twitter
    Find out what I'm doing, Follow Me :)

අපි ගිරවුන්ට ආදරය කරන්නෝ වෙමු . . .!

පහුගිය 9 වෙනිදා හදිසියේම ලංකාවට ගියේ සති ගානක ඉඳන් පුහුනුවීම කලත් හරියටම දවස සහතික නොකල පුතාගේ පෙර පාසැලේ වාර්ෂික ප්‍රසංගය 10 වෙනිදාට කරන්න සහතික කරගත් බව අපේ ගෙදර උන්දෑ දන්වපු නිසයි.

මගේ සොඳුරු ත්‍රස්තවාදියටයි ගෙදර අය හැමෝටමයි බොහෝම සතුටුයි ඉතිං.

කොල්ලා කලින් ගිය පෙර පාසැල ට වඩා හොඳ එකක් ගෙවල් ලඟම තියෙනවා කියලා දැනගෙන අපේ ගෙදර උන්දෑ මීට මාස දෙක තුනකට කලින් ඒකට කොල්ලව දාලා.

"ඒක පොෂ් තැනක් නෙමෙයි ඒයි . . ඒත් එතන ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා" කිව්වේ ටිකක් සැකෙන් වගේ.

"මගුලක් කතා කරනවා . . මොන පොෂ්ද . . . කොල්ලට සමගියෙන් සෙල්ලම් කරන්න, අත්වැඩ කරන්න උගන්වනම් ඒ හොඳටෝම ඇති" මම කිව්වේ හිනා වෙවී.

ගිය දාට පහුවදාම උත්සවේ තිබ්බා.

ලාංකීය අභිමානයට සුපුරුදු පරිදි පටන් ගන්න හිටි වෙලාව පහුවෙලා තමා පටන් ගත්තේ.

අපේ කොල්ලා මේ පෙර පාසලේ මාස දෙකක් වගේ පොඩි කාලයක් උනාට නැටුම් ගැයුම් අංග අටකට තෝරගෙන.

තෝරගෙන නෙමේ මේකා බලෙන්ම වගේ ගිහින්.

නැටුමකට කට්ටිය එක්කගෙන යනකොට මේකා අහනවලු "ටීච, විරුල් එන්න එපාද?" කියලා. ටීචර්ට පුලුවන්ද එපා කියන්න. මේකා නම් පුදුම එකෙක්.

මතකයිනේ කිව්වා මේ තරම් හුරතලයක් ඇති එකෙක් මම තාම දැකලා නෑ කියලා. (මගේ එකා හින්දා කියනවා නෙමේ . . මූව දන්න අය ඔක්කෝම ඒ බව දන්නවා)

උත්සවේ නැටුම් ගැයුම් නාට්‍ය අංග 25ක් 30ක් විතර තිබ්බා.

වැඩ සටහන් අතරතුර දරුවන්ට ඇඳුම් මාරු කරගන්න ඉඩ සලස්වල දෙන්න ආරාධිත අමුත්තන්ට පොඩි පොඩි කතා පවත්වන්න ඉඩ දීලා තිබ්බා.

එක් විශ්‍රාමික විදුහල්පතිවරයෙක් (මයික් ටයිසන් කෙනෙක් - දාඩිය දාගෙන, ළමයි බඩගින්නේ, දාඩිය දාගෙන ඉන්න අස්සේ අම්මෝ ඒ මනුස්සයගෙන් මයික් එක ආපහු ගන්න වින්ද දුකක්) මේ පෙර පාසැල් අධ්‍යාපන (ඒ පෙර පාසැලේ) ක්‍රමය වැරදි බව කියනවා.

නැටුම් ගැයුම් වගේ දේවල් වලින් ළමයින්ට වැඩක් නැතිය.

දරුවන්ට පොත් පත් කියවන්න, ගනන් හදන්න පෙර පාසැලේ සිටම පුහුනු කරවිය යුතුය.

ආදී විදිහට මේ දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් ඉස්මතු කිරීමට වඩා පෙර පාසැලේ සිට දරුවන් ගිරව් කල යුතු බව ඇඟවෙන විදිහට ඒ ගුරුවරියන් දෙදෙනාගේ මහන්සිය සහ කැපවීම තුට්ටු දෙකට දමා කල කතාවෙන් . . .

ගැබිනියක් වූ (ගැබිනි බව ත් නොසලකා උපරිමයෙන් වෙහෙස මහන්සි වී ඉගැන්නුම් කල-කරන) තරුණ ගුරුවරියගේත් පුද්ගලික වැඩ රාජකාරී පවා ඉවත දමා දරුවන් වෙනුවෙන් කැපවෙන මැදි වයසේ ගුරුවරියගේත් හිත් රිදුනු බව අප දැන ගත්තේ පසුව.

ගුරුවරියන් දෙදෙනාට සහ උත්සවය සංවිධානය කල සියලුම දෙනාට ස්තූති කරන්න කතාවක් කරන්න ඇහැක්ද කියලා පේ ගෙදර උන්දෑ ඇහුවා.

යාලුවෝ එක්ක සහ බ්ලොග් එකෙන් පොර ටෝක්ස් දුන්නට සභාවක් මැද්දේ කතා කරන්න බැරි කකුල් මැඩ්ලින් ගහන ලෙඩක් තියෙනවා වුනත් ඕ පූ කියලා හා කිව්වා.

කකුල් මැඩ්ලින් ගහ ගහ මොනව කිව්වාද කියලා මතක නම් නෑ . . ඒත් මට කියන්න ඕන වුනේ මේන් මේ පහල තියෙන ඒවා කියලා නම් මතකයි.

අපි හැමෝම කැමති ගිරව් වගේ පොත් කටපාඩම් කර විභාග සමත්වන දරුවන්ටයි.

අපි දරුවන් ස්කෝලේ, ස්කෝලේ වෙලාවෙන් පස්සේ සහ සති අන්තවල අතිරක පන්ති යවමින් කරන්නේ ඔවුන් ගිරවුන් අතරින් හොඳම ගිරවා කිරීමටයි.

අපේ අධ්‍යාපන ක්‍රමයෙන් මෙසේ ගිරවුන් ලෙස පුහුනු කල අපි පාසලින්, සරසවියෙන් පිටවී රැකියාව කරද්දී මැරෙන තුරු හැමදාම එකම දෙයක් පමනක් කරමින් සිටිනෙමු.

ඒ කරන දේ සම්බන්ධව අපි උපරිම දක්ෂයෝ වෙමු.

ගිරව් ලෙස නොවී සෞන්දර්ය, නව නිර්මාන, සබකෝලය නැති ඉදිරිපත්වීම් ඇති හැම පැත්තක්ම ස්පර්ෂ වෙන පරිදි උගත්කමක් ලැබිය හැකි අධ්‍යාපන රටාවකට උගත් අයෙක් අර දක්ෂයා ලවා මරව මරවා වැඩ ගෙන කලමනාකරුවෙකු ලෙස හෝ ආයතනයක අධ්‍යක්ෂක වරයෙක් ලෙස ඉදිරියට යනු ඇත.

බොහෝ විට පිටරටක ගොස් රැකියා කරද්දී මේ කලමනාකරුවා හෝ ලොක්කා බටහිර ජාතිකයෙක් විය හැකියි.

රැකියාව සම්බන්ධයෙන් වුවත් ඔහුගේ දැනීම බොහෝම අල්ප විය හැකියි.

නමුත් ලොක්කෙක් ලෙස ඉදිරියට යන්නට ඔහු සතු වූ දේ සහ විෂය සම්බන්ධව ඉතා විශාල දැනීමක් අප සතු වුවත් ලොක්කෙක් වීමට අප සතු නොවූ දේ මොනවාද?

මා කලින් වැඩ කල ආයතනයේ නෙදර්ලඩ් ජාතික ගණකාදිකාරිනිය කීවේ ඇගේ දරුවන් කෙදිනක වත් පෙර පාසැල් නොයැවූ බවත් ඔවුන්ගේ ළමා කාලය සෙල්ලම් කරමින් සහ නිවසේ සිට චිත්‍ර ඇඳීම ආදී අත්වැඩ සඳහා පමනක් ඔවුන් යොමු කල බවය.

ඇගේ දරුවන් වර්ථමානයේ උසස් ලෙස විභාග සමත් වෙමින් සිටින බැව් මීට වසර කීපයකට පෙර ඈ පවසන ලදි.

පෙර පාසැල් අධ්‍යාපනය ගැන කතා කරනවනම් මගේ හැඟීම නම් දරුවන් මේ පහල ක්‍රියාකාරකම් පමනක් කලාම හොඳටෝම ඇති කියායි.

අනෙක් දරු උදැරියන් සමඟ සාමූහිකව රන්ඩු දබර නොවී ක්‍රීඩා කරන්න ඉගෙන ගැනීම.

ක්‍රීඩාවකින් ජය පරාජය දෙකම පිලිගත යුතු බව ඉගැන්වීම.

පසු කාලෙක සංස්කෘතිකමය දේවල අගය වටහා ගන්න පහසු කරනු වස් චිත්‍ර, ගායනය, වාදනය, රංගයන සහ නර්ථනය ඉගැන්වීම. (කලාව හිතට දැනන අය සංවේදී අය නිසා දුක සැප හොඳ නරක ආදියට සංවේදී පුරවැසියෙකු බිහි කිරීමත් මේ මඟින් සිදුවේවී)

සභාවක් මැද සබකෝලය නැතුව (කකුල් දෙක මැඩ්ලින් ගහන්නේ නැතුව) කතාවක් කරන්න වෙනයම් හෝ ඉදිරිපත් වීමක් කරන්න පුලුවන් ලෙස දරුවන් හැඩගැස්සවීම.

ජීවත් වන පරිසරය සුන්දරව තබා ගත යුතු බව ඉගැන්වීම. (ටොපියක් කෑවත් කොලේ අතන මෙතන විසි නොකර කුනු කූඩෙකටම ගෙනත් දැමීම, නිදාගත්සෙල්ලම් බඩු ටික සෙල්ලම් කල පසු පිලිවෙලකට තැබීම, ඇඳේ රෙද්ද නවා තැබීම ආදිය කුඩා උන්ට ලොකු වැඩි දේ නිසා පාසැල් බෑගය නියමිත තැනක තැබීමට හුරු කිරීම ආදිය )

වැඩිහිටියන්ට ගරු කරන්න ඉගැන්වීම සහ ඒ අතරම වැඩිහිටියන් වුනත් වැරදි දෙයක් කරනවා නම් එයට විරෝධය පාන්න ඉගැන්වීම. (මොනවද සීයේ මිදුලේ හැමතැනම බුලත් කෙල ගහන්නේ . . කානුවට හරි පඩික්කමකට හරි කෙල ගහන්නකෝ කියා පොඩි එකෙක් කීවොත් ලොකු මිනිහෙක් කියනවට වඩා දැනෙනවා නේද?)

සපත්තුවේ ලේස් එක පවා ගැටගසන්න අපහසු තඩි බඩගෙඩි ඇති අය නිතර දකින්න ඇති නිසා ශරීරය පහසුවෙන් සිහින්ව තබා ගන්න ව්‍යායාම ආදිය කලයුතු බව දන්වන්න සරඹ ආදියට හුරු කිරීම.

මුලින්ම ඕනෑම කෙනෙක් බලන්නේ දකින්නේ මතුපිට පෙනෙන ඔපය නිසා දත්, නියපොතු ආදිය පිරිසිදුවට තබා ගත යුතු බව ඉගැන්වීම.

විශේෂම දේ පොත් කට පාඩම් කරන්න ජීවිතයේ පාසැල් කාලය සහ සරසවි කාලය ඉදිරියේ ඇති නිසා ළමා කාලය කෙලි සෙල්ලමින් ගත කරන්න ඉඩ ලබා දීම.

පෙර පාසැල් අධ්‍යාපන ක්‍රමය කොයි වගේ උනොත් හොඳයිද කියලා මේන් මට දැනට දැනෙන විදිහ. මේ දේවල් පෙර පාසැලෙන් වෙන්නේ නැති නම් ගෙදරදිම උනත් දරුවන්ට උගන්වන්න පුලුවන් නේද?

චිත්‍ර පොතක් - පැස්ටල් - දිය සායම් ගෙනත් දී චිත්‍ර කලාවට හුරු කරන්න පුලුවන්.

නැටුම් ගැයුම් සඳහා ගෙදරදී අම්මට, තාත්තාට, ආච්චීට හෝ සීයට උදව් කරන්න පුලුවන්.

අහල පහල දරුවන් කෙප දෙනෙක් රැස් කර සභාවක් තියා කතා පැවැත්වීම, සභාවක ගීත ගැයීම ආදිය හුරු කරන්න පුලුවන්.

උදේ ම සරඹ ටිකක් කරලා මූන හෝදගන්න කියලා උගන්වන්න පුලුවන්

එහෙම නේද?

නෑ මම කියන්නේ පෙර පාසැලේ ක්‍රමයේ ඒ දේවල් නැතිනම් ගෙදරදී හරි ඒ දේවල් දෙන්න පුලුවන් උනොත් ගිරවෙක් නැතුව නිර්මාණශීලී දරුවෙක් ලෝකට දෙන්න අපිට පුලුවන් වෙයි නේද?

පෙර පාසැල් අධ්‍යාපනය කොයි වගේ උනා නම් හොඳයි ද කියලා ඔයාලට හිතෙන හැටි පොඩ්ඩක් කියන්නකෝ බලන්න.

මගේ සොඳුරු ත්‍රස්තවාදියගේ පෙර පාසලේ උත්සවයේදී ගත්තු පින්තූර ටිකකුයි එහේදි ගන්න බැරි වුනු ඒවට ගෙදරදී ඒ ඇඳුම් අන්දලා ගත්තු පින්තූර ටිකකුයි මේ පහල තියෙන්නේ.














55 යි අදහස්:

Observer said...

කකුල් දෙක මැඩ්ලින් ගහපු කතාව මං නං විශ්වාස කරන්නෙ නෑ, හමුවෙලා කතා කලේ විනාඩි කීපයක් වුනාට, 'දුකා' සබකෝලෙ තියෙන පොරක් කියල හිතන්න කොහොමත් බෑ.
ඔය පෝස්ට් එකේ තියෙන ටික ඔක්කොම කියන කොට අර 'විශ්‍රාමික විදුහල්පතිවරය' ත් අහගෙන හිටියද? හෙහ් හෙහ්

කියන්ඩ ඕනෙ ටික නියමෙට කිව්ව කියලයි හිතෙන්නෙ.

කොල්ලගෙ පින්තුර ටික මරු, හෙණ ජොලි ඇති තාත්ත ආව එක ගැන.

දුකා said...

දන්න කියන අය එක්ක කතා කරද්දී මැඩ්ලින් ගහන්නේ නෑ අයියේ සභාවක කතා කරද්දී තමා . . හික්ස්

සංජු said...

හප්පා.... කොල්ලා මොන්ටිසෝරි ගිහිනුත් ඉවරයි නේද? මට තාම මතකයි ඉස්සෙල්ලාම ගිය දවසෙ පෝස්ට් එකත්. දැන් ලබන අවුරුද්දෙ ඉස්කෝලෙ යනවද? අනේ අපේ මොන්ටිසෝරියෙ කොන්සට් එකක් තිබ්බෙ නෑ 88 කලබල කාලෙනෙ :( මොනව උනත් පුතා සතුටු වෙන්න ඇති ගොඩක් නේද? අලුත් අත්දැකීමක් නෙ.

Dee said...

පරිසරයටයි, සතුන්ටයි ආදර ගවුරව කරන්ඩ දරුවන්ට කියා දෙන්නෙ නැද්ද වදේ..??!!

ඕනයා said...

අම්මප අයියෙ . . . මම අදටත් සතු‍ටු වෙනව මගෙ මොන්ටිසෝරි අද්්‍යාපනය එක දවසකිං ඉවර කරන්න ලැබීම ගැන සහ මගෙ දෙමාපියන් මාව පාඩං කිරිල්ල පස්සෙ පන්නන්නෙ නැතුව හිතේ හැටියට සෙල්ලං කරන්න ඉඩ ලබාදීම ගැන. මට තියන එකම ආසාවක් තමා මගෙ කෙල්ලටත් ඒ විදියෙම ලස්සන ළමා කාලයක් ලබාදෙන එක.

දුකා said...

සංජු
නෑ නෑ කොල්ලගේ හරි මොන්ටිසෝරි අවුරුද්ද ලබන අවුරුද්ද
මේ අවුරුද්ද පොඩ්ඩක් ඌට ගෙදරල සෙල්ලම් කරන්න එහෙම කවුරුත් නැටි නිසා දැම්මේ.
ඔව් අප්පා ඌට හෙන ජොලි. මොනා උනත් උගේ ඉදිරිපත්වීමේ ගතිය නම් නියමයි.

ඩී
හරි හරි වදේ . . ඒක ජුන්ඩක් අමතක උනා දුකාට. හික්ස්

ඕනයා
අනේ ඔව් බන්. අම්මලගේ උවමනාවට මේ පුංචි එවුන්ව රේස් එකක දුවවන එක මට නම් පේන්න බැරි වැඩක්.

Lishan Puwakowita said...

ළමයෙක් ස්වාධීනව නැඟී සිටින්නට අප උදවු දිය යුතු මුල් ම අවස්ථාව තමා අයියේ මට හිතෙන විදියට නම් දරුවා කුඩා කාලයේ තනිවම තමන්ගේ කිරි බෝතලය බොන්නට උපකාර කිරීම.., මේ දේ හරියට සිදුවෙනවා නම් දරුවා ඉන්පසුව ස්වෝත්සහයෙන් නඟී සිටින්නට වෙර දරාවි. අර කිව්වා වගේ අනාගතේට හොඳ ගිරවෙක් දායාද කලාම පස්සේ ඒ දෙමාපියන්ට හිතේවි [මොළයක් තියේ නම් පමණක්] තමන් දරුවට කල අපරාදය කුමක්දැයි කියා..,
උඹ කතා කල එක හොඳයි.., ඒත් කකුල් මැඬලින් ගහන්න වෙච්චි එක නම් පිළිගන්න අමාරුයි බං..! :D

prasanna86k said...

කතාවනම් මරු අය්යේ... ඒත් ඕවා ඇහෙන්න ඕනෙ වුන්ට ඇහුනද කියලා තමා සැක...

රෙප් මහත්තයා said...

අපේ පොඩි උන් කිරි බොන කාලේ ඉදල අම්මලාගේ ඕනෑකමට රේස් එකට වැටිලා ශිෂ්‍යත්ව විබාගේ මහා ඉහලින් පාස් වෙනවා. ඊට පස්සේ අම්මල ඌව ලොකුයි කියන ඉස්කෝලෙක ගෙනිහින් අත් අරිනවා. ගෙදරදී අම්මලට ඕන විදියට නටපු පොඩි එකාට ඊළගට ජිවත් වෙන්න ලැබෙන්නේ අමුතුම පරිසරයක. ඌට හම්බවෙනවා හොද නිදහසක්. එතැනදී ලැබෙන නිදහසින් ප්‍රයෝජන අරගන ඌ පිස්සු කෙලින්න පටන් ගන්නවා. ටියුෂන් වල පිහිටෙන් ඕලෙවල් යන්තම් ගොඩ යනවා , ඒ ලෙවල් ෆේල්. කොහොම හරි ගිරවා දාල exam ගොඩ දා ගැන කැම්පස් ගියත් සාමාන්‍ය දැනීමක් කියලා දෙයක් නෑ. පොඩි කාලේ ඉදන්ම උන්ව රේස් දුවවන්නේ නැතුව පොඩි උන්ට සෙල්ලම් කරන්න තියන ළමා කාලය උන්ටම ආයෙමත් දුන්නොතින් උන් ස්වෝත්සාහයෙන් නැගිටින්න පුරුදු වේවි. ජය පරාජය විද ගන්න පුරුදු වේවි, මේ රටේ අනාගතය මිට වඩා ගොඩාක් ලස්සන වේවි.

charmi said...

කතාව නං ඇත්ත. ඒත් ඔය ඔක්කොම එතන කිව්වනං උඹත් මයික් ටයිසන් කෙනෙක් උනාද දන්නෑ..........

Jeew said...

අයියේ... උඹ ඔය ටික ඔක්කොම කිව්වනම්... සිරා ම කතාව...

නදීෂා said...

අපේ සුදු පුතා නැටුම් 10 කට හිටියා.අප්පච්චි ආව නිසා එයාට නටන්න යන්න බැ කිය කිය හිටියේ.අපි බය උනා ඇත්තටම එහෙම කරයිද කියලත් මොකද අප්පච්චිට හරි ආදරෙයිනේ.දාලා යයි කියල බයේලු එහෙම කිව්වේ.
එයාව අවුරුද්දකට කලින් මොන්ටිසෝරි දැම්මේ සින්හල කතා කලේ නැති නිසා.ඒත් එයා හිටිය හැම නැටුමෙම වගේ කවි කැගහලා කිව්වේ එයා තමා.

Bandula - බන්දුල said...

අධ්‍යාපනය පිළිබඳව ඔබ දකින මානය ඉතාමත් නිවැරදියි! ඔබේ සෙඳුරු ත්‍රස්තවාදියා සැබෑ වාසනාවන්තයෙක්! මොකද මම එහෙම කියන්නේ; අද, විශේෂයෙන් පෙර පාසල්වල අකුරු උගන්වන්නේ ගුරුවරුන්ගේ අවශ්‍යතාවය හෝ නොදන්නා කම නිසා නොවේ. අම්මලාගේ ඉල්ලීම/බල කිරීම නිසා. පෙරපාසල් ගුරුකම සඳහා ලංකාවේ උගන්වන ප්‍රධාන ආයතන දෙක තමා ජාතික ළමා අධ්‍යාපන පදනම හා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය. මා දන්නා තරමට මේ ස්ථාන දෙකේම ක්‍රියාකාරකම් පදනම් වූ අධ්‍යාපන ක්‍රමයන් තමා පුහුණු/දැනුවත් කරන්නේ. ඒත් අපේ කාලයේ අම්මලා ලබන්නේ පාසල් යනකොට හොඳට ලියන්න කියන්න පුළුවන් 'ශිෂ්‍යෙයක්' හදා ගන්න.
එහෙම නොහිතන ඔබ වැනි අයෙකුගේ දරුවෙකු වීම ලොකු වාසනාවක්. සොඳුරු ත්‍රස්තවාදියාට මගේ සුභපැතුම්!

Weni said...

අපේ ලොකු කම් පැත්තකින් තියලා තමයි ඉතින් පොඩි උන්ගෙ ලෝකෙ තේරුම් ගන්න ඕනි ! ආන්න ඒක වැඩියෙන්ම නොතෙරෙන්නෙත් පොඩි ළමයින්ව හදන්න කියලා දඟලන ආයතනවල ඉන්න බහුතරයටම තමයි කියලයි මන් හිතන්නෙ. 20% ක් එහෙමම නෑ.. ඒ සුළුතරය ..

ජේ.ඩී said...

සිරා කතාව දුකා අයියාz :) අර කන්ලින් කතාව පවත්වපු පොරට ඇඟිලි මදිවෙන්න ඇතිනේ කන්දෙකේ ගහගන්න :D

හිස් අහස said...

කතාව නම් මල් හතයි . දුකා කියාපු මේ සියලූම දේවල් එක්ක මම වැඩ කරන තැන බොසා නම් සියේට සීයක් එකඟ වෙනවා සිකුරුයි . මොකෝ කීවොත් මගෙ බොසාට තියනවා ඉංග්‍රීසි මාද්‍ය පෙරපාසලක් . එයා ඉතින් සමහර දාට මා එක්ක නිතරම මෙන්න මේ ලිපියේ තියන වදන් ටික එහෙම්මම කියවනවා . ළමයෙක් පෙරපාසල් යවන්නේ මේවටයි කියලා එයත් දවසක් කීවේ මෙන්න මේ කරුණු ටිකම තමයි


සෙහ් වීඩියෝ ක්ලිප් එකක් තිබුණා නම් මේ දුකා අයියා කියන දේවල් ඇත්තමද කියලා සැක හැර දැනගන්ඩ තිබ්බා . ඔය අපිට කීවට මූ ඉස්ටේජ් එක උඩ දපලා වැටුණාද මන්දා සබකෝලේ හැදිලා

උඹගේ පොඩි එකා නම් අයියේ හරී සීදේවි පාටයි ..

Loku John said...

මටනම් පේන්නේ මෑත කාලයෙ පෙරපාසැල් අපේ කාලයට වඩා ටිකක් ඉස්සරහින් ඉන්නෙ තරඟයටත් පොඩිකාලෙ ඉඳන්ම පුහුනුකරනවා . ඒවගේම හිතන්න පුරුදුකරනවා .. මන් දන්නෙ නෑ මගෙ පොඩි උන් ගිය ඒ වැයෙ විතරද කියලා ..

ලොකු පුතා said...

සෙල්ලම් කරන්න දුවන්න පනින්න ගෙදරම සුදුසු පරිසරයක් තියෙනවනම් සහ තවත් ළමයි ඉන්නවනම් ලමයව පෙර පාසල් යැව්වේ නැති උනාට කමක් නැහැ කියන මතයේ තමයි මම ඉන්නේ
අපිව පෙර පාසල් තියා වද කරකර ටියුෂන් පවා නොයවපු මගේ අම්ම තාත්ත අපිව හදපු විදිහට තමයි මමත් කවදාහරි මගේ ළමයෙක් හදන්නේ

ariyananda said...

සැටිපිකේට් ඇත්ත...
මම මගේ එකා හදන්නෙත් උගේ නිර්මාණශීලිත්‍වය එළියට එන විදියට මිසක් ගිරවෙක් කරන්න නෙවෙයි. ඌ ගරාජ් බාස් කෙනෙක් වුනත් කමක් නෑ ඌ නිදහස් මිනිහෙක් නං...
එච්චරයි මට ඕන...
මමයි කියලා පාඩං කරපු එකෙක් ද? කැලේම නෙ හිටියෙ පුංචි කාලෙ... මට දුක අපේ එකාට ඒ විදියට ඉන්න දෙන්න විදියක් නැති එක ගැන...
එල පෝස්ටය...

ඇලා

කතන්දර Kathandara said...

වැදගත් අදහස්.
මට පේන්නේ දුකාත් ටිකක් මයික් ටයිසන් කෙනෙක් වගේ. විනාඩි දහයක් පාලොහක් දීල ඇදලා වගේ.
අවස්ථානුකූලව කතාකරන්න බැරි එක නං අපේ අධ්‍යාපනයේ තිබුණු ලොකු අඩුවක්.

Podi Kumarihami said...

කතාව ඇත්ත. පුතාත් ෂෝක් පුතෙක්. අම්මා වගේ වෙන්ටැති නේද? :D

රාජ් said...

කතාව හරි. උඹ මේ කතාව කරද්දි අර "ලොක්ක" අහගෙන හිටියද? උන්නැහේත් අහගෙන ඉන්න වෙලාවක කිව්වනං තමා හොද. ස්තුති කතාව නිසා සමහර විට ඉන්න නැතිව ඇති. ඒවගේ වැඩිහිටියොත් අරවගේ අදහස් දරනඑක තමයි කණගාටුදායක.

ඔබ නොදු‍ටු ලොවක් said...

හප්පේ මයික් ටයිසන් පරාදයි නේ ..කොච්චර වෙලා කථා කරාද..පොඩි එකා ඉස්කෝලේ යනවා ජනවාරි මට යන්න වෙන්නේ නෑ..දුක තමයි..අප්‍රේල් වෙනකං ඉන්න වෙනවා..ගිය අවුරුද්දෙත් කොන්සට් එකේ වීඩියෝ එක බැලුවේ....

දුකා said...

@ලිෂ්!
ඔව් බන් උඹ හරි. කිරි බෝතලේ උස්සගන්න එක තනියෙම කර ගන්න එකේ ඉඳන් ස්වාධීන වෙන්න උගන්වන්න ඕන.
මැඩ්ලින් ගහනවා බන් උඹලා අපි අතරේ කතා කරද්දී නෙමේ ප්‍රසිද්ද සභාවක කතා කරද්දී.

@ගෝල්ඩ්ෆිෂ්!
ඇහුනා නෑහුනා මගේ හිතට වත් ෆිට් නේ බන්z

@රෙප් මහත්තයා!
ඇත්තෙන්ම ඔව්. ඔයා කියන කතාව සහතික ඇත්ත.
අපිට වර්තමානයේ නිර්මානශීලීත්වයෙන් අඩු අය දකින්න ලැබෙන්නේ ඒ ක්‍රමේ නිසා නේද?
අපි වත් දරුවන්ව හරි විදිහට හැදුවොත් අනාගතේ වත් හොඳ වෙයිනේ.

දුකා said...

@චාර්මි!
නෑ බන්. ළමයි බඩගින්නේ වෙහෙස වෙලා හිටි වෙලාවේ මම මේ තරම් දිග කතාවක් කලේ නෑ.
වැඩිම උනොත් විනාඩි පහයි. ඒත් මේකේ ලිව්වේ මට කියන්න ඕන උනු ටික. මේ ටිකෙන් කීයෙන් කීයක් ඒ වෙලාවේ කියවුනාද මතක නෑ.

@ජීව්!
මේ ඔක්කෝම ඒ වෙලාවේ කියන්න ගියා නම් එත්න උන්නු අම්මලා තාත්තලා මට අල්ලන් ගහනවා. ඒ නිසා ශෝර්ට් ඇන්ඩ් ස්වීට් කියලා දාලා කියන්න ඕන උනු ටික පස්සේ වෙලාවක ලියනවා කියලා හිතා ගත්තා

@නදීෂා!
අර සුද්දෙක්ට ඉන්න ඉවෙන්ට් එකේ ෆොටෝ එකේ කට බෙරි කරන් ඉන්නේ එහෙම ඒ නිසයි නේද

දුකා said...

@බන්දුල!
ඔව් අයියේ එදා මම හිටි තැනට එහා පැත්තේ හිටියේ ආරාධිත අමුත්තෙක් විදිහට සහභාගී උනු ඒ පෙර පාසැල් සංවිධානයේම ගුරුවරියෙක්.

අය කීවේත් ඔවුන්ට අවශ්‍ය මම මේ කියන ආකාරයේ අධ්‍යාපනයක් ලබා දීම ඔවුන්ගේ අරමුණ වුවත් දෙමාපියන්ගේ ඉල්ලීම දරුවා පාසැලට ඇතුලත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයේදී නිවර්දි පිලිතුරු ලබා දිය හැකි තරම් දැනීමක් ඇති දරුවෙන් පමනක් ලබාදෙන ලෙස වීම කියායි.

එහෙම බැලුවාම මේක දරුවන්ට කරන ලොකු අසාධාරණයක්.

රැල්ලට නොදුවා ඉන්න උත්සාහ දරන එකත් උඩුගම් බලා පීනීමක් අයියේ.

නිසුපා said...

මාත් ගිරවෙක් කරන්න අපේ අම්මලා කිසිම උත්සාහයක් ගත්තෙ නෑ.ඒ අතින් මං වාසනාවන්තයි...

ලකී said...

කතාව ඇත්ත දුකා.....

මම දන්න තරමින් පෙරපාසල් වල අධ්‍යාපන ක්‍රමය සකස් කරලා තියෙන්නෙ අකුරු ඉගැන්වීමට වඩා දරුවන්ගෙ නිර්මානාත්මක කුසලතා එළියට එන විදියටයි..එයයි සිදුවිය යුත්තෙත්...මගෙ පොඩ්ඩා ගිය පෙරපාසලත් එහෙම එකක්.අකුරු ඉගැන්වීම මූලික අනුමත සීමාවට පමණයි කලේ.දැන් කොල්ලා ලබන අවුරුද්දෙ ඉස්කොලෙ යන්න සූදානම් වෙනවා...හොඳම වැඩේ කියන්නෙ දැන් අම්මලා ළමයින්ව තරගෙට ටියුශන් යවනවා, ඉස්කොලෙ යන්න ඉස්සර අකුරු ඉගෙනගෙන ඉන්න ඕන කියන ආකල්පයක් දැන් සමහර අය ළග තියනවා.ආරංචියෙ හැටියට සමහර ගුරුවරුත් දරුවො පෙරපාසලෙන් අකුරු ඉගෙන එයි කියලා බලාපොරොත්තු වෙනව.අර විශ්‍රාමික විදුහල්පති ගැන හිතපන්..දැන් ඔය ලොක්ක හිතන්නෙත් ඔය විදියට නම් ඔය මනුස්සය යටතෙ හිටිය ගුරුවරුත් කොහොම හිතන්න ඇතිද. මේ හේතුව හින්දම කොල්ලව ඉස්කෝලෙට දාන්න වෙහෙස වුනා වගේම දරුවා ඇතුලත්කරන පංතියෙ ගුරුවරිය ගැනත් මට සොයල බලන්න වුනා..අපේ එකා නම් නිවාඩුව උපරිමයෙන්ම විදිමින් ගෙදරට වෙලා ඉන්නවා..ඒ හැර ළමයට වදයක් නොවන විදියට පුලුවන් විදියට ගෙදරදි කියලා දෙනවා...එච්චරයි...

මේක හරියට රේස් එකක් වගෙයි...අපිට ළමයගෙ මානසිකත්වය ගැන හිතන්නත් ඕන..ඒ වගේම මේ රේස් එක මැද්දෙ ළමයා අඩු කඩා ගන්නෙ නැතිව ඉන්නවා බලන්නත් ඕන..අනේ අපි ඉස්කෝලෙ ගිය කාලෙ මොනතරම් සුන්දරද..? මම හිතන්නෙ අපේ කාලෙ වැඩිදෙනෙක් පෙරපාසල් ගිහිල්ලත් නැහැ..

රූ.... said...

පොඩ්ඩා නම් හොඳටම හුරතල් පොටෝ ජෙනික් කෙනෙක් වගේ..

බුද්ධි said...

දෙමව්පියො හොඳම ගිරවා කරන්න යන රේස් එකෙන් පරදින්නෙ පොඩි එකා.

පොඩි එකාගේ පොටෝ මුලින්ම දැක්කෙ ‍ෛ්ස් බුක් එකේන්. පොටෝ වලට එහෙමනම ඇත්තට කොහොමද කියලා හිතුවැකි.....

සුබ අනාගතයක්....

බුද්ධි said...

දුකාගේ බ්ලොග් එකේ ප්‍රියතම ලිපිවලින් එකක් මේක.

ගිරව් කරන තරගෙන් හුගක් වෙලාවට දෙමව්පියො නෙමේ, පරදින්නෙ හති වැටිච්ච ළමයි.

පූසා said...

මගේ පුංචි කාලෙන් උදාහරණ අරං මේ අයියාගේ කතාවට අදහස් දක්වන්න තාම මගේ වයස මදි!
කොහොම උනත් සභාවක් ඉස්සරහා කතා කරගන්න බය සීන් එකනම් මට දරුණුවටම තියෙනවා. ඒක පෝඩ්ඩක් විතර අඩු උනානම් ඒ ඔය බ්ලොග් කාරයින්ගේ සුහද හමු නිසාමයි කිව්වොත් අයියා විස්වාස කරන්වද? :D

හා පැටික්කි (MS) said...

කොහොම උනත් දුකා අයියේ ගිරවා කෙතනදි හරි හිරවෙනවා ප්‍රායෝගික ලෝකෙදි...........

කියපු කතාවනම් ඇත්ත..........

ආ තව ටිකෙන් අමතක වෙනවා මල්ලියා හරි හැඩයි කිව්වා කියන්න අර කිට් වලට..... :D

දුකා said...

@වෙනී!
අද පොඩි උන්ගේ ලෝකය අම්මලා තාත්තාලා ඒ අයගේ හීන හැබෑ කර ගැනීමේ ප්‍රධාන මාධ්ය කරගෙන . . අපි ඒ අතින් වාසනාවන්තයි බන්.
පව් දැන් ඉන්න පොඩි උන්.

@ජේඩී!
නෑ බන් පොර කලින් ගිහින්. පොරගේ කතා නිසා හිත රිදුනු ටීචර්ලා වෙනුවෙන් මම කතා කලේ. අනික ඒ පොර කියපු දේවල් හරි තමයි කියලා හිතපු දෙමාපියොත් හිටියොත් කියලා ඒ අයටත් එක්ක කිව්වේ.
තිබ්බා තිබ්බා . . ඒක පටන් ගන්නකොටම කෙල්ලට වෙඩි වැදුනනේ බන්

@සඳරු
අහ් උඹේ බොසාට කියපන් මලේ පොර වගේ හිතන උන් තව ඉන්නවා කියලා.
නෑ බන් දාඩිය දාගෙන හිටියට වැටුනේ නෑ හික්ස්
තැන්කූ ඈ . . ඔව් ඔව් කොල්ලගේ අප්පච්චි වගේ තමා ඌත් සීදේවි පාටයි

දුකා said...

@ලොකු ජෝන්!
මම නම් පෙර පාසැල් ගිහින් නෑ.
කෙලින්ම හෝඩිය පන්තියට.
ගොඩක් ඉන්ටර්නැෂනල් ස්කූල් වල තියෙන පෙර පාසැලුත් අකුරු ඉගැන්වීම වගේ දේවල් වලට මුල් තැන දෙනවා කියලයි මම නම් දැක්කේ. අක්කගේ නංගිගේ ළමයි යන්නේ / ගියේ ඒවට.
හොඳ ඒවත් ඇති ඒ අතර.

@ලොකු පුතා!
අපේ පුතා මෙහේ (ඩුබායි / අබුඩාඉ ) ඉඳන් ගිහින් සිංහල නැතුව වෙන භාෂාවකින් තමා කතා කලේ.
අපි නම් කොල්ලව පෙර පාසැල් දැම්මේ ම සිංහල කතා කරන්න ඕන නිසායි සෙලල්ම් කරන්න ඉඩ ලබා දෙන්නයි.

@ඇලා!
ඇත්තෙන්ම මට ත් මගේ කොල්ලා මොන රස්සාවක් කලත් කමක් නෑ . . මනුස්සකම් අඳුනන ගහකොලට සතා සීපාවට ආදරය කරන අලුතෙන් හිතලා දෙයක් කරන්න පුලුවන් එකක් වුනොත් ඒ ඇති.

දුකා said...

@කකා!
නෑ නෑ ආයුබෝන්. මම කතා කලේ බොහොම පොඩ්ඩයි. එතන කියා ගන්න බැරි වුනු නමුත් කියන්න ඕන උනු ටික ලෝබ නැතුව බ්ලොග් එකේ ලිව්වා. . හික්ස්

@පොඩ්ඩී!
ඔව් ඔව් කොල්ලා අම්මා වගේ තමා ගොඩක්. හැබැයි වැඩකෑලි එහෙම මගේ වගේලු (ඌ නෝටි වැඩක් කරපු ගමන් කොල්ලගේ අම්මා කියන්නේ . . අපෝ අප්පච්චි වගේමයි කියලා . . හික්ස්)

@රාජ්!
නෑ බන් මනුස්සය කලින් ගිහින්. කමක් නෑ මගේ හිතට ෆිට් නේ බන් පොරට ඇහුනේ නැතත් මට කියන්න ඕන දේවල් ටික වෙන කාට හරි වත් කිව්වනේ කියලා

@ඔබ නොදු‍ටු ලොවක්!
නෑ නෑ මම මයික් ටයිසන් කෙනෙක් උනේ නෑ බන්.
පොඩි වෙලාවකින් ශෝර් ඇන්ඩ් ස්වීට් කියලා ඉවර කලා.
දුක තම මචෝ . . මොනා කරන්නද?

දුකා said...

@නිසුපා!
ඒත් නගේ ඔයාලගේ පරම්පරාවේ හැමදෙනාම එහෙම වාසනාවන්ත නෑ.
ගොඩක් අය වැඩකරන තැනකට ආවහම තමයි ගිරව් වෙලා ගොඩ ගිය ඒවායේ රඟේ තේරෙන්නේ.

@ලකී!
ඔව් මචං උඹ කියන කතාව ඇත්ත.
ළමය ව ගිරවෙක් නොකලොත් ලොකු ඉස්කෝලෙකට දාගන්න බෑ (ඉන්ටර්වීව් එක ෆේල් උනොත්?) පොඩි ඉස්කෝලෙකට දැම්මම කල එලියක් නෑ (පට්ට මීටරයක් නෙමේ නම්)
අනේ මන්දා බන්. අද්‍යාපන ක්‍රමය ම වෙනස් වෙනව නම් කියලා හිතෙනවා.

@රූ!
අපෝ ඔව් හෙනම ෆොටෝ ජෙනික්. කියන කියන විදිහට ඉන්නවා ෆොටෝ වලට.

දුකා said...

@බුද්ධි!
උඹලත් පෙර පාසලක් කරනවා නේ?
අම්මලව පොඩ්ඩක් දැනුවත් කරපන් ළමයින්ව ගිරව් කරන්න නම් එපා කියල.

@පූසා!
ඇත්තෙන්ම මල්ලී ඒක ලොකූ දෙයක්. අපි හැමෝම අපිම හදාගත්තු කොටුවක ඉන්නේ බන්. ඒකයි අපිට සභාවක කතා කරන්න බය.
මගේ සහ යාලුවෝ කීප දෙනෙක්ගේ තව අදහසක් තියෙනව. සයිබර් ෆෙස්ටිවල් වැඩේ ෆයිනලයිස් උනාට පස්සේ ඊලඟ එක විදිහට ඒක යෝජනා කරන්න ඉන්නේ මම.

@හා පැටික්කි!
ගිරවුන්ව ප්‍රායෝගික කරන්න අපි මොකක් හරි කරමු නගේ.
අහ් හරි හරි මම කියන්නම් කොල්ලට . . . හා නැන්දා ලස්සනයි කිව්වා කියලා . . හික්ස්

ඉන්දික උපශාන්ත said...

මචං පෙර පාසැලේ උගන්වන දේ වයසට අනුව වෙනස් වෙනව මං දන්න විදියට. අර මොන්ටිසෝරි කියන අධ්‍යාපන ක්‍රමේට කරන හරි පෙර පාසල් වල ළමයි ඉස්කෝලෙ යනකොට වැඩි කරන්නත් දන්නව. ඒත් ඒක උන්ට උගන්වන ක්‍රමයෙ තමයි වෙනස. අපේ රටේ ඒ අළුත් ක්‍රම නැති එක තමයි අවුල.අපේ ලොකු බාහු ප්‍රි ස්කූල් ගියෙ නෑ, කෙළින්ම ඉස්කෝලෙ නර්සරි එකට අවුරුදු හතරෙදි දැම්මෙ. ඒත් මිනිහට එතන බෝරිං මොකද එතන මාස හයක් ගිහින් තාම එච් අකුරයි දහයෙ ඉලක්කමයි. මිනිහට සීයට ලියල ඇලෆබට් එකමත් ලියතැහැකි. ඒ වගේම ඌට දෙය්යනේ කියල සිංහල අකුරු බර ගානකුත් කියවන්න ලියන්න පුළුවන්. ඒ අපි නෙට් එකෙන් එයාට වැඩ හොයල ප්‍රින්ට් කරල ගිහින් දීපු නිසා සහ කොල්ලව කාර්ටූන් වලට ඇබැහි නොකරපු නිසා. උගන්වන එක නෙමෙයි අපේ රටෙ අවුල උගන්වන විදියෙයි.

Beetle said...

පරක්කු වෙලානේ මේ පැත්තට ආවේ...මමත් අහපු පෙරපාසැල් අධ්‍යාපනය ගැන වැදගත් අදහස් ගොඩක් සඳහන් වුණු ඉතාම වටින කතාවක්... [සහ චාටර්ම ස්තුති කතාවක් :D :D :D]

අසනි said...

සුභ නව වසරක් වේවායි පතනවා...අයියණ්ඩිට...!

Chathuranga Perera said...

දුකා අය්යේ. අර නිළධාරි උත්තමයත් උන්නා ද ? එහෙනම් එළමැයි...!

උඹ වගේ තාත්තා කෙනෙක් ලැබෙන්න කොලු පැටියත් පිං කරලා ඇති.

මුණ ගැහෙන්න ඕනෙ නෑ. මූණ දැක්කම කිව්වැකි කොල්ලා හුරතලේ කියලා... මම හිතන්නේ ඒකා අක්කා වගේ වෙන්නැති...

දුකා අයියටත්, අක්කටත්, කොලු පැටියා ටත් සතුට පිරුණු සුභ 2012 අවුරුද්දක් ...!

ඉන්දික උපශාන්ත said...

සුභ නව වසරක්!

බට්ටා said...

ඔබතුමා වගේ හිතන තාත්තලා ඉන්න මගේ රට හරිම වාසනාවන්තයි කියලයි මට හිතෙන්නේ. මගෙ තාත්තත් ඔය වගේ හිතන්න ඇති කියල මට හිතෙනවා.

nihal gurusinghe said...

පොඩි ළමයින් වැඩි දෙනෙකුට තියෙන දෙයක් තමා සබ කෝලය. ඒක ලෙඩක් නෙවි. මටත් ඉස්සර ඕක තිබුනා.
පොඩි එකා හරි හුරු බුහුටියි. මං හිතන්නෙ අම්ම වගේ වෙන්නැති :)
පොඩි එකා දොස්තරෙකු හෝ ඉන්ජෙක් නොකර පොඩි එකා ආස කරන පාරෙ යවන එකයි හරි. ඔබලාට සුබ නව වසරක්.

ෆා said...

දැන් අයියේ උඹ අර ඉහත කී සියල්ල මයික් එකට කට ඇරලා කිව්වද නැතිනං එතන හිටන් ඉන්න ගමන් හිතපු ඒවාද? කිව්වනම් ඔන්න වැඩේ ගොඩ ඈ...

විරුල් ගැන කිව්වොතින් මං කැමතිම අර එක්කෙනෙකුට අනේ කට වහන් ඉන්න තාත්තේ කියපු සීන් එක තමා.. හිකිස්!

දුකා said...

@ඉන්දික!
ඔව් මචං . . දැන් වත් මේ ක්‍රමේ වෙනසක් උනේ නැති උනොත් තවත් අනාගතේ ගිරව් ම බිහිවෙන එක නතර කරන්න බැරි වෙයි.
සුභ අලුත් අවුරුද්දක් වේවා උඹටත් . .

@බීට්ල්!
නෑ බොලන්. ස්තූති කතාව ශෝර්ට් ඇන්ඩ් ස්වීට් . . මේකේ තියෙන්නේ ඒකෙදි කියන්ට බැරි උනු ටික. හික්ස්

@අසනි!
බොහෝ ස්තූතියි ඈ . . උඹටත් එසේම වේවා නගේ.

දුකා said...

@චතුරංග!
නෑ නෑ එතුමා කලින්ම ගිහින්.
අහලා බලන්ට ඕන ගෙදර උන්දෑගෙන් එතුමාගේ දන්න කියන කවුරුත් ඒ වෙලාවේ හිටියද කියලා.
ඔව් ඔව් කොල්ලා අම්මා වගේ තමා (පෙනුම ) හික්ස්

@බට්ටා!
බට්ටාගේ තාත්තාට මගේ ආචාරය.

@නිහාල්!
සබකෝලය පොඩි කාලෙම නැති කරන්න ඕන අයියේ.
නැති නම් ලොකු උනාම ලොකූ ප්‍රශ්නයක් වෙනවා.
මම අත්දැකීමෙන් දන්නේ.

@ෆා!
නෑ යකෝ . . ඔය දේවලින් බොහෝම ටිකයි කිව්වේ . . එත් පොඩි හරි දෙයක් කියන්න ඇහැක් වෙච්චි එකම මදෑ බන්ස්.
ඈ යකෝ කොල්ලා කිව්වේ "අනේ ෆා අයියේ කට වහගෙන ඉන්න" කියලා නේද? අනේ මගේ කට

arunishapiro said...

ඔහොම වදන් දුකා මල්ලි ඇතුළු අපි හැමෝම කියන්න පටන් ගත්තම කවදා හෝ ටික දෙනෙකුට හෝ ඇහෙන්නත් පටන් ගනිවී. මම දුව ගෙදර පාසැලේ ඉගැන්වූයේ දුකා මල්ලි ඇහුවා වගෙ මයික් ටයිසන්ලා ගේ කතා අඩුවෙන් අහන්න වෙන්නයි. හැම දෙයක් ම වෙන කාට හරි කරන්න බාර දෙන රටක ගෙදර පාසැල් ගැන කතාබහක් හෝ ඇති වෙයි දැයි සැකයි. මැඩ්ලින් ගගහ හරි බය නැතුව හිතේ තිබිච්ච දේ කිව්ව දුකා මල්ලි වගේ තාත්තෙක් ඉන්න, හොඳ පාසැලක් පොෂ් නිසා නොවන! හොයාගත්තු අම්මා කෙනෙක් ඉන්න විරුල් පුතාට සුභ අනාගතයක්!

සරත් ලංකාප්‍රිය said...

ඔබ කියන දේ හරියටම හරි.. විදේශ රටවලදී අපේ මිනිස්සු පස්සට ගිහින් උගත්කමින් සුදුසුකමින් බොහෝ පහල සුද්දන් ඉහලට යන්නට එක හේතුවක් විෂයබද්ධ අධ්‍යාපනෙන් අපි ලබපු අසම්පුර්ණ ප්වුරුෂත්වය තමයි.. ඊට අමතරව ඉතින් අපේ හමේ පාටයි කොයි රටකටවත් වීසා නැතිව යන්න බැරි අපේ පාස්පෝට් එකයිත් බලපානවා..

Dude said...

පෙර පාසල් ක්‍රමයේ හොඳ නරක නෙවෙයි. මගේ අත්දැකීම කියන්නම්කො. මගෙ ලමයි දෙන්නා කවදාවත් පෙර පාසැලකට ගිහින් නෑ. නමුත් දිවා සු‍රැකුම් මධ්‍යස්තාන වලට ගිහින් තියෙනවා. (ලංකාවෙ) මේ ලමයි දෙන්න ජීවිතේටම ටියුෂන් ගිහින් නෑ. නමුත් දෙය්යනේ කියලා හොඳට ඉගෙන ගන්නවා.

අරකා නම් සොඳුරු ත්‍රස්තවාදියෙක් බවට කිසිම සැකයක් නෑ.

henryblogwalker the Dude

චමින්ද ගුණරත්න said...

"සොඳුරු ත්‍රස්තවාදායා"හරහා අධ්‍යාපන ක්‍රමය සහ කටපාඩම් අධ්‍යාපන ක්‍රමයට කන අතගාලා කනේ පාරක් ගහලා...දුකා හරි දෙමව්පියන් තීරණය කරන්න ඹ්නේ කොතැනටද දරුවා යොමු කරන්න අවශ්‍ය කියලා..අර සාම්ප්‍රධායික ගිරා සංස්කෘතියටද ඉන් ඔබ්බටද ගියලා...

Dayal Bathee said...

ඔබගේ අදහස් දඹරන්
පලඳමි රන් අභරණ කොට
හිත පුරා
ලොවට හොරෙන්

කටුස්සට රන් මාල වී
නම අග අකුරුවලට සීමා වූ
.......
උන් දෙසන වැදි බණ
තබක්කය
දිස්නය දෙන ඔබ අදහස් අද්දර

පුංචි කුමාරිහාමි said...

අද අපේ රටේ හැමතැනම මෙහේ තමයි.ඔබ හොඳ තාත්තෙක්...

kandyan said...

කතාව ඇත්ත.... වෙන රටක හිටියත් මමත් අවුරුද්දක විතර කාලයක් ලංකාවේ පෙර පාසැලක් පවත්වාගෙන යනවා...ව්‍යාපාරයක් වගේම සේවයක් හැටියට...curriculum එක සකස්කරලා තියන්නේ ලමයින්ගේ ඔය කියන කුශලතා ප්‍රගුණ කිරීමට...නමුත් දෙමව්පියන්ට ඕන ගිරව් කරන්න...
දැන් හිතෙනවා පටන් ගත්ත මෝඩ කම කියලා...

Post a Comment

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

Related Posts with Thumbnails