Wednesday, June 30, 2010

ලිටිල් ස්ටාර්ස්ලා සහ ළමා ගී . . . . !

අපි දැන් දවස් ගානක ඉඳන් අන්තර්ජාලය හරහා දෙරණ ලිටිල් ස්ටාර් තරඟය බලනවා . . . මගේ පොඩි එකා හෙවත් සොඳුරු ත්‍රස්තවාදියා ත් එම වැඩසටහනට හරිම කැමතියි . . සමහර වෙලාවට අපිට වෙන දෙයක් බලන්න දෙන්නෙත් නෑ එයාට මේ ලිටිල් ස්ටාර් දාලා දෙන්න කියලා කරදර කරනවා. . . .

ඒ වැඩසටහනට මමත් හරිම කැමතියි. ඉස්සර අපේ කාලේ වේදිකාව හිමිවෙලා තිබුනේ වරප්‍රසාදලත් කන්ඩායමකට විතරක්දෝ කියලා හිතෙන වෙලාවල් තියෙනවා වුනත් එහෙම නැති නියම දක්ෂයෝ උත්සාහයෙන් වැඩිහිටි අයගේ මගපෙන්වීමෙන් කරලිය ජයග්‍රහනය කරපු අවස්ථාත් ඕන තරම් අහන්න ලැබිලා තියෙන නිසා කරලිය වරරප්‍රසාද ලත් අයට විතරක් කියන්න හිත නැමෙන්නේ නෑ වගේ. . . කෙසේ නමුත් මේ කරලිය හා වරප්‍රසාද සංවාදය අලළා සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරපු අපූරු ගීතයකුත් තිබෙනවා ගොඩක් අය අහලා ඇති . .

තිරය ඇරෙනවා තිරය වැහෙනවා

තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඬ පැතිරෙනවා
සඳළුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟ සුඟ නටවනවා . . .
. . .
කලගෙඩි නැටුමට කළගෙඩි සොලවති
නළ වතුරෙන් සැන්හෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ . .
. . .
දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරලිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකොට
කරලිය අභියස බලා හිඳියි . . .

මේ ලිටිල් ස්ටාර් තරඟ වලට එන පුංචි දරු දැරියන් වැඩිහිටි ප්‍රවීනයන් විසින් ගායනා කරපු උසස් ගීත වගේම සමහර ගායකයෝ / ගායිකාවෝ කියා හඳුන්වාගන්නා අය ගායනා කර එෆ් එම් නාලිකා මඟින් බලෙන් අපිට අස්සවන්න සලස්වන හරසුන් බොල් ගීතත් ගායනා කරනු අහන්න දකින්න පුලුවන්.

ජීවන වියදම අහස උසට නැගලා තියෙන අද කාලේ ඉස්සර අපිට ළමා ගීත, ජනකතා ජන ගී උගන්වපු ආච්චිලා සීයලා බොහෝ දෙනෙක් අද කාලේ නඩත්තුව අපහසු නිසා වැඩිහිටි නිවාස වල දිවි ගෙවන නිසාවෙන් මේ ළමා ගීත අප අතරින් නැත්තටම නැති වෙලා යාදෝ කියා මටනම් බොහෝ සාංකාවක් තියෙනවා.

ඉතිං අපි පුංචි කාලේ රෝඩියෝවේ නිතර අහන්න ලැබුනු ගීත ටිකක් ගැන ලිපියක් ලියා තැබිය යූයි කියා මා සිතුවා.

මේ ගීත වලට මගේ පොඩි එකාත් හරිම කැමතියි. අපි නිවාඩු ගිහින් එන විටෙක මේ ගීත අඩංගු තැටි කීපයක් ගෙනාවායින් පොඩි එකාට මේ ගීත රසවිඳින්න අවස්ථාව උදා කරලා දෙන්න අපිට හැකි වුනා. අපේ "කට කහන කතා" ලියන දුමීගේ දරුවන්ටත් අම්මා තාත්තා දෙපොලම සංගීතඥයෝ නිසාවෙන් මේ ගීත උගන්වලා තියෙනවා දුටුවිට නම් මට ඇතිවුනේ පුදුම සතුටක් . . .

. . . . . . . ..

මහළු නිවාසයේ ඉන්න සීයා අමල්බිසෝ කතන්දරේ මුනුබුරු, මිනිබිරියන්ට කියා දෙන්නේ කෙසේද . . .???

ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා . . //
හුනු කිල්ලෝටයක් අරගෙන සීයා බුලත් විට හපනවා . . .
අනේ සීයේ අමල් බිසෝ කතන්දරේ කියන්නකෝ . . . . //



. . . . .

සෝමා ජයකොඩි මහත්මිය ලියපු රන්ගිර නවකතා පොතේ මම කියෙව්වා සාමාන්‍යපෙළ අසමත් වුනු නිමල්කා, මහසෙන් අයියාගෙන් උදවු ඉල්ලනවා ජපන් ආධාර අරගෙන පෙර පාසලක් අරඹන්න . . . උසස්පෙල උගන්වන ගුරුවරුන්ටත් වඩා මනෝ විද්‍යාව, ළමා මනස, අධ්‍යාපන මනෝ විද්‍යාව, ආදිය ගැන උගත්කමක් ඇති අයවලුන් විසින් සිදුකල යුතු කුඩා අයට ඉගැන්වීම සාමාන්‍යපෙළ අසමත් අයවලුන් විසින් සිදුකිරීම ඛේදවාචකයක් ලෙස කතුවරිය හුවා දක්වා තිබුනා . . . ඒ කෙසේ නමුත් දක්ෂ ආදරණීය පෙරපාසැල් ගුරුතුමිය අද දවසේ පවා ඔබේ සිතේ කොනක ජීවත්වනවා නොවේද . . ?

ඇය කොන්ඩේ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතනනේ . . .

අපේ පංතියේ ළමයි එක්ක ඈ හරි යාළුයි
ඈ පාසල් නාව දාට පන්තිය පාළුයි
ගමරාළගේ කතාවටයි අපි හරි ආසා
කවදාවත් නෑ පන්තියේ කරනෙන ගෝසා . .
. . ..
සිනා ගෙනෙන කතා තමයි ඈ පවසන්නේ
ආදරයෙන් සැමදා අප හට සලකන්නේ
ඈ අසලම ගැවසෙන්නට අපි හරි ආසයි
මේ පන්තිය දමා යන්න අපි ලෝබයි . .

මේ ගීතයේ පදරචනය සහ සංගීතය අසහාය සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ. අවාසනාවට මේ ගීතයේ ලින්ක් එකක් සොයා ගන්න අපහසු වුනා . . කාට හරි පුලුවන් නම් සොයා දෙන්න ලොකු උදව්වක් . .

. . . .

කතන්දර කාරයා එක පාරක් ලියලා තිබුනා "සකල බුජං" ගැන ලිපියක් . . . එකේ අවසානේ ලියලා තිබුනා

තිස් වසකට පෙර දිනයක
අපේ අතින් වුන වරදට
සකලබුජං
අනේ මචං
සමාවෙයං
කියලා . .

මේක ඔහුගේ පුද්ගලික අත්දැකීමක් නෙමේ කවි සිතුවිල්ලක් . ..

මේක කියෙව්වාම මට මතක් වුනේ අපේ ගෙදර හිටපු සකල බුජංලා දෙන්නෙක්ව . . මුන් දෙන්නවම ඉස්කෝලේ කට්ටි පැනල නිකම් ගමේ කරක් ගහ ගහ විනාස වෙන්න ගිය උන්. අපේ තාත්තා කොහේදෝ ඉඳන් මුන් දෙන්න ව දෙපාරකට එක්කගෙන අවහම අම්මගෙයි අපේයි නම් හිත් හොඳ නැති උනා මොකද අමාරුවෙන් පුරවපු කටවල් ගාන ට තවත් කටවල් දෙකක් එකතු වෙන එක ගැන . ..

ඒත් තාත්තාගේ තීරණය අවසාන තීරණය නිසා අපි හැමෝම ඒක භාර ගත්තා. උන් ආවයින් මට වුනු ලේසිය නම් උදේට පාන් ගේන්න කඩේ යන රාජකාරිය අතහැරුනු එකයි සෙල්ලම් කරන්න අපේ කන්ඩායමට තව දෙන්නෙක් එකතු වුනු එකයි තමයි.

අපේ තාත්තා වැඩිකල් නොයවාම මුන් දෙන්නවා ගරාජ් එකකයි හාඩ්වෙයාර් එකකටයි පන්ගාර්තු කලායින් දැන් එකෙක් හොඳ ගරාජ් බාස් කෙනෙක් අනිකා මහරගම ලොකු හාඩ්වෙයාර් එකක ඩ්‍රයිවර් කෙනෙක් . .. මුන් එක්ක රන්ඩු වෙච්චි වෙලාවල් වලදී අම්මයි අක්කයි මුන්ගේ පැත්ත අරගෙන මට ගහපු නිසා ඉතිං මට නම් කවදාවත් අනේ මචං සමාවෙයන් කියන්න ඕන වුනේ නෑ . .

මෙන්න මේ ලින්ක් එකෙන් මේ ගීතය බලන්න පුලුවන් . .

. . .. . . .

අර මම කලින් ලිපියකත් ලිව්ව වගේ (පන හයියම ආච්චී හෙවත් බොරුවට මැරුනු චරිත්ලගේ ආච්චී . . . !)

"බොහෝ කලකට පෙර . . . ආච්චී . . සීයා . . නැතිනම් අත්තම්මා . . ලොකු අත්තා . . යනු අපේ රටේ පවුල නම් සංකල්පයේ මහා පහන් ටැඹ දෙකක් මෙන් වූවා . . . දරුවන්ට ජන කතා . . . ජන ගායානා . . . සුරංගනා කතා . . . වීර කතා . . ඉතිහාස කතා . . බෞද්ධ ජාතක කතා . . ආදී දේවල් වලින් දරුවන්ගේ පුංචිලෝකය විචිත්රාවත් කලේ මේ දෙපලයි . . . !"

අප ලොකු මහත්කල කවා පොවා ඇති දැඩි කල එසේ පහන් ටැඹක් වූ සීදේවී අච්චී අද එදා තරම්ම වටිනා වස්තුවක්ද . .

කොන්ද නමාගෙන
හැරමිටි ගහගෙන
ඉබි ගමනින් එන්නේ
උදේම නාගෙන
චීත්තේ ඇඳගෙන
ආච්චී මේ එන්නේ . . .



. . .. . . .

කුරුම්බා ඇට්ටියකයට ඉරටු ගසා සකස් කරගත් මැසිමෙන් ඇඳුම් මැසූ අයට මතකයිද ඒ අතීතය . . . කොස් කොල වලට ඉරටු කෑලි ගසා සකස් කර ගත් ඔටුන්න . . . අත් පටි . . අද මේ සියල්ල අතහැර අපේ දරුවන් කොම්පියුටර් ගේම් . ..

අතීතයේ අප සතුටු වූ ආකාරයටම අපේ දරුවනුත් සතුටු විය යුතුයි කියා අපි සිතිය යුතු නෑ . . මේ ඒ වෙනුවෙන් ටැබූ ලියූ අගනා ලිපියක ලින්ක් එක . .

කුරුම්බැට්ටි මැසිමේ මගේ කුරුම්බැට්ටි මැසිමේ
ගවුම් පොඩිත්තක් මහලා දෙන්නද . .
කමිස පොඩිත්තක් මහලා දෙන්නද . . ?

27 comments:

  1. දැන් කාලේ හුඟක් ලමයි මේ සිංදු අහලාවත් නැතුව ඇති. රූපවාහිනී කරන ඇත්තෝ ඒ පොඩි ළමයින්ගේ ළමා ලෝකය උදුරගෙන වැඩිහිටි ලෝකයක් තමා උරුම කරලා දීලා තියෙන්නේ................

    ReplyDelete
  2. අපොයි දෙයියනේ..
    මම ලැජජ වෙනවා, මේ කියලා තියෙන ළමා ගී බාගෙට බාගයක් අසා නොතිබීම ගැන..
    :(
    අගනා ලිපියක් දුකා අයියා..

    ReplyDelete
  3. නියම ලිපියක්.....මම නම් ඇත්තටම ඔය වැඩසටහන බලන්නේ නෑ...මට ළමයින් ගීත කියනවා අහන්න එපා වුනේ...අර ටික කාලෙකට ඉස්සර ආපු ළමා Non-Stop කැසට් එක්කයි....ළමා කලය ගැන කියනවානම් න්‍යශ්ඨික පවුල් සංකල්පත් කාර්ය බහුල සමාජ රටාවත් එක්ක අද එහෙම එකක් තියෙනවාද කියලාත් සැකයි......ඇත්තටම කිවුවොත් අද පුන්චි එවුන් දෙමව්පියන්ට වඩා කාර්ය බහුල වෙලා කිව්වොත් නිවැරදියි......අතම්මගෙන් අහපු කතා වෙනුවට උන්ට අද අහන්න ලැබෙන්නේ Tarzan බාප්පයි.....FM චැනල් වල සූකිරි කතායි....ඒකාලේ අහපු ලමා කවි වෙනුවට අද ඇත්තේ Hip-Hopය..කුරුම්බඇට්ටි මැශින් වෙනුවට වීඩියො ගේම් හා සෙල් පෝන්ය....වෙනස්වීම වැලැක්වීමට කිසිවෙකුට නොහැකිය...නමුත් එය බලාසිටීමට අපහසුය...:D....

    ReplyDelete
  4. අමතක නොවුනට පැත්තක පුස් කකා තිබුන අපේ අතීතයට ගියා මේ ලිපියත් එක්කම.....ඇත්තටම අපි අ ගෙවපු ළමා කාලය අද අපේ දරුවන්ට නෑ ඒ ගැන හිතෙනෙකොට අවන්කවම හිතට ලොකු දුකක් දැනෙනවා දුකා..........

    ReplyDelete
  5. me githa godak eewa mage podi yaaly CD series eke tghiyenawa ,hebei visual nam echchara hari ne ,raabui kewmui kanawa wage ,man kawada hari kalin dawasaka kiwwa wage aaapi guwan widuliya nisa heduna aya,ithin ape lamaa kaale api mewa niranthrayenma ahapu sindu thamai me,duka umbata sthuthi.chaminwije@ yahoocom

    ReplyDelete
  6. මමත් වාසනාවන්තයි....ඔය කියන ගීත ඔක්කොම අහන්න මාත් පින් කරලා තියනවා.ඒ විතරක් නෙවෙයි...මං පුංචි කාලෙ ගස් උඩ නැගගෙන ගමටම ඇහෙන්න කෑගහලා කියපු සින්දු තමයි ඔය...ඒවායේ රසය නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ...ස්තූතියි දුකා..ඇහැට කදුලක් උනන ඒ ලස්සන මතකය අළුත් කලාට....

    ReplyDelete
  7. ලමා ගීත ටික නම් පාංකාදුයි...මයියත් මයි පැටවුන්ට පරණ සිංදු ටික උගන්නනන්න මාර ගේමක් දේනවාය..ඒත් ඉතින් දුකා දන්නවනේ ඔය සිංහලේන් කියන ජෙනරේශන් ගැප් එක ගැන..

    ReplyDelete
  8. අයියා මටත් තව සින්දු ගොඩක් මතකෙට ආවා.........

    මාත් ඔය සිංදු ඔක්කොම රසවින්ද. (තාමත් ජොලියක් ගියාම කියන්නේ ඔය සිංදු තමා.......)
    ලොකු වෙලත් ගොඩක් ළමා සින්දු අහල නොතිබුන ඒවත් ඇහුව, රසවින්ද, ස්වර්ණවාහිනියේ ගිය හපන් පැදුරෙන්....... ඒකෙනුත් මං හිතන්නේ ළමා පරපුරට හොඳ ගීත අහන්න ලැබුන. අවාසනාවට දැන් ඒකත් නැහැ.

    අපේ පුංචිගේ පොඩි එකාගේ කටේ තියන සිංදු ඇහුවම දුකත් හිතෙනව. එක්කො රබට රබට රබට රටම් ගාල පටන් ගන්නව රම්බරී, නැත්නම් බූට් සින්දු ඒත් පුංචිලට නම් කිසිම ගානක් නැහැ. ඒව අහල ජොලියක් ගන්නව එච්චරයි.........

    ReplyDelete
  9. හා පැටික්කි කිව්ව වගෙ දැන් ඉන්න ළමයින් නම් වැඩි පුරම කියන්නෙ ඔය " රම්බරි " සින්දුවම තමා.......ඒත් මොන තරම් සුන්දර ළමා ගීත තියෙනවද ?

    මම චූටි කාලෙ නම් අපේ ගෙදර දාන්නෙම ළමා ගීත විතරමයි. මමත් මහා හයියෙන් කෑ ගහල කියනවා........ අර " පොඩි කාලෙ දඟ කෙරුවාම " කියන සින්දුව....

    අපේ ගෙ ඉස්සරහ අලි පේර ගහක් තිබ්බා. ඒකෙ උඩට නැඟලා තමා සින්දු කියන්නෙ.......


    ස්තුතියි දුකා අයියෙ...අද නම් මාගලක් වගේ ලියලා තිබ්බත් ඔක්කොම එක හුස්මට කියෙව්වා......

    ReplyDelete
  10. සහතික ඇත්ත. අද ළමයින්ට TV එකේ රේඩියෝ එකේ පවා වැඩිපුර තියෙන්නේ අපේ උරුමය වන අපේ ළමා ගීත, ජන කවි වගේ දේවල් නෙවේ. පිට රටකින් ගෙනත් ගෙඩි පිටින් හඬ කවල නැත්නම් සබ්ටයිව්ල් දාපු කාටූන්, ටෙල් වගේ දේවල් තමා. අපි අළුත් වෙන්න ඕන එකේ දෙකක් නෑ. ඒත් අතිතය තමා අනාගතයට පාර කියන්නේ. අනික හා පැටික්කි කිව්වා වගේ අද ලමයි කියන්නෙම ඔය රම්බරි වගේ කිසිම හරයක් නැති සිංදු නැත්නම් ළමා වයසට නොගැලපෙන සිංදුම තමා. හැබැයි දෙමාපියන් උත්සාහ කළොත් අපේ පැරණි හොඳ දේ ඔවුන්ට හොයා දෙන්න බැරි කමක් නෑ. නිවාඩුවට පමණක් ලංකාවට එන දුකාට හොයාගෙන ගිහින් පුතාට දෙන්න පුළුවන් වුනානම්. කොමෙන්ටුව නම් ටිකක් දික්වුනා. ඒත් තව මේකට එකතු කරන්න ගොඩක් දේ තියනවා.

    ReplyDelete
  11. ලස්සන සිංදු ටික නේද අයියා.

    ReplyDelete
  12. එල එලz අයියා..... මේ වගේ සින්දු ඇහෙනකොට පොඩි කාලේ මතක් වෙනවා.. අද කාලෙ මේ වගේ සින්දු ඇහෙන්නෙ නැති එක ලොකු අඩුවක්. ඒ උනත් වැඩිහිටියන්ට තියනව යම් කිසි කාර්යභාරයක් තමුන්ගෙ පොඩි එවුන් වෙනුවෙන් කරන්න. සිංහල කම රැකගන්න.

    ReplyDelete
  13. ආපහු පොඩි කාලෙට ගියා. ඒ කාලෙ තරම් සුන්දර කාලයක් දිව්‍ය ලෝකෙවත් නැතුව ඇති..

    තව ඔය ළමා ගී ගැන කියනවා නම්, නන්දා මාලිනීගේ " සිංදු හෝඩිය " ත් හරි ලස්සනයි. ඒ කාලේ අපි නන්දා මාලිනීට කියන්නේ " සිංදු නැන්දා " කියලා.

    මං දැක්කා නෙට් එකෙත් විකුණන්න තියනවා.
    ( spam වෙන නිසා දාන්නේ නැ )

    දුකා සහෝදරයාගේ මේ පෝස්ට් එක විශිෂ්ටයි.

    ReplyDelete
  14. ඇත්තටම දුකා අයියේ දැන් ඉන්න පොඩි උන් ගේ ළමා කාලය කියන එක සීමා සහිත වෙලා.ඇත්තටම බැලුවොත් අයියලා ගෙවපු ළමා කාලයේ අද්දැකීම් වලින් 10 න් 1 විතර අවුරුදු 22 වෙච්චි මම ලබන්න ඇති.ඒත් අද ඉන්න පුංචි පැටව්න්ට එහෙම වත් තියනවද කියන එක මට නම් ගැටලුවක්.වැරදිලා වත් අපි පුංචි උන් 100ක් අරන් ඔයාලා දන්න සිංදුවක් කිවොත්උන් 100න් 20ක් වත් ළමා ගීතයක් හරි අපේ අත්තම්මලා අපිට කියා දුනු සුභාෂීතයේ කවි ටිකක් කිවොත් ඇත්තටම සතුටු වෙන්න පුලුවන්."මොනවද මුත්තේ ඔතන කරන්නේ....","කොන්ද නමාගෙන....." අපිට ළමා ගී උනාට අද සමහර පොඩි උන්ට ළමා ගීත වෙන්නේ "සුදු ගව්මෙ ඇයි මඩ ගෑවුනේ...."

    ඒ වගේම මෙච්චර කාලයක් ඉංග‍්‍රීසියෙන් බ්ලොග් කොටපු අකුණ සිංහලෙන් බ්ලොග් කොටන්න පටන් ගත්තේ දුකා අයියගේ බ්ලොග් කියෙව්වට පස්සෙ.ඒ නිසා ඉල්ලා සිටින්නම් මෙසේ.....

    ලීවෙමි බ්ලොග් මෙතුවක් කල් ඉංගිරීසි භාසාවෙන්...
    නමුදු බැලුවෙමි බ්ලොග් ලිවූ සිංහල භාසාවෙන්....
    සිතුවෙමි ලියන්නට බ්ලොගයක් මව් භාසාවෙන්....
    ගුරු කම් ලැබුවෙම් කියවීමෙන් "දුකා" ගෙ බ්ලොග්...

    ReplyDelete
  15. අයියෙ පෝස්ට් එක නියමයි....අපිට වරප්‍රසාද ලත් ළමා කාලයක් තිබ්බත් අයියලෑ කාලෙ තරම් ගතියක් නෑ....විභාග අරව මේව එපා වෙලා අප්ප මට නම්

    ReplyDelete
  16. හැමදේම මාර්කට්වෙන ලෝකේ ළමා ලෝකයත් මාර්කට්වෙලා...පැරණි ළමා ගීත තවමත් ගුවන්විදුලි සංස්ථාවෙ නාලිකාවල ඇහෙනවා.ඒ උනාට දැන් ඒවා අපේ පොඩි උන්ට ඇහෙන්නෙ නෑ..අහන්න අවස්ථාවක් සලසලා දෙන්නේ නෑ.. ගොඩක් පැති ගැන අවදානය යොමුකරවන ලිපියක්...නියමයි..
    ජයවේවා..!!!

    ReplyDelete
  17. මචං මාත් ශිශ්යත්වෙ කරා, ඒත් අපෙ අම්මනං කරේ නෑ. මාත් 3 පන්තියෙ ඉඳල සිංහල, ගණං පන්ති ගියා, ඒත් අම්ම ගියෙ නෑ. මං 6 පන්තියෙදි ගල්කිස්සෙ ඉඳන් මරදානට තනියෙන් ඉස්කෝලෙ ගියා අම්ම ගියෙ නෑ. අපි හතරදෙනාම O/L කරනකං අපේ ගෙදරට TV ආවෙ නෑ.
    ළමා කාලෙ උපරිමයෙන් වින්ද හැමෝගෙම තත්වෙ ඔයිට වඩා වෙනස් වෙන්නෙ නෑ.
    දැන් කවුද වැරදි..කවුද පොඩි උංට උංගෙ ළමා කාලෙ අහිමිකරවන්නෙ එහෙනං. ඇයි අපිට අපේ දෙමව්පියො තරං නිදහස්ව හිතන්න බැරි?

    ReplyDelete
  18. දැන් ලමයින්ට ලමා කාලයක් නැහ අය්යේ... උබේ පොඩි එකා ඒ අතින් වාසනාවන්තයි.

    දැන් පොඩි උනුත් දුවනවා,,, අම්මල තාත්තලත් දුව්නව.... පන්ති පන්ති පන්ති...

    උන්ට සෙල්ලම් කරන්න අම්මල තාත්තල... නෑදෑයෙක් එක්ක කතා කරන්න වෙලාවක් නැහ. උන් පිම්මෙ දුවනවා. මේ ටිව් එකෙන් උන්ව තවත් කාල.

    අපේ පුන්චි ගෙ පොඩි එකා.. අවුරුදු 2යි. ඒකා කියන්නේ සුදු ගවුමෙ මඩ ගෑවිච්ච ගැන.

    අපි කරපු සෙල්ලම් උන් දන්නෙවත් නැහ. උන්ට ඒවට ඉඩක් වෙලාවක් තැනක් නැහ.

    කාලය ඔක්කොම කාල.

    ReplyDelete
  19. දුකෝ, බොහොමත්ම ස්තුතියි අපේ පුංචි පවුල ගැනත් සඳහනක් තැබීම ගැන. උඹ ඔය කියුව සී.ඩී දෙක තුන දැනට අවුරුදු කීපයකට කලින් ලංකාවට ආ වෙලාවක මම අරගෙන පොඩි උන්ට නිතරම ඇහෙන්න සැලැස්සුවා. මගේ දුව ඒ හැම සිංදුවක්ම වගේම දන්නවා. අර හා පැටික්කි කියුවා වගේ මේ සින්දු වලට පන පිඹල අරගත්තෙ හැමදාමත් අළුත් වැඩක් කරන ජැකා නොහොත් පනාපුත්රි කුහුඹු පැණියා නොහොත්, ජැක්සොන් ඇන්තනි මහත්මය එයාගෙ 'හපන් පැදුර', 'සිඟිති පැදුර' 'ටිකිරි පැදුර' වැඩසටහන් වලින්. ඒ වැඩසටන්වල හිටපු පොඩිත්තො ටික හරි අපූරුවට ඒ සින්දු ආයෙත් ගායනා කලා. ඒ මීට අවුරුදු 10 කට 12 කට විතර උඩදි මම හිතන්නෙ. ඊට පස්සෙ තමයි ආපහු ඒ සින්දු අළුතෙන් රෙකෝඩ් කරල මාකට් එකට ආවෙ. ජැක්සන් මත්මය ගුවන්විදුලියෙ තිබුන පරණ තැටි පීරල ඒ සින්දු නැවත අරගෙන ආවෙ නැතිනම් ඒ මිණිකැට ටික කාලයේ මඩ ගොහරු යට සදා සැඟවෙන්න තිබුනා.

    ReplyDelete
  20. මචෝ, 'ඇය කොන්ඩෙ දිගට දාල' මෙතනින් බාගන්න පුළුවං ... තවත් ළමා සිංදු කීපයක්ම මෙතන තියෙනවා . . .

    http://videos.kandynet.net/kids-videos/Aya%20Konde%20Digata%20Daala%28KandyNET.net%29.wmv

    ReplyDelete
  21. ඔය සකලබුජං සින්දුව මම පොඩිකාලෙ බොහොම කැමති සිංදුවක්.
    මතක් කරන්න් බැරි පොඩි කාලෙ, ඒ කියන්නෙ මට වයස 2,3 කාලෙ දේවල් වලින් මට මතක තියෙන්නෙ ඔය සිංදුව විතරයි. ඔහොම මතක හිටියද දන්නෙ නෑ.

    ReplyDelete
  22. මම නම් ඔය එක ස්ටාර් කෙහෙල් මල් එකක්වත් බලන්නේ නැ..
    එක අතකින් වෙලාවක් නැ..
    අනිත් අතින් බලන්න ඕනකමක් නැ..

    කොහොම උනත් ඔයා කියල තියෙන දේ නම් ඇත්ත..
    ඒවගේ වැඩිපුර ඇහෙන්නේ නිකන් වචන පේලි විතරයි නේ..

    ReplyDelete
  23. වැදගත් ලිපියක් දුකා අයියේ.

    ReplyDelete
  24. සිරාවටම වැදගත් කතාවක්... මං ඉපදෙනකොට නම් සීයලා දෙන්නමයි එක ආච්චි කෙනෙකුයි පරලොව ගිහින්. එක ආච්චි කෙනයි හිටියේ. හැබැයි ඒ ආච්චි නම් එච්චර සිංදු/කතා දන්නේ නෑ. එයාට සල්ලි තියෙන කාලේ ගමේ ලොක්කියෙක්. ඒ නිසා වෙන්න ඇති දන්නේ නැත්තේ. හැබැයි නිතරම කිව්වේ දරුවෝ පිහිය භයානකයි, හැන්ද භයානකයි, ගින්දර භයානකයි කියලා... ඒ ආදරේට... කිසි දෙයක් අල්ලන්න දුන්නේ නෑ...

    වැදගත් කතාවක් ලිවීම ගැන තුති...
    පුලුවන්නනම් "ස්ටාර්" වලට වඩා වසංගතයක් වෙලා තියෙන හින්දි මෙගා වලින් ගෑණු බේරගන්න හැටියක් ලියහංකො ඉදිරියේදී... :ඩී

    ReplyDelete
  25. ape rate ea kale lama geetha prabudda geetha sarala geetha oya eaka eaka wargaye geetha walini ape hadawath walata katha kaly eaa ea ayage hadawath walinmai nan wenne ape kama huragena kamak

    ReplyDelete
  26. මේ බ්ලොග් පොස්ට් එක හම්බ උනේ ළමා ගී ගැන සොයන්න ගුගල් සෙවුමක් කරද්දි.

    ඉදිරියේදි නිකුත් වීමට නියමිත කුඩා ලමුන් සඳහා වන Open Source යෙදුමකට ලංකාවේ දරුවන්ට අහන්න හැකි ළමා ගීත තිබ් නම් සොයා දෙනවද? මේය ඉක්මනින් අවශ්‍ය වෙන අතර සිංහල සහ දමිල භාෂා දෙකෙන්ම ලබා දෙන්නෙ නම් තවත් හොදයි.

    ගීතයේ නම, විස්තරය, ගීතයේ පද, (හැකි නම් ගීතයේ ඉංග්‍රීසි පරිවර්තනය), සංගීත ප්‍රස්ථාරය (බටහරි ආකාරයට).

    ReplyDelete
  27. පොඩ්ඩක් හොයලා බලන්න ඕන ඩනිෂ්ක මල්ලී . . මම දන්න කියන අයටත් කියන්නම් ..

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails