔන්න ඔහොමයි බොලල්ලා . . .

ඒක එහෙම්ම වේවා කියලා බොලල්ලත් පරාර්තොනා කොරපල්ලා හොඳේ . . . . .

මෙහෙව් ලොකු මේ මැට්‍රෝ කෝච්චි පොරොජෙක්ට් එකක් කොරන්න සිරි දේසේ අපිට කාසි පනම් නැති හන්දා . . ඒක බී-ඕ-ටී (බිල්ට් - ඔපොරේට් - ටරාන්ස්පොර්) (BOT-Built-Operate-Transfer) විදිහට කොරන්න ඇහැකි.

ඒ කිව්වේ මේ සල්ලි බාගේ ඇති ඒරොප්පේ රටක ලොකු කොම්පැනියකට ඇහැකි මේ පොරොජෙක්ට් එක ඩිසයින් කොරලා, ඒ අයම ගොඩ නඟලා, අවුරුදු පාලහක් විස්සක් උනත් කමක් නෑ පාලනය කොරලා ආදායම ඇන්න ඉන් පාසේ සිරිදේසේ අපිට පවරලා යන්න.

මෙහෙව් පොරොජෙක්ට් එකක් බැරි වෙලාවත් සිරි දේසේ කාට හරි (ජනාදිපති තුමාට, පොරොවාහන ඇමතිතුමාට ) නිකමට හරි හිතිලා කොරන්න හිතුවොත් . . .

ඩුබායි රටේ රස්සා කොරන්න ආ මේ ඩුබායි මැට්‍රෝ පොරොජෙක්ට් එකේ වැඩකොරපු ගුරුහ නිර්මාන සිල්පියෝ, ඉන්ජිනෙරු නෝනා මත්තැන්ලා, ප්‍රමාන සමීක්සක නෝනා මහත්තැන්ලා එහෙම මූලික වැඩ කටයුතු (කොස්ට් පැලෑනින්ග්, පීසබිලිටි වගේ එහෙම ) තමන්ගේ උපරිම සහයෝගය රට වෙනුවෙන් නොමිලේම උනත් දේවී කියලා ලොකු විස්වාසයක් දුකාට තියේ.

දැන් ඉතිං බොලා ඇති පදම් හිනාවෙයල්ලා දුකාටත් පේන හීන කියලා . . . !!

pic from: http://color-city.blogspot.com/2011/11/amzing-stuff-about-dreaming.html

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails